Friday, March 2, 2018

වන් ඇන්ඩ් ඔන්ලි තඩියා..





මාසයක් හමාරක් ගොඩයාට බ්ලොග හතරමායිමේ පස්පාගන්න වෙලාවක් කලාවක් නැතිවුනා කියමුකෝ. සියවෙනි බ්ලොග් පෝස්ටුව ලියලා අහවර වෙලා ගොඩයා පොඩි විවේකයක් ගත්තා කියලා හිතමුකෝ දැනට. වැඩේ කියන්නේ ඉස්සර නම් බ්ලොග් පොස්ට් එකක් නොදා ඉන්නකොට වදයක් වෙන එකෙක් හිටියා නමුත් දැන් ඌ එහෙම කරදර කරන්නේ නැති නිසා ගොඩයා හොඳට අතපය දිගෑරලා බ්ලොග දිහා ඇහැක් ඇරලා බලන්නේ නැතුව සති දෙක තුනක් ඉන්න පුළුවනි. එහෙම කරදරයක් වෙන එකා වෙන මොකාවත් නෙවෙයි අපේ හිතාදර තඩියා තමා. ආයේ මලාට රට එන්නෙම නෑ  නෑ  නෑමයි කියලා දෙවැනි වතාවටත් තඩියා ලංකාවට ගිය නිසා ගොඩයාට දැන් මැසෙන්ජර් හරහා බාහිර බලපෑම් කරන්න කෙනෙක්  නෑ. තඩියා ලංකාවට ගිය එකෙන් ඔන්න ඔහොමයි ගොඩයා වාසිය නෙලාගත්තේ. 

ඒත් බලොග මාසයක් පුරා නොලිය ඉන්න හේතුව වුනේ ඔය එකවත් නෙවෙයි ගොඩයාට තුන්රතගාය වැළඳීම. ඔය කියන අසනීපෙ සන්නිපාත වෙන තත්වයටම හැදිච්ච නිසා ගොඩයාට බ්ලොග දිහෑ ඇහැක් ඇරලා බලන්න උනේ නෑ . තුන්රතගාය ගැන වැඩියමක් කියනවනම් ඔය අසනීපෙ හැදුනේ රථ තුනක් නිසා. පලවෙනි එක ගොඩයාට හදිසියේ රැකියාවේ අවශ්‍යතාවය වෙනුවෙන්  වෑන් රථයක් මිලදී ගැනීමට සිදුවීම. දෙවැනි එක අපේ තඩියාත් ලංකාවට ගොඩබැස්ස දා හිටං රතගාය තදින්ම වැළඳුන නිසා තඩියාගේ රතගාය ෆයිල් එකත් ගොඩයාගේ ගිණුමටම බැරවීම. තුන්වෙනි එක තමා ගොඩයාගේ බාල මස්සිනා පොඩ්ඩටත් හදිසියේම රතගාය වැළදීම නිසා එම රතගාය ෆයිල් එකත් ගොඩයාගේ ගිණුමටම බැරවීම. වැඩේ කෙටියෙන් කියනවනම් පහුගිය ගතවෙච්ච මාසය ගොඩයාගේ ඔලුව ඉන්ටර්නැෂනල් කාර් සේල් එකක් වගේ උනා කියමුකෝ. ගොඩයාගේ අවශ්‍යතාවයට වාහනයක් හොයනා අල්ලපනල්ලේ තඩියා මැසෙන්ජර් හරහා එවන කාර් වෑන් පරීක්ෂාවට ලක් කරලා ගුණාගුණ සහ අපල උපද්‍රව ගැන දත්ත සටහනක් සැපයීම තමා ගොඩයාට තිබ්බ වැදගත්ම රාජකාරිය. පොඩි මස්සිනාගේ රතගාය වෙනුවෙනුත් යෝජනා වෙන රථවල කේන්ද්‍ර සටහන් පරීක්ෂා කර බලා අවසන ඔය කියන රථය මිලට ගැනීමෙන් උඹට හෙට දවසේ කුමනාකාර අලකලංචි වලට මුහුණ දෙන්න වෙනවාද කියන එකත් ඔය අතරේ සිද්දවුනා. 

