Monday, September 14, 2015

පොලිස් කථාවක්




ඔන්න මේ කියන දවස හරියටම මීට අවුරුදු දහයකට, පහළොවකට විතර කලින්  සිංහල අවුරුද්ද දවසට ඉස්සරින්ද දවස.. ඒ කියන්නේ අප්‍රියෙල් 13 දවසක්.. මේ කියන  දවස වෙද්දී ටවුන් වල තියන තදබදය ගැන ඉතින් කියන්න දෙයක් නැතුව ඇතිනේ.. ඔන්න එදා මට මොකක් හරි දෙයක් ගන්න ටවුමට එන්න සිද්ද උනා... වාහන සහ මගී තදබදය දන්නා නිසා මම  ලේසියටත් පහසුවටත් පියාණන් වහන්සේගේ හොන්ඩා  C 50 යෙන් ටවුමට එන්න පිටත් උනා...


ඔන්න මම ගාලු පාරට දාල දැන් ටවුම මැද්දෙන් කාර් බාර්, වෑන් ලොරි, බස්  අස්සෙන් එහෙන් මෙහෙන් දාගෙන ඉදිරියට ඇදීගෙන එන අතරේ කහ ඉරක් ඉදිරියේ සෙනග මාරු වෙන්න නවත්තන්න උනා කියපි.. ඔන්න දෙයියනේ කියල සෙනග මාරුවෙලා ඉවරවෙද්දීම මම අප්පච්චිගේ පිෂ්ටිය රේස් කරල ෆස්ට් එකට දාල යන්න පිටත් උනා විතරයි ෆුට් බයිසිකල් කටුවකින් පාර විරුද්ද පැත්තෙන්  ඉස්සරහට ආපු පොලිස් නිලදරුවෙක් එකපාරටම කෑගහල මාව  නැවැත්තුව .. නීතියට අවනත විය යුතු නිසාත් පොලිස් නිල ඇඳුමට ගරු කල යුතු නිසාත් මමත් ඉතින් දෙයියනේ කියල සැර දාගෙන ඉගිලෙන්න හදපු අප්පච්චිගේ පිෂ්ටිය අයින් කරලා නැවැත්තුව... පාරේ හිටපු සෙනග කන්දරාවයි වාහන ගොඩයි එක්ක පොලිස් මහත්තය ෆුටාර් එකත් තල්ලු කරගෙන ජීවිතෙත් බේරාගෙන ගාලු  පාර පැනල මා  ගාවට එද්දී උන්දැට අවනත වෙන්නේ නැතුව ගියානම් මට හඳට යන්නත් වෙලා තියෙන්න ඇති...


ඔන්න පොලිස් මාමි ආව මා ගාවට... නිරීක්ෂණයේ හැටියට සිතාසියක් බෙදීමට වගේ පොඩි රාජකාරියකට ෆුටාර් එකෙන් යවන ලද පොලිස් මාමි කෙනෙක්.. 
ඇවිත් කියාපි 
ගන්නවා ගන්නවා ලයිසන් එක.. 
ඔන්න ඉතින් මමත් රියදුරු බලපත්‍රය පර්ස් එකෙන් අරන් දුන්න කියමුකෝ....

කහ ඉරේ මගීන්ව හප්පගෙන යන්න හැදුවට තමුන්ට නඩු දාන්න වෙනව...

ඔන්න ඕකලු මම  කරපු වරද...

හත් දෙයියනේ මම  පිෂ්ටිය ෆස්ට් එකට දාද්දීත් කහ ඉරේ පැනපු එවුන් ගෙවල් වලත් යන්න වෙලා.. අවුරුද්ද දවසට ඉස්සරින්ද පොලිස් මාමියෙක් නැති කහ ඉරක් පනින මගීන් පාර පැනල ඉවර වෙනකම්ම නවත්තගෙන හිටියොත් ඉතින් බත් මුලක් එහෙමත් අරගෙන තමයි එන්න වෙන්නේ එතන තියාගෙන ලිහාගෙන කාල එහෙම බලන් ඉන්න..

මෙන්න බොලේ මගේ ලයිසමත් අරගෙන රාලහාමි ෆුටාර්  එකේ නැගල යන්න යනවා.. 

උසාවි දවසක් ගන්න  පොලිසියට එනව ...

