Tuesday, December 1, 2015

අපෙත් හිටියා කොන්ඩයෙක් ...



පහුගිය දවස්වල කොන්ඩයා කියන නම රටපුරා බොහොම ප්‍රසිද්ද වෙච්චි නිසා  අපේ කොන්ඩයා ගැනත් ලියන්න ඕන කියල හිතුනත් දවසින් දවස වැඩේ කල් ගියා.  මිත්‍ර සමාගම ගැන ලියන ලියන ලිපියෙන් මට එන්න එන්නම තර්ජන එල්ලවීම නිසා මේ වෙලාවේ තියන තර්ජන ගර්ජන යටපත් වෙනකම් තර්ජන ගර්ජන එල්ල නොවෙන මිත්‍රයෙක් ගැන කල්පනා කරාම තමයි කොන්ඩයා මතකයට ආවේ.

කොන්ඩයා අපේ මිත්‍ර සමාගමට වැටෙන්නේ බොහොම අපුරු විදිහට. අම්බලන්ගොඩ සුප්‍රසිද්ධ චිත්‍රශිපියෙක් වුන රසංග සම්පත් අපේ සෙට් එකේ එකෙකු වීමත් සම්පතයා සමග එක පන්තියේ උගෙනගත් කොන්ඩයාගේ අයියාගේ හැඳුනුම්කම මත තමයි කොන්ඩයා කට්ටිය එක්ක ටිකෙන් ටික ඇසුරට වැටෙන්නේ. ඒ ඇසුරත් එක්කම අයියාට වඩා මල්ලී හෙවත් කොන්ඩයා කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙක් වෙන්නේ කොන්ඩයාගේ අයියා වැඩිදුර අද්‍යාපනය පිණිස ජපානය බලා පිටත්ව යාමත් එක්කයි. ජාඩියට මූඩිය වගේ සෙට් උන කොන්ඩයා අපිට වඩා අවුරුද්දකින් බාල එකෙකු වීම හැරුනාම වෙනත් කිසිම නොගැලපීමක් කොන්ඩයාත් අපිත් අතර තිබුනේ නැහැ.

කොන්ඩයා උප්පැන්නයේ තිබ්බ නමින් මිදී කොන්ඩයා බවට පත්වෙන්නේ හෙමින් හෙමින් වැවුන කෙස් වැටියත් එක්ක. ලස්සනට වැවුන කොන්ඩෙත් එක්ක කොන්ඩයාගේ ඒ කාලේ සමාන උනේ නලින් පෙරේරාගේ රූපයට. රූපය හදාගෙන සංගීතය ඉගෙනගන්න කියල ගිටාර් එකක් ගත්තු කොන්ඩයා ගිටාරය සති දෙකෙන්ම ඇඳ යට ස්ථානගත කරේ ගිටාර් වාදනය කොණ්ඩය වවන තරම් ලේසි පහසු කටයුත්තක් නොවෙන බව සති දෙකක් වගේ සුළු කාලෙකින්ම තේරුණ හින්ද වෙන්න ඇති.

කොන්ඩයා කොයිතරම් ව්‍යාපාරයෙහි දක්ෂයෙක්ද කියනවනම් ඕනෑම මී කුණක් ලාභයක් තියාගෙන විකුණන එක අපේ කොන්ඩයාට සුළු දෙයක්. නාස්ති කිරීම, අපතේ දැමීම වගේ න්‍යායන් උපතින්ම තිබ්බේ නැති කොන්ඩයා ඉතිරි කිරීමට වගේම උපයන්නත් එකවගේම දක්ෂකම් තිබුන පුද්ගලයෙක්. ඉඩම් හිමි වැවිලිකාර සහ ව්‍යාපාරික පවුලක බාලම දරුවා වූ කොන්ඩයා ඕනෑම දේකදී මිතුරුකම වෙනුවෙන් අතපය හතර උනත් ගලවල දෙන්න සූදානම් එල කොල්ලෙක් .

කොන්ඩයා කොයිතරම් සුපිරි ව්‍යාපාරිකයෙක්ද  කියනවනම් මිහිපිට පවතින ඕනෑම භාණ්ඩයකට මිලක් නියම කරන්න පුළුවන් ඥානයක් කොන්ඩයා සතුව තිබ්බ. අඩි තිස්තුන්දාහක් උඩින් යන ගුවන් යානයක් පෙන්නලා මචන් අරක කීයක් වටියිද කියල ඇහුවොත් කොන්ඩයා ටක්කෙටම මිලක් කියන්න සමත් සුපිරි පොරක්. ආර්ථික විද්‍යාව උසස්පෙළට හදාරලා නැතත් කොන්ඩයා සුපිරි ආර්ථික විසෙසඥ්ඥයෙක් කිව්වොත් තමයි නිවැරදි. සීනි තේකොල මිලේ සිට නැව් , ගුවන්යානා මිල දක්වාම පවතින මිල ගැන නිරන්තර යාවත්කාලීන වන දැනුමක් තිබ්බ කොන්ඩයා ඉඩම් කඩම් මිල සහ වැවිලි කටයුතු ගැනත් විසෙසඥ්ඥයෙක්.   

මෝල් ගහක් හිටෙව්වත් පැලවෙන අත්දෙකක් තිබ්බ කොන්ඩයා වැවිල්ලට තියන දක්ෂකම පෙන්නුවේ තනියම එළවලු කොරටුවක් කරලයි. මහා පරිමාන කුරුඳු වගාව කරගෙන යන ගමන්ම හවස්වරුවේ එළවලු කොටුවක්ද අඩුපාඩුවක් නැතුව සාත්තු සප්පායම් කරන කොන්ඩයා අඳුර වැටීගෙන එද්දී අපි එක්ක සෙට් වෙන්න තරමට කාලය කළමනාකරණය කරගන්නත් සුපිරි දක්ෂයෙක්. ෆුට් බයිසිකලයක්, මොටෝ සයිකලයක්, වාහනයක්, ලාභයක් තියාගෙන විකුණන කොන්ඩයා කවදාවත් විකුණුම්කරුට හෝ ගැනුම්කරුට අසාධාරනයක් නම් කරේ නැහැ. මේක විකුණලා දියන් කියල දුන්නොත් මළමිනියක් උනත් කොන්ඩයා සතියක් දෙකක් ඇතුලත විකුනලා දෙනවාමයි. 

අපේ කට්ටිය මේ කියන්නට යන, දවස් පහක විනෝද චාරිකාවක් යන්න සෙට් උනේ එක්දහස් නවසිය අනූනමය කාලේ වගේ තමයි මගේ මතකය. දවස් තුනක් කන්ද උඩරට සිරි නරඹල අපේ සෙට් එක සෙන්කඩගල පුරවරයට සැපත් උනේ දළදා වැඳගෙන අනුරාධපුරය බලා යන්න හිතාගෙන. අපේ සිරා ඒ වෙද්දීත් ටවුමෙ කඩේ පටන් අරගෙන තිබ්බ නිසා සිරා කොතන ගියත් බලන්නේ විකුණගන්න පුළුවන් සුකුරුත්තම් බඩු ටිකක් අඩු මිලට වාහනේට දාගන්නයි.

දළදා වැඳලා නුවර ටවුමේ ඉබාගාතේ ඇවිදිමින් ඉන්න අපි කට්ටියට සෙට් උනේ පේමන්ට් එකේ ලස්සන කාර්ඩ් වගයක් විකුණමින් ඉන්න පේමන්ට් වෙළෙන්දෙක්..

අඩෝ මරු කාර්ඩ් ටික නේද බන්..

මරු නේන්නම්..

කඩේට මේ වගේ කාර්ඩ් ටිකක් දැම්මනම් විකුනන්න පුළුවන් බන්.. එහෙම කිව්වේ අපේ සිරා..

බොට අඩුවට අරන් ඕනෙද මේ ඔක්කොම ටික..

මුන්ගෙන් කොහෙද බන් අඩුවට ගන්නේ..

හරි හිටහන්කෝ පැත්තකට වෙලා.. එහෙම කියාගෙන කොන්ඩයා පේමන්ට්  වෙළෙන්දාට ලංවෙලා එතැනින්ම ඇණතියාගෙන බිම වාඩිවුනා...

හා මාමේ.. කොහොමෙයි වෙළඳාම...

වැඩක් නෑ මහත්තයා.. හරිම සවුත්තුයි..

කීයද මාමේ මේ කාර්ඩ් එකක්..

පහළොවයි එකක්..

රුපියලට දෙකට ගෙනල්ල පහොලොවට විකුනනවා නේ..

අපොයි එච්චර අඩුවට ලැබෙනවානම් බැරිය..

එහෙම නෙවෙයි මාමේ .. මෙතන තියන කාර්ඩ් ඔක්කොම මම ගන්න කීය ගානේ දෙනවද..

හැක් ..හැක් .. විහිළු කරන්න එපා මහත්තයා..

නෑ ..නෑ  මාමේ විහිළු නෙවෙයි... ඇත්තටම කියන්නේ... දැන් සල්ලි දීල ඔක්කොම ගන්නවා...

දහය ගානේ දෙන්න..

වැඩි වැඩි වැඩි...... පහ ගානේ කරමු ...මාමටත් ලාභයක් තියෙන්නේ එපයි....

අපොයි බෑ ... අත්තටමනම් නමය ගානේ ගන්න..

වැඩියි වැඩියි වැඩියි .. හය ගානේ දෙන්නම් මේ දැන්..

බෑ මහත්තයා... පාඩුයි නෙව..

මේකයි මාමේ කථාව .. දැන් මාම මේ ඔක්කොම ටික මට වික්කාම එක්කෝ මාමට තව බිස්නස් එකක් කරගන්න දවසෙන් භාගයක් තියනව.. නැත්තම් කලින් වැඩ ඉවර වෙච්ච නිසා අඩියක් පුඩියක්  එහෙම ගහල කලින් ගෙදර ගිහින් වතුර ටිකක් නාල පාඩුවේ ඉන්න පුළුවනි. කලින් ගෙදර ගියාම නෝනාගෙනුත් සැලකිල්ලක් ලැබෙන්න පුළුවනි .. දන්නවනේ..

හැක් ..හැක් .. මහත්තය කියන කථා ...අටයි පනහ ගානේ ගන්න ඔක්කොම..

එහෙම නෙවෙයි මාමේ.. හතයි පනහ ගානේ සේරෝටම ගාන හදල කියන්න... ඔන්න මම නැගිට්ට.. ඒ ගානට ආවේ නැත්තම් අපි ගියා..

අනේ මන්ද... කාර්ඩ් දෙසීයක් තියනව මහත්තයා.. දැන් දැම්ම විතරයි.. එහෙනම් එක්දාස් හයසීයක්වත් දෙන්නකෝ..

එක්දාස් පන්සීයයි..හරිනේ.. ඔක්කොම ටික එකතුකරලා පාර්සල් කරන්නකෝ හොඳ මාම වගේ.. මචං සිරා.. මට එක්දාස් පන්සීයක් දියන් ..

ඔන්න ඔහොමයි කොන්ඩයා කාර්ඩ් විකුනපු මාමාගෙන් ඔක්කොම කාර්ඩ් ටික ගත්තේ.. දළදා වැඳගෙන ඊළඟට අපි පිටත් වුනේ දඹුලු යන්න..

ඒ මේ කාර්ඩ් ලාභද බා...න් .. එහෙම ඇහුවේ අපේ කාවින්දයා ..

ඇයි පාඩු නම් උඹ අලාභේ ගෙවන්නද.. එහෙම කිව්වේ අපේ සමා..

නෑ බා....න් .. කා ...ව්ද  බන් දන්නේ මේව විකුනන්න පුළුවන් වෙයිද කියල..

බොලාට මම මේ කාර්ඩ් ඔක්කොම ගෙදර යන්න කලින් විකුණලා දෙන්නද... ඒ උත්තරය කොන්ඩයාගෙන් ..

අනේ මේ.. උඹ කයිවාරු නොගහ හිටහන්..

හරි මම විකුණලා පෙන්නුවොත්..

අනේ මේ උඹ බැරි වැඩ නොකර හිටහන්.. සිරා ඕක කඩේට දාල විකුනගනීවී පාඩුවට හරි ..

දඹුල්ලෙන් කාර්ඩ් ටික ඉවරයි කියල හිතාගනින්කෝ..

කතාවට සම්භන්ධවීමට මට ඉඩකඩක් නොමැති වුයේ මා රථය පදවමින් සිටි හේතුවෙනි.. 

මචං.. වාහනේ දඹුල්ලේ පාර්ක් එකට දාන්නේ නැතුව මෙහායින් නවත්තපන්... මුන් කියනවනේ දැන් මේක විකුනන්න බෑ කියල..

හරි දැන් උඹ මොකක්ද කරන්න හදන්නේ... 

උඹ වාහනේ මෙහායින් නවත්තුවාම කියන්නම් කරන්න ඕන දේ ..

හරි..

සියල්ලන්ගේම අභියෝග හමුවේ නොසැලුන කොන්ඩයාගේ  ඊළඟ පියවර ගැන කුතුහලයෙන් සියල්ලන්ම පසුවුනේ දඹුල්ල වෙත යනතෙක් නොඉවසිල්ලෙන්..

දඹුල්ලේ විහාරය අසල රථ ගාලට මෙහායින් රථය නැවැත්වූ වහා රථයෙන් බැසි කොන්ඩයා රථයේ තිබු පැදුරක්ද රැගෙන රථ ගාල ඇතුලට පියමනින්නට වුනේ  ගත්තේ කල යුත්ත අප වෙත මෙසේ දැනුම් දීමෙන් අනතුරුවයි..

