Tuesday, February 28, 2017

බස් කතා බස්.





කාලීන  මාර්තෘකාවක් වශයෙන් ගත්කල බස් කතාවක් ලිවීම අගනේයි අම්බලන්ගොඩයාට සිතුනාවූ නිසා මෙතනින් පටාන්  ගැනෙනා පෝස්ටුව බස් කතාබහක්ය. ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ගත්කල සිරිබර සිරිලංකාවේ බස් යනු එදිනෙදා ජන ජීවිතයේ පාන් තරමටම වැදගත් මාතෘකාවක්ය. ඊයේ පෙරේදාවක ලියවුනු කමියා සිමා කරන්නට ගියාවූ පෝස්ටුව කියවා අවසානයේ ගොඩයාටත් බස් කතාවන් අටෝරාසියක් මතකයට නැගුනාවූ බැවින් ඒවායින් කිහිපයක් මෙහිලා ලියවෙනවාය.

අම්බලන්ගොඩයා  ඉස් ඉස්සෙල්ලාම බස්රථයක  ගමන් ගිය   මතකය දිවයන්නේ එක්දහස් නවසිය අසූව දශකයේ මුල් භාගයට වන අතර එවකට ගොඩයා හූනු බිජුවක් තටම්වත් නැති සුට්ටන් එකාය.  එකල සීටීබී සහ පුද්ගලික බස්රථ ධාවනය ඒකාබද්ධ  සේවයක් වශයෙන්  කරගෙන ගියාවූ කරුමාන්තයක් නොවේය. ලංගම බස්රථ ප්‍රධාන බස් නැවතුමෙන් ධාවනය ආරම්භ කල අතර පුද්ගලික බස්රථ ධාවනය ආරම්භ  කලේ ප්‍රධාන බස්නැවතුමෙන් එළියේ පිහිටි ස්ථානයක හිටන්ය. එකල ගාල්ල දිහාවට ධාවනය වන බස්රථ අම්බලන්ගොඩ ධාවනය ආරම්භ කලේ සමන්න හෝටලය අසලින්ය. නයාට මුගටියා වාගේම සහසම්භන්ධයක් තිබුනාවූ පුද්ගලික සහ ලංගම සම්භන්ධතාවය පාරේ තොටේ එක දිහාවට ගමන් කරද්දී ළඟ ළඟ ධාවනය වුවා කියන්නේ බ්රූස් ලී ගේ සටන්  පිරි චිත්තරපටියක් නරඹනවාට වඩා ත්‍රාසය භීතිය කුතුහලය පිරි ඇඟේ  රෝම කෙලින්වෙනා මෙව්වා එකක්ය. මිටි වහලය සහිත බස් කොටයේ අස්සක් මුල්ලක් නැතිවෙන්නම මගීන් ඔබා තදකර පා පුවරුවේත් විස්සක් තිහක් එල්ලාගෙන උන්නද ලංගමයේ පස්සා කොන  දකීනා පුද්ගලික රියදුරා බස් කොටය එලවන්නට තනන්නේ බස් කොටයේ දෙකොන පූට්ටු වන්නටය. ලංගම රියදුරාද පරාජය භාරගන්නට ලේසියෙන් සූදානම් නොවෙනාවූ නිසා ලංගමයාද කලාතුරකින් භාවිතයට ගන්නා හතරවන ගියරය දමා  යකඩගොඩ ලෙසටම  ගුවන්ගත කරනවාය. අලුමීනියම් පීල්ලේ නිදහසේ දෙපසට වැනෙනා ලංගමයේ දෙපස වීදුරු  දෙදරමින් නගනා ඝෝෂාවට සහයෝගයක් වශයෙන් ඇන්ජිමේ  දෙදරීමද  එහා ලෝකයටම ඇහෙනවාය . ඔන්න ඔහේ  ඔනෑ එකක් කියන්නා වගේ ගියර් පොල්ල දෙපසට ඔලුව වනමින් කිසිවක් නොදන්නා ආකාරයෙන්   ඔහේ ඉන්නවාය. ලංගමයේ  ගියර් පොල්ල ගැන වෙනමම කතා කරනවානම් ගියර් පොල්ලට පනතිබුනානම් ලංගම රියදුරන්ලාගේ හත්මුතු පරම්පරාවටම සීනිගමින් බැහැලා ගම්මිරිස් අඹරනවා සිකුරුය. ඒ මන්දයත් ලංගම රියදුරාලා ගියර් දමද්දී මලාට ක්ලචය පාගන්නේ නැති නිසාය.

වර්තමානයේ පාරේ තොටේ කලාතුරකින් දකින්නට ලැබෙනා මිට්සුබිශී රෝසාව, ඉසුසු ජර්නිය ඒ කාලයේ පුද්ගලික බස් සංස්කෘතියේ මුල් පුරවැසියන් වුවා වුනත් අද වෙද්දී එකල සෑහෙන තරුණකමට උන් මිට්සුබිශී රෝසාව හඳුන්වන්නේ "ගොනා රෝසා"   යන නමින් වීම අම්බලන්ගොඩයාට නම් සෑහෙන්න අවුල්ය. රෝසාවක් ජර්නියක් යනු අතමිට සරු බස් මුදලාලිලා විසින් පාරට දැමු වාහන  වූ  අතර අතමිට සරු නැති බස් මුදලාලිලා බඩ වියත රැකගත්තේ කැරවන් කොටයක්, එල්ෆ් රූට් කොටයක් පාරට දමාගෙනය. කැරවන් කොටයේත් එල්ෆ් රූට් කොටයේත් ඒ තරම් සෙනග පටවන්නට පුළුවන් වග ජපනා හීනෙකින්වත් හිතන්නට නැතුවා  වන්නට ඇතිය. එකල සුප්‍රසිද්ද බස් මුදලාලි කෙනෙක් වූ අම්බලංගොඩ ශ්‍රී විජය මුදලාලිට රෝසා බස් බර ගණනක් තිබුනා අම්බලන්ගොඩයාට මතකයේ තිබෙනවාය. කඩවසම් රෝසාවට සහ හැඩිදැඩි ජර්නියට භියෝගයක් වෙමින් වෙළඳපොළට පැමිණියාවූ ඒසියා කොම්බිය බැලූ බැල්මට පට්ට කෑල්ලය. කොම්බිය ගැන දිවයින පත්තරයේ දැන්වීම පලවී සතියක් හමාරක් යද්දී ශ්‍රී විජය මුදලාලිගේ බස් පෝලිමේ ඉස්සරහටම වන්නට ඒසියා කොම්බියක්ද දිලිසෙමින් වැඩ උන්නා වුවත් පට්ට කෑල්ල වූ ඒසියා කොම්බිය වර්තමානයේ පට්ට කෑලි වාගේම උඩින් පමණක් ඔපය තිබෙනා මෙලෝ රහකට නැති මෙව්වුවා එකක්  වගට ඉතිහාසයේ සනිටුහන් කරමින් අඩු වයසින්ම තාර  පාරෙන් සමුගත්තාය. ඩයිනා ක්ලිපරයද  මිට්සුබිශී අයිචරයද රොසාව ජර්නිය තරම් සුලභව දකින්නට නොමැතිව බස් මුදලාලිලාට බත්පත සරිකලාවූ වාහන වූ අතර එව්වා  කොළඹ දුවන්නට යොදාගත්තා වගක් අම්බලන්ගොඩයාට මතකයේ නොමැතිය. 

