Monday, November 16, 2015

අපි කරවල කූරියන් වීමු





බඩ තඩියාත් මමත් එකම පාසලේ උගත්තද සාපෙළ හැදෑරුවේ එකම පන්තියේ නොවේය. අප දෙදෙනාගේම සංසාර කරුමයට බඩ තඩියාත් මමත් එකම පන්තියේ අකුරු කරන්නට වුයේ උසස්පෙළ කාලයේදී වන අතර බඩ තඩියාගේ ප්‍රේම පලහිලව්ව ගැන වැඩි විස්තර ටෙම්පරි පියානෝ ලිපියෙහි වඩා හොඳින් සටහන් වී ඇතැයි සිතමි. 

පාසලේදීත් පිටතදීත් එදත්, අදත් හෙටත් මා හට බඩ තඩියාගෙන් ගැලවුමක් නම් වුයේ නැති. 

මා පාසල් ක්‍රිකට් කණ්ඩායමට සම්භන්ධ වීමට සිතා ක්‍රිකට් පුහුණුවට ගිය කල බඩ තඩියාත් ක්‍රිකට් පිත්තක්ද සමගින් ක්‍රිකට් පුහුණුවට ඇවිත්ය...

එයින් ක්‍රිකට් එපාවූ මා පාසල් බාස්කට් බෝල් කණ්ඩායමට සම්භන්ධවීමට සිතා එම පුහුණුවීම් වලට ගිය කල බඩ තඩියාත් බැනියමක් ශෝර්ටක් ඇඳගෙන බාස්කට් බෝලය මෙන් බම්ප් වෙමින් එතැනය...

ඒ දෙකම එපා වී මා පාපන්දු කණ්ඩායමට සම්භන්ධ වීමට සිතා පාපන්දු පුහුණුවීම් වලට ගිය කල බඩ තඩියාත් බූට් දෙකක් දමාගෙන පුහුණුවට විත් එතැනය...

අවසානයේ යායුතු වෙනත් අතක් නොමැති තැන මමත් බඩ තඩියාත් සමකාලීන පාපන්දු ක්‍රීඩකයින් වීමු. එහෙත් වාසනාවටදෝ, අවාසනාවටදෝ බඩ තඩියාත් මාත් අතර සම්භන්ධය එතැනින් එහාටද දිවගියේය. 

උසස්පෙළින් අනතුරුව පාසැලෙන් නෙරපනු ලදුව සංගීත උණ වැළදුන හේතුවෙන් සංගීත කණ්ඩායමකට සම්භන්ධවීමට මා ගිය අවස්තාවෙදී එතැනට ගොහින් බැලූ කල බඩ තඩියාත් ගිටාරයක් එල්ලාගෙන එතැනය. 

ඉන් නොනැවතුණු බඩ තඩියා අවසානයේ ටවුම ආසන්නයේ තිබෙන්නාවූ නිවසද අත්හැර මාගේ ග්‍රාමයට පදිංචියට ආවේ ඌගේ කරුමයටද මාගේ කරුමයටද කියානම් හරිහැටි අප දෙදෙනාම දන්නේ නැත. 

බඩ තඩියා ගම් බිම් හැරදමා මාගේ ග්‍රාමයට පදිංචියට ආවේ සුනාමියෙන් පසුව බැවින් එතෙක් කලක් බඩ තඩියා ජීවත්වුයේ බඩ තඩියාගේ පියාණන් විසින් ඉදිකරනු ලදුව බඩ තඩියාට උරුමකරදුන් වෙරළාසන්න නිවෙසකයි. වත්ත මායිමේ වෙරල පිහිටියෙන් මුහුද යනු බඩ තඩියාට ගෙදර වගේ එකක්ය. උසස්පෙළට ආ පමණින් බඩ තඩියා පවුල් පන්සල් වීම හේතුවෙන් අනුග්‍රහය අහෝසි වුවද  හෝඩියේ සිට සාපෙළ දක්වාම කොල්ලන්ට ගෙවල් වලට හොරෙන්  මුහුදේ නෑමට  පූර්ණ අනුග්‍රහය දැක්වුයේ සත් ගුණවත් බඩ තඩියා විසිනි. 

පාසල් තාප්පයෙන් වාෂ්ප වන්නාවූ සිසුන් එකල අසුරුසැනින් නවතින්නේ බඩ තඩියාගේ කාමරයේය. ගුනේ අයියාගේ බජව් දාන කාමරයේ තිබු මස්කට් පැණිබූන්දි වලටත් වඩා සොමි දේවල් බඩ තඩියාගේ කාමරයේ තිබු බව මෙහිදී සඳහන් කලයුතුමය. 

මස්කට් පැණි බූන්දි වලටත් වඩා කොල්ලන්ට වටින්නා වූ  අඟල් තිස් දෙකේ රූපවාහිනියක්, වීඩියෝ ධාවන යන්ත්‍රයක්, ශීතකරණයක්, තඩි බෆල් දෙකකින් හා, කැසට් පීස් දෙකක් එකවර දැමියහැකි ත්‍රී ඉන් වන් වර්ගයේ තට්ටු කිහිපයකින් සමන්විත ස්ටීරියෝවක්, ෂපාන් එකට නිදාගතහැකි ඩබල් ඇඳක් කිව්වට ඩබල් ඇඳකටත් වඩා ලොකු ඇඳක් සහ බඩ තඩියාගේ ඇඳුම් ආයිත්තම් ගබඩා කල අල්මාරියද කාමරයේ වීය.

මෙහිදී අල්මාරිය නොසලකා  හැරිය  යුත්තේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තඩි එකෙකු වන බඩ තඩියාගේ ඇඳුම් වලින් කොල්ලන්ට ඇති වැඩක් නැති බැවිනි. හදිසියකට මුහුදේ නාන්නට බඩ තඩියාගේ කලිසමක බැස්සද තඩියා හැරුණකොට මා වැනි කෙහෙටු එව්වෝ මුහුදේ නාන්නට බැස්සේ බඩ තඩියාගේ කලිසම් වලින් සරොම් ඇඳගෙනය. ( තඩියා සහ බඩ තඩියා යනු දෙදෙනෙකු බව මෙහිදී පාඨක සැම තේරුම්ගත යුතුය) 

අතිශයින්ම  සුඛෝපබෝගී කාමරයක් වූ බඩ තඩියාගේ කාමරයේ විශේෂිතම පිහිටීම වුයේ එම කාමරය නිවසින් පිටත පිහිටි ප්‍රධාන දොරයි. අපේ එවුන්  ඥානා ගේ බෝඩිමේ ගත්තා වූ ආතල් වලට වඩා දහසක් ආතල් ගත්තා වූ කාමරයක් තිබුනානම් ඒ බඩ තඩියාගේ ඉතිහාසගත කාමරයයි. එම කාමරය ඇතුලේ පිහිටවූ ලෝක වාර්ථාද ඇති අතර එම ලෝක වාර්ථා  ඇතුල්වන්නේ ලිවිය නොහැකි කථා ගොන්නට වීම පාඨක සැමගේ අවාසනාවයි. නැවතිල්ලේ සිතා බැලූ කල ලෝක වාර්ථා  වලට අනුග්‍රහය දැක්වීම සම්භන්ධව බඩ තඩියාට අප වෙනමම ස්තුතිය පුදකළ යුතුය. මෙම පෝස්ටුව කියවා බඩ තඩියාගේ බිරින්දෑ බඩතඩියාගෙන් ලෝක වාර්ථාව ගැන විමසන්නේ මෙසේයි..

මොකක්ද අනේ ඔයාගේ කාමරේ පිහිටෙව්වා කියන ලෝක වාර්ථාව ..

මං දන්නේ කොහොමද ඒයි .. ඌ ලංකාවට ආවම අහගන්න..

උගෙන් අහන්නේ මොකටද අනේ ඔයා ඉද්දි.. කියන්නකෝ අනේ..

මම දන්නේ නැහැ අනේ.. උගේ විකාර...

මොකක් හරි අලුගුත්තේරු වැඩක් වෙන්න ඇති.. හරි ඔයා කියන්නේ නැහැනේ.. මම හොයාගන්නම්කො ඕක..

ඔයා උගේ ලනු කන්නේ නැතුව පිටි හැඳි දෙකක් දාල සීනි ටිකක් වැඩියෙන් දාල ටී එකක් හදන්න ඒයි 

මේ කියනාවූ කාලයට සාපේක්ෂව බඩ තඩියාගේ බිරින්දෑට විශ්වාසවන්තම සගයාගෙන් ලෝක වාර්ථාව ගැන විමසුවහොත් ඌද ප්‍රශ්නයට උත්තර දීමට නොහැකිව තක්කු මුක්කු වන්නේ එම ලෝක වාර්ථාවට උරුමකම් කියන්නේ විශ්වාසවන්තම සගයා වන බැවිනි..

එකතරා දිනෙක කොල්ලන් සැට් එක උදෑසනින් බඩ තඩියාගේ නිවසට එකතු වන්නේ ගෙඳවාන ගල වෙත ගොස් ආතල් එකක් ගැනීමට  කලින්ම සංවිධානය කර තිබු බැවිනි. ගෙඳවාන ගල යනු බඩ තඩියාගේ නිවස කෙලින් කිලෝමීටරයක් පමණ දුරින් මුහුද මැද්දේ  පිහිටි විශාල ගල් පර්වතයකි. අක්කරයකටත් වඩා වැඩි ප්‍රමාණයක් වූ මෙම ගල මුහුද මැද්දේ දුපතක් ලෙසද අර්ථ දැක්විය හැකි අතර බෙල්ලන් කැඩීමට යන්නන්ගේ ප්‍රකට ස්ථානයකි. 

ගෙඳවාන ගල වෙත ලඟා වීමේ ක්‍රම කිහිපයකි. පළමුවැන්න පිහිනීමයි. දෙවැන්න නම් බෝට්ටුවක් හෝ ඔරුවක්, වල්ලමක් වැනි යමක් මගින් යාත්‍රා කිරීමයි. 


ගෙඳවාන ගල

සැතපුම් දෙක මුහුදු පිහිනුමටද සහභාගී වන පාසල් පිහිනුම් කණ්ඩායම නියෝජනය කරන තඩියා සහ යම් දුරක් පිහිනීමට හැකි බතලයා හැරුණකොට එතරම් දුරක් පිහිනීමට හැකි එවුන් අප අතර නොවීමත්, පිහිනීමට නොහැකි එවුන් සිටීමත් හේතුකොටගෙන ගෙඳවාන ගල වෙත යාමට අප තෝරාගත් ප්‍රවාහන මාද්‍යය වුයේ බඩ තඩියාගේ ඥාතියෙකු සතු මෝටර් බෝට්ටුවකි. බෝට්ටු ගෙඳවාන ගල වෙත ලංකිරීමට නොහැකි අතර අඩි විස්සක් තිහක් ඈතින් බෝට්ටුව නැවැත්වූකල මගීන් බෝට්ටුවෙන් වතුරට පැන ගෙඳවාන ගල වෙත පිහිනා යා යුත්තේ රල පහර සමග ගල වෙත ඇදෙන ෆයිබර් බෝට්ටුව ගලේ වදුනහොත් හිල්වෙන බැවින්ය. ඔරුවකින් හැරුණකොට කුමන ප්‍රවාහන මාද්‍යයකින් ගෙඳවාන ගල වෙත ගියද පිහිනා යාම අනිවාර්ය වේ.

එදිනද  දහයක් පමණ වූ නඩයේ වැඩි ප්‍රමාණයක් සිටියේ පිහිනන්නට නොහැකි එවුන් වන අතර එම කාණ්ඩය ගෙඳවාන වෙත බෝට්ටුවෙන් බස්සවා රැගෙන යාමට අප යොදාගත්තේ හුලං පිරවූ ලොරි ටියුබයකි. සියල්ල අකුරට සිදුවූ බැවින් සියලුම දෙනාට කන්නට බිත්තර පාන්, මාළු පාන් , රෝල්ස් වැනි කෑමද , බීමට ලීටර දෙකේ කොකාකෝලා බෝතල්ද රැගෙන අප සියලුදෙනා ගෙඳවාන වෙත පිටත් වුයේ බඩ  තඩියාගේ  ඥාති සහෝදරයාගේ බෝට්ටුවෙනි. 

මෙම ගමනට ඥානා ද සහභාගී වූ අතර ඔහුද පිහිනන්නට බැරි ගොඩට අයත්වූ එකෙකු වුයේය. කවදා කොතනදී ඔරුවකට, බෝට්ටුවකට, අඟුලකට, වල්ලමකට, පාරුවකට නැගගත් පොල් කටුවක්, යෝගට් කෝප්පයක් වැනි යමක් කොහෙන් හෝ කුණු ගොඩකින් අහුලාගෙන බෝට්ටුවට ගොඩවීම ඥානාගෙ සිරිතය. බෝට්ටුව හෝ ඔරුව ඇතුලට වැහි දිනවලදී එකතුවන වතුර පොල් කටුව හෝ යෝගට් කෝප්පය මගින් හිස් කිරීම ඥානාගෙ වැදගත්ම රාජකාරියයි. 

බෝට්ටු ගමන අවසන් වනතුරු කිසිදු කතාවක් බහක් නැති ඥානා නොනවත්වා නැවෙමින් දිගෑරෙමින් බෝට්ටුව හිස් කරනු ලබයි. බෝට්ටුව ගිලෙන්නට තබා ගැලුමක් දෙකක් පිරෙන්නටවත් වතුර බෝට්ටුව පතුලේ නැත්ත ඥානා පොල්කටුව ගෙවෙනතුරු කරන්නේ වතුර ඇදීමයි. පොල් කටුවක්, යෝගට් කෝප්පයක් තබා ටොනික් පියනක් වත් සොයාගන්නට බැරි වූ අවස්ථාවල ඥානා අතින් හෝ වතුර ඇදීම කරගෙන යනු ලබන්නේ සංසාර පුරුද්දකට මෙනි. 

බඩ තඩියාගේ විධානයෙන් ශ්‍රී ලංකාද්වීපය නොපෙනෙන්නම බෝට්ටුව පැදවූ බඩ තඩියාගේ ඥාතියා නඩයට සියලු වැඩ කිඩ පෙන්වා අවසානයේ ගෙඳවාන  අසලට බෝට්ටුව ගෙන ආවේ අපව ගෙඳවානේ බස්සවා හවස් අතේ අපව රැගෙන යාමට එන පොරොන්දු සහිතවයි. ඊළඟට තිබෙන්නේ ලොරි ටියුබයේ වික්‍රමය වන බැවින් ගෙඳවාන ආසන්නයේ බෝට්ටුව නතර කල වහා තඩියා ජබුක් ගාමින් වතුරට පනින්නේ ලොරි ටියුබයද අතැතිවයි..මටද, බතලයාටද , පිහිනීමට හැකි බැවින් අපි දෙදෙනා ලොරි ටියුබයේ වික්‍රමයෙන් මිදුනා වූ එවුන් වන්නෙමු. එහෙත් බතලයා ටියුබ් මගී ප්‍රවාහන කටයුත්තට සම්මාදම් නොවන්නේ ප්‍රවාහන කොමිටියේ බතලයා නොමැති බැවින්ය .

ටියුබය බෝට්ටුව අසලට තල්ලු කරන්  පිහිනා එන තඩියා විසින් විධානය දුන් වහා වරකට එකා බැගින් බෝට්ටුවේ ගැට්ටෙන් ටියුබයට පැනිය  යුතුය. බෝට්ටුවෙන් ටියුබයට පනිනා අයවලුන් චපාස්... නාදයෙන් ටියුබය උඩට පතිතවූ වහා තඩියා විසින් ටියුබය ගෙඳවාන දෙසට තල්ලු කරමින් පිහිනා යනු ලබනවාය. මාද ටියුබය පසුපස ඩොගී ස්ටයිලයෙන් පිහිනා ගෙඳවාන දෙසට පිහිනා යනවාය. 

ඩොගී ස්ටයිලයෙන් කියූ වහා පාඨක පෝතකයින් මා ගැන කැත විදිහට හිතනා නිසාවෙන් ඩොගී ස්ටයිලය යනු කවර ගනයේ පිහිනුමක්දයි විස්තර කිරීම මාගේ සරීර සෞකියට යහපත්ය. 

බල්ලකු මෙන් ඔලුව උඩ තබාගනිමින් පිහිනීම ඒ නමින් හඳුන්වනවාය. පිහිනුම් ශූරයින් පිහිනනවාක් මෙන් ඔලුව යට දමාගෙන අත යටින් හුස්ම ගනිමින් නිදහස් ආර පිහිනීමට මා හට හොඳ හැකියාවක් ඇතත් ඔලුව වතුර යටට ඔබාගත් කල උතුර දකුණ පිළිබඳව අවබෝධය නැතිවන නිසා මා එසේ පිහිනන්නේ පූල් එකක පිහිනනවානම් පමණය. 

