Tuesday, February 19, 2019

ආදරණීය ඇසංකොටේ





ඇසංකොටේ ගැන බ්ලොග් පොස්ට් එකෙක් ලියන්න කාලෙක හිටං ඕනෑකමක් තිබ්බට ඒක කෙරුනේ නැහැ දවසින් දවස කල් ගියා කියමුකෝ. බ්ලොග් පොස්ට් එකේ මාර්තෘකාව දැක්ක ගමන් අන්දමන්ද වෙන බ්ලොග් පාඨකයින්ට ඇසංකොටේ කියන්නේ කව්ද කියල හරියටම දැනගන්න වෙන්නේ බ්ලොග් පෝස්ටුව පහලට කියවාගෙන ගියායින් පස්සේ තමයි. මොකද ඒක මුලින්ම ලියලා බ්ලොග් පාඨකයින්ගේ කුතුහලය කියන මෙව්වා එක කඩලා දාන්න ගොඩයා උත්සහා කරන්නේ නැහැ. 

ඇසංකොටේ ගොඩයට හමුවෙන්නේ දෙදහස් දොළහ අවුරුද්දේ. එදා හිටං අද වෙනකල්ම ඇසංකොටේට තියන ආදරේ අංශු මාත්‍රයක් අඩුවෙලා නැහැ කියමුකෝ. ආදරේ කියන්නේ පුදුමාකාර හැඟීමක් උනත් ඒ ආදරේ කාලාන්තරයක් තිස්සේ එක හා සමානව අඩුත් නැතිව වැඩිත් නැතුව පවත්වාගෙන යන්න හැම ප්‍රේමවන්තයාටම බැරි කාරණයක්. ඒත් ගොඩයා ඇසංකොටේට තියන ආදරේනම් දෙදහස් දොළහ අවුරුද්දේ අප්‍රියෙල් දහතුන් වෙනිදා ඉඳන් අද වෙනකල්ම එකහා සමානවම එහෙමමයි.  ඇසංකොටේ හමුවෙන්න කලින් ආදරවන්තියෝ සෑහෙන ප්‍රමාණයක් හිටියට ඇසංකොටේ තරම් ගොඩයාව බලාකියාගත්තු සහ ගොඩයාගෙන් අඩම්තේට්ටම් විදපු ආදර වන්තියෙක් මේ මිහිපිට නැති තරම්. ඒ හින්දම තමයි ඇසංකොටේ ගැන තනිකර බ්ලොග් පොස්ට් එකක්ම ලියන්න ඕන කියලා ගොඩයා තීරණය කරන්නේ. 

ගොඩයා ඉන්නේ ලංකාවේ නෙවෙයි කියල බ්ලොග් පාඨකයින් දන්නවනේ. ඉතින් ඕන ගොඩයා මේ රට ඇවිත් රස්සාවක් කරන්න ගත්ත කියමුකෝ. ඒ රස්සාවේ ගොඩයාට ලැබෙන්නේ සුදුසුකමට සරිලන වැටුපක් නෙවෙයි. ඉතින් ගොඩයා හොයලා බලනවා ගොඩයාට තියෙන සුදුසුකම් වලට සරිලන රැකියාවක්. ඔහොම රැකියාවක් සොයමින් ඉන්න අල්ලපනල්ලේ ගොඩයා අර්ධකාලීන රැකියාවක් විදිහට අවන්හලක සේවය කරනවා සුදුසුකමට සරිලන රැකියාවක් ලැබෙනතුරු. ලෝකේ දියුණුයි කියන රටවලට එන අපේ ලංකාවේ අයියලා මල්ලිලා තම තමුන්ගේ යාලු හිතමිත්‍රාදීන් එක්ක පසුකාලීනව කියන්නේ රටට පය ගහපු ගමන් තරු පහේ රස්සාවක් සෙට් වෙලා කිසිම අඩුවක් පාඩුවක් නැතුව සියල්ලම දහමෙන් සෙමෙන් විසඳුනා කියලා උනාට ඔය කියන අයියලාගේ මල්ලිලාගේ බහුතරයකගේ පටන්ගැනීම බොහොම සෝචනීයයි. ඒත් සමහරක් මිනිස්සු තමුන් සුදුසුකමට සරිලන්නේ නැති රැකියාවක නිරතවුනා කියල කියන්න අකමැතියි ස්ටේටස් කුඩුවෙන නිසා. හැබැයි ගොඩයා එහෙම නෑ.. ගොඩයා ලංකාව් ඉද්දි මල් හතට තරු පහේ ජීවිතයක් ගත කරත් රට ඇවිත් ජීවිතේ මහපොළොවේ තියාගත්තේ බින්දුවෙන්. රැකියාවක් නොකර සුදුසුකමට රැකියාවක් ලැබෙනකල් පිටකොටුවේ ස්ටේෂන් එක ගාව පිකට් කරන අය්යලා අක්කලා නංගිලා මල්ලිලා වගේ ගොඩයා කාලය කා දමන්න කැමති උනේ නැහැ. ඒ නිසා අහුවෙන ජොබ් එකේ එල්ලිලා දවසේ වියදම ශේප් කරගන්න ගමන් ගොඩයා උපරිම ට්‍රයි එක සුදුසුකමට ජොබක් සොයාගන්න. ඔන්න ඔය අතරේ තමා ගොඩයාට දෙවැනි රැකියාව සැට් වෙන්නේ. 

රැකියාව සුදුසුකම් වලට හරි වගේම වැටුපත් හොඳයි කියමුකෝ. ඒත් පොඩි පරහකට තිබ්බ කාරණය නම් ගොඩයාට ලැබෙන්නේ නයිට් ශිෆ්ට් එකක්. ලැබිච්ච අවස්ථාව අතාරිනත් බැරි නිසා ගොඩයා ජොබ් ඔෆර් එක ගන්නවා. ඒත් ප්‍රශනය නම් රෑ දෙකට ඕෆ් වෙලා ගෙදර එන්න විදිහක් නැතිකම. මොකද කියනවනම් ඔය කියන රැකියාව කරපු ප්‍රදේශයේ ඉඳන් ගොඩයා ඉන්න පලාතට එන අන්තිම බස් රථය එහෙන් පිටත් වෙන්නේ රෑ දහයට. එතනින් එහා පාරවල් ෆුල් හින්දුස්තාන්.. ආයේ වාහනයක් තියා  මිනිස් පුළුටක් නෑ රෑ දෙක වෙද්දී. ජොබ් එක අතාරින්නම බැරි නිසා ගොඩයා දැන් දහ අතේ කල්පනාව විකල්පයක් ගැන. ගොඩයා ඊට කලින් හිටපු පළාතේ නම් ෆුටාර් එකකින් ගමන් පහසුව සලසාගත්තත් අලුත් පළාතේ රෑ දෙකට ෆුටාර් එකෙන්  දිල්තෝ පාගල් හේ කරගෙන ගෙදර එන එක ටිකක් නෙවෙයි සෑහෙන්න අවදානම්. දන්න දන්නා එකාගේ අවවාදය නම් බුදු මල්ලියේ රෑ දෙකට නෙවෙයි රෑ දහයෙන් පස්සේ ඔය පාරවල්වල ෆුටාර් එකකින් යන එක බෙල්ල අතේ අරං පෙට්ටියක දිගෑදිලා ලංකාවට යන්න වෙන වැඩක් කියලයි. ගොඩයා ඔය කියන තරම් ඔව්වට භයක් නැතිවුනත් නොදන්නා රටක අවදානමක් අරං ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න බැරි නිසා ෆුටාර් විකල්පය හිතෙන අතෑරලා දාන්න ගොඩයාට සිද්ද වෙනවා. ඊළඟට තියන විකල්පය නම් කාර් කටුවක් ගන්න එක උනාට ඒකට හරහට හිටපු එකම කාරනාව නම් ගොඩයාට ඒ රටේ රියදුරු බලපත්‍රය නොමැතිකම. ඒක එහෙම වෙන්න හේතුව නම් රියදුරු බලපත්‍රය ගැනීමට ගොඩයාට අවශ්‍යතාවයක් එතෙක් ඇතිවී නොමැති වීම. ඊට ප්‍රධානම හේතුව නම් ගොඩයා ඊට කලින් හිටපු පළාතේ පැය විසි හතරේම බස් කොච්චි ධාවනය වීමත් මෝටර් රථයක් පුද්ගලික පාවිච්චියට තබාගෙන ඒ වෙනුවෙන් රක්ෂණ මුදල්, නඩත්තු, නැවතුම් ගාස්තු ගෙවීම අනවශ්‍ය කාරණයක් නිසාත් තමා. 

ඒ කියන්නේ දැන් ගොඩයාට ලැයිසමක් නෑ.. ලැයිසමක් ගන්න ගතවෙන කාලය බැලුවොත් අවම මාස හයකට එහා ගතවෙන කාලයක්. මාර්ග නීති සහ සඥ්ඥා සඳහා පවත්වන පරිඝනක පරීක්ෂණය සඳහා පෙනීසිටීමට ලැබෙන දිනය මාස තුනකින් එහා එකක් වීමත්, එම පරීක්ෂණය සමත්වීමෙන් පසුව මාර්ග පරීක්ෂණය සඳහා ලැබෙන දිනය මාස තුනත් හයත් අතර කාලයකින් එහා එකක් වීමත් නිසා ක්ෂණිකවම ලැයිසමක් ගැනීම හීනයක්. ඒ නිසා ගොඩයාට සිද්දවෙනවා වෙනත් විකල්පයක පිහිට පතන්න. ඔන්න ඔය අතරේ තමයි ගොඩයාට සිහිවෙන්නේ අන්තර්ජාතික රියදුරු බලපත්‍රයෙන් රථයක් පදවන්නට හැකියි කියන කතාව. ඉන් පස්සේ තමා ගොඩයා ගූගල් දෙවියන්ගෙන් අහල බලලා හොයාගන්නේ අන්තර්ජාතික රියදුරු බලපත්‍රයෙන් වසරක කාලයක් රථය පදවන්නට පුළුවන්ය කියන කාරනාව. ගොඩයා ලංකාවෙන් එද්දිත් අන්තර්ජාතික රියදුරු බලපත්‍රය රැගෙන ආවත් ඒක ඒ වෙද්දී කල් ඉකුත්වී තිබීම නිසා ගොඩයා හනික ලංකාවෙන් අන්තර්ජාතික රියදුරු බලපත්‍රය අලුත් කරලා කුරියර් එකේ ගෙන්නාගෙන ඊළඟට බහිනවා කාර් කටුවක් ගන්න වැඩේට. 

කාර් කටුවක් ගන්න වැඩේ ටිකක් විතර ඇඩ්වාන්ස් කියලා ගොඩයාට වැටහෙන්නේ කාර් ගන්න ගියාම තමා ඉතින්. අලුත්ම අලුත් බ්‍රෑන්ඩ් නිව් කාර් කටුවක් ගන්න ගොඩයා අතේ හල්ලි නෑ..

අපේ තඩියා ඒ කාලේ කොයියම් ගමනක් යන්න හැදුවත් ඩ්‍රින්ක් එකකට සෙට් වෙන්න හැදුවත් ඕක තමා උගේ කටේ තිබ්බ පලවෙනි වචන දෙක.. හල්ලි නෑ.. මොකද ඌ හම්බු කරපු සල්ලි ඔක්කොම වගේ වියදම් කරේ පෙම්බරිය හමුවෙන්න යන්න, ලියුං ලියන්න පිටු එකසිය අසූවේ පොත් ගන්න වගේ එව්වට තමා... ඔව් හත් ඉලව්වේ ඔව්... ඒ කාලේ අපේ තඩියා පෙම්බරියට යැව්වේ ලියුං නෙවෙයි ලියුං ලියපු පොත්.. ඒ එක ලියුමක් සාමාන්යෙන් පිටු එකසිය අසූවක් විතර දිගයි. තඩියාගේ එවකට පෙම්වතිය ඔය ලියුං කියවලා අපේ තඩියාටත් පිටු එකසිය අසූවක විතර ලියුං පොතක් එවනවා ඉතින්. බොලා අපේ තඩි එකාට අපහාස කරනවා නෙවෙයි ඔන්න.. ඌ ඒ කාලේ හිටං හෙන ප්‍රේමවන්තයා බොක්කෙන්ම.. තඩියා ඒ කාලේ බෝඩිමට ඇවිත් උදේට ලියුමක් ලියන්න ගත්තාම අපි රෑට කාලා නිදාගන්න යද්දිත් තඩියා ලියුම ලියල ඉවර නෑ.. ඔය ලියුං ලිවිල්ලේ තිබ්බ වාසිය නම් ගෙවල්වල වැඩිහිටියන් ලියුං හොයන්නේ අහුමුලුවල නිසා තඩියාගේ ලියුං ගෙදරට මාට්ටු උනේ නෑ කවදාවත්. මොකද කොයි වැඩිහිටියද හත් ඉලව්වේ හිතන්නේ ලියුං වෙනුවට එන්නේ පොත් කියල. ඉතින් පොතක් පෙරලලා බැලුවත් ඇතුලේ ලියුං නෑ.. ඒත් පෙරලලා බලන්නේ ලියුමම තමා කියල වැඩිහිටි පාර්ශවය දන්නේ නෑ.. කොහොමද තඩියාගේ මොලේ. ... හැක්..

තඩියා ගැන ලියන්න ගිහින් ගොඩයා කැලේ පැන්නා උනාට ගොඩයා ලංකාවේ ඉද්දි ඇතිවෙන්න වාහන පැදලා තියෙන නිසාත් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරගන්න ගොඩයාට ඕනකමකුත් නෑ. තුට්ටු දෙකට ගන්න ඕනෑතරම් වාහන තිබ්බත් එව්වයේ අයිති කාරයෝ ට්‍රයල් එකක් බලන්නවත් ගොඩයා අතට යතුර දෙන්නේ නෑ ගොඩයා අතේ ලැයිසමක් වෙනුවට තියෙන්නේ කාර්බෝර්ඩ් පොතක් නිසා. ඔන්න ඔය විදිහට කාර් කටුවක් ගන්න සිහිනයත් දවසින් දවස පස්සට ගියා කියමුකෝ.. ඔය අතරේ ගොඩයා අර්ධකාලීන රැකියාව කරපු අවන්හලේ එකට වැඩකරපු චන්දන ( අනවර්ථ නාමයක් ) කියන පොරගෙන් ගොඩයා විමසනවා කාර් කටුවක් ගන්න විදිහක් ගැන.

ඒ වෙද්දී ගොඩයා ලංකාවේ උදවිය යම්තාක් ප්‍රමාණයක් අඳුනාගෙන හිටියත් කාර් එකක් ගැනීම සම්භන්ධව ඇහුවාම උන්ගේ දෙන්නේ හෙන ලොරි ටෝක්. උන් කියන්නෙම ඔය ඉන්ටර්නැෂනල්  ලැයිසන්  වලින් වාහන පැදලා හිරේ විලංගුවේ වැටෙන්න එපා කියලයි. ඒ අතරේ කියන්නේ ලංකාවේ වගේ නෙවේ මෙහේ වාහන එලවන්න හෙන අමාරුයි ඔව්ව කරන්න ගිහින් අමාරුවේ වටෙන්න එපා කියන එක. ඒ කියන උදවියගේ ලංකාවේ ඉතිහාසය නිකමට වගේ ඇහුවාම උන් ලංකාවේදී රෝද හතරේ වාහනේක තියා ත්‍රීවීල් කටුවකවත්  රියදුරු ආසනේ වාඩිවෙච්ච නැති එවුන්. කොළඹ රටේ හැම අස්සක මුල්ලකයි ලංකාවේ වටෙමයි ඇතිවෙන්න වාහන එලවපු ගොඩයාට එව්වා ඇහෙද්දී නම් පස්සපැත්තෙනුත් හිනා. වාහන එළවිල්ලේ ගොඩයාට තිබ්බ ලොකුම අභියෝගය නම් රියදුරු ආසනය වම් පැත්තට මාරුවුනාම තියන වෙනස විතරමයි. ඔය ලොරි ටෝක් දෙන උදවියගෙන් බහුතරයක්ම,  මලාට දන්නා කියන පයින් යන එකෙකුට රයිඩ් එකක් ඔෆර් කරන්නේම නැති තරම්. ඔන්න ඔය වගේ වාතාවරණයක් යටතේ තමා ගොඩයා චන්දනයාගෙන් කාර් කටුවක් ගැන අහන්නේ.

චන්දන ලංකාවේ රැකියාව කරලා තියෙන්නේ සුප්‍රසිද්ධ අමාත්‍යංශයක. ඔය කියන අමාත්‍යංශයේ චන්දනයා කරපු රැකියාව ඒ තරම් ලොකු එකක් නොවුනත් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් වලදී චන්දනයා ටිකක් විතර ප්‍රසිද්ධ පොරක්. ඒ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් නිසාද කොහේ චන්දනයා දවසේ පැය විසිහතරේම ඉන්නේ මොකක්දෝ ලොකු අවිස්වාසෙකින්. කොටින්ම කියනවනම් චන්දනයා හෙවනල්ලවත් විශ්වාස කරපු එකෙක් නෙවෙයි. කොයිදේ ඇහුවත් චන්දනයා දැක්කේ ඒකෙ සෘණාත්මක පැත්ත මිසක් ධනාත්මක පැත්ත නෙවෙයි. චන්දනයා සහ ගොඩයා දෙදෙනාම රැකියාව අහවර වෙන්නේ රාත්‍රී දහයාමාරට වුනත් චන්දනයා කවදාවත් ගොඩයාව අඩුම තරමේ මගට ඇරලන්නවත් ඉදිරිපත් වුනේ නැහැ. චන්දන උන්දෑගේ ටොයෝටා කොරොල්ලාවේ නැගීලා ඉගිලෙන්නේ ගොඩයා දිහා නිකමටවත් හැරිලා බලන්නේ නැතුව. ගොඩයා රෑ දහයාමාරට ඕෆ් වෙලා රාත්‍රී එකොළහට එතනින් යන අන්තිම බසයෙන් තවත් බස් නැවතුමක් වෙත ගොහිං එතනිනුත් තවත් බස් රථයකට ගොඩ වෙලා නවාතැනට යද්දී හැමදාම රෑ දොළහමාරයි. ඒත් චන්දනයා යන පාරේ ගොඩයාව දෙවැනි බස් නැවතුමට ඇරලුවානම් ගොඩයා රාත්‍රී එකොළහයි කාල වෙද්දී ගෙදර. ඒත් චන්දනයා කවදාවත් ගොඩයාට ඒ උදව්ව කරේ නෑ. 

