Wednesday, October 28, 2015

නමක් නැති කථාවක් 5



දවස ගෙවිලා ගියේ බොහොම හෙමින්. කවදා  කොතැනක හමු උනාද නිච්චි නැති උනත් ඖෂදීගේ ඇස් දෙකේ තියන හුරු පුරුදු භාවය ගැන හිත හිත ඇඳේ පෙරලිලා හිටපු සුභාෂ්ට නොදැනීම නින්ද ගිහින් ඇහැරෙද්දී හවස හතරහමාර වගේ ඇති. කන්න බොන්න බඩගින්නක් නැති උනත්  කුස්සිය පැත්තේ රවුමක් දාපු සුභාෂ් පුරුද්දට වගේ බත් ටිකක් කාලා ඇඟ එහෙම හෝදගෙන පිට්ටනිය පැත්තට යන්න ලැහැස්ති උනා.

සුභාෂ් නගර සභාවේ වැට ගාවට වෙලා හොරෙන් බලන් හිටියේ ප්‍රැක්ටිස් ඉවර වෙනකම්. ප්‍රැක්ටිස් එන්නේ නැතුව පිට්ටනියට ඇවිත් අහු උනොත් පුහුනුකරුගෙන් ලැබෙන දැඩි දඬුවම් හොඳින් දන්නා නිසා ප්‍රැක්ටිස් එන්න බැරිවුනු අය පිට්ටනිය පැත්ත පළාතේ ආවේ නැහැ පුහුණුකරුට අහුවෙන්න. හවස පහ පහු පහුවෙද්දී පුහුණුවීම් ඉවරකරපු කණ්ඩායම එකා දෙන්නා විසිරෙද්දී පැනිගහ පැත්තට යන ඉන්ද්‍රජිත් අල්ලගන්න හිතාගෙන සුභාෂ් ඒ පැත්තට බයිසිකලය පෑගුවා .

ආ උඹට දැන් ප්‍රැක්ටිස්  අමතක උනා එහෙනම්.

එහෙම එකක් නැහැ බන්.. අද ටිකක් කම්මැලි හිතුනා.

දැන් උඹ මොකක්ද කරන්නේ කියහන් .

උඹ කිව්වා වගේ ලියුමක් ලියන්න තමයි හිතුවේ. එත් බන් මට තේරෙන්නේ නැහැනේ.

සිංහල මිස්ගෙන් අහගෙන ලියහන්.
ඉන්ද්‍රජිත් එහෙම කිව්වේ ඔලොක්කුවට වගේ 

මේ ඒක නෙවෙයි.. ඖෂදී වෙන මොනාද බන් කිව්වේ.

උඹව දන්නවා කිව්වේ..

ඒ කොහොමද මාව එයා දන්නේ නැහැනේ බන්.

මම විස්තරේ කිව්වාම කිව්වා උඹත් එයා දිහා කන්න වගේ බලනවා කියල.

මම නෙවෙයි බන් ඉස්සෙල්ල බැලුවේ එයා.

හරි බන් දැන් දෙන්නම බලලානේ. ඖෂදී අකමැත්තක් නැහැ වගේ. උඹ මම කිව්ව විදිහට ලියුමක් ලියල දියන්කෝ. බොලෑ පන්තියේ එවුන් නම් වැඩේ විනාස කරන විදිහක් තමයි තියෙන්නේ. මම ඉන්ටවල් එකේ ඖෂදී හොයන යද්දිත් උන් උඹේ නම කිය කියා ඖෂදීට විහිළු කරනවා බන්. 

ඖෂදී මුල්ම දවසේ මා දිහා බලාගෙන යනවා කාවින්ද දැක්කා බන්. ඌ වටේම ගිනි තිබ්බා. 

මම කොහොමද බන් ඉතින් ඖෂදී හම්බෙලා කතා කරන්නේ.

හදිසි වෙන්නේ නැතුව හිටහන්. මම කිව්ව වැඩේ කරහන්කෝ.

මම ජීවිතේට ලියුම් ලියල නැහැ බන්. කොහොම ලියන්නද මන්ද..

එකවරම එතනට පැමිණි බුද්ධික නිසාවෙන් සුභාෂ් සහ ඉන්ද්‍රජිත් අතර සංවාදය තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි වුනා. පවතිනාවූ සුභවාදී තත්වය බුද්ධිකගේ දැනගැනීමට ලක් වුවහොත් ඇති වන්නාවූ වාතාවරණය ගැන සුභාෂ්ට අමුතුවෙන් හිතන්න ඕන උනේ නැහැ. 

ආ .. බොල දෙන්න මේ පෙන්නන්න හදන්නේ අමුතු නාට්ටියක් රජෝ.. 

පල පල යන්න.. 

ඉන්ද්‍රජිත්ගේ පිළිතුරෙන් බුද්ධික නිහඬ වුනා.

සුභාෂ් උඹ ගාව සල්ලි තියෙනවද බන්.. මාර බඩගිනියි බන්..

තියෙනවා ..යමන් මොනාහරි කන්න.

බුද්ධික වරෙන් යන්න කැන්ටිමට.

ඕන් නෑ .. උඹල ගිහින් කාල වරෙන්කො.. 

එම අවසරයෙන් සුභාෂ් ඉන්ද්‍රජිත් සමග නගරසභා කැන්ටිම පැත්තට ඇවිදන් ගියේ බයිසිකල් තල්ලු කරගෙන. සුභාෂ් ඉන්ද්‍රජිත් එක්ක කතා කරපු හැම වචනයක්ම කතා කලේ ඖෂදී ගැනමයි. සුභාෂ් අතේ තිබ්බ සියලුම මුදලින් ඉන්ද්‍රජිත්ට කැමති කැමති දේවල් කන්න අරන් දුන්නේ කිසිම ලෝභකමක් නැතුව. දවස් කීපයකට කලින් යාළුවො හුඟක් හිටියත් ඒ සියලුම යාළුකම් වලට වඩා වටිනාම යාලුවා ඉන්ද්‍රජිත් බවට සුභාෂ්ට නිකමට වගේ හිතුනත් එක්ක. කැන්ටිමේ බිල ගෙවලා බයිසිකල් දෙකේ නැගපු  සුභාෂ් සහ ඉන්ද්‍රජිත් ගෙවල් වලට යන්න පිටත්වුනේ පැනි ගහ ගාව කවුත්ම දකින්න නොහිටපු නිසා . ඇල්පිටි පාරෙන් ලේසියෙන්ම ගෙදර යන්න පුළුවන් ඉන්ද්‍රජිතුත් සුභාෂ් එක්කම ඖෂදීගේ ගෙවල් පාරෙන් ගෙදර යන්න ආවේ සුභාෂ්ට සහයට වගේ. ඖෂදීගේ ගෙවල් ලඟදි බයිසිකලේ වේගය අඩු කරපු සුභාෂ් ඖෂදීගේ ගෙදර දිහා බැලුවත් ගෙදර කව්රුත්ම පේන්න  හිටියේ  නැහැ.

එදා රාත්‍රියත් ගත වුනේ බොහොම හෙමින්. වෙනදට එලිවෙනවට සාප කරන සුභාෂ් ඒ වෙද්දී පසුවුනේ එළිවෙන්නේ නැතිවට සාප කරමින්. සුභාෂ්ට ඕන උනේ ඉක්මනින් ඉස්කෝලේ ගිහින් ඖෂදීව දැකගන්න. එත් ඔරලෝසුව ගමන් කරේ වෙනදට වඩා හෙමින්ද කියලත් සුභාෂ්ට නොහිතුනා නෙවෙයි.

ඖෂදී දැකපු දවසේ හිටන්ම උදේ පාන්දර ඉස්කෝලෙට යන්න උත්සහ කරන සුභාෂ් දිහා සුභාෂ්ගේ අම්ම බැලුවේ බොහොම විපරමින්. රෑට තාත්තා මැදලා දෙන  කමීස කලිසම් වෙනදට කිසිම කතාවක් නැතුව ඇඳන් යන සුභාෂ් උදේට ආයෙත් මදින්න ගත්තේ තාත්ත හරියට මැදලා නැතිව වගෙයි. ගෙදර හැමෝටම සුභාෂ්ගේ වෙනස ප්‍රහේලිකාවක් උනත් කව්රුත් සුභාශ්ගෙන් හරස් ප්‍රශ්න අහන්න උත්සහ කරේ නැත්තේ වෙනදට හයයි හතලිස් පහ වෙනකම් නිදාගන්නා සුභාෂ් හයයි තිහ වෙද්දී ගෙදරින් පිටවෙන එක වෙස්වලාගත්තු ආශිර්වාදයක් වුන නිසා.

එදත් සුභාෂ් උදෙන්ම ඇවිත් පොත් බෑග් එක පන්තියෙන් තියලා ඖෂදීගේ පන්තිය පැත්තට ගෑටුවේ පන්තියේ පෝරිසාද රංචුවට ඇහැ ගැහෙන්නේ නැතුව. පන්තියේ ඉන්න වසවර්ති රැළගේ ක්‍රියාකාරකම් හොඳින් දන්නා නිසා කවකටු පෙට්ටියෙන් බෙදුම් කටුව අරන් සාක්කුවේ දාගත්තේ ඉස්කෝලේ ඇතුලේ හැමෝටම තියන ලොකුම ආයුදය බෙදුම් කටුව නිසා. බෙදුම් කටුව සාක්කුවේ දාගත්තට ඒකෙන් මනුස්සයෙකුට තියා සතෙකුටවත් අනින්න තරම් දරුනු හිතක් සුභාෂ්ට තිබුනේ නැහැ. 

කලින් දවසේ වගේම පාසල ටිකෙන් ටික ළමයින්ගෙන් පිරෙද්දී ඖෂදීත් පන්තිය පැත්තට එනවා සුභාෂ් ඈත තියාම දැක්කා. පන්තියට ලංවෙද්දි සුභාශ්ව දැකපු ඖෂදී කලින් දවසේ වගේම සුභාෂ්ගේ ඇස්දෙක දිහාම බලාගෙන ගිහින් පන්තිය ඇතුලට ගියා. ඖෂදී පන්තිය ඇතුලට යනකම්ම ඒ ඇස්දෙකෙන් තමුන්ගේ ඇස්දෙක ඉවතට ගන්න සුභාෂ්ට පුළුවන් කමක්වත් ඕනෑකමක්වත් තිබුනේ නැහැ. ඒ තත්පර කිහිපයේදීත් සුභාෂ් උත්සහ කලේ ඒ සුපුරුදු ඇස් දෙක ඇතුලේ තිබෙන හුරු පුරුදු බව ගැන විමසන්න. එත් ඖෂදී පන්තිය ඇතුලට යනවත් එක්කම එතනට කඩන් පහත්වුන සුභාෂ්ගේ පන්තියේ පෝරිසාද රැල ඒ වින්දනීය වූ මොහොත සංයමයෙන් විඳගන්න සුභාෂ්ට ඉඩ තිබ්බේ නැහැ .

අද මූව අල්ලලා වාඩි  කරමු ඖෂදී ගාවින්.. එහෙම කියාගෙන ඉස්සෙල්ලම ඉදිරිපත් වුනේ බුද්ධික..

ඒ එක්කම සාක්කුවෙන් බෙදුම් කටුව එලියට අදාල ගත්තු සුභාෂ් ටිකෙන් ටික තමුන්ට ලංවෙන මිත්‍ර සමාගමට පෙන්නුවේ පිහියක් පෙන්නන්න වගේ. 

ආ උඹ අනින්නද ඕකෙන්.

ඇයි ඇන්නොත් අනෙන්නේ නැද්ද. වර බලන්න ලඟට. තොපි මහා පාප මිත්‍රයෝ ටිකක් බන්  .

පාසල් ජීවිතයේ පළමු වතාවට උන් හිටිතැන් අමතක වන මට්ටමේ කේන්තියකින් පසුවෙනා සුභාෂ් වෙත කව්රුත් ලං වුනේ නැහැ. ඒ එක්කම මිතුරු පිරිස පෙරලාගෙන ඉදිරියට මතු වුනේ තුසිත.

බලු වැඩ කරන්න එපා යකෝ.. ඌට උගේ වැඩේ කරගන්න දීපන්. බොලා කරන ඕන මජර වැඩකට  ඌ සපෝර්ට් එක දෙනවනේ..

ඌ අපිට හොරා ගිහින් ගේම ගහන්න හදන්නේ ඇයි අපි කටු ගහයි කියල බයේ වෙන්න ඇති මු .

ඔව් ඉතින් තොපිට කියල පුලුවනිද යකෝ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න . තොපි  මෙතන වන සත්තු වගේ නටන්න ගත්තාම කෙල්ලෝ යාලුවෙයිද යකුනේ. 

සුභාෂ්ගේ මිතුරන්ගේ අමන ක්‍රියාකලාපයන් තඹේකට මායිම් නොකළ ඖෂදී පසුවුනේ කිසිවක් සිදු නොවූ අයුරින්. එහෙත් නාහෙට නාහන සුභාෂ්ගේ මිතුරන් තුසිතයාවද මායිම් නොකොට ඖෂදී වෙත සුභාෂ්ගේ නම කියමින් පාසල පටන් ගන්නා  තුරුම ඖෂදීගේ පන්තිය අසල නොයෙක් රංගනයන් සිදු කළා.  රංචුව එතනින් විසිරුනේ පාසල පටන්ගන්නා සීනුව නාදවුන නිසා . සිදුවෙමින් පවතින වාතාවරණය පාලනය කරගතහැකි කිසිදු විසඳුමක් සුභාෂ් වෙත තිබුනේ නැහැ.

වෙනදා වගේම විද්‍යාව පාඩමෙන් ආරම්භ වෙන පන්තිය ආරම්භ කරන්නේ නැතුව පන්තිභාර ගුරුතුමිය කෙලින්ම හැරුනේ සුභාෂ් දිහාවට..

සුභාෂ් නැගිටිනවා..

සුභාෂ් පුටුවෙන් නැගිට්ටේ වෙන්න යන්නේ මොකක්ද කියන දෙගිඩියාවෙන් .

ඊයේ මොකද උනේ..

ඒ කිව්වේ මිස්.

ඊයේ තමුන් ඉස්කෝලේ පටන් ගන්න කලින් පොත් ටිකත් අරන් කොහෙද ගියේ.

කොරිඩෝ එකේ ලිස්සල වැටුනා මිස්. නළල වැදුන කණුවේ. ඉන්න බැරි නිසා ගෙදර ගියා මිස්. 

ලිස්සල වැටුනද නැත්තම් කව්රුහරි වැට්ටුවද .

නෑ මිස්. ලිස්සුවා.

