Monday, February 22, 2016

නමක් නැති කතාවක් 9






ගෙදර සාමාජිකයින් රාත්‍රී ටෙලි නාට්‍ය නරඹන අතරතුරේ කාගේවත් ඇස නොගැටෙන්නට කාමරයට වැදුණු සුභාෂ් කාමරයේ දොර ලොක් කරලා ඇඳුම් පිටින්ම ඇඳට වාරු වුනේ කපල බිම දාපු ගහක් වැටෙන්න වගේ. ඔලුව පුරා රිදුම් දෙන වේදනාවත් හිත පුරා රිදුම් දෙන වේදනාවත් ශරීරයෙන් ඉවතට ගලාගිය රුදිරය නිසාවෙන් නැගෙන විඩාපත් බවත්, එල්ලවූ ගුටි ප්‍රහාරයෙන් නැගෙන්නාවූ වේදනාවත් සියල්ලම සුභාෂ්ගේ දරාගැනීමේ සීමාව ඉකමවා ගොස් සිටියත් සුදුවූ සිදුවීම පවසා හිත නිදහස්කරගනීමට කෙනෙක් ඒ වෙලාවේ සුභාෂ් අවට හිටියේ නැහැ.

කල්පනාවේ නිග්මන්ව උන් සුභාෂ්ගේ සිතුවිලි දැහැන බිඳිමින් කාමරයේ දොරට තට්ටු කරන්නට වුයේ සුභාෂ්ගේ අම්මා ..

කන්නේ නැද්ද ළමයෝ..

බඩගිනි නැහැ අම්මා..

මොකද මේ දොර වහගෙන..

වහල නැහැ අම්මා දොර හිරවෙලා වෙන්න ඇති..

කෝ ඇරෙන්නේ නැහැනේ..

මම මෙහෙමම නිදාගන්නවා අම්ම.. දැන් කන්න බෑ ..

අනේ මන්ද..

අම්මා කාමරයේ දොර වෙතින් නික්මගියේ පැහැදිලි සිතුවිල්ලකින් නොවෙන බව සුභාෂ් දැනන් හිටියා. පවතිනා ප්‍රශ්නයක් තාත්තාගේ දැනගැනීමෙන් ඇතිවන තත්වය බොහොමත්ම වෙනස් වන නිසා උදෑසන තාත්තා රැකියාවට ගිය වහා අම්මා කාමරයේ දොර කඩාගෙන හෝ ඇතුලට එන වග සුභාෂ්ට අමුතුවෙන් කියන්න දෙයක් තිබුනේ නැහැ . සියලුම වේදනාවන් එක්කම සුභාෂ්ට නින්ද ගිහින් ඇහැරුනේ අම්ම නැවතත් දොරට ගහන ශබ්දයෙන්.

අද ඉස්කෝලේ යන්නේ නැද්ද ළමයෝ.. දවල් වෙලා..

අම්ම එහෙම ඇහුවාම තමයි සුභාෂ්ට දැනුනේ එළිවෙලා කියල.. ඇඳෙන් නැගිටිනවත් එක්කම නලලෙන් දැනුන වේදනාවත් එක්කම ආයෙත් සුභාෂ්ට සියලු සිදුවීම් මතකයට නැගෙන්න ගත්තා.

ඔලුව ටිකක් රිදෙනවා අම්ම.. අද නොගිහින්  ඉන්නව.

ඒ ගමන මොකද මේ වෙලා තියෙන්නේ.. අරිනවා කාමරේ දොර..

ඒ විධානයෙන් සුභාෂ් කෙලින්ම බැලුවේ කාමරේ මේසය උඩ තියන ඔරලෝසුව දිහා.. වෙලාව උදේ හයයි තිහයි.. ඒ කියන්නේ සුභාගේ තාත්ත රැකියාවට යන්න පිටත් වෙලා. වැඩි සනීපයක් නොදැනුන ශරීරය වත්තම් කරගෙන ගිහින් සුභාෂ් කාමරේ දොර විවුර්ත කරා..

දෙයියනේ.. මොකද මේ නළලට උනේ..

බයිසිකලෙන් වැටුන අම්මා..

පුතා... ඔයා බොරු විතරක් කියන්න එපා.. බයිසිකලෙන් වැටුනානම්  මොකටද ඔයා කාමරේ දොර ලොක් කරගෙන ඉන්නේ..

න්..නෑ  අම්මා.. බයිසිකලෙන් වැටුන තමා..

මට බොරු විතරක් කියන්නේ නැතුව කියනව මොකද උනේ..

මම එකපාරක් කිව්වනේ අම්මා..

හරි මම හොයාගන්නම්කො මොකද වෙලා තියෙන්නේ කියල.. දැන් අද ඉස්කෝලේ යන්නේ නැද්ද..

බෑ අම්ම.. අද නොගිහින් ඉන්නවා..

පුතා... විභාගෙට තව තියෙන්නේ මාස කීපයයි.. සෙල්ලම් කරන්න නම් ලැස්ති වෙන්න එපා..

හරි අම්ම හරි.. මම තව ටිකක් නිදාගන්නවා..

හ්ම්.. මේ තේ එක බීල නිදාගන්නව.. අද කොහෙවත් ඇවිදින්න යනවා එහෙම නෙවෙයි.. මම ඉස්සරහ දොරේ යතුර අරන් යනවා.. අද ගෙදරට වෙලා ඉන්නවා.. හවසට තාත්ත ආවාම ඔය නළලෙ තියන තුවාලෙට දෙන්න උත්තර ලැස්ති කරගෙන ඉන්නකෝ..

හරි අම්ම හරි..

කාගේද ඔය ඇඳන් ඉන්න කමීසේ..

අම්මා ඇහුව අවසාන ප්‍රශ්නයට උත්තර නොදීම සුභාෂ් කාමරයේ දොර වහල දැම්ම. තේ එක මේසය උඩින් තියපු සුභාෂ් ආයෙත් ඇඳට වැටුනේ නැගිටලා ඉඳන් වෙනත් වැඩක් කරන්න ඇඟේ හයියක් නැති නිසාමයි. සියලු වේදනා අතාරි කල්පනාවට එන ඖෂදීගේ ඇස්දෙක සුභාශ්ව ඉමක් කොනක් නොපෙනෙන ප්‍රශ්න වැලක් ඇතුලේ අතරමං කරා.

සුභාෂ් ආයෙත් නින්දෙන් ඇහැරුනේ සුභාෂ්ගේ නංගි ඉස්කෝලේ ඇරිලා එන සද්දෙට. පැය ගණනාවක් නිදාගත්තු නිසා සුභාෂ්ට පුංචි සනීපයක් නොදැනුනා නෙවෙයි.

අයියෙ කොහේ යන්නද ඔය ලැස්ති වෙන්නේ..

ඇයි අහන්නේ..

නෑ  අම්ම කිව්වා ඔයාට කොහෙවත් යන්න දෙන්න එපා කියල..

හරි හරි මම අම්ම එන්න කලින් ගෙදර එනවා හලෝ..

ඔන්න අම්ම ඇහුවොත් මම කියනව ඔයා ගියා කියල..

ඒ අම්ම එන්න කලින් මම ගෙදර ආවේ නැති උනොත්නේ ..

ඔන්න මම දන්නේ නැහැ මටනම් බොරු කියන්න බෑ .. අම්ම හිතන් ඉන්නේ එයාගේ පුතා බයිසිකලෙන් වැටිල කියල.. එත් අපිටනම් හිතෙන්නෙ මෙයා කාගෙන් හරි ගුටිකාලා කියල..

අනේ මේ .. ඔයා පැහෙන්නේ නැතුව වැඩක් කරගන්නකෝ ..

ඉන්නවකෝ අම්ම ආපු ගමන් කියනව ..

ඉතින් කියනව..

සුභාෂ් බයිසිකලේ පැදගෙන පිට්ටනිය පැත්තට ඉගිල්ලුනේ එකතරා තීරණයක් හිතේ ධාරණය කරගෙනමයි. ප්‍රැක්ටිස් පටන්ගන්න කලින් ඉන්ද්‍රජිත් අල්ලගන්න එක තමයි සුභාෂ්ගේ අවශ්‍යතාවය උනේ. දෙකයි තිහ වෙද්දී ඉන්ද්‍රජිත් පිට්ටනියට වාර්තාකරණ විත්තිය සුභාෂ් පුරුද්දෙන්ම දන්නවා උනාට පාරේදීම ඉන්ද්‍රජිත් අල්ලගන්න තමයි සුභාෂ් හිතන් හිටියේ. හිතුව වගේම ගාලුපාර පැනගෙන පිට්ටනිය දිහාවට එන ඉන්ද්‍රජිත් අල්ලගන්න සුභාෂ්ට වැඩි අමාරුවක් උනේ නැහැ..

මොකෝ බන් නළලට උනේ..

පොඩි තුවාලයක් බන්..

හරි ඉතින් මොකක්වෙලාද තුවාල උනේ..

උඹට එව්වා වැඩක් නැහැ.. නැගහන් පොඩි ගමනක් යන්න..

කොහේ යන්නද බන්.. දැන් ප්‍රැක්ටිස් පටන්ගන්නවනේ..

හරි බන් ඊට කලින් එන්න පුළුවනි.. නැගහන්කෝ..

හරි ඉතින් යමන්.. මම මගේ බයික් එකේ එන්නම්..

නෑ මේ ගමන අපි එක බයික් එකේ යන්න ඕන.. උඹේ බයික් එක ලොක් කරලා ඇවිත් නැගහන් මේකෙ..

හරි එහෙනම් යමන්කෝ.. උඹ මාව මරන්න අරන් යනවද දන්නේ නැහැ යකෝ..

යමන්කෝ යමන්කෝ..

ඉන්ද්‍රජිත් ඉරිදිපසින් වාඩි කරවාගෙන සුභාෂ් බයිසිකලය පැදගෙන යන්නේ කොහෙටද කියන්න වැටහීමක් ඉන්ද්‍රජිත්ට තිබුනේ නැහැ. ඒත් බයිසිකලය ගාලු පාරෙන් ඖෂදීගේ ගෙවල් පාරට හරවනවාත් එක්කම ඉන්ද්‍රජිත් මදක් කලබලයට පත්වෙනු සුභාෂ්ට දැනුනත් සුභාෂ්ගේ අරමුණ උනේ ඉන්ද්‍රජිත් බයිසිකලයෙන් බස්සන්නෙම නැතුව අදාළ ස්ථානයට අරගෙන යාම.

ක්..කොහෙද  යකෝ මේ යන්නේ..

උඹ පාඩුවේ හිටහන්කෝ.. මමනේ පදින්නේ.. වාඩිවෙලා හිටහන්.. ගියාම පෙනෙයි..

රේල් පාලම පහුකරගෙන පහලට බහින සුභාෂ් සහ ඉන්ද්‍රජිත් රැගත් බයිසිකලය සුභාෂ්ගේ විධානයෙන් නතර උනේ ඖෂදීගේ නිවස ඉදිරිපිට..

ම්..මොකක්ද යකෝ උඹ මේ කරන්න යන්නේ..

කරන්න යන්නේද.. උඹ ගිහින් ඖෂදීගෙන් අහගෙන වරෙන් මට කැමතිද නැද්ද කියන එක.. උඹ ගිහින් අහගෙන වරෙන් මගේ ලියුමට උත්තර එවන්නේ නැත්තෙ ඇයි කියන එක..

දැන් උඹට මොකක්ද මේ අදම, මේ දැන්ම ඕක දැනගන්න තියන හදිසිය කියහන්.. මම කිව්වනේ මම ශේප් එකේ වැඩේ කරලා දෙන්නම් කියල..

හදිසියද.. හදිසිය තමයි ඊයේ හවස ඖෂදීගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියන එකෙක් උගේ යාළුවො එක්ක ඇවිත් මට ඇතිවෙන්න ගහල මගේ ඔලුව පලාපු එක..

හෑ.. ම්... මොකක්..

මචන්..දැන් මේකේ දෙකෙන් එකක් විසඳෙන්න ඕන .. මම පාරෙන් ඉන්නම්.. ගිහින් අහගෙන වරෙන් මම කිව්ව ටික..

එහෙම කොහොමද බන් එකපාරට කෙල්ලෙකුගේ ගෙදරකට යන්නේ..

ඇයි උඹ වෙනදත් මෙහෙට ආව ගියානේ උඹලාගේ සංගීත වැඩ වලට.. ඒ වගේම ගිහින් අහගෙන වරෙන්..

මට හෙට වෙනකම් දීපන් මචන්.. මම ඉස්කෝලෙදි මේ ප්‍රශ්නේ විසඳලා දෙන්නම්..

බෑ බෑ බෑ .. මම දැන් අවුරුද්දකට වඩා කාලයක් මේ ගැන බලන් හිටිය.. අන්තිමේ ගුටිත් කෑවා.. තව විනාඩියක්වත් බෑ .. අදම මේ දැන්ම මේක විසඳෙන්න ඕන..

උඹ එහෙනම් ටිකක් එහාට වෙලා හිටහන්කෝ.. මම ගිහින් බලන්නම්.. උඹත් දාන ලෙඩ බන්..

ඉන්ද්‍රජිත් බයිසිකලයෙන් බැස යනවාත් සමගම ඉන්ද්‍රජිත්ගේ පසුපස සාක්කුවෙන් බිමට වැටී මදක් ඉවතට පෙරලී ගිය ඉන්ද්‍රජිත්ගේ පසුම්බිය අහුලන්නට ඉන්ද්‍රජිත් උත්සහ කළා..

හරි මම එක අහුලගන්නම්.. උඹ ගිහින් ඖෂදී හම්බෙලා වරෙන්කො..

හරි.. උඹ ටිකක් නොපෙනනෙන්න හිටහන්..

ඉන්ද්‍රජිත් ඖෂදීගේ නිවසේ  ගේට්ටුව ඇරගෙන වත්ත ඇතුලට යනවත් එක්කම සුභාෂ් ඉන්ද්‍රජිත්ගේ පසුම්බිය අහුලාගෙන අතේ තියාගෙන කල්පනා කරමින් උන්නේ ඉන්ද්‍රජිත් කුමන ආකාරයේ පණිවිඩයක් අරගෙන ඒවිද කියන දේ ගැන. එත් අහම්බෙන් වගේ ඉන්ද්‍රජිත්ගේ පසුම්බිය දිහා බැලුන සුභාෂ් දැක්කේ තමුන්ට ඉතාමත් හුරු පුරුදු යමක්. අනුන්ගේ පසුම්බියක් අනවසරයෙන් ඇවිස්සීම නොහොඹිනා කමක් උනත් කුතුහලය සුභාශ්ව ඒම නොහොඹිනාකම ඉක්මවූවා.

මේ තියෙන්නේ  සුභාෂ් අවුරුද්දකට කලින් ඖෂදීට දෙන්න ලියල දීපු ලිපිය කියල දැනුනාම සුභාෂ්ට දැනුනේ හරිම අසරණ හැගීමක්.. ඒ කඩදාසියේ තිබුණු අකුරු දිහා සුභාෂ් විනාඩියක් විතර ඔහේ හිස් බැල්මෙන් බලන් හිටිය.

ගෙදර කව්රුත් නැහැ බන්..

එහෙම කියාගෙනයි  ඉන්ද්‍රජිත් ඖෂදීගේ ගෙදර ගේට්ටුව වහගෙන පාරට ආවේ.

ෂූ...ෂූ..

සුභාෂ් තමුන්ගේම කටට දබර ඇඟිල්ල තියල ඉන්ද්‍රජිත්ට කිව්වේ මුකුත් කතා කරන්න එපා කියලයි.. පළමුවෙන්ම ඉන්ද්‍රජිත්ගේ පසුම්බිය ඔහුගේ අතට දුන්නු සුභාෂ් ඉන්ද්‍රජිත් ඉස්සරහම තමුන් ජීවිතේ පළමු වතාවට ගැහැණු ළමයෙකුට ලියපු ඒ පෙම් හසුන පුංචි කෑලි වෙන්නම ඉරලා දැම්ම. ඉන්ද්‍රජිත් කියන්න උත්තරයක් නැතුව ඔහේ සුභාෂ් දිහා බලන් හිටිය. කෑලි වලට ඉරපු ලියුමේ පුංචි කොළ කෑලි ඔක්කොම උඩ විසික් කරපු සුභාෂ් ඒ කොළ කෑලි බිමට වැටෙන්නත් කලින් බයිසිකලේ ආපහු හරවගත්තේ පිට්ටනියට යන්න. හරවපු බයිසිකලේ ඉස්සරහින් ඉඳගත්තු ඉන්ද්‍රජිත්වත් සුභාශ්වත් එකම වචනයක්වත් කතාකරේ නැහැ. එක හැල්මේ බයිසිකලය පැදගෙන ආපු සුභාෂ් ඉන්ද්‍රජිත් පිට්ටනිය ගාවින් බැස්සුවා.

