Wednesday, October 21, 2026

උඩිං යන කාර්..

 ඊලෝම් මස්ක් කාරයා උඩිං යන කාර් එකක් හදලා ඕං දැං දෙතුන්දෙනෙක් තැන් තැන්වල මාවත් මෙන්සන් කරලා දාලා තිබ්බ අපේ ජෑසිංහයා ඊලඟට ගන්නෙ ඒයිං එකක්ද කියල.. මං දන්න තරමිං අපේ යාලුවො හිතවත්තු නෑයො ඔක්කෝම ගත්තාම ටෙස්ලාවක් පදින යාලුවෝ සහ නෑයො ඉන්නෙ දෙන්නයි.. ඒකෙන් පලවෙනියටම ටැස්ලාවක් ගත්තෙ අපේ ජෑසිංහ.. දෙවැනියට ගත්තෙ අපේ මහප්පගෙ පුතන්ඩිය.. ඔය දෙන්නමටම තියන පොදු ලක්ශණය තමයි ඊලෝම් මස්ක් කාරයා ඔය උඩිං යන කාර් එක හදන්න බොහෝමයක් කලින් ඉඳන්ම කාර්වලින් උඩිං යන්න පුලුහංකම තිබීම.. ඊලෝං කාරයා ඔව්ව නොදන්න නිසා වෙන්ටෑ ඔය උඩින් යන කාර් එක  හදලා ඔයහැටි උදම් අනන්නෙ..


ජෑසිංහයා පලවෙනියටම උඩිං ගියේ උගේ Rav 4 එකේ.. රතු පාටින් දිලිසි දිලිසී තිබ්බ බ්‍රෑන්ඩ් නිව් Rav 4 එක දැක්කාම ලස්සනේ බෑ.. ඒත් ඉතිං ජෑසිංහයා කොහේදෝ ගමනක් ගිහිං එද්දි හිටි ගමං වම දකුන මාරු වෙලා හතරමං හන්දියක වම් පැත්තෙන් යන්න ගිහිං ඉස්සරහිං ආපු කාර් එකේ මූනට මූන තැරි ගැහිලා උඩී.......න් ගිහිං හන්දියේ අයිනකට විසික්වුනා.. Rav 4 එකනම් ඉතිං එකෙන්ම කොන්ඩෙම්.. ජෑසිංහයා ඉතිං උපන් ගමේ පිහිටෙන් හීරුමක්වත් නැතුව බේරුනා.. මොකද කියනවනම් ජෑසිංහයා ලංකාවෙ ඉද්දි ජීවත්වුන පෝරඹ ගමේ එවුන්ට පන හතකට වඩා තියෙන නිසා මලාට මරන්න බෑ.. 


ඊලඟ වතාවෙ ජාසිංහයා ගත්තෙ අලුත්ම අලුත් බ්‍රෑන්ඩ් නිව් ටොයෝටා කොරොල්ලා එකක්.. එකෙත් ඔය උඩින් යන ඔප්ශන් එක තිබ්බ කියලා දන්නෙ උදේ පාන්දරක වැඩට යද්දි ජෑසිංහයා පාරෙ නවත්තලා තිබ්බ කාර් එකක පිටිපස්සෙ මුල්ලෙ වද්දලා කොරොල්ලා එක උඩී.....න් ගිහිං පාරෙ අනික් පැත්තෙ ලෑන්ඩ් කරාම..  ඒකත් ඉතිං එකෙන්ම කොන්ඩෙම්.. ඕං ඊට පස්සෙ තමා ජෑසිංහයා බ්‍රාන්ඩ්නිව්  Infinity Q60 එකක් ගත්තෙ.. ඒක ඉතිං වැඩිමනක් පදින්නෙ ජෑසිංහගෙ බිරින්දෑ නිසා ඒකෙ උඩිං යන ඔප්ශන් එක තියෙනවද කියල තාම හොයාගන්න බැරිවුනා.. ඒ එක්කම එවකට තිබ්බ අනිත් Toyota Sequoia එකත් විකුනලා ජෑසිංහයා ටෙස්ලාවක් ගත්ත ලඟ ලඟ දුවන්න ලාභ නිසා.. 


ඕං ඔය කතා ටික කියාගෙන යද්දි මට අපේ තාත්ත ලඟ තිබ්බ Honda C50 මතක්වුනා.. එකෙත් තිබ්බ ඔය උඩිං යන ඔප්ශන් එක.. ඕකෙ ඔය ඔප්ශන් එක තියෙනවා කියලා හොයාගත්තෙ අපේ චමිලය..  දවසක් මමයි අපේ චමිලයා නොහිත් තඩියයි ඒකෙ කොහේදෝ යද්දි යස වැඩක් වුනා.. ඔය ජෑසිංහයාගෙ ගම වෙච්චි පෝරඹ තියෙනවා දඩ වංගුවක්.. චමිලයා තමයි බයික් එක පැද්දෙ.. මම පිටිපස්සෙ සීට් එකේ.. ඕං ඔය පෝරඹ වංගුව ගනිද්දි අපේ චමිලයා අතිං ඔය උඩිං යන බොත්තම එබුනා කියහංකෝ... ඔය ඔප්ශන් එක කොච්චර පවර්ෆුල්ද කියනවනම් අපි දෙන්නවයි බයික් එකයි උඩී....න් ගිහිං වැටකුත් කඩාගෙන වත්තක් ඇතුලට ලෑන්ඩ් කරා.. පරාදේ කියන්න බෑ මට ඉතිං දකුණු කකුල කරේ තියාගෙන මාසයක් විතර ඇඳේ තපින්න සිද්දවුනා ...


