Monday, December 7, 2015

සුනාමියට එහා ගිය බඩගින්න.



දෙදාස් හතර අවුරුද්දේ දෙසැම්බර් විසිහය දවසට ඉර උදාවුනේ වෙනද වගේමයි. උදේ පාන්දර වෙද්දී පායපු නැවුම් ඉර එලිය එක්ක ක්‍රියාකාරී වෙන මනුෂ්‍ය ජීවිතත්, සතුන් සිව්පාවුන්ගේ ජීවිතත් සුපුරුදු විදිහටම තම තමුන්ගේ දවසේ රාජකාරි ආරම්භ කරේ වෙනදා වගේමයි. 

ඒත් සඳුදා දවස හෙට වෙන නිසා මට හැම ඉරිදාවකම ඉර පෑයුවේ මහම මහා මුස්පේන්තු විදිහටමයි.  කාර්යාලවල, කෝච්චිවල, ඉස්කෝලේ, සිත්ගත් ගෑල්ලමයි ඉන්න උදවියටනම් සඳුදා කියන්නේ නවුම්ම නැවුම් ආරම්භයක් සහ උදාවෙනකම් ඉවසිල්ලක් නැති දවසක් උනාට සඳුදා කියන්නේ මටනම් මෙලෝ රහක් නැති දවසක්. 

සඳුදා පාන්දර කුකුළා අතේ අරන් රස්සාවට යන එක පාපකරුමයක් වෙන්නේ සිකුරාදාට ගෙවල් වල එන සියලූම වැඩකරන ජනතාව සඳුදා උදේ පාන්දරින් රැකී රක්ෂා වලට යන නිසා. ඒ හින්ද සඳුදා උදේට බස් එකක කෝච්චියට සැපට වාඩි වෙලා නින්දක් දාන එක හීනයක්. වෙලාවට වැඩට යන්න ඕනෙනම් කිසිම කතාවක් නැතුව කොළඹට වෙනකම්ම හිටගෙන යන්න වෙන දවසක් සහ දවස් දෙකක් ඔලුවෙන් අකල මකල දාපු ලොක්කගේ මෙලෝ රහක් නැති මූණත්තහඩුව ආයේ බලන්න වෙන  හින්දම සඳුදා දවස කියන්නේ මහම මහා මුස්පේන්තු දවසක් විදිහට තමයි මට දැනෙන්නෙම. 

ඒත් දෙදහස් හතරේ දෙසැම්බර් විසිහය ඉරිදාව මටත් මාරකයක් පනින ඉරිදාවක් වේවි කියල මම හීනෙන්වත් හිතුවේ නැහැ. මගේ ලොකු අම්මගේ පුතාගේ නෑනා නොහොත්  මගේ පොඩි අයියා විවාහ වෙලා ඉන්න අක්කගේ සහෝදරියගේ වෙඩිම සැලසුම් වෙලා තිබ්බේ දෙසැම්බර් විසි අට දවසට.   මගුල් ගෙදර වැඩ ටික කරගන්න මගේ කාර් එක පොඩි අයිය මගෙන් ඉල්ලලා තිබ්බේ මාසෙකට විතර කලින්. දෙසැම්බර් විසිහය උදේ කාර් එක ගින්තොටට ගෙනිහින් දෙන්න මම පොරොන්දු වුනේ පොඩි අයිය කාර් එක ඉල්ලපු දවසේමයි. 

දෙසැම්බර් මාසේ වෙනකොට මට සඳුදා දවස් වැඩිපුර මුස්පේන්තු වෙන්නේ නිවාඩු හතලිස් පහෙන් දෙසැම්බර් වෙනකොට හතලිස් හතරාමාරක්ම හෝ හතලිස්  පහම  අරන් ඉවරවෙන නිසා. ඒ කියන්නේ අවුරුද්දේ මුල් අවදියේ බහුතරයක් සඳුදාවල් වලට සහ වහින දවස්වලට මට තදින් බොරුවට අසනීප වෙන නිසාත් දෙසැම්බර් වෙනකොට  වසූරිය හැදුනත් වැඩට යන තත්වෙට පත්වෙන්නේ වැඩට නොගියොත් නෝ පේ (NO PAY ) හෙවත්  වැටුප් රහිත නිවාඩු ගන්න සිදුවෙන නිසා. 

ඒ වෙද්දීත් මගේම ව්‍යාපාරයක් පටන් අරන් තිබ්බ නිසාත් වැටුප තියා රස්සාවවත් ඕනෑකමක් නැති මට අකමැත්තෙන් උනත් නිවාඩු හතලිස් පහෙන් සෑහීමකට පත්වෙන්න සිද්දවෙන්නේ රජයේ සේවක දෙමාපිය දෙපොලකගේ දරුවෙක් වෙන මට වැටුප් රහිත නිවාඩු යාම හෙවත් නෝ පේ යාම ගෙදර කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැති ක්‍රිමිනල් කේස් එකක් වෙන නිසා. ඊටත් අමතරව ඒ වෙද්දී විශ්‍රාම සුවයෙන් හිටපු මගේ පියාණන් වහන්සේ දවස තිස්සේම නිවාඩු ගැනීමේ ආදීනව කියවන්න ගන්න නිසාත් ඒ ආනිසංස දේශනය අහන ඉන්නවට වඩා, කුහක කමින් පිරිච්ච ලේ කඳුලක් නැති මලාට හිනාවක් නැති ලොක්කගේ මල ගෙදර වගේ මුස්පේන්තු මුණ බලන් ඉන්න එක සැප නිසා. 

 රජයේ සේවයේ වැටුප් රහිත නිවාඩු ගැනීම යනු ඊළඟ වසරේ ලැබීමට තිබෙන්නා වූ වැටුප් වර්ධකය හා ලැබීමට තිබෙන උසස්වීම් නොලැබී යන මරාලයක් නිසා කොයි ජගතා උනත් තනි ඇඟිල්ලෙන් හරි රස්සාවට යන්න උපරිම උත්සහයක් ගන්න කාලයක් තමයි දෙසැම්බර් මාසය. මට කලින් මගේ ස්ථානයේ රාජකාරි කල නිලධාරියා ගෙදර යවන්නම ගුලිය අඹරපු ලොක්කා මටත් ඒ ගුලියම අඹරන්න ලැස්ති වෙන බව මට ඉවෙන් වගේ වැටහුන නිසා කඩුල්ල  බේරාගෙන ප්‍රවේශමෙන් පන්දුවට වැරෙන් පහරදෙන ක්‍රීඩකයෙක් වෙන්න මට සිද්දවුනා. 

ලොක්කාට සෙල්ලමට ආම්බාන් කරන්නට බැරි සහ උගුලේ හසුකරන්නට බැරි වර්ගයේ එකෙක්වුන මම දෙදහස් එක වසරේ අයදුම් කරපු "ගාල්ල" ස්ථාන මාරුව මට පරිප්පුව දීම පිණිස ලොක්කා විසින් "අනුප්‍රාප්තිකයෙකු නොමැතිව නිදහස් කල නොහැක " යන උදාන වාක්‍යය යටතේ අත්සන් කරේ මට උපරිම පරිප්පුවක් දීමේ අරමුණෙන්ම තමයි.

ලොක්කාට මමත් මට ලොක්කාත් එකට එක අනුපාත ක්‍රමයට පරිප්පු බෙදීම දෙදහස් හතර වසර දක්වාම සහයෝගයෙන් කරගෙන ආවත් තවදුරටත් සාධාරණ න්‍යායෙන් ස්ථාන මාරුව ගන්න බැරි බව අවසානයේ මට තේරුම් ගිය හේතුවෙන් දෙදහස් පහ වසරේ ජයග්‍රාහී ලෙස නිවාඩු අනූ එකක් ලබාගත් නිසා ලැබීමට නියමිත දෙවන ශ්‍රේණිය ද සමගම අනුප්‍රාප්තිකයෙකු ද නොමැතිවම මා නිදහස් කොට, ඒ ලොක්කාගෙන් පසුව ලොක්කා වූ ලොක්කා  පරාජය භාරගත්තේ තවදුරටත් මාව ආයතනයේ තියාගනීමෙන් පරිප්පුව කන්නේ ලොක්කාම බව වැටහුණු නිසා සහ මම වගේ ඔලුවේ කැක්කුමක් ආයතනයේ තවදුරටත් තියාගැනීම අනෙකුත් සේවකයින්ද වැඩවසම් න්‍යායෙන් පයට පාගාගනීමට භාදාවක් බව තේරුම් ගන්න ලාවට හරි මොලයක් තිබ්බ නිසා වෙන්න ඇති. මාගේ අවසාන උත්සාහය වශයෙන් "අසනීපයි.. නිවාඩු ඉල්ලමි " විදුලි පණිවිඩ සෙල්ලම සුපිරියටම සාර්ථක වුයේ ඒ ආකාරයෙන් .

දෙදහස් පහ අවුරුද්ද කියන්නේ මුද්දරයක් ගන්න තැපැල් කන්තෝරුවට ගියත් පොල්වත්තේ හන්දියේ තැපැල් කන්තෝරුවේ ඇන්ටි ටෙලිග්‍රෑම් ෆෝර්ම් එකක් ඉල්ලන්නේ නැතුවම කවුන්ටරේ උඩින් තියන තරමටම තැපැල් කන්තොරුවත් මමත් එකට එක හදවතින්ම බැඳිච්ච අවුරුද්දක්. ලොක්කා මට කරපු අරියාදුකම් වලට සහ ලොක්කා විසින් අවුරුදු එකහමාරක් අත්සන් කරන්නේ නැතුව මෙසේ උඩ තියාගෙන හිටපු කාර්මික නිලධාරී තුන්වෙනි ශ්‍රේණියේ සිට දෙවැනි ශ්‍රේණියට කෙරෙන උසස්වීම මා වෙත නොදීමට එරෙහිව මා වෙනුවෙන් පෙනී හිටින්න බැහැ කියල කොන්ද පණනැති වුර්තීය සමිති නිලධාරීන් එයාලගේ සැඟවී ගොට්ට ඇල්ලීමේ වුර්තීය සමිති ව්‍යාපාරයේ හෙළුවැල්ල මට පෙන්වපු නිසාත්, ලොකු ලොකු දේශපාලන සම්භන්ධකම් තිබුන මාගේ පියාණන් ප්‍රමුඛ ඥාති පිරිවරද මට ස්ථාන මාරුවීම හදාගන්න දේශපාලන තල්ලුවක් අරන්දීම තරයේ ප්‍රතික්ෂේප කල නිසාත්  අවසානයේ උසස්වීම  සමග ස්ථාන මාරුවීම ලබාගන්න මට පිහිටවුණ එකම එක පන තියෙන ජීවියා වුනේ තැපැල් කන්තෝරුවේ ඇන්ටි විතරමයි. මම මෝටර් සයිකලෙන් හරි වාහනෙන් හරි බහිනකොටම ටෙලිග්‍රෑම් ෆෝරම් එකක් කවුටරේ උඩින් තියල මට දීපු සහයෝගය මිල කරන්න බැරි තරම්. 

ලියන්න ආපු කතාව නොලිය පඳුරු තැලිල්ල නොහොත් වටේ යැවීම සම්භන්ධයෙන් පාඨක සැම මා වෙත සමාව භජනය කරත්වා..

ඔන්න ආයෙත් දෙදහස් හතරෙ දෙසැම්බර් විසි හය දවස උදේ.

මම අටහමාරට විතර ඇහැරිලා හෙමින් සැරේ ලකලැහැස්ති  උනේ මගුල් ගෙදර වැඩටික කරගන්න කාර් එක ගිහින් දීල එන්න. එත් පොඩි ප්‍රශ්නයක් තිබ්බ. ඒ නම් කාර් එකේ බැටරිය හොඳ තත්වයේ නොමැතිවීම. බැටරිය හොඳ නැති නිසා සමහරක් වෙලාවට කාර් එක ස්ටාර්ට් එකට හොර වීම නිසා අලුතෙන් බැටරියක් හයිකරලම කාර් එක ගෙනිහින් දෙන්න තමයි මගේ අදහස උනේ. 

අම්මේ මම ගිහින් එන්නම්. කාර් එකට බැට්රි එකක් දාගෙනම යනවා ගින්තොට.

ඔයා මාර්කට් එක පැත්තට යනවනම් මාළු තිබ්බොත් මාළු ටිකක් ගෙනැත් දීල යන්න පුලුවන්ද.

බලමු. අද පෝය නිසා මාළු තියේවිද දන්නේ නැහැ.

ඒක තමයි ළමයෝ මම කිව්වේ තිබුනොත් ටිකක් ගෙනත් දීල යන්න.

හා හා බලමු. බැට්රි එක දාන කඩේ ඇරලා නැති වුනොත් ගෙනත්දීල යන්නම්. ඇරල තිබ්බොත් බැට්රි එක දාගෙන මං එහෙමම යනව. පොඩි අයියලාට වැඩක් කරගන්න මේක දවල් වෙන්න කලින් ගෙනිහින් දෙන්න ඕන.

එහෙම කියාගෙන මම පිටත්වුනේ විජේසූරිය එකට ගිහින් බැටරි එකක් අලුතෙන් දාගෙන ගින්තොට යන්න. එත් මම විජේසූරිය මෝටර්ස් එක ලඟට යද්දි කඩේ ඇරලා නෑ. කඩේ අරිනකම් ඉඳල බැට්රි එක දාගෙනම යන්න හිතාගෙන පැය භාගයක් විතර කාර් එකට වෙලාම ඉන්නකොට තමයි මට අම්මට මාළු ගෙනැත් දෙන්න පොරොන්දු උනා නේද කියන එක මතක් වුනේ.

දවස ඉරිදා වීමත්, පෝය වීමත් නිසා විජේසූරිය මෝටර්ස් අරින වෙලාව විශ්වාස නැති නිසා මම කාර් එක ස්ටාර්ට් කරගෙන මාළු මාර්කට් එක පැත්තට ගෑටුවේ නිකම් ගතවෙන කාලෙ ඔන්න ඔහේ අම්මට මාළු ටිකක් ගෙනිහින් දෙන්න හිතාගෙන.

සුමනදාස හෝටලය කියන්නේ අම්බලන්ගොඩ මහා විදියේ මාළු මාර්කට්ටුව ආසන්නම හෝටලයක් සහ කුණු කෑම නැති හොඳ තත්වයේ කෑම තියන හෝටලයක්. සුමනදාස හෝටලයේ උදේ බත් එක කෑවා කියන්නේ ආයේ හවස තුන හතර වෙනකම් බඩගින්න කියන නාමයක් හොයන්න නැතිවෙන කෑමක්. කුකුළුමස් සහ ව්‍යංජන එක්ක හැදෙන සුමනදාස එකේ උදේ බත් එක කන්න හුඟක් එවුන් උදේට සුමනදාස එකට ඇදෙන එක සාමාන්‍ය දෙයක් වුනේ අම්බලන්ගොඩ උදේට කන්න තිබ්බ සුපිරිම තැන සුමනදාස හෝටලේ නිසා. 

ඒ වෙද්දී මාළු මාර්කට් හරියේ වාහන නවත්වන්න ඉඩක් තිබ්බේ නැති නිසා මමත් සුමනදාස හෝටලයත් පහුකරන් ඉස්සරහට ගිහින් ඉඩ තියෙන තැනක් බලල වාහනේ නවත්තල මාර්කට් හන්දියට පයින් ආවේ මාළු ටිකක් ගන්න අදහසින්.