අම්බලන්ගොඩයා  හය වසරේ අකුරු අකුරු කරනා සංදියේ  පාසල් පැමිණියේ බස්රථයෙන්ය. දහවල් එකයි තිහට ආරම්භ වන පාසලට පයින් ගාටන්නට කලුවඩුමුල්ල පාරෙන් ගතවන්නේ විනාඩි පහළොවක් විස්සක් පමණ සුළු කාලයක් වුවත් බස්රථයේ ගමන් කරන්නේ ගමන සොමි නිසාය. එකල පොල්වත්තේ හන්දියේ හිටං අම්බලන්ගොඩට  ටිකට් භාගයක් සත පනහක් වූ අතර සම්පූර්ණ ටිකට්ටුව රුපියලක් පමණය. දහවල් දොළහයි හතලිස් පහ පමණ වනවිට පොල්වත්ත හන්දියට එක්රැස්වෙනා සම වයස් සෙට් එක ඊළඟට හන්දියට ලඟාවන්නාවූ ලංගමයේ පාසල් යන්නට ගොඩ වෙනවාය. පුද්ගලික බස් රථ කෙරෙහි වැඩි ඇල්මක් නොදැක්වුවා වූ හය වසරේ ඇම්බැට්ටයින් දිනපතා ගමන් කරන්නේ ලංගම බසයේ පමණය. ඒ මන්දයත් සතපනහ කොන්දාට නොදී මාරුවෙන ජිල්මාර්ට් එක දැමිය හැක්කේ ලංගම බසයේ පමණක් වන නිසාය. පුරුද්දට වාගේ කොන්දොස්තර තුමා විසින් අසනා "ඔයාල ඔක්කොම සීසන් නේද" යන පැනයට "ඔව් " යන පිළිතුර දෙන්නට එකෙකුවත් ඉදිරිපත් නොවෙනා නමුත් හැමදෙනාම කරන්නේ බොහොම අහිංසක විලාසයෙන් කොන්දාට විරිත්තීම පමණය. 

එවන් ආකාරයෙන් වසරක් පුරාවට කරගෙන ගියාවූ සතපනහ වංචා කිරීමේ ක්‍රීඩාව දින කිහිපයකට නතරකරන්නට සිදුවුයේ එක්තරා දිනෙක පෝරඹ හන්දියෙන් බසයට ටික්කන් ගොඩවූ නිසාය. ටික්කන් හෙවත් ටිකට් පරීක්ෂක මහත්තුරු බසයේ ඉදිරියේ සිට පසුපසට ටිකට්ටු පරීක්ෂා කරගෙන එන අල්ලපනල්ලේ හය වසරේ පුංචි හොර නඩය බසයේ පසුපස මුල්ලට වෙන්නට පොදි ගැසී සිටින්නේ භයෙන් භිරාන්ත වීලාය. කිහිප දෙනෙකුගේ ඇස් බිමට වැටෙන්නට ඔන්න මෙන්න තිබුනාවූ අතර කී දෙනෙකුට මූත්‍රා පහවන්නට ඔන්න මෙන්න තිබුණාදැයි ගොඩයා දන්නේ නැතිය. එහෙත් පෙර කල කුසල් මහිමයකට ටිකට් පරීක්ෂා කල ටික්කාද "ඔයාල ඔක්කොම සීසන් නේද" යන සුපුරුදු ප්‍රශ්නයම ඇසු බැවින් සියල්ලෝම හොඳම හොඳ පුතාලා ආකාරයෙන් ඔලුව ඉහල පහල වැනුවෝය. එදා බසය කුලරත්න හංදියේ නැවතුවූ කල බසයෙන් බිමට පැන්නාවූ හය වසරේ හොර නඩය පාසල වෙත දිවුවා නොවේ විද්දාය. එදා හිටං දින කිහිපයක්  යනතුරු නීත්‍යානුකුලව බස් ගමනේ යෙදුනු හොර මුල නැවතත් සුපුරුදු ආකාරයෙන්ම බොරු සීසන් එකෙන්ම ගමනේ යෙදුනෝය.

සිරිබර සිරි ලංකාවේ බොහොමයක් ප්‍රධාන මාර්ගවල බස් ගමනේ යෙදී තිබෙනා අම්බලන්ගොඩයා වැඩිමනක් උත්සහ කරන්නේ ඉන්දියානු බසයකට ගොඩවීමට වඩා ජපන් රටේ නිෂ්පාදිත බස් රථයකට ගොඩවීමටය. ඒ ඇයිදැයි කියනවානම් ඉන්දියානු බසයක ගමන් කිරීමේදී ඇඟට දැනෙනා අපහසුතාවයන්ගෙන් අරික්කාලක්වත් ජපනා නිෂ්පාදිත බස් රථ වලදී නොදැනෙනා බැවින්ය. එහෙත් සිරි ලංකාවේ මගීන්ගේ කරුමයට සියලුම සාමාන්‍ය ගාස්තු බස් රථ ඉන්දියානු ඒවා බවට පරිවර්තනය කරන්නට ලේලන්ඩ් සමාගම සමත්වූ නිසා සාමාන්‍ය ගාස්තුවට ජපන් බසයක ගමන් කිරීම වර්තමානයේ හීනයක් පමණය. ගොඩයා එකල රට පුරා රැකියාව කල සංදියේ ගමනාගමනය සඳහා වැඩිමනක් යොදාගත්තේ ඒසී බස්රථ වූ  අතර එය හුදෙක්ම ආසනයේ සැප පහසුවත් කන් දෙක අගුල් වැටෙනා ශබ්දයෙන් මිදී යාමත් අරමුණුකොට සිදුවුවක්ය. 

ඒසී බස්, බස්  වශයෙන් චිශ්ලේෂණය කළහොත්, ඉසුසු ජර්නියට වඩා ටොයෝටා කොස්ටරයේත් බේබි රෝසාවෙත් සැප පහසුව වැඩිය. ඒ මන්දයත් ජර්නියේ ද්විත්ව ආසනය යනු ආසන එකහමාරක්  නිසා සහ ඒසී පද්ධතිය උපතින්ම මන්දබුද්ධික තත්වයේ එකක් වන නිසාය.. ද්විත්ව ආසනයේ ජනේලය කොනේ වාඩිවීමට නොහැකිවුවහොත් ගමන අවසාන වනතුරුම මගියාට සිදුවන්නේ ආසනයේ වාඩිවී සිටින්නට වෙරදරීමට පමණය. ජර්නිය දකුණට වංගුවක් ගන්නා සෑම අවස්ථාවකම මැද ආසනයේ මගියා ආසනයෙන් එලියට තල්ලුවීම වැලැක්විය නොහැකි කාරණයක් වන අතර පනින ආසනය හෙවත් ජම්පින් සීට් එකේ සිටින්නේ ගැහැණු දැරිවියක්නම් කාරණය සෑහෙන්න බරපතල වෙනවාය. ඊටත් එහා ඉසුසු ජර්නියේ ඒසී ගමන ගැන පහදනවානම් පොරවන්නට බ්ලැන්කට්ටුවක් සහ පවන් ගසන්නට වටා පතක් අතැතිව ජර්නියට ගොඩවීම වඩා ඥානාන්විතය. එය එසේ වන්නේ ජර්නිය යනු  ඒසී පෙට්ටිය ආසන්නයේ ඉන්නා එවුන්ට අයිස්ලන්තයේ සීතල දැනෙනා  සහ දොර ආසන්නයේ සිටිනා එවුන්ට සහරාවේ උණුසුම දැනෙනා අරුම පුදුම නිෂ්පාදනයක් වීමය. එක්තරා දිනයක ඉසුසු ජර්නියක අනුරාධපුර දක්වා ගමන් ගන්නා අල්ලපනල්ලේ ජර්නි රියදුරා දඹුල්ල පාරේ දැමු වෙට්ටුවක් හේතුකොටගෙන අම්බලන්ගොඩයාගේ කිලෝ විස්සක් පමණ බර ටූල්ස් ඇසිරු බ්‍රීෆ් කේසය බසයේ උන් සුද්දෙකුගේ ඔලුව උඩට පතබෑවුනේ ආසන වලට ඉහලින් තිබෙනා ගමන් මලු අසුරණයේ තිබිලාය. සුද්දා " ඔහ් මයි ගෝඩ් " කියමින් ඔලුව බදාගෙන කෑගසන්නට වූ අතර අම්බලන්ගොඩයා හනික ලක ලැහැස්ති වුයේ සුද්දාගෙන් නැව් ගුටි විස්සක් තිහක් වැළඳීම සඳහාය. එහෙත් සුද්දා ඔලුව අතගාමින් රියදුරාට දොස් දෙවොල් තැබුවා විනා අම්බලන්ගොඩයාට  මෙලෝ දොසක් නැගුවේ නැතිය. එම ආසනයේ සුද්දා නොහිට ලංකාවේ ගොඩ සුද්දෙකු වාඩිවී සිටියානම් අම්බලන්ගොඩයා  තරුණ මහතා (හැන්ඩ්සම්) අභාවප්‍රාප්තවී මේ වෙද්දී වසර විස්සකට ආසන්න වෙනවාය.

