ජනවාරියේ පටාන් ගන්න පාසල් වාරය ක්‍රීඩාවට බර පාසල් වාරයක් හින්ද අපි පාසල් සතිය සහ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට කරපු හපන්කම් ලියන්න කියල හිතුවේ. දැන් කාලේ වෙද්දී කොහොමද කියල දන්නේ නැති උනාට අපි ඉස්කෝලේ ගියපු කාලේ නම් පලවෙනි පාසල් වාරය කියන්නේ ටිකක් වැඩියෙන් ඉස්කෝලේ ඇතුලේ රස්තියාදු ගහන්න ලැයිසම ලැබෙන කාලයක්. මුලින්ම පටන් ගන්න පන්ති පිරිසිදු කිරීම, පින්තාරු කිරිලි, කළු ලෑල්ල කළු කිරිලි වගේ දේවල් පාසල් සතිය පුරා ක්‍රියාත්මක වෙන නිසා පාසල් සතිය කියන්නේ දවස පුරාම ඉස්කෝලේ ඇතුලේ සහ එළියේ හිතේ හැටියට රස්තියාදු ගහන්න ලැබෙන නිදහස් කාලයක්. කෙරෙන කුමනාකාරයේ වැඩකට උනත් එළියෙන් උවමනා වෙන පින්සලක්, කොස්සක්, ඉදලක් වගේ දේවල් ගේන්න යන්න ඉදිරිපත්වෙන සත්ගුණවත් පරිත්‍යාගශීලී පින්වතුන් සවලෙන් එකතු කරන්න තරම් සුලභයි මේ කියන කාලේ.
වැඩක් කරන එවුන්ට වඩා වැඩි කොටසක් සුපර්වයිසර් වරුන් වෙද්දී පන්තිභාර ගුරුභාවතාගෙන් අධික ලකුණු ප්‍රමාණයක් රැස්කරගනීමේ උවමනාව තියන උන්දලා සහ නව වාරයේ පන්ති නායක කමට ඉව අල්ලන එවුන් දාඩිය මුගුරු දාගෙන වැඩ. සැරිසරන්න කැමති උදවිය අවශ්‍යවෙන දේවල් ගේන්න කාගේ හරි බයිසිකල් කටුවක් ඉල්ලගෙන ඉගිලෙන්නේ කළුවා මාරපන් ගියා වගේමයි කියල කියන්න වෙන්නේ, බයිසිකල් අරගෙන එලියට පැනගත්තට යන්නේ මොකටද කියලවත් සමහරුන්ට අමතක නිසා.
මේසන් හැඳි වගේ එව්වා ගෙන්න කියල ඉස්කෝලෙන් පැනපු එවුන් මේසන් හැඳි හම්බුනේ ඥේ ... කියාගෙන ආයේ ඉස්කෝලෙට එන්නේ ඉස්කෝලේ ඇරෙන වෙලාව අල්ලලයි.
කොසු ඉදල් උදලු, තාච්චි, කැති, පිහි ගෙනාපු එවුන් ආයෙත් ගෙදර ගෙනියන්නේ ගෙදරින් ගෙනාපු කොස්ස ඉදල උදැල්ල තාච්චිය නෙවෙයි වෙන්න තියන ඉඩකඩ බොහොමයක් නිසා පාසල් සතිය අවසාන වෙද්දී දෙතුන් දෙනෙකුගේ ගෙදර කැති, පිහි, උදලු, අලවංගු, තාච්චි ආයේ නැවත ගෙදර යන්නෙම නැහැ. යනවනම් ගෙනාපු එක නෙවෙයි වෙන එකක්. කොසු ඉදල් වලටනම් ඇඩ්‍රස් නැත.
පන්තියේ උන්ගේ සල්ලි ටික එකතු කරගෙන සිමෙන්ති ටිකක්, හුණු ටිකක් වගේ අමුද්‍රව්‍ය ගෙන්න එලියට යන එවුන් වැඩිහරියක් කෙලින්ම යන්නේ මැජස්ටික් හෝටලේට වෙන්නේ එකතුකරපු සල්ලි වලින් ඉස්කෝලේ කැන්ටිමෙන්ම කන එක සදාචාර විරෝදී නිසාත් පාසල් සතිය තියා මොන සතිය උනත් අම්ම මුත්තේ කිව්වත් ඉන්ටවල් බෙල් එකට කලින් කැන්ටිමෙන් කෑම දෙන්නේ නැති නිසාත්. (කැන්ටිමේ කෑම ගැන සවිස්තරාත්මකව ලියවුනු " සීය දෙසීය කිරීමේ කලාව " පොස්ට් එක මෙතනින් බලන්න).