ඇයි බන් මාව රැවට්ටුවේ..

මම කියන දේ අහපන්කෝ ටිකක්..

මට උඹ කියන කිසි දෙයක් අහන්න ඕන නැහැ මචන්.. මට කියහන් ඇයි මාව රැවට්ටුවේ..

මට මේක පැහැදිලි කරනන් දීපන් මචන්.. ඖෂදී එදාම උඹේ ලියුම ගන්න බැහැ කිව්වා බන්.. එත් ඖෂදී උඹට කැමැත්තෙන් ඉන්නේ කියල දැනුන නිසා මම ලියුම තියාගෙන හිටියේ ආයේ කොහොමහරි දෙන්න හිතාගෙන..

ෂූ ...ෂූ .....උඹ මට නිදහසට කරුණු කියන්න බැඳිලා නැහැ මචන්.. මට කියහන් උඹ විතරක් මාව රවට්ටුවද ඖෂදියි උඹයි දෙන්නම එකතුවෙලා මාව ඇන්දුවද කියල විතරක්.. 

උඹ ඉන්නේ කේන්තියෙන්.. මම උඹේ කේන්තිය නිවුනාම මේක පැහැදිලි කරන්නම්..

නෑ මචන්.. මම ඉන්නේ කේන්තියෙන් නෙවෙයි.. මම ඉන්නේ දුකෙන්.. මම උඹටවත් ඖෂදීටවත් වෛර කරන්නේ නැහැ.. දවසකට වතාවක් හරි මං එක්ක කතාකරන ඖෂදීගේ ඇස්දෙක මට කියන්නේ බොරුවක් කියල මම හිතන්නේ නැහැ බන්..

මම කිව්වනේ.. මම මේක පස්සේ උඹට පැහැදිලි කරන්නම්.. දැන් වරෙන් ප්‍රැක්ටිස් කරන්න..

මම ආයේ කවදාවත් ෆුට් බෝල් ගහන්න එන්නේ නැහැ මචන්..සමහරවිට ටික දවසකට මම ඉස්කෝලේ එන්නෙත් නැතිවෙයි .. මම දන්නේ නැහැ මාව රවටුවේ උඹද , උඹල දෙන්නමද කියන එක.. ඒ හින්ද මම ඒ ගැන ආයේ නොහිත ඉන්නම්.. මම මේවා අමතක කරලා හිත හදාගන්නකම් උඹ මේ ගැන මා එක්ක ආයේ කතාකරන්න එපා.. ඖෂදීට සමහරවිට මාව විහිළුවක් වෙන්න ඇති.. එත් ඒ විහිළුව හුඟක් දුර ගිහින් ඉවරයි.. අවුරුද්දක් තිස්සේ උත්තර එනකම් බලාගෙන හිටපු ලියුම අවුරුද්දක් තිස්සේ තිබිල තියෙන්නේ උඹේ පර්ස් එක ඇතුලේ මචන්.. මීට වඩා හොඳයි උඹල මාව මරුවනම්..මම යනව බන්.. ආයේ උඹටවත් ඖෂදීටවත් මගෙන් කරදරයක් නැහැ.. වරදක් උනානම් සමාවෙයන් ..

අමාරුවෙන් හිරකරගෙන හිටපු කඳුළු බොල දෙකක් ඇස් දෙකෙන් එලියට පනිනකොටම සුභාෂ් බයිසිකලය පැදගෙන නගරසභාව පැත්තට යන්න පිටත්වුනා.. ඉකිහසමින් හඬාවැටෙන හදවතේ වේදනාව කියන්න කෙනෙක් නැතිකමට සුභාෂ් ඔහේ බයිසිකලය පැදගෙන ගියා අරමුණක් නැතුවම. අවුරුද්දකට හමාරකට කලින් සුභාෂ්ගේ  ආත්මය කාටවත්ම හොරකම් කරන්න බැරිවෙන්නම තමුන් හොරාගතපු වග ඖෂදී දැනගෙන ඉන්න නැතුව ඇති.


ලොවේ කොතනදී හෝ 
සසර මාවතේ දී...
ලංව ඉන්න ආදරෙන් 
පුංචි සමනලුන් ලෙසින්...  
එතෙක් ආදරේ වදන් 
ලියු පෙම් හසුන් ඉතින්... 
දවාලන්න ආදරේ 
නිමාවයි අපේ ලොවේ...

කෙසේ මා ලියම්දෝ...
ඔබේ ලෝකයෙන්
වෙන්ව යන්නටයි කියා... 
මෙසේ සමු යදින්නේ 



Monday, February 15, 2016

මොරටුවේ දෙකයි පානදුරේ එකයි





මේ ලියන්න යන ඕපාදූප ගණයට වැටෙන  සිදුවීම් තුන  ලියන්නේ හුදීජන පහන් සංවේගය පිණිස පමණමයි. මේ සිදුවීම් තුනටම අම්බලන්ගොඩ කථා ලියන මම සජීවීව සහභාගී වෙච්චි සිදුවීම් නෙවෙයි. මේ කථා සියල්ලම කනබොන තැන්වල හෙවත් තම තමුන්ගේ කියුම් කෙරුම් උජාරුවෙන් කියනාවූ තැන්වල කතාබහ වෙච්චි දේවල්. සිදුවීම් කිහිපය හැකිතාක් සජීවීකරණය කරන්න මං එතන හිටිය වගේ සහ ඇහින් දැක්ක වගේම ලියන්න තමා මේ උත්සාහය. 

අග නගරයට වැඩියෙන්ම ආසන්නයෙන් තියෙන නිසා ලියන්න යන ඕපාදූප ටික මොරටුවෙන්ම පටන් අරන් පානදුර පැත්තට යන්නයි මගේ අදහස..

මහේෂ් කියන්නේ මා එක්ක අවුරුදු ගණනාවක් රාජකාරියේ යෙදුන මට සීනියර් කාර්මික නිලධාරී තැන. අපි දෙන්නම එකම තනතුරේ උනාට මම තුන්වෙනි ශේණියේ කා. නිලධාරී වෙද්දී මශේෂ් උන්නේ දෙවැනි ශේණියට උසස්වීම ලබාගෙන. මනුස්සකමයි අවංකකමයි කියනදේ ඇඟපුරාම තිබ්බ හැබෑම මහත්මයෙක් වෙච්චි මහේෂ් කවදාවත් දහසින් බැඳී පියලි වෙනුවෙන් ලොක්කන්ට කඩේ නොගිය කොන්ද කෙලින් මනුස්සයෙක්. කරනා වූ ඕනෑම වැඩකට සුපිරි උනන්දුවක් තියන පුද්ගලයෙක් වෙන මහේෂ්  භාරගන්නා ඕනෑම වැඩක් වෙනුවෙන් තමුන්ට ලැබෙන දේට වඩා යමක් පිටත පාර්ශවයට ලබාදෙන්න උත්සහ කරන මනුස්සයෙක්. ඒ වගේම හීන්දෑරි උස ශරීරයකට හිමිකම් කියන අපේ මහේෂ් ඇවිදීමේ සූරයෙක්. රැකියාව අවසන් වෙලා බම්බලපිටියට යන්න තුම්මුල්ලෙ බස් හෝල්ට් එකේ බස් එකක් එනකම් බලාගෙන ඉන්න කම්මැලි ජනතාවට බලල හැදෙන්න වටිනා චරිතයක් වෙන මහේෂ් තුම්මුල්ලෙ ඉන්න එවුන් බස් එකට නගින්න කලින් අඩියට දෙකට බම්බලපිටිය දුම්රියපොළට විනාඩියෙන් ඇවිදින්න සූරයෙක්. අපිනම් ඒ කාලේ කිව්වේ මහේෂ් ඇවිදිනවා නෙවෙයි විදිනවා කියලයි. ඒ තරම් ඇවිදීමේ සූරයෙක් වෙච්චි අපේ මහේෂ් බම්බලපිටියේ ඉඳන් අඟුලානට යන්න කෝච්චියක් එනකම් දුම්රියපොළේ ඉන්නේ නැතුව ඒ සුට්ට දුරත් පයින්ම විදින්නේ නැත්තෙ ඇයි කියන එක ගැන මට අදත් ප්‍රශ්නයක්. 

හැත්තෑව දශකයේ මුල්භාගයේ ඉපදිච්චි අපේ මහේෂ්,  රටේ අඳුරු භීෂණ සමය හෙවත් 88/89 වෙද්දී හොඳ ගජ ඉලන්දාරියෙක්. ඒ වෙද්දී අපේ මහේෂ්ගේ විනෝදාංශය වෙලා තියෙන්නේ මැරතන් දිවිල්ල. යමක් පටන්ගත්තොත් සුපිරි උනන්දුවකින් ඒ දේ වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන ජාතියේ උනන්දුවෙක් කිව්වොත් තමා නිවැරදි.   සිංහල අවුරුදු ලංවෙද්දි පොළොවට ඉර එලිය වැටිච්ච වේලේ ඉඳන් අපේ මහේෂයා කරන්නේ තවත් යාලුවෙක් එක්ක මැරතන් දුවන්න ප්‍රැක්ටිස් කරන එකලු. කොයිතරම් කෑවත් බිව්වත් ඇඟ මහත්වෙන්නේ නැති අපේ මිත්‍රයා රනින් ශෝටකුත් බනියමකුත් ඇඳගෙන උදේ ඉර එළියත් එක්කම ගෙදරින් පිටවෙලා ආයේ ගෙදර එන්නේ මොරටුව, අඟුලාන, රත්මලාන වටේ කිලෝමීටර විස්සක් තිහක් දුවල අහරවෙලා තමයිලු.

ඔය කියන කාලේ රටේ තත්වය බොහොම භයන්කාර වුනත් අපේ මහේශයත් මැරතන් ප්‍රැක්ටිස් කරන එක නවත්තන්නෙම නැතිලු. අම්මයි තාත්තයි දෙන්නම කොයිතරම් එපා කිව්වත් උදේට දුවන එක නවත්තන්නෙම නැතිලු.  ඔන්න ඔහොම භයානක වාතාවරණයක් යටතේ දවසක අපේ මහේෂුත් මහේෂ්ගේ යාලුවත් උදේ මැරතන් දුවන්න එලියට බැහැල දැන් දෙන්න එක්ක දුවනවලු එක හැල්මට. රටේ තිබ්බ වාතාවරණය එක්ක වයස දහ අටේ විස්සේ එවුන් දිහා ආරක්ෂක අංශයේ විශේෂ අවධානය එල්ලවෙලා තිබ්බත් අපේ මහේශයට එව්වා මෙලෝ වගක් නැතිලු. ඔය විදිහට දුවගෙන යන අතරවාරයේ පොලිස් ජීප් එකක් ඇවිත් නවත්තුවලු දෙන්න ඉස්සරහින්.

නැවතියල්ල ඔහොම ..

ඔන්න අපේ මැරතන් ශූරයෝ දෙන්නත් නැවතුනාලු..

තොපි දෙන්න කොහෙද මේ දුවන්නේ උදේ පාන්දර.. එහෙම ඇහුවේ පොලිස් ජීප් එකේ ඉස්සරහ සීට් එකේ දොර කිහිල්ලේ ගහගෙන හිටපු ලොකු මහතැන් කෙනෙක්ලු..

ස්..ස්.. සර්.. අපි මේ මැ..මැ..මැරතන් ප්‍රැක්ටිස් කරනවා..

පීසී.. චෙක් කරනවා මුන් දෙන්නම..

හරි සර්..

ඔන්න පොලිස් කොස්තාපල් කෙනෙක් ජීප් එකේ පස්සා දොරෙන් වෙඩි වගේ බැහැල ඇවිත් අපේ මහේෂයගේ යාළුවව ළඟ තිබ්බ තාප්පෙට හේත්තු කොරල සියලු ඇඟ පසඟ අතගාල බලල චෙක් කොරාලු.. ඒ කියන්නේ අපේ මහේෂයගේ යාළුවා සිකුරිටි ක්ලියරන්ස් එකෙන් පාස්ලු.. දැන් තියෙන්නේ අපේ මහේෂ්ගේ වාරෙලු..

උස්සනවා අත් දෙක..

කටු බොඩියට බැනියමයි රනින් ශෝටයි ඇඳල ඉන්න  අපේ එකාගේ මොනා චෙක් කරන්නද ඉතින්.. චෙක් කරනවානම් එක්ස්රේ මැසිමකට දාල තමයි චෙක් කරන්න ඕන සරීර කූඩුව ඇතුලේ මොනාහරි හංගන් ඉන්නවද කියල..
ඔන්න අපේ මහේෂයගේ ඉනෙන් ඉහල කොටස හෙවත් අපර් බොඩි එක  සිකුරිටි ක්ලියර් උනාලු.. ඊළඟට ඉනෙන් පහළ කොටස හෙවත් ලෝවර් බොඩි කොටස චෙක් කරන්නලු දැන් පීසී මහත්තය ලෑස්තිය.

හැරෙනවා අනික් පැත්ත..

තාප්පේ පැත්තට මූණ හිටින්න අපේ මහේෂයව හරවපු පීසී මහත්තය දැන් අපේ එකාගේ රනින් ෂෝර්ට් එක උඩින් අතගාල චෙක් කොරාලු..

හ්ම්..හැරෙනවා ඉස්සරහට..

දැන් පීසී මහත්තය අපේ එකාගේ රනින් ෂෝර්ට් එක ඉස්සරහිනුත් අතගාල බැලුවාලු.. ත්‍රස්තවාදීන් එහෙම අතගාල අඳුනගන්න බැරි නිසාද, ජාතික ආරක්ෂාව දිවි දෙවැනිකොට රකින  නිලධාරියෙක් වෙච්චි නිසාද මන්ද පීසී මහත්තය ඒ ගැම්මටම අපේ මහේෂයගේ රනින් ෂොට ඉනගාවින් ඉලාස්ටික් එකෙන් ඉස්සරහට ඇදල ඇතුලට එබිලත් බැලුවාලු අන්තිමේ..

හෑ..

මොකෝ පීසී.. 

න්..න්.. නෑ සර්.. මුන් දෙන්න ගාව මුකුත් සැක සහිත දේවල් නැහැ..

හ්ම්.. එහෙනම් නගිනවා යන්න.. හ්ම්.. තමුන්ලා දැන් මැරතන් දිවිල්ල පැත්තක තියල දුවනවා ගෙදර.. මේ දවස් තමුන්ලාට මැරතන් දුවන්න හොඳ දවස් නෙවෙයි..

ඔන්න අපේ මහේෂයලව පරීක්ෂා කරපු පීසී උන්නැහෙත් ජීප් එකට ගොඩ වෙලා පොලිස් ජීප් එක සැර දාල යන්න පිටත් උනාලු.. ඒ යන්න පිටත් වෙච්චි ජීප් එක මීටර් විස්සක් තිහක් ඉස්සරහට ගිහින් හිටි අඩියේ බරාස් ගහල බ්රේක් පාරක් ගහල නැවතුනාලු. 

අයිසේ.. තමුසේ මෙහෙ එනවා.. 

ජීප් එකේ ඉස්සර සීට් එකේ දොර කිහිල්ලේ ගහගෙන ඉන්න ලොකු මහතැන් දැන් ආයෙත් කතාකරනවලු දෙන්නගෙන් එක්කෙනෙකුට..

මමද සර්.. කවදත් ඕනෑම බෙල්ලගහල යන වැඩක් පැනල භාරගන්න අපේ මහේශය ඇහුවලු..

නෑ නෑ.. තමුසේ නෙවෙයි.. තමුසෙගෙ යාළුවා ..

ඔන්න අපේ මහේෂයගේ යාලුවත් බයෙන් බිරාන්ත වෙලා පොලිස් ජීප් එකේ ඉන්න ලොකු මහතැන් ගාවට කිට්ටු උනාලු.. අපේ මහේශයත් දැන් බයෙන් බිරාන්ත වෙලා බලන් ඉන්නවලු මේ වෙන්න මොකක්ද කියල..

ඇයි සර්..

අයිසේ..තමුසෙගෙ යාලුවට කියනවා මීට පස්සේ මැරතන් දුවන්න යනකොට යටට මොනවහරි ඇඳන් දුවන්න කියල..

හුටා.. හ..හ..හරි සර්..

...................................................................................................................................................................

මේ කතාවත් අපේ මොරටුවේ දේවින්ද කියපු රසබර කතාවක්. මේ කතාව කොයිතරම් රසබරද කියනවනම් පාඨක ඔබ කව්රු හරි මේක කියවන්නේ බත් කන ගමන් නම් මේ කතාව කියවන්න කලින් බත් පත වළඳලා අහවරයක් කරලා ඉන්න කියන එකයි මගේ අවවාදය.