ගොඩයා කොළඹ සේවය කල සංදියේ කලක් උදෑසන ගමන් පහසුව සලසාගත්තේ අම්බලන්ගොඩ කොළඹ ඒසී බසයකින්ය. ඒ වෙද්දී අම්බලන්ගොඩ කොළඹ ඒසී ගාස්තුව රුපියල් හතළිහක් පමණය. එකල උදෑසන පහයි විස්සේ ඒසී බසය මිස්වීම යනු ගොඩයාගේ නිවාඩු භාගයක් අවසන් ගමන් යන්නාවූ දුක්ඛිත කාරණයක්ය. ඒ මන්දයත් පහයි හතළිහේ බසයේ රියදුරා වයසක නඩයක් වන්දනාවේ යවන්නට ඉහලින්ම සුදුසුකම් සපිරූ රියදුරෙකු වීමය. නින්දෙන් අවදිවන්නට තරම් බ්‍රේක් පාරක් මලාට නොගසනා පහයි හතළිහේ රියදුරා කොළඹට ලගාවන්නේ නාකි බල්ලන් කොළඹ යන්නාවූ වේගයෙන්ය. පහයි හතලිහට අම්බලන්ගොඩින් පිටත්වෙනා ඒසී බස් රථය දෙහිවල හංදිය පසුකරනවිට ලොක්කා අටහමාරට රතු ඉර ගසනවාය. එතැනින් එහා කොළඹට කීයට ගියත් එක නිසා පහයි හතළිහේ නැග්ගාවූ තීරණයටත් රියදුරාගේ මවු දෙමවුපියන්ටත් පින්පෙත් දෙමින් ගොඩයා ඇතුළු බහුතරයක් මගීන් දත්මිටි කනවාය. දෙනියායේ සිට පැමිණෙනා "සමන් එලිය " හා ගාල්ලේ සිට පැමිණෙනා "මල්ෂා" බස් රථ දෙකෙන් එකක එල්ලුනහොත් අටට කලින් බම්බලපිටියෙන් බසිනවා ශුවර්ම ෂුවර් වුවත් අනෙකුත් ඒසී බස් රථ කෙරෙහි විශ්වාසයක් තැබීම සෑහෙන අවිනිශ්චිත කාරනාවක්ය.  අඩුමිලට ලැබෙනා රජයේ දුම්රිය වාර ප්‍රවේශපත්‍රය තිබියදී ඒසී බසයට මුදල් ගෙවා නිවාඩු භාගයකටත් කණකොකා හඬවීම අවරගණයේ ගොං ක්‍රියාවක් වශයෙන් ඒසී ගමනට ආයුබෝවන් කියනා ගොඩයා උදෑසන හතරයි හතළිහේ තැපැල් දුම්රියට ස්තානගතවන්නේ වෙනත් විකල්පයක් නමැති නිසාය. 

ගොඩයා කතරගම සේවය කල  මුල් සංදියේ  ගමන් පහසුව සලසාගත්තේ රාත්‍රී දහයට කොළඹින් කතරගම  බලා පිටත්වනා එයාරෝස් බසයේය. එකල එයාරෝසය පැදවූ සරත් අයියා නම් පුද්ගලයා රියදුරෙකු වශයෙන් විශ්වාසය තබා නින්දට වැටියහැකි චරිතක්ය. බසයේ එන්ජිමේ නාදය පරයා සිලි සිලි නාදය පමණක් ඇසෙනා කැසට් යන්ත්‍රයද සරත් අයියා ක්‍රියාත්මක කරන්නේ මගීන්ට කරදරයක් නොමැති වන්නටය. දුම්වැටි එකක් නිවෙන්නට එකක් දල්වනා සරත් අයියා එයාරෝසය කතරගම නැවතුමේ නැවැත්වූ සැනින් ත්‍රිරෝධ රථයකට ගොඩවී ගෙදර යනවාය. ත්‍රිරෝධ රථයක් සොයාගන්නට නැති සමහරක්දාට ගොඩයා නිල නිවාසයට යන ත්‍රිරෝධ රථයේම සරත් අයියාද ගමන් ගන්නවාය. සරත් අයියාගේ දුම්බීම කොතරම්ද යත් ගොඩයාව නිල නිවාසයෙන් බස්සන අල්ලපනල්ලේ ගොඩයාගෙන් ගිනිපෙට්ටිය ඉල්ලාගෙන තවත් සිගරට්ටුවක් දල්වනවාය.  