කොහොමින් කොහොමින් හරි මාසයක් කාර් සෙල් ගානේ බඩ ගාලා ගාලා ගාලා අවසානයේ ගොඩයාගේ අසනීපය සුවවුනේ ගිය සතියේ කියමුකෝ. අපේ තඩියානම් ඉතිං අන්තර්ජාලය පීරලා පීරලා පීරලා මාසයක් පුරා තඩියාගේ බජට් එකට හරියන කාර් වෑන් පිංතූර ගොඩයා වෙත එව්වත් එව්වයින් සියයට අනූ නවයක්ම දුටු සැනින් ගොඩයා කපා හැරියා. ඒ වගේ වෙලාවට තඩියා උන්නේ ටිකක් විතර අප්සැට් එකේ. උගේ හිත සනසන්න කියලා හිටං මලාට ආයේ විකුනන්න බැරි සහ ලංකාව හතරකොනේ තියන අමතරකොටස් කඩවලින් ඇණයක් මුරිච්චියක්වත් හොයාගන්න බැරි වාහනයක් ගනින් කියලා කොහොමද හත් ඉලව්වේ යාලුවෙකුට උපදෙස් දෙන්නේ. අපරාදේ කියන්න බෑ අපේ තඩියාගේ ඇහැ වැඩි වෙලාවකට ඇදිලා ගියේ එක්කෝ මුණ අතපය හතරේ ජාතකයක් හොයාගන්න බැරිවෙන්නම කැරොල් කරත්තයක් වගේ තොරොම්බල් එල්ලපු ඩක්කු වලට, එක්කෝ ලංකාව වටේම හෙව්වත් ඒ ජාතියේ කාර් දහයක්වත් හොයාගන්න බැරි විලෝපික දහිරවාට්ටු වලට, එක්කෝ තඩියාගේ අත්තලා මුත්තලා කිරිකිත්තලා අමාරුවෙන් හම්බුකරලා මුන්ට අයිතිකරලා දුන්නු ඉඩකඩම් ඔක්කොම විකුනලත් තෙල් ගහලා ඉවරයක් කරන්න බැරි, තෙල් බොන්නම උපන් මසිත්තුවලට. ඔය ඔක්කොම අතරේ උප්පැන්න සහතිකේ ඩුප්ලිකේට් වෙච්චි වාහනත් දෙක තුනක්ම ඇප්රුවල් එකට එව්වත් ගොඩයා අන්දන්න තඩියාට බැරිවුනා.  

ගොඩයාගේ රථගාය සුව වෙච්චි හැටි සහ නිදාන කතාව වෙනත් බ්ලොග් පොස්ට් එකකින්ම පසුවට ලියන අදහසින් ඒ විස්තර මේ පොස්ට් එකට ලියවෙන්නේ නෑ. ගොඩයාගේ රථගය සුව වෙලා දවස් දෙක තුනක් යද්දී අපේ තඩියාත් රතගාය සුව කරගත්ත කියමුකෝ. ගොඩයාට ඒ පණිවිඩේ මැසෙන්ජර් හරහා ආවේ හවස හතරහමාරට විතර. ඒ වෙද්දී ගොඩයා උන්නේ වැඩකරමින් උනාට "මේක ගත්ත" කියලා තඩියා විසින් එවන්නට යෙදුන මෝටර් රථයේ පිංතූරය දැක්කාම ගොඩයාට යාන්තම් සැනසුම් සුසුමක් හෙලුනා කියහන්කෝ. ඒත් වැඩේ කියන්නේ ඒ වෙද්දී ලංකාවේ වෙලාව එළිවෙන්න තුනයි නේද යකඩෝ කියල මතක් උනාම ගොඩයාගේ ඔලුවේ මතුවුනේ තඩි ප්‍රශ්නාර්ථයක්. මොකද කියනවනම් තඩියා පදිංචි නගරය අවට එළිවෙන්න තුනට ඇරලා තියන එකම කඩයේ කාර් විකුනන්නේ නෑ කියලා ගොඩයා සහසුද්දෙන්ම දන්නවා. ඒ වෙලාවට ගාලුපාරේ ඉන්න කැඳ විකුණන හාදයා සයිඩ් බිස්නස් එකක් විදිහට කැඳ කරත්තේ අයිනකින් කාර් දෙකතුනක් තියාගෙන විකුනනවා වෙන්නත් බෑ.. ඒ වෙලාවට ඇරලා තියන පැට්‍රොල් ෂෙඩ් එකේ කාර් විකුනනවා වෙන්නත් බෑ .. ඒ ඇරෙන්න ඔය කියන ටවුන් එකේ එළිවෙන්න තුනට ඇරලා තියෙන්නේ පොලිසිය විතරයි, උන් එළිවෙන්න තුනට තඩියාට කාර් එකක් වික්කාවත්දෝ කියලා හිතුනත් ලක්ස ගානක ගනුදෙනුවක් ඒ වගේ යක්කු ගස් යන වෙලාවක කරන්න තඩියා ඉදිරිපත්වුනා වෙන්නත් බෑ.