දවස පෝය නිසා වෙනදට මාළු ගන්න සුපුරුදු මාළු ලෑලි වෙළඳාම් නොකරන දවසක් උන නිසා ලඟම තිබ්බ මාළු ලෑල්ල ගාවට ගිහින් මාළු කිලෝ එකක් කපන්න කිව්වේ අලුත් මාළුද කියල අහන එක පෝය දවසේ තේරුමක් නැති ප්‍රශ්නයක් නිසා. පෝය දවස ධීවරයින් මුහුදු නොයන දවසක් නිසාත් විකිනෙන මාළුවක් පෝයට විකිනුනේ ශීතකරණයේ ගබඩාවෙච්ච මාළු විතරයි.

ඒත් මට විකුනන්න කපමින් හිටපු මාළු කුරියාත් මාළු ලෑල්ලත් පෙරලගෙන මාවත් පෙරලගෙන දුවන්න ගතපු මාළු වෙළෙන්දන් මේ දුවන්නේ මොකද බොලේ කියල මුහුද දිහා බලපු මම දැකපු දෙයින් තමයි මට තරු විසික් උනේ.

මම හිටපු තැන ඉඳන් සාමාන්‍ය වෙලාවට මුහුදේ රල ගහන තැන හෙවත් මුහුදු වෙරළට මීටර් විසිපහකට වඩා වැඩියි. එත් මම දැක්කේ කළු පාට වතුර එක්ක විශාල මුහුදු රැලක් මා දිහාට මාළු ලෑලි තල්ලු කරගෙන වේගයෙන් එන හැටි. ක්ෂණිකවම ආපස්සට හැරුන මමත් මාළු වෙළෙන්දන් පස්සෙන්ම මාර්කට් හන්දිය පැත්තට ඉගිල්ලුනේ පන බේරගන්න ඕන නිසා. ලෝක ධාවන ශූරයන්ටත් වඩා වේගෙන් දුවපු මමත් මාළු මාර්කට් පාරෙන් මහා වීදියට ගොඩවුනේ මහ වීදිය තිබුනේ මාර්කට් පාරට වඩා අඩි හයක් හතක් උඩින් නිසා. පස්ස නොබලා එලෝ මෙලෝ නැතුව දුවන ජනතාව එක්ක මමත් ඉබේම හැරුනේ කාර් එක නවත්තපු දිහාවට. දුවපු දිවිල්ලට සුමනදාස හෝටලේ පහුකරන් දුවද්දී තමයි දැක්කෙ සුමනදාස හෝටලේ ගාව නවත්තල තියන මගේ මිත්‍රයෙකුගේ වෑන් එක.

වෑන් රථයේ අයිතිකරුවා නොහොත් මගේ අඹ මිත්‍රයා සුමනදාස හෝටලයේ උදේ බත් ලෝලියෙකු බව උගේ ඥාති හිත මිත්‍ර සියල්ලම සහ මමත් දන්නා දෙයක්. සාගරයක් වගේ බඩක් තියෙන මිත්‍රයෙක් වෙච්චි අපේ එකාගේ බඩ පුරවන්න සුමනදාස එකේ බත් එකක් යන්තමට වගේ පුළුවන් වෙන්නේ කුකුල්ලු භාගයක් එක්ක දෙපාරක් විතර අඩු බත් බෙදාගෙන කෑවයින් පස්සෙයි. මගේ අඹ මිත්‍රයා තරම් මෙගා සයිස් බඩවල් තියන එවුන් කීප දෙනෙක් කන්න සෙට් උනොත් සුමනදාස හෝටලේට උදේ බත් බිස්නස් එකෙන් ලාභ ගන්න එක සුම්ම වෙන්නේ අපේ එකා වගේ තිස්දෙනෙක්  කෑවොත් උන් තිස්දෙනා මිනිස්සු අනූවක් කන තරම් බත් කන නිසා. මිත්‍රයාගේ කෑම ගැන ලියල ආයෙත් පොස්ට් එක කැලේ පනින්න කලින් නැවතත් සිද්දියට ආවේ නැති උනොත් මගේ පාඨකයින් මට දෙවැනි වතාවට සමාව දෙන එකක්නම් නැතිවෙයි.

මිත්‍රයාගේ වෑන් රථය පහුකරගෙන පන එපා කියල කාර් එක හොයාගෙන දුවන මගේ ඔලුවට විදුලියක් ගහන්න වගේ එක පාරට මතක් උනේ සුමනදාස හෝටලේ ඇතුලේ රෝස්  කරපු කුකුල්ලු භාගයක් එක්ක බත් කන්දක් පහත් කරන මගේ අඹ මිත්‍රයාගේ ගෙදර තියෙන්නේ මුහුද අයිනේ නේද දෙයියෝ කියල. ඒ සිතුවිල්ලත් එක්කම මරණය පිටිපස්සෙන් එළවන් ආවත් මගේ අඹ මිත්‍රයා දාල දුවන්න මට හිත හදාගන්න බැරිඋනා. ආපහු හැරුන මම කලින්ම දිව්වේ සුමනදාස හෝටලේ ඇතුලට. ඒ වෙද්දී මගේ මිත්‍ර රත්නය හිටියේ රෝස් කුකුල්ලු එක්ක තිබ්බ අපරිමිත වයිරය පිරිමහමින්.

මොකෝ බන් මේ හති දාගෙන..

මුහුද දානවා යකෝ ගෙදර දුවපන්.. වයිෆුයි දරුවයි ගෙදර නේද..

උදේ පාන්දර බොට පිස්සු හැදිලද යකෝ.. මෙන්න මෙහෙ වාඩි වෙලා මොනාහරි කාපන්..

කන්න නෙවෙයි යකෝ මුහුද දානව.. ගෙදර දුවපන් @#$%@%%#%#%#% පුතෝ..

භූත නැතුව මෙන්න මෙහෙ වාඩියන් .. මොනාද කන්නේ.. බත් කනවද ෂෝර්ට් ඊට් කනවද.. 

භූත නෙවෙයි %$$#@#$% පුතෝ.. එලියට ගිහින් බලපන් මම කියනවට..

උඹ ඇත්තමද බන් කියන්නේ..

තොට බොරු කියන්නේ මොනා ගන්නද යකෝ.. එලියට වර.. එලියට බැහැල බලපන් ..

මගේ බලවත් පෙරැත්තයට මිතුරු තැන මට දහසක් දොස් කියාගෙන අකමැත්තෙන් බත් පතට මද විවේකයක් දීල කුකුළු අන්ඩක් කටින් ලෙලි ගහමින් සුමනදාස හෝටලයෙන් එලියට ආවේ මම කියන්නේ ඇත්ත කියල සියයට එකක්වත් විශ්වාසයක් නැතුව. හෝටලයෙන් එලියට ආපු ගමන් මගේ මිත්‍රයා දැක්කේ එලෝ මෙලෝ නැතුව පන බේරාගෙන දුවන මිනිස්සු. ඒ දැකපු මගේ මිත්‍රයාගේ ක්‍රේල් ක්‍රේල් කොන්ඩෙ කෙලින් උනා කිව්වොත් තමයි හරි. 

පත සරීර කුඩුවත් උස්සගෙන මා මිත්‍රය දුවන්න ගත්තේ උගේ වෑන් එක තිබ්බ තැනට. ඒත් එක් දිසාවකට විතරක් වාහන ධාවනය කරන්න පුළුවන් මහ වීදියේ නීතියට  අනුව යාළුවගේ ගෙදර පැත්තට යන්නනම් වටෙන් ගිහින් ගාලු පාරෙන් එන්න ඕන කිලෝ මීටර් දෙකක්වත් . මිත්‍රයාගේ ගෙදරට යන්න තිබ්බ ලඟම පාර හෙවත් මීටර් දෙතුන්සීයෙන් ගෙදර යන මාළු මාර්කට් පාර ඒ වෙද්දීත් මුහුදු වතුරෙන් යටවෙලා රළ ගහමින් තිබුනෙ. 

දරුවයි වයිෆුයි ගෙදරද..

ඔව් යකෝ ඔව්..

හරි උඹ වාහනේ අරන් වටෙන් වරෙන්. මම මේ පැත්තෙන් පයින් දුවන්නම්.

හරි.

මම මහ වීදිය දිගේ ඇසිපිය ගහන වේගෙන් දිව්වේ මිත්‍රයාගේ ගෙදරට. මම ජීවිතේටම වේගෙන්ම දුවපු දවසක් තියෙනවනම් ඒ දවස තමයි දෙදාස් හතරේ දෙසැම්බර් විසි හය. මාර්කට් හන්දියේ ඉඳන් කිලෝමීටරයක් වගේ දුරින් තිබ්බ මගේ මිත්‍රයාගේ ගෙදරට මට පුළුවන් උපරිම වේගයෙන් දුවපු මම එතනට යනකොටත් මගේ මිත්‍රයගෙ ගෙදරට මුහුදු රළ අඩි දෙකක් වගේ උසකට ඇවිත්. ගොඩබිම පැත්තට දුවන නොසන්සුන් මිනිස්සු අතරේ මමත් අමාරුවෙන් මුහුදු වෙරල පැත්තට දිව්ව. එත් නිකමට වගේ පස්ස බලපු මම දැක්කේ මිනිස්සු අතරින් අමාරුවෙන් රිංගගෙන වාහනය පදවාගෙන එන මගේ මිත්‍රය.  වාහනේ දැකපු මම ආපස්සට හැරිල වාහනේ ලඟට දිව්වේ මගේ මිත්‍රයා කරන්න යන අවදානම් වැඩේ ගැන ඉවෙන් වගේ දැනුන නිසා.

ඕක නවත්තපන්..

ඇයි ..

මේ සෙනග අස්සේ උඹ ගියොත් හිරවෙනව . උඹ ඕක හරවාගෙන රිවස් එකේ වරෙන්. මම දරුවයි වයිෆුයි ගෙදර අයයි අරන් එන්නම්.

හරි.

ආයෙත් ක්ෂණිකව වෙරල පැත්තට හැරුන මම දිව්වේ මිත්‍රයාගේ ගෙදරට. ඒ වෙද්දී මගේ මිත්‍රයාගේ බිරින්දෑ දරුවත් කරපින්නාගෙන වත්තේ ඉන්නවා මම ඈත තියාම දැක්ක. ඉනි වැටේ ඉඩක් තිබ්බ තැනකින් වත්ත ඇතුලට පැනපු මම මිත්‍රයාගේ බිරින්දෑ අතේ හිටපු දරුවා අතට අරන් මගේ පස්සෙන් එන්න කියල විධානය දීල ක්ෂණිකවම අඩි දෙකක් විතර වතුර පිරිලා තිබ්බ මිත්‍රයාගේ ඉඩම සීමාවෙන් පිටවුනා. ඒ වෙද්දී මගේ මිත්‍රයා කොහේදෝ අස්සකට වාහනේ ඔබල යාන්තමින් වාහනේ ආපස්සට හරවාගෙන තිබ්බ. යාළුවගේ බිරින්දෑත් දරුවත් ගෙදර සෙසු පිරිසත් වාහනේට නග්ගල පිටත්කරලා යැව්වාම තමයි මම භාරගත් රාජකාරිය සම්පූර්ණ වුනේ. 

ඇහැට පෙනෙන මානයටම මුහුදේ වතුර හිඳිලා විනාඩි දහයක් ගියේ නෑ  ආපු දෙවැනි සුනාමි රැලෙන් මිත්‍රයාගේ නිවස වහල මට්ටමට වගේ මුහුදු රැලෙන් යටවෙනවත් එක්කම ආයෙත් පන එපා කියල දුවන ජනතාවත් එක්කම මමත් ගෙදරම දිව්වාම තමයි මට මතක් උනේ කාර් එක ටවුන් එකේ නේද කියල.

මහ විදියට සුනාමි ආවේ නැති නිසා මගේ කාර් එකට අඩුම තරමේ රළ පාරක්වත් වැදුනේ නැහැ. සුනාමි ඇවිත් ජීවිත් දහස් ගණනක් අරගෙන ගියායින් පස්සේ දවල් වෙලා ගිහින් මම කාර් එක අරන් ආව. හවස තුනට හතරට තමයි මගේ මිත්‍රයා ආයෙත් මාව හොයාගෙන ආවේ. උපන්දා ඉඳන් හදුන වැඩුන ගේ මුහුදු රළ වලින් විනාස වෙලා තියෙද්දී ජීවිත බේරුනත් මගේ මිත්‍රයා හිටියේ බොහොම දුකෙන්.

මොකද මචන් වෙන්න ඕන.

ගෙවල් ඉවරයි බන්.

බිත්ති පෙරලිලාද ..

නෑ බන්.. දොරවල් දෙපලු කරගෙන වතුර ගෙට ගිහින්. බඩුමුට්ටු ඔක්කොම විනාසයි..

වටින බඩු තිබ්බද බන්..

අල්මාරියේ ලක්ස දෙකක විතර රත්තරන් බඩු තිබ්බ බන් වයිෆ්ගෙ..

දැන් මොකද කරන්න ඕන..

කව්රුත් හොයාගන්න නැහැ මේ වෙලාවේ බඩු ටික හොයන්න යන්න.. ඉන්න එවුන්ට කතාකරන්නත් බෑ බන් මුහුද ගැන විශ්වාසයක් නැති නිසා.

පවුලේ කව්රුහරි එනවනම් මම එක්ක ගේ ඇතුලට යන්න මම යන්නම් ඇතුලට.

ඉතින් මම ඉන්නේ බන්.

උඹේ ඔය සරීර කූඩුව අරගෙන උඹට පුලුවන්ද බන් ඕක ඇතුලේ රිංගන්න. අනික හදිසියෙවත් මුහුද ආවොත් උඹට දුවන්නත් බෑ .

මස්සිනා නම් එන්නම් කිව්වා බන්.

හරි එහෙමනම් යමු.. හැබැයි අපි ගෙට ගිහින් රත්තරන් බඩු ටික තියෙනවද නැද්ද කියල හොයාගන්නකම් උඹ මුහුද දිහා බලන් ඉන්න ඕන. මොනම හේතුවකටවත් උඹ මුහුදෙන් ඇහැ අහකට ගන්න බෑ..

හරි එහෙනම් යමු.

මිත්‍රයාගෙ මස්සිනාත් මමත් මිත්‍රයාත් ගෙදරට යනකොට පලාතම සොහොන් පිටියක් වගේ පාලු වෙලා. සමහර ගෙවල් බිත්තිත් එක්කම කැඩිල. සමහර ගෙවල් දොර ජනෙල් දෙපලු වෙලා. වැටකඩුලු , තාප්ප, සියල්ලම තිබ්බ තැනක් හොයන්නත් නෑ . කැඩිච්ච වතුර පයිප්ප වලින් එක දිගට වතුර ඔහේ ගලාගෙන යමින් තිබ්බ. ගෑස් කුකර් එකක් ගෑස් සිලින්ඩර් එක්කම බටේ පැලිල ෂූ සද්දෙන් ගෑස් පිටවෙනව මිදුල මැද්දෙ . මගේ මිත්‍රය හිටියේ බොහොම දුකෙන්. හොඳට මුහුද පේන තැනකින් මිත්‍රයාව මුහුද පැත්තට මුහුණ දාල වාඩි කරවලා මිත්‍රයාගේ මස්සිනාත් මමත් ගේ ඇතුලට රිංගන්න උත්සහ කරේ බොහොම වැර වෑයමෙන්.