දේවින්ද කියන්නේ ලංකාවෙන් පිටදී හමුවෙච්ච්  බොක්ක හොඳ මිත්‍රයෙක්. කරන්න භාරගන්න ඕනෑම වැඩක් බොහොම උනන්දුවෙන් අවසන් කරන තවත් උනන්දුවෙක් වෙච්චි අපේ දේවින්ද තමා ඊයේ පෙරේදාවක තිබ්බ වැලන්ටයින් සැන්දෑව සංවිධානය කරන්න සියලු බර කරට අරගෙන වැඩකරපු මූලික පිරිසෙන් පුරෝගාමියා උනේ. ලංකාවෙන් පිට මම ඉන්න රටේ ඉන්න සිංහල උදවියට එකතුවෙලා කාල බීල නටල විනෝද වෙන්න වැලන්ටයින් උත්සවය සංවිධානය කරපු දේවින්ද ප්‍රමුක පිරිස ඒ වැඩේ කරේ ලාභ ගන්න අරමුණෙන් නොවුන නිසා බහුතරයක් ශ්රීලාංකිකයින්ට ඇතිතරම් විනෝද වෙන්න අවස්තාවක් ලැබුන කාලෙකින්. ලාභ ලබන අරමුණෙන් ප්‍රසංග සංවිධානය කරන උදවිය පිරිච්ච කාල වකවානුවක අතින් තෙල් පුච්චගෙන ප්‍රසංග සංවිධානය කරපු දේවින්ද ප්‍රමුක ඒ අවංක මිනිස්සු ගැන ශ්‍රීලාංකිකයෙක් විදිහට ආඩම්බර වියයුතුයි. ගෙදරින් එලියට පැනගන්නා වෙලාවට බිරින්දෑට හොරෙන් රහමෙර සුට්ටක් තොල ගෑවට අපේ දේවින්ද කියන්නේ තමුන් ගැන නොහිතා අනුන් වෙනුවෙන් කාලය වැය කරන දුර්ලභ මනුස්සයෙක්.

ඔන්න අපේ දෙවින්දයා ලංකාවේ ඉද්දි හෙවත් 2006 වගේ කාලේ මොරටුව පරණ පාරෙ තියන පාලම ළඟ සෙට් වෙනවලු යාලු මිත්‍රයෝ එක්ක විනෝදෙට මාළු බාන්න. එච්චර විසාල බුදුපිළිම වහන්සේ නමක් වැඩ ඉන්න පාලම ගාවම මුන් මාළු බාන්න සෙට් වෙන එකට නම් මුන්ව හම ගහන්නයි වටින්නේ. මෙහේ තියන ආරණ්‍ය සේනාසනයේ ගිය වතාවේ කථින පිංකම වෙනුවෙන් වස් ආරාධනා කරන්න මුලික වුනු එකා වෙච්චි අපේ දේවින්දයා අර රියන් ගානක් උස බුදුපිළිම වහන්සේ පාමුල මාළු බාන්න ගියේ කොහොමද කියන එක ගැනනම් දෙපාරක් හිතන්න ඕන වුනත් 2006 ඉඳන් 2015 වෙනකොට අවුරුදු නවයක්ම තියන නිසා අපේ දෙවිදයට මේ වෙද්දී සසර දුක අවබෝධ වෙලා වෙන්ටෑ කියල හිතාගන්නව ඇරෙන්න වෙන දෙයක් හිතන්න ඉඩක් නැත්තෙ කථින පින්කමේ බරම හරිය කරට අරගෙන කරපු නිසයි.  

ඔන්න මේ කියන දවසේ කළුවර වටුනායින් පස්සේ යාලුවෙකුගේ ත්‍රීවීල් කටුවක නැගල මිත්‍ර සමාගම මාළු බාන්න යන්න පිටත්වුනේ ඇමට ගහන්න කුකුල් බොකු වගේකුත් අරගෙනමලු. හැකි ඉක්මනින් පාලම ගාවට වාර්තා කරපු පිරිස දැන් ලෑස්තිය මාළු බාන්නලු. කට්ටියක් පාලම උඩ ඉඳන් මාළු බාද්දී තව කට්ටියක් පහල වතුර මට්ටමේ තියන පාලමේ පාදමේ ඉඳන් මාළු බානවලු. එතන හිටපු එකෙක් වෙච්චි අපේ දේවින්දත් යාලු සංජීවත් පාලමේ පාදමේ වාඩිවෙලා කකුල් දෙක වතුරට දාගෙන කළුවරේ මාළු බානවලු.. 

ඈ බන්.. මට මාළු අහුවෙන්නෙම නැහැනේ බන්.. එහෙම කිව්වේ සංජීවලු..

අද උඹේ වෙලාව හොඳ නැතුව ඇති බන්.. අර අරුන් අල්ලන්නේ එක දෙකා..

නෑ බන් මේ කුකුල් බොකු දියවෙනවා වගේ වෙනවා බන්.. ඇමට ගහල ගඟට දැම්මාම මාළු කොටන්න කලින්ම ඇම අතුරුදහන් වෙලා යනවනේ.. 

නෑ එහෙම වෙන්නේ නැහැනේ.. මේ මමත් දැන් මාළු දෙන්නෙක් අල්ලුවනේ බන්..

නැත්තෙ මොකද බන්.. මම දැන් මේ පැයක් විතර මාලුවෙක් අල්ලගන්න දඟලනවා.. කොහෙද.. ඇම ගහනවා විතරයි..වතුරට දාල විනාඩියෙන් උඩට අරන් බලනකොට ඇම අතුරුදහන්..

කෝ දියන් බලන්න පිත්ත.. එහෙම කියාගෙන අපේ දේවින්දයත් මාළු බෑම පැත්තක තියල සංජීව ලඟට කිට්ටු කරාලු..

සංජීව  මොකක්ද බන් මේ ගඳක් එන්නේ..

නෑ ..

නැත්තෙ මොකද යකෝ.. උඹ ගාව මාර ගන්දයිනේ බන්..

පිස්සුද බන් දේවින්ද..

මට පෙන්නේ උඹ මේ කරුවලේ මෙතන තිබ්බ ජරා ගොඩක් පාගල වගේ.. වර යන්න උඩට නැගල ලයිට් කනුව ගාවට ගිහින් බලමු..

ඔන්න අපේ දේවින්දයත් සංජීවයව වදෙන් පොරෙන් ඇදගෙන ආවලු පාලම උඩ ලයිට් කනුව යටට..

පෙන්නහන් කකුල් දෙක..

ඕන් බලහන්..

කෝ නෑනේ බන්..

ඉන්දිකගේ කකුල් දෙකම පරීක්සා කරලා බැලුවත් අසූචි පාගපු විදිහක් හොයන්නම නැහැලු.. එත් ඉන්දික ගාවින් දරන්න බැරි අසූචි ගඳක් එනවලු ඉවසන්නම බැරි..

කෝකටත් පෙන්නහන් බලන්න උඹේ අත් දෙක..

පිස්සුවටද බන්.. මොකෝ මම අත්දෙකෙන් ඇවිද්දේ නැහැනේ..

හරි පෙන්නහන්කෝ බලන්න..

ඕන් බලහන්..

අත් දෙකේම ජරාවනේ යකෝ.. 

පිස්සු.. මම එතන තිබ්බ ජරාව ඇල්ලුවේ නැහැනේ බන්..

හිටහන් බලන්න උඹ පිත්ත දාපු තැනට ටෝච් එක ගහල..

හුටා..

දේවින්දයගේ යාලු ඉන්දික කළුවරේ ඉඳන් කුකුල් බොකු ටික පැත්තකින් තියල ඇමට කඩ කඩ ගහල තියෙන්නේ එතන තිබ්බ කක්ක බෙට්ටක්ලු..

...................................................................................................................................................................


ඊළඟ කතාවත් ඒ වගේම අසූචි කතාවක් ඔන්න..කන බොන එව්වා කාල බීල තමා මේකත් කියවන්න ඕන කියවනවානම්..

මේ කතාවේ කතා නායකයා වෙන යුරාජ් ගැන කියනවනම් යුරාජ් කියන්නේ පානදුර පුරවරයෙන් බිහිවෙච්චි සුපිරිම දක්ෂයෙක්. තාල භාණ්ඩ වාදනයේ අතිදක්ෂයෙක් වෙන අපේ යුරා ලංකාවේ ඉද්දි ප්‍රසිද්ද සංගීත කණ්ඩායම් කිහිපයක  percussionist   විදිහට සම්භන්ධ වෙලා හිටපු අති දක්ෂයෙක්. මීට අවුරුදු පහකට හයකට කලින් ලංකාවේ නිපදවෙච්චි අලුත් සංගීත නිර්මාණ වෙනුවෙන් පටිගතකිරීම් බහුතරයක් වෙනුවෙන් percussion වාදනය කරලා තියෙන්නේ අපේ යුරා. වේදිකාවට ගොඩවුනාම පහල ඉන්න ප්‍රේක්ෂක පිරිසව ඇතිවෙන්න නටවන්න පුළුවන් සහජ හැකියාවක් තියෙන යුරාජ්, ප්‍රේක්ෂකයාගේ රසංඥතාවය හඳුනාගන්න පුළුවන් වාදකයෙක් කිව්වොත් තමයි නිවැරදි. අපි දක්ෂයි කියාගන්න මමත්වය පිරිච්ච බහුතරයක් සංගීත කාරයන් අතර යුරාජ් කියන්නේ ප්‍රේක්ෂකයාගේ අවශ්‍යතාවය අඳුරගන්න පුළුවන් සංවේදී මනුස්සයෙක් වගේම ප්‍රේක්ෂකයා  පිනවීම වෙනුවෙන් ඇඟ ඇතුලේ තියන අන්තිම ලේ බින්දුව දක්වාම මැරිලා වැටෙනකල් සිංහල , ඉංග්‍රීසි,ස්පැනිෂ්, හින්දි, දමිල සිංදු කියන්නත් වාදනය කරන්නත් බැහැයි නොකියන චරිතයක්. අවන්කවම  කියනවනම් අපේ යුරාජ් කියන්නේ සිංහල ,ඉංග්‍රීසි, ස්පැනිෂ්, හින්දි, දමිල ඇතුළු විවිද භාෂාවෙන් ගීත ගායනයටත් සියලුම තාල භාණ්ඩ වාදනයටත් උපතින්ම දක්ෂ බොහොම දුර්ලභ වර්ගයේ කොම්බො පැකේජ් එකක් කිව්වොත් තමයි නිවැරදි.


මේ ලියන්න යන සිද්දිය අපේ යුරා කොලු කාලේ හෙවත් 1998 කාලේ වෙච්චි සිද්දියක්. 

ඔන්න දවසක් අපේ යුරා සහ මිත්‍ර සමාගම වෙසක් දවසක ෆුට් බයිසිකල් වලින් වෙසක් බලන්න කොළඹ ආවලු පානදුරේ ඉඳන්. වෙසක් කාලෙට කොල්ලෝ කුරුට්ටෝ ඒ කාලෙනම් බයිසිකල් පැදගෙන වෙසක් බලන්න ගියාට දැන් කාලෙ කොල්ලොනම් ඒ වගේ මහන්සිවෙන වැඩ කරන්නේ නැති තරම්. ඔන්න අපේ යුරා සහ පිරිස පිටකොටුවේ තොරණ එහෙමත් බලාගෙන කොම්පඥ්ඥවීදියේ තිබ්බ දන්සැලකින් රාත්‍රී ආහාරවේල බොකු බඩවැල් දිගෑරෙන්නම වළඳුවලු. බඩගින්නක් තිබ්බත් නැතත් දකින දකින දන්සල් වලින් කන එක වෙසක් බලන්න බයිසිකල් පදින එවුන්ගේ සිරිතක්නේ. ඔන්න අපේ යුරා ඇතුළු පිරිස දන්සැලෙන් එලියට ඇවිත් ඊළඟ තොරණ බලන්න යන්න සෙට් වෙනකොටම කට්ටියටම මොකක්දෝ බඩේ අමාරුවක් වගේ දැනෙනවලු. 

බඩජහරිකමට කාපු දෙයින් මොකක් හරි වරදක් වෙලා කියල කට්ටියටම දැනෙනකොට අමාරුව ආහාර මාර්ගයේ පහල කොනටම ලංවෙලා ඉවරලු. දැන් අපේ යුරා ඇතුළු මිත්‍ර සමාගම කොම්පඥ්ඥවීදිය පුරාම බයිසිකල් තල්ලුකරගෙන කක්කුස්සියක් හොයාගෙන දුවනවලු. වෙසක් පෝය දවස උනත් කිසිම තැනකින් කක්කුස්සියක් දන් දෙන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් නොවෙච්චි නිසා වැඩිය සෙනගක් ගැවසෙන්නේ නැති තාප්පයක් අස්සෙ බඩේ අමාරුව නිදහස් කරගන්න අපේ යුරා ප්‍රමුක බයිසිකල් නඩය තීරණය කරාලු. එහෙම කරෙත් ඊට වඩා ඉවසගෙන ඉන්න ක්‍රමයක් නැතිමවුණු නිසාලු. 

ඔන්න යුරාජ් ප්‍රමුක සෙට් එක තාප්පෙකට මෙහායින් තිබ්බ කපාදු කරපු ක්‍රෝටන් වැටක් අස්සෙ තැනින් තැනින් වාඩිවෙලා බඩේ අමාරුව නිදහස් කරලා දැම්මලු. කට්ටියම බඩේ අමාරුව නිදහස් කරගෙන පස්සපැත්ත සෝදාගන්න මුහුදු වෙරල දිහාවට යන්නලු දැන් කල්පනාව. ඒත් එකෙක් මිසින්ලු..

කෝ බන් ඉන්දික..

මේ ඉන්නවා බන්.. හිටහන් මම තාම ඉවර නැහැ..

ඉක්මනට දාහන් බන්.. කව්රුහරි ආවොත් අපි සුං ..

හරි බන් හරි..

කරුහරි ආවොත් කියන භයට අපේ යුරාජ් ප්‍රමුක පිරිස කෝකටත් කියල ඉන්දිකය වාඩි වෙලා ඉන්න තැනට ලං උනාලු කාටවත් සැක හිතෙන්නෙ නැතිවෙන්න..

හරිද බන්..

හරි හරි බන් ඉවරයි..

එහෙම කියාගෙන  ඉන්දික වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටලු.. 

"ස්රස් "

කාටවත් අඩුත් නැතුව වැඩිත් නැතුව ඉන්දිකගේ මලපහ  සමසමව බෙදීල ගිහින් හැමෝගෙම ඇඟ ස්ප්‍රේ වෙලා යන්න තත්පරයක්වත් ගියේ නැතිලු..

හුටා..

ඉන්දිකයා මලපහ කරන්න වාඩි වෙලා තියෙන්නේ ක්‍රෝටන් ගහක් බිමට නවලාලු . ඒ මදිවට ඉන්දිකය මලපහ කරලා තියෙන්නෙත් අර බිමට නමපු ක්‍රෝටන් ගහ උඩ.. ඉන්දිකයා නැගිට්ට ගමන් දෙයියන්ගේ පිහිටෙන් අර බිමට නැවිලා පෑගිලා තිබ්බ ක්‍රෝටන් ගහ කෙලින් වෙලා..

වෙසක් දවසේ රෑ ගෝල්ෆේස් එකේ ඉන්න මිනිස්සු අතරින් මුහුදු වෙරළට යන්න වැඩි අමාරුවක් උනේ නැහැලු අපේ යුරා ප්‍රමුක සෙට් එකට. ගෝල්ෆේස් එකට පය තිබ්බ ගමන් ගෝල්ෆේස් එකේ හිටපු මිනිස්සු හිස් ලූ ලූ අත දුවල මුන්ට මුහුදේ නාන්න යන්න ඉඩ හසර සලසල දුන්නලු.

Wednesday, February 3, 2016

කෝච්චියේ අපි





ඔන්න මේ ලැහැස්තිය කෝච්චි වල වෙච්චි සිදුවීම් කිහිපයක් ගැන පඳුරු කීපයක් තලන්නයි. එක්දහස් නවසිය අනූ හතේ ඉඳන් දෙදහස් පහ අවසානය වෙනකල් කෝච්චිය කියන්නේ මගේ ප්‍රධානම ප්‍රවාහන මාද්‍ය කිව්වොත් තමයි හරි.  දවසේ කාලයෙන් පහෙන් එකකට වඩා ප්‍රමාණයක් හෙවත් පැය පහකට ආසන්න කාලයක් ගතකරන්නේ කෝච්චියේ නිසා කෝච්චි සහ කෝච්චියේ හමුවුන සුන්දර මිනිස්සු ගැන මොනවහරි ලියන එක යුතුකමක් කියල මම හිතන්නේ. ඊටත් අමතරව Team Travelers "සංචාරකයෝ" බ්ලොග් එක ලියන අපේ නවෝද මලයාගේ බලවත් ඉල්ලීම වෙච්චි කෝච්චි පෝස්ට් එකක් ලියන්න කියන ඉල්ලීමත් හේතුවක් මේ පඳුරු තැලිල්ලට.