මුහුදේදී එසේ පිහිනන්නට ගොස් සිරි ලංකාදීපය නොපෙනී යන්නටම ඇන්ටාක්ටිකාව දෙසට පිහිනේවිදෝ යන භය නිසා  මම කවදාවත් මුහුදේදී ඔලුව යට දමාගෙන පිහිනන්නට උත්සහ කරන්නේ නැත. 

බැක් ස්ට්‍රෝක් නැමති ක්‍රමයට පසුපසට පිහිනීමටද මා හට හොඳ හැකියාවක් ඇත. එහෙත් ගෙඳවාන ගල වැනි මහා තඩි ගල් පරුවතයක් මාගේ පසුපසින් තිබියදී එම ආකාරයෙන්ම පිහිනීමට මා හට භයක් දැනෙන්නේ පසුපස බැලීමට සයිඩ් කන්නාඩි දෙකක් නොමැතිව පිහිනා ඔලුව ගලේ ඇනුනහොත් මැහුම් දහයකින් විස්සකින් මෙහා බේරෙන්නට බැරි බැවින්ය. 

ලොරියක් රිවස් කරනා ආකාරයෙන් පසුපස බලන්නට ගෝලයෙක් සිටියානම් පසුපසට පිහිනීම ගැන ප්‍රශ්නයක් නොමැත්තේ හරි හරේ ..හරේ .. හරේ ... දකුණට කපල එන්න...ආ දැන් ඇති....හෝව් ..හෝව්..කියා ගෝලයා කෑ ගසා කියනා  බැවිනි  . 

මාගේ පිහිනුම් හැකියාව වර්ණනා කරන්නට ගොස් ටියුබයෙන් යන වික්‍රමාන්විත ගමන ටිකක් අතපසු වීම ගැන සමාව භාජනය කරන මෙන් පාඨක සැමගෙන් ඉල්ලා සිටිමි. දැන් එතැන් සිට....

ටියුබය ගෙඳවාන අයිනට සැපත් වූ වහා දිය රැල්ලක් විසින් උස්සා ගලේ ගැසීමට ප්‍රථම ටියුබයේ මගියා ගෙඳවාන ගලට ගොඩවිය යුතුය . තඩියා සහ මා නැවත ටියුබය ගෙන බෝට්ටුවට පිහිනනවාය. අවසාන මගියාට ප්‍රථම වනතෙක් පසු පාදයේ ක්‍රීඩා කරමින් බෝට්ටුවේ වතුර ඉහින ඥානා ණයට  ගෙනා පරාන කූඩුව සමගින් ඇස් පියාගෙන ටියුබයට පනින්නේ ඉන් අනතුරුවයි . අපගේ අවසාන මගියා වන්නේ අපගේ සාදර සමාදර අනුග්‍රාහකයා වන බඩ තඩියා මහතායි. 

ඊට ප්‍රථමව අපට තිබෙනා වූ වැදගත්ම කාර්යභාරය වන්නේ අපගේ දිවා ආහාරය සහ බීම බෝතල් , වතුර වැනි දෑ ගෙඳවානට ප්‍රවාහනය කිරීමයි. එයද සාර්ථකව අවසන් කරන අප දෙදෙනා නැවතත් ටියුබය රැගෙන බෝට්ටුව වෙතට පිහිනන්නේ අපගේ අනුග්‍රාහක මහතා ප්‍රවාහනය කිරීම සඳහායි.

අවසාන මගියා බඩ තඩියා කියූ සැනින් පාඨක සැමගේ හිත්වල ඇතිවන ප්‍රශ්නය නම් වෙරල මායිමේ ජීවත්වන බඩ තඩියා මහතාට පිහිනීමට නොහැකිද යන්නයි. පාඨක සැමගේ සැකය සාධාරණ වන අතර උපන් දා පටන් මුහුදු රළ මායිමේ හැදුනු වැඩුනා වූ බඩ තඩියා මහතාට පිහිනීමට බැරිය. 

හරි පැනපන්..

තව ටිකක් ලං කරහන් බන්..

තව කොහේ ලං කරන්නද බොල .. පැනහන් ..

ඒ තව ටිකක් ලං කරහන් බන්..

එක පාරක් කිව්වනේ යකෝ.. තව කොහාට ලං කරන්නද.. පැනහන් ..

තඩියාත් මමත් ලොරි ටියුබය බෝට්ටුවේ බඳට තබා තද කරගෙන සිටිනා අතර තුරේ බඩ තඩියා ඒ වික්‍රමාන්විත ගමනට ප්‍රථම පියවර තැබීමට බෝට්ටුවේ ගැට්ටට ගොඩවන විට බෝට්ටුවේ රියදුරා බෝට්ටුවේ අනෙක් පසට ගොස් බෝට්ටුව සමබරව තබාගැනීමට සාර්ථක නොවන උත්සාහයක නිරත වන්නේ බඩ තඩියාගේ කිලෝ දෙසීයක පමණ වන බර බෝට්ටුවේ ගැට්ට උඩට ආ කල බෝට්ටුව කණපිට ගැසීමට ඉඩ තිබෙන බැවිනි.

එය එසේ වන විට පාඨක සැමගේ හිත් වලට එන ප්‍රශ්නයක් නම් බඩ තාඩියාව පළමුව බෝට්ටුවෙන් බැස්සීමට හැකිව තිබුනා නේද යන්නයි. එය එසේ කල නොහැකිය. තණකොළ මිටිය, එළුවා, කොටියා සමග ගඟෙන් එගොඩ වන ආකාරයට මෙන් මෙම කටයුත්තද  ඉහත පිළිවෙලටම සිදුවිය යුත්තේ ටියුබයෙන් ගෙඳවානට රැගෙන යන බඩ තඩියා ගෙඳවාන ගල උඩට උස්සා ගැනීමට  හත් අටදෙනෙකුගෙන් සමන්විත පිරිසක් සිටිය යුතු බැවිනි.

බෝට්ටු රියදුරා බෝට්ටුව සමබර කිරීමට අසාර්ථක උත්සහයක නියැලෙන අල්ලපනල්ලේ බඩ තඩියා හොඳින් ටියුබයට ඉලක්කය අල්ලා බෝට්ටු ගැට්ටෙන් පැන්නේ සුවිශේෂීවූත්  ඔහුටම ආවේනික ශිල්පීය ක්‍රමයක් විද්‍යාමාන කරමිනි.

එවන් හැකියාවක් එතෙක් මෙතෙක් මා අත්දැක නොමැති අතර දක්ෂ පිහිනුම් ශූරයෙක් වන තඩියාද දැක නැති බව මම තරයේ විශ්වාස කරනවාය. ලොව දක්ෂම පැනිලි කරුවාටවත් එහෙම පැනිල්ලක් පනින්නට නම් බැරිය. 

ජබාස් ..

අම්මටහුඩු පැන්න නේද යකෝ මැදින්..

ලෝකයේ අංක එකේ වතුරට පැනිලි  ශූරයාටවත් එවන් ආකාරයෙන් ටියුබයක් මැදින් වතුරට පැනීමට නොහැකිය. එසේ පැන්නද ටියුබයේ කොනකවත් ගෑවෙන්නේ නැතිව හරි මැදින් වතුරට පැනීමට සුවිශේෂී හැකියාවක් තිබිය  යුතුය. එසේ බැලූ කල ලොව සිටිනා වතුරට පැනිලි ශූරයින් ඉලක්කයට වතුරට පැනීමට අපේ බඩ තඩියාගෙන් ටියුෂන් ගත යුතුය.

අනෙක් එවුන් ආකාරයෙන්ම හොඳින් ඉලක්කය බලා බෝට්ටුවෙන් ටියුබය වෙත පැන්නා වූ බඩ තඩියා ලොරි ටියුබයේ හරි මැදින් වතුරට පැන්නා වූ බැවින් මා අම්මා පෙවූ රන් කිරි සිහි වී දන්නා කියන පිහිනුම් ක්‍රම සියල්ල උපරිමයෙන් භාවිතා කරමින් ස්කුබි ඩූ හි ස්කුබියා පිහිනන ආකාරයෙන් ජුලියන් බෝලින්ටත් වඩා වේගයෙන් මහ මුහුද දෙසට පීනන්නේ පන එපා කියාය. 

මුහුදු පතුලේ සිරි නරඹා වැලි කාගෙන උඩ මතුවන බඩ තඩියා ඕනෑම පිදුරු ගසක එල්ලෙන බව අත්දැකීමෙන් මා දන්නා බැවින් එම ආසන්නයේ රැදී සිට පිදුරු ගස වන්නට මට උවමනාවක් නැත. මා වැනි බිලින්දෙකුගේ ඇඟේ බඩ තඩියා වැනි එකෙකු එල්ලුනහොත් දෙදෙනාටම එකටම වැලිගම යන්නට සිදුවන බව ඒකාන්තයෙන්ම මා දන්නවාය. ඒ එක්කම දිය කාගෙන වතුර යට කිමිදෙන තඩියා බඩ තඩියාවත් කෙස් වැටියෙන් ඇදගෙන විත් ටියුබයේ එල්ලුවේ බඩ තඩියා මුළු මුහුදේම වතුර බී දැමුවහොත් ලොව පුරා ධීවර කර්මාන්තයෙන් යපෙනා ධීවරයින්ට යන එන මං නැතිවන නිසාවෙනි.

අවසානයේ ටියුබයේ කොනක බඩ තඩියා එල්ලාගෙන මුහුදු අශ්වයකු නාවන්නට අරන් යනවාක් මෙන් තඩියා ටියුබය ඇදගෙන ගෙඳවාන ගල අසලට පිහිනු වහා ගලට ගොඩවී සිටිනා අයවලුන් මඩෙහි එරුණා වූ ඇතෙකු ගොඩට අදින්නා වූ මහා සෙනගක් මෙන් වෙර වීරිය යොදා බඩ තඩියා ගෙඳවාන ගල උඩට ඇදගන්නේ කසිදු අනුකම්පාවක් නොමැතිවමය. ඒ රළ පහරක් විසින් උස්සා ගලේ ගැසුවහොත් බඩ තඩියාට ඇඩ්රස් නැතිවන නිසාය. එයින් අවසන් වන ටියුබ් වික්‍රමය නැවතත් සිදුවන්නේ ආපසු ඒමට බෝට්ටුවට ගොඩවීමටයි .

සියල්ල කිසිවෙකුටත් හානියක් නොමැතිව සිදුවූ බැවින් සියල්ලෝම ගෙඳවාන ගල උඩ විසිර යන්නේ විවිදාකාරයේ අරමුණු වලිනි. 

කට්ටියක් බෙල්ලන් කැඩීමේ ව්‍යාපාරයේ සක්‍රීය දායකත්වය ලබන අතර තවත් පිරිසක් ගෙඳවානේ සිරි නරබනවාය. එහෙත් බඩ තඩියා කිමිදුම් ශූරතාවය දිනූ ඇඟේ තෙහෙට්ටුව නිසාවෙන් වාඩිවූ තැනම සිටින්නේ වෙනත් අරමුනක්ද සිතේ දරාගෙන බව අප දැනගන්නේ අපේ එවුන්නට බඩගිනි දැනෙන්නට ගත්තායින් පසුවයි. 

ගෙඳවාන පුරා රස්තියාදුවූ එවුන්ද , බෙල්ලන් කැඩීමට ගිය එවුන්ද ,රොකට්ටු වලින් ගුවන් ගත වූ නාසා ආයතනයට සම්භන්ධ ගගන ගාමීන්ද කන්නට යමක් සොයා බඩ තඩියා වාඩිවී සිටිනා ගල උඩට පැමිණෙන විට සියල්ල සිදුවී හමාරය. 

ඒ වනවිට බිත්තර පාන් වල බිත්තර භාග සහ  ළූණු ඇතුළු සියල්ලද, මාළු පාන් වල මාළු නැතත් මැද ඇති එළවලු කරිය තිබෙනා කොටසද, ජෑම් පාන් වල පොල්කුඩු පැණි මිශ්‍රණය තිබෙනා වූ  කොටසද, රෝල්ස් සියල්ලද බඩ තඩියා විසින් කා දමා හමාරය.. එපමණකින් අවසන් නැත.. බොන්නට ගෙනා කොකාකෝලා බෝතල්ද , වතුර  බෝතල් වලින් තුන්කාලකටත් වඩා කොටසක්ද බඩ තඩියා විසින් බී අවසන්ය. එතනින් එහා ගෙඳවානේ සංචාරයට පැමිණි අප සැමට ඉතිර වන්නේ බඩ තඩියා විසින් ඉතිරි කල පාන් වාටි ටික සමසේ බෙදාගෙන වලඳා ඉතිරි වූ වතුර සුට්ටද බෙදාහදාගෙන බී අපව රැගෙන යන්නට බෝට්ටුව හවස් අතේ ගෙඳවානට එනතුරු තැන් තැන් වලින් වාඩි වී බඩ තඩියාගේ මවු දෙමාපියන් සිහි කරමින් අව්වේ කරවීමටය. 

ටියුබයේ වික්‍රමයද පෙර පරිදිම සිදුවන අතර බඩ තඩියා බෝට්ටුවට ඇදගැනීමට සෑහෙන්න වෙහෙසක් දරන්නේ බඩගින්නේ කරවුනා වූ අපමය. එම අවස්ථාවද බොහොම සිත්ගන්නාසුළුය. වතුර වැටීමේ අසාර්ථක උත්සාහයන් කිහිපයකින් අනතුරුව තඩියාගේ සහයෝගයෙන් ටියුබය උඩ හිටගන්නා බඩ තඩියා බෝට්ටුවට දමාගැනීම අලියෙකු බෝට්ටුවට නංවා ගන්නවා හා සමානය. දෙතුන් දෙනෙකු අත් දෙකෙන්ද, තවත් එකෙකු කෙස් වැටියෙන්ද අදිමින් කරනා වූ අසීරු ක්‍රියාවලියක් අවසානයේ බඩ තඩියා තපස්... යන ශබ්දයෙන් බෝට්ටුවේ මැදට ස්ථානගත වෙනවාය. ඉන් අනතුරව ඥානා බෝට්ටුව ඉසින අතරතුරේ සියල්ලෝම ගෙඳවාන සංචාරය නිමවා වෙරළට ලගාවෙනාවය. 

කෑමද වතුරද නොමැතිව ගෙඳවානේ දවසක් පුරා වේලුනා වූ අපව කරෝල මුදලාලි කෙනෙකු දුටුවහොත් කරෝල වලට විකුණන්නට තොග මිලක් දී මිලදී ගන්නවා සුවර්ම සුවර්ය.

කරෝල ගානට වේලුනත් අපේ එවුන් සංචාරය අවසන් කරන්නේ බතලයා සහ තඩියා විසින් කඩාගන්නා ලද බෙල්ලන් සියල්ල තම්බාගෙන කෑවායින් අනතුරුවයි. එහෙත් කනගාටුවට කාරණය නම් එයින්ද වැඩි ප්‍රමාණයක් ගිල දමන්නේ සත්ගුණවත් බඩ තඩියා වීමයි. 

Wednesday, November 11, 2015

පිටසක්වල ජුන්ඩා




අපගේ උසස්පෙළ කාලයට හෙවත් එක්දහස් නවසිය අනූ හය කාලයට අදාළ වූ ඥානාගේ බෝඩිමේ සිද්දීන් සියල්ල ලිවීමට තවත් පෝස්ට් කිහිපයක් ලිවියයුතු වුවත් එක දිගටම බෝඩිමේ සිද්දීන් පමණක් ලිවීමෙන්  බ්ලොග් වාසී ජනතාවගේ උදහසට මා පාත්‍රවිය හැකිය. ඒ හෙයින් මෙම පෝස්ටුව අපගේ සාමාන්‍යපෙළ කාලය හෙවත් එක්දහස් නවසිය අනූ තුන වසරේ සිදුවූ සිදුවීම් කිහිපයක් අලලා ලිවීමට අදහස් කලෙමි. ලිවීමට අදහස් කරන සිද්දීන් කිහිපයට උක්ත පිරිසගේ නම් හැකි පමණින් වසංකොට ලිවියයුත්තේ මෙම බ්ලොග් ලිවිල්ල හේතුවෙන් කොයි වෙලාවේ හෝ නොමිලයේ ලැබිය හැකි සම්භාහන ප්‍රතිකාරයෙන් වැලකීම උදෙසායි.. 