ගෙඳවාන දිහා බලන් හිටපන්... ගෙඳවාන උඩින් රැලක් ආවොත් කෑගහල කියපන්... උඹත් දුවපන්.. අපි අහුවෙච්ච තැනකින් පැනල දුවන්නම්.. අපි ගැන බලන්න එපා.. කෑගහල කිව්වොත් ඇති හරිද..

හරි මචන්..

මුහුදු වැලි වලින් අඩි එකහමාරක් විතර පිරිලා තිබ්බ මගේ මිත්‍රයාගේ නිදන කාමරේ දොරේ තිබ්බේ දොර රාමුව විතරයි. ඇතුලේ තිබ්බ බඩුමුට්ටු ඔක්කොම බ්ලෙන්ඩරයක දාල කරකවල වගේ සියල්ල සුන්බුන් බවට පත්වෙලා. අපි දෙන්න බඩු එකින් එක බොහොම පරෙස්සමට එලියට අදින්නයි උත්සහ කරේ. එත් ලොකුම ප්‍රශ්නය උනේ බිඳුණු ජනෙල්වල විදුරු කටු, කන්නාඩි මේස වල , අල්මාරියේ වීදුරු කටු හැමතැනම විසිරිලා  තිබ්බ එක. අත පය කපාගන්නේ නැතුව බඩු එලියට අදින එක ලොකු අභියෝගයක් වුනා. 

අපිට හදිසියෙන් පැනල දුවන්න පුළුවන් ඉඩත් තියාගෙන හෙමි හෙමිහිට අහුවෙන අහුවෙන සුන්බුන් එකින් එක ඉස්තෝප්පුවට වීසිකරගෙන අපි දෙන්නත් ටිකෙන් ටික කිට්ටු කරේ අල්මාරිය තියන තැනට. එත් අල්මාරිය පලු දෙකම භාගෙට ඇරිලා තියෙන වග එතනට නොයාම පෙනුනත් ඇතුලෙ තියන බඩු මොන තත්වෙන්ද තියෙන්නේ කියල අපිට පෙනුනේ නෑ. පැයක විතර බොහොම ලොකු උත්සාහයකින් පස්සේ අපි දෙන්න අල්මාරිය ගාවට ලං උනත් අල්මාරියේ දොරවල් අරින එක ලොකු අභියෝගයක් උනේ කාමරේ පිරිලා තිබ්බ මුහුදු වැලි අයින් නොකර දොරපලු එහා මෙහා කරන්න බැරි නිසා.

අල්මාරිය පාමුල තිබ්බ වැලි එහෙමෙහෙ කරලා කැඩිච්ච දොරපලු ඇරල බැලුවාම තමයි දැක්කේ ඇඳුම් කෑලි දෙකතුනක් ඇරුනාම වටිනා යමක් අල්මාරිය ඇතුලේ නැහැ කියල. ඒ වෙද්දීත් වැඩේට පැය එකහමාරකට වඩා ගතවෙලා. අපේ අරමුණ වුනේ රත්තරන් බඩු ටික හොයාගන්න එක නිසා අපි දෙන්නම මඩ සහිත මුහුදු වැලි ගොඩේ අත්දෙක දාල බොහොම පරෙස්සමට කාල් ගෑවෙ කොහෙන් හරි රත්තරන් බඩු  ටික හම්බේවිදෝ කියල සීයට දශම එකකවත් විස්වාසයක් නැතුව. 

මඩත් එක්ක වැළලිලා තියන වීදුරු කටු වලින් අත් දෙක බේරාගෙන අතට අහුවෙන අහුවෙන දේවල් මඩ ගොඩෙන් එලියට ඇදල පරික්ෂා කරලා ඉස්තෝප්පුවට දැමීම තමයි කරගෙන ගියේ. ඔන්න ඔහොම පැයක් විතර කාමරේ පුරාම මඩ කාල් ගානකොට මගේ අතට අහුවුනා පොට්ටනියක් වගේ දෙයක්. තිබ්බේ වීදුරු කටු ගොඩක් අස්සෙ නිසාත් ඇහැට නොපෙනෙන තැනක් නිසාත් අත බේරගෙන මඩ ගුලිය උඩට අරගෙන පරික්ෂා කරල බැලුවාම තමයි මම දැක්කෙ රෙද්දකින් ඔතපු රත්තරන් බඩු සියල්ලම කිසිම කරදරයක් නැතුව පොදියටම මඩ එක්ක දිලිසි දිලිසි තියන විදිහ.

ඒ වෙද්දීත් අඳුර වැටීගෙන ඇවිත් තිබ්බ නිසාත් ආපු අරමුණ හරි නිසාත් වෙන ගන්න හොයන්න දෙයක් නැති නිසාත් අපි දෙන්න පරෙස්සමට කකුල් කපාගන්නේ නැතුව එලියට ආවේ හැකි ඉක්මනින් මුහුදු මාරයාගෙන් බේරිලා පැනගන්න හිතාගෙන. එලියට ඇවිත් දැකපු දර්ශනයෙන් තමයි අපි කරපු වැඩේ භයානක කම අපිට තේරුනේ.

ගෙඳවාන දිහා බලාගෙන හිටහන් කියල මිදුල මැද්දේ වාඩි කරලා ආපු මිතුරු තැන ඒ වෙද්දී හිටියේ බිම එලාපු පෝර උරයක් උඩ වාඩි  වෙලා මුහුදට පිටුපාගෙන. හැබැයි නිකම් නෙවෙයි. බිත්තර පාන් එකක් කන ගමන්. 

පෝර උරේ උඩ එරමිණිය ගොතාගෙන මුහුදට පිටුපාල වාඩි වෙලා බඩ පුරා කොටාබාමින් ඉන්න මගේ අඹ මිත්‍රයා ඉස්සරහ පොලිතින් කවරේ තිබ්බේ තවත් බිත්තර පාන් පහක් හයක්. ඒ වෙද්දී රත්තරන් බඩු , සුනාමි කිසිදෙයක් මගේ මිත්‍රයගෙ ඔලුවේ නැති විත්තිය විතරක් මට තේරුනා. ඒ බඩ සාගරේ ගින්නට සුනාමි දහයක් ආවත් පරාදයි කියල එදා මම තේරුම් ගත්ත.

මුගේ ගෑනිගේ රත්තරන් බඩු හොයන අපේ ජීවිත අනතුරේ දාල මූ බිත්තර පාන් ගේන්නත් ගිහිල්ල නේද කියල මට පස්සේ තේරුනේ බිත්තර පාන් එතනට ඇවිදගෙන එන්න විදිහක් නැහැ නේද හත් දෙයියනේ කියල මතක් උනාම. ඔන්න ඔහොමයි මගේ අඹ මිත්‍රයාගේ බඩගින්නට එකම දවසේ සුනාමිය දෙපාරක් පරාද උනේ. 

මේක කියවන පාඨකයින්ගෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ සා බඩගින්නක් තියන එවුන් කවදාවත් අවදානම් රාජකාරීවලට එක්කයන්න එපා කියල. මොකද මුන් වගේ එවුන්ට බඩගිනි උනා කියන්නේ පිඹුරාට බඩගිනි උනා වගේ තමයි ආයේ තැනක් නොතැනක් නෑ ලෝක ගෝලෙ හරි ගිලිනවාමයි.

මේ පොස්ට් එක ඇතුලේ මගේ අඹ මිත්‍රයාගේ නම හෝ කිසියම් සුරතල් නාමයක්වත් සඳහන් නොකරන්න මම අදහස් කරේ දෙදාස් හතරේ දෙසැම්බර් විසි හයවෙනිදා උදේට කාපු බත් කන්දටයි කුකුල් පලුවටයි අපේ එකා සුමනදාස හෝටලේට සල්ලි ගෙව්වේ නැති බව මම ඉන්තේරුවෙන්ම දන්නා නිසා. 

ඒ සුනාමි පරද්දපු බඩගිනි කාරයා මීට කලින් පෝස්ට් කිහිපයකත් සුපර් ස්ටාර් වෙච්චි එකෙක් කියල විතරක් පොඩි ඉඟියක් දෙන්න විතරක් පුළුවනි. එවකට ව්‍යාපාරිකයෙක් වෙච්චි මගේ අඹ මිත්‍රයා දැන් රජයේ සේවකයෙක්. රැකියාව කල යුත්තේ කොහොමද කියන එක මගෙන් අකුරට ඉගෙනගත්තු මිත්‍රයාගේ ලොක්කන්ටත් මගේ ලොක්කන්ට වගේම ගලේ පහරපු බල්ලට වෙච්චි දේම වෙලා ඇති කියලනම් මට ඉර හඳ වගේම විශ්වාසයි. ගෙදරදී අඹේනිය විසින් හදල දෙන සෞක්‍යාරක්ෂිත සීනි නැති තේ , යහපත් සෞක්‍ය ජීවිතේ අංක එකට තියල මාත්‍රාවට තෙල් නොදා හදල දෙන කෑම බීම හරිම කීකරුව කන බොන මගේ අඹ මිත්‍රයාගේ වයිපරේනම් කොයි වෙලාවෙත් කියන්නේ 

මෙයාට කොච්චර තෙල්, සීනි, සුදුබත් අඩුවෙන් දීල මස් බිත්තර කන්න නොදී හිටියත් කොලස්ට්‍රෝල්, සීනි අඩුවෙන්නෙම නැහැ අනේ ....කියලයි. 

පූසා වගේ උදේට වැඩට යන මගේ අඹ මිත්‍රයා උදේ පාන්දර සුමනදාස හෝටලේට රින්ගුවාම කන්දක් විතර බත් පිඟන් දෙක තුනකටත් කුකුල් පලුවකටත්  ඇඩ්‍රස් නැතිවෙන්න සුනාමිය වදින හැටි දන්නේ යාලු මිත්‍රයෝ විතරයි. අපේ එකාට සාමාන්‍ය මිලටම කන්න දෙන එකෙන් සුමනදාස හෝටලේට ලාභයක්නම් තියනවා කියල මමනම් හිතන්නේ නැහැ. 

එත් එක්කම මේකත් කියන්න ඕනෙමයි.......අම්බලන්ගොඩ එවුන් කවදත් කෑමට කප් ගහපු එවුන්.

පසු සටහන්

මගේ කාර් එක දෙන්න ගියපු මගුල් ගෙදර හෙවත් මගේ පොඩි අයියගේ නැන්දම්මා නොහොත් මනාලිය වීමට සිටි අක්කාගේ මව සුනාමියෙන් මියගියා. තවත් බොහොම ළඟ මිත්‍රයෙකුගේ අම්මාත් නැගණියත් මියගියා. මීට කලින් පොස්ට් එකේ හෙවත් සනාගේ වික්‍රම පොස්ට් එකේ සනා එක්ක ආකාස පත්තු කරලා මට කනේ පාරක් ඉල්ලලා දීපු ප්‍රසන්නගේ අම්මා සහ ආච්චිත්  මියගියා. ඒ වගේම දන්නා  කියන තව හුඟක් දෙනෙක් මියගියා. 

මළමිනී අතරේ ගෙවිච්ච ඉතුරු දවස් කීපය ගැන වෙනම ලිපි කිහිපයක් ලිවිය යුතුයි. එදා විජේසූරිය මෝටර්ස් උදේ පාන්දර ඇරියනම් මේ පොස්ට් එක ලියන්න මම අද මෙතන නැතිවෙන්න තිබුන. බැටරිය ලැබුණානම් බැටරිය හයිකරන් ගිංතොට යනකොට සුනාමි එන වෙලාව වෙද්දී මම අනිවාර්යෙන් අකුරල හරියේ වෙන්න තිබ්බ. අදටත් මාසෙකට දෙතුන් වතාවක් සුනාමිය හීනෙන් දැකල බයවෙලා ඇහැරෙන්න තරම් සුනාමිය මගේ ඔලුව ඇතුලේ පැලපදියම් වෙලා. මාසෙට කීපවතාවක් මහ රෑ බයවෙලා ඇහැරෙන නින්ද වගේද සුනාමියෙන් මිනිස්සුන්ට නැතිවෙච්ච ජීවිත සහ දේපල. ඒ ගැන ලියන්න වචන නෑ.

වෙරළට ටිකක් දුරින් තියන මහා ගල්පරයක් වෙන ගෙඳවාන වෙරළට කලින් භාදකයක් වගේ අම්බලන්ගොඩ ආවරණය කරගෙන යෝදයෙක් වගේ නොසැලී ඉන්න නිසා සුනාමියෙන් අම්බලන්ගොඩට වෙන්න තිබ්බ හානිය අඩුවුනා කියල මට හිතෙනවා.  පලවෙනි සුනාමි රළ  ඇවිත් ගිහින් දෙවැනි රළ එන අතරතුරේ ඇහැට පෙනෙන මානය දක්වාම මුහුදේ වතුර හිඳිලා ගිය නිසා උදේ බෝට්ටු වලින් ගෙඳවානේ ගිය එවුන් ගලෙන් ගලට පැනගෙන පයින් ගොඩට දුවන් එන හැටි මම ඇස්දෙකටම දැක්ක. ඒ කාලේ කැමරා ෆෝන් තිබ්බනම් උපන්දා ඉඳන් වතුර පිරිච්ච මුහුද වතුර නැති උනාම කොහොමද කියල හැමෝටම බලාගන්න තිබ්බ.  

සුනාමියට එහා බඩගින්නක් තිබ්බත්  අපේ එකා දෙදාස් හතරේ දෙසැම්බර් විසිහය වෙනිදා සුමනදාස හෝටලේ ඉඳල වාහනේට නැග්ගේ ඉඳුල් අත පිටින්. ඒ තමයි තමුන්ගේ අඹු දරුවන්ට සහෝදරයින්ට සහ වදපු අම්මට  උගේ තිබ්බ නොකියන සෙනෙහස. ඒ ගැන ඇගයීමක් තිබිය යුතුමයි. 

සුනාමියෙන් මියගිය හැමදෙනාටම නිවන්සැප ලැබේවා කියල හැමෝම එක්ක ප්‍රාර්ථනා කරමු. අපට එයාල වෙනුවෙන් කරන්න පුළුවන් එච්චරයි..


පින්තුර ගත්තේ මෙතනින් 
http://www.gll-getalife.com/get-ripped/entry/hormones-and-weight-gain

Tuesday, December 1, 2015

අපෙත් හිටියා කොන්ඩයෙක් ...



පහුගිය දවස්වල කොන්ඩයා කියන නම රටපුරා බොහොම ප්‍රසිද්ද වෙච්චි නිසා  අපේ කොන්ඩයා ගැනත් ලියන්න ඕන කියල හිතුනත් දවසින් දවස වැඩේ කල් ගියා.  මිත්‍ර සමාගම ගැන ලියන ලියන ලිපියෙන් මට එන්න එන්නම තර්ජන එල්ලවීම නිසා මේ වෙලාවේ තියන තර්ජන ගර්ජන යටපත් වෙනකම් තර්ජන ගර්ජන එල්ල නොවෙන මිත්‍රයෙක් ගැන කල්පනා කරාම තමයි කොන්ඩයා මතකයට ආවේ.