(මෙම දිනවල ගූගල් ක්‍රෝම් වෙත පවතින සිංහල කියවීමේදී ඇතිවන අක්‍රමවත් වචන මාගේ දෝෂයක් නොවන බව කරුණාවෙන් සලකන්න. වෙනත් බ්‍රවුසරයක් භාවිතයෙන් එම දෝෂය මගහරවාගතහැක )

ඉඳල හිටලා කෝච්චියේ ගියත් රැකියාවට යන්න කියලා මගේ කෝච්චි ජීවිතේ පටන් ගන්නේ ඉන්දියාවේ Thrivandrum ඉඳල Ahmadabad වෙනකම් දවස් තුනක් තිස්සේ රසබර පරිප්පුවක් අනුභව කරගෙන ගිහිපු දීර්ඝ කෝච්චි ගමනකින් උනත් ඒ මංගල කෝච්චි ගමන ගැන වෙනම පොස්ට් එකකින් ලියන්න හිතන් ඉන්න නිසා ඉන්දියානු කෝච්චි විස්තරේ පැත්තකින් තියල රුහුණු  කුමාරියෙන් තමයි පටාන් ගන්න යන්නේ.

ඉන්දියාවේ ට්‍රේනින් ඉවර වෙලා ආයෙත් දවස් තුනක් තිස්සේ බස් එකේ, කෝච්චියේ, ප්ලේන් එකේ ඇවිත්   රැකියාවේ වැඩ භාරගන්න තිබුන දවසේ ගමන් වෙහෙස නිසා දවසක් කල් ඉල්ලගත්තු නිසා අද බ්ලොග් ලියන්න වාසනාව ලැබුනට රැකියාවට යන්න සැලසුම් කරලා තිබුන වෙලාවේ කලාවේ හැටියට එදා වැඩ භාරගන්න  ගියානම් මාවත් මරදානේ පොලිසිය ඉස්සරහ පුපුරපු බස් බෝම්බෙට අහුවෙන්න ලොකුම ලොකු චෑන්ස් එකක් තිබ්බ. ගමන් වෙහෙසටත් වඩා තිබ්බ කම්මැලිකම හේතුවෙන් එදා වැඩ භාරගන්න යන්න කම්මැලි හිතුනෙ එදා මැරෙන්න ලියවිලා නොතිබුන නිසා වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ. කාලෙකට කලින් නිපදවෙච්චි චිත්තරපටියක් වෙන Planes, Trains and Automobiles කියන චිත්‍රපටිය වගේම අබග්ග අටෝරාසියකට මුහුණදීපු චාරිකාවක් වෙච්චි ඉන්දියාවේ කෝච්චි ගමන ගැන පසුව පොස්ට් කිහිපයකින් ලියනවාමයි.

කොහොමින් කොහොමින් හරි පලවෙනි රැකියාවේ උදෑසන කාර්යාලයට  වාර්තා කිරීමක් කියල දෙයක් නැති නිසාත් මට ලැබිච්ච රැකියාව රට  පුරා ඇවිදින රැකියාවක් වෙච්චි නිසාත් කොළඹින් පිට නොයන දවස්වල සහ කොළඹ කේන්ද්‍ර කරගෙන වැඩකරන දවස්වලදී ප්‍රධාන කාර්යාලටය වාර්තාකරන්න යන්න මම තෝරාගත්තු දුම්රිය සගයා තමයි රුහුණු කුමාරිය. හතයි තිහට අම්බලන්ගොඩින් පිටත්වෙන කෝච්චියේ එල්ලෙන්න මම නැගිටින්නේ උදේ හයයි හතලිස්පහත් පහුවෙලා නිසා බොහොමයක් දවස්වලට මගේ මෝටර් සයිකල් කටුව අපේ සිරාගේ ගෙදර ගාල් කරලා සිරාගේ ගෙදර ඉඳන් දුම්රියපොළ දක්වා පොලිසියෙන් එළවන් එන ගානට දුවන එක මම කරේ එහෙම දුවන එක ඇඟටත් හොඳ නිසා.. හැක්..

හැමදාම කෝච්චියේ එල්ලෙන්නේ අන්තිම තත්පරේ නිසා ටිකට් එක අරගෙන එන්ජිම ගාවම තියන පෙට්ටියේ එල්ලෙන එක තමයි ලේසිම පහසුම කටයුත්ත උනේ. විශේෂයක් නැතුවම අහම්බෙන්ම එල්ලෙන පෙට්ටියේ ගාර්ඩ් පෙට්ටිය ගාවම තියන පළවෙනිම ආසනයේ වාඩිවෙලා ගමන් පහසුව සලසගත්තු සුන්දර මිනිස්සු ටික අඳුනගන්න ලැබුනේ අන්න ඒ විදිහට අහම්බෙන්. 

නම් වලින් හඳුනවනවානම් රුහුණු කුමාරියේ සෙට් එකේ හිටපු උදවිය මෙහෙමයි. මහින්ද අයියා, විද්‍යාසේකර, උපාලි අයියා, ගාමිණි අයියා, දයාරත්න අයියා, ජගත් අයියා, සහ තවත් විශාල පිරිසක් හිටියත් අවුරුදු පහළොවකට එහා ගිය මතකයේ තියෙන නම් බොහොම ටිකයි. ගාල්ලෙන් එහා තියන තල්පේ කියන නගරයේ  පුරවැසියෙක් වෙච්චි මහින්ද අයියා වැඩකරේ කළුතර පොලිසියේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක් වෙච්චි මහින්ද අයිය, පොලිස් කාරයෙක් කියල හිතන්නවත් ඉඩක් නොතිබ්බ බොහොම සුන්දර නිහතමානි මනුස්සයෙක්. මෙතැනදී මහින්ද අයියා සුවිශේෂී වෙන්නේ පොලිස් කාරයෙක් නිසා නෙවෙයි, පොලිස් පාර්ට් නැති මහත්මා පොලිස් කාරයෙක් නිසා. කෝච්චියේ සෙට් එක එකතුවෙලා අවුරුද්දකට වතාවක් සංවිධානය කරන වාර්ෂික සාදය කිහිප වාරයක් තමුන්ගේ නිවසේ පවත්වන්න මහින්ද අයියා අපිට පූර්ණ අනුග්‍රහය දක්වපු මනුස්සයෙක්. 

අද වෙද්දී විශ්‍රාම සුවයෙන් පසුවෙන මහින්ද අයියා කරපු සුවිශේෂී වැඩක් තමයි මේ ලියන්න යන්නේ. ඔන්න මහින්ද අයිය හා හාපුරා කියල විවාහවෙන්න ලැස්ති වෙලා මීට අවුරුදු විසි පහකට තිහකට උඩදී. ඒ කාලේ හැටියට මංගල චායාරූපය ගන්න ස්ටුඩියක් වෙත යාම සාමාන්‍ය දෙයක් නිසා මහින්ද අයියා සහ මනමාලිය රැගත් මංගල රථය පිටත්වෙලා තල්පෙ ඉඳල ගාල්ලේ වෙස්ට්එන්ඩ් චායාරූප ශාලාවට එන්න. දෙයියනේ කියල මංගල රථය ගාල්ල ටවුම පහුකරනකොට මෙන්න බොලේ පාර අයිනේ හිටපු ගැහැණු මනුස්සයෙකුගේ කරේ තිබ්බ මාලයක් එකපාරටම කඩාගත්තු හොරෙක් සෙනග අතරින් දුවන්න ගත්තලු. මේක අහම්බෙන් දැකපු මහින්ද අයියට මනමාලිව සහ මගුල් ෆොටෝ එක අමතක වෙලා. මගුල් ඇඳුම පිටින්ම කාරෙකෙන් පැනගත්තු අපේ මහින්ද අයිය හොරා පස්සේ එලෝගෙන ගිහින්. හයේ හතරේ එකෙක් වෙච්චි අපේ මහින්ද අයිය හුඟ දුරක් එලෝලා කොහොමහරි හොරා අල්ලගෙන. පස්සේ මගුල් ෆොටෝ එක පැත්තකින් තියල ගාල්ලේ පොලිසියට ගිහින් හෝරාව පොලිසියට භාරදීලා තමයි අපේ මහින්ද අයිය ෆොටෝ ගහන්න වෙස්ට්එන්ඩ් ස්ටුඩියෝ එකට ගිහින් තියෙන්නේ. තමුන්ගේ මගුල් උත්සවේ පැත්තකින් තියල හොරු පස්සේ දුවපු මහින්ද යියගේ තිබ්බ සුවිශේෂී ස්භාවය තමයි "මම පොලිස් කාරයෙක් " කියල කිසිම කෙනෙකුට ඇඟවෙන්නේ නැති විදිහට සාමාන්‍ය ජනතාව වෙච්චි අපි එක්ක අසුරුකරපු එක. මගුල් කාරෙකෙන් පැනල දුවපු ස්වාමිපුරුෂයා රාජකාරි නිමවලා එනකල් ඉවසිල්ලෙ ඉන්න මහින්ද අයියගේ බිරින්දෑට කොහොම ඉවසීමක් තියෙන්න ඇතිද. අද කාලේ උනානම් මගුල එතැනින්ම හබක්. එත් අදකාලේ වගේ මාර්කටිං මීඩියා නොතිබුනත් මහින්ද අයියගේ ක්‍රියාව ඒ කාලේ පත්තරේ හිටන් ලොකු පිටුවක පලවෙලා තිබුන විස්තරේ මහින්ද අයිය අපිට පෙන්නුවේ ගෙදර පාර්ටියක් වෙලාවේ බොහොම අකමැත්තෙන්. මහපොළොවේ පය ගහගෙන මනුස්සකම ඉස්මුදුනේ තියන් රැකියාව කරපු මහින්ද අයියගේ දරු දෙන්නත් විශ්වවිද්‍යාල අද්යාපනයටත් ඇතුල්වුණා කිසිම අපහසුවකින් තොරවම.

රුහුණු කුමාරියේ තවත් සුවිශේෂී චරිතයක් උනේ අපේ උපාලි අයියා. එහෙම වෙන්න ලොකුම හේතුව උනේ එවකට ජනප්‍රියතාවයේ ඉහලින්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙච්චි උපුල් චන්දනගේ නිවසට ඉතාමත් ආසන්නයේ පදින්චිකාරයෙක් වීම. කළුතර නගරයේ රැකියාවක් කරපු උපාලි අයියට කෝච්චියේ නින්දක් නිදාගන්න දුන්නෙම නැති තරම් අපේ එවුන්. උපාලි අයිය යාන්තම් නින්දක් කිරා වැටෙනකොටම අපේ එවුන් උපාලි අයියගේ නින්ද කඩුවේ උපුල් චන්දනගේ විස්තර අහලයි.

උපුල් චන්දන ගෙදරද බන් මේ දවස්වල..

අනේ ටිකක් නිදාගන්න දියකො මට..

උපුල් ඊළඟ ටුවර් එක යනවද බන්..

අනේ උඹලගේ @#$%$^%@^$&%$#%@%

අන්තිමේ උපාලි අයිය ශුද්ද සිංහලෙන් අපේ එවුන්ට අමතල නින්ද සදහටම අමතක කරලා දානවා.

පත්තර වාර්තාකාරයෙක් වෙච්චි විද්‍යාසේකර මට දීපු ලොකුම පරිප්පුව නම් අපේ කෝච්චි සගයෙක් වෙච්චි ජගාගේ මගුල් ගෙදර වේලේ මොකක්දෝ මගුලක් මගේ වාහනේ ඇතුලේ අමතක වෙලා දාල ඇවිත් කියාගෙන මගෙන් වාහනේ යතුර ඉල්ලගෙන බමන මතින් වාහනය හොයාගෙන ගිහින් ආපහු ආවේ මම දීපු සම්පූර්ණ යතුර කෑලි දෙකකට කඩාගෙන වීම. 

අන්තිමේ මගුල් ගෙදර ආතල් සියල්ලම අමතක කරලා මට සිද්ද උනා දුකට සැපට දෙකටම කිසිම ලෝභකමක් නැතුව වාහනේ ඉල්ලපු ගමන් දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැකියාව කරන අපේ හිතවත් දයාරත්න අයියගේ වෑන් එක ඉල්ලගෙන ගෙදර ගිහින් ඩුප්ලිකේට් යතුර අරන් එන්න. 

ඉහත කිව්ව මගුල් ගෙදර මනමාලයා වෙච්චි අපේ ජගා තමයි මල්වත්ත පාරෙන් මැලිබන් වීදියට හැරෙනකොටම තිබ්බ ඔරලෝසු කඩේ කරගෙන ගියේ. පසුකාලෙක ඔරලෝසු බිස්නස් එකට ආයුබෝවන් කියපු අපේ ජගා දැන් එතනම උඩ තට්ටුවේ රබර් සීල් බිස්නස් එකක් කරගෙන පාඩුවේ ජීවත්වෙන මනුස්සයෙක්. රුහුණු කුමාරියේ යන එන උදවියගේ ඔරලෝසු කැඩුන ගමන් කෝච්චිය දිගේ පලවෙනි පෙට්ටියට ඇවිත් ජගාට ඔරලෝසුව භාරදෙන එක තමයි හුඟක් උදවිය කරේ. 

රුහුණු කුමාරිය කොයිතරම් මට සමීපද කියනවනම් මේක කියවන උදවිය විශ්වාස කරන එකක් නැහැ ඉස්ටේෂන් එකෙන් අදින කෝච්චිය සිග්නල් කනුව පහු කරලා නවත්තල මාව නග්ගගෙන තියෙනව එක වතාවක්. එහෙම වෙන්න හේතුව වෙන්න ඇත්තේ හැමදාමත් වගේ බෑග් එක උස්සගෙන කෝච්චිය ඉස්සරහට මම දුවගෙන එන දර්ශනය රියදුරු මහතුන්ට සුලභ දෙයක් වෙච්චි නිසා වෙන්න ඇති. ඒ කාලේ මම රැකියාව කරේ පුද්ගලික ආයතනයක නිසා සීසන් තිබ්බේ නැති උනාට දෙපාරක් හිතන්නේ නැතුව ටිකට් නැතුවම කෝච්චියට නගින්නේ අලුත්ගමින් ගොඩවෙන නුහාස් මිත්‍රයට කෝල් එකක් දීල ටිකට් එකක් ගන්න ක්‍රමවේදය නිතර අත්හදා බැලුන නිසා. 

කෝච්චිය ගාල්ල පැත්තෙන් ඉස්ටේෂන් එකට සෙන්දුවෙන වෙලාවටම මේ පැත්තේ කොනෙන් වේදිකාවට ගොඩවෙන මට ටිකට් ගන්න වෙලාවක් කොයින්ද ඉතින්. ටික කාලයක් රැකියාව කරගෙන යමින් ගමන් කොම්පැනියේ තිබ්බ වෙකන්සියකට මගේ පාසල් ගජයා වෙච්චි සමන්තයාවත් එල්ලගතපු නිසා සමන්තයත් රුහුණු කුමාරියේ සාමාජිකයෙක් උනා. ඊට ටික කාලෙකට පස්සේ ඒ කියන්නේ එක්දහස් නවසිය අනූ අටේ වගේ කාලේ සුදු සාරියක් ඇඳගෙන කොස්ගොඩින් රුහුණු කුමාරියට ගොඩවෙච්චි ගෑනු දරුවෙක් අද වෙද්දී දරු දෙන්නෙකුගේ අම්මෙක් කරේ අපේ සමා තමා. නෑ...නෑ... හොරෙන් අරන් ගිහින් නෙවෙයි ජයට මගුලක් අරගෙනයි වැඩේ සිද්දවුනේ. සමාගේ වෙඩිමේ දෙපාර්ශවයම නියෝජනය කරපු පිරිස වුනේ රුහුණු කුමාරියේ මිතුරු පිරිසයි. 

රැකියාව වෙනස්වීමත් එක්කම සමුද්‍රදෙවියේ සාමාජිකත්වය ලැබෙන්නේ මගේ ලොකු තාත්තගේ පුතණ්ඩියා සමුද්‍රදෙවියේ සාමාජිකයෙක් වෙච්චි නිසයි. රුහුණු කුමාරියේ හිටියේ එකා වගේ හදවත් තිබ්බ මිනිස්සු උනාට සමුද්‍රදෙවියේ ඊට ටිකක් වෙනස්. 

