Tuesday, August 8, 2023

ටිකෙන් ටික බොඳවෙන අපේ ලෝකය..

ඊයෙ රෑ ඩේටා ඕෆ් කරන්න අමතකවුනා ... රෑ දෙගොඩ හරියේ ෆෝන්නෙක දෙරි ගැහෙනවා ඇහිලා ඇහැරිලා බැලින්නම්  කෝල් එකක්... කෝල් එක එන්නෙ කාගෙන්ද කියලා කියවගන්න බෑ හතලිස් පහ පැනපු එකෙක් වෙච්චි මට..  ඒකට කන්නඩි දෙක හොයාගන්න ඕන... ඒ අල්ලපනල්ලෙ කෝල්ලෙක් කට්වුනා... මාත් නිදිමරගාතෙ ආයෙම ෆෝන්නෙක පැත්තකින් තියලා නිදාගත්ට... නින්ද යාගෙන එනකොටම ආයෙම ෆෝන්නෙක දෙරිගහනව... ආයෙම කලුවරේ කන්නඩි දෙක හොයද්දි කෝල්ලෙක කට්වුනා... මම ආයෙම නිදාගත්ත... ආයෙම ආවොත්නම් කන්නඩි දෙක ඇතුව හෝ නැතුව ආන්සර් කරන්න හිතාගෙන.. ඒත් කෝල් එක ආයෙම ආවෙ නෑ..


උදේ වැඩට යන්න ලෑස්තිවෙලා වාහනේට නැගපු ගමන්ම අර කෝල් එක මතක්වුනා... බැලින්නම් සවුදියේ ඉන්න අපේ හොඳ මිත්‍රයෙන්.. හැරෙන තැපෑලෙන් ගැහුවා අපේ එකාට කෝල් එක...


උඹ කෝල් එකක් දීල තිබ්බ ඊයෙ රෑ දෙකට විතර...


උඹට ඩිරෙක්ට් කෝල් ගන්න පුලුවනිද ලංකාවට...


ඔව් පුලුවනි.. ( පුලුවන් ඉතිං මාසෙකට විනාඩි දෙසීයකට වෙනම බිලක් ගෙවන නිසා)


මම උඹට එවල ඇති වෑන් එකක් විකුනන්න දාපු ඇඩ් එකක්.. ඒකට කෝල් කරලා අහපංකෝ ගාන කීයද කියල...


හිටහං බලන්න.. මේ නිසාන් වැනට් එකද.. 


ඔව් ඔව් ඒක තමයි...


හිටහං මම අරං බලන්න...


බෑ කියන්න බෑනෙ..  මේ කියන මිත්‍රයත් වාහනයක් ගන්න හොයනවා දැං කාලෙක හිටං... ඩ්‍රයිව් කරන ගමන් නිසා රීඩින් ග්ලාස් දෙක දාගන්නත් බෑ..  ඒක දැම්මාම පාර පේන්නෙ බොඳ වෙලා..  කන්නාඩි නැතුව බලද්දි බොඳවෙලා පේන ඇඩ් එකේ තිබ්බ වෑන් කොටේ ෆොටෝ එක ලාවට බලලා ඒ යටින් තිබ්බ නම්බර් එක ටච් කරලා ඩෑල් කරා ඩිරෙක්ට්ම...  ටික වෙලාවක් රින්ග් වෙලා ෆෝන්නෙක ආන්සර් කරා වෑන් කොටේ අයිතිකාරයා..


හලෝ... ගුඩ් ඊවිනින් මහත්තයා... ( මට උදේ උනාට ලංකාවට හවස)


ඔව් කියන්න...


මහත්තයගෙ වෑන් එකක් විකුනන්න ඇඩ් එකක් දාලා තිබ්බා ඒකෙ මිල අහන්නයි කෝල් කරේ...


නෑ.. මම වෑන් එකක් විකුනන්න දාලා නෑ...


වෙන්න බෑනෙ .. මේ ඇඩ් එකක් තියෙනවනේ...


නෑහ්... මම ඇඩ් එකක් දැම්මෙ නෑ...


ඕං ඉතිං මටත් යකා නැග්ග.. ඇයි යකඩෝ අතිං වියදං කරගෙන උන්නැහේගෙ ඇඩ් එකට කෝල් කරාම එහෙම එකක් දැම්මෙ නෑලු...


වෙන්න බෑනෙ මනුස්සයෝ... මේ තියෙන්නෙ ඇඩ් එකක් පී නම්බර් සුදු පාට නිසාන් වැනට් එකක් දාලා ඔයාගෙ නම්බර් එකත් එක්ක... අපේ කාලය නාස්ති කරන්න එපා බොරුවට ඇඩ් දාලා... මාත් ඉතිං ටිකක් සැරෙන් කිව්ව..


තමුසෙ පොට්ටද ඕයි...සිංහල අකුරු කියවන්න බැරිද... ඕකෙ පැහැදිලිව දාලා තියෙනව " හයර් සඳහා" කියලා... ඕක හරියට කියවනව ඉස්සෙල්ල... &$&);$&&$@&%#><> බ්ලා බ්ලා බ්ලා...


ආං එතකොට මට තේරුනා යාලුවාව විශ්වාස කරලා ඇඩ් එක කියවන්නෙ නැතුව වාහනෙයි ෆෝන් නම්බර් එකයි විතරක් බලලා කෝල් එක ගත්තු එකේ මෝඩකම... අර මනුස්සයා තවත් සුද්ද සිංහල මොනාදෝ කියවද්දි මම සොරී සොරී වැරදීමක් සමාවෙන්න කියලා ෆෝන්නෙක කට් කරා... 


රෑ දෙකට උඩ ගිහිං ඇහැරුනාම ෆෝන්නෙකේ ඩිස්ප්ලේ එකේ තියන අකුරු බොඳවෙලා පේන එක සාමාන්‍යයි කියමුකෝ හතලිස් පහේ එකෙකුට... ඒත් මහ දවල් "හයර් සඳහා ". කියලා පැහැදිලි සිංහලෙන් ලියලා තියන ඇඩ් එක වැරදියට කියවලා ඌට මා ලව්වා කෝල් කරවලා ඌ ලව්වා මට අසභ්‍ය වචනෙන් බන්නපු එක සම්පූරං වැරදියි... මක් කරන්නද ඉතිං.. යාලුවෝ කියන්නෙ එහෙම එවුන් තමා... උදේ පාන්දර වැඩට යන්න පිටත්වුන ගමන් කියලා මමත් නිකං ඇරියෙ නෑ... හයර් යන වෑන් එකේ අයිතිකාරයා මට කිව්ව වගේ හතර ගුණයක් මාත් ඉතිං  ලෝභ නැතුව අමතලා දැම්මා සවුදියාට මැසෙන්ජර් කෝල් එකක් අරගෙන... ආයෙ ඉතිං මගේ අතිං පයිං යන එකක් කියලයෑ... උදේ පාන්දර වැඩට යන්න එලියට බැහැපු මට අසභ්‍ය වචන ඇස්සෙව්වට දඬුවමක් දෙන්නත් එපැයි යාලුවා උනත්...


හතලිස් පස් ඇඳිරීයත් හොඳට හිටිනවා වෙලාවකට...  ඒ කෝල් එක රෑ දෙකට දෙපාරක්ම එද්දිත් නම ගම  බොඳ වෙලා පෙනුන එක හොඳා...  එහෙම නොවුනානම් මම අර යකාගෙන් කුනුහබ්බ අහන්නෙ රෑ දෙකට නිදි ඇඳ් ඉඳන්... මම මේ මේක ලිව්වෙ නිකම් නෙවෙයි... හත් ඉලව්වේ හතලිස් පහ පනිද්දි ඇස් පෙනීම අඩුයි... ඔව්වා පෙන්නලා කන්නඩි ගනිල්ලා කියන්න..

Saturday, August 5, 2023

විස්සට තිහට පිචන් වෙන මිනිස්සු..

            


මේ කතාව අවුරුදු විස්සක් විතර පරණ කතාවක්.. අපිට තිබ්බ පුංචි කොමියුනිකේෂන් එකක්.. බිස්නස් එක වැඩිපුරම කරගෙන ගියේ මගේ තාත්ත.. තාත්ත ඒ වෙද්දී හිටියේ පෙන්ෂන් ගිහිල්ල නිසා තාත්තාගේ කාලය වැඩිපුරම ගතවුනේ ෂොප් එකේ.. එවකට ෂොප් එකේ වැඩ කරන්න ගැහැණු ළමයි දෙන්නෙක් හිටියත් තාත්තත් දවල් කාලයේ  පුළුවන් හැම වෙලාවෙන්මත්, හවසට ගෑණු ළමයි දෙන්න ඕෆ් වෙලගියාම කඩේ වහනකලුත් බිස්නස් එකට වෙහෙසුනා. අපේ තාත්ත ලේසියට පහසුවට මනුස්සයෙකුගේ වරදක් දකින මනුස්සයෙක් නෙවෙයි.. බිස්නස් එකේදිත් තාත්ත කඩේට එන කිසිම ගනුදෙනු කාරයෙක්ව ලේසියට අවිශ්වාස කරේ නෑ.. අපේ තාත්ත කොයිතරම් අවංක මනුස්සයෙක්ද කියනවනම්, අපේ ෂොප් එකේ ටෙෆෝන් බොක්ස් එක ඇතුලේ අමතක වෙලා දාලා ගිය රුපියල් හතලිස් දාහක සල්ලි මිටියකුත් අයිතිකාරයා හොයලා භාරදුන්නු මනුස්සයෙක්.. සල්ලි නැතිවුන මනුස්සයා අපේ තාත්තා අහනකල්ම දැනගෙන ඉදලා තිබුනේ නෑ එයාගේ සල්ලි දාලා ගියේ අපේ ෂොප් එකේ ටෙලිෆෝන් බොක්ස් එක ඇතුලේ කියල.. ආයෙම කඩේට ආපු වෙලාවේ අහනකල්ම ඒ මනුස්සයා හිතලා තියෙන්නෙම මෝටර් සයිකලේ යද්දී සාක්කුවෙන් වැටෙන්න ඇති කියල.. එවකට ටෙලිෆෝන් කෝල් බිස්නස් එක ටිකක් විතර සරුවට ගිය කාලයක්.. එක වතාවක් කව්දෝ අසමජ්ජාති එකෙක් කව්දෝ නමගිය චන්ඩිකුට අපේ ටෙලිෆෝන් බොක්ස් එකෙන් මවු අමතලා ගමේ පාතාලේ කඩේට  ඇවිත් චන්ඩි කතාත් කියවලා ගිහින් තිබුනා අපේ වැඩකරන ළමයින්ට ..අපි ඉතින් කරන්නේ විනාඩියට රුපියල් හය ගානේ ටෙලිෆෝන් කෝල් විකුණන එක නිසා අපිට ඉතින් එව්වා ලොකුවට අදාල නෑ.. 