ගොඩයා ඒ කියන අවන්හලේ අර්ධකාලීන රැකියාවක් කලේ ගොඩයා ඉගෙනගත් වෘත්තියකට අදාලව රැකියාව ලැබෙනතුරු නිසා චන්දනයා ඇතුළු අනික් උන් ගොඩයා අවතක්සේරුවට ගැනීම ගැන ගොඩයාට ඒ තරම් තැකීමක් තිබුනේ නෑ.  සමහර වෙලාවල් වලදී දෙතුන් දෙනෙකුගේ වැඩ ගොඩයා තනියම ඇද්දත් එව්වා ගැන වැඩි තැකීමක් නොකළේ ඒ රැකියාව ගොඩයාගේ අවසන් නවාතැන නොවෙන නිසා. අවන්හල් සහ හෝටල් කරුමාන්තය ඇතුලේ චන්දනයා සෑහෙන්න පළපුරුදු පොරක් උනත් ඒ අවන්හල ඇතුලේ චන්දනයා ගොඩයාට වඩා ජූනියර්. ඒත් චන්දනයා නිතර ඉන්නේ පරිසරය ගැන බොහොම අවිස්වාසෙන් නිසා උන්නැහේට නියමිත වැඩ ඇරුනාම අල්පෙනෙත්තක වැඩක් උන්දෑ කරේ නැතිම තරම්. ගොඩයාට වඩා සීනියර් සේවක තැන ඕඩර්ස් දීමට පමණක් උපන් හපනෙකු වීමත් අවාසියට හිටියේ ගොඩයාටම තමා. ජීවත් වීමට රැකියාව කරන  සහ රැකියාව කිරීමට ජීවත්වෙන පුද්ගලයන් දෙපිරිස අතරේ ගොඩයා වනාහි ජීවත්වීම පිණිසම පමණක් රැකියාව කරන්නෙක් නිසා ඕනෑම අදාළ හෝ අදාළ නොවෙන වැඩක් කර දමා සංතෝසෙන් ගෙදර යාම ගොඩයාට සිම්පල්. ඒ නිසා චන්දනගේ ලේබර් ලෝ සහ අනික් එකාගේ හාර්ඩ් ටයිම් ගොදයාට මෙලෝ වගක් නෑ. ඒ වගේම රැකියා ස්ථානයේ චන්දනයා ගොඩයාට වඩා ජූනියර් උනත් ඉහ නිකට පැහුණ වයසක පොරක් වෙච්ච චන්දනයාට ගොඩයා කවදාවත් හාර්ඩ් ටයිම් දෙන්න උත්සහ කරෙත් නෑ. අවන්හල වසා ගෙදර යන අවසන් සේවකයින් දෙදෙනා වශයෙන් කරන්නට සෑහෙන්න වැඩ රාජකාරී තිබුනත් චන්දනයාට බර වැඩ නොදෙන්න ගොඩයා නිරන්තරයෙන් උත්සහ කළා. ඔය වගේ වාතාවරණයක් යටතේ ගොඩයාට සමීපම ශ්‍රී ලාංකිකයා වශයෙන් කාර් කටුවක් හොයාගන්නා මාර්ගය දැනගන්න ගොඩයා චන්දනයාගෙන් උපදෙස් පතනවා අලුතෙන් යෑමට යෙදෙන රැකියාවට යන්න එන්න කාර් කටුවක් ගැනීමේ අවශ්‍යතාවය ඉතාමත්ම දැඩි එකක් නිසා. ඔන්න ඒ දෙබස මෙහෙමයි..

චන්දන අය්යෙ.. උඹ දන්න කාර් එකක් නැද්ද මට ගන්න..

කාර් ගන්න කෝ උඹට ලයිසන්..

හරි බං.. උඹට ලයිසන් වැඩක් නෑනේ.. මට දන්න කියන තැනකින් කාර් එකක් ගණන් විදිහක් සෙට් කරහන්..

ඉතින් ඔය තියෙන්නේ බං ඔනතරන්.. ඔන්ලයින් ගිහින් සර්ච් කරලා බලහන්කො..

හරි බන්.. තියෙනව තමයි.. මට තියෙන්නේ ඉන්ටර්නැෂනල් ලැයිසන් එක නිසා මිනිස්සු ට්‍රයල් එකක් යන්න වාහනේ දෙන්න බයයි බන්..

හරි.. දැන් උඹ දන්නවද ඔය ඉන්ටර්නැෂනල් එකෙන් වාහනේ එලවන්න පුළුවන් කියල..

ඔව්.. හරියටම අවුරුද්දක් පුළුවන්.. 

කාර් එකක් තියෙනව.. හැබැයි ලංකාවේ එවුන්ට විකුනන්නේ නෑ..

ඒ මොකෝ බං ඒ.. ඇයි ලංකාවේ එවුන්ගේ සල්ලි නීත්‍යානුකුල සල්ලි නෙවෙයිද..

එහෙම නෙවේ.. ලංකාවේ දන්න කියන එවුන්ට ඔව්ව වික්කාම උන් මාසෙන් දෙකෙන් ඔව්ව කඩාගෙන අපේ පස්සේ එනව.. ඒ නිසා ලංකාවේ එවුන්ට විකුනන්නේ නෑ..

හරි බං.. මම උඹෙන් කාර් එක අරං ආයේ උඹ පස්සේ එන්නේ නෑ.. මට ඔය කාර් එකේ ගාන කියහන්කෝ..

ගාන දෙදාහයි... සතයක්වත් අඩු නෑ.. ඒත් උඹට දෙන්නේ නෑ.. උඹ ඕක කැඩුනොත් උඹ මං පස්සේ එනව..

නෑ බං නෑ.. උඹ හිතුවද මම මේ ජීවිතේට ගන්න පලවෙනි වාහනේ කියල.. යකෝ මම ලංකාවේ ඇතිවෙන්න වාහන පැදලා ආපු එකෙක්.. මං ඕක ඉල්ලන්නේ යන්න එන්න විදිහක් නැති නිසා මිසක් කසාද බඳින්න නෙවෙයි බන්.. ඕක මට දියන්..

බෑ බෑ බෑ.. උඹල ඔය කිව්වට ඔව්ව කැඩුනාම අපිට මල වදේ..

පිස්සුද බං චන්දන අයියේ.. වාහනේ දියන්.. උඹලෑ ගෙදරින් අරං යදිදී කැඩුනත් මම ආයේ උඹ පස්සේ එන්නේ නැහැ බන්. අනික උඹලාට ඔව්ව හදන්න කරන්න ලොකු සල්ලි ගියාට මට ඕක ගලවලා රෙපෙයාර් එකක් කරගන්න එක සිම්පල්..

හරි බලමු.. මම අපේ වයිෆ්ගෙන් අහල බලන්නම්.. වාහනේ අපේ වයිෆ් පැදපු කාර් එක.. ඊයේ පෙරේදා පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා දැන් හදලා ගෙදර ගෙනල්ල තියෙන්නේ. වයිෆ් ලංකාවේ කෙනෙකුට විකුනන්න කැමති උනොත් උඹට මම කෝල් එකක් දෙන්නම්..

ෂුවර් නේද..

හරි ෂුවර්..

ඔන්න ඔය වගේ තමයි ඒ සන්වාදය ඉවරවුනේ. චන්දනයා කොහොමෙන් කොහොමහරි ගොඩයාට දුරකථන ඇමතුමක් දෙනවා වාහනේ දෙන්න කැමතියි කියල.  ඔන්න ගොඩයා යනවා ඊට පහුවදා උදේක වාහනේ බලන්න..

අප්පට සිරි.. ගනුදෙනුව කතා කරාට වාහනේ ජාතියක් ජම්මයක්වත් ගොඩයා ඇහුවේ නැත්තේ ඒ වෙලාවේ ගොඩයාගේ අවශ්‍යතාවය රෝද හතරක් තියන වාහනයක් මිසක් බ්‍රෑන්ඩ් නේම් එකක් නොවෙන නිසා. ඒ නිසා ජාතිය පිටසක්වල එකක් උනත් ගොඩයා වාහනේ අනිවා ගන්නවා ගන්නවා ගන්නවාමයි. ඔන්න ගොඩයා චන්දනගේ ගෙදරට සැපත් උනා කියමුකෝ.. මෙන්න තියෙනවා නහය මුක්කන් වෙන්න හැප්පිච්ච හුන්ඩායි ඇසන්ට් කාර් එකක්. හැදුවා කිව්වට ඉස්සරහා ඇද ඇරලා නෑ. චන්දනගේ වයිපරේ කොහේ හරි ඉස්සරහින් ගිහිපු පින්වතෙකුගේ වාහනේක පස්සපැත්තෙන් ඇනපු තාලයක් තමා පෙනුමට තිබ්බේ. වාහනේ එක පැත්තක හෙඩ් ලයිට් එක අලුතෙන් දාල තියෙන විත්තිය පැහැදිලිව පේන්න තිබ්බ. හැප්පුනා උනත් පාරේ දුවන්න පුලුවනිනම් ගොඩයාට ජාතකේ අනවශ්‍ය නිසාත්, ගොඩයාගේ රියදුරු බලපත්‍රයේ ප්‍රශ්නය නිසා නොදන්නා කෙනෙක් වාහනයක් නොදෙන නිසාත් ඔය කියන කාර් කොටේ ගොඩයාට මසුරන් පහයි. ගොඩයාට ඕන කොහොම හරි සුන්දරී ගෙදර අරං යන්න. ඔන්න ගොඩයා චන්දනයාගෙන් යතුර හෙම ඉල්ලගෙන ගොඩවෙනවා රියදුරු අසුනට. ගොඩයා ජීවිතේ පලවෙනි වතාවට වම් පැත්තෙන් එළවන්නයි දැන් මේ හදන්නේ.. ඒ අතරේ චන්දනයා සුපුරුදු විදිහට ආයෙත් නාහෙන් අඬනවා.

උඹට ෂුවර් එකකට ඩ්‍රයිවින් පුළුවන් නේද..

චන්දන්යෝ.. උඹ මගෙන් කුණුහරුප නාහ නැගහන් ට්‍රයල් එකක් යන්න..

මොන ට්‍රයල්ද දෙයියෝ.. චන්දනයා ඩ්‍රයිවින් සීට් එකේ එල්ලිලා.. ඔන්න ගොඩයාට මල පැන්න..

චන්දනයෝ.. උඹ ඉස්සෙල්ලම වාහනයක් එලෙව්වේ කොයි අවුරුද්දේද..

දෙදාස්  හතරේ..

එතකොට උඹ ලයිසන් ගත්තේ කොයි අවුරුද්දේද..

දෙදාස් හතරේ තමා බන්..

ඒ කියන්නේ මේ රටට ඇවිත්..

නැතුව ඉතින්..

එහෙනං XXX උඹ දැනගනින් මං ඉස්සෙල්ලම වාහනක්  එලවද්දී තෝ වාහනේක ඩ්‍රයිවින් සීට් එකක වාඩි වෙලාවත් නෑ.. උඹ දැන් තීරණය කරහන් මම ට්‍රයල් එකක් බලන්න යනකොට උඹ එනවද නැද්ද කියන එක විතරක්.. 

ගොඩයා එහෙම කියාගෙන කාර් එක රිවස් එකට දැම්ම.. ඔන්න චන්දනයා කාර් එකේ බොනට් එක උඩින් පැනල ඇවිත් පැසෙන්ජර් සීට් එකේ වාඩිවුනා.. මොකද එහෙම නොකරොත් ඒ වෙද්දී ස්ටාර්ට් කරලා රිවස් එකට දාල තිබ්බ වාහනේ චන්දනයා එතන දාල යන විත්තිය උන්නැහේට තේරුනා.. දැන් කාර් කොටේ චන්දනගේ නෙබර්හුඩ් එකෙන් එලියට දැම්ම කියමුකෝ.. මෙන්න මූ ආයෙත් නාහෙන් අඬනව..

හරෝපන්.. දැන් ඇති.. හරෝපන් ගෙදර යන්න.. ඔය ඇති.. ට්‍රයල් බලන්න මීටර් සීයක් ගියාම ඇති..

ඒ මොකෝ බන්..

උඹේ ඔය කාර්ඩ්බෝර්ඩ් ලයිසන් එකෙන් මේක එළවලා පොලිසියට අහුවුනොත් මාත් ගස්.. උඹ මේක සල්ලි දීල අරං ගිහින් ඕන මගුලක් කරගනිං.. දැන් හරෝපත් ඔතනින් ආපහු..

ඔන්න ඔය වගේ දාහක් දුක් අදෝනා අහං ඉන්න බැරි තැනම ගොඩයා කාර් කටුව ආපහු හරෝගෙන එනවා චන්දනයාගේ ගෙදරට. ට්‍රයල් බලන්න තියා කාර් එක පාරේ හරියට යන්න පුලුවන්ද කියල හොයාගන්නවත් දුරක් චන්දනයා ගොඩයාට යන්න දුන්නේ නැහැ කියමුකෝ. ඔන්න ඊළඟ සංවාදය..

චන්දනයෝ.. උඹලා මේක හප්පුනාට හරියට හදල නැහැනේ...

පී......ස්සුද...බං.. ඔය තියෙන්නේ ෂෝක් එකට..

කෝ උඹල ලයිට් එක අලුතෙන් දාලා විතරනේ.. ඉස්සරහ ඇද ඇරලා නැහැනේ..

උඹට ඔකේ ඇද පෙනුනට මටනම් ඔකේ ඇදයක් පෙන්නේ නෑ.. ඕකනේ මම කිව්වේ ලංකාවේ එවුන්ට මේක දෙන්න බෑ කියල.. 

හරි හරි බං.. මේකේ ඉස්සරහ හදාගන්නත් ඕන නිසා කීයක් හරි අඩු කරලා ඕක දියන් මට..

මම කිව්වනේ.. සතපහක් අඩු නෑ.. ඕනෙනම් අරං පලයන්..නැත්තම් නිකා හිටහන්..

ඔන්න ඔහොම වදෙන් පොරෙන් තමා  චන්දනයාට මුදල් දීල ආදරණීය ඇසංකොටේට අයිති උප්පැන්නේ අරං ඇවිත් රක්ෂණ ආවරණයක් හදාගෙන ආණ්ඩුවේ කන්තෝරුවෙන් නොම්මර තහඩුව ගොඩයා විසින් ලබාගන්නේ. ඊට දවස් දෙකකට පස්සේ තමයි නීත්‍යානුකූලව විවාහ වෙච්චි   ආදරණීය ඇසංකොටේ  ගොඩයා එක්ක ආදරේ බෙදාගන්න හිතාගෙන හාහාපුරා කියල හනිමුන් යන්න  ගොඩයාගේ ගෙදර එන්නේ.

ගොඩයා ආදරණීය ඇසංකොටේ ස්ටාර්ට් කරගෙන චන්දනයාගේ ගෙදරින් පිටත් වෙලා හැතැක්මක් එන්න ලැබුනේ නැහැ කියහන්කෝ ඇසංකොටේ ගොඩයාට CEL කියන ලාම්පුව, ඒ කිව්වේ චෙක් එන්ජින් ලයිට් එක පත්තු කරලා පෙන්වනවා ඔහේ මාව හනිමුන් යන්න අරං ගියාට ඔහේ හිතන තරම් සුපිරිසිදු චරිතයක් මා ගාව නෑ.. හදවත ටිකක් ලෙඩ සහිතයි කියන එක. ඒ කියන්නේ චන්දනයා උපරිමේටම ගොඩයාව අන්දා ඇතිබව විතරක් ගොඩයාට සක්සුදක් දේ පැහැදිලි වෙනව. 

කාර් කොටේ කුමක් නමුත් ලෙඩක් තියෙන වග චෙක් එන්ජින් ලයිට් එකෙන් පෙන්නුම් කලත් නැවත චන්දනයා හොයාගෙන යාම තේරුමක් නැති කාර්යක් වෙන්නේ ගොඩයාට එන්ජිම ස්ටාර්ට් වෙන රෝද හතරක අවශ්‍යතාවය චන්දනයාගේ වංචාව අභිභවා යන්නක් නිසා. ඒ වගේම පාවිච්චි කරන ලද  වාගනයක්  මිලදී ගත් පසුව මතුවෙන රෝගාභාධ වෙනුවෙන් පරණ අයිතිකරුවන් සොයා යාම පටන් ගත්තොත් පරණ වාහන ගන්න එවුන්ට වෙන්නේ පරණ අයිතිකාරයාගේ ගෙදර පදිංචි වෙන්න නිසා ගොඩයා සියල්ල විඳ දරාගැනීමට බලාපොරොත්තුවෙන් ඇසං කොටේ පැදගෙන ගෙදර එනවා. 