බවලත් උදවිය ගෑවිච්ච තැන්වල ටිකක් විතර අවුල් වියවුල් තියෙන එක සාමාන්‍ය දෙයක් නිසා සමුද්‍රදෙවියේ කට්ටියත් උඩින් එකා වගේ උනාට යටින් පිල් බෙදිලා ඉන්න උදවිය කියල දැනගන්නකොට ටික කාලයක් ගිහින්. උදේට කොළඹ රැකියාවට යන උදවිය අතරේ සමුද්‍රදෙවියේ සීට් එකේ සුවිශේෂී චරිතයක් වෙච්චි බෙන්තරින් කෝච්චියට ගොඩවෙන මඩම් කෙනෙක් තමයි මේ කියන සීට් එකේ නිල නොලත් පාලකයා වුනේ. කටුබැද්දේ ටෙක්නිකල් එකේ වගේම ජර්මන් ටෙක් එකේ ඉගෙනගන්න කොල්ලන් ටිකක් භය කරගෙන හිටපු මේ නෝනා, බෙන්තරින් කෝච්චියට නැගපු ගමන්, ජනේලය අයිනේ වාඩිවෙලා ඉන්න කෙනා ගරු සරුව නැගිටලා ආසනය ඒම මැතිනියට ප්‍රධානය කිරීම තමයි සම්ප්‍රධාය වෙලා තිබුනේ. එතැන් සිට පිටකොටුව දක්වා සමුද්‍රදේවී දුම්රිය කිහිල්ලේ ගහගෙන යන මේ නෝනාට ඔය කියන කොල්ලන් කුරුට්ටන් අම්මමෝ නැතුව භයයි කියමුකෝ. 

දැන් වෙද්දී රෝයල් සෙරමික් එකේ සැලකියයුතු තනතුරක් දරන අපේ හේමිකත්, ඇඟලුම් පැත්තෙන් ලොකු නමක් තියන් ඉන්න ඇමෙරිකන් කොම්පැනියක ලොක්කෙක් වෙච්චි කළුතරින් සමුද්‍රදෙවියට ගොඩවුන ජගත් අයියටත්, මටත් මේ බෙන්තර නෝනගේ ක්‍රියාකලාපය ඇල්ලුවේ නැත්තෙ අපි තුන්දෙනාම ටිකක් විතර සම්ප්‍රධාය බිඳගෙන යන මනුස්සකම් වෙනුවෙන් බෙල්ල උනත් ගලවල දෙන එවුන් වෙච්චි නිසා. මේ කියන බෙන්තර නෝනත් අපි තුන්දෙනාට ඒ තරම් කැමැත්තක් දැක්වුවේ නැත්තෙ කලින් කිව්ව ජනේලය අයිනේ ආසනය බලෙන් ලබාගැනීමේ ක්‍රියාවලියට අපි තුන්දෙනා කිසිම සහයෝගයක් දක්වපු නැති නිසයි.

හවසට මරදානෙන් කෝච්චියට නගින අපේ එකෙක් බෙන්තර නෝනාට ජනේලය අසල ආසනය වෙන්කරගැනීමට උත්සහකිරීමේ ප්‍රතිපලයක් විදිහට ගැහැණු කෙනෙක් එක්ක පොඩි කතාවක් ඇති වෙලා පිරිස් බලය වැඩි අපේ එවුන්ට ජයග්‍රහණය දීල ඒම කාන්තාවත් ඒම කාන්තාවගේ ස්වාමි පුරුෂයාත් පසුබැස යාම. ඊට පහුවදා හවස කොල්ලු පිටියෙන් සමුද්‍රදෙවියට නැගපු ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් අපේ එකාට ඉදිමෙන්න  නෙලල බම්බලපිටියෙන් බැහැල ගියේ බෙන්තර නෝනාගේ වින්ඩෝ සීට් ආසාවට පින්සිද්ද වෙන්නයි. ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති කෝච්චි පෙට්ටියේ ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත්තු ගමන් සියලු මගීන් ඈත් වෙලා හොඳින් ඉඩ පහසුව සලසල දීල තිබුන අත දිග ඇරලා හයේ හතරේ එව්වා ගහන්න. විකට් කූරු දෙකට කැඩෙනකල් අපේ එකාට නෙලපු ක්‍රිකට් කණ්ඩායමට ගේම ඉල්ලන්න අපේ හෙමික විතරක් උත්සහ කරාට වැඩක් වෙලා තිබුනේ නැහැ. එදා මම බම්බලපිටියෙන් නගිද්දී අපිවත් පෙරලගෙන කෝච්චියෙන් බැහැපු කොල්ලෝ සෙට් එක මේ බහින්නේ අපේ එකෙකුට නැති වෙන්නම නෙලල කියන්න දන්නේ කෝච්චියට නැගල සීට් එක පැත්තට ඇදිල ගියායින් පස්සෙයි.

සමුද්‍රදේවියේ අපි ගියපු කාලේ තිබ්බ අනියත බෝම්බ බිය නිසා කිහිප වතාවක් අපිට සිද්ද උනා අහුවෙච්චි තැන් වලින් කෝච්චියෙන් පැනලා ජීවිත ආරක්සාව සලසගන්න. එහෙව් හවස් වෙලාවක රත්මලාන ආසන්නයේ බෝම්බ බයකින් කෝච්චිය නවත්තපු දවසක තමයි අපේ සෙට් එකේ හිටපු තඩිම තඩි අක්කියෙක් අපේ එකෙකුගේ පිට මැද්දාවට එල්ලය අල්ලලා කෝච්චියේ ජනේලෙන් පොලොව වෙත එන්නට පිටත් උනේ. අපේ එකාගේ කොන්දට මාස කීපයක් බෙහෙත් බඳින්න උනා අපේ චූටි අක්කිව බිමට ලෑන්ඩ් වෙන්න නොදී පිට කොන්ද මැදට ලෑන්ඩ් කරවගත්තට.

බෙන්තර මඩම් පොඩි එවුන් භයකරගෙන කරන් යන ආසන මංකොල්ලයට එරෙහිව සංවිධානයවුනු හේමිකත් මමත්, ජගත් අයියාත් බෙන්තර මඩම්ව හිටගෙනම කොළඹටම යවන එක මාස කීපයක් ලෙසටම කරගෙන යන්න සමත් උනා. එත් බෙන්තර නෝනාට වැඩි කාලයක් හිටගෙන යන්න උනේ නැත්තෙ හේමික කොළඹ බෝඩින් වීමත්, මට උදෑසන තැපැල් දුම්රියට මාරුවීමට සිදුවීමත් , ජගත් අයියා කොළඹ පදිංචියට යාමත් හේතුවෙන්. අද උනත් බෙන්තර මැඩම්ට අපිව දැක්කාම නයාට අදුකොල වගේ.

සේවයට වාර්තා කිරීමේ වෙලාව උදෑසන අටයි තිහ වෙනුවට හතයි හතළිස්පහ වෙච්චි නිසා සමුද්‍රදෙවියට ආයුබෝවන් කියන්න සිද්දවුනේ වෙන කරන්න දෙයක් නැති නිසා. උදෑසන තැපැල් දුම්රිය සහ සමුද්‍රදේවිය අතර කාලයේ අපි "වෙඩිල්ල " නමින් හඳුන්වපු පවර් සෙට් එක කොළඹ බලා පිටත් උනත් රජයෙන් ලැබෙන සීසන් එකේ පිහිටෙන් නියමිත වෙලාවට රැකියාවට වාර්තා කරන්නනම් මට තිබ්බ එකම විකල්පය උදෑසන තැපැල් දුම්රියම පමණයි. තැපෑලට උදේට හතරයි හතලිහට ගොඩ වෙද්දී සඳුදා ඇරුනාම සෙනග ඇත්තෙම නැති තරම්. තැපෑල වැඩි හරියක්ම ධාවනයේ යෙදෙන්නේ කළුවර වැටුනායින් පස්සේ නිසාත්  තැපැල් දුම්රිය සාමාජිකයින් නිරන්තරයෙන් උත්සහ කරේ නිදාගන්න නිසාත්  තැපැල් දුම්රියේ පෙට්ටි වල විදුලි බල්බ් වැඩි හරියක් තිබුනේ නැහැ. තිබුනානම් එව්වත් පැත්තට කොලයක් වගේ දෙයකින් ආවරණය කරලයි තිබුනේ.

උදේට තැපැල් දුම්රියේ ගමන් ගන්නා මගීන් ගෙදරින් පිටත් වෙද්දී අමතක නොකරම අරන් යන දේ තමයි පරණ  පත්තර පිටුවක් දෙකක්. ඒ පත්තර පිටුව දෙක තමයි මගීන්ට පිහිට වෙන්නේ තමුන් වාඩිවෙන ආසනය පිරිසිදු කරගන්න. අපේ දුම්රිය සේවයේ ආසන පිරිසිදු කෙරීමක් තිබ්බද නැත්ද කියන එක කෙසේ වෙතත් සීට් වල තියන තට්ටු ගණන් දුවිලි පිහදාන්නේ නැතුව වාඩි වුනොත් ඇඳන් ඉන්න ඇඳුම සුනේ සුං. පාලු මූසල කලුවරක් එක්ක ධාවනය වෙන තැපැල් දුම්රියේ යන එන එවුන් අඳුනගන්න නම් කළුතර පහුකරනකල් ඉන්නම වෙනවා. මොකද තැපැල් දුම්රියට ඉර පායන්නේ කළුතර පහු උනායින් පස්සේ නිසයි. අලුත්ගමට වෙනකම් කෝච්චියේ සීට් එකේ හරහට නිදාගන්න මගීන් අලුත්ගමින් පස්සේ ඉස්සරහ ආසනයේ කකුල් දෙක තියාගෙන තමයි නිදාගන්නේ. එත් කළුතර ලං වෙද්දී සීට් ගානට මගීන්ගෙන් පිරෙන නිසා කකුල් දෙකත් අකුලගන්නා නිදි ගුල්ලන් නින්ද අඛණ්ඩව කරගෙන යද්දී කොළඹ ලන්කරන තැපැල් දුම්රිය මගීන්ගෙන් පිරිලා ඉතිරිලා ඉවරයි. මාතර සිට මරදාන දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වන තැපෑල කොළඹ එන්නේ නිකම් නෑවිත් බැරිකමට වගේ.

ආණ්ඩුවෙන් සහන මිලට ලැබෙන දෙවැනි පන්තියේ සීසන් කටුවට පින්සිද්ද වෙන්න සාගරිකා දුම්රියේ කට කපල නින්දක් දාගෙන එද්දී දැනෙන සනීපෙ නම් කියන්න වචන නැහැ. එත් උදේ තැපැල් දුම්රියේ යාම කොරන්නම බැරි තැන විකල්පයක් විදිහට උදේ පහයි විස්සට  අම්බලන්ගොඩින් පිටත්වෙන ඒසී බසයෙන් ගමන් පහසුව සලසගන්න මට සිද්ද වුනේ උදේ හතරට නැගිටින එක කරන්න බැරිම තැනයි. රස්සාවට නොගිහින් ඉඳල ගෙදරින් කුණු කතා අහන්න බැරිම නිසා අතේ පාඩුවට රස්සාව කරගෙන යන්න මට සිද්දවුනේ උදේට ඒසී බසයටත් , හවසට සාගරිකා දුම්රියේ  දෙවැනි පන්තියේ සීසන් පතටත් මගේ පඩියෙන් ලොකු මුදලක් වියදම් වුනු නිසා.

රැකියාව අවසන් වෙලා සාගරිකා දුම්රියට ගොඩවෙන්න දුවගෙන එන විදිහ ගැන විස්තරය ත්‍රයිලෝක සුවය සහ අපේ සිරා පොස්ට් එකේ ලියවෙච්චි නිසා සාගරිකා දුම්රියේ විස්තරය ආයෙත් ලියන්න ඕන වෙන එකක් නැහැ.

පොස්ට් එක අවසාන කරන්න හිතාගෙන උන්නු සිද්දියට අවතීරණ වෙන්න තලපු පඳුරු ප්‍රමාණය වැඩිද මන්ද. ඔන්න ඔහොම උදේට ඒසී බස් එකෙත් හවසට සාගරිකා දුම්රියේත් යාම් ඊම් කරගෙන ගියපු මගේ ගමන් සැලසුම් වෙනස් වෙන්න ගත්තේ අම්බලන්ගොඩින් ධාවනය වෙන ඒසී බස් වල කාල සටහන් වෙනස් කිරීමත් එක්කයි. වෙනදට එකම බසය එකම වෙලාවට ගියත් අලුත් ක්‍රමේ එක්ක කාල සටහනට ධාවනය වෙන බස් රථය වෙනස් උනා. එහෙම උනාම තිබ්බ අවාසිය තමයි වයස අසූව අනූව වෙච්චි ආචිලා සීයලා අටමස්තානේ පෙන්නන්න එක්කයන තාලෙට කොළඹ යන රියදුරන් ඉන්න බසුත් ඉඳලා හිටලා උදෑසන ධාවනයට එකතුවීම. එහෙම ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න බස් එකක නැග්ග කියන්නේ උදේ නවය වෙද්දීත්  ඔෆිස් එකට යන්න වෙන්නේ නැති කරුමයක්. සමහර ඒසී බස් පිටත් උනේ සීට් ගානට ලෝර්ඩ් වෙනකම් ඉඳල නිසා කොන්දොස්තරගෙන් පිටත්වෙන වෙලාව අහල බස් එකේ නගින එක තමයි කරගෙන ගියේ. ඔන්න ඔය අතරේ දවසක උදේ පහයි කාල වෙද්දී ටවුමට ආපු මම දැක්කේ කොළඹ යන්න සූදානමින් තිබ්බ ඒසී බස් එකක්.

මල්ලි කීයටද යන්නේ..

ලෝර්ඩ් උනාම යන්නෙ.. කොළඹේ...කොළඹේ...කොළඹේ..

එහෙම ගිහින් වෙලාවට යන්න බැරි නිසා ගාල පැත්තෙන් ආපු ඒසී බස් එකකට අත දැම්මේ හිටගෙන හරි ගිහින් වෙලාවට සේවයට වාර්තා කරන්න ඕන නිසා.

මම අත දැම්ම නිසා නවත්තපු බස් එකට මම එල්ලෙන්න යනකොටම අම්බලන්ගොඩින් පිටත්වෙන්න නියමිත බස් එකේ කොන්දොස්තර දුවල ගිහින් ගාල්ල බස් එකේ දොර අහුරලා ගාල්ල  කොන්දොස්තරට ලොකු පාර්ට් එකෙක් දාල තර්ජනය කරා කියහන්කෝ. කොන්දගේ ලොකු සයිස් එකේ බය වෙච්චි ගාල්ල බස් එක මාව නොගෙනම පිටත් උනා. වැඩේට කොන්දව කන්න කේන්ති උනත් උදේ පාන්දර ගහමරාගන්න බැරි නිසා ඊළඟ බස් එක එනකල් ආයෙත් ගාල්ල  පැත්ත හැරිලා බලන් ඉන්නකොට තමයි දැක්කේ දෙනියායේ ඉඳන් කොළඹ යන "සමන් එලිය" බස් එක වේගෙන් එන හැටි. අවුරුදු ගානක අත්දැකීමෙන් වෙලාවට යන සහ වෙලාවට නොයන බස් ගැන දන්නා නිසා "සමන් එලිය " බස් එක දැක්කාම මේකේ කොහොමහරි එල්ලෙන්න ඕන කියන අදහසින් බස් එකට අත දාගෙනම මම පාරට ආව. බස් එක නවත්වනවාත් එක්කම මම බස් එකේ දොරේ එල්ලුනා සමගාමීව අම්බලන්ගොඩ බස් එකේ කොන්දොස්තරද කලින් පාර්ට් එකම දාගෙන "සමන් එලිය " බස් එකට ලං උනා කියමුකෝ. මාව බස් එකට ගන්න එපා කියාගෙන බස් එකට ලන්වුනු කොන්දොස්තර කොල්ලා පාරෙ කාණුවට විසික් වෙන්න සුපිරි පයින් පාරක් ගහන්න මට පුළුවන් උනේ බස් එකේ තිබ්බ යකඩ පොල්ල හොඳින් අල්ලගත්තයින් පස්සෙයි. කොන්දා පාර අයිනට විසික් වෙනවත් එක්කම බස් එක ඇදපු සමන් එලිය රියදුරා මාව වෙලාවටත් කලින් බම්බලපිටියෙන් බැස්සුවා කිසිම ප්‍රශ්නයක් නැතුව.

