Sunday, May 17, 2020

පුස්ථකාලය සහ ඈපා..





Covid 19 එක්ක ලෝකෙම නන්නපෝල් වෙලා ඉන්න වෙලාවක බ්ලොග් පෝස්ට් ලියන එක හරිද වැරදිද කියන එක ගොඩයා දන්නෙ නෑ. ලංකාවට වැටිච්ව ඇඳිරිනීතිය දැනට මාසෙකට වැඩියි කියලයි ගොඩයාගේ අප්සැට් මෙමරිය කියන්නෙ. ඒ ගැන හිතනකොටනම් ගොඩයාට අපේ මිනිස්සු ගැන හරිම හිතට දුකයි. රජයේ රස්සා කරන හෝ වේවා වෙනයම් ආකාරයකින් හෝ වේවා මාසික ආදායමක් ලබන උදවියට ඇදිරි නීතිය ලොකුවට ප්‍රශ්නයක් නොවුනත් එදා වේල උපයගෙන බඩට යමක් කන බොන මිනිස්සු අනාතයි කියලාමයි ගොඩයාට හිතෙන්නෙ. ඒ කෙසේ වෙතත් ලෝකෙටම ගෙදරට වෙලා ඉන්න ලැබෙන අවස්ථාවක් නිසා මිනිස්සුන්ට තම තමුන්ගේ පවුලේ උදවිය එක්ක කාලයක් ගතකරන්න ලැබිච්ව් එකත් නරකම නෑ. ඒත් ඊට එහායින් තියෙන Covid 19 අනතුරනම් එසේ මෙසේ එකෙක් කියලා ගොඩයා හිතන්නෙ නෑ. ගොඩයා ඉන්න රටෙත් අද වෙද්දි ලක්ස ගානක් ආසාදිතයි.  මරණ ප්‍රමාණය ඉලක්කම් හතර ඉක්මවලා මේ වෙද්දි.  මිලියන ගණනකට රැකියා අහිමිවී අවසන්. වාසනාවකටදෝ අවාසනාවකටදෝ ගොඩයා තාම රැකියාවත් එක්ක වැඩ. ඒක වාසනාවද අවාසනාවද කියන එක තීරණය කරන්න වෙන්නෙ මේ ව්‍යසනය අවසාන උන දවසක ගොඩයා වන් පීස් ජීවතුන් අතර හිටියොත් තමයි..

ඒ විස්තරේ පැත්තකින් තියලා ඕන් ලියන්න ආපු කතාන්දරේ මෙන්න මෙහෙමයි..

කියවීම කිව්වාම ගොඩයාට පුංචි සන්දියේ හිටංම තිබ්බ ආසාවක් කිව්වොත් තමයි නිවැරදි. පොතක් අහුවුනාම ඒක එක දිගටම කියවාගෙන ගිහිං ඉවර කරන එක තමයි ගොඩයාගෙ පුරුද්ද. අද ටිකයි හෙට ටිකයි අනිද්දා ටිකයි කියවන පුරුද්දක් ගොඩයාට නෑ. පොතක් අහුවුනානම් කෑවා බීවා නෑ නිදි මරාගෙන එලි රෑ වෙනකල් කියවන එක තමයි වැඩේ. ඒ කාලෙ පොතක් පතක් හොයාගන්න එකත් පහසු නෑ. පුස්ථකාල පහසුකම් අවමයි. ගොඩයා මේ කියන්නෙ වයස නවය දහය සන්දියේ වාතාවරණය. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගෙ මඩොල්දූව පොත ගොඩයාට කියවන්න ලැබුනේ ඕන්න ඔය වයෙසෙදි වගේ. පොත ලැබුනේ ගිහාන් රාජපක්ශ කියන මිත්‍රයාගෙන්. ගිහාන් ගොඩයාට වඩා වසරක් වැඩිමහල්. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 1995 වර්ශයේ උසස්පෙල කරපු ගිහාන් රාජපක්ෂ දැන් ජීවත් වෙන්නෙ ඔස්ට්‍රේලියාවේ කියලා ගොඩයා දන්නවා උනාට එතැනින් එහා විස්තරයක් ගොඩයා දන්නෙ නෑ. ගිහාන්ගෙන් ගොඩයාට පොත ලැබෙන්නෙ නයිට් රයිඩර් බලන්න සැට් වෙච්ච වෙලාවක. ඒ කියන්නෙ රෑ හතට අටට විතර. කොන්දේසිය තමයි පහුවදා ඉස්කෝලෙ යන වෙලාවට පොත නැවත ලැබෙන්නට සැලැස්විය යුතුයි. ඉතිං කියහක්කෝ කොහොමද පොත කියවන්නෙ. ඩඩාගෙ නීතියට අනුව රෑ නවය වෙද්දි ඇඳට යන්නත් ඕන. ලැයිට් නිවන්නත් ඕන. ඒත් ඉතිං ගොඩයා සැලෙයිද එව්වට. ඇඳේ හිටං ටෝච් එලියෙන් ඩඩාට ඩිස්ටර්බ් වෙන්නෙ නැතිවෙන්න පොත කියවද්දි ලැබෙන අවසාන නියෝගයට අනුව රෑ දොලහ විතර වෙද්දි ගොඩයාට සිද්ද වෙනවා නින්දට යන්න. නැත්තම් ටෝච් එකෙන්ම ඔලුවට අනිනවා කියන භයානක ස්ටේට්මන්ට් එක අනුව ගොඩයා මඩොල්දූව කොට්ටෙ යට තියාගෙන දොයි. ඒත් නැවතත් පහුවදා උදේ හතරේ හිටං නැවතත් මඩිල්දූව ටෝච් එලියෙන් කියවා අවසාන කරනවා ගිහාන් ඉස්කෝලෙ යන්න පාරට එන්න කලින්. ගොඩයා ඒ කාලෙ ඉස්කෝලෙ ගියේ හවස් වරුවෙ නිසා මිසක් උදේ ඉස්කෝලෙ ගියානම් මඩොල්දූව තාවකාලිකව පසුවට කල්දාන්න සිද්දවෙනවා අනිවා..