ඔන්න මට  මල පැනපි  අසුහාරදාහටම ... හනික පැනපු ගමන් පොලිස් මාමිගේ ෆුටාර් එකේ හැන්ඩ්ල් එකෙන් අල්ලලා නවත්තගත්ත...

ඇයි  මොකද තමුන් මගේ රාජකාරියට භාධා කරන්න හදනවද ??

රාලහාමි අහපි

අනේ නැහැ රාලහාමි ඔබතුමා පොලිසියට යන්න කලින් මගේ ලයිසම ගත්ත බවට ටෙම්පරි ලයිසමක් මට  ලැබිය යුතුයි නේද ?
එහෙම නැතුව ඔබතුමාට මගේ ලයිසම  අත්අඩංගුවට ගන්න බැහැ ..

මා ගාව ටෙම්පරි පොතක් නැහැ.. ටෙම්පරියක් දෙන්න පොලිසියට එනවා..

ඔන්න ඒ වෙද්දී දුකට සැපට ඉන්න  ඕපදූප හොයන්න උපන් හපන් අපේ ටවුමේ ත්‍රිරෝද රථ රියදුරන් ටික සහ හදිසි වැඩ රාජකාරි නැති පාරේ ඉබාගාතේ යන එවුන් වීදි නාට්ටියක් බලන්න වගේ මගෙයි  පොලිස් මාමියිගෙයි වටේ වට වෙලා...

දැන් පොලිස් මාමියි මමයි  දෙන්නම දෙබස් කියන්නේ උස් හඬින් ... ත්‍රිරෝද රථ මාමියෙකුත් පොලිස් මාමිට පක්ෂව මට එරෙහිව ගේම... 

පොලිස් මාමි ට්‍රයි කරන්නෙම පොලිසියට වඩින්න ලයිසම අරගෙන... මම ට්‍රයි කරන්නෙම ලයිසම ගන්න... එත් තවම ලයිසම පොලිස් මාමි අතේ...ත්‍රීරෝද රථ මාමි කියනවා ඒ මහත්තයට රාජකාරිය කරන්න ඉඩ දෙන්නලු...  පොලිස් මාමි එක්කයි ත්‍රීවිල් මාමි එක්කයි දෙන්නම එක්ක එක පාරට පටලාගෙන ඉල්ලගෙන කන්න බැරි  නිසා ත්‍රීවිල් මාමිව මදකට නොසලකා හරින්න මම තීරණය කරා...

මගේ  තර්කය උස් හඬින් ... 
ඔයා මගේ ලයිසන් එක රැගෙන යනවනම් ඔයා මට ටෙම්පරියක් දීල යන්න ඕන... 
ඒ ටෙම්පරියෙන් මට දවස් 14 ක් රිය පදවන්න පුළුවන් නිසා දවස් 14 ඇතුලත මම උසාවි එන්නම්... 
හැබැයි ඔයාට මගේ ලයිසන් එක අරන් යන්න බැහැ ටෙම්පරියක් නොදී...

ඔන්න ඔය අතරේ  ... ටවුමේ රාජකාරියේ නියුතු සාජන් වරයෙකු හා තවත් කොස්තාපල් වරයෙකු එම ස්ථානයට වාර්තා කෙරෙයි... 

මගේ සද්දේ වැඩි නිසා සාජන් කෙලින්ම මගෙන් අහපි 

මොකද තමුන් පොලිසියට රාජකාරියට භාධා කරනවද ??

මම සාර්ජන්ට බොහොම මහත්මා විදිහට කාරණය පැහැදිලි කරා... 
ඔබතුමාලා මගේ රියදුරු බලපත්‍රය අරන් යනවනම් මට ටෙම්පරියක් නිකුත් කල යුතුයි ... 
ඒකයි මේ රටේ නීතිය...
මම වරදක් කරානම් ඒ වරදට දඬුවම විඳින්න මම සුදානම්... 
එත් එහෙම වෙන්නනම් ඔබතුමාලා මෙතැනදී මට දඩ කොලයක් සහ ටෙම්පරියක් දිය යුතුයි... 
උසාවි දාන වරදක්නම් ටෙම්පරියක් නිකුත් කරලා මගේ ලයිසම අරන් යන්න ඔබතුමාලට බලය තියෙනවා.. 
එත් ටෙම්පරියක් දෙන්නේ නැතුව මගේ ලයිසම අරන් යනවනම් ඒක නීත්‍යානුකූල නැහැ...එහෙම නීත්‍යානුකූල නැති දෙයක් ඔබතුමාලා මට කරනවානම් ඒකට මම උසාවියෙන් සාධාරණය ඉල්ලන්න ලැහැස්තියි  

