Wednesday, July 17, 2019

මගුල් කතා 1







මගුල් කතා ගැන බ්ලොග් පොස්ටුවක් ලියන්නට ඔනෑ යයි ගොඩයාට ඊයේ පෙරේදාවක අදහසක් ආවේ මගුල් ගැන සීන් කෝන් කීපයක් මතකයට ආ නිසාය. එව්වා ලියා තැබීම එව්වාට සම්මාදම් වූ අයවලුට සාධාරණයක් ඉටුකිරිල්ලක් වශයෙන් ගොඩයා හිතනවාය. ජයටම මගුල් උත්සව සංවිධානය කර මගුල් කෑවාට එව්වා ගැන පසු විපරමක් කිරීම කිසිවෙකුත් නොකරන නිසා මතකයේ රැඳුනාවූ මගුල් උත්සව කිහිපයක් ගැන මෙසේ ලියවෙනවාය.

මගුල් කීව සැනින් ගොඩයාට පළමුව මතකයට එන්නේ එක්දහස් නවසිය අසූව වැනි ඈත මගුලක්ය. මගුල තිබුනේ රත්නපුරය දිසාවේ බැවින් ගොඩයාට එම මගුල මතකයේ තිබුණිද මගුලේ අටුවා ටීකා ටිප්පනි කිසිවක් මතකයට එන්නේ නැතිය. ඒ මන්ද යත් එම මගුල තිබු සන්දියේ ගොඩයාගේ වයස අවුරුදු තුනක පමණ වයසක් වන නිසාය රෑ දෙගොඩ හරියේ අවදිවී ජැන්ඩි පහට දිග කලිසමකින් සහ අත් දිග කමිසයකින් සැරසී රත්නපුරයේ මගුලකට ගියා පමණක් හීනයක් ආකාරයෙන් ගොඩයාට මතකයේ යාන්තමින් තිබෙනවාය. වර්තමානයේ ගොනා රෝසා නමින් හඳුන්වන මිට්සුබිෂි රෝසා වර්ගයේ බසයකින් තිහක තිස් පහක පමණ පිරිසක් මගුල් ගෙදර යන්නට පිටත් වෙනවා ගොඩයාගේ මතකයේ තැන්පත් වී තිබෙන්නේ වෙනෙකක් නිසා නොව හිච්චි එකා සන්දියේ හිටන්ම පැවතියාවූ රතගාය නිසාය. ඩඩාගේ මහ ගෙදරින් පිටත් වුනාවූ මගුල් ගමන ඉර නගින්නට කලින් පිටත් වුවත් බසයේ නැග අසුන් ගන්නට ප්‍රථමව බසය වටා රවුම් කිහිපයක් ගොඩයාව රැගෙන යන්නට ගොඩයාගේ මෑණියන්ට සිදුවුවා ගොඩයාට මතකය. ගොනා රෝසාවේ සුදු පැහැති ටියුබ් ලයිට් වලින් මලානිකව ආලෝක්මත්වූ බස්රථයේ මෑණියන්ගේ උකුලේ අසුන් ගන්නවායින් එහාට ඒ පළමු මගුල් තුලාව ගැන කිසිවකුත් ගොඩයාගේ මතකයේ නොමැතිය.

ඉන් අනතුරුව ගොඩයාට මගුලක් ගැන මතකයේ තිබෙන්නේ ලොකු අයියාගේ මගුල වන අතර ඒ වූ කලී එක්දහස් නවසිය අසූ දෙක හෝ තුන අවුරුද්ද වන්නට ඉඩ තිබෙනවාය. ලොකු අයියාගේ හෝම් කමිම ගැන මෙලෝ මලදානයක් මතකයේ නැතත් ලොකු අයියාගේ වෙඩිම ගැන යම් මතකයක් ගොඩයාට තිබෙන්නේ ලොකු අයියලා වෙඩින් ෆොටෝව ගැනීමට ගාල්ලේ වෙස්ට් එන්ඩ් ස්ටුඩියෝව වෙත යද්දී මගුල් මයිනරයේ ඉදිරිපස අසුනේ අයිනකින් ඇන තියාගන්නට ගොඩයා සමත් වන නිසාය. ඒත් රතගාය හින්දාය. සුදු අයියා සහ හිච්චි මාමාද මගුල් රථයේම ස්ටුඩියෝව වෙත ගමන් කළාවූ නිසා ගොඩයාට මයිනරයේ රවුමක් යෑමට අවස්ථාව සැලසෙනවාය. වැඩින් සැට් එක ස්ටුඩියෝව වෙත ගියාවූ පසු මයිනරයේ රියදුරා ගොඩයාවත් දමාගෙන ගාල්ලේම සුරා සැලක් වෙත රථය පැදෙව්වා ගොඩයාට මතකය. උඩු රැවුල උඩට කරකැවූ මෝස්තරයක් සහිත රියදුරා දකිද්දී ගොඩයාට සූ යන්නට තරම් භයක් දැනුනද හේ ගොඩයාව තුට්ටුවකට මායිම් කලේ නැතිය. සුරාසලෙන් ගත්තා වූ රහමෙර බෝතලයෙන් වඩියක් සප්පායම් වන්නට හෙතෙම වීදුරුවක් ගත්තේ මයිනරයේ ග්ලව් බොක්ස් එකෙන් වන අතර එය ගැනීමට ගොඩයාගේ පැත්තේ දොර අරිද්දි ගොඩයා සිතුවේම ගොඩයාව කරෝල වාඩියකට විකුණන්නට  දෙන්නටවත් හදනවදෝ කියලාය. සුරාසැල අසල සිටියාවූ උඩු රැවුල උඩට කරකැවූ තවත් කිහිපදෙනෙක් මයිනරය  අසලටවිත් රියදුරාගේ බෝතලයෙන් සප්පායම් වෙද්දී ගොඩයාගේ භය තවත් වැඩි වුවා මිස අඩු වුයේ නැතිය. 