ඔන්න ඔය කාලෙ තමයි පෝරඹ පුස්තකාලය විවෘත වෙන්නෙ. පුස්ථකාලාධිපති විදිහට වැඩ කරේ කමලා ආන්ටි. පුද්ගලිකව හැඳුනුම්කමක් නැති උනත් හැමෝම පුස්ථකාලාධිපති තුමියව හැඳින්වුවේ කමලා ඇන්ටි කියලයි. කමලා ආන්ටි වැඩිය සැරපරුස නැති මනුස්සයා උනාට කාර්ඩ් එකක් නැතුව පොතක් එලියට ගෙනියන්නනම් දෙන්නෙ නෑ මලාට. ඒ කාලෙ පුස්තකාල කාර්ඩ් දෙන්නෙ වයස දහ හතරට වැඩි එව්වොන්ට විතරයි කියහංකො. ඒ නීතිය දාපු එකා එහෙම නීතියක් දැම්මෙ කුමන පදනමක් යටතේද කියන එක ගොඩයාට අදත් ප්‍රශ්නයක්. ඒකත් හරියට කොලඹ තියෙන එක්තරා ඉංග්‍රීසි උගන්නන ජ්‍යාත්‍යන්තර ආයතනයක නීති වගේ. ගොඩයා දවසක් ඔය කියන ආයතනයට ඇමතුමක් ගත්තා කතාකරන ඉංග්‍රීසි ගැන පාථමාලාවක් ගැන දැනගන්න. වයස දොලහක ලමයෙකුට කතාකරන ඉන්ග්‍රීසි උගන්වන්න කලින් ව්‍යාකරන උගන්වන ඕන ඒ නිසා ව්‍යාකරණ පංතියට යන්නෙ නැතුව කතාකරන පංතියට ගන්න බෑ කියලයි ඒ ඇමතුමෙන් කියවුනේ.. ගොඩයා ඉතිං  ඇහැව්ව ඒ ඇයි කියලා. ඒ ගෑනු මනුස්සයා කියාපි ව්‍යාකරණ දන්නෙ නැතුව කොහොමද කතා කරන්නෙ කියලා.. ආං එතකොට ගොඩයාට ඔලුවට ආවා අහන්න ඇයි හත් ඉලව්වෙ ඔබතුමිය වයස තුන හතරෙදි සිංහල කතා කරන්න ඉගෙනගන්න කලිං ගෙදරිං ව්‍යාකරණ ඉගැන්නුවාද කියලා.. වැඩකට නැති දේවල් අහලා ඒ ගෑනු මනුස්සයාගෙ මල පන්නන්න ඕන නැති නිසා ගොඩයා ඩෙන්කිව් කියලා ෆෝන් එක තිබ්බ. ඒ වගේම තමයි පුස්තකලෙ නීතියත්. කාර්ඩ් එකක් ගන්න නම් වයස දහ හතර සම්පූර්ණ කල යුතුයිලු. ඒ කියන්නෙ වයස දහ හතරට කලින් අපි පොතක් ගෙදර ගෙනිහින් කියවන්න සුදුසු තත්වෙක නෑ කියන එක වෙන්ටෑ.. ඔව්වයින් ගොඩයා සැලෙයිද.. නෑනේ..

ඕන් ගොඩය හොයාගන්නවා වයස දහ හතරට වැඩි අයදුම් කරුවෙක්. ඒ තමා ගොඩයාගෙ මිත්‍රයෙකුගේ අක්කන්ඩි වෙච්චි මල්කාන්ති අක්කා. දෙයියෝ බලලා වගේ මල්කාන්ති අක්කා ඒ වෙද්දි වයස පහලොවක් විතර ඇති . නෑ බෑ නෑ කිව්ව ගමන් ෆෝර්ම් එක පුරවලා ඉස්කෝලෙ විදුහල්පතිගෙන් අත්සන අරගෙන ඔක්කොම කරලා දෙන්න මල්කාන්ති අක්කා එකෙන්ම කැමති උනත් මල්කාන්ති අක්කාගේ මවු තුමිය නම් පොඩ්ඩක් විතර උදැල්ල දැම්මා කියහන්කෝ. ඒ ඇයිද කියනවානම්, ගොඩයාට ලයිබ්රි කාර්ඩ් පතක් සාදාගන්නට ඉඩ පහසුකම් සාදා දී ගොඩයාගේ මවු දෙපවුපියන්ගෙන් දෝෂාරෝපණයක් එයිදෝ කියන භයට. ඕන් ඒ පුරස්නෙත් සමතයකට පත්වන්න දවස් කීපයක් ගිහින් අවසානයේ මල්කාන්ති අක්කා ගොඩයාට ලයිබ්රි කාර්ඩ් එක හදලා දෙනවා එයයිගේ නමට. ආන් එහෙමයි කියවීමට උදව් කරන්න මල්කාන්ති අක්කා ගොඩයාට දායකත්වය දැක්වුවේ. මල්කාන්ති අක්කා මේ වෙද්දි කරාපිටිය රෝහලේ දොස්තරවරියක්. 

 එදා හිටං ගොඩයා රජා වගේ පුස්තකාලෙන් පොත් ගේනවා කියවනවා ගේනවා කියවනවා.. ඕං ඔය විදිහට කාලයක් ගිහින් ගොඩයාට වයස දහ හතරත් උනාම ගොඩයාට ලයිබ්‍රි කාර්ඩ් හතරයි. ඒ කිව්වේ ගොඩයා තමුන්ගේ නමට හදාගත්තු කාර්ඩ් දෙකයි මල්කාන්ති අක්කා ගොඩයාට අනුකම්පාව පිණිස සාදා දුන්නු ලයිබ්රි කාර්ඩ් දෙකයි, එකතුව හතරයි. ඒ කියන්නේ ගොඩයා එක පාරට පොත් හතරක් ගෙදර ගේනවා වැඩ්ඩා වගේ. 

 දැං තමා ගොඩයාගෙ පාසල් මිත්‍රයා ඈපා කරලියට එන්නෙ. ඈපයි ගොඩයයි පහ වසරේ හිටං එකොලහ වසරට එක පංතියේ. පොත් කියවන එක ඈපටත් ටිකක් පිස්සුවක් වගේ තිබුනා කිව්වොත් තමයි හරි. ඒ පිස්සුවට අමතරව අන්තර්ජාතික සඟරා එකතු කරන්න, ලෝක ප්‍රසිද්ද පොරවල්ලාගේ පින්තූර එකතු කරන්න වගේ ලාමක ආසාවලුත් ඈපාට තිබ්බා කියමුකෝ. ඒ අසාවේ ප්‍රතිඵලයක අතුරුඵලයක් විදිහට ඈපාට අම්බලන්ගොඩ ප්‍රධාන පුස්තකාලයේ පැත්ත පලාතක ගොඩ වැදෙන්නත් බැරි තැනට කරුණු කාරනා යෙදී තිබුනා කියලා ලියන්න පුළුවන් උනත් ඒ ගැන වැඩි විස්තර මෙහිලා ලියලා ආපාගේ උදහසට ලක්වෙන්න ගොඩයාට බෑ. 