රථය බස් රථයක් වුවාට රාත්‍රී කතරගම ධාවනය වන බස්රථයක අසුන්ගන්නවා යනු බෝයිං 777 යානයක ගමන්ගන්නවා වැනිම වූ අත්දැකීමක් වන අතර එය ගුවන් යානයකින් වෙනස් වන්නේ අතට පයට කෑම සපයන්නට හැඩට ඇඳගත් අක්කලා නංගිලා නැතිකම සහ කැසට් යන්ත්‍රයෙන් ඇසෙනා සිලි සිලි ශබ්දය පමණක්ය. කිසිදාක ගුවන්යානයක ගමන් කර නොමැති උදවිය  වෙතොත් ඒ අත්දැකීම විඳගන්නට තිබෙනා ලාභම ක්‍රමවේදය නම් රාත්‍රී කාලයේ කතරගම බලා ධාවනය වන පුද්ගලික බසයක අසුන් ගැනීමය. ඇඟේ රෝම කෙලින් වන්නට දැනෙනා වේගයත් සයිලන්සරයෙන් ඇසෙනා බර බර ශබ්දයත්, කැසට් ධාවන යන්ත්‍රයෙන් ඇසෙනා සිලි සිලි ශබ්දයත් මවනා ඇඟ කිලිපොලායන අත්දැකීම විඳින්නට පින් කරලා තිබෙන්නට  ඕනෑය. එවන් රථයක ඉදිරිපස අසුනේ අසුන්ගන්නවා යනු පන නම් තණ අග පිනි බඳු වන්නේ යන්න සැබෑ ලෙසම දැකගන්නට පුළුවන්ය. මධ්‍යම රාත්‍රිය පසුවී එවන් බසයක ඉදිපස අසුනේ ගමන් ගනිද්දී දැනෙන්නේ මාර්ග නීති නම් මොනවාද කියාය. පැයට කිලෝමීටර එකසිය විස්ස  පන්නා ධාවනය වන ලේලන්ඩ් යන්තරයට පාරේ ඇඳ තිබෙනා තනි ඉරි, කඩ ඉරි, ඩබල් ඉරි, කහ ඉරි සියල්ලම කොස් ඉරි කොස් ඉරි තරමටවත් වැදගැම්මකට නැතුවා සේ දැනෙනවා වන්නට ඇතිය. ලේලන්ඩ් යන්තරය  දකුණට තිබෙනා වංගු යන්නේ පාරේ දකුණු අයිනෙන් හෙවත් ඇමෙරිකානු මාර්ග නීතියට අනුකූලවය. වමට තිබෙනා වංගු යන්නේ බ්‍රිතාන්‍ය නීතියට අනුකුලව වම් අයිනෙන්ය. රියදුරා පදවන්නේ බස්රථයක් වුවත් පසුපස  මගීන්ට දැනෙන්නේ මයිකල් ශූ මාර්කර් පදවනා ෆොර්මියුලා රථයක පසුපසින් වාඩිවී ඉන්නා වැනිවූ දැනීමක්ය. ඉදිරිපස අසුන්වල වාඩිවී සිටිනා මගීනට දැනෙන්නේ කවුරුන් හෝ විසින් ප්ලේ කරනා නීඩ් ෆෝ ස්පීඩ් පරිඝනක තිරය දෙස බලා සිටිනවා වැනිවූ හැඟීමක්ය . ලේලන්ඩ් යන්තරය පාරේ තිබෙනා කඳු වැටි පල්ලම් සියල්ල ගමන්ගන්නේ එකම වේගයකින් වන අතර නිරන්තරයෙන් භාවිතයට ගන්නා නලාවේ ශබ්දයට ඉඳහිටෙක පාරේ හමුවෙනා සියලුම වාහන කොහේ හෝ කානුවකට දමා ඔවුන් ජීවිතය බේරාගන්නවා විනා ලේලන්ඩ් යන්තරයේ බ්‍රේක් පෑගෙන්නේ එහෙමමත් කලාතුරකින් අවස්ථාවක පමණය.

එක්තරා සිකුරාදා දිනෙයක ගොඩයා කතරගම සිට අම්බලන්ගොඩ බලා ගමන් ගන්නට කතරගමින් ඇල්පිටිය බසයේ අසුන්ගන්නවාය. අද කෙසේදෝ කියා දන්නේ නැතත් එකල ඇල්පිටිය කතරගම බසය ටාටා වර්ගයේ බසයක් වූ අතර ගොඩයා ලේලන්ඩ් යන්තරයට වඩා ටාටා යන්තරයට එකෙන්ම ලැයික් වන්නේ ටාටාවේ ශබ්දය ලේලන්ඩ් යන්තරයට සාපේක්ෂව සියයට සියයක්ම අඩු අගයක් ගැනීමය. තවත් හෙතුවක්නම් ටාටාවේ ආසන මගීන්ගේ සැප පහසුව වෙනුවෙන් සෑදු ආසන වීමය. සවස එකයි තිහට පමණ කතරගමින් පිටත්වනා ඇල්පිටිය බසය සවස පහයි කාල පමණ වෙද්දී අම්බලංගොඩ ලෑන්ඩ් කරනවා අනිවාය.

ගොඩයා ගමන් ගන්නා ඇල්පිටිය බසය දෙබරවැවදී ගල් අදිනා ලොරි තඩියකට ඉස්සර කරන්නට සෑහෙන්න දත කනවා අම්බලන්ගොඩයා බලාගෙනය. බසය තුට්ටුවකට මායිම් නොකලා වූ ලොරි රියදුරා පැයට කිලෝමීටර තිහක පමණ වේගයකින් මාර්ගය අහුරා ධාවනය කරනවා විනා ටාටාවේ අලි එලවන නලාව මලාට ගණන් ගන්නේ නැතිය. දහ දොළොස් වාරයක උත්සාහයකින් අනතුරුව ලොරි තඩියට ඉස්සරකරගන්නට ඇල්පිටිය රියදුරා සමත්වනා අතර ඇල්පිටියේ පසුපස දොරේ එල්ලී සිටිනා සහයට කොන්දොස්තර උන්දෑ ලොරියේ රියදුරාට අතපය දික්කරමින් අව්‍යාජ්‍ය සිංහලෙන්ම අමතනවාද අම්බලන්ගොඩයා බලාගෙනය. එහෙත් ඇල්පිටිය රියදුරා කිසිදු ප්‍රතික්‍රියාවක් නොමැතිව ටාටාව ගුවන්ගත කරන්නට දත කනවා විනා මග ඇහිරු ලොරි තඩිය ගැන කිසිදු අවදානයක් යොමුකළේ නොමැතිය. 

එසේ අඛණ්ඩව සිදුකල ධාවනයකින් අනතුරුව දික්වැල්ල නැවතුමේදී කතරගම සිට පැමිණි රියදුරා මගීන්ට සමුදෙන අතර එතැන් පටන් පයිලට් ආසනයේ අසුන්ගන්නේ ඇල්පිටියේ සුපුරුදු රියදුරාය. රියදුරා මාරු වුවද දුරගමන් සේවා යන්තරවල ගමන වෙනස්වන්නේ බොහොමත් කලාතුරකින් වන අතර දෙවන රියදුරාද තම සුපුරුදු යානය බර්නොලි තියරිය පරදන්නටම ගුවන් ගත කරනවාය. එහෙත් ශ්‍රී එෆ් එම් හි අවාසනාවට ඇත්තකතාවක් වැනිවූ සිදුවීම සිදුවන්නේ කොග්ගල හෝටලය ආසන්නයේදීය. කඩු පොලු රැගත් මිනිසුන් පිරවූ ටිපර් රථ දෙකකින් මග හරස් කර ඇල්පිටිය බසය කොග්ගල හෝටලය අසල ගාලුපාරේ නවතාගන්නේ රියදුරා කිසිදු ආකාරයකින් නොදන්නා වරදකට දඬුවම් දීමට වග වටහාගන්නවිට ඇල්පිටිය රියදුරා ටාටාව නවත්වා හමාරය. එතැන් හිටං බස් රථය ඇතුලේ ගිනි අවි සහ ගිනි කෙලිය. සෙනග පිරවූ ටාටා රථයේ ඉදිරිපසින් ඇසෙන්නේ චට පට නාදයෙන් රියදුරාට නෙලනා ශබ්දය පමණය. ටිකට් පොත කොහේදෝ අස්සක හැංගු කොන්දොස්තර තැන්පත් බසයේ පොල්ලේ එල්ලී හිටගෙන ඉන්නේ මගියෙකු ගානටය. කොග්ගල චන්ඩි පිරිසක් රියදුරාට සබ්බුව දෙන අල්ලපනල්ලේ තවත් පිරිසක් කොන්දොස්තර සොයා බස් රථයේ සෝදිසි මෙහෙයුමක් දියත් කරලා වුවත් හැමදා යන එන මගීන් කොන්දා පාවා නොදී සිටින්නට වගබලාගත්තෝය. ගොඩයා ජනීලයෙන් ඔලුව එලියට දමා "ඔය මනුස්සයට ගන්න එපා හලෝ කතරගම ඉඳන් ආපු ඩ්‍රයිවර් දික්වැල්ලෙන් බැස්සා" නොකියන්නට එදා කොග්ගල සෙට් එක ඇල්පිටියේ රියදුරාට ආයේ රැකියාවක් නොකරන තැනටම අත පය කඩා දමනවාය. ඒ සියල්ලට අනතුරුව ගොඩයා වෙත මතුවූ ප්‍රශ්නය නම් චන්ඩි රැල බැසගිය වහා ඇල්පිටියේ රියදුරා කිසිවක් නොවුනාවූ ලෙසට නැවතත් ටාටාව පෙර පරිදිම ගුවගතකලේ කෙසේදෝ කියාය. එවන් ආකාරයේ ගුටි පූජාවක් සාමාන්‍ය පුද්ගලයකුට වැදුනානම් ආයේ මාස හයක් පාරේ වාඩිවී අඬනවාය. අනෙක් කරුණ නම් දිනපතා එක බස් රථයේ ජීවිකාව කරගන්නා රියදුරාට අලි ගහන්නැහේ ගුටි අනිනා අල්ලපනල්ලේ කොන්දා කිසිවක් නොදන්නා මගියෙකු සේ පොල්ලේ එල්ලී සිටින්නේ කෙසේදෝ කියාය.