හිතේ තිබ්බ කේන්තියට කොල්ලට පයින් ඇන්නට කරපු වැඩේ බරපතලකම මට දැනෙන්න ගත්තේ පහුවදා උදේ වැඩට යන්න එද්දියි. මගෙන් ගුටි කාපු කොන්දා වෙනද වෙලාවටම ටවුමේ හිටියොත් වියහැකි අබග්ගය ඉවෙන් වගේ දැනුන නිසා ඔන්න ඔහේ අද කෝච්චියේම යනවා කියල හිතාගෙන බස් නැවතුමට නොගිහින් රේල් පාර දිගේම දුම්රියපොළට සේන්දු උනේ " වෙඩිල්ලේ " කොළඹ යන අදහසින්. මේ කියන දුම්රියට වෙඩිල්ල කිව්වේ ඒ දුම්රියේ වේගය නිසා. පවර් සෙට් දෙකක් එකට අමුනල දුවන මේ කෝච්චියේ එංජින් දෙකක් නිසාද මන්ද ඉස්ටේෂන් එකෙන් පිටත්වෙන්නේ හිතාගන්න බැරි වේගයකින්. මේ කියන වෙඩිල්ලේ තිබ්බ වෙනස තමයි සාමාන්‍ය පවර් සෙට් එකේ තියන මුනට මුණ බලාගෙන යන වර්ගයේ ප්ලාස්ටික් ආසන වලින් සමන්විත වීමයි.




කෝච්චියේ යන එන අය දන්නවා ඇති අපේ බවලත් උදවිය කෝච්චියට ගොඩවෙච්චි ගමන් වාඩිවෙලා ඉන්න කෙනෙකුගේ  කකුල එහාට කරලා සීට් එකේ අයිනෙන් සක්කයක් ගහගෙන වාඩිවෙන්න හරිම දක්ෂයි කියල. බලහත්කාරයෙන් කකුලෙන් ටිකක් තල්ලු කරලා අයිනෙන් වාඩිවෙලා විනාඩි දහයක් පහළොවක් යද්දී සීට් එකේ ටිකෙන් ටික පස්සට තල්ලු වෙලා හොඳින් හරිබරි ගැහිලා වාඩි වෙන සාස්තරේ මැනවින් ප්‍රගුණ කරපු උදවිය තමයි අපේ කෝච්චි වල ගමන්කරන බවලත් පිරිස.

මේ කියන වෙඩිල්ලේ කොළඹ යන්න හිතාගෙන ඉස්ටේෂන් එකට ආපු මම දැක්කේ සමුද්‍රදෙවියේ සගයෙක් වෙච්චි අපේ නිශාන් ගොයියත් කොහේදෝ අහේතුවකට වෙඩිල්ලේ කොළඹ යන්න ඇවිත් කියල.

මොකෝ බන් අද මේකේ..

අද ටිකක් කලින් යන්න ඕන බන්.. උඹ මොකෝ අද මේකේ..

අද බස් එක මිස් උනා බන්.. ඔන්න ඔහේ මේකේ යන්න ආව.. (ඊයේ උදේ කොන්දෙකුට පයින් ඇන්නා කියන්න මගේ දිව නැමුණේ නැහැ කියමුකෝ )

ඔන්න අපි දෙන්න කයියක් දාගෙන ඉද්දි වෙඩිල්ල, වෙඩිල්ල වගේ ගාල්ල පැත්තෙන් ඇවිත් ඉස්ටෙෂන් එකේ නැවැත්තුව. අපි දෙන්නත් වෙඩිල්ලේ නැගල එක ලඟින් වාඩි උනා එක්කම වෙඩිල්ල වෙඩිල්ලක් වගේ කොළඹ යන්න පිටත් උනා. ටික වෙලාවක් කයිය දාගෙන හිටපු අපි දෙන්නත් අනික් මගීන් වගේම කුකුල් නින්දකට වැටුනේ පුරුද්දට වගේ..

එකපාරටම මට නින්දෙන් උඩ ගිහින් ඇහැරුනේ අපේ නිශාන් කෝච්චියේ සද්දෙටත් වඩා උස් හඬින් " බුදු අම්මෝ " කියල කෑගහන සද්දෙට ....

මොකක්ද   %$#@&^යේ  ඒ කරේ ..

අනේ සොරි සොරි වැරදීමක්..

වැරදීමක්.. වැරදීමක්.. තෝ දැනගනින් මම තෝව මරනවා බැල්ලි..

අනේ ඉතින් මම කිව්වනේ මට වැරදීමක් උනේ කියල..

තොගේ ඇස් පොට්ට වෙලාද යකෝ.. මෙච්චර ලයිට් දාල තියන කෝච්චියේ..

අනේ ඉතින් මම කිව්වනේ වැරදීමක් උනේ කියල..

තෝ මට කරපු දේ කරපන් ගිහින් තොගේ මිනිහට..

අපි උදේ පාන්දර නැගිටලා උයල උයල එන්නේ.. අපිට වැරදීමක් උනාම ඔහොම බනින එක හරිද.. ඉහි...ඉහි...ඉහි..

ඉතිං තෝ මට උයලද යකෝ.. තෝ උයපු එකෙකුගේ කකුල් දෙක පළල් කරලා ඉන්දගනින් ගිහින් ..

නින්දෙ හිටපු ඔක්කොම මිනිස්සු අවදි වෙලා ඇස් ලොකු කරගෙන බලන් ඉන්නවා.. ගෑනු කෙනෙක් බිම වැටිල අඬනව.. නිශාන් යකෙක් වගේ කේන්තියෙන් ශුද්ද සිංහල කියවනවා.. වැඩේ හොඳටෝම අප්සෙට් තාලයක් නිසා මම නිශාන්ව පොඩ්ඩක් අල්ලගත්තේ මූ මේ ගැනිට පයින් අනීවිද කියන භයට..

මොකද මචන් උනේ..

බලහං බන් මේ ^%$%% කරපු #@ වැඩේ..

හරි ඉතින් කියහන් මොකක්ද මේ අහිංසක මනුස්සය උඹට කරපු වරද..

අහිංසක.. අනේ උඹ දන්න අහිංසක.. මරන්න වටින්නේ මේ #@##% කරපු වැඩේට..

හරි ඉතින් කියහන්කෝ මොකක්ද උනේ කියල..

මම නින්දෙ බන් හිටියේ.. එක පාරටම මගේ කකුල් දෙක දෙපැත්තට පළල් කරලා මේ @#$  මගේ #$%$@  උඩින් වාඩි උනා බන්.. මං හිතුවේ කකුල් දෙක මැදින් දෙකට ඉරුණ කියල ..

හුටා..

යන්තම් සන්තම් නිශානයා කූල් ඩවුන් කරගත්තයින් පස්සේ බිම වැටිල හිටපු කාන්තාවටත් අසල හිටපු කෙනෙක් ආසනයක් දුන්නු නිසා ආරවුල එතනින් විසඳුනා.

ඇත්තටම වෙලා තිබුනේ වැරදීමක් . අර කාන්තාව බලෙන් කකුල් එහාට කරලා වාඩිවෙන තාක්ෂනය උපයෝගී කරගෙන ආක්‍රමණය කරන්න ලැස්ති වෙලා තියෙන්නේ අපි දෙන්න හිටපු සීට් එක කියහන්කෝ. තිබ්බ කලබලේට  මගෙයි නිශාන්ගෙයි කකුල් වෙනුවට ගැහැණු කෙනා බලෙන් තල්ලු කරලා දෙපැත්තට පළල් කරලා තියෙන්නේ අපේ නිශාන්ගේම කකුල් දෙක. සනීපෙට නිදාගෙන ඉද්දි නිදහසේ තියන කකුල් දෙක දෙපැත්තට පළල වෙලා නින්දෙන් ඇහැරෙද්දි තමයි අපේ නිශාන් ගැහැණු කෙනාව තල්ලු කරලා දාල තියෙන්නේ. අසූ හාරදාහටම මල පැන්න නිශාන් ඒ ගැහැණු කෙනාගේ බෙල්ල මිරිකන්නේ නැතුව ඉතුරු කරපු එක තමයි පුදුමේ. 

Monday, January 18, 2016

බස්සෙක් සහ වස්සෙක්..





ලියන්නට යෙදෙන සිදුවීම් සමුදාය පාදක වෙන්නේ එක්දහස් නවසිය අනූ අට කාලයට කියලයි මගේ භාගෙට පිච්චිච්ච මතක චිප් එක කියන්නේ. මේ කියන කාලේ මගේ පලවෙනි රැකියාව කරපු කාලය. මම වැඩකරපු කොම්පැනිය විසින් ආනයනනය කරන සියලු වෛද්‍ය උපකරණ රජයේ රෝහල්වල, පුද්ගලික රෝහල්වල, පුද්ගලික වෛද්‍ය සායන වල සවිකිරීම, සේවා කිරීම, අලුත්වැඩියා කිරීම කියන කටයුතු වෙනුවෙන් හිටපු විදෙස් පුහුණුව ලද චීෆ් ටෙක්නිශියන් නොහොත් ප්‍රධාන කාර්මික තැන තමයි මම.  

මේ කියන කාලය අපේ කොම්පැනියට ටිකක් විතර කාර්යබහුල කාල වකවානුවක් උනේ රජයෙන් සංවිධානය කරපු සුව උදාන වැඩසටහන වෙනුවෙන් සපයන්න භාරගතපු යන්ත්‍ර සූත්‍ර ලහි ලහියේ රට පුරා ස්ථාපිත කරන්න සියලු දෙනා සතිය පුරාම මහන්සියෙන් වැඩකරපු නිසා. මේ කියන කාලය කොයිතරම් කාර්යබහුලද කියනවනම් මට තිබ්බ වැඩ අධිකවීම නිසාවෙන් සහ හිටපු අනික් කාර්මිකයින් නිසි පුහුණුව නොලබපු උදවිය නිසාත් ඉන්දියාවෙන් පුහුණු කාර්මිකයින් දෙදෙනෙක් ගෙන්නගන්නත් අපේ කොම්පැනියට සිද්ද උනා. 

මාසයේ එක සතියක් කොළඹ කේන්ද්‍ර කරගෙන උදේ ගිහින් වැඩ කරලා හවස එන්න පුළුවන් දුර ප්‍රමාන වල තියන ජොබ්ස් කරගෙන යනවා වගේම ඊළඟ සතිය අනුරාධපුර කේන්ද්‍ර කරගෙන කරගෙන තමයි වැඩ කරන්නේ. ඉතුරු සති දෙකෙන් තවත් සතියක් බදුල්ල කේන්ද්‍ර කරගෙන රැකියාවේ නියැලෙන මම අනෙක් සතිය නැගෙනහිර පළාතේ නවතින්න පුළුවන් ගෙස්ට් හවුස් එකක් හරි දන්නා කියන වෛද්යතුමෙකුගේ නිල නිවාසයක් හරි කේන්ද්‍ර කරගෙන තමයි ඇවිදින්නෙ. මීට අමතරව ලැබෙන හදිසි ඇමතුම් වෙනුවෙන් ලංකාව පුරාම රාජකාරි සඳහා වාර්තා කෙරීම සිදුවෙන්නේ ප්‍රධාන කාර්යාලයෙන් ලැබෙන උපදෙස් අනුවයි.

අපේ කොම්පැනියට වාහන තිබ්බත් රියදුරු තනතුරු සඳහා ප්‍රතිපාදන ලැබුනේ බොහොම අඩුවෙන්. ඒ නිසා රියදුරු ඇතිව සහ නැතිව රැකියාවට වාර්තා කිරීම සිදුවුනත් රාජකාරියේ ස්භාවය අනුව බස් රථයෙන්, දුම්රියෙන්, රැකියාව සඳහා යන්න වෙන එක මට සාමාන්‍ය දෙයක්. යන ඕනෑම ක්‍රමයකට ආයතනයෙන් මට ගෙවන නිසා යන්නේ මොකේද කියන එක මට අදාළ උනේම නැහැ. මම යන රාජකාරිය තනියම කරන්න බැරි එකක්නම් රාජකාරිය වෙනුවෙන් සහයට දන්නා කියන මිත්‍රයෙක් අරගෙන යන්නත් ආයතනයෙන් ප්‍රතිපාදන සැපයුනා. එහෙම ගියපු වතාවක සිද්දියක් තමා හෙළුවෙන් දුවගොස් ආපසු ඒම  පොස්ට් එකට පාදක උනේ.

අපේ කොම්පැනිය අයිතිකාර ලොක්කා රටේ නමගිය ප්‍රසිද්ද ප්‍රභූවරයෙක් නිසා රියදුරෙක් ඕනවෙන වෙලාවට මරදාන පැත්තේ පඳුරකට පයින් ගැහුවත් රියදුරන් විස්සක් විසිපහක් හොයාගන්න එක සිම්පල් වැඩක් වෙච්චි. ඒ හින්ද මේ කියන කාලෙට සාපේක්ෂව අපේ නිල රථයේ රියදුරු හැටියට කටයුතු කරේ ලොක්කගේ පුද්ගලික හිතවතෙක් නොහොත් වේදිකා නාට්‍ය ක්ෂේස්ත්‍රයේ ටිකක් විතර ප්‍රසිද්ද කෙනෙක්. ඇඟ පුරාම මොලේ තියන වර්ගයේ එකේ වෙච්චි අපේ රියදුරා රිය පදවන ලීලාවෙන් වැඩි හරියක් කරේ අපි කරන කියනාවූ දේවල් සියල්ලම අකුරක් නෑර ලොක්කාට වාර්තා කිරීමේ රාජකාරිය තමයි. ලොක්ක කිව්වොත් එක පාරක් පිටකොටු ගිහින් වර කියල මූ දෙපාරක් පිටකොටු ගිහින් එන වර්ගයේ මොඩල් එකක් කිව්වොත් තමයි නිවැරදි. 

කයිවාරු ගහන්න උපන් හපන් එකෙක් වෙච්චි අපේ රියදුරා එතුමාගේ හැකියාවන් ගැන, දන්නා අඳුරන ලොකු ලොක්කෝ ගැන  කයිවාරු ගහන වෙලාවට උන්ද තරම් වැඩකාරයෙක් තුන් ලෝකෙම නැති තරම්. ලොක්කගේ පුද්ගලික හිතවත්තු හාවෝ කරලා වාහනේ නග්ගල එව්වනව කියල අපි දැනගෙන හිටියත් යාප්පුවෙන් වැඩේ ගැනීම අපේ මැනේජර් මහත්තයා අපිටත් කලින්ම උගන්නලා තියන නිසා වාහනේ රියදුරු අසුනට ලොක්ක නග්ගන හා පැටවුන්ට අපි පුළුවන් ඉහලම ගෞරවය දෙන්න කිසි වෙලාවක පසුභට උනේ නැත්තේ එව්වා අපේ අතින් පයින් යන එව්වා නොවෙන නිසාත් අපිත් ලොක්කගෙන්ම කබරගොයා තලගොයා කිරීමේ කලාව ඉගෙනගෙන තිබ්බ නිසාත්ම තමයි.

ඉතින් අයියෙ ඔයාට මේ තියන සුදුසුකම් වල හැටියට හොඳ ජොබ් එකක් කරගන්න තිබ්බනේ වෙන තැනක..

ජොබ් එකක් ඕනෑකමට කරන එකක් නෙවෙයි මල්ලි මේක.. මේ ලොක්කගෙ කීම අහක දාන්න බැරි නිසා උදව්වක් විදිහට මේ වාහනේ එලවනවා මිසක් මට එළියේ මැනේජර් පොස්ට් එකක් වගේ එක හොයාගන්න එක සිම්පල් මල්ලි.. 

ඒක මිසක්.. මම මේ බැලුව අයිය මේ තරම් ප්‍රසිද්ද මිනිස්සු අඳුරන කෙනෙක් වෙලත් මොකද මේ අපේ වාහනේ එලවන රස්සාව කරන්නේ කියල..

මේ දවස්වල රටේ ප්‍රශ්න එක්ක නාට්ටි එහෙමත් වැඩිය නැති නිසා මමත් ජොබ් එකක් හොයා හොයා තමයි මල්ලි ඉන්නේ..  ඒ අස්සේ තමයි ලොක්ක මේ උදව්ව ඉල්ලුවේ මගෙන්.. බෑ කියන්න බැහැනේ මල්ලි.. ලොක්ක රත්තරන් මනුස්සයනේ..

අනේ ඔව් අයියෙ.... හරි හොඳ මනුස්සයා.... 