 කොහොමෙන් කොහොමෙන් හරි හිත මිත්‍ර ඈපටත් ඕනවුනා පෝරඹ පුස්ථකාලෙන් කාර්ඩ් එකක් ගන්න. ඈපා කොයිතරං ගොඩයාට කරදරයක් උනාද කියනවනම් කාර්ඩ් එක අරං දෙනකල්ම ඈපාගෙන් ගොඩයාට කනක් ඇහෙන්න නෑ. ඈපා පදිංචි පනියන්දූව ග්‍රාමයේ නිසා ඈපාට කාර්ඩ් එකක් පොරඹ පුස්ථකාලයෙන් ගන්න බෑ. හේතුව ඈපලාගෙ ගෙවල් පැත්තෙත් ඒ සැයිස්ම පුස්ථකාල පොඩ්ඩක් තියෙන නිසා. ඈපාත් ගොඩයාත් සැලසුම් සහගත සහ අලුගුත්තේරු ක්‍රියාන්විතයන්හී කෙල පැමිණ සිටියවුන් නිසා ඕන්  ගොඩයා සහ ඈපා ප්ලෑනක් ගහනවා පුස්ථකාල කාර්ඩ් එක ගන්න. සැලසුමට අනුව ගොඩයා යනවා පුස්ථකාලාධිපති හමුවෙන්න..

කමලා ආන්ටි පොඩ්ඩක් කතා කරන්න පුලුවනිද?

හ්ම්.. මොකක්ද ඔය ලමයට වෙන්න ඕන..

ආ..ආ..ආන්ටි.. අපේ ගෙදර අයිය කෙනෙක් බෝර්ඩ් වෙලා ඉන්නව.. එයාට කාර්ඩ් එකක් ගන්න පුලුවනිද?

වයස හරිනම්, ග්‍රාමසේවක අත්සන් කරනවනම්, විදුහල්පති අත්සන් කරනවනම් කාර්ඩ් එක ගන්න පුලුවන්..

හා ආන්ටි. . මට එහෙනම් ෆෝර්ම් එකක් දෙනවද..

හ්ම්..ඉන්නකො එහෙමනම්..

ඕන් පලවෙනි වැඩේ හරි.. ඊලඟට ග්‍රාමසේවක .. ඊලඟට විදුහල්පති.. අමාරුම වැඩේ ග්‍රාමසේවක .. හැබැයි ඒ වෙද්දි ඒකට ගොඩයාට විකල්පයක් තිබ්බ.. ඒ තමයි ඒ වෙද්දි ගොඩයලාගෙ ගෙදර නැවතිලා ඉස්කෝලෙ ගිය ඩඩාගෙ මිත්‍රයකුගේ පුතන්ඩියා.. ඒ වෙද්දි මෑන්ස් එකොලහ වසරෙ වගේ.. හැබයි.මෑන්ස් එකෙන්ම වැඩේට අකමැතියි. හේතුව මෑන්ස් භයයි අපේ ඩඩාගෙ රූල්ස් වලට පිටින් ප්ලේ කරන්න. ගොඩයා ඉතිං හැමදාමත් ප්ලේ කරේ ඩඩාගෙ රූල්ස් වලට උඩින් නිසා ගොඩයාට ඔව්වයෙ වැඩි ගානක් නෑ. ඩඩා කෝට්ට අතට ගත්තාම ගොඩයාට සූ යන සයිස් උනාට ගොඩයා ප්ලේයින් අබව් ද රූල්ස්, මෝස්ට් ඔෆ් ද ටයිම්ස්.. මාසෙකට සැරයක් වගේ ඩඩාගෙන් කෝටු පාරක් නොකෑවොත් ගොඩයාට නිකං කෑවෙ නෑ නෑ වගේ හිතට හරි නෑ..

ඩඩාගෙ යාලුවාගෙ පුත්‍රයා හෙවත් චමිල කාරයාට නොවඳිනා වැඳුම් වැන්ඳත් ඌ නෙවෙයි ගිරාමසේවක ලඟට යන්න කැමතිවුනේ. එවකට රටේ තිබ්බ භීශණ තත්වය මදක් යහපත් වෙලා තිබ්බත් ගෙදරක පිට කෙනෙක් නවාතැන ගෙන සිටිනවානම් ග්‍රාමසේවක මහතාට දන්වන එක පුරුද්දකට වගේ කෙරුනා. ඒ කියන්නෙ  ගොඩයාගෙ ගෙදර පිටස්තර කෙනෙක් නවාතැන්ගෙන සිටිනවා කියන එක ඔෆිශියලි ග්‍රාමසේවක දන්නවා. හැබැයි ගෙදර ඉන්න මෑන්ස්ගෙ ෆොටෝ එක ග්‍රාමෑන්ස් දන්නෙ නෑ. ඕන් ගොඩයා ඒකෙ වාසිය අරගෙන ඈපා එක්කගෙන යනවා ග්‍රාමෑන්ස් හමුවෙන්න. ගම රට ඇහුවොත් මෙන්න මෙහෙම කියපන් කියලා ඈපාවත් සුදානම් කරගෙන ග්‍රාමසේවක මහත්තයාගෙ ගෙදරට ගිහින් ෆෝර්ම් එක දුන්න ගමන් ග්‍රාමසේවක මහත්තයාත් අත්සන ගහලා වැඩේ ගොඩ දාලා දුන්නා කියහංකෝ.. අද කාලේ කෙරෙන වංචා දූශන වලට අනුව ඔව්ව ඉතිං මහ ලොකු දේවල් නෙවෙයිනේ ආයුබෝවන්. මොකෝ ලෝකෙ පෙරලන්න යනවා නෙවෙයිනේ.. අහිංසක විදිහට පුස්ථකාල කාර්ඩ් එකක් හදාගන්න දෙන පුංචි පහේ ගේම්ස් එකක් . අපරාදෙ කියන්න බෑ ඈපත් ගොනා සේ ලෙසටම රඟැපෑවා ගොඩයාගෙ ගෙදර නැවතිලා ඉන්න චමිලයා ගානටම. ඈපා ඒ වෙද්දිත් ටිකක් උස මහත වීමත් ගොඩයා අඟල් දෙක තුනකට වඩා උසට නොසිටීමත් නිසා වැඩේ ගොඩ කිසීම සැකයක් නැතුව.