අපේ කඩේ ටෙලිෆෝන් එක සැහෙන සේවාවක් ඉටු කළා අවට ජනතාවට එයාලගේ සමාජ සම්භාන්ධතාවයන් පවත්වාගෙන යන්න.. සුනාමි එද්දී ෂොප් එකේ තිබ්බේ සන්ටෙල් ෆෝන් එකක්.. සුනාමිය එක්ක බහුතරයක් දුරකථන අක්‍රීය වෙද්දී ෂොප් එකේ සන්ටෙල් එක අඛණ්ඩව එයාගේ සේවාව සැපයුවා පණිවුඩ එහා මෙහා ගෙනියන්න.. සුනාමි ඇවිත් දවස් කීපයක් යනකල් අපේ ෂොප් එකෙන් දීපු එකුදු දුරකථන අමතුමකටවත් අපි මුදල් අයකරේ නෑ.. මම ඒක ලිව්වේ ලොකු කමකට නෙවෙයි.. මිනිස්සුන්ට අවශ්‍ය වෙන වෙලාවේ , මිනිස්සු අමාරුවේ වැටුන වෙලාවේ අපිට දුරකථන ඇමතුමකින් ලැබෙන සල්ලි වැදගත් වුනේ නෑ කියල කියන්න.. ඒක මේ ලියන්න යන සිද්දියට වක්‍රාකාරයෙන්  අදාලයි..

දුරකථන ඇමතුම් ලබාදෙන්නේ යන්ත්‍රයක් හරහා.. ඒ යන්ත්‍රයෙන් කරන්නේ දුරකථන ඇමතුම ලබාගන්න කාලය වෙනුවෙන් අන්තිම තත්පරයට ගණන් හදලා රිසිට් පතක් නිකුත් කිරීමයි.. ඒ ගණන් මිනුම් ඉතාමත් නිවැරදියි.. අපිට ටෙලිෆෝන් ලයින් තුනක් තිබුන.. දෙකක් දුරකථන ඇමතුම් දෙන්න සහ අනෙක ෆැක්ස් පහසුකම වෙනුවෙන්.. අපි දුරකථන ඇමතුම් යන්ත්‍රය හෙවත් ඩිජිකොම් යන්ත්‍ර සක්‍රීය කරලා තිබුනේ එලියට යන ඇමතුම් සඳහා පමණයි.. කොමියුනිකේෂන් එකකට කෝල් එන්නේ බොහොම කලාතුරකින් නිසා පැමිණෙන ඇමතුම් සඳහා මුදල් අයකරන ක්‍රමවේදයක් ලංකාවේ කොහෙවත් තිබුනේ නෑ.. අපිට එහෙමයි.. එන කෝල් එකක් ආවත් ඒ කෙටිම පණිවුඩයක් සඳහා සහ ෆැක්ස් සඳහා  පමණයි.


මේ උක්තව කියැවෙන පුද්ගලයින් අපේ ගමට එන්නේ ඉඩමක් අරගෙන ගෙයක් හදන්න. එයාල  ඉඩම අරගෙන ගේ හදන්න පටන් ගත්ත ආපු අලුතම.. ඒ ගෙදර පුතා හෙවත් වැඩිමහල් දරුවා රටේ නමගිය ඉහල  තනතුරක් දරපු වෘත්තිකයෙක්.. එයා දවල් දවසේ වෘත්තිකයෙක් විදිහට රැකියාවට යන නිසා ගේ හදන වැඩ එක්ක යෙදුනේ එයාගේ තාත්ත.. ඒ කාලේ ජංගම දුකථන සුලබ නැති නිසා ඒ දෙපල දවල් දවස ඇතුලත කරන සාකච්චා කරේ අපේ ෂොප් එකේ දුරකථනය හරහා.. ඔහොම කාලයක් ගේ හදන වැඩේ කරගෙන යද්දී අපේ තාත්ත ෂොප් එකේ ඉන්න වෙලාවක තමයි පොඩි අමුත්තක් දැනිලා තියෙන්නේ.. මේ පුද්ගලයාගේ පියාණන් අපේ ෂොප් එකේ දුරකථන කුටියට වැදිලා දොර වහගන්නවා පළමුව.. ඊළඟට දුරකථන ඇමතුම ගද්දි ගහන අංක ටිකත් අපිට යන්ත්‍රයෙන් පෙන්නනවා.. මේ දුරකථන ඇමතුමේ විශේෂත්වය තමයි හරියටම තත්පර 55 -59 අතර මේ ඇමතුම විසන්දි වීම... ඇමතුම විසන්දි වූ සැනින් යන්ත්‍රය විසින් රුපියල් හයක බිල්පතක් එලියට ලබාදෙනවා.. අපේ තාත්තට ටික දවසකින් වැටහෙනවා මේ කියන පුද්ගලයා ගන්න දුරකථන ඇමතුම තත්පර 55-59 කාලය ඇතුලත විසන්දි උනත් එයාලාගේ කෝල් එක ඉවර වෙන්නේ විනාඩි දහයක් විස්සක් ගිහින් කියල.. දවසක් අපේ තාත්ත වැඩේ මොනිටර් කරලා කියමුකෝ.. 

අපේ ෂොප් එකෙන් ඇමතුම ගන්න පුද්ගලයා එයාගේ ඇමතුම තත්පර 55 පහු වෙද්දීම කට් කරන්නේ බොක්ස් එක ඇතුලේ තියන දුරකතනයෙන්.. හැබැයි රිසීවර් එක තියන්නේ නෑ.. ටෙලිෆෝන් එකේ කෝල් එක කට් වෙන බොත්තම අතින් ඔබගෙන මේ පුද්ගලයා තනියම බොරුවට සංවාදයේ යෙදෙනවා.. ඒ අතරේ එයයිගේ පුතණ්ඩියා එයයිගේ රාජකාරි දුරකතනයෙන් අපේ ෂොප් එකේ අංකයට දුරකථන ඇමතුමක් ගන්නවා.. ඒ එන දුරකථන ඇමතුම රිංග් වෙනකොටම අර වයසක මනුස්සයා ඇඟිල්ලෙන් ඔබගෙන ඉන්න බොත්තමෙන් ඇඟිල්ල ගන්නවා.. එතකොට තාත්තගෙයි පුතාගෙයි කෝල් එක නැවත සම්භන්ධ වෙනවා.. ඊට පස්සේ එයාලා කැමති වෙලාවක් කතාව කරගෙන ගිහිං එලියට ආවාම යන්ත්‍රයෙන් ඇවිල්ලා තියන බිල රුපියල් හයයි... ඔන්න තාත්තගෙයි පුතාගෙයි කයිරාටික ගේම් එක.. මේ ඇමතුම ගන්න හැම වෙලාවේම මැෂින් එකෙන් බිල ආපු ගමන්ම කෝල් එකක් ඇවිත් එක රිංග් එකෙන් කට්වෙන වෙන සද්දේ අපේ තාත්තට ඇහිලා තිබුනත් මේ වැඩේ දිහා හොඳින් නිරීක්ෂණය කරනකල් මේ දෙන්නගේ වංචාව ගැන අවභෝධයක් ලැබිලා තිබුනේ නෑ.. එයින් පස්සෙත් මේ පුද්ගලයින් දෙදෙනා මේ සෙල්ලම දිගටම කරගෙන යන්න උත්සහ කලත් අපේ තාත්තා සහ කඩේ වැඩ කරපු ළමයි දෙන්නත් පුරුදුවුනා ඩිජිකොම් මැෂින් එකෙන් බිල ආපු ගමන් යන්ත්‍රය ඇතුලෙන් අක්‍රීය කරන්න.. ඩිජිකොම් යන්ත්‍රයේ ස්විචය ඕෆ් කරාම ඒ තාත්තටත් , පුතාටත් තවදුරටත් අපිව අන්දලා කෝල් ගන්න සෙල්ලම කරගෙන යන්න බෑ ... වංචාවක් විදිහට කරගෙන යන්නේ නැතුව incoming කෝල් එකක් ගත්තට කමක් නැද්ද කියලා ඇහුවනම් අපි ඕකට මුදල් අයකරන්නේ නෑ... සුනාමි දවස්වල කෝල් දාහක් දෙදාහක් නොමිලේ දීපු අපිට ඉන්කමින් කෝල් එකක් නොමිලේ දෙන එක මහා කජ්ජක් නෙවෙයි.. මොකද කියනවනම් ඉන්කමින් කෝල් එකකට අපිට මුදල් අය වෙන්නේ නෑ..


රටේ පිළිගත් වෘත්තිකයන් වෙලත් රුපියල් දහයට විස්සට මිනිස්සු තමුන්ගේ ආත්මය පාවාදෙන්නේ ඇයිද කියන ප්‍රශ්නයට මා ළඟ උත්තරයක් නෑ..  ව්‍යාපාරයක් කරන මිනිස්සු විදිහට රුපියල් විස්සකින් තිහකින් අපිට කොටි ප්‍රකෝටිපතියන් වෙන්න බෑ..  සතියේ හැම දවසකම ඒ තාත්තා ඒ පුතාට කෝල් ගත්තා වගේම සමහර දවස්වලට කෝල් දෙක තුන ගත්තා ගේ හදන වැඩ ගැන කතා කරන්න.. රුපියල් විස්සක් තිහක් වංචාවෙන් ඉතුරු කරගෙන මනුස්සයෙකුට කොටි ප්‍රකොටිපතියෙක් වෙන්නත් බෑ... ඒත් මනුස්සයෙක් ලෝකෙට  මවාගෙන ඉන්න වැදගත් චරිතය එක තත්පරෙන් කුඩු කරලා දාන්න රුපියල් විස්සක තිහක වංචාවකට පුළුවනි... අපේ තාත්තට ඕක මොනිටර් වෙද්දීත් ඒ තාත්තයි පුතයි මාස පහ හයක් අපේ ෂොප් එක හරහා ඔය සෙල්ලම කරා කියලයි අපේ තාත්තගේ අනුමානය.. ලෝකෙට කොයිතරම් ලොක්කෙක් උනත් මටත්, අපේ තාත්තටත්, එවකට කඩේ වැඩකරපු ගෑණු ළමයි දෙන්නටත්, මේ තාත්තයි පුතයි කියන්නේ පට්ට වංචනිකයන් දෙන්නෙක්.

මම මේක ලිව්වේ මේ ඊයේ පෙරේදාවක දැකපු ෆේස්බුක් පොස්ට් එකක් නිසා.. මම දන්නා මිත්‍රයෙක් යම් පුද්ගලයෙක් ගැන වර්ණනාවක් ලියලා තිබුනා ඒ කිව්ව පුද්ගලයාගේ වෘත්තියමය තත්වය සහ පුද්ගලික සම්න්හන්ධතා ගැන... මට ඒක කියෙව්වම එකට ලියන්න ඕනවුන උත්තරේ එතන ලිව්වනම් ඒක ඒ පුද්ගලයාගේ පුද්ගලිකත්වයට හරි නැති නිසා මම ඉතින් මේක වෙනම ලිව්වා... දැන් ඉතින් එයාලා ගෙවල් දොරවල් හදලා පදිංචි වෙලත් ඉවරයි.. හැබැයි ඉතින් මගේ කන් දෙකට ඇහිලා තියෙනවා ඔය කිව්ව වෘත්තිකයා වැට මායිමක ප්‍රශ්නයකට අල්ලපු ගෙදර මනුස්සයාට අමු තිත්ත කුණුහරුපෙන් අමතනවා ප්‍රසිද්දියේ... මිනිස්සු ගැන එළියෙන් පෙන්වන ස්වරුපය ගැන නිගමනයකට එළඹිලා ඒ මිනිස්සු ගැන රෙකමදෝරු ලියන එක අවධානම් වැඩක් .. එකෙන් වෙන්නේ අර පුද්ගලයින්ගේ ඇතුලාන්තය දන්න මිනිස්සු ඉස්සරහා තමුන් හෑල්ලු වෙන එක... 