ඔන්න ෆුටාර් එකේ ආපු පොලිස් මාමි මගේ ලයිසම සාර්ජන්  මහත්තයට  දීල කියපි 

මේක ලියල ටෙම්පරියක් දීල මුව යවන්න කියල...

සාර්ජන් මහත්තය ෆුටාර් එකේ ආපු පොලිස් මාමිටම නැවත ලයිසම දීපි 

උඹම ලියපන්... 

ඔන්න දැන් සාර්ජන් මහත්තය එක්ක ආපු කොස්තාපල් තැන හීන් සීරුවේ එතනින් මාරු... මම දැන් දන්නවා සාර්ජන් මේක ලියන්නේ නැහැ කියල... ඔන්න නැවතත් මගේ  වාරේ.. අවස්ථාවෙන් උපරිම  ප්‍රයෝජන ගැනීමේ න්‍යාය....

ඔබතුමා දැන් මගේ කාලය හුඟක් නාස්ති කරලා ඉවරයි ... 
ඒ හින්ද ලියන දෙයක් ඉක්මනට ලියල මට ටෙම්පරිය දෙනවද... 
හෙට සිංහල අවුරුද්ද.. මට ගෙදර වැඩ දාහක් තියෙනවා..


ඔන්න ෆුටාර් එකේ ආපු පොලිස් මාමි සාක්කුවෙන් පොලිස් පොතක් ඇදල අරන් ෆුටාර් එකේම හැන්ඩ්ල් එක උඩ  තියාගෙන ලියන්නයි ලැහැස්තිය... ඒ අතරතුරේ සාර්ජන් මහත්තයත් එතනින්  මාරු...

දැන් ඉන්නේ විදි නාට්ටිය නරඹන පිරිසයි... සහයට ත්‍රීවිල් මාමියි... පොලිස් මාමියි ... මමයි  ...

ඔන්න දැන් මගේ ලයිසමේ විස්තර මොකක්දෝ නෝට් පොතක සටහන් කරන්නයි පොලිස් මාමි ලැහැස්තිය... එතෙක් මෙතෙක් ඉතිහාසයේ මගේ ලයිසම අතට ගත්තු බහුතරයක් පොලිස් මාමිලා නාගත්තු ආකාරයෙන්ම මේ පොලිස් මාමිත් නාන්නයි ලැහැස්තිය... 

වාසගම, මුල් නම, මැද නම තුනෙන් බහුතරයක් පොලිස් මාමිලාට ඉංගිරිසියෙන් කියාවගත හැක්කේ  මගේ මුල් නම පමණයි කියහල්ලකෝ...ඒකත් බොහොම අමාරුවෙන්.. 

ගන්නවා අයිඩෙන්ටිය.. 

රාලහාමි අල්ලයි මානානේ කොක්කු කිව්වලු.. රාලහාමි හදන්නේ මගේ අයිඩෙන්ටිය ඉල්ලගෙන සිංහලෙන් නම ගම ලියල මට වැඩේ දෙන්න.. ඇත්තටම මා ගාව අයිඩෙන්ටිය නොමැත..තිබෙන්නේ ලයිසම පමණි..

අයිඩෙන්ටිය ගෙනාවේ නැහැ රාලහාමි...

නම කියනවා...

මගේ ලයිසම අතේ තියාගෙන මගේ නම අහන්නේ මොකටද මහත්තයෝ... 
ඔය පැහැදිලි ඉංග්‍රීසියෙන් ඕකෙ තියෙන්නේ.. බලල ලියාගන්න.

 මම ගේම දැන්..