ඕං ඊලඟට විදුහල්පති තුමාගෙ අත්සන. ඒකනම් ඈපා ගේමක් නැතුව කරගෙන ආවා කියමුකෝ. දැං වැඩේ සියල්ල අවසානයි. ඊලඟට තියෙන්නෙ පුස්ථකාලයට ගිහින් ෆෝර්ම් එක ඉදිරිපත් කරලා කාර්ඩ් දෙක අරගෙන එන්නයි. ඈපත් ගොඩයාත් ඉන්නෙ වැඩේ කෙරුන ගානට.  අමාරුම තැන පැනගත්තු නිසා ඉතිරිය කජු කනවා වගේ සිම්පල් වැඩක්. හවස් අතේ පුස්ථකාලයට ගිහිං කාර්ඩ් දෙක හදාගන්න යන අරමුනෙන් ගොඩයයි ඈපයි සතුටින් විසිර යනව. කතාකරගත්තු විදිහටම ඈපා හවස තුන වෙද්දි ගොඩයාගෙ ගෙදර.

ඕන් ගොඩයයි ඈපයි දෙන්න එක්ක යනවා කියමුකෝ පුස්ථකාලෙට. ඊලඟට තියෙන්නෙ අදාල පෝරමය භාර දීලා කාර්ඩ් පත ලබගැනීම පමණයි.. ඕං කමලා ආන්ටි සීට් එකේ.. ගොඩයා ඈපාව තල්ලු කරනව ඉදිරියට..

මේක දීලා කාර්ඩ් එක හදාගනින්..

උඹ දීහංකෝ..

මං දෙන්නෙ මොකටද ගොනෝ...උඹේනෙ කාර්ඩ් එක උඹ දීපං..

මට ලැජ්ජයි බං.. උඹ දියංකෝ...උඹනේ මේ ඇන්ටිව අදුරන්නෙ..

මං දුන්නට හරියන්නෙ නෑ ඌරො.. උඹ දීපං..

අනේ අනේ එහෙම කරන්න එපා බං. උඹනේ දන්න කියන එකා..  ඕක දීලා කාර්ඩ් එකගනිංකෝ..

ගොඩයා ඉතිං ඕනෑම මරාලෙකට බෙල්ල තියන්න දෙපාරක් නොහිතන නිසා ගොඩයා යනවා ඈපාගෙ ෆෝර්ම් එක භාර දෙන්න. ඈපා කිසිවක් නොදන්නා මෝඩයා ගානට යනවා පොත් රාක්ක තියෙන පැත්තට..

කමලා ආන්ටි මේ අපේ ගෙදර ඉන්න අය්යාගේ ඇප්ලිකේෂන් එක.. අද කාර්ඩ් එක ගන්න පුළුවන් වෙයි නේද..

කෝ ඉතින් අයියා එන්න එපැයි ඒකට.. එයා එක්ක එන්නකෝ... එයා අත්සන් කරන්න ඕනනේ..

ඇවිල්ලා ඉන්නේ ඇන්ටි.. එයා පොත් තෝරනවා..

එහෙම හරි යන්නේ නෑනේ.. එයාට එන්න කියන්නකෝ..

ඕන් ගොඩයා යනවා ආපාව කැඳවීම උදෙසා..

ආන් උඹට කතා කරනවා අත්සන් කරන්න..

මං ඕන නෑනේ.. උඹ අත්සන් කරලා කාර්ඩ් දෙක ගනින්කෝ..

උඹට පිස්සුද ගොනෝ... උඹේ කාර්ඩ් එකට මං අත්සන් කරලා හරියනවද..

ගිහින් ඇන්ටිට ශේප් එකක් දාල අත්සන ගහල ඕක ගනින් බන්..

පිස්සු කියවන්න එපා බන්.. උඹ නැතුව කාර්ඩ් එක මට ගන්න බෑ.. මගේ නම ඒ මනුස්සයා දන්නවා බූරුවෝ..

යමන් යමන් එහෙනං.. උඹලත් පොඩි එවුන් වගේ බන්.. කිසි වැඩක් හරියට කරගන්න බෑ...

ඔන් ගොඩයා ඈපාව දක්කාගෙන ආයෙමත් යනවා කමලා ඇන්ටිගේ මේසය ලඟට.. ඈපා ලොකුවට කයිය ගැහුවට ගොඩයාව ඉස්සරහට තල්ලු කරලා ටිකෙන් ටික පස්ස අදිනවා කියලා ගොඩයාට නොතේරුනාත් නෙවෙයි..

ඇන්ටි මේ තමයි අපේ ගෙදර නැවතිලා ඉන්න අයියා...

කෝ බලන්න...

මේන් ඈපා කාරයා ගොඩයාට මුවාවෙලා පොඩි හැංගිමුත්තන් පාරකුත් ලාවට දානවා ඉස්සරහට ගිහින් කෝලේ අත්සන් කරන්නේ නැතුව..

මොකේ මේ හැංගිලා.. එනවා ඉසරහට .. ඇවිත් මේ ෆෝරම් එක අත්සන් කරන්නකෝ..

දැන් ඉතින් ඈපාට ගැලවීමක් නෑ.. ඉදිරියට පැමිණ පෝරමය අත්සන් කලයුතුමයි.. ඕන් ඈපා හොර සෙයියාවෙන් මුණ හංගාගෙන බොහොම ලජ්ජාවෙන් මුහුණත් තහඩුවත් බිමට නමාගෙන කමලා ඇන්ටිගේ මේසය ඉදිරියට එනවා ගොඩයා පසුකරමින්... මෑන්ස් කෙලින්ම උත්සහා කරන්නේ මුහුණ බිමට නමාගෙන කොලය අත්සන් කරන්න උනාට කමලා ඇන්ටි ඊට වඩා තීක්ෂණයි...

කෝ බලන්න කෝ බලන්න... මූන පොඩ්ඩක් පෙන්නනකෝ..

ඈපා පලවෙනි වතාවට මනමාලියෙක් බලන්න ගිහින් වගේ ගොන්ම ගොන් හිනාවකුත් දාගෙන අහක බලාගෙන මුණ පෙන්නනවා... හයියෝ හරිම විසුළු සහගතයි සීන් එක..

හත් දෙයියනේ... මේ අපේ අල්ලපු ගෙදර XXXX අක්කගේ බාල පුතා XXX නේ... මෙයා කොහොමද ඔයාලගේ ගෙදර බෝර්ඩ් වෙලා ඉන්නේ... මං අද උදෙත් දැක්කනේ මේ යෝදයා පොත් මිටියත් එල්ලගෙන ඉස්කෝලේ එනවා.. ඉන්නවකෝ මං පොලිසියට කෝල් කරන්න.. තවුසේලා දෙන්න ආව නේද පොත් හොරකම් කරන්න බොරු කාර්ඩ් හදාගෙන..