බස් කතා ලියන්නට ගොස් පඳුරු තැලුවා වැඩි වුවත් තවත් බස් කතාවක් මතකයට නැගුනාවූ බැවින් එයද ලියා තබනවාය. එක්දහස් නවසිය අනූ අටේ එක්තරා සිකුරාදාවක ගොඩයා සහ අතිජාත මිත්‍ර සමා ගමන් ගන්නේ අනුරාධපුර හිටං කොළඹ බලාය. එකල අනුරාධපුර හිටං කොළඹට ඒසී බසයේ ගතවන කාලය පැය හතරහාමාරක් වන අතර අනුරාධපුරයෙන් සවස පහට බසයේ නැගුනොත් රාත්‍රී නවය සහ දහය අතර කාලයේ පිටකොටුවට ලෑන්ඩ් කරනවා අනිවාය. එදා සිකුරාදාවක් වූ නිසා අනුරාධපුරයෙන් කොළඹ බලා ධාවනය වූ ඒසී බස් රථය නිසාන් යුඩී වර්ගයේ සුවිසාල රථයක් වූ බැවින් ගොඩයාට සහ මිතුරු සමාට හිමිවූ ආසනය වන්නේ දකුණු පැත්තේ පසුපස රෝදය උඩ වූ ආසනයය. සමා ජනේලය අයිනේ වූ අතර ගොඩයා ඊට යාබද ආසනයේය. ගොඩයා බසයේ නිදන්නට රුසියා නිසා අවස්ථාවෙන් උපරීම ප්‍රයෝජනය ලබාගන්නවාය. 

බොහෝම නිවිහැනහිලේ කොළඹ බලා ධාවනය වූ රථය එකවරම කාලගෝට්ටියක් වන්නේ වරකාපොලින් කටගොන්නක් බීගත් හාදයන් හතරදෙනෙකු පසුපස ආසනයට අසුන්ගත්තායින් අනතුරුවය. එතැන් පටන් බස් රථයේ ඇසෙන්නේ ඔවුන් හතරදෙනාගේ චන්ඩි කථාය. කතාවෙන් බහෙන් චන්ඩි හතරදෙනා කිරිබත්ගොඩ ප්‍රදේශයේ චන්ඩින් වග දැනෙනවාය. ඔවුන්ගේ සංවාද වලට අනුකූලව පාතාලය යනු ඔවුනට අතැම්බුලක්ය. ඔවුනට ත්‍රිවිද හමුදාව සහ පොලිසිය සමග වුවද මුහුණට මුහුණ සටන හෙන සිම්පල් වැඩක්ලුය. රටේ නීතිය යනු කැලෑ පත්තරයක් ගානටවත් ගණනක් නැතිලුය. ඔයවැනි චන්ඩි කතා බස්රථය පුරා ඇසෙද්දී කොන්දොස්තර තැන රියදුරා අසලින් වාඩිවී හිඳින්නේ පසුපස සිදුවනා කාලගොට්ටිය ඇසෙනා නෑසේනා ගානටය. චණ්ඩින්ගේ ගෝසාව මගීනට කොයිතරම් හිසරදයක්ද යත් නින්දේ උන් මගීන් සියල්ල නින්දෙන් අවදිවී සිටින්නේ කිසිවක් කරගත නොහැකිවය. චන්ඩින් හතරදෙනා අසුන්ගතව සිටින්නේ ගොඩයා සහ සමා සිටිනා ආසනයට ආසන පේලියක් පසුපසින්ය. ගොඩයා සිටින්නේ රෝදය උඩ ආසනයේ වන අතර ඊට පසුපස ආසනයේ සිටින්නේ රැකියාවක් කර නිවසට යන මොඩලයේ බොහෝම නිවුන පෙනුමැති තරුණ අයෙක් සහ ගලිවර්ගේ සුවිසැරියේ ගලිවර් තරම් හයේ හතරේ යෝදයෙක් වන් හාදයෙක්ය. ඒ හාදයාගේ උකුලේ ගමන් මල්ලක්ය. ඊට පසුපසින් ආසනය බසයේ අවසන් ආසනය වන අතර එහි තම රාජධානිය කරගෙන වහසිබස් දොඩන්නේ බේබද්දන් හතරදෙනාය. ඔවුන්ගේ කන්දොස්කිරියාව ඉවසා අවසන් ඉවසීමේ කටුව පැන්නාවූ ගොඩයා උන් ආසනයට පසුපස හෙවත් සමා පසුපස ආසනයේ තරුණ පෙනුමැති පුද්ගලයා ආසන දෙකහි හිස රඳවනය මැදින් ඔලුව දමා චන්ඩින් අමතනවාය..

මේ ඔයාල ටිකක් සද්දේ අඩු කරනවද කරුණා කරලා.. මේ මිනිස්සු ඔක්කොම වැඩ කරලා මහන්සි වෙලා එන මිනිස්සු.. ඒ මිනිස්සුන්ට නිදාගන්න දෙනවද කරුණාකරලා..

උඹ කව්ද ඩො අපිට අණ දෙන්න.. අපි කිරිබත්ගොඩ සුපරි කකුල් අරිද.. උඹ වැඩිය දැඟලුවොත් බස්සගන්නවා -----පුතා කිරිබත්ගොඩින්..

අනේ කරුණාකරලා සද්දේ අඩුකරගන්නකෝ.. අපිට එච්චරයි ඕන..

තෝ කව්ද -----පුතෝ අපිට පාර්ට් දාන්න.. මේක අපේ වැයික්කිය දැනගනින්.. පාඩුවේ ගෙදර යන්න ඕනෙනම් සද්දේ වහල පල..

එහෙමද..

ඔව් එහෙම තමයි ඩො.. ඇයි උඹ මොනවා කරන්නද..

ගොඩයා සහ සමා සිද්දිය ගැලරියේ හිටං නරඹන ප්‍රේක්ෂකයින් වන අතර අනෙකුත් සියලුම ප්‍රේක්ෂකයින් සිටින්නේ ගොඩයලාට පසුපසින්ය. කිසිවක් නොදන්නා ගානට රියදුරා රථය කොළඹ බලා ධාවනය කරනවාය. කොන්දා කන් නෑසෙන ගානය..

සමාගේ ආසනයට පසුපසින් සිටිනා තරුණ මහතා ආසනයෙන් නැගී සිටින්නේ ඒ අවස්ථාවේදීය.. ඊළඟට ඉනෙන් එලියට ඇදෙන්නේ ස්වංක්‍රීය වර්ගයේ පිස්තොලයක්ය..