පළමුවෙන්ම හඳුන්වා දිය යුත්තේ සාපෙළ පන්තියේ සිටි චන්ඩියා වූ පීටරයාවයි. පීටරයාට අලංකාර නමක් දෙමාපියන් විසින් උප්පැන්නයේ ලියන ලදුව ඇතත් මාගේ මිත්‍රයාට පීටර් යන නාමය පටබැන්දේ රත්නපුරේ තුසිතයායි. ඊට හේතු පාදක වුයේ පීටරයා විසින් කියනා වූ අදහාගත නොහැකි ගනයේ කයිවාරු කතන්දරයි. එකලද වෑන් රථය පදවාගෙන තනිවම පාසලට පැමිණෙන ආර්ථික වටපිටාවක ජීවත්වූ පීටරයා කියන්නාවූ කතන්දර සත්‍යම ඒවා විය හැකි වුවද අපේ එවුන් එව්වා පිළිගන්නා ස්භාවයක සිටියේ නැත.

උඹල දන්නවද අපේ ඇලහැර ආච්චිගේ මැණික් ඉඩම් ටික නිකම් කැලෑවට වැදිලා බන්. ආච්චි නිතරම කියනවා ඇවිත් බලාගන්න කියල .. කොහෙද ගෙදරින් යන්න දෙන්නේ නැහැනේ බන්..

නෑ .. ඉතින් අපරාදෙනේ බන්. ගියානම් මරුනේ.

ගෙදරින් කැමති නැහැ බන්. මම ගිහින් ලයිසන් නැතුව ආච්චිගේ පෙජෙරෝ එක එලවල  ලෙඩ දාගනියි කියලා..

පීටරයා මිතුරන් වටකොටගෙන කියනා වූ කතන්දර වලට සමගාමීව තුසිතයා ඈත තිබෙන්නාවූ පොල්ගසක් දෙස බලා ශබ්දයෙන් අමතයි..

ඒයි පීටර් ඔය ඇති බන්.. අපරාදේ යකෝ කලටි කඩන්නේ..

ඔය ඔය ඉතින් කිව්වට අහන්නේ නෑනේ උඹ.. දැන් ගහෙන් බැහැපන් යකෝ.. වේලිච්ච පොල් නැහැ බූරුවෝ ...

එවිට ඈපාද, හික්කඩුවේ මිත්‍රයාද  තුසිතයාට එකතුවෙනු ලබයි..

පීටර් මම බොට කිව්වනේ.. දැන් බැහැපන්.. 

උඹේ &&^%$^&***&^%#$@%%$%% පීටර් බැහැපන් යකෝ..

මේ සියල්ල ඇසෙන නෑසෙන ගන්නට කතාව කරගෙන යන්නාවූ පීටරයා අවසානයේ බැරිම තැන කකුලේ තිබෙන සපත්තුව ගලවා හික්කඩුවේ මිත්‍රයාට දමා ගසයි. 

මොකද යකෝ..

තෝ මගෙන් මැරුම් නොකා හිටහන්..

මම බොට මොකක් කරාටද යකෝ.. 

බොගේ  %$#%@^#%#&#%#^#%@$##^%@$@$@#!&#^*&%

මේ සියල්ල සිදුවන්නේ ගුරුවරයකු නොමැති කාලච්චේදයක වුවත් අවසානයේ සිද්දිය අවසන් වන්නේ අපගේ හිතාදර මිත්‍ර හික්කඩුවේ එකා පීටරයාගෙන් අම්මමෝ නැතිවෙන්නට ගුටි කෑවයින් පසුවය. අපගේ හිතාදර හික්කඩුවේ මිත්‍රයාද කොයිතරම් ගුටි කෑවද රිදෙන්නේ නැති පිඹුරු හමක් ඇති එකකු  බැවින් පසුවදාද පෙරදා සේම පීටරයාගෙන් ගුටියක් දෙකක් කනවාමය. තුසිතයා පීටරයාටත් වඩා උසින් මහතින් තඩි එකෙකු වූ නිසා පීටරයා කවදාවත් තුසිතයාට එරෙහිව අවි ගත්තේ නැත. 

සාපෙළ ලං වීමත් සමගම පාඩම් කිරීමට සියලු දෙනා එක එකාගේ ගෙවල් වලට එකතුවීම දෙමාපිය අනුග්‍රහයෙන්ම සිදුවූ අතර පාඩමට වඩා සිදුවුයේ කාගේ හෝ ගසක ගෙඩියක් හොරෙන් කඩාගෙන කෑම, නිදාගන්නා එකෙකු පාටකිරීම, තරහ කාරයකුගේ නිවසකට ප්‍රහාරයක් එල්ලකිරීම වැනි කුපාඩි ගනයේ ක්‍රියාවලි සමුදායකි. 

කාගේ නිවසට එකතුවී පාඩම් කලද නිවැසියන් නින්දට යනතුරු මීයන්සේ කාමරය වී සිටිනා හොඳ ළමුන් රාත්‍රී දොළහ පමණ පසුවන විට ජනේලයකින් එලියට පැන වීදි සංචාරය කරන්නේ කාට හෝ අයහපතක් කිරීමේ පරමාර්ථයෙන්ම පමණකි. දෙමාපියන් සිතා සිටින්නේ දරුවන් කාමරයේ පාඩම් කරනවා කියා වුවත් අළුයම එක, දෙක වනවිට හොඳ ළමුන් සියල්ලෝම සිටින්නේ කාගේ හෝ වත්තක කුරුම්බා බාමින් වැනි අලුගුත්තේරු වැඩක් කරමිනි. 

පාසල් වෙලාවේදී ළමුන්ට දැඩි දඬුවම් දෙන්නාවූ ගුරුවරුන්ගේ නිවෙස් වල ප්‍රධාන දොර ඉදිරිපිට මල්වඩම් තැබීම වැනි කාලකන්නි ගනයේ ක්‍රියාකාරකම්ද නොකෙරුනා නොවේ. පීටරයාගේ නිවසට අල්ලපු වැටේ තිබෙන්නාවූ කනත්තෙන් මල්වඩමක් දෙකක් සොයාගැනීම කජු කනවාටත් වඩා පහසු ගනයේ ක්‍රියාවක්  වූ බැවින් අපේ එවුන්ට මල්වඩම් වලින් නම් අඩුවක් පාඩුවක් තිබුනේම  නැත. 

එවන් එක්  දිනෙක එක්තරා ගුරුවරයෙකුගේ වත්තට පැන මල් පැල වලට වතුර දමනා හෝර්ස් බටය සාලයේ ජනේලයේ උඩ කව්ලුවෙන් ගේ ඇතුලට දමා වතුර ටැප් එක හෙමිහිට විවුර්තකොට මාරුවීම වැනි සුපිරි ගනයේ කුපාඩි වැඩද නොකලා නොවේ. කනත්තේ සොහොන් වල ගසා තිබෙන තෝරන් පිටින් ගලවාගෙන ගොස් තරහ පාර්ශව වල ගේට්ටු කණු වලට තබා බැඳ සම්පූර්ණ තොරනම ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට ඉදිකිරීමට තරම් අපේ එවුන් සහජ දක්ෂතාවයන් වලින් හෙබි එවුන්ය. 

කුරුම්බා බෑමට වෙනම පයිලට්ලා කොටසක් සිටි අතර කිසිම ශබ්දයක් නොඇසෙන සේ ගසට නැග කුරුම්බා එකින් එක කඩා පහල සිටින එකාගේ අතට අත්හැරීම පයිලට්ලාට සිම්පල් ගනයේ වැඩකි. පාඩම් සෙට් එකේ එවන් පයිලට්ලා කිහිපදෙනෙක් සිටි අතර වැඩිම ගුවන් පැය ගණනක් සහ වැඩිම අත්දැකීම් තිබෙන්නාවූ එකා සීනියර් පිළිවෙලට හොරකමට අනුයුක්ත කිරීම අපගේ පිළිවෙලයි. 

පුහුණුවන පයිලට් කෙනෙකු යවා ගෙදර අයිතිකාරයාට අසුවීමට තරම් අප මෝඩයින් නොවුන අතර සෑම විටෙකම සීනියර් පයිලට් කිසිදු බලකිරීමක් නොමැතිවම ගසට නැගීම සිදු කෙරෙයි. හොර කුරුම්බා ආචාරධර්ම වලට අනුව පයිලට් ගසෙන් බැස එන තුරු එකුදු කුරුම්බා ගෙඩියක්වත් බොන්නට සහචරයින් පෙළඹෙන්නේද නැත. එම ආචාර ධර්ම වලට අනුකුලවම පලවෙනි කුරුම්බාව පිළිගන්වන්නේ කැප්ටන් පයිලට් තුමාටයි. 

කුරුම්බා ගසේ අයිතිකරුවන් දේවාල ගානේ ගොස් පොල් ගසනා වර්ගයේ අයවලුන් නම් එක් කුරුම්බාවක වතුර අයිතිකරුගේ ලිඳට හැලීමද සිදුකරන්නේ ලිඳේ වතුර සමග ඔවුන්ද හොර කුරුම්බා බීමට සම්මාදම් කරගැනීමටයි. එවිට දෙස් දෙවොල් තැබීමක්, පොල් ගැසීමක්, මිරිස් ඇඹරීමක් වැනි අවර ගනයේ ක්‍රියාවක් සිදුකරතත් වදින්නේ ගෙදර එකාටත් සම සමව යන විශ්වාසයක්ද එවකට පැවතියාහුය . 

මෙහිදී අපගේ වැඩියෙන්ම අත්දැකීම් ඇති පයිලට් හඳුන්වාදීම යෙහෙකි.. නම ගම සඳහන් කිරීමට නොහැකි අපගේ පයිලට් ගොයියා ඕනෑම ගසකින් ගෙඩියක් හොරකම් කිරීමට සමත් ගනයේ එකෙකි. ඕනෑම අවදානම් රාජකාරියක් භාරගැනීමටත්, ඕනෑම ගසක දල්ලටම බඩගෑමටත් අති දක්ෂයෙක් වූ මා මිත්‍රයාගේ ඇස් පෙනීම වඩා තීව්ර වුයේ රාත්‍රී කාලයේදීයි. 

ඕනෑම දක්ෂ පුද්ගලයකු වටා දුර්වලකම් තිබියහැකි බැවින් මාගේ මිත්‍ර සීනියර් පයිලට් ගොයියාටද පොදු වූ දුර්වලකමක් වුයේ වතුරට ඇති බලවත් අකමැත්තයි. වෙනයම් ආකාරයකින් කියනවානම් අපේ එකා මලාට නාන්නේ නැති ගනයේ එකෙකි. එසේම ඇඟ සේදීම, මුහුණ සේදීම වැනි කර්තව්‍යන්ද අපගේ කැප්ටන් පයිලට් තුමාට ගැරඬියාට භූමිතෙල් වැනිය. කුමන වෙලාවක වුවද පයිලට් ගොයියා රැගෙන ඒමට නිවසට ගියද පයිලට් ගොයියාගේ අක්කණ්ඩිය අපට හැමදාමත් කියන්නේ එකම කතාන්දරයකි..

අනේ මල්ලි.. මූව මුහුදේ දාල හරි නාවලා  එක්කන් එන්න පිං සිද්ද වෙයි..

එවන් ආකාරයේ ගෘහස්ත මට්ටමේ ඉල්ලීම් අප වෙත පැවතියත් පයිලට් ගොයියා නෑවීම ජලභීතිකාව තිබෙනා බල්ලකු නාවනවාටත් වඩා අමාරු වූ කර්තව්‍යක් වුයේය.

 එකට හොරකමේ ගියද, එකට පාඩම් කලද, එකට කෑවද බීවද අපේ එවුන් නිදන මොහොතෙනම් විශ්වාස කළහැකි ගනයේ එවුන් නොවුයේ සහජයෙන්මය. හැමදෙනාම නිදාගත්තේ අර්ධ වශයෙන් වුයේ, පූර්ණ වශයෙන් නින්දට වැටුනහොත් අවදි වන්නට වන්නේ නින්දට වැටුන ස්භාවයෙන් නොවන නිසාවෙනි.

සුපිරියට නින්ද ගිය  එකා හැමදාමත් උදෑසන අවදි වන විට මූනත්තහඩුව වෙස්මුහුණ වී අහවරය. 

වෙනස් ආකාරයෙන් කියනවානම් එක්කෝ මුහුණ පාට කරලාය... 

එක්කෝ පර්මනන්ට් මාර්කර් වලින් දත් කිහිපයක් කළු කරලාය..

නැතිනම් කැසට් පීස් ටේප් වලින් ඔතා මමියක් කරලාය...

නැතිනම් රාත්‍රියේ ඇඳ සිටි පිරිම ඇඳුම වෙනුවට ඇඳ සිටින්නේ ගැහැණු ඇඳුමක්ය...

එක්කෝ ඇඟිලි ටික නැමූ ආකාරයෙන්ම තිබෙන්නට සුපර්ග්ලූ දමලාය...

එක්කෝ මෙට්ටය පිටින් උස්සාගෙන ගොස් නිවසේ කුස්සිය මැද්දෙන් තබලාය...

එක්කෝ කකුල් දෙක එකතු කොට සෙලෝටේප් ඔතලාය...

මෙකී නොකී දහසක් කුපාඩි වැඩ වලින් පීඩාවට පත් පාඩම් සෙට් එක හැමවිටම නින්දට වැටුනානම් නින්දට වැටුනේ භාගයටමය...

මෙම සිදුවීමද අහල පහල වතු කිහිපයක ගස් පාලු කරන ලද සාර්ථක ගුවන් ගමන් කිහිපයකින් පසු පීටරයාගේ නිවසට සැපත්වී නිදන්නට සුදානම් වූ දිනයක සිදුවුවකි. 

පීටරයාගේ කාමරයට සැපත්වූ වහා එක එකා තැන් තැන්වල නිදන්නට සූදානම් වන අවස්ථාවේ කැප්ටන් පයිලට් තුමා නොකර සද්ද  ඇඳට වැටී ගොර අදිමින් නින්දට වැටී සිටිනු දුටු අපේ එවුන් නින්ද පැත්තක තබා ලක ලැහැස්ති වුයේ කැප්ටන් පයිලට් තුමා මේකප් කිරීමේ කාර්යභාරයටයි. පීටරයාගේ පියාණන් විදේශ රැකියාවක නියුතු පුද්ගලයෙකු වූ නිසා ඕනෑවටත් වඩා සුකුරුත්තම් බඩු භාණ්ඩ පීටරයා සතුව තිබුනේය. විවිද වර්ගයේ මාර්කර්, විවිද වර්ගයේ පැන්සල් පෑන් වැනි පාසල් උපකරණ වලට අමතරව විවිද වර්ණයේ TOA Spray කෑන් ගොඩක්ද පීටරයා සතු වුයේය.

වෙනදාට වෝටර් කලර්ස්, ටියුබ් කලර්ස්, පීටරයාගේ අක්කලා සතු තොල් ආලේපන, නිය ආලේපන වැනි දෑ පාවිච්චි කරන්නාවූ කණ්ඩායම එදින අලුත්ම වර්ගයේ අත්හදාබැලීමක් සඳහා සුදානම් වුයේ ලුමිනස් කොළ වර්ගයේ ස්ප්‍රේ කෑන් එකක් අතැතිවයි. සියලු රූපලාවන්‍ය කටයුතු භාරව කටයුතු කලේ කොටා බැවින් අපහට වුයේ සිදුවන්නාවූ කලාත්මක රාජකාරිය නිහඬව නැරඹීමයි. 

මෙම රාජකාරිය සිදුකරන අවස්ථාවේ කරනා වූ පළමු කටයුත්ත වන්නේ කාමරයේ විදුලි පහන නිවා දැමීමයි..ඉන් පසුව සිදුවන්නේ රුපලාවන්‍ය ශිල්පීයා ඇත්තටම නිදනා එකා අසලින් බොරුවට නින්දට වැටීමයි. ඉන්පසුව ක්‍රමානුකුලව සිදුවන රූපලාවන්‍ය කටයුතු කළුවරේ සිට නැරඹීම අපගේ රාජකාරියයි. හදිසියේ හෝ නිදන එකා අවදිවුවහොත් සියල්ලෝම නිදි මෙන් සිටීම ප්‍රකට මූලධර්මයයි. 

සියල්ල අකුරට සිදුවී අවසන් වී විදුලි පහන දල්වා බලනවිටත් අපගේ කැප්ටන්  පයිලට්තුමා සුව නින්දේ පසුවූ අතර පයිලට්ගේ මුහුණ, අතපය හතර කිසිදු උපද්‍රවයකින් තොරවම පෙර සේම තිබුයේය. එහෙත් හිත් පිත් නැති කොටා කැප්ටන් පයිලට්ගේ ජුන්ඩා සහ ඒ අවට අනර්ග ලෙස ලුමිනස් පාටින් ස්ප්‍රේ කර තිබුනේය. 