ඒ කතාව අහපු ගමන් ගොඩයාට තේරුනා ඈපාට විතරක් නෙවෙයි ගොඩයාටත් ලයිබ්‍රි කාර්ඩ් හතරම නැතිවුනා කියලා... ඒ සිතුවිල්ල ඔලුවට ඇවිත් තත්පරෙන් දාහෙන් පංගුවක් යන්නත් කලින් ඈපා ගොඩයාවත් පෙරලාගෙන පැනලා දිව්වා කියහන්කෝ.. ආයේ ඉතින් ඈපා නිසා ඉල්ලගෙන කාලා ඈපා නැතුව එතැන හිටියාම පරිප්පු නැවම ගොඩයාට බාන්න වෙන එක ගැන තර්ක විතර්ක අවශ්‍ය නෑනේ.. ඊළඟට නැකත එළැඹෙන්නේ ඈපාගේ වෙනුවෙන් කමලා අන්ටිගෙනුත් කාලා, පොලිසියෙනුත් කාලා, අතුරුපසට  ගෙදරිනුත් කන්න වෙන සීන් එකක් වගේ එකකට විත්තිය ගොඩයාගේ කුඩා මොලේට වැටහිලා අවසානයි..  ඉතින් දෙයියෝ එතැන ඉඳලා ඒ පරිප්පුව තනියම කනවාට වඩා ලේසියි නෙව ඈපාම අනුගමනය කරලා එතනින් පැන දුවන එක.. එකායි.. දෙකායි.. තුනායි... ගොඩයා ලයිබ්‍රියෙන් එළියේ නවත්තලා තියෙන ගොඩයාගේ පුටාර් එක උඩ... 

ඔහොම ඉන්නවා... කිව්වම ඔහොම නවතිනවා....

කමලා ඇන්ටි බෙරිහන් දෙනවා ගොඩයාට හීනෙන් වගේ මතකයි.. එව්වට සැලෙයිද ගොඩයා... පෙරකදොරුවෙක් අල්ලාගෙන හරි නඩුව ගොඩ දාගන්න නම්, පළමුව අත්අඩංගුවට පත්වීමෙන් වැළකිය යුතුයි නෙව... 

පුස්තකාලාධිපති පිරිමි කෙනෙක් නොවී ගැහැණු කෙනෙක් වීමේ වාසිය ගොඩයාට හිමිවුණා මිසක්, පිරිමි කෙනෙක් උනානම් ගොඩයාව එවෙලේම අලලා පොත් රාක්කෙකට තියලා ගැටගහලා පොලිසියට භාරදෙනවා කියලයි ගොඩයා එවෙලේ හිතුවේ.. ගොඩයා හැල්මේ ෆුටාර් එක පැදගෙන පොල්වත්ත පැත්තට එද්දී මෙන්න යකඩෝ ඈපා ගොයියා පිට්ටනිය ගාව අරලිය ගහකට හේත්තු වෙලා හති අරිනවා.. ඉහින් කනින් දාඩිය බේරෙන අතරේ නාස් පොල්ල මයිනහම වගේ පිඹිනවා ඉවරයක් නෑ.. ගොඩයාටත් පොඩ්ඩක් විතර හති ඒත් ඇපාට තරං නෑ..

මොකක්ද ගොනෝ ඒ කරේ... තෝ කියන්න එපැයි ඒ බොලාගේ අල්ලපු ගෙදර ගෑනු මනුස්සයා කියලා...

මං හිතුවේ අඳුරගන්න එකක් නෑ කියලා බං..

ඈ බොල ගොන් මී වස්සෝ.. උදේ හවස තෝව දකින අල්ලපු ගෙදර මනුස්සයාට තෝව අඳුරන්න බැරිවෙන්නේ කොහොමද..

හරි බන් හරි.. ලොකුවට අවුලක් නෑනේ.. දෙන්නම පැනගත්තනේ..

පැනගත්තා තමයි ගොනෝ... ඒත් මං කොහොමද ආයෙම පොත් ගන්න යන්නේ දැන්...

ඕක මහ ලොකු දෙයක්ද බන්.. ටික දවසකින් ශේප් වෙලා යාවි... ඊට පස්සේ පලයන්..

උඹ මගෙන් කිනුහරුප නාහා පල.. මං යනවා ගෙදර..

පොඩ්ඩක් වරෙන්කො ආයෙම ලයිබ්‍රිය ලඟට යන්න..

ඒ මොකටද බන්.. මට නම් බෑ පැත්ත පලාතක යන්න..

අනේ පොඩ්ඩක් වරෙන්කො යන්න..

දැන් ආයෙම එතනට ගොහිං ඉල්ලගෙන කන්නද යකෝ.. මටනම් බෑ පලාතක යන්න...

අනේ වරෙන්කො යන්න.. 

මට බෑ.. උඹ ගෙදර පලයන්.. මමත් ගෙදර යනව..

ගෙදර යන්නේ කොහොමද බං... මගේ  බ ..බ ... බ ... බයික් එක එතන..

මලා...  මටනම් බෑ.. ඕන මගුලක් කරගනිං... 

අනේ බන් එහෙම කරන්න එපා බන්.. වරෙන්කො යන්න..

ඕන් ඔය ආකාරයේ දහසක් දුක් ගැනවිලි අවසානයේ ගොඩයාට සිද්ද වෙනවා කමලා ඇන්ටි පුස්ථකාලය වහලා ගෙදර යනකල් කමලා ඇන්ටි එක්ක හැංගිමුත්තන් කරන්න.. කමලා ඇන්ටි පුස්ථකාලය වහලා ගියායින් අනතුරුව තමයි ආපාගේ ෆුටාර් කටුව එතනින් අරගෙන ඈපා ගෙදර මාරු වෙන්නේ..

ඈපා බයිසිකලේ දාල දුවපු පලවෙනි අවස්ථාව ඒක උනත් අවසාන අවස්ථාව ඒක නෙවෙයි. දෙවැනි වතාවේ ඈපා බයිසිකලේ දාලා දිව්වා දිව්වාමයි... ආයේ ඒ බයිසිකලේ ඈපාට ලැබුණ නෑ.. ඒ කතාන්දරේ මෙතන ලිව්වොත් ඈපා ගොඩයාව කයි..



39 comments:

  1. දැං ඈපකෝ? මම නං එදාම උගෙත් එක්ක තියෙන ආස්සරේ නවත්තනව.