දැන් අම්බලන්ගොඩ ෆූඩ්සිටිය තියන තැන කාර් පාර්ක් එක තියන තැන ඒ කාලේ තිබ්බේ මැජස්ටික් කියල සයිවර් හෝටලයක්. අඩු මුදලකින් වැඩියෙන් බඩ පුරවන්න තොසෙ වලට විශේෂ හැකියාවක් තියෙන නිසා බඩගිනි වෙන වෙලාවක ගේට්ටුවෙන් බත් පාර්සලයක් උස්සගන්න බැරි උනොත් හැම එකාගෙම අතේ තියන පිච්චිය එකතුකරලා සහයෝගෙන් ගොඩවදින්නේ ඔන්න ඕන සයිවර් කඩේට තමා. අතේ සල්ලි තියෙනවනම් ඉස්කෝලෙන් එලියට යන එන එක ගැන ඒ කාලේ ඒ තරම් ප්‍රශ්නයක් උනේ නැත්තේ අපි කව්රුත් බිත්ති දිගේ බඩගෑමේ සහ තාප්ප දිගේ බඩගෑමේ කලාව සුපිරියටම ප්‍රගුණ කරපු එවුන් වෙච්චි නිසා. (තාප්පෙන් පනිද්දී අපේ රවියට වෙච්චි ඇබැද්දිය ගැන රවීගේ පැරිෂුට් පිම්ම මෙතනින් කියවන්න)
නිල වශයෙන් ඉස්කෝලෙන් එලියට යන්න අවසර ලැබුනත් ගේට්ටුවෙන් යන්න දහසක් පොත්පත් වල නම ගම ලියල ගුරුවරුන් කීප දෙනෙකුගෙන් අත්සන් අරගෙන ගේට්ටුවේ සිකුරිටි අංකල්ටත් පින්සෙන්ඩු වෙන්න වෙන, විශ්වවිද්‍යාලෙ යනවාටත් වඩා අමාරු රාජකාරියක් නිසා පුහුණුව සහ පළපුරුද්ද තියන උදවිය තම ගමන් පහසුව සලසගත්තේ කොලේජ් ලෙන් එකේ තාප්පෙන්ම තමයි. (ගේට්ටුවෙන් බත් පාර්සල් ගන්නා කලාව සහ සිකුරිටි අංකල් අපි වෙනුවෙන් දක්වපු සහයෝගය ගැන ලිව්ව " ටෙම්පරි පියානෝ " පොස්ට් එක මෙතනින් කියවන්න )
සෙට් එකේ ඉන්න ගණන් පුළුවන් පයිතගරස් කෙනෙක් මුල් වෙලා අතේ තියන මුදල හොඳින් විමසල කන්න පුළුවන් තොසේ ගණන ගැන ගණන් හිලව් හදාගෙන තරයේ හැමදෙනාටම අවවාද දීල කඩේට ගියාට අපේ එවුන්ට පයිතගරස් අමතක වෙන්නේ තෝසෙ ටිකයි සාම්බාරු බාල්දියයි දැක්ක ගමන්. ඊට පස්සේ අමාශයේ අඩියෙ ඉඳන් ගල නාලයේ උඩම කෙලවර තියන ස්වරාලය ලඟට වෙනකම් තෝසෙ සහ සාම්බාරු ගිලින අපේ එවුන්ට මූත්‍රා බර වෙන්නේ වේටර් ගේන බිල දැක්කාමයි.
මම බොට කිව්වනේ එකාට කන්න පුළුවන් තොසෙ එකයි කාලයි කියල..
ඉතින් උඹ හිතන්නේ දැන් මම මේ ඔක්කොම තොසේ කෑවා කියලද යකෝ.. එකෙක් තොප්පිය දාගනියි
මේ මේ බොල මාව අල්ලගන්න එපා ඕකට.. මම කෑවේ තොසේ දෙකයි..