එදා පටන් 2018 දෙසැම්බර් මාසේ වෙනකල් ඇසං කොටේ ගොඩයාට දීපු උදව් ලියන්න වචන නෑ.  ඒ අතරේ  ගොඩයාට තමුගේ ෆීල්ඩ් එකට අදාළ රැකියාව ලැබුන නිසා රැකියා කල ස්ථානයෙන් අලුත්ම අලුත් සීරෝ මයිලේජ් වෑන් රථයකුත් ලැබුනා. ඉන් අනතුරුව ගොඩයා අලුත්ම අලුත් ටෝයෝටාවක් ගත්ත හයිවේ වල දුර යන ගමන් වලට ඇසං කොටේ සැර මදි හින්ද. දෙදහස් දොළහ අවුරුද්දේ අප්‍රියෙල් දහතුන දා ඉඳන් දෙදහස් දහසය වගේ වෙනකල් ගොඩයාට අප්‍රමාන මෙහෙයක් ඉටුකරපු ඇසං කොටේ දෙදහස් දහසය අවුරුද්දේ ඉඳන් දෙදහස් දහ අට අවුරුද්දේ නොවැම්බර් මාසය වෙනකල්ම උන්නේ විවේක සුවයෙන්. ඒකට හේතුව උනේ ඒ වෙද්දී ගොඩයා සතුව වෙනත් රථ දෙකක් තිබීම. චන්දනගේ ගෙදරින් නික්මිලා හැතැක්ම භාගයක් එද්දී පත්තුවුන චෙක් එන්ජින් ලයිට් එක කිසිදාක නැවත නොපෙනී ගියේ නෑ. ගොඩයා මෝටර් රථ කාර්මික විද්‍යාව හදාරා තිබෙන නිසා ඔය කියන ලයිට් එක නිවා දමන්න ගොඩයාටත් වැඩි උවමනාවක් තිබ්බේ නෑ. වඩුවාගේ ගෙදර පුටුව නෑ  වගේම කාර්මික ක්ෂේස්ත්‍රයේ සිටිනා අයවලුන්ගේ යන්ත්‍ර සූත්‍රවල ආභාධ යන්ත්‍රය නවතිනතෙක්ම අලුත්වැඩියා නොකෙරෙන ගනයේ එව්වා නිසා ඔය කියන ලයිට් එක පත්තු උනා කියන එක ගොඩයාට වගේ වගක් තිබ්බේ නෑ. වසර දෙකක්ම භාවිතයට නොගෙන ඔහේ ගාල් කර තිබුනාවූ ඇසං කොටේ තවදුරටත් ගොඩයාට අවශ්‍ය නොවුනත් ගොඩයාගේ හිත හදාගෙන ඇසං කොටේ විකුණා දමන්න ගොඩයාට පුළුවන්කමක් තිබුනේ නෑ. ඒ නිසා ඇසං කොටේ හොඳින් බලාගන්න පුළුවන් කෙනෙකුට දීල දාන්න ගොඩයා හිතනවා. ඔන්න ඔය අතරේ තමා ගොඩයාගේ මේ රටේ මිත්‍රයෙක් බෙන්ස් රථයක් අරගෙන අමාරුවේ වැටෙන්නේ..

මොකෝ බෙන්ස් එකේ තත්වේ..

කප්පරක් වියදම් කරා මල්ලි.. ආයේ චෙක් එංජින් එක පත්තු වෙනව ..

හදන්න බැරිද..

හදල වැඩක් නෑ මල්ලි.. දැනට ලංකාවේ සල්ලි වලින් ලක්ස පහකට වඩා වියදම් කරා.. ඒත් ලෙඩ..

එහෙනං ඕක දීල දාල ඇසන්ට් එක අරන් යන්න ඇවිත්..

ඇත්තමද..

හ්ම්...

කීයද ගාන..

සල්ලි එපා.. අරන් ගිහින් ට්‍රාන්සර් කරගෙන පාවිච්චි කරන්න... හැබැයි කාටවත් විකුනන්න එපා.. 

ෂුවර් නේද..

ඔව් බන් ඔව්.. 

එහෙනම් මං බෙන්ස් එක දෙන්නද ඉල්ලන ගානකට..

ඕන එකක්.. කෝල් එකක් දීල එන්නකෝ.. මම කාර් එක ක්ලීන් කරලා තියන්නම්..

ඔන්න ඔය සංවාදයෙන් පසුව දවසක හෙවත් දෙදහස් දහ අටේ නොවැම්බර් විසි එක දා ඇසං කොටේ අලුත් අයිතිකාරයා එක්ක පිටත්ව යනවා ගොඩයාගෙන් නීත්යානුකුලවම සෙපරේට් වෙලා. අද වෙද්දී ඇසං කොටේ වසර කීපයක විවේකය නිමවලා නැවත අලුත් ස්වාමියාට සේවය සලනවා. ඒ දකිද්දී ගොඩයාට හිතට දැනෙන සතුට නිම්හිම් නෑ. 


ගොඩයා ඊයේ පෙර්දාවක සංගීත සංදර්ශනයක ප්ලේ කරා කියමුකෝ. වේදිකාවෙන් පහල දඟර නැටුම් දාන එවුන් අතරේ දැකල පුරුදු මූණක් දැකල ගොඩයා පොඩ්ඩක් ඇහැ දැම්ම. බැලුවාම ගොඩයාට ඇහැ වහල ඇසං කොටේ විකුනපු චන්දනයා මද පමණට  දෙක තුනක් දාගෙන දඟර නැටුම් දානවා සාරුක් ඛාන් පරාදයි. ගොඩයා වැඩේ අහවර වෙලා වේදිකාවෙන් බැහැල ගිහින් චන්දනට හලෝ කියන්න උත්සහ කරත් සුපුරුදු පරිදි උත්සාහය අසාර්ථක උනා. ඇසං කොටේ ගත්තු දවසේ හිටං චන්දනයා හමුවෙන හැම වතාවකම කතාකරන්න රැඳෙන්නේ තත්පර දෙකතුනයි. කාර් එක සම්භන්ධයෙන් ගොඩයා අද වෙනකල් චන්දනට වචනයක්වත් කියලා නැති උනාට චන්දනයා උන්නැහේ කරපු දේ දන්නා නිසාදෝ කොහේ අදටත් ගොඩයාට මූණ දෙන්නේ නෑ .  ලෙඩේ වහලා දුන්නා උනත් චන්දනයාට අදටත් ගොඩයා දොසක් කියන්නේ නෑ වෙලාවේ හැටියට කරේ ලොකු උදව්වක් නිසා.


යක්කු ගස්යන වෙලාවට බස් හෝල්ට් වල රස්තියාදු වෙච්ච එක්තරා කාලෙක, වාහන තියෙන එවුන් උන්ගේ වාහන වල උජාරුව පෙන්නලා ගොඩයාව මහමග දමා ගිය එක්තරා කාලෙක, හිම වැටෙන සීතලේ හැතැක්ම ගණන් පයින් කොටපු කාලෙක,  ග්‍රොසරි ගිහිං පිස්සෝ පිහාට්ටෝ වගේ අතින් කටිං බඩු  මලු උස්සං බස් දෙකතුනේ එල්ලිලා ගෙදර ආපු කාලෙක, ෆේක් යාළුකම් වලින් පරිපූර්ණ මිනිස්සු එක්ක කාත් කව්රුවත් නැති රටක තනි වෙච්ච කාලෙක ඒ යකඩ ගොඩ හිතට කොයිතරං හයියක් උනාද කියල දැනෙද්දී අදටත්  ගොඩයාගේ ඇහැට කඳුලක් උනනවා. යකඩ ගොඩක් වෙනුවෙන් එහෙම සංවේදී වෙන එක විහිළුවක්  වගේ උනත් ඒ සිදුවීම් ඒ හිත් අමාරු මතක් වෙද්දී ගොඩයාට තාමත් ඇසං කොටේ ඉඹින්න හිතෙනව. රට රටවල ගිහින් සක්සස් වෙච්ච මිනිස්සු හැමෝටම කියන්න කතාවක් තියෙනවා. ඒත් බහුතරක් මිනිස්සු කියන්නේ සැප ලයිෆ් එක ගැන මිසක් ඊට කලින් දුක් විඳපු කෑල්ල නෙවෙයි. ගොඩයාගේ රට ලයිෆ් එකේ ඇසං කොටේ කියන්නේ වසර දෙකක දුක්ඛිත කාලයක අවසානය සනිටුහන් කරපු සන්ධිස්ථානයක්. ඒ නිසා ගොඩයාගේ ජීවිතේ ඇසං කොටේ කියන්නේ අමතක කරන්න බැරි යකඩ ගොඩක්.  කොයිතරම් නවීන වාහන පැද්දත් ගොඩයා ජීවත්ව ඉන්නාතුරු ඇසං කොටේ ගොඩයාගේ ඇස් මානයෙන් එහාට යන එක්ක නෑ. අලුත් අයිතිකාරයාටත් එපා වෙච්චි දවසක ආයෙත් ඇසං කොටේ ගොඩයාලඟට එන එක අනිවාර්යයි. ලංකාවේ ඉද්දිත්, පිටරට ඉද්දිත් ගොඩයාට අයිති වෙලා තිබ්බ වාහන වලින් මුදල්මය වටිනාකම අඩුම වාහනේ ඇසං කොටේ උනාට ඉමෝෂනල් වැලිව් එකෙන් ඇසං කොටේට ගහන්න වාහනයක් ගොඩයාට තිබිලත් නෑ තියෙන්නෙත් නෑ.... යකඩගොඩක් වෙනුවෙන් සංවේදී උනා වැඩිද මන්ද...





Monday, February 11, 2019

දත සුද්දා සහ වෙඩින් පාර්ටි..






බ්ලොග් ලිවිල්ල කාලෙකට අල වීමට හේතු දක්වන්න ගියොත් ඒ හේතු දැක්වීම් දිග වැඩි වෙනවා. එහෙම උනාම නිදහසට කරුණු ලියවිල්ල අවසාන වෙන්නත් කලින් බ්ලොග් ලිපිය ලියන එක කම්මැලි කමෙන් අවසාන වෙනවා. ආන් එහෙම ලියන්න කියල ගතපු බ්ලොග් පොස්ට් කීපයක්ම තියෙනවා නිදහසට කරුණු දැක්වීම අතරමග නැවතිලා. ඒ නිසා මේ වතාවේ උත්සාහය කෙලින්ම බ්ලොග් පොස්ට් එක ලියන්න පුලුවනිද බලන්න.

මේ ලියන්න යන දත සුද්දා ගොඩයාට පළමු වරට හමුවෙන්නේ ගොඩයා පහ වසරේ ඉද්දි කියලයි ගොඩයාගේ මතකය. දතසුද්දාගේ සම්පූරන් නම කිව්වොත් දත සුද්දා ලස්සන ලංකාව. නම කිව්වට නමම නොවුනට දත සුද්දගේ නමේ තේරුම ඕන් ඔය ආකාරයෙන් තමා. මේ බ්ලොග් පෝස්ටුව දත සුද්දා  කියෙව්වොත් කුමනාකාරයෙන් ප්‍රතිචාර දක්වයිද කියලා ගොඩයා නොදන්නාව උනත් දත සුද්දා එහෙම වැඩිය කේන්ති යන පුද්ගලයෙක් නොවෙනා කූල් ගනයේ පුද්ගලයෙක් නිසා වැඩිය අවුලක් වෙන එකක් නෑ කියලයි ගොඩයාගේ කල්පනාව. 

දත සුද්දා ගොඩයාට හමුවෙන්නේ අහම්බෙන් නෙවෙයි. ඒක ඇවිල්ල රාජකාරී හමුවීමක් කියලා හැඳින්වුවොත් තමා නිවැරදි. මොකද කියනවනම් දත සුද්දාගේ මෑණියන් සහ ගොඩයාගේ මෑණියන් රැකියා කලේ එකම කන්තෝරුවේ. ඒ නිසාවෙන් දත සුද්දා සහ ගොඩයාගේ සහ සම්භන්ධය ගොඩ නැගෙන්නේ ඕන් ඔයාකාරයෙන් රාජකාරී ස්භාවයෙන්. ගොඩයා වගේම දත සුද්දත් පහ වසරට වෙනකල් පාසල් ගියේ දේවානන්ද විද්‍යාලයට උනත්, එකම පාසලේ එකම කැලෑසියේ උනත්, ඔය කියන මුල් අවුරුදු පහ ඇතුලේ ගොඩයාට දත සුද්දා නම් කවදාවත් හමුවෙලා නෑ. ඒත් පාසල් අවසන් වෙලා මෑණියන්ගේ රැකියාව අවසන් වනතුරු ගොඩයා රැඳී සිටින්නේ ( අමාරුවෙන් රඳවා සිටින්නේ ) මෑණියන්ගේ කන්තෝරුවේ නිසාවෙන් දත සුද්දාටත් සතියේ බොහොමයක් දවස් වලට එම දඬුවමම ලැබී තිබුනා. ආන් එහෙම තමා දත සුද්දා සහ ගොඩයා අතර මිත්‍රකම හට ගැනුනේ.  

ගොඩයාට වඩා ලකුණු කිහිපයක් හරි ගැනීමේ උවමනාව දත සුද්දාගේ මෑණියන්ටද දත සුද්දාට වඩා ලකුණු කිහිපයක් ගැනීමේ උවමනාව ගොඩයාගේ මෑණියන්ටද හීනියට තිබුනා උනත් ගොඩයා සහ දත සුද්දා අතර එවන් තරඟයක් තිබුනේ නෑ. ලකුණු යනු ලැබෙන පමණට භාරගැනීමේ නිහතමානි ගුණය දෙමාපියන් අභිභවා තිබුනා වූ නිසා එකිනෙකා අතර තරඟ කිරීමේ උවමනාවක් ගොඩයා ටත් දත සුද්දාටත් කොහෙත්ම තිබුනේ නෑ. ඒත් තරඟයක් දෙන විදිහට රඟපාන්න සිද්දවුනා. ඒකට හේතුව උනේ දත සුද්දාටත් ගොඩයාටත් මහාපොදු සාධකය වෙච්චි ගෑනු දැරිවියෙක් ඒ  කැලෑසියේම අකුරු කිරීම වෙච්චි.

දැන් ඉතින් මේක කියවන එවුන් කයි කතාන්දර හදයි ගොඩයා සහ දත සුද්දා එකම කෑල්ලකට ලයින් දාල කියල. නැහැ බොලව් නැහැ.. ඒ කිව්වා වූ දැරිවිගේ මෑණියනුත් දත සුද්දාගේත්, ගොඩයාගේත් මෑණියන් රාජකාරි කල කන්තෝරුවේ රාජකාරි කරපු තවත් සමකාලීන රාජ්‍ය සේවිකාවක්. ඉතින් කියහන්කෝ ගැලවීමක් තියේවිද කියල. අර කිව්ව තුන්වෙනි ඇන්ටිය තනිකරම උන්නේ අජ්ජහපන ගේම අතට අරගෙන කිව්වොත් තමා නිවැරදි. කිව්වට ලජ්ජා නෑ ඒ ඇන්ටිගේ දෝනි හැම වතාවෙම ගොඩයාටත් දත සුද්දාටත් වඩා සෑහෙන ඉදිරියෙන් ලකුණු ගත්තු බ්‍රයිට් කේස් පොජ්ජක්. ඉතින් කියහල්ලකෝ කොහොමද කොම්පීට් කොරන්නේ කියල. එහෙම කියල අපි පරදියිද.. නෑනේ.. නෑනේ .. දත සුද්දා සහ ගොඩයා ලෙසටම අජ්ජහපන ගේම ඔලිම්පික් සයිස් එකෙන් කියමුකෝ. රඟපාන්න ඉතින් අපිට අමුතුවෙන් කියාදෙන්න ඕන කියලද.. දත සුද්දත් ලෙසටම රඟපානකොට ගොඩයත් ලෙසටම රඟපෑම දෙවැනි නෑ . අර කිව්වා තුවෙනි ආන්ටිය විෂයන්ෂ  අටටම ටියුෂන් හොයාගන්න තිබ්බ සහජ දක්ෂතාවය නිසාදෝ දත සුද්දාටත් ගොඩයාටත් සාපෙළ අවසන් වනතුරුම ටියුෂන් මාරයාගෙන් බේරෙන්න කරේමයක් හොයාගන්න බැරිවුනා. බ්‍රයිට් කේස් දැරිවිගේ මෑණියන් ටියුෂන් පන්තියක් හොයාගත්තාද ගොඩයා සහ දත සුද්දා මානව අයිතිවාසකම් රහිත ආකාරයෙන්ම ඒ ටියුෂන් පන්ති වලට ගාල් කෙරුනා. ගොඩයා සහ දත සුද්දා අතර කිසිදු තරඟයක් නැති වුනත් ලැබෙනා ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු විස්සක් තිහක් එකතු කර ගෙදර පොර වීමේ අභාග්‍යය අහිමිවුණේ අර කිව්ව බ්‍රයිට් කේස් දැරිවි රාජතාන්ත්‍රික මට්ටමෙන් අප ලබනා ලකුණු මාධ්‍ය වෙත නිකුත් කිරීම සිදුකල නිසා. ඒ වගේම කම්මැලි හිතුනු දවසක පන්තියක් කට් කිරීමේ වාසනාව අහිමිවුනෙත් ඔය කිව්ව දැරිවි සහ එයැයිගේ මෑණියන් නිසා. ගොඩයා සහ දත සුද්දා ක්ලාස් කට් කරන්න කතා බහක් දැම්මද එව්වා ලත් තැනම ලොප් වෙන්නේ අර කිව්ව දැරිවිගේ පියාණන්ගේ මෝටර් සයිකලේ ටියුෂන් පන්තිය ළඟ නවත්වන දුක්බර දර්ශනය දුටු සැනින්. 

දත සුද්දා ගැන සුවිශේෂ කරුණු කාරනා බොහොමයක් තිබුනත් බ්ලොග් ලිපිය දිග වෙන්න ඉඩ තියෙන නිසා එයින් කීපයක් මෙහිලා ලියන්නයි කල්පනාව. පළමු කාරණේ  අපේ පින්නදූවේ රවීගේ වෙඩිම. වෙඩිම කිව්වට ඇට්ටෝම්එක.. රවීගේ වෙඩිමට අපිට ආරාධනා ලැබිල තිබ්බේ රාත්‍රී සාදය සඳහා. ඕන් මේසයක් වටේ වටවෙලා එකිනෙකා ලිඳේ ඔබමින් ඉන්නා අල්ලපනල්ලේ දත සුද්ද ක්ෂණිකයෙන් නැගී හිටිනවා.

වරෙන් පොඩ්ඩක් පාරට යන්න..