Saturday, June 17, 2023

මට පේන හීන එළිවෙන හැටි

         


               පහුගිය සතිය පටන් ගැනුනේ හීනෙකින්... හීන කියන්නේ මට නින්දට වැටුන වෙලාවේ හිටන් ටීවී එක දැම්මා වගේ පේන එව්වා නිසා ලොකුවට හිතන්නෙ නෑ හීන ගැන... ඒ පේන හීන ගැන හිතලා ජීවිතේ ගත කරන්න ගියොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑ... පේන හීන ගානටයි බිත්තිවල එල්ලිලා ඉන්න හූනන් චික් චික් ගාන එව්වටයි ජීවිතේ ඇජස් කරන්න ගියොත් රස්සාවක් කරගෙන ජීවත් වෙන්න වෙන්නේ නෑ... 


මේ කියන හීනේ මට පේන්නේ පහුගිය සඳුදට එළිවෙන්න... පවුලේ කෙනෙක් මැරිලා ඉන්නවා හීනෙන් දැක්කට මමනම් ඔව්වා වැඩිපුර ගානකට ගන්නේ නෑ... ඒත් මම අහලා තියෙනවා පවුලේ කෙනෙක් මැරිලා ඉන්නවා හීනෙන් දැක්කොත් තමුන්ට හොඳ නෑ කියල... හීනෙකට ජීවිත වෙනස් කරන්න පුළුවන් කියලා මම ඉතින් විශ්වාසෙට ගන්නෙම නෑ ඔය කවුරු කිව්වත්... හීනේ දැක්කේ සඳුදා එළිවෙන්න උනාට සඳුදා දවස කිසිම අවුලක් නැතුව ගෙවුනා වෙනදා වගේම... උපන්දා හිටන්ම වෙන අනිවාර්ය දේ මොක කරත් කෙළවෙන එකම නිසා හීනයක් දැක්කා කියලා අමුතුවෙන් භය වෙන්න දේකුත් නෑනේ ඉතින්....


අඟහරුවාදා දවසට එළිවෙන දවසේ දැකපු හීන ලිස්ට් එකේ මැරෙන හීන තිබ්බේ නෑ... රැයක් එළිවෙද්දී හීන කීපයක් පේන නිසා ඔව්වා ඉතින් මතකයේ තියාගෙන ඉන්නෙත් නෑ... සමහර හීන ඉතින් හද්දා කුජීත එව්වා.. සමහර එව්වා ඉතින් සුපිරි ආතල් එව්වා... කුජීත එව්වා පේන වෙලාවටනම් මගදී ඇහැරෙන්නේ නැතිවුනාට ආතල් හීනනම් ඉතින් ඉවරයක් වෙන්න බලාගන්න ලැබෙන්නේම නැතිම තරම්... අඩුම තරමේ මුත්‍රා බරක් හරි ඇවිල්ලා නින්දෙන් ඇහැරිලා හීනෙට කෙළවෙන එක තමයි හැමදාම වෙන සීන් කෝන් එක... සැබෑ ජීවිතේදී විතරක් නෙවෙයි හීනෙනුත් හොඳ දෙයක් වෙද්දී ඒ හොඳ දේ අවසානය දකින්න කලින් කෙළවෙන එක සසර කරපු කරුමයක් වෙන්ටෑ කියලයි ඉතීම් මගේ වටහාගැනීම...


අඟහරුවාදාට එලිවුනා කියමුකෝ... ෆෝන් එකේ එලාර්ම් එක වැදුනාම හීන ටීවී එක ඕෆ් කරලා දාලා රස්සාවට යන්න ලෑස්ති වෙන්න ඕනනේ.. ඊට කලින් ෆෝන් එක අරගෙන ඩේටා ඕන් කරලා බලනවා ලංකාවෙන් ආපු මැසේජ් මොනාද කියල.. වැදගත් කියලා එව්වා තියෙනවනම් ඒ වෙලාවේම කෙටියෙන් පිළිතුරු දීලා ඊලඟට කරන්නේ බාත්රූම් එකට යන එක... රෑට ඩේටා ඕෆ් කරන්නේ පෙරේතකමට නෙවෙයි... මම නිදාගන්න වෙලාවට ලංකාවෙන්  එන වට්සැප් කෝල්, මැසෙන්ජර් කෝල්, නින්දට භාදාවක් නිසා... ෆුට් සයිකලේ චේන් එක පැන්නත් මට කෝල් කරන යාලු මිත්‍ර, ඥාති පිරිසක් එක්ක මට රැයක් නිදාගන්න එක ටිකක් විතර අමාරුයි... ඒ වගේම රෑට ෆෝන් එක වයිබ්රේට් උනාම  අනෙක් කාමරවල ඉන්න උදවියට විතරක් නෙවෙයි බිත්තියෙන් වෙන්වෙලා තියන අල්ලපු ගෙදර උදවියටත් ඇහැරෙනවා ... ලී වලින් හදන ගෙවල් එහෙම තමයි... ෆෝන් එකේ වයිබ්‍රේෂන් එකට ඩ්‍රයි වෝල් වයිබ්රේට් වෙනවා බෙඩ් සයිඩ් කබඩ් එක වයිබ්රේට් වෙද්දී..

 මුනට මුකුත් නොකිව්වට ඉතින් දවස් දෙක තුනක් යනකල් ඒ මුනුවලින් නින්ද කැඩුව තරහ පිටවෙනවා හීනියට... දෙතොල නොකීදේ දෙනෙතේ ලියවෙනවා කියලා ගුණදාස කපුගේ ශුරීන් කියලා තියෙන්නේ ඒ වගේ සීන් නිසා වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ ..   ඩේටා ඕෆ් කරාම එනවනම් එන්නේ ඩිරෙක්ට් නම්බර් එකට එන කෝල් විතරයි... එච්චර ගානක් වියදම් කරගෙන කෝල් එකක් ගන්නවානම් ඉතින් ඒක ඇත්තටම වැදගත්ම වැඩක් නිසා ඒ වගේ වැදගත් වැඩකට නින්ද කැඩුනට අවුලක් නෑ... ගෙදරට දීලා තියෙන ස්ටෑන්ඩින් ඕඩර්ස්වලට අනුව රෑට හදිසියකට කෝල් කරනවානම් ඩිරෙක්ට් සෙල් ෆෝන් එකට ගත්තම තමයි මාව සම්භන්ධ කරගන්න පුළුවන් වෙන්නේ... ලාබෙට ගෝවා කන්න ගිහින් වට්සැප් ගත්තොත් ඉතින් ග්‍රාහකයා ආතල් හීනයක් බලාගෙන සැපේ නිදි... 


එලාර්ම් එකට ඩොටේට ඇහැරෙනවා කිව්වට ඉතීම් හතට වදින එලාර්ම් එකට ඇඳෙන් බහින්නේ හතයි තිහ ලං වෙලා ... ඊට පස්සේ ඉතීම් මල්ටි ටාස්කින් බාත්රූම් සෙෂන් එකකින් අනතුරුව අට වෙද්දී කොල්ලා වැඩට ගිහින් ක්ලොක් ඉන් කරනවා තිතට... දෙයියෝ අත් දෙකක් දීලා තියෙන්නේ අත් දෙකෙන් එකවර වැඩ දෙකක් කරන්න... රැවුල කපන ගමන් දත් මදින්න.. දත් මදින ගමන් තවත් වෙන වැඩක් කරන්න වගේ  වැඩ වලින් කාලය කළමනාකරණය කරගත්තාම බාත්රූම් එකේ ගතකරන කාලය අවම කරගන්න පුළුවනි... ඉලෙක්ට්‍රික් රේසර් එකක් පාවිච්චි කරාම රැවුල කැපිල්ලට යන කාලයෙන් සීයට හැත්තෑ පහක් ඉතුරු කරගන්න පුළුවනි... නාන තැන එක සබන් කෑල්ලයි වොෂ් බේසින් එක ළඟ එක සබන් කෑල්ලයි තිබ්බාම එතනත් කාලය තත්පර ගානක් ඉතුරුයි... වොෂ් බේසින් එක ලඟින් ෆේස්ට ටවල්  එකකුයි නාන තැන තව ටවල් එකකුයි තිබ්බාම තවත් තත්පර ගානක් ඉතුරුයි... ඔය වගේ පොඩි පොඩි ඇජස්මන්ට්ස් වලින් කාලය මැනේජ් කරගන්න පුළුවනි හොඳට හිතුවාම... එක එක දේවල් වලින් ඉතුරු වෙන්නේ තත්පර ගණන් උනාට ඒ ඔක්කොම එකතු උනාම විනාඩි පහක් දහයක් ඉතුරු කරගන්න පුළුවනි ලේසියෙන්ම. පහුවදාට වැඩට ගෙනියන කෑම එක ඉස්සරින්දා රෑට බෙදලා කරලා ෆ්‍රිජ් එකේ දාල තිබ්බම උදේට තියෙන්නේ මයික්‍රෝවේව් එකට දාලා විනාඩි දෙකක් රත් කරන්න විතරයි.. ඔය ඔක්කොම සෙල්ලම් දාලා තමයි මම හතහමාරට ඇඳෙන් බැහැලා අට වෙද්දී වැඩට ක්ලොක් ඉන් කරන්නේ... මම වැඩ කරන්නේ ෆීල්ඩ් එකේ නිසා ඕනෑම ඔෆිස් ලොකේෂන් එකකින් මට ක්ලොක් ඉන් කරන්න පුළුවනි. ආසන්නම තැනට මට තියෙන්නේ කිලෝමීටර පහයි.. වාහනේට නැග්ගම විනාඩි දහයෙන් මම රස්සාවේ..