සියල්ල අවසානයේ වැඩින් සැට් එක සමගින් ලොකු අයියාගේ අඹේනියගේ නිවසට හෙවත් වෙඩිමට මයිනරය සැපත් වෙද්දී ගොඩයාගේ පියානෝ දිව විකාගෙන ගෙයි එළිපත්තේ ඔරවාගෙන බලාසිටිනවාය. ඒ හිටිවනම වෙඩිමෙන් නොකියා අතුරුදන් වූ ගොඩයාව පිළිගැනීම උදෙසාය. ලොකු අයියා වෙඩිම පසෙකලා ගොඩයාව බේරා නොගන්නට එදා ඇප නැතිවෙන්නටම ගොඩයා අම්බානෙකට ගුටි කනවාය. ලොකු අයියා ඊයේ පෙරේදා වයස හැට සම්පුර්ණකොට විශ්‍රාම ගිය අතර දැන් වෙද්දී ලොකු අයියා මුණුපුරන් තුන් දෙනෙකුගේ සීයා කෙනෙක්ය.

ඊළඟ වෙඩිම ඒ ආසන්නයේම කාල වකවානුවේ එකක් වූ අතර ඒ සුදු අයියාගේ වෙඩිමය. කිසිදු ආරාධනයකින් තොරව  වැඩින් කාරයේ අසුන්ගන්නට උපන් හපන් ගොඩයා සුදු අයියා සහ ඇඹේනිය කැන්දාගෙන එන්නට යන ගමනේද වැඩින් කාරයේ අසුන් ගන්නවාය. වැඩින් සැට් එක පටවාගත් රියදුරා මොකක්දෝ යකඩයක් ඩිකියෙන් ගේනවිත් ඇන්ජිම ඉදිරියෙන් හිලකට ඔබා කරකවා රථය පනගන්වාගත් ආකාරය ගොඩයාට අද වාගේ මතකය. එදානම් වෙනදාට වඩා වැඩින් කාරයේ සෙනග වැඩිවූ අතර ගොඩයා ගමන් ගත්තේ මනමාල සුදු අයියාගේ උකුළේය. ගොඩයාගේ රථගායේ විශේෂත්වය වන්නේ ගොඩයාට රථයේ ගමන් කිරීමට කිසිදු ආසාවක් නොමැති වීමය. ගොඩයාට අවශ්‍ය වන්නේ රථයේ කෑලි බෑලි ටික සූම් කොට බලාගැනීමටය. ඒ අමතරව රියදුරා රථය පදවන ආකාරය සහ පණගන්වන ආකාරය නිරීක්ෂණය කිරීමද රථ ගයේ ඊළඟ අරමුණය. එවන් අරමුණක් ඉටුකර ගැනීම උදෙසා එකල චෑන්ස් එකක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්ය. 