ඒ ආරාධනාව ගොඩයට.. හැබැයි ස්වරූපයෙන් දත සුද්දාට මොකක් නමුත් හදිසියක්.. ඕන් ගොඩයත් දත සුද්දා සමග පාරට මන්ගච්චන්ව. මෙන්න බොලේ දත සුද්දා ගොඩයාව ඇදගෙන පාර දිගේ කන්ද පහලට දුහන්න පටාන් ගන්නවා විදුලි වේගෙන්. ගොඩයාට ඔය දිවිලි පනිලි වැඩිය බෑ. තිබ්බ තැන ඔහේ මාසයක් හමාරක් ඉන්න පුළුවන් කම තිබ්බත් දිවිලි පැනිලි කියන්නේ ගොඩයා එතරම් කැමති මෙව්වා ජාතියක් නෙවෙයි. දත සුද්ද දක්ෂ පැසිපන්දු ක්‍රීඩකයා නිසා උන්නැහේට දිවිලි සිම්පල්.. දත සුද්දාට මොකක්ම නමුත් ශාරීරික අවශ්‍යතාවයක් වෙන්ටෑ කියල හිතාගෙන ගොඩයත් දිව බිම ගෑවෙන තරම් හති දාගෙන දත සුද්දා පස්සෙන් දුවනවා. ඇයි හත් ඉලව්වේ ශාරීරික අවශ්‍යතාවයක් උනත් වෙඩිම තිබ්බ රවීලගේ ගෙදර ඒ ඒ දේවල් වලට පහසුකම් ඕනෑ පදම්. ඉතින් මක්කටෙයි මේ කළුවරේ සුසන්තිකාටත් වඩා වේගෙන් පාරදිගේ දුවන්නේ. දුවන ගමන් ගොඩයා පුළුවන් ආකාරයෙන් දත සුද්දාට කියනව ඔය ඇති හත් ඉලව්වේ ඔය පඳුරකට අල්ලහන් කියල. මොන.. ඌ අහයි එව්වා.. ඕන් කොහොම හරි රවීගේ වෙඩිමේ සද්දේ නෑහෙන දුරකටම කිව්වොත් මීටර් දෙතුන් සීයක් දුවල අහවර වෙලා ඔන්න දත සුද්දා නැවතිපි. 

දැන්වත් ඔය පඳුරකට අල්ලලා යමන් බූරුවෝ... උඹ එක්ක රේස් දුවල දිව ගිලෙන්න එනවා.. ඔච්චර දුර දුවන්න ඕනෙද ඕකට..

ශූ....ශූ....ශූ...

යකෝ ගොඩය හිතුවෙම සර්පයෙක්වත් පිඹිනවද කියල කළුවරේ.. බැලින්නම් දත සුද්දා කට හරහට ඇඟිල්ල තියල සද්ද නොකර ඉන්න කියල කියන්නේ ගොඩයට.. ගොඩයා ටිකක් භයවුනත් එක්ක.. ඇයි යකඩෝ පොඩි කාලේ ඉඳන් දන්නා එකා උනත් මේ කළුවර පාලු තැනකට ගොඩයාව අරං ඇවිත් ශූ ශූ කිව්වාම මොනාද අප්පා නොහිතෙන්නේ.. ගොඩයා කෝකටත් කියල ලෑස්තිවුනේ නම්බුව බේරාගෙන ආපහු දුවන්න.. කව්ද අප්පේ දන්නේ මූ කොහෙන් හරි නරක පුරුද්දක්වත් පුරුදු වෙලාද කියල.. බැලින්නම් එහෙම එකක් නෑ.. දත සුද්දා ෆෝන් එක කනේ තියාගෙන කෝල් එකක් ගන්න තනනවා.. 

හෙලෝ.. අනේ බබා මට කෝල් එක මිස් උනානේ.. මම බාත්රූම් එකේ හිටියේ..

@$##&*$%$%#&$%&&$%%#&*(#%%@&*#&^^# ( එහා පැත්තෙන් කතා කරන කෙනා කියන දේ ගොඩයාට ඇහුනේ නැති උනාට වනන්නේ දත සුද්දාගේ ගුණ ගායනාවක්  කියන එක ගැන සැකයක් නෑ.. මොකද එව්වා අහං ඉද්දි දත සුද්දගේ මූණ කජු ලෙල්ල වගේ )

නෑ බබා නෑ... අද බස් එක කෙටුවනේ කෙටිල්ලක්.. කොළඹ ඉඳන් අම්බලන්ගොඩටම හිටගෙන අනේ.. හරිම අමාරුයි..

#$%@^&*(*&^%$#$%^&*(*&^$$@@@#$$!@#$%^ 

නෑ බබා නෑ.. ඉතින් ඕකනේ කියන්නේ.. ඔයාට තේරෙන්නේ නෑ.. වෙනදට පැය දෙකහමාරෙන් එනවා උනාට අද පැය තුනහමාරක් ගියා.. ඒ අතරේ මගේ ෆෝන් එක ඔෆ්වෙලා දන්නෙම නෑ බැටරි බැහැල...

)(*&^%$#@!@$%^&^*^*%&^$^%#%$@#@#%^%&*)(^&^(*)^*%&$^%#%@#@%

නෑ බබා නෑ... මම ආපු ගමන් ෆෝන් එක චාර්ජ් එකට ගහල බාත්රූම් එකට ගියා.. ඔලුව පැලෙන්න වගේ කැක්කුමයි.. මෙහෙමම නිදාගන්න කියල හැදුවේ...

(*&^%$##$%^&&^%&^$%^%$@#$#@$%$&^^(*&*^&^&^%^$

ආ..... ඔයා ගෙදර ෆෝන් එකට ගත්තද... මේ එහාගෙදර මිනිහා කොස් ගහක් කපන්න ගිහින් ටෙලිෆෝන් වයර් එක්කම ගහ බිමදාලානේ... ටෙලිෆෝන් හදන්නේ හෙටලු...

#%^&*(&%$#%^&^(*&(^$^$#%$

නෑ බබා කරන්ට් ලයින් එක යන්නේ පාරේ එහා පැත්තේ නිසා වාසනාවට ලයිට් තියෙනව..

*&^%%##@#$%^&)*&(%*&^$#%$%$^&&^*%&#%$#@$%^

බෑ බබා දැන් කන්න බෑ... මගේ ඔලුව පැලෙන්න වගේ කැක්කුමයි... මම නිදාගන්නවා.. 

#$%$^%&^$%#^

ඔව් බබා.. මම පෙනඩෝල් දෙකක් බිව්වා..

$%^&*(*&&^$%$%^$^&^*&#

හා බබා එහෙනම් ගුඩ් නයිට්.. තෙරුවන් සරණයි..

$%&^%&^$%^

ඔන්න ඔහොමයි දත සුද්දගේ වෙන්ඩ වයිෆ්බබා නැළවිල්ල.. ගොඩයා දත සුද්දාගෙන් හරස් ප්‍රශ්න ඇහුවේ නැති උනාට ගොඩයා උපකල්පනය කළා දත සුද්ද වෙඩිමට එන්න කලින් ගෙදර ලෑන්ඩ් ෆෝන් එකටත් වැඩේ දීලයි ඇවිත් තියෙන්නේ කියන එක.. එහෙම නැතුව ලෑන්ඩ් ෆෝන් එක වැඩ කරනාම් දත සුද්දගේ බේගල් අතේ මාටු වීම අනිවා.

ඊළඟට තවත් කාලෙකට පසුව තිබ්බ අපේ මිත්‍ර මංජු මෙන්ඩිස්ගේ වෙඩිම.. රෑ දවල් සඳහනක් නැති උනත් වෙඩිම දත සුද්දාටත් ගොඩයාටත් දෙන්නටම ආරාධනා ලැබිල තිබ්බ.. ඊට සතියකට විතර කලින් දත සුද්දා ගොඩයා සමග එකට වෙඩිමට යෑමට ගිවිසගත්තේ පොරොන්දු සහිතවයි. කළුවරේ පාරවල් ගානේ දිවිලි මේ වතාවේ බෑ. 

දත සුද්දා කිව්ව විදිහට වෙඩිමට එන සෙට් එක හැමෝම එන්නේ රාත්‍රී කාලයේලු. ගොඩයා කාටවත් දුරකථන ඇමතුම් දීලා වෙලාවල් කලාවල් විමසුවේ නැත්තේ දත සුද්දා ඔය විස්තර ගොඩයාටත් වඩා හොඳින් දන්නා නිසා. ඕන් වෙඩිම දවසේ ගොඩයා යනවා දත සුද්දාව අරං එන්න. මොකද කියනවනම් දත සුද්ද්ද කලින්ම ගොඩයා අමතා කියා හිටියා එක කාර් එකේ යමු මචං කියන එක. දත සුද්දා සමග රාත්‍රී වෙඩින් එකකට ගිහින් කලිනුත් අත්දැකීමක් තිබ්බ නිසා ගොඩයා ස්වේච්චාවෙන්ම ඉදිරිපත් උනා එහෙනම් රජෝ මගේ කාර් එකේ යමන් කියල. ඒකට එකම සහ අවසන් හේතුව උනේ වැරදිලාවත් දත සුද්දාගේ මෝටර් රථයෙන් වෙඩිමට ගිහින් හදිසියෙවත් දත සුද්දා අතුරුදහන් උනොත් ගොඩයාට සිද්දවෙන්නේ හැතැක්ම පහ හයක් පයින් කොටන්න. වෙඩිම තිබ්බ පළාතේ රෑ වෙද්දී හයරයට ත්‍රීවීල් කොටයක් හොයාගනීමත් ටිකක් විතර අපහසු පලාතක් කියමුකෝ. ඕන් ගොඩයා යනවා දත සුද්දාවත් දාගෙන වෙඩිමට. ඒත් වැඩේ කියන්නේ වෙඩිම තියෙන ගෙදර පැත්තේ කිසිම හාවක් හූවක් නෑ. දත සුද්දත් ඉතින් ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ ඇස් දෙක ලොකු කරන් ගොඩයා දිහා බලාන ඉන්නවා..ගොඩයා වෙඩිම තියෙන ගෙදර ලඟින් රථය නවත්තගෙන ගේ දිහා බලාන ඉන්නවා. සාමාන්‍ය ස්වරූපයක් ඇරෙන්න වැඩිය මුකුත් නෑ. වෙඩිමක් කිව්වට හෝම් කමින් එකක් නිසා ඉතින් එහෙව් ආකාරයෙන් තියෙන්නේ විදිහකුත් නැති නිසා ගොඩයා රථයෙන් බැහැල මදක් විපරම් කොරද්දී මේන් බොලේ මනමාල මත්තයා ඉන්නවා ගේ ඇතුලේ වාඩි වෙලා.. බැලින්නම් ඇට්ටෝම් පාටිය තිබිල තියෙන්නේ දවල්. ඕන් දත සුද්ද කිව්වා ආකාරයෙන් රෑට එනවා කිව්වා ඔක්කොම සෙට් එක දවල් ඇවිත් ඇතිවෙන්න කාල බීල විනෝද වෙලා හැන්දකොරේ ගෙවල් වලට විසික් වෙලා. ඒ උනාට අපේ හිතාදර මංජු මෙන්ඩිස් ගොඩයාටත් දත සුද්දාටත් දවල් ආපු එවුන්ට සලකපු ආකාරයෙන්ම සලකන්න අමතක කරේ නෑ. ඒ උනාට ඉතින් ගොඩයා උන්නේ අප්සැට් එකේ. මොකද කියනවනම් මංජු මෙන්ඩිස් ගොඩයලාගේ දුරින් ඥාති වෙන නිසා ඒ වැඩිහිටි පාර්ශවයන්ට පේන්න කටේ තොලේ ගාගන්න ගොඩයාට අප්සැට්. දවල් පාටියට ගියානම් ඔව්ව වැඩිය හයිලයිට් වෙලා කාටවත් පෙන්නේ නැති වෙන්න තිබ්බ. කොහෙද ඒකත් දත සුද්දා විසින් විනාස කර දැමුවා නොවැ. හැබැයි ඒ වැඩේ අහවර කරලා දත සුද්දා ගෙදරින් බස්සද්දී ගොඩයා වැඩි පරෙස්සම උදෙසා දත සුද්දගේ ගෙදර ඉස්සරහින්ම වාහනේ  නවත්තන්නේ නැතුව හරවගෙනම ඇවිත් පොඩ්ඩක් මෙහායින් බැස්සුවා. මොකද කියනවනම් දත සුද්ද ඊළඟට ගොඩයා මත පහත් කරනා බාල්දිය කුමනාකාර එකක්ද කියල ගොඩයට වැඩි ෂුවර් එකක් තිබ්බේ නෑ.

ඕන් ඕයි ආකාරයෙන් දත සුද්දාගේ වෙඩිමත් ලං උනා. හැබැයි දත සුද්දාගේ වෙඩිම දවසෙම ගොඩයාගේ එවකට බොසෙකුගේ පියාණන්ගේ අවමංගල කටයුත්තකුත්  යෙදුනා කියහන්කෝ . කාර්යාල සගයින් සියල්ලෝම සහභාගිවෙන මලගේදරක් වෙච්චි බොසාගේ පියාණන්ගේ මළගෙදර තිබ්බේ දඹුල්ලෙ. දත සුද්දාගේ වෙඩිමේත් කලින් වෙඩින් දෙකේම වගේ කුමනාකාර සප්‍රයිස් වීමකට භාජනය වෙයිදෝ කියන සැකෙත් තිබ්බ. කාර්යාලයීය සගයන් බොහොමයක් සහභාගී වන නිසා ගොඩයාට මළගෙදර මගහරින්නට ක්‍රමයක් තිබ්බෙත් නෑ. ඒ නිසා ගොඩයා අකමැත්තෙන් උනත් දත සුද්දාගේ වෙඩිම අමතක කරලා දාල දඹුල්ලේ මළගෙදර යන්න පිටත් වෙනවා. කාර්යාල කස්ටියක් මළගෙදරක යාම ඉතින් මගුල් ගෙදරක යාමෙන් වෙනස් වෙන්නේ ඇඳුම් ආයිත්තම් වල වෙනස පමණයි කියල දන්නේ එව්වට සහභාගී වෙච්ච අය පමණයි. අවසානයේ මළගෙදර ගිහින් එද්දී මැරිලා හිටියේ මොකාද කියලවත් නොදන්නා තරමට කාල බීල සින්දු කියල විනෝද වෙලා තමා අවමංගල චාරිකාව අවසන් වෙන්නේ. ඒත් හැබැයි කොයිතරම් අකමැත්තෙන්  සහභාගී උනත් ගොඩයා දත සුද්දාගේ වෙඩිමට නොගොහින් මළගෙදර ගිය එක ගැන අදටත් සන්තෝසයි. මොකද කියනවනම් දත සුද්දගේ වෙඩිමේ කාටවත් රහමෙර බොන්න දීල තිබ්බේ නෑ. ඉතින් ඔතනට ගොඩයා ගියානම් කඩෙන් ගෙනත් බීල නටපු එවුන්ගේ නම් ලිස්ට් එකට ගොඩයාගේ නමත් එකතු වෙනවා දෙකක් නෑ.  ඒ වගේද එව්වා මෑණියන් වරුන්ගේ රාජතාන්ත්‍රික සම්භන්ධයන් හරහා ගෙවල් වලට ආරංචි උනාම..

දත සුද්ද දැන් ඔසී රටේ පුර වැසියෙක්. හැබැයි මේ සක්වලේ කොහේ ජීවත් උනත් දත සුද්දා එදා වගේම අදත් මැසේජ් එකක් දාපු ගමන් කෝල් කරනවා. හැබැයි ඉතින් ඒ සමහරක් වෙලාවට දත සුද්දාට මහ දවල් උනාට ගොඩයා ඉන්න රටේ මිනිස්සු හීන බල බල නිදි. 

ඔයිට අමතරව තවත් එක අවස්ථාවක දත සුද්දා ගොඩයාව අමාරුවේ දැම්ම. ඒ තමා කෝච්චියට ගල් තියල අම්බලංගොඩ බස් ස්ටෑන්ඩ් එකට අල්ලපු ගෙදර ඉන්න කමල් සර්ගේ මෑණියන්ට මාට්ටු උණ වෙලාවේ දත සුද්දා ගොඩයා දාල පැදුරටත් නොකියා පැනල දිව්වා කියහන්කෝ. කෝච්චියට ගල් තියමු කියල යෝජනා කරලා අහවර වෙලා මාට්ටු වෙලා පිටිපස්ස බැලින්නම් එතකම් රේල් පීල්ල දිගේ ගල් තිය තියා ගොඩයා පස්සෙන් ආපු දත සුද්දා ඉර්ධි වෙලා..

ඔසී රටේ ඉන්න ගොඩයලාගේ යාලු මිත්‍රයෝනම් කියන්නේ ඒ කාලේ වෙන්ඩ වයිෆ් වෙච්ච දැන් වර්තමාන වයිපරේට දත සුද්දා පොඩ්ඩක්වත් භය නෑ කියලයි.. හැක්... 

Monday, September 3, 2018

පුංචි අලි පැටියා..







අවුරුද්ද එක්දහස් නවසිය අනූ එක වෙද්දී ගොඩයා හිටියේ නවය වසරේ. එදා ගොඩයලාට උදේ ඇසෙම්බ්ලි තිබ්බ දවසක් කියමුකෝ. ඇසෙම්බ්ලි තියෙනවා කියන්නේ ඉතින් ඇස්ට්‍රා මාගරින් ලොරියක තියෙන විටමින් ඩී විදුහල්පති තුමා ගානේ මුළු ඉස්කෝලෙටම  බෙදාදෙන දවසක්. ආයේ ඉතින් දෙකක් නෑ උදේ හතහමාරේ හිටං නවය නවයහමාර විතර වෙනකල් බාස්කට් බෝල් පිටියේ ගිනියම් වෙන තාර පොලොව උඩ කරවීමට නියමිතයි.  එතන හිටගෙන උදෑසන අවුවේ තියෙනවාය කියන විටමින් ඩී ස්නානය කරද්දී දැනෙන සනීපෙ ඉතින් වචන වලින් විස්තර කරන්න බෑ. පුංචි කාලේ අපි අහල තියෙන තේරවිල්ලක් තියෙන්නේ උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්ද සුදයි කියල.. බාස්කට් බෝල් පිටිය උඩ අසෙම්බ්ලිය ඉතින් අන්න ඒ හා සමානයි.. මැද්ද ඉතින් සුදට තිබ්බට හරිම කලබලයි.. ඒ වගේම නොසන්සුන්..