ලොක්කා වනාහි කබරගොයාත් තලගොයා කරගෙන කන, තැටිය රත්වෙච්ච වෙලාවේ රොටි දෙතුන්සීයක් පුච්චගන්න, මැටි පූසෙක් ලව්වත් මියෝ අල්ලවන්න දක්ෂ, වඳුරන්ගෙන් බන අහල ජේතවනාරාමෙට ගල් ගහල ආපු,  බොහොම දුර දක්නා නුවන ඇති, වාසි පැත්ත කල් තියාම දක්නා නුවන ඇති, විනාඩියකට කලින් කිව්ව දෙයක් මම එහෙම කිව්වේ නැහැ කියන්න පුළුවන් දක්ෂතා ඇති, ලැජ්ජාව බෙදන තැනකවත් ඉඳලා නැති සහ මෙකී නොකී ලෝකේ තියන කට්ට කයිරාටික කම් සියල්ලම දන්නා පොරක් යකෝ උඹ ලොක්කට අහුවෙලා ගොනා සේ නොකා නොබී වාහනේ එලවන මෝඩ වස්සෙක් කියල කියන්න ඕන උනත් ලොක්ක එවන කිසිම රියදුරෙකුට අපි කව්රුවත් එහෙම කිව්වේ නැහැ. 

මේ කියන රියදුරු තැන අපිට සුවිශේෂී වෙන්නේ කන්න ගියාමයි. උදේට කන්න වාඩිවුණ ගමන් අපේ ලොක්කගේ හා පැටියා නොහොත් අපේ රියදුරාගෙන් පිටවෙන්නේ මෙන්න මේ වගේ අවවාද..

මල්ලි... අපි උදේට තමයි හොඳටම කන්න ඕන... මොකද අපි දවසම වැඩ කරන්න ඕනනේ.. හොඳට උදේට කෑවෙ නැති උනොත් වැඩකරන්න අමාරු වෙනව..

එතකොට වේටර් අහනව " මොනාද සර් ගෙන්න ඕන.."

අපිට ගේන්න ඉඳි ආප්ප, පාන්, චිකන් කරී, මිරිස් මාළු වගේ එව්වා..

හොඳයි සර්..

වෙටරයා ගෙනත් තියන සේරෝම ජාති සුනාමියට ගියා වගේ වෙන්න කාල දාන අපේ රියදුරා නිකමටවත් හිතන්නේ නැහැ දවසේ වියදමට ලැබෙන සම්පූර්ණ මුදලම උදේට කන්න විතරක් වියදම් කරලා බැහැ කියල.. ඉතින් ඌ එක්ක රස්සාවට යන අපිට සිද්ද වෙනවා ඌ කන ප්‍රමාණය අඩු කරන්නේ නැති නිසා ඊට සාපේක්ෂව උදෑසන ආහාර වේලේ පිරිවැය අවම කරන්න බනිස් ගෙඩියකින් වගේ සෑහෙන්න.

දවල්ට කන්න ගියාමත් පෙර අවවාදයම ලැබෙනවා අඩුපාඩු නැතුවම..

මල්ලි.. අපි දවල්ට තමයි හොඳටම කන්න ඕන.. මොකද අපි තව පැය ගානක් වැඩකරන්න ඕනනේ.. 

ඒ සියලු අවවාද දීල මූ දවල්ට බිරියානි එකක් කුකුල් පළුවක් එක්ක එහෙම්පිටින්ම අමාශගත කරන නිසා අපිට සිද්දවෙනවා ඌට දානෙ දීල අය වැය බැලන්ස් කරන්න පොඩි දෙකින් සෑහීමකට පත්වෙන්න.

මම මේ රියදුරා එක්ක යන දවස්වලට මේ සියල්ලටම වාඩුව ගන්න බලන් ඉන්නේ රෑට. මොකද අපි සයිවර් කඩේකින් කෑවත් හිල්ටන් එකෙන් කෑවත් කොම්පැනියෙන් අපිට ගෙවන්නේ එක සමාන දයිනික දීමනාවක් නිසා දවසේ නවාතැන් සහ ආහාර වියදම ඒ ලැබෙන මුදලට සීමා කර නොගත්තොත් අපිට වෙන්නේ අපේ අතින් ගෙවන්නයි. මුගේ බඩජාරිකම නිසා උදේටත් දවල්ටත් යහමින් යමක් කන්න විදිහක් නැතිවෙන මම නම් රෑ වෙද්දී ඉන්නේ මූව බැදලා කන්න කේන්තියෙන්. ඒ මදිවට උගේ අරක්කු කාලත් යන්නේ දවසේ වියදමට.

ඔන්න රෑට කන්න වාඩි උනාමත් පෙර අවවාදයම ලැබෙනවා. හැබැයි රෑට කන්න කලින් කන්න යන කඩේට ගොඩවෙන්න ඉස්සෙල්ල කොහෙන් හරි බාර් එකකින් කාලක් සාක්කුවේ දාගන්නත් අමතක කරන්නේ නැහැ අපේ රියදුරු තැන. 

මල්ලි .. අපි රෑට තමයි හොඳටම කන්න ඕන..

ඒ මොකෝ අයියෙ..

ඇයි මල්ලි.. දැන් බලන්න.. අපි දවසම මහන්සි වෙලා ඉන්නේ.. ඉතින් උදේට වැඩ කරන්න ශක්තිය ලැබෙන්න නම් රෑට හොඳට කන්න ඕන.. (වට පිට බලා කාල කටේ තබා ගුඩුස්..ගුඩුස්.. ශබ්දයෙන් කාලෙන් භාගයක් ආමාශගත කරයි )

සර්ලා මොනාද කන්නේ..

ඔන්න ඔර්ඩර් කරන වැඩේදී අපේ රියදුරා ඉදිරියට පැන ප්‍රහාර එල්ලකරන්නේ දෙපාරක් හිතන්නේ නැතුව..

මට ගේන්න හොඳ චිකන් කොත්තුවයි, ලොකු කොකාකෝලා එකයි.. මේ මහත්තයටත් ඕන දේ අහල ගෙන්නකෝ..

ම්ම්ම්ම්ම්ම් ........ මම තව ටිකක් කල්පනා කරලා කියන්නම්කො... ඔය කොත්තුව දාල ගෙන්නකෝ..

හොඳයි සර් ..

වෙටරයා කෑම ගේන්න ගියාම දාහක් කයිවාරු කතා අහන ඉන්න වෙන එක සාමාන්‍ය දෙයක්.. ඔන්න වේටර් අපේ එකාගේ කොත්තුව අරන් ඇවිත් මෙසේ උඩින් තියල කොකාකෝල බෝතලෙත් තියනව..

සර්ට මොනාද ගේන්න ඕන..

ප්‍රයිඩ් රයිස් තියෙනවද...

ඔව් සර්..

එහෙනම් මට ගේන්න මික්ස් චෝප්සි රයිස් එකක්..

හරි සර්..

තුන් වෙලේම පෝෂණය අපිට ලැබෙන්න ඕන විදිහ ගැන දහසක් අවවාද අනුසාසනා දීපු අපේ රියදුරු මහත්තයාගේ මූණ කජු ලෙල්ලක් වගේ වෙන්නේ නිකම්ම.. ඉන් පස්සේ කොත්තුව කාල ඉතුරු අරක්කු ටිකත් වටපිට බලල උගුරට හලාගන්න අපේ රියදුරු තුමා නැගිටලා එලියට යන්නේ මම චයිනීස් කන එක බලාගෙන ඉන්න බරීම නිසා.. ආයේ ඉතින් කාමරේට ඇවිත් නිදාගෙන උදේට ඇහැරෙනකල්ම ඉන්නේ කතා බහ නැත. 

එත් ඉතින් ඌ ඇඳට වැටිල කළුවර බුරුත ඉරන්න ගත්තාම තමයි උගේ බෙල්ල මිරිකලා හිරේ යන්න හිතෙන්නෙ. එළිවෙනකම් ඉතින් ඌ කොට ඉරන සද්දෙට කන් දීගෙන ඉන්නවා ඇරෙන්න මටනම් ඌ එක්ක නින්දක් ඇත්තෙම නැහැ. 

ඔය සනාගේ වික්‍රම පොස්ට් එකේ ඉන්න සනාත් වැඩකරේ අපේ කොම්පැනියේම නිසා වැඩි හරියක් මේ කියන රියදුරා එක්ක ඇවිද්දේ අපේ සනා. සනා රෑට රෑට බොන්න පුරුදු වෙච්චි මුල්ම හේතුව තමයි මේ කියන රියදුරා. රෑට නිදාගන්න විදිහක්ම නැති නිසා සනාට සිද්ද උනා ඌ එක්ක නිදාගැනීමේ ක්‍රමවේදය විදිහට රියදුරා කාලක් ගහනකොට සනා භාගයක් ගහල නිදාගන්න පුරුදු වෙන්න. 

මේ කියන රියදුරාගේ කෑමේ ස්භාවය නිසා මම විසින් ඌට දාපු නම උනේ කෑමරුවා කියලයි. මුනට නොකිව්වට අන්තිමේ අපි කව්රුත් අපේ රියදුරා නැති තැන හැඳින්නුවේ කෑමරුවා කියලයි.

ඔය විදිහට රැකියාව කරගෙන යද්දී ලොකුම ලොකු හදිසි අලුත්වැඩියා කටයුත්තකට මට කෑගල්ල රෝහලට යන්න උනේ සිකුරාදාවක උදේ පාන්දර. රාජකාරියේ ස්භාවය උඩ ගෝල තැනකුත් ඕනවෙන නිසා රියදුරා වශයෙන් ඉහත අඳුන්වල දීපු කෑමරුවාවත් යාප්පු කරගෙන අපි කෑගලු ගන්න පිටත් උනා. 

කෑගල්ලේ වැඩේ ගොඩ දාල අපි කෑගල්ලෙන් පිටත් වෙද්දී දවල් එක විතර වෙලා. කලින් පැහැදිලි කරපු විදිහටම පෝෂණය ගැන සුපුරුදු පාඩම මට උදෑසන ආහාරයටත් , දිවා ආහාරයටත් දෙකටම කන් පිරෙන්න අහගෙන ඉන්නනම් උනා. 

දවස සිකුරාදා වීමත්, මාසයේ අවසන් සතියේ දවස වීමත්, වැටුප් ලබෙන දිනය වීමත් එක්ක මේ කියන දවස සුවිශේෂී දවසක් නිසා රුහුණු කුමාරියේ ගෙදර මාරුවෙන්න බලාගෙන ඔෆිස් එකට ආවාම තමයි මැනේජර් මට කිව්වේ ලොක්ක එන්න කිව්වා කියල. 

කොම්පැනියේ එකෙක්වත් හවස් අතේ ලොක්කගේ ගෙදරට නොයන්නේ හේතු දෙකක් නිසා. 
පලවෙනි එක ඒ වගේ වෙලාවල් වලදී ලොක්කා විසින් පවරන විනාඩි දහයේ පහළොවේ වැඩ ඉවර කරන්න පැය තුන හතරක් ගතවීමත් ඊට සමගාමීව ඉක්මනින් ගෙවල්වල යන්න තියන හවස කොච්චි ටික මගහැරීම. 

දෙවැනි හේතුව උනේ ඩ්‍රයිවින් පුළුවන් එකෙක් ලොක්කගේ බිරින්දෑට හසුවීම යනු, 
ඩ්‍රයිවින් සීට් එක පස්ස පැත්තට ඇලෙනකම් සහ ගස් නැගපු යක්කු ගස් වලින් බහින වෙලාව වෙනකම් ගෙවල් ගානේ වාහනේ එලවන්න වෙන නිසා. මේ හේතු දෙක නිසාම හවස් අතේ ලොක්කාගෙන් ඇමතුමක් ඔෆිස් එකට ලැබෙනවා කියන්නේ ඒ කෝල් එකට මැනේජර් උත්තර දෙනකොටම පිස්සු පූසා කාර්ටුන් එකේ සාජන් මහත්තයා දකින පූසන් සෙට් එක වගෙන් ඔෆිස් එකේ ඉන්න එවුන් ඔක්කොම හැරිච්ච හැරිච්ච අතේ මාරුවෙන්න හේතුවෙන කෝල් එකක්. මගේ ජීවිතේට හමුවෙච්චි සුපිරිම ගනයේ මැනේජර් කෙනෙක් වෙච්චි අපේ මැනේජර් මහතාත් අපිව ඒ වගේ මරාල වලින් ගලවගන්න ලොකු සේවයක් ඉෂ්ටකරපු කෙනෙක්. ඒ හින්ද දවසට කීප වතාවක්ම අපි වෙනුවෙන් හතරවෙනි සිල්පදේ කඩන්න අපේ මැනේජර් මහතාට සිද්දවුනා.

මේ කියන සතිය මම කොළඹ කේන්ද්‍ර කරගෙන රැකියාව කරන සතිය නිසාත්  හැමදාම හවසට රුහුණු කුමාරියේ ගෙදර මාරුවෙන නිසාත් කොළඹින් පිට යනකොට ගෙනියන මගේ ඇඳුම් කඩමාලු ටික පුරවපු බෑග් එක අරන් එන්නේ නැහැ. ඒ නිසා මගේ ටූල්ස් ටික තියන බීෆ් කෙස් එකත් අරගෙන මාසික වේතනය නොහොත්, බඩ ගොස්තරය නොහොත්, පඩි පැකට් එකත් අරගෙන අපේ කෑමරුවා රියදුරා එක්කම ලොක්කගේ ගෙදර බලා පිටත් උනේ එහෙම්මම වාහනෙන්ම මරදාන ස්ටේෂමට දම්මගන්න බලාපොරොත්තුවෙන්.

ආ ඔයාල ආවද.. මට මේ දැන් අමාත්‍යංශෙන් කොල්ල එකක් ආව අර ඇටම්පිටියේ යුනිට් එක මේ සතියේ හයිකරලා නැහැ කියල..

ඒකෙ ඕපනින් එකට තව සති දෙකක් තියන නිසා ඒ වැඩේ ටිකක් කල් දැම්ම බොස්.. වැඩත් ටිකක් තද වෙලා තියෙන්නේ.. ඉන්දියන් දෙන්නව දුවවලත් වැඩ ටික වෙලාවට ගොඩ දාන්න අමාරුයි..

දැන් වැඩේ කියන්නේ ඕපනින් එක සඳුදට කරන්න එයාල තීරණය කරලා.. ඒ හින්ද අපි මේක හෙට දවස ඇතුලත කරන්න ඕනෙමයි..

ඉතින් බොස් අපි මේ වැඩ ප්ලෑන් කරේ එයාල දීපු දින එක්කනේ.. දැන් එයාල වැඩේ හදිසි කරා කියල අපේ වරදක් නෙවෙයිනේ ඒක..

එහෙම කියල බෑ .. අපි මේක කොහොමහරි හෙට කරන්න ඕන.. මේක නොකෙරුනොත් අපිට හොඳ නෑ..

හරි.. එහෙනම් මම හෙට උදේම යන්නම්.. යුනිට් එක ස්ටෝර්ස් වලින් ගන්නම් උදේට..

හරි එහෙනම් එහෙම කරන්න..

ඔන්න ඔය වෙලාවේ තමයි පින්වතුනි හැම දේටම මැදට පනින කෑමරුවා නොහොත් අපේ ලොක්කගේ හා පැටියා රියදුරා ආරාධනයකින් තොරවම කතාව මැද්දට පනින්නේ..

අපි එහෙනම් සර් දැම්ම පිටත් වෙන්නද.. මම ඉතින් බස්සා වගේනේ සර්.. මට ඉතින් වාහනේ එලවනවා කියන්නේ සිම්පල් වැඩක්..

ඒ කතාව ඇහුන ගමන් මගේ කොන්ඩේ කෙලින් වෙලා කන් දෙකෙන් දුම් පිටවෙන්න ගත්තේ මට වෙන්න යන දේ දැනුන නිසා..

ශා මරුනේ.. එහෙනම් ඔයාල දැම්ම පිටත් වෙන්න.. එතකොට වැඩේ ලේසියි.. රෑ වෙද්දී ඇටම්පිටියට යන්න පුලුවනිනේ.. අනික ඔයා එලවන නිසා (මගේ නම ) ට පුලුවනිනේ යන ගමන් ටිකක් නිදාගෙන ගිහින් උදේම වැඩේ පටන් ගන්න.. එහෙනම් ස්ටෝර්ස් වහන්න කලින් ගේට් පාස් එක ලියාගෙන ගිහින් බඩු ටික දාගෙන පරෙස්සමෙන් පිටත් වෙන්නකෝ.. ඔයාල ඔෆිස් එකට යනකොට මම ගේට් පාස් එකයි ඩීසල් සල්ලියි හදල තියන්න කියල කෝල් කරලා මනේජර්ට කියන්නම්.. 