ඕං ඉතිං කියාගෙන ආපු කතාව කැලේ පැන්න.. අපේ ජෑසිංහයා ලංකාවෙදිත් උඩිං ගියා හුන්ඩායි කාර් එකක.. ඒ කතාව මෙහෙමයි.. ජෑසිංහයා ලංකාවට ආපු වෙලාවක කාර් එකක් රෙන්ට් එකට අරං පදින්න ලෑස්තිවුනා.. මං ඒත් මගින් මගට කිව්වා මැනුවල් පදින්න යන්න එපා ඔටෝ පැදලා පැදලා ඕක උඹට හුරුවෙන්නම කාලයක් යාවි කියලත්.. කොහෙද ඉතිං ඒකා කියනදේ ඇහුවෙ නෑ කියහංකෝ.. 


ඔය කියන මැනුවල් හුන්ඩයි කාර් එක රෙන්ට් එකට අරං තිබුනෙ කුරුනෑගල පැත්තෙ තැනකින්.. කුරුනෑගල මහ ඉස්පිරිතාලෙ හන්දියේ අතුරු පාරකට කාර් එක ගෙනැත් දීලා රෙන්ටකාර් එකේ එවුන්.. අපේ ජෑසිංහත් ඉතිං හෙන ගැම්මට ඩ්‍රැයිවින් සීට් එකේ වාඩිවෙලා වාහනේ ස්ටාර්ට් කරලා එහෙම අරගෙන යන්න පිටත් වෙලා.. බැලින්නම් ඒකෙත් ඔය උඩිං යන ඔප්ශන් එක ඕන් වෙලා තිබිලා තියෙන්නෙ.. ජෑසිංහයා ගියර් එක ෆස්ට් එකට දාලා ක්ලච් එක අතෑරපු පාර හුන්ඩායි එක උඩී.....න් ගිහිං ප්‍රධාන පාරෙ මැද්දෑදෙ ලෑන්ඩ් කරා කියලා තමයි ජෑසිංහයා කිව්වෙ.. පාර මැද ට්‍රැෆික් කර කරා හිටපු පොලිස් රාලහාමිත් දනිපනි ගාලා පාරෙන් පැනගෙන නූලෙන් ජීවිතේ බේරගත්තාලු ඉතිං.. උඩිං ගිහිං පාර මැද්දෑවෙ ලෑන්ඩ් කරපු හුන්ඩායි එක පාරෙ අයිනට ගන්න ට්‍රයි කරද්දිත් නැවත නැවතත් උඩීංම යන්න ට්‍රයි කරනවා කියලා ජෑසිංහයාට දැනුන නිසා කාර් එක ආපහු රෙන්ටර් කාර් එකටම බාරදීලා ගෙදර ආව කියලයි කියන්නෙ.. 


ඊලෝම්මස්ක් කාරයා ඔය උඩිං යන කාර් එක හදන්න කලිං අපේ ජෑසිංහයා කොන්ටෑක්ට් කරලා උපදෙස් ගත්තනම් ඕය උඩිං යන කාර් එක ඔයිට වඩා සාර්ථකව හදන්න තිබුනා කියලයි මගේ අදහස.. එහෙම නැතත් ඕකෙ ෆස්ට් ට්‍රයල් එක දුවන්නවත් ජෑසිංහයාව ගන්න තිබ්බ මොකද උඩිං යන්න ඌට තියන එක්ස්පීරියන්ස් ලෝකෙ වෙන කාටවත් නෑ...


ආ එහෙම කියන්නත් බෑ.. ටෙස්ලාව පදින මගේ ඟාති සහෝදරයාටත් ඒ හා සමානවම එක්ස්පීරියන්ස් තියෙනව.. මාස හතරපහකට උඩදිත් මෑන්ස් උගේ BMW එකේ යද්දි අයිනෙ නවත්තලා තිබ්බ කාර් එකක මුල්ලෙ වද්දලා උඩී.....න් ගිහිං හයිවේ එකේ අයිනෙම ලෑන්ඩ් කරා.. බලල් පණ තියෙන නිසා අතපය හතර බේරුනා. ඊට කලිනුත් දෙතුන් වතාවක් මෑන්ස් කාර් කීපයකින්ම උඩිං ගියා.. කලින් කාර් වගේම මේ වතාවෙ BMW එකත් ඉතිං කොන්ඩෙම් වුනා..


ඊලෝම්මස්ක් ඔය උඩිං යන කාර් එක තවදුරටත් වැඩිදියුණු කරනවනම් ජෑසිංහයාවයි අපේ ඥාති සහෝදරයයි දෙන්නගෙන්ම උපදෙශක විදිහට රස්සාවට ගනියි කියලා මට හිතෙනව... චමිලයාගෙ නමත් යෝජනාන්කරලා යවන්න තිබ්බ ඉතිං.. ඒත් ඉතිං චමිලයගෙ කාර් එකේ උඩිං යන ඔප්ශන් එක නෑ... ඌට උඩිං යන්න ඔප්ශන් එක තියෙන්නෙ මෝටර් සයිකල්වල විතරයිනෙ.. ඊලෝන් මස්ක් කාරයා උඩිං යන මෝටර් සයිකලයක් හදන දවසට අනිවා මම චමිලයාගෙ නම යෝජනා කරලා යවනව.. ඕං මං දැක්කා ඊයෙ පෙරේදත් උඩිං ගිහිං දනිස්ස වෙලාගෙන ඉන්නව... 🤭