ඇසෙම්බ්ලි එක තියන්නේ කුමක් සඳහාද? ඒ කතා පවත්වන ගුරු භවතුන් ලවුඩ්ස්පීකර් කටින් කියන්නේ මොනවාද? ඒ කරුණු කාරනා අධ්‍යාපනය සඳහා කොතරම් දුරට අදාළ වෙනවාද වැනි කිසිම දෙයක් ගැන අල්පමාත්‍රයක්වත් නිනව්වක් බහුතරයක් එවුන්ට නෑ.. කොල්ලන්ගේ ඝෝෂාවට ඉහලින් ලවුඩ්ස් ස්පීකර් සද්දේ ඇහුනට වැඩිමනක් එවුන් දන්නේ කතාකරන්නේ ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එක විතරයි. ඉඳලා හිටලා ගෑල්ලමයි අත්පුඩි තලන්න පටාන් ගත්තාම කොල්ලොත් අත්පුඩි තලන්න පටාන් ගන්නවා විනා අත්පුඩි තලන්නේ කුමන කාරණයක් අරභයාද කියනේක කොල්ලො බහුතරයක් එවුන් දන්නේ නෑ. ඉඳලා හිටලා ශිෂ්‍ය නායකවරු ළමයි අතරට ඇවිදින් භීෂණය පැතිරුවත් කොල්ලන් දාහක් විතර තැන තැන රංචු ගැහිලා නටන පිස්සු නවත්වන්න උන්දැලාගේ ශිෂ්‍ය නායක පට්ටම් වල බල පරාක්‍රම මදියි. ඒ අතරේ කසිප්පු පොලට පොලිසියෙන් පනින සැම්පලේට ළමයි අතරට කඩන් පනින විනය භාර ආචාර්යවරු අතට අහුවෙන දෙතුන් දෙනෙකුටත් නෙලලා තවත් හත් අට දෙනෙක් කන් කෙටියෙන් ඇදගෙන ගිහින් කුලරත්න සෙවන ගොඩනැගිල්ලේ කොරිඩෝවේ දන ගස්සවන්නේ පස්ස පැත්ත හරහට වේවැල් පාරවල් හත අටකුත් දීලයි. රැස්වීම මැදට විනය භාර ආචාර්යවරුන්ගේ ආගමනයත් එක්කම එතකම් දඟල දඟල හිටපු එවුන් හතර පෝයට සිල් ගන්න උපාසක ලෙවල් එකටම සීරුවෙන් ඉන්නේ හෙන සිරාවට කථිකයාගෙ කතාවට සවන් දෙන ආකාරයට. කඩි ගුලක් ආකාරයෙන් තිබිච රැස්වීම  ආචාර පෙළපාලියකට සූදානම් කරපු හමුදා ඛණ්ඩයක් ගානට නොසැලී ඉන්නේ උපරීම විනාඩි දහයක් වගේ කෙටි කාලයක් තමයි. ආයෙත් ඉතින් රැස්වීම මැද කඩි ගුලක් හා සමානයි. ඒ අතරේ නසරානිම එකෙක් දෙන්නෙක් කලින්ම හොයාගෙන ඇවිත් සාක්කුවේ දාගෙන ඉන්න කහඹිලියා කොළ මිටියක් හේතුවෙන් එහෙන් මෙහෙන් එවුන් අම්මමෝ නැතුව කසන්න පටන් ගන්නවා. ඒ කාලේ එකොළහ වසරේ හිටං පහලට පිරිමි ළමයි ඇන්දේ නිල් කොට කලිසම නිසා කකුලක කහඹිලියා උලන එක සිම්පල් වැඩක්. දණහිස ගාවින් කකුල නැමෙන තැන පිටිපස්සේ කහඹිලියා ඉලුවාම දැනෙන සනීපෙ ඉතින් ලියලා කියලා නිම කරන්න බෑ. එව්වා ඉතින් විඳලාම බැලියයුතු අත්දැකීම්.

විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලය වැඩ සිටින්නේ තෝමස් ද සිලවා සෙවනේ සන්සේඩ් එක යට නිසා එයාලට උදෑසන හිරු එළියේ තියනවාය කියන විටමින් ඩී ලැබෙන්නේ නෑ. එහම බැලුවාම ඉතින් ඒකත් අසාධාරණයි. සමහරවිට වයසින් වැඩි උදවියට විටමින් ඩී අගුණ වෙන්ටෑ. ඒ නිසාම එයාලට, ළමයි නොමිලයේම ලබන විටමින් ඩී සත්කාරයේ දිග පළල තේරුම් ගන්න කොහෙත්ම වාසනාවක් නෑ. රැස්වීමෙන් පැනල යන්නම විදිහක් නැතත්, ඒත් අවුවේ හිටගෙන ඉඳලා ඉවරයකුත් නැති කරුමෙන් බේරෙන්න පිලියමක් වශයෙන් තාවකාලිකව කලාන්ත වෙලා බිම වැටෙන කට්ට කපටි කෛරාටික එවුනුත් ඉතින් නැත්තේම නෑ. එකෙක් කලාන්ත වෙලා බිම පතබෑවුනාම තවත් හතර පස්දෙනෙකුට බෝනස් තෑග්ග ඇදෙන්නේ වැටිච්ච එකා කර තියාගෙන පන්ති කාමරයකට උස්සගෙන යන්න ඕන නිසා. ඒ වගේ වෙලාවට නම් ඉතින් ක්ලාන්ත වෙලා බිම වැටිච්ච එකා උස්සගෙන යන්න යාලු මිත්‍රයෝ ඇති පදං. ඒ අරං ගිහින් පන්තියක ඩෙස් බංකු දෙක තුනක් උඩ දිගා කරලා කමීසයේ බොත්තම් ගලවලා පවන් ගහන්නද, මූණට වතුර ගහන්නද යාලු මිත්‍රයෝ පෝලිමේ. ඒත් ඉතින් බොරුවට ක්ලාන්ත වෙච්ච එකා ඇස් පියාන උන්නට ඌ ඉන්නේ සෑහෙන කල්පනාවෙන්. රැස්වීමෙන් එලියට පැනගන්න තමුන්ව උස්සගෙන ආවට තමුන්වටේ වටවෙලා ඉන්නේ  ඇඳගෙන ඉන්න කලිසමත් ගලෝගෙන දුවන්න පුළුවන් ඇම්ඩන්ලා කියල මතක් වෙද්දී ඇත්තටම ක්ලාන්ත උනත් ලෙඩාට සිහිය එනවා විනාඩියෙන්. රැස්වීම ඉවර වෙද්දී කොරිඩෝවේ දනගහගෙන ඉන්න එවුන්ට මදක් පමාවෙන්ට වෙනවා පන්ති වලට යෑමට අදාළ අවසරය ලැබෙනකල්. ඒ අවසරය සමග බෝනස් ලකුණු විදිහට පස්සපැත්ත හරහා වේවැල් පාරක් දෙකක් වගේ සැනසිලි තෑග්ගකුත් කෝසල සර්ගෙන් බොහෝ වෙලාවට ලැබෙනවා. කෝසල සර් ගැනත් පොස්ටුවක් ලියන්න නියමිත නිසා කෝසල සර් ගැන වැඩි විස්තර මෙහිලා ලියවෙන්නේ නෑ.

මෙච්චරකල් වටේ ගියාට ලියන්න ගියේ අපේ පන්තියට අලියෙක් ආපු කතාවක් ගැන. මේ කියල අලියා එන්න කලින් අපේ බැච් එකටම හිටියේ අලි වගේ තඩි එවුන් එක්කෙනයි. ඒ තමා අපේ තඩියා. තඩියා අපිට තඩියට පෙනුනට අලියා ආවයින් පස්සේ තඩියට තිබ්බ ප්ලේස් එක ඉබේම නැතුව ගියා. තඩියා මේ ලියන වෙලාවේ ඉන්නේ කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ. තඩියාට පොඩි පහේ හර්දයාභාදයක් ඇවිත් ඊයේ ඇඩ්මිට් වෙන්න උනා වැඩිදුර ප්‍රතිකාර සඳහා. තඩියාගේ තත්වය දැනට කියන්න තරම් අයහපත් නෑ. ඒත් තඩියා ගණන් නොගෙන හිටියට තඩියාගේ ජීවිතේ බේරිලා තියෙන්නේ අනූ නවයෙන් කියලයි ගොඩයාට හිතෙන්නේ. තඩියාට ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා තඩියාගේ බිරින්දෑ සමග පැවසූ තොරතුරු වලට අනුව අපේ තඩියාගේ හදවතේ ධමනියක් සියයට අනූ හතරක් බ්ලොක් වෙලා තිබිල කියල තඩියාගේ බිරින්දෑට දුරකතනයෙන් ඇමතූ වෙලේ ගොඩයා සමග කීව. ප්‍රතිකාරයෙන් පසුව මේ ලියන මොහොත වෙනතෙක් තඩියා සමග කතා කරන්න ගොඩයාට හැකිවුණේ නෑ. 

හදවත පුරා ලේ ගමන් කරන නහරයක් සියයට අනූ හතරක් බ්ලොක් වෙන්න අපේ තඩියා කාපු කෑම ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ෂුගර්, ප්‍රෙෂර්, කොලස්ටරෝල් තුනම අඩු නැතුව තියෙන අපේ තඩියා දැන් ඉන්නේ ෆුල් ඔප්ෂන් තත්වයේ කිව්වොත් තමයි නිවැරදි. වෛද්‍ය උපදෙස් අනුව තඩියා දිනකට පැයක් ඇවිදීමට නියමිත උනාට තඩියා පැයක් ඇවිදිනවද එහෙමත් නැත්තම් ඇවිදින්න කියල ගෙදරින් මාරුවෙලා ගිහින් කොහෙට හරි කඩේකට ගොඩවෙලා බඩපුරා කාබීලා හොලා වගේ ගෙදර එනවද කියන එක දන්නේ දෙයියෝ තමා. 

අලියා ගැන ලියන්න ගිය බ්ලොග් පොස්ට් එක තඩියා ගැන ලියවෙන්න යන නිසා තඩියා ගැන එච්චරයි.. ඊළඟට නැවතත් ඇසෙම්බ්ලියෙන් පටන් ගතපු පුංචි අලි පැටියාගේ  ආගමනය..

කලින් කිව්ව ආකාරයෙන් හරක් පට්ටියක් ආම්බාන් කරනවාට වඩා අමාරුවෙන් කොල්ලෝ දාහකට වඩා වැඩි ප්‍රමාණයක් පැය දෙක තුනක් තිස්සේ අමාරුවෙන් තියාගෙන ඉඳලා ඔන්න යාන්තමට ඇසෙම්බ්ලිය ඉවර වෙනවා. ඒ වෙනකොට බොරුවට ක්ලාන්ත වෙච්චි උන් සියල්ලම කලින් හිටියට වඩා හොඳට පනගහලා අවදිවෙලා ඉන්නේ බොහෝමයක් දවස්වලට ඊළඟට ලැබෙන්නේ විවේක කාලය බව අත්දැකීමෙන්ම දන්නා නිසා. ඇසෙම්බ්ලියට පස්සේ තව කාල පරිච්චේද එකක් හෝ දෙකක් ඉතුරුවෙලා තියෙනවාද නැද්ද කියල ඉර දිහා බලලා තීරණය කරන තාක්ෂනය ක්ලාන්ත වෙච්චි උදවියටත් සාත්තුවට ඉන්න උදවියටත් උපතින්ම හිමිවෙලා තියෙනවා. වැරදිලාවත් ඇසෙම්බ්ලිය ඉවර වෙද්දී විවේකයට තවත් කාල පරිච්චේදයක්වත් ඉතුරුවෙලා තියෙනවනම් ක්ලාන්ත රංගනය දිගටම කොන්ටිනිව් කරන්න රංගන ශිල්පීන් දෙපාරක් හිතන්නෙ නෑ. ක්ලාන්ත වෙච්චි උදවිය වාහනේක පටවලා ඉස්පිරිතාලේ යවන්න විදුහල් පරිපාලනය වැඩිය උත්සහ කරන්නේ නැත්තේ මැරෙන්න වැටිලා හිටියත් විවේක කාලය වෙද්දී මුන්ට හිටියට වඩා හොඳට සිහිය එන වග විදුහල් පරිපාලනය දන්නා නිසා. ඒ වගේම ක්ලාන්ත වෙන උදවිය රෝහල්ගතකරනා ක්‍රමවේදයක් පටන් ගත්තොත් ක්ලාන්ත වෙලා වැටෙන එවුන් ඉස්පිරිතාලේ යවන්න ආසන හැටේ බස් එකකුත් මදිවෙන වගත් එයාල දන්නවා. වැරදිලාවත් ඔය කිව්ව ක්‍රමේට ක්ලාන්ත වෙන උදවිය රෝහල්ගතකරනා ක්‍රමවේදයක් පටන් ගත්තනම් ඇසෙම්බ්ලිය ඉවර වෙද්දී ඉස්කෝලෙ කොල්ලන්ගෙන් භාගයක් නවතින්නේ පොල්වත්තේ හෝ බලපිටියේ රෝහලේ කියන එක ගැන තර්කයක් නෑ. එහෙම ක්‍රමයක් තිබ්බනම් විදුහල්පතිතුමාට සිද්ද වෙනවා අසෙම්බ්ලිය තියෙන දවසට ඉස්සරින්දා කොල්ලන්ට කියන්න බොලා සේරෝම උදේම බලපිටියේ හෝ පොල්වත්තේ ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙයල්ලා   මං ගුරුවරු ටිකයි ගෑල්ලමයි ටිකයිත් අරං ඉස්පිරිතාලේටම ඇවිල්ලා අසේමබ්ලිය තියන්නම් කියන්න. 


ගොඩ්වින් සර් හෙවත් අපේ විදුහල්පතිතුමා විදුහල්පති සේවයේ හසල අත්දැකීම් තිබුනාවූ පුද්ගලයකු නිසාත්, විනය භාර ආචාර්යවරු අම්බලන්ගොඩ ධම්සෝවේ කොල්ලන්ගේ නාඩි වැටෙන රිද්මය ගැන හසල අත්දැකීම් තිබුනාවූ අයවලුන් නිසාත්, ක්ලාන්ත වෙන රෝගීන්ට සිහිය එන හෝරාව එයාල  දන්නව ඉස්පිරිතාලේ ඩී. ඇම්. ඕ මහත්තයාටත් වඩා හොඳින්. ඒ හින්ද පාසල් පරිපාලනය ඔව්ව ගැන වැඩිය වදවුනේ නෑ. ඒ කාලෙ විදුහල්පතිතුමාලා එහෙම උනාට දැන් කාලේ උදවිය  නම් ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් මතුවුනොත් පාසලේ දරුවන් රෝහල්ගත කරන්න ගිලන්රථයක්  ජපානයෙන් ආනයනය කරන්න මුදල් හොයන්න සංගීත සංදර්ශනයක් වගේ වැඩක් සංවිධානය කරන්න දෙපාරක් හිතන්නේ නෑ. එහෙම බැලුවාම අපේ කාලේ විදුහල්පති තුමාලට වඩා දැන් කාලේ තුමාලා පට්ට කාර්යක්ෂමයි නැද්ද හා...


ඔන්න ඔය ආකාරයේ වාතාවරණයක් ඇතුලේ කැශුවලිටීස් දහයක් පහොලොවක් වාර්තා කරගෙන ඇසෙම්බ්ලිය අවසාන වෙනව. ඔන්න අපිත් ගාල කඩාගත්තු හරක් රැලක් වගේ පංති හොයාගෙන දුවනව. විවේකයට කාලපරිච්චේද කිහිපයක් තියෙනවනම් කැන්ටිමේ මාමි කීයටවත් කෑම ඉශූ කරන්නේ නැති වග දනිතත් කිහිප  වාරයක් කැන්ටිමේ මාමිගේ ගෑස් බලන්නත් කැන්ටින් කන්නෝ අමතක කරන්නේ නෑ. ඒ අතරේ මූත්‍රා බොක්ක පුපුරන්න තරමට ටැංකිය පිරිච්ච එවුන් සුසන්තිකාටත් වඩා වේගෙන් වැසිකිලිය දිහාවට දුවන්නත් අමතක කරන්නේ නෑ. ඔය වැනි සකලවිධ රංගන සියල්ලක්ම සමගින් අපේ සෙට් එක හෙවත් නවය වසර ජී සෙට් එක පංතිය දිහාවට දුවන්නේ විවේකයට කලින් ඉතිරිවෙලා තියන කාලපරිච්චේදය අපතේ යාම වැලැක්වීම උදෙසා පන්තිභාර ගුරුතුමිය හෙවත්  නෙලුම් රානී ටීචර්  ළඟ ලඟම එන විත්තිය සහසුද්දෙන්ම දන්නා නිසා. නෙලුම්රානි ටීචර් ගැන වෙනම බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්න නිසා ටීචර් ගැන වැඩිමනක් මෙහිලා ලියවෙන්නේ නෑ.  ඒත්  වාක්‍ය කිහිපයකින්  ටීචර්ව හඳුන්වනවානම් නෙලූම්රානි ටීචර් යනු, පන්තියේ හිටපු කොල්ලන් විසිපස්දෙනා ගැනම වෙන වෙනම තමුන්ගේ ඔලුව ඇතුලේ ෆයිල් ඕපන් කරගෙන වෙන වෙනම කොල්ලන්ව අධීක්ෂණය කරපු අම්ම කෙනෙක් කිව්වොත් තමයි නිවැරදි. වේවැලක් අතේ තියාගෙන අණ්ඩුමට්ටු කරනා වර්ගයේ ගුරුවරියක් නොවුනත් එක වාරයක් ඔරෝලා බලපු ගමන් කොල්ලන්ට මූත්‍රා බර වෙනවා කිව්වොත් තමයි හරි.  හැබැයි කවදාවත් කාටවත් නියපිටින් පාරක් ගහල නෑ. ගුරුවෘත්තියෙන් එහාට ගියාවූ පුද්ගලික මට්ටමේ කැක්කුමක් ටීචර්ට ළමයි ගැන තිබ්බ නිසා එකෙකුටවත් නෙලුම්රානි ටීචර්ගේ කනෙන් රිංගන්න අවස්තාවක් ලැබුනේම නැහැ. එහෙම රිංගන්න ගිය හැම වතාවකම අපේ එවුන් ටීචර්ගේ අධීක්ෂණය කිරීම්, ප්‍රශ්න කිරීම් ඉදිරියේ හත්පොලේ උලාගත්ත. 