කොන්ඩයා අපේ මිත්‍ර සමාගමට වැටෙන්නේ බොහොම අපුරු විදිහට. අම්බලන්ගොඩ සුප්‍රසිද්ධ චිත්‍රශිපියෙක් වුන රසංග සම්පත් අපේ සෙට් එකේ එකෙකු වීමත් සම්පතයා සමග එක පන්තියේ උගෙනගත් කොන්ඩයාගේ අයියාගේ හැඳුනුම්කම මත තමයි කොන්ඩයා කට්ටිය එක්ක ටිකෙන් ටික ඇසුරට වැටෙන්නේ. ඒ ඇසුරත් එක්කම අයියාට වඩා මල්ලී හෙවත් කොන්ඩයා කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙක් වෙන්නේ කොන්ඩයාගේ අයියා වැඩිදුර අද්‍යාපනය පිණිස ජපානය බලා පිටත්ව යාමත් එක්කයි. ජාඩියට මූඩිය වගේ සෙට් උන කොන්ඩයා අපිට වඩා අවුරුද්දකින් බාල එකෙකු වීම හැරුනාම වෙනත් කිසිම නොගැලපීමක් කොන්ඩයාත් අපිත් අතර තිබුනේ නැහැ.

කොන්ඩයා උප්පැන්නයේ තිබ්බ නමින් මිදී කොන්ඩයා බවට පත්වෙන්නේ හෙමින් හෙමින් වැවුන කෙස් වැටියත් එක්ක. ලස්සනට වැවුන කොන්ඩෙත් එක්ක කොන්ඩයාගේ ඒ කාලේ සමාන උනේ නලින් පෙරේරාගේ රූපයට. රූපය හදාගෙන සංගීතය ඉගෙනගන්න කියල ගිටාර් එකක් ගත්තු කොන්ඩයා ගිටාරය සති දෙකෙන්ම ඇඳ යට ස්ථානගත කරේ ගිටාර් වාදනය කොණ්ඩය වවන තරම් ලේසි පහසු කටයුත්තක් නොවෙන බව සති දෙකක් වගේ සුළු කාලෙකින්ම තේරුණ හින්ද වෙන්න ඇති.

කොන්ඩයා කොයිතරම් ව්‍යාපාරයෙහි දක්ෂයෙක්ද කියනවනම් ඕනෑම මී කුණක් ලාභයක් තියාගෙන විකුණන එක අපේ කොන්ඩයාට සුළු දෙයක්. නාස්ති කිරීම, අපතේ දැමීම වගේ න්‍යායන් උපතින්ම තිබ්බේ නැති කොන්ඩයා ඉතිරි කිරීමට වගේම උපයන්නත් එකවගේම දක්ෂකම් තිබුන පුද්ගලයෙක්. ඉඩම් හිමි වැවිලිකාර සහ ව්‍යාපාරික පවුලක බාලම දරුවා වූ කොන්ඩයා ඕනෑම දේකදී මිතුරුකම වෙනුවෙන් අතපය හතර උනත් ගලවල දෙන්න සූදානම් එල කොල්ලෙක් .

කොන්ඩයා කොයිතරම් සුපිරි ව්‍යාපාරිකයෙක්ද  කියනවනම් මිහිපිට පවතින ඕනෑම භාණ්ඩයකට මිලක් නියම කරන්න පුළුවන් ඥානයක් කොන්ඩයා සතුව තිබ්බ. අඩි තිස්තුන්දාහක් උඩින් යන ගුවන් යානයක් පෙන්නලා මචන් අරක කීයක් වටියිද කියල ඇහුවොත් කොන්ඩයා ටක්කෙටම මිලක් කියන්න සමත් සුපිරි පොරක්. ආර්ථික විද්‍යාව උසස්පෙළට හදාරලා නැතත් කොන්ඩයා සුපිරි ආර්ථික විසෙසඥ්ඥයෙක් කිව්වොත් තමයි නිවැරදි. සීනි තේකොල මිලේ සිට නැව් , ගුවන්යානා මිල දක්වාම පවතින මිල ගැන නිරන්තර යාවත්කාලීන වන දැනුමක් තිබ්බ කොන්ඩයා ඉඩම් කඩම් මිල සහ වැවිලි කටයුතු ගැනත් විසෙසඥ්ඥයෙක්.   

මෝල් ගහක් හිටෙව්වත් පැලවෙන අත්දෙකක් තිබ්බ කොන්ඩයා වැවිල්ලට තියන දක්ෂකම පෙන්නුවේ තනියම එළවලු කොරටුවක් කරලයි. මහා පරිමාන කුරුඳු වගාව කරගෙන යන ගමන්ම හවස්වරුවේ එළවලු කොටුවක්ද අඩුපාඩුවක් නැතුව සාත්තු සප්පායම් කරන කොන්ඩයා අඳුර වැටීගෙන එද්දී අපි එක්ක සෙට් වෙන්න තරමට කාලය කළමනාකරණය කරගන්නත් සුපිරි දක්ෂයෙක්. ෆුට් බයිසිකලයක්, මොටෝ සයිකලයක්, වාහනයක්, ලාභයක් තියාගෙන විකුණන කොන්ඩයා කවදාවත් විකුණුම්කරුට හෝ ගැනුම්කරුට අසාධාරනයක් නම් කරේ නැහැ. මේක විකුණලා දියන් කියල දුන්නොත් මළමිනියක් උනත් කොන්ඩයා සතියක් දෙකක් ඇතුලත විකුනලා දෙනවාමයි. 

අපේ කට්ටිය මේ කියන්නට යන, දවස් පහක විනෝද චාරිකාවක් යන්න සෙට් උනේ එක්දහස් නවසිය අනූනමය කාලේ වගේ තමයි මගේ මතකය. දවස් තුනක් කන්ද උඩරට සිරි නරඹල අපේ සෙට් එක සෙන්කඩගල පුරවරයට සැපත් උනේ දළදා වැඳගෙන අනුරාධපුරය බලා යන්න හිතාගෙන. අපේ සිරා ඒ වෙද්දීත් ටවුමෙ කඩේ පටන් අරගෙන තිබ්බ නිසා සිරා කොතන ගියත් බලන්නේ විකුණගන්න පුළුවන් සුකුරුත්තම් බඩු ටිකක් අඩු මිලට වාහනේට දාගන්නයි.

දළදා වැඳලා නුවර ටවුමේ ඉබාගාතේ ඇවිදිමින් ඉන්න අපි කට්ටියට සෙට් උනේ පේමන්ට් එකේ ලස්සන කාර්ඩ් වගයක් විකුණමින් ඉන්න පේමන්ට් වෙළෙන්දෙක්..

අඩෝ මරු කාර්ඩ් ටික නේද බන්..

මරු නේන්නම්..

කඩේට මේ වගේ කාර්ඩ් ටිකක් දැම්මනම් විකුනන්න පුළුවන් බන්.. එහෙම කිව්වේ අපේ සිරා..

බොට අඩුවට අරන් ඕනෙද මේ ඔක්කොම ටික..

මුන්ගෙන් කොහෙද බන් අඩුවට ගන්නේ..

හරි හිටහන්කෝ පැත්තකට වෙලා.. එහෙම කියාගෙන කොන්ඩයා පේමන්ට්  වෙළෙන්දාට ලංවෙලා එතැනින්ම ඇණතියාගෙන බිම වාඩිවුනා...

හා මාමේ.. කොහොමෙයි වෙළඳාම...

වැඩක් නෑ මහත්තයා.. හරිම සවුත්තුයි..

කීයද මාමේ මේ කාර්ඩ් එකක්..

පහළොවයි එකක්..

රුපියලට දෙකට ගෙනල්ල පහොලොවට විකුනනවා නේ..

අපොයි එච්චර අඩුවට ලැබෙනවානම් බැරිය..

එහෙම නෙවෙයි මාමේ .. මෙතන තියන කාර්ඩ් ඔක්කොම මම ගන්න කීය ගානේ දෙනවද..

හැක් ..හැක් .. විහිළු කරන්න එපා මහත්තයා..

නෑ ..නෑ  මාමේ විහිළු නෙවෙයි... ඇත්තටම කියන්නේ... දැන් සල්ලි දීල ඔක්කොම ගන්නවා...

දහය ගානේ දෙන්න..

වැඩි වැඩි වැඩි...... පහ ගානේ කරමු ...මාමටත් ලාභයක් තියෙන්නේ එපයි....

අපොයි බෑ ... අත්තටමනම් නමය ගානේ ගන්න..

වැඩියි වැඩියි වැඩියි .. හය ගානේ දෙන්නම් මේ දැන්..

බෑ මහත්තයා... පාඩුයි නෙව..

මේකයි මාමේ කථාව .. දැන් මාම මේ ඔක්කොම ටික මට වික්කාම එක්කෝ මාමට තව බිස්නස් එකක් කරගන්න දවසෙන් භාගයක් තියනව.. නැත්තම් කලින් වැඩ ඉවර වෙච්ච නිසා අඩියක් පුඩියක්  එහෙම ගහල කලින් ගෙදර ගිහින් වතුර ටිකක් නාල පාඩුවේ ඉන්න පුළුවනි. කලින් ගෙදර ගියාම නෝනාගෙනුත් සැලකිල්ලක් ලැබෙන්න පුළුවනි .. දන්නවනේ..

හැක් ..හැක් .. මහත්තය කියන කථා ...අටයි පනහ ගානේ ගන්න ඔක්කොම..

එහෙම නෙවෙයි මාමේ.. හතයි පනහ ගානේ සේරෝටම ගාන හදල කියන්න... ඔන්න මම නැගිට්ට.. ඒ ගානට ආවේ නැත්තම් අපි ගියා..

අනේ මන්ද... කාර්ඩ් දෙසීයක් තියනව මහත්තයා.. දැන් දැම්ම විතරයි.. එහෙනම් එක්දාස් හයසීයක්වත් දෙන්නකෝ..

එක්දාස් පන්සීයයි..හරිනේ.. ඔක්කොම ටික එකතුකරලා පාර්සල් කරන්නකෝ හොඳ මාම වගේ.. මචං සිරා.. මට එක්දාස් පන්සීයක් දියන් ..

ඔන්න ඔහොමයි කොන්ඩයා කාර්ඩ් විකුනපු මාමාගෙන් ඔක්කොම කාර්ඩ් ටික ගත්තේ.. දළදා වැඳගෙන ඊළඟට අපි පිටත් වුනේ දඹුලු යන්න..

ඒ මේ කාර්ඩ් ලාභද බා...න් .. එහෙම ඇහුවේ අපේ කාවින්දයා ..

ඇයි පාඩු නම් උඹ අලාභේ ගෙවන්නද.. එහෙම කිව්වේ අපේ සමා..

නෑ බා....න් .. කා ...ව්ද  බන් දන්නේ මේව විකුනන්න පුළුවන් වෙයිද කියල..

බොලාට මම මේ කාර්ඩ් ඔක්කොම ගෙදර යන්න කලින් විකුණලා දෙන්නද... ඒ උත්තරය කොන්ඩයාගෙන් ..

අනේ මේ.. උඹ කයිවාරු නොගහ හිටහන්..

හරි මම විකුණලා පෙන්නුවොත්..

අනේ මේ උඹ බැරි වැඩ නොකර හිටහන්.. සිරා ඕක කඩේට දාල විකුනගනීවී පාඩුවට හරි ..

දඹුල්ලෙන් කාර්ඩ් ටික ඉවරයි කියල හිතාගනින්කෝ..

කතාවට සම්භන්ධවීමට මට ඉඩකඩක් නොමැති වුයේ මා රථය පදවමින් සිටි හේතුවෙනි.. 

මචං.. වාහනේ දඹුල්ලේ පාර්ක් එකට දාන්නේ නැතුව මෙහායින් නවත්තපන්... මුන් කියනවනේ දැන් මේක විකුනන්න බෑ කියල..

හරි දැන් උඹ මොකක්ද කරන්න හදන්නේ... 

උඹ වාහනේ මෙහායින් නවත්තුවාම කියන්නම් කරන්න ඕන දේ ..

හරි..

සියල්ලන්ගේම අභියෝග හමුවේ නොසැලුන කොන්ඩයාගේ  ඊළඟ පියවර ගැන කුතුහලයෙන් සියල්ලන්ම පසුවුනේ දඹුල්ල වෙත යනතෙක් නොඉවසිල්ලෙන්..

දඹුල්ලේ විහාරය අසල රථ ගාලට මෙහායින් රථය නැවැත්වූ වහා රථයෙන් බැසි කොන්ඩයා රථයේ තිබු පැදුරක්ද රැගෙන රථ ගාල ඇතුලට පියමනින්නට වුනේ  ගත්තේ කල යුත්ත අප වෙත මෙසේ දැනුම් දීමෙන් අනතුරුවයි..

මම මේ කාර්ඩ් ටික පැදුරේ එලල ඉවර උනාම කට්ටියත් එක්කම ඇවිත් වටවෙලා කාර් තෝරපල්ලා උඹල ඔක්කොම..

හැක් ..හැක් .. බලමු උඹ කාර්ඩ් ටික විකුනන හැටි.. එහෙම කිව්වේ කාවින්ද..

කොන්ඩයා බැසගියායින් පසුව මා රථය රථගාලේ ගාල් කරනවිටත් කොන්ඩයා කාර්ඩ් සියල්ල පිළිවෙලට පැදුරේ එලා අවසන්.. රථය නවත්වා විනාඩියක් යන්නට මත්තෙන් රථයේ සිටි සියල්ලන්ම සිටියේ කොන්ඩයා වටේ කාර්ඩ් තෝරමින්.. විනාඩි පහළොවක් යන්නට මත්තෙන් දඹුලු විහාරය වඳින්නට ආ පින්වතුන් කොන්ඩයාගේ කාර්ඩ් පැදුර වටේ එක්රොක් වීමෙන් අනතුරුව අපේ එවුන්ගේ අවශ්‍යතාවයක් කොන්ඩයාට තිබුනේ නැහැ.

මලාට පන්සලකට ගොඩ නොවෙන අපේ සෙට් එක දඹුල්ල විහාරය වැඳගෙන එන්න බොහෝ වෙලාවකට කලින් පැදුරත් අකුලාගෙන කොන්ඩයා වෑන් රථයට වාර්තා කරේ කාර්ඩ් සියල්ලම එකක් රුපියල් තිහ බැගින් විකිණීමෙන් අනතුරුවයි. එදා දඹුල්ල විහාරයේදී අපේ කොන්ඩයාගෙන් කාර්ඩ් පත් මිලදී ගත් උදවිය දැනගෙන හිටියේ නැහැ එයාල මේ කාර්ඩ් ගන්නේ ඉඩම් හිමි වවිලිකාර ව්‍යාපාරික කෝටිපති පුතන්ඩියෙකුගෙන් කියන වග. කාර්ඩ් පත් සියල්ල එකක් තිහ බැගින් විකුණා අවසන් කල වග දැනගත් කාවින්දයා  නම් ටික වෙලාවක් කතාකරගත නොහැකි අන්දමන්ද ස්භාවයෙන් පසු වුනා.. සිරා වෙත සියලු මුදල් භාරදෙද්දී හතරැස් බෝතල් ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් පන්සියයක් බලහත්කාරයෙන් බෝතල් අරමුදල සඳහා පූජා කිරීමට කොන්ඩයා දායක වුනා. ඒ පන්සීය තමයි කොන්ඩයාගේ ගාස්තුව.