මම මේ කාර්ඩ් ටික පැදුරේ එලල ඉවර උනාම කට්ටියත් එක්කම ඇවිත් වටවෙලා කාර් තෝරපල්ලා උඹල ඔක්කොම..

හැක් ..හැක් .. බලමු උඹ කාර්ඩ් ටික විකුනන හැටි.. එහෙම කිව්වේ කාවින්ද..

කොන්ඩයා බැසගියායින් පසුව මා රථය රථගාලේ ගාල් කරනවිටත් කොන්ඩයා කාර්ඩ් සියල්ල පිළිවෙලට පැදුරේ එලා අවසන්.. රථය නවත්වා විනාඩියක් යන්නට මත්තෙන් රථයේ සිටි සියල්ලන්ම සිටියේ කොන්ඩයා වටේ කාර්ඩ් තෝරමින්.. විනාඩි පහළොවක් යන්නට මත්තෙන් දඹුලු විහාරය වඳින්නට ආ පින්වතුන් කොන්ඩයාගේ කාර්ඩ් පැදුර වටේ එක්රොක් වීමෙන් අනතුරුව අපේ එවුන්ගේ අවශ්‍යතාවයක් කොන්ඩයාට තිබුනේ නැහැ.

මලාට පන්සලකට ගොඩ නොවෙන අපේ සෙට් එක දඹුල්ල විහාරය වැඳගෙන එන්න බොහෝ වෙලාවකට කලින් පැදුරත් අකුලාගෙන කොන්ඩයා වෑන් රථයට වාර්තා කරේ කාර්ඩ් සියල්ලම එකක් රුපියල් තිහ බැගින් විකිණීමෙන් අනතුරුවයි. එදා දඹුල්ල විහාරයේදී අපේ කොන්ඩයාගෙන් කාර්ඩ් පත් මිලදී ගත් උදවිය දැනගෙන හිටියේ නැහැ එයාල මේ කාර්ඩ් ගන්නේ ඉඩම් හිමි වවිලිකාර ව්‍යාපාරික කෝටිපති පුතන්ඩියෙකුගෙන් කියන වග. කාර්ඩ් පත් සියල්ල එකක් තිහ බැගින් විකුණා අවසන් කල වග දැනගත් කාවින්දයා  නම් ටික වෙලාවක් කතාකරගත නොහැකි අන්දමන්ද ස්භාවයෙන් පසු වුනා.. සිරා වෙත සියලු මුදල් භාරදෙද්දී හතරැස් බෝතල් ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් පන්සියයක් බලහත්කාරයෙන් බෝතල් අරමුදල සඳහා පූජා කිරීමට කොන්ඩයා දායක වුනා. ඒ පන්සීය තමයි කොන්ඩයාගේ ගාස්තුව.


ඒ චාරිකාව ඇතුලත වෙච්චි විශේෂිත සිද්දි හුඟක් තිබුනත් මේ පොස්ට් එක කොන්ඩයා උක්ත කරගෙන ලිව්ව නිසා අනෙකුත් විශේෂිත දේවල් වෙන වෙනම ලිවිය යුතුයි. සමාගේ විශේෂිත දත් මැදීමේ කතාවත් ඇතුලත් වෙන්නේ මේ චාරිකාවටම වුනත්  සමාගේ වික්‍රම පොස්ට් එකෙන් පස්සේ සමාගේ දුරකථනය මා වෙනුවෙන් නිහඬ වීම ඇතුලේ ආයෙත් බ්ලොග් පොස්ට් වෙනුවෙන් සමා ගැන නොලිය ඉන්න මම තීරණය කළා .

කොන්ඩයා ගැන තව දුරටත් ලියද්දි ජපන් ජාතිකයෙකු සම්භන්ධ අනර්ග සිද්දියක් මතකයට ආවත් ඒ ගැන ලියන්න විදිහක් නැත්තේ එම සිද්දියට සීයට පනහක දායකත්වයක් දක්වපු සමා ගැනත් ලියන්න වෙන හින්දයි. 

කොන්ඩයා කරපු කියපු වැඩ සිය දහස් ගණනක් තිබුනත් කොන්ඩයා කරපු සුවිශේෂී ගනයේ ක්‍රියාවක් මේ පොස්ට් එකටම ලියල ඉවරයක් කරන්නයි අන්තිමේ තීරණය කරේ..

එදා අපි ගියේ කතරගම යන්න. ගමනට සහභාගී වුනේ බඩ තඩියා, බතලයා, කොන්ඩයා, මනෝජ් සහ මම. කතරගම ගියේ බඩ තඩියාගේ වෑන් රථයේ. කතරගම වැඳ පුදාගෙන ගෙදර එන ගමනේදී තමයි මේ විශේෂිත සිද්දිය සිද්දවුනේ. උදෑසන කතරගමින් පිටත්වූනු  අපි හැමදෙනා කෙලින්ම එන්න පිටත් වුනේ ගෙදර එන්න.

මචන් මගේ යාලුවෙක් බැඳලා ඉන්නේ ලුනුගම්වෙහෙරින්.. යනගමන් ඒ පැත්තෙන් ඔලුව දාගෙන යමුද..

උඹ දන්නවද ඉන්න තැන ..

ඉන්න තැන නම් දන්නේ නෑ .. එත් ඒ පැත්තට ගිහින් හොයාගන්න බැරිවෙන එකක් නැහැ..

මොන මගුලටද බන් ඕවයේ යන්නේ.. මෙන්න මෙහෙ ගෙදර යමන් ..එහෙ ගිහින් සෙට් වෙමු..

ගියොත් ඉතින් දඩ මස් එහෙමත් කාල බීල එන්න පුළුවනි..

හඃ දඩමස් .. බොට  ශුවර්මද..

අනිවා.. ගේ හොයාගත්තොත් අනිවා බඩු ශුවර්ම තමයි..

හරි එහෙනම් යමුකෝ හොයාගෙන.. හරෝපන්... හරෝපන් ඕක ලුණුගම්වෙහෙරේ  යන්න..

හිටහන් යකෝ මේක එකපාරට හරවන්න මහා මුහුදේ දුවන බෝට්ටුවක් නෙවෙයි බං .. 

බඩ තඩියාගේ දඩමස් පෙරේතකම කට දෙකොනින් කෙල බේරෙන තරමට නිසා මනොජ්ගෙන් ලැබුන යෝජනාව ස්ථිරවුනේ ඒ විදිහට. එත් අපි දැනගෙන හිටියේ ලුණුගම්වෙහෙරට යන්න විතරයි. රථය පදෙව්වේ මම . ඉස්සරහ ආසනයේ යෝදයෙක් තිබ්බ වගේ විරාජමාන වුනේ බඩ තඩියා. පිටිපස්සේ ආසන වල හිටියේ බතලයා, කොන්ඩයා සහ මනෝජ්..

අපි ලුගම්වෙහෙරට ගිහින් ගෙයක් ගෙයක් ගානේ විස්තර අහ අහ රස්තියාදු වෙද්දී තමා අපිට තේරුනේ වැඩේ තියන බරපතලකම. 

මාමේ මේ හරියේ ඉන්නවද අම්බලන්ගොඩින් බැඳලා ඉන්න ........ කියල නම තියන කෙනෙක්..

ම් ..... මොනවා කරන කෙනෙක්ද බැඳලා ඉන්නේ..

බිස්නස් කරන කෙනෙක් මාමේ.. එයාට බස් එකකුයි වෑන් දෙකකුයි කාර් එකකුයි තියන කෙනෙක්..

ඔහොම ආරන්චියක්නම් තිබ්බ..... පොඩ්ඩක් ඉස්සරහට ගිහින් වමට තියන ආරෙන් හැරිලා ගිහින් අහන්නකො..

හා හොඳයි මාමේ..

වාහනය ඉදිරියට ධාවනය වුනත් අපිට ඊළඟට ප්‍රශනය වුනේ "ආර" කියන්නේ මොකක්ද කියල දන්නේ නැතිකම..

නැන්දේ මේ හරියේ ඉන්නවද ....... කියල කෙනෙක් අම්බලන්ගොඩින් බැඳලා ඉන්න..

ම් ... මතක විදිහට ආරියවතීලෑ බාල එකී පැනල ගියේ ඒ පැත්තේ හාදයෙක් එක්ක තමා... ඔය ඉස්සරහ තියන ජඳුරෙන් හැරිලා ටික දුරක් ගියාම හේනක් හම්බවෙයි..එතනින් අහන්නකො..

මනෝජයා වාහනයට නගින්නේ තවත් බරක් හිසේ තබාගෙනයි..

ඒ මොකක්ද බන් ජඳුර කියන්නේ..

දැන් අපි දන්නවද බන් ආරවල්, ජඳුරවල් . උඹනේ කිව්වේ අපිට දඩමස් දෙන්නම් කියල.. දැන් කොහෙන් හරි හොයල දීපන්..

දැන් උඹේ යාළුවා මේ කෙල්ල එක්ක පැනල ගියා කියන එකාද කියහන් ඉස්සෙල්ලම.. ඒක එහෙමනම් අපි දඩමස් කෑම පැත්තක් දාල ගෙදර යමන් නිකම් උන්ගෙන් මරුම්කන්නේ නැතුව..

පිස්සුද බන්.. මේ කියන්නේ වෙන එකෙක් ගැන..

කොහොමින්  කොහොමින් හරි ලුණුගම්වෙහෙර ටවුම පහුකරලත් විසි තිස්දෙනෙකුගෙන් අහලත් ආරංචියක් අපිට හොයාගන්න බැරිවෙච්චි. කොන්ඩයා සහ මනෝජයා ප්‍රාදේශීය සභා චන්දෙට ගෙවල් ගානේ චන්දෙ ඉල්ලගෙන යන අපේක්ෂකයෝ දෙන්නෙක් වගේ ගෙයක් ගෙයක් ගානේ ඇවිදිමින් හිතවතා ගැන ආරංචියක් හොයන්න දාපු මහන්සිය අපමණයි. එත් අන්තිමේ එක එකා කිව්ව ආරංචි වලින් එහාටත් මෙහාටත් පැදවුණු රථය අන්තිමේ නතරවුණේ ලුණුගම්වෙහෙරේ මහා මුකලානක් මැද්දේ . ගිනි අවුවේ කරවෙමින්, හිතවතා හොයාගෙන අන්තිමේ අපි ගියේ අක්කර කීපයක ඉඩමක්  මැද්දේ  තිබ්බ අතු පැලකට . මොකක්දෝ අහේතුවකට එතෙක් වෙලා වාහනෙන් බැස්සේ නැති  බඩ තඩියත් බතලයත් දෙන්නම වාහනේ බැස්සේ වතුර වීදුරුවක් ඉල්ලගෙන බොන අදහසින් . කොන්ඩයා හිතවතා හොයන්න ඉස්සර වෙද්දී බතලයා, තඩියා සහ මනෝජ් පසුබැස්සේ ගමන් විඩාව නිසාමයි..

ගෙදර කව්ද.. 

කතාව කොන්ඩයා පමණයි.. අනික් උන් කරෝල ගානට වේලිලා දිව ගිලිලා ඉන්න නිසා කතා කරගන්න පණක් තිබ්බේ නැහැ එකෙකුටවත්..

කව්ද......

කව්ද කියල බලන්න එලියට එන්නෙපැයි ..

ගෙදරට ආපු අමුත්තන් පිළිගන්න පැල ඇතුලෙන් එලියට ආවේ වයස පනහක විතර කාන්තාවක්..

ඇයි මහත්තයා..

කරුණාකරලා බඩු  තියනවනම් ගන්න..

කොන්ඩයා කාන්තාවගෙන් ඇසූ පැණයෙන් කොණ්ඩය කෙලින්වුන අනික් උන් තුන්දෙනා මුහුණට මුණ බලාගත්තා මිසක් කිසිම කතාවක් කලේ නැහැ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යෝදයෙක් තරම් බඩ තඩියා වාහනේ ඉදිරිපස අසුනේ ඉන්නකොට පොලිස් මහත්තයෙක් උනත් වාහනේ නවත්තන්නේ දෙපාරක් හිතල බලලයි. කොන්ඩයා ඇතුළු බතලයා සහ මනෝජ් කියන දෙදෙනාත් හයේ හතරේ එවුන් දෙන්නෙක් වීමත් වාසියට හිටියේ කොන්ඩයාට .

අනේ මහත්තයෝ දැන් අපි ඒවා කරන්නේ නැහැ සත්තයි..

අපිව අන්දන්න ලැස්ති වෙන්න එපා.. කරුණාකරලා බඩු  තියන ඒවා එලියට ගන්නවා හොඳයි ලොකු මහත්තයට කේන්ති යන්න කලින්..පේනවනේ..ලොකු මහත්තයා ඇවිත් ඉන්නේ අද.. වෙනද වගේ නෙවෙයි..
කොන්ඩයා එහෙම කිව්වේ දිව ගිලෙන්න ඔන්න මෙන්න නිසා වතුර ටිකක් ඉල්ලගෙන බොන්න වාහනෙන් බැහැපු බඩතඩියා පෙන්වමින්..

කොන්ඩයා දන්නා කියන සාස්තරෙන් විහිලුවට කාන්තාව භීතියට පත්කරද්දී, විහිළුව වැරදිලා දුරදිග ගියොත් හතර හන්දි කැඩෙන්න ගුටිකන්න වෙන එකක් නිසා කෝකටත් සූදානම් පිට ඉන්න කියල මම වාහනේ ආපහු යන පැත්තට හරවගත්තේ මුන් හතරදෙනා දාල ගිහින් හරි මගේ පන කෙන්ද බේරගන්න ඕන හින්දයි. හතරදෙනාටම ගහක ගැටගහල දිමි ගොටු දාල ගහල මී හරක් දැම්මල පෑගෙව්වත් එකෙක් හරි බේරිලා යාම වැදගත් පසුව පොලිසියෙන් එක්ක ඇවිත් හරි මිත්‍ර සමාගම බේරගන්න. හදිසියෙවත් ගහන්න එලවාගෙන ආවොත් කට්ටිය නගින්න කලින් මම වාහනේ අරන් ඉගිලෙන නිසා  ඉදිරියට යන වාහනේ එල්ලෙන්න බඩ තඩියාටනම් කීයටවත් බැරි නිසා එකේ හරි ගුටිකෑම අනිවාර්ය වෙන සිද්දියක්. 