වෙනත් ආකාරයකින් කියනවානම් කොටා විසින් අපේ කැප්ටන්ගේ පිරිමිකම පිටසක්වල ජීවියෙකුගේ මෙන් ලුමිනස් පාට කර තිබුනේ දක්ෂ කලා හැකියාවක් පෙන්නුම් කරමිනි. සියල්ලට අනතුරුව සියල්ලෝම අඩ නින්දට වැටී උදෑසන අවදිවී නිවෙස් බලා ගියේ ලහි ලහියේ ලක ලැහැස්ති වී පාසල් පැමිනීමටයි .

කැප්ටන් පයිලට්තුමා පසුදා පාසල් පැමිණෙනවිටත් මුළු පන්තියම පයිලට් තුමාගේ විපර්යාසය පිළිබඳව දැනුවත් වී තිබුනේ ආරංචි වලට තටු තිබෙන්නා වූ බැවින්ය. එහෙත් කිසිදු වරදක් සිදුවී නැති ආකාරයෙන් කැප්ටන් පයිලට් හැසිරෙනුයේ වතුරට ඇති අකමැත්ත නිසා බව දැන උන්නේ මා ඇතුළු සමීප මිතුරන් කිහිප  දෙනෙකු පමණි. පන්තියේ කොල්ලන්ගේ උසුළු විසුළු හමුවේ කුතුහලයට පත් කැප්ටන් පයිලට්, ගුරුවරුන් මාරුවෙන කාලච්චේද දෙකක් අතරේ වැසිකිලිය බලා දුවගියේ කුතුහලය පරීක්ෂා කරනු සඳහායි.. 

අවාසනාවට පයිලට් නැවත පන්තියට පැමිණෙන විට ගණිත ගුරුතුමා පැමිණියේ මේ අතර වාරයේදීයි.. ඒ සමගම, ඇස් ගෙඩි  දෙක එලියට පනින්නට ඔන්න මෙන්න තරම් විශාල කරමින් පියවි සිහියෙන් මදක් ඔබ්බෙන් සිටි කැප්ටන් පයිලට් කොස් ගෙඩියක් තරම් ලොකු වූ මුහුණෙන් පංතියට ඇතුල්වන විට කොල්ලන් සියල්ලම සිනහවෙන්නට ගත්තේ සියල්ලන්ම සිද්දිය දන්නා නිසාවෙනි..

කොහෙද ගියේ..

ට්  ට් ටො ටොයිලට් එකට ගියා සර්..

මුළු පන්තියම නොනවත්වා සිනහවීමෙන් පුදුමයට පත් ගණිතය ගුරුතුමා ඊළඟට හැරුනේ පන්තිය දෙසටයි..

මොකද ඕයි .. මොකද අද තමුසෙලට වෙලා තියෙන්නේ..

කොල්ලන් සිනහව නවත්වන්නේ නැත.. කැප්ටන් පයිලට් ද ඉන්නේ මුහුණ කොස් ගෙඩියක් තරම් ලොකු කරගෙන ඔරවාගෙනය..

මොකද ඕයි .. තමුසෙටද මුන් මේ හිනා වෙන්නේ..

කැප්ටන් පයිලට් උත්තර නැත..

කතා කරනවා.. තමුසෙට මොකද වෙලා තියෙන්නේ..

කැප්ටන් පයිලට් උත්තර නැත..

තමුසෙට අසනීපයක්ද.. කියනවා මොකද තමුසෙට වෙලා තියෙන්නේ..

කැප්ටන් පයිලට් කිසිදු පිළිතුරක් නැත..

කප්ටන් පයිලට්ගේ අද්භූත නිහඬ භාවයෙන් මවිතයට පත් ගණිතය ගුරුතුමා නැවතත් පන්තිය දෙසට හැරුණි..

තමුසෙලා කියනවා බලන්න හිනාවෙන්නේ කාටද කියල.. මේ මිනිහට මොකක් හරි ප්‍රශ්නයක්ද..

කව්රුත් උත්තර නැත... සිනහ වෙනවා පමණකි..

අනේ මන්ද තමුසෙලා අද මොනවහරි පාවිච්චි කරලවත්ද කියල.. 

තමුසෙට පන්තියේ ඉන්න පුලුවනිද , බැරිද, අසනීපයක්ද, භූත දෝෂයක්ද කියල මට කියනවා..

කැප්ටන් පයිලට් ඇස්ගෙඩි දෙක ලොකු කරන් සර් දිහා ඔහේ බලන් හිටියි.. 

"ඊයේ රෑ නිදාගනිද්දි  යස අපූරුවට සිටි මගේ ජුන්ඩා මේ දැන් බලද්දී පිටසක්වල එකක් වෙලා සර්" කියා කියන්නට බැරි නිසාවෙන් කසාය බිව් ගොළුවෙකු සේ ඇස් ගෙඩි දෙක එලියට පනින්නට තරම් විලාසයෙන් සිටිනා කැප්ටන් පයිලට් මාරුවෙන් මාරුවට පන්තිය දෙස සහ ගුරුතුමා දෙස බලන්නේ වෙලා තිබෙන්නාවූ අකරතැබ්බය ගුරුවරයකුට තියා මෙලෝ වසනා කිසිදු ප්‍රාණියෙකුට කටක් ඇර පැවසියහැක්කාවූ දෙයක් නොවන බැවින්ය. 

තමුසෙට පන්තියේ ඉන්න පුලුවනිද..

එවිට කැප්ටන් පයිලට් ඔව් යයි ඔලුවෙන් සන් කළේය..

හ්ම්.. යනවා.. ගිහින් වාඩි වෙනවා.. අනේ මන්ද මුන්ට මොනවා වෙලාද කියලා අම්මපල්ල..

කොල්ලන්ගේ විවිද ශබ්ද මද්‍යයේ කැප්ටන් පයිලට් තම පුටුවෙන් වාඩි  වුවද දවස අවසන් වනතුරු කා සමගවත් කථාවක් බහක් තිබුනේ නැත..

කාලයක් යනතුරු අපගේ හිතාදර මිත්‍ර කැප්ටන් පයිලට් මහතාට අප සැවොම නයාට අදුකොල මෙන් වූ අතර කා සමගවත් වැඩි කතාවක් බහක් තිබුනේ නැත. අපද කොයිතරම් පයිලට් මහතාව මිතුරු කරගන්නට ප්‍රයත්න දැරුවද පිටසක්වල ජීවියා යලි මනුලොවට පැමිණෙන තුරු කැප්ටන් අපගේ දෙමාපියන්ට පිං පෙත් දීම දිනපතා කරගෙන යන ලදී..

අපේ කව්රු හෝ එකෙකු ඉඳහිට පිට පන්තියක එකෙකු ලව්වා කැප්ටන් පයිලට්ගෙන් මෙසේ අස්සවනු ලබයි..

මොකක්ද බන් මේ කරදරයක් උනයි කියන්නේ...

අනේ මේ බොගෙ @#$%$#$#@&^%$##^&^%%$##^^%$## 

සංවාදය අවසන් වන්නේ ඒලෙසයි..

මලාට නාන්නේ කරන්නේ නැති අපේ පයිලට් තුමා දිනපතා නාන්නට වූ හේතුව ගෙදර එවුන්ට නොදන්වා සිටීමට අපේ පයිලට් තුමා වගබලා ගත්තද.. අපට වඩා වසරකින් බාල වූ පයිලට් තුමාගේ මලයාට, මලාට නෑවේ නැති අයියා  දිනපතා නෑමේ රහස දැනුම් දීමට අපේ එවුන් කලට වෙලාවට වගබලා ගත්තෝය. දිනපතා ස්නානය කලද පිසක්වල ජීවියා මනුලොවට පැමිණීමට මාසයක් දෙකක් ගතවීලු..

ජීවිතය පරදුවට තබා ගස් බඩගා කුරුම්බය අතට වඩම්මන පයිලට් තුමාට කළා වූ අසික්කිත ක්‍රියාවට දෙවියන් විසින් කොටාට දඬුවම ලබාදුන්නේ මෙසේයි..

එදින අප පාඩම් කලේ මාගේ නිවසේ වන අතර සාමාජිකයින් වුයේ බුද්ධික, ප්‍රියන්ත, කොටා සහ මා පමණි. වෙනදා සේම සියලු අවර ගනයේ ක්‍රියා සිදුකොට නින්දට වැටෙන අවස්ථාවේ අවසාන වශයෙන් තවත් එකෙකු බයිටට ගැනීම පෙර සිටම පැවත එන චාරිත්‍ර ධර්මයක් වශයෙන් කරගෙන ආ බැවින් එදින අපගේ කලාත්මක කටයුත්තට පූර්ණ අනුග්‍රහය දැක්වුයේ බුද්ධිකයායි . බිම එලා තිබු මෙට්ටයේ ගොරොද්දේ අදිමින් නිදා උන් බුද්ධිකයා මේකප් කිරීමට සියල්ල සුදානම් වූ අතර මේකප් ශිල්පියා වුයේ මායි. අල්ලෙහි උලාගත් ටියුබ් කලර්ස් තල්ලියන් නිදි විලාසයෙන් බුද්ධිකයාගේ මුහුණෙහි අතුල්ලමින් සිටි මා, කාමරයට වැටෙන පාරේ ලයිට් කණුවේ ලා එළියෙන් දුටුවේ යන්තමින් නින්දෙන්ම ඇස් ඇර බලා යලි නින්දට වැටුණු බුද්ධිකයාවයි. මල මිනියක් ලෙසින් නිදා සිටි බුද්ධිකයා යාන්තමට ඇස් ඇර බැලුවේ නුහුරු නුපුරුදු යමක් තමා අවට සිදුවන්නේදෝ යන දැනීමක් දැනුන නිසාවෙන් වග මා හට වැටහීමට වැඩි වෙලාවක් ගතවුයේ නැත . දසමහා යෝදයෙකුට තරම් ශක්තියක් ඇති බුද්ධිකයාගෙන් පාරක් වැදුනහොත්  දැඩි සත්කාරයේ සතියක් දෙකක් බෝඩින් වීමට සිදුවීම අනිවාර්ය බැවින් කරගෙන ආවාවූ කළා කටයුත්ත තවදුරටත් කරගෙන යාම මාරයාට අතවැනීමක් වැනිය. නොබෝ වෙලාවකින් මා වෙත ඇදෙන්නට යන ස්වීප් ටිකට් පත වෙනත් අයෙකුට පවරා දීමට කල්පනා කල මා හෙමින් සීරුවට මෙට්ටයෙන් නැගිට ගොස්  පාට ටියුබය කොටා අත තැබුවෙමි..

උඹ ගාපන් ටිකක්..

ඇයි උඹට ගාන්න බැරි උනාද..

නෑ  නෑ මම ටිකක් ගෑවා බන්.. මට වැඩේ ඒ තරම් හුරු නෑ .. උඹ ඇඳපන් ..
හරි.. එහෙනම් සද්ද නැතුව හිටපන්කෝ..

මාත් කොටාත් කතාවුනේ ඇසෙන නෑසෙන ශබ්දයෙනි..කොටා කලුවරේම බඩගා ගොස් බුද්ධිකයා අසලින් වැතිරුණේ මෙට්ටයටත් නොදැනෙන්නට මෙනි.  මමද ඇඳෙහි ගුලිවී බලා සිටියේ ඊළඟට සිදුවෙන්නාවූ උත්කර්ෂවත් අවස්තාව නැරඹීමේ නොඉවසිල්ලෙනි..



ඇඳේ පහල කොනෙන් ඔලුව දමාගෙන කළුවරේ බුද්දිකයා දෙස බලා සිටි ප්‍රියන්තයා අසලට ඇදුනු  මාද සජීවීව  දර්ශනය නැරඹීමට උත්සුක වුයෙමි..

බලහන්කො දැන් වෙනදේ.. කනටකර ප්‍රියන්තයාට කීවෙමි 

ඇයි මොකද වෙන්නේ..

බලන් හිටහන්කෝ සද්ද නොකර..

අඳුරෙන් පිරී පැවති කාමරයේ ඊළඟට ඇසෙන්න ගත්තේ කොස් ගෙඩියකට තඩිබාන්නා වැනි ශබ්දයකි..

තඩ් ..බහ් .. ඩොහ් ..ඩොහ් ...ඩොහ්... තඩ් ..අම්මෝ..උහ් ..චටාස්..පටාස්..

අම්මේහ් ..ඒ කොටාගේ කෙඳිරිලි හඬයි..

කාමරයේ නවතා තිබු මාගේ ෆුට් බයිසිකලයද පෙරලී ගිය අතර ලී යමක් කැඩෙන ශබ්දයක්ද ඇසුනි.. සියලු ශබ්ද නිමවූ වහා මා ඇඳ අසල තිබෙන්නා වූ මේස ලාම්පුව දල්වා බලනා විට කොටා සිටියේ මාගේ පොත් මේසය යට බෙල්ල අතගාමිනි.. මාගේ පොත් මේසයේ කකුලක්ද අවසන් ගමන් ගොස් තිබු අතර බයිසිකලයේ ඉදිරිපස රෝදය මේසය යට සිටි කොටා සහ එළියේ සිටි බුද්ධිකයා අතර පරතරය අහුරා සිටියේය.. බුද්ධිකයා නිදිමරගාතේ මුහුණෙහි තිබු පාට අතුල්ලමින් කොටා දෙස නැවතත් පනින්නට බලාගෙන සිටියේ මල අසූ හාරදාහට පැනලාය .. 

ළමයෝ..මොකක්ද ඒ සද්දේ..

නෑ අම්මේ මේ බයිසිකලේ පෙරලිලා බුද්ධිකගේ කකුලේ වැදිලා..

මට මේ නිකම් ගහගන්නවා වගේ ඇහිලා ඇහැරුනේ..

නෑ නෑ අම්මේ එහෙම දෙයක් නැහැ..

අනේ මන්ද..

මා කාමරයේ දොර නෑරියායින් මවුතුමිය නික්මගිය අතර මවුතුමියගේ පැමිණීමෙන් කොටාගේ ගුටි කෑම නතරවිය. එදා කොටා විසින් ගෙවා දමනු ලැබුයේ අපගේ කැප්ටන් පයිලට් තුමාට කරන්නට යෙදුනා වූ අසික්කිත කර්මයේ පාපයයි..ඒත් මලාට නාපු නැති කැප්ටන් පයිලට්තුමාගේ ජල භීතිකාව සුව කරනු ලද්දාවූ පින කොටාට ජාති ජාතින් පලදෙනු ඇත.

ඒ කාලයේ ඩිජිටල් කැමරා වැනි උපාංග බහුලව තිබුනා නම් පිටසක්වල ජුන්ඩා අන්තර්ජාලය පුරා සැරිසරනු අනිවාර්යය.

Friday, November 6, 2015

නමක් නැති කථාවක් 6




පස්වෙනි කොටස මෙතනින්


පලවෙනි කොටස මෙතනින්

දවස් ගෙවීල ගියේ බොහොම හෙමින්. එත්  ඖෂදී ඉස්කෝලෙට ආවයින් පස්සේ ඉඳන්  ඉස්කෝලේ පටන් ගන්න ගතවෙන වෙලාවත්, ඈත ඉඳන් හරි ඖෂදී දැකගන්න ලැබෙන විවේක කාලයත් ගෙවිලා යන්නේ විදුලි වේගයෙන් කියල සුභාෂ්ට දැනුනා උනත්, ඒ පුංචි කාල පරාසයන් දෙක වෙනුවෙන් සුභාෂ් මුළු දවසම බලාපොරොත්තු දල්වාගෙන බලන් හිටියා . පාට පාට ලස්සන හීනෙක අතරම වෙලා හිටිය සුභාෂ් පාසල් යාම අඛණ්ඩව කරගෙන ගියේ උණක් හෙම්බිරිසාවකට වත් ගෙදර නවතින්නේ නැතුව. උදෑසනත්, විවේක කාලයේදීත් දවසකට වතාවක් කොතන හෝ ඉදිරියට හමුවෙන ඖෂදී සුපුරුදු විදිහටම සුභාෂ්ගේ ඇස් දෙකෙන් ඇස්දෙක අහකට ගත්තේ ඔවුනොවුන් එකිනෙකාට පහු උනාට පස්සෙයි. 