හීනේ පලදෙන්න පටන් ගන්නේ අනහරුවාදා උදේ බාත්රුම් එකේදී... බාත්රූම් එකකදී වෙන්න පුළුවන් කරදර අටෝරසියක් තියෙනවා. එයින් නරකම එව්වයින් නරකම එකක් මට වෙන්නේ ඔය කියන අඟහරුවාදා උදේ... ටයිම් මැනේජ්මන්ට් කරගන්න මල්ටිටාස්කින් කරන්න ගිහින් තමයි ඒක වෙන්නේ... කරපු වැඩ දෙක මොකක්ද කියලා හිතාගන්න එක ඉතින් කියවන ඔබලාට බාරයි... ප්‍රතිපලය තමයි මම රැවුල කපන එලෙක්ට්‍රික් රේසර් එක කොමඩ් එක ඇතුලට වැටීම....වනේ වන හතුරෙකුටවත් වෙන්න ඕනෑ නැති එව්වා ඉතින් මටම වෙනවා කියන්නේ මගේ වෙලාවේ හොඳකම තමයි... දැන් ඉතින් මගෙන් අහන්න එපා මොකද කරේ කියලා... එලෙක්ට්‍රික් රේසර් එක කොමඩ් එකේ තියෙද්දී රස්සාවට යන්න බෑ නෙව... හරි... දැන් ඉතින් ඉලෙක්ට්‍රික් රේසර් එකේ ප්‍රශ්නේ විසඳාගත්තා කියමුකෝ.. ඊළඟට තියෙන්නේ ලෑස්තිවෙලා රැකියාවට යාම... බුදුරජාණන්වහන්සේගේ පිළිම වහන්සේට වන්දනාමාන කරලා දනි පනි ගාලා එලියට පැන්නාම වර්ක් වෑන් එක එලියට ගන්න විදිහක් නෑ එතන හරහට කුරියර් ට්‍රක් එකක් නවත්තලා කියහන්කෝ... අටටම රස්සාවට ඉන්න ඕන කියලා නීතියක් නෑ... අටට ආවද කියලා හොයන්න කෙනෙකුත් නෑ... දවසේ තියෙන රෙපෙයාර් ටික කෙරිලා තියෙනවනම්, මට අයිති ලෝකෙෂන්වල  කස්ටමර් කොම්ප්ලේන් නැත්තම් ආගිය වෙලාවක් කවුරුවත්ම හොයන්නේ නෑ... මගේ රස්සාව දවසේ ඕනෑම වෙලාවක පටන් අරගෙන ඕනෑම වෙලාවක ඉවර කරන්න පුළුවන් තත්වෙ එකක් නිසාත්, එක තැනක නැති ෆීල්ඩ් ජොබ් එකක් නිසාත් යන එන වෙලාවක් ඉන්න තැනක්  ලොකු උදවිය හොයන්නෙම නෑ... හෙව්වා කියලා හොයන්නත් බෑ... කොම්පැණි වාහනවලට ඇරුනාම පුද්ගලික වාහනවලට ජී.පී.එස් හයි කරන්න කොම්පැනියට බලය නෑ.....  මගේ පුද්ගලික වාහනයක් පාවිච්චි කරලා මයිලේජ් එක වෙනම අයකරගැනීම එතැනදී මට හැම පැත්තෙන්ම වාසියි... අටට වැඩට නොගියොත් දවසම අවුල් වගේ දැනෙන එක මගේ මානසික ව්‍යාධියක්...  ඒ නිසයි අටට වැඩට යන්න මේ හැටි දැඟලිල්ල... එහෙම නැතුව අටට නාවොත් ජොබ් එකෙන් අස් කරනවා කියලා එහෙම නෙවෙයි...


කුරියර් අයියලා ලොකේෂන් එකකට ආවාම වාහනේ එක තැනක නවත්තලා ඒ ලොකේෂන් එකේ තියන පාර්සල් සියල්ලම බෙදන්න ටික වෙලාවක් යන නිසා මම කරන්නේ වෑන් එකේ යාම පැත්තකින් තියලා වෙන තැනක නවත්තල තියෙන මගේම පරණ කාර් කටුවේ නැගලා ඔෆිස් එකට යන්න පිටත්වෙන එක.. ප්ලෑන් එක තමයි උදෑසන අටට හැකි ඉක්මනින් ක්ලොක් ඉන් කරලා ආයෙම ඇවිත් කාර් එක තියලා වෑන් එක අරං වැඩට යාම... ඉන්න තැන ඉඳන් ආසන්නම ලොකේෂන් එකට කලර් ලයිට් හයයි... හතරවෙනි කලර් ලයිට් එකේ නවත්තලා අදිනකොටම ට්‍රැෆික් එක ආයෙම හිටි ගමන් නවතිනවා කියහන්කෝ ... මමත් බ්‍රේක් එක උඩ නගිනවා පන එපා කියල... කාර් කටුවෙ ඒ බී එස් ඔන් වෙලා ඉස්සරහ තිබ්බ ටෙස්ලාවට අඩියක් දෙකක් දුර තියලා නවතිනව මගේ වෙලාවේ හොඳ කමට... ඒත් ඒ වෙලාවේ හොඳකම වැඩි වෙලා තියෙන්නේ නෑ... බැලුවම  පිටිපස්සෙන් ආපු හුන්ඩායි එළන්ට්‍රා ඇන්ටිට බ්‍රේක් ගහගන්න අමතකවෙලා  ... ඇන්ටි කිව්වට මට ආසන්නම වයසේ ගෑණු මනුස්සයෙක්... මටත් දැන් හතලින් පහක් කියලා මතක් වෙන්නේ බොහොම කලාතුරකින්... මට හතලිස් පහෙන් පස්සේ වයස යන එක නැවතුනා... ආයේ ඉතින් පනස් පහ වෙනකම් මගේ වයස හතලිස් පහ තමයි... 


පිටිපස්සෙන් ආපු ඇන්ටිට බ්‍රේක් ගහගන්න අමතකවුනා කියන්නේ ඉතින් මගේ කාර් එකේ පිටිපස්ස සුන් කියලා වෙනත් විදිහකින් කියන එක තමයි... දබාස් ගාන සද්දෙත් එක්ක මගේ කාර් එකත් ටිකක් විතර ඉස්සරහට තල්ලුවුනා... බැහැලා ගිහිං බැලුවාම පිටිපස්සේ ඇන්ටිගේ එළන්ට්‍රා එකේ  මුණ පොළොවේ ගහපු වැල ගෙඩියක් වගේ... මගේ කාර් එකේ පස්ස බිමට කඩපු  තැඹිලි වල්ල වගේ ... ඇන්ටිටත් ශරීර හානි නෑ.... මටත් නෑ... බෙල්ල හරි කොන්ද හරි අල්ලාගෙන බිම වාඩිවුනානම් සතියක් දෙකක් ඉස්පිරිතාලෙක සැප විවේකයක් ගතකරලා ලංකාවේ සල්ලි වලින් ලක්ස දහයක් පහළොවකුත් අරගෙන ගෙදර එන්න පුළුවන් උනාට එව්වා ඉතින් මහා කැත වැඩ... ඉන්සුරන්ස් එකට කෝල් කරලා ඇන්ටිත් එක්ක තොරතුරු හුවමාරු කරගෙන එතනින් මාරු වෙද්දී තවත් පැයක් විතර අල... ඉන්සුරන්ස් දෙකයි ඩයිවර්ලා දෙන්නයි එකඟතාවයකට එනවනනම්, ජීවිත හානි ශරීර හානි නැතිනම්, පොලිසි යාම අත්‍යවශ්‍ය නෑ...


කාර් එක හදන්න ගරාජ් එකකට දාන්න ඉන්ෂුරන්ස් එකෙන් බලන්න එනකල් ඉන්න වෙන නිසා ඒක ගෙනැල්ලා ගෙදර දාලා ආයෙම වර්ක් වෑන් එක අරගෙන මම වැඩට යනවා කාර් එක දිහා බලාගෙන ඉඳලා වැඩක් නැති නිසා... මට එදා පලවෙනි ජොබ් එක සෙට් වෙලා තිබ්බේ කිලෝමීටර එකසිය විස්සක විතර දුරක... ආයෙම හීනේ පලදෙන්නේ ඒ කිව්ව ජොබ් එක කරලා ආපහු එද්දි .. හයිවේ එකේ ටික දුරක් එද්දී තමයි මට දැනෙන්නෙ වෑන් එකේ  ඒසී එක නැතුව යනවා කියලා... එක්සිට් එකකින් එලියට දාල පොඩ්ඩක් එන්ජිම දිහාවට එබිලා බැලුවම ඒසී කොම්ප්රෙසර් එකේ ක්ලච් එක එන්ගේජ් වෙන්නේ නෑ... ඒසී නැතුව දවසක් දුවනවා කියන්නේ, හවසට ගෙදර ගියාම ලුණු ගම්මිරිස් ටිකක් ඉහගෙන මට මාව කන්න පුළුවන් තරමට රෝස වෙන සීන් එකක්... ඒසී එක හදන්න ක්ලච් එක දාන්න වෙනවා උනාට මට එක කරගන්න තැනක් නෑ... කොම්ප්රෙසර් එක බිමට බාලා ක්ලච් එක අලුතෙන් දාලා හයි කරන එක සිම්පල් වැඩක් උනාට මට ඒ ජොබ් එක කරගන්න තැනක් නෑ... වෙනත් විදිහකට කියනවනම්, පාරේ තියාගෙන, පාර්කින් ලොට් එකක තියාගෙන වාහන හදන්න තහනම්... එව්වට තමුන්ගේම කියලා ගෙදරක් හෝ ගරාජ් එකක් තියෙන්න ඕන... ඔෆිස් ලොකේෂන් එකක තියාගෙන බ්‍රේක් පෑඩ් මාරුකරන වගේ එව්වා මමම කරගත්තට වාහනේ ඉස්සරහ පැත්ත රෑම්ප් එකක නග්ගලා යටට ඇදිලා කරන්න ඕන වැඩ ඔෆිස් ලොකේෂන්වල තියාගෙන කරන්න බෑ... ඒ නිසා ගරාජ් එකකට දාල සල්ලි දීලා කරගන්නව ඇරෙන්න වෙන විකල්පයක් නෑ... ලෝකල් ගරාජ් විශ්වාසයට ගත නොහැකියි... එව්වයේ වැඩකරන බහුතරයක් හද්දා කපටි ... ඒ වගේම උන්නැහේලාගේ දැනුමත් ප්‍රශ්ණ සහගතයි.. එකම විකල්පය ඩීලර් ලඟට දැමීම පමණයි... 


අඟහරුවාදා හවස ඩීලර් ලඟට දාන වාහනේ හදන්න අරගෙන ඩීලර්ගෙන් කෝල් එක එන්නේ බදාදා උදේ... බදාදා මම රස්සාව කරන්නේ පස්ස පැලිච්ච කාර් එකේ ... අත්‍යවශ්‍ය ටූල්ස් ටික විතරක්ම කාර් එකේ දාගෙන රස්සාව කරාට ඒක හරිම අමාරු වැඩක්... වර්ක් වෑන් එකක් කියන්නේ නිකම්ම නිකං ටූල්ස් පටවපු වෑන් එකක්ම  නෙවෙයි... ඒක ටෙක් කෙනෙකුගේ ජීවිතය හා සමාන දෙයක්... වෙනම ෆීලින් එකක්... වෙනත් විදිහකින් කියනවනම් හොඳම යාලුවෙක් වගේ...  දවසෙ පැය අටක් හෝ ඊට වැඩි කාලයක් ගතවෙන්නේ ඔය වාහනේ ඇතුලේ වෙච්චි, ඇඳට වඩා සුව පහසුවට නින්ද යන්නේ ඔය ඩ්‍රයිවින් සීට් එකේ වෙච්චි, දවසේ වෙල් දෙකක් කෑම කන්නේ ඔය ඩ්‍රයිවින් සීට් එකේ වෙච්චි, ඒක වාහනයක් නෙවෙයි තනිකරම ගෙදරක්.. ජීවිතේ ගතකරන්න සුව පහසුම ස්ථානයක්... ඉතින් එක නැතුව කොහොමද ජීවිතේ ගෙවන්නේ... ඒක නැතුව කොහොමද පහසුවෙන් රස්සාව කරන්නේ...