අනේ මහත්තයෝ මේ කියන්නේ බොරු නෙවෙයි.. පුතා දැන් බිස්නස් එක නවත්තල ටික කාලයක්..

වෙන්න බෑ .. අපි මේ ආවේ අපිට ඒ ගැන තොරතුරක් ආපු නිසයි..අපිට එන තොරතුරු බොරු වෙන්නේ නෑ .. අපි ගේ සර්ච් කරන්න කලින් කරුණාකරලා බඩු  තියනවනම් ගන්න.. දන්නවනේ සර්ච් කරද්දී අහුවුනොත් ..

අනේ මහත්තයෝ.. පුතා බොන්න ගෙනාපු ඩිංගිත්තක් තිබ්බ පැලේ .. ඒ ටික ඇරෙන්න වෙන මුකුත්ම නෑ .. දෙයියම්මප්පා..

හ්ම් ..ගන්නවා ගන්නවා බලන්න තියන ඩිංගිත්ත..

බොහෝ අසරණ විලාසයෙන් පැල ඇතුලට ගිය කාන්තාව නැවතත් එලියට මතුවුනේ රුපියල් දෙකේ සිලිසිලි බෑගයක් පිරවූ ත්‍රයිලෝක විජයපත්‍ර බෑගයක්ද සමගිනුයි.. මේ කියනා වූ කාලයට සාපේක්ෂව රුපියල් දෙකේ සිලි සිලි මල්ලක් යනු එකල තිබු විශාලතම සිලි සිලි බෑගය බවට පාඨකයෝ වටහාගනිත්වා..

මෙන්න මහත්තයෝ... අනේ බුදු මහත්තයෝ නඩු නම් දාන්න එපා.. ඔය ඩිංගිත්ත ගෙනත් තියෙන්නෙත් බොන්න මිසක්ක විකුනන්න නෙවෙයි..

හොඳ ඩිංගිත්ත... බලමු ලොකු මහත්තය එක්ක කථා කරලා.. 

සර් .. මොකද කරන්නේ .. නඩු නොදා බැරිවෙයි නේද.. මෙතන කිලෝ දෙකක් විතර..

බඩ තඩියා මුකුත්ම නොකියා රථයට ගොඩවුනේ පන බේරාගෙන හැකි උපරිම වේගයෙන් පලායාමේ අරමුණෙන්..

ඕන වුනොත් පුතාව ගෙනියන්න එනවා .. බොන්නවත් ආයේ ගෙනත් තියාගෙන අහුවෙන්න එපා හොඳද.. මේ තමුන්ට දෙන අන්තිම අවවාදය..

හා සර්..

අපි ගිහින් එන්නම්.. ඕන වුනොත් අපි ආයෙත් එනව..

අනේ බුදු සර් නඩුනම් දාන්න එපා..

හිතවතාගේ නිවාස සෙවීමේ සංග්‍රාමය එතනින් අවසන් වීය. කොන්ඩයා ඇතුළු නඩය රථයට ගොඩවූ වහා ලුනුගම්වෙහෙරින් වීරවිල දිශාවට අධික වේගයෙන්  ධාවනය වූ රථයේ වු එකෙකු හැර අනෙක් සියලුම දෙනා පසුවුනේ භීතිය ප්‍රමුක සන්තෝසයෙන්.. ඒ නම් නොමිලේම ලැබුණු ත්‍රයිලෝක බෑගය ගැන උද්දාමයෙන්. බඩතඩියා ත්‍රයිලෝක ගැන මෙලෝ හසරක් නොදත් බියර් ලෝලී එකකු වීමත් සහ ඔන්න මෙන්න බොඳවී ගිය දඩමස් සිහිනය නිසාත් පසුවුනේ මහත් කනගාටුවෙන්. නොමිලේ ලැබුණු ත්‍රයිලෝක සුවය අවසන් වනතෙක් සැමගේම වීරයා වුනේ කොන්ඩයා තමයි. එත් කොන්ඩයා කරපු විහිළුව යන්තම් එහෙමෙහෙ වුනානම් අපි කට්ටියම සලාක ක්‍රමයට ගුටිකනව වෙන්න තිබ්බ.

කතරගම ගිහින් ඇවිත් සතියකට දෙකකට පස්සේ කොන්ඩයාගේ ඉඩමට හවස් වරුවේ සෙට් වෙන්න හිතාගෙන ඒ පැත්තට ගියපු අපි කට්ටියට ටවුමට ගිහින් එන්නම් මචන් කියල සමුගත්තු කොන්ඩයා ටවුන් යනවා කියල ගියේ ජපන් කියල අපි දැනගත්තේ සතියකට විතර පස්සෙයි ඔන්න.

අවුරුදු ගානක්  ජපන් ඉඳල ඇවිත් පවුලක් පන්සලක් වෙලා දරු පැටියෙකුත් හදාගෙන සාර්ථක ජීවිතයක් ගතකරන කොන්ඩයා නකල්ස් ගිහින් කට්ටියටම නුඩ්ල්ස් කන්න දීපු හැටි පසුවට. 

Tuesday, November 24, 2015

සමාගේ වික්‍රම





සිදුවීම් කිහිපයක් අලලා ලියන්නට යන මෙම පොස්ටුවේ ප්‍රධාන නළුවා වන්නේ මාගේ අඹ වර්ගයට අයත් මිත්‍රයකු වන සමායි . සමා  යනු වසර ගණනාවක් පුරාම  මාගේ දකුණු අත මෙන් සිටිනා මිත්‍රයකු වන අතර සමාගේ සම්පූර්ණ නම මෙහි නොලියා සිටීමට හේතුව වන්නේ සමා මා සමග උදහස් වෙනු ඇතැයි මට දැනෙන අනියත බියයි. 

මා යනු මාගේ සියලු ඥාති හිතමිත්‍රාදීන්ගේ ජනාදරයට පත් ප්‍රසිද්ද පුද්ගලයකු වන අතර වර්තමානය වනවිට අම්බලන්ගොඩ ප්‍රදේශයේ කිසිදු කෙනෙකු  නොකරන සුවිශේෂී වූ සේවාවක් සිය ව්‍යාපාරය කරගෙන සිටිනා වන් ඇන්ඩ් ඔන්ලි පුද්ගලයෙකි. සමාගේ ව්‍යාපාරය වන්නේ කඩේ යාමයි. නොමිලේ කඩේ යන ජනතාවක් වෙසෙන දිවයිනක මුදලට කඩේ යන සිටිනා එකම එක ජීවියා මාගේ හිතමිත්‍ර සමා පමණය. සමාගේ ව්‍යාපාර ස්භාවය නම් ඕනෑම නගර වැසියෙකුට අවශ්‍ය කරන ඕනෑම භාණ්ඩයක් නිවසටම ගෙනවිත් දීමයි. නිවසට අවශ්‍ය කරන ගෑස් සිලින්ඩරයද, ග්‍රොසරි බඩු භාණ්ඩද, උත්සව අවස්ථා වලදී මදි පාඩුවන ද්‍රව්‍යද ඇතුළු ඕනෑම දෙයක් පාරිභෝගිකයාට අවශ්‍ය කරන වෙළඳසලෙන් ක්ෂණිකවම මිලදීගෙන නිවසට ගෙනවිත් දීම සමාගේ ව්‍යාපාරයයි. නීතියෙන් තහනම් බඩු භාණ්ඩයක් නොවනතාක් මිනී පෙට්ටියක් වුවද නිවසට ගෙනවිත් දීමට සමාගේ ව්‍යාපාරය උදෑසන සිට රාත්‍රී අට පමණ වනතුරු එකලෙස සැදී පැහැදී සිටියි. තමුන් කරන්නාවූ රැකියාවට හෝ ව්‍යාපාරයට අවශ්‍ය විශේෂ ප්‍රාගුන්‍ය නමැති අංගය ඉතාම කෙටි කාලෙකින් ප්‍රගුණ කරනා වූ සමා ඕනෑම රාජකාරියක් නිර්භයව භාරදිය හැකි ඔන්ටයිම් වර්ගයේ මිත්‍රයෙක් වන්නේය.

කොතරම් සුවිශේෂී පුද්ගලයෙකු වුවද ගුරුන්ටත් අකුරු වරදින ධර්මතාවයෙන් සමාටත් ඉඳහිට අකුරු වැරදුන අවස්ථා බොහොමයකි. එහෙත් කොයියම් අවස්ථාවක වුවද මුදලට කෙරෙනාවූ ක්‍රීඩාවක් වෙත්ද එම අවස්තාවෙදීනම් සමාට අකුරුනම් වැරදුනේ නැති. මිතුරන් එකතුවී යන්නා වූ විනෝද ගමනක් වෙත්නම් සමාගේ බෑගයේ කාර්ඩ් කුට්ටම නම් වැරදුනේ නැති. රාත්‍රී නවාතැන් පොලේදී සියල්ලන්ම කාර්ඩ් ක්‍රීඩාවට පොළොඹවා ගන්නා සමා සිය ස්වයං රැකියාව ආරම්භ කරන අතර අවසානයේ සියල්ලන්ගේම විනෝද මුදල් නතරවන අවසන් නවාතැන්පොළ වන්නේ සමාගේ සාක්කුවයි.

තමා සිටිනා වටපිටාව සහ කරනා කටයුත්ත ගැන මනා අවබෝධයක් ඇති සමා ඉඳහිට අමාරුවේ වැටුණු අවස්ථාද බොහෝ වන අතර සමා නිසා මා අමාරුවේ වැටුණු අවස්ථාද අවස්ථාද එකසේම වෙයි. දිනක් මාගේ නිවසේ පැවති ඥාතියෙකුගේ මංගල උත්සවයක් අවස්ථාවේ සමා ඉතාමත් කුජීත ලෙස මා අමාරුවේ දැම්මා මෙන්ම  කම්මුල පුරවා කම්මුල් පාරක් ද ඉලා දුන්නේය. එදින සිද්දිය මෙසේයි..

මාගේ නැන්දනියගේ පුත්‍රයාගේ මංගලෝත්සවය සිදුවන්නට නියමිත දිනයේ නැන්දනියගේ නිවසට යාබද නිවසේ ඥාතියෙකුගේ අවමංගල කටයුත්තක් යෙදීම නිමිත්තෙන් මාගේ ඥාතියාගේ මංගලෝත්සවය මාගේ නිවසේ පැවැත්වීමට කටයුතු සම්පාදනය වුයේ මංගලෝත්සවය අවලංගු කරන්නට අතක් නොමැති නිසාවෙනි. බොහෝ සේ අප්‍රසිද්දියේ පැවති මංගල කටයුත්ත වෙනුවෙන් මාගේ ඥාති සහෝදරයාගේ මිත්‍රයින්ටද උදව්වක් පදව්වක් කරන්නට පැමිණෙන්නට අවස්තාවක් නැති අන්දමින් කටයුතු යෙදී තිබු නිසා දුකටත් සැපටත් සිටින්නාවූ මාගේ හිත මිත්‍ර සනා සහ ප්‍රසන්නයා උදව්වට කැඳවුයේ මා විසිනි. මා නැතත් මාගේ නිවසේ සහ ඥාති පිරිසට සමා සහ ප්‍රසන්නයා පවුලේ එවුන් සේම වූ බැවින් මංගල කටයුතු දින සියලු වැඩ සඳහා ප්‍රසන්නයා සහ සනා විසින් විශාල දායකත්වයක් සපයන ලදී. 

සියල්ල අකුරට සුදානම් කර තිබු අවස්ථාවේ මනාල යුවල රැගෙන ඒමට යාමට මා සූදානම් වීමි..

මා.. මම යනවා එහෙනම් කපල් එක අරන් එන්න.. බොල මෙතන වැඩ ටික බලාගනින් එහෙමනම්..

හරි මචන්.. ගිහින් වරෙන්..

ඉඳා .. මේ සල්ලි වලින් රතිඥ්ඥා පැකට් එකක් ගෙනත් පත්තු කරහන් අපි එද්දී.. ගොඩක් ඕන නැහැ හරිද.. රතිඥ්ඥා දහයක් තිබාම හොඳටෝම ඇති.. මේක බොහොම අප්‍රසිද්දියේ ගන්න මගුලක්නේ බන්.. මම ටවුන් එක හරියෙන් කෝල් එකක් දෙන්නම්.. 

හරි .. උඹ පලයන් එහෙමනම්.. වැඩේ තියෙන්නේ රෑ නිසා අහස ගුන්ඩු ටිකක් එහෙම තිබ්බනම් මරු ..

මොන අහස්ගුන්ඩුද බන්.. රතිඥ්ඥ ටික පත්තුකරන්නෙත් නොකර බැරි නිසා.. මරණයක් වෙලා තියෙද්දී එහෙම හරි නැහැනේ බන්..රතිඥඥා පත්තු කරනවටවත් බාප්පල කැමති නැහැ ..මගේ කටේ බලේට තමයි රතිඥ්ඥ ටිකත් පත්තු කරන්නේ බන්... 

හරි උඹ පලයන්කෝ..අපි වැඩේ කරන්නම් තිතට..