විනාඩි පහක් විතර දඟලල මුල් නම හරි ආකාරයෙන් සහ මැද නම සහ වාසගම ජීවිතේට අහලවත් නැති ආකාරයෙන් පොලිස් මාමි නෝට් පොතේ ලියාගත්තු හැටි දැකල මට  අදෝමුකයෙනුත් හිනා... කොම්බුවයි, ගයනුකිත්තයි , යන්සෙයි එකතුවෙලා එන සිංහල වචන ඉංග්‍රීසියෙන් කියවන්න පොලිස් මාමිට කොහොමටවත් බැරි උනා.. පොලිස් මාමි පොතේ ලියාගත්තේ වෙන මොකක්දෝ අන්ද භූත නමක්..

මහා ලොකු රාජකාරියක් කරපු විදිහට ආඩම්බරෙන් බලපු පොලිස් මාමි තනියම කියාගන්නව 

තමුසෙලා පොලිසිය එක්ක සෙල්ලම් කරන්න එනවා නේ... 

ඔන්න දැන් සැරසෙන්නේ මගේ ලිපිනය ලියාගන්නයි...

දෙයියෝ කොච්චර නෝටිද  කියල පොලිස් මාමිට හිතෙන්න ඇති ඒ වෙලාවේ... මම පදිංචි වෙලා ඉන්න පාරේ නමට "ඥ" අකුරු දෙකක් තියෙනවා කිව්වලු..

"ඥ " අකුරු දෙක ලයිසමේ ලියල තියෙන්නේ gngna කියල ... පොලිස් මාමි හත්පොලේ ගාගෙන මොකක්දෝ කුනුහබ්බයක් සිංහලෙන් ලියාගතපි.... පොලිස් මාමි ලියනවා බලන් ඉන්න මම තනියම හිනාවෙනවා දැකපු පොලිස් මාමිගේ මුණ ජම්බු ගෙඩිය වගේ ලැජ්ජාවෙන්  සහ කේන්තියෙන්  රතු වෙලා ...රෑක හරි පාලු මුසල තැනකදී හරි උනානම් පොලිස් මාමි මගේ දත් කඩනවා අනිවාර්යයි.. සූ ගාල සෙනග ඉන්න ටවුමක් මැද්දේ වැඩි වාසිය මටලු...


අප්පච්චිගෙ පිෂ්ටියේ ලියාපංචි අංකය ලියාගත්තු පොලිස් මාමි මගේ ලයිසම මගේ  දුන්න නෙවෙයි විසික් කළා.. 

තමුන්ට සිතාසියක් එයි... එදාට උසාවි එනවකො  මම තමුන්ට නීතිය මොන වගේද කියල පෙන්නනම්.. 

කියාගෙන පොලිස් මාමි ෆුටාර් එකේ නැගල සෙනග අතරින් රූං ගාල නොපෙනී ගියා...

වෙච්චි ලැජ්ජාවටයි කේන්තියටයි  පොලිස් මාමි ගෙදර ගිහින් නැන්දිට තැලුවද නැත්තම් ගේ පිටිපස්සට ගිහින් හොඳටම ඇඩුවද දන්නේ නැතෝ...


ත්‍රීවිල් මාමිටත් දෙකක් අමතල මම  පිෂ්ටිය ස්ටාර්ට් කරගෙන සන්තෝසෙන්  එතනින් එන්න ආවේ  පොලිස් මාමි ඒ ලියාගතපු නමට සහ ලිපිනයට සිතාසි එවන්න තැපැල්පතිට තියා පුද්ගලයින් ලියාපංචි කිරීමේ කොමසාරිස්ටවත්  බැරි බව හොඳින්ම දන්නා හින්දයි...

ඒ සිතාසියනම් මේ වෙනකම්ම ආවෙනම් නැහැ ...සිතාසි එවන්න ඉතින් මම වරදක් කරා  කියලත්  මම හිතන්නේ නැහැ .

මේක කියවන උදවිය මෙව්වා  ආදර්ශෙට අරගෙන පොලිසිය එක්ක ගේම් ඉල්ලලා දත් කඩාගන්නවා එහෙම නෙවෙයි... අපි නිවැරදි උනත් මෙව්වා කරන්න ඕන නාඩි අල්ලල බලල.. ශ්‍රී ලංකා පොලිසිය එක්ක ගේමක් ඉල්ලනවා කියන්නේ 75% විතරම ෆුල් බොඩි මසාජ් එකක් ලැබෙන්න තියන ඉඩකඩ වැඩියි... ඒ හින්ද පරෙස්සමෙන්...නිවරද්දේ වැරදිකාරයො වෙන්නත් එපා... මහජනතාව ඉන්න තැන ගේම ඉල්ලුවත් රාත්‍රී කාල වලදී සහ පාලු මුසල තැන වල පොලිසිය සමග ගේම ඉල්ලන්න ගිහින් දත් නැතුව් බත් කන්න උනොත් ඔන්න මම නැහැ ඕන් ...