ඒ චාරිකාව ඇතුලත වෙච්චි විශේෂිත සිද්දි හුඟක් තිබුනත් මේ පොස්ට් එක කොන්ඩයා උක්ත කරගෙන ලිව්ව නිසා අනෙකුත් විශේෂිත දේවල් වෙන වෙනම ලිවිය යුතුයි. සමාගේ විශේෂිත දත් මැදීමේ කතාවත් ඇතුලත් වෙන්නේ මේ චාරිකාවටම වුනත්  සමාගේ වික්‍රම පොස්ට් එකෙන් පස්සේ සමාගේ දුරකථනය මා වෙනුවෙන් නිහඬ වීම ඇතුලේ ආයෙත් බ්ලොග් පොස්ට් වෙනුවෙන් සමා ගැන නොලිය ඉන්න මම තීරණය කළා .

කොන්ඩයා ගැන තව දුරටත් ලියද්දි ජපන් ජාතිකයෙකු සම්භන්ධ අනර්ග සිද්දියක් මතකයට ආවත් ඒ ගැන ලියන්න විදිහක් නැත්තේ එම සිද්දියට සීයට පනහක දායකත්වයක් දක්වපු සමා ගැනත් ලියන්න වෙන හින්දයි. 

කොන්ඩයා කරපු කියපු වැඩ සිය දහස් ගණනක් තිබුනත් කොන්ඩයා කරපු සුවිශේෂී ගනයේ ක්‍රියාවක් මේ පොස්ට් එකටම ලියල ඉවරයක් කරන්නයි අන්තිමේ තීරණය කරේ..

එදා අපි ගියේ කතරගම යන්න. ගමනට සහභාගී වුනේ බඩ තඩියා, බතලයා, කොන්ඩයා, මනෝජ් සහ මම. කතරගම ගියේ බඩ තඩියාගේ වෑන් රථයේ. කතරගම වැඳ පුදාගෙන ගෙදර එන ගමනේදී තමයි මේ විශේෂිත සිද්දිය සිද්දවුනේ. උදෑසන කතරගමින් පිටත්වූනු  අපි හැමදෙනා කෙලින්ම එන්න පිටත් වුනේ ගෙදර එන්න.

මචන් මගේ යාලුවෙක් බැඳලා ඉන්නේ ලුනුගම්වෙහෙරින්.. යනගමන් ඒ පැත්තෙන් ඔලුව දාගෙන යමුද..

උඹ දන්නවද ඉන්න තැන ..

ඉන්න තැන නම් දන්නේ නෑ .. එත් ඒ පැත්තට ගිහින් හොයාගන්න බැරිවෙන එකක් නැහැ..

මොන මගුලටද බන් ඕවයේ යන්නේ.. මෙන්න මෙහෙ ගෙදර යමන් ..එහෙ ගිහින් සෙට් වෙමු..

ගියොත් ඉතින් දඩ මස් එහෙමත් කාල බීල එන්න පුළුවනි..

හඃ දඩමස් .. බොට  ශුවර්මද..

අනිවා.. ගේ හොයාගත්තොත් අනිවා බඩු ශුවර්ම තමයි..

හරි එහෙනම් යමුකෝ හොයාගෙන.. හරෝපන්... හරෝපන් ඕක ලුණුගම්වෙහෙරේ  යන්න..

හිටහන් යකෝ මේක එකපාරට හරවන්න මහා මුහුදේ දුවන බෝට්ටුවක් නෙවෙයි බං .. 

බඩ තඩියාගේ දඩමස් පෙරේතකම කට දෙකොනින් කෙල බේරෙන තරමට නිසා මනොජ්ගෙන් ලැබුන යෝජනාව ස්ථිරවුනේ ඒ විදිහට. එත් අපි දැනගෙන හිටියේ ලුණුගම්වෙහෙරට යන්න විතරයි. රථය පදෙව්වේ මම . ඉස්සරහ ආසනයේ යෝදයෙක් තිබ්බ වගේ විරාජමාන වුනේ බඩ තඩියා. පිටිපස්සේ ආසන වල හිටියේ බතලයා, කොන්ඩයා සහ මනෝජ්..

අපි ලුගම්වෙහෙරට ගිහින් ගෙයක් ගෙයක් ගානේ විස්තර අහ අහ රස්තියාදු වෙද්දී තමා අපිට තේරුනේ වැඩේ තියන බරපතලකම. 

මාමේ මේ හරියේ ඉන්නවද අම්බලන්ගොඩින් බැඳලා ඉන්න ........ කියල නම තියන කෙනෙක්..

ම් ..... මොනවා කරන කෙනෙක්ද බැඳලා ඉන්නේ..

බිස්නස් කරන කෙනෙක් මාමේ.. එයාට බස් එකකුයි වෑන් දෙකකුයි කාර් එකකුයි තියන කෙනෙක්..

ඔහොම ආරන්චියක්නම් තිබ්බ..... පොඩ්ඩක් ඉස්සරහට ගිහින් වමට තියන ආරෙන් හැරිලා ගිහින් අහන්නකො..

හා හොඳයි මාමේ..

වාහනය ඉදිරියට ධාවනය වුනත් අපිට ඊළඟට ප්‍රශනය වුනේ "ආර" කියන්නේ මොකක්ද කියල දන්නේ නැතිකම..

නැන්දේ මේ හරියේ ඉන්නවද ....... කියල කෙනෙක් අම්බලන්ගොඩින් බැඳලා ඉන්න..

ම් ... මතක විදිහට ආරියවතීලෑ බාල එකී පැනල ගියේ ඒ පැත්තේ හාදයෙක් එක්ක තමා... ඔය ඉස්සරහ තියන ජඳුරෙන් හැරිලා ටික දුරක් ගියාම හේනක් හම්බවෙයි..එතනින් අහන්නකො..

මනෝජයා වාහනයට නගින්නේ තවත් බරක් හිසේ තබාගෙනයි..

ඒ මොකක්ද බන් ජඳුර කියන්නේ..

දැන් අපි දන්නවද බන් ආරවල්, ජඳුරවල් . උඹනේ කිව්වේ අපිට දඩමස් දෙන්නම් කියල.. දැන් කොහෙන් හරි හොයල දීපන්..

දැන් උඹේ යාළුවා මේ කෙල්ල එක්ක පැනල ගියා කියන එකාද කියහන් ඉස්සෙල්ලම.. ඒක එහෙමනම් අපි දඩමස් කෑම පැත්තක් දාල ගෙදර යමන් නිකම් උන්ගෙන් මරුම්කන්නේ නැතුව..

පිස්සුද බන්.. මේ කියන්නේ වෙන එකෙක් ගැන..

කොහොමින්  කොහොමින් හරි ලුණුගම්වෙහෙර ටවුම පහුකරලත් විසි තිස්දෙනෙකුගෙන් අහලත් ආරංචියක් අපිට හොයාගන්න බැරිවෙච්චි. කොන්ඩයා සහ මනෝජයා ප්‍රාදේශීය සභා චන්දෙට ගෙවල් ගානේ චන්දෙ ඉල්ලගෙන යන අපේක්ෂකයෝ දෙන්නෙක් වගේ ගෙයක් ගෙයක් ගානේ ඇවිදිමින් හිතවතා ගැන ආරංචියක් හොයන්න දාපු මහන්සිය අපමණයි. එත් අන්තිමේ එක එකා කිව්ව ආරංචි වලින් එහාටත් මෙහාටත් පැදවුණු රථය අන්තිමේ නතරවුණේ ලුණුගම්වෙහෙරේ මහා මුකලානක් මැද්දේ . ගිනි අවුවේ කරවෙමින්, හිතවතා හොයාගෙන අන්තිමේ අපි ගියේ අක්කර කීපයක ඉඩමක්  මැද්දේ  තිබ්බ අතු පැලකට . මොකක්දෝ අහේතුවකට එතෙක් වෙලා වාහනෙන් බැස්සේ නැති  බඩ තඩියත් බතලයත් දෙන්නම වාහනේ බැස්සේ වතුර වීදුරුවක් ඉල්ලගෙන බොන අදහසින් . කොන්ඩයා හිතවතා හොයන්න ඉස්සර වෙද්දී බතලයා, තඩියා සහ මනෝජ් පසුබැස්සේ ගමන් විඩාව නිසාමයි..

ගෙදර කව්ද.. 

කතාව කොන්ඩයා පමණයි.. අනික් උන් කරෝල ගානට වේලිලා දිව ගිලිලා ඉන්න නිසා කතා කරගන්න පණක් තිබ්බේ නැහැ එකෙකුටවත්..

කව්ද......

කව්ද කියල බලන්න එලියට එන්නෙපැයි ..

ගෙදරට ආපු අමුත්තන් පිළිගන්න පැල ඇතුලෙන් එලියට ආවේ වයස පනහක විතර කාන්තාවක්..

ඇයි මහත්තයා..

කරුණාකරලා බඩු  තියනවනම් ගන්න..

කොන්ඩයා කාන්තාවගෙන් ඇසූ පැණයෙන් කොණ්ඩය කෙලින්වුන අනික් උන් තුන්දෙනා මුහුණට මුණ බලාගත්තා මිසක් කිසිම කතාවක් කලේ නැහැ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යෝදයෙක් තරම් බඩ තඩියා වාහනේ ඉදිරිපස අසුනේ ඉන්නකොට පොලිස් මහත්තයෙක් උනත් වාහනේ නවත්තන්නේ දෙපාරක් හිතල බලලයි. කොන්ඩයා ඇතුළු බතලයා සහ මනෝජ් කියන දෙදෙනාත් හයේ හතරේ එවුන් දෙන්නෙක් වීමත් වාසියට හිටියේ කොන්ඩයාට .

අනේ මහත්තයෝ දැන් අපි ඒවා කරන්නේ නැහැ සත්තයි..

අපිව අන්දන්න ලැස්ති වෙන්න එපා.. කරුණාකරලා බඩු  තියන ඒවා එලියට ගන්නවා හොඳයි ලොකු මහත්තයට කේන්ති යන්න කලින්..පේනවනේ..ලොකු මහත්තයා ඇවිත් ඉන්නේ අද.. වෙනද වගේ නෙවෙයි..
කොන්ඩයා එහෙම කිව්වේ දිව ගිලෙන්න ඔන්න මෙන්න නිසා වතුර ටිකක් ඉල්ලගෙන බොන්න වාහනෙන් බැහැපු බඩතඩියා පෙන්වමින්..

කොන්ඩයා දන්නා කියන සාස්තරෙන් විහිලුවට කාන්තාව භීතියට පත්කරද්දී, විහිළුව වැරදිලා දුරදිග ගියොත් හතර හන්දි කැඩෙන්න ගුටිකන්න වෙන එකක් නිසා කෝකටත් සූදානම් පිට ඉන්න කියල මම වාහනේ ආපහු යන පැත්තට හරවගත්තේ මුන් හතරදෙනා දාල ගිහින් හරි මගේ පන කෙන්ද බේරගන්න ඕන හින්දයි. හතරදෙනාටම ගහක ගැටගහල දිමි ගොටු දාල ගහල මී හරක් දැම්මල පෑගෙව්වත් එකෙක් හරි බේරිලා යාම වැදගත් පසුව පොලිසියෙන් එක්ක ඇවිත් හරි මිත්‍ර සමාගම බේරගන්න. හදිසියෙවත් ගහන්න එලවාගෙන ආවොත් කට්ටිය නගින්න කලින් මම වාහනේ අරන් ඉගිලෙන නිසා  ඉදිරියට යන වාහනේ එල්ලෙන්න බඩ තඩියාටනම් කීයටවත් බැරි නිසා එකේ හරි ගුටිකෑම අනිවාර්ය වෙන සිද්දියක්. 

අනේ මහත්තයෝ මේ කියන්නේ බොරු නෙවෙයි.. පුතා දැන් බිස්නස් එක නවත්තල ටික කාලයක්..

වෙන්න බෑ .. අපි මේ ආවේ අපිට ඒ ගැන තොරතුරක් ආපු නිසයි..අපිට එන තොරතුරු බොරු වෙන්නේ නෑ .. අපි ගේ සර්ච් කරන්න කලින් කරුණාකරලා බඩු  තියනවනම් ගන්න.. දන්නවනේ සර්ච් කරද්දී අහුවුනොත් ..

අනේ මහත්තයෝ.. පුතා බොන්න ගෙනාපු ඩිංගිත්තක් තිබ්බ පැලේ .. ඒ ටික ඇරෙන්න වෙන මුකුත්ම නෑ .. දෙයියම්මප්පා..

හ්ම් ..ගන්නවා ගන්නවා බලන්න තියන ඩිංගිත්ත..

බොහෝ අසරණ විලාසයෙන් පැල ඇතුලට ගිය කාන්තාව නැවතත් එලියට මතුවුනේ රුපියල් දෙකේ සිලිසිලි බෑගයක් පිරවූ ත්‍රයිලෝක විජයපත්‍ර බෑගයක්ද සමගිනුයි.. මේ කියනා වූ කාලයට සාපේක්ෂව රුපියල් දෙකේ සිලි සිලි මල්ලක් යනු එකල තිබු විශාලතම සිලි සිලි බෑගය බවට පාඨකයෝ වටහාගනිත්වා..

මෙන්න මහත්තයෝ... අනේ බුදු මහත්තයෝ නඩු නම් දාන්න එපා.. ඔය ඩිංගිත්ත ගෙනත් තියෙන්නෙත් බොන්න මිසක්ක විකුනන්න නෙවෙයි..

හොඳ ඩිංගිත්ත... බලමු ලොකු මහත්තය එක්ක කථා කරලා.. 

සර් .. මොකද කරන්නේ .. නඩු නොදා බැරිවෙයි නේද.. මෙතන කිලෝ දෙකක් විතර..

බඩ තඩියා මුකුත්ම නොකියා රථයට ගොඩවුනේ පන බේරාගෙන හැකි උපරිම වේගයෙන් පලායාමේ අරමුණෙන්..

ඕන වුනොත් පුතාව ගෙනියන්න එනවා .. බොන්නවත් ආයේ ගෙනත් තියාගෙන අහුවෙන්න එපා හොඳද.. මේ තමුන්ට දෙන අන්තිම අවවාදය..

හා සර්..

අපි ගිහින් එන්නම්.. ඕන වුනොත් අපි ආයෙත් එනව..

අනේ බුදු සර් නඩුනම් දාන්න එපා..