එකයි කාලක් කන්න කියල තියෙද්දිත් උඹ මොකද දෙකක් කෑවෙ කියපන්..
කන්න ගියාම ඕව ගණන් හද හද ඉන්නේ කව්ද බන්..
යකෝ අපි මෙච්චර කෑවේ නැහැනේ බන්..
කතාකරපන් වේටර්ට ..මේ බිල වැරදියි..
වේටර්.. අපි තොසෙ කීයක් කෑවද ..
දොළහයි ෂර් ..
හෑ ... වෙන්න බෑ ... අපි එච්චර කෑවේ නෑනෙ ..
නැත්තේ මොකද ෂර්... ඉෂ්ශේල්ලම තෝශේ අතරක් තමා තිබ්බා ෂර්ලා අතරදෙනාට .. ඒ අතරම ෂර්ල එක්ක කට්ටට කෑවා තමා.. ඊට පශ්ශේ තෝශේ පාක් තමා තිබ්බා.. ඊට පශ්ශේ ෂර්ල තව තොශේ තුනාක් තමා යිල්ලුවා..එක්කොම තෝශේ දොලායි ..ප්ලේන්ටී අතරයි..එතකොට ගාන තමා අරි ෂර්..
මම බොලාට කිව්වනේ තෝසෙ පහයි ප්ලේන්ටී හතරයි කියල..
මාගාව වෙන සතයක්වත් නෑ ..
මාගාවත් නෑ ..
අතේ වෙන සතයක්වත් නැහැ කියල දහ අතේ දිවුරන එවුන් හංගලා තියන දහේ කොළ විස්සේ කොළ, මාරු කාසි ඔක්කොම එකා එකා එලියට ඇදලත් බිල ගෙවෙන තරමට සල්ලි නැතිවුන දවස් අප්‍රමානයි. මැජස්ටික් හෝටලේ කළමනාකරණය කොයිතරම් සුහදශීලීද කියනවනම් හැමදාම එන ගනුදෙනුකරුවන් වෙන පාසල් සිසුන් පසුව නය බේරන පොරොන්දුව මත අතැරලා දාන්නේ පිඟන් හොදන්නවත් අපේ එවුන් අරන් වැඩක් නැති නිසා. ඒත් කිසිම දවසක මැජස්ටික් හෝටලෙන් ණය මුදල් එකතු කිරීමක් නම් සිද්ද උනේ නැහැ. ඒකට හේතුව වෙන්න ඇත්තේ සතියකට කිහිප වාරයක් පැමිණෙන කස්ටමර්ලා නැවත නෑවිත් අරීවිදෝ කියන සැකයත් ඉවක්බවක් නැතුව තොසේ කන කොල්ලන් කාපු තෝසෙ ගන්නට වැඩිපුරත් කිහිපයක් නිරන්තරයෙන් එකතුවෙච්ච නිසා වෙන්න ඇති.
ඉස්කෝලෙන් පනින එවුන් අල්ලන්න තක්කඩි කොල්ලන් හොයාගෙන හදිසියෙන් වීදි සරණ විනභාර ආචාර්ය තුමන්ලා මේ කියන මැජස්ටික් හෝටලේට විසිට් කරන්න අමතක නොකරන්නේ තමුන් හොයන්නාවූ තක්කඩියන් මැජස්ටික් හෝටලයේ සිට අල්ලාගැනීමට තිබෙන සම්භාවිතාවය වැඩි අගයක් ගන්නා නිසා. තාප්ප රාජයා තරණය කරගෙන ඇවිත් තෝසෙ ගිලින එවුන් නිරන්තරයෙන් හෝටලයේ ඉදිරිපස ගැන අවදානයෙන් පසුවෙන්නේ කොයි වෙලාවේ හරි විනය භාරට හෝ අංශභාරට හසුවීමේ අවදානමෙන් මිදෙන්නයි.
අතේ සතයක්වත් නැතුව මැජස්ටික් හෝටලෙන් කාල සතයක්වත් නොදී පන එපා කියල පැනල දුවපු එවුනුත් නැත්තේම නැහැ. එහෙව් දක්සකම් කරපු එවුන්ගේ නම් ගම් ලිව්වොත් උන්ගේ ගෑනු සියදිවි නසාගන්නවා තමුන් දීග ඇවිත් ඉන්නේ මේ සා නීල කාස හොරෙක් එක්කද කියන කලකිරීම උඩ .
තෝසෙ කාල බීල අහවර වෙද්දී ගෙනියන්න ආපු දේවල් ගන්න තියා කලිසම බේරාගන්නෙත් බොහොම අමාරුවෙන් වෙච්චි, එකතුවෙච්ච සල්ලිත් නැතුව ගෙනියන්න ආපු දේවලුත් නැතුව ඉස්කෝලෙට යන්නත් බැරිවෙච්චි තැන ඊළඟට පටන් ගන්නේ හිඟමන් අයදින්නයි. ගෙයක් හදන තැනක්, ගොඩනැගිල්ලක් හදන තැනක් වගේ බලල ඉස්කෝලේ නම ලාභෙට විකුණලා සිමෙන්ති ටිකක් හුණු ටිකක් වැලි ටිකක් හොයාගන්න එක ලොකුම අමාරු වැඩක් වෙන්නේ නැත්තේ ඉස්කෝලේ ඇඳුමෙන් ඉන්න ළමයි ටිකක් ඇවිත් සිමෙන්ති ටිකක් වැලි ටිකක් ඉල්ලුවට නොදී ඉන්න තරම් අවට ජනතාව නරක මිනිස්සු නෙවෙන නිසා සහ ඉස්කෝලෙ කීර්තිනාමය නිසාත්.
එක්දහස් නවසිය අනූව මුල් භාගයේ අවුරුද්දක කොහොමින් කොහොමින් හරි පාසල් සතිය අවසන් වෙලා නිවාසාන්තර ක්‍රීඩා උළෙල ආව කියමුකෝ. ඔන්න කට්ටියම තමුන් නියෝජනය කරන නිවාසයේ ක්‍රීඩාවන් වෙනුවෙන් තමයි ඊළඟ ඉලක්කය. මේ කියන කාලේ අපේ පන්තියේ හිටපු ඉස්කෝලේ ජනප්‍රිය එකෙකුට දෙයියනේ කියල ඕන උනා මැරතන් එකට සහභාගී වෙන්න. නිවාසය මොකක් උනත් අපේ පන්තියේ එකා දිනවීම අපේ අරමුණ නිසා අපි එකතුවෙලා ගැහුවා ප්ලෑනක් මැරතන් එකෙන් අපේ එකාව පළවෙනිය කරන්න. අපේ එකා දුවන්න දක්ෂ උනාට ඒ සා දුරක් දුවල ජයගන්න හැකියාවක් තිබ්බ එකෙක් නොවුනත් තියන කීර්තිනාමය වෙනුවෙන් තරඟය ජයගැනීම අත්‍යාවශ්‍ය දෙයක් උනා.
අපේ සැලසුම වුනේ අපේ ධාවකයා දිවිල්ල අතරමගදී බයිසිකලේක නග්ගගෙන ෂෝර්ට් කට් එකකින් ගිහිං මැරතන් එකේ මුලින් තැබීම. දැන් මේ පොස්ට් එක කියවන මැරතන් ගැන දන්නා උදවිය හිතයි ඒක කීයටවත් කරන්න බැහැ අතරමග විශේෂිතවූ චෙක් පොයින්ට් වලින් තරඟ කරුවන්ගේ අංක සඳහන් කරගන්න නිසා කියල. අපි ඒ ගැටලුවට යොදපු උත්තරය වුනේ වෙනත් අයෙක් ඒ අංකයම ගහගෙන අදාළ මාර්ගය දිගේ චෙක් පොයින්ට් හරහා දුවන්නයි.
අදාළ ෂෝර්ට් කට් එක බයිසිකල් පැදගෙන වේගයෙන් යන්න බැරි තරම් දුරක් නිසා හැමදෙනාගේම යෝජනාව උනේ මගේ පියාණන්ගේ මෝටර් සයිකලයෙන් අපේ එකාව ප්‍රවාහනය කිරීමයි. ඒත් මෝටර් සයිකල් වැඩේ භාරදූර කාර්යක් වෙන්නේ මගේ පියතුමා මොනම හේතුවකටවත් මෝටර් සයිකලයේ යතුර මට හසුවන මානයේ තියන්නේ නැති වීම. ලේසියටම මගේ පියානන් කරේ උදේ වැඩට යනකොට මෝටර් සයිකලයේ යතුර කාටත් පෙන්න ඔෆිස් බෑග් එකේ දාගන්න එකයි. එතනින් එහා මෝටර් සයිකල් පැදීම කියන්නේ තාත්තට හොරෙන් මෝටර් සයිකලය පැහැරගෙන යාමක්.
තාත්ත ගෙදර නැති වෙලාවට මෝටර් සයිකලය පදින්න අයතා ක්‍රම මම විසින් හදාගෙන තිබුනත් අම්බලන්ගොඩ පොලිසියේ ට්‍රැෆික් බ්‍රාන්ච් එකේ හිටපු, දකුණු ලකේ අග නගරේ නමින් හඳුන්වපු නිලධාරියෙක් මට කොයිතරම් ආදරේද කියනවනම් බයිසිකලේ කොනක් දැක්කත් පස්සෙන් එලෝගෙන ඇවිත් මට දඩ කොලේ ලියල දෙන්නේ රියදුරු බලපත්‍ර ගැන අහන්නෙම නැතුව. ඒ කාලේ රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීමට දඩය රුපියල් එකසිය පනහයි. ලංකාවේ ඉතිහාසේටම කොතන හරි එකම පොලිස් නිලධාරියෙක් එකම පුද්ගලයෙකුට එකම දඩේ වැඩිම වාර ගණනක් ලිව්වනම් ඒ මට. මේ සාපෙළ වත් කරපු නැති එවුන්ගෙන් රියදුරු බලපත්‍ර අහන්න ඒ නිලධාරියාට පිස්සු තිබ්බේ නැහැ. එත් දවසක් දඩේ ගෙවල තාත්ත එක්ක පොලිසියට එන්න කිව්වම මටත් සිද්ද උනා ටෙම්පරි පියානෝ කෙනෙකුගේ පිහිට පතන්න. මොකද දඩේ වගේ නෙවෙයි අයතා ක්‍රම වලින් මෝටර් සයිකලය පැද හසුවීමට දඬුවම තාත්තගෙන්.
ඔන්න මැරතන් තරඟය දවසත් උදාවුනා. උදේ පාන්දරම අපේ එකාට තරඟ අංකය ලැබුන ගමන් මම ඒ අංකයත් අතේ ලියාගෙන ගෙදර ඇවිත් ඒ ප්‍රමානයේම අංකයක් ඒ පෙනුමටම ඇඳගත්ත. මේ අංකයේ පෙනුම ඒ තරම් වැදගත් නොවෙන්නේ තරඟ කරුවන්ට වදින වතුර පාරවල් වලින් මේ අංකය තියන කොලේ මගක් හරියෙදීම පොලිසියෙන් ගැහුව වගේ වෙන නිසා.
අපේ එකා වෙනුවට උගේ අංකය ගහගෙන නියමිත මාර්ගයේ දුවන්න අපි තෝරලා තිබ්බේ දේවානන්ද විද්‍යාලයේ අපේම වයසේ යාලුවෙක්. මේ වෙද්දී දකුණු පලාතම දන්නා සුප්‍රසිද්ද ව්‍යාපාරයක හිමිකරුවෙක් සහ හෝටලයක හිමිකරුවෙක් වෙන මේ මිත්‍රයා ඒ කාලේ ආත්මාරක්ෂක සටන් හදාරපු කෙනෙක්. මේ කියන මිත්‍රයා පසුව වෙනත් වුර්තියක් තෝරාගත්තු නිසා අද ලොකු ව්‍යාපාරිකයෙක් උනාට සටන් කලාවෙන් ඉහලටම ගිහින් ලංකාව නියෝජනය කරන තැනට යන්න හැකියාවක් තිබ්බ කෙනෙක්. ඌත් දුවන්න කිව්වොත් දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවටම දුවන්න තරම් හයියක් කැමැත්තක් තිබ්බ බොක්කෙම ෆිට් එකක් නිසා වැඩේට එක පයින්. අද ව්‍යාපාරිකයෙක් විදිහට බොහෝ දෙනා ඇසුරු කරන මේ කියන මිත්‍රයාගේ සටන් කලාවන් ගැන හැකියාව ගැන අද වෙද්දී කව්රුත්ම දන්නේ නැති තරම්.
ඔන්න මමත් තාත්තගේ මෝටර් සයිකලේ යතුර යටින් එන වයර් ටික එලියට ඇදල අරගෙන වෙනද වගේම ඇල්පෙනෙති වලින් සම්භන්ධ කරල ස්ටාර්ට් කරගෙන නොම්බරය ගහල නියෝජිත ධාවනයට අන්දලා ගතපු සගයවත් වතුර බාල්දියක් එහෙම නාවල බයිසිකලේ පිටිපස්සේ වාඩි කරවාගෙන කෙරමිනිය බෝගහ ලඟට සේන්දු උනා. මේ කියන බෝගහ හරියට මැරතන් කරුවන් එද්දී තරඟයේ මුළු දුරෙන් හතරෙන් එකකට වඩා පහුකරලා නිසා තරංග කරුවන් අතර පරතරය වැඩියි. මේ හුවමාරුව වෙන්න සුදුසුම ස්ථානය මේ කියන හරිය වෙන්නේ මේ ප්‍රදේශය වැඩිය ජනයා ගැවසෙන්නේ නැති හරියක් වෙන නිසා.
(මේ තමයි තරඟය පැවැත්වෙන මැප් එක. නිල් පාටින් තියෙන්නේ නියමිත මාර්ගය. කොලපාට තරුව තියන තැනින් තමයි පටන් ගන්නේ. නිල්පාට ඊතලයෙන් පෙන්වන්නේ දිශාව.දුඹුරු පාට තරුව තමයි බෝගහ. රතුපාට පාර තමයි අපේ ෂෝර්ට් කට් එක. කලුපාට තරුව තමයි කැපූඇල හන්දිය)
අපි ඇස් දෙක අතේ තියාගෙන බලන් හිටියත්, වැඩේ අකුරටම සැලසුම් කරලා තිබ්බත්, අපේ එකා මේ කියන බෝගහ ගාවට දුවගෙන එද්දී උගේ දිව බිම ගෑවෙන්න තරම් වගේ. අපේ එකා බෝගහ ගාවට එද්දී උගේ ස්ථානය අපි ගණන් කරපු විදිහට හැත්තෑ තුන. අපේ එකා ඇවිත් අපොයි මට බෑ කියාගෙන මෝටර් සයිකලය ළඟ නැවතුනේ අහලපහල හිටපු කීප දෙනෙකුට සැක නොහිතෙන්න. ඒ වෙද්දීත් අපේ ආත්මාරක්ෂක සටන් කළා විශාරද මිත්‍රයා දිවිල්ල ආරම්භ කරලත් ඉවරයි. පන්ති සගයා පස්සෙන් සහයට වතුර අරගෙන ආපු අපේ අනෙකුත් සගයන් ඒ ආපු විදිහටම නියෝජිත ක්‍රීඩකයා පස්සෙන් බයිසිකල් පැදගෙන ගියේ ඌ තනියම දුවවන එක අවදානම් නිසා. චෙක් පොයින්ට් වලදී වැඩිය මූන නොපෙන්නා නොම්බරය විතරක් කියල දුවපිය කියල උපදෙස් දීල තිබ්බ උනත් චෙක් පොයිට් එකකදී මූ අපේ ඉස්කෝලේ එකෙක් නෙවෙයි කියල අඳුනගත්තොත් බයිසිකලේක නැගල මාරුවෙන්න කලින්ම උපදෙස් දීලයි තිබ්බේ.
කලින්ම සූදානම් කරගෙන අරන් ආපු බෙඩ් ශීට් එකකින් අපේ එකාව ඔතාගෙන මෝටර් සයිකලේ පිටිපස්සෙ ඉන්ඳගෙන මම ඉගිලුනේ උන රෝගියෙක් බෙහෙත් ගේන්න එක්ක යනවා වගේ. අපි යන්න තියන පාරේ පොඩි කොටසක් මැරතන් එකේ නියම පාරේම වෙන නිසා ධාවකයා කාටත් නොපෙනෙන්න ප්‍රවාහනය කිරීම මගේ වගකීම. ඒ වගේම මගේ හිත මිතුරු පොලිස් නිලධාරියාට හසු නොවෙන පාරවල් වලින් යන්නත් වගබලා ගන්න ඕන. මෝටර් සයිකලේ සයිලන්සර් කොන දැක්කත් ඇති ඒ යෝදයා මං පස්සෙන් පන්නන්න. වැඩියෙන්ම අවදානම් වැඩේ වෙන්නේ ආයෙත් රනර්ව තරඟයට දාන්නේ පොලිසියේ වැට මායිමෙන් නිසා.
අපේ හොර පාරත් තරඟයේ නියම පාරත් සමපාත වෙන තැන හෙවත් කැපූඇල හන්දියේ තියන චෙක් පොයින්ට් එක පනින එක තමයි ලොකුම අමාරු වැඩේ. ඉස්කෝලේ නියෝජිතයින් ඉන්න තැනක් නිසාත්, ඇල්පිටිපාර පනින්න ඕන නිසාත් වැඩේ සෑහෙන්න අවදානම්. පිටිපස්සේ වාඩි වෙලා උන රෝගියෙක් වගේ බෙඩ් ශීට් එක ඔලුවේ හිටන් පෙරවන් ඉන්න අපේ එකාව බේරගන්න එකත් පොලිසියෙන් හිටියොත් පොලිසියෙන් බේරෙන එකත් දෙකම වාසනාව අවාසනාව අනුව විසදෙන දෙයක්.
මැරතන් ධාවන ශූර උන රෝගියාවත් අරගෙන මම දන්නා කියන සියලුම වැඩ දාල ගාලු පාර අයිනෙ පොලිසියේ වැට මායිමට හැකි විගහින් අරං යන එක ප්‍රධාන අරමුණ උනත් දඩයක් නොකා ආපහු ගෙදර යන එකත් හෙන ගේමක්.
දන්නා කියන ෂෝර්ට් කට් වලින් දාගෙන කැපූඇල හන්දියට ආවත් එක පාරට ගොනා වගේ පාරට නොදා මෝටර් බයිසිකලේ මෙහායින් නවත්තල පයින් ගිහින් කොකම් පාන එක කෝකටත් හොඳයි කියල මට හිතුනේ වාසනාවට වෙන්න ඇති. පයින් ගිහින් ඇල්පිටි පාරට ඔලුව යන්තං දාල බලද්දී මෙන්න බොලේ ඉස්කෝලේ චෙක් පොයින්ට් එකේ සහයට පොලිස් මාමිලා දෙන්නෙකුයි ට්‍රැෆික් බයික් එකයි එතන කියහන්කෝ.
අපේ ධාවකයා මට වඩා දෙගුණයක් උස එකෙක් වීමෙන් ප්‍රයෝජනේ ගන්න මම දෙපාරක් හිතුවේ නැහැ..
පොලිසියෙන් ඉන්නවා යකෝ..
දැන් මොකද කරන්නේ ..
හොඳට පොරොවගනින් ඔලුවේ ඉඳල..
හෑ ...
උඹ වරෙන්කො.. මොනවා ඇහුවත් කෙඳිරි ගගා හිටහන්.. මුණ පෙන්නන්න එපා.. කතා කරන්න එපා..
තෝ මොකක්ද කරන්න හදන්නේ..
තෝ මගේ තාත්ත.. මම තොගේ පුතා.. යමන්..
පයින්.. ?
ඔව් යකෝ පයින් තමයි ...
මම මෝටර් සයිකලය තල්ලු කරගෙනත් මා මිත්‍ර ධාවන ශූරයා පයිනුත් ඇල්පිටි පාර පනින්නයි දැන් මේ ලෑස්තිය.. ඔලුවේ හිටන් පොරවාගත් එකෙකුත් මෝටර් සයිකලයට වත් උස නැති එකෙකුත් යන්නාවූ අපූරු ගමන ගැන පොලිසියෙන් ප්‍රශ්න නොකර ඉඳීවිද..
කොහෙද මේ පොරවගෙන යන්නේ..
තාත්තට සනීප නෑ හොඳටෝම උන.. බලපිටියේ ඉස්පිරිතාලෙට යන්නේ..
ඉතින් මොකද මේ තල්ලු කරගෙන..
බයිසිකලේ නැවතුනා සර්.. තාත්තට තල්ලු කරන් යන්න බෑ ..
ඉතින් ඕක දාල ත්‍රීවීල් එකක යනවකෝ ..
ඕන්නෑ .. මේ ගෙවල් දෙක තුනකට එහායින් අපේ මාම ඉන්නෙ .. එහෙට ගිහින් මාමට කියල දාගන්නවා ඉස්පිරිතාලෙට..
හ්ම්.. යනවකෝ.. යනවකෝ..
මා මිත්‍ර ධාවන ශූරයා උන රෝගියාගේ රඟපෑම හරියටම කල නිසාත් මම තාත්තාට ආදරය කරන පුතාගේ චරිතය අපූරුවට කළායින් එතනින් හෙමිහිට මාරුවෙන්නට පුළුවන් උනා. පොලිස් තුමන්ලා නොපෙනෙන තැනකට ආ විගහින් ආයෙත් මොටෝවේ නැගගත් අපි දෙන්නා ගාලු පාර දිහාවට ඉගිලුනේ හැකි ඉක්මනින් තරඟයට අවතීරණ වෙන්න ඕන නිසා. අදාළ තැනට ආපු ගමන් මා මිත්‍ර මැරතන් ධාවන ශූරයා නැවතත් ධාවන තරඟයට ප්‍රවිෂ්ඨ උනේ මීටර් සීය දුවන වේගයෙන්.
එතනින් එහා මේ පොස්ට් එක ලියල මට ඉල්ලන් කන්න බැරි වෙන්නේ අපේ එකා තරඟය අවසන් කරන්න ඔන්න මෙන්න කරට කර ගේමක් දීල පරාද වෙච්චි එකත් මේ පොස්ට් එක කියවන නිසා. හොරට දුවල පළවෙනිය වෙන්න පුළුවන් උනා කියල කව්රුහරි හිතනවනම් ඒක බොරුවක් වෙන්නේ අපේ එකා තරඟය ඉවර කරද්දී මුල් විසිපහ අතරේවත් හිටපු නැති නිසා. බෝගහ ලඟට එද්දී හැත්තෑ තුන වීමත් පොලිස් කෝලම රඟ දක්වන්නට උන නිසාත් අපිට වැඩේ හුඟක් අවාසි උනා. ඒත් ඉතින් එහෙම වංචා කරල දිනලා මොකටද කියලනම් ඒ කාලේ මොලේට වැටහුනේ නෑ. අපේ එකා ගාලු පාරෙන් මොටෝවෙන් බැහැල දුවන්න අරන් විනාඩි දහයක් යන්න කලින් අපේ නියෝජිත මිත්‍රයා පොලිසිය පහල බෑවුමෙන් උඩට මතුවුනේ රුහුණු කුමාරි මාතර යනවා වගේ වේගෙන්. ඉතුරු ටිකත් ඌම දිව්වනම් අපේ එකාටත් කලින් ප්ලේස් එකක් ඌ ගන්නවා ඉර හඳ වගේ විශ්වාසයි.
සියලුම සැලසුම්වල මහමොල කරුවා මමයි. වැඩේ අසාර්ථක උනේ මගේ සැලසුමේ වරදක් නිසා නෙවෙයි කියලයි මම හිතන්නේ. අපේ එකා මෝටර් සයිකලේට නග්ගගතපු තැනට එනකොට මුල් විසි පහ අතරේ වත් හිටියනම් අනිවා අපි එක. ඌ මුල ඉඳන්ම තරඟයක් දීල නැත්තේ භාගයක් යන්නේ මොටෝවෙන් නිසා ඉතුරු ටික ගේමක් නැතිවෙයි කියල හිතල. හාවයි ඉබ්බොයි වගේ උනාට ඉබ්බෝ දිනුම් අපි නිකම් හාවො උනා විතරයි අන්තිමේ.
දැන් ඉස්කෝලේ යන කොල්ලෝ කුරුට්ටෝ මෙව්වා කරන්න ගිහින් අහුවෙලා මාව අල්ලනවා නෙවෙයි ඕන්.. මෙව්ව සාර්ථක නෑ කියල මේකෙන් ඉගෙනගනිල්ලා.. වංචාව කවදාවත් ජයග්‍රහණය කරන්නේ නෑ නෑ නෑමයි.