    ReplyDelete
    Replies
    1. ඈපා මේ දවස්වල කැලිෆෝනියාවේ ඉන්නෙ මචෝ.. දාලා දුවන එක ඒ වයසට සාමාන්‍ය දෙයක් සුරංග.. භය උනාම එහෙම වෙනවා ඇති.. ඈපා ගැන ලියන්න කතා ගොඩයි.. මේ ලියපු එක ගැන ඈපාගෙ ප්‍රතිචාරය අනුව ඉතිරි ඒවා ලියන එක තීරණය වේවි..

      Delete
  2. මගේ තාත්තට පිං සිද්ද වෙන්න මමත් ඔය වගේම කියවීමේ පිස්සුවෙන් පෙලෙන කෙනෙක්.ජිවිතේ යෙදෙන හැම විශේෂ අවස්ථාවකදීම මගේ තාත්තා මට තෑගි කලේ පොතක්..විශේෂයෙන් රුසියානු සාහිත්‍යය පොත්..ඒ කාලේ මට අම්බලන්ගොඩ මහජන පුස්තකාලය ගෙදර තරමට සමීපයි.. මට කාඩ් අටක් තිබුණා..( අම්මගේ, තාත්තගේ,බාප්පාගේ සහ පසුකාලීනව මගේ) පොත් ගෙනාපු ගමන් නොකා නොබී,නොනා කියවන එක තමයි කරන්නේ.. ඉස්කෝලේ ඩෙස්ක් එක අස්සේ දාගෙන ගුරුවරුන්ට හොරා කරන්නෙත් කියවන එකම තමයි.. අදටත් ලෝකේ කොහේ කොතන හිටියත් ඒ ප්‍රදේශයේ පුස්තකාල සාමාජිකත්වය මම ගන්නවා.. ඒක මට අත්‍යාවශ්‍ය දෙයක් වෙලා.. නැත්නම් කන්න නෑ වගේ..කියන්න සන්තෝශයි මගේ දරුවනුත් කියවීම පුරුද්දක් කරගෙන තියෙනවා..කියවීම තුළින් ලැබෙන පරිණත බව මම ඔවුන් තුලින් දකිනවා..හැම දේකම සියුම් තැන් ස්පර්ශ කිරීමේ හැකියාව ඔවුන්ට ලැබී ඇත්තේ කියවීම තුලින්ම බව මම විශ්වාස කරනවා.....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඔයා ඉන්නෙ අම්බලන්ගොඩ පුස්තකාල සීමාව ඇතුලත කියලා මේ ක්මෙන්ට් එකෙන් පැහැදිලියි
      පැහැදිලියි.. නොකා නොබී කියෙව්වා කියන එකනම් දන්නෙ ගෙදර අය විතරක් උනාට නොනා කියෙව්වා කියන එක අහල පහල අයත් දන්නවා ඇති.. දැන් තඩියාට ඔයා කව්ද කියලා හොයාගන්න වඩා ලේසි වේවි..

      කියවීම ගැන ඔයා කියල තියෙන දේ 100%ක් ඇත්ත... ස්තුතියි කොම්න්ටුවට..

      Delete
  3. අටේ නමයෙ කාලෙ, මඩොල් දූවත් එක්ක සැට් වෙන එව්ව තමා, සුදු ගෝනා, සුදු වැද්දා, කල්ලන්දූවෙ මුතු කොල්ලය, තුන් යහලු වික්‍රමය... ආදිය....

    ReplyDelete
    Replies
    1. ඔව්ව ඒ කාලෙ හෙන මාර්කට් පොත් ඩ්‍රැකී.. පුස්තකාලෙන් හොයාගන්න හරිම අමාරුයි.. ඒ තරමට ඔය පොත් ටික බිසී.. තියෙන කෙනෙකුගෙන් ඉල්ලගන්නත් වේටින් ලිස්ට් එකේ ඉන්න ඕන..

      Delete
  4. මොකද්ද හවස් වරුවෙ ඉස්කෝලෙ යන සීන් එක?

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙ ඉඩ තිබ්බෙ නෑ හය වසර පංතිය දාන්න.. ඒ නිසා හය වසර තිබ්බෙ හවස එකහමාරට... උදේ ඉස්කෝලෙ 1.30ට ඇරුනයින් පස්සෙ තමයි අපිට ඉස්කෝලෙ පටන් ගත්තෙ.. එකට විතර ඔක්කොම ලමයි ඉස්කෝලෙ පිටිපස්සෙ තාප්පෙ ලඟ පෝලිමේ ඉන්නව උදේ ඉස්කෝලෙ ඇරෙනකල්.. ඒ පෝලිමේ හිටපු අවුරුද්දක කාලය ඇතුලත ඔය පෝලිමේ රස කතා එමටයි. එව්වත් හෙමිහිට ලියන්න ඕන.

      Delete
    2. මමත් ඔය පෝලිමේ ඉදල තියෙනව, දකුණු පැත්තෙ ටිකක් පාලු ගෙදරක් නේද තිබ්බෙ ඒ කාලෙ

      Delete
    3. ඔව් ඔව්.. පොඩි ඉස්කෝලේ පිටිපස්සෙ ගේට්ටුව ලඟ තමයි අපි ගාල් කරලා හිටියේ.. ගෑල්ලමයි කොලේජ් ලේන් එකේ ගාල්වුනේ..

      Delete
    4. අපිටත් කාලයක් 4,5 පන්තිවල වගේ හවස් කාලෙ ඉස්කෝල තිබුණ.

      Delete
  5. දැං කාලෙ ඉන්ටනෙට් ගැන තියෙන අදහසම තමා ඒ කාලෙ පොත් ගැන තිබ්බෙ. කියවල නරක් වෙයි කියල....

    ReplyDelete
    Replies
    1. කියවලා නරක්වෙයි කියන එකා අමතරව බහුතරයක් දෙමාපියන්ට උනන්දුවක් තිබුනෙ නෑ පුරුද්දක් විදිහට තමුන්ගේ දරුවන්ට පොතක් අරං දෙන්න..

      Delete
  6. අනේ බං දෙවෙනි කතාවත් ලියහං....

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවානම් ඒ කතාව මම දන්නේ ඈපාම මට කිව්ව නිසා තමයි.. මං ඒ සිද්දිය වෙන වෙලාවේ එතැන හිටියේ නති නිසා මට ඒක ලියන්න සදාචාරාත්මක අයිතියක් නෑ.. මං එතැන හිටියත් මට්ත් මගේ ෆුටාර් එක දාලා දුවන්න වෙනවා අනිවා...