හා සර්.. මම පැය පහෙන් යන්නම් ඇටම්පිටියට .. ඔය පාරවල් මට සිම්පල්..

මේ වගේ මිනිස්සු තමයි කොම්පැනි වලට ඉන්න ඕන.. ඔයා ලොකු උදව්වක් මේ වෙලාවේ අපිට කරන්නේ..

ඕක සුළු දෙයක් සර්.. මම ඉතින් බස්සා වගේ තමයි.. සර්ට නොකරන උදව් කාට කරන්නද සර්..

නඩුත් හාන්දුරුවන්ගේ බඩුත් හාන්දුරුවන්ගේ නිසාත් සාක්කියටත් එකෙක් පැනලම දීපු නිසාත් මට කතා කරන්න දෙයක් තිබ්බේ නැහැ. එහෙමම ඇවිත් වාහනේට නැග්ගේ අපේ රියදුරාගේත් ලොක්කගේත් මවු දෙමව්පියන්ට සුගතියටම වඩින්න ලැබේවා කියල හිතල පින් දෙන ගමන්.

අවශ්‍ය දේවල් ඔක්කොම දාගෙන කොළඹින් පිටත් වෙද්දී හවස පහ පහු උනා කියමුකෝ.. සිකුරාදා හවස හයිලෙවල් පාරෙ ට්‍රැෆික් එකත් හරි චුට්ටයි නිසා අවිස්සාවේල්ලට යද්දිත් රෑ අටහමාර පහුයි. බඩු පටවපු තැනින් ගමන පිටත් උන ගමන් වාහනේ සීට් එක දිගෑරගෙන නින්දට වැටිච්ච මට ඇහැරෙද්දි අපි අවිස්සාවේල්ලෙ. නින්දෙන් ඇහැරිලත් මම කල්පනා කරේ මූව උයල කනවද බැදලා කනවද කියන එක. රත්නපුර හරියෙන් දයිනික කාලේ බෝතලෙත් සාක්කුවේ දාගෙන වාහනේ එලවන අපේ කෑමරුවා රියදුරා බලන්ගොඩ හරියේදී මහා රෑ කඩේකින් තැඹිලි ගෙඩියක් බොනකොට මට තේරුනා ඌ කරගත්තු ගොන්කම ඌ ලෙසටම විඳවන විත්තිය. එත් වාහනේ නවත්තුවාම හොරෙන් ඇහැ ඇරලා බලනවා ඇරෙන්න මම ඉන්නේ තනිකරම හොර නින්දක.

කඩින් කඩ වැටෙන වැස්සත්, මීදුමත් නිසා හපුතලේ  හරියට එද්දී සෑහෙන්න රෑ වෙලා. අයිනකින් වාහනේ නවත්තපු, මම  බස්සෙක් වගේ කියපු එකා මෙන් මගෙන් අහනවා..

මල්ලි...

(මම නිදි.  හොර නින්ද අහරවන්වා බොරු)

මල්ලි පොඩ්ඩක්  නැගිටින්නකෝ..

හ්ම්.. (එහෙම කිව්වෙත් නින්දෙන් වගේ)

මල්ලි පොඩ්ඩක් නැගිටින්නකෝ...

(ඔන්න මම නිදිමතේ වගේ ඇහැරුනා)

ඇයි.. මොකද..

පොඩ්ඩක් එලවන්න පුලුවන්ද මල්ලි.. මට මාර නිදිමතයි..

පිස්සුද බන් අයියෙ.. මට මේ උණ ගන්න වගේ.. මාව වෙව්ලනවත් එක්ක.. 

දැන් මොකද මල්ලි කරන්නේ.. මට හරිම අමාරුයිනේ..

දැන් ඔයා ලොක්කට කිව්වනේ ඔයා බස්සෙක්ද මා වවුලෙක්ද මොකෙද්ද වගේ කියල.. ඉතින් ඒ විදිහට එලෝගෙන යන්නකෝ.. මට නම් බෑ එලවන්න..

අපි කොහෙහරි රූම් එකක් අරගෙන නවතිමුද මල්ලි..

ඔයා ගෙවනවනම් නවතිමු.. මේ ජොබ් එක වන් ඩේ ජොබ් එකක්.. ඒ හින්ද නයිට් අවුට් වැටෙන්නේ නැහැ.. මීල්ස් විතරයි.. ඔයා රූම් එකකට ගෙවනවනම් කැමති ගෙස්ට් හවුස් එකකට වාහනේ අල්ලන්න.. නො ප්‍රොබ්ලම්..

ඒකත් එහෙමද.. එහෙනම් අපි හෙමින් හෙමින් යමු මල්ලි..

ඔයාගේ කැමැත්තක්.. ඇටම්පිටියට ගියාම මාව ඇහැරවනකෝ..

මම ආයෙත් දිගෑරපු සීට් එකේ වම්පත්තේ ඇලයට හැරිලා හොර නින්දට වැටුනේ තෝ ඕන මගුලක් කරගනින් කියල කටින් කියන්න බැරි හින්දමයි. තුවායක් දත් බුරුසුවක්වත් අඩුම තරමේ නැතුව මේ වගේ ගමනක් යන්න උනේ මුගේ තියන පණ්ඩිතකම නිසා. වාහනේ එලොගෙන බැරිනම් දක්කාගෙන හරි යන්න පුළුවන් විදිහකට පල කියන අදහස විතරයි මගේ හිතේ තිබ්බේ.

අපේ මා වවුලා හෙවත් බස්සා රියදුරා වතුර බොනවා, ඔලුව හෝදනවා, වාහනෙන් බැහැල සීතලේ ඇවිදිනවා, හුඟ වෙලාවකට කලින් බීල ඉවර කරපු කාලේ බෝතලේ කට උඩින් තියල හොලවනවා වගේ විකාර වැඩ කෝටියයි. අවසානයේ අපි ඇටම්පිටියට එද්දී අලුයම හතරයි තිහයි. යන්ත්‍රය හයිකරන්න තිබුනේ ඇටම්පිටිය රෝහලේ නිසා ඉස්පිරිතාල මිදුලේ වාහනේ දාගෙන ඉතුරු ටික කාලය නිදාගන්න අපිට සිද්දවුනා. ඒ සීතලේ කුමන නින්දක්ද. උදේ ගෙදරින් ඇඳන් ආපු ඇඳුම පිටින් දවස් දෙකක් ගතකරන්න වෙච්චි කේන්තියට ඌ මැරුවත් මගේ හිතට මදි. 

ඇටම්පිටියේ සුමිහිරි සීතලේ වාහනයක් ඇතුලේ ගතකරපු පැය එකහමාරකින් පස්සේ මම අපේ බකුසු රියදුරා හැරෙව්වේ මේ මගුල හැකි ඉක්මනින් හයි කරලා කොළඹ යන්න ඕන නිසා. 

මේ කියන බකුසු තුමා උදේට ලකලැහැස්තිති වෙන්න පැයක් එකහමාරක් ගතකරන සැන් පවුඩර් ලොරියක් විතර නාන මොඩල් එකක්.  

දැන් කොහෙන්ද මුණ කට සොදාගන්නේ..

අපි ටිකක් පහලට යමු මල්ලි.. පහල තියන පීල්ලකින් හොඳට ඇඟපත සෝදගත්තාම මල්ලිට ෆ්‍රෙෂ් පිට වැඩේ කරතැකි..

දැන් කෝ තුවායක්, දත් බුරුසුවක්වත් නැහැනේ..

ඒකනම් එහෙම තමයි මල්ලි.. ඔය කඩේකින් බුරුසුවක් සබන් කෑල්ලක් ගමු..

හ්ම්..

බකුසු උන්නැහේ හෙමින් සීරුවට වැලිමඩ පැත්තට ඇදුන වාහනේ නැවැත්තුවේ ලස්සනට ගලා බහින දියපාරක් අයිනේ..

මල්ලි..මට මාර කක්කුසි බරක් තියෙනව මල්ලි.. මම මෙතනින් බහින්නම්.. මල්ලි සබන් කෑල්ලකුයි දත් බුරුසු දෙකකුයි අරන් එන්න.. අදට විතරනේ මල්ලි.. තුවායක් ඕන නෑ.. අපි හොඳ සීත වතුර ටිකකින් ඇඟ හෝදගෙන කොහෙට හරි ගිහින් හොඳට කාලා වැඩේ පටන්ගමු.. ඊයේ රෑට කෑවෙත් නැහැනේ මල්ලි..

හා එහෙනම්..

බකුසු රියදුරා වාහනේ බැහැල කලිසමයි කමිසෙයි ගලවල වාහනේ ඇතුලට විසික් කරලා යට ඇඳුම පිටින් දිය පාර වැටෙන බඩවැටිය අතරින් නොපෙනී ගියේ උදෑසන අඳුරත් කපාගෙන. ඒ වෙද්දී ඇටම්පිටියට ඉර උදාවෙලා තිබ්බේ නැති උනාට ඈතින් අරුනලු නගීගන එන බව කිව්වේ එලිය වැටීගෙන එන ලස්සන ආකාසෙ.

මමත් හෙමින් සීරුවට වැලිමඩ පැත්තට එද්දී තිබ්බ පලවෙනි කඩේ වාහනේ නවත්තල ඕන කරන දේවල් ටික ගන්නයි ලැහැස්ති උනේ..

මොනාද මහත්තයෝ ඕන..

මට දෙන්න මුදලාලි දත් බුරුසු දෙකයි.. සබන් කෑල්ලයි.. දත් බෙහෙත් පොඩි ටියුබ් එකකුයි..

ආ මෙන්න මහත්තය.. මහත්තය මේ පළාතේ කෙනෙක් නෙවෙයි වගේ..

නෑ මුදලාලි.. මේ ඉස්පිරිතාලේ වැඩකට අපි කොළඹින් ආවේ.. ආ මෙන්න සල්ලි..

අනේ මහත්තයෝ .. දාහක් මාරුකරන්න නැහැනේ..

ඉතින් මුදලාලි මා ගාව වෙන සතයක්වත් මාරු නැහැනේ..

අනේ මහත්තයෝ අපි හරි අහිංසක දුප්පත් මිනිස්සු නෙව.. මේ දවස්වල නාදුනන කෙනක් ගේන රුපියල් දාහක් මාරුකරන්න බැහැ මහත්තයෝ.. හැමතැනම හොර සල්ලි ..

දැන් මොකද මුදලාලි කරන්නේ.. මාගවත් මාරු නැහැනේ..

උදේ පාන්දර බිස්නස් එක උනාට කමක් නැහැ මහත්තයෝ..බඩු ටික මම ආපහු ගන්නම්.. පහල කඩෙන් බලන්නකෝ.. 

ඔයාකාරයෙන් ඔය කතන්දරේම අහන්න උණ කඩ ප්‍රමාණය දැන් මතක නැහැ. ඒ කාලයට සාපේක්ෂව තිබ්බ හොර සල්ලි ප්‍රශ්නයක් නිසා එක කඩයකින්වත් මගෙන් රුපියල් දාහක් ගන්න එක තරයේ ප්‍රතික්ෂේප වුනා. ඒකට හේතුව උනේ මාගේ අවංකභාවය වෙනුවෙන් සිකුරාදා ලැබුන පඩි පැකට් එකේ තිබ්බ ඔක්කොම දාහේ කොළ මම මුදලාලිලාට පෙන්වීම. මගේ අවන්කභාවයට ලැබුන උත්තරය උනේ උදේ පාන්දර බිස්නස් එක මස්තබාදු කරන්නේ නැතුව පොලිසියට කෝල් කරන්නද නැත්තම් යනවද කියල තර්ජනය කරලා සමහරක් කඩ කාරයින් විසින් මාව එලවා දැමීම. 

කොහෙවත් යන හොර සල්ලි කතාවක් ඇඟේ දාගෙන පොලීසි යනවට වඩා වැලිමඩට  ගිහින් බඩු ටික ගේන එක ලේසි නිසා අන්තිමේ මට සිද්දවුනා වැලිමඩට ඇවිත් වාහනේට තෙල් ටිකක් ගහල සල්ලි මාරු කරගෙන ඕන කරන දත් බුරුසු, දත් බෙහෙත්, සබන් අරගෙන ආයෙත් ඇටම්පිටි යන්න. ඇත්තටම කියනවනම් මට අමතක උනා බකුසු රියදුරා යට ඇඳුම පිටින් නේද කියන එක. 

බකුසු රියදුරා දියපාර ලඟින් බස්සල පැය දෙකකට විතර පස්සේ තමයි අන්තිමේ මම බකුසු රියදුරා ඉන්න තැනට ආවේ කියමුකෝ. අප්පච්චියේ එතන තිබ්බ සිරියාව. මුළු ගමම එතන කියහන්කෝ. ගෑනු නානවා. පොඩි එවුන් නාවනවා. මෝටර් සයිකල් හෝදනවා. ඩෙලික වෑන් හෝදනවා, එළවලු හෝදනවා එක යුද්දයයි. ඒ කියන්නේ එතන සෑහෙන ප්‍රසිද්ද නාන තොටුපොළක්. 

මුකුත් නොදන්නා ගානට මමත් වාහනේ අයිනෙන් නවත්තල නාන තොටුපොළේ ටිකක් විපරම් කරලා බැලුව අපේ එකා උගේ අලංකෘත යට ඇඳුම සහ තඩි බඩ ගෙඩිය සහිත වාමන මොඩල් දේහය ප්‍රදර්ශනය කරමින් නානා හිටපු කාන්තා පාර්ශව අමන්දානන්දයට පත්කරගෙන දිය කෙලිනවා වත්දෝ කියල. මුණ පුරා රැවුල වවාගෙන යට ඇඳුමක් ඇඳන් කිසිම මුලාශ්‍රයක්, ඒ කිවේ ආපු වාහනයක්, ඊට උඩින් ඇඳන් හිටපු ඇඳුමක්, හැඳුනුම්පතක් නැතුවම ගමේ නාන තොටේ එහෙම එකෙක් උදේ පාන්දර හිටියාම ගමේ එවුන් ඌව ගස් බැඳලා පොඩි ෆුල් බොඩි මසාජ් එකක් එහෙමත් දීල පොලිසියට භාරදෙන්න ලොකු චෑන්ස් එකක් තියන නිසා මමත් දිය පාරට කිට්ටු කරේ ටිකක් විතර පරෙස්සමෙන්. එතන හිටපු ගෑනු මිනිස්සු තිහක් හතළිහක් අතරේ මෑන්ස් මගේ ඇහැගැටුනේ නැති නිසා දිය පාරෙ තිබ්බ ගල් ගෙඩි වලින් පැනගෙන දියපාර ඉහත්තාවට ඇදුනේ ..යට ඇඳුමක් විතරක් ඇඳන් , වඳුරෙක් වගේ මුණක් තියන තඩි බඩක් තියන කළු හාදයෙක් පොලිසියට භාර දුන්නද මාමේ...කියල කාගෙන්වත් එකපාරටම අහන්න බැරි නිසා..

නාන තොටුපොලෙන් අඩි තිහ හතළිහක් උඩට නගිද්දී ගල් දෙබෝක්කාවක් ඇතුලෙන් මෙන්න එනවා සුපුරුදු කටහඬක්..

කොයි   &%^තෙද  මල්ලි ගියේ..

කටහඬ ඇහුන දිහාවට හැරිලා බලපු මම දැක්කේ පරිනාමනය වේගෙන එන මානවයෙක් වගේ මුණ පුරා රැවුල වවිච්චි, තඩි බඩ ගෙඩියක් එක්ක ජොකා පිටින් ගල් දෙබොක්කාවක හැංගිලා ඉන්න අපේ බකුසු රියැදුරාව..




කොයිතරම් කිව්වත් දාහෙකොල කතාව බකුසු උන්නැහේ පිළිගත්තෙම නැතුවා වගේම ඇටම්පිටියේ යන්ත්‍රය හයිකරලා කොළඹ එනකනුත් අපේ කෑමරුවා මා එක්ක වචනයක්වත් කතාකරේ නැහැ. ඊට අමතරව ආපහු එන ගමන පුරාම පෝෂණ පාඩම නොකරම කන්න බොන්නත් අපේ රියදුරා වගබලාගත්ත. 

මාර්තුර්කාවට අනුව මේ කතාවේ වස්සෙකුත් ඉන්න ඕන නිසා ඔන්න වස්සා කව්ද කියල තෝරන්නයි දැන් හදන්නේ. වස්සා යනු,  බස්සාව හාවා කල ලොක්කාද, ලොක්කා ළඟ රියදුරුකම කල බස්සාද, ඒ දෙදෙනාටම මැදිවූ මමද කියල තෝරාගන්න එක කියවන ඔබලාට භාරයි.