Friday, March 10, 2023

ස්වීට් නටාලියා..

 





නටාලියා ගොඩයාට හම්බෙන්නෙ 2014 අවුරුද්දෙ එක්තරා දවසක. දවස කවදාද කියලා ගොඩයාට හරිහැටි මතකයේ නැති උනාට කාල වකවානුව ගත්තාම අවුරුද්ද 2014 තමා... නටාලියා රුසියානු (වගේ ) පෙනුමක් තියෙන වයස අවුරුදු විසි පහක තිහක වගේ ගෑල්ලමයෙක්. එයයි වැඩ කරේ ගොඩයා රස්සාව කරන්න යන තවත් එක අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක ෆ්‍රන්ට් ඩෙස්ක් පර්සන් විදිහට... 

ගොඩයා ඔය කියන තැන්වලට් යන්නෙ එයැයිලගෙ ජිම් එකේ තියෙන යන්ත්‍ර සූත්තර අලුත්වැඩියා කරන්න. .. ඔය රාජකාරියේදි ගොඩයලා ගනුදෙනුව වැඩිමනක් කරන්නෙ ෆ්‍රන්ට් ඩෙස්ක් එකත් එක්ක තමා.. මොකද කියනවානම් කොමර්ශල් ජිම් එකක නොවෙනතාක් ගොඩයලාට ජිම් එකක් ඇක්සස් කරන්න දොර යතුරු නෑ.. ඒ යතුරු හෝ කී ෆෝබ් ගොඩයලා ඉල්ල ගන්නෙ ෆ්‍රන්ට් ඩෙස්ක් එකෙන්... ඒක ගනුදෙනුවක්... යතුර හෝ කී ෆෝබ් එක ලැබෙන්නනම් ඒ යතුර ගන්න කොන්ත්‍රාත්කරුගේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීම තමා සිරිත... නීතියක් නොවුනාට යතුර ගන්න එකා ඒ යතුර ආපහු භාර නොදෙන්න තියෙන සම්භාවිතාවය තමා වැඩි.  රියදුරු බලපත්‍රය තියාගත්තාම ඉතිං යතුර ආපහු ලැබෙන සම්භාවිතාවය ලොකු අගයක්...


දැං කියන්නෙ ඔය සිද්දියට සම්භන්ධ අතුරු විස්තරයක්... ඔය කියන කාලෙ ගොඩයාට රාජකාරිය වෙනුවෙන් ආයතනයෙන් ලබාලා දීලා තිබුනේ වෑන් රථයක්... වෑන් රථයට තෙල් ගහන්න වෙනම ක්‍රෙඩිට් කාර්ඩ් එකකුත් ඔෆිශියල් වාහනේ වෙනුවෙන් ලැබෙන එක සාමාන්‍ය දෙයක්. ගොඩයාගෙ රැකියාවේ ස්භාවය අනුව අවුරුද්දකට වතාවක් දෙකක් ඇරුනාම ඔෆිස් එකට යැවෙන්නෙම නෑ. අවශ්‍යවෙන අමතර කොටස් ඇතුලු සියලූම දෑ ජංගම රථයක් විසින් ලඟටම ගෙනැත්දෙන නිසා ඇනුවල් මීටින් එකට හෝ ට්‍රේනින් එකකට ඇරුනාම ඔෆිස් එකට යන්න යන්න වෙන්නේ බොහෝම කතාතුරකින්..... රැකියාවේ ස්භාවය අනුව උදේට පැය භාගයක් වෙනම වැටුපට එකතු වෙනවා පලවෙනි ජොබ් සයිට් එකට යන්න. හවසට ඕෆ් වෙලා ගෙදර එන්නත් පැය භාගයක් හිමියි. වෙනත් විදිහකට කියනවානම් දවසේ වැඩකරන පැය ගානට තවත් අමතර පැයක් හිමිවෙනවා යෑමට සහ ඒමට. ගොඩයා උපන්දා හිටන්ම  හද්දා කම්මැලියා කියලා කිව්වොත් ඉතිං එව්වා බොරු නෙවෙයි.. දැං උනත් රැකියාවේ ශෝර්ට් කට් ගැන ඇහුවොත් ගොඩයා ඒ කලාවේ පිකාසෝ... කම්මැලියෝ තමා ශෝර්ට්කට් සෙවීමේ කලාවේ උපන් හපන්. ගොඩයා කම්මැලියා නිසා රස්සාවෙන් හිමිවෙන අමතර පැයත් ගෙදර ඉඳලාම ගන්න තමා ගොඩයගෙ උත්සාහය. දවසට පැය හතක් කාට හෝ බිල් කරලානම් ඉතුරු පැය ගැන ලොක්කන්ට ගැටලුවක් නෑ... ගොඩයාගේ ක්‍රමවේදය තමා පලමු ජොබ් එකට ආසන්නයේම ජොබ් සයිට් එකක් දමා ගැනීම සහ  අවසාන ජොබ් එකත් නිවස ආසන්නයේම දමාගැනීම. එතකොට ගෙදර එන්න සහ වැඩට යන්න විනාඩි දහයේ කෑලි දෙකක් වැය කලත් විනාඩි හතලිහක් ගොඩයට ලාභයි. කෑම් බීම්, වාහනේට තෙල් ගැහිලි වගේ එව්වා සියල්ලම සිද්ද වෙන්නෙ පලමු ජොබ් එක සහ අවසාන ජොබ් එක අතර කාලයේ කිව්වොත් තමයි හරි. හවස ගෙදර එද්දි වාහනේ තෙල් ලයිට් එක පත්තු උනත්, උදේ වැඩට යද්දි තෙල් ලයිට් එක පත්තු උනත් ගොඩයා තෙල් ගහන්නෙ පලමු ජොබ් එකෙන් පස්සෙයි. 