      Delete
  7. ++++++++
    අනේ බං දෙවෙනි කතාවත් ලියහං.... X 2

    ReplyDelete
    Replies
    1. මං ඒ සිද්දිය ඇසින් දුටුවෙක් නෙවෙයි ඉයන්.. ඒ නිසා තොරනේ විස්තරේ මං සම්පූර්ණයෙන් දන්නෙ නෑ.. මං එතැන හිටියත් ඉතිං මටත් ඒ අනිසංසේම තමයි...බයිසිකලය දාලා දුවනවා ඇරෙන්න වෙන විකල්පයක් එතැන නෑ...

      Delete
  8. පොත් කියවිම ගැන නමි කුමන කතා ද ? මොන වැඩෙි තිබුනත් පොත හිතට ඇල්ලුවා නමි එවිචරයි....

    ReplyDelete
    Replies
    1. පොතක් සැට් උනා කියන්නේ ලෝකයම අමතකයි නේහ්හ්...

      Delete
  9. මාත් ොඩි කාලේ ඉදලාම පොත් කියවන්න කැමති නමුත් අවුරුදු දහතුන වගේ පොඩි වයසේදී පුස්තකාල ආශ්‍රය කරන්න නම් ලැබුණේ නෑ.

    මේ කතාවෙන් මට නම් ලැබුණු ආදර්ශය තමයි පුස්තකාලවල පොත් නොකියවා හිටිය නම් අර මල්කාන්ති වගේ දොස්තර වෙන්න තිබුනා නේද කියන එකයි.

    ReplyDelete
    Replies
    1. මල්කාන්ති අක්කත් පොත් කියෙව්ව රසික.. මල්කාන්ති අක්කගෙ මල්ලි තමා අපේ ගමේ සැට් එකේ සාමාජිකයා.. මල්කාන්ති අක්කලාගෙ මිදුලේ තමයි අපි හවසට ක්‍රිකට් අහන්නෙ.. ඔය පුස්තකාලෙ කාර්ඩ් එක ගන්න වැඩේට මට උදව් කලාට මල්කාන්ති අක්කාගේ නීති රෙගුලාසි ආයෙ දෙකක් නෑ අකුරට තිතට තමා.. හයට ක්‍රිකට් ගහලා ඉවර කරන්න ඕඩර් එක දුන්නොත් ආයේ හයයි එක වෙද්දි ක්‍රිකට් ටීම් එකම එයයිලාගෙ මිදුලෙන් මිසින්.. ඒ නීති රෙගුලාසි එහෙම උනාට මල්කාන්ති අක්කා බොහෝම හොඳ මනුස්සයෙක්..

      Delete
  10. අලුත් චරිතයක් ගැන කතාවක්... පේන විදිහට සෙට් එකේ අනෙක් උන් වගේම මිනිහත් ජාතික වස්තුවක් වගේ, ඔය වයසට අප්සට් සීන් වලදි කොහොමත් ඉස්සර වෙන්නෙ කකුල් දෙක තමා..පුස්තකාලෙන් ගෙදරට රතු නිවේදන එහෙම අාවෙ නැද්ද? අරන් තිබුන පොත් කොහොමද දුන්නෙ

    ReplyDelete
    Replies
    1. චරිතය බ්ලොග් එකට අලුත් උනාට සැට් එකේ පරණම සාමාජිකයෙක්.. මේ බ්ලොග් එකේ මුලින්ම ලියැවුන "බූලාගේ වික්‍රම" පෝස්ට් එකේ කෝච්චියේ ගාර්ඩ් අපේ බූලාව අල්ලගත්තු වෙලාවෙ පන එපා කියලා පැනලා දුවපු කට්ටියගෙන් එකෙක් තමයි ඈපා... ඈපා ගැනත් කතා බොහොමයි... අවසර ලැබුනොත් ඉදිරියේදි ලියන්නම්කෝ.. පැනලා දුවන එක කලාවක්නම් අපි ඒකේ පිකාසෝලා කිව්වොත් තමයි හරි...

      Delete
    2. පොත් ආපහු යවපු විදිහ කියන්න අමතක වෙලානේ.. කාර්ඩ් කාගෙද පොත් කව්ද අරන් ගොයේ කියලා නමින් ගමින් කියන්න කමලා ඇන්ටිට බෑ.. ඒ වාසිය අරගෙන මගේ ලොකු අම්මගෙ පුතා අතේ පොත් හතර යැව්ව.. මෑන්ස් තමයි ඒ පැත්තෙ වතුර බිල් බෙදුවෙ.. බිල බෙදන ගමන් මේ පොත් හතර රිටර්න් කරලා කාර්ඩ් හතර ගනින් කියලා යාප්පුවෙන් සේප් කාර්ඩ් එකක් ගහලා යැව්ව.. මෑන්ස් දන්නෙ නෑනේ අපි කරපු අලුගුත්තේරු වැඩේ.. ලොකු අම්මගෙ පුතා කිව්වට ඌ මට වඩා අවුරුදු පහලොවක් විතර වැඩිමල්.. මෑන්ස් රාජකාරීය අතරේ පොත් හතර දීලා කාර්ඩ් හතර ගෙනැත් දුන්නා.. මෑන්ස් දන්නවා මේක මොකක් හරි ගැටයක් කියලා.. වතුර බිල දෙන්න ගම වටේ යන මෑන්ස් නිසා කමලා ඇන්ටි මැන්ස්ව සැක කරන්නෙ නෑ..

      Delete
    3. නහයෙන් උඩට වතුර ගියත් කන් දෙකෙන් හරි හුස්මටික ගන්න දන්නව.

      Delete
  11. ඉස්කෝලෙ කාලෙ විදුහලේ පුස්තකාලයම ඉවර කළාට ටවුමෙ එකට බැඳෙන්න ක්‍රමයක් තිබ්බෙ නෑ නගර සභා සීමාවෙ නොවෙන නිසා. පස්සෙ කාලෙක කොළඹ මහජන පුස්තකාලයට නම් බැඳුන කාඩ් දෙකකුත් තිබුණා. ඒක නෙවෙයි මම හිතං හිටියෙ පුස්තකාලය කියල ලිව්වම නිවැරදියි කියල. පුස්ථකාලය හරි වචනෙ කියලා දන්නෙ උඹේ පොස්ට් එක කියවපු නිසා.