හිතවතාගේ නිවාස සෙවීමේ සංග්‍රාමය එතනින් අවසන් වීය. කොන්ඩයා ඇතුළු නඩය රථයට ගොඩවූ වහා ලුනුගම්වෙහෙරින් වීරවිල දිශාවට අධික වේගයෙන්  ධාවනය වූ රථයේ වු එකෙකු හැර අනෙක් සියලුම දෙනා පසුවුනේ භීතිය ප්‍රමුක සන්තෝසයෙන්.. ඒ නම් නොමිලේම ලැබුණු ත්‍රයිලෝක බෑගය ගැන උද්දාමයෙන්. බඩතඩියා ත්‍රයිලෝක ගැන මෙලෝ හසරක් නොදත් බියර් ලෝලී එකකු වීමත් සහ ඔන්න මෙන්න බොඳවී ගිය දඩමස් සිහිනය නිසාත් පසුවුනේ මහත් කනගාටුවෙන්. නොමිලේ ලැබුණු ත්‍රයිලෝක සුවය අවසන් වනතෙක් සැමගේම වීරයා වුනේ කොන්ඩයා තමයි. එත් කොන්ඩයා කරපු විහිළුව යන්තම් එහෙමෙහෙ වුනානම් අපි කට්ටියම සලාක ක්‍රමයට ගුටිකනව වෙන්න තිබ්බ.

කතරගම ගිහින් ඇවිත් සතියකට දෙකකට පස්සේ කොන්ඩයාගේ ඉඩමට හවස් වරුවේ සෙට් වෙන්න හිතාගෙන ඒ පැත්තට ගියපු අපි කට්ටියට ටවුමට ගිහින් එන්නම් මචන් කියල සමුගත්තු කොන්ඩයා ටවුන් යනවා කියල ගියේ ජපන් කියල අපි දැනගත්තේ සතියකට විතර පස්සෙයි ඔන්න.

අවුරුදු ගානක්  ජපන් ඉඳල ඇවිත් පවුලක් පන්සලක් වෙලා දරු පැටියෙකුත් හදාගෙන සාර්ථක ජීවිතයක් ගතකරන කොන්ඩයා නකල්ස් ගිහින් කට්ටියටම නුඩ්ල්ස් කන්න දීපු හැටි පසුවට. 

Tuesday, November 24, 2015

සමාගේ වික්‍රම





සිදුවීම් කිහිපයක් අලලා ලියන්නට යන මෙම පොස්ටුවේ ප්‍රධාන නළුවා වන්නේ මාගේ අඹ වර්ගයට අයත් මිත්‍රයකු වන සමායි . සමා  යනු වසර ගණනාවක් පුරාම  මාගේ දකුණු අත මෙන් සිටිනා මිත්‍රයකු වන අතර සමාගේ සම්පූර්ණ නම මෙහි නොලියා සිටීමට හේතුව වන්නේ සමා මා සමග උදහස් වෙනු ඇතැයි මට දැනෙන අනියත බියයි. 

මා යනු මාගේ සියලු ඥාති හිතමිත්‍රාදීන්ගේ ජනාදරයට පත් ප්‍රසිද්ද පුද්ගලයකු වන අතර වර්තමානය වනවිට අම්බලන්ගොඩ ප්‍රදේශයේ කිසිදු කෙනෙකු  නොකරන සුවිශේෂී වූ සේවාවක් සිය ව්‍යාපාරය කරගෙන සිටිනා වන් ඇන්ඩ් ඔන්ලි පුද්ගලයෙකි. සමාගේ ව්‍යාපාරය වන්නේ කඩේ යාමයි. නොමිලේ කඩේ යන ජනතාවක් වෙසෙන දිවයිනක මුදලට කඩේ යන සිටිනා එකම එක ජීවියා මාගේ හිතමිත්‍ර සමා පමණය. සමාගේ ව්‍යාපාර ස්භාවය නම් ඕනෑම නගර වැසියෙකුට අවශ්‍ය කරන ඕනෑම භාණ්ඩයක් නිවසටම ගෙනවිත් දීමයි. නිවසට අවශ්‍ය කරන ගෑස් සිලින්ඩරයද, ග්‍රොසරි බඩු භාණ්ඩද, උත්සව අවස්ථා වලදී මදි පාඩුවන ද්‍රව්‍යද ඇතුළු ඕනෑම දෙයක් පාරිභෝගිකයාට අවශ්‍ය කරන වෙළඳසලෙන් ක්ෂණිකවම මිලදීගෙන නිවසට ගෙනවිත් දීම සමාගේ ව්‍යාපාරයයි. නීතියෙන් තහනම් බඩු භාණ්ඩයක් නොවනතාක් මිනී පෙට්ටියක් වුවද නිවසට ගෙනවිත් දීමට සමාගේ ව්‍යාපාරය උදෑසන සිට රාත්‍රී අට පමණ වනතුරු එකලෙස සැදී පැහැදී සිටියි. තමුන් කරන්නාවූ රැකියාවට හෝ ව්‍යාපාරයට අවශ්‍ය විශේෂ ප්‍රාගුන්‍ය නමැති අංගය ඉතාම කෙටි කාලෙකින් ප්‍රගුණ කරනා වූ සමා ඕනෑම රාජකාරියක් නිර්භයව භාරදිය හැකි ඔන්ටයිම් වර්ගයේ මිත්‍රයෙක් වන්නේය.

කොතරම් සුවිශේෂී පුද්ගලයෙකු වුවද ගුරුන්ටත් අකුරු වරදින ධර්මතාවයෙන් සමාටත් ඉඳහිට අකුරු වැරදුන අවස්ථා බොහොමයකි. එහෙත් කොයියම් අවස්ථාවක වුවද මුදලට කෙරෙනාවූ ක්‍රීඩාවක් වෙත්ද එම අවස්තාවෙදීනම් සමාට අකුරුනම් වැරදුනේ නැති. මිතුරන් එකතුවී යන්නා වූ විනෝද ගමනක් වෙත්නම් සමාගේ බෑගයේ කාර්ඩ් කුට්ටම නම් වැරදුනේ නැති. රාත්‍රී නවාතැන් පොලේදී සියල්ලන්ම කාර්ඩ් ක්‍රීඩාවට පොළොඹවා ගන්නා සමා සිය ස්වයං රැකියාව ආරම්භ කරන අතර අවසානයේ සියල්ලන්ගේම විනෝද මුදල් නතරවන අවසන් නවාතැන්පොළ වන්නේ සමාගේ සාක්කුවයි.

තමා සිටිනා වටපිටාව සහ කරනා කටයුත්ත ගැන මනා අවබෝධයක් ඇති සමා ඉඳහිට අමාරුවේ වැටුණු අවස්ථාද බොහෝ වන අතර සමා නිසා මා අමාරුවේ වැටුණු අවස්ථාද අවස්ථාද එකසේම වෙයි. දිනක් මාගේ නිවසේ පැවති ඥාතියෙකුගේ මංගල උත්සවයක් අවස්ථාවේ සමා ඉතාමත් කුජීත ලෙස මා අමාරුවේ දැම්මා මෙන්ම  කම්මුල පුරවා කම්මුල් පාරක් ද ඉලා දුන්නේය. එදින සිද්දිය මෙසේයි..

මාගේ නැන්දනියගේ පුත්‍රයාගේ මංගලෝත්සවය සිදුවන්නට නියමිත දිනයේ නැන්දනියගේ නිවසට යාබද නිවසේ ඥාතියෙකුගේ අවමංගල කටයුත්තක් යෙදීම නිමිත්තෙන් මාගේ ඥාතියාගේ මංගලෝත්සවය මාගේ නිවසේ පැවැත්වීමට කටයුතු සම්පාදනය වුයේ මංගලෝත්සවය අවලංගු කරන්නට අතක් නොමැති නිසාවෙනි. බොහෝ සේ අප්‍රසිද්දියේ පැවති මංගල කටයුත්ත වෙනුවෙන් මාගේ ඥාති සහෝදරයාගේ මිත්‍රයින්ටද උදව්වක් පදව්වක් කරන්නට පැමිණෙන්නට අවස්තාවක් නැති අන්දමින් කටයුතු යෙදී තිබු නිසා දුකටත් සැපටත් සිටින්නාවූ මාගේ හිත මිත්‍ර සනා සහ ප්‍රසන්නයා උදව්වට කැඳවුයේ මා විසිනි. මා නැතත් මාගේ නිවසේ සහ ඥාති පිරිසට සමා සහ ප්‍රසන්නයා පවුලේ එවුන් සේම වූ බැවින් මංගල කටයුතු දින සියලු වැඩ සඳහා ප්‍රසන්නයා සහ සනා විසින් විශාල දායකත්වයක් සපයන ලදී. 

සියල්ල අකුරට සුදානම් කර තිබු අවස්ථාවේ මනාල යුවල රැගෙන ඒමට යාමට මා සූදානම් වීමි..

මා.. මම යනවා එහෙනම් කපල් එක අරන් එන්න.. බොල මෙතන වැඩ ටික බලාගනින් එහෙමනම්..

හරි මචන්.. ගිහින් වරෙන්..

ඉඳා .. මේ සල්ලි වලින් රතිඥ්ඥා පැකට් එකක් ගෙනත් පත්තු කරහන් අපි එද්දී.. ගොඩක් ඕන නැහැ හරිද.. රතිඥ්ඥා දහයක් තිබාම හොඳටෝම ඇති.. මේක බොහොම අප්‍රසිද්දියේ ගන්න මගුලක්නේ බන්.. මම ටවුන් එක හරියෙන් කෝල් එකක් දෙන්නම්.. 

හරි .. උඹ පලයන් එහෙමනම්.. වැඩේ තියෙන්නේ රෑ නිසා අහස ගුන්ඩු ටිකක් එහෙම තිබ්බනම් මරු ..

මොන අහස්ගුන්ඩුද බන්.. රතිඥ්ඥ ටික පත්තුකරන්නෙත් නොකර බැරි නිසා.. මරණයක් වෙලා තියෙද්දී එහෙම හරි නැහැනේ බන්..රතිඥඥා පත්තු කරනවටවත් බාප්පල කැමති නැහැ ..මගේ කටේ බලේට තමයි රතිඥ්ඥ ටිකත් පත්තු කරන්නේ බන්... 

හරි උඹ පලයන්කෝ..අපි වැඩේ කරන්නම් තිතට..

මනාල යුවල රැගෙන ඒමට පිටත්වූ මා ඔවුන්ද රැගෙන නිවසට ආසන්නයට පැමිණෙන විට සැලසුම් කල පරිදි රතිඥ්ඥා පත්තු වීමට පටන් ගත්තේ මංගල උත්සවයක සුපුරුදු උත්සව ශ්‍රීය ගමටම කියාපාමිනි. මනාල යුවල නිවසේ බස්සවා රථය ගාල්කළ මා නිවසට දුව ආවේ වැල නොකැඩී පත්තුවෙන රතිඥ්ඥා ශබ්දයට අමතරව අහස්කුස සිසාරා අහස්ගුන්ඩුද පුපුරන්නට පටන්ගත් විමතියෙනි.

නවතපන් යකෝ ඕක.. තොපි මාව කන්නද හදන්නේ..

කටවහන් හිටු.. අපේ වැඩේ අපි කරන්නම්..

මම තොපිට කිව්වනේ අහස්ගුන්ඩු ගේන්න එපා කියල..

යකෝ මගුලක් කරනකොට ඒක ලස්සනට කරන්න ඕන..

මාගේ වැඳවැටීම නොලසකා හැරි සමා සහ ප්‍රසන්නයා  එක දිගට අහස සිසාරා අහස්ගුන්ඩු පත්තු කරමින් විනෝද වුයේ කලකට පසු නොමිලේ ගිනිකෙළි සමග විනෝදවීමට ලැබුණු අවස්ථාවෙන් උපරීම ප්‍රයෝජන ගනිමිනි. සමාගේ අතේ අහස්ගුන්ඩු මිටියක් වූ අතර ප්‍රසන්නයා අතේ රතිඥ්ඥා පනහක පෙට්ටියක් වීය. මාගේ නිවසට හිමි භූමි භාගයේ කොනක වූ උස් ස්ථානයක සිට අහස්ගුන්ඩු යවමින් සිටි සමා සිහිනයෙන් වත් නොසිතු ලෙසින් අත වැරදී අහස්ගුන්ඩුවක් මංගල පිරිස දෙබෑ කරමින් නිවස තුලට ගොස් පුපුරා ගියේ ඉතාමත් අනපේක්ෂිත ලෙසයි. මංගල පිරිසද නොසන්සුන් ආකාරයෙන් හිස් ලූ..ලූ.. අත දුවන්නට වූ අතර රතිඥ්ඥා ද වැලට පත්තු වෙමින් තිබුණි.

මොකද්ද යකෝ කරේ.. 

හරි බන් හිතල කරේ නැහැනේ.. මේක පොඩ්ඩක් අල්ලගනින්.. 

මාද ගොන් වස්සකු සේ සමා අත  තිබු අහස්ගුන්ඩු මිටිය සුරතට ගත්තේ අහස්ගුන්ඩු යැවීම නවත්වන අභිලාෂයෙනි..

කව්ද බූරුවෝ ගේ ඇතුලට අහස්ගුන්ඩු එව්වේ.. තොට මම කිව්වනේ ඕවා ගේන්න එපා කියල..

මාගේ බාප්පා යක්සාරූඩයෙන් නිවස තුලින් මතු වූයේ එසේ මා අමතමිනි.. අඩියට දෙකට මා අසලට පැමිණි මාගේ ආදරණීය බාප්පා මා අසලට ලංවුයේම අහසේ පායා තිබුණු තරු පොකුරු පිටින් ඔලුව වටේ කරකැවෙන ප්‍රමාණයේ කන පුරවා පාරක් මාගේ වම් කනට ප්‍රධානය කරමිනි..

චටාස්..

මම කිව්වා නේද බොට රතිඥ්ඥ ගෙන්න එපා කියල.. තෝ රතිඥ්ඥ මදිවට අහස්ගුන්ඩුත් ගෙනාවද බූරුවෝ..

මම නෙවෙයි බාප්පේ.. මෙන්න මුන්  .. මම මගින් මගට එපා කිව්වා.. 

කව්ද දැන් උඹ කියන්නේ මුන් කියල..

කණ පුරවා වැදුණු කනේ පාරෙන් අන්දමන්ද වී සිටි මා සිහි එලවා ගත්තේ තත්පර කිහිපයකට පසුවයි..

උඹ එපා කිව්වා වැඩේ කරා මදිවට දැන් බොරුත් කියන්න එනවා මෙතන.. උඹේ අතේ අහස්ගුන්ඩු මිටිය තියාගෙන උඹ දැන් කියන්නේ උඹ නෙවෙයි අහස්ගුන්ඩුව ගේ ඇතුලට එව්වේ..

මම එකපාරක් කිව්වනේ බාප්පේ.. මම නෙවෙයි.. මෙන්න මුන් දෙන්න..

මුං .. මොක්කුද බොල මුං කියන්නේ..

නොකළ වරදකට තවදුරටත් චෝදනා විඳීම නොහොඹිනා බැවින් සමා සහ ප්‍රසන්නයා  අමු අමුවේ පාවාදීමට පිටුපස බැලූ මා හට වැටහීගියේ මා හැරුණකොට මා අවට කිසිවෙකුත් නොමැති බවයි. මා අසල වූ ගල් පොත්ත උඩ රතිඥ්ඥා පෙට්ටියද වූ අතර ගලෙහි හිටවන ලද පත්තුවෙන ඉටිපන්දම පමණක් මාගේ තනිකමට වීය.. ඒ මදිවාට අහස්ගුන්ඩු මිටියක්ද මා අතය.. 