තඩියා ලංකාවට ගිය දා හිටං ලංකාවේ වේලාවෙන් මල රෑ දෙකට තුනට ඔන්ලයින් ඉන්නවා ගොඩයාට ඉඳහිටෙක දර්ශනය වුනත් ගොඩයා ඒ වගේ වෙලාවට තඩියාට ඇනේ වෙන්න ගියේ නෑ මොකද අවුරුදු දෙකක්දෝ කොහේ රට ඉඳලා ගිය එකානේ නිසා . මහ රෑ තුනට කාර් එකක් ගත්ත කියල කියද්දී ගොඩයාගේ ඔලුවේ මතුවුනේ ප්‍රශ්න දෙකයි. එකක් මූට කාර් පිස්සුව මොලේ උණ ගානටම වැළඳිලා හීනෙනුත් කාර් හොයනවදෝ කියන එක. දෙවැනි එක තමා අවුරුදු දෙකක් පිට රටක කම්මැලිකමේ ගුලිවෙලා ඉඳලා හොර වෙච්ච ඇඟේ පතේ බැරි අමාරුකම් යන්න කියලා හිතාගෙන ගෑනිට හොරෙන් කොටියා මාර්ක් පෙත්තක්වත් ගහලා ඔලුව පිස්සු වැටිලාවත්දෝ කියන එක. බත් කෑවත් බත් පිඟන් එකෙන් සෑහීමකට පත්නොවෙන, පාන් කෑවත් පාන් ගෙඩියකින් දෙකකින් සෑහීමකට පත් නොවෙන අපේ තඩියා අසනීපෙකට පෙත්තක් බිව්වත් එක පෙත්තකින් සෑහීමකට පත් වෙන්නේ නෑ කියන එක ගොඩයා ඇතුළු මිත්‍ර සමාගමටම රහසක් නෙවෙයි. ඔය ඉහත කිව්ව හේතු දෙකෙන් එකක්වත් නැතුව මල රෑ දෙකට තුනට කාර් එකක් ගත්තා කියල මැසේජ් එකක් එවන්න තඩියාට හේතුවක් නෑ.  ඒ නිසා ගොඩයා හනික කර කර හිටපු වැඩේ නවත්තලා හැරෙන තැපෑලෙන් තඩියාට  මැසේජ් එකක් යැව්වා මෙන්න මේ ටික අහල.

"උඹ නිදි විකාරෙන්ද ? මොකක්හරි බෙහෙතක් හේතක්වත් අධි මාත්‍රාවෙන් බීවද ? උඹ මේ රෑ තුනට හීනෙන් ගිහින් ඔය කාර් එක කොහෙන් හරි ඉස්සුවාවත්ද ? "

ඔන්න ඒ ගමන තඩියා හැරෙන තැපෑලෙන් උත්තර එවනවා මෙන්න මෙහෙම කියල.

" නෑ නෑ අද ඕකට ඇඩ්වාන්ස් දුන්න.. හෙට ගේනවා  "

ඒත් ඉතින් ඕක මේ මහ රෑ තුනට ඇහැරගෙන ඕක ගොඩයාට කියන්නේ උඹට නින්ද යන්නේ නැද්ද කියල අහන්න හිතුනත් ඉතින් අවුරුදු දෙකක් පිට රට ඉඳන් ගිය එකානේ කියලා ඒ ප්‍රශ්නේ අහන්නේ නැතුව ගොඩයා ගිලගත්තා. ඒත් ඉතින් කුතුහලය කියන එක හිතේ තියාගෙන ඉන්න බැරි වර්ගයේ නැකතක උපන් ගොඩයා ඔන්න ඔහේ ඕනෑ එකක් කියලා ඒ ප්‍රශ්නෙත් සිංහලෙන්ම අහලා දැම්ම.