හැමදාමත් විවේක කාලයේදී ඖෂදී දැකබලාගන්න හිතාගෙන ඖෂදීගේ පන්තිය පැත්තට ගියත් ඒ හැම වෙලාවකම සුභාෂ්ගේ පන්තියේ ඉන්න වසවර්ති කොල්ලෝ ඖෂදීට සුභාෂ්ගේ නම කියමින් විහිළු කරන එක සුභාෂ්ට නවත්තගන්නම බැරි උනා. එත් ඒ හැම දෙයකින්ම  මිදිලා පන්තියේ එවුන් නැති තැනකදී ඖෂදීව හමුවෙන්න සුභාෂ් පුළුවන් තරම් උත්සහ කළා. එත් එහෙම අවස්ථා සුභාෂ්ට ලැබුනේ බොහොම අඩුවෙන්. ඒ ලැබෙන අවස්තාවක උනත් "ඖෂදී " කියල අමතන්න සුභාෂ් උත්සහ කලත් සුභාෂ් අන්තිම මොහොතේ තීරණ වෙනස් කළා. ඒ ඖෂදී එක්ක කතා කරන්නට උත්සහ දැරීමෙන් ඖෂදී සුභාෂ් දිහා නොබලාම අරීවිද කියන භය සුභාෂ්ගේ හිතේ හොල්මන් කරපු නිසා. හමුවෙන හැම වතාවකම ඖෂදී සුභාෂ් දිහාත්, සුභාෂ් ඖෂදී දිහාත් ඇසිපිය නොහෙලා බලමින් එකිනෙකා පසුකරමින් ගමන් කරා. ඖෂදී එක්ක නිතර එහෙ මෙහෙ ගිය ඖෂදීගේ මිතුරියත් මේ ගැන යමක් දන්නා බව සුභාෂ්ට තේරුනත් සුභාෂ්ගේ මිතුරු කැල මගෑරලා ඇය සමග මේ ගැන කතා කරන්නත් සුභාෂ්ට පුළුවන් කමක් තිබුනේ නැහැ. 

මාස කිහිපයකට වරක් වෙන පන්ති මාරුවකින් අනතුරුව සුභාෂ්ගේ පන්තියත් ඖෂදීගේ පන්තියත් සමාන්තර ගොඩනැගිලි දෙකකට වැටුනේ අහම්බෙන්. ඒ පන්ති මාරුවත් එක්කම සුභාෂ් ඉන්න ඩෙස්ක් එකත් ඖෂදී ඉන්න ඩෙස්ක් එකත් අතර තිබුනේ අඩි දහයක පමණ කොරිඩෝවක පරතරයක් විතරයි. ගුරුවරුන් මාරුවෙන කාලච්චේද අතර කාලයේ දවස පුරාම ඖෂදීගේත් සුභාශ්ගේත් ඇස් එකිනෙක හමුවෙන වාර ගණන දවසින් දවස වැඩි උනා. පළමු හමුවීමෙන් මාස කිහිපයක් ගතවෙද්දීත් එකිනෙකා අතර වචනයක් වත් කතා නොකරපු පුද්ගලයින් දෙදෙනෙකුගේ නෙත් සැර නිතර එකිනෙකා වෙත එල්ල වුනත් එතනින් එහාට පියවරක් තියන්නට ක්‍රමවේදයක් හොයමින් සුභාෂ් දවසින් දවස අහස පොලුව ගැට ගැහුවා ..

අදත් නැද්ද බන් උත්තරයක්..

නැහැ බන්.. මම අදත් ඇහුවා.. තව ටිකක් කල් දෙන්න කියනවා බන්.. මමත් බොහොම අමාරුවෙන් ඖෂදී හමුවෙලා උඹේ මේ වැඩේ ගොඩ දාල දෙන්න හදන්නේ බන්.. දන්නවනේ මිස් කෙනෙකුගේ කනකට ගියොත් තෝත් සුං .. මාත්  සුං ..

දැන් මාස තුනකුත් වගේ උනානේ බන් අපි ලියුම දීල.. ඇයි ඖෂදී මට උත්තරයක් නොදෙන්නේ මචන්..

කලබල නොවී හිටහන් බන්.. වැඩේ ගොඩ යනවා අනිවාර්යයි.. උඹ වැඩේ නාගන්නේ නැතුව හිටපන්..


මේ මම උඹෙන් අහන්න හිටියේ.. මට බැරිද බන් ඖෂදී යන සංගීත පන්තියට එන්න..

තෝ කොහොමද යකෝ සංගීත පන්ති යන්නේ.. තෝ කරන්නේ චිත්‍රනේ ..

හරි බන්.. ඒක දන්නේ උඹයි මායි  විතරනේ.. සංගීත මිස් දන්නේ නැහැනේ..

මොකද බොල සංගීත මිස් නොදන්නේ.. මිස් උගන්නනෙත් මේ ඉස්කෝලෙමනේ  බූරුවෝ ..

ශික්.. ඒකත් එහෙමද.. හරි එතකොට ඒ කියන්නේ සංගීත ඉස්කෝලේ ඉගෙනගන්නේ නැති එකෙකුට සංගීත ටියුෂන් යන්න බෑ .. කව්ද බන් ඔය නීති හදෙන්නේ ..

මේ උඹ පැහෙන්න ගිහින් නිකම් නාගන්න එපා හොඳේ..

නෑ  මම අහන්නේ මම ටියුෂන් ෆීස් ගෙවනවනම්, මිස් කොහොමද මට උගන්වන්න බැහැ කියන්නේ කියහන්...

මිස් බබෙක් නෙවෙයිනේ යකෝ.. තෝ සංගීතේ ඉගෙනගන්න ගිය ගමන් මිස් දන්නවා මේ එන්නේ කෙල්ලෙක් පස්සේ කියල..

ඉතින් මම යන්නේ කෙල්ලෙක් පස්සේ නෙවෙයිනේ බන්.. මම යන්නේ ඇත්තටම සංගීතේ ඉගෙනගන්නනේ..

අනේ තෝ ඉගෙනගන්න සංගීතේ.. ඉතින් තොට සංගීතේ ඉගෙනගන්න ඕනෙනම් ඉස්සෙල්ලම ඉස්කෝලේ සංගීත පන්තියකට මාරු වෙයන්කෝ.. ඊට පස්සේ වැඩේ හරි..

අපොයි දැන් තියෙන්නේ විෂයන් හතයි පාඩම් කරන්න.. සංගීතෙත් එල්ලගෙන බැහැ බන්..

හරි.. දැන් ඖෂදී සංගීත පන්ති යන්නේ අඟහරුවාදායි, බ්‍රහස්පතින්දයිනේ.. 

උඹ කොහොමද දන්නේ..

ඇයි යකෝ.. මම ඉන්නෙත් මේ ටවුමෙම තමයි..

තෝ ඖෂදී පස්සේ ගිහින් වැඩේ  අල කරගෙන මට කෙඳිරි ගානවා නෙවෙයි හොඳේ...

යකෝ මේක මාර ආණ්ඩුවක්නේ ... මම ලව් කරන කෙල්ල පස්සෙන් මම නොගිහින් තෝ යන්නද... දැන් උඹ මට කිව්වා ලියුමක් කියල දීපන් කියල.. මම උඹ කිව්ව විදිහට ඒකත් කරා.. උඹ ගිහින් ඒක ඖෂදීට දුන්න... කෝ තාම උත්තරයක් නැහැ දැන් මාස තුනක්.. දැන්  උඹ කියන්නේ ලියුමට උත්තර එනකම් මට උඩ බලන් ඉන්න කියලද.. මමත් මගේ ක්‍රමේකට හරි මේක ගොඩ දාගන්න ඕන බන්..

තෝ ඕන දෙයක් කරගනින්.. ඔන්න මම නැහැ..

හරි දැන් උඹ කියන්නේ මට මොකක් කරන්න කියලද..

මම වැඩේ පිළිවෙලක් කරලා දෙනකම් පාඩුවේ හිටහන්..

ඒ කියන්නේ දැන් මම ඖෂදී දිහා බලන්නවත් එපාද.. උඹේ ඔය පිළිවෙල කිරිල්ලට බාලගිරිදෝසෙනේ  බන්...

දැන් මම එපා කිව්වොත් උඹ නොබල ඉඳී ... උඹ ඕන මගුලක් කරගනින්.. හැබැයි බොලෑ  පන්තියේ එන්න කාලකන්නි රැලට කියහන් ඖෂදී පස්සේ උඹේ නම කිය කියා ගිහින් ගොන් පාර්ට් දාල වැඩේ අල කරන්න එපා කියල..බෝගේ හදිසියට මෙව්වා කරන්න බැහැ  යකෝ..

ලමායි ... කට්ටියම පිට්ටනිය වටේ රවුම්  දහයක් දුවල එන්න දැන්..

යමන්...
එසේ කියමින් ඉන්ද්‍රජිත් වාඩිවී සිටි පඩිය උඩින් නැගිට්ටේ පුහුණුවීම් සඳහා සහභාගී වෙන්න ..

පාපන්දු පුහුණුකරු පැමිණියෙන් සුභාෂ් සහ ඉන්ද්‍රජිත් අතර සංවාදය එසේ නිමාවුවත් , පුහුණුවීම් අතරත් අනෙක් ක්‍රීඩකයින්ට නොඇසෙන සේ සුභාෂ් ඉන්ද්‍රජිත් සමග කතා කලේ ඖෂදී ගැනම පමණයි..

උදාවන සෑම දවසකම සුභාෂ් බලන් හිටියේ ඖෂදීගෙන් පිළිතුරක් එනකම්. එත් ඉන්ද්‍රජිත් හැමදාම සුභාෂ් වෙත අරන් ආවේ පරණ පුරුදු පණිවිඩයම  විතරයි. එත් කාලච්චේද අතර ඖෂදී හොරෙන් සුභාෂ් දිහා බලන හැම මොහොතකම සුභාෂ් උන්නේ ඖෂදී දිහා බලාගෙන. ගුරුවරුන් ඇති සහ නැති බේදයක් නැතිවම සුභාෂ් පාසැල් වේලාවෙන් වැඩි කාලයක් ගත කලේ ඖෂදී දිහා බලමින්. පාඩම් කටයුතු දිගින් දිගටම අතපසු වෙද්දීත් සුභාෂ් ඖෂදීගේ ඇස්දෙකෙන් මිදෙන්න විදිහක් සෙව්වේ නැහැ. සුභාෂ්ට ඕන වුනේ ඒ ඇස්දෙක ඇතුලටම කිමිදෙන්න. ඖෂදීගේ ඇස්දෙක දකින හැම මොහොතකම සුභාෂ්ගේ හදවත මොහොතකට නතරවුනා. ඖෂදීගේ මුහුණ දකින හැම මොහොතකම වචනයෙන් කියාගන්න බැරි ආදරයක් සුභාෂ්ගේ පපුව ඇතුලේ වාන් දමමින් උන්නා. පෙර කිසිම දවසක නොවිඳපු හැගීමක් සුභාෂ්ගේ ඇතුලාන්තය පුරා දොරේ ගලමින් තිබුනත් ඒ කුළුඳුල් ආදරය ගැන වචනයක් ඖෂදීට කියාගන්න විදිහක් සුභාෂ්ට තිබුනේ නැහැ. 

සුභාෂ්ගේ පන්තියට සිංහල ඉගැන්වුවේ ඖෂදීගේ පන්ති භාර ගුරුතුමිය විසින්. සැර පරුෂ ගුරුවරියක්වුනු සිංහල ගුරුතුමිය උගන්වන වෙලාවට සියලුම පිරිමි ළමුන් අද්‍යාපන  කටයුතු කරගෙන ගියේ බොහොම පරෙස්සමට. ඒත් ගුරුවරයාගේ තරාතිරම කුමක් වුවත් සුභාෂ් සෑම විනාඩි කිහිපයකට වතාවක් ඖෂදී දිහා බලන්න අමතක කලේ නැහැ. එදා සිංහල පාඩම වෙලාවේ සුභාෂ් ඖෂදී දිහා බැලුවේ පුරුද්දට වගේ. එත් සුභාෂ් ඉන්නේ සිංහල සාහිත්‍ය ඉගෙනගන්න ගමන් කියන එක සුභාෂ්ට මතක් වුනේ සිංහල ටීචර්ගේ ආමන්ත්‍රණයෙන්..

සුභාෂ්...

ඇ ...ඇ ..ඇයි  මිස්...

කොහෙද තමුසේ බලන් හිටියේ..

ගුරුතුමියට දියහැකි සාධාරණ උත්තරයක් සුභාෂ් ළඟ තිබුනේ නැහැ..පාඩම නවත්වපු සිංහල මිස් ඩෙස්ක් අතරින් ඇදිලා සුභාෂ් ඉන්න තැනට එනකොට සුභාෂ්ට දැනුනා මේ වෙන්න යන්නේ ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියන එක.. එත් ඊට විරුද්දව කල හැකි කිසිවක් සුභාෂ් වෙත තිබුනේ නැහැ..

දැන් මම අන්තිමට කීවේ මොකක්ද... මොකක් ගැනද මම අන්තිමට ඉගැන්නුවේ... 

සීගිරි කාශ්‍යප  රජතුමා ගැන...

දැන් එතකොට සීගිරි කාශ්‍යප රජතුමාගේ බිසව වෙන්න ඇති එහා පන්තියේ හෙව්වේ..

මුළු පන්තියම සුභාෂ්ට සමච්චලේට හිනාවෙන අතරේ සුභාෂ් මුකුත්ම කතා නොකර ටීචර් දිහා ඔහේ බලන් හිටියා..

කෝ සාහිත්‍ය පොත.. 

මෙතෙක් වෙලා සුභාෂ්ගේ ඩෙස්ක් එක උඩ තිබුන සිංහල සාහිත්‍ය අච්චු පොත ඒ වෙද්දී සුභාෂ්ගේ ඩෙස්ක් එක උඩින් අතුරුදහන් වෙලා.. සිංහල පාඩම වෙලාවේදී සාහිත්‍ය අච්චු පොත නොමැතිවීම සෑහෙන්න දඬුවම් විඳින්න වෙන වරදක්. ඩෙස්ක් එක උඩ නැති අච්චු පොත මේ දැන් තිබුනා.. මේ දැන් නැහැ.. වගේ කතාවක් කියල ආයෙත් පන්තිය ඉස්සරහ විහිලුවට ලක්වෙන්න සුභාෂ්ට ඕනෑකමක් තිබුනේ නැහැ. ඒ නිසා සුභාෂ් මුකුත්ම කතා නොකර බිම බලාගෙන උන්නා..

චටාස්...

සුභාෂ්ට වැදුණු කම්මුල් පහරේ ශබ්දයට වටේම තියෙන පන්තිවල සියලුම ළමයි සුභාෂ් දිහා බැලුවේ ක්ෂණිකයෙන්.. ඒ අතර ඖෂදීත් සුභාෂ් දිහා බලන් ඉන්නවා සුභාෂ් ඇස් කොනකින් දැක්කා වුනාට ඒ වෙනුවෙන් කළහැකි කිසිවක් සුභාෂ්ට තිබුනේ නැහැ. සුභාෂ් පුපුරු ගහන  කම්මුලත් හිත්වේදනාවත් දරාගෙනම සිංහල ටීචර් දිහා ඔහේ බලන් උන්නා..

මීට පස්සේ තමුසෙට සිංහල සාහිත්‍ය ඕනේ නැත්තම් මම එන්න කලින් කරුණා කරලා පන්තියෙන් එලියට යන්න . මම මෙතන උගන්වද්දී තමුසේ බලන් ඉන්නේ අල්ලපු පන්තිය දිහා නම් මම තමුසෙව ඒ පන්තියෙන් වාඩි කරන්නම් ඕනෙනම්. එහෙම ඕන කමක් තියෙනවනම් මට කියනවා ..

සිංහල ටීචර් සුභාෂ් ඉන්න තැනින් ඉවතට ගියේ සුභාෂ්ට කිව්ව කතාවට පන්තියේ කොල්ලන් නා නා ප්‍රකාර  ශබ්ද නිකුත් කරන්න ගතපු එකට කේන්තියෙන්..සිංහල ටීචර් එතනින් නික්මයද්දී සුභාෂ්ට ඉස්සරහ පේලියේ හිටපු බුද්ධික සුභාෂ්ගේ සිංහල සාහිත්‍ය පොත සුභාෂ්ට පෙන්නුවේ ඔලොක්කුවට වගේ විරිත්තමින්.. 

දවස හෙමින් හෙමින් ගෙවිලා ගියත් ප්‍රසිද්දියේම කම්මුල් පාරක් කන්න වුන එක ගැන ලැජ්ජාවට සුහාෂ් ඉස්කෝලේ ඇරෙනකම්ම ආයෙත් ඖෂදී දිහා බැලුවේ නැහැ. ඖෂදී දිහා බලන්න ඕන උනත් සුභාෂ්ට ඖෂදී දිහා බලන්න තරම් ආත්ම ශක්තියක් තිබුනේත් නැහැ. ඒත් දවස පුරාම කොල්ලන්ගේ විහිලුවට ලක්වෙච්ච සුභාෂ් උන්නේ බුද්ධික එක්ක මරාගන කන්න තරම් කේන්තියෙන්..