හෙලෝ... සුභ උදෑසනක්... මේ අහවල් ඩීලර්ෂිප් එකෙන්.... ඔයාගේ වෑන් එක සම්භන්ධව...


හරි.. කියන්න... මොකද මගේ වාහනේ තත්වේ...


සර්... ඔයාගේ වාහනේ ඒසී කොම්ප්රෙසර් එක ගිහිල්ල...


ගිහිල්ලා කිව්වේ... මොකක්ද ඔයා අදහස් කරන්නේ... 


සර් ඒක අලුතෙන් දාන්න ඕන...


මට පැහැදිලි කරන්න පුලුවනිද මොකක්ද වෙලා තියෙන්නේ කියල...


මම හිතන්නෙ නෑ සර්ට මම එක ටෙක්නිකලි පැහැදිලි කරට තේරේවි කියල... කොම්ප්රෙසර් එක අලුතෙන් දාන්න ඕන..


හරි... මම මෙහෙම අහන්නම්කො.... ඒසී  කොම්ප්රෙසර් එකේ කොටස් දෙකයි.. එකක් ක්ලච් එක... අනික ෆ්‍රීසින් ලික්විඩ් එක ප්‍රෙෂර් කරන කොටස... දැන් ඕකෙ ගිහිල්ලා තියෙන්නේ ක්ලච් එකද එහෙම නැතිනම් ප්‍රෙෂර් කරන කොටසද... 

(මම දන්නවා ගිහින් තියෙන්නේ ක්ලච් එක කියල .. ඒත් මම එක උන්නැහේට කියන්නේ නෑ.)


ක්ලච් එක සර් ගිහිල්ල තියෙන්නේ..


ඉතින් ඇයි ඔයා මගෙන් කොම්ප්‍රේසර් එක දාන්න අහන්නේ... ක්ලච් එක දාන්නකෝ  ..


(ක්ලච් එක එළියෙන් ගත්තොත්  මිල ලංකාවේ මුදලින් විසි හයදාහයි.. කොම්ප්රෙසර් එක එළියෙන් ගත්තොත් මිල ලංකාවේ මුදලින් අසූ හතරදාහයි ..)


අපි ක්ලච් එක විතරක් දාන්නේ නෑ සර්... 


හරි කීයද රෙපෙයාර් කොස්ට් එක ...


මෙහෙමයි සර්... කොම්ප්රෙසර් එක ගියාම ඊළඟට කොන්ඩේන්සර් එකත් යන්න බලනවා.. ඔය දෙකම එකට දාන්න ඕන...


හරි... කීයද දෙකටම ටෝටල් කෝස්ට් එක... 


ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ දහයයි හතලිස් හතර දාහක්...


දැන් කව්ද කියන්නේ ක්ලච් එක ගියාම කන්ඩෙන්සර් එකත් යනවා කියල...


මගේ ටෙක්නිශියන් කියනව සර් කොම්ප්රෙසර් ක්ලච් එකේ කෑලි කැඩිලා ලයින් ඇතුලට ගියාම කන්ඩෙන්සර් එක හිරවෙනව කියල..


එහෙනම් ඔයා ගිහින් ඔයාගේ ටෙක්ට කියන්න කොම්ප්රෙසර් එකේ කැඩිච්ච ක්ලච් එකයි ඇතුලේ ප්‍රෙෂර් වෙන ෆ්‍රීසින් ලික්විඩ් එකයි අතර සම්භන්ධයක් නෑ කියල... ඒ නිසා කැඩුන ක්ලච් එකේ කෑලි ලයින් ඇතුලට යන්නේ නෑ කියන්න... කොම්ප්රෙසර් එක විතරක් දාන්න කියන්න... මට කියන්න කීයද කොම්ප්රෙසර් එකට විතරක් ගාන... 


කොම්ප්රෙසර් එක දාන්නයි ෆ්‍රීසින් ලික්විඩ් එක එලියට අරගෙන ආයෙම ඇතුලට දාන්නයි ඔක්කොම ලංකාවේ මුදලින් පන් ලක්ෂ අනූ දාහයි... 

(මට කරගන්න දැනුම තිබ්බත් මම කරගත්තනම් එකට වැයවෙන්නේ ඔය කියන මිලෙන් හතරෙන් එකකටත් වඩා අඩු මුදලක් උනත්, මට ඒක කරගන්න තැනක් නෑ .. ඒ නිසා විකල්පයක් නෑ )


හරි... ඒ වැඩේ කරවන්න...


තව ප්‍රශ්ණ ටිකක් තියෙනවා සර් වාහනේ...


මොනවද... 


පිටිපස්සේ බ්‍රේක් ගෙවිලා තව ඉතුරු වෙලා තියෙන්නේ මිලිමීටර් පහයි... ටයර් ප්‍රෙෂර් සෙන්සර් එකක් ගිහිල්ල තියෙන්නේ සර්... ඒක අලුතෙන් දාන්න ඕන...


හරි... බ්‍රේක් වැඩේ අමතක කරලා දාන්නකෝ..  ටයර් ප්‍රෙෂර් සෙන්සර් එකට කීයක් යනවද..

(පිටිපස්සේ බ්‍රේක් රීප්ලේස් කරගන්න එක මට සිම්පල් වැඩක් )


ඩයග්නෝස් කරන්න ලංකාවේ මුදලින් තිස් හයදාස් දෙසිය පනහයි... සෙන්සර් එකට හතලිස් තුන්දාස් පන්සීයයි...


දැන් ඔයා කිව්වනේ සෙන්සර් එකක් ගිහිල්ල තියෙන්නේ කියල... ඉතින් ආයෙම ඩයග්නෝස් කරන්න දෙයක් නෑනේ... සෙන්සර් එක දාන්න යන ගාන විතරනේ...


නෑ සර්... ඩයග්නෝස් කරන ගාන ගෙවන්නම වෙනවා...


ඕන නෑ... එකත් අමතක කරලා දාන්නකෝ... මට ඒසී එක විතරක් හදල දෙන්න...

(ටයර් හතර ළඟදීම දාන්න වෙනවා.. ටයර් හතර දාද්දි සෙන්සරේ දානකොට ටයර් කඩෙන් ගන්න ගාන ඔය කිව්ව ගණන් දෙකෙනුත් භාගෙටත් වඩා අඩුයි )


ඔන්න ඔය විදිහට වාහනේ හදවන්න උපදෙස් දීලා මම පස්ස පැලිච්ච කාර් එකේම පහුවදාත් රස්සාව කරා..


බ්‍රහස්පතින්දා හවස ආයෙම ඩීලර්ගෙන් කෝල් එකක්...


සර්... ඒසී එකනම් හදල තියෙන්නේ... සර්ට උදව්වක් විදිහට මම ටයර් ප්‍රෙෂර් සෙන්සර් එක දාද්දි ඩයග්නෝස් කරන ගාන අඩු කරන්න තීරණය කරා... අපිට පුළුවනි එක ඩයග්නෝස් නොකර දාලා දෙන්න....


හරි... මට කියන්නකෝ සෙන්සර් එකට තව කීයක් යනවද කියල...


ඉන්න සර් මම බලලා කියන්නම්... 


හ්ම් ..


සෙන්සර් එකට ලංකාවේ මුදලින් අසුදාහක් යනවා සර්... 


සෙන්සර් එක දාන්නම එපා කියලා මම හවස ගිහින් වාහනේ අරං ආව.. ඒසී කොම්ප්‍රෙෂර් එක දැම්මට ගාස්තුව ලංකාවේ මුදලින් පන් ලක්ෂ අනූ දාහයි... ක්‍රෙඩිට් කාර්ඩ් එක බුදුන් දැක නිවන් දකින්න ඕන ඉතිං...


ටයර් සෙන්සර් එකට කිව්ව ගාන තිස් හයදාස් දෙසිය පනහයි.. ඩයග්නෝස් කරන්න කිව්ව ගාන හතලිස් තුන්දාහයි.. ඒත් මට  උදව්වක් විදිහට ඩයග්නෝස් කරන ගාන අය නොකර  සෙන්සර් එක දාන්න යන ගාන අසු දාහයි...  මේ ගාන හදපු සමීකරණය ගැන හිතුවාම මගේ  මොලේට සමනල් ගැටේ වැටෙනවා කියහන්කෝ  ..


මම වාහනේ අරගෙන ගෙදර ආපු ගමන් කරේ බාත්රූම් එකට ගිහින් කන්නාඩියෙන්  හොඳහැටි මුණ බලාගෙන  ෆ්‍රිජ් එකේ තියන රයිස් කුකර් බත් මුට්ටිය ඇරලා බලපු එක... මට ඕනවුනා එකේ තියෙන්නේ බත්මද එහෙම නැත්තම් තනකොලද කියලා බලාගන්න සහ කන්නාඩියෙන් බැලුවාම ඉන්නේ මමමද එහෙමත් නැත්තම් අන් ආපු වස්සෙක්ද කියලා බලාගන්න.... ඇයි යකෝ... උදව්වක් විදිහට ෆ්‍රී කරලා දෙනවා කියලා කෑල්ලේ ගානට අනිත් ගානත්  එකතු කරලා කියනකොට ඒ ලණු කන්න උන්ට මාව පේන්නේ හරකෙක් විදිහටද කියලා දැනගන්න ඕන නැද්ද හා..


කාර් එක බලන්න ඊයේ ඉන්සුරන්ස් එකෙන් ආව... එක හදන්න දැම්මම එකේ විස්තරෙත් මීට දෙවැනි වෙන එකක් නෑ... ඒත් එකටනම් අතින් ගෙවන්න වෙන එකක් නෑ... එළන්ට්‍රා ඇන්ටිගේ අන්සුරන්ස් එකෙන් ඔක්කොම කවර් වෙයි...


අර කොමඩ් එකට වැටුන ඉලෙක්ට්‍රික් රේසර් එක එලියට  ගත්තේ කොහොමද කියලානම් අහන්න එපා... ඒ විස්තරේ ලියන්න තියා හිතන්නවත් බැරි තරම් ජුගුප්සාජනකයි..  එහෙමයි කියලා ඒක විසික් කරේ නෑ.... ඒක අරගෙන වැඩි කාලයක් නැති නිසා එකේ පෙට්ටිය මා ළඟ තිබුන... මම ඒක ටැප් එකට අල්ලලා හෝදලා  පෙට්ටියේ දාලා තිබ්බ පරෙස්සමට  .. අරගෙන වැඩි දවසක් නැති නිසා අයෙ ඉතින් මලාට හොයන්න බෑ එක පාවිච්චි කරපු එකක් කියලා ... ඊළඟ වතාවේ ලංකාවට යද්දී අපේ චමිල වරුසවිතානට තෑග්ගක්  අරගෙන යන්නත් ඕනෑකම තියෙනවා... ඉලෙක්ට්‍රික් රේසර් එකකුත් මෑන්ස්ට හොඳට ගැලපෙනවා තෑග්ගක් විදිහට දෙන්න ...