නිවස තුල පුපුරා ගිය අහසගුන්ඩුවට පින්සිදුවන්නට මුළු මගුල් ගෙදරම ජනතාව නිවසින් එලියට පැන බලා සිටින්නේ  මට ශුද්ද සිංහලෙන් දෙහි කපන බාප්පා සහ සත්ගුණවත් අසරණ මා දෙසය. ප්‍රදර්ශනාගාරයක ප්‍රදර්ශනයට තබා ඇති අගනා වස්තුවක් ආකාරයේ අවදානයක් මා වෙත යොමුවී තිබු අතර ප්‍රදර්ශනය නරඹන ජනතාව අතර සිට කාටත් නොපෙනෙන අයුරින් මා වෙත ටටා පාරක් දැමු සනාත්, ප්‍රසන්නයාත් හඳුනාගන්නට මට වැඩි අපහසුවක් වුයේ නැති. මා අත  තිබු අහස්ගුන්ඩු මිටියම පත්තු කර සමා සිටිනා දිහාවට යැවීමට සිතුනද ඊට කලියෙන් මා අත තිබු අහස්ගුන්ඩු මිටිය මගෙන් උදුරා දෙකට තුනට කඩා දැමු බාප්පා අසල තිබු රතිඥ්ඥා පෙට්ටියද පොළොවේ ගසා එතනින් නික්මයන විට එතෙක් කල් මා විසින් විචිත්‍ර ලෙස අමාරුවෙන් පින්තාරු කරගෙන තිබු මාගේ සායම සියල්ල සේදී ගොස් අවසානය.

මගුල් ගෙදර උත්සවය අවසන් වනතෙක්ම කුස්සිය පැත්තේ රාජකාරී වල පමණක් මා යෙදී සිටියේ ඉදිරිපස කොටසේ සිටිනා වූ උදවියගේ මුහුණ බැලීමට තරම් ගැම්මක්, දෙනෝදාහක් ඉදිරියේ කනේ පාරක් කෑ මා වෙත නොවූ බැවිනි. එහෙත් ලූලා නැති වලට කනයා පණ්ඩිතයා න්‍යායෙන් සමා සහ ප්‍රසන්නයා පෙරමුණේ රාලලා වුයේ මාගේ මුදලින්ම අහස්ගුන්ඩු යවා විනෝද වීමෙන් අනතුරුවය.

ඉන් දින කිහිපයකට පසු සමා විසින් මාව නැවතත් අමාරුවේ දැමුයේ ඉතාමත් කුජීත ලෙසය.. 

එදින සිකුරාදාවක් වූ අතර රැකියාවට ගොස් පැමිණි මා මාගේ වෙළඳ ස්ථානයේ රැඳී සිටියේ කඩය වැසූ වහා කොල්ලන් සමග සෙට් වීමට කලින්ම සැලසුම් කරතිබූ බැවිනි. සමාද රැකියාව අවසන් වී මාගේ වෙළඳ ස්ථානයට පැමිණියේ මා සමගම සෙට් වීමේ කටයුත්තට යාමටයි.

මා.. මම කඩේ වහනකම් උඹ ගෙදරට ගිහින් කාර් එක අරන් වරෙන්..

ඉතින් කඩේ වහලම යමන් බන්..

යකෝ.. කඩේ වහල මෙහෙම්මම යන්න පුළුවනි.. ගෙදර ගියොත් දාහක් ප්‍රශ්න වලට උත්තර දෙන්නත් වෙනවනේ.. උඹ ගිහින් කාර් එක අරන් වරෙන්..

හරි.. මම ගිහින් එන්නම් එහෙමනම්..

මා මාගේ මොටෝවෙන් මාගේ නිවස බලා ඉගිලුනේ මෝටර් රථය රැගෙන එමටයි.. එහෙත් සනාගේ පැමිණීමට පෙර සනාගේ ජන්ගමයෙන් මාගේ ජන්ගමයට ඇමතුමක් ලැබෙන්නේ මේ අතර වාරයේදීයි..

මොකෝ බන්..

ඉස්සරහ රෝදේ හුලන් නෑ යකෝ..

ඉස්සරහ මොන රෝදේද..

ඩ්‍රයිවර් පැත්තේ රෝදෙ බන්..

හරි බන්.. ඕක ඉතින් මහ දෙයක්ද.. ඩිකිය ඇරලා ස්පෙයාර් වීල් එක අරන් ජැක් එකත් අරන් රෝදෙ මාරු කරන්  වරෙන්..

මට තේරෙන්නේ නැහැ රෝද මාරු කරන්න..

ඕක මහා දෙයක්ද බන්.. ඩිකිය ඇරපන්.. ගනින් ජැක් එකයි, වීල් බ්‍රෂ් එකයි, ස්පෙයාර් වීල් එකයි.. ඉස්සෙල්ලම රෝදෙ නට් හතර වට භාගයක් බුරුල් කරපන්. ඊට පස්සේ ජැක් එක කාර් එක යටින් තියල කරකවපන්.. රෝදෙ ඉස්සුනාම නට් හතර ගලවල රෝදෙ අයින් කරලා අලුත් රෝදෙ දාල තදකරල ජැක් එක බාපන්..

අපරාදේ බන්..

මොකක්ද දැන් රෝදෙ මාරු කරන එකේ තියන අපරාදේ ..

නැහැ බන්.. මට එහෙම්ම ගියානම් උඹේ රෝද මාරු කරන්න වෙන්නේ නැහැනේ..

හරි.. දැන් තෝ ගියේ නැහැනේ.. දැන් ඕක මාරුකරගෙන වරෙන්.. බොලාට කාර් එලවන්න පුළුවනි රෝද මාරු කරන්න තමයි බැරි.

මා දුරකථනය විසන්දිකොට නිහඬ වූ නිසා මා නැවතත් කඩය වසන කටයුත්තේ නියලුනෙමි. කඩය අතුගා, මුදල් ගනුදෙනු පිළිවෙලට සකසා, දුම් අල්ලා, දවසේ සියලු වෙළඳ කටයුතු අවසන් කිරීම දිනපතාම සිදුවන බැවින් සුපුරුදු පරිදි සියල්ලම එකින් එක කරමින් සිටි මා හට නැවතත් සනාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන්නට විය.

මොකෝ බන්..

මේ ජැක් එක ඉස්සෙන්න මොන පැත්තටද කරකවන්න ඕන..

දකුණු පැත්තට බූරුවෝ..

මම කරකැව්වා ..ජැක් එක වදින්නේ නැහැ..

අනේ පල යන්න.. ඔය ජැක් එකට හෙන ගහලද බන්.. ඕකෙ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ..

බොරුනම් ඇවිත් බලහන්..මේ ගහනව ගහනවා වාහනේ ඉස්සෙන්නේ නැහැ යකෝ..

වෙන්න බෑ .. හොඳට බලහන් ජැක් එක කැරකෙනවද කියල..

ඔව් බන් ඔව්.. මේ යස අගේට කැරකෙන්නේ.. මුල් ටිකේ ටිකක් ඉස්සුනා.. ඊට පස්සේ ඉස්සෙන්නෙම නැහැ..

හිටහන් මම කඩේ වහල එනකම් එහෙනම්..

ලහි ලහියේ කඩය වැසූ මා නිවසට යද්දී සනා මාගේ රථය අසල ඇන තියාගෙන රෝදය දිහා අනිමිස ලෝචනයේ යෙදී සිටි අතර ගමනේ තිබෙන්නා වූ හදිසිය නිසාවෙන් ක්ෂණිකව රෝදය මාරුකිරීමට මා රථය වෙත ලංවුයෙමි ..

අහෝ දුකකි.. ඉරකි.. තිතකි..

සනා නැවතත් මාව කුජීත ලෙස අමාරුවේ දමා ඇත... එනම් සනා ජැක් එක තබා ඇත්තේ මෝටර් රථයේ ෆලෝ බෝර්ඩ් එකට නොහොත් යට තහඩුවටය.. මදක් දිරුම් සහිතව තිබී ඇති තහඩුව දෙබෑ කරමින් මෝටර් රථය ඇතුලෙන් මතුවී ඇති ජැක් එක රථයේ අක්ස්ලේටරයද දෙකට නවමින් උඩට විත් විරාජමාන වී තිබෙනු මා දුටුවේ රථයේ රියදුරු දොර විවුර්ථ කර බැලීමෙන් අනතුරුවයි. 

තෝ කොහෙටද බූරුවෝ ජැක් එක තිබ්බේ..

උඹ කිව්වේ කාර් එක යටින් ජැක් එක තියල කරකවපන් කියලනේ.. ඉතින් මම උඹ කිව්ව විදිහටම කරා..

වරද මාගේ බැවින් එතනින් එහා නඩු අසා පලක් නැති නියාවෙන් මෝටර් බයිසිකලයෙන්ම සෙට් වීමේ කර්තව්‍ය සඳහා පිටත්ව ගියද මෝටර් රථය යථා තත්වයට පත්කර ගැනීමට මොණරු කිහිපයක් වියදම් කිරීමට මා හට සිදුවීය..

එක්දහස් නවසිය අනූ නවය ආසන්න කාලයක සමා මා අමාරුවේ දැමූ  තවත් එක අවස්ථාවක්  වීය. එකල සමා සහ මා යන දෙදෙනාම රැකියාව කලේ එකම ආයතනයේ බැවින් කලාතුරකින් එකට රාජකාරියේ යෙදීමට අවස්තාව ලැබෙනුයේය. සමා මා රැකියාව කල ආයතනයේ අලවි අංශයේ රැකියාව කල අතර මා රැකියාව කලේ කාර්මික අංශයේයි. දිනක් විශේෂිත වූ රාජකාරියකට සමා අනුරාධපුර පැමිණ සිටි අතර මාද අනුරාධපුරයේ රාජකාරි කරන සතියක් විය. දෙදෙනාම රාජකාරී රථ නොමැති සතියක් වූ බැවින් දෙදෙනාගේම ගමන් සගයා වුයේ බස් රථයයි. එදින සමා සහ මම නැවතී සිටියේ අනුරාධපුරයේ නව නගරයේ ලැගුම් හලක වන අතර හවස් අතේ කරන්නට යමක් නොමැතිව දෙදෙනාම අන්දමන්ද වී සිටි දිනයක් වුයේය.

මොකද බන් කරන්නේ..

මොනා කරන්නද බන්.. ටවුම පැත්තේ ගිහින් මොනාහරි ගෙනල්ල බීල මොනාහරි කාල නිදාගමු බන්..

කිසි ගතියක් නැහැනේ බන්..

මොන ගතියක්ද යකෝ.. බීව.. කෑවා.. නිදාගත්තා.. වෙන මොනවා කරන්නද ඉතින්..

එහෙම නෙවෙයි.. අපි බොන දෙයක් අරගෙන යමු පීරලාගේ ගෙදර..

පීරා යනු අපගේ නිල වාහනයේ රියදුරාගේ ඥාති පුද්ගලයෙක් වන අතර එම නිවස පිහිටියේ අනුරාධපුර සිට සැතපුම් අටක් පමණ කැලෑබද ප්‍රදේශයකයි.  සමා සහ රියදුරා අනුරාධපුර රාජකාරි කරනා සතියේ රාත්‍රී ලැගුම් ගන්නේ එම නිවසේ වන අතර එමගින් ඔවුනට ආයතනයෙන් සැපයෙන රාත්‍රී නැවතුම් දීමනාව ඉතිරි කරගැනීම සමාගේ සහ රියදුරාගේ මුක්‍ය පරමාර්ථයයි. මාද රියදුරා සමග අනුරාධපුර පැමිණි දිනෙක එම නිවසට පය ගසා ඇති අතර එම නිවසේ රාත්‍රී නැවතීමට මාහට කැමැත්තක් තිබුනේ නැත. රට පුරා ඥාතීන් සිටින සමාටත් අපගේ රියදුරාටත් රාත්‍රී නැවතීමට ලැබෙන දීමනාව දෝත බදා සාක්කුවේ දමාගැනීමට අවස්ථාව ලැබුනත් මා ඒ තරම් වාසනාවන්තයෙකු නොවුයේ මා හට රටපුරා ඥාතීන් නොමැති වූ බැවිනි.

අපි දැන් පීරලාගේ ගෙදර යන්නේ කොහොමද යකෝ.. ගියත් යන්න වෙන්නේ බස් එකේ..අනික උගේ ඥාතියත් නැහැ.. අනික මොන මගුලටද බන් එහෙ යන්නේ.. දැන් මෙතනින් කාල නිදාගන්න එකේ..

අනේ යමන් බන්.. අපි බස් එකේ යමු.. අතුල අපිව බස්සල වෙන ගමනක් ගියා කියමු.. අපිව එක්කන් එන්න එනවා කියමු..

දැන් එතකොට එන්නේ..

අන්තිම බස් එක රෑ අටට එහෙන් එන්නේ.. ඒකෙ  එමු..

ඉතින් දැන් අතුලයා එක්කන් එන්න එනවා කියල තියෙද්දී  කොහොමද බං ගේ ඉස්සරහින් බස් එකේ නගින්නේ..

හරි බන්.. ඒ එනකොටනෙ..

දැන් තෝ මොකද මේ තරම් පීරා බලන්න යන්න සෙනෙහස කියපන්..

විශේෂයක් නැහැ බන්.. නිකම් යමන්..මේකෙ ඉන්න කම්මැලියි 

නිකම්... උඹ සල්ලි වියදම් කරන්  උන්නැහේට බොන්න අරන් යන්නේ ඊට වඩා ලොකු ලාභයක් බොට තියන නිසයි..උඹ මේ යන්නේ අංකල් බලන්න නෙවෙයි අන්කල්ගේ දුව බලන්න..තෝ මට සුදුලූනු පොඩිකරන්න එන්න එපා පුතෝ..

මට මොන ලාභයක්ද බන්.. වෙනදත් යන්නේ බොන්න අරගෙනනේ.. ඉතින් හිස් අතින් යන්න බැහැ බන්..

දැන් උඹ මට කියන්නේ අර වලපයයි ගොඩ පයයි ඉන්න වයසක මනුස්සයට බොන්න දීමේ පුණ්‍යකර්මයට මටත් සහභාගී වෙන්න කියලද..

මෙතන හිටියත් නිකම්නේ බන්.. ඔන්න ඔහේ යමන්.. මා ගානේ සියලු වියදම්...

හරි යමන් එහෙමනම්.. හැබැයි පුතේ අටේ බස් එකේ එන්න ඕන හරිද..

හරි බන් හරි .. ඒකෙ නෑවිත් එන්න විදිහක් නෑනේ..

අප දෙදෙනා රැගත් බස්රථය අනුරාධපුරයෙන් පිටත්වන විට සවස පහද පසුවී තිබූ අතර අදාළ නිවසට කලින් තිබෙන බස් නැවතුමෙන් බසයෙන් බැසගත් අප දෙදෙනා පා ගමනින් එම නිවසට ලඟා වනවිට සවස හයද පසුවී තිබුණි ..

ගෙදර කව්ද..

කව්ද...

මේ අපි අපි ...

ආ මේ අයියලනේ... තාත්තේ... අර අයියල ඇවිල්ලා...

ආ එන්න එන්න පුතාල ගෙට.. අද මොකෝ මේ පයින්..

නෑ අංකල්... වාහනේ ආවේ.. අතුල ගියා වෙන ගමනක් ගිහින් එන්න කියල.. ටිකකින් ඒවි..

කෝ වාහනයක් එන සද්දයක් ඇහුනේ නැහැනේ..