සුභාෂ් පන්තියේ හිටියේ ඉස්කෝලෙන් යන්න විදිහක් නැති නිසා.. දවස පුරාම කොල්ලන්ගේ විහිලුවට ලක්වෙච්ච සුභාෂ් ඉස්කෝලේ ඇරුන ගමන් කා එක්කවත් කතාබහක් නැතුව බයිසිකල් තියන තැනට ගියේ තවත් විහිලුවට ලක්වෙන්නේ නැතුව ඉක්මනින් ගෙදර යන්න හිතාගෙන. බයිසිකලේ අරන් පාරට බැස්සත් නැවතත් ඖෂදීව දැකගන්න ආසාවක් සුභාෂ්ගේ හිත ඇතුලේ මෝදු වුනේ සුභාෂ්ටත් හොරෙන්. බයිසිකලේ පැදගෙන ගාලුපාර දිගේ පහලට ගිහින් ඖෂදීගේ ගෙවල් පාරෙන් වමට හරවලා රේල් පාලම ලඟින් බයිසිකලේ නවත්තපු සුභාෂ් බලන් හිටියේ ඖෂදී එනකම්. 

ගාලුපාර දිගේ ඇවිත් ඖෂදී ඖෂදීගේ ගෙවල් පාරට හැරෙන්න කලින් බුද්ධිකගේ බයිසිකලය පාරට හරවනවා දැකපු සුභාෂ් නොදැක්ක විදිහට රේල් පාර දිහා බලන් හිටියේ බුද්ධික සුභාශ්ව දකින එකක් නැහැ කියන බලාපොරොත්තුවෙන්..

ආ මේ සීගිරි කාශ්‍යප  රජතුමානේ ... බිසව වඩිනකම් වෙන්න ඇති බලන් ඉන්නේ.. හූ...හූ...

නැත මිත්‍රය..තාගේ මෑණියන් වහන්සේ මා හමුවන්නට මෙහි වඩින බව දන්වා ඇති හෙයින් මෙහි රැදී සිටින්නෙමි..

තොට මම...#$%#&%*#%#

බයිසිකලේ පාලමේ ඇන්දට හේත්තු කරපු බුද්ධික සුභාෂ් දිහාට කඩන් පනිනවාත් එක්කම සුභාෂ් පන එපා කියල බයිසිකලේ පාගන්න පටන් ගත්තා.. බුද්ධික පස්සෙන් එළවන් එනවද කියල බලන්න පිටිපස්ස බලපු සුභාෂ් දැක්ක ඖෂදී සුභාෂ් ඉන්න දිහාවට ඇවිදන් එන හැටි.. එත් ඒ ඇස්දෙක දැකගන්න නවතින්න තරම් ඉස්පාසුවක් සුභාෂ්ට තිබුනේ නැත්තේ ඒ වෙද්දීත් බුද්ධික බයිසිකලේ පැදගෙන සුභාෂ් පස්සේ එළවන් එනවා දැක්ක නිසා.. පුළුවන් උපරිම වේගයෙන් බයිසිකලේ පැදපු සුභාෂ් හංදියෙන් සුභාෂ්ගේ ගේ පැත්තට හරවනවාත් එක්කම බුද්ධික සුභාෂ් පස්සේ එලවන එක නවත්තලා බුද්ධිකගේ ගෙවල් පැත්තට හැරුනා..

තෝ වරෙන්කො හවසට ප්‍රැක්ටිස් ..

ඇයි උඹ මාව උල තියන්නද..

වරෙන්කො තියන එක පෙන්නන්න මම %$&%#@$^


බැදි ආදරේ සඟවා හිතේ 
නොකියා මෙමා උන්නා
ඔබ දන්නෙ නෑ   
මා කීවේ නෑ   
හඬනා හැඟුම් පෙන්නා ළයේ
ආදරෙන් අමතා


"""""""

හත්වෙනි කොටස  

Sunday, November 1, 2015

බෝඩිමේ විත්ති සහ ත්‍රිබල් ගේම්




මේ ලියන්නට යෙදෙන සිද්දි මාලාව සිදුවූයේද අනූ හය වසරේ අගෝස්තු උසස්පෙළ විභාගයට ඉතා ආසන්න කාලයක බව ස්ථිරකොට ලිවිය හැක්කේ හේතු සාදක කිහිපයක් මතය. ඉන් පළමුවැන්න නම් අපගේ පාසල් මිතුරෙකු වන හික්කඩුවේ ඥානාට පාඩම් කටයුතු පහසුවනු පිණිස කාලයක් වසා දමා තිබු ඉස්කෝලේ ආච්චිගේ අම්බලන්ගොඩ තුඩුවමුල්ලේ පිහිටි නිවස ඉස්කෝලේ ආච්චි විසින් ඥානාට භාර දුන්නේ උසස්පෙළ විභාගය ආසන්නයේ වන නිසාය. (ඉතාමත් අලංකාර නමක් සහ වංශවත් පෙළපත් නාමයක් මා මිතුරාට තිබුනත් හය වසරේ පටන් මා මිතුරා ඥානා ලෙස හැඳින්වුයේ ඇයිදැයි මා අද වනතුරුත් දන්නේ නැත.) දෙවැන්න නම් සාපෙළ හොඳින් සමත් වුවහොත් මාගේ පියාණන් විසින් මා හට තෑගි වශයෙන් අරන් දීමට පොරොන්දු වූ මෝටර් සයිකල් පොරොන්දුව කිසිදා ඉටු නොවෙන්නා වූ දේශපාලන පොරොන්දුවක්ම වූ නිසා තෑගී පොරොන්දු වෙනුවෙන් මා දිගින් දිගටම  සටන් කිරීමත් , සටන දිනෙන් දින උග්‍ර අතට හැරෙනු දුටු මාගේ නැසීගිය ආදරණීය පුංචී විසින් මා හට මෝටර් සයිකලයක් මිලදීගෙන දීමත් මෙම වකවානුවේම සිද්ද වූ සමගාමී සිද්දියක් වීම නිසාය. එතෙක් පියාණන් සතු මෝටර්  සයිකලය පට්ට ගසමින් සිටි මට මගේම කියා හොන්ඩා එම් . බී . ෆයිව් වර්ගයේ මෝටර් සයිකලයක් ලැබීම නිවසේ එකම විනාඩියක්වත් රැඳී නොසිටීමට මසුරන් හේතුවක් වූ බවනම් සත්‍යයකි. 

උසස්පෙළ ශිෂ්‍යයෙකු වූ මා හට අධික පෙට්‍රෝල් තිබහකින් පෙලුනාවූ මගේ මෝටර් සයිකලයට ඉන්දන සපයාගැනීමට මාගේ ආදරණීය මවුතුමිය, පියාණන්ට හොර රහසේ මා වෙත සැපයු අනුග්‍රහය මෙහිදී අගය කල යුතුමය. මාගේ සියලුම අවර ගනයේ තක්කඩි වැඩ සඳහා පියාණන්ට හොරෙන් සාදර  සමාදර අනුග්‍රහය දැක්වූ මාගේ මෑණියන් නොවන්නට මම වනාහි , මෝටර් සයිකලයක් පැද යන්නට නොදන්නා, වාහනයක් පදවන්නට නොදන්නා, රියදුරු බලපත්‍රයක් නොමැති , පිහිනන්නට නොදන්නා , සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට නොදන්නා , කිසිදා ගැහැණු ළමයෙකුට ආදරය කර නොමැති , යහළුවෙකු කියා එකෙක් නොමැති, ඕනෑම ලොක්කෙකුට යේස් සර් කියනා , දෙන දෙයක් කා වෙන දෙයක් බලා ඉන්නා, රජයේ ආයතනයක ලියන රස්සාවක් කරනා හෙනම හෙන ගොබ්බයකු වීමට බොහෝ දුරට ඉඩ තිබුනේය. 

වැඩිහිටියෙකුගේ අධීක්ෂණයක්  නොමැති අපේම කියා බෝඩිමක් ඥානාට ලැබීම අපි කාටත් වෙස්වලාගත් ආශිර්වාදයක් වුයේ හවස් වරුවේ ටැග් ගැසීමට අපට විශේෂිත වූ ස්ථානයක අවශ්‍යතාවය කාලයක සිටම දැනෙමින් තිබු  බැවින්ය. ඊටත් අමතරව විශේෂිත වරප්‍රසාදයක් වින්දාවූ එකෙක් සිටියානම් ඒ අපගේ තඩියාය. තඩියා සහ බඩ තඩියා යනු එකෙක් නොව දෙදෙනෙකු බව මෙහිදී පාඨක සැම  සිහිතබාගත මනාය. තඩියා නම් දැනට කුවේටයේ සේවය කරනා තඩියාගේ නුවර එලිය සංචාරය සඳහා පාදක වූ අපගේ හිතාදර මිත්‍ර  තුඩුවමුල්ලේ තඩියා වන්නේය. එකල තඩියා විසින් ප්‍රේමයෙන් වෙලී සිටි පෙම්වතිය තඩියාගේ පවුලේ උදවියට නයාට අදුකොල මෙන් වූ නිසා තඩියා පෙම්වතියට පෙම් හසුන් ලිව්වේද , පෙම්වතිය විසින් එවනා පෙම් හසුන් කියෙව්වේද හොර රහසේය. ඥානාට ගෘහමූලික පදවිය සමගම ලැබුණු බෝඩිම තඩියාගේ ප්‍රේම වෘතාන්තය පාඩුවේ කරගෙන යාමට කදිම තෝතැන්නක් මෙන්ම බංකරයක් තරම් කදිමට ආරක්ෂාකාව තහවුරු වූ වටපිටාවක්ද වුයේ නිරායාසයෙන්මය. කොතරම් ආරක්‍ෂිත වටපිටාවක වුවද තඩියාගේ මෑණියන් වහන්සේත් , නැසීගිය පියානනුත් අපගේ සෙවනැල්ල පවා දැඩි අදීක්ෂණයට ලක් කලේ තුඩුවමුල්ලේ සියලුම ජංගම රහස් ඔත්තු සේවාවල, රොයිටර් සේවා  සහ ෂර්ලොක් හොම්ස්ලාගේ  පිහිට නොමිලේම ඔවුනට ලැබුණු බැවින්ය. රහස් ඔත්තු සේවාවන් සහ ෂර්ලොක් හොම්ස්ලා කොතරම් විශ්වාසදායි වුවත් වැරදි බුද්ධි තොරතුරු වලින් මුලාවේ වැටෙන තඩියාගේ මෑණියන් දවසකට වතාවක් දෙවතාවක් හදිසි වැටලීම් සඳහා ඥානාගේ බෝඩිමට කඩා පනින්නේ පොලිසියෙන් කසිප්පු පොළකට පනිනවාටත් වඩා කාර්යක්ෂමතාවයක් විද්‍යාමාන කරමිනි. එය එසේ බැවින් පාසල් වේලාවෙන් පසුව ඥානාගේ බෝඩිමේ රැඳෙනා අපද නිරන්තරයෙන්ම කල්ගත කලේ මී කන් මෝඩ් එක ඕන් කරගෙනමය. හදිසි වැටලීම් සඳහා කඩාපනිනා වූ අයවලුන් අතර තඩියාගේ  නැසීගිය පියානන්ද වූ අතර නිවසේ නීතිමය අයිතිකරු වූ ඉස්කෝලේ ආච්චීද  හදිසි වැටලීම් සඳහා සහභාගී වූ අවස්ථා නැත්තේම නොවේය . 

ඥානාගේම ලඟම ඥාතියෙකු වූ සම්පතයාද එම බෝඩිමේම  සාමාජිකයකු වූ  අපගේ කැලෑසියේම සගයකු අතර  සම්පතයා උප ගෘහමූලික තනතුර හෙබවූයේ ඥානා නොමැති වෙලාවට පමණි. ඉස්කෝලේ ආච්චී විසින් බෝඩිමේ පුරවැසිභාවය ප්‍රධානය කොට තිබුනේ ඥානාට  සහ සම්පතයාට පමණක් බැවින් ඉස්කෝලේ ආච්චී හදිසි වැටලීම් සඳහා කඩන් පහත්වෙන අවස්තා වලදී නීත්‍යනුකූල නොවෙන සංක්‍රමණිකයින් ලඟම තිබෙන කව්ලුවකින් එලියට පැන පණ එපා කියා දුවගොස් සැඟවෙන්නේ විශ්‍රාමික ගුරුවරියක් වන ඉස්කෝලේ ආච්චීට හසුවීම ක්‍රිමිනල් කේස් එකක් වන බැවින්ය. අනවසර සංක්‍රමණිකයින් සඳහා රැකවරණය සැපයීමේ වරදට ඥානා වරදකරු වුවහොත් අපගේ අගනා වාසස්ථානය අපටද ඥානාටද අහිමිවන බැවින් ඉස්කෝලේ ආච්චී හදිසි  වැටලීම් සඳහා සහභාගී වන අවස්තාවන්හීදී  දුවන්නට අතක් නොමැතිනම් ඇඳක් යටට හෝ රිංගා ඉස්කෝලේ අච්චීගේ පරීක්ෂණ කටයුතු නිමවෙන තෙක් මලා මෙන් නිහඬව සිටීම අපේ එවුන්ගේ පුරුද්දය. එවන් එක් අවස්ථාවක අත පය හතර දිග එවුන් බෝඩිමෙන් පැනගත්තත් මා හට දිවීමට අතක් නොවුයෙන් වාඩිවී සිටි ඇඳ මතම මලා මෙන් ඇලවී සිටීමට මට සිදුවුයේය . ඇඳ යටට රිංගීමට උත්සහ කර ඇඳ යට පෝලිමට එක්කාසු කර තිබෙන්නා වූ  හිස් බෝතල් ශබ්දයෙන් පෙරලා දමා බඩුත් සමගම හොරුන් මාට්ටු වීමට තිබු අවස්ථාව එයින් ගිලිහුනත් ඉස්කෝලේ ආච්චි මා මලාක් මෙන් නිදා සිටිනා ඇඳ අසලට විත් ඥානාගෙන් ඇසුවේ මෙස්යි..

මේ මොකාද බොල මේ..

මේ ආච්චියෙ සම්පත්නේ..

ඇස් පෙනුම මදක් දුර්වල වූ ඉස්කෝලේ ආච්චි මාගේ මුහුණට අඟල් හයක් තරම් කිට්ටුවට මුහුණ ලංකර විනාඩියක් පමණ මාගේ මුහුණ නරඹනු යාන්තමට ඇස් ඇරන් සිටි මට චායාවක් සේ පෙනුනත් මලාක් මෙන් නොසිටියොත් ඥානාත් සුං මාත් සුං බව සහසුද්දෙන්ම දන්නා නිසා හදවත දෙමෝලෙන් පිටි කොටද්දීත් මලාක් මෙන්ම සිටීමට මට සිදුවුයේය.. 

මේ දරුවා හරියට වෙනස් වෙලානේ.. මොකෝ මේ මහා දවල් නිදි..

ඊයේ රෑ එළිවෙනකල් පාඩම් කරලා ආච්චියේ ..

හ්ම්.. ඉස්කෝලේ ආච්චී පරීක්ෂණය අවසන් කරේ නැවතත් වරක් කේශාන්තයේ සිට පාදාන්තය දක්වා මා පරික්ෂා කිරීමෙන් අනතුරුවලු..

මට වඩා අඩියකට වඩා උසින් වැඩි සම්පතයා ඒ වෙලාවේ බෝඩිමේ නොසිටීමත්, ඥාතියා වුවත්  ඉස්කෝලේ ආච්චීට සම්පතයා ඒ තරම් මතකයේ නොමැති  චරිතයක් වීමත් අපගේ වාසියට සිටි අතර එය එසේ නොවුවානම් ඥානා කොට්ටා පදුරුත් සමගම බෝඩිමෙන් එලියට විසික් වන්නේ එදාය.