ගොඩයාගේ වැඩින් මතකයන්හි කුටප්‍රාප්තිය සිදුවන්නේ එක්දහස් නවසිය අසූ හය වසරේ වන අතර ඒ ගොඩයාගේ බාප්පාගේ වැඩිමය. පසුකාලීනව කොරල් ගාර්ඩන් වශයෙන් හැදින්වුනා වූ හික්කඩුවේ පිහිටි හෝටලය එකල  හැඳින්වුයේ ලංකා ලැන්ඩ් යන නමින්ය. එම ලංකා ලැන්ඩ් හෝටලයේ පැවති බාප්පාගේ වෙඩිමේ ප්‍රධාන චරිතයක් හොබවන පේජ් බෝයි වශයෙන් ගොඩයාගේ නම  යෝජනා වන්නේ එකල ගොඩයා හරිම හුරුබුහුටි කොලු පොඩ්ඩා නිසාය. පේජ් බෝයි යන්නෙහි සුවිශේෂත්වය ගැන වැඩියමක් ගොඩයා නොදන්නා අතර වෙනත්ව වැඩින් වලින් එය වෙනස් වුයේ ගොඩයා වෙත රිබන් බෝ එකක් සහිත වේවැලක් හිමිවීමෙන් පමණය. වැඩින් ෆොටෝව ගන්නා අවස්තාව වනතුරා ඇඳුම් ආයිත්තම් ප්‍රවේසම් කරගන්නට ගොඩයාට උපදෙස් ලැබෙන අතර රිබන් බෝ එක සහිත වේවැල කුමක් අරභයාද යන්නට ගොඩයා වෙත අදහසක් තිබුනේම නැතිය. වැඩිමේ මංගල රථය වෙනුවෙන් පැමිණි බාප්පාගේ අලුත්ම අලුත් ලාන්සර් බොක්ස් වර්ගයේ රථයෙන් හෝටලයට පැමිණෙන බාප්පා, බාප්පාගේ දෙවැනි මනමාලයා සහ ගොඩයා හෝටලයේ අසුන්ගෙන සිටින්නේ නෑ සිඟිත්තන් හෝටලයට පැමිණෙනතුරුය. අනතුරුව ටික වෙලාවකින් ගොඩයාගේ ඩඩාගේ ගමේ හැත්ත බුරුත්ත සහ නෑ පිරිවර සියල්ලම පටවාගත් වාහන කිහිපයක් හෝටලය වෙත පැමිනේනවාය. බාප්පාගේ මනාලියගේ පාර්ශවය විසින් පිළිගන්නා නෑ සිඟිත්තන් ප්‍රමුඛ පිරිස මොකක්දෝ බුලත් හුවමාරුවක් සිදුකර එකා පස්සේ එකා හෝටලය වෙත ඇතුල් වෙනවාය. 

 කාලයේ හැටියට විරල අංගයක් වූ නාන තටාකයකින්ද සමන්විත තරු පංතියේ හෝටලයක් වූ ලංකා ලෑන්ඩ් හෝටලය එකලද පොළොවේ ටයිල් අතුරා තිබු වර්ගයේ හෝටලයක්ය. මුණ පෙනෙන්නට ඔප දමා තිබූ පොලොව ඉතාමත් ලිස්සනසුලු වන අතර ඇවිදීම ඉතාමත් ලිස්සනසුලුය.

 ගොඩයාට නැන්දලා තුනක් සිටිනවාය. ඒ කියූ නැන්දලාගෙන් දෙවැනි නැන්දා හෝටලය වෙත පිය නගන්නේ බුලත් හුවමාරුව අවසන් කිරීමෙන් අනතුරුවය මහත් උජාරුවෙන්ය. තමුන්ගේ මලයා මෙවන් ආකාරයේ සුපිරි හෝටලයක වැඩිම ගත්තාවූ උජාරුවද නැන්දාගේ මුහුණේ අඳි තිබුනා ගොඩයාට මතකය. උජාරුවෙන් වටපිට බලමින් හෝටලය වෙත පියනැගුවා වූ නැන්දා කොයිතරම් නම් කනකර ආයිත්තම් වලින් සැරසීලාද යත්, චායාරූපයක් ගෙන රාමුකර ගතහොත් දේව රූපයක් වසයෙන් පහන් දැල්වීමට වුවද සුදුසුය. වෙනත් ආකාරයකින් කියනවානම්, රතුම රතු දිලිසෙන සාරියකින් සැරසී කිලෝ දෙක තුනක රත්තරන් ආභරණ එල්ගෙලාගෙන සිටින නැන්දාගේ පෙනුම දේව රූපයකින් වෙනස් වන්නේ අඩි උස සපත්තු දෙකෙන් පමනය.  දේවතාවියන් අඩි උස සපත්තු දමා සිටිනු ගොඩයා කිසි දිනෙක දැක නැතිය. එවන් ආකාරයෙන් ආයිත්තම් වලින්ද  දිලිසෙන රතු සාරියකින්ද සැරසී සිටිනා නැන්දාට  හිටිවනම වන්නේ මහා අකරබ්බයක්ය. ඒ මන්ද යත් නැන්දාගේ අඩි උස සපත්තු දෙක නැන්දාටත් නොකියාම ටයිල් පොලොවේ දෙපසට ගමන් කරන්නට පටන්ගන්නා නිසාය. 

ඔපදැමූ ටයිල් පොලොව උඩ ලිස්සමින් එක්තරා ආකාරයක රංගනයක නියැලෙන නැන්දා කිසිවක් නොවුනාවූ ආකාරයෙන් වැඩේ බැලන්ස් කරගන්නට ට්‍රයි එකක් දෙනවා උනාට හයි හීල්ස් නැන්දාගේ ප්‍රයත්නය තුට්ටුවකට මායිම් නොකරනා ආකාරයෙන් හිතුන දිහාවේ යන්නට ට්‍රයි කරනවාය. නැන්දාද ගේම අතාරින්නට සුදානම් නැතිය. සිද්දිය වැඩිමනක් පිරිසකට මීටර් නොමැති අතර නැන්දා හයි හීල්ස් පරාජය කරන්නටද හයි හීල්ස් නැන්දා පරාජය කරන්නටද තදින් වලිකනවාය. විනාඩියක් හෝ ඊට ආසන්න කාලයක් බෝල්රූම් ඩාන්ස් එකක් දැමු නැන්දා පරාජය කරමින් හයිහීල්ස් අවසානයේ ජය ගන්නා අතර නැන්දාගේ දෙකකුල් දෙපසට පළල්වී රංගනය අවසන් වනවාය. ලෙඩා මලත් බඩ සුද්දයි ආකාරයෙන් ගේම අතනාරින නැන්දාද කකුල් දෙක එකක් නැගෙනහිරටද එකක් බටහිරටද අංශක හැටකට වැඩියෙන් ඇදී තියෙද්දීද බිම නොවැටී සිටින්නේ දකුණේ දිරිය ගැහැනියක වශයෙන් ලෙහෙසියෙන් පරාජයට පත්වීමට අකමැති නිසාය. 

ගැහැනියකට පිහිටට සිටින්නේ ගැහැනියක්ම යයි පැරැන්නෝ කියනවා ගොඩයා අසා තිබෙනවාය. නැන්දාට සිදුවනට යන අකරතැබ්බය වලකන්නට දිරියෙන් ඉදිරියට එන්නෙ නෑ සනුහරයේම තවත් දිරිය කාන්තාවන් කිහිපයක්ය. දෙයියෝ කොයිතරම් නෝටිදයි දැනෙන්නේ ඉන් අනතුවය. දෙකකුල් අංශක හැටකට වඩා ප්‍රතිවිරුද්ධ දිශාවට පළල්වී, ලංකා ජිම්නාස්ටික් ශූරිය වශයෙන් ඔලිම්පික් යවන්නට ඔන්න මෙන්න සිටිනා නැන්දා බේරාගන්නට සපැමිණෙන කාන්තා පාර්ශවයේ පළමු වැන්නාටද නැන්දාට අත්වූ ඉරණමම අත්වන අතර දෙදෙනාම බෙරාගනට පනිනා ඊළඟ තැනැත්තියද ඔලිම්පික් ශූරතාවයට තමුන්ටද  හිමිකම් ඇතිබව නෑ සනුහරයට පෙන්වා දෙනවාය. එතැනින් එහා කුමන කතාද යාලෝස්... කැරම් බෝර්ඩ් එකේ ඉත්තො ටිකා බ්‍රේක් කරා හා සමානයි කියහන්කො.. එක තත්පරෙන් හතරදෙනාම එක ගොඩේ සට පටාස් දොහ්.. හිච්චි එකා උනාට ඉතින් ඒ කාලෙ හිටන්ම ගොඩයාට අමාරුවෙන්වත් හිනාව නව්ත්තගන්න බෑ. 


කොන්ඩ බෝලද , වයිවාරන සාරිබාරිද, හයි හීල්ද, රත්තරං පාට එල්ලෙන චේන් සහිත පසුම්බිද, කොන්ඩා ලස්සන කරන්න ගහන කොන්ඩා කටුද හත්පොලේය.. ආයේ ඉතින් ලජ්ජාව කියලා මක් කරන්නද කියහන්කො.. ඉතින් කියහල්ලකෝ මුන් වැටුනා කියලා ඒක පිලි අරං කව්රුහරි ඇවිත් නැගිට්ටනකල් ඉන්න එපැයි හත් ඉලව්වේ. ම්හ්..උන් එහෙම නෑය... මුකුත් උනේ නැති ගානට දනිපනි ගාගෙන නැගිටින්න ගියාම වෙන දේ තේරුම් ගැන එවුන්ගේ මොළ වලට ඉස්පාසුවක් කොටින්ම නෑය . ආයෙම ඉතින් පෙර පරිදිම තමාය... ඒ කිව්වේ ඔලිම්පික් සීන් එකය... කකුල් හිතු හිතු පැතිවල යන්නේ ක්ෂණිකයෙන්ය,..සද්දේ හරියටම කරම් බෝර්ඩ් එකේ ඩිස්ක් එක හයියෙන් ගිහින් වදින ශබ්දය ආකාරයෙන්ය.. ඊට මිලි තප්පර ගානකට පස්සෙන් දොහ් ශබ්දයෙන් ඇහෙන්නේ ශරීර ස්කන්දය පොලොව සිපගන්නා ශබ්දයය. ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙන න්‍යාය සිහිපත් කරමින් පොලොව සිපගන්නා අයවලුන් අතට හසුවන සාරි පොටවල්වල මේස කොන්වල එල්ලෙනවාය. ඒ සා පන්චස්කන්දයන් සාරි පොටකට, මේස කොනකට නවත්වන්නට බැරි වග සාක්ශාත් කරමින් සාරිය හැද සිටින්නා සමගින් හෝ සාරි කටු ඉරාගෙන හයි හීල්ස් නැන්දලා පොලොව සිපගන්නවාය. නැතහොත් මේසයේ කොනේ එල්ලී සිටිද්දීම ටයිල් පොලොව දිගේ රූටා යනවාය.

නැන්දලාගෙ විගඩම් කෝලම් බලාගෙන සිටින්නට අපහසු වූ කව්දෝ වැඩිහිටියෙක් මැදිහත්වී ඔය සපත්තු ගලෝලා නැගිටහල්ල හත් ඉලව්වේ කී නිසා අවසානයේ බෝල්රූම් ඩාන්ස් එක අහවර වෙනවාය. ඒ වූ වැඩිහිටියාගේ ඉල්ලීම අහක දමන්නට නොහැකි නිසා සපත්තු ගලවා නැගී සිටියා විනා දකුනේ දිරිය කාන්තාවන් දත් සැට් එකම බඩට යනතුරු ගේම අතනාරින වග ගොඩයා ඉන්තේරුවෙන්ම දන්නවාය. 

කැශුවලිටීස් ඒ වෙලාවේ නොපෙන්වුවාට හතරදෙනාම සෑහෙන්න ඉන්ජර්ඩ්ය. වෛවාරන සායම් උලා හැඩ කරවාගෙන එනු ලද්දාවූ මුහුනු වෙස්මුහුනු වාගේය. සමහරුන්ගේ නලල් තලයේ දොඩම් ගෙඩි තරම් ගෙඩි ඇවිල්ලාය. මුකුත් නොවුනා ආකාරයෙන් සිනාසී සිටින්නට වෙර දැරුවට විරිත්තනවා විනා සිනාසීගන්නට ඉතාමත් අපහසු වග ඉතා හොදින් විද්‍යාමාන වනවාය. වැලමිටි, දනිස් පොල්කටු, අත් වලලුකර ආදිය කුඩේ කුඩු ආකාරයෙන් ගන්න සංසාරයක් නොමැතිවග පෙනෙනාමුත් එව්වා අවුලක් නොමැතිවග පෙන්වන්නට නැන්දලා පට්ට ගේමක් දෙනවාය.  උගත් පාඩම් වලට පින්සිදු වන්නට හෝටලය සෑහෙන්න සාමකාමී වාතාවරණයක් උසුලනවාය. ඒ මන්ද යත්, හයි හීල්ස් ලෑ උදවිය මලාට වාඩි කරවූ පුටුවේම කීකරුව වාඩිවී සිටින්නේ  පුටුවෙන් නැගිට නැවත පටි රෝල් කරගන්නට බැරි නිසාය.

  සියල්ල වසානයේ කොන්ඩා බෝල ටික මාරු හැරගන්නටද   , අස්තානගත්වූ කොණ්ඩා කටු වැනි දෑ සොයාගන්නටද විමෙන්ස් ඔන්ලි  අන්ඩර් කවර් මිෂන් එකක් සිදුකරන්නටද සිදුවෙනවාය. ගලවාගැනීමේ හමුදාවේ පෙරමුණේ රාල නැන්දාගේ දත් සැට් එක සොයාගන්නට සෑහෙන්න කට්ටක් කන්නට සිදුවූ බව අන්ඩර් කවර් මිෂන් එකට සහභාගී වූ කාන්තා පාර්ශවයන් පසු කාලීනව වාර්තා කලෝය.

 එදා නැන්දා ඔසරිය හැද නොසිටින්නට නැන්දාගේ කකුල් දෙක එකක් නැගෙනහිරටද එකක් බටහිරටද පලල් වෙන එක නවත්වන්නට සක්කරයාටවත් බැරිය. එය එසේ වූවානම් අන්ශක එකසිය අසූවටම දෙපසට විහිදුනාවූ නැන්දාගේ කකුල් දෙක නැවත එකතු කරන්නට කරාපිටි ඇඩ්මිට් කරන්නට සිදුවෙනවා සුවර්ම සුවර්ය. 

පේජ් බෝයි වේවැල ගැන නොලියා පෝස්ටුව අවසන් කිරීම අසාධාරණය.

 වැඩින් ෆොටෝව ගැනීමෙන් අනතුරුව ගොඩයා හීන් සීරුවේ රිබන් බෝ එක සහිත පේජ් බෝයි වේවැල කාටත් හොරෙන් හොටලයේ  වෙරල මායිමේ වූ වැටකෙයියා පන්දුරක් අස්සේ ඔබන්නවාය. පේජ් බෝයි කම මතක් වන්නට වේවැල ගෙදර ගෙනයන්නට යයි වැඩිහිටියන් අවවාද කලමුත් එවන් ගොන්කම් කරන්නට තරම් ගොඩයා ගොන් වස්සෙක් නොවේය. ඒ ඇයිද යයි පැහැදිලි කරනවානම්, ගොඩයා ගෙදර ගුඩ් බෝයි තනතුර නිතර  හොබවන නිසා හොද වැඩ සඳහා ඩඩාගෙන් නිර්ලෝභීව ලැබෙනා  පේර කෝටු පාර වෙනුවට පේජ් බෝයි වේවැල  නොමිලේම ආදේශ වන නිසාය. 

42 comments:

  1. ගොඩයා ඇවිල්ලා....ජීවිත කාලයටම මට පේජ් බෝයි කෙනෙකුට තියා දෙවෙනි මනමාලයාටවත් සිටීමට පිනක් පෑදුනේ නැත්තෙ මාගේ රූප සෝබාව නිසාමය 😂

    ReplyDelete
    Replies
    1. දැන්වත් කියනදේ අහලා ඔය කෑම අඩු කරහන්කෝ.. මිනිස්සුත් දෙතුන්පාර බදින එකේ උඹටත් බැන්දා කියලා දෙවැනි මනමාලයාට යන්න බැරිවෙන එකක් නෑ.. සුට්ටක් විතර කෙට්ටු වෙයන් කෑම අඩු කරලා.. එතකොට මනමාලයා එක්ක එක කාර් එකේ උඹව ඔබාගන්න බැරිවෙන එකක් නෑ..

      Delete
  2. කාලෙකට පස්සේ පොස්ට් එකක්.
    වේඩින් විකාරවල මූලාරම්බකයෝ වශයෙන් ගොඩය අය්යගේ නැන්දල සෙට් එකක් ඉඳල තියෙනවනේ. ආඩම්බරෙන් කියන්න පුළුවන් කතාවක්.

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්.. නැන්දැ මේක දැක්කොත් තමා පුතේ ආයේ මූන බලලා හමාරයි..

      Delete
  3. කාලෙකින් ගොඩයා ගොඩ වෙලා,ටෙලියක් බැලුවා වගෙයි .නැන්දලාගෙ ආලවට්ටම් මැවී පෙනුනා.නොම්බර දාගෙන කීයක් ලියන්න ගත්තාද හැම එකේම පලවෙනි කොටස විතරයි කෝ බං අනිත් කොටස්.(එහා ගෙදර ඩයිනා කොටේ,පෙරේරලා තුන් දෙනෙක්......)


    ReplyDelete
    Replies
    1. ඩයිනා කොටේ දෙවනි එකනම් ලිව්වා බන්.. පෙරේරලාගෙ කතාවනම් ලියාගන්න තාම බැරිවුනා..

      Delete
  4. අසූ ගණන්වල කොහෙද බං යකඩ කූරු දාල කරකෝල ස්ටාට් කරන වාහන තිබුනෙ. මංගල රතේ ගෙනාවෙ ඇන්ටික් වාහන කඩේකින්ද?

    ReplyDelete
    Replies
    1. ඇයි හැලපෙ ඒ කාලේ ඒවා කොච්චර තිබුනද...

      Delete
    2. ඉතින් කියහන්කෝ දැන් හැලපේ අයියා කියන්නෙ මං බොරු ලීවා කියලද.. මගේ නේත්තරා දෙක පල්ලා ඒ කාර් කටුව ස්ටාර්ට් කරේ කරකෝලා තමා.. එව්ව බලාකියාගන්නම තමා මාත් ඔව්වයෙ නගින්නෙත්.

      Delete
    3. ඕන් ලොකු පුතා සාක්කි නේහ්..

      Delete
  5. ඇති යංතං තවුසෙට බ්ලොග් කෑල්ලක් තියෙනව කියල මතක් උනා හිටං.

    උඹ මොකටද බං අර මයිනර් අංකලයට බය උනේ. උඹටත් තිබුණෙ බුවාගෙ බෝතලෙන් කට කපල ෂොට් එකක් දාගෙන බල්ලටත් මචං කියන්නනෙ.

    ඇන්ටිලගෙ සීන් එක ගැනනං කතා කරල වැඩක් නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කෑල්ල නම් අමතක වෙලා නෑ බන්.. ටීවී සීරිස් වලට ඇබ්බහි වෙලා කොයිවෙලෙත් ඉතින් ටීවී බැලිල්ල තමා.. එව්වයේ ඉන්න එවුන් හීනෙනුත් ඇවිත් වෙඩි තියන තැනට දැන් වැඩේ සීරියස් කියහන්කෝ.. මේ දවස්වල බලන්නෙ 24 කියන සීරීස් එක.. ඒකෙ ප්‍රධාන නලුවා ජැක් බවර් රෑට හීනෙන් ඇවිත් ත්‍රස්තවාදීන් අල්ලන්න යන්න මටත් කතා කරනවා කියහන්කෝ..

      Delete
    2. 24 අලුත් සිරිස් එකක් ඇවිල්ලද නැත්නම් පරණ එකද බලන්නේ ? ඒ නලුව ඉන්න තව සිරිස් එකක් තියෙනවා designated survivor.

      Delete
    3. Keifer Sutherland හොද නලුවෙක්. මම Disignated survivor බැලුවා ඒක ඇවිල්ලා සුපිරු නිර්මානයක්. දැන් ඒකෙ අලුත් සීසන් එක ඇවිත් තියෙනවා නෙට්ෆ්ලික්ස් එකට ඒත් තාම බලන්න පටන් ගත්තෙ නෑ. 24 එකේ පරන එක මම මේ බලන්නෙ. අලුත් එකක් තියෙනව 24 Legacy කියලා ඒක නම් කොහොමද කියල දන්නෙ නෑ. හැබයි ඒකෙ ඉන්නෙ Kiefer Sutherland නෙවෙයි.designated survivor එකේ අමෙරිකානු ජනාදිපති චරිතයට 100% සාධාරණයක් ඉශ්ථ කරනව Keifer Sutherland. අලුත් සීසන් එක බලන්න ඔනා 24 බලලා ඉවර වෙලා.

      Delete
    4. අඩෝ මම උබට පෙන් එකක් එව්න්නම් මට ටිවි සිරිස් ටිකක් දාලා දියන්කෝ

      Delete
    5. මම ඔව්ව බලන්නෙ ඩවුන්ලොර්ඩ් කරලා නෙවෙයි මෙන්ඩෝ. මම නෙට්ෆ්ලික්ස් හුලූ දෙකටම ගෙවල බලන්නෙ. ටීවී සීරීස් නැව් පිටින් ටොරන්ට් හරහා ඩවුන්ලොර්ඩ් කරන කට්ටිය ඕන තරම් ලන්කාවෙ ඉන්නවා බන්. එලකිරිය පැත්තෙ ගිහින් බලහන් එලකිරි කොල්ලො උඹට නොදී ඉන්න එකක් නෑ.

      Delete
  6. උඹ රත්නපුරේ ආව වගේ මටත් පොඩිකාලෙ රෝස එකක නැගල මගුලෙ ගිය මතකයක් තියෙනව මාතර. අපේ අයිය කෙනෙක්ගෙ වෙඩිමක්. වෙඩිම ගැන මෙලෝ දෙයක් මතක නැතත් වෙහෙරහේනෙ පන්සලට ගියා කියලනං හොඳට මතකයි. ඒ කාලෙ උමං විහාරෙ පිළිම එහෙම හදාගෙන යන කාලෙ.

    ReplyDelete
    Replies
    1. ඒ මගුල ගතපු අයියා මීට අවුරුදු දහයකට වගේ ඉහත හමුදා සේවයෙන් විශ්‍රාම ගියා ඉහලම නිලධාරියෙක් හැටියට. අපි ඒ අයියගේ මගුකට ගියේ රෝසා බස් එකක් හයර් එකට අරගෙන කියලා මතක තිබුනා මදිද බන් මගුලේ විස්තර අමතක උනත්.

      Delete
  7. ගොඩයාට බ්ලොග මතක් කරපු එකාව හොයලා දිපල්ලා ගල්කාලක් කටට වත් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව. මන් හිතන්නෙ ඔය උඩින්ම කමෙන්ට් එක දාල තියෙන චමිල වරුසවිතාන හෙවත් තඩියගෙ කටට තමයි ගල් කාල වක්කරන්න ඔනෙ

      Delete
    2. ගල්... ඈක්ක.. මටනම් ඔය ජරාව පේන්න බෑ.. වෙන බ්‍රෑන්ඩ් එකක්නම් ඕන් කමක් නෑ.. ලන්කාවෙ බ්‍රෑන්ඩ් වලින් මෙන්ඩිස් 5 years එක හෝ රොක්ලන්ඩ් වයිට් රම් එකනම් ඕන් අවුලක් නෑ..

      Delete
    3. ම්හ්.. තඩියාටවත් බැරිවුනා මේ වතාවෙ බ්ලොග් ලිවිල්ලා පට්ටල් කරන්න..

      Delete
    4. පලයන්න බ්‍රැන්ඩ් එක ගල්

      Delete
  8. ගොඩයො,VA එකෙන් ගහන තැඹිලි වොඩ්කා එක මරු බං

    ReplyDelete
    Replies
    1. වෙලාවක ටෙස්ට් කරලා බලන්නම්කො. වොඩ්කා කියන්නෙ තනිකර ස්පිරිට් නිසා බිව්වාම ආමාශෙ දැවී අලුවී යන තරම් බන්.

      Delete
  9. අපිත් මගුල් ගෙදර ගියා වගේ දැනුනේ...

    ReplyDelete
    Replies
    1. හයි හීලස් දාගෙන යනවා වගේම දැනෙන්න ඇති නේහ්... හා හා හා...

      Delete
    2. පිස්සු කතා කියනවද.. ගෙදර හරියක හයි හීල්ස් බෙහෙතකටවත් හොයාගන්න නෑ....

      Delete
  10. මාත් ඔහොම වේවැල අරගෙන පේජ් බෝයියෙකුට ඉදල තියෙනවා. අපේ පුංචිගේ වෙඩිමට. ඊට එහා දෙයක් වෙඩිම ගැන මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. අමාරුම දේ තමා ඔය වේවැල පරෙස්සම් කරගන්න එක ෆොටෝ එක ගහනකල්. සම වයස් එවුන් ඉලක්කෙ ගන්නෙම වේවැලට විදින්න.. ඕක නැතිකරගත්තා කියන්නෙ ඉතින් වෙඩිම මැද්දේ ගුටි කන්න වෙන අවදානම් තත්වයක.

      Delete
  11. දිගට ලිව්වට එක හුස්මට කියෙව්වා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කිඹුලී..

      Delete
  12. අහ්...කාලෙකින් ඇවිත් මගුලක් කියනවා...නෑ..නෑ.
    .මගුලක් ලියලා....එල හොදේ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරිදු.

      Delete
  13. අඩෝ බඩ රිදෙනවා හිනා එලා...මට මැවිලා පෙනවා..නැන්දලා ටික නැගිටින්න හදන හැටි....පහුගිය කාලේ බ්ලොග් අතෑරුනා ආයමත් ඩිගටම එන්න ඔනේ බන්

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් මෙන්ඩා දෙදරු පියා නිසා වැඩ එහෙමත් වැඩි ඇති නේහ්.. ලමයි දහයක් ලැබුනත් උඹට බ්ලොග් කියවිල්ල අතාරින්න බෑ මෙන්ඩෝ..

      Delete
  14. අම්බෝහ් කාලෙකින්...නිකමට පුරුද්දට ඕපන් කලේ මේන් තියෙනව කතාවක් දිලිසි දිලිසි ....මටත් තියෙනවා වේවැල් පේජ් බෝයි මතකයක් ලාවට වගේ ඒ වේවැලෙන්ම ගුටිත් කාලා ඇති අම්බානට අන්තිමේ මමම ඒකේ අග්ගිස්සේ ඉදන් පොඩ්ඩ පොඩ්ඩ කඩලා අන්තරස්දාන කලා වගේ මතකයි.. නැන්දලා සෙට් එක ආයෙත් හීල්ස් දිහා බැලුවේවත් නැතුව ඇති නේද අය්යණ්ඩි මේ වෙච්චි අලකලංචියෙන් පස්සේ....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය නිසා තමයි පේජ් බෝයි වේවැල එදාම අස්ථානගත කලේ..
      ඒ කාලෙ හෝටල්වල වැඩින් බොහොම විරලයි බන්.. ඒ නිසා ඊට පස්සෙ නැන්දලාට ඒ ප්‍රශ්නයට මුහුනදෙන්න සිද්ද උනේ නෑ.. බාලම නැන්දත් මීට මාස කීපයකට උඩදී හැට සම්පුර්න කරලා පෙන්ශන් ගියා.. අනික් නැන්දලා දෙන්නටත් දැන් වයස හැත්තෑව අසූව ලං කරලා නිසා හයි හීල්ස් වගේ අවදානම් මෙවලම් භාවිතා කරන්නෙ නෑ.. ඒ කාලේ උන්දැලා බොහොම තරුණයි නෙව..

      Delete