" ඉතින් දැන් මේ රෑ තුනට ඇහැරගෙන මක් කොරනවද හත් ඉලව්වේ.. දැන් දිගටම ලංකාවේ ඉන්න කියලා නේද ආවේ.. හෙටත් කියල දවසක් තියන එකේ ආයේ රට යන්නෙත් නැති එකේ ඔහොම නිදිමරණ එකේ තේරුමක් නෑනේ මස්සිනා "

ඔන්න ඒ ගමන අපේ තඩියා සිංහලෙන් අමතලා ගොඩයාට උත්තර එවනවා.. සිංහල ටික කපා හැරලා අන්තරගතය විතරක් ලියනවනම් තඩියාගේ පිළිතුරේ සංක්ෂිප්තය මේකයි..

" නෑ නෑ බන්.. අපේ දුවගේ ඉස්කෝලෙන් අද ට්‍රිප් එකක් යනවා.. මට යන්න උනා ළමයි බලාගන්න "

අපේ තඩියාට වැඩක් බාරදුන්නොත් ඉතින් දශමෙට අකුරට කරන එකා නිසා ළමයි බැලිල්ල ගැන අමුතුවෙන් දෙන්න උපදේශයක් ගොඩයා ළඟ තිබ්බේ නෑ. ඒත් ඉතින් තඩියාට මගහැරුනොත් කියලා හිටං ගොඩයා තඩියාට වැදගත්ම කාරනාව මතක් කරලා සංවාදයට නැවතීමේ තිත තිබ්බ.

" ළමයි බැලිල්ල කෙසේ වෙතත් ටීචර්ලා ටික ඇහැක් වගේ බලාගනිං මයේ පුතේ "

තඩියත් උත්තර එව්වා හැරෙන තැපෑලෙන්ම..

" ආයෙත් අහලා.. බලාගන්නම් ලෙසටම " 

තඩියා ට්‍රිප් එක ගිහින් එනකල්ම ඔය ට්‍රිප් එකේ ගිය ටීචර්ලා , ළමයි සියල්ලෝම මැස්සෙක්වත් වහන්න නොදී බලාගන්න වග ඉතින් ගොඩයාට නම් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඇහැක් වගේ බලාගනිං බුදු මල්ලියේ කියලා අන්තප්පුරයක් බාර දුන්නත් අපේ තඩියා තමුන්ගේ සීලය බින්දගන්නේ නැතුව අන්තප්පුරේ සුපර්වයිසර් වැඩේ අකුරටම  කරනා වර්ගයේ එකෙක් වෙච්චි, තඩියාගේ දුවගේ ඉස්කෝලේ ටීචර්ලා ගතපු තීරනේනම් හරියටම හරි කිව්වොත් තමා නිවැරදි.

ලියන්න ගිය පෝස්ට් එක වෙනත් එකක් උනත් තඩියා ගැනම ලියාගෙන ලියාගෙන ආපු නිසා තඩියා ගැනම ඉතුරු ටිකත් කියලා පෝස්ටුව ලියලා අහවරයක් කරන්නයි ගොඩයා අන්තිමේ තීරණය කරේ. 

තඩියා ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම සත්‍ය ප්‍රේමය වෙනුවෙන් පණ උනත් දෙන්න සූදානම් වෙච්ච ආදරණීය චරිතයක් උනාට එහෙව් එකාටත් කැත වැඩ කරපු එවුන් ඒ කාලේ හිටියා. තඩියාට ඒ කාලේ පෙම් පලහිලව් වලට වියදම් කරන්න බරපැන ගෙදරින් සැපයුනේ නැති නිසා තඩියා ඒ වෙනුවට විකල්ප ආදායම් මාර්ග කරා යොමුවුනා දෙපාරක් හිතන්නේ නැතුව. යහමින් දේපොළ ඉඩකඩම් හිමි සමෘධිමත් පවුලක වැඩිමහලු පිරිමි දරුවා වෙච්චි අපේ තඩියා ඒ කාලේ එකක් යන්න එකක් පැටලුනේ දෙමාපියන්ගෙන් උදැල්ල වැටෙන පෙම් පලහිලව්වලමයි. ඒ නිසා තඩියා යනු ඒ කාලේ පට්ට හිඟන්නා කිව්වොත් තමා නිවැරදි. මොකද මුගේ කල්කිරියාව අවුල් නිසා ගෙදරින් රුපියල් පහක්වත් මුගේ අතට පත්වෙන්න බැරිවෙලාවත් ඉඩ තිබ්බේ නෑ. ඒකට හේතුව තමා අතට හම්බෙන හැම සත දහයම අපේ එකා වියදම් කරේ සත්‍ය ප්‍රේමය වෙනුවෙන් නිසා. රුපියලක් දෙකක් තියා ඇක්සයිස් පොතක්වත් බේරගන්න බැරි තරමටම ප්‍රේමයෙන් ඔදවැඩී හිටිය තඩියා ඒ කාලේ පෙම් හසුන් ලිව්වේ පිටු දෙකේ තුනේ එව්වා නෙවෙයි. කිව්වට විශ්වාස කරයිද මන්ද ඒ කාලේ තඩියා ලිව්වේ ලියුම් නෙවෙයි පිටු හතළිහේ, අසූවේ ඇක්සයිස් පොත් කිව්වොත් තමයි ඇත්තම සත්ත කතාව. ඉතින් කොහෙද දෙයියෝ මුගෙන් පොත්පත් පරෙස්සම් කිරිල්ලක්. 