ගොඩයලා හිටියේ උඩ තට්ටුවේ නිසා විටමින් ඩී සත්කාරය ඇතිවෙන්න ලැබුණු හැමදෙනාම එක පොදියට උඩට දුවනවා. උඩ තට්ටුවේ තියන පංති කිහිපයෙන් ගොඩයලා හිටියේ මැදට වෙන්න. ඒත් කොල්ලෝ උඩට දිවිල්ල වෙනද වගේ නෙවෙයි කියහන්කෝ. කලින් කිව්වා වගේ අපේ තඩියාගේ සියයට අනූ හතරක් බ්ලොක් වෙච්ච නහරයේ තිබ්බ බ්ලොක් එක අතරින් අමාරුවෙන් ලේ ගමන් කරනවා  වගේ එක තැනකින් කොල්ලෝ හිරවෙලා. වෙනදට එක දිගට බඩ  යන්න වගේ ෆලෝ වෙන කොල්ලන්ගේ දිවිල්ල එක තැනකින් බ්ලොක් වෙලා තමයි මූව් වෙනනේ. ගොඩයා ඉතින් කෙට්ටු කැහැටු එකා නිසා කඳ බඩ මහත එවුන්ගේ වැදී වැදී වටේටම විසික් වෙන ගමන් ඔන්න හෙමි හෙමිහිට ලං වෙනවා පන්තියට ඇතුල්වෙන දොරටුවට.. මෙන්න බොලේ එතන ඉන්නවා කවදාවත් දැකල නැති ඩයල් එකක්. 

මෑන්ස් බැලූ බැල්මට  සුවිසේශී පොරක් නිසා එතනින් එහාට දුවන කොල්ලෝ හැමදෙනාම ගොඩයලාගේ පන්තිය ළඟ මදක් නැවතිලා දුහන නිසා තමා එතන පට්ට ට්‍රැෆික්.  
නිකමට හිතමුකෝ පාරක් අයිනේ අලියෙක් බැඳලා ඉන්න සීන් එකක්. නිරන්තරයෙන් වාහන යන පාරක අයිනක අලියෙක් බැඳලා ඉන්නකොට පාරේ යන වාහන පොඩ්ඩක් ස්ලෝ කරලා අලියව නරඹනවනේ. මින්ස්සුන්ට කොච්චර දැක්කත් නැවතත් බලන ස්වල්ප වස්තුන් අතරේ අලියා සුවිශේෂයිනේ. වාහනේ දරු මල්ලෝ එහෙම ඉන්නවනම් වාහනේ හුඟක්ම ස්ලෝ කරලා අන්න පුටේ අලියා කියල දරුවන්ටත් පෙන්නලා පිටිපස්සේ වාහනේ රියදුරා මුගේ මෑණියන්ට කියල හොර්න් එක ගැහුවාම හෙමීට ඉස්සරහට අද්දන විදිහක් නිකමට හිතන්නකෝ.. සීන් කෝන් එක අන්න ඒ වගේ..

බැලූ බැල්මට මෑන්ස් ඉන්නේ ගොඩයලාගේ පන්තියට ඇතුල්වෙන කොට බිත්තියට හේත්තුවක් දාගෙන නිසා සාස්තර කියන්න දන්නේ නැතත් ඕනෑම කුඩා එකෙකුට හිතෙනවනෙ මූ පන්තියට අලුතෙන් ආපු ජීවියෙක් වෙන්ටෑ කියල. ඇඟේ සයිස් එක කියනවනම් එවකට යෝදම එකා වෙච්චි තඩියා වගේ හතරගුනයක් විතර ඇති. කොණ්ඩය මනාව ඉහලට පීරා ඇත. ඇහැට පේන ආකාරයෙන් සරීර කූඩුවේ බර දල වශයෙන් කිලෝ හාරපන්සියක් තියෙන පාටයි. බැලූ බැල්මට ටක්කෙටම කියන්න පුළුවන් ඊළඟ සෑස්තරේ තමයි මූ අලියෙක් හා සයිස් උනාට හොඳ හැටි හැම් බේකන් චීස් පුඩින් ඇඟට වැටිච්ච එකෙක් කියන එක. උසත් ගත්තාම අඩි හයක් විතර සද්දන්තයි කියමුකෝ. ඇඟේ වට ප්‍රමාණය දල වශයෙන් කිව්වොත් පුංචි අලි පැටියාගේ ඇඟ වටේ රවුමක් යන්න බීඩි සුරුට්ටු මිටියක්වත් බොන්න යන කාලයට වැඩි මිසක් අඩු නෑ.  ඒසා උස මහත සරීරෙකට නිල් කොට කලිසමක් අන්දලා ගත්තාම ඉතිං පිචර් එකක පහ වසරේ ළමයෙකුගේ චරිතයකට පුත්තලම් බූරුවෙකුගේ වයස වෙන නළුවෙක් අන්දලා ගත්තා වගේ. කලිසං කොටේ නැත්තං පොර හැන්ඩියා කිව්වොත් තමයි නිවැරදි. දැක්ක ගමන් ගොඩයාට හිතුනේ ඇසෙම්බ්ලිය අස්සේ ඉස්කෝලෙ පියන් කාරයා මූව වැරදි කැලෑසියක් ගාවින් ඉන්දලාදෝ කියන සිතුවිල්ල. සුදු දිග කලිසමක් අන්දලා ගත්තොත් කැත නැතුව දහතුන  වසරෙන් වාඩි කරවන්න පුළුවන් පෙනුමක්. ඒ වගේම සරමක් අන්දලා බඩ මැදින් පටියක් බන්දලා ගත්තනම් තාත්ත එක්ක එන්න කිව්ව දවසට ඉස්කෝලේ එක්කයන්න පුළුවනි කිසිම සැකයක් නැතුව. හොඳින් බැලුවාම ගොඩයාට ආයෙමත් හිතුනේ පියන්ට වැරදිලා වැරදි කැලෑසියකින් ඉඳලාද ? මූ වැරදිලා සුදු දිග කලිසම වෙනුවට නිල් කොට කලිසමක් ඇඳන් ආපු පුත්තලම් බූරුවෙක්ද?  එහෙමත්  නැත්තම් පොඩි කාලේ පරක්කු වෙලා උප්පැන්නේ රෙජිස්ටර් කරපු එකෙක්වත්ද කියල. ඊළඟට හිතුනේ මූ හිටපු ඉස්කෙලෙ අට වසරෙන් විසි තිස් වතාවක් පේල් වෙලා නවය වසරට උසස් කරගන්න බැරිම තැන ඒ ඉස්කෝලෙන් අයින් කරගෙන ඇවිත් අපේ ගොඩයලාගේ ඉස්කෝලෙට තල්ලු කරාද කියන එක.  ඒ සියලු සැක සංකා තියෙද්දී කොරිඩෝව දිගේ පන්තිවලට දුහන කොල්ලො කුරුට්ටෝ හැම එකාම පුංචි අලි පැටියා ළඟ මදක් නැවතිලා මදක් නරඹලා යන්න අමතක කලේ නෑ. ඇයි යකඩෝ උපන්තේකට දැකපු නැති ජීවියෙක් නිසාත්, අලියෙක් තරං සරීර කූඩුවක් තියෙන නිසාත්, ගමේ රටේ නොවෙන හෙන ගොන් විලෝපික ස්භාවයක් තියෙන නිසාත් හැමෝටම වැඩේ ටිකක් ඔඩ්.

ඕන් කොල්ලො කෙල්ලෝ ඔක්කෝලම පංතියට ගිහින් පිළිවෙලට අඩුක් උනා කියමුකෝ.. ඒත් ඉතින් පුංචි අලි පැටියා අර හිටපු ආකාරයෙන්ම කොට බිත්තියට හේත්තු වෙලා අහස දිහා බලාන ඉන්නවා. නවය වසර ජී පන්තියේ හිටපු ගැහැණු පිරිමි මල් පලතුරු, හතලිස් හතරදෙනෙක් වෙන සේරෝම කට අරගෙන පුංචි අලි පැටියා දිහා බලාන ඉන්නවා. අලි පැටියා ෂෝරූම් එකේ දැම්මා හා සමානයි. අල්ලපු පන්ති දෙකේ ඉන්න එවුනුත් බිත්ති කොන් වලින් එබීගෙන අලි පැටියා දිහා බැල්ම දානව. එහෙම කරලා මිනිස්සු අපහසුතාවයට පත්කරන එක හොඳ නැති උනත් අපේ එවුන්ට ඒසා විනයක් තිබ්බේ නෑ. මිනිස්සු අපහසුතාවයට පත්කිරීම කලාවක්නම් අපේ එවුන් ඒකෙ පිකාසෝ මට්ටමත් පහුකරගෙන  වෘත්තීය මට්ටමත් පහුකරගෙන ගිහින් තිබ්බ කොල්ලො සෙට් එකක්.  ඔය වගේ වාතාවරණයක් ඇතුලේ තමයි අපේ පන්තිභාර ටීචර් පන්තියට වාර්තා කරන්නේ..

ඕන් එතැනින් පස්සෙන්පහු තමයි ඒ වාසනාවන්ත අනර්ඝ අවස්තාව හෙවත්, පුංචි අලි පැටියා නවය වසර ජී පන්තියේ සාඩම්බර සාමාජිකත්වය ලබන්නේ. ටීචර් ප්‍රසිද්දියේ අහපු ප්‍රශ්න කීපයකට අනුව පුංචි අලි පැටියා පැමිණ සිටින්නේ මැණික්පුරයෙන්. කලින් ඉස්කෝලේ ගිහින් තියෙන්නේ මැණික්පුරයේම තමයි. ගොඩයාට හිතිච්ච ආකාරයෙන් මූ ෆේල් වෙච්චි කතාවක් ආරංචියක් නෑ.. පුංචි අලි පැටියාගෙන් කියවෙන විස්තර වලට අනුව දෙමාපියන් කෝටිපති ව්‍යාපාරිකයන්. එව්වා ඇහෙද්දී ඉතින් අපේ එවුන්ට දැනෙන්නේ කණට මීපැණි වත්කරනා ආකාරයක්. ඒ වගේම පුංචි අලි පැටියා නොකිව්වත් මැණික් පුරයෙන් අම්බලන්ගොඩට ඩිපෝර්ට් කරපු ආකාරයක් තමයි පෙන්නුම් කරේ. අපේ කට්ටියට වඩාත්ම සිත්ගන්නාසුළු ආරංචිය නම් පුංචි අලි පැටියාගේ අම්බලන්ගොඩ භාරකාරත්වය දරන්නේ පොලිසියේ ඉහලම ඉහල තනතුරක් දරනා නිලධාරියෙක්. ඒ කියන්නේ අපේ එවුන්ගේ පාසල් පරිභාහිර නසරානි වැඩ වලට පුංචි පහේ ආරක්ෂාවකුත් අරගෙන තමයි පුංචි අලි පැටියා පැමිණ තිබෙන්නේ. රාජ්‍ය ආරක්ෂාවකුත් සමගින් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍ර රත්නයක් පන්තියට වැඩමකළා  කියන්නේ ඉතින් පුදුම පහනත් සාක්කුවේ දාගෙන ඇලඩින්  පංතියට ආව වගේ සීන්කෝන් එකක්. අලි සරීර කූඩුවක් එක්ක තඩි අතපය හතරක් පන්තියේ ඉදිරිපෙළ සටන් කරුවන් අතරට එකතුවුනා කියන්නේ පන්තියේ ස්වාධිපත්‍යය බිඳින්න ප්‍රහාර එල්ලකරන විජාතික බලවේග වලට ලොකු අභියෝගයක්. ඒ වගේ ඉදිරිපෙළ ආරක්ෂකයෙක් පොලිස් බලතල සමග පැමිණීමත් අදහන්න බැරි ආශ්චර්යක්. ඉතින් ඒ වගේ පුද්ගලයෙකුට කොහොම වෙල්කම් එකක් පන්තියෙන් ලැබෙන්න ඇතිද කියල නිකමට හිතන්නකෝ.  

ඔය කිව්ව ආකාරයෙන් පුංචි අලි පැටියා පන්තියේ ප්‍රභල සාමාජිකයෙක් වෙන්න වැඩිකල් ගියේ නෑ. හැබැයි ඉතින් අලියෙක් වගේ සරීර කූඩුවක් තිබ්බට මෑන්ස් කූඹියෙක් ගානට අහිංසකයි. ඒ වගේම අවිහිංසාවාදීයි. කාටවත්ම හිරිහැරයක් කරන්නෙම නැති තරම්. ඒ කිව්වේ තරහකාරයෙකුටවත් නියපිටින් පාරක් ගහන්න ඉදිරිපත් වෙන්නේ නැති තරම්.  මෑන්ස්ට ඉන්නම නොදී වදදෙන එකෙකුට දෙන්නෙකුට ඉඳලා හිටලා අත ගුලි කරලා පිට මැද්දෑවට ගුටියක් දෙකක් ඇන්නට එව්වා ඉතින් ගුටි ගණයට දාන්න බෑ. මොකද එව්වා හෙන ගෑනු ෂොට්. හැබැයි ඉතින් එව්වායෙ බර රාත්තල් වලින් ගත්තොත් දෙතුන්සීයක බර ෂොට්. එව්වා වැඩි හරියක්ම ලැබෙන්නේ අපේ හික්කඩුවේ මිත්‍රයාට සහ බූලාට නිසා වැඩි ගානක් නෑ. ඔය කිව්ව ඩබලටම ගුටි කෑම යනු බත් කෑමට තරම්වත් ගානක් තිබ්බේ නෑ. මොකද උන්ට ගහලා රිද්දන්න බෑ.. කොච්චර ගැහුවත් පිඹුරාට තලන්නැහේ තමයි.. මෙලෝ ගානක් නෑ.. ඔය කිව්ව දෙන්න අලියාගෙන් කාපු පොල් අඩි ගොඩයා වගේ කැහැටු එකෙක් කෑවනම් අද වෙද්දී ගොඩයා වලේ අලියා හිරේ..

පුංචි අලි පැටියා එහෙම අහිංසක එකෙක් උනාට අපේ එවුන් නොමිලේ ලැබිච්ච සෝසස් ප්‍රයෝජනයක් නැතුව අපතේ යවන එවුන් නෙවෙයි. ඒ නිසා වලියක් ඇතිනම් පුංචි අලි පැටියා බලෙන් තල්ලු කරගෙන යාම අනිවාර්යයි. ඒත් ඉතින් අලියා නෙවෙයි කාටවත් අතක් ඉස්සුවේ. ගැහුවේ නැතුවට කමක් නෑ රජෝ ටිකක් කේන්ති ගිය ස්භාවයෙන් හිටපං රත්තරන් කියල කිව්වාම ඔන්න පොඩ්ඩක් ඔරෝගෙන හිටියට ඒ ඔරෝගෙන ඉන්න එකත් විනාඩියකට දෙකකට වඩා නෑ. ඒත් ඉතින් ප්‍රතිවාදීන් මුගේ සරීර කූඩුවේ පරිමාව දැක්කාම වැඩිය ලංවෙන්නේ නෑ.. ඕනෑම මොලේ නැති එකෙකුට තේරෙනවා ඒ සා සරීර කූඩුවක් තියෙන පුද්ගලයෙක් ගාවට ලංවීම අනතුරු සහිතයි කියන එක . එකෙකුට දෙන්නෙකුට නෙලපන් සාමි කියල කොච්චර කිව්වත් අලියා ලව්වා කිසිම ප්‍රතිවාදියෙකුට නෙලවන්න අපේ එවුන්ට අවුරුදු තුනක් ට්‍රයි කරලත් බැරිවුනා. වැඩිම උනොත් ඉතින් මොහොමඩ් අලි බොක්සිං වළල්ල ඇතුලේ බොක්සිං ගහන්න කලින් උඩ පනින්නැහේ දෙතුන් වතාවක් අත් දෙක ගුලි කරගෙන උඩ පනියි. නිකමට හිතිං මවාගන්නකෝ අලියෙක් උඩ පනින සීන් එකක්.. අන්න ඒ වගේ තමයි.. කැතේ බෑ.. හැබැයි කොච්චර උඩ පැන්නත් ඉතින් මලාට කාටවත් නියපිටින් පාරක් ගහන්නේ නෑ. ඒත් ඉතින් අර සා විසාල අතකින් පාරක් කෑවොත් හත් අවුරුද්දක් ඉස්පිරිතාලේ ලගින්න වෙනවා කියලා ඉවෙන්ම දන්නා ප්‍රතිවාදීන් කව්රුත් අලියා පහුකරන් ගොඩයලාගේ පන්තියේ සෙට් එක ගාවට කිට්ටු කරේ නෑ. බිල්ලෝ පෙන්නලා පොඩි එවුන්ට බත් කවනවා වගේ පුංචි අලි පැටියා පෙන්නලා ගොඩ දාගත්තු වලිබලි අපමණයි අපේ එවුන්. අලියාටත් වටවෙලා නෙලලා දල කපාගෙන යන්න පුළුවන් තරම් එවුන් ගේම ඉල්ලගෙන හිටියත් අලියාට තිබ්බ පොලිස් ආරක්ෂාව ඒ සියල්ලම පරාද කරා. සරීර කූඩුව නිසාත්, ගමට පිටින් පැමිණි ඩයල් එක නිසාත්, පොලිස් සම්භන්ධය නිසාත් අලියා ඉස්කෝලේ ඇතුලේ ප්‍රසිද්ධ වෙන්න ගියේ සති කීපයයි. රැලේ මුලට අලියා තිබ්බාම පස්සෙන් ඉන්න කැනහිල්ලුන්ට නොමිලේම ආරක්ෂාව හිමිවෙච්ච නිසා අපේ කට්ටිය ඕනෑම චන්ඩියෙකුට ගේම ඉල්ලන්න දෙපාරක් හිතුවේ නෑ. ඒත් ඉතින් අහිංසක පුංචි අලි පැටියා පන්තියේ එකෙකුට දෙන්නෙකුට බැරිම තැන තඩි බෑවා මිසක් පිට එකෙකුට නම් කවදාවත් අතක් ඉස්සුවේ නෑ. 