මනාල යුවල රැගෙන ඒමට පිටත්වූ මා ඔවුන්ද රැගෙන නිවසට ආසන්නයට පැමිණෙන විට සැලසුම් කල පරිදි රතිඥ්ඥා පත්තු වීමට පටන් ගත්තේ මංගල උත්සවයක සුපුරුදු උත්සව ශ්‍රීය ගමටම කියාපාමිනි. මනාල යුවල නිවසේ බස්සවා රථය ගාල්කළ මා නිවසට දුව ආවේ වැල නොකැඩී පත්තුවෙන රතිඥ්ඥා ශබ්දයට අමතරව අහස්කුස සිසාරා අහස්ගුන්ඩුද පුපුරන්නට පටන්ගත් විමතියෙනි.

නවතපන් යකෝ ඕක.. තොපි මාව කන්නද හදන්නේ..

කටවහන් හිටු.. අපේ වැඩේ අපි කරන්නම්..

මම තොපිට කිව්වනේ අහස්ගුන්ඩු ගේන්න එපා කියල..

යකෝ මගුලක් කරනකොට ඒක ලස්සනට කරන්න ඕන..

මාගේ වැඳවැටීම නොලසකා හැරි සමා සහ ප්‍රසන්නයා  එක දිගට අහස සිසාරා අහස්ගුන්ඩු පත්තු කරමින් විනෝද වුයේ කලකට පසු නොමිලේ ගිනිකෙළි සමග විනෝදවීමට ලැබුණු අවස්ථාවෙන් උපරීම ප්‍රයෝජන ගනිමිනි. සමාගේ අතේ අහස්ගුන්ඩු මිටියක් වූ අතර ප්‍රසන්නයා අතේ රතිඥ්ඥා පනහක පෙට්ටියක් වීය. මාගේ නිවසට හිමි භූමි භාගයේ කොනක වූ උස් ස්ථානයක සිට අහස්ගුන්ඩු යවමින් සිටි සමා සිහිනයෙන් වත් නොසිතු ලෙසින් අත වැරදී අහස්ගුන්ඩුවක් මංගල පිරිස දෙබෑ කරමින් නිවස තුලට ගොස් පුපුරා ගියේ ඉතාමත් අනපේක්ෂිත ලෙසයි. මංගල පිරිසද නොසන්සුන් ආකාරයෙන් හිස් ලූ..ලූ.. අත දුවන්නට වූ අතර රතිඥ්ඥා ද වැලට පත්තු වෙමින් තිබුණි.

මොකද්ද යකෝ කරේ.. 

හරි බන් හිතල කරේ නැහැනේ.. මේක පොඩ්ඩක් අල්ලගනින්.. 

මාද ගොන් වස්සකු සේ සමා අත  තිබු අහස්ගුන්ඩු මිටිය සුරතට ගත්තේ අහස්ගුන්ඩු යැවීම නවත්වන අභිලාෂයෙනි..

කව්ද බූරුවෝ ගේ ඇතුලට අහස්ගුන්ඩු එව්වේ.. තොට මම කිව්වනේ ඕවා ගේන්න එපා කියල..

මාගේ බාප්පා යක්සාරූඩයෙන් නිවස තුලින් මතු වූයේ එසේ මා අමතමිනි.. අඩියට දෙකට මා අසලට පැමිණි මාගේ ආදරණීය බාප්පා මා අසලට ලංවුයේම අහසේ පායා තිබුණු තරු පොකුරු පිටින් ඔලුව වටේ කරකැවෙන ප්‍රමාණයේ කන පුරවා පාරක් මාගේ වම් කනට ප්‍රධානය කරමිනි..

චටාස්..

මම කිව්වා නේද බොට රතිඥ්ඥ ගෙන්න එපා කියල.. තෝ රතිඥ්ඥ මදිවට අහස්ගුන්ඩුත් ගෙනාවද බූරුවෝ..

මම නෙවෙයි බාප්පේ.. මෙන්න මුන්  .. මම මගින් මගට එපා කිව්වා.. 

කව්ද දැන් උඹ කියන්නේ මුන් කියල..

කණ පුරවා වැදුණු කනේ පාරෙන් අන්දමන්ද වී සිටි මා සිහි එලවා ගත්තේ තත්පර කිහිපයකට පසුවයි..

උඹ එපා කිව්වා වැඩේ කරා මදිවට දැන් බොරුත් කියන්න එනවා මෙතන.. උඹේ අතේ අහස්ගුන්ඩු මිටිය තියාගෙන උඹ දැන් කියන්නේ උඹ නෙවෙයි අහස්ගුන්ඩුව ගේ ඇතුලට එව්වේ..

මම එකපාරක් කිව්වනේ බාප්පේ.. මම නෙවෙයි.. මෙන්න මුන් දෙන්න..

මුං .. මොක්කුද බොල මුං කියන්නේ..

නොකළ වරදකට තවදුරටත් චෝදනා විඳීම නොහොඹිනා බැවින් සමා සහ ප්‍රසන්නයා  අමු අමුවේ පාවාදීමට පිටුපස බැලූ මා හට වැටහීගියේ මා හැරුණකොට මා අවට කිසිවෙකුත් නොමැති බවයි. මා අසල වූ ගල් පොත්ත උඩ රතිඥ්ඥා පෙට්ටියද වූ අතර ගලෙහි හිටවන ලද පත්තුවෙන ඉටිපන්දම පමණක් මාගේ තනිකමට වීය.. ඒ මදිවාට අහස්ගුන්ඩු මිටියක්ද මා අතය.. 

නිවස තුල පුපුරා ගිය අහසගුන්ඩුවට පින්සිදුවන්නට මුළු මගුල් ගෙදරම ජනතාව නිවසින් එලියට පැන බලා සිටින්නේ  මට ශුද්ද සිංහලෙන් දෙහි කපන බාප්පා සහ සත්ගුණවත් අසරණ මා දෙසය. ප්‍රදර්ශනාගාරයක ප්‍රදර්ශනයට තබා ඇති අගනා වස්තුවක් ආකාරයේ අවදානයක් මා වෙත යොමුවී තිබු අතර ප්‍රදර්ශනය නරඹන ජනතාව අතර සිට කාටත් නොපෙනෙන අයුරින් මා වෙත ටටා පාරක් දැමු සනාත්, ප්‍රසන්නයාත් හඳුනාගන්නට මට වැඩි අපහසුවක් වුයේ නැති. මා අත  තිබු අහස්ගුන්ඩු මිටියම පත්තු කර සමා සිටිනා දිහාවට යැවීමට සිතුනද ඊට කලියෙන් මා අත තිබු අහස්ගුන්ඩු මිටිය මගෙන් උදුරා දෙකට තුනට කඩා දැමු බාප්පා අසල තිබු රතිඥ්ඥා පෙට්ටියද පොළොවේ ගසා එතනින් නික්මයන විට එතෙක් කල් මා විසින් විචිත්‍ර ලෙස අමාරුවෙන් පින්තාරු කරගෙන තිබු මාගේ සායම සියල්ල සේදී ගොස් අවසානය.

මගුල් ගෙදර උත්සවය අවසන් වනතෙක්ම කුස්සිය පැත්තේ රාජකාරී වල පමණක් මා යෙදී සිටියේ ඉදිරිපස කොටසේ සිටිනා වූ උදවියගේ මුහුණ බැලීමට තරම් ගැම්මක්, දෙනෝදාහක් ඉදිරියේ කනේ පාරක් කෑ මා වෙත නොවූ බැවිනි. එහෙත් ලූලා නැති වලට කනයා පණ්ඩිතයා න්‍යායෙන් සමා සහ ප්‍රසන්නයා පෙරමුණේ රාලලා වුයේ මාගේ මුදලින්ම අහස්ගුන්ඩු යවා විනෝද වීමෙන් අනතුරුවය.

ඉන් දින කිහිපයකට පසු සමා විසින් මාව නැවතත් අමාරුවේ දැමුයේ ඉතාමත් කුජීත ලෙසය.. 

එදින සිකුරාදාවක් වූ අතර රැකියාවට ගොස් පැමිණි මා මාගේ වෙළඳ ස්ථානයේ රැඳී සිටියේ කඩය වැසූ වහා කොල්ලන් සමග සෙට් වීමට කලින්ම සැලසුම් කරතිබූ බැවිනි. සමාද රැකියාව අවසන් වී මාගේ වෙළඳ ස්ථානයට පැමිණියේ මා සමගම සෙට් වීමේ කටයුත්තට යාමටයි.

මා.. මම කඩේ වහනකම් උඹ ගෙදරට ගිහින් කාර් එක අරන් වරෙන්..

ඉතින් කඩේ වහලම යමන් බන්..

යකෝ.. කඩේ වහල මෙහෙම්මම යන්න පුළුවනි.. ගෙදර ගියොත් දාහක් ප්‍රශ්න වලට උත්තර දෙන්නත් වෙනවනේ.. උඹ ගිහින් කාර් එක අරන් වරෙන්..

හරි.. මම ගිහින් එන්නම් එහෙමනම්..

මා මාගේ මොටෝවෙන් මාගේ නිවස බලා ඉගිලුනේ මෝටර් රථය රැගෙන එමටයි.. එහෙත් සනාගේ පැමිණීමට පෙර සනාගේ ජන්ගමයෙන් මාගේ ජන්ගමයට ඇමතුමක් ලැබෙන්නේ මේ අතර වාරයේදීයි..

මොකෝ බන්..

ඉස්සරහ රෝදේ හුලන් නෑ යකෝ..

ඉස්සරහ මොන රෝදේද..

ඩ්‍රයිවර් පැත්තේ රෝදෙ බන්..

හරි බන්.. ඕක ඉතින් මහ දෙයක්ද.. ඩිකිය ඇරලා ස්පෙයාර් වීල් එක අරන් ජැක් එකත් අරන් රෝදෙ මාරු කරන්  වරෙන්..

මට තේරෙන්නේ නැහැ රෝද මාරු කරන්න..

ඕක මහා දෙයක්ද බන්.. ඩිකිය ඇරපන්.. ගනින් ජැක් එකයි, වීල් බ්‍රෂ් එකයි, ස්පෙයාර් වීල් එකයි.. ඉස්සෙල්ලම රෝදෙ නට් හතර වට භාගයක් බුරුල් කරපන්. ඊට පස්සේ ජැක් එක කාර් එක යටින් තියල කරකවපන්.. රෝදෙ ඉස්සුනාම නට් හතර ගලවල රෝදෙ අයින් කරලා අලුත් රෝදෙ දාල තදකරල ජැක් එක බාපන්..

අපරාදේ බන්..

මොකක්ද දැන් රෝදෙ මාරු කරන එකේ තියන අපරාදේ ..

නැහැ බන්.. මට එහෙම්ම ගියානම් උඹේ රෝද මාරු කරන්න වෙන්නේ නැහැනේ..

හරි.. දැන් තෝ ගියේ නැහැනේ.. දැන් ඕක මාරුකරගෙන වරෙන්.. බොලාට කාර් එලවන්න පුළුවනි රෝද මාරු කරන්න තමයි බැරි.

මා දුරකථනය විසන්දිකොට නිහඬ වූ නිසා මා නැවතත් කඩය වසන කටයුත්තේ නියලුනෙමි. කඩය අතුගා, මුදල් ගනුදෙනු පිළිවෙලට සකසා, දුම් අල්ලා, දවසේ සියලු වෙළඳ කටයුතු අවසන් කිරීම දිනපතාම සිදුවන බැවින් සුපුරුදු පරිදි සියල්ලම එකින් එක කරමින් සිටි මා හට නැවතත් සනාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන්නට විය.

මොකෝ බන්..

මේ ජැක් එක ඉස්සෙන්න මොන පැත්තටද කරකවන්න ඕන..

දකුණු පැත්තට බූරුවෝ..

මම කරකැව්වා ..ජැක් එක වදින්නේ නැහැ..

අනේ පල යන්න.. ඔය ජැක් එකට හෙන ගහලද බන්.. ඕකෙ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ..

බොරුනම් ඇවිත් බලහන්..මේ ගහනව ගහනවා වාහනේ ඉස්සෙන්නේ නැහැ යකෝ..

වෙන්න බෑ .. හොඳට බලහන් ජැක් එක කැරකෙනවද කියල..

ඔව් බන් ඔව්.. මේ යස අගේට කැරකෙන්නේ.. මුල් ටිකේ ටිකක් ඉස්සුනා.. ඊට පස්සේ ඉස්සෙන්නෙම නැහැ..

හිටහන් මම කඩේ වහල එනකම් එහෙනම්..

ලහි ලහියේ කඩය වැසූ මා නිවසට යද්දී සනා මාගේ රථය අසල ඇන තියාගෙන රෝදය දිහා අනිමිස ලෝචනයේ යෙදී සිටි අතර ගමනේ තිබෙන්නා වූ හදිසිය නිසාවෙන් ක්ෂණිකව රෝදය මාරුකිරීමට මා රථය වෙත ලංවුයෙමි ..

අහෝ දුකකි.. ඉරකි.. තිතකි..

සනා නැවතත් මාව කුජීත ලෙස අමාරුවේ දමා ඇත... එනම් සනා ජැක් එක තබා ඇත්තේ මෝටර් රථයේ ෆලෝ බෝර්ඩ් එකට නොහොත් යට තහඩුවටය.. මදක් දිරුම් සහිතව තිබී ඇති තහඩුව දෙබෑ කරමින් මෝටර් රථය ඇතුලෙන් මතුවී ඇති ජැක් එක රථයේ අක්ස්ලේටරයද දෙකට නවමින් උඩට විත් විරාජමාන වී තිබෙනු මා දුටුවේ රථයේ රියදුරු දොර විවුර්ථ කර බැලීමෙන් අනතුරුවයි. 