ගොඩයගෙ වාහනේ තෙල් ලයිට් එක පත්තු උනේ මේ කියන දවසට කලින්දා ගෙදර යද්දි. සමාන්‍යෙන් ඒ වාහනේ ලයිට් එක පත්තු උනාට පස්සෙත් කිලෝමීටර අසූවක් දුවන්න පුලුවන් කියලා තමයි වාහනේ මීටරයෙන් පෙන්නුම් කරන්න…. ඉතිං මක්කෙටෙයි අප්පේ මේ වාහනේක විස්තරයක් ලියන්නෙ කියලා හිතන්න එපා... ඒ කෑල්ල මේ ලියාගෙන යන සිද්දියට අදාලයි...


මේ කියන දවස අගෝස්තු මාසෙ දවසක් කියලා ගොඩයාට හොඳටෝම මතක, ඒ දවස් සෙල්සියස් පනහට ආසන්න රස්නයක් තිබ්බ දවසක් නිසා... කාලගුණයා පෙන්නන්නේ සෙල්සියස් හතලිස් පහ උනාට ඌම යටින් හීනියට ලියනවා ෆීල්ස් ලයික් ෆිෆ්ටි කියල... ඒ හරුපේ එහෙම වෙන්නේ පරිසරයේ ආර්ද්‍රතාවය සහ අනෙකුත් සාධක නිසා කියල ගොඩයා ලාවට දන්නවා උනාට ගොඩයට වැදගත් ෆීල්ස් ලයික් කීයද කියන කෑල්ල විතරයි.. 


ගොඩයා නටාලියා ඉන්න ගොඩනැගිල්ලට යන්නෙ ජොබ්ස් තුනකට... වෙනත් විදිහකට කියනවානම්, චීනෙන් ගෙනාපු ලදරම් තුනක් ගොඩ දාන්න... ෆිට්නස් ඉක්වික්මන්ට්ස් කියන්නෙ අද වෙද්දි වෙනම ඉන්ඩස්‍රි එකක්... ජිම් එකට එන හැම එකාම එන්නෙ එක්සසයිස් කරන්නම නෙවෙයි කියලා ගොඩයා දන්නවා, දැං ගොඩයා අවුරුදු දහයක් ඔව්වා ඇතුලේ කෙරෙන ආටක නාටක සියල්ලම දැකලා තියෙන නිසා... සමහර සීන් කෝන් හරිම රෝමාන්තිකයි... සමහර එව්වා ත්‍රාසජනකයි... සමහර එව්වා වැඩිහිටියන්ට පමණයි සහ අසභ්‍යයි.... සමහර එව්වා ජුගුප්සාජනකයි... 

කාර්ඩියෝ එක්සසයිස් කරන මැශින් එකක් කිව්වම මේ වෙද්දි එව්වා එන්ටටේන්මන්ට් සාගරයයි... නෙට්ෆ්ලික්ස්ද, ෆේස්බුක්ද, යූටියුබ්ද., ලයිව් ටීවීද ඇතුලු නොයේක් මාකටින් උගුල් දැං එව්වයෙ අන්තර්ගතයි... එව්වා මොනවා තිබ්බත් චීන මරාල ලෙඩ ගොඩවල්... ලාභෙට ෆුල් ඔප්ශන් එක්ක ලැබෙන නිසා ඔව්වා මිනිස්සු ගත්තට උපතින්ම ලෙඩ ගොඩවල් කියලා දන්නේ එව්වා රෙපෙයාර් කරන උදවිය පමණයි.... ගොඩයා නටාලියා ඉන්න ගොඩනැගිල්ලට යන්නෙ කාර්ඩියෝ මැශින් තුනක් හදන්න. බ්‍රෑන්ඩ් නිව් ගත්තු මැශින් තුනම එක පාරට චකබ්ලාස් වෙනවා කිව්වම ඉතිං කොලිටිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ නේහ්... එකක ඩ්‍රයිව් මෝටරේ ඩන්... තව එකක ඩ්‍රයිව් මෝටරේ ප්ලස් ඉන්ක්ලයින් මෝටරේ ඩන්... අනික් එකේ ටීවී ටියුනර් බෝර්ඩ් එක ඩන්... චයිනීස් වැල ගෙඩි එලියෙන් පෙනුම සුපිරි උනාට ගැලෙව්වාම ඇතුල තොටලඟ තොරනේ පිටිපස්ස පරාදයි.... මරුවැල් අදින්නැහේ වයර් ඇදලා ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් එකක් මැදට ඔබලා චීන්නු ගහන මැශින් ඉතිං හද්දා මරාල... වොරන්ටි ඉවරවුනාම ගන්න එවුන්ට අබසරණ තමා ඉතිං... 