Tuesday, June 6, 2023

ජොකාගේ භක්ති ගීතය..

 


                        පොසොන් පෝය දවසේවත් පන්සලකට යන්න බැරිවුණ එකෙක් ඉන්නවනම් ගොඩයත් ඉතිං එකෙක්.. ගොඩයා ඉන්න අහලපහල පන්සල් කීපයක් තිබුනට ප්‍රසිද්ධ දවස්වලට ඔව්වයේ ගිහින් සැදැහැවත් බෞද්ධයා චරිතේ රඟපාන එක ගොඩයාට සෑහෙන අමාරු වැඩක්. වැඩි සෙනග ගැවසෙන්නේ නැති කාලවලට පන්සලට දානයක් හදාගෙන ගියාට ප්‍රසිද්ධ දවස්වලට ගොඩයා පන්සල් යන්නෙ නෑ පන්සල්වල අයිතිකාරයෝ වැඩි නිසා. ඒ වගේ දවස්වලට පන්සල් ගියාම බඩ පුරා කාලා බීලා එන්නනම් පුළුවන් උනාට පන්සල කියන්නේ ඊට වඩා අධ්‍යාත්මයට සම්භන්ධ තැනක් නිසා ගොඩයා ඔව්වයේ රිංගන්න යන්නේ නෑ... පිටරටවල පන්සල් සහ ලංකාවෙ පන්සල් අතර ගොඩයා දකින ලොකුම වෙනසනම්, පිටරටවල පන්සල්වල ස්වාමීන්වන්සේලාට ලඟින්ම ඇප උපස්ථාන කරන දායකයින් එම පන්සලවල නියෝජිත ස්භාවයක් ගැනීම... ඒ තැන්වල ලංකාවෙ පන්සලකට ගියා වගේ නිදහසේ හැසිරෙන්න බෑ... දායකයින්ගෙන් දහසක් නීති රෙගුලාසි නිසා ඒ ඒ පන්සල්වල ඉන්න ස්වාමින්වහන්සේල ගැන ඇඳෙන්නෙත් වැර්දි චිත්‍රයක්. ඒ ස්වාමින්වහන්සේලා එහෙම නරක උදවිය නොවුනාට අයිතිකාර දායකයින්ගෙ ඇහැට හොරෙන් පන්සලට යන එන එක සෑහෙන අමාරු වැඩක්...


          ඊයේ පෙරේදාවක ගොඩයා ඉන්න දිහාවෙ පන්සලක භක්තිගීත ප්‍රසංගයක් වෙනුවෙන් ගොඩයාටත් ආරාධනාවක් ලැබුනා සපෝර්ට් එකක් දෙන්න කියලා. පන්සල කියන්නෙ සිංදු කියලා නටන්න හොඳ තැනක් කියලා ගොඩයා විශ්වාස කරන්නෙ නෑ.. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා උදෙසා පනවලා තියෙන විනය නීතිවල කවි බන වගේ දේවලුත් ඒතරම් වර්ණනා කරලා නෑ කියලයි ගොඩයා අහලා තියෙන්නෙ. වෙනත් ආකාරයකින් කියනවානම්, ධර්ම රසය ඉක්මවායන ආකාරයෙන් ධර්මය දේශනා කරන්න එපා කියලයි බුදුරජාණන් වහන්සේගේ අවවාදය. එහෙව් නීතිරීති තියෙද්දි අපේ උන්නැහේලා බුද්ධාලම්භන ප්‍රීතිය ඉහවහා ගිහිං  සංගීත රසය මතු කරලා ධර්ම රසය යට යැවීම කොයියාකාර පාපයක්ද කියලා ගොඩයා දන්නෙ නෑ... ඒත් ගොඩයාගෙ අක්මාව කියන්නෙමෙ භක්තිගීත කියන කොන්සෙප්ට් එකම පෝය දවසෙත් ආතල් එකක් ගන්න අටවාගන්න වෙනස් විදිහේ වැඩක් කියලයි. ඒ නිසා ඔයාකාර වැඩවලදි ගොඩයා ඉතිං මොකක් හෝ හේතුවක් කියලා එතැනින් මාරුවෙන එක තමා සිරිත. මොහිදිං බෙග් බුද්ධං සරනං ගච්චාමී සිංදුව කියනකොට ස්ටේජ් එකේ පහල කන පැලෙන්න බීලා ඉන්න එවුන් අඟර දඟර නැටුම් නටන එකේ ඉතිං භක්තිගීත ගැන ලොකුවට විවේචනය කරන්න බෑ... ඇන්ටන් ජෝන්ස්ගෙ ගීත බොහෝමයක් නිර්මාණය වලා තියෙන්නෙ රටේ සිද්දවෙච්ච මහා ව්‍යසන පාදක කරගෙන උනාට, එව්වා ලයිව් ස්ටේජ් එකට ආවාම පහල ඉන්න එවුන් නටන නැටිල්ල දැක්කාම ඇන්ටන් ජෝන්ස් ගැනයි නටන එවුන් ගැනයි හිතෙන්නෙ අනිච්චේ දුක්කේ කියලා තමයි... ඇන්ටන් ජෝන්ස්ගෙ සිංදුවල ලියැවිච්ව ව්‍යසන වලදී මැරුන මිනිස්සු දන්නවනම් අනාගතයේ දවසක එයාලගෙ මරණයන් ගැන සිහිකරලා රටේ මිනිස්සු සිංදු කියලා නටනවා කියලා ඒ මිනිස්සුන්ට මොනවා හිතෙයිද... එහෙම බැලුවාම ඉතික් භක්තිගීත මොන කජ්ජක්ද හැබෑටම...


                 ලියන්න ආපු කාරනාව සෑහෙන කැලේ පැන්න... මේ කියන සිද්දිය සිද්දවෙන්නෙ දෙදාහෙ වර්ශයේ මුල් භාගයේ කියලයි ගොඩයාගෙ අප්සැට් මෙමරිය කියන්නෙ. ජොකා කිව්වාම ගොඩයාගෙ ඉස්කෝලෙ ගොඩයාගෙ වයසේ එවුන්ට ආයෙම අමුතුවෙන් හඳුන්වා දෙන්න දෙයක් නෑ... උප්පැන්නෙ තියෙන නමට වඩා ජොකා කිව්වාම අපේ මිත්‍රයා ප්‍රසිද්ධයි... අපේ චමිලයා මේ පෝස්ට් එකටත් කොමෙන්ට් කරන නිසා තමුන්නැහේ කොමෙන්ට් එකක ජොකාගෙ ඇත්ත නම ලියලා මට ලෙඩක් පටලෝනවා එහෙම නෙවෙයි ඕං. මේ කියන දවස වෙසක් , පොසොන් හෝ ඇසල පෝයක් කියලයි ගොඩයා තාර්කිකව හිතන්නෙ. එහෙව් පෝයවල්වලට තමයි භක්තිගීත වගේ වැඩසටහන් සංවිධානය වෙන්නෙ. මේ කියන කාලය වෙද්දී ගොඩයලා ඉස්කෝලෙන් එලියට අවිතුත් අවුරුදු හයක් හතක් වගේ වෙන්ටෑ... ඒ නිසා උසස්පෙලින් පස්සෙ ගොඩයාට ඒ වෙනකල් ජොකා හමුවෙලා තිබුනේ නෑ... ඒ වෙද්දී ජොකා රැකියාවක් කරා රජයට සම්භන්ධ ආයතනයක... ඒ නිසා ජොකා නිතර ගමේ ආවෙ ගියේ නෑ... ඒ නිසාම ගොඩයාට ජොකා හමුවෙලා නෑ ඒ වෙද්දිත් අවුරුදු ගානක්... ඔය කියන පෝය දවසේ උදේ ගොඩයා නිදි ඇඳේ ඉද්දී තමයි ගොඩයාගේ පියාණෝ ගොඩයාව ඇහැරවන්නෙ..


අන්න අහවලාගෙ පුතා ඇවිල්ලා හොයනව...


                ගොඩයාගෙ ඩඩා ජොකාව එහෙම හඳුන්වන්නෙ ජොකාගෙ ඩඩාව ගොඩයාගෙ ඩඩා දන්න කියන මනුස්සයෙක් නිසා... ගොඩයා ඇඳෙන් බැහැලා නිදි මරගාතේම කාමරෙන් එලියට එන්නෙ ලංකාවෙ එහා කෙලවරේ ඉන්න එකෙක් හදිසියේ ගොඩයා හොයාගෙන එන්න විදිහක් නෑ කියන අදහසින්මයි. ගොඩයා හිතුවේම ඩඩාට වැරදීමක් කියලාම උනාට ඇත්තටම ඇවිල්ලා තිබ්බෙ ජොකාම තමා...


ගුඩ් මෝර්නින්... ජොකා ගොඩයාව එහෙම ඇමතුවාම ගොඩයාටත් ගුඩ් මෝර්නින් නොකියා බෑ...


ගුඩ් මෝර්නින්... ( පෝය දවසෙවත් ටිකක් නිදාගන්න නොදී උදේ හයාමාර වෙද්දි ඇහැරෙව්වාම මෝර්නින් එක මොන ගුඩ්ද කියලා අහන්න ඕනවුනාට ගොඩයා එහෙන ඇහුවෙ නෑ..)


කවද්ද ගමේ ආවෙ උඹ... මොකෝ හදිසියේ මේ පැත්තෙ...

 

            ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ මලාට ටෙලිෆෝන් කෝල් එකක්වත් දීලා නැති ජොකා මේ උදේ පාන්දර කුකුලත් මල්ලෙ දාගෙන ගොඩයාව හොයාගෙන ආවෙ  නිකම්ම සෑපදුක හොයන්න නෙවෙයි කියන එක ගොඩයාට අමුතුවෙන් කියන්න ඕන නෑ...


අපි පොඩි භක්තිගීතයක් කරනවා බං අද... ඒක මතක් කරලා යන්න ආවෙ...


ගොඩයා ඒ වෙද්දිත් බෑන්ඩ් එකක කීබෝර්ඩිස්ට් නිසා මරාලයක්දෝ කියලා ඇඟ හිරිවැටිලා ගියාට ගොඩයා ඒක ජොකාට පෙන්නන්න ගියේ නෑ...


මතක් කරලා යන්න කීවෙ බං... කොහේද තියෙන්නෙ ඕක... මොකක්ද මම දැං කරන්න ඕන...



උඹ මුකුත් කරන්න ඕන නෑ... රෑට ගෙදර හිටපං... මම එනවා භක්තිගීත කන්ඩායම එක්ක උඹලාගෙ ගෙදර...


 අපේ ගෙදර... 


            ගොඩයා එහෙම ඇහුවේ ගෙදරට එන භක්තිගීත ගැන ගොඩයා ඒ වෙද්දි අහලා තිබුනේ නෑ... උදේ පාන්දරම අහසින් පහත්වෙලා භක්තිගීත කන්ඩායමක් එක්ක රෑට ගෙදරට එනවා කිව්වාම ගොඩයාගෙ නිදිමත කොහේ ගියාද නැතිවුනා කියහංකෝ... ගෙදර ඉන්න වීසා එකත් ලාවට අමාරුවෙන් මේන්ටේන් කරගෙන ඉන්න වෙලාවෙ යාලුවෙක් භක්තිගීත කන්ඩායමක් එක්ක රෑට ගෙදර එනවා කිව්වාම ගොඩයා හිතුවෙ රැට මොනවගේ දෙයක් වෙයිද කියලයි...