ගෑල්ලමයගේ උපන්දිනේ එහෙම ළඟ පාත එනකොට අපේ තඩියා හිටියේ හීනෙන් භයවෙච්ච එකෙක් ගානට. මොකද කියනවනම් ගෑල්ලමයාට හිත පිරෙන්න උපන්දින තෑග්ගක් එහෙම දෙන්න තඩියා සතෙන් සතේ එකතු කලේ මාස තුන හතරක් කලින් හිටං. ඒ වගේ කාලෙට ඉඳලා හිටලා රහමෙරක් කට ගාන්න හෙම සෙට් වෙච්ච වෙලාවට සල්ලි මදි පාඩුවක් උනත් අපේ තඩියා නෙවේ මීක් කියලා කට හෙලෙව්වේ. ඒ කාලේ උගේ භාෂාවේ වැඩියම තිබ්බ වචන දෙකයි.. ඒ තමා "හල්ලි නෑ " කියන වචන දෙක.  ගෑල්ලමයට තෑග්ගක් අරං දෙන්න අපේ තඩියා නොකරානම් නොකරේ කුලියට මිනි මරණ එකයි කසිප්පු පෙරන එකයි විතරයි. ඒ ඇරුනාම අතට කීයක් හරි එන ඕනෑම කොන්ත්‍රාත් එකක් තඩියා භාරගත්ත දෙපාරක් හිතන්නේ නැතුව. එකම කොන්දේසිය වුනේ ගෙදරට ආරංචි නොවෙන කොන්දේසිය පමණයි. ඒ තරම් කැපවීමෙන් පෙම්කරපු මනුස්ස පරාන ජීවත්වුනේ මල් නවකතා පොත්වල විතරක් උනාට අපේ තඩියා එහෙව් පෙම්වතුන්ට සජීවී උදාහරණයක් කිව්වොත් තමා හරි. ඒ කාලේ හවස තුන හතර වෙද්දී තඩියා යනු අතුරුදහන් වෙන වර්ගයේ එකෙක් වගේම ඌ අතුරුදහන් උනේ කාගේ හරි බයිසිකල් කටුවක්, මොටෝ සයිකලයක් සමගින්මයි. පෙම්පලහිලව්ව බලන්න යන ගමන තඩියා ගමෙන් පිටත් වුනේ ජේම්ස් බොන්ඩ් ගේමක් ගහගෙනයි. ඒ කොහොමද කියනවනම් තඩියාගේ ෆුටාර් එක බතලයාගේ ගෙදර හෝ වෙනත් මිත්‍රයකුගේ ගෙදර ගේට්ටුව ලඟින් පරෙස්සමට පාර්ක් කරලා අවසන වෙනත් කාගේ හෝ බයිසිකල් කටුවක් කර තියාගෙන වැටවල් අස්සෙන් රිංගගෙන, තාප්ප උඩින් පැනගෙන හෙන කොම්බැට් ගේමක් දීගෙන තමයි තඩියා වෙනත් තැනකින් තාර පාරකට අවතීරණය වෙන්නේ. තඩියාගේ මවුපියන්ගෙන් පැය විසි හතරේම යැපෙන චරපුරුෂ සේවා තඩියා පසුපස සජීවීව පැමිණෙන නිසා තමා තඩියා ඔය කියන ක්‍රමවේදයට පෙම්සුව වින්දේ.