ඉලෙක්ට්‍රොනික් කෑලි හදන එකත් අවුලක් නෑ  කියමුකෝ... මිකැනිකල් කෑලි ටිකත් අවුලක් නෑ කියමුකෝ... සොෆ්ට්වෙයාර් පැත්තත් අවුලක් නෑ කියමුකෝ... ලොකුම අමාරුම වැඩේ තමා ගලවපු ප්ලාස්ටික් කෑලි ටික කටට කට තියලා ඉස්කුරුප්පු ඇන ටික දාගන්න එක... ආන් එතකොට තමා ගොඩයට  චීනගේ මවු දෙමාපියෝ සිහිවෙන්නේ... ඉලෙක්ට්‍රික් ස්ක්රු ඩ්‍රයිවර්ද , ඉම්පැක්ට් ඩ්‍රයිවර්ද , ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් ද කියන සියලූම නවීන උපකරණ තිබ්බට චීන මරාල එක්ක වැඩ කරද්දී ඉතින් ප්‍රොටොටයිප් තමා ජොබ් එක.. සියල්ල අතින්.. මොකද කියනවනම්, ඇනයක්, නට් එකක්  වට කාලක් වැඩිපුර කරකුනත් පොට යන්නේ එහෙනං කොල්ලෝ අපි ගියා කියාගෙන... චීන මරාල එක්ක ඉතින් දෑතේ සවිය පමණයි... ඉතිං චිනගේ දෙමාපියන්ට පිං දීලා විතරක් ඇද්ද... ප්‍රධානපෙලේ හොඳ යන්ත්‍රයක් එක්ක විනාඩි දහයෙන් කරන රෙපෙයාර් එක චිනගේ මරාල එක්ක කරද්දී පැයක් හමාරක් ශුවර්ම පරිප්පු... 

ටිකක් කැලේ  පැන්නා  නේහ් .. ආයෙම මාර්තෘකාවට...


ගොඩයා උදේම ගිහිං වැඩ පටන් ගනිද්දි උදේ 9 වගේ වෙන්න ඇති... පැය දෙකෙන් තුනම ගොඩ දාන්න පුලුවන් වැඩක් උනාට කොම්පැනිය ගොඩයව නටාලියාගෙ මැනේජර්ට විකුනන්නෙ පැය පහකට... මැෂින් තුන ඩයග්නෝස් කරපු දවසේ  ගොඩයා රෙපෙයාර් එකට කෝටේෂන් දුන්නේ පැය පහකට.. චීන මරාල නොවුනානම් පැය තුනයි උපරිම ඔය කිව්ව රෙපෙයාර් ටිකට. කිව්ව කාලෙට වැඩේ ගොඩ දාගන්න බැරුව පස්සේ ආයේ නාහෙන් අඬල බිල් කරනවට වඩා ලේසියි සුදානම් සරීරෙන් මරාල වලට පැයක්  දෙකක් වැඩිපුර කෝට් කිරීම ..  ජොබ් එක පැය දෙකෙන් ගොඩ දැම්මත් වැඩේ අවසාන උනාම ගොඩයා නටාලියාට බිල දාන්නෙ පැය පහකට... ඒ නිසා ලොකු හදිසියක් නෑ.. ඒත් පැය පහේ වැඩේ පැය තුනෙන්ම  ගොඩ දාලා ඉතිරි පැය දෙක වාහනේට වෙලා අන්තර්ජාලයේ රස්තියාදුවක් ගහන්න තමා ඉතිං ගොඩයාගෙ මනාපය... 


මෝටර් තුනම මාරු කරලා ටියුනර් බෝර්ඩ් එකත් රිප්ලේස් කරලා සොෆ්ට්වෙයාර් එකත් අප්ඩේට් කරලා අලුතෙන් ඇප්ලිකේශන් ටිකත් සෙටප් කරලා ටීවී චැනල් ටිකත් හදලා දුන්නම ගොඩයාගෙ වැඩ අවසානයි...


අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස්වලට එන ලොකුම තරහකාරයා තමා කොන්ත්‍රාත් කරුවා.. මොකද කියනවානම් එයාලා යන්නෙ දාස් ගානක බිලක් දාලා නිසා... කොන්ත්‍රාත් කරුවන් එන්නෙ එයාලට බිලක් දාලා යන්න නිසා අපාර්ට්මන්ට් මැනේජ්මන්ට් වලින් කොන්ත්‍රාත් කරුවන්ට දාහක් නීති රෙගුලාසි... වාහනය නවත්තගන්න වෙනම තැනක් කලින් වෙන්කරගැනීමේ හිටං දාහක් දේවල් එයාලගෙ නීති රීති අතරේ ඇතුලත්. ඒ එක්කම ජිම් එකේ යතුර ගන්න ඩ්‍රයිවින් ලයිසන් එක ඇපයට තබන්නට සිදුවීමත් ඒ නීතිවල කොටසක්... ගොඩයා ඔය කිව්ව ජොබ් එක කරන්න ජිම් එකේ යතුර ගන්නෙත් නටාලියාට ඩ්‍රයිවින් ලයිසම දීලයි...


ඕං පැය තුනක් ආසන්න වෙද්දි ගොඩයගෙ රාජකාරිය අවසානයි... ගොඩයා තමුන්නැහේගෙ ටූල්ස් ටිකත් වාහනේට පටෝලා යනවා නටාලියා හොයාගෙන යතුර දීලා ලයිසම ආපහු ඉල්ලගන්න... බිල යන්නෙ සිස්ටම් එකෙන් නිසා පැය පහ වෙන්න කලින් ගොඩයා බිල හදලා ඉල්ලගෙන කන්නෙ නෑ... කොයිතරම් කාලයක් කලින් ජොබ් එක ඉවර කරත් ගොඩයා බිල හදන්නෙ කොටේශන් එකේ දීපු වෙලාව අවසන් උනායින් පස්සෙයි.. නටාලියා ඉතිං කවදාවත් හිනාවකින්වත් සලකන්න දන්නෙ නැති ආඩම්බර එකී නිසා ගොඩයාත් එව්වට පදිරි වෙන්නෙ නෑ... අවුරුදු දෙකකට ආසන්න කාලයක් ඔය කියන බිල්ඩිමට ගොඩයා යනවා එනවා උනාට නටාලියා නෙවෙයි එක දවසක්වත් ගොඩයාට හිනාවකින්වත් සංග්‍රහ කරේ... ගොඩයත් ඉතිං නටාලියාට බෙදුවෙත් එම හැන්දෙන්ම තමා... ආයෙ මක්කටෙයි  අපි උන්ට සෙකන්ඩ් වෙන්නෙ... හිර ගන්න ගිහිල්ලවත් ණය ගන්න ගිහිල්ලවත් නෙවෙයිනේ ආයුබෝවන්ඩ ..


ඕං ගොඩයා යතුර අරගෙ ගිහිං නටාලියාගෙ කවුන්ටරේ උඩිං තියනව... නටාලියා ඒ වෙලාවට ඉන්නෙ පාරාවෝ පිලිමෙ වගේ අංශක අනූවට අහක බලාගෙන.. වෙනත් විදිහකට කියනවන්නම්, නටාලියා ඉන්නෙ ගොඩයාගෙන් බූට් එකක් කාපු ගානට... කවුදෑ දන්නෙ නටාලියා පහුගිය ආත්මෙක ගොඩයාගෙ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්දවත්ද කියලා... මූන කට හැඩට තිබ්බට ඒ වගේ පාරාවෝ පිලිමනම් ජාති ජාතිත් එපා...

ගොඩයාට ඉතිං අංශක අනූවට අහක බලලා බෙල්ලෙ පොට යවාගන්න ඕන නැති නිසා ගොඩයා ඉන්නෙ සිවිලිමේ සිරි නරඹන ගමන්... ගනුදෙනුව හරි සරලයි... ගොඩයා යතුර කවුන්ටය උඩින් තිබ්බාම නටාලියා ගොඩයාගෙ ලැයිසම කවුන්ටරය උඩින් තියනව... නෝ කතා නෝ සිනා... ඒ ගනුදෙනුව අහවර වෙලා ගොඩයා මගක් එමින් ලැයිසම දිහා එබීලා බැලුවාම මේං බොලේ ඒකෙ ඉන්නෙ වෙන එකෙක්... නටාලියාට දෙකක් අමතන්න ලැබෙන චෑන්ස් එක ගොඩයා අතාරියිද ඉතිං... එහෙම අතාරින්න බෑනෙ නේහ්... 

කොන්වසේශන් එක මෙතැන ලියන්න බෑ..  ගොඩයට මහන්සියි.. සමරිය මෙහෙමයි..... නටාලියා ගොඩයගෙ ලැයිසම ලිෆ්ට් එක හදන්න ආපු එකාට දීල... ලිෆ්ට් එක හදන්න ආපු එකාගෙ ලැයිසම ගොඩයට දීල... ගොඩයා නටාලියාට අමතනවා ඇහිලා නටාලියාගෙ මැනේජර් තැන ඇවිදිල්ලා මැදිහත් නොවෙන්න එතැන ගොඩයා සහ නටාලියා වලිය හැම චැනල් එකකම බ්‍රේකින් නිව්ස් එකෙත් යන්න ඉඩ තිබ්බ...