පසු සටහන් 

ෆිෆ්ටිය පිෂ්ටිය කියල හඳුන්වන්න යෙදුන හේතුව තමයි මේ..

මම දන්නා කියන කෙනෙකුට මෝටර් බයිසිකල් උන තදින් තිබ්බ උනාට ඌ නිෂ්පාදක සමාගම් එක්ක බද්ද වයිරෙන් උන්නේ.. ලෝකේ කොයි තරම් මොටෝ සයිකල් ගැහුවත් කරපු නරකම වැඩේ තමයි ඒ කාලේ බයිකල් ආවේ C ෆිෆ්ටි, වන් ෆිෆ්ටි , ටු ෆිෆ්ටි , ෆෝ ෆිෆ්ටි වගේ එව්ව .. ප්‍රශ්නෙ උනේ මගේ යාලුවට ෆිෆ්ටි කියල කියන්න බැහැ .. ඌට කියවෙන්නෙම පිෂ්ටි කියල.. ඒ හින්ද අපි ඌ නැති තැන්වල ඔය කියන හැම ෆිෆ්ටියම හැඳින්නුවේ පිෂ්ටි කෑල්ල අගට දාලයි .. ඌ ඉන්න තැන්වලනම් අපි ෆිෆ්ටි වත් පිෂ්ටිවත් දෙකම කිව්වේ බොහොම අඩුවෙන්... මොකද මොටෝ සයිකල් පදිද්දීත් , සාමාන්‍ය ජීවිතේදීත් ඌ මොලේ බොහොම අඩුවෙන් පාවිච්චි කරපු එකෙක්... කොටින්ම කිව්වොත් මොලේ අතේ... පිෂ්ටි කෑල්ල ඇහුනොත් ජීවිතෙත් විස්වාස නැහැ..

අවුරුදු ගණනාවක් කරදරයක් නැතුව පැදපු අප්පච්චිගේ මොටෝ සයිකලේට වෙච්චි දේ මෙන්න...."ගිය නොගිය ට්‍රිප් එක"


පින්තූර ගත්තේ මෙතනින් 
http://www.cliparthut.com/funny-police-clipart.html

31 comments:

  1. දෙක පාස් නැති මොළේ කළඳක් නැති මෝල්ලුන්ට ලයිසන් එක වගේ නිළ ඇඳුමක් ලැබුණම ඔහොම වෙනවා. හරි හමන් අධ්‍යාපනයක් තියෙන නිලධාරිත් ඉන්නවා. ඒ අය එක්ක ඔහොම දේවල් වෙලා නෑ මෙතුවක් කල්. ඇහුවෙ නැද්ද රාළහාමි ට තනියම දඩ කොළයක් දෙන්න බෑ නේද කියලා නීතියෙ හැටියට. එයාට සාක්කියට තව නිලධාරියෙක් ඉන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. ෆුටාර් එකෙන් සිතාසි බෙදන්න යන රාළහාමිලා ගාව කොහේ තියන දඩ කොලද ඩ්‍රැකී...... සාක්කුවට දියවෙච්චි පොතකුයි පාට තුනක පෑන් තුන විතරයි තිබ්බේ....

      Delete
  2. මමත් තව පොලිස් කතාවක් ලියන්න ඕනෑ.................... උන්ට ගේම දුන්න එකක් :)

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු අද හෙටම

      Delete
  3. ඔන්න එහෙමත් වෙලා තියනවලු ඈ...... (Y)

    ReplyDelete
  4. ඔහොම එකෙකුට තමයි සැරයක් ආනමඩුවෙ මනුස්සයෙක් දුන්නෙ පොරි හැලෙන්න උසාවියට ගෙන්නලා. පොරට නිවැරද්දෙ දඩ ලිවුව කියලා ට්‍රැෆික් පොලිසියට විරුද්ධව නඩුවක් දාලා. මිනිහා මාර්ග සංඥා ඇඳගෙන එහෙම ඇවිත් උසාවියට. අන්තිමට එහෙ පොලීසියෙ ට්‍රැෆික් OIC ගෙන් අහනකොට පොර මාර්ග නීති ටික හරියට දන්නෙත් නෑ කියලා ඔප්පු උනා උසාවිය ඇතුලෙම. විනිසුරුතුමා දීලා ලෙසටම.