ඔව් බං.. මෙහේ තමයි එන්නෙ...


ඉතිං බං භක්තිගීත කියන්නෙ පන්සලේනෙ...


මේක එහෙම එකක් නෙවෙයි බං... අපි දන්න කියන යාලුවන්ගෙ හිතවතුන්ගෙ ගෙවල්වලට ගිහිල්ලා භක්තිගීතෙ කියනව... ඉතිං ඒ යන ගෙවල් ලිස්ට් එකට උඹලාගෙ ගෙදරත් තියෙනව...


ජොකා කියන විදිහට ගොඩයා අද රෑට ගෙදර ප්‍රධාන අමුත්තා ගානට හයිලයිට් වෙන සීන්කෝන් එකක් උනාට ජොකා අවසාන තීරණේ අරගෙන හමාරයි... ගොඩයාට ඒ ඇතුලේ හඬක් නගන්න ඉඩක් නෑ...


හරි... දැං මම මොකද කරන්න ඕන...


උඹ මුකුත් කරන්න ඕන නෑ... භක්තිගීත කියන කෙල්ලො ටිකට පොඩි සංග්‍රහයක් කරලා ලියුම් කවරෙක දාලා කියක් හරි දියං... එහෙනම් මම ගියා... රෑ හත වෙද්දි අපි එනවා එහෙනම්...


එන්න එපා මගෙ දෙයියෝ දැං කීයක් හරි දෙන්නම් ඒක ගිහිං කෙල්ලන්ට දියං කියලා කියන්න කලින් ජොකා මොටෝ සයිකලේ ස්ටාර්ට් කරගෙන ඉගිල්ලුනා... ගොඩයා අනාතයි...


මොකටද අර ලමයා ඇවිත් තියෙන්නෙ...?


එහෙම අහන්නෙ ගොඩයාගේ පියාණෝ.. දැං දීපංකෝ උත්තර...


රෑට භක්තිගීත කන්ඩායමක් එක්ක මෙහේ එනවලු... ලමයින්ට බොන්න දේකුයි ආධාරයකුයි දුන්නාම ඇතිලු...


මෙහේ...? 


හ්ම්...


භක්තිගීතද කැරොල් එකක්ද? අපි ලඟ නෑ ඔව්වට දෙන්න සල්ලි... දෙන ආධාරයක් දෙන එකයි ඇත්තෙ... විකාර...


ඒ තමා ගොඩයාගෙ පියාණෝගෙ ප්‍රතිචාරය...


             විකාර කියන එකේ තේරුම තමා, ජොකාගේ භක්තියෙන් කියවන්න එන ගීතයට ගොඩයාගේ පියාණෝ කිසිදු කැමැත්තක් අනුග්‍රහයක් නෑ කියන එක... ගොඩයා කියලත් ඉතිං ඒ වැඩේට කැමැත්තක් නෑ... අකමැතියි කියලා මක් කරන්නද ඉතිං භක්තියයි ගීතයයි දෙකම පැත්ත පලාතක ගේන්න එපා කියන්න කලින් උන්නැහේ ඉගිලිලා ගියානෙ... එයින් පස්සෙ ඉතිං ගොඩයාට කරන්න ඉතුරු වෙලා තිබ්බෙ ජොකා සහ භක්තිගීත කන්ඩායම එනකල් මග රැකගෙන බලන් ඉන්න විතරයි.


               වෙනදට පෝය දවස කියන්නෙ අපේ සිරාලගෙ ගෙදර සැට් එක එක්ක සුට්ටක් සෙටමෝල් වෙන දවස උනාට එදා එහෙම බෑ... ජොකා විසින් පට්ටල් කරපු මරාලෙ අහවරක් වෙනකල් ගෙදරින් එලියට බහින්න ක්‍රමවේදයක්  නෑ... භක්තිගීත කතාව අහපු වෙලාවෙ ඉඳන් ගොඩයාගේ මහතැනින් වැටුන නීති රෙගුලාසිය වුනේ ඔය කියන භක්තිය ඇවිල්ලා යනකල් ගෙදරින් එලියට යෑම තහනම් වගේ එකක්. ලාවට එල්ලිලා තියෙන වීසා එක කැපෙන්න හේතුවෙන සිද්දීන් වලදී ගොඩයා සෑහෙන පරෙස්සම් නිසා භක්තිය ගීත ගයන්න එනකල් ගොඩයා මිදුලෙ තියන ගල උඩ වාඩිවෙලා ගේට්ටුව දිහා බලාන හිටිය. ගොඩයා කොයිතරම් වැඩේට එක්සයිට්ද කියනවනම් හවස හයේ ඉඳන් ගේටුව දිහාවටමයි ඇහැ. ඒ වෙන මොකකට්වත් නෙවෙයි.. කියන භක්තියක් ඉක්මනට කියවලා අහවර වෙලා සිරාලාගෙ ගෙදර පැත්තට මාරුවෙන්න. පාරෙ ඈතින් වාහනයක් එනවා ඇහෙනකොට ගොඩයාගෙ කන් ඒ දිහාවට සුසර වෙන්නෙ බලු කන් වගේ කියමුකෝ... ඒත් ඒ ආපු වාහන එකකින්වත් ආවෙ ජොකාගෙ භක්තිය නෙවෙයි.. ඒ පාරෙ යන වෙනත් වාහන..  

                ගොඩයා පටලවාගෙන එන ඒ ආකාරයේ මරාලවලට ගෙදරින් ලැබෙන්නෙ අවම සහයෝගයක් නිසා ගොඩයා කෝකටත් කියලා හවස් අතේ කෝඩියල් බෝතලේකුත් ගෙනැල්ලා හදලා කරලා සීතකරණයේ දාලා තිබ්බෙ, ජොකාගෙ ඔය එන භක්ති  බෑන්ඩ් එකට අනුපාන ගෙදර අය ලව්වා හදවන්න ගියොත් බත් කාර්ඩ් එකත් කැපෙන්න ඉඩ තියෙන නිසා... ගොඩයාගෙ නංකිලා දෙන්නත් ගොඩයාගෙ ගුණ ගායනා කරමින්, රාත්‍රී ඇඳුම වෙනුවට එලි පහලියට බහින්න පුලුවන් ඇඳුමකින් සැරසිලා මල් වාස් දෙකක් වගේ සාලෙ සාටිය උඩට වෙලා බලාන ඉන්නෙ ජොකාගෙ භක්ති මගුල එනකල්.. මවු දෙමාපියනුත් එහෙමයි... වෙනදාට රෑට අඳින ඇඳුම් වෙනුවට විශේශිත ඇඳුම් වලින් සැරසිලා බලාන ඉන්නෙ ජොකාගෙ භක්ති බෑන්ඩ් එක එනකල්... ගොඩයත් මිදුලෙ තියන ගල උඩට වෙලා කලුවරේ මදුරුවෝ තල තලා බලාන ඉන්නෙ හත වෙද්දි එනවා කිව්ව භක්තියෝ ටික එනකල්... රෑ හතත් උනා... භක්තොයොත් නෑ ජොකාත් නෑ... ගේ ඇතුලෙන් ගොඩයාගෙ ගුණ වයනවා වැයිල්ලක් එව්වනම් වනේ වන හතුරෙකුටවත් අහගෙන ඉන්න බෑ...


        රෑ හත වෙලා හතහමාර උනා... අට වෙලා අටහමාර වුනා භක්තියෝත් නෑ ජොකාත් නෑ... ගොඩයා ඒ වෙද්දි මිදුලෙ තිබ්බ ගල උඩින් බැහැලා පාරට ඇවිත් පාර හරහා සක්මන් කරනවා දෙපැත්ත බල බලා... ඈතින් වාහනයක් එද්දි බලාපොරොත්තු දැල් වෙනව... වාහනේ ගොඩයා පහුකරන් යද්දි බලාපොරොත්තු සුන් වෙනව... ජොකාගෙ මරාලෙ අහවරක් කරලා දාන්න බලාන හිටියාට උන්දෑලා නෙවෙයි එන පාටක්...


          අටහමාර නමේ උනා... නමයහමාර උනා... දහය උනා... දහයාමාර උනා... එකොලහ උනා... ගෙදර අය ගොඩයාට අම්බානෙකටත් තව චුට්ටික් බැනලා ඔරෝවලා ගොරවලා  නින්දට ගියා... ගොඩයත් සිරාලහට වාර්ථාකරගන්න බැරිවුන හිතේ අමාරුවෙන් කෝඩියල් බෝතලෙන් භාගයක්ම බීලා එකොලහමාරට විතර නින්දට යන්න කියලා හිතාගෙන ඇඳට ගියා... අන්තිමේ භක්ති ගීතයත් ආවෙත්  නෑ.... ජොකා ආවෙත් නෑ....


බ්ලොග් පෝස්ට් එක මෙගා නාට්ටියක් වගේ උනානම් ගොඩයා සිකුරාදා කොටහ ඉවර කරන්නෙ ඔන්න ඔතනින්... ඊලඟ කොටහ සඳුදාට එනකල් ඉවසිල්ලේ බලන් ඉන්න වෙනවා බලන එවුන්ට... 


         ජොකා පට්ටල් කරපු මේ භක්තිගීත මගුල නිසා ගොඩයාගෙ මොලේ ටිකක් විතර තිබ්බෙ හයිපර් මෝඩ් එකක... නිදාගන්න කියලා ඇඳට ආවට සැප නින්දක් නෑ ජොකා කරපු අබ්ලික් වැඩේ නිසා... ජොකා උදෑසන ප්‍රාදූර්භූත වෙච්චි වෙලාවෙ ඉඳන් ගෙදරින් අහපු බැනුම් කන්දරාවට සැප නින්දක් කොහේ එන්නද ඉතිං... ඒ වෙද්දි ගොඩයා හිටියෙ බල්ලා ගානට වැටීලා... නින්ද ගියා උනාට ඒක නින්දත් නොනින්දත් අතර සීන් එකක්... ඒ වෙද්දි රෑ එක පහු වෙලා... ලයිට් ඇන්ජිමක් වගේ එකක් තඩි සද්දයක් දාගෙන ඇවිත් ගොඩයලාගෙ ගෙදර හරියේ නැවැත්තුවා කියලා ගොඩයාට ලාවට වගේ ඇහුනට ගොඩයා ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකරේ තදබල විදිහට දැනුන නින්දේ අවශ්‍යතාවය නිසා... ලයිට් ඇන්ජිමේ සද්දෙත් එක්කම ගොඩයලාගෙ ගෙදර ගේට්ටුව අරින සද්දෙත්, ඊට තත්පර පහකට හයකට පස්සෙ ගොඩයාගෙ සිරියහන් ගබඩාවෙ වීදුරු ජනේලෙට ගහන සද්දෙත් එක්ක ගොඩයාට හිතුනෙම උඹනම් අද ඉවරයි පුතේ කියලාමයි...