තෝ කොහෙටද බූරුවෝ ජැක් එක තිබ්බේ..

උඹ කිව්වේ කාර් එක යටින් ජැක් එක තියල කරකවපන් කියලනේ.. ඉතින් මම උඹ කිව්ව විදිහටම කරා..

වරද මාගේ බැවින් එතනින් එහා නඩු අසා පලක් නැති නියාවෙන් මෝටර් බයිසිකලයෙන්ම සෙට් වීමේ කර්තව්‍ය සඳහා පිටත්ව ගියද මෝටර් රථය යථා තත්වයට පත්කර ගැනීමට මොණරු කිහිපයක් වියදම් කිරීමට මා හට සිදුවීය..

එක්දහස් නවසිය අනූ නවය ආසන්න කාලයක සමා මා අමාරුවේ දැමූ  තවත් එක අවස්ථාවක්  වීය. එකල සමා සහ මා යන දෙදෙනාම රැකියාව කලේ එකම ආයතනයේ බැවින් කලාතුරකින් එකට රාජකාරියේ යෙදීමට අවස්තාව ලැබෙනුයේය. සමා මා රැකියාව කල ආයතනයේ අලවි අංශයේ රැකියාව කල අතර මා රැකියාව කලේ කාර්මික අංශයේයි. දිනක් විශේෂිත වූ රාජකාරියකට සමා අනුරාධපුර පැමිණ සිටි අතර මාද අනුරාධපුරයේ රාජකාරි කරන සතියක් විය. දෙදෙනාම රාජකාරී රථ නොමැති සතියක් වූ බැවින් දෙදෙනාගේම ගමන් සගයා වුයේ බස් රථයයි. එදින සමා සහ මම නැවතී සිටියේ අනුරාධපුරයේ නව නගරයේ ලැගුම් හලක වන අතර හවස් අතේ කරන්නට යමක් නොමැතිව දෙදෙනාම අන්දමන්ද වී සිටි දිනයක් වුයේය.

මොකද බන් කරන්නේ..

මොනා කරන්නද බන්.. ටවුම පැත්තේ ගිහින් මොනාහරි ගෙනල්ල බීල මොනාහරි කාල නිදාගමු බන්..

කිසි ගතියක් නැහැනේ බන්..

මොන ගතියක්ද යකෝ.. බීව.. කෑවා.. නිදාගත්තා.. වෙන මොනවා කරන්නද ඉතින්..

එහෙම නෙවෙයි.. අපි බොන දෙයක් අරගෙන යමු පීරලාගේ ගෙදර..

පීරා යනු අපගේ නිල වාහනයේ රියදුරාගේ ඥාති පුද්ගලයෙක් වන අතර එම නිවස පිහිටියේ අනුරාධපුර සිට සැතපුම් අටක් පමණ කැලෑබද ප්‍රදේශයකයි.  සමා සහ රියදුරා අනුරාධපුර රාජකාරි කරනා සතියේ රාත්‍රී ලැගුම් ගන්නේ එම නිවසේ වන අතර එමගින් ඔවුනට ආයතනයෙන් සැපයෙන රාත්‍රී නැවතුම් දීමනාව ඉතිරි කරගැනීම සමාගේ සහ රියදුරාගේ මුක්‍ය පරමාර්ථයයි. මාද රියදුරා සමග අනුරාධපුර පැමිණි දිනෙක එම නිවසට පය ගසා ඇති අතර එම නිවසේ රාත්‍රී නැවතීමට මාහට කැමැත්තක් තිබුනේ නැත. රට පුරා ඥාතීන් සිටින සමාටත් අපගේ රියදුරාටත් රාත්‍රී නැවතීමට ලැබෙන දීමනාව දෝත බදා සාක්කුවේ දමාගැනීමට අවස්ථාව ලැබුනත් මා ඒ තරම් වාසනාවන්තයෙකු නොවුයේ මා හට රටපුරා ඥාතීන් නොමැති වූ බැවිනි.

අපි දැන් පීරලාගේ ගෙදර යන්නේ කොහොමද යකෝ.. ගියත් යන්න වෙන්නේ බස් එකේ..අනික උගේ ඥාතියත් නැහැ.. අනික මොන මගුලටද බන් එහෙ යන්නේ.. දැන් මෙතනින් කාල නිදාගන්න එකේ..

අනේ යමන් බන්.. අපි බස් එකේ යමු.. අතුල අපිව බස්සල වෙන ගමනක් ගියා කියමු.. අපිව එක්කන් එන්න එනවා කියමු..

දැන් එතකොට එන්නේ..

අන්තිම බස් එක රෑ අටට එහෙන් එන්නේ.. ඒකෙ  එමු..

ඉතින් දැන් අතුලයා එක්කන් එන්න එනවා කියල තියෙද්දී  කොහොමද බං ගේ ඉස්සරහින් බස් එකේ නගින්නේ..

හරි බන්.. ඒ එනකොටනෙ..

දැන් තෝ මොකද මේ තරම් පීරා බලන්න යන්න සෙනෙහස කියපන්..

විශේෂයක් නැහැ බන්.. නිකම් යමන්..මේකෙ ඉන්න කම්මැලියි 

නිකම්... උඹ සල්ලි වියදම් කරන්  උන්නැහේට බොන්න අරන් යන්නේ ඊට වඩා ලොකු ලාභයක් බොට තියන නිසයි..උඹ මේ යන්නේ අංකල් බලන්න නෙවෙයි අන්කල්ගේ දුව බලන්න..තෝ මට සුදුලූනු පොඩිකරන්න එන්න එපා පුතෝ..

මට මොන ලාභයක්ද බන්.. වෙනදත් යන්නේ බොන්න අරගෙනනේ.. ඉතින් හිස් අතින් යන්න බැහැ බන්..

දැන් උඹ මට කියන්නේ අර වලපයයි ගොඩ පයයි ඉන්න වයසක මනුස්සයට බොන්න දීමේ පුණ්‍යකර්මයට මටත් සහභාගී වෙන්න කියලද..

මෙතන හිටියත් නිකම්නේ බන්.. ඔන්න ඔහේ යමන්.. මා ගානේ සියලු වියදම්...

හරි යමන් එහෙමනම්.. හැබැයි පුතේ අටේ බස් එකේ එන්න ඕන හරිද..

හරි බන් හරි .. ඒකෙ නෑවිත් එන්න විදිහක් නෑනේ..

අප දෙදෙනා රැගත් බස්රථය අනුරාධපුරයෙන් පිටත්වන විට සවස පහද පසුවී තිබූ අතර අදාළ නිවසට කලින් තිබෙන බස් නැවතුමෙන් බසයෙන් බැසගත් අප දෙදෙනා පා ගමනින් එම නිවසට ලඟා වනවිට සවස හයද පසුවී තිබුණි ..

ගෙදර කව්ද..

කව්ද...

මේ අපි අපි ...

ආ මේ අයියලනේ... තාත්තේ... අර අයියල ඇවිල්ලා...

ආ එන්න එන්න පුතාල ගෙට.. අද මොකෝ මේ පයින්..

නෑ අංකල්... වාහනේ ආවේ.. අතුල ගියා වෙන ගමනක් ගිහින් එන්න කියල.. ටිකකින් ඒවි..

කෝ වාහනයක් එන සද්දයක් ඇහුනේ නැහැනේ..

වාහනේ රෙපෙයාර් කරානේ අංකල් .. දැන් සද්දේ වෙනදට වඩා හුඟක් අඩුයි..

ඒක මිසක්.. එමු එමු ගෙට..

මා තකහනියේ මේ මුකලානේ ගෑටුවේ කුමකටද යන්න පැහැදිලි වුවත් එය කතා කිරීමට සුදුසු වෙලාව එය නොවන බැවින් හොඳ ළමයකු සේ සිටීමට මම ඉටාගත්තෙමි. අප ගෙනගිය හතරැස් බෝතලයද ටීපෝවක් උඩ ස්ථානගතවූ අතර ටීපෝව වටේ පුටු තුනක වාඩිවූ අංකලයාත් , සමාත්, මමත් යාන්තමින් අනුමත වීමට පටන් ගත්තද මාගේ ඔලුගෙඩිය තුල නිරන්තරයෙන් සැරිසැරූ කාරණාව වුයේ අවසන් බස්රථයෙන් නවාතැනට සැපත්වීමයි.

හතරැස් බෝතලය ටිකෙන් ටික, මාගේ මිත්‍ර සමා සහ සනාගේ හිතවත් අංකලයාගේ උදරයේ තැන්පත් වෙද්දී ටීපෝව මත තිබුනාවූ වැව් මාළු බැදුම සීග්‍රයෙන් මාගේ උදරය වෙත ගබඩා කරවීමට මමද එකසේ දායක වූයෙමි. යහමින් බයිට් තිබෙනා තැන්වල මද්‍යසාර වලින් බඩ පුරවා ගැනීමේ අවාසිය බයිට් ලෝලී මාගේ පාඨක උදවිය හොඳින් දන්නවා යයි සිතමි. එම න්‍යායට අනුව බොනවා යයි ඇඟවීමට යන්තම් තොලගෑමක්ද ඉඳ හිට කරන මා බැදපු වැව් මාළු එකින් එක කා දමන අතරේ මුළුතැන්ගෙය දෙසින් අපවෙත විශේෂයෙන් සැකසෙන රාත්‍රී ආහාරයේ සුවඳද මා අමන්දානන්දයට පත්කරවීය. 

කෝ මේ අතුල තාම නැහැනේ..

දැන් ඒවි ආන්ටි.. යාලුවෙක් ඉන්නවා කිව්වා හම්බෙලා එන්න ගියේ..

දැන් එතකොට මේ ළමයි මෙහෙ රෑට ඉන්නවා නේද..

අනේ අද ඉන්න බෑ ඇන්ටි.. අපි අද නැවතුනේ කැකිරාවේ කාමර දෙකක් අරගෙන .. අංකල් බලල යන්න තමයි ආවේ..

සනා ඇඟට පතට නොදනී මහා පතරංග බොරු ඇදබාමින් දෙමහල්ලන් මුලාවේ දමද්දී බැදපු වැව් මාළු සියල්ලට වගකීමේ රාජකාරිය මම අකුරට ඉටුකලද වරින් වර මතකයට එන රාත්‍රී අවසන් බස් රථය ගැන මතකය මාගේ රසවින්දනයට විශාල භාදාවක් වීය..

මා අපි එහෙනම් මේක ඉවරයක් කරලා යන්න ලෑස්ති වෙමු නේද..

අයියෝ පුතාල කොහේ යන්නද මේ හදිසියේ.. අතුල එනවා කිව්වා නේද එක්ක යන්න.. 

ආ.... ඔව් ඔව් අංකල්.. අතුල දැන් ළඟ එනවා ඇති..

ආ එහෙමනම් අතුලත් ආවාම කෑම ටිකක් එහෙම කාල යන්න බැරිය..

අයියෝ අයියල අද මෙහෙ ඉන්නේ නැද්ද.. මම මේ බලන් හිටියේ උදේට අයියලාගේ වෑන් එකෙන්ම ක්ලාස් එක ගාවට බස්සගන්න..

අද අපි නැවතුනේ කැකිරාවෙනේ නංගි .. ඒ හින්ද ඉතින් යන්න ඕන..

අංකල්ගේ දෝනියැන්දෑද අප අවට ගැවසෙමින් අවශ්‍ය අඩුම කුඩුම සියල්ල ටීපෝව මතට වැඩම්මවීමට විශාල දායකත්වයක් දැක්වූයෙන් මාගේ වැව් මාළු කෑම අඛණ්ඩව කරගෙන යාමට මාහට හැකි වුවද අත් ඔරලෝසුවේ වෙලාව දුටු මා එකවරම කලබලයට පත්වීම අංකල්ට කුතුහලයක් වීය..

මොකෝ ප්...පුතා..

හොඳටම රෑ වෙලානේ අංකල් ..

ටීපෝව යටින් කකුල දමා සමාට පයින් පහරක් ගසා සමා දිහා ඔරොවා බැලුවද සමාට නවාතැනට යාම ගැන නිනව්වක් නොවීය..

ක් ...කොහේ රෑ වෙලාද ප්....පුතා.. ත් ..තාම හතාමාරයිනේ...

හතරැස් බෝතලයේ අඩකට වඩා අඩුවී තිබුණු ඒ අවස්ථාවේ මාගේ හිත මිත්‍ර සමාටද රාත්‍රී අවසන් බස්රථය ගැන මතකයක් තිබුනාද කියා සැක සහිතය..

ඔ..ඔව්.. අන්කල්.. මොන රෑ වෙලාද.. තාම මේ කළුවර වැටුන විතරයිනේ..

මම නැවතත් ටීපෝව යටින් පයින් පාරක් දමා ඇන්නද සමා කිසිදු ප්‍රතිචාරයක් නොමැත..


හතරැස් බෝතලය අහවර වන්නට කාලක් පමණ තිබියදී රාත්‍රී අටේ අවසන් බස් රථය අංකල්ගේ නිවස පසුකරමින් අනුරාධපුර දිහාවට ඉගිලිද්දී සමා උන්නේ අංකල් සමග ජයට සව්දිය පුරමිනි. ටීපෝව යටින් කකුල දමා කී වාරයක් පයින් ඇන්නාදැයි මතකයේ නැතත් සමාට නම් ගානක්වත් උනේ නැති..

පුතාල එහෙනම් කාල ඉමු නේද.. අතුල ආවාම අතුලට කන්න බැරිය ..

හ් ...හා ආන්ටි ..ක්.. කාල ඉමු එහෙමනම්..