අලියාගේ ආගමනයට කලින් පන්තියේ කොල්ලන් අතේ ගැවසුන රුපියල් පහේ කොළ දහයේ කොළ, සිල්ලර කාසි වෙනුවට අලියා හරහා සීයේ කොළ, පන්සීයේ කොළ, දාහේ කොළ එහෙමත් පන්තියට ආව. අලියා පැවත එන්නේ කෝටිපති ව්‍යාපාරික පවුලකින් නිසා සල්ලි සබන් ගානට වැටුන අපේ එවුන්ට. හැබැයි ඉතින් කපටිකම අන්තිම දශමෙට ප්‍රයෝජනයට ගත්තු අපේ එවුන් අලියාගේ සීයේ කොළ කවදාවත් කැන්ටිමාට සම්පූර්ණ එක පිටින් පූජා කරේ නෑ. එව්වා ඉතින් කන්ටිමාගේ සල්ලි වට්ටියට ගියේ දෙකට ඉරීල විතරමයි. ඒ විස්තර සීය දෙසීය කිරීම කලාව පොස්ට් එකේ සවිස්තරව ලියවිලා තියෙන නිසා මෙහිලා ආයේ ලියවෙන්නේ නෑ.

පස්සේ දැනගත්තු විදිහට අලියා මැණික් පුරයෙන් අම්බලංගොඩට ඩිපෝර්ට් කරලා තියෙන්නේ එහෙ තියාගෙන හදන්න බැරි නිසාලු. එහෙම බැලුවාම අලියා කොයිතරම් පින් කරලා ඇත්ද ඒ වගේ සුවච කීකරු විනයගරුක මිත්‍ර පිරිසකගේ ඇසුර ලබන්න. කොටින්ම කියනවනම් සත්තිගුන්භ ජාතක කතා වස්තුවේ තාපසාරාමෙට වැටුණු ගිරා පැටියා වගේ තමා. ඒත් ඉතින් වසර තුනක අවෑමෙන් ඉඟුරු දීලා මිරිස් ගත්තු ස්භාවය අලියාගේ දෙමවුපියන්ට වැටහුණු නිසාදෝ සාපෙළ අවසානයේ අලියාට  නැවතත් මැණික් පුරයේ පුරවැසිභාවය ලැබුන. දැන් වෙද්දී අලියා කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඒ ඇරුනාම දෙදරු පියෙක්. තාමත් ඉස්සර වගේම අහිංසකයි රටක් වටියි. ගොඩයා නම් ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලේත් අලියා බලන්න ගිහින් ආව. ඒ වගේම අලියාගේ නගරය පහුකරන් යන අපේ එවුන් ඕනෑම එකෙක් අලියා බලන්න නවතින්න අදත් අමතක කරන්නේ නෑ. ඒ වෙලාවට අලියා අපේ එවුන්ට ඇතිවෙන්න සත්කාර කරන්නත් අමතක කරන්නෙ නෑ. දැන් ඉතින් අලියා මේක කියවලා ගොඩයාට ගේම ඉල්ලුවොත් කියලා හිතෙන නිසා අලියගේ ප්‍රේම වෘතාන්තයන් වගේ ලජ්ජා හිතෙන කෑලි බෑලි මේකේ ලිව්වේ නෑ.. එව්වා ඉතින් ගොඩගේ ආරක්ෂාවට පසුව භාවිතා කිරීම පිණිස ඉතිරි කළා. අලියාගේ වෙඩිමේ විස්තරත්, ඒ ගිහින් එද්දී ගොඩයා මැණික් පුරයේ හිටං අම්බලන්ගොඩට එනකල්ම විඳපු දුක් වේදනා ගැනත් පීටර් ගැන ලියවෙන පොස්ට් එකේදී ලියවේවි. මේ පෝස්ට් එක අලියා වෙනුවෙන්ම නිසා පෝස්ට් එක මෙතකින් නිමයි. ඒත් ඉතින් නැට්ට පිටින් අම්බලන්ගොඩ ආපු අලියා නැට්ට කපලා මොඩ් කරලා අහවර වෙලා කාටවත් අහු නොවී ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්න කලාව උගන්නපු ගෞරවේ 1993 අවුරුද්දේ සාමාන්‍යපෙළ කරපු "ජී" පන්තියේ සෙට් එකට හිමිවිය යුතුයි. දෛවය විසින් අලියා 1991 අවුරුද්දේ අම්බලන්ගොඩ එව්වේ නැත්තම් ඉතින් අදත් අලියාගේ නැට්ටේ ඉඳන් ගොම....

Monday, June 25, 2018

පෙරේරලා තුන්දෙනෙක්.. 01








බ්ලොග් ලිවිල්ල පොඩ්ඩක් විතර අලවුනා හේතු කාරනා කීපයක් නිසා. පලවෙනි එක ගොඩයා දැන් උදෙන් ඇහැරිලා කලින් ගෙදර එන ප්ලෑන් එකක ජීවත් වෙන නිසා. වෙනද ගොඩයා දිව්වේ ඇහැරෙන වෙලාවක් වෙනකම් නිදාගෙන රෑ වෙලා ගෙදර එන ප්ලෑන් එකක. දැන් මේ උදෙන් ඇහැරෙන සීන් කෝන් එක නිසා ගොඩයා දවස තිස්සෙම ඉන්නේ ලාවට නිදිමතේ.. ඒ නිසා බ්ලොග් ලිවිල්ලට හෙන කම්මැලියි. ඊළඟ කාරනාව ගොඩයාගේ පාසල් මිත්‍රයෙක් වසර හයක පමණ දීර්ඝ ශ්‍රී ලංකා නිවාඩුවකින් අනතුරුව ගොඩයා ඉන්න රටට සැපත් වෙලා ඉන්න නිසා ගොඩයාට සිද්දවෙලා තියනවා පොඩි බේබි සිටින් පාරක් කරන්න. මොකද කියනවනම් ගොඩයාගේ පාසල් මිත්‍ර තැන ආයෙමත් ට්‍රයි කරන්නේ ලද විගහින් ලංකාවට වැකේෂන් යන්න නිසා ගොඩයා ඇතුළු මේ රටේ ඉන්න මිත්‍ර කැල උපරීම උත්සහයක් යොදනවා අපේ බුවාව යන්න නොදී තියාගන්න. කියන්න කනගාටුයි ගොඩයා රැකියාව කරන්නේ එළියේ නිසා පැය අටේම උනත් ගොඩයාට දුරකතනයේ රැඳී සිටීම ගැටළුවක් නෑ. ඒ නිසා, තාම ලද බොළඳ කිරි බොන වයසේ හෙවත්,  හතලිස් එකක් පෘතුවි අවුරුදු වලින් වයස් වෙන අපේ මිත්‍රයාගේ බේබි සිටින් පාර වැඩි හරියක් දුරකථනය හරහා කරන්න සිද්දවෙලා තියෙන්නේම ගොඩයට. ඉතින් ආලෝක වර්ෂ ගණනාවක් අනාගතයේ ඉන්න අපේ මිත්‍රයාගේ තුන්වෙනි මානයට අහුවෙන දැනුමෙන් දෙන ටෝක්ස් පැය තුන හතරක් අහගෙන හිටියාම ආයේ බ්ලොග් ලියන්න ඔලුවක් ගොඩයාට ඉතුරු වෙන්නේ නෑ ආයුබෝවන්ඩ. මොකද කියනවනම් ගොඩයාත් ඒ කතාබහ අහගෙන ඉන්න අතරේ රැකියාවත් කරලා අහවර වෙලා හවසට ගෙදර ඇවිත් වාහනෙන් බහින්නේ නිකං අල්ලපු චක්‍රාවාටයේ ඉඳන් ආව වගේ ඔලුව තෝන්තු වෙලා. ඉතින් කොහෙ බ්ලොග් ලිවිල්ලක්ද.. අතට අහුවෙන සැර ජාතියක් අමුවෙන්ම ගිලදාළ මොනාහරි තියෙන දෙයක් කාල කෙලින්ම දොයිය බබා තමා..

------------------------------------------------

පළවෙනියටම ලියන්න යන්නේ ධර්මදාස පෙරේරා කියන චරිතය ගැන වුනත් පලවෙනි කොටස අවසාන වෙන්නේ වෙනත් පෙරේරා කෙනෙකුගෙන්. ගොඩයාට ජීවිතේ හම්බෙච්ච විවිධාකාර චරිත ස්භාවයන් ඉසිලූ මිනිසුන් අතර සුවිසේශී වූ මනුස්සකම් තියන පෙරේරලා තුන්දෙනෙක් හම්බෙලා තියන නිසා ගොඩයා කල්පනා කරා ඒ කියන පෙරේරලා තුන්දෙනා ගැන පෝස්ටුවක් ලියන්න. 

ධර්මදාස පෙරේරා  කියන චරිත ගොඩයාට පලවෙනි වරට මුණගැහෙන්නේ  2005 අවුරුද්දේ මැයි මාසයේ දවසක . ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි ගොඩයාට අලුත් තනතුරක් එක්ක ස්ථානමාරුවීමක් එහෙමත් ලැබීලා පෙරේරා එවකට රාජකාරි කරපු සේවා ස්ථානයට අනුයුක්ත වෙච්චි නිසා. ඔය කියන සේවා ස්ථානය ගැන ඕනෑවටත් වඩා පෝස්ට් මේ බ්ලොග් කොටේ ඇතුලේ ලියවෙච්චි නිසා ඒ අරුම පුදුම නීති තිබ්බ සේවා ස්ථානය ගැන වැඩිය අටුවා ටීකා ලියන්න ගොඩයා උත්සහ කරන්නේ නැහැ. හැබැයි ගොඩයා ඔය කියන සේවා ස්ථානයෙ වැඩ භාරගන්න ප්‍රථමව එතෙක් රැකියාව කල දෙපාර්තමේන්තුවේ පරණ සේවකයින්ගෙන් ලැබුන එකම සහ අවසන් අවවාදයවුනේ පෙරේරා ඇතුළු කල්ලියෙන් ප්‍රවේසම් වෙලා රැකියාව කරගෙන පලයන් මචෝ කියලයි. ගොඩයා තැනකට පය ගහන්න කලින් වටපිටාව ගැන හොඳින් විපරම් කරලා බැලීම ගොඩයාගේ සිරිතක් නිසා ඒ හෝදිසියේ ප්‍රතිපලයක් විදිහට තමයි ඔය කියන දෙපාර්තමේන්තුවේ ඉන්නා කකුලෙන් අදින්නන්ගේ සහ බාල්දි පෙරලන්නන්ගේ නම් ලිස්ට් එක එකින් එක ගොඩයා ඉදිරියේ කියවෙන්නේ. කියන්නා කෙසේ කීවත් අසන්නා හොඳ සිහි බුද්ධියෙන් ඇසියයුතු නිසා කටින් කට එන ආරංචි වලින් කියවෙන මානුෂීය ගුණාංග ගොඩයා විශ්වාසයට ගන්නේ අඩමානයට උනත් වැඩි පරෙස්සම වෙනුවෙන් ඒ කියවෙන දෑ ඔලුවේ තබාගෙන සිටීම ගොඩයාගේ පුරුද්දක්. 

ඕන් ගොඩයා ඔය කියන තනතුර භාරගන්න ඔය කියන ආයතනයට ගියා කියමුකෝ. එතෙක් කාලයක් පුරාවට පරිපාලන නිලධාරීන් සෑහෙන ප්‍රමානයක් එක්ක ගොඩයා රැකියාව කරගෙන ගිහින් තිබ්බ නිසා ගොඩයා හිතන්නේ  එතෙක් ලැබිච්ච අත්දැකීම් වලට සාපේක්ෂව උනත්, අලුතෙන් ලැබීච්චි මහතැන එතෙක් කල් ඇසුරු කල මහතැන් වලට වඩා සෑහෙන වෙනස් කියමුකෝ. එම රැකියා ස්ථානයට යෑමට කලින් ගොඩයාගේ බොසා වූ පුද්ගලයා නිතර රූපවාහිනී තිරයේ ඇතුලේ වැඩසටහන් වලට සහභාගී වෙන සෑහෙන ප්‍රසිද්ධ සහ ජනප්‍රිය චරිතයක් කීවොත් තමයි නිවැරදි. හැබැයි මනුස්සකම සහ නිහතමානීකම අතින් ගත්තාම අංක එක. ඕනෑම වෙලාවක හිනාවෙලා ඉන්න සහ ඕනෑම වෙලාවක ඕනෑම රාජකාරියක් පහසුවෙන් ඉෂ්ට කරදෙන පුද්ගලයෙක් විදිහට ඒ බොසා පෙරාපු රත්තරන් මහත්මාවරයෙක්. ඒත් යකඩෝ අලුතෙන් ලැබුණු බොසා ඉන්නවා නේද.. පළමු බැල්මෙන්ම වැඩේ අඥ්ඥකොරොස්. මේ ලෝකේ ජීවත් වෙන තිරිසන් සත්තුයි  මනුස්සයෝයි ගත්තාම දෙයියෝ සත්තුන්ට ෆුල් ඔප්ෂන් නොදී මිනිස්සුන්ට විතරක් ෆුල් ඔප්ෂන් දීපු එකේ සිනහසීමට ඇති හැකියාව නමැති ඔප්ෂන් එක තියෙන්නේ මනුස්සයින්ට විතරක් උනාට සමහර මිනිස්සු ඒ ඔප්ෂන් එක භාවිතයට ගන්නෙම නැති තරම්. ගොඩයාගේ අලුත් ලොක්කත් අන්න ඒ වගේමයි. මලාට මුනේ හිනාවක් නෑ කියහන්කෝ. 

ඔන්න ගොඩයා යනවා සැලුන් දොර ඇරගෙන ඇතුලට. ඒ ගිහින් දෙනවා අලුත් තනතුරේ පත්වීම් ලිපිය. ඔන්න ඊගාවට තමයි ලොක්කා ලිපිය දිහාත් ගොඩයා දිහාත් උපැස් යුවලට යටින් මාරුවෙන් මාරුවට බැල්මක් දාලා මේසය උඩ තියන සීනුව නාද කරන්නේ. ඉතින් හත් ඉලව්වේ අලුතෙන් නිලධාරියෙක් රැකියාව භාරගන්න ආවාම ආසනයක් පනවලා වෙල්කම් ඔන් බෝර්ඩ් මචං කියලා පලවෙනි ප්‍රතිචාරය ඉතාමත් සුභවාදීව දුන්නහම කටේ දත් හැලෙනවද, ඉහේ කේස් පැහෙනවද.. ඒත් ඉතින් පළමු ප්‍රතිචාරය බොහොම කුජීතයි. ඔන්න ඒ අතරේ තමයි අර කලින් නාදකරපු සීනුවට ප්‍රතිචාර වශයෙන් දාබරේ සැලුන් දොරෙන් ඇතුලට එන්නේ. ඕන් එතැන් පටන් තමයි ගොඩයාට වැටහෙන්නේ තමුන් පයතිබ්බේ ප්ලැනට් අර්ත් එකේ කුජීතම ග්‍රහචාරයක් කැරකෙන පජාති සේවා ස්ථානයකටය කියන එක. එතැන් පටන් ලොක්කගේ අවවාදය මෙන්න මෙහෙමයි..

මේ ඉන්නේ මිස්ටර් දාබරේ.. ඔයා දැනට වැඩකරන්නේ මෙයා යටතේ.. මිස්ටර් දාබරේ රිටායි වෙනවා තව මාස තුනකින්.. ඊට පස්සේ ඔයා දාබරේ මෙච්චරකල් කරපු වැඩ කොටස තනියම කරගෙන යන්න ඕන.. එහෙම නේද මිස්ටර් දාබරේ..

ඔව් සර්..

මිස්ටර් දාබරේ එහෙනම් මෙයාට මේසයක් ලෑස්ති කරල දෙන්නකෝ..

හරි සර්.. 

සර් මේ..... මේ.....

හ්ම් කියන්න මිස්ටර් දාබරේ...

 සර් මෙයාට පොඩ්ඩක් කිව්වනම් හරි මෙතන කට්ටිය ගැන.. මෙයා මුකුත් දන්නේ නැහැනේ මෙතන කට්ටිය ගැන..

ආ ඔව්.. මේකේ ඉන්න සමහර කට්ටිය ටිකක් වෙනස්.. එයාල එක්ක වැඩි ආශ්‍රයට නොයනවානම් තමයි හොඳ.. විශේෂයෙන් ධර්මදාස පෙරේරා , xxx xxxx, xxxx,  ..........( හයක් හතක විතර පුද්ගල කණ්ඩායමක් කියමුකෝ). මිස්ටර් දාබරේ ඉන්න විදිහට රාජකාරිය කරගෙන ගොයොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට මෙතන සෑහෙන කාලයක් ඉන්න පුළුවන් වෙයි.. හරි එහෙනම් ගිහින් වැඩ පටන් ගන්නකො.. ඔයාට දාබරේ ඇරුනාම විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවනම් මෙතන ඉන්න අනික් කෙනා ප්‍රියන්ත පෙරේරා තමයි.. එයා ප්‍රශ්නයක් නෑ..

ඔන්න ගොඩයා ලොක්කගේ සැලුන් දොර ඇරගෙන දාබරෙවත් ඉස්සර කරගෙන ලොක්කාගේ රාජකාරි කුටියෙන් එලියට එනවා. ඊළඟට දාබරේගේ අවවාද අනුශාසනා..  වැඩිහරියක් ඉතින් තහනම් නියෝග තමා. අරයා එක්ක කතා කරන්න එපාය, මෙයා වැඩිය කරට ගන්නට එපාය, අහවලාගෙන් පරෙස්සම් වෙලා ඉන්නය වගේ කතාන්දර බොහෝමයි. ලිස්ට් එකේ ඉහලින්ම මුලින්ම කියවෙන්නේ දර්මදාස පෙරේරාගේ නම. ඔන්න ඉතින් අලුත් රස්සාවේ පලවෙනි පැය භාගෙන්ම ගොඩයාට රස්සාව ගැන දැනෙන හැඟීම සෑහෙන සෝචනීයයි. ඒවගේම කලින් හිටපු බ්‍රාන්ච් එකේ සහෝදර සේවිකාවක් වෙච්චි ජානකී පෙරේරා එක්ක ඒ වෙද්දී ගොඩයාට පට්ට කේන්තියි. මොකද කියනවනම් ඔය කියන ජානකී පෙරේරා තමයි ගොඩයා ඒ හෝම්පලේ වැඩ භාරගන්න යන තැනට වැඩ සැලැස්සුවේ.