දැන් තොපි මගෙන් ඇහුව නේද මොනවා කරන්නද කියල නේද.. මට කියල තොපේ ඔලුව කුඩු කරගන්නේ නැතුව සද්දේ වහල පල මේ මිනිස්සුන්ට පාඩුවේ යන්න දීල..

බස් රථය මීයට පිම්බා හා සමානය.. චන්ඩින්ගේ කටවල් මීක් නැතිය.. ඊළඟ අවස්තාව  කව්රුත් නොසිතු පුද්ගලයාටය.. එනම් ගොඩයා පසුපස ආසනයේ උන් ගලිවර් මහතාය. හෙතෙම නැගී සිටින්නේ තම ගමන් මල්ල උස්සාගෙනය.

සර්.. බෑග් එක ටිකකට අල්ලගන්න පුලුවනිද..

ඔහු එසේ අසන්නේ පිස්තෝලය ඇත රැඳී පුද්ගලයාගෙන්ය..එයින් පිස්තෝලය නැවත ඉනේ ගසාගන්නා තරුණ මහතා ගමන් මල්ල උකුලට ගෙන වාඩි වනවාය.. ඊළඟට අම්බලන්ගොඩයාටත් හිතාදර සමාටත් ගැලරියේ සිටම නරඹන්නට ලැබෙන්නේ ලෝක රෙස්ලින් සූරයකු තම ප්‍රතිවාදීන්ට ලෙසටම නෙලනා දර්ශනයක් වාගේ ඒකකය. වෙනත් ආකාරයකින් කියනවානම් ජිම් පප්පා රෝමන් කාරයින්ට නෙලනවා වාගේ දර්ශනයක්ය. එතෙක් පාතාලය අතැම්බුලක්වන් චන්ඩි කතා කී චන්ඩින් හතරදෙනාට ලෙසටම වගකිවූ ගලිවරයා නෙලනා නෙලිල්ලට එකෙක් දෙන්නෙක් පසුපස වීදුරුව කඩාගෙන එලියට විසික්වෙයිදෝ යන භයටදෝ රියදුරා රථය පාරේ අයිනට වෙන්නට නවතාගන්නවාය. වචනයක් වත් කටින් පිට නොකලාවූ ගලිවරයා චන්ඩින් හතර දෙනාටම අම්මාගෙන් බිවු රන්කිරි මතක් වන්නටම නෙලූ අවසන එකින් එකා කමීස කොලරයෙන් ඇදගෙන ගොස් බසයෙන් එලියට තල්ලුකර දමන්නේ සියලු මගීන්ගේ ඔල්වරසන් මැද්දේය. එතෙක් වේලා රියදුරා ආසන්නයේ මීයා සේ උන් කොන්දා නිදා සිට ඇහැරුනාක් සේ චන්ඩින් එලියට ඇද දමන්නට සහයෝගය දුන්නද ගලිවරයාගෙන් කණ පුරා පහරක් ඔහුටද හිමිවන්නේ එතෙක් නිහඬව සිට බෝනස් ලකුණ හිමිකරගත් ජයග්‍රාහකයා වශයෙන්ය. ඒ සියල්ල අවසානයේ ගලිවරයා නැවත තම ආසනයට විත් තම ස්වාමියාගෙන් ගමන් මල්ල ඉල්ලාගෙන මුකුත් නොවුනා සේ අසුන්ගත් පසුව ගොඩයා සමා දිහා බලන්නේ එතෙක් නැරඹු සටන් ජවනිකාවේ විස්තර සමාලෝචනයක් සඳහාය. එහෙත් සමා තම ආසනය යටට පහත්වී එබීගෙන මොනවාදෝ හොයනවාය..

මොනාද බන් හොයන්නේ..

න්..න්...නෑ ....බන් සපත්තු දෙක හෙව්වා..

ඔය තියෙන්නේ බන් කකුල් දෙකේ... හැක්..හැක්..

පිස්තෝලය දැකලා කකුල් දෙකේ තිබ්බ සපත්තු දෙක සීට් එක යට හෙව්වේ මොකද කියන එකනම් ඉතින් අහන්න වෙන්නේ සමාගෙන්ම තමා.. 

Wednesday, February 15, 2017

ලොකු තාත්තා සහ ප්ලෑන් බී






ලොකු තාත්තා යනුවෙන් අම්බලන්ගොඩ පැත්තේ එවුන් ආමන්ත්‍රණය කරනා චරිතය විවිද පළාත් වල ඇමතෙන්නේ ලොකු අප්පච්චි හෝ මහප්පා යන ආමන්ත්‍රණයෙන් වන අතර එය පළමුකොටම ලියා තැබෙන්නේ ලියනා ලියවිල්ලක් ශ්‍රී ලංකා වාසී හැමදෙනාටම වැටහෙනා භාෂාවකින් ලියන්නට ඕනෑ නිසාය. එසේ නොකළහොත් පලාතෙන් පලාතට වෙනස් වන භාෂා ව්‍යවහාරය අනුව ලිපිය රසවිඳීමේ භාධා ඇතිවනු වලක්වනු නොහැකිය. උදාහරණයක් වශයෙන් කියනවානම් පරණ කතා කිහිපයක්ම උදාහරණයට ගන්නට පුලුවනිය. 

මෑත ඉතිහාසයේ එක්තරා වකවානුවක තිරගතවූ "මේ දෑස කුමටද " චිත්‍ර පටය දුෂ්කර පලාතක තිරගත කල අවස්ථාවේ චිත්‍රපටිය බැලීමට කිසිවෙකුත් නොපැමිණෙන අරුමයෙන් විමතියට පත් සිනමාහල් කළමනාකරු " මේ දෑස කුමටද " යන්න " මේ දෑස මක්කටද " යනුවෙන් වෙනස්කොට පෝස්ටරය ඇලෙවූ වහා සිනමා ශාලාව නරඹන්නන්ගෙන් පිරී ඉතිරී ගිය කතාවක් ඒ කාලයේ මළගෙදරක කතා වුවා මතකය. ඊයේ පෙරේදාවක ටීචර් කෙනෙක් ළමයිනට  " ඇහැක් විදිහට කනක් අඳින්න " කියා කියූ කතාවකුත් කොහේදෝ විහිළු කතා පිටුවක තිබුනා වාගේ මතකය. එවන් ආකාරයේ භාෂා විවිධත්වයක් තිබෙනා පුංචි දූපතේ හැම එකාටම තේරෙන භාෂාවෙන් ලියන්නට ක්‍රමවේදයක් අම්බලන්ගොඩයා නොදන්නා නිසා "ලොකු තාත්තා " කියනා වචනයට අදාළ අනෙකුත් ආමන්ත්‍රණ කිහිපය ඉහලින් ලියා තැබුවේ කාගේ කාගේත් හිතසුව පිණිසය. 

අම්බලන්ගොඩයා විසිපහේ තරුණයා කාලයේ හිතවතෙකුගේ නිවසකට ගොස් පාරේ සිටම හිතවතා විමසු  අල්ලපනල්ලේ හිතවතාගේ බිරින්දෑ අම්බලන්ගොඩයාටත් ආදරණීය මිතුරැ සනාටත් නිවසට ආරාධනා කලේ මෙසේය.

අක්කේ ##### අයිය ඉන්නවද ගෙදර..

ආ ඉන්නවා ඉන්නවා.. මේ බත් කනවා.. හිටෝලා එන්නලු ගෙට..

මෙතන කමක් නැද්ද..

කමක් නැහැ කමක් නැහැ.. අයිනට වෙන්න හිටෝලා එන්නකෝ..