ඇයි හත් ඉලව්වෙ නටාලියා කියන අසාධාරණ කතාව අහස පොලොව උහුලන්නෙ නෑ කියාංකො.. නටාලියා ගොඩයාට කියනවා ලිෆ්ට් එක හදන්න ආපු එකාගෙ නොම්බරය දෙන්නම්ය උන්නැහේ ඉන්න තැනක් හොයාගෙන ගිහිං  ලැයිසමේ මාරු ඇරගන්න කියල... ඉතිං කියාංකො මේ ගොන් නෑම්බිව කාලත් හිත් වදිනවද  කියල... ලැයිසම අතේ තියාගෙන අපූරුවට වාහනේ එලෝගෙන ආපු එකාට  ලැයිසම නැතුව වාහනේ එලෝගෙන ගිහිං ලයිසමේ මාරු ඇරගන්න කියන එක මොලයක් ඇති එකෙකුට කියන කතාවක්ද ආයුබෝවන්ඩ. ලැයිසම නැතුව යද්දි නිකමට හරි පොලිස් රාලාමි කෙනෙක් ගොඩයව නැවැත්තුවොත් ඒ ටොපියත් ගොඩයට නෙව...

ප්‍රශ්ණය මැන්ටල් නටාලියා සහ එයැයිගේ මැනේජර් එක්ක විසඳගන්න ගියොත් නටාලියාටයි එයැයිගෙ මැනේජර්ටයි බත් කන්න වෙන්නෙ එදා හිටං දත් නැතුව වීමත්, ගොඩයාට මාස හයක් අවුරුද්දක් බත්කන්න වෙන්නෙ හිර ගෙදරින් වීමත් නිසා ගොඩයා තීරණය කරනවා ලැයිසමේ අවුල ගොඩයාගෙ ප්‍රධාන කාර්‍යාලයට දන්වන්න...

එවකට ගොඩයගෙ බොසා මයික්... ගොඩයා මයික් අමතලා තොරණේ විස්තරය කිව්වයින් පස්සෙ මයික් නටාලියාගෙ මැනේජරයාව අමතලා ලැයිසමේ අවුල ලිහන්න බැලුවට ඒ මෝඩ බාන අදින්නෙම මඩට... මයික් මැදිහත්වෙලා ලිෆ්ට් හදන කොම්පැණියට කෝල් කරලා ලිෆ්ට් එක හදන්න ආපු හාදයාව හොයා ගනිද්දිත් පැයක් හමාරක් අහවරයි... ඒ වෙද්දි ලිෆ්ට් හදන හාදයා වෙන බිල්ඩිමක ලිෆ්ට් එකක් ගලෝගෙන... ඒ යෝදයත් අරං ඇවිල්ලා තියෙන්නෙ වෙන එකෙකුගේ ලැයිසමක් කියලා දන්නෙ අපේ මයිකා කෝල් කරායින් පස්සෙලු... ඉතිං කියහංකෝ ඒ වගේ සිහි කල්පනාව නැති එවුන් හදන ලිෆ්ට්වල නැගලා තට්ටු පනහ සීය උඩ පහල  යන්න පුලුවනිද විස්සාසෙකින්...

සියලු දුරකථන සංවාද අවසානයේ මයික් විසින් දෙන අවසාන තීන්දුව උනේ, ලිෆ්ට් හදන හාදයා එයැයි දෑං කරමින් ඉන්න වැඩේ අහවර වෙලා ආපහු ගොඩයා ඉන්න තැනට ඇවිල්ලා ලැයිසමේ මාරු ඇරගන්නකල් ඔතැනම හිටපන් සහ ඉන්න අන්තිම විනාඩිය දක්වා නටාලියාගේ බොසාට  බිල් කරපන් කියලයි... ගොඩයාට ඉතිං පස්ට හැපී... වෙන මොකක්වත් නිසා නෙවෙයි... නටාලියා සහ එයැයිගෙ මුග්ද මැනේජර්ට සුපිරි ගානක බිලක් දාගන්න ලැබෙන සන්තෝසයට... අසාධාරණයක් කරලා තවත් කයිය ගහන්න එනවට රිටර්න් එකක් දෙන්න ලැබීම ඉතිං වෙනම ආතල් එකක් නෙව...ඒ කාලෙ ගොඩයගෙ කොම්පැණිය ගොඩයව වික්කෙ පැයට ඩොලර් වලින් ගත්තොත් එකසිය පහකට... පැය පහක් බිල්වෙලා තියෙද්දි ඉතිරි කාලෙට බිල දාන්න ගොඩයා දත කට මැදගෙන සන්තෝසෙන් බලන් ඉන්නවා ලිෆ්ට් හදන යෝදයා එනකල්...