ජානකී පෙරේරා ගොඩයාට මුලින්ම හමුවෙන්නේ දෙදාහ අවුරුද්දේ මාර්තු මාසේ දවසක. ඒ ගොඩයා අලුත් රැකියාවකට සෙට් වෙලා ජානකී පෙරේරා රැකියාව කල ආයතනයට අනුයුක්ත වෙන නිසා. ජානකි සහ ජානකිගේ හස්බන්ඩා ගත්තාම බොහොම කලාතුරකින් ඇසුරට ලැබෙන මිනිස්සු. ජානකීගේ හස්බන්ඩා ලංකාවේ සුප්‍රසිද්ධ සමාගමක ඉහල විධායක නිලධාරියෙක්. ඔය ඩබල දරුමල්ලන් සමග ගොඩයාගේ ගෙදරත් ඇවිත් තියෙනවත් එක්ක එක වතාවක් වගේ. ජානකී ගොඩයාට වඩා අවුරුදු දහයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වැඩිමහල් චරිතයක් නිසා දැන් වෙද්දී ජානකී සෑහෙන්න වයසට ගිහින් ඇති යකඩෝ කියල ඔන්න නිකමට දැන් ගොඩයාට මතක් උනා. ඔරිෆ්ලේම්ද, ජැනට්ද අරවද මෙව්වද ඔක්කොම ජාති මූණත්තහඩුවේ උලාගෙන වයසට වඩා දහයක් විස්සක් අඩුවෙන් පෙන්නගන්න පට්ට ගේමක් දීපු ගෑනු පරානවල චැසිය සහ බොඩිය කොයි අවුරුද්දේ නිෂ්පාදනය කරපු එව්වද කියලා ගොඩයා එවකට දැනගෙන හිටියා මොකද කියනවනම් කට්ටියගෙම පුද්ගලික ලිපිගොනුවල දත්ත රාජකාරියේ කොටසක් විදිහට ගොඩයා ගාව තිබ්බ නිසා. ඒ වගේම ඔය තියන මොඩර්න් නම් ගම් ඉස්සරහින් තියන ඉංගිරිස් අකුරු වලින් කියවෙන වාසගම් ඇරුනාම එක දහස් නවසිය බර ගණන්වල දාපු  මුල් නම්ගම්ද ගොඩයා අකුරක් නෑර දැනගෙන හිටියා. හැබැයි පුතෝ මොනම හේතුවක් නිසාවත් ඒසා පුද්ගලික දේවල් ගොඩයා  කන පැලෙන්න බීපු වෙලාවකවත් එලියට නම් දුන්නේ නෑ, ඇයි යකඩෝ විස්සේ තිහේ කෑලි වගේ හැසිරෙන පට්ට නාකි ගෑනු පරානවල නියම වයස හෙළි කරොත් අනිවා ගොඩයාට ගෑනු රොත්තකගෙන් ආතල් පහට  ගුටි පූජාවක් අනිවා. ජානකී ඒ වෙද්දී වයස තිහ තිස්පහ අතර ඉන්න ඇති ගොඩයාගේ මතකේ හැටියට. ඒ වගේම ගොඩයා අමාරිස් උන්නැහේ එක්ක කොකු පටලෝගන්න හැම අවස්ථාවකම ජානකී ගොඩයාව කූල් කරලා කනෙන් අල්ලා ගොඩයාගේ මේසයේ වාඩිකරෙව්වේ නැත්තම් මේ වෙද්දී මල් චීත්ත අඳින අමාරිස් ලොක්කා වලේ ගොඩයා වැලිකඩ හිරේ වෙන්නත් ඉඩ තිබ්බ. ඒ කියන්නේ ජානකී කියන්නේ ගොඩයාට ඒ කාලේ වැඩිහිටි සහෝදරියක් වගේ චරිතයක්. අමාරිස්ගේ දිහාවේ හිටං ගොඩයා දිහාවට ලෙඩක් මග එද්දී ජානකී හීන් සීරුවේ ගොඩයාට පෙර අනතුරු ඇඟවීම් කරපු අවස්ථා ඕනෑතරම් තිබ්බත් ජානකී සහ පරිපාලනය අතර තිබ්බ රහසිගත භාවය කවදාවත් හිතවත්කම්  උඩ එලියට දීලා ජානකී තමුන්ගේ රාජකාරියේ විශ්වාසනීය භාවය කඩකලේ නැහැ.. ඒත් ඉතින් තමුනුත් බේරිලා අපිවත් බේරපු චරිතයක් කිව්වොත් තමයි නිවැරදි. ඔන්න ඔය කාලේ තමයි අලුත් තනතුරක් වෙනුවෙන් අයදුම් පත්‍ර කැඳවෙන්න රජය තීරණය කරන්නේ. ගොඩයා ඔන්න ඔහේ නිකමට වගේ අයදුම් පත්‍රයක් දාන්නේ ඒකෙන් වෙනත් වාසියක් ලැබීමේ පරමාර්ථයෙන් . ඒ  වගේම නිතර දෙවේලේ ඔලුව තියෙන්නේ බිස්නස් කෙරුවාව ගැන නිසා අලුත් තනතුරක් අරගෙන රැකියාව ඇඩ්වාන්ස් කරගෙන  රස්සාවක් එක්ක හිරවෙන්න ගොඩයාට තුන් හිතකවත් අදහසක් තිබ්බේ නැහැ. ඔන්න ඔය අතරේ ඔය කියන විභාගය පැවැත්වෙන දිනයත් ලංවුනා කියමුකෝ. දැන් ගොඩයාගේ කල්පනාව විභාගය පිටින් දාගෙන රාජකාරි නිවාඩු භාගය අරගෙන ගෙදර මාරුවෙලා අයදුම් පත්‍රය දාපු පළමු සහ අවසන් අරමුණ ඉෂ්ඨ සිද්දි කරගන්න. මොකද කියනවනම් නිවාඩු කියන්නේ කළුනික තරම් හිඟ එව්වා නිසා ඒ වගේ චාන්ස් එකක් ගොඩයා මලාට අතපසු කරන්නේ නෑ. වැඩිය ඕනෑ නෑ හාර පන්සීයක් ඉන්න සේවක මණ්ඩලේ අතරේ කොහේ හෝ මළගෙයක් තිබේනම් ඒ මළගෙදර යන නම් ලිස්ට් එකේ ගොඩයාගේ නම අනිවාර්යෙන්ම තිබ්බ. ඒ වගේ වැඩ වලට ගොඩයාට මලගිය ඥාතියා කාගේ කව්ද කියන එක අදාලම නෑ. හේතුව කියනවනම් ඔය මලගෙවල්වල යාම වෙනුවෙන් රාජකාරි නිවාඩු ලැබෙනවනේ හත් ඉලව්වේ. ඉතිං යකඩෝ මළගෙදර යන්න දෙන ඔෆිස් බස් එකේම නැගල ගිහින් මරදානට පිටකොටුවට ආසන්නම හෝල්ට් එකෙන් බැහැල ගෙදර මාරු උනා කියලා මැරිච්ච එකා තරහ වෙනවා කියලයැ.


ඔන්න ඔය විදිහට අලුත් තනතුරේ ලිඛිත පරීක්ෂණය තියන වෙලාව ලං වෙදිදි ගොඩයා ගාලු කුමාරියේ ගෙදර පනින්න ප්ලෑන් එක ඇඳලා අහවරයි. ගොඩයා කොතන පැන්නත් මං රාජකාරි වෙලාවේ ඉන්නේ අහවල් තැන කියල මොකාට හරි විශ්වාසවන්තම එකෙකුට කියල යන එක ගොඩයාගේ සිරිතක්. හැබැයි ගොඩයා කවදාවත් රාජකාරිය පැහැර හරියේ නැහැ. කාල කළමනාකරණය කරගෙන රාජකාරියත් තමුන්ගේ වැඩත් දෙකම සියයට සියයක් සාර්ථකව ඉෂ්ඨ සිද්ධ කරගත්ත කියමුකෝ. ඔන්න ඔය හින්ද තමයි ගොඩයා ජානකී කියන පුද්ගල චරිතය වෙත හෙමිහිට කියල දාන්නේ ලිඛිත පරීක්ෂණය පැත්ත පලාතක යන්නේ නැත දෙයියෝ මං ගෙදර මාරු වෙනවා කියන කාරණය. අන්න එතකොට තමයි ජානකී ගොඩයාට ගේම ඉල්ලන්නේ..

අනේ ගොනෝ.. බූරුවෙක් නොවී කන පලාගන්නේ නැතුව ඔය පේපර් එක ලියල යන දේවාලේක පල..

පිශ්ශුද මචෝ.. මට ඔය මගුල් වැඩකට නෑ.. ඒ වගේද බන්ස් පැය දෙක තුනක් කලින් ගෙදර ගිහින් තමුන්ගේ ව්‍යාපාරයක් කරගන්න එක..

හරි උඹ පලයන්කෝ එහෙනම්.. අනිවාර්යෙන් මං උඹට ලෙඩේ අදිනවා..

පිස්සුද බං.. ඔව්ව කරලා කාටද බන් හරි ගියේ..

හරි යන හරි නොයන එක වෙනම දෙයක් ගොනෝ.. අමාරිසා උඹ දිහා ඇහැ ගහගෙන ඉන්නේ ලෙඩක් දාන්න.. ඒ නිසා ඕක ලිව්වේ නැති උනත් එතනට ගිහින් අඩුම තරමේ පැය භාගයක්වත් ඉඳලා පලයන් යන දේවාලෙක.. 

ඒ අදහසත් නරකම නෑ.. හරි එහෙනම් මොකක් හරි ලෙඩ කට්ටක් වැටෙන්න වගේ එනවනම් මං උදේ ගොනා වගේ වැඩට එන්න කලින් ගෙදරට කෝල් එකක් දියන් හරිද..

ඉස්සෙල්ල උඹ ගිහින් එග්සෑම් එක ලියහන්කෝ..

ඔන්න එහෙනං අපි ගියා..

ගුඩ් ලක්..

අනේ පල යන්න .. ගාලු කුමාරිය මිස් උනොත් ගුඩ් ලක් එකෙන් වැඩක් වෙන්නේ නෑ..


ඔන්න ඔය විදිහට තමා ගොඩයා අදාළ විභාගය පැවැත්වෙන ස්ථානය සොයාගෙන මන්ගච්චන්නේ.. මොකා කිව්වත් සිහිබුද්ධියෙන් ඇහුම්කන් දීලා ගන්න ඕන ටික ඔලුවට ගන්න පුරුද්ද නිසා ගොඩයා ජානකී දීපු අවවාදය අහකම නොදා විභාග ශාලාවට වෙලා පැයක් නින්දක් දාන්න හිත හදාගන්නවා. 

විභාග ශාලාවට ගියා කියමුකෝ.. ඒ විභාග ශාලාවේ ඒ වෙද්දීත් පට්ට සෙනගක් පෝලිමේ.. ඕන් ගොඩයත් සෙනග අස්සෙන් අමාරුවෙන් ඇදිල ගිහින් අදාළ අංකය තියන ඩෙස්කුව ළඟ තිබ්බ පුටුවෙන් වාඩි වෙනව.. ඔන්න ඊළඟට විභාගය ආරම්භ වෙන්න සීනුවකුත් වදිනවා . ඊට සමගාමීව ඉංගිරිසියෙන් මුද්‍රණය කරපු ප්‍රශ්න පත්‍රයක් ගොඩයා වෙත හිමි වෙනවා කියහන්කෝ . අතට අහුවෙන ඕනෑම කොලයක් කියවන්න පුළුවන් තත්වෙක සහ කියවන්න පුළුවන් භාෂාවකින් තියෙනවනම් කියවා බැලීමේ පුරුද්ද නිසාත් , ගාලු කුමාරියට පැය දෙකකට වඩා කාල වෙලාවක් තිබ්බ නිසාත්, නිදාගන්න නිදිමතක් නැති නිසාත්, කෝච්චියේ ආතල් පහට යන නින්ද වෙනුවෙන් නිදිමත සේව් කරගතයුතු නිසාත් ගොඩයා ඕනාවට එපාවට ප්‍රශ්න පත්‍රයට උත්තර ලියාගෙන යන්න තීරණය කරනවා අතින් පයින් මුකුත් වියදම් වෙන්නේ නැති නිසා. වැඩේ විනාඩි හතලිස් පහෙන් වගේ අහවරයි කියමුකෝ .   

උත්තර ලියලා ප්‍රශ්නපත්තරය විභාග ශාලාධිපතිට භාරදෙද්දී ඒ උත්තමයා ගොඩයා දිහා දාපු බැල්ම ඉතින් කියන්න ලියන්න විලි ලැජ්ජයි.  ඒ මොකද කියනවනම් උත්තර ලියන්න ලෝභ නැතුව පැය තුනක්  දීලා තියන ප්‍රශ්න පත්තරේ විනාඩි හතලිස් පහෙන් ලියල දෙනකොට ඒ විභාග අපේක්ෂකයාගේ දැනුමේ පරිමාව ගැන ප්‍රී ජජ්මන්ටල් එකකට එන්න ඔය විභාග සම්භන්ධ වැඩ රාජකාරි කරන ගුරු භවතුන් හෙන දක්ෂයිනේ. උන්දැ ගොඩයා දිහා බලන්නේ හරියට උන්දැගේ අඹේනියගේ ප්‍රශ්න පත්තරේ ගොඩයා බලෙන් අරං ලිව්ව ගානට. විභාගය අවසන් වෙන්න පැය දෙකකටත් වඩා වැඩි  කාලයක් තියෙද්දී ගොඩයා මරදාන දුම්රියපොළ පැත්තට යන බස් කොටේක එල්ලෙන්නේ යන්තම් ඒ මරාලෙන් ගැලවුනා දෙයියෝ කියල හිත හදාගෙන.

ටික කාලයක් ඔහොම ගතවෙද්දී ඔය ලිව්ව විභාගෙ ප්‍රතිපල එනවා කියමුකෝ . කොහේදෝ තියන කරුමෙකට ගොඩයාට දෙවැනි තැනට ලකුණු කියහන්කෝ. අන්න ඒ කරුමෙට ප්‍රතිපල විදිහට තමයි ජානකී ප්‍රමුඛ කාන්තා සෙට් එක ආයෙමත් ගොඩයාව අමා............රුවෙන් තල්ලු කරලා සම්මුඛ පරීක්ෂණයට යැවෙන්නේ. එදත් ඉතින් ගොඩයාගේ ට්‍රයි එක කලින් ගෙදර පනින්න තමා. සමහරවිට ජානකී ඇතුළු සහෝදර සේවිකාවන් හුඟ දෙනෙකුට තියෙන්න ඇත්තේ අමාරිස් වලපල්ලට යාමේ සහ ගොඩයා හිරේ යාමේ අවදානමෙන් මුදවන්න උවමනාව වෙන්ටෑ. අන්න ඒ මල වදේට ප්‍රතිපලයක් විදිහට තමයි ගොඩයා අර කලින් කිව්ව "හිනා" ඔප්ෂන් එක මැල්ෆන්ක්ශන් වෙච්ච  සහ සත්තුන්ට නොදී මිනිස්සුන්ට විතරක් දෙයියෝ දීපු ඔප්ෂන් වලින් භාගෙට භාගයක් වැඩ කරන්නේ නැති ඒ අසහාය ලොක්කා යටතේ වැඩ භාරගන්නේ.  ඉතින් එතැන් පටන් එලව එලවා පලදෙන්න පටනගත්තු හෙනහුරු එරාෂ්ඨකේ අවුරුදු පහක් ගොඩයාට පල දෙන්නේ ඔන්න ඔය කිව්වා ජානකී පෙරේරාට පින්සිද්ද වෙන්න තමා. කබලෙන් ලිපට වැටුනා උනත්  ඉඳලා හිටලා දුරකථනය හරහා ගොඩයාට කෝචෝක් පාරක් දාන්න ජානකී පෙරේරා අමතක කරෙත් නෑ. ඉතින් ඒ වගේ වෙලාවට ජානකී පෙරේරාට දුරකථනය හරහාම  පින් පෙත් දෙන්න ගොඩයා අමතක කලෙත් නෑ. දන්නවනේ ඉතින් දකුණේ එවුන් පින්දෙනකොට ආයේ ලෝස් නෑ සුද්ද සිංහලෙන් තමයි.. ඇයි යකඩෝ යසට කරගෙන හිටපු රස්සාවෙන් ඉහල තනතුරකට සහ වැඩි වැටුපකට තල්ලු කරා උනාට ගොඩයා ඒ වෙද්දී හිටියේ මහදැනමුත්තයි කේලම් කියන ගෝලයෝ රොත්තයි එක්ක හෙන ටොම් ඇන්ඩ් ජෙරී ගේමක් ගහගෙන. ඒත් ඉතින් වෙච්චි දේට එන්න සෙයියදු කියන්නහේ ගොඩයා එළියෙන් හෙන ගැම්මක් පෙන්නගෙන ගේම ඉල්ලගෙන හිටියට ඇතුලෙන් නම් හිටියේ මකුළුදැල වැඩ කරන්නේ නැතුව ගිය ස්පයිඩර් මෑන් ගානට වැටිලා.

හැබයි ඒ ජානකී පෙරේරා නැත්තම් අද වෙද්දී ගොඩයා මෙතන නෑ කියන එක අනිවාර්ය සත්‍යයක්... එහෙව් මිත්‍රයින්ට රෙස්පෙක්ට් කලයුතු නැද්ද හා... වැඩේ කියන්නේ අවුරුදු අටකින් වගේ ගොඩයා ජානකී පෙරේරාට කෝල් එකක්වත් දීල නෑ..  ගොඩයා හෙන ගුණමකුයි කියල හිතෙන්නේ නැද්ද හා  ???? 

ඊළඟ පෙරේරා ඊළඟ කොටසින්..