තමුන් ගැන එන ආරංචි ඒ තරම් හොඳ නැහැ හොඳද .. පාඩම් වැඩක් බලාගෙන උනන්දුවෙන් ඉස්කෝලේ වැඩ ටික විතරක් කරගෙන හිටියොත් හොඳයි. නැත්තම් දෙමාපියන් ගෙන්නලා පැමිණිලි කරන්න වෙයි.

ගුරුතුමිය ඒ ටික කිව්වේ බොහොම අවදාරණයෙන් නිසා අනතුරක් බොහොම ළඟ බව සුභාෂ්ට ඉවෙන් වගේ තේරුනා. 

හ්ම්.. වාඩිවෙනවා ..

සුභාෂ් වාඩි වුනේ වෙන්න යන්නේ මොකක්ද කියල බොහොම අවිනිශ්චිත භාවයෙන්. පන්තිභාර ගුරුතුමියගේ රහස් පරීක්ෂක උන්දලා ටික අකුරටම රාජකාරිය කරන බවනම් සුභාෂ්ට හොඳින්ම පැහැදිලි වුනා.

පාසල් කටයුතු වෙනදා ආකාරයෙන්ම සුපුරුදු විදිහට කෙරීගෙන ගිහින් විවේක කාලය උදා උනත් සුභාෂ් ඖෂදීගේ පන්තිය පැත්තේ වත් ගියේ නැත්තේ පන්තිභාර ටීචර්ගේ අවවාදය නිසාමයි. එත් ඈත ඉඳන් ඖෂදී දිහා බලන් ඉන්න සුභාෂ්ට හොඳින්ම දැක්කේ පන්ති සගයින් සුභාෂ්ගේ නම කියමින් ඖෂදීට සීමා රහිතව විහිළු තහළු කරමින් යකා නටන ආකාරයයි. ඒත් ඊට විරුද්දව කළහැකි කිසිදු දෙයක් සුභාෂ් වෙත තිබුනේ නැහැ. 

කාලය කෙමෙන් කෙමෙන් ගලාගිහින් පාසල අවසන් වෙද්දී සුභාෂ්ගේ අරමුණ වුනේ ඉන්ද්‍රජිත් කියූ ආකාරයෙන් හවස් වරුවේ කෙසේ හෝ ලිපියක් ලියා ඉන්ද්‍රජිත්ගේ අතට පත් කරන්නයි. ඉස්කෝලේ ඇරිලා ගෙදර ගිහින් දවල්ට කන්නෙත් නැතුව සුභාෂ් මේසෙට වාඩි වුනේ ලිපියක් ලියන්න හිතාගෙන. දවල් දවසේ ගෙදර ඉන්නේ සුභාෂ් සහ නැගණිය පමණක් නිසා සුභාෂ්ගේ පෙම් හසුනට භාදා කරන්න තරම් බලවත් කෙනෙක් ගෙදර උන්නේ නැහැ.

බොහොමත්ම  උත්සාහයෙන් ලියුම් විස්සක් තිහක් ලියපු සුභාෂ් ඖෂදීට දෙන්න කියල හිතන ලියුම ලියාගනිද්දී සුභාෂ්ගේ මේසය ළඟ කුණු කුඩේ ඒ වගේම තවත් ලියුම්  විස්සක් තිහක් කොළ ගුලි බවට  පත්වෙලා තිබුනේ ඒ ලියපු ඒවා ගැන සුභාෂ් සෑහීමකට පත්වෙච්ච නැති නිසා. ඒත් පැය දෙක තුනක අවෑමෙන් ලස්සන රෝස පාට කඩදාසියක  හුඟක්ම ආදරණීය  වචන පේලි කීපයක් ලියවෙලා තිබුනේ සුභාෂ්ට නොදැනුවත්වම. ඒ ආදරණීය රෝස පාට කඩදාසිය හතරට නැමිලා කාටවත් අරින්න බැරිවෙන්න සෙලෝ ටේප් පටියකිනුත් ආවරණය කරපු සුභාෂ් ලියුම පරෙස්සමට පර්ස් එකේ තැන්පත් කරගෙන බයිසිකලේ අරන්  ඉගිල්ලුනේ පිට්ටනිය පැත්තට ඉන්ද්‍රජිත් හොයාගෙන.



හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙළා හස රැහැනින්
පෙළයි මා මුදා සුව දැහැනින්


""""""""""

Sunday, October 25, 2015

ටෙම්පරි පියානෝ..






මේ සිද්දියත් උනේ එක්දහස් නවසිය අනූ හය කාලේ කියල ටක්කෙටම  මතක තියෙන්නේ අපි උසස්පෙළ කරේ ඒ කාලේ නිසා. දෙයියනේ කියල ඉගෙනගැනීම ඇරෙන්න අනෙකුත් සියලුම කුප්ප වැඩ, තක්කඩි වැඩ , හොර මගඩි වගේ සියලුම ගනයේ නරක වැඩ වලට ඉස්කෝලේ පුරා සුප්‍රසිද්ධියක් ඉසිලුවේ අපේ පන්තිය සහ අපේ සමගාමී කළා පන්තිය. සාමාන්‍ය පෙළ පන්තියේ එකට හිටපු එවුන් කලාවට තිබ්බ අධික හිතයිශී භාවය නිසා කළා විෂයන් තෝරා ගැනීමත්, ලොකු ලොකු වාණිජ අරමුණු තිබබ් එවුන් වානිජ්‍ය හා මුල්‍ය තොරාගනීමත් නිසා පන්ති දෙකකට වැටුනත් එක පතේ කාගෙන බීගෙන හිටපු අපේ එවුන් විෂය සමගාමී නොවෙන අනෙකුත් සියලුම දේ කරේ එකට. ඒ නිසා ඉස්කෝලේ ඇතුලේ විෂයානුබද්ධ නොවෙන වෙනත් ජඩ වැඩ, බලු වැඩ කරලා අහු උනාම කළා, වාණිජ, ගණිත කියල තේරෙන්නේ බේරෙන්නේ නැතුව ඉස්කෝල තහනම් උනේ රන්චුවේමයි. කළා සහ වාණිජ අංශය ගත්තාම පන්ති තහනම් වීමේ සහ විනය කඩවීම් සඳහා කප් එක උස්සන්න කරට කර තරඟ කරේ දහතුන වසර ජී පන්තිය සහ කළා පන්තිය. ඉස්සර කාලේ පොලිසි වල තිබ්බ කියන අයි. ආර්. සී. ෆයිල් එක වගේ ඉස්කෝලේ ඇතුලේ නිර්නාමිකව සිද්දවෙන  ඕනෑම ගනයේ ශිෂ්‍ය භාවයට නොගැලපෙන කටයුත්තකදී ඉස්සෙල්ලම නම කියවෙන නම් ලිස්ට් එක ඇතුලේ මගේ නමත් ඉහලින්ම තිබුන කියල කනගාටුවෙන් උනත් කියන්න වෙනවාමයි.

මගේ කලින් පොස්ට් වල ලියවෙච්ච බඩ තඩි එකාට උගේ කුළුඳුල් පෙම්වතිය උසස්පෙළ පන්තියට ආපු වෙලාවේම සෙන්ටිමෙන්ටල් වෙච්ච නිසා ඉස්කෝලේ ඇතුලේ සිද්දවෙච්චි ශිෂ්‍ය භාවයට අනුගත නොවෙන කටයුතු වලට සහභාගී වීම බඩ තඩි එකා ප්‍රතික්ෂේප කරේ දොළහ වසරට ආපු ගමන්ම. දොළහ වසරට අඩිය තියපු ගමන්ම බඩ තඩි එකා පවුලක් පන්සලක් උනාට යන්තම් සන්තම් නැන්දම්මාව සෙන්ටිමෙන්ටල් කරගත්තේ නම් හෙළුවෙන් යාම පොස්ට් එකට පාදක වෙච්ච විනෝද චාරිකාවේදී තමා. අපේ බඩ තඩි එකා කොයිතරම් රංගන කුසලතාවයෙන් පරිපූරණද කියනවනම් ට්‍රිප් එක අතරතුරේ නැන්දම්මට වැහි පින්නක් , දූවිල්ලක්වත් වදින්න දුන්නේ නැති තරම්. එහෙව් බෑනලා ලබන්න ඉතින් නැන්දම්මලා පින් කරලා තිබිය යුතුමයි.  බඩ තඩියාගේ ආදරණීය භාරියාවට පින් සිද්දවෙන්න ඒක එහෙම නොවෙන්න මේ ලියවෙන කථා මීට බොහොම වෙනස් විදිහකට ලියවෙන්න තිබුනා. සාමාන්‍ය පෙළ කරනකම්ම අයි. ආර්. සී ෆයිල් එකේ උඩින්ම නම ලියවිලා තිබුන අපේ බඩ තඩි එකා දොළහ වසරට ගොඩ උන ගමන්ම පවුල් පන්සල් වීම නිසා වසරේ හොඳම ශිෂ්‍යයා සම්මානය ලැබීමට සියලු සුදුසුකම් සපිරුවත් ඉස්කෝලෙන් ඒ කාලෙනම් හොඳම ශිෂ්‍යයා කියල සම්මානයක් දුන්නේ නැහැ. 

එක්දහස් නවසිය අනූ හතරේ මුල් කාර්තුවේ සමාදම් වෙච්ච සිල් පද අකුරටම රකින අපේ බඩා ගැන ලියන්න මසුරං කතා කොයිතරම් තිබුනත් " තෝ මම ගැන ලියලා ලංකාවට එන්න නෙවෙයි " කියල ඊයේ පෙරේදත් තර්ජනය කරපු නිසා බඩාව උක්ත කරලා මුකුත්ම ලියන්න විදිහක්ම නැහැ. බඩා කොයිතරම් සුපීරියර් පොරක්ද කියනවනම් සාමාන්‍ය පෙළ කාලේ අංශභාර සර් ඉස්සරහට අත් දෙකෙන් මුණ වහගෙන ඇවිත් කට විතරක් පෑදෙන්න  අත් දෙක මෑත් කරලා සර්ට දිව ඇදල පන එපා කියල ගෙදරම දුවන්න තරම් එඩිතර වෙච්ච පොරක් අපේ බඩා. සැර කරත් මුත්තරා පහවෙන තරම් සැර පරුෂ අංශභාර සර් ඉස්සරහට ඇවිත් දිව ඇදල දුවන්න කොයිතරම් එඩිතර භාවයක් බඩාට තියෙන්න ඇතිද. අපේ බඩා කසාද බැඳලා කාලයක් ජීවත් උනේ අංශභාර සර්ගේ ගෙදරට ඉස්සරහ ගෙදර හෙවත් නැන්දම්මාගේ ගෙදර වීම දිව ඇදීමට ලැබිච්ච දඬුවම වෙන්න ඇති. හැමදාම උදේට හවසට බඩා දකින සර්ටත් සර් දකින බඩාටත් මොනවා හිතෙන්න ඇතිද. එහෙව් ගුරුවරු නොහිටියානම් පොලිසියේ ශාඛාවක් ඉස්කෝලේ ඇතුලේ දාන්න වෙන්න තිබ්බ අපේ එවුන්ගේ විනය රකින්න. ගණිත, විද්‍යා, කළා, වාණිජ සියලුම අංශවල ඉන්න හොර සිල් ගතපු හිවල් රංචුවේ ජාතකය හොඳ හැටි දැනගෙන හිටපු පාසල් පරිපාලනය අනූ හය වසර සඳහා ශිෂ්‍ය නායක කම් නොදී ඉන්නත් අපුරුවට වගබලාගත්තා.මේක ලියන අතරේ බඩ තඩි එකාගේ සීන් කෝන් මතක්වෙන නිසා පොස්ට් එක ටිකක් වෙන පැත්තක ගියා වගේ. එත් මේ ලියවෙච්ච හැම දෙකම තියෙන්නේ අපේ සහෝදර ශිෂ්‍ය සමාගමේ හැදිච්චකම. 

මේ ලියන්න යන සිද්දියට අවසානයේ පූර්ණ අනුග්‍රහය දක්වපු ඉස්කෝලේ හිටපු ආරක්ෂක තනතුර දරපු පුද්ගලයාව මෙතැනදී හඳුන්වන්න ඕනෙමයි. අපේම එකෙකුගේ ආදරණීය පියාණන් කෙනෙක් වුන ආරක්ෂක නිලධාරියා ශ්‍රී ලංකා පොලිසියේ කාලයක් සේවය කරපු නිලධාරියෙක් නිසා මුළු ගුරු මණ්ඩලයේම කනෙන් රින්ගුවත් ආරක්ෂක නිලධාරී අන්කල්ගේ කනෙන් රිංගන එක අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියාවක්ම උනා. 

අපේ එවුන්ගේ ජාතකය උප්පැන්නේ ඉඳන්ම දැනගෙන හිටපු සිකුරිටි අංකල් අන්දන්න උත්සහ දැරීම හිල් කූඩෙන් වතුර අදිනවා වගේ වැඩක්. ඇත්තටම ඉස්කෝලෙන් කලින් යන්න ගෙදරින් ලියුම් අරන් ඇවිත් ඉස්කෝලෙන් අවසර ගත්තත් සිකුරිටි අන්කල් කවදාවත් අපිට මහත්මා විදිහට ගේට්ටුවෙන් අවේලාවේ ඉස්කෝලෙන් එලියට යන්න දුන්නේම  නැහැ. ඒ හින්ද ඇත්තටම නීත්‍යානුකුලව කලින් ගෙදර ගියත් සිකුරිටි අන්කල් දන්නා අඳුනන එවුන් කලින් ගෙදර ගියානම් ඒ පරණ පුරුදු විදිහටම තාප්පෙන්ම තමයි. අංශ භාර සර් හෝ නියෝජ්‍ය විදුහල්පති තුමෙක් ගේට්ටුව ලඟට ඇවිත් මේ ළමයට එලියට යන්න දෙන්න කියලා කිව්වේ නැති උනොත් සිකුරිටි අංකල් මලාට අපිට ගේට්ටුව නම් ඇරියේ නැහැ . සාපෙළ කාලේ තාප්පෙන්ම ඉස්කෝලේ ආව ගිය අපේ බඩාට යන එන එක ගැන උසස්පෙළ කරනකම්ම ප්‍රශ්නයක් තිබ්බේ නැත්තේ උසස්පෙළ කරන්න ආපු ගමන්ම නාස් ලනුව වැටිච්ච නිසයි. ඔන්න ආයෙත් බඩා මතක් වෙලා පොස්ට් එක කැලේ පනින්නයි යන්නේ.