ආ එහෙනම් අලවන්ගුවයි උදැල්ලයි ගෙන්නකෝ..

මොකක්???  අලවංගුව...

හැක්.. ඔයාලගේ පැත්තේ ඒකට කියන්නේ ගල් ඉන්න කියල..

ඉතිං මොකටෑ උදලු ගල් ඉනි..

වලක් හාරන්න හලෝ වලක් හාරන්න.. 

ඒ මොකටද අප්පා..

හත් ඉලව්වේ දැන් කිව්වා නේද මේක හිටවල එන්න කියල.. ඉතිං කොහොමෙයි මේ තාර පාරේ වලක් හාරන්නේ උදැල්ලක් අලවන්ගුවක් වත් නැතුව.

ඔයා මුන්ට බයිට් නොවී ඉන්න අනේ.. බැහැල වරෙල්ල බාන් මේ මනුස්සය මඩවන්නේ නැතුව..

අයියා බත් පත වළඳා අහවර එලියට වැඩිනිසා එයින් නිමාවූ සංවාදය එසේ වුයේ අයියාත් අක්කාත් ලංකාවේ පළාත් දෙකක් යාකල කසාදයක ප්‍රතිපලයක් නිසාය. භාෂාව වෙනස් වුවාට එම නිවසට පය තැබුවාවූ කෙදිනකවත් ටීචර් කෙනෙකු වූ ඇයගෙන් අපට කන්නට බොන්නට යමක්නම් වැරදුනේ නැතිය. 


පොස්ටුවේ හැඳින්වීම දුර ගියා වැඩිය. නොදැනීම පඳුරක් තලාගෙනම ආ නිසා එයට ගෞරවයක් වශයෙන් පඳුරු තැලීමේ ආරය බ්ලොග් ලෝකයට හඳුන්වා දුන් හැලප කඩේ හලපයා මෙහිදී සිහිපත් කලයුතුමය. 

අම්බලන්ගොඩයාට ලොකු තාත්තලා දෙදෙනෙකු උන්නාවූ අතර ඔවුන් දෙදෙනාම මේ වෙද්දී ජීවතුන් අතර නොමැතිය. කුඩා කල ලොකු තාත්තලා දෙදෙනාම අම්බලන්ගොඩයාගේ වීරයින් වූ අතර ඔවුන් දෙදෙනාම විරල ගති ඇති පුද්ගල ස්භාවයන් ඉසිලු සහ එළිවෙනතුරු කට අරගෙන අහන් ඉන්නට තරම් ආගිය කතා බොහොමයක් තිබු පුද්ගලයින්ය. 

පෝස්ටුවට උක්තවන ලොකු තාත්තා ගොඩයාගේ අම්මාගේ අක්කාගේ ස්වාමි පුරුෂයා වන අතර එතුමා වරාය අධිකාරියේ වසර හතලිහක සේවයක් සපුරා විශ්‍රාම ගියා වූ සේවක මහතෙකුය. එක්දහස් නවසිය අනූ එක හෝ ඊට පෙර ආසන්නම වසරක එතුමා සේවයෙන් විශ්‍රාම ගියාවූ අතර ඉන්පසු තමුන්ගේ දවසේ කාලය ගතකලේ දරු මුණුපුරන් සමග හා සවස් කාලයේ විනෝදාංශ කටයුතු වෙනුවෙන්ය. 

සේවය කල කාලයේ සහ විශ්‍රාමික කාලයේ යන දෙකෙහිම ලොකු තාත්තාට හිමිවූ වැටුප තරමක් තඩි ප්‍රමාණයේ එකක් වූ බැවින් ලොකු තාත්තා යනු ඕනෑම වෙලාවක ඇතෙක් බරට රසකැවිලි හා කිරි පැණි අතින් කටින් එල්ලාගෙන අම්බලන්ගොඩයලා බලන්නට එන්නාවූ චරිතයක්ය. තෙල් ගා උඩට පීරූ කොණ්ඩය සහ ලොකු තාත්තාටම අනන්‍ය වූ උඩු රැවුලත් ලොකු තාත්තාව පිටතට මැවුවේ තද සැර පරුෂ පෙනුමක් වුවත් විනෝදාංශ කටයුතු වලින් අනතුරුව රෑ බෝවනවිට ලොකු තාත්තා සුළඟටත්  වැනෙන තරම් අහිංසක චරිතයක්ය. ලොකු තාත්තා කොයිතරම් නාහෙට නාහන පුද්ගලයකුද යත් ගැටයා සන්දියේ තම පියා සමග ඇතිවූ බහින්බස්වීමක් අනතුරුව ලොකු තාත්තා නැවතී තිබුනේ බෝට්ටුවක නැගී ඉන්දියාවට ගොසින්ලුය. ඉන්දියාවේ රැකියාවල් කිහිපයක් කොට ලොකු තාත්තා නැවත ලංකාගමනය කොට තිබෙන්නේ තරුණ වියට පා තැබුවායින් අනතුරුවලුය. තද සැර පරුෂ පුද්ගලයකු වශයෙන් ලොකු තාත්තාට උපන් ගමේ තිබු පිළිගැනීම ඉතා ඉහලය. ඒ හෙයින් ලොකු තාත්තා සමග ලොකු තාත්තාගේ  ගමේ පාරේ තොටේ ඇවිදිනවා කියන්නේ ඇච්චා බැච්චා උනත් අම්බලන්ගොඩයාටත් හෙන ගරු සැලකිලි ලැබෙනා මෙව්වා එකක්ය. 

එක්තරා දවසක අම්බලන්ගොඩයාට තෙල වැඩි වී ගෙයි ඇතුලේ නවතා තිබු ෆුට් බයිසිකලයේ පොල්ල උඩ හිටගෙන බිත්තියට හේත්තු වී ඉන්නා අල්ලපනල්ලේ ගොඩයාට බයිසිකලයේ පොල්ල උඩ නින්ද ගියාලුය. එතනින් එහා ගොඩයාට නින්දෙන් ඇහැ ඇරෙන්නේ පාවෙනවා යන දැනීමක් දැනුනා වූ නිසාලුය. එතකොට පරක්කු වැඩිලුය. බිත්තියට හේත්තු කොට තිබු බයිසිකලයේ පොල්ල උඩ හිටගෙන ඉද්දී නින්ද ගියා වූ ගොඩයා නින්දෙන් අවදිවනවිට ගොඩයා නිවසේ සිමෙන්ති පොළොවට ඔන්න මෙන්නලුය. එතනින් එහා ඉතින් ප්‍රථමාධාර තමාලුය. පළමුවෙන්ම පියානෝගෙන් ගුටි දෙකක් ප්‍රථමාධාර වශයෙන් නොමිලේය . ලේ ගලන තුවාල නැතත් ගොඩයාගේ වම් ඇත මැණික් කටුව ලඟින් චකර්බ්ලාස්ලුය. ආයේ ගන්න දෙයක් නැතිලුය. දන්නා කියන වර්ගවල වෙදකම් සියල්ල කරලාත් සුව නොවූ ගොඩයාගේ අත සුව කරන්නට ඉදිරිපත්වූ ගැලවුම් කරුවා ලොකු තාත්තාය. ලොකු තාත්තා විසින් බලෙන්ම නිවසින් රැගෙන යන ගොඩයා ලොකු තාත්තාගේ පරපුරෙන් පැවත එනා වේද මහතෙකු වෙත ඉදිරිපත් කර දින දෙකක් අවසානයේ ගොඩයාගේ වම් අත කලින් තිබුනා වාගේම වෙඩි වාගේ වැඩලුය.