වාහනේ රෙපෙයාර් කරානේ අංකල් .. දැන් සද්දේ වෙනදට වඩා හුඟක් අඩුයි..

ඒක මිසක්.. එමු එමු ගෙට..

මා තකහනියේ මේ මුකලානේ ගෑටුවේ කුමකටද යන්න පැහැදිලි වුවත් එය කතා කිරීමට සුදුසු වෙලාව එය නොවන බැවින් හොඳ ළමයකු සේ සිටීමට මම ඉටාගත්තෙමි. අප ගෙනගිය හතරැස් බෝතලයද ටීපෝවක් උඩ ස්ථානගතවූ අතර ටීපෝව වටේ පුටු තුනක වාඩිවූ අංකලයාත් , සමාත්, මමත් යාන්තමින් අනුමත වීමට පටන් ගත්තද මාගේ ඔලුගෙඩිය තුල නිරන්තරයෙන් සැරිසැරූ කාරණාව වුයේ අවසන් බස්රථයෙන් නවාතැනට සැපත්වීමයි.

හතරැස් බෝතලය ටිකෙන් ටික, මාගේ මිත්‍ර සමා සහ සනාගේ හිතවත් අංකලයාගේ උදරයේ තැන්පත් වෙද්දී ටීපෝව මත තිබුනාවූ වැව් මාළු බැදුම සීග්‍රයෙන් මාගේ උදරය වෙත ගබඩා කරවීමට මමද එකසේ දායක වූයෙමි. යහමින් බයිට් තිබෙනා තැන්වල මද්‍යසාර වලින් බඩ පුරවා ගැනීමේ අවාසිය බයිට් ලෝලී මාගේ පාඨක උදවිය හොඳින් දන්නවා යයි සිතමි. එම න්‍යායට අනුව බොනවා යයි ඇඟවීමට යන්තම් තොලගෑමක්ද ඉඳ හිට කරන මා බැදපු වැව් මාළු එකින් එක කා දමන අතරේ මුළුතැන්ගෙය දෙසින් අපවෙත විශේෂයෙන් සැකසෙන රාත්‍රී ආහාරයේ සුවඳද මා අමන්දානන්දයට පත්කරවීය. 

කෝ මේ අතුල තාම නැහැනේ..

දැන් ඒවි ආන්ටි.. යාලුවෙක් ඉන්නවා කිව්වා හම්බෙලා එන්න ගියේ..

දැන් එතකොට මේ ළමයි මෙහෙ රෑට ඉන්නවා නේද..

අනේ අද ඉන්න බෑ ඇන්ටි.. අපි අද නැවතුනේ කැකිරාවේ කාමර දෙකක් අරගෙන .. අංකල් බලල යන්න තමයි ආවේ..

සනා ඇඟට පතට නොදනී මහා පතරංග බොරු ඇදබාමින් දෙමහල්ලන් මුලාවේ දමද්දී බැදපු වැව් මාළු සියල්ලට වගකීමේ රාජකාරිය මම අකුරට ඉටුකලද වරින් වර මතකයට එන රාත්‍රී අවසන් බස් රථය ගැන මතකය මාගේ රසවින්දනයට විශාල භාදාවක් වීය..

මා අපි එහෙනම් මේක ඉවරයක් කරලා යන්න ලෑස්ති වෙමු නේද..

අයියෝ පුතාල කොහේ යන්නද මේ හදිසියේ.. අතුල එනවා කිව්වා නේද එක්ක යන්න.. 

ආ.... ඔව් ඔව් අංකල්.. අතුල දැන් ළඟ එනවා ඇති..

ආ එහෙමනම් අතුලත් ආවාම කෑම ටිකක් එහෙම කාල යන්න බැරිය..

අයියෝ අයියල අද මෙහෙ ඉන්නේ නැද්ද.. මම මේ බලන් හිටියේ උදේට අයියලාගේ වෑන් එකෙන්ම ක්ලාස් එක ගාවට බස්සගන්න..

අද අපි නැවතුනේ කැකිරාවෙනේ නංගි .. ඒ හින්ද ඉතින් යන්න ඕන..

අංකල්ගේ දෝනියැන්දෑද අප අවට ගැවසෙමින් අවශ්‍ය අඩුම කුඩුම සියල්ල ටීපෝව මතට වැඩම්මවීමට විශාල දායකත්වයක් දැක්වූයෙන් මාගේ වැව් මාළු කෑම අඛණ්ඩව කරගෙන යාමට මාහට හැකි වුවද අත් ඔරලෝසුවේ වෙලාව දුටු මා එකවරම කලබලයට පත්වීම අංකල්ට කුතුහලයක් වීය..

මොකෝ ප්...පුතා..

හොඳටම රෑ වෙලානේ අංකල් ..

ටීපෝව යටින් කකුල දමා සමාට පයින් පහරක් ගසා සමා දිහා ඔරොවා බැලුවද සමාට නවාතැනට යාම ගැන නිනව්වක් නොවීය..

ක් ...කොහේ රෑ වෙලාද ප්....පුතා.. ත් ..තාම හතාමාරයිනේ...

හතරැස් බෝතලයේ අඩකට වඩා අඩුවී තිබුණු ඒ අවස්ථාවේ මාගේ හිත මිත්‍ර සමාටද රාත්‍රී අවසන් බස්රථය ගැන මතකයක් තිබුනාද කියා සැක සහිතය..

ඔ..ඔව්.. අන්කල්.. මොන රෑ වෙලාද.. තාම මේ කළුවර වැටුන විතරයිනේ..

මම නැවතත් ටීපෝව යටින් පයින් පාරක් දමා ඇන්නද සමා කිසිදු ප්‍රතිචාරයක් නොමැත..


හතරැස් බෝතලය අහවර වන්නට කාලක් පමණ තිබියදී රාත්‍රී අටේ අවසන් බස් රථය අංකල්ගේ නිවස පසුකරමින් අනුරාධපුර දිහාවට ඉගිලිද්දී සමා උන්නේ අංකල් සමග ජයට සව්දිය පුරමිනි. ටීපෝව යටින් කකුල දමා කී වාරයක් පයින් ඇන්නාදැයි මතකයේ නැතත් සමාට නම් ගානක්වත් උනේ නැති..

පුතාල එහෙනම් කාල ඉමු නේද.. අතුල ආවාම අතුලට කන්න බැරිය ..

හ් ...හා ආන්ටි ..ක්.. කාල ඉමු එහෙමනම්..

ප් පුතාහ් ..ක්...ක්.. කමු...

හරි අංකල් කමු ...

ම් ..ම් ...මචං ..අ..අප්පි.... ක්..කමු...

මමත් මේ කල්පනා කරේ තෝව උයල කනවද..බැදල කනවද..අමුවෙන්ම කනවද කියල තමයි..

ම් ....ම් .මොකක්ද ප් ...පුතාහ් ...

නෑ අංකල් මුකුත් නෑ... මම මේ කිව්වේ අංකල්ලා හුඟක් මහන්සි වෙලා අපිට කන්න දෙන්න..

අ...ආ..අයියෝ..පුතාහ් ... ඒ ..එව්ව ..ආ ..ආගන්තුක ..ස් ..ස් ..සත්කාර නෙව..අ..අනික.. මේ..පුතාලාහ් ..ප්..පිට ..මිනිස්සුය..

මේසයට වාඩි වූ සමා සහ මම කන්නට බෙදාගත්තද කන්නට පිරියක් මා වෙත නොවුනේ බැදපු වැව් මාළුන් සෑහෙන පමණක් කෑ නිසා සහ ඊළඟට කන්නට වෙන පරිප්පු නැව ගැන නිරන්තරයෙන් සිහිවීම නිසාවෙනි..

මොකද මේ අතුල පරක්කු දන්නේ නැහැ නේද..

ද් ..දන්නේ න් ..නෑ නැන්දේ.. ව් වාහනේ ප් ..පොඩි අවුලක් ත් ..තිබ්බ.. ක්..කැඩුනාවත්ද දන්නේ නෑ ..

මීට පැයකට හමාරකට ප්‍රථමව ආන්ටි දැන්  නිකම්ම නිකම් නැන්දා වී ඇති අපුරුව කේන්තියෙන් විඳිමින් බත් කටක් දෙකක් කෑවයින් නොකෑවායින් මා අත සෝදාගෙන මේසයෙන් නැගිටවිත් එළියේ ඇති ලී බැංකුවේ වාඩිවී කල්පනා කරන්නට වුයේ සැතපුම් අටකින් එහා ඇති අනුරාධපුර නගරයට යාමට ක්‍රමයක් ගැනයි. යන්තමින් රාත්‍රී නවය පමණ වනවිට සමා කෑම අවසන්කොට මේසයෙන් නැගිටි වහා මම නිවස තුලට ගොස් මාව එලියට ඇදන් ආවෙමි..

යන්නේ නැද්ද බූරුවෝ..

හරි හරි බා.....න් ... උම්බට හදිසිනම් යමන්...

මං  තෝව කනවා අද දැනගනින්.. හිටහන්කෝ පොඩ්ඩක්..

අංකල් අතුල එන්න පරක්කු මොකද දන්නේ නැහැ.. අපි ටිකක් ඉස්සරහට පයින් යන්නම්.. මොකක් හරි කරදරයක්ද දන්නේ නැහැනේ..


ම් ...මේ...කළුවරේ... ක්..කොහොමද ප් ..පුතා යන්නේ..ඔ..ඔන්න්න ඔහෙ ත්..තව ටි..ටිකක් ඉඳල බ් ..බ් ලන්න..

ඔව් පුතා මේ දවස්වල තනියත් ටිකක් මේ පැත්තේ කරක් ගහනවා.. පයින් යන එකනම් ඒ තරම් හොඳ නැහැ..

ඔ..ඔව්.. ම..මචං ..නැන්ද කියන න් ..නිසා තව ට් ..ට් ..ටිකක් ඉම්මු...

බෑ ආන්ටි.. අතුල නාවොත් අපිට කොහොමත් යන්න වෙනවා අතුලට මොකද උනේ හොයන්න.. ඒ හින්ද අපි ටිකක් ඉස්සරහට යන්නම්.. යන එන ත්‍රී වීල් එකක් ආවොත් එකේ නැගල ටවුමට යන්න පුලුවනිනේ..

මේ වෙලාවේ මේ පැත්තට ත්‍රී වීල් එන්නේ නැහැ දරුවෝ..

කමක් නැහැ ආන්ටි.. අපි ටිකක් ඉස්සරහට යන්නම්කො..

ම් ..ම් මචං ..අහපන්කෝ නැන්ද කියන දේ.. අ..අපේ හ් ..හොඳට නේ ක් ..කියන්නේ..

අංකල් පුටුව උඩම නිදි කිරා වැටෙද්දී නිවැසියන්ගෙන් සමුගත් අප දෙදෙනා කෑලි කැපිය හැකි අන්කාරයේ තරු එළියෙන් පාර අසාගෙන අනුරාධපුර දිහාවට ගාටන්නට පටන්ගතිමු..

අ..අවුලක්..නෑනේ මචං..අ..අපි කොහොමත් ඉ..ඉන්න නෙවෙයිනේ ආවේ නේද..

තෝ මගෙන් මැරුම් නොකා එනවද නැත්තම් නැන්දලහටම ඇරලන්නද ..

අරි..අරි.. බන්.. උම් ..උඹ මගේ බොක්කනේ... ෂින්ඩුවක් කියාගෙන යමන්..

සියල්ල අවසානයේ අප දෙදෙනාටම අපගේ නවාතැන් පොළ වෙත පයින් ඒමට සිදුවූයේ පසුපසින් පැමිණෙන සියළුම වාහන වලට අත දමමිනි. කලාතුරකින් අප පසුකර ගිය  කිසිදු වාහනයක් අප පසුකරමින් නොනවත්වා ගියා මිස අපහට අනුකම්පාවක් නම් දැක්වුයේ නැති. මුළු දුරෙන් සැතපුම් හතක් පමණ දුරක් පයින් ආවාට පසු අප ගැන අනුකම්පාකළ බස් රියදුරෙක් අපව බස් රථයට ගොඩකර ගත්තද එම ස්ථානයේ සිට අපගේ නවාතැන්පොලට සැතපුමක්වත් දුරක් තිබුනේ නැත. අවසානයේ රාත්‍රී එකොළහද පසුවී නවාතැන වෙත පැමිණෙද්දී නවාතැනේ ගේට්ටුවද වසා යතුරු දමා තිබු අතර තාප්පයෙන් පැන ඇතුළුවී සේවක කාමරයට පැය භාගයක් පමණ තඩිබා ප්‍රධාන දොර විවෘත කර ගත්තෙන් ඇඳක නිදාගැනීමේ වාසනාව පෑදුන අතර පාරේ බස් නැවතුමක නිදාගැනීමට තිබු අවස්ථාව අනූ නවයෙන් ගිලිහුණි. 

එදා බස් නැවතුමක රාත්‍රිය ගතකරන්නට සිදුවුයේ නම්, අද වනවිට සමා අවසන් ගමන් ගොස් වසර දහසයක් වන්නට තිබුණි. 

අලි ඉන්නා කැලෑවක් මැදින් කට්ට කළුවරේ සැතපුම් හතක් නොහොත් කිලෝමීටර එකොළහක් පයින් යැවීමේ කටයුත්තේ දෙවැනි කොටස ලෙස මාගේ මෝටර් සයිකලයද තල්ලු කරගෙන එවන් ආසන්න දුරක් කළුවරේ පයින් ගිය සිද්ධිය මනින්නා පෝස්ටුවේ මීට වසරක පෙර ලියා ඇත. මනින්නා පෝස්ටුව මෙතනින් බැලිය හැකි අතර එම පෝස්ටුව ලීව දින පටන් මනින්නා මා සමග වැඩි ඇයිහොඳයියක් නම් නොමැත..අදින් ලියවුනු පෝස්ටුවෙන් පසු සමාද මා සමග වැඩි ඇයිහොඳයියක් නැති වීමට ඉඩ ඇති අතර සමා අනුරාධපුරයේදී සුවිශේෂී ක්‍රමයකට දත් මැද්ද හැටි ගැන පෝස්ටුවක් ලිවීමටද හිතේ කොනක අදහසක් ඇත. 

දරුණු වන සතුන්ගෙන් , අලින්ගෙන් , තනි අලියාගෙන් ගහන කැලෑවක් මැදින් නිරුපද්‍රිතව පයින් ඒමට හැකිවූ එකම රහස, පාඨකයින්ගේ ප්‍රයෝජනය පිණිස  ලියා තැබීම මාගේ වගකීම වන්නේය. එම රහස නම්, හතරැස් බෝතලයෙන් ලැබුණු නව ජවයද සහිතව අප දෙදෙනාගේ පාද යාත්‍රාව අලංකෘත කරනු පිණිස සමා කළුවරේ සිංදු කියන්නට පටන් ගැනීමයි. එහි ප්‍රතිපලය නම් සමාගේ පට්ට අවුට් සෘතියෙන් අහලකවත් නොමැති සිංදු අසා සිටීමට නොහැකි වූ තනි අලියා ප්‍රමුඛ සියලු භයානක වන සතුන් පැත්ත පලාතකවත්  නොසිට සමාගේ සින්දු නෑසෙන දුරකට කැලේ කඩාගෙන දිවයාමයි.