ප් පුතාහ් ..ක්...ක්.. කමු...

හරි අංකල් කමු ...

ම් ..ම් ...මචං ..අ..අප්පි.... ක්..කමු...

මමත් මේ කල්පනා කරේ තෝව උයල කනවද..බැදල කනවද..අමුවෙන්ම කනවද කියල තමයි..

ම් ....ම් .මොකක්ද ප් ...පුතාහ් ...

නෑ අංකල් මුකුත් නෑ... මම මේ කිව්වේ අංකල්ලා හුඟක් මහන්සි වෙලා අපිට කන්න දෙන්න..

අ...ආ..අයියෝ..පුතාහ් ... ඒ ..එව්ව ..ආ ..ආගන්තුක ..ස් ..ස් ..සත්කාර නෙව..අ..අනික.. මේ..පුතාලාහ් ..ප්..පිට ..මිනිස්සුය..

මේසයට වාඩි වූ සමා සහ මම කන්නට බෙදාගත්තද කන්නට පිරියක් මා වෙත නොවුනේ බැදපු වැව් මාළුන් සෑහෙන පමණක් කෑ නිසා සහ ඊළඟට කන්නට වෙන පරිප්පු නැව ගැන නිරන්තරයෙන් සිහිවීම නිසාවෙනි..

මොකද මේ අතුල පරක්කු දන්නේ නැහැ නේද..

ද් ..දන්නේ න් ..නෑ නැන්දේ.. ව් වාහනේ ප් ..පොඩි අවුලක් ත් ..තිබ්බ.. ක්..කැඩුනාවත්ද දන්නේ නෑ ..

මීට පැයකට හමාරකට ප්‍රථමව ආන්ටි දැන්  නිකම්ම නිකම් නැන්දා වී ඇති අපුරුව කේන්තියෙන් විඳිමින් බත් කටක් දෙකක් කෑවයින් නොකෑවායින් මා අත සෝදාගෙන මේසයෙන් නැගිටවිත් එළියේ ඇති ලී බැංකුවේ වාඩිවී කල්පනා කරන්නට වුයේ සැතපුම් අටකින් එහා ඇති අනුරාධපුර නගරයට යාමට ක්‍රමයක් ගැනයි. යන්තමින් රාත්‍රී නවය පමණ වනවිට සමා කෑම අවසන්කොට මේසයෙන් නැගිටි වහා මම නිවස තුලට ගොස් මාව එලියට ඇදන් ආවෙමි..

යන්නේ නැද්ද බූරුවෝ..

හරි හරි බා.....න් ... උම්බට හදිසිනම් යමන්...

මං  තෝව කනවා අද දැනගනින්.. හිටහන්කෝ පොඩ්ඩක්..

අංකල් අතුල එන්න පරක්කු මොකද දන්නේ නැහැ.. අපි ටිකක් ඉස්සරහට පයින් යන්නම්.. මොකක් හරි කරදරයක්ද දන්නේ නැහැනේ..


ම් ...මේ...කළුවරේ... ක්..කොහොමද ප් ..පුතා යන්නේ..ඔ..ඔන්න්න ඔහෙ ත්..තව ටි..ටිකක් ඉඳල බ් ..බ් ලන්න..

ඔව් පුතා මේ දවස්වල තනියත් ටිකක් මේ පැත්තේ කරක් ගහනවා.. පයින් යන එකනම් ඒ තරම් හොඳ නැහැ..

ඔ..ඔව්.. ම..මචං ..නැන්ද කියන න් ..නිසා තව ට් ..ට් ..ටිකක් ඉම්මු...

බෑ ආන්ටි.. අතුල නාවොත් අපිට කොහොමත් යන්න වෙනවා අතුලට මොකද උනේ හොයන්න.. ඒ හින්ද අපි ටිකක් ඉස්සරහට යන්නම්.. යන එන ත්‍රී වීල් එකක් ආවොත් එකේ නැගල ටවුමට යන්න පුලුවනිනේ..

මේ වෙලාවේ මේ පැත්තට ත්‍රී වීල් එන්නේ නැහැ දරුවෝ..

කමක් නැහැ ආන්ටි.. අපි ටිකක් ඉස්සරහට යන්නම්කො..

ම් ..ම් මචං ..අහපන්කෝ නැන්ද කියන දේ.. අ..අපේ හ් ..හොඳට නේ ක් ..කියන්නේ..

අංකල් පුටුව උඩම නිදි කිරා වැටෙද්දී නිවැසියන්ගෙන් සමුගත් අප දෙදෙනා කෑලි කැපිය හැකි අන්කාරයේ තරු එළියෙන් පාර අසාගෙන අනුරාධපුර දිහාවට ගාටන්නට පටන්ගතිමු..

අ..අවුලක්..නෑනේ මචං..අ..අපි කොහොමත් ඉ..ඉන්න නෙවෙයිනේ ආවේ නේද..

තෝ මගෙන් මැරුම් නොකා එනවද නැත්තම් නැන්දලහටම ඇරලන්නද ..

අරි..අරි.. බන්.. උම් ..උඹ මගේ බොක්කනේ... ෂින්ඩුවක් කියාගෙන යමන්..

සියල්ල අවසානයේ අප දෙදෙනාටම අපගේ නවාතැන් පොළ වෙත පයින් ඒමට සිදුවූයේ පසුපසින් පැමිණෙන සියළුම වාහන වලට අත දමමිනි. කලාතුරකින් අප පසුකර ගිය  කිසිදු වාහනයක් අප පසුකරමින් නොනවත්වා ගියා මිස අපහට අනුකම්පාවක් නම් දැක්වුයේ නැති. මුළු දුරෙන් සැතපුම් හතක් පමණ දුරක් පයින් ආවාට පසු අප ගැන අනුකම්පාකළ බස් රියදුරෙක් අපව බස් රථයට ගොඩකර ගත්තද එම ස්ථානයේ සිට අපගේ නවාතැන්පොලට සැතපුමක්වත් දුරක් තිබුනේ නැත. අවසානයේ රාත්‍රී එකොළහද පසුවී නවාතැන වෙත පැමිණෙද්දී නවාතැනේ ගේට්ටුවද වසා යතුරු දමා තිබු අතර තාප්පයෙන් පැන ඇතුළුවී සේවක කාමරයට පැය භාගයක් පමණ තඩිබා ප්‍රධාන දොර විවෘත කර ගත්තෙන් ඇඳක නිදාගැනීමේ වාසනාව පෑදුන අතර පාරේ බස් නැවතුමක නිදාගැනීමට තිබු අවස්ථාව අනූ නවයෙන් ගිලිහුණි. 

එදා බස් නැවතුමක රාත්‍රිය ගතකරන්නට සිදුවුයේ නම්, අද වනවිට සමා අවසන් ගමන් ගොස් වසර දහසයක් වන්නට තිබුණි. 

අලි ඉන්නා කැලෑවක් මැදින් කට්ට කළුවරේ සැතපුම් හතක් නොහොත් කිලෝමීටර එකොළහක් පයින් යැවීමේ කටයුත්තේ දෙවැනි කොටස ලෙස මාගේ මෝටර් සයිකලයද තල්ලු කරගෙන එවන් ආසන්න දුරක් කළුවරේ පයින් ගිය සිද්ධිය මනින්නා පෝස්ටුවේ මීට වසරක පෙර ලියා ඇත. මනින්නා පෝස්ටුව මෙතනින් බැලිය හැකි අතර එම පෝස්ටුව ලීව දින පටන් මනින්නා මා සමග වැඩි ඇයිහොඳයියක් නම් නොමැත..අදින් ලියවුනු පෝස්ටුවෙන් පසු සමාද මා සමග වැඩි ඇයිහොඳයියක් නැති වීමට ඉඩ ඇති අතර සමා අනුරාධපුරයේදී සුවිශේෂී ක්‍රමයකට දත් මැද්ද හැටි ගැන පෝස්ටුවක් ලිවීමටද හිතේ කොනක අදහසක් ඇත. 

දරුණු වන සතුන්ගෙන් , අලින්ගෙන් , තනි අලියාගෙන් ගහන කැලෑවක් මැදින් නිරුපද්‍රිතව පයින් ඒමට හැකිවූ එකම රහස, පාඨකයින්ගේ ප්‍රයෝජනය පිණිස  ලියා තැබීම මාගේ වගකීම වන්නේය. එම රහස නම්, හතරැස් බෝතලයෙන් ලැබුණු නව ජවයද සහිතව අප දෙදෙනාගේ පාද යාත්‍රාව අලංකෘත කරනු පිණිස සමා කළුවරේ සිංදු කියන්නට පටන් ගැනීමයි. එහි ප්‍රතිපලය නම් සමාගේ පට්ට අවුට් සෘතියෙන් අහලකවත් නොමැති සිංදු අසා සිටීමට නොහැකි වූ තනි අලියා ප්‍රමුඛ සියලු භයානක වන සතුන් පැත්ත පලාතකවත්  නොසිට සමාගේ සින්දු නෑසෙන දුරකට කැලේ කඩාගෙන දිවයාමයි. 

Monday, November 16, 2015

අපි කරවල කූරියන් වීමු





බඩ තඩියාත් මමත් එකම පාසලේ උගත්තද සාපෙළ හැදෑරුවේ එකම පන්තියේ නොවේය. අප දෙදෙනාගේම සංසාර කරුමයට බඩ තඩියාත් මමත් එකම පන්තියේ අකුරු කරන්නට වුයේ උසස්පෙළ කාලයේදී වන අතර බඩ තඩියාගේ ප්‍රේම පලහිලව්ව ගැන වැඩි විස්තර ටෙම්පරි පියානෝ ලිපියෙහි වඩා හොඳින් සටහන් වී ඇතැයි සිතමි. 

පාසලේදීත් පිටතදීත් එදත්, අදත් හෙටත් මා හට බඩ තඩියාගෙන් ගැලවුමක් නම් වුයේ නැති. 

මා පාසල් ක්‍රිකට් කණ්ඩායමට සම්භන්ධ වීමට සිතා ක්‍රිකට් පුහුණුවට ගිය කල බඩ තඩියාත් ක්‍රිකට් පිත්තක්ද සමගින් ක්‍රිකට් පුහුණුවට ඇවිත්ය...

එයින් ක්‍රිකට් එපාවූ මා පාසල් බාස්කට් බෝල් කණ්ඩායමට සම්භන්ධවීමට සිතා එම පුහුණුවීම් වලට ගිය කල බඩ තඩියාත් බැනියමක් ශෝර්ටක් ඇඳගෙන බාස්කට් බෝලය මෙන් බම්ප් වෙමින් එතැනය...

ඒ දෙකම එපා වී මා පාපන්දු කණ්ඩායමට සම්භන්ධ වීමට සිතා පාපන්දු පුහුණුවීම් වලට ගිය කල බඩ තඩියාත් බූට් දෙකක් දමාගෙන පුහුණුවට විත් එතැනය...

අවසානයේ යායුතු වෙනත් අතක් නොමැති තැන මමත් බඩ තඩියාත් සමකාලීන පාපන්දු ක්‍රීඩකයින් වීමු. එහෙත් වාසනාවටදෝ, අවාසනාවටදෝ බඩ තඩියාත් මාත් අතර සම්භන්ධය එතැනින් එහාටද දිවගියේය. 

උසස්පෙළින් අනතුරුව පාසැලෙන් නෙරපනු ලදුව සංගීත උණ වැළදුන හේතුවෙන් සංගීත කණ්ඩායමකට සම්භන්ධවීමට මා ගිය අවස්තාවෙදී එතැනට ගොහින් බැලූ කල බඩ තඩියාත් ගිටාරයක් එල්ලාගෙන එතැනය. 

ඉන් නොනැවතුණු බඩ තඩියා අවසානයේ ටවුම ආසන්නයේ තිබෙන්නාවූ නිවසද අත්හැර මාගේ ග්‍රාමයට පදිංචියට ආවේ ඌගේ කරුමයටද මාගේ කරුමයටද කියානම් හරිහැටි අප දෙදෙනාම දන්නේ නැත. 

බඩ තඩියා ගම් බිම් හැරදමා මාගේ ග්‍රාමයට පදිංචියට ආවේ සුනාමියෙන් පසුව බැවින් එතෙක් කලක් බඩ තඩියා ජීවත්වුයේ බඩ තඩියාගේ පියාණන් විසින් ඉදිකරනු ලදුව බඩ තඩියාට උරුමකරදුන් වෙරළාසන්න නිවෙසකයි. වත්ත මායිමේ වෙරල පිහිටියෙන් මුහුද යනු බඩ තඩියාට ගෙදර වගේ එකක්ය. උසස්පෙළට ආ පමණින් බඩ තඩියා පවුල් පන්සල් වීම හේතුවෙන් අනුග්‍රහය අහෝසි වුවද  හෝඩියේ සිට සාපෙළ දක්වාම කොල්ලන්ට ගෙවල් වලට හොරෙන්  මුහුදේ නෑමට  පූර්ණ අනුග්‍රහය දැක්වුයේ සත් ගුණවත් බඩ තඩියා විසිනි. 

පාසල් තාප්පයෙන් වාෂ්ප වන්නාවූ සිසුන් එකල අසුරුසැනින් නවතින්නේ බඩ තඩියාගේ කාමරයේය. ගුනේ අයියාගේ බජව් දාන කාමරයේ තිබු මස්කට් පැණිබූන්දි වලටත් වඩා සොමි දේවල් බඩ තඩියාගේ කාමරයේ තිබු බව මෙහිදී සඳහන් කලයුතුමය. 