ඉස්කෝලේ වෙලාවේදී බඩගින්නක් ආවත් අපේ එවුන් කාගේ හරි බත් පැකට් එකකට වැඩේ දුන්නේ අමුතුම තාලෙකට. මලාට කන්න දෙයක් ගේන්නේ නැති අපේ එවුන් හැමදාමත් බඩගින්න නිවාගත්තේ කාගෙන් හරි හොරකම් කරපු බත් පාර්සල් එකකින්. හවස පන්ති තියෙන සහ හවස ප්‍රැක්ටිස් තියන ළමයින්ට එයාලගේ ගෙවල් වලින් දවල් වෙද්දී බත් මුලක් නම ගම ලියල සිකුරිටි අන්කල්ගේ සිකුරිටි කුටියෙන් තියන එක සාමාන්‍ය දෙයක්. දවල් වෙද්දී සිකුරිටි පොයින්ට් එක බත් කඩයක් ගානට බත් පාර්සල් වලින් පිරෙන්නේ දෙමාපියන්ගේ දරුවන්ට ඇති සෙනෙහස කියාපාන්න වගේ. මේ වැඩේට අපේ එවුන් යොදාගන්නේ සිකුරිටි අංකල් පුද්ගලිකව  අඳුනන්නේ නැති ඩයල් එකක්. සිකුරිටි අන්කලුත් පොලිස් කාරයෙක් නිසා ඇන්දිල්ල ලේසි නැති උනත් කාලාන්තරයක් තිස්සේ අපේ එවුන් බත් පාර්සල් මගඩිය නම් දෙයියනේ කියල ඉස්කෝලෙන් එලියට එනකම්ම කරන් ගියත් කීප වතාවක් වැඩේ මාට්ටු වෙන්න ගිහින් පන එපා කියල දුවල තමා බේරුනේ. වැඩේ කෙරෙන තියරිය නම් මෙහෙමයි. ඉස්සෙල්ලම බත් පාර්සල් සෙල්ලමට කැමති සිකුරිටි අන්කල් පුද්ගලිකව අඳුනන්නේ නැති බඩගිනි එකෙක් සොයාගන්න අපේ එවුන් ඌව සිකුරිටි පොයින්ට් එකට යවන්නේ ඌට ගෙදරින් එවපු බත් එක අරන් එන්න. මුල් මුල් කාලේ සිකුරිටි අන්කල් බත් ගන්න එන එවුන්ගේ ජාතකය ඇහුවේ නැහැ. අයිතිකාරයට ඇවිත් තමුන්ගේ බත් පාර්සලය තෝරාගෙන යන්න ඕනෑම කෙනෙකුට අවසර තිබ්බා.

අපේ එවුන් බත් එක ගේන්න  යවන හොර ගෙඩියා රංගන ශිල්පයේ දක්ෂතා උපරිමයටම පෙන්වමින් බත් පාර්සල් කීපයක් තෝරා බලා කොල්ලෙකුගේ නමක් සහිත එකක් තෝරාගෙන එන්නේ කිසිම චකිතයක් පෙන්වන්නේ නැතුව. එහෙම උස්සන් එන බත් පාර්සලේ කොතන හරි මුල්ලක තියල ලිහුව ගමන් තත්පරෙන් වාෂ්ප වෙන්නේ කාපු එකෙක් හොයාගන්න නැති වෙන්නයි. මස් මාළු, බිත්තර වලට තිබ්බේ පුදුම ඉල්ලුමක්. බිත්තරේ එක කටට ගිලින එවුනුත් හිටියේ නැතුවම නෙවෙයි. පසු කාලීනව බත් පාර්සල් අතුරුදහන් වීම ගැන ඉහලට පැමිණිලි ලැබීම නිසා බත් පාර්සල් ගැන ආරක්ෂාව තරකරන්න සිකුරිටි අන්කල් පියවර ගතපි. ඊට පස්සේ  අපේ එවුන්ට සිද්ද වුනා වෙනයම් වූ විශේෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරලා  බත් පාර්සල් ව්‍යාපාරය කරගෙන යන්න. අපේ එවුන් මර්දනයට එරෙහිව ගත්තු ක්‍රියාමාර්ගය වුනේ හවස පන්ති යන කව්රුහරි හොයාගෙන උගේ නම කියල බත් පාර්සලේ සිකුරිටි අන්කල්ගේ අතින්ම අරන් ඒමයි. අපි තව කාලයක් ඉස්කෝලේ හිටියනම් බත් පාර්සල් නිකුත් කරන්න හැඳුනුම්පත ඉල්ලන තැනට එන්නත් තිබ්බ බත් බිස්නස් එක. අපේ  එවුන් කවදාවත් එකම එකාගේ බත් පාර්සලේ හැමදාම  හොරකම් නොකර එක එක ළමයින්ගේ බත් පාර්සල් ඉස්සුවේ මනුස්සකමටවත්, බඩගින්න හඳුනන හින්දවත් නෙවෙයි, හැමදාම එකම රහට එකම අතින් උයන   කෑම  කන එක කිසිම ගතියක් නැති නිසයි. අපේ බඩ තඩි එකාට නම් සාමාන්‍ය පෙලින් පස්සේ කෑම ගැන කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැත්තේ උසස්පෙළට ආපු ගමන් සෙන්ටිමෙන්ටල් වෙච්ච ලව් එක එක්ක ෆුල් පැකේජ් එකම ලැබුන  නිසයි. උදේට ඉස්කෝලේ එන බඩාට ඉන්ටවල් එකට කන්න කෑම එක පවා ප්‍රියම්භිකාවිය ගෙදරින් අරගෙන ආපු නිසා ඉන්ටවල් එකටවත් බඩාට පන්තියෙන් නෝ  හෙල්ලුම්. වාසනාව තමා ඉතින්. 

මෙකී නොකී දක්ෂතාවලින් පරිපුර්ණ අපේ එවුන් සෙට් එකේ කළා පන්තියේ හිටි එකෙකුගේ ලව් එකක් ඉස්කෝලෙට සෙන්ටිමෙන්ටල් උනේ මේ අතරවාරයේ කාලේ තමයි. ගැහැණු දැරිවිය සාමාන්‍යපෙළ කරන වයසේ හිටි නිසා අපේ එකාට කොහෙත්ම සමාවක් නොලැබෙන තත්වයක් තමා ඒ වෙද්දී තිබ්බේ. ගෙවල් වලින් දෙමාපියන් ගෙන්වලා අපේ එකාගේ කෙරුවාව දෙමාපියන්ට කියා පාන්නයි පාසල් විනය කමිටුවේ තීරණය වෙලා තිබ්බේ. ගැහැණු දැරිවිය බාල වයස් නිසා කේස් එක හයිකෝර්ට් තත්වෙටම හෙවත් විදුහල්පති තුමා ගාවටම ගෙනිහින් තිබ්බ නිසා කිසිම සමාවක් නැතුව ගෙදරින් අම්ම හෝ තාත්තා එක්කන්  එන්න අපේ එකාට නියම වෙච්චි. හයිකෝර්ට් නඩුවක් නිසා හිතවත් දන්නා කියන ගුරුවරුත් වැඩේ ගොඩින් බේරන්නේ නැතුව කර අරින්න ගත්තු නිසා අපිට සිද්ද උනා විකල්පයක් හොයන්න. ගෙදර ගියොත් තෝ නසී මග හිටියත් තෝ නසී ගේමක් නිසා අපේ එවුන් සෙට් වෙලා වැඩේ ගොඩින් බේරන්න ප්ලෑනක් ඇන්දා කියමුකෝ. සැලසුම වුනේ තාත්තා කෙනෙක් සල්ලි වලට ගැනීම. 

පෙම් පලහිලව් සහ විනය  ගැන කියද්දී දැන් මේක කියවෙන උදවියගේ හිතේ මැවෙන ප්‍රශ්නයක් තමයි බඩ තඩි එකාගේ පෙම් පලහිලව්ව ගැන ඉස්කෝලෙට ප්‍රශ්නයක් උනේ නැත්තේ ඇයිද කියන එක. ඒ ප්‍රශ්නයට උත්තරය මෙන්න මේකයි, බඩ තඩි එකා එක්ක සෙන්ටිමෙන්ටල් වෙච්චි ප්‍රියම්භිකාවිය උසස්පෙළ කරන ගැහැණු ළමයෙකු වීම එක හේතුවක් සහ විශේෂිතම  හේතුව උනේ බඩ තඩි එකාගේ වසවර්ති වැඩ නවත්තන්න පොලිසියෙන් දාලවත් බැරි තත්වෙක එකෙක් නිසා  ප්‍රියම්භිකාව කිසිම ආයාසයකින් තොරවම බඩ තඩි එකා ඉන්ටවල් එකටවත් පන්තියෙන් එලියට නොයන තැනට ගාල් කරගෙන ඉන්න නිසාත් ගුරුවරු තඩියාගේ ප්‍රේමයට කිසිම බාධාවක්  එල්ල නොකිරීමයි.


ටවුම පුරා හොයලා හොයලා තාත්තල කීප දෙනෙක්ම කුලියට ගන්න ඩීල් වුනත් ඉස්කෝලෙට යන්න වෙන කේස් එකක් නිසා හුඟක් තාත්තල වැඩේ භාරගැනීම ප්‍රතික්ෂේප කරාම තමා අපිටත් වැඩේ බරපතලකම තේරුනේ. එත් අපේ එකාගේ වාසනාවටද අවාසනාවටද දන්නේ නැහැ අන්තිමේ තාත්තා කෙනෙක් සෙට් වුනේ ටිකක් වැඩි මිලකට. යන්තම් හෙට්ටු කරලා කරලා ගාන දෙපැත්තටම සාධාරණ වෙන්න එකඟ වෙලා හරියටම වෙලාවට ඉස්කෝලෙට එන පොරොන්දුව පිට ඇඩ්වාන්ස් එකකුත් දීල අපේ එවුන් එතනින් ආවේ විදුහල්පති තුමා එක්ක කතා කරන්න ඕන දේවල් පවා වෙනම පන්තියක් දාල කුලියට ගත්තු තාත්තට උගන්වලයි. ඊට අමතරව ඉස්කෝලෙට ඇඳන් එන්න අලුත් සරමක්, කමීසයකුත් ටෙම්පරි තාත්තට අරන් දෙන්න අපේ එවුන්ට සිද්ද උනා.

තාත්තව ඉස්කෝලෙට එක්කන් එන්න වෙලාව නියම වෙලා තිබ්බේ දවල්  එකොළහයි තිහට වගේ. වැඩේ අකුරටම සැලසුම් කරලා තිබ්බ නිසා අපි කාටවත් වැඩිපුර හිතල සැක සංකා ඇතිකරගන්න දෙයක් තිබ්බෙම නැහැ. ඉන්ටවල් එකෙන් පස්සේ අපේ එකාගේ තාත්ත ඉස්කෝලෙට එන වෙලාව ලංවෙද්දි වැඩේට සහයෝගය පළකිරීමක් වශයෙන් දන්නා කියන එවුන් පීරියඩ් එකක් කට් කරලා එලියට පැනගෙන විදුහල්පති කාර්යාලය අවට ගැවසෙන්න ගත්තේ වැඩේ සිද්දවෙන  ආකාරය ගැන සජීවීව දැකගැනීමේ අරමුණෙන්. 

වෙලාව දවල් එකොළහයි කාල වෙද්දී ඔන්න ටෙම්පරි පියානෝත් ඉස්කෝලෙට වාර්ථා කරා. අප්පේ බලන්න එපයි මෑන්ස්ගේ ලස්සන. අලුත් සරමයි කමිසෙයි ඇඳලා, කොන්ඩෙ  පීරලා, රැවුල කපලා, ඒ මදිවට මූනෙ පවුඩර් හිටං උලාගෙන. කුලියට ගත්ත කියල නිකමටවත් හිතන්නවත් බැහැ.  අපේ හිතවත් සිකුරිටි අන්කලුත් ටෙම්පරි තාත්තගේ ඉසේ සිට පාදාන්තය දක්වා පොලිස් ස්කෑන් පාරක් දාල අමුත්තන්ගේ ලේඛනයේ ශිෂ්‍යයාගේ නම සහ පැමිණි කෙනාගේ නම එහෙමත් සටහන් කරගෙන  ටෙම්පරි පියානෝව විදුහල්පති කාර්‍යාලය ලඟට යැව්වේ එහෙම දේවල් නිතර ඉස්කෝලේ සිද්දවෙන නිසා. විදුහල්පති හෝ පන්ති භාර ගුරුවරුන් හමුවෙන්න නියම වෙන දෙමාපියන් දිනපතා ඉස්කෝලෙට පැමිණීම සාමාන්‍ය දෙයක්. 

අපේ එවුන් ගේට්ටුව ආසන්නයේ සහ විදුහල්පති කාර්යාලය අවට අනවශ්‍ය අයුරින් ගැවසීමත් සිකුරිටි අංකල්ගේ ඉවට ඒ තරම් ඇල්ලුවේ නැති වග අපිටත් තේරුනේ " තමුසෙලා මේ පැත්තේ කැරකෙන්නේ ඒ තරම් හොඳකට නම් වෙන්න බෑ පුතෝ " කියල කීප වතාවක් සිකුරිටි අංකල් අපේ එවුන්ට කියපු නිසා. කලින් කීප වතාවක් කිව්වා වගේම පොලිස් කාරයෙක් වෙච්චි අපේ සිකුරිටි අංකල් බොහොම බුද්ධිමත් ඉව තියන මනුස්සයෙක්. එහෙව් මනුස්සයෙකුගේ පුතණ්ඩියා වෙච්චි එකා නම් ඒ අහලකින් වත් තියන්න බැරි එකෙක්. ඒ පුතණ්ඩියා තමයි බූලාගේ වික්‍රමය සීන් එකේදී පාරේ යන එකෙකුට කෝච්චියේ ඉඳන් පොල්ලකින් ගහල අපි හැමෝටම ඇතෙක් බරට පරිප්පු නැවක්ම බාලා  දීපු සමාදර අනුග්‍රහයකයා.

හයි කෝර්ට් විනය පරීක්ෂණයට නියමිත හෝරාව ලං වෙච්චි නිසා පෙම් පලහිලව්වට චූදිතයා වෙච්චි අපේ එකාත්, උගේ ටෙම්පරි තාත්තත් විදුහල්පති තුමාගේ කාර්යාලය ඇතුලට කැඳවුනා. රහස් පරීක්ෂණ කලාවේ අගතැන්පත් අපේ එවුනුත් අහු මුළු වලට වෙලා සීන් කෝන් එක ගැන ඇහැ ගහගෙන හිටියත් විදුහල්පති තුමාගේ කාමරය ඇතුලත සිදුවෙන දේ ගැන අපිට අවබෝධයක් තිබුනෙම නැහැ. මේ සියල්ල අකුරට නූලට සිද්දවෙන අතරතුරේ තමයි  අපිට කොන්ඩෙ කෙලින් වෙලා ඇඟේ මයිල් ඉස්මයිල් වෙලා කමීස කලිසම් ඇඟට ඇලෙන්න දාඩිය දාලා මුත්තරා බර වෙන දෙයක් සිද්ද වුනේ.


නිකමට සිකුරිටි අංකල් ඉන්න දිහා  බැලුවාම තමයි දැක්කේ පෙම්පලහිලව්වට චූදිතයා වෙච්චි අපේ එකාගේ ඇත්ත අම්මා සිකුරිටි අංකල්ගේ පොතේ නම ගම සටහන් කරනවා. තැන් තැන් වලට වෙලා සීන් කෝන් එක ගැන ඇහැ ගහගෙන හිටපු අපේ එවුන් භයෙන් බිරාන්ත වෙලා එකිනෙකා එක්ක ඇස් වලින්, අතින් පයින් ,ඔලුවෙන් කතා කරේ දැන් මොකද කරන්නේ කියන එකට උත්තර සක්කරයා ගාව වත් නැති නිසා. අපේ එවුන් බිරාන්ත වෙලා බලන් හිටියේ තව තත්පර කීපයකින් වෙන්න යන මහා භයානක අනතුරෙන් මොකක් වේවිද කියල හිතාගන්නවත් බැරුව. එකම පීල්ලේ මුහුණට මුහුණ හැප්පෙන්න යන සෙනග පිරිච්ච සීග්‍රගාමී කොච්චි දෙකක් හැප්පෙන්න ඔන්න මෙන්න  වගේ දැනීමක් තමයි හැමෝටම තිබ්බේ. අපේ එකාගේ අම්මා ඇවිත් ඉස්සෙල්ලම හමු වුනේ ගුරු කාමරේ හිටපු අංශභාර ගුරුතුමාව. ඒ දෙබස මෙහෙමයි..

සර් මම ........... ගේ අම්මා.. අද එකොළහයි තිහට ඉස්කෝලෙට එන්න කියල තිබුන එකයි ආවේ..

ආ එහෙමද.. ඔන්න පුතණ්ඩියාගෙ හපන්කම් අහන්න තාත්තත් ආව නේද දැන්..

මොකක්.. නැහැ තාත්ත මේ ගැන දන්නේ නැහැනේ සර්..

වෙන්ඩ බෑ .. අර දැන් පුතණ්ඩියා එක්ක ප්‍රින්සිපල්ගේ කාමරේ ඉන්නේ එහෙමනම්..

අංශභාර සර් මේ අන්දබූත කතාවෙන් අන්දමන්ද වෙලා ඊළඟට කරන දේ කල්පනා කරද්දී අපේ එකාගේ මවු තුමිය කිසිම  අවසරයක් නැතුව විදුහල්පති කාමරයේ සැලුන් දොර පෙරලාගෙන ඇතුලට ගියේ අප්පොච්චියි පුතණ්ඩියාවයි දෙන්නවම එක කටට ගිලින කේන්තියෙන්. එතනින් එහාට වෙච්චි දේ ගැන අහන් ඉන්න අපේ එවුන්ටත් ලොකු එඩිතරකමක් තිබ්බේ නැති තරම්. අපේ එවුනුත් හිස් ලූ ලූ අත  ටික දුරක් දුවලයි ආපහු හැරිලා බැලුවේ.

ඒ එක්කම ප්‍රින්සිපල්ගේ කාමරයේ සැලුන් දොර දෙපලු කරගෙන සරමේ කොනක් අතින් අරන් උසේන් බෝල්ට් මීටර් සීය දුවන තරම් වේගයෙන් එලියට මතු උනේ ටෙම්පරි පියා.. ප්‍රින්සිපල්ගේ කාමරේ සැලුන් දොර දෙපලු කරගෙන එලියට මතුවුන ගමන් අති  දක්ෂ ආකාරයෙන් එම වේගයෙන්ම අංශක අනූවේ වංගුවක් දකුණට ගතපු ටෙම්පරි පියා ධාවන කුසලතාවය උපරිමයටම ප්‍රයෝජනයට අරගෙන නැවතත් ඉගිල්ලුනේ ප්‍රධාන ගේට්ටුව පැත්තට. සීන් කෝන් එක කොයිතරම් ත්‍රාසජනකද කියනවනම් පියාගේ නික්මයාමෙන් නැවතත් පාඩුවේ වැහෙන විදුහල්පති කාමරයේ සැලුන් දොරට පලු දෙක එකතු කරන්න ලැබුනේ නැති තරම්. නැවතත් උසේන් බෝල්ට්වම මතක් කරමින් සැලුන් දොර දෙබෑ කරගෙන ධාවනයට ප්‍රවිෂ්ඨ උනේ අපේ විදුහල්පති තුමා. 

ඕකා අල්ලන්න .. ඔය මිනිහව අල්ලන්න..

විදුහල්පති තුමා කෑගහල කිව්වේ අපේ සිකුරිටි අන්කල්ට. එත් උසේන් බෝල්ටවත් අල්ලන්න බැරිවෙන තරම් වේගෙන් සරම කරට අරන් දුවපු අපේ ටෙම්පරි  පියා ගේට්ටුවෙන් පැනගත්තේ අපේ වාසනාවට. පියා ගේට්ටුවෙන් එලියට පැනගත්තු  ගමන් අපිත් පන එපා කියල හිස් ලූ ලූ අත දුවල මිසින් උනේ පියා පස්සේ දුවපු ප්‍රින්සිපල් සර් අපිව දැක්කොත් ඊළඟට වෙන දේ අමුතුවෙන් කාටවත් ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕන නැති නිසා. 

පෙම් පලහිලව්වටයි, ටෙම්පරි පියානෝගේ සීන් එකටයි දෙකටම වැරදිකාරයා වෙච්චි අපේ එකාට දැඩි දඬුවම් හිමි වුනත් සහයෝගය දක්වපු අනික් උන්ව පාවල නොදීපු නිසා අනික් එවුන්ට දඬුවම් හිමිවුණේ නැහැ. එත් කේස් එක හැන්ඩ්ල් කරපු ගුරුවරුන් ටක්කෙටම දැනගෙන හිටියා ටෙම්පරි පියාගේ කේස් එකට  සහය දීපු සෙට් එකට දඬුවමක් දීගන්න බැරි වුනා කියලා. අපේ ටෙම්පරි බුවා ප්‍රින්සිපල්ට අහු උනානම් දෙයියනේ කියලා ඒ අහින්සකයාව පොලිසියට භාරදෙන එක අනිවාර්යයි. එහෙම වුනානම් අපි රොත්තකගේ ඉස්කෝලේ කාලෙකට තහනම් වීමත් අනිවාර්යයි. ඊට අමතරව පොලිසි ගිහින් පොලිසියෙන් බඩ පිරෙන්න කාලා එන ටෙම්පරි පියාගෙන් සහ උගේ ගෝල බාලයින්ගෙන් අපිට පාරේ තොටේදී බඩ පිරෙන්න කන්න වෙන එකත් ඉර හඳ පායනවටත් වඩා බුදු ෂුවර් .

අපේ බඩා උසස්පෙළට ආපු ගමන්ම අනංගයාගේ ඊතල පහරට ලක්වෙච්ච නිසා මේ සිදුවීම් එකකටවත් බඩා නම් සම්භන්ධ නැහැ. බඩ තඩි එකාව එහෙව් තාලෙට හීලෑ කරලා බලාකියා ගත්තු පිනෙන් අපේ බඩාගේ අඹේනිය සහ හත් මුතු පරම්පරාවම නිවන් දකිනවා සත්තයි. හයි ස්කූල් ස්වීට් හාර්ට්ලා වෙච්චි අපේ බඩා සහ ප්‍රියම්භිකාවිය දරු දෙන්නෙක් හදාගෙන සන්තෝසෙන් ජීවත් වෙන එක අපි හැමෝටම හොඳ ආදර්ශයක්. එක්දහස් නවසිය අනූ හතරේදී උසස්පෙළ පන්තියේදී සමාදන් වෙච්චි සීලය අදටත් අපේ බඩා පන වගේ රකින්නේ පණ දෙවැනි කරගෙනයි.  

සිකුරිටි අන්කල්ට නිකමට හිතෙන්න ඇති මේ දුවන් එන මුස්සයා සහ අපි අතර සහසම්භන්ධයක් ඇති කියලා. මොකද අපිත් සැක හිතෙන ආකාරයෙන් ඒ අවට  කැරකීම කලින් ඉඳන්ම සිකුරිටි අන්කල්ගේ අවදානයට ලක්වෙලා තිබ්බ නිසා. දුවන් එන එකා අල්ලලා ඉස්කෝලේ ඇතුලේ දාගත්තොත් මුන් රොත්තටම කන්න වෙයි කියල හිතිලා අපි ගැන අනුකම්පා හිතිලා වෙන්න ඕන සිකුරිටි අන්කල් ටෙම්පරි පියාව ඇල්ලුවේ නැත්තේ. සිකුරිටි අංකල් තත්පරෙන් ගේට්ටුවේ ලොක් එක දැම්මනම් අපි ඔක්කොම ගස්. එහෙම බැලුවාම අපේ නිර්දෝශීභාවයට ප්‍රධාන අනුග්‍රහය සිකුරිටි අන්කල්ගෙන්. සිකුරිටි අංකල් දීර්ඝායු වේවා කිව්වා ඔන්න..

බැලුවාම සිකුරිටි අංකල් අපේ බඩාගේ ඥාතිලු. ඒ ප්‍රියම්භිකාවගේ පැත්තෙන්ලු . බලමුකෝ එකෙත් හැටි.. බඩා හොර සිල් අරන් හෙමිජ්ජ වගේ හිටියට මේ හැමතැනටම යටින් යටින් සම්බන්ධයි.

අපි ටෙම්පරියට තාත්ත කෙනෙක් හොයා හොයා ටවුම පුරා ඇවිදිද්දී අපේම එකෙක් තමයි ගෙදරටම ගිහින් චූදිතයාගේ මවු තුමියට එකොළහයි තිහට ඉස්කෝලෙට එන්නයි කියල පණිවිඩේ දීල තියෙන්නේ. ඒ මදිවට ඌ අපේ එකාගේ අම්මට කියල තියෙනවා පුතාට නොදන්වාම එනවනම් හොඳයි කියල. උපදේශය අකුරටම පිලිපැදපු චූදිතයාගේ මව හෙවනැල්ලටවත් නොදැනෙන්න වෙලාවටම ඉස්කෝලෙට වාර්ථා කරපු නිසා තමා සුපිරියට සැලසුම් කරපු ගේම් එක හත්පොලේ ගාගෙන නිමා වුනේ. කව්රු කොහොම කිව්වත් උසේන් බෝල්ටත් වඩා වේගයෙන් දුවල තමුන්ගේ මලල  ක්‍රීඩා හැකියාව පෙන්නපු ටෙම්පරි තාත්තට ඒ ගෞරවය හිමිවිය යුතුයි. අපේ රටේ පවතින පාලනයේ තියන දුර්වලකම තමයි සුදුස්සාට සුදුසු තැන නොලැබීම. ඒ කාලේ ඒ  මනුස්සය ඔලිම්පික් යැව්වනම් ඒ උන්නැහේ දුවනවා කාල් ලුවිස්ලාට, බෙන් ජෝන්සන්ලාට වලිගෙවත් අල්ලන්න බැරි වෙන්න. පස්සේ කාලෙක මට ඊට වඩා සුපිරි දිවිලි ශූරයෙක් හමු වුනා. අන්න දිවිලි. ට්‍රෙන් කරලා ගත්තනම් උසේන් බෝල්ට් කැලේ . 

Thursday, October 22, 2015

නමක් නැති කතාවක් 4




විවේක කාලයෙන් පස්සේ ගතවෙච්ච කාලච්චේද හතරම ගුරුවරුන් පැමිණුන නිසා සුභාෂ්ට නවය වසර සී පන්තිය තියෙන්නේ කොහෙද කියලවත් හිතන්න ඔලුවට නිදහසක් තිබුනේ නැහැ. සාමාන්‍ය අන්දමින් ගලාගිය විෂයානුබද්ධ කාලච්චේද හතර අවසානයේ පාසල අවසන් උනත් නවය වසර සී පන්තියේ ළමුන් වෙනම වෙන් කර සොයා ගැනීමට කුහුඹි ගුලක් අවිස්සුනාක් මෙන් නිවෙස් කරා දුව යන ළමුන් අතර සුභාෂ්ට හැකියාවක් තිබුනේ නැහැ.

සුභාෂ් සුපුරුදු ලෙසටම පාසලින් නිවෙසට ගිහින්  පාපන්දු පුහුණුවීම්  කටයුතු සඳහා පිට්ටනියට ගියේ සුපුරුදු විදිහටම බුද්ධික එක්ක. සවස විතර වෙනකොට ආරම්භ වෙන පාපන්දු පුහුණුව අවසන් උනේ සවස පහයි තිහට විතර. පාපන්දු පුහුණුවීම් අවසාන වෙලා නිවෙස් බලා යන පාපන්දු ක්‍රීඩකයින් කණ්ඩායම් වශයෙන් කොතන හෝ කතාවකට එකතු වෙලා එකිනෙකා නිවෙස් වලට විසිරුනේ සවස හයයි තිහ පමණ උනායින් පස්සෙයි. ඒ තමයි සුපුරුදු විදිහ. එදත් සුභාෂ් ඇතුළු කණ්ඩායමක් පිට්ටනියේ කොනේ තියන කොට්ටම්බා ගහ ලඟ කතාවට වැටුනේ සුපුරුදු විදිහටමයි. මේ කොට්ටම්බා ගහට කොල්ලන්ගේ ව්‍යවහාරයේ කියවුණු නම උනේ "පැණි ගහ" . මේ ගහත් දශක ගණනාවක් තිස්සේ කොල්ලන්ගේ පැණි කතාම අහන් ඉන්න එකම නිහඬ සාක්ෂිකරුවා නිසා පැණි ගහ යන නාමය එම කොට්ටම්බා ගසට යසට ගැලපුනා.

එදත් පාපන්දු ක්‍රීඩාව අවසානයේ එතනට එකතු වුන කට්ටිය උනේ සුභාෂ්, බුද්ධික, චන්ද්‍රජිත්, රොෂාන්,ඉන්ද්‍රජිත්  ඇතුළු පිරිස. මේ පිරිසෙන් විශේෂිත පුද්ගලයෙක් උනේ ඉන්ද්‍රජිත්. ඒ ඉන්ද්‍රජිත් පාපන්දු කණ්ඩායමේ නායකත්වය දරපු නිසා සහ පාපන්දු ක්‍රීඩාවට අති දක්ෂ ක්‍රීඩකයෙක් උන නිසා. වල්  පල් දොඩවමින් පාරේ ගමන් කරන ගැහැණු දරුවන්ට පැණි බැල්ම හෙලමින් පැණි ගහ යට සිටිනා කණ්ඩායමේ සිටි සුභාෂ් එකවර දුටු දසුනකින් නැවතත් සුභාෂ්ගේ හර්ද ස්පන්දනය වැඩි වුනා. ඇල්පිටි පාරෙන් ඇවිත් ඉස්කෝලේ තාප්පේ අයිනෙන් ටවුම දෙසට ගමන් කරමින් හිටියේ සුභාෂ්ගේ හිත හොලවපු , සුභාෂ්ගේ නින්ද නැති කරපු එයාම තමයි. හැඩ ගවුමකින් සැරසී සිටි ඇය  වයලීනයක් තුරුලුකරන් තැන්පත් ගමනින් විමසිලිමත් දෑසින් ටවුන දෙසට ගමන් කරමින් උන්නා. කලබලයෙන් ගැහෙන හදවත සුභාෂ්ව බොහොම කලබලයට පත්කලා කොතරම්ද කියනවනම් දැන් මම මොකද කරන්න ඕන කියන සිතුවිල්ල සුභාෂ්ගේ ඔලුව ඇතුලේ විදුලි වේගයෙන් එහා මෙහා දිව්වා. එත් ඒ එක්කම ඇයව දුටු ඉන්ද්‍රජිත් සද්දෙන් කෑගහල ඇයව අමතුවාම තමයි සුභාෂ් ඇයගේ නම පළමු වතාවට දැනගත්තේ..

ඖෂදී.... 

පැණි ගහ සහ පැණි ගසේ සෙවන විඳි පිරිස ගැන නගරයේම ගැහැණු ළමයින් පාසල් භේදයකින් තොරවම දැනුවත් නිසාවෙන් පැණි ගහ ආසලින් ගමන්ගන්න කිසිදු ස්ත්‍රී ප්‍රානියෙන් වැරදිලාවත් පැණි ගහ දිහා බැලුවේ නැහැ. ඒ තමයි පැණි ගසේ සහ පැණි ගස් සෙවනේ රැඳෙන පිරිසගේ අනන්‍යතාවය. ඇයටත් එම ධර්මතාවය පොදු නිසා තමුන්ගේ නම ආමන්ත්‍රණය කරනවා අසේද්දීත් ඇය නොඇසුනා සේ පැණි ගස දෙස නොබලාම ඉදිරියට පියවර මනිමින් සිටියා..මේ සියල්ල අතර සුභාෂ් උන්නේ බොහොම කලබලයෙන්..

ඖෂදී ... පොඩ්ඩක් ඉන්නෝ...

ඒ කියන්නේ ඔයාගේ නම ඖෂදී..සුභාෂ් කාටවත් එහෙම කිව්වේ නැහැ.. එත් සුභාෂ්ගේ හිත සුභාෂ්ටම එහෙම කිව්වා  

ඉන්ද්‍රජිත්ගේ දෙවැනි ආමන්ත්‍රණයෙන් යන්තම් ඇස් කොනකින් පැණි ගස දෙස බැලූ ඇය ඈත සිට තමුන්ව ආමන්ත්‍රණය කරනා ඉන්ද්‍රජිත් හඳුනාගත් නිසා දැකුම්කළු සිනාවක් පාමින් ගමනේ වේගය මදක් අඩු කළා. ඒ සිනහව , ඒ ඇස්දෙක ඇතුලේ ආයෙමත් සුභාෂ් අතරමන් උනා. සුභාෂ් ගල් ගැහිලා බලන් හිටියේ වෙන්න යන්නේ මොකක්ද කියන දේ පැහැදිලි නැති නිසා..

මේක අල්ලගනින්.. මම ඉක්මනට එන්නම්..

ඉන්ද්‍රජිත් ගාලුපාර හරහා ඉගිලුනේ ඉන්ද්‍රජිත්ගේ බයිසිකලය සුභාෂ්ගේ බයිසිකලය වෙත වාරු කරවමින්. ඉන්ද්‍රජිත් තමා වෙත දුව එනු දුටු ඖෂදී ගමන නවතා  පාසල් තාප්පය අසලට වී සිනා මුසුව බලා සිටියත් පිරිස අතර සිටිනා සුභාෂ්ව ඇය දුටුවේ නැහැ. එත් සුභාෂ් උන්නේ ඇසි පිය නොහෙළන දෑසින් ඖෂදී දිහා බලාගෙන. සුභාෂ්ට කාලය ගතවෙනවා දැනුනේ නැහැ. කතාව අවසන් කල ඉන්ද්‍රජිත් නැවතත් පැණි ගහ සෙවනට ආවත් අනෙක් පිරිසට ඉන්ද්‍රජිත්ගේ ක්‍රියාව ගැන විශේෂත්වයක් තිබුනේ නැහැ. එත් සුභාෂ්ට ඕන උනේ එයා ගැන දැනගන්න. ඉන්ද්‍රජිත් එයත් එක්ක තියන සම්භන්ධය කුමනාකාරයේ එකක්ද කියන එක දැනගන්න. සුභාෂ් උන්නේ ගැහෙන හදවතින්. 

කව්ද බන් ඒ..

ආ ඒ ඖෂදී බන්..

හරි බන් මට ඇහුනනේ   ඖෂදී කියල උඹ කතා කරනවා.. මම අහන්නේ එයා උඹේ කව්ද කියල..

මගේ කව්රුත් නෙවෙයි බන්.. සංගීත පන්තියේ කෙල්ලෙක්.. නමය වසරේ ඉන්නේ.. ලඟදි අපේ ෂෝ එකක් තියෙනවා බන් ටවුන් හෝල් එකේ.. ඒකෙ වැඩක් කතා කරගන්න ගියේ..

ආ එහෙමද.. මම හිතුවේ උඹේ ට්‍රයි එකක් කියල..

පිස්සුද යකෝ..

කොහෙද බන් ඖෂදී ඉන්නේ..

ඇයි උඹට මොකදට..?

නෑ  නිකම් බන් ඇහුවේ.. දැකල පුරුදුයි වගේ කයි..

කුලරත්න පාර බන් ඉන්නේ.. මේ ළඟ..

හ්ම්.. 


දඩිබිඩියේ බයිසිකලය පාරට ගත්  සුභාෂ් නගරසභාව පැත්තට ඉගිලුනේ ඉන්ද්‍රජිත් එක්ක කතාව නිම කරපු ගමන්මයි. ඒ දුටු බුද්ධික සුභාෂ්ව ඇමතුවේ සුභාෂ්ගේ වෙනසින් පුදුමයට පත්වෙච්ච නිසා.

ඒයි උඹ කොහෙද යන්නේ..

හිටහන් මම බීම පැකට් එකක් අරන් එන්නම්.. 

සුභාෂ් එහෙම කිව්වේ නගරසභාව කැන්ටිම තියෙන්නේ ඒ අසල නිසාත්, දෙන්න වෙන උත්තරයක් නැති නිසාත්..

නගර සභාව ඉදිරිපස තිබෙන  පුස්තකාලය අසලින් වමට හැරවූ සුභාෂ් ඉගිලුනේ ඇයව මග හැරෙන්නට  කලින් ගාලු පාරට දාල ඇය නැවතත් දැකගන්න අරමුන්නින් . තරඟයට ගමන් ගන්න වාහන අතරින් ගාලු පාර මාරු වූ සුභාෂ්ට දකින්න ලැබුනේ වයලීනය තුරුල් කරගෙන ගමනේ යෙදෙන ඇය . කිසිම දෙයක් හිතන්නේ නැතුව ගත්තු තීරණයකින් ඇය පසුපස ආවත් එතනින් එහාට කුමක් කරන්නද කියන දේට උත්තර සුභාෂ් ළඟ තිබුනේ නැහැ. හන්දියෙන් වමට හැරුන ඇය පසු පසින් ඇයට නොදැනෙන්න බයිසිකලය පැදගෙන එන සුභාෂ් ගැන ඖෂදී කිසිවක් දැනගෙන හිටියේ නැහැ. එත් සුභාෂ් උන්නේ බොහොම චංචල සිතුවිල්ලෙන්. උපන්තේකට ගැහැණු ළමයකු පසුපසින් එහෙම ගිහින් නැති සුභාෂ් එහෙම ගියේ ඇයි  කියන්න සුභාෂ්වත් දැනගෙන හිටියේ නැහැ. එත් සුභාෂ් ඇයට අඩි විස්සක් තිහක් පසුපසින් ඇය පසුපස හඹා යමින් සිටියා..

පාරේ තිබෙන පාලමද පසුකරමින් ඉදිරියට පියවර මැන්නාවූ ඇය ඊට නුදුරු දුරක තිබු ගේට්ටුවක් විවුර්ත කරගෙන ඇතුලට ගියේ තමුන් පසිපසින් එන්නාවූ සුභාෂ් ගැන හාන්කවිසියක්වත් නොදැනයි. ආ වේගයෙන්ම හෙමින් හෙමින් ගේට්ටුව අසලටම ආ සුභාෂ්ට ඊළඟට දකින්න පුළුවන් උනේ ඉදිරිපස දොර විවුර්ත කරගෙන නිවස ඇතුලට  පියමනින  ඖෂදී . සොම්නස් සහගත හැගීමෙන් බයිසිකලය හරවාගත් සුභාෂ් නැවතත් පැණි ගස අසලට ඉගිලුනේ මිටින් හල කුරුල්ලෙක් වගේ. මොකක්දෝ කියන්න බැරි සන්තෝසයක් සුභාෂ්ගේ හිතේ මෝදු වෙලා විත්තිය සුභාෂ්ටත් දැනුනා උනාට ඒ ඇයි කියල කියන්න හේතුවක් සුභාෂ්ට තිබුනේ නැහැ.

කොහෙද යකෝ මෙච්චර වෙලා ගියේ.. උඹ බීම පැකට් හැදුවද..

බීම පැකට් ඉවර වෙලා බන්..

එතකොට කැන්ටිමේ එකා උඹට බීම පැකට් ඉවරවෙලා කියන්න විනාඩි පහළොවක් ගියා..

දෙවැනි ප්‍රශ්නයට උත්තර නොදුන් සුභාෂ් බුද්ධික වෙත පෑවේ විසුළු හිනාවක්..

තෝ අහුවෙයන්කෝ මට..

නැවතත් එම හිනාවෙන්ම උත්තර දුන් සුභාෂ් ඊළඟට හැරුනේ ඉන්ද්‍රජිත් දිහාවට..

මට උඹව හම්බවෙන්න ඕන ..

මාව  හම්බවෙන්න.. ඉතින් මේ මම ඉන්නේ යකෝ..

දැන් නෙවෙයි බන්.. හෙට උදේට ඉස්කෝලෙදි මම හම්බවෙන්නම් උඹව..

දැන් කියපන් බන් කියන දෙයක්.. මොකටද හෙටට කල් දාන්නේ..

මදක් නිහඬ වුනු සුභාෂ් ඉන්ද්‍රජිත් දිහා බලන් හිටියේ තීරණයක් ගත නොහැකිව..

වරෙන්කො එහෙනම් ටිකක් එහාට යන්න..

සුභාෂ් ඉන්ද්‍රජිත් සමග පැණි ගසෙන් මදක් එහායින් වූ පිට්ටනියේ කොට තාප්පය වෙත ඇවිද යනු දුටු අනෙක් මිතුරන් වෙත පැවතියේ මවිතයක්.. එත් ඔවුන් කසිදු බාධාවක්  එල්ල කලේ නැහැ..

මොකක්ද කියහන්කෝ ප්‍රශ්නේ..

මේ.. මේ... මේ.. සුභාෂ් පසුවුනේ මදක් කෝල ස්භාවයෙන්..

මොකද යකෝ ගෑනියෙක් වගේ ඇඹරෙන්නේ .. කියහන් මොකක්ද කේස් එක..

අර බන් .. අර ..

හරි බන් අර අර ගාන්නේ නැතුව කෙකර ගාන්නේ නැතුව කියහන්  යකෝ..

අර බන් දැන් උඹ එක්ක කතා කරලා ගිය ඖෂදී..

ඔව්  ඉතින්..

එයා කව්රුහරි එක්ක යාළුද බන්..

ආ... ඔය පනින්නේ බලල මල්ලෙන් එලියට..

දන්නා තරමින් නැහැ මචන්.. ඇයි දැන් මොකක්ද වෙන්න ඕන..

නැහැ බන් එයා මා දිහා මාර බැල්මක් බලනවා බන්.. මට මොකක් හරි අමුත්තක් තේරෙනවා බන්..

මම අහන්නද උඹ අහනවා කියල..

ඇත්තටම උඹට පුලුවනිද..

බැරිනම් කියනවද බන්.. සිම්පල් වැඩක්නේ.. 

අහපන්කෝ බලන්න එහෙනම්.. කවද්ද උඹ අහන්නේ..

හෙට අහන්නම්..

හෙට කොයි වේලාවේද..

උදේට.. එහෙම බැරි උනොත් ඉන්ටවල් එකට..

ශුවර්ම නේද..

අනිවා මචන්.. උඹට නොකරන උදව්වක් තියෙනවද බන්..

එහෙනම් ෂුවර් නේ ..

හරි බන් ෂුවර්..

මේ .. අරුන්ට කියන්න එපා හරිද..

පිස්සුද බන්..

ඒ බොල  දෙන්න ලව් කරනවද.. 

බුද්ධිකගේ හඬින් සුභාෂ්ගේ සහ ඉන්ද්‍රජිත්ගේ සංවාදය නිමා වුනා.. එත් සුභාෂ් වෙත දහසක් බලාපොරොත්තු ඉතිරි කරමින්..

වෙනදට පොඩි ඉස්කෝලෙත් ලොකු ඉස්කෝලෙත් අතර තියන පාරෙන් ගෙදර යන සුභාෂ් එදා ගෙදර යන්න ගියේ ඖෂදී ගේ ගේ තියන  පාරෙන්. අඹ යාලුවා වෙච්ච බුද්ධික දැනගෙන හිටියේ නැහැ සුභාෂ් ගෙදර යන්න අලුත් පාරක් තෝරාගත්තේ කුලුඳුලේ ආදරේ කරන ගැහැණු දැරිවියගේ ගෙවල් ගාවින් යන්න ඕන නිසා කියල. ඖෂදීගේ ගේ පහුවෙද්දී සුභාෂ් ගේට්ටුවෙන් ගේ දිහා බැලුවත් බුද්ධික ඒ ගැන අවදානයක් තිබුනේ නැහැ. වෙනද බුද්ධිකත් සුභාශුත් දෙදෙනාගේ ගෙවල් බලා යන්න වෙන් වෙන හංදියේදී බුද්ධික සුභාෂ්ට කිව්වේ අමුතු කතාවක්..

හෙට වරෙන්කො ඉස්කෝලේ.. තෝ කරන්න යන සෙල්ලම හෙට අපි හොයාගන්නම්කෝ..

එම ප්‍රකාශයෙන් සුභාෂ්ගේ හිත මදක් හෙලවුනත් හිතේ පදිංචි වෙලා උන්නු ඖෂදීගේ ඇස්දෙක ඒ හැම සිතුවිල්ලක්ම යටපත් කළා..


දවසේ ඉතුරු කාලය සුභාෂ්ට ගත වුනේ හරිම හෙමින්. සුභාෂ්ට ඕන උනේ ඉක්මනින් හෙට දවසට යන්න. ඉක්මනින්ම ඉස්කෝලෙට යන්න. ආයෙත් ඒ ඇස්දෙක දැකගන්න. ඉන්ද්‍රජිත් හෙට දවසේ කරන්න පොරොන්දු වෙච්ච කර්තව්‍ය සාර්ථකව නිමා වෙන බලාපොරොත්තුවෙන් නින්දට වැටුන සුභාෂ්ට නින්ද පුරාම පෙනුනේ ඒ ඇස් දෙක විතරයි. 

උදේ පාන්දරම ඉස්කෝලේ ගිය සුභාෂ් නවය වසර සී පන්තිය අසලින් රැඳුනේ ඖෂදී එනකම් බලාපොරොත්තුවෙන්. පාසල පටන්ගන්න විනාඩි පහළොවක්  වගේ කාලයක් තියෙද්දී  පන්තිය වෙත පිය මනින ඖෂදී දැකපු සුභාෂ්ගේ පපුව වෙනද වගේම වේගයෙන් ගැහෙන්න ගත්තා. පලවෙනි වතාවට ඖෂදී මුණගැහුන දවසේ සුභාෂ් දිහා බලපු විදිහටම සුභාෂ්ගේ ඇස් දෙක දිහාම බලාගෙන ආපු ඖෂදී පන්තිය ඇතුලට යනකල්ම සුභාෂ් කලේ ඒ ඇස්දෙක දිහා දැහැන්  ගත වෙලා වගේ බලන් හිඳීම . මද සිනහවක් රැඳුනු මන්දහාස මුහුණින් ඖෂදී සුභාෂ් පහුකරගෙන යනවත් එක්කම එතනට කඩන් පහත් උනේ සුභාෂ්ගේ පන්තියේ පෝරිසාද රංචුව.

හොරේ  අහු වුනා..

මු ට්‍රයි ඖෂදීට..

හු.. හු.. රංචුවම එකම විකාරයි..

ඖෂදී මෙන්න සුභාෂ් ඔයාට කැමතියිලු .. ඖෂදී සුභාෂ් ඔයාට ලව්ලු.. අයි ලව් යු ඖෂදී..ඔයා මගේ පන ඖෂදී.. මේ එකක්වත් කිවේ සුභාෂ් නෙවෙයි.. සුභාෂ්ගේ මිත්‍ර සමාගම.

සුභාෂ්ව අල්ලාගත්තු පෝරිසාද රංචුව උත්සහ කරන්නේ  සුභාෂ්ව උස්සන් ගිහින් ඖෂදීගේ පන්තිය ඇතුලට දාන්න කියන දේ සුභාෂ්ට වැටහෙන්න වැඩි කාලයක් ගතවුනේ නැහැ .. අත් විස්සකින් විතර තල්ලු උන සුභාෂ් නමය වසර සී පන්තිය පැත්තට තල්ලු කරන් යනවත් එක්කම බේරෙන්න ක්‍රමයක් හොයපු සුභාෂ් එකපාරටම ඉදිරියට තල්ලුවෙන තල්ලුවත් එක්කම එතනින් මිදිලා කොරිඩෝවෙන් එලියට පනින්නයි උත්සහ කලේ . එත්  සුභාෂ් කකුල ලිස්සල ගිහින් කොන්ක්‍රීට් කණුවේ නළල වදිනවාත් එක්කම සුභාෂ් කොරිඩෝවෙන් එලියට විසික් උනා.  නළල වැදුණු වේදනාවත් එක්කම සුභාෂ් දිවිල්ල  නතර කලේ නැහැ. නළල කොන්ක්‍රීට් කණුවේ වැදුණු වේදනාවත්, මිතුරන් විසින් කරන්නට යෙදුන ක්‍රියාවේ වේදනාවත් දරාගෙනම සුභාෂ් කෙලින්ම දිව්වේ පන්තියට. පොත් බෑගය පිටේ දමාගත් සුභාෂ් ඊළඟට දිව්වේ බයිසිකල් ගාලට.  

පාසල පටන් ගන්නා සීනුව ඇසෙන විට සුභාෂ් උන්නේ පාසලින් එළියේ පැණි ගහ ගාව. නළලේ වේදනාවත්, හිතේ වේදනාවත් එක්කම ඇස් කොනින් කඳුළු ගෙඩි දෙකක් එලියට පැන්නත් දුකටත් කෙන්තියටත් සුභාෂ් වේගයෙන් බයිසිකලය පැද්දේ අරමුණක් නැතුවයි. ගාලු පාර දිගේ අරමුණක් නැතුව පැයක් විතර බයිසිකලය පැදපු සුභාෂ් හිතේ තිබ්බ වේදනාව මදක් සමනය උනායින් පසුව බයිසිකලය පැදගෙන ගියේ ගෙදර පැත්තට. සුභාෂ් ගෙදර යද්දී සුභාෂ්ගේ ගෙදර උදවිය සියල්ලන්ම රැකි රක්ෂා වලට පිටත්ව ගිහින් තිබුන නිසා සුභාෂ් ළඟ තියන යතුරෙන් දොර ඇරගෙන  කාමරයට ගිහින් ඇඳට වැටුනේ පාසල් ඇඳුම පිටින්මයි. සුභාෂ් කල්පනා කලේ ඊළඟට කුමක් සිදුවේවිද යන්නයි. ගෙදර කවුරුත් නැති හින්දම ගෙඩි ගැහුනාවූ නළලත් සහ පාසැල් නොගොස් ගෙදර පැමිණීමත් අරභයා සුභාශ්ව පරීක්ෂණයට භාජනය උනේ නැහැ.


ඔලුවේ තිබ්බ  වේදනාව නිසා නින්දට වැටුණු සුභාෂ් අවදි වුනේ නැගණිය පාසල් ඇරී නිවසට එන හඬින් . අවදි වුනු වහා සුභාෂ්ගේ මතකයට ආවේ උදෑසන වූ සිද්දිය සහ ඖෂදීගේ මුහුණ. වහාම ඇඳුම් මාරු කරගත් සුභාෂ් ඊලඟට නිවසින් පිටවුනේ ඉන්ද්‍රජිත් සොයාගෙන. සුභාෂ් ඉන්ද්‍රජිත්ගේ නිවසට පැමිණෙන විට  ඉන්ද්‍රජිත් පසුවුනේ දවල් ආහාරය ගනිමින්..

ආ උඹද.. කෝ බන් මම උඹව හෙව්වා අද ඉන්ටවල් එකේදී.. උඹ ඇවිත් තිබ්බේ නැහැනේ..

ඔව් බන් මම උදේ ඇවිත් ආයේ ගෙදර ගියා..

ඒ මොකෝ බන්..

ඒවා වැඩක් නැහැ.. මගේ වැඩේ කරාද කියපන්..

බොට තියන හදිස්සියක්.. අපිට මෙව්වට ගෙවන්න ඕන පුතෝ..

හරි බන් හරි.. කියහන්.. මොකද උනේ.. උඹ ඖෂදීව හම්බුනාද..

හ්ම්..

මොකද කිව්වේ..

විශේෂ දෙයක් කිව්වේ නැහැ බන්.. මම ඇහුව.. අකමැත්තක්නම් පෙන්නුවේ නැහැ.. 

ඒ කියන්නේ ..

ඒ කියන්නේ උඹට කැමතියි වගේ..

ඇත්තමද බන් උඹ කියන්නේ ..

බොරු කියල හිතනවානම් ඉතින් නිකම් හිටහන්..

සුභාෂ් ගේ පපුව නැවතත් වේගයෙන් ගැහෙන්න ගත්තා.. සුභාෂ් පසුවුනේ අධික  සන්තෝසයෙන්.. 

දැන් මම මොකද කරන්න ඕන බන්..

ම්ම්ම්ම්ම්ම්ම්ම්.... කල්පනා කරලා බලමු..

මොනාද බන් ඖෂදී කිව්වේ..

කියපුව බොට වැඩක් නැහැනේ.. උඹ ලියුමක් ලියල දීපන්කො.. මම ගිහින් දෙන්නම්..

ෂුවර්මද .. කමක් නැද්ද බන්.. එයා අප්සෙට් යාවිද එකපාරටම ලියුමක් දුන්නාම..

බොට එව්වයින් වැඩක් නැහැනේ  .. උඹ ලියල දීපන්කො.. 

මම හෙට ගිහින් කතා කරන්නද බන්..

එපා එපා.. උඹ ගිහින් කතා කරොත් වැඩේ චා වෙනවා අනික් උන්ට.. උඹ ලියුමක් ලියල දීපන්කො..

හරි එහෙනම් .. උඹ කාපන්.. මම ගියා..

අද උඹ ප්‍රැක්ටිස් එන්නේ නැද්ද..

මොන ප්‍රැක්ටිස්ද බන් අද.. මම හවස පැණි ගහ ගාවට එන්නම්.. උඹ මේක කාටවත්ම කියනවා නෙවෙයි හරිද..

පිස්සුද බන්.. අපිට මෙව්වට සලකපන් ඉතින්..

සුභාෂ් බයිසිකලය පැදගෙන ගියා නෙවෙයි ඉගිලුනා.. සුභාෂ්ට හිතේ පැවති සන්තෝසය  කියන්න මිහිපිට උන්නු එකම හිතවතා සුභාෂ්ගේ බයිසිකලය  පමණමයි. සතුටින් ඉපිලෙමින් තිබුණු සුභාෂ්ගේ හිත ඇතුලේ ඖෂදී ස්ථිරවම ලැගුම් ගත් දිනය ඖෂදී දුටු පළමු දිනය වුවත් ඖෂදී සුභාෂ් වෙත කැමැත්ත ප්‍රකාශ කිරීම එතෙක් මෙතෙක් සුභාෂ්ගේ ජීවිතයේ වූ විශේෂිතම සිද්දියක් වුනා.. ඉවසීමක් නැති සුභාෂ් කෙලින්ම බයිසිකලය පැදගෙන ගියේ ඖෂදීගේ නිවස ඉදිරියට වුවත් එතනින් එහා කරන්නේ කුමක්ද යන්න අදහසක්වත් සුභාෂ් වෙත තිබුනේ නැහැ. ඉදිරිපස දොර වසා දමා තිබු ඖෂදීගේ නිවස ඉදිරියෙන් කිහිප වරක් බයිසිකලය එහාටත් මෙහාටත් පැද්ද සුභාෂ් ආපහු නිවසට ඇවිත් කොට්ටය බදාගෙන ඇඳට වැටුනේ ඖෂදී ගේ ඇස් දෙක හිතේ හැම තැනම දුව ඇවිදිද්දී. සුභාෂ්ගේ හිතේ  එතනින් එහා ඖෂදී ඇරෙන්න වෙනත් දෙයක් තිබුනේ නැතිම තරම්. උදේටවත් දවල්ටවත් ආහාරයක් නොලැබූ සුභාෂ්ට බඩගින්න ගැන කිසිම දැනීමක් තිබුනේ නැහැ.  සන්තෝසයෙන් ඔද්දල් වෙච්ච සුභාෂ් ඊළඟට කල්පනා කරේ ඖෂදීට ලිපියක් ලියන  එක ගැන..


පාවී ගියා
ඒ වේදනා
දෑසේ මවා 
මේ චේතනා 
ආරාධනා 

පාවී ගලා 
පවනේ පවා 
රාවේ ඇසේ 
ඒ ගීතිකා..
ආරාධනා..

ඈ නීල  නෙතූ  සලා 
මා දෑස මත්  කළා
සේයා මවා ඒ ආදරේ
ආයාචනා
ඈ නීල  නෙතු සලා

"""""""

Sunday, October 18, 2015

නමක් නැති කතාවක් 3



දෙවැනි කොටස මෙතනින්

හැමදාම උදෑසන සීනු නාදයෙන් අනතුරුව ආරම්භ වෙන්නේ පන්තිභාර ගුරුතිමියට අයත් විද්‍යාව පාඩම . එදත් වෙනද වගේම පන්සිල් සමාදම් වීමෙන් අනතුරුව පන්තිභාර ගුරුතුමිය විද්‍යාව පාඩම ආරම්භ  කරාවි කියල හිතුවට එහෙම උනේ නැහැ. පන්තිභාර ටීචර්  කෙලින්ම හැරුනේ සුභාෂ් දිහාවට.

සුභාෂ්.. නැගිටිනවා..

ලැබුන විදානයෙන් සුභාෂ් පුටුවෙන් නැගිට්ටේ මේ වෙන්න යන්නේනම් හොඳ දෙයක් නෙවෙයි කියල දැනගෙනම තමයි. පාඩම පටන් ගන්න ප්‍රථමයෙන් බහුතරයක් දවස්වලට පෙර දිනයේ වැරදි සඳහා චෝදනා පත්‍ර ගොනු වූ චූදිතයින් සහ සැක  කරුවන් උදෑසන පෙරට්ටුව සඳහා කැඳවීම හැමදෙනාටම සාමාන්‍ය දෙයක්. පංතියේ සිටින රහස් පරීක්ෂක වරියන් සහ ඔත්තු කාරියන් සිය රාජකාරිය අකුරටම ඉටුකරපු නිසාත් , වැරදීමකින් පිරිමි වෙලා උපන් ඔත්තු කරුවන් දෙතුන්දෙනෙකුත් පන්තියේ හිටිය නිසාත් පන්තිභාර ගුරුතුමියගේ ඇසට සහ කනට හොරෙන් කුරුල්ලෙකුටවත් දහය වසර ජී පන්තිය උඩින් ඉගිල්ලෙන්න පුළුවන් උනේ නැහැ. මෙවන් අවස්තාවකට කිසිම දවසක මුහුණ නොදීපු සුභාෂ් පුටුවෙන් නැගිටලා බලන් හිටියේ තමුන්ට හිමිවන්නේ කුමන ආකාරයේ චෝදනාවක්ද කියන එක දැනගැනීමට කුතුහලයෙන්.

මොකද තමුන් උදේ පාන්දර මාර ගහ ගාව කරේ..

ශූ ... ශූ....ශු....

සපත්තු බිම අතුල්ලමින් සුභාෂ්ට සමචලේට එක එක ජාතියේ ශබ්ද දාන්න පටන් ගතපු පන්තියේ පිරිමි ළමුන්  දිහා පන්ති භාර ගුරුතුමිය  පිච්චිලා අලුවෙන්න රුද්‍ර බැල්මක් හෙලපු ගමන් සියලු ශබ්දයන් ලයිට් ගියා වගේ නිහඬ උනා..

බුද්ධික  එනකම් හිටිය මිස්.

ඊළඟට ගුරුතුමිය අහන ප්‍රශ්නය ඉවෙන් වගේ දැනුන සුභාෂ් ගණදෙවි නුවන මෙහෙයවල උත්තරේ සුදානම් කරගත්තා.

ඇයි වෙනදාටත් බුද්දික එනකම් තමුන් එතන බලන් ඉන්නවද.. මොකටද තමුන් බුද්ධික එනකම් විශේෂයෙන් බලන් හිටියේ..

බයිසිකලේ වයර් ලොක් එකේ යතුර බුද්ධික ගාව මිස්.. ඊයේ අමතක උනා ආයේ ඉල්ලගන්න.. බයිසිකලේ ලොක් කරන්න විදිහක් නැති නිසා එතන හිටියේ බුද්දික ආවාම යතුර ඉල්ලලා ලොක් කරන්න.

පන්තිභාර ගුරුතුමිය ඊළඟට හැරුනේ බුද්ධික දිහාවට..

බිද්ධික.. නැගිටිනවා.. ඇත්තද මේ සුභාෂ් කියන්නේ..

මේ හතර බීරි කතාවේ අග මුල නොදත් බිද්ධික පුටුවෙන් නැගිට්ටේ මේ කොහෙන් පහත්  උන මරාලයක්ද කියන්න වගේ..

ඔව් මිස් ඊයේ සුභාෂ්ගේ බයිසිකලේ ලොක් එක ඉල්ලගත්තා යතුර දෙන්න අමතක උනා..

තමුන් බලන් හිටියේ හැබැයි බුද්ධික එනකම් නෙවෙයි  කියලයි මට හිතෙන්නේ.. සුභාෂ් ලැස්ති වෙන්න එපා වයසට වඩා පැහෙන්න . තමුන්ගේ අද්‍යාපන කටයුත්තක් බලාගන්නවා හොඳයි... 

පන්තිභාර ගුරුතුමිය සුභාෂ් දිහා බැලුවේ දැවිලා පිච්චිලා අලුවෙන්න තරම් බැල්මකින් .

හොඳයි.. වාඩි වෙනවා දෙන්නම.. සාක්ෂි සාධාරණව ඉදිරිපත් උන හින්ද නඩුව විසික් කරාට පන්තිභාර ගුරුතුමියගේ මුහුණේ තිබුනේ බුද්ධිකගේ ප්‍රකාශය නොපිළිගත් පෙනුමක්. 

අද ඉඳන් පන්තියේ ඉන්න අති දක්ෂ ඔත්තු කාරියන්ගේ  සහ වැරදිලා පිරිමි වෙලා උපන්න ඔත්තු කරුවන්ගේ විශේෂ අවදානයට සහ නිරීක්ෂණයට  සුභාෂ්ගේ සියලු ක්‍රියාකාරකම් ලක් වෙන බව සුභාෂ් ඉන්තේරුවෙන්ම දැනගෙන සුභාෂ් පුටුවේ වාඩි උනා.

හරියටම සුභාෂ්ගේ පුටුවට පසුපසින් පුටුවේ වාඩි උන බුද්ධික වාඩි උන වහාම යටින් කකුල දාල  සුභාෂ්ගේ පුටුවට පයින් ඇන්නේ හිටහන්කෝ උඹ අල්ලගන්න කියන්නාක් වගේ. සුභාෂ්ගේ යකඩ කකුල් තියන පුටුව බුද්ධිකගේ පා පහරින් රුවිතෙට කැරකිලා ගිහන් අල්ලපු පුටුවේ වදින සද්දෙත් එක්කම නොසන්සුන් උන සුභාෂ් සහ අල්ලපු පුටුවේ සිටි ශිෂ්‍යයා දිහා නැවතත් රුද්‍ර බැල්මක් හෙලපු පන්තිභාර ගුරුතුමිය විද්‍යාව පාඩම පටන් ගත්තා..

පාසල ආරම්භයෙන් පසුව කාලච්චේද හතරක් අවසාන වන තුරු නිරූපද්‍රිතව පසුවුනත්  ගුරුවරුන් මාරුවන සුළු කාල වේලාවේදී  දඩබ්බර මිත්‍ර සමාගමේ විවිද ගනයේ උසුළු විසුළු සඳහා උක්තය උනේ සුභාෂ්ගේ අද්භූත ක්‍රියා පටිපාටියයි. කාට හෝ උසුළු විසුළු කෙරීම පන්තියේදී සිදුවන සාමාන්‍ය ස්භාවය වුවත් විවේක කාලයේදී කුමන ගනයේ සම්මත නොවන ක්‍රියාවක් සිදුවේදැයි කල්පනා කරමින් සුභාෂ් හිටියේ දැවෙන ස්භාවයෙන් . විවේක කාලයේදී මිත්‍ර සමාගමෙන් කුමනාකාරයෙන් ගැලවෙම්දෝ  සිතමින් සිටිනා අතරේ විවේකයට අදාළ සීනුව ද  නාදවුනා . සීනුවත් සමගම උගන්වමින්සිටි සමාජ අද්‍යයනය පාඩම නවතාලු ගුරුතුමිය පන්තියෙන් නික්ම ගියේ මෙතෙක් සුභාෂ් වෙත තිබූ නිල මට්ටමේ ආරක්ෂාව බිමට සමතලා කරමින්.

සුභාෂ්ට පසුපස පේලියේ උන් බුද්ධික ඩෙස්කුව උඩින්  අත  දමා සුභාෂ්ගේ කමීස කොලරයෙන් අල්ලා ගන්නවාත් සමගම අනූ නවයෙන් බේරුනා වූ සුභාෂ් අල්ලපු පුටුවේ සිටි මිතුරාද  තල්ලු කරගෙන  පුටු උඩින් පනිමින් ඩෙස් උඩින් පනිමින් ගුරු මේසයද පෙරලාගෙන කොරිඩෝව වෙත අවතීරණය උනේ දක්ෂ මලල ක්‍රීඩා ස්භාවයක් පෙන්නුම් කරමින්. කොරිඩෝව දිගේ පසුපසින් එලවාගෙන එන මිතුරු පිරිස පරයා පන දෙවැනි කොට ධාවනයේ යෙදුනු සුභාෂ් ආපන ශාලාවේ කව්ළු අතර තෙරපෙන ළමුන් දෙතුන් සියයක් අතරින් නොපෙනී ගිය බැවින් සුභාශ්ව අත්අඩංගුවට ගැනීම මදකට කල් දැමීමට මිතුරන්ට සිදුවුනා.

මිතුරන්ගෙන් මිදී පලා ආවත් සුභාෂ්ගේ අරමුණ වුයේ පෙරදා විවේක කාලයේදී ඇය හමුවූ කොරිඩෝවේ රැදී හිද  නැවතත් ඇයව දැක ගැනීමයි , එසේත් නැතහොත් ඇය පසුපසින් හඹා ගොස් ඇය අකුරු කරනා වූ පන්තිය සොයා ගැනීමයි,  සියල්ලටම ප්‍රථම නැවතත් ඒ සුපුරුදු බව විඳගැනීමයි. වෙනදාට විවේකයේදී කුසගින්නට පිළිසරණක් වන ආහාරයද අමතක කර දැමු සුභාෂ්  පෙර දින ඇය හමුවූ කොරිඩෝව ආසන්නයේ රැඳුනේ පෙරදින ආකාරයෙන්ම ඇය කොරිඩෝවෙන් ගමන් ගනීවි යන බලාපොරොත්තුවෙන්. විවේක කාලෙයේ කෙටි කාල සීමාව කෙමෙන් කෙමෙන් ගෙවීගෙන ගියත්  පෙරදින ආකාරයෙන් ඒ සුපුරුදු බව රැඳී නෙත් සුභාෂ් ඉදිරියට එන ලකුණක්වත් සුභාෂ් දුටුවේ නැහැ. කොරිඩෝවේ කෙලවර වෙත අවිනිශ්චිත බැල්මෙන් බලන් සිටිනා  සුභා වටේ පෝරිසාද මිත්‍ර සමාගම වටවෙනකම්ම සුභාෂ් උන්නේ ඒ ඇස් දෙක ගැන කල්පනා කරමින්, මිතුරන්ගේ ග්‍රහණයට අසුවනතුරුම සුභාෂ් උන්නේ ඒ ඇස්දෙක ඇතුලේමයි .

ආ..උඹ කව්රු එනකම්ද බලන් ඉන්නේ සුදෝ..

සුභාෂ්ට දෙන්න උත්තර තිබුනේ නැහැ.. ඒ එක්කම ඉදිරියට පැනපු බුද්ධික සුභාෂ්ගේ බෙල්ලෙන් අල්ල පහත්  කරලා පිට මැදට නැව් ගුටි දෙකක් එල්ල කරා.. 

තෝ ආයේ මාව අල්ලලා මිස්ගෙන් බේරෙන්න හැදුවොත්  මම තෝව කනවා දැනගනින්..

ගහන්න එපා බූරුවෝ.. බොට මුකුත් උනේ නැහැනේ.. දෙන්නම ශේප් උනානේ..

හරි දැන් ඒවා වැඩක් නැහැ.. තෝ මොකද කියපන් උදේ මාර ගහ ගාව කරේ..

බොට ඒවා වැඩක් නැහැනේ බන්.. මේ ඉස්කෝලේ ඇතුලේ ඕන තැනක මට ඉන්න පුළුවනි..

හා එහෙමද.. එහෙනම් වරකෝ තොට පෙන්නන්න තෝ හිටියේ කව්රු එනකම්ද කියල..

මිත්‍ර සමාගම සුභාශ්ව උස්සගත්තේ කොටයක් උස්සන් යන්න වගේ..

කාවින්ද.. පෙන්නපන් මොන පන්තියේද ඒකි ඉන්නේ..

න:   න:   න:   නමය  ව  ව වසර ස්  .. ස් ... ස් ...සී එකේ.. 

කාවින්ද නාමය වසර සී කියන්න තටමන වෙලාව ඇතුලත පෝරිසාද මිත්‍රයින් සුභාශ්ව උස්සගෙන නමය  වසර පන්ති තියෙන දිහාවට භාගයක් දුර ඇවිදලත්  ඉවරයි.. වෙන්න යන දේ මොකක්ද කියල සුභාෂ්ට ඉවෙන් වගේ වැටහුනා. කාවින්ද කියන විදිහට, මොලය අඩු පෝරිසාද මිතුරු පිරිස  නමය වසර සී පන්තියට සුභාශ්ව උස්සන් ගිහින් ගැහැණු ළමයින්ගේ ඩෙස් උඩට සුභාශ්ව අතාරිනවා සුභාෂ්ට මැවිලා පෙනුනා.. එත් ඒ එක්කම විවේකය අවසානය සටහන් කරන සීනුව නාද උනායින් අකමැත්තෙන් උනත් දෙවැනි වතාවටත් සුභාශ්ව අතැරලා දාන්න පෝරිසාද මිතුරන්ට සිද්දවුනා .මිතුරන්ගේ අතවරයට ලක්වුණ සුභාශ්ගෙන් ඒ වෙද්දී පාසල් සිසුවෙකුගේ පෙනුමක් දකින්න තිබුනේ නැහැ. ඇඹරී ගිය කලිසමත් , බොත්තම් කැඩුන කමිසයත්, අවුල්  උන කෙස් වැටියත් එක්ක සුභාශ්ගෙන් පිළිබිඹු කරේ උමතු ස්භාවයක්. සීනුවත් එක්කම හැම දෙනාම එක සීරුවට දිව්වේ පන්තියට. ඒ එක්කම ගණිතය පාඩම උගන්වන ගුරුතුමා පන්තිය වෙත වාර්ථා කෙරුනා..

සුපුරුදු ආකාරයෙන් පන්තිය දිහා නිරීක්ෂණ චාරිකාවක යෙදෙන ගණිතය ගුරුතුමාගේ ඇස් දෙක නතර උනේ සුභාෂ් ළඟ .

මොකද ඕයි .. තමුසෙට කව්රුහරි අතවරයක්වත් කරාද..

ශූ.. ශූ.. හූ .. කෙල්ලන්ගේ සිනහ හඬින් සහ කොල්ලන් රෑන පවත්වන නානාප්‍රකාර ශබ්ද පූජා වලින් පන්තිය පිරී ඉතිරී ගියා..

නෑ සර් මුකුත් නැහැ..

මුකුත් නැත්තේ මොකද ඕයි .. බලනවා තමුසෙගෙ හැටි.. තමුසෙට  කව්රුහරි ගැහුවද..

නෑ සර්..

කියනව ලජ්ජා වෙන්නේ නැතුව.. මොකද උනේ..

මුකුත් නැහැ සර්..

හරි එහෙනම් .. තමුසෙට ප්‍රශ්නයක් නැත්තම් මටත් ප්‍රශ්නයක් නැහැ..බොත්තම් කඩාගෙන, කොන්ඩෙ අවුල් කරගෙන තමුසේ කියනවා මුකුත් උනේ නැහැලු.. අනේ මන්ද, එක්කෝ තමුසෙට පිස්සු, එක්කෝ මට පිස්සු ..

සර්ට වෙන්න ඇති සර්..

කව්දෝ එකෙක් කියූ අලුගුත්තේරු කතාවෙන් පන්තිය දිහා රවා බැලූ ගුරුතුමා  ගණිතය පාඩම ආරම්භ කළා .සියලු අඩම්තේට්ටම් වල තාවකාලික අවසානය එහෙම සටහන් වෙද්දී සුභාෂ්ට මතක් උනේ ඒ අස්දෙකම විතරයි.. ඒ හුරු පුරුදුබවම විතරයි.. ඒ එක්කම  සුභාෂ්ගේ හිත නමය වසර සී පන්තිය සදා මතකයෙන් නොමැකෙන අයුරින් මතකයේ ගබඩා කළා. 


දෝතක අසෙනිය ගවසා

ඔබ පෙරමඟ හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක් වී
දෙනෙතේ සිත ලියැවෙනවා


අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ..ඉම ඔබ රැඳුණේ



"""""""




හතරවෙනි කොටස මෙතනින්

Thursday, October 15, 2015

නමක් නැති කථාවක් 2



පලවෙනි කොටස මෙතනින්. 

වෙනදට සුභාෂ් ඉස්කෝලේ යන්න අවදි උනේ උදෑසන හයයි හතළිස් පහට . අම්මා උදේ හය වෙද්දී හදල දෙන කිරි කෝප්පය ඇල් වෙලා කූඹිත් වහන්න ගත්තයින් පස්සේ තමා සුභාෂ් ඉස්කෝලේ යන්න අවදි උනේ. බයිසිකලෙන් විනාඩි පහකින් දහයකින් යන්න පුළුවන් දුරින් තියන ඉස්කෝලෙට යන්න උදේ පාන්දර අවදිවෙන්න උවමනාවක් සුභාෂ්ට තිබ්බේ නැහැ. ඒත් හැමදාමත් උදේ හය වෙද්දී අම්මා සුභාශ්ව ඇහැරවන එක සාමාන්‍ය පුරුද්දක් උනාට හැමදාකම සුභාෂ් ඇඳෙන් බහිද්දී උදේ හයයි හතලිස් පහ උනා අනිවාර්යෙන්ම. කීයට ඇඳෙන් බැස්සත් සුභාෂ් හතයි තිහ වෙන්න කලින් හැමදාමත් ඉස්කෝලේ ගියා..


එත් එදා කවදාවත් නැතුව සුභාෂ් අම්මා  අවදිකරවන්නත් කලින් අවදි උනේ උදෙන්ම පාසලට යන්න හිතාගේනමයි. උදෑසන කිරි කෝප්පයත් නොබී හොරෙන්ම  නාන කාමරයට රිංගුවේ කාගේත් ඇහැ ගැහෙන්නේ නැතිව උදේ පාන්දරම ගෙදරින් පැනගන්න අදහසින්.



වෙනදාට වඩා බොහොම ඉක්මනින් දත් මැද  මුහුණ සෝදාගත් සුභාෂ් නාන කාමරයෙන් එලියට එනකොටම මුළුතැන්ගෙයින්  එලියට ආපු අම්මා දැකපු සුභාෂ් එකවරම ගැස්සිලා ගියා.



මොකද අද උදෙන්ම මේ..



අද උදෙන්ම යන්න ඕනේ අම්මේ..



ඒ මොකෝ අද ඉස්කෝලේ මොකක්හරි උත්සවයක්ද ?



සුභාෂ් එහෙම ප්‍රශ්නෙකට දෙන්න උත්තර කලින් ලැහැස්ති කරගෙන උන්නේ නැහැ. ඒ හින්ද සුභාෂ් අම්මව මගහැරලා යන ගමන් ඒ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් හෙව්වා.



අද ෆුට්බෝල් ගහන අයට උදේ මීටින් එකක් තියනවා අම්මේ.



කටට ආපු පලවෙනි බොරුව සුභාෂ් ඔහේ අතෑරලා දැම්මා. අම්මා ඒ බොරුව පිලිගත්තාද, නැද්ද යන්න දැනගැනීමට සුභාෂ් ආයෙත් අම්මා දිහාට හැරිලා බැලුවේ නැහැ. සුභාෂ් මුහුණ පිසදමමින් කෙලින්ම ගියේ සුභාෂ්ගේ කාමරයට. දඩිබිඩියේ ලැහැස්තිවුන සුභාෂ් පොත් බෑගයත් පිටේ දමාගෙන බයිසිකලයත් අරගෙන ගෙදරින් එලියට බහිද්දී වෙලාව උදෑසන හයයි තිහ උනෙත් නැහැ. සුභාෂ් එලියට බහිද්දී ඉන්ටවල් එකට මොනවහරි කන්න වෙනදට අම්මගෙන් ඉල්ලාගන්න මුදල ඉල්ලන්නත් සුභාෂ්ට අමතක උනා..



මොකද අද සල්ලිත් එපාද ? බයිසිකලය අරන් එලියට බහින්න හදන සුභාෂ්ට රුපියල් පහක් දෙනගමන් අම්මා ඇහුවේ නිකම් ඔලොක්කුවට වගේ.



අමතක උනා අම්මේ... සුභාෂ් මුදල සාක්කුවේ දාගෙන කලබලෙන් වගේ යන්න පිටත් උනා.



අද ඉර අනික් පැත්තෙන් පායලද මන්ද පුතේ..



රැකියාවට යන්න ලැහැස්ති වෙන්න දත් මදිමින් උන්නු තාත්තා නංගි එක්ක කියනවා සුභාෂ්ට යන්තම් ඇහුනේ බයිසිකලය පාරට අරන් ගේට්ටුව වහද්දි. සුභාෂ්ට ඒ වල්පල් වලින් වැඩක් තිබ්බේ නැහැ. සුභාෂ්ට ඕන උනේ ඊයේ හමුවෙච්ච ඒ ඇස්දෙක අයිති දැකුම්කලු දැරිවිය ඉස්කෝලෙට එන්න කලින් ඉස්කෝලේ ගේට්ටුව ගාවට ගිහින් රැකගෙන ඉන්න. උදෑසන සීතල සුලන් කපාගෙන ඊයක වේගයෙන් සුභාෂ් බයිසිකලය පැද්දේ වෙනදාටත් වඩා හුඟක් වේගයෙන්. ගෙදරින් පිටවෙලා විනාඩි පහක් හයක් යන්න කලින් සුභාෂ් උන්නේ ඉස්කෝලේ ගේට්ටුව ගාව.


ලංවෙන්න ලේසි තැනක බයිසිකලේ ගාල් කරොත් ඉස්කෝලේ ඇරිලා යන්න වෙන්නේ රෝද වල හුලන් නැති බයිසිකලය  තල්ලු කරගෙන නිසා සුභාෂ් වෙනදට බයිසිකලය ගාල් කරේ පුළුවන් තරම් ඈතට වෙන්න. එහෙම කරාම අනෙක් බයිසිකල් අතරින් ඇදිල සුභාෂ්ගේ බයිසිකලය වෙත ලංවෙන්න තක්කඩි මිත්‍රයන්ට අපහසු උනා. එත් එදා සුභාෂ්ට බයිසිකලය ගැන නිනව්වක් තිබුනේ නැහැ. මාර ගහ ගාවින් බයිසිකලය හේත්තු කරපු සුභාෂ් පන්ති කාමරය වෙත දිව්වේ හැකි ඉක්මනින් පොත් බෑග් එක පන්තියෙන් තියල ගේට්ටුව ලඟට ඉගිලෙන්න හිතාගෙන. පන්තියේ ඩෙස්ක් එක උඩට පොත් බෑග් එක වීසි කරපු සුභාෂ් ආයෙත් ගේට්ටුව ගාවට ඉගිලුනේ දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන. 


ගේට්ටුව ගාව තියෙන මාර ගහේ වටේට බැඳලා තියන බැම්ම උඩින් වාඩි උන සුභාෂ් පාසලේ ප්‍රධාන ගේට්ටුව දිහා ඇසිපිය  නොහෙලා  බලාගෙන උන්නේ  ඒ ඇස්දෙකේ හිමිකාරිය කොයි මොහොතේ හෝ ගේට්ටුවෙන් ඇතුල්වෙන දර්ශනය දැකගන්නට නොඉවසිල්ලෙන්. එකා දෙන්නා බැගින් පාසලට ඇතුල්වෙන ළමයින් අතරේ සුභාෂ්ගේ විශේෂ අවදානයට ලක් උනේ ගැහැණු ළමයින් පමණයි. පාසල ඇතුලට ඇතුල් උන සෑම ගැහැණු ළමයෙකු දිහාම හොඳ විමසිල්ලෙන් බලන් ඉන්න සුභාෂ්ගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් දැල්වෙමින් තිබුනා. හතයි තිහ ලං වෙද්දී පාසල ඇතුලට බුරුතු පිටින් ඇදෙන සිසු සිසුවියන් අතරේ සුභාෂ්ගේ ඇස දෙක විමසමින් හිටියේ ඒ සුපුරුදු ඇස් දෙකම විතරයි.

මොකද බන් උඹට ප්‍රින්සිපල් ළමයි ගණන් කරන්න කිව්වද..

ගැස්සිලා පිටිපස්ස බලපු සුභාෂ් දැක්කේ ඔලොක්කුවට හිනාවෙවී තමුන් දිහා බලන් ඉන්න පන්ති සගයන් දෙන්නෙක්..

මිතුරන් දෙන්න දිහා ගොලුවෙක් වගේ මොහොතක් බලන් හිටපු සුභාෂ්ට ආයෙත් එකපාරටම විදුලියක් ගහනවා වගේ මතක් උනේ ඒ ඇස්දෙක. සුභාෂ් ආයෙත් ක්ෂණිකවම ගේට්ටුව දිහා විමසිලිමත් උනේ පන්ති සගයන් දෙදෙනාව තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැතුව.

මොකද බුරුවො කරන්නේ.. 

පිටිපස්ස හැරිලා මිතුරන් දෙන්න දිහා රවල බලපු සුභාෂ් ආයෙත් ගේට්ටුව දිහාට ඇස් යොමුකරා. වැඩකට නැති ප්‍රශ්න වලට උත්තර දෙන්න කාලය වැයකරන්න සුභාෂ්ට පුළුවන්කමක් තිබුනේ නැහැ. ඒ වෙද්දී ඉස්කෝලේ ගේට්ටුවෙන් ළමයින් ඇතුලට  ආවේ රංචු පිටින්. උත්තර දීල පලක් නැති ප්‍රශ්නවලට දෙන්න උත්තර හොයනවට වඩා සුභාෂ්ට වැදගත් උනේ තමුන් යෙදිලා  ඉන්න කාර්ය සාර්ථක කරගන්න එකයි.

මූට පිස්සු හැදිලද බන්..

අනේ කව්රු දන්නවද බන්.. අපි යමන් යන්න.. මුගේ ඔලුව කොහෙහරි තදින් වැදිලා වෙන්න ඇති.. 

පන්ති සගයින් දෙදෙනා එතනින් නික්ම ගියේ සුභාෂ්ට ඔලොක්කුවට හිනාවීගෙන . ඒත් ඒ ගැන අවදානය යොමුකරන්න තරම් සුභාෂ්ට ඉස්පාසුවක් තිබුනේ නැහැ. 

ගේට්ටුවෙන් ඉස්කෝලෙට වැල නොකැඩී ඇතුල්වෙන ළමයින් අතරින් සුභාෂ්ට ඒ ඇස්දෙක අඳුනගන්න ගත උනේ තත්පරයක් විතරයි. සුභාෂ්ගේ හදවත ආයෙත් ඉස්සරින්ද වගේම වේගයෙන් ගැහෙන්න ගත්තා. ඒ හුරු පුරුදු ඇස් දෙකේ හිමිකාරිය බොහොම සංයමයෙන් ඉස්කෝලේ ඇතුලට පියවර මනිමින් උන්නා. සුභාෂ් හිතාගෙන උන්නේ ඇය පසුපසින් ගිහින් ඇය ඉගෙනගන්නා පන්තිය මොකක්ද කියල දැනගන්න උනාට සුභාෂ්ගේ වේගයෙන් ගැහෙන හදවත එක්ක සුභාෂ් උන්නේ බොහොම කලබල ස්භාවයෙන් . සොඳුරු රුවැත්තිය මාරගහ තියන තැන පහුකරගෙන යනවත් එක්කම සුභාෂ් බැම්ම උඩින් නැගිට්ටේ ඇය පසුපස යන අදහසින්..

සුභාෂ්...මෙහෙ එනවා...

එකවරම ඇහුන ආමන්ත්‍රණයෙන් සුභාෂ් ගල් ගැහිලා නැවතුනා.. හැරිලා බලන්නත් කලින්ම, කටහඩින්ම  සුභාෂ්ට තේරුනා  මේ අමතන්නේ පන්ති භාර ගුරුතුමිය කියලා . මාර ගහට එහාපැත්තෙන් තිබුන ගුරු කාමරයේ ජනේලයෙන් රෞද්‍ර බැල්මක් හෙලාගෙන පන්තිභාර ටීචර් සුභාෂ් දිහා බලන් ඉන්නවා දැකල සුභාෂ් ගල්වෙලා ගියා..

මොකද ඔතන කරන්නේ.. මං එනකොටත් දැක්කා ඔතන වාඩි  වෙලා ඉන්නවා. කව්රු එනකම්ද බලාගෙන ඉන්නේ..

සුභාෂ් නොදැනුවත්වම වගේ ගුරු කාමරයේ ජනේලය වෙත ඇවිදන් ගියා..

මිස්.. මේ.. මේ.. මේ... බු.. බුද්ධික එනකම් බලන් හිටියේ..

ඇයි බුද්ධික ගේට්ටුවෙන් ඇතුලට ඇවිත් ආපහු යනවද.. යනවා යන්න පන්තියට.. ගිහින් පොතක් පතක් බලාගන්නවා.. ආව මෙතන රස්තියාදු ගහන්න..

පන්තිභාර ටීචර් අවසන් තීන්දුව දුන්නයින් පස්සේ සුභාෂ් මොකුත්ම කතා නොකර එතනින් පන්තිය පැත්තට ඉක්මන් ගමනින් යන්න පිටත් උනේ මීටර් සීය දුවලා හරි ඇයව සොයාගන්නා  අදහසින්. එත් සුභාෂ්ගේ අවාසනාවට ළමයි පිරිච්ච ඉස්කෝලේ ඇතුලේ  ඇය ගියේ කොයි දිශාවටද කියල සොයා ගන්න තරම් සුභාෂ්ගේ ඇස් දෙක දක්ෂ උනේ නැහැ.. එත් එක්කම නාදවුන  පාසල පටන්ගැනීමේ සීනුවේ සද්දෙත් එක්කම සුභාෂ් කෙලින්ම දිව්වේ පන්ති කාමරයට. බලාපොරොත්තු කඩ වෙච්චි හිත ඇතුලේ දැල්වෙමින් තිබුනේ එකම එක බලාපොරොත්තුවයි. ඒ ඉන්ටවල් එකට ඇයව සොයාගැනීම විතරමයි . එත් වසවර්ති මිත්‍ර සමාගම එක්ක මේ කටයුත්ත කොතරම් දුරට සාමකාමීව කරගන්න ලැබේවිද නැද්ද කියන දෙගිඩියාව සුභාෂ්ගේ හිත ඇතුලේ  සක්මන් කරමින් උන්නා. ඊයේ දවසේ සිද්ද වෙච්චි සිද්දිය කාවින්දගෙන් පන්තියම දැනගත්තු නිසා පෝරිසාද මිත්‍ර සමාගම කුමන ගනයේ අලුගුත්තේරු වැඩක් කරයිද යන අවිනිශ්චිත හැගීමත් සුභාෂ්ගේ හිතේ තිබුනේ නැතුව නොවෙයි. 

අද දවසේ මම කොහොම හරි ඔයාව සොයාගන්නවාමයි.. සුභාෂ් තදින් හිතේ අදිෂ්ඨාන කරගන්නවත් එක්කම පන්තිභාර ටීචර් පන්තියට ආවා ..



ඔබ ඉන්නේ කොහෙද කියා
මම සොයනව ලෝක පුරා 
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා

ලස්සන ලෝකයේ
මට හිමි ආදරේ 
සොයමින් ජීවිතේ 
පාලු මකාලා
මල් මල් මාවතේ 
ආදර  රන් ලඳේ 
ඔබ ලැබෙනා තුරා 
මා ඉන්නම්


 ''''''''''''''

තුන්වෙනි කොටස මෙතනින්