    ReplyDelete
    Replies
    1. දඩ කන මිනිස්සු බහුතරයක් දඩ ගෙවන්නේ උසාවි යන්න තියන බයට බන්.. අපේ පොලිස් මහත්තරු ලියන දඩ උසාවි ගෙනිච්චොත් නිදොස් කොට නිදහස් වෙනවා.. එත් ඉතින් එහෙම වෙන්න තව හාරපන්දාහක් වියදම් කරලා දවසක් දෙකක් උසාවියේ කට්ට කන්න වෙන නිසා මිනිස්සු එතනට පත්නොවී දඩේ ගෙවලදාන නිසා තමයි නීතිය තව තවත් වල් වදින්නේ.. ඇත්තටම ලංකාවේ රියදුරන්ගේ සංගමය වගේ සංගමයක් පිහිටුවල සාමාජික මුදලක් අයකරල උසාවි කේස් වලට නොමිලේ ලෝයර් කෙනෙක් දෙන වැඩ පිළිවෙලක් සකස් වෙනවනම් නියමයි..

      Delete
  5. මමත් ඔය වගේ පොලිස් කතාවක් ලිව්වා. හැබැයි පොලිසියට ගේම දීපු එකක් නෙවෙයි. පොලිසිය ගේම දීපු එකක්.
    මෙන්න ලිංකුව
    http://www.ahasenenna.blogspot.com/2015/07/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. කියවලා බලන්නම්කෝ.. ස්තුතියි මේ පැත්තේ ආවට ..

      Delete
  6. අද තමයි මේකට මුලින්ම ආවේ. බොහොම ලල් එකේ ලියලා තියෙනවා. වැඩෙත් ලල්. පුරස්න දෙකක් තියෙනවා.

    1. මේ කතාව කොහේදි හරි ඇහිලා පුරුදුයි වගේ. කලින් කොහෙට හරි ලිව්වද?

    2. මොකක්ද ඔය හරුප නම ඔච්චරම ඇණගන්න?

    ReplyDelete
    Replies
    1. 1.එලකිරියට ලිව්වා කලින්. මගේ බ්ලොග් එකේ තියන සමහර කථා එලකිරියට ලියපු එව්වා කාලෙකට කලින්. ඒ කාලේ බ්ලොග් එකක් හදන්න ඕනෑකමක් තිබ්බේ නැහැ.

      2. කෞ ... කියල ස්වරයක් තියනවා මැද නමේ.. ඒ මදිවට වාසගම ටිකක් දිගයි.

      Delete
  7. www.youtube.com/watch?v=c5fts7bj-so

    ReplyDelete
  8. පොලිසීය ගැන කතා කරලා වැඩක් නෑ බන්!!
    ඉන්න ඔක්කෝම මහ ලෝඩ් ෆකීර් ලා!! උන්ට වැඩි ලොක්කෝ නැතිය...අනිත් මිනිස්සු ඔක්කෝම උන් කියන දේවල් අහන්ඩ ඕනේය කියලා හිතාගෙන ඉන්න ඔටුවෝ ටිකක්!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පොලිසියේ ඉන්න බහුතරයක් හිතන් ඉන්නේ නීතියනම් මමය කියල බන්.

      Delete
  9. අද තමයි මුලින්ම මේ පැත්තට ආවේ. නැවතත් ඒම සඳහා මේ අඩවිය මගේ බ්ලොග් රෝල්ට දාගත්තා.

    අඤ්ඤා කොණ්ඩඤ්ඤ වගේ නමක් තියන එක වෙලාවකට බොහොම ලාභයක්. ඔය වගේමයි ඉවෝන් කියන වචනය ඉංගිරිසි අයි අකුරෙන් පටන් අරන් ලියපු පොලිස් මහත්තයෙකුට මම හිනාවුණා. (මගේ යාලුවෙක්) ඉවෝන් කියලා ලියන්නේ Yvonne

    ටිරෝන් කියලා ලියන්නේ Tyrone/Tyronne.