මස්කට් පැණි බූන්දි වලටත් වඩා කොල්ලන්ට වටින්නා වූ  අඟල් තිස් දෙකේ රූපවාහිනියක්, වීඩියෝ ධාවන යන්ත්‍රයක්, ශීතකරණයක්, තඩි බෆල් දෙකකින් හා, කැසට් පීස් දෙකක් එකවර දැමියහැකි ත්‍රී ඉන් වන් වර්ගයේ තට්ටු කිහිපයකින් සමන්විත ස්ටීරියෝවක්, ෂපාන් එකට නිදාගතහැකි ඩබල් ඇඳක් කිව්වට ඩබල් ඇඳකටත් වඩා ලොකු ඇඳක් සහ බඩ තඩියාගේ ඇඳුම් ආයිත්තම් ගබඩා කල අල්මාරියද කාමරයේ වීය.

මෙහිදී අල්මාරිය නොසලකා  හැරිය  යුත්තේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තඩි එකෙකු වන බඩ තඩියාගේ ඇඳුම් වලින් කොල්ලන්ට ඇති වැඩක් නැති බැවිනි. හදිසියකට මුහුදේ නාන්නට බඩ තඩියාගේ කලිසමක බැස්සද තඩියා හැරුණකොට මා වැනි කෙහෙටු එව්වෝ මුහුදේ නාන්නට බැස්සේ බඩ තඩියාගේ කලිසම් වලින් සරොම් ඇඳගෙනය. ( තඩියා සහ බඩ තඩියා යනු දෙදෙනෙකු බව මෙහිදී පාඨක සැම තේරුම්ගත යුතුය) 

අතිශයින්ම  සුඛෝපබෝගී කාමරයක් වූ බඩ තඩියාගේ කාමරයේ විශේෂිතම පිහිටීම වුයේ එම කාමරය නිවසින් පිටත පිහිටි ප්‍රධාන දොරයි. අපේ එවුන්  ඥානා ගේ බෝඩිමේ ගත්තා වූ ආතල් වලට වඩා දහසක් ආතල් ගත්තා වූ කාමරයක් තිබුනානම් ඒ බඩ තඩියාගේ ඉතිහාසගත කාමරයයි. එම කාමරය ඇතුලේ පිහිටවූ ලෝක වාර්ථාද ඇති අතර එම ලෝක වාර්ථා  ඇතුල්වන්නේ ලිවිය නොහැකි කථා ගොන්නට වීම පාඨක සැමගේ අවාසනාවයි. නැවතිල්ලේ සිතා බැලූ කල ලෝක වාර්ථා  වලට අනුග්‍රහය දැක්වීම සම්භන්ධව බඩ තඩියාට අප වෙනමම ස්තුතිය පුදකළ යුතුය. මෙම පෝස්ටුව කියවා බඩ තඩියාගේ බිරින්දෑ බඩතඩියාගෙන් ලෝක වාර්ථාව ගැන විමසන්නේ මෙසේයි..

මොකක්ද අනේ ඔයාගේ කාමරේ පිහිටෙව්වා කියන ලෝක වාර්ථාව ..

මං දන්නේ කොහොමද ඒයි .. ඌ ලංකාවට ආවම අහගන්න..

උගෙන් අහන්නේ මොකටද අනේ ඔයා ඉද්දි.. කියන්නකෝ අනේ..

මම දන්නේ නැහැ අනේ.. උගේ විකාර...

මොකක් හරි අලුගුත්තේරු වැඩක් වෙන්න ඇති.. හරි ඔයා කියන්නේ නැහැනේ.. මම හොයාගන්නම්කො ඕක..

ඔයා උගේ ලනු කන්නේ නැතුව පිටි හැඳි දෙකක් දාල සීනි ටිකක් වැඩියෙන් දාල ටී එකක් හදන්න ඒයි 

මේ කියනාවූ කාලයට සාපේක්ෂව බඩ තඩියාගේ බිරින්දෑට විශ්වාසවන්තම සගයාගෙන් ලෝක වාර්ථාව ගැන විමසුවහොත් ඌද ප්‍රශ්නයට උත්තර දීමට නොහැකිව තක්කු මුක්කු වන්නේ එම ලෝක වාර්ථාවට උරුමකම් කියන්නේ විශ්වාසවන්තම සගයා වන බැවිනි..

එකතරා දිනෙක කොල්ලන් සැට් එක උදෑසනින් බඩ තඩියාගේ නිවසට එකතු වන්නේ ගෙඳවාන ගල වෙත ගොස් ආතල් එකක් ගැනීමට  කලින්ම සංවිධානය කර තිබු බැවිනි. ගෙඳවාන ගල යනු බඩ තඩියාගේ නිවස කෙලින් කිලෝමීටරයක් පමණ දුරින් මුහුද මැද්දේ  පිහිටි විශාල ගල් පර්වතයකි. අක්කරයකටත් වඩා වැඩි ප්‍රමාණයක් වූ මෙම ගල මුහුද මැද්දේ දුපතක් ලෙසද අර්ථ දැක්විය හැකි අතර බෙල්ලන් කැඩීමට යන්නන්ගේ ප්‍රකට ස්ථානයකි. 

ගෙඳවාන ගල වෙත ලඟා වීමේ ක්‍රම කිහිපයකි. පළමුවැන්න පිහිනීමයි. දෙවැන්න නම් බෝට්ටුවක් හෝ ඔරුවක්, වල්ලමක් වැනි යමක් මගින් යාත්‍රා කිරීමයි. 


ගෙඳවාන ගල

සැතපුම් දෙක මුහුදු පිහිනුමටද සහභාගී වන පාසල් පිහිනුම් කණ්ඩායම නියෝජනය කරන තඩියා සහ යම් දුරක් පිහිනීමට හැකි බතලයා හැරුණකොට එතරම් දුරක් පිහිනීමට හැකි එවුන් අප අතර නොවීමත්, පිහිනීමට නොහැකි එවුන් සිටීමත් හේතුකොටගෙන ගෙඳවාන ගල වෙත යාමට අප තෝරාගත් ප්‍රවාහන මාද්‍යය වුයේ බඩ තඩියාගේ ඥාතියෙකු සතු මෝටර් බෝට්ටුවකි. බෝට්ටු ගෙඳවාන ගල වෙත ලංකිරීමට නොහැකි අතර අඩි විස්සක් තිහක් ඈතින් බෝට්ටුව නැවැත්වූකල මගීන් බෝට්ටුවෙන් වතුරට පැන ගෙඳවාන ගල වෙත පිහිනා යා යුත්තේ රල පහර සමග ගල වෙත ඇදෙන ෆයිබර් බෝට්ටුව ගලේ වදුනහොත් හිල්වෙන බැවින්ය. ඔරුවකින් හැරුණකොට කුමන ප්‍රවාහන මාද්‍යයකින් ගෙඳවාන ගල වෙත ගියද පිහිනා යාම අනිවාර්ය වේ.

එදිනද  දහයක් පමණ වූ නඩයේ වැඩි ප්‍රමාණයක් සිටියේ පිහිනන්නට නොහැකි එවුන් වන අතර එම කාණ්ඩය ගෙඳවාන වෙත බෝට්ටුවෙන් බස්සවා රැගෙන යාමට අප යොදාගත්තේ හුලං පිරවූ ලොරි ටියුබයකි. සියල්ල අකුරට සිදුවූ බැවින් සියලුම දෙනාට කන්නට බිත්තර පාන්, මාළු පාන් , රෝල්ස් වැනි කෑමද , බීමට ලීටර දෙකේ කොකාකෝලා බෝතල්ද රැගෙන අප සියලුදෙනා ගෙඳවාන වෙත පිටත් වුයේ බඩ  තඩියාගේ  ඥාති සහෝදරයාගේ බෝට්ටුවෙනි. 

මෙම ගමනට ඥානා ද සහභාගී වූ අතර ඔහුද පිහිනන්නට බැරි ගොඩට අයත්වූ එකෙකු වුයේය. කවදා කොතනදී ඔරුවකට, බෝට්ටුවකට, අඟුලකට, වල්ලමකට, පාරුවකට නැගගත් පොල් කටුවක්, යෝගට් කෝප්පයක් වැනි යමක් කොහෙන් හෝ කුණු ගොඩකින් අහුලාගෙන බෝට්ටුවට ගොඩවීම ඥානාගෙ සිරිතය. බෝට්ටුව හෝ ඔරුව ඇතුලට වැහි දිනවලදී එකතුවන වතුර පොල් කටුව හෝ යෝගට් කෝප්පය මගින් හිස් කිරීම ඥානාගෙ වැදගත්ම රාජකාරියයි. 

බෝට්ටු ගමන අවසන් වනතුරු කිසිදු කතාවක් බහක් නැති ඥානා නොනවත්වා නැවෙමින් දිගෑරෙමින් බෝට්ටුව හිස් කරනු ලබයි. බෝට්ටුව ගිලෙන්නට තබා ගැලුමක් දෙකක් පිරෙන්නටවත් වතුර බෝට්ටුව පතුලේ නැත්ත ඥානා පොල්කටුව ගෙවෙනතුරු කරන්නේ වතුර ඇදීමයි. පොල් කටුවක්, යෝගට් කෝප්පයක් තබා ටොනික් පියනක් වත් සොයාගන්නට බැරි වූ අවස්ථාවල ඥානා අතින් හෝ වතුර ඇදීම කරගෙන යනු ලබන්නේ සංසාර පුරුද්දකට මෙනි. 

බඩ තඩියාගේ විධානයෙන් ශ්‍රී ලංකාද්වීපය නොපෙනෙන්නම බෝට්ටුව පැදවූ බඩ තඩියාගේ ඥාතියා නඩයට සියලු වැඩ කිඩ පෙන්වා අවසානයේ ගෙඳවාන  අසලට බෝට්ටුව ගෙන ආවේ අපව ගෙඳවානේ බස්සවා හවස් අතේ අපව රැගෙන යාමට එන පොරොන්දු සහිතවයි. ඊළඟට තිබෙන්නේ ලොරි ටියුබයේ වික්‍රමය වන බැවින් ගෙඳවාන ආසන්නයේ බෝට්ටුව නතර කල වහා තඩියා ජබුක් ගාමින් වතුරට පනින්නේ ලොරි ටියුබයද අතැතිවයි..මටද, බතලයාටද , පිහිනීමට හැකි බැවින් අපි දෙදෙනා ලොරි ටියුබයේ වික්‍රමයෙන් මිදුනා වූ එවුන් වන්නෙමු. එහෙත් බතලයා ටියුබ් මගී ප්‍රවාහන කටයුත්තට සම්මාදම් නොවන්නේ ප්‍රවාහන කොමිටියේ බතලයා නොමැති බැවින්ය .

ටියුබය බෝට්ටුව අසලට තල්ලු කරන්  පිහිනා එන තඩියා විසින් විධානය දුන් වහා වරකට එකා බැගින් බෝට්ටුවේ ගැට්ටෙන් ටියුබයට පැනිය  යුතුය. බෝට්ටුවෙන් ටියුබයට පනිනා අයවලුන් චපාස්... නාදයෙන් ටියුබය උඩට පතිතවූ වහා තඩියා විසින් ටියුබය ගෙඳවාන දෙසට තල්ලු කරමින් පිහිනා යනු ලබනවාය. මාද ටියුබය පසුපස ඩොගී ස්ටයිලයෙන් පිහිනා ගෙඳවාන දෙසට පිහිනා යනවාය. 

ඩොගී ස්ටයිලයෙන් කියූ වහා පාඨක පෝතකයින් මා ගැන කැත විදිහට හිතනා නිසාවෙන් ඩොගී ස්ටයිලය යනු කවර ගනයේ පිහිනුමක්දයි විස්තර කිරීම මාගේ සරීර සෞකියට යහපත්ය. 

බල්ලකු මෙන් ඔලුව උඩ තබාගනිමින් පිහිනීම ඒ නමින් හඳුන්වනවාය. පිහිනුම් ශූරයින් පිහිනනවාක් මෙන් ඔලුව යට දමාගෙන අත යටින් හුස්ම ගනිමින් නිදහස් ආර පිහිනීමට මා හට හොඳ හැකියාවක් ඇතත් ඔලුව වතුර යටට ඔබාගත් කල උතුර දකුණ පිළිබඳව අවබෝධය නැතිවන නිසා මා එසේ පිහිනන්නේ පූල් එකක පිහිනනවානම් පමණය. 

මුහුදේදී එසේ පිහිනන්නට ගොස් සිරි ලංකාදීපය නොපෙනී යන්නටම ඇන්ටාක්ටිකාව දෙසට පිහිනේවිදෝ යන භය නිසා  මම කවදාවත් මුහුදේදී ඔලුව යට දමාගෙන පිහිනන්නට උත්සහ කරන්නේ නැත. 

බැක් ස්ට්‍රෝක් නැමති ක්‍රමයට පසුපසට පිහිනීමටද මා හට හොඳ හැකියාවක් ඇත. එහෙත් ගෙඳවාන ගල වැනි මහා තඩි ගල් පරුවතයක් මාගේ පසුපසින් තිබියදී එම ආකාරයෙන්ම පිහිනීමට මා හට භයක් දැනෙන්නේ පසුපස බැලීමට සයිඩ් කන්නාඩි දෙකක් නොමැතිව පිහිනා ඔලුව ගලේ ඇනුනහොත් මැහුම් දහයකින් විස්සකින් මෙහා බේරෙන්නට බැරි බැවින්ය. 

ලොරියක් රිවස් කරනා ආකාරයෙන් පසුපස බලන්නට ගෝලයෙක් සිටියානම් පසුපසට පිහිනීම ගැන ප්‍රශ්නයක් නොමැත්තේ හරි හරේ ..හරේ .. හරේ ... දකුණට කපල එන්න...ආ දැන් ඇති....හෝව් ..හෝව්..කියා ගෝලයා කෑ ගසා කියනා  බැවිනි  . 