කකුලේ ඇන කටු ඇනගන්නා පවුලේ සාමාජිකයිනට ලොකු තාත්තාගේ වෙදකමින් බේරෙන්නට සක්වල ගලෙන් එහාට ගිහිල්ලාවත් බැරිය. එනම් හවස් යාමයේ ලොකු තාත්තාගේ අත්අඩංගුවට පත්වෙනා කටුව හෝ ඇනය ඇනුන එකාට පන පිටින් දෙව්ලොව වඩිනා බෙහෙතක් ලොකු තාත්තා ළඟ තිබෙනවාය. අහල පහල සිටිනා හත් අට දෙනෙකුත කියා හොඳින් අල්ලාගන්නා ලෙඩාගේ කකුලේ ඇනය අනුන තැනින් ලුණු කැටයක් තබනා ලොකු තාත්තා පොල්තෙල් පහනේ පහන් දැල්ලෙන් එම ලුණු කැටය පුච්චනවාය. ලෙඩා වහලයේ උළු බඹ ලොවටම විසික් වන්නට කෑගැසුවද වෙදකම අවසානයක් වනතුරු ලෙඩාව අලාගෙන ඉන්නට ලොකු තාත්තාගේ පුතුන් තිදෙනා වන ලොකු අයියාත්, සුදු අයියාත්, පොඩි අයියාත් එකෙන්ම ඉදිරියෙන්ය. ඔවුන් තිදෙනාත් ලොකු තාත්තාත් වටවූ කල ඇනය ඇනුන එකාට ඉතින් ඉතිරි වන්නේ දෙවි පිහිට පමණය. වේදනාව අධික වෙදකමක්   වුවත් එම වෙදකම කළා වූ එකෙකුටවත් උණක්, පිටගැස්මක්, කෙදිනකවත් සෑදී නොමැතිය.

ලොකු තාත්තා රාජකාරී කරන නැව ගාලු වරායට ආ කල අම්බලන්ගොඩයලාට සෑහෙන වාසිය. එනම් නැවේ රවුමක් යන්නට පුළුවන් වන නිසාය. නැව ජැටියේ තිබෙනා දිනයක් ඇතිනම් පවුලේ සැමටම යන්නට පුලුවනිය. එහෙත් වරායෙන් පිටත නොහොත් අවුට් හාබර් තිබෙනවානම් නිසා නැවේ රවුමක් යාම ටිකාක් විතර අසීරු කර්ත්ව්‍යක්ය. ඒ  මන්ද යත් කුඩා බෝට්ටුවකින් නැව අසලට ගොස් නැවට ගොඩවිය යුතු නිසාය. ඒ අකාරයෙන් කුඩා බෝට්ටුවෙන් ගොස් නැවට නැගිල්ල ඇඟේ රෝම කූප කෙලින්වන ස්භාවයේ සීන් කෝන් එකක්ය. එනම් බෝට්ටුවේ සිට නැවෙන් පහතට එල්ලෙනා ලනු ඉනිමගට ගොඩවීම සෑහෙන බොන්නට වන ගේමක් නිසාය. මුහුදේ රල ඉහල පහල යෑමට සාපේක්ෂව ඉහල පහල දෝලනය වන බෝට්ටුව මට්ටමට නැවෙන් එල්ලෙනා ලනු ඉනිමග ආසන්න වන්නේ රල පහර සමග බෝට්ටුව ඉහල යන වෙලාවේදී පමණය. එම අවස්තාවේදී තත්පරයෙන් ලනු ඉනිමගේ එල්ලීම ඉතා අනතුරු දායක කටයුත්තක් වන්නේ ඉනිමගේ එල්ලීම හරි ආකාරව නොකළහොත් කෙලින්ම බෝට්ටුවත් නැවත් අතරින් මුහුදට ජබුක් නිසාය. එවන් අවස්ථා වලදී ලොකු තාත්තා අම්බලන්ගොඩයා තනි අතින් උස්සගෙන තනි අතින් ඉනිමගට ගොඩවී විනාඩියෙන් ඉහලට නැගගෙන යනවාය. ගොඩයාට තිබෙන්නේ තදින් ඇස්දෙක වසාගෙන ලොකු තාත්තාගේ බෙල්ලේ එල්ලී ඉන්නටය. නැව අවුට් හාබර් තිබෙනා දිනවලදී ලොකු තාත්තා ගොඩයාව එම අවදානම් ගමන රැගෙන යන්නේ ගොඩයාගේ කන් කෙන්දිරියේ ඉවරයක් නැති නිසාම වන අතර ලොකු අම්මාට හොරෙන්ය. ඉන් මත්තට ගොඩයා නැවේ තිබෙනා අරුම පුදුම යන්තර සූත්තර නරඹනවා විනා ලොකු තාත්තා උන්නාද මලාද කියා සොයන්නේ නැතිය.

ගිංගඟ  ආසන්නයේ තිබෙනා ලොකු තාත්තාගේ පරපුරෙන් උරුමවූ පුරන්වූ කුඹුරු ඉඩමක පලා  නෙලීමට යාම ලොකු තාත්තා සමහරක් දිනවලදී උදෑසනට කරනා රාජකාරියක් වන අතර ගොඩයා ලොකු තාත්තාගේ පසුපසින් වැටී දුවන්නේ ලොකු තාත්තා මගින් මගට එපා කියද්දීය. එහි තිබෙනා ත්‍රාසජනක කොටසනම් ගිංගඟ හරහා වැටී තිබෙනා දුම්රිය පාලමේ ඇවිදගෙන යාමට ලැබෙනා අවස්තාව වන අතර එයද  පන යන්නාවූ කර්තව්‍යක් වන්නේ සිල්පරකොට වලට යටින් පෙනෙනා ගිංගඟ කොමලිය සෑහෙන්න ගැඹුරු වන නිසාය. යාන්තමට කකුල එහා මෙහා වුවහොත් හූනු බිජුවක්  තරම් වන අම්බලන්ගොඩයා සිල්පර දෙක අතරින් සුරුස් ගා ගිංගඟට ජබොස් වන නිසා ගොඩයා සිල්පරයෙන් සිල්පරයට අඩිය තියන්නේ පයිතගරස්  ප්‍රමේයද , නිව්ටන්ගේ නියමයන්ද ආදේශ කොටගෙන හොඳින් කිරා  මැන බලාලා අවසනය. ණයට ගෙනා පරාන කූඩුව ගඟට නොවැටී බේරාගෙන ගඟ මැද තිබෙනා දුපත  කොටසට ගොඩයා සැපත්වෙනවිට ලොකු තාත්තා ද අයියලාද  පලා නෙලාගෙන ආපිට ගෙදර යන්නටද ලැහැස්තිය. ඒ මන්දයත් සිල්පර දෙක අතරින් ගින්ගඟට නොවැටී විද්‍යානුකුලව පාලම තරණය කරන්නට ගොඩයාට සෑහෙන්න කාලයක් ගතවන නිසාය. ඒ අතරවාරයේ පාලම තරණය කරන්නට පැමිණෙනා දුම්රියන්ටද කාරුණිකව සලකා බලා ඉඩ පහසුව සලසාදීම යුතුකමක් නිසා රේල් පාරෙන් ඉවත්වී දුම්රිය පාලමේ යකඩ කණුවක් බදාගෙන එලෝ මෙලෝ නැතිවන්නටම පන ගැහෙමින් ගඟට නොවැටී ඉන්නටද ගොඩයාට සිදුවෙනවාය. එවන් ආකාරයෙන් දුම්රියක් පාලම පසුකරනාවිට යකඩ කණු දෙක අතරේ හෝ පාලