Thursday, February 6, 2020

බිබික්කං සිරා..




සිරා කිව්වාම මේ බ්ලොග් කොටේ කියවන හැම හැමදෙනාටම අමුතුවෙන් අඳුන්වලා දෙන්න ඕන චරිතයක් නොවෙයිනේ. සිරා ඉතින් දන්නා කියන කාලේ හිටන්ම කරොත් කරන්නේ සිරා වැඩම තමයි. හැබැයි ඉතින් ගෙදරට සාන්ත දාන්ත තීන්ත කූඩුව උනාට එලියට බැස්සාම ඉතින් සිරා එක්ක එකට යන එවුන්ගේ පටි රෝල් කරන්න සිරා දෙපාරක් හිතන්නේ නැති තරම්.

ව්‍යාපාර වැඩ වලදී සිරා අංක එකටම දක්ෂයා වගේම කරනා කියන ඕනෑම ව්‍යාපාරයකින් ලාභයක් ලබන්න සිරා උපන් හපන් දක්ශයා. ව්‍යාපාර කෙරුවාවේදී අදාළ වෙළඳ භාණ්ඩයට ගැලපෙන ගැනුම් කරුවාගේ සාක්කුවෙන් ලාච්චුවට සල්ලි අදින්න සිරාට තියෙන්නේ බොහොම දක්ෂ ඉවක්. ඒ වගේම සිරා සීසනල් බිස්නස් වලටත් දක්ෂයා කිව්වොත් තමයි නිවැරදි. හැබැයි කොයිතරම් ව්‍යාපාරයේහි කපටි වුනත් සිරා වියදම් කරන්න ගියාම කවදාවත් කකුල පස්සට තිබ්බේ නෑ. හැබැයි ඉතින් සිරාගේ එදත් අදත් තියන එකම වරද නම් අනෙකාගේ අමාරුකම තේරුම් ගැනීමට තිබෙනා නොහැකියාවම තමා.

ආයෙත් සිරා ගැන ලියන්න ඕන කියල ගොඩයාට හිතුනේ සිරාගේ කතාන්දර ලියල නිම කරන්නට බැරි නිසාත් එව්වා නොලියා තැබීම සිරාට කරන අගෞරවයක් නිසාත්. අද උදේ ගොඩයා වැඩට යන්න ඇහැරිලා ෆෝන් එක බලද්දී මෙන්න බොලේ සිරාගෙන් මිස් කෝල් බර ගානක්. සිරා කෝල් එක ගහන්නේ මොකක් නමුත් ආතල් වැඩක් සෙට් උනාම හෝ කව්රු හරි මිත්‍රයෙක්ව ගොනාට අන්දලා ගොඩයාට බන්නලා වගේ දිය යටින් ගින්දර ගෙනියන වැඩවලට තමා බහුතරයක් වෙලාවට. සිරාගේ වෙළඳසැල කියන්නේ යාලු මිතුරු හැමෝම ටවුමට ආවොත් අනිවාර්යෙන් ගොඩ වදින තැනක්. ඒ වගේ මිත්‍රයෙක් කඩේට ආවාම සිරා කරන මජරම වැඩේ මොකක්ද කියනවනම්, පළමුව කරන්නේ කඩේට ගොඩ වෙච්ච එකා පට්ටෙට තරහ එකෙක්ව මතක් කරන එක. ඊළඟට අර අසරණයාව උගේ තරහ කාරයාට අම්මමෝ නැතුව බනින තැනට කතාව අරගෙන ගිහින් සිරා කරන්නේ එක්කෝ ෆෝන් එකේ වීඩියෝ රේකොඩින් එකක් ගන්න එක. නැත්තම් කරන්නේ අදාළ පුද්ගලයාට ලයිව් වීඩියෝ කෝල් එකක් ගන්න එක. සිරා කව්ද කියල යාලු මිත්‍ර හැමදෙනාම දන්නා නිසා කව්රුවත් කඩු පොලු අරගෙන මරාගන්න යන්නේ නැති නිසා සිරා අදත් ඒකාගේ විනෝදාංශ කටයුතු රිසිසේ කරගෙන යනවා කිව්වොත් තමයි ඇත්ත.

සිරා වෙළඳ ව්‍යාපාර වලට දක්ෂයා නිසා සිරා ගොඩයාට පෙරලපු තඩි බාල්දියක් ගැන තමයි මේ ලියන්න යන්නේ. මේ කියන කාල වකවානුව  ගොඩයාගේ මතකයේ හැටියට දෙදහ දශකය වගේ විය යුතුයි. ඒ කාලේ සිරාගේ වෙළද ව්‍යාපාරය කරගෙන යන අතරේ තව තවත් ව්‍යාපාර අවස්ථාවන් දිහාවට සිරා හොස්ස පොවනා කාලයක්. ඔය අතරේ තමයි සිරා සිංහල අවුරුද්ද කාලය අල්ලලා සීසනල් බිස්නස් එකක් පටාන් ගන්නේ. බිස්නස් එක බොහොම රසවත් බිස්නස් එකක් වගේම සිංහල අවුරුදු කාලෙට හොඳ ගානක් උපයන්න පුළුවන් කරුමාන්තයක්. වැඩිය අටුවා ටීකා නැතුව කියනවනම් සිරා සයිඩ් බිස්නස් එකක් විදිහට පටාන් අරං තියෙන්නේ කේක් කඩයක්.. කේක් කඩයක් කිව්වේ කිලෝ ගානට කේක් විකුණන කඩයක්. සිරා කොච්චර දක්ෂද කියනවනම් බස්නැවතුම්පොල ඉදිරියේ කඩ කාමරයකුත් කුලියට අරගෙන, ගෑල්ලමයි දෙන්නෙකුත් වැඩට අරගෙන හෙන සිරාවට කේක් විකුනනවා කියහල්ලකෝ.. විකුනනවා කිව්වට සිරා කේක් කඩේ පැත්ත පලාතක නෑ. 

වැඩට ගත්තු ගෑල්ලමයි දෙන්නා සිරාට එහා.. කේක් එංගලන්තෙන් ආනයනය කරපු ගානට තමා උන් දෙන්නත් කස්ටමර්ස්ලාට කේක් ගැන වර්නනාව . සිරා කරන්නේ කේක් ටික සප්ලයි කරලා හවසට ගණුදෙනු බේරාගන්න එක පමණයි. ඒ ඇරුනාම සිරා තමුන්ගේ ප්‍රධාන වෙළඳ ව්‍යාපාරය එක්ක දවස පුරාම බිසී.. ඒත් ඉතින් සිරාගේ රියල් ටයිම් ඇන්ටෙනාව  කේක් කඩේ දිහාවටත් දාගෙන ඉන්න සිරා දක්ෂයි. ගොඩයා එක්ක සිරා ඒ වෙද්දී කියපු කරුණු කාරනා අනුව කේක් හදන මුදලාලි සිරාගේ කඩේටම කේක් සපයන නිසා සිරාට තියෙන්නේ විකුනලා ලාභය සාක්කුවේ ඔබාගන්න විතරයි. ඒ වෙද්දී කේක් කඩ බර ගානක් අම්බලන්ගොඩ නගරයේ තිබ්බත් සිරාගේ කේක් කඩෙත් හවස් වෙද්දී ගෑනු උදවිය පොරකනවා කේක් ගන්න. ඒ දැක්කාම ගොඩයාට හිතෙන්නෙම යකඩෝ මුන් තුන් වේලටම කන්නේ කේක්ද කියලා උනත් අපේ එකාගේ ව්‍යාපාරය නිසා ගොඩයා අමාරුවෙන් හිතට කියනවා, මිනිස්සු තුන් වේලම කේක් කන එක හොඳයි දෙයියෝ කියල.

ඔන්න සිංහල අවුරුද්දත් ලංවුනා කියමුකෝ.. හෙට සිංහල අලුත් අවුරුදු කියලා හිතුවොත් අද ඒ කියන්නෙ අප්‍රියෙල් දහ තුන දවසක උදේ පාන්දර කුකුලා මල්ලේ දාගෙන සිරා දුරකතනයෙන් අමතනවා ගොඩයාට..

හෙලෝ.. 

උඹ කොහෙද.. කතරගමද ගෙදරද...

ගෙදර... නිදාගන්න දියන්කෝ වද නොදී...

පොඩ්ඩක් වාහනේ අරං වරෙන්කො පොඩි ගමනක් ගිහින් එන්න..

මේ උදේ පාන්දර... නිදාගන්න දියන්කෝ වද නොදී..

පොඩි හදිසියක් බන්.. ඉක්මනට වරෙන්කො..

මොකද හදිසිය කියහන්  බලන්න..

ඉක්මනට වරෙන්කො.. කිය කිය ඉන්න වෙලාවක් නෑ..

එහෙම කියල සිරා දුරකතනය විසන්ධි  කරා.. කොච්චර උනත් යාලුවානේ කියලා ගොඩයත් නිදි පදුරෙන්ම ඇඳෙන් පැනලා, ඇඳන් හිටපු සරම පිටින්ම වෑන් කටුව අරං සිරාගේ ගෙදරට ඉගිල්ලුනා.. සිරා එහෙම හදිසි වැඩ වලට දුරකථන ඇමතුම් නොදෙන නිසා අනික් පැත්ත හැරිලා නිදියන්න ගොඩයාට හිත දුන්නේ නෑ කියමුකෝ.. ඔන්න ගොඩයා විදුලි වේගයෙන් ගිහින් සිරාගේ ගෙදර තාප්පේ ගාව වෑන් එක නවත්වනවා.. මෙන්න යකඩෝ අච්චර හදිසියි කිව්වා එකා අවුරුදු කුමාරයා වගේ සැරසිලා ලැසි ගමනින් ගෙයින් එලියට බැහැලා වාහනේ දිහාවට එනවා.. ඒ ඇවිත් මුකුත්ම කතා නොකර වාහනේ ඉස්සරහ සීට් එකටත් ගොඩ වෙනවාත් කියමුකෝ..

මොකෝ බන්.. මොකක්ද හදිසිය..

යමන් පොඩ්ඩක් මතුගමට ගිහින් එන්න..

මොකක්... මතුගමට... මෙහෙම.. උඹට පිස්සුද...

යමු ඉතින්...

සිරා වාහනේ ඉස්සරහ සීට් එකට නැගලා යමු කියන්නේ උගේ වාගනේ ගොඩයා ඩ්‍රයිවින් කරන ගානට.. ආන්න එතකොට තමයි ගොඩයාට හිතෙන්නේ ඉස්සරහ දොර ඇරලා, සිරාව එලියට විසික් වෙන්න පයින් අනින්න..

මං ඊයේ රෑ නිදාගත්තු සරම පිටින් බූරුවෝ... මෙහෙම මතුගම යන්න පුලුවන්ද... මොකද්ද හදිසිය..

යමන් බං ඉක්මනට .. පොඩි හදිසියක්..

ඉතින් කියහන් මොකක්ද හදිසිය..

යන ගමන් කියන්නම් යමන් ඉක්මනට..

නිදි ඇඳෙන් බිමට පැනලා දුවගෙන ආපු ගොඩයා ඔන්න රථය පදවාගෙන ඉදිරියට යනවා..

කියහන් මොකක්ද හදිසිය..

අද කේක් ගේන වෑන් එක එන්නේ නෑලු බන්.. අද හොඳටම බිස්නස් තියෙන දවස.. කඩේ අද දවල් වෙද්දී විකුනන්න කේක් නෑ..

දැන් උඹ මට මේ නිදි පැදුරෙන් හදිසියක් කියල ගෙන්නගත්තේ කේක් අදින්න යන්නද බූරුවෝ.. දැන් උඹ කියන්නේ මිනිස්සු අදින වාහනේ කේක් තැටි පටවන්න කියලද..

කේක් තැටියක් දෙකක් පැටෙව්වට මොනවා වෙනවද බං.. කේක් ගෙන්න යන්න කිව්වනම් උඹ එනවද... නෑනේ.. නෑනේ... හහ් හහ් හා...

ඔන්න සිරාගේ උත්තරේ.. ගොඩයත් ඉතින් නිදි පැදුරෙන් වාහනේ එලවාගෙන මතුගම දිහාවට ඉගිල්ලෙනව සිරාගේ කේක් මරාලෙන් ඉක්මනට බේරෙන සිතුවිල්ලෙන්.. කොහොමින් කොහොම හරි මතුගමටත් ආව කියමුකෝ... කේක් පැට්ටේරිය තියෙන්නේ මතුගම කියල කිව්වට මතුගමත් නෙවෙයිලු බොලේ.. ඊටත් එහා හද්ද මූකලානක.. ගොඩයාත් උදේ පාන්දර ජංගම දුරකථනය ආන්සර් කරපු පවට සාප කර කර දන්නා කියන කුණුහරුප සියල්ලෙන්ම සිරාට අමතගෙන වාහනේ පදවාගෙන සිරාගේ කේක් පැට්ටේරියට එනව..  

වාහනේ එනකල් සිරා හෙන සිරාවට පුරාජේරු කියපු කේක් පැට්ටේරිය ගොඩයා හිතුවේ නිදහස් වෙළඳ කලාපේ වගේ හෙන ලොකු බිල්ඩින් තියෙන ලොකු හයිෆයි පොශ්  තැනක් කියලා උනත් තැනට ආවම තමයි ගොඩයා තේරුම් යන්නෙ කේක් පැට්ටේරිය සිරා කියන තරම් එකක් නෙවෙයි ටිකක් ප්‍රමානයෙන් විශාල බේකරියක් කියල.. ඒත් ඉතින් ගොඩයාට කේක් පැට්ටේරියේ සයිස් එක අදාළ නෑ. ගොඩයාට අදාළ ගෙනියන බිබික්කමක් ඉක්මනට වාහනේට දාගෙන අම්බලන්ගොඩ යන්න. ඒත් වාහනෙන් බැහැල ගිහිපු සිරා එන පාටක් නම් පෙන්න නැති නිසා ගොඩයා යනවා වාහනෙන් බැහැලා කේක් පැට්ටේරිය ඇතුලට.

මෙන්න බොලේ සිරා කිසී.....ම හදිසියක් නැතුව බේකරියේ තියන දඬු මේසෙකට හේත්තු වෙලා හෙන කූල් කයියක්.. යන්න කිසී.....ම කලබලයක් නැති ගානයි.. ඔන්න ගොඩයාගේ ඉවසීම අහවර වෙනව..

මොකෝ බන් කරන්නේ.. කෝ කේක්.. පටවහන් ඉක්මනට..

කේ...කේ....කේ....

ගොත ගහන්නේ නැතුව කියහන්කෝ.. කෝ කේක්...

කේක් තාම හදනවා බන්.. හදල ඉවර වෙනකල් ඉන්න වෙනවා..

අනේ ඉතින් ගොඩයා කාපු ලණුවේ බරපතලකම ගැන හිතන් සාප කර කරා ගොඩයා ආයෙත් ඇවිල්ල වාහනේට නැගල කාලය මරනවා.. කොහොමින් කොහොම හරි තත්පර විනාඩි වෙලා විනාඩි පැය වෙලා දවල් දොළහ වෙද්දී සිරා ගොඩයාගෙන් නැවකට කුණුහරුප අහල අහවරයි.. උදේට දත් ටිකවත් මදින්නේ නැතුව රෑ නිදාගත්ත සරොම පිටින් ඉන්න ගොඩයාට උදේ ආහාරය විදිහට බනිසක් දෙකක් නම් සිරා ගෙනල්ල දුන්නා උනාට ඉතින් සිරා දකින දකින වාරයක් ගානේ සුද්ද සිංහලෙන් ඇමතීම නම් අඩුවක් උනේ නෑ..

දවල් දොළහමාර එක වගේ වෙද්දි වෙද්දී කේක් ටික වාහනේට පැටවුණා කියමුකෝ.. කේක් කිව්වට අන්න කේක්.. බේකරියෙන් බාපු ගමන්.. වාහනේ සීට් උඩද යටද සෑම අස්සක් මුල්ලක් නෑරම එක පිට එක කේක් තැටි කියහන්කෝ.. වාහනේ කොච්චර පැක්ද කියනවනම් හදිසියකට බ්‍රේක් පාරක් ගහන්නත් බයයි කේක් ලෝර්ඩ් එක ඉස්සරහ වීදුරුව කඩාගෙන එලියට පනින සයිස්..  මතුගම අලුත්ගම පාර ඒ කාලේ තත්වය සෑහෙන අබලන් වගේම වල ගොඩැලි අනන්තයි. ඒ හින්ද ගොඩයා වාහනේ පදවන්නේ තිහට හතලිහට..

ඉක්මනට යමන් බන්.. කඩේ කේක් ඉවරයිලු..

මගෙන් මැරුම් නොකා හිටහන්.. ලොරියක කේක් වෑන් එකක පටෝල උඹ මට දැන් කියන්නේ ඉගිල්ලෙන්න කියලද.. මේකෙ දුනු ටික කඩාගෙන බිම පහත් වෙන්න නොදී උඹේ කේක් මරාලේ කඩේට ගෙනිහින් දෙනකල් ඉවසගෙන හිටහන්..

ටිකක් හයියෙන් ගියා කියලා මක් වෙනවද බං.. ටිකක් පාගලා යමන්..

පාගනවා මං උඹේ බෙල්ල දැනගනින්... හදිසියි නං කේක් තැටි ටික කරේ තියන් දුවහං..

දැං උඹට කේක් පටෝනකං තිබ්බ හදිසිය නෑනෙ කේක් ටික පැටෙව්වහම..

යකෝ.. ලොරියක පටවන්න ඕන ලෝර්ඩ් එකක් පොඩි වෑන් එකක පටවගෙන අසූවට සීයට යන්න බෑ බූරුවෝ... දුන්නක් කඩලා ගියොත් හරි ටයර් එකක් පිපිරුවොත් හරි උඹට කේක් විකුනන්න වෙන්නෙ පාරෙ තියාගෙන තමා.. ඉවසගෙන හිටහං..

වෑන් එකේ කේක් කොච්චර පටවලාද කියනවානං, වාහනේ පිටිපස්ස කොන බිම ගෑවෙන තරම් කියහන්කො. ඒ මදිවට බේකරියෙන් බාපු ගමන් පටවපු කේක් තැටි වලින් එන රස්නෙ හරියටම කියනවනම්, ගොඩයාට දැනෙන්නෙ තඩි අවන් එකකට රෝද හතරක් හයි කරලා එලවගෙන යන ගානට..

ඒසී දාපන් මේකෙ..

දාල තමා බූරුවෝ තියෙන්නෙ..

කෝ සීතල නෑනේ.. උඹේ මේ මගුලෙ ඒසී වැඩ කරන්නෙ නෑ මං හිතන්නේ..

උඹ මගේ වාහනේ කේක් පැටෙව්ව මදිවට දැං අපහාස කරන්නත් එනවද බූරුවෝ..  බලහන් පිටිපස්ස හැරිලා උඹේ මේ බිබික්කං තැටි ලෝර්ඩ් එක ගිනිගහන රස්නෙයි බේකරියෙන් බාපු ගමන් නිසා.. 

ඉතිං කේක් තැටිවල රස්නෙයි ඒසී එකෙන් එන සීතලයි අතරේ තියෙන සම්භන්දෙ මොකක්ද බං..

නෑ ... කොහෙත්ම සම්භන්ධයක් නෑ.. වාහනේ සීතල නොවෙන හේතුව කියල දෙන්න උඹ වෙනම වෙලාවක වරෙන් මං උඹට ඔටෝ ඒසී පාඩමක් වෙබම උගන්නන්නම්.. එතකං උඹ මට කියලා කට තලාගන්නේ නැතුව පාඩුවේ පල...

ඕං සිරා ඒ ගමන ඉස්සරහ වීදුරුව ඇරගන්නව.. ඒ අතරේ සිරාට දිගට හරහට කෝල් එනවා කේක් කඩේ කෙල්ලන්ගෙන්.. ගොඩයාට ඇහෙන විදිහට අම්බලන්ගොඩ තඩි කේක් හිඟයක් ඇතිවෙලා ගානයි..

ඕන් සිරාගෙ දාහක් කුනු කතා අහගෙන ගොඩයා වෑන් කොටේ දක්කනවා අම්බලන්ගොඩ බලා.. අහින්සක ආකාරයෙන් ගෙදර නිදාගෙන හිටපු ගොඩයාව, බොරු කියලා ඇහැරගෙන ආවා උනාට දැන් සිරා කතා කරන්නෙ උගේ කේක් කඩේ කේක් අදින්න ගොඩයා බලෙන් ආපු ගානට. එව්ව ඇහෙද්දි ගොඩයාට සිරාගෙ හොම්බට අනින්න හිතුනට දැන් එව්වා කතා කරලා පලක් නැති නිසා ගොඩයා නිහඬවම ගමනාන්තයට ලඟා වෙනවා. වෙලාව හවස හතර වගේ ඇති කියමුකෝ..

ගොඩයා වැඩේ සිම්පල්ව හිතුවට වැඩේ ටිකක් සිරා කියලා ගොඩයාට වැටහෙන්නෙ සිරාගෙ කේක් මාලිගාව ලඟට කිට්ටු වෙද්දි. මෙන්න යකඩෝ ගෑනු මිනිස්සු සීයක් විතර සිරාගෙ බිබික්කං කඩේ ලඟ පෝලිමේ.. ඒක දැක්කම ගොඩයාට නං හිතුනෙම මුං සිංහල අවුරුද්දට තුන්වේලටම කන්නෙ කේක්දෝ යකෝ කියලා.. ඒත් ඉතිං පාඩුවේ නිදාගන්න බැරි මදිවට වැඩි මනුස්සකමට ෆෝන් එක ආන්සර් කරලා කාපු පරිප්පුව තව විනාඩි දහයෙන් ඉවරයි නේදෝ කියලා ගොඩයා සැනසුම් සුසුම් හෙලනවා..

ඕන් ගොඩයා පරෙස්සමට වාහනේ සිරාගෙ කේක් මාලිගාව අයිනෙන් නවත්වනවා කියමුකෝ.. දැං තියෙන්නෙ වාහනේ පුරා පරෙස්සමට අසුරලා තියෙන සිරාගෙ බිබික්කං තැටි ටික වාහනේට හානියක් නොවෙන විදිහට බාගන්න දෙන්න. වෑන් එකේ පිටිපස්ස කොටසේ ආසන උඩයි, යටයි, ඩ්‍රයිවින් සීට් එක ගාවටම වහලෙ ගෑවෙන්න පුරවලා තියෙන තැටි ටික පරෙස්සමෙන් එලියට අරං නොදුන්නොත් ආයෙ දෙකක් නෑ වාහනේ සීට් ටිකයි ඇතුලෙ බොඩියයි සිරා විනාස කරලා දානවා කියලා ගොඩයා ඉන්තේරුවෙන්ම දන්නව..

බිබික්කං තැටි ටික කඩේ ඇතුලට බාවි කියලා හිතුවට සිරා ඒ තරං ගොඩයා ගැන හිතුවෙ නෑ කියහංකෝ.. සිරාට හපන් සිරාගේ කඩේ වැඩට අරං ඉන්න කෙල්ලෝ දෙන්න.. වාහනේ නැවැත්තුවා විතරයි කඩේ කෙල්ලො දෙන්න  වෑන් එකේ පිටිපස්සෙ දොරෙන්ම කස්ටමර්ස්ලාට බඩු විකුනන්න ගත්තා කියහංකෝ.. අර කිව්ව තුන් වේලටම කේක් වලින් අවුරුදු කන එවුන්ටත් ඉවසිල්ලක් නෑ කේක් ටික කඩේට බාලා පිලිවෙලකට දෙනකල්.. කේක් වලට කොයිතරම් ඉල්ලුමද කියනවනං, පැය ගානක් කට්ට වලඳලා ගෙනාපු කේක් ලෝර්ඩ් එක විනාඩි හතලිස් පහක් යද්දි වෑන් එකේ තියාගෙනම සිරාගේ කඩේ වැඩට ඉන්න යක්සනියෝ දෙන්න විකුනලා හමාරයි.. ආං වැඩට ගන්නවනං කෙල්ලො..  මලමිනියක් දුන්නත් උං දෙන්නා විනාඩියෙන් දෙකෙන් විකුනනවා අනිවා..


හහ් හහ් හා.. කොහොමද වැඩේ.. බඩු ඉවරායි.... අප්පද බොල සිරාගෙ සන්තෝසෙ කට දෙකොනින් බේරෙනව..

ඇති යාන්තං.. මං එහෙනං යන්නං සිරෝ..

කොහේ යන්නද බං... ආයෙ යමං මතුගම..

මොකක්.. බොට මෝල්ද යකෝ.. ගෙදරින් දැං කෝල් සීයක් විතර ගැහුවා නිදිපැදුරෙං කොහේ ගියාද කියලා අහලා..

අනේ බං මාව අමාරුවේ නොදා හොඳ එකා වගේ යමංකො තව ලෝර්ඩ් එකක් ගේන්න.. කෙල්ලො මිනිස්සුන්ගෙං ඇඩ්වාන්ස් අරගෙන.. හෙට උදේට තව කේක් ටිකක් දෙන්න තියෙනව..

ඉතිං වෙන වාහනයක් හයර් එකට අරං පල..

අනේ බං දැං කොහෙන්ද වාහන හොයන්නෙ.. උදේ වගේ පරක්කු වෙන්නෙ නෑ.. ගියා පටවගත්තා.... ආවා.. කේක් ටික රෙඩි වෙලා තියෙන්නෙ..

ඔව් ඔව් මං දැක්කා උදෙත් රෙඩි වෙලා තිබ්බේ... මටනං බෑ රජෝ.. වාහනෙන් බැහැපං මට යන්න.. බලහං මේ වාහනේ හැටි උඹේ බිබික්කං තැටි පටවලා..

අනේ බං යමංකෝ... ගියා පටවගත්තා.. ආව...

ගොඩයාට ඒ කාලෙ තිබ්බ පොඩි අසනීපයක්. ඒ තමා බෑ කියන්න බැරි අසනීපය.. දැං වෙද්දිනං ඒ අසනීපය සියයට පනහක් විතර සුව අතට හැරිලා.. ඒත් ඉතිං තාමත් ගොඩයා ඔය වාගේ පරිප්පු කනවා යාලුමිත්‍රයන්ගේ, ඥාතීන්ගේ හිත රිදවන්න බැරි කමට.. ඒ කාලෙ ඔය අසනීපය උත්සන්න කාලය නිසා ගොඩයා අකමැත්තෙන් සිරාට එකඟ වෙන්වා ආයෙමත් අගලවත්තෙ ගිහින් එන්න.

 ඒ වෙද්දිත් ගොඩයාට ගෙදරින් දුරකථන ඇමතුම් සීයක් දෙසීයක් ඇවිත් තිබුන නිසාත්, ගෙදර විධායක බලතල හිමි  පාලනාධිකාරිය හෙවත් ආදරණීය ඩඩා විසින් රතු නිවේදනය නිකුත් කරලා අහවර නිසාත්, තව එක ගමනක් අගලවත්තෙ ගියාට දඬුවමේ වෙනසක් නොවෙනා වග සක්සුදක් සේ පැහැදිලි නිසාත්, ඒ සියල්ලම එක්ව ගත්කල ආසනය අහිමිවීම, ඒ කිව්වේ අවුරුදු කෑම මේසයේ ආසනය අහිමි වීම පැහැදිලි සත්‍යයක් නිසාත්, ඒ වෙලාවේ ගෙදර ගියා කියලා ගොඩයාගේ පුද්ගලික ජීවිතයට වෙච්ච ඩැමේජ් එක ආපස්සට යවන්න බැරි නිසාත්, තව වතාවක් අගලවත්තේ ගියා කියලා ගොඩයාට අමුතුවෙන් නැතිවෙන්න දෙයක් නෑ..  පැරැන්නෝ කියලා තියෙනවනේ නාහෙට උඩින් වතුර අඟලක් ගියත් එකයි හැතක්මක් ගියත් එකයි කියලා. ආන් ඒ වගේ තමා.

සිරා කියන විදිහට මේ වතාවේ කලින් වතාවේ වගේ නෙවෙයි. කේක් ඔක්කොම හදල තියෙන නිසා ගියා පටවගත්තා ආවා. උපරිම ඕනෙනම් පැය දෙකහමාරේ වැඩේ. ගොඩයා කලිනුත් සිරාගේ පරිප්පු නැව බාපු නිසා මේ වතාවේ පැය දෙකහමාරට පැය පහක්ම තියලා හිත හදාගෙන පිටත් වෙනවා රෑ දහය වගේ වෙද්දී ගෙදරට රපොර්තු කරගන්න පුළුවන් වෙයි කියලා හිත හදාගෙන. ඒ වගේ සිටුවේෂන් එකක් එක්ක කලින් ගෙදර යනවට වඩා පහසුයි ඩඩා ඇඳට වැටුනට පස්සේ ගෙදර යන එක. නැත්තං හත් ඉලව්වේ කඩ කැඩිච්ච කතා දාහක් අහගෙන, උපන්දා හිටං කරපු තක්කඩි වැඩ සියල්ලම නැවතත් ස්මරණය කරවාගෙන, කෝටියක් බැනුම් අහගෙන රෑ වරුව ගතකරනාවාට වඩා සැපයි ලිඳේ පැනලා මැරෙන එක.. ඒ ඔක්කොමත් හරි අපේ ඩඩා මූණ පුළුටු කරගෙන බුම්මගෙන ඉන්නවා බලන එක ඊට වඩා සෑහෙන වේදනාකාරියි. එහෙව් වෙලාවට ඉතින් ගෙදර සැමටම ඩඩා බෙදන්නේ ගොඩයාට බෙදන හැන්දෙන්ම තමා. එහෙව් වෙලාවට ඉතින් ගොඩයාගේ සහෝදරියන්ගෙනුත් දෝස්මුරේ ගොඩයාටම තමා.

ඕන් සිරාගේ සිරා කතා දාහක් අහගෙන කේක් පැට්ටේරියට ආව කියමුකෝ.. ගොඩයා කෙලින්ම වාහනේ රිවස් කරලාම පාර්ක් කරා හනික ගම රට බලා යන්න ඕන නිසා. ඕන් සිරා බැහැලා යනවා කේක් පැට්ටේරියේ අයිකාරයා වගේ. හිතේ අමාරුවටයි, නිදි පැදුරෙන් ඇවිත් කාපු පරිප්පුව නිසාත්, දතකට මැදගන්න බැරුව තියෙන අප්පිරියාව නිසාත් ගොඩයාට  පොඩි නින්දක් යනවා රියදුරු ආසනයේම..

ගොඩයා ඇහැරෙද්දි රෑ හත විතර වෙලා කියහංකෝ.  හද්ද මුකලානක තියෙන බේකරියක අගුවක ගොඩයා තනියම කියහංකෝ.. ඒ කියන්නෙ සිරා තාම ඇවිත් නෑ.. ඕං ගොඩයාට මල පනිනවා අසූ හාරදාහටම. ගොඩයා බැහැලා යනවා සිරාව හොයාගෙන.. මෙන්න යකෝ මූ බේකරි බාස්ලා වටකරගෙන බිස්නස් කොන්ෆරන්ස් එකක්..

කෝ යකෝ කේක්..

අ.. අ.. අ... අපේ... අපේ ඕ...ඕ... ඩර් එක තමා දාන්නේ..

ඒ කියන්නෙ තාම කේක් රෙඩි නෑ..

න්..න්...නෑ බං... හෙට අවුරුද්ද නිසා පෝ ..පෝ... පොඩ්ඩක් බිසීලු..

එහෙනං උඹ එද්දි කිව්වෙ කේක් රෙඩී කියලා..

න්...න්...නෑ බං.. ඒ...ඒ.. කේක් ටික අපි එන්න කලිං වෙන ඒජන්ට් කෙනෙක් අරං ගිහිං...

ඒ කියන්නේ ආයෙත් මෙතන තපින්න වෙනවා කේක් හදන්කල්...

හරි බං.. ඔය නිදාගත්තා වගේ ආයෙ ඇලර්ට් එකක් දාපං... මං රෙඩි උනගමන් උඹට ඇහැර්වන්නං..

ගොඩයා ආයෙ උත්තර දුන්නෙ නෑ.. උදේ කාපු ලනුව කඹයක් කරගෙන ගොඩයාම නැවත වලඳලා අහවර නිසා ගොඩයා ආයෙම වාහනේට ඇවිත් කාලකන්නිකමට සම වදිනව..

ඕං ඔය විදිහට කාලය ගතවෙලා සිරාගෙ කේක් ඕඩර් එක ලැබෙද්දි වෙලාව කීයද ඇහුවොත් මේක කියවන උදවියටත් සිරාව කේක් තැටියකට දාලා අවන් එකට දාන්න හිතෙනව.. කාලකන්නිකම කොයිතරම් ගොඩයාට හරහට හිටලාද කියනවනං, සිරාගෙ කේක් ඕඩර් එකට කේක් පැටවෙද්දි වෙලාව එලිවෙන්න හතර පහුවෙලා විනාඩි තිහක් විතර.. ආයෙ ඉතිං සිරා එදා පිසක්වල කුනුහරුපත් ගොඩයාගෙන් අහගත්තා.. එව්ව ඉතිං සිරාට මෙලෝ ගානක් නෑ.. ඒ වෙද්දි ගොඩයාගෙ ගෙදරින් ගොඩයාට කෝල්  දෙන එක නවත්තලා සෑහෙන්න වෙලාවක්. ගෙදරින් කෝල් ඒම නැවතුනා කියන්නෙ එක්කො ගොඩයාගෙ නම චන්ද හිමි නාමලේඛනයෙන් ඉවත් කරලා.. නැත්තම් අතුරුදන් වීමේ ලයිස්තුවට නම ඇතුල් කරලා.. එහෙමත් නැතිනම් ගොඩයා මලා කියලා ග්‍රාමසේවක මහත්තයාට දන්වලා මරණ සහතිකේ ගෙනැල්ල.. ඉතිං කියහංකෝ සිරාගෙ බිබික්කං තැටි ටික බෙන්තර  ගඟට හලලා සිරාටත් ගඟට වැටෙන්න පයින් ගහලා ගොඩයාත් ගඟේ පැනලා මැරුනත් හිතට මදියි. එහෙම ගඟට තල්ලු කරොත් සිරා පීනන්නෙ උපරිම අඩි දහයයි පහලොවයි.. මොකද කියනවනං සිරා පිහිනීම ඉගෙනගෙන තියෙන්නෙ තැපෑලෙන්.. ටික දුරක් පීනගෙන යද්දි සිරා ටිකෙන් ටික වතුරේ නොපෙනී යනවා.. මේක ලියද්දි ගොඩයාට සිරාගෙ පීනිල්ල මතක්වෙලා තනියම හිනා..

ඕං සියල්ල අවසානයේ සිරාගෙ බිබික්කං බාලා ගොඩයා ගෙදර යද්දි සිංහල අවුරුදු දා උදේ අටයි.. ආයෙ ඉතිං දෙකක් නෑ ඒ වගේ වෙලාවට ගොඩයාව ගෙදරිං පිලිගන්නෙ තොරං ගහලා මල් මාල දාලා වෙඩි පත්තු කරලාම තමා.. සිරා නිසා ගොඩයාට සිංහල අවුරුද්ද කොයිතරං මස්තබාල්දුද කියනවනං, අවුරුදු කෑම මේසයේ ගොඩයා නිකං අස්සයා මැරිච්ච කව්බෝයි වගේ.. අවුරුදු චාරිත්තරේට ගොඩයා මේසෙට වාඩි කරගත්තා මිසක් කිසීම පිලිගැනීමක් නෑ.. හරියට අවුරුදු කෑම මේසෙන් පුටුවක් රෙන්ට් එකට ගත්තා හා සමානයි.. 

ඕං ඔය විදිහට සිංහල අලුත් අවුරුද්ද උදාවෙනවා ගොඩයාගෙ පර්සනල් ලැයිෆ් එක මස්තබාල්දු කරගෙනම. සිරාගෙ බිබික්කං කඩේට පිං සිද්ද වෙන්න, වෙනදාට අවුරුදු ලබන්න කලින් සිද්දවෙන බුලත් දීමේ චාරිකාව පැය විසි හතරක් ඩිලේ.  ඒ චෝදනා පත්‍රයෙන් නිදහස් වෙන්න ඕං ගොඩයා සිය පවුල සමගින් යනවා නෑයන්ට බුලත් දෙන්න.. ඒ කියන්නෙ සිංහල අවුරුදු දවසේ හවස.. ඩඩා ෆ්‍රන්ට් සීට් එකේ.. ගොඩයා රියදුරා.. අනික් සාමාජිකයන් පසුපස අසුන්වල.. මේන් යකඩෝ ඉන්දියන් මෝටර් සයිකල් එකක නැගගත්තු කපල් එකක් ගොඩයාගෙ වෑන් කොටේ පස්සෙන් අම්ම මෝ නැතුව එලෝගෙන එනවා කියහංකෝ.. මෑන්ස් ලයිට් ගහන්වා, හෝර්න් ගහනවා ඉවරයක් නෑ.. ගොඩයා හිතුවේම අවුරුදු ඌශ්නෙ වැඩි වෙලා කටගොන්නක් බීගත්තු එකෙක් ඇඹේනියවත් පිටිපස්සෙ දාගෙන අවසන් ගමන් යනගමන්දෝ කියලාමයි. ඕං ගොඩයා මෑන්ස්ට මෑන්ස්ගේ ගමන යන්න දෙන්න කියලා හිතාගෙන වාහනේ අයින් කරලා ඉඩ දෙනවා.. මේං යකෝ මේ යෝදයා අතින් නවත්තන කියන ගමං ගොඩයාට මොනවදෝ කියනව. වාහනේ වීදුරුව වහලා තියෙන නිසා ගොඩයාට මෑන්ස් කියන දේ පැහැදිලිව ඇහෙන්නෙ නෑ. කෝකටත් කියලා ගොඩයා වාහනේ අයිං කරලා නවත්තනවා මේ යක්කු දෙන්නා මේ සිංහල අවුරුද්ද දවසේ ගොඩයාගෙ වාහනේට අඩයටක් තිබ්බොත් කියන භයට. කරුමේ ගොඩයා පස්සෙන් එලොව එලවා පහරදෙන දවස් දෙකක් නිසා ගොඩයා සෑහෙන පරෙස්සම්. මොකද කියනවානම්, ගෙදර පුරවැසි භාවය සරනාගත තත්ත්වයටම පහත වැටී අවසන් සිරාට පිං සිද්දවෙන..

ගොඩයා වාහනේ නැවැත්වුවායින් පස්සෙ මේං අර කිව්ව මොටෝ සයිකල් කාරයත් ඉස්සර කරලා නවත්තුවා කියමුකෝ. ඕං ඊලඟට ඒ කිව්ව මොටෝ සයිකලේ පස්සෙ සීට් එකේ හිටපු ගෑනු කෙනා බයිසි මොටෝවෙන් පැනලා වාහනේ දිහාවට දුවාන එනව. කරුමේ කොයිතරං ඩබල්ද කියනවානං ඒ ගෑනු මනුස්සයා දුහාන ඇවිත් තට්ටු කරන්නෙ පැසෙන්ජර් සීට් එකේ වීදුරුවට කියහක්කෝ.. ඒ කියන්නේ ඒ සීට් එකේ ඉන්නෙ ගොඩයාගෙ ඩඩා... ගොඩයාත් බලාන ඉන්නවා මේ මොකද වෙන්න යන්නෙ නොදනී නිසා.. ඕං ගොඩයාගෙ ඩඩා වීදුරුව පහත් කරනව..

ඇයි.....? එහෙම අහන්නෙ ගොඩයාගෙ ඩඩා..

කේක් වෑන් එක හෙට එනවයි? 

මොකක්?  

කේක්.. කෙක්ක්.. හෙට එනවද ?

මොකක් ගැනද මේ අහන්නෙ.. කේක් වෑන් එක? 

ඊයෙ හවස බස්ටෑන්ඩ් එක ඉස්සරහ කේක් විකිනුවේ මේ වෑන් එකෙන් නේද...

වෙන්න බෑ.. වෙන එකක් වෙන්න ඇති.. 

අනේ එහෙනං සොරි... ඊයෙ හවස මේ වගේම වෑන් එකක් බස්ටෑන්ඩ් එක ඉස්සරහ පුංචි පොල පාරෙ කේක් විකිනුවා.. මට වැරදිලා වෙන්න ඇති...

එහෙම කියලා ඒ ගෑනු මනුස්සයා ආපහු ගිහිං මොටෝවෙ පිටිපස්සට ගොඩවුනා.. ඒ යද්දිත් ඒ මනුස්සයා ගොඩයා දිහෑ තුන් හතර ව්තාවක් හැරිලා බැලුවා කියහංකෝ.. ගොඩයාගෙ ඩඩා දිව දෙකට නමලා විකාගෙන වීදුව වහගත්තා... ඩඩා  එහෙම දිව විකාගන්නෙ මල අසූහාරදාහටම පැනලා ඉවසගන්න බැරිවුනාම..

ඉන් අනතුරුව ඩඩා ගොඩයා සහ වාහනයේ සිටි අය අමතලා පවත්වපු කතාව ඉතිං කලිසමක් ඇදන් ලියන්න බෑ.. ඒ තරම් ඒ කතාන්දර කුජීතයි, කුරිරුයි, හදවත පාරනසුලුයි..  උපන්දා හිටංම බාල්දි පෙරලාගැනීම සහ ගොඩයා කියන්නෙ ඔරුවයි හබලයි වගේ එකිනෙකාට නැතුවම බැරි දෙයක්.. ගෙදර පුරවැසිභාවය ඒ කාලේ හිටංම පුරවැසි සහ සරණාගත අතර වේගයෙන් දෝලනය වුන දෙයක් නිසා ගොඩයා ආයෙත් දවස් කීපයකින් නැවතත් හීන් සැරේ පුරවැසිභාවය ලබාගන්නවා.. ඒත් ඉතිං ඒ ගොඩයා නැවත බාල්දියක් පෙරලාගන්නාතුරු පමනයි..




42 comments:

  1. උඹ ඔය ගිහින් තියෙන්නේ මහගම වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. දැන් මතක නෑ.. මතුගමින් බුලත්සිංහල පාරෙ වගේ මතකයි.. ඒක හෙන මුකලානක් බං..

      Delete
  2. යකෝ ......... සිරා නම් මාර පොරක් තමයි .

    ගොඩගේ ඉවසීම තමයි ඉවසීම .....

    පට්ට කථාව හැබැයි .

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපි ඌට සිරා කියන්නේ..

      Delete
  3. වාසනා කේක් නේද, ගොඩයාට දුන්නෙ නැද්ද අවුරුද්දට කිලෝ එකක් නිකන්

    ReplyDelete
    Replies
    1. වාසනා කේක් නෙවෙයි. වෙන නමක් තිබ්බෙ. මට නම මතකයි ඒත් එව්ව ප්‍රසිද්දියේ ලිව්වනං ඔයාගෙ දෙවනි ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ.. කේක් කිලෝ එකක් නෙවෙයි ටොන් එකක් ලැබුනත් එව්වනම් එපා.. එව්ව හදන තැන්වල හැටි දැක්කාම සංසාරෙටම කේක් එපා වෙනවා බං.. සිරා එහෙම ලෝභ පොරක් නෙවෙයි.. කේක් තැටියක් දෙකක් උනත් ගොඩයා ඉල්ලුවොත් සිරා සල්ලිනම් ගන්නෙ නෑ...

      Delete
  4. ඔබගේ ඉවසීමේ ගුණයට මාගේ ප්‍රණාමය..!!

    ReplyDelete
    Replies
    1. ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද කියලා තමා අපේ රවියා කියන්නෙ..

      Delete
    2. අපි නං ඕක කියන්නේ වෙන විදියකට ගොඩයියේ..මේ ඒක නෙවෙයි කොයි තඩි අයියා..අකරතැබ්බයක් වත් වෙලාද දන්නෑ නෙ බ්ලොගයට ගොඩ නොවැදුනේ..

      Delete
    3. තඩියා බුකියෙනං සක්‍රීයව ඉන්නවා පේනවා.. මේ පැත්තෙ ආවෙ නැත්තෙ මා එක්ක මොකක් හරි අමනාපයක් වෙන්ටෑ..

      Delete
    4. මම ඉන්නව නැතුවො.දාපු ගමන් කියෙව්වෙ මං උනාට මේ පාර කොමන්ට් කරේ නෑ හිතා මතාම.අනිත් එවුන්ටත් චාන්ස් එකක් දෙන්න එපැයි.හා නැද්ද?මාව මතක් උන එක ගැන මාගෙ හදපිරි මෙව්ව එක.හාද...

      Delete
    5. ඇත්තම කිව්වොත් තඩි අයියේ ඔයාව
      අර"සකල ගුරූ"කියන කතාවෙ සුමනේව දකින වාරයක් ගානේ මට මතක් වෙනවා...

      Delete
    6. ඉහත කොමෙන්ටුව මා විසින් කොටන ලදී ...


      Delete
    7. අඩේ... නෙතුව හරියටම කියල.නාට්ටිය හොයාගෙන ගිහින් බැලුව.අපි දැන් වයසයි බං නෙතුවො.ඕක ඉතිං උබලට වගේ හංගන්න හේතුවක් මට නැහැහ් 😉

      Delete
  5. අඩුම ගානෙ ලාබෙන් කීයක් වත් දුන්නේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. ලාභෙන් නං සතයක්වත් ඕන නෑ.. පිට වාහනේක ගියානම් ගෙවන ගාන කැබි හෝල් එකේ දාල තිබ්බ.. සිරා එහෙම සල්ලි පෙරේතයෙක් නෙවෙයි ඉයන්. එකම දුර්වලකම අනෙකාගෙ අපහසුව තෙරුම් නොගැනීමම පමනයි... වෙනත් විදිහට කියනවනම් වෙලාව්කට හෙන ගොං ඒකා..

      Delete
  6. මමනං කේක් තැටියක් එල්ලගෙන අම්බලංගොඩ මුහුදෙ පණිනව.

    උඹේ ඔය සරම ගෑවිච්ච කේක් තැටිවල තිබ්බ කේක් කාපු ගෑනු මිනිස්සු කී දෙනෙක් බඩ උනාද කියල සිරා කිවුවෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අම්මොහ්....ඩෙඩ් 😂😂😂

      Delete
    2. මං මේකට උත්තර ලිව්වෙ නෑ ලිව්වොත් බ්ලොග් ලියමනේ සාරධර්ම උල්ලංගනය වෙන නිසා...

      Delete
    3. ඒක නෙවෙයි බං පොසන්නයො කෑවාම බඩ වෙන්නෙ සෙබඩ කියලයි මං අහල තියෙන්නෙ 😝

      Delete
  7. ඒකා කල්ල කපටියෙක්.

    ReplyDelete
    Replies
    1. නෑ බං. ඒ උගේ හැටි.. කපටිකමක් කලා නෙවෙයි.. අනෙකාගෙ අපහසුව තෙරුම් ගන්න බ්‍රේන් සර්කිට් එක සිරාගෙ මොලේ පිහිටලා නෑ..

      Delete
  8. උඹට තව ‌වෙන්ඩ ‌දේවල් ඉතුරු ‌වෙලා තියෙනවද ‌ගොඩයා?

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවානං, මනුස්සයෙකුට වෙන්න පුලුවන් ගොඩාක් අලකලංචි මට වෙලා තියෙන්නෙ..

      Delete
  9. ආ බං ගොඩයො.බැලුවාම මම හොදයිනෙ බං උබට වඩා.මම නම් ඔච්චර ගෙදර එවුන්ට වද දීල නෑ 😝 ඩ්ද්දදැන් ඉතිං හීනටියෙ පැත්තෙ යන්න හදනව එහෙම නෙවෙයි ඕං

    ReplyDelete
    Replies
    1. අනේ පල තඩියෝ යන්න.. හිටහං පැටිකිරිය ලියන්න මං උඹේ.. අර අහිංසක සාන්තයාට නෙලලා උඹොව කී පාරක්නං පොලොසියෙං අල්ලං ගියා කියලද.. ඊලංගට උඹලෑ ගෙදරිං රහස් පරීක්ශකවරු කීයක්නං සේවට අරං තිබ්බද උඹේ හොර වැඩ අල්ලන්න.. තව ලිව්වොත් මේ ක්මෙන්ට් එක බ්ලොග් පෝස්ට් එකක් තරං දික් වෙන නිසා ලියන්නෙ නෑ..

      Delete
  10. මට හිතෙන්නේ සිරා ඔයාව අරගෙන ගිහින් තියෙන්නේ මතුගම අගලවත්තටත් එහා ගෝවින්නේ තිබෙන "වාසනා" බේකරියට. කොළඹ සිට ගාල්ල දක්වා සෑම තැනකටම කේක් සපයන්නේ එතනින්. කොහොම උනත් සිරා සමග යාළුකම තවම තිබෙනවාන. මෙහෙම අය තමයි "කල්‍යාණ මිත්‍රයෝ"

    ReplyDelete
    Replies
    1. වාසනා බේකරිය නෙවෙයි ඒක වෙන එකක්. නම මට මතකයි ඒත් ඒ නම ලියලා අන්තිමට එයාලා මට නඩු දාවි ව්‍යාපාරයට අපහාස කලා කියලා..

      සිරා එක්ක මගේ යාලුකමේ වෙනසක් නෑ අදටත්. ඒත් 2015-2020 දක්වා ලංකාවෙ ඇතිවුන දේශපාලන වාතාවරනය එක්ක මගේ මතය සහ සිරාගේ මතය අතර ලොකු පරස්පරතා තිබුනා. අවසානයේ සිරාගේ දේශපාලන මතය සහ පක්ශපාතීභාවය මිත්‍රකම අභිබවා ගියා.. මම කිසිම දවසක මගේ දේශපාලන මතය නිසා මිත්‍රයන්ට පුද්ගලිකව හානි වෙන විදිහට මඩ ගහලා නෑ.. මං හැමදාම විවේචනය කරේ දේශපාලකයාගේ භූමිකාව . ඒත් සිරා ප්‍රසිද්ධියේ විවේචනය කරේ මාගේ මතය නෙවෙයි මාව. ඒ නිසා මේ වෙද්දි පොඩි කලකිරීමක් හිතේ තියෙනව ඒ ගැන..

      Delete
  11. සෙරීනා වෑන් එක ගැන විස්තර දැනගන්න ගූගල් දෙවියන්ගේ පිහිට පතපු වෙලාවක පොල් අයියගේ "වාහන හින්ද කාපු කටු" ත්‍රෙඩ් සීරීස් එක හම්බ උනා. එතනට වහ වැටිල ගැලවෙන්න බැරැව ඉන්න අතරේ එ් ත්‍රෙඩ් එකේම මේ බ්ලොග් එකට එන පාරෙ නම දාල තිබුන.මීට කලින් මේ වගේ වහ වැටිල ඉවර වෙනකල් කියෙවුවෙ 'කර් පිස්සුව' සහ 'අලුත් කර්' බ්ලොග් දෙක විතරයි. කොහොම හරි කොච්චර කියෙවුවත් පලවෙනි වතාවට කමෙන්ට් එකක් දැම්මෙ අද ඔයාගෙ බ්ලොග් එකට (මම fb නෑ) ඉතින් දිගටම ලියන්න සුභ පතනවා. තව ඔයාගේ ඔටෝමොබයිල් දැනුම එක්ක වාහන කටු ටිකකුත් ලියන්න.
    -P. H. BHAGYA-

    ReplyDelete
    Replies
    1. ස්තුතියි භාග්‍යා.. එලකිරිය පැත්තෙ කාලෙකින් යන්න බැරිවුනා.. ඊයෙ පෙරේදත් හිතුනා ඒ පැත්තෙ යන්න ඒත් පාස්වර්ඩ් එක අමතකයි. "වාහන හින්දා කාපු කටු" ත්‍රෙඩ් එක නැගලා ගියා ඒ කාලෙ. දැන් නම් අප්ඩේට් වෙන්නෙත් නැතුව ඇති. පාස්වර්ඩ් එක හොයාගෙන ආයෙම ලොග් වෙන්න උත්සහයක් දරන්නම්කො..

      Delete
  12. කටු නූල තාම කට්ටිය අැදගෙන යනව අයියෙ. අන්තිමට බම්ප් කරල තියෙන්නෙ 2020,01,23
    හැබැයි මට තාම account එකක් හදාගන්න බැරි උනා. මම තාම පිටින් ඉදන් කියවන්නේ.
    වාහන කටු වලට බ්ලොග් එකේ ඉඩ නැද්ද.

    ReplyDelete
    Replies
    1. https://ambalangodakatha.blogspot.com/2019/02/blog-post_19.html?m=1 කලින් ලියපු දෙක තුනක් ඇති

      Delete
    2. බැලුවා,Thanks අයියේ, අද එලකිරියට කට්ටක් වැටිලා තිබුනා.

      Delete
  13. අපි සිරා ගැන හිතන් හිටියටත් වඩා සිරා සිරාම පොරක් නේ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං සිරා කියන්නෙ.

      Delete
  14. කමක් නැහැ...ඌ ට ජිවිත කාලයටම උබ වගේ යාලුවෙක් හම්බවෙන්නේ නැහැ...ඒත් දේශපාලනය නිසා ඌ උබ වගේ යාලුවෙක් නැති කරගත්ත එක දුකයි

    ReplyDelete
  15. වාහනේ හයර් ගාස්තු විදියට ලැබුනෙත් කේකද ? අපරාදෙ කියන්න බෑ නියම අවුරුද්ද
    විචාරක දියණිය

    ReplyDelete
  16. මම දැන් මාස හතරක ඉදන් උඩ ඉඳන් පහලට බ්ලොග් එක කියවන් කියවන් යන ගමන්, කලින් එහෙම ආසාවෙන් කියවපු සයිට් එකක් තිබ්බා ඒ අන්තිම පේලිය, අවුරුදු ගානක් අප්ඩේට් එකක් නැති උනත් සයිට් එක තිබ්බා දැන් ඒ හොයාගන්නත් නැ, අම්බලන්ගොඩයත් කියවගෙන කියවගෙන යද්දි හිතුනේ මියැදුන තවත් බ්ලොග් එකක් කියලා, අලුත් පෝස්ට් එකක් අප්ලෝඩ් උනාට පස්සේ කියාගන්න බැරි සතුටක් ආවා

    ReplyDelete
  17. අම්බලන්ගොඩ අයියගේ (මාමගේ) බ්ලොග් එක සම්පූර්ණෙන්ම කියවලා ඉවර කරා අග සිට මුලට, තවත් කෙනෙක්ට කියවන්න තමන්ගේ ජීවිත අත්දැකීම් මෙහෙම කියලා තියෙනවට බොහෝම ස්තූති, සමහර කතා කියවද්දි ඒ කතාව ඇතුලේ ජීවත් උනා, තඩියා බඩ තඩියා , සිරා , රවියා ඔය ඔක්කොම මගේ යාළුවෝ උනා, මෙහෙම බ්ලොග් එකක් ලියපු එක ගැන ආයෙත් වතාවක් ස්තූතියි. නිවාඩුවක් ලැබුන ගමන්ම තව පෝස්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා, ඒ වගේම එතකන් කියවන්න මේ වගේ හොඳ බ්ලොග් පිටු ටිකක නම්ද යෝජනා කරනමෙන් ඉල්ලා සිටිනවා, ස්තුතියි !

    ReplyDelete