මෙම පෝස්ටුව ලිවීමට උක්තය වන මා මිත්‍රයා හඳුවාදීමට මුලදී අතපසුවීම මාගේ වරදක් බැවින් පාඨකයෝ ඒ ගැන මා වෙත සමාව භාජනය කරත්වා.. සිද්දියට උක්ත  මාගේ මිත්‍රයා මාගේ උසස්පෙළ පන්තියේම එකට ඉගෙනගත් ප්‍රාණ සමාන මිත්‍රයකු වුවත් මා මිත්‍රයා මේ වනවිට කෝටිපති ව්‍යාපාරිකයකු බැවින් මෙහි නම සඳහන් කිරීම නොවටින්නේයැයි මට හැඟේ .එකල  ඕනෑම අවදානම් කාරියකට එක පයින් රෙඩී  ගනයේ සගයකු වන මා මිත්‍රයා මෝටර් සයිකල් පිස්සෙකු බව කිවයුතුමය. මාසෙන් දෙකෙන් මෝටර් සයිකල් මාරුකරනා පිස්සුවකින් පෙලුනාවූ මා මිතුරු තැන එවකට භාවිතා කරමින් උන්නේ RZ 125 වර්ගයේ මෝටර් සයිකලයකි. පාසල අවසන් වූ වහා නිවසට විත් දිවා ආහාරය ගත්තායින් නොගත්තායින්  මමද මාගේ මෝටර් සයිකලය ගෙන තුඩුවමුල්ලේ ඥානාගේ බෝඩිමට වාර්ථා කරන අතර මා මිත්‍ර නම සඳහන් කිරීමට නොහැකි සගයාද ඒ ලෙසින්ම ඔහුගේ යමහා RZ 125 සයිකලයෙන් ඥානාගේ බෝඩිමට වාර්ථා කිරීම සාමාන්‍ය සිද්දියකි. එතැන් පටන් ඇරඹෙන රස්තියාදුව අවසන් වන්නේ ටියුෂන් කුමාරියන් නිවෙස් වලට එන්නාවූ සැන්දෑ යාමයේ  ඥානාගේ බෝඩිමේ තාප්පය උඩින් පෝලිමට වාඩිවී  පාරේ යන ටියුෂන් කුමාරියන් ගණන් කිරීමෙන් පසුවයි. තුඩුවමුල්ලේ තරුණ දූ වරුන් සිටිනා මවුවරුන් ඥානාගේ බෝඩිමට එරෙහිව පෙත්සම් ගැසුවේ නැත්තේ තඩියා , බතලයා  සහ තුඩුවමුල්ල වාසී දේවානන්ද විද්‍යාලයේ ක්ලාස්මේට් පිරිසද ඥානාගේ බෝඩිමේ නිත්‍ය සාමාජිකයින් වූ බැවින්ය. සිද්දියට උක්ත මා මිත්‍රයා හිටි හැටියේ ඔහුගේ මෝටර් සයිකලය පනගන්වාගෙන ඉගිලෙන්නේ සිත් ගත් ටියුෂන් කුමාරියන් දැක බලාගැනීමට බව සියල්ලෝම දනිතත් ඒ කව්රුන් උදෙසාද යන්න අප කව්රුත් දැන සිටියේ නැත. මාද හිටි හැටියේ මාගේ මෝටර් සයිකලය පනගන්වාගෙන ඉගිලෙන්නේ මාගේද එවන් අපේක්ෂාවක් එවකට තිබූ බැවින් වුවත් ඥානාගේ බෝඩිම අවට නොහොත් , තඩියාගේ ගමේ  නොහොත් , තුඩුවමුල්ලේ මාගේ සිත්ගත් දැරිවියක් නොසිටිය බව මෙහිදී අවදාරණයෙන් කිවයුතුමය. සිද්දියට උක්ත මා මිත්‍ර සගයා මාගේ මැන්ගෝ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වුවත් කිසිදු දිනෙක අහවල් කෙල්ල යාලු කරගන්න උදව් කරපන් කියා මාගෙන් තබා කාගෙන්වත් උදව් ඉල්ලා නැත. උදව් ඉල්ලුවානම් ඕනෑම එකෙක් උදව්වක් කරන්නට දෙවරක් සිතන්නේද නැත. 

සිද්දියේ කථා නායකයා වන මා මිතුරු තැන ඔහුගේ  තිබු මෝටර් සයිකල් උන්මාදය සංසිඳුවා ගැනීමට නිතර ඇසුරු කලේ මෝටර් සයිකල් පිස්සන් සමගමය. කොතරම් මෝටර් සයිකල් පැද්දත් මා හට මෝටර් සයිකල් පිස්සුවක් නොමැති වූ බැවින් එම සංගමයට මා ඇතුලත්කර ගැනීමට මා මිතුරා කිසිදු අවස්තාවක උත්සහ දරා නොමැත. එදත් අදත් මෝටර් සයිකල් ධාවනයේ අම්බලන්ගොඩ කීර්තියක් ඉසිලු ඉන්දික සමග නිතර ගමන් බිමන් යාමට පුරුදු වී සිටි මා මිතුරා ගැහැණු ළමයකු පසුපසින් යන්නේනම් ඒ ගමනට සහභාගී කරගත්තේද  ඉන්දිකයාවම  පමණි. ඉන්දිකයා මෝටර් සයිකල් ධාවනයේ සුපිරි වැඩකාරයකු මෙන්ම එවකට පළාතේ නමක් ඉසිලු මෝටර් සයිකල් අලුත්වැඩියා කරන්නෙකි  . ලොකු ලොකු බයිසිකල් වලින් පවන බඳු වේගයෙන් ඉගිලුනා වූ ඉන්දිකයා ස්කූටියක් පැදන් යන අවස්තාවකදී ලොරියක ගැටීම නිසා දින කිහිපයක් සිහි නොලබාම සිට එලොව ගිහින් මෙලොව පැමිණියේ දරුවන්ගේ වාසනාවටම වන්නට ඇත. ඉන්දිකයාව හඳුන්වා දීමට ලොවටම එකයි වර්ගයේ ලෝ සුපතල සුරතල් නාමයක් තිබුනත් එම නම මෙහි ලියා තබා වසරකට වරක් යෙදෙන මාගේ ලංකා ගමනය අනතුරුදායක ගමනක් බවට පත්කරගැනීමේ උවමනාවක් මා වෙත නැති හෙයින් එම නම මෙහි සඳහන් කරන්නේ නැත. 

පාසල් අරුනාවූ වෙලාවේ මාගේ අනෙක් මෝටර් සයිකල් මිත්‍රයා ඉන්දිකයාවද පසුපස ඉඳුවාගෙන කව්රුන් හෝ ගැහැණු දරුවකුගේ ආරක්ෂාවට පසුගමන් යන වගක් මාගේ කෘතහස්ත ඥානයට වැටහී තිබු නමුත් මාගේ මිත්‍රයා එවන් දෑ කල පළමු අවස්ථාව එය නොවන බැවින් මාද ඒ තරම් ඒ ගැන තැකීමක් කලේ නැත. පාසල් ඇරී , ටියුෂන්  ඇරී නිවසට යන ඇහැට කනට පෙනෙනා වූ  ගැහැණු දරුවන් පසුපස කොල්ලන් ඇදෙන ස්භාවය අද මෙන්ම එදාත් එසේමය, සීනි බෝතලයට කුහුඹින් ඇදෙන්නේ කෙසේද එයත් එසේමය.

ඥානාගෙ බෝඩිමේ කල්ගතකරනවාට අමතරව හල්වතුරේ ක්‍රිකට් ක්‍රීඩා කටයුතුද සමගාමීව හවස් වරුවේ සෑම දිනකම සිදුවූ අතර මාගේ නව මෝටර් සයිකලය සහ ඥානාගෙ බෝඩිම  ටික කලකට මා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්කිරීමට සමත්වූ එකම ප්‍රභල සාදකය වීය. එහෙත් සතියකට වරක් දෙවරක් ක්‍රිකට් සෙල්ලම් කිරීමට මා අමතක නොකළ නොකලද එවන්  එකතරා දිනෙක හල්වතුර ක්‍රීඩාංගනය වෙත මා මිතුරාගේ RZ 125 මෝටර් සයිකලය පැමිණුනේ ඉන්දිකයාවද පසුපස ඉන්දුවාගෙනයි. මාගේ නියත ස්ථානය වන කඩුලු  රකින්නා ස්ථානයේ පන්දු රකිමින් සිටි මා ආසන්නයටම මෝටර් සයිකලය පැදගෙන ආ මා මිත්‍රයා සහ ඉන්දිකයා පැවසු දෙයින් මට මද වෙලාවකට එලෝ මෙලෝ නැති වූ බව සත්තම සත්තය.

උඹ හම්බවෙන්න තමයි මේ ආවේ..

කතාව ආරම්භ කලේ ඉන්දිකයායි..

මොකෝ බන් කේස් එක..

උඹ තුඩුවමුල්ලේ කෙල්ලෙකුට ට්‍රයි නේද..

පිස්සුද යකෝ උඹට..

මේ උඹ මට කොලේ වහන්න ලෑස්ති වෙන්න එපා.. උඹ දන්නවනේ මේ ඉන්දික කව්ද කියලා..

හරි බන් ඉන්දික මම නොකරන මගුලක් කොහොමද බන් පිළිගන්නේ..

තෝ කාටත් හොරෙන් අපේ බාපගේ දූ පස්සේ ගිහින් තියනවා යකෝ..

බොට පිස්සුද බන් ඉන්දික.. මම ගියානම් ගියා කියල කියන්න මොකටද බන් බය වෙන්නේ..

හරි එහෙනම් තෝ වසන්තගේ නංගි ශ්‍යාමලී පස්සේ ගියේ නැහැ එතකොට..

බොට පිස්සුද යකෝ..

එහෙනම් අපේ බාප්පා මට කථා කරලා කිව්වේ කලුපාට එම් . බී . ෆයිව් එකකින් කොල්ලෙක් එනවා කියල ශ්‍යාමලී පස්සේ.. පුතෝ මම මේ කියන්නේ උඹේ හොඳට.. උඹ එහෙම ගියානම් ඒක නවත්තපන්.. ඔන්න මම යාළුකමට උඹව බේරාගත්තා. ආයෙ මටනම් කියන්න එපා බොල අපේ බාප්පාගේ පුත්තු එක්ක පටලගෙන බේරල දීපන් කියල හොඳේ..

අනේ බන් ඉන්දික මම ශ්‍යාමලී පස්සේ ගියේ නැහැ බන්.. උඹේ බාප්පට කියහන් වැරදීමක් වෙන්න ඇති කියලා..

බාප්පා මට කිව්වේ බෝඩිමට එන කලුපාට එම් . බී . ෆයිව් එකේ එන එකා කියලා.. ඒ ඉතින් උඹනේ..

හරි බන් එම් . බී . ෆයිව් එක පදින්නේ මම තමා.. එත් මට පිස්සු නැහැ බන් ශ්‍යාමලී පස්සේ ගාටන්න.. 

හරි දැන් මම ඒක ශේප් කරන්නම්.. උඹ ආයේ ශ්‍යාමලී පැත්තවත් බලනවා නෙවෙයි හරිද..

හරි හරි බන්.. මම උඹට එකපාරක් කිව්වනේ . මම ශ්‍යාමලී පස්සේ ගියෙත් නැහැ යන්නෙත් නැහැ.. 

හරි එහෙනම් අපි ගියා.. නැති ලෙඩ පටලවාගෙන ඔන්න මටනම් කියන්න එපා බේරලා දියන් කියලා.. අපේ බාප්පා මහා අණක් ගුණක් නැති එකා හොඳේ..

ඉන්දිකයා සහ මාගේ මිත්‍රයා මෝටර් සයිකලය පනගන්වාගෙන නික්ම ගියායින් එම සංවාදය එතැනින් අවසන් වුවද ඔවුන්  නික්ම ගියේ  මාගේ ඔලුගෙඩියේ ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමිනි. මොටෝව පැද ආ මාගේ අඹ යාලුවා මෙම සංවාදයේදී කිසිදු අදහසක් ඉදිරිපත්  නොකරමින් මා වෙත විරිත්තමින් සිටීම  මා වෙත ප්‍රශ්නාර්ථයක් වූ අතර මා නොදැනුවත් කමින් මේ කියනා ගැහැණු දැරිවිය යන එන පාරක දෙතුන් වරක් මා හට හමුවුනේවත්දෝ  කියා මතකය ආවර්ජනය කිරීමට උත්සහ දැරුවද එවන් මතකයක් මාගේ ඔලුගෙඩිය තුල නොවීය. ඥානාගෙ බෝඩිමේ තාප්පය උඩ සිටිනා හැන්දෑ වරුවලදී එතැනින් යන්නා වූ ඕනෑම ගැහැණු දැරිවියකට අපේ එවුන් කියනා වූ  කුප්ප කථා වලට හුරේ දැමුවද ශ්‍යාමලී වෙත විශේෂත්වයක් මා වෙත නොවූ බැවින් ඇසුවා වූ හතර බීරි කථාව අමතක කර දමා ක්‍රිකට් ක්‍රීඩාව දෙස මා ඔලුව යොමු කලේ පිතිකරුගෙන් ගිලිහී  මා වෙත ආ පන්දුවක් සුපුරුදු පරිදිම මාගෙන්ද ගිලිහුණු නිසාවෙන් මවුගුණ ගායනා කල පන්දු යවන්නාගේ හඬිනි .

උදේ වරුවට  පාසලේද , හවසට ඥානාගෙ බෝඩිමේද සුපුරුදු ලෙස කාලය ගෙවී යද්දී අපේ එවුන්  සුපුරුදු  සියලු අවරගණයේ ක්‍රියාවන් අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර බෝඩිම අවට ආරක්ෂාව සහ  පහසුකම් නොඅඩුව සැපයීමට තුඩුවමුල්ලේ රහස් පරීක්ෂණ සේවා සහ රොයිටර් සේවා දිවා රෑ නොබලා වෙහෙසිනි . බෝඩිම අවට වතු වල තිබෙනා වූ කොස්, දෙල් ,කුරුම්බා ,තැඹිලි , උක්ගස් , මයියොක්කා වැනි පහසුවෙන් ආහාරයට ගතහැකි දෑ එම ගස්වලින් අයිතිකරුවන්ට නොදන්වාම රාත්‍රී කාලයේදී අතුරුදහන් වූ අතර බෝඩිමේ තාප්පය අයිනේ තිබෙන කුණු ගොඩේ කොස් පොතු, දෙල් පොතු, මයියොක්කා පොතු වැනි අවශේෂයන් රහස් පරීක්ෂණ සේවා සහ ෂර්ලොක් හෝම්ස් සේවාවන්ගේ ඇස ගැසීමට නොදීමට අපේ එවුන් විසින් අපූරුවට වගබලා ගැනිණි. මුළු තුඩුවමුල්ලේම තිබෙනා වූ  ගස්වල ගෙඩි අතුරුදහන් වූවත් බෝඩිමේ වත්තේ එකුදු ගසක එකුදු ගෙඩියක්වත් අතුරුදහන් නොවූයේ එම ගස්වල තිබෙන්නාවූ මල්, ගැට , පැහුණ ගෙඩි, ඉදුණ ගෙඩි , කලටි, කුරුම්බා, වේලිච්ච පොල් ඇතුළු සියලූම වර්ගයේ ගෙඩි වර්ග ගැන සජීවී දත්ත වාර්ථාවක් ඉස්කෝලේ ආච්චීගේ ඔලුවේ සටහන්ව තිබු බැවින්ය. තඩියාගේ දෙමාපියන් ප්‍රමුක ඥාති පිරිවරද දිවා රෑ නොබලා තඩියාගේ පෙම් පලහිලව්ව පසුපස හඹාගිය අතර හදිසි වැටලීම්ද අඛණ්ඩව සිදුවිණි. එකල ජී. පී. එස්  තාක්ෂණයෙන් පුද්ගලයින් සිටිනා ඉසව්ව දැනගැනීමේ ක්‍රමවේදය ලොවට හඳුන්වා දුන් පුද්ගලයාට තඩියා ස්තුතිවන්ත වියයුත්තේ එම කාලයේදී එම තාක්ෂනය ලොවට හඳුන්වා නොදුන් නිසාය. තඩියාගේ කරුමයට එම තාක්ෂනය එකල භාවිතයේ තිබුනානම් තඩියාගේ දෙමාපියන් ජී. පී. එස් උපකරණයක් තඩියාට ගිල්ලවනු නොඅනුමානය. උසස්පෙළ විභාගය ඉතාම ආසන්නයේ බැවින් පාසල් යාමද අඛණ්ඩව සිදු නොවූ අතර පාඩම් කටයුතු ඉතාමත් අල්පවද , අනෙකුත් සියලු අවරගණයේ ක්‍රියාවන් උපරිමයෙන්ද සිදුකරමින් සොමිය ඒකාකාර ස්ථානයක පවත්වාගැනීමට සැවොම එකාසේ පෙළ ගැසී උන්නාහුය.