තඩියාගේ පෙම්වතියගේ උපන්දිනය, සත්‍ය ප්‍රේමයේ ඇනිවසරිය එහෙම සමරන්න අතේ සතේ නැතිවුනත් තඩියා නෙවෙයි පසුබැස්සේ. ඒ වගේ කාලෙට තඩියාගේ ගමේ ගෙවල්වල පිළිකනුවල තියෙන පරණ යකඩ ,හිස් බෝතල්, පත්තර එහෙම වැඩි අමාරුවක් නැතුව බෝතල් පත්තර කඩේට ගියේ තඩියාගේ බයිසිකලේ පොල්ල උඩ වාඩිවෙලා. ලක්ස ගණන්වලින් ආදායම් එන ඉඩකඩම් හිමි, රජයේ රැකියා හිමි ධනවත් පවුලක වැඩිමහලු දරුවා මේ සා මී ගොන් ආදරවන්තයෙක් කියල ඒ දෙමවුපියෝ දන්නවනම් මූව මඩමකට බාරදෙනවා ඒ කාලෙම.

ඔන්න ඔය වගේ අහේනි කාලෙක අමතර ආදායමක් හොයාගෙන ගෙදරට තඩි බොරු ලක්ස දෙකතුනක් කියල දවස් දෙකකට කොළඹ ගිය තඩියා ආපහු ආවේ ගමන ටිකක් අමුතු වෙලා. අමුතුයි කිව්වට වෙනදා සාමාන්‍ය මනුස්සයෙක් ඇවිදින විදිහට පයින් ඇවිදපු තඩියා කොළඹ ගිහින් ඇවිත් සතියක් දෙකක් ඇවිද්දේ කකුළුවෙක් වගේ හරහට. හේතුව ඇහුවනම් කව්දෝ අසම්ජ්ජාතියෙක් තඩියා කොළඹ හිටපු දවසක රාත්තිරියේ කැත වැඩක් කරලා කියහන්කෝ. නිදාගන්න වැටුන වෙලාවේ හිටං අහල පහල ගෙවල්වලත් උළු බිමට පහත් වෙන්න ගොරොවන තඩියාගේ සද්දේ ඉවසගෙන ඉන්න බැරුව මල පැනපු එකෙක් සුපර් ග්ලූ වගයක් හොයාගෙන කලුවරේම තඩියාගේ පස්ස පැත්තට වක්කරලා කියහන්කෝ. 

සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයේ නව දොරක් සහිතව කොළඹ ගිය තඩියා අට දොරෙන් ගමට ආවේ ඔන්න ඔහොමයි. වෙන එකෙකුට උනානම් ඔපරේෂන් එකකුත් කරලා සතියක් දෙකක් ඉස්පිරිතාලෙක ඉන්න වෙන වැඩක් උනාට තඩියා වෛද්‍ය උපදෙස් රහිතවම සුපර් ග්ලූ වලින් වැහිච්ච දොර අමාරුවෙන් ඇරගත්තා කියහන්කෝ. කොහොමද කරගත්තේ කියලා ඉතින් තඩියා පහතින් කොමෙන්ට් කරාම උගෙන්ම අහගත්තනම් තමා වටින්නේ. මොකද එව්වා ඉතින් ශිෂ්ඨ භාෂාවෙන් ලියන්න බෑ. 

ලංකාවට ගිය තඩියා මීට මාසෙකට උඩදී ආයෙත් නුවරඑලි යන්න ගිහින් පරිප්පු නැවක් ස්වේච්චාවෙන්ම ඇඟ උඩටම බාගත්තු විස්තරේ පස්සේ පොස්ට් එකකින් ලියන්නම්.

31 comments:

  1. Replies
    1. පුක හම ගියාද මචං

      Delete
    2. ඇලිච්ච එක ගලෝගත්ත හැටිත් කිවුවනං.

      Delete
    3. පුපේ දෙපැත්තෙන් සුට්ටක් කලු උනා විතරයි අටමො.මන් මගේ ක්‍රමේට වැඩේ ගොඩදාගත්ත පොසන්නයො.ඒව ඉතින් ප්‍රසිද්දියේ කියන්න සුදුසු දේවල් නෙවෙයි 😉

      Delete
  2. මාර ලව් කිරිල්ලක්නෙ යකෝ ඒක

    ReplyDelete
    Replies
    1. ඒව මතක්වෙනකොට ලැජ්ජ හිතෙනව අම්ම්ප

      Delete
  3. ඇයි අයියේ එහෙම...ඔයින් ගියා මැදැයි..ලවි කරන්න ගිහින්...