    අමාරුම එකක් තමයි චම්ලි. එය ලියවෙන්නේ Cholmondely කියලා.

    ReplyDelete
  10. අද තමයි මුලින්ම මේ පැත්තට ආවේ. නැවතත් ඒම සඳහා මේ අඩවිය මගේ බ්ලොග් රෝල්ට දාගත්තා.

    අඤ්ඤා කොණ්ඩඤ්ඤ වගේ නමක් තියන එක වෙලාවකට බොහොම ලාභයක්. ඔය වගේමයි ඉවෝන් කියන වචනය ඉංගිරිසි අයි අකුරෙන් පටන් අරන් ලියපු පොලිස් මහත්තයෙකුට මම හිනාවුණා. (මගේ යාලුවෙක්) ඉවෝන් කියලා ලියන්නේ Yvonne

    ටිරෝන් කියලා ලියන්නේ Tyrone/Tyronne.

    අමාරුම එකක් තමයි චම්ලි. එය ලියවෙන්නේ Cholmondely කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට. මේ වගේ නම් දැක්කාම පොලිස් මහත්තුරුන්ට අම්මගෙන් බීපු කිරි මතක් වෙනවා ඇති නේද. මොන කරුමෙකට පොලිසියට බඳුනද කියල හිතෙනවා ඇති.

      Delete
  11. ලිපිනයයි නමයි ලියන්න බැරිද?/ :)
    http://nelumyaya.com/?p=4287

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනම් ගූගල් සිංහල ටයිපිං වලින් ලිපිනය කොහොමවත් ටයිප් වෙන්නෙම නැහැ. ස්තුතියි මගේ පොස්ට් නෙලුම්යායේ පලකරන්වට.

      Delete
  12. ගමේ එකෙක් දැකීමත් සතුටක්.. ඔව් ඒක තමයි පාර..

    ReplyDelete
    Replies
    1. Ela ela. Mama ayyage blog ekama kiyewwa. Api nam Damso wata giye ayya gihilla aurudu 10kata 12kata passe. Eth me katha kiyawaddi ape escole kaaleth mathak wenawa.

      Delete
  13. අම්බලන්ගොඩගේ විස්තර: නම, අඥ්ඥාකොන්ඩඥ්ඥගේ ප්‍රඥාදාස. ගම කොම්පඥ්ඥ වීදිය, රස්සාව: ස්පාඥ්ඥයට පිපිඥ්ඥා යැවීම

    ReplyDelete
    Replies
    1. මගේ කොම්පියුටරේ අවුලක්ද මන්ද ඉයන් මට ගූගල් input වලින් ඔව්ව ලියන්නම බැහැ

      Delete
    2. පොලිස්කාරයාගේ නම පුඤ්ඤසෝම ද?

      Delete
    3. හැක්.. එහෙම වෙන්න විදිහක් නැහැ.. එහෙම නමක් තිබ්බනම් උන්ද මගේ නම ගම ලියනවා ගේමක් නැතුව..

      Delete
  14. සිංහල යුනිකෝඩ් වල GN = ඥ් GNa=ඥ

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ GN ගැහුවට හල්වීම එන්නෙම නැහැ..

      Delete
  15. පොලිස් කාරය කොඤ්ඩඤ්ඤ වෙලා ‍වගෙයි වැඩෙන්. සාජන් මහත්තය දැනගන්න ඇති කොස්ස ඉල්ලගෙන කන්න තමයි හදන්නෙ කියල.
    ඕක උසාවි දැම්මනං උසාවියෙ ඇඩ්‍රස් ලියන්න ඉන්න බුවා ඊට වැඩිය අමාරුවක වැටෙන්න ඇති. හැක්..

    ReplyDelete
    Replies
    1. පොලිස්කාරයෝ එකෙකුට එකෙක් නැහැ බන්.. මගේ ඇඩ්‍රස් එක ලියන්න ගිය හැම පොලිකාරයගේම ඇඩ්‍රස් නැති උනා බන්..

      Delete