ගොඩයාගෙ සන්තෝසෙ වැඩි වෙලා තිබ්බෙ නෑ කියාංකො... වෑන් කොටේ ටැංකියේ තෙල් නෑ තෙල් නෑ කියන ලාම්පුව පත්තුවුනේ ගොඩයා ඉස්සරින්දා ගෙදර යද්දී... කම්මැලිකමක මහත තමා ඉතීම්..  ගොඩයා ඒ ලයිට් එක එහෙමම තියෙද්දී උදේ වැඩට ආවේ පලවෙනි වැඩේ අහවරවෙලා තෙල් ගහන බලාපොරොත්තුවෙන්.. පරිසර උශ්නත්වය සෙල්සියස් හතලිස් පහට වැඩි මිසක් අඩුවක් නෑ... ඒසී දාගෙන ස්ටාර්ට් එකේ තියාගෙන ඉන්න විදිහකුත් නෑ නැවතුනොත් ගොඩයාට අබ සරණයි.. එලියට ගිහිං තෙල් ගහගෙන එන්න ක්‍රමේකුත් නෑ අර යෝදයා ලැයිසම අරං ආවොත් සහ පාර්කින් ස්පොට් එක නැතිවුනොත් ආයෙ පාර්ක් කිරිලි බොරු...ඉදින් වෙන විකල්ප කොයින්ද මිතුර වෑන් එකට වෙලා කරෝල වේලනවා ඇරෙන්න...


නටාලියාගෙ ෆ්‍රන්ට් ඩෙස්ක් එක ගොඩයාට පේන දුරින්... නටාලියා ගොඩයා දිහා බලනවා ගස්සලා අහක බලනවා... යකඩෝ ගොඩයා නටාලියාගෙ ලැයිසම අරගෙන ආපහු නොදුන්න ගානට තමා හැසිරීම... ගොඩයා හරිම ආඩම්බරකාරයි... දවසකටවත් නටාලියාට සෙකන්ඩ් වෙයිද ගොඩයා... ගොඩයා ඉන්නෙ වෑන් එකට වෙලා ඒසී එකේ ශපාන් එකට ඉන්න ගානට... නටාලියාට පේන්නෙ ගොඩයාගෙ ඩ්‍රයිවින් සීට් එක පැත්තෙ දොර නිසා ඒ පැත්තෙ වීදුරුව සම්පූර්ණ වසා ඇත... අනෙක්පස වීදිරුව සම්පූර්ණයෙන් ඇර ඇත... ගොඩයලාගෙ වෑන්වල පිටිපස්සෙ වීදුරු නෑ... තනිකර තහඩු... පාං පුච්චන්න කේක් පුච්චන්න ඇති පදමට පංකාදු රස්නෙ පොඩ්ඩ... නටාලියාට පේන්න ලොකුකමට ශපාන් එකේ ඉන්නවා වගේ හිටියට ගොඩයා ඉන්නෙ පස්ට අමාරුවෙන්... සෙල්සියස් හතලිස් පහක කාලගුණයක් තියෙන දවසක ගිනි කාස්ටක අව්වෙ ඒසීත් නැතුව නවත්තලා තියන තහඩු ගොඩක් ඇතුලෙ ඉන්නවා කියන එකේ සැප කියන්න ලියන්න වචන නෑ... නටාලියාව රෝස් කරලා කන්න තරම් හිතේ කේන්තියක් තිබ්බට ඇත්තම තත්වෙ වෙන එකක්... ලුණු ගම්මිරිස් ටිකක් ඉගගත්තනම් නටාලියාට පුලුවනි ගොඩයාව කන්න... 

සියල්ල අවසානයේ ලිෆ්ට් එක හදන හාදයා ලැයිසම අරං එද්දි හවස පහමාරයි... හතරහමාර වගේ වෙද්දි නටාලියාත් ඕෆ්වෙලා එයායිගෙ කාර් එකේ නැගලා යන්න ගියා... නටාලියා ගොඩයාගෙ වාහනේ පහුකරන් යද්දි ගියේ පාරාවෝ පිලිමෙ වගේ අංශන අනූවට අහක බලාගෙන උනාට පාරාවො පිලිමෙ කින්ඩියට හිනාවෙනවා කියලත් ගොඩයා දැක්ක... ඒ වෙද්දි ගොඩයට පාං කියාගන්න පණ නෑ.... වාහනේ ඇතුලෙ වතුර බෝතල් කේස් එකක්ම තිබ්බා උනාට එව්වත් ඉතිං ලෝදිය ගානට රස්නෙ ටික පංකාදු පහයි... ඉස්සරින්දා හවස පත්තු උන තෙල් ලයිට් එකට උදෙත් තෙල් නොගහපු ගොං කමට පිං සිද්දවෙන්න ගොඩයා ගෙදර එද්දි ගොඩයා බොම්බෙලි කරවලයා ගානට වේලිලා... පැය අටහමාරකට බිලයි ට්‍රැවල් එකට බිලයි එක්ක ඔක්කොම එකතුව ඩොලර් වලින් ගත්තොත් නවසිය ගානක බිලක් ඊමේල් කරා උනාට එදා ගොඩයා නටාලියාට පරාදයි... 

ඒ සා මෝඩ එවුන් ඉන්න තැනක වැඩ කරන එක අන්තරාදායක නිසාත්, පරණ ඇරියස් එක්ක වෙන මොකක් හරි මරාලයක් පටලන්න තියෙන ඉඩකඩ නිසාත් ගොඩයාගෙ ක්ලන්ට් ලිස්ට් එකෙන් නටාලියා ඉන්න බිල්ඩිම අයින් කරන්න කියලා ගොඩයා ඉල්ලා හිටි නිසා මයික් ආයෙම ගොඩයාට  එතැන ජොබ්ස් දැම්මෙ නෑ.... ඒ නිසා ස්වීට් නටාලියා ඊට පස්සෙ ගොඩයාට කවදාවත් හමුවුනේ නෑ... ලංකාවෙ උනානම් ඉතිං නටාලියා ගොඩයාගෙන් කනවා කියන එක ඉර හඳ වගේ ශුවර් උනත් ලංකාවෙ දාන සෙල්ලම් පිටරටවල දාලා හිරේ තපින්න බැරි නිසා අදත් ගොඩයා ස්වීට් නටාලියාට පරාදයි...


මේ සේරෝම විස්තරේ ලියල නැවත කියවගෙන යද්දී ගොඩයට මේ දැන් හිතෙනවා නටාලියා ලයිසං දෙක මාරුකරේ ඕනකමින්මද මන්දා කියලා... අවුරුදු දෙකක් මාසෙකට සැරයක් දෙකක් ඔය චීන මරාල ටික හදන්න යද්දී නටාලියාගේ ඇම්බැක්කේ කැටයම් තඹේකට මායිම් නොකර උන්නට නටාලියා එයයිගේ ක්‍රමේට ගොඩයට සූටි පරිප්පුවක් දුන්නා වෙන්න බැරිත් නෑ ... කමක් නෑ නටාලියා... ඔයා ඒ කැත වැඩේ කරේ සිරිලංකාවේ අම්බලන්ගොඩ නගරයේ ඉපදුන හිත හොඳ අයින්සක හැන්ඩ්සම් කොල්ලෙකුට...  ඒ අයින්සක කොල්ලව පැය හතරක් පහක් ගිනි කාස්ටක අව්වේ වේලපු කර්මයෙන් ඉතිං ඔයයිට බේරෙන්න බෑ ... ඊළඟ ආත්මේ ඔයා ඉපදෙන්නේ සහරා කාන්තාරේ මැද්දේ ඔටිච්චියෙක් වෙලා.... 




27 comments:

  1. ඔයැයි දැන්වත් පාඩමක් ඉගෙන ගෙන නෑ නේද?තවමත් පරන විදියටමනෙ තෙල් ගහන්නෙ 😁

    ReplyDelete
    Replies
    1. උඹ තමයි ඉතින් ඔව්ව පුරුදු කරේ අපිට..

      Delete
  2. පොසන්නය නම් පේන්න ඉන්නව.කෝ මේ තරිදුවයි නෙතුවයි 🤔

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ නෙතුවා.😜හැබෑටම තඩි අයියේ මොකෝ මේ ගොඩයියා බ්ලොග් එක පණ දාගෙන ලියන්න පටන් ඇරං තියෙන්නේ ආයේමත්...ගෑල්ලමෙක් මොනවහරි තෑග්ගක් වත් දෙනවැයි කියලද දන්නේ නෑ නේ...😝අහල බැලුවේ නැතෙයි..

      Delete
    2. අප්පටසිරි මේ ඉන්නෙ බැබලි බැබලි

      Delete
    3. අලෝ තරිදු.... ඔයැයි සනීපෙන් ඉන්නව නේත 😎

      Delete
    4. ගෑල්ලමයින්ගේ තෑගී වලට අල්ලන්න බෑ නෙතුවෝ අම්බලන්ගොඩ එවුන්...

      Delete
  3. හොඳ වැඩේ ගොඩයියේ ඔයාට තෙල් ගහන්න අන්තිම මොහොත වෙනකං ඉන්නවට..

    ReplyDelete
    Replies
    1. තෙල් ගහන්න හල්ලි නෑ ...

      Delete
  4. අද කලයුතු වැඩේ අදම කලයුතුයි කියන පාඩම ගොඩයෙකුට ඉගැන්නූ නතාලියාට මගේ ප්‍රණාමය. හැක්..

    යකෝ තමංගෙ මූනත්තහඩුව නැති ලැයිසමක් අරගෙන වගේ වගක් නැතුව පාරක වාහනේ එලෝන මිනිහෙක් හදන ලිෆ්ට් එකක යනවයි කියන්නෙ ඉතිං ඌට යමරජ්ජුරුවංගෙම පිහිට තමයි.

    ReplyDelete
    Replies
    1. ඌ හදන ලිෆ්ට් එකේ යන උන්ට ඉතින් ඥානසාර පිහිටයි...

      Delete
  5. නටා ඔයා එහෙන්ම් එහෙමයි..ආ.....

    ReplyDelete
    Replies
    1. හැක් .... තරින්දුවෝ.. කාලෙකින් නේහ්...

      Delete
  6. මගේ හිටපු රුසියන් කෙල්ලගේ නමත් නතාලියා. මේ කෙල්ල රුසියන් නම් මම කෙලින්ම කියන්නේ ගොඩයාගේ වැරැද්ද කියල. උන් පොඩ්ඩක් ගණන් උස්සනව වගේ මුලින් පෙන්වන්නේ අවධානය ගන්න. ගොඩයා ගැන හිතක් පහල වෙන්න ඇති. අවුරුදු දෙකක් බැලුවා මේ පුතය හෙන ආඩම්බරයි කියල දදැන ගත්තට පස්සේ හීනියට ගේමක් දෙන්න ඇති. 😃අනික මම දැකපු දෙයක් තමයි ලංකාවෙන් වැඩ කරන්න එන අපේ යාලුවෝ සුභ උදෑසනක් වගේ දේ කීයටවත් කියන්නේ නැති බව මුලදී . (ප්ලීස් කියන්නේ නැති එක පැත්තකට දාමුකෝ ). එහෙම එකක් නම් වුනේ මුලදීම වුනේ හතුරෙක් හදා ගන්නවා වගේ තමයි. (මට වෙලා තියෙන නිසා කිව්වේ 😃)

    ReplyDelete
    Replies
    1. හිතක් පහලවුනා කියලානම් හිතන්න අමාරුයි අජිත් අයියේ... ගුඩ් මෝර්නින් කියන්න අමතකවුනාද කියලානම් මතකයක් නෑ ... උන් ළඟ තිබ්බ චයිනීස් මරාල ටික මතක් වෙද්දී ගුඩ් මෝර්නින් අමතක වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා..

      Delete
  7. වෙලාවකට හිතෙනවා රසියන්,ලංකන් කියලා වෙනසක් නෑ කියලා කෙල්ලොන්ට

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද. ලංකාවේ පෙම් සබඳතා හීනියට වගේ එකක් තිබුන නිශ අහ්රියට දන්නේ නැහැ. රුසියන් ඒවා වැහි වැහැල

      Delete
    2. ගෑල්ලමයින්ගේ කැටයම්වලට ජාති හේද නෑ රෝමා....

      Delete
  8. මරු කතාව. ලස්සනට ලියලා තියනවා :). අර අජිත් කිව්ව එක ඇත්ත වෙන්න පුළුවන්. එහෙම නං "මඟහැරුන අවස්ථාවක්" තමයි ඉතිං. 😉

    ReplyDelete
    Replies
    1. මෙම මේ කතාව ආපහු කියෙව්වා. මූ මේක ලියන්නෙම ගොඩයට පොඩි ටෙන්ෂන් එකක් තියෙනවා කියල මට හිතුන. මේ බැල්ලිගෙ ආඩම්බර වගේ. අනිත් පැත්තට ඒකිගේ පැත්තේ කතාව ලීවා නම්, සුවර් එකටම
      "අදත් අර ඒෂියන් කොල්ල ආව. හප්පා එයාගේ ආඩම්බර. හරි අහන්කාරයි, එයා ඉතින් අපේ කැඩෙන ඒවා හදන එක්කෙනානේ. මගෙත් අර මට හිටපු බුරුවාගෙන් කැඩිච්ච එක කියල හදා ගන්න බැරිද දන්නේ නැහැ. (මම කිව්වේ හදවත ගැන). "
      "අවුරුදු දෙකකුත් ගියා. මූ අහන පාටක් නැහැ. අදනම් හොඳ වැඩක් කරනවා"
      ..ඊට පස්සේ කතාව ඔය උඩින් තියෙන්නේ.
      අපේ කම්පැනි වලටත් ඔය එයාකන්ඩිෂන් අරව මේවා කැඩුනම හදන්න පොරවල් එනවා . රෙසිප්ෂන් එකේ කෙල්ලෝ හොරෙන් හොරෙන් බලන්නේ. පොඩි ගැම්මක් තියෙනවනේ එතන. 😃

      Delete
    2. මගහැරුණ එක ඉතිං වාසනාව එහෙනම්.. එහෙම උනානම් ෂොපින් මෝල් ගැනෙයි ක්ලබ් ගැනෙයි ඇවිදලා මාව හිඟන්නා වෙනවා බැස්සෝ ...

      Delete
    3. එහෙම ටෙන්ෂන් එකක් නෑ අජිත් අයියේ... මං හිතන්නේ නෑ ඔය රිසෙප්ෂන් ඉන්න එවුන් අපි වගේ එවුන් දිහා බලනවා කියල..

      Delete
  9. හෙට අනිද්දට පනහ වෙන්න ඉන්න එකා කොල්ලා.
    එතකොට කොල්ලා?

    ReplyDelete
    Replies
    1. මටනම් හතලිස් පහෙන් පස්සේ වයස යන්නේ නෑ උදාර... ආයේ ඉතින් මරෙනකල්ම හතලිස් පහ තමා..

      Delete
  10. මරු කථාව. මමත් අජිත් කියන දේට එකඟ වෙනවා. මේවගේ අත්දැකීමක් පිටරටකදි තියෙන නිසා.

    ReplyDelete