මාගේ පිහිනුම් හැකියාව වර්ණනා කරන්නට ගොස් ටියුබයෙන් යන වික්‍රමාන්විත ගමන ටිකක් අතපසු වීම ගැන සමාව භාජනය කරන මෙන් පාඨක සැමගෙන් ඉල්ලා සිටිමි. දැන් එතැන් සිට....

ටියුබය ගෙඳවාන අයිනට සැපත් වූ වහා දිය රැල්ලක් විසින් උස්සා ගලේ ගැසීමට ප්‍රථම ටියුබයේ මගියා ගෙඳවාන ගලට ගොඩවිය යුතුය . තඩියා සහ මා නැවත ටියුබය ගෙන බෝට්ටුවට පිහිනනවාය. අවසාන මගියාට ප්‍රථම වනතෙක් පසු පාදයේ ක්‍රීඩා කරමින් බෝට්ටුවේ වතුර ඉහින ඥානා ණයට  ගෙනා පරාන කූඩුව සමගින් ඇස් පියාගෙන ටියුබයට පනින්නේ ඉන් අනතුරුවයි . අපගේ අවසාන මගියා වන්නේ අපගේ සාදර සමාදර අනුග්‍රාහකයා වන බඩ තඩියා මහතායි. 

ඊට ප්‍රථමව අපට තිබෙනා වූ වැදගත්ම කාර්යභාරය වන්නේ අපගේ දිවා ආහාරය සහ බීම බෝතල් , වතුර වැනි දෑ ගෙඳවානට ප්‍රවාහනය කිරීමයි. එයද සාර්ථකව අවසන් කරන අප දෙදෙනා නැවතත් ටියුබය රැගෙන බෝට්ටුව වෙතට පිහිනන්නේ අපගේ අනුග්‍රාහක මහතා ප්‍රවාහනය කිරීම සඳහායි.

අවසාන මගියා බඩ තඩියා කියූ සැනින් පාඨක සැමගේ හිත්වල ඇතිවන ප්‍රශ්නය නම් වෙරල මායිමේ ජීවත්වන බඩ තඩියා මහතාට පිහිනීමට නොහැකිද යන්නයි. පාඨක සැමගේ සැකය සාධාරණ වන අතර උපන් දා පටන් මුහුදු රළ මායිමේ හැදුනු වැඩුනා වූ බඩ තඩියා මහතාට පිහිනීමට බැරිය. 

හරි පැනපන්..

තව ටිකක් ලං කරහන් බන්..

තව කොහේ ලං කරන්නද බොල .. පැනහන් ..

ඒ තව ටිකක් ලං කරහන් බන්..

එක පාරක් කිව්වනේ යකෝ.. තව කොහාට ලං කරන්නද.. පැනහන් ..

තඩියාත් මමත් ලොරි ටියුබය බෝට්ටුවේ බඳට තබා තද කරගෙන සිටිනා අතර තුරේ බඩ තඩියා ඒ වික්‍රමාන්විත ගමනට ප්‍රථම පියවර තැබීමට බෝට්ටුවේ ගැට්ටට ගොඩවන විට බෝට්ටුවේ රියදුරා බෝට්ටුවේ අනෙක් පසට ගොස් බෝට්ටුව සමබරව තබාගැනීමට සාර්ථක නොවන උත්සාහයක නිරත වන්නේ බඩ තඩියාගේ කිලෝ දෙසීයක පමණ වන බර බෝට්ටුවේ ගැට්ට උඩට ආ කල බෝට්ටුව කණපිට ගැසීමට ඉඩ තිබෙන බැවිනි.

එය එසේ වන විට පාඨක සැමගේ හිත් වලට එන ප්‍රශ්නයක් නම් බඩ තාඩියාව පළමුව බෝට්ටුවෙන් බැස්සීමට හැකිව තිබුනා නේද යන්නයි. එය එසේ කල නොහැකිය. තණකොළ මිටිය, එළුවා, කොටියා සමග ගඟෙන් එගොඩ වන ආකාරයට මෙන් මෙම කටයුත්තද  ඉහත පිළිවෙලටම සිදුවිය යුත්තේ ටියුබයෙන් ගෙඳවානට රැගෙන යන බඩ තඩියා ගෙඳවාන ගල උඩට උස්සා ගැනීමට  හත් අටදෙනෙකුගෙන් සමන්විත පිරිසක් සිටිය යුතු බැවිනි.

බෝට්ටු රියදුරා බෝට්ටුව සමබර කිරීමට අසාර්ථක උත්සහයක නියැලෙන අල්ලපනල්ලේ බඩ තඩියා හොඳින් ටියුබයට ඉලක්කය අල්ලා බෝට්ටු ගැට්ටෙන් පැන්නේ සුවිශේෂීවූත්  ඔහුටම ආවේනික ශිල්පීය ක්‍රමයක් විද්‍යාමාන කරමිනි.

එවන් හැකියාවක් එතෙක් මෙතෙක් මා අත්දැක නොමැති අතර දක්ෂ පිහිනුම් ශූරයෙක් වන තඩියාද දැක නැති බව මම තරයේ විශ්වාස කරනවාය. ලොව දක්ෂම පැනිලි කරුවාටවත් එහෙම පැනිල්ලක් පනින්නට නම් බැරිය. 

ජබාස් ..

අම්මටහුඩු පැන්න නේද යකෝ මැදින්..

ලෝකයේ අංක එකේ වතුරට පැනිලි  ශූරයාටවත් එවන් ආකාරයෙන් ටියුබයක් මැදින් වතුරට පැනීමට නොහැකිය. එසේ පැන්නද ටියුබයේ කොනකවත් ගෑවෙන්නේ නැතිව හරි මැදින් වතුරට පැනීමට සුවිශේෂී හැකියාවක් තිබිය  යුතුය. එසේ බැලූ කල ලොව සිටිනා වතුරට පැනිලි ශූරයින් ඉලක්කයට වතුරට පැනීමට අපේ බඩ තඩියාගෙන් ටියුෂන් ගත යුතුය.

අනෙක් එවුන් ආකාරයෙන්ම හොඳින් ඉලක්කය බලා බෝට්ටුවෙන් ටියුබය වෙත පැන්නා වූ බඩ තඩියා ලොරි ටියුබයේ හරි මැදින් වතුරට පැන්නා වූ බැවින් මා අම්මා පෙවූ රන් කිරි සිහි වී දන්නා කියන පිහිනුම් ක්‍රම සියල්ල උපරිමයෙන් භාවිතා කරමින් ස්කුබි ඩූ හි ස්කුබියා පිහිනන ආකාරයෙන් ජුලියන් බෝලින්ටත් වඩා වේගයෙන් මහ මුහුද දෙසට පීනන්නේ පන එපා කියාය. 

මුහුදු පතුලේ සිරි නරඹා වැලි කාගෙන උඩ මතුවන බඩ තඩියා ඕනෑම පිදුරු ගසක එල්ලෙන බව අත්දැකීමෙන් මා දන්නා බැවින් එම ආසන්නයේ රැදී සිට පිදුරු ගස වන්නට මට උවමනාවක් නැත. මා වැනි බිලින්දෙකුගේ ඇඟේ බඩ තඩියා වැනි එකෙකු එල්ලුනහොත් දෙදෙනාටම එකටම වැලිගම යන්නට සිදුවන බව ඒකාන්තයෙන්ම මා දන්නවාය. ඒ එක්කම දිය කාගෙන වතුර යට කිමිදෙන තඩියා බඩ තඩියාවත් කෙස් වැටියෙන් ඇදගෙන විත් ටියුබයේ එල්ලුවේ බඩ තඩියා මුළු මුහුදේම වතුර බී දැමුවහොත් ලොව පුරා ධීවර කර්මාන්තයෙන් යපෙනා ධීවරයින්ට යන එන මං නැතිවන නිසාවෙනි.

අවසානයේ ටියුබයේ කොනක බඩ තඩියා එල්ලාගෙන මුහුදු අශ්වයකු නාවන්නට අරන් යනවාක් මෙන් තඩියා ටියුබය ඇදගෙන ගෙඳවාන ගල අසලට පිහිනු වහා ගලට ගොඩවී සිටිනා අයවලුන් මඩෙහි එරුණා වූ ඇතෙකු ගොඩට අදින්නා වූ මහා සෙනගක් මෙන් වෙර වීරිය යොදා බඩ තඩියා ගෙඳවාන ගල උඩට ඇදගන්නේ කසිදු අනුකම්පාවක් නොමැතිවමය. ඒ රළ පහරක් විසින් උස්සා ගලේ ගැසුවහොත් බඩ තඩියාට ඇඩ්රස් නැතිවන නිසාය. එයින් අවසන් වන ටියුබ් වික්‍රමය නැවතත් සිදුවන්නේ ආපසු ඒමට බෝට්ටුවට ගොඩවීමටයි .

සියල්ල කිසිවෙකුටත් හානියක් නොමැතිව සිදුවූ බැවින් සියල්ලෝම ගෙඳවාන ගල උඩ විසිර යන්නේ විවිදාකාරයේ අරමුණු වලිනි. 

කට්ටියක් බෙල්ලන් කැඩීමේ ව්‍යාපාරයේ සක්‍රීය දායකත්වය ලබන අතර තවත් පිරිසක් ගෙඳවානේ සිරි නරබනවාය. එහෙත් බඩ තඩියා කිමිදුම් ශූරතාවය දිනූ ඇඟේ තෙහෙට්ටුව නිසාවෙන් වාඩිවූ තැනම සිටින්නේ වෙනත් අරමුනක්ද සිතේ දරාගෙන බව අප දැනගන්නේ අපේ එවුන්නට බඩගිනි දැනෙන්නට ගත්තායින් පසුවයි. 

ගෙඳවාන පුරා රස්තියාදුවූ එවුන්ද , බෙල්ලන් කැඩීමට ගිය එවුන්ද ,රොකට්ටු වලින් ගුවන් ගත වූ නාසා ආයතනයට සම්භන්ධ ගගන ගාමීන්ද කන්නට යමක් සොයා බඩ තඩියා වාඩිවී සිටිනා ගල උඩට පැමිණෙන විට සියල්ල සිදුවී හමාරය. 

ඒ වනවිට බිත්තර පාන් වල බිත්තර භාග සහ  ළූණු ඇතුළු සියල්ලද, මාළු පාන් වල මාළු නැතත් මැද ඇති එළවලු කරිය තිබෙනා කොටසද, ජෑම් පාන් වල පොල්කුඩු පැණි මිශ්‍රණය තිබෙනා වූ  කොටසද, රෝල්ස් සියල්ලද බඩ තඩියා විසින් කා දමා හමාරය.. එපමණකින් අවසන් නැත.. බොන්නට ගෙනා කොකාකෝලා බෝතල්ද , වතුර  බෝතල් වලින් තුන්කාලකටත් වඩා කොටසක්ද බඩ තඩියා විසින් බී අවසන්ය. එතනින් එහා ගෙඳවානේ සංචාරයට පැමිණි අප සැමට ඉතිර වන්නේ බඩ තඩියා විසින් ඉතිරි කල පාන් වාටි ටික සමසේ බෙදාගෙන වලඳා ඉතිරි වූ වතුර සුට්ටද බෙදාහදාගෙන බී අපව රැගෙන යන්නට බෝට්ටුව හවස් අතේ ගෙඳවානට එනතුරු තැන් තැන් වලින් වාඩි වී බඩ තඩියාගේ මවු දෙමාපියන් සිහි කරමින් අව්වේ කරවීමටය. 

ටියුබයේ වික්‍රමයද පෙර පරිදිම සිදුවන අතර බඩ තඩියා බෝට්ටුවට ඇදගැනීමට සෑහෙන්න වෙහෙසක් දරන්නේ බඩගින්නේ කරවුනා වූ අපමය. එම අවස්ථාවද බොහොම සිත්ගන්නාසුළුය. වතුර වැටීමේ අසාර්ථක උත්සාහයන් කිහිපයකින් අනතුරුව තඩියාගේ සහයෝගයෙන් ටියුබය උඩ හිටගන්නා බඩ තඩියා බෝට්ටුවට දමාගැනීම අලියෙකු බෝට්ටුවට නංවා ගන්නවා හා සමානය. දෙතුන් දෙනෙකු අත් දෙකෙන්ද, තවත් එකෙකු කෙස් වැටියෙන්ද අදිමින් කරනා වූ අසීරු ක්‍රියාවලියක් අවසානයේ බඩ තඩියා තපස්... යන ශබ්දයෙන් බෝට්ටුවේ මැදට ස්ථානගත වෙනවාය. ඉන් අනතුරව ඥානා බෝට්ටුව ඉසින අතරතුරේ සියල්ලෝම ගෙඳවාන සංචාරය නිමවා වෙරළට ලගාවෙනාවය. 

කෑමද වතුරද නොමැතිව ගෙඳවානේ දවසක් පුරා වේලුනා වූ අපව කරෝල මුදලාලි කෙනෙකු දුටුවහොත් කරෝල වලට විකුණන්නට තොග මිලක් දී මිලදී ගන්නවා සුවර්ම සුවර්ය.

කරෝල ගානට වේලුනත් අපේ එවුන් සංචාරය අවසන් කරන්නේ බතලයා සහ තඩියා විසින් කඩාගන්නා ලද බෙල්ලන් සියල්ල තම්බාගෙන කෑවායින් අනතුරුවයි. එහෙත් කනගාටුවට කාරණය නම් එයින්ද වැඩි ප්‍රමාණයක් ගිල දමන්නේ සත්ගුණවත් බඩ තඩියා වීමයි.