    ReplyDelete
    Replies
    1. ලව් එකේ කෙරුවාවන් ගැන ගොඩය වෙනම කතාවක් ලියන්න පටන් අරන් තියෙන්නෙ.හැබැයි කවද ඉවරවෙයිද දන්නෙ නෑ

      Delete
  4. සිංහලෙන් koment karanna beriyo.හේතුවක් කියලා dhenno post ekak dhanakam maga balagena hitiye tnx macho

    ReplyDelete
    Replies
    1. දැන් මටත් බෑ බන්.මන් මේකෙන් තමයි ලියල copy past කරන්නෙ http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
  5. ඔබේ මිත්‍රයා තමාට මේ තරම් මඩගැහීම පිළිබඳ දක්වන ප්‍රතිචාරය කුමක්ද ? කතාව නම් සුපිරියි. මල්සරා හොඳින් වැඩකරලා තියනවා .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාර දැක්වීම පලක් නැති නිසා සද්දෙ වහල ඉන්නව.එකතු කරල එකතු කරල දෙනව කොයිවෙලේහරි මමත් පෝරියල් එක 😉

      Delete
    2. කව්ද කියන්නේ මෙව්වා මඩ කියල.. හෙහ්..

      Delete
  6. ආදර කතාව ජය ගත්තද ?

    ReplyDelete
    Replies
    1. නැත.අවුරුදු හතරක්නෙ දිගවැඩිවුනා මන් හිතන්නෙ 😢

      Delete
  7. තඩියෝ ගොරවන්ඩ ගත්තම වටේ පිටේ උන් පදිරි.....මීට ගොරෝන තවත් තඩියෙක්

    ReplyDelete
  8. අඩේ ගොඩයෝ...!! ඔය කියන තඩි ළදරුව පව් බං. මේ එන වෙසක් එකට පිං පිණිස ඕකව මාගාල්ලෙ සම්බෝධිය ටවත් බාරදෙමු. අසරණ ළමයින්ට සරණ වෙන එක බොහොම හොඳ මෙව්ව එකක්. 🤡

    ReplyDelete
    Replies
    1. සම්බෝධියට දාන්න හිතුව මදියි :@

      Delete
  9. සොඳුරු ආදර කතාවක්

    ReplyDelete
    Replies
    1. අපිනේ දන්නේ ඔය ආදර කතාව නිසා අපි කාපු පරිප්පු.. ඌට නම් සුන්දර වෙන්න ඇති.. අපිටනම් ඒ කාලේ මුන්ගේ අම්ම තාත්ත පාරේ එනකොට හැරිච්ච අතේ දිව්වා..

      Delete
  10. ඇ ....ඇ ....


    අර අහවල් තැන පත්තෑය කෑවෙත් තඩියා ගේම නේද ? හප්පේ ඒ පාර සුපර් ග්ලූ ..

    තඩියත් එක්ක ආයේ නුවරඑළි ගියා ද ?

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ.. අපි කව්රුවත් ගියේ නෑ මේ ගමන තඩියා තනියම ගියේ..

      Delete
  11. තඩියා තඩියා කිව්වම මං බැලුවේ උඹ මොකද කමියට බනින්නේ කියලා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කමියට ඔයාලා ආමන්ත්‍රණය කරන්නේ තඩියා කියලද.. ගැලපෙන නම..

      Delete
  12. Replies
    1. ස්තුතියි ප්‍රාජේ..

      Delete
  13. හපොයි, තඩියට වෙලා තියෙන හරියක්...

    ReplyDelete
  14. තඩියගෙ වේලාපත්කඩේ ලියල තියෙන්නෙ සිකුරව හලලද කොහෙද ? හැබැයි අර සුපර් ග්ලූ කතන්දරේ බැලුවම ඕක ලියන්න ඇත්තෙ හෙනහුරාම වෙන්නත් පුළුවන් .

    *ක යන්න බේත් දුන්න වගේ තමයි මිණී මැරෙන සීන් එකක් නෙව :-D

    දුකට හිනා උනේ ඈ ...

    ReplyDelete