ඩොහ් ඩොහ් ඩොහ් ඩොහ්... ඒයි නැගිටපං... අඩෝ නැගිටපන්... 


         ඒ එන්නෙ ජොකා විසින් ගොඩයාගෙ සිරියහන් ගබඩාවේ ජනේලෙට තඩිබාන සද්දෙ... නිදි වගේ හිටියොත් අහල පහල එවුන්ටත් ඇහෙරෙන නිසාත්, තව ටිකක් ජැනේලෙට තඩි බෑවොත් පියානෝ විසින් ගොඩයාව ගෙදරින් එලියට තල්ලු කරලා දාන නිසාත් ගොඩයා කමීසයක් දාගෙන ගිහිං හනික දොර අරිනව... කියන්න අපූරුයි... ගොඩයා රෑ නිදාගත්තු සරොම පිටිං... 


          දොර ඇරලා බැලින්නම් ගොඩයලාගෙ වත්තට තවුතිසාවෙන් දිව්‍යාංගනාවන් සැට් එකක් පාර වැරදිලා බැහැලා ගානට, සෝස පාට ළමා සාරි ඇඳගත්තු , මූන පුරා පියරු දාපු ගෑනු දැරිවියෝ සැට් එකක් ගොඩයලාගෙ මිදුල පුරා කියහංකෝ... ජොකා ඉන්නවා නැසනල් එකකුත් ඇඳගෙන පාර්ලිමේන්තු යන්න ලෑස්තිවුන මන්තිරියෙක් ගානට... මොකක්දෝ රෝල් කරාපු කොලේකුත් ජොකාගෙ ඇතේ... ගොඩයා ආත භූත නැතුව නිදි මරගාතෙ මිදුල දිහා බලාන ඉන්නව... ලැයිට් ඇන්ජිමක් ස්ටාර්ට් කරපු සද්දෙට ඩොග ඩොග ගාන පරන රෝසා බස් එකකින් තවත් දේවතාවියෝ ටිකක් පාරට ඩවුන්ලෝර්ඩ් වෙලා ගොඩයාලාගෙ ගේට්ටිවෙන් ඇතුලට එනව...


ගෙදර කට්ටියට එන්න කියපං එලියට...


               ජොකා එහෙම කිව්වට ගොඩයාට ආයෙම ගෙදර අයට අමුතුවෙන් එන්න කියන්න ඕන නෑ... ගෙදර සැවොම නින්දෙන් ඇහැරිලා නිදි ඇඳුම් පිටින් එලියට ඇවිත් ගොඩයා දිහා බලාන ඉන්නවා මූව ගහක බැදලා ගහනවද එහෙමත් නැත්තම් ගහලා ගහක බඳිනවද වගේ පෙනුමකින්... ඩඩාගෙ මූන දිහා බලන්නත් බයයි... ගොඩයාගෙ නංකිලා දෙන්නනම් බලාන ඉන්නෙ උඹත් අයියෙ භක්ති බෑන්ඩ් එක එක්කම ගියානම් හොඳා වගේ මල පැනපු කුජීත බැල්මකින්... ගොඩයාගෙ මවුනම් ඉතිං නෝ ජජ්මන්ටල්... ගොඩයා අමාරුවේ වැටිලා උනාට මවුගේ බලතල ප්‍රමාණවත් නෑ ඒ ව්‍යසනයෙන් ගොඩයාව බේරාගන්න... ඒ වගේ සිටුවේසන් එකක් සිද්දවෙමින් තියෙන අල්ල පනල්ලේ ජොකා ඇතුලු භක්ති නංකිලා සැට් එක ගොඩයාගෙ ගෙදර ඉස්තෝප්පුවේ පිලිවෙලට අඩුක් වෙලා... කොට කට්ටිය ඉස්සරහ පේලියේ.. උස කට්ටිය පස්සෙ පේලියේ.. ගොඩයා සරොම පිටිං ඉස්සරහ දොර ලඟ පඩිය උඩ... ගෙදර උදවිය භාගෙට ඇරුනු දොරෙන් නිදි ඇඳුම් පිටින් ඔලු විතරක් එලියට දාගෙන භක්ති සැට් එක දිහා බලාන ඉන්නව.... අපහසුතාවය කියන එකේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් එකට්ත් අම්බානෙකට එහා සීන් කෝන් එක...  ගොඩයාට ඉතිං දුහන්න හැංගෙන්න කියලා තැනකුත් නෑ... දිව්වා හැංගුනා කියලා වැඩකුත් නෑ...

 

             ඕං ඔයි ආකාර සිටුවේශන් එකක් යටතේ භක්ති ගීතය පටන් ගැනෙනව... වෙලාව රෑ එකහමාරයි... ගමම නිදි වෙලාවක ගොඩයලෑ ගෙදර දිහාවෙන් ගෑල්ලමයි විස්සක් විසි පහක් ගීතයක් ගායනා කරනවා ඇහෙනවා කියන්නෙ ඉතිං අහල පහල උදවිය නින්දෙන් උඩ විසික්වෙලා ඇහැරිලා  ගොඩයලාගෙ මී මුත්තා කිරිකිත්තා මතක් කරන එක  ආයේ අමුතුවෙන් අහන්න දෙයක් නෑනෙ... ගීතය විතරක් කිව්වට භක්ති ගීතය විතරක් නෙවෙයි යකඩෝ... භාගෙට ටියුන් වෙච්ච වයලින් දෙකකුත් අදිනවා ඇදිල්ලක් ගමේ එවුන්ට ආයෙ නින්දක් ලඟා වෙන්නෙ නෑ පැය දෙක තුනකට...  දේවතාවියෝ ටික ගයනවා ගැයිල්ලක් ගොඩයාට එලෝ මෙලෝ නෑ ඒ බුදුගුණ තේරුම් ගන්න... වයලින් දෙකයි ගෑල්ලමයි ටිකයි කිව්වට ඒ විතරක් නෙවෙයි කියහංකෝ... කව්දෝ හාදයෙක් බිම වාඩිවෙලා තබ්ලා කුට්ටමකුත් වයනවා අහලපහලට ඇහෙන්නෙ දේවාලෙ පෙරහැර පාර වැරදිලා ගොඩයලාගෙ ගෙදර ආපු ගානට... ගොඩයා බලාන ඉන්නෙ භක්තිය ඉක්මනින් ඉවර වෙලා ගීතය අහවර වෙනකල්... අහල පහල ගෙවල්වලිනුත් ලයිට් එක දෙක පත්තු වෙලා ජැනෙල් ඇරලා බලනවා මේ මොකක්ද යකඩෝ මේ වෙන්නෙ කියලා දැනගන්න... ගොඩයාලාගෙ ගෙදර උදවියත් භක්තිය අවසන් වෙනකල් ඉවසිල්ලේ බලන් ඉන්නෙ භක්ති සැට් එක ගේට්ටුවෙන් එලියට ගිය ගමන් ගොඩයාව මරාගෙන කන්න... ඒ ගැන මතක් වෙද්දිනම් ගොඩයාට හිතෙන්නෙම එලිවෙනකල් ගැයුවත් අවුලක් නෑ වගේ හැඟීමක්... මොකද කියනවානම් භක්ති සැට් එක වත්තෙ ඉන්නකල් ගොඩයාගේ සේෆ්ටිය ශුවර් නිසා...


      තනියම පෝරුවේ හිටවපු එකෙකුට අශ්ඨක කියපු ගානට කියාගෙන ගිය භක්ති ගීතය විනාඩි පහකින් විතර ඉවරවුනා... මුං තව එකක් පටන්ගත්තොත් අහල පහල එවුනුත් ගොඩයාට දෙකක් අනින්න ඉඩ තියෙන නිසා දනි පනි ගාලා කාමරේට දුවපු ගොඩයා හවස ලියුම් කවරෙක දාලා තිබුන රුපියල් දාහා ජොකා අතට වැඩැම්මුවා...


කෙල්ලොන්ට බොන්න මුකුත් හැදුවෙ නැද්ද..


ජොකා එහෙම ඇහුවට ගොඩයා එව්වට උත්තර දෙන්න ගියේ නෑ... හනික කුස්සියට දුවපු ගොඩයා ඉතුරු වෙලා තිබ්බ කෝඩියල් බෝතලේ ෆ්‍රිජ් එකෙන් අරගෙන ජොකා අතට වැඩැම්මුවේ මේ උන්දැලා ටික හැකි ඉක්මනින් වත්තෙන් එලියට දාගතයුතු නිසා... 


               භක්තිගීත කියපු සෝස පාට ළමා සාරි සැට් එකම පෝලිමේ ඇවිත් ගොඩයාට ආයුබෝවන් කියලා පිලිවෙලකට ගිහිං පරණ රෝසා බස් එකේ අඩුක්වුනා... රෝසා බස් එක ලැයිට් ඇන්ජිමේ සද්දෙන් ඩොග ඩොග ගාගෙන භක්ති සැට් එකත් දාගෙන පාරදිගේ ඉගිල්ලුනා... ඒ ගියේ නිකම්ම නෙවෙයි... සතියක් දෙකක් යනකල් අහල පහල එවුන් අහන ප්‍රශ්ණ කන්දරාවට ගෙදර ඔක්කෝම එකතුවෙලා උත්තර දෙන්න නැයැමිතයි කියන කෑල්ල ඉතුරු කරලා... ඒ ගිහිං ගොඩයා වගේම තවත් එකෙක්ව කල්ල කුජීත කරලා පාරෙ බහින්න බැරි තැනට පත් කරාද කියලා අහන්න එදායින් පස්සෙ අද වෙනකල් ගොඩයාට ජොකා හම්බෙලා නෑ...


      අද උනත් ආධුනික කෙනෙක් ඔරියන්ටල් වයලීන් එකක් ගහනවා ඇහුන ගමන් ගොඩයාගෙ නොස්ටැල්ජික් මෙමරි එක උඩ ඇවිල්ලා ඇඟ සහලෝලා ගිහිං රෝම කෙලින් වෙනවා භක්තිගීතය  සහ ජොකා මතක් වෙලා...


           ඉතිං එදා ජොකා ප්‍රමුඛ භක්ති සැට් එක ගියාට පස්සෙ ගෙදර තත්වෙ කොහොමද කියලා ප්‍රශ්ණයක් මතුවෙනවා නේද... ඒත් ඉතිං එව්වා මෙහිලා ලියලා ගොඩයාගෙම PR එක ඩැමේජ් කරගන්න ගොඩයා කැමති නෑ.. ගෙදර වැඩිමහලු පිරිමි දරුවා උනාට ඒ බැනුම් ඇහිලී ඉතිං ප්‍රසිද්දියේ ලියන්න බෑ... මොකද කියනවානම් එව්වා වනේ වන හතුරෙකුටවත් අහගෙන ඉන්න බෑ... එදා හිටං අද වෙනකල්ම " භක්ති ගීත" කිව්වාම ගොඩයා එතැනින් මාරුවෙන්නෙ ගැරඩියාට භූමිතෙල් ගහපු ගානට...