    ReplyDelete
    Replies
    1. විචාරක නැති එකේ අඩුපාඩුව පේනවා නේද.. ඉස්සරනම් අක්සර වින්‍යාසය වරද්දපු ගමන් විචා යටින් කොමෙන්ට් එක දානවා වැරදියි කියලා.. දැන් එහෙම කෙනෙක් නෑ.. හෙලකුරු එකේ ලියාගෙන යනවා මිසක් මටත් ඔව්ව හරිද වැරදිද කියලා වැඩි විශ්වාසයක් නෑ. පුස්ථකාල කාර්ඩ් එක ගනිද්දි භූමියේ සීමා මායිම් දාන එක හරිම අසාධාරනයි හැලපේ.. අම්බලන්ගොඩ පුස්තකාලෙ තියෙන තැනට මට ගෙදර ඉඳන් විනාඩි දහයෙන් එන්න පුලුවන්.. ඒත් ඒකෙන් කාර්ඩ් එකක් ඇප්ලයි කරන්න නීතිමය ප්‍රතිපාදන නෑ.. එව්ව මහ ගොන් මරි නීති බං..

      Delete
  12. මම නම් වැඩිය කියවන්න උනන්දුවක් නෑ.ඒත් කියවන්න මොනාහරි හම්බුනොත් ඒක ඉවර කරනකන් ඉවසිල්ලක් නෑ වගේම ඒ කතාව ඇතුලෙ ජීවත් වෙනව.අන්තිමට මං හිටියෙ නන්දිකඩාල්" කලපුවෙ.ප්‍රභාකරන්ට ශොට් එක දීල තමයි නැවැත්තුවෙ.කොරෝනා කාලෙ "කිසි විටෙකත් සතුරාට යටත් නොවන මා" PDF එක ලැබුන.අම්මේ ඉතිං ඉවර වෙනකන් නින්ද ගියේ නෑ.ඈපා දකින්නත් ආසයි බං.ඒ දවස්වල නම් බුකියෙ හිටිය දැන් ලොවෙත් හියන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඈපා හිටි ගමන් ඇත... හිටි ගමන් නැත... මේ දවස්වල පෙනෙන්නට නැත... පොත්වල PDF බෙදාහැරිල්ල ගැන මගේ ඒ තරම් මනාපයක් නෑ... ඒක ලේඛකයාට කරන අසාධාරණයක් .. පිටකොටුවේ CD විකිනිල්ල නිසා අපේ සංගීත කලාව මියයමින් තියෙනවා.. ඒ වගේම තමයි පොත්වල PDF බෙදාහැරිල්ලත්...

      Delete
  13. ඈපකෝ කියල කීවෙ නැද්ද ඊලගපාර ගොත් ගන්න ගියාම

    ReplyDelete
  14. There were lot of american high school books which I used to read in the main library . Best books to improve english . The last person to borrow those before me have done that in sixties ,I borrowed them in late eighties .By the way I had 6 cards

    ReplyDelete
  15. ගොඩයල ඒ කාලෙ එක එක අස්සවල් වල ගහගෙන ඉස්කෝලෙ ගෙනිහිල්ල කියවන පත්තර වල හැටියට උඹලට පුස්තකාල කාඩ් දීල ඒකෙ තියෙන ඇල්ඩස් ඔන්ලි පොත් කියවයි කියල බයට වෙන්නැති ඔය 14+ එක දාල තියෙන්න ඇත්තෙ.

    ReplyDelete
  16. ඇති යන්තං උඹලයෙං කාට හරි මඩොල් දූව කියවල ඒකට ගිහිල්ල හේන් කොටන්න හිතක් පහල නොවුන.

    ReplyDelete
    Replies
    1. එ්කත් කරලද දන්නෑ, නොකිව්වට

      Delete
  17. ගොඩයාගේ කථාවක් ඇහුවේ හුඟ කාලෙකින් කෙසේ වෙතත් සුපුරුදු විදියට රසවත්ව ලියලා තිබෙනවා ඇත්ත්ටම පුස්තකාලවල නිති ටිකක් තදයි තමයි ඒකෙන් ඇත්තටම කියවන අයට බාධාවක් වුණත් ඒ නීති දාලා තියෙන්නේ පොත් නැතිකරන හින්දා සමහරු පොත් ගල්ටික් කරලා බොරුවට ඇවිත්කියවානැතිවුණා කියලා දඩ මුදල ගෙවන්නෙත් නැ ආයෙ පුස්තකාලෙ පැත්තෙ එන්නෙත් නෑ සිද්ධිය අමතක වෙනකං කෙසේ වෙතත් ඔබේ පොත් කියවිමේ රුචිකත්වය දැන්ද තිබේ යැයි මා විහ්වාස කරනවා ඔබ මෙන්ම මටද පොතක් අතට ගත්විට එය කියවා අවසන්කළ යුතුයි එක දවසින්ම
    විචාරක දියණය

    ReplyDelete
  18. අදයි මේ පැත්තේ ආවෙ කලෙකින් ලියන්න පටන්ගත්තු එක ගැන සතුටුයි.පොත් කියවිල්ල මට පුරුදු වුනේ අපේ අම්මා ගෙන්.අදටත් ගෙදරදී බත් කන වෙලාවටත් කියවන්න මොකක් හරි ලඟට ඕනෙමයි.සමහර වෙලාවට කෑවෙ මොනවාද දන්නෑ.මොනවා හරි දෙයක් කාලෙකින් කෑවෙ නෑ කිව්වා ම බිරින්දෑ අහනවා ඇයි ඊයෙ දවාලට කෑවෙ මොනවාද කියලා😍මම රොබින්සන් කෲසෝ කියෙව්වෙ 5 පංතියේ දී.ඒ.වී.සුරවීර මහතාගෙ හෙයියම්මාරුව කියෙව්වෙ 6පංතියේදී,දැන් හිතෙනවා ඒක ඒවයසට වැඩි වැඩක් කියලා.බ්ලොග් ලෝකෙ කරක් ගහන නිසා දැං නම් කියවන්න දේ ඕනෙ තරම්.ගොඩයො අන්න ඔයාගෙ ජාතියෙම පොරක් අටම්පහිය fb page එකට ලියනවා රුවින් පමුදිත යද්දෙහිආරච්චි නමින් කතා කීමේ හැකියාව ඔබේ මෙන්ම උපරිමයි.ඒක කියවන්න ගත්තා ම මට මතක් වුනේම ගොඩයා දැං ලියන්නෙ නෑනෙ කියලා.කියවලා බලපං යාලුවේ.නිදුක් නිරෝගීව යහතින් ඇතැයි සිතමි.ජයවේවා

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. අවුරුදු ගාණකට පස්සේ ආයෙත් මුල ඉදන්ම කියෙව්වා

    ReplyDelete