ලිපියට උක්ත කතා නායකයාගේ සිද්දියේ කුටප්‍රාප්තිය සිදුවූයේ අප සියලුදෙනා පාසල් නොගොස්ම බෝඩිමේ රැඳුනාවූ එක්තරා දිනයකයි. දහවල් එකයි තිහ පසුවී පාසල් ළමා ළපටින් නිවෙස් කරා ඇදෙන්නා වූ වෙලාවට බෝඩිමේ ජනතාව තාප්පය උඩට වාර්ථා කිරීම සාමාන්‍ය චර්යාවයි. ආචාරධර්ම අකුරට පිළිපදිමින් සියල්ලන්ම තාප්පය අසලට වාර්ථා කෙරුණු අවස්ථාවේ මාගේ මිතුරාගේ RZ 125 මොටෝව බෝඩිම දෙසට ඇදෙන ශබ්දය ඈතින් ඇසෙන්නට වුවත් එය විශේෂිත සිද්දියක් නොවූයේ පාසල් නිමවූ වහා මා මිත්‍රයාද බෝඩිම වෙත ඇදෙනා වූ බැවිනි. එහෙත් එකවර මොටෝව නවත්වන ශබ්දය ඇසුනත් කිසිවෙකු ඒ ගැන අවදානයක් යොමු නොකළේ අප සියලුදෙනාම යම් දෙයක් මිලදී ගැනීමට නිරන්තරයෙන් ටිඩීගේ කඩයට යන එන්නාවූ අයවලුන් නිසාය. මොටෝව නවත්වන ශබ්දය අසුනේ ටිඩියාගේ වෙළඳසැල ආසන්නයේ බැවින් කිසිදු විශේෂත්වයක් අපේ එවුන්ට දැනුනේද නැත. එහෙත් හදිසියේම කරෝලිස් වේද මාවත දිගේ පහලට දිව ආවාවූ රොයිටර් සේවාවකින් අප වෙත දැනුම් දුන්නේ මා මිත්‍රයට කව්රුන් හෝ කඩුවකින් කොටන්නට යන ආකාරයේ ප්‍රවුර්තියකි. ප්‍රවුර්තියෙන් කලබලයට පත් අප සියලුදෙනා ටිඩියාගේ කඩය අසලට දුවගියේ සිදුවන්නේ කුමක්දැයි හරිහැටි වැටහීමක් නොමැති නිසාවෙනි.

වංගුවෙන් තුඩුවමුල්ල පාරට මතුවූ අපට දක්නට ලැබූයේ කඩු සටනකට ලැහැස්ති වී උන් ශ්‍යමලීගේ අයියා නොහොත් වසන්තයා කඩුවක් අත දරමින් ඉන්දිකයාට සහ මාගේ අඹ යාළුවාට කොටන්නට උත්සහ කරන භයානක දර්ශනයකි..කඩයෙන් එලියට පැන්නා වූ ටිඩියාද අවට ගම්වාසීන්ද කඩු කොටයක් අතදරා සටනට යන්නට උත්සහ කරමින් සිටිනා වසන්තයා නම්මවා ගැනීමට අසීරු උත්සාහයක යෙදී සිටි අතර වැටකින් කඩා ගත්තා වූ ඉන්නක් ඇත දරා සටනට එන්නට උත්සහ කරන්නාවූ ඉන්දිකයා නම්මවා ගැනීමට තවත් පිරිසක් උත්සහ කරමින් සිටියාහුය. මා මිතුරාගේ RZ 125 බයිසිකලයද , වසන්තයාගේ සී නයින්ටියද පාර මැද පෙරලී තිබුණි.

කපනවා යකෝ තොපි දෙන්නව.. පෙති ගහනවා මම අද තොපිව..
වසන්තයා ඉන්දිකයාව යුද්දයට කැඳවන්නේ එසේය..

කපන්න.. තෝ කොහොමද යකෝ මාව කපන්නේ.. තෝ දන්නේ නැහැ මේ ඉන්දික කව්ද කියල.. වර බලන්න කොටන්න.. 
ඉන්දිකයාද අරින්නේ නැත..

තොපි දෙන්න දැන් කාලයක් තිස්සේ මගේ නංගි පස්සේ එන්නේ.. තොපි හිතන් ඉන්නේ අපි ගොන්නු කියලද යකෝ.. අද මම තොපිව පෙති ගහනවා..
වසන්තයා කඩු කොටය ගුවනේ ලෙලදෙවයි .. එහෙත් ටිඩියා ප්‍රමුක ගම්වැසියන් වසන්තායව අතාරින්නෙ නැත..

තෝත්  චන්ඩියෙක්ද යකෝ මට.. අතක් තියපන් පුලුවනිනම් මට..
ඉන්දිකයාද අරින්නේ නැත.. එහෙත් ගම්වාසීන් ඉන්දිකයාව අතාරින්නේද නැත..

වසන්තගේ මල්ලී, තාත්තා ඇතුළු පිරිසද හදිසියේ එම ස්ථානයට කඩා පැන්න අතර ඊට සමගාමීව අපේ උන්ද වලිය මැදට කඩා පනින ලදී.. තඩියා, බතලයා, එරාජ්, වාස් ඇතුළු බෝඩිමේ තුඩුවමුල්ල නියෝජනයට පැත්තක් ගැනීමට නොහැකි රණ්ඩුවක් වීම හේතුවෙන් කරුණු විමසා බලා සාමකාමීව වලිය  සමතයකට පත්කරගැනීමට අපේ එවුන්ට හැකි වුයේ දැඩි පරිශ්‍රමයක් ඒ වෙනුවෙන් දැරීමෙන්  අනතුරුවයි. වැට ඉන්නක් උලුක් කරමින් සිටි ඉන්දිකයාවද , ටිඩියාගේ කඩය අයිනේ නියපොතු කමින්  සිටි මා මිතුරාද කැදවාගෙන අප සැම බෝඩිම වෙත පැමිණියේ කඩු කොටය අත  දැරූ වසන්තයා ඇතුළු පවුලේ පිරිස එම ස්ථානයෙන් නිවෙස් බලා විසිර ගියායින් පසුවයි..

සිද්දියෙන් අගතියට පත් ඉන්දිකයා සහ මා මිතුරා වටකොට පස්චාත් මරණ පරීක්ෂණය පවත්වන්නට අපේ එවුන් ලක ලැහැස්ති වූයේ සියල්ලෝම බෝඩිමේ තාප්පය අසලින් වාඩි වූවායින් පසුවය. සිද්දියේ අගමුල කිසිවෙකුත් නොදැන සිටියත් සිද්දියට කඩු හරඹයට මුලිකවූ ඉන්දිකයාත් , ඉන්දිකයාගේ අනුගාමිකයා වූ  මා මිතුරාත් ගැන ඊට වැඩි යමක් මා දන්නා බැවින් කිසිවක් කථා නොකර සිටීමට මා වගබලා ගත්තද මා මිතුරා නියපොතු කමින් මා දිහා හොර ඇහෙන් බලමින් ඇඹරෙමින් සිටියේ තිත්ත කසාය මුට්ටියක් බලෙන් පොවන ලද ගොළුවකු සේමය. 

බෝඩිමේ සාමාජිකයින් සියල්ලන් විසින්ම ඉන්දිකයා ඇස්වසනු ලදුව යන්තම් සන්තම් ප්‍රශ්නය සමතයකට පත්වූ පසුව ඉන්දිකයා මා මිතුරාද සමග බෝඩිමෙන් නික්ම යන්නට මොටෝ සයිකලයට ගොඩවූ මොහොතේ එතෙක් වෙලා මාගේ හදවත දවාලූ ප්‍රශනය මම ඉන්දිකයා හමුවේ තැබුවෙමි..

ඈ බන්.. දැන් උඹලෑ පවුලේ මිනිස්සු විරසක වෙලාද බන්..

ඒ කිව්වේ.. මට ටිකක් පැහැදිලි කරහන් මොකක් ගැනද උඹ මේ කියන්නේ..

මම අහන්නේ උඹයි උඹේ බාප්පාගේ පුත්තුයි විරසක වෙලාද ..

මා මිතුරාද තිත්ත කසාය බිවූ ගොළුවකු සේ මොටෝසයිකලයේ පසුපස අසුනේ වාඩිවී සිටිමින් නියපොතු කමින් මා දෙස හොරැහින් බලමින් සිටියි..

බොට පිස්සුද යකෝ.. අපේ බාප්පල අපි කිසම අවුලක් නැහැ..

එතකොට බොගේ බාප්පයි බාප්පගේ පුත්තුයි කඩුවක් අරගෙන බොට කොටන්න ආවේ පිස්සුවටද..

බොට පිස්සුද යකෝ.. මගේ බාප්පෙක් කොහෙද මට කොටන්න ආවේ..

ඒ කියන්නේ දැන් වසන්තය උඹේ බාප්පාගේ පුතා නෙවෙයි..

බොට පිස්සු හැදිලද යකෝ.. ඌ කොහොමද මගේ බාපගේ පුතා වෙන්නේ.. උගේ නම වසන්ත කියල දන්නෙත් අද බන් මම.. 

එහෙනම් උඹ දැන් මාසෙකට විතර කලින් හල්වතුරට තකහනියක් ඇවිත් මට කිව්වේ මම බොලෑ  බාප්පාගේ දූ ශ්‍යාමලී පස්සේ යනවා කියල.. මතකද උඹ කිව්වෙ  බාප්පා මහා නපුරු එකා, ශ්‍යාමලී පස්සේ යනවනම් ඒක නවත්තපන් කියල..

ඔව්.. මම කිව්වා තමයි.. ඉතින්..

එතකොට දැන් පැය භාගෙකට කලින් බොට කඩුවෙන් කොටන්න ආවේ එදා කියපු බාප්පාගේ පුතා වසන්ත තමයි බොල ..

හහ් ..

මා කියූ දෙයින් එලෝ මෙලෝ නැතිවූ ඉන්දිකයා විනාඩියක් පමණ මා දිහා දෑස් විදහා බලා සිටියායින්  අනතුරුව හැරුනේ පිටුපස අසුනේ වාඩිවී නියපොතු කමින් සිටි මා මිතුරා දෙසටයි..

බැහැපන් මගෙන් මැරුන් නොකා..

යමන් බන්.. මුගේ මේ විකාර අහන්නේ නැතුව අපි යමන්..

මා මිතුරා ප්‍රශ්නයෙන් පැන යාමට උත්සහ කලේ එලෙසයි..

මම දැන් තොට එකපාරක් කිව්වනේ.. බැහැපන් මගෙන් මැරුම් නොකා..

මා මිතුරාද මොටෝවෙන් බැස්සේ ඉන්දිකයා වෙත විරිත්තමින්ය..

බල්ලෝ.. තෝ දැනගනින් මීට පස්සේ කෙල්ලෙක් පස්සේ යනකොට තෝ එක්ක යන එකාටවත් කියපන්  මේ යන්නේ අහවල් කෙල්ල පස්සේ කියලා.. බලහන් දැන් මේ පීචං වෙන්නේ මමනේ තෝ නිසා.. තෝ මහා #$%#&$^#@&$%$#%%$&#%@%$ බල්ලෝ ..

මා මිතුරාට සිංහල සංස්කෘත වලින් ඇමැතූ ඉන්දිකයා මා දිහාට හැරුණි..

මේ කාලකන්නියා කඩු කොටයක් අරන් පාරට පනිනකම් මම දන්නේ නැහැ බන් මූ මොකාද කියලා.. මෙන්න මේ බල්ලාගේ කීමට තමයි එදා ඇවිත් උඹව බය කරේ.. බැලුවාම මූ ගහල තියෙන්නේ ත්‍රිබල් ගේම් එකක්.. උඹ ශ්‍යාමලී පස්සේ යාවි කියන බයට මා ලව්වා උඹව බය කරලා මටත් නොකියම මාව එක්කන් ගිහින් තියෙන්නේ ශ්‍යාමලී පස්සේ.. හපොයි මට ගහන්න ඕන බූ වල්ලකින් බන් මු වගේ එකෙක් ආස්සරේ කරනවට .. මම දන්නේ නැහැ බන් ඒ කෙල්ලගේ නම ශ්‍යාමලී කියලා.. 

සිද්දිය එලෙසින් නිමාවට පත්වුවත් මාගේ අඹ යාලුවා ශ්‍යාමලීගේ සිද්දිය ගැන අද වනතුරු කසිදු දෙයක් කතා කර නොමැත. කරන්නට යෙදුනාවූ ත්‍රිබල් ගේම් එක දුටු මට පිහිටවන්නාවූ දෙවි කෙනෙක් මා ඉදිරිපිටදීම මා මිතුරාගේ ත්‍රිබල්  ගේම් එක අනුකම්පා විරහිතව කුජීත කර දැමුයේ ඒ ආකාරයෙනි.මා මිතුරා එවන් සාර්ථක ඩබල් ගේම් කිහිපයකින් හා අසාර්ථක ත්‍රිබල්  ගේම් කිහිපයකින්  අනතුරුව එක් දරු පියෙක් වී සිටියි.. 

රහස් පරීක්ෂක සේවා, රොයිටර් සේවා හා  ෂර්ලොක් හෝම්ස් සේවා වල ඒකාබද්ධ මෙහෙයුම් සිය දහස් ගණනකින් අනතුරුව  තඩියාගේ, ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරි ප්‍රේම වුර්තාන්තයද නිමාවුයේ  තඩියාගේ දෙමාපිය ප්‍රමුක ඥාති පිරිවරට ඉනිමක ජයක් අත්කර දෙමින්ය. ප්‍රේම වුර්තාන්තයෙන් ශෝකයටපත් තඩියා තවත් ප්‍රේම වුර්තාන්තයකට ආරම්භය සනිටුහන් කලත් සුපුරුදු පරිදිම එයටද දෙමාපිය, ඥාති පිරිවර විරුද්දවූ නියායෙන් සියල්ල අත්හැර විදේශ රැකියාවක් සඳහා පිටත්ව ගියේය. එහිද ගොස් නිකම් නොසිටි තඩියා කුවේටයෙන්ද පෙම්වතියක් සොයාගත්තේ කොටන කුකුළාට කොයි කොටුවත් එකයි කියන්නාක් සේය . එදත්, අදත් , හෙටත් සත්‍ය ප්‍රේමයේ  සලකුණක් වූ තඩියාට කුවේටයේ හමුවූ පෙම්වතිය විවාහ කරගැනීමට දෙමාපිය ආශිර්වාදය හිමිවූ අතර අද වනවිට එක්දරු පියෙක් වශයෙන් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරමින් සිටියද එම පෙම්වතියද සෙන්ටිමෙන්ටල් කරදීමට අප වෙහෙසවූ ආකාරය ගැන වෙනම පොස්ට් එකකින් ලිවිය යුතුය..

උසස්පෙළ විභාගයට ඔන්න මෙන්න තිබියදී අපගේ අවරගණයේ ක්‍රියාවක් ඥානාගෙ දෙමාපියන්ට අතටම මාට්ටු කර  දීමට ඒකාබද්ධ රහස් පරීක්ෂක සේවා  සාර්ථකව සමත් වූ අතර, එම ක්‍රියාවට දඬුවමක් ලෙස, අපගේ දුක සහ  සතුටඑක ලෙසින් විඳගත්තා වූ බෝඩිම සදහටම වසා දැමීමට ඥානාට සිදුවිණි. 

ඥානාගෙ දෙමාපියන් බෝඩිමට පැමිණ කොට්ටා පැදුරු සමගින් ඥානා කුදලාගෙන මයිනරයේ පසුපස අසුනට බලහත්කාරයෙන් නංවාගෙන බෝඩිමට සමුදී  යනු දුටු මට එදා මතකයට නැගුනු දේ අදද එලෙසම මතකයේ  සටහන්වී ඇත . එනම් අඹ යාලුවෝ  ටෙලි නාට්ටියේ සුනිල් නොහොත් සුදු ආප්පෝ බලහත්කාරයෙන් කොළඹ පාසලකට ඇතුලත් කිරීමට රැගෙන යන අවස්ථාවේ මයිනරයේ පසුපස වීදුරුවෙන් නිමල් දෙස බලා සිටි ආකාරයයි..ඥානාද එලෙසම බෝඩිමේ සගයන් දෙස මයිනරයේ පසුපස වීදුරුවෙන් බලා සිටි ආකාරය ඉතාමත් දුක හිතෙනා සුළුය...


අනේ බෝඩිමේ කතා ඉවරයි කියලා හිතුවට ඉවර නෑ .. තව තියෙනවෝ ... 

"""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""

ඉතිහාසය දෙස බලා සිනාසෙන්නට උත්සහ කලද එම සිනහව පසුපසින්ම පැමිණෙන දුක්ඛදායී  සිතුවිල්ල නම් බෝඩිමේ සිද්දීන් සියල්ලටම සෘජුව සම්භන්ධ වූ ඉස්කෝලේ ආච්චීද, ඥානාගෙ පියාද, තඩියාගේ පියාද මේ වනවිට ජීවතුන් අතර නොසිටීමයි. අපව යහමග යැවීමට දිවා රෑ නොබලා වෙහෙසවූ පුද්ගලයින් වශයෙන් ඉස්කෝලේ ආච්චීටද, ඥානාගෙ පියාටද, තඩියාගේ පියාටද නිර්වාන සම්පත්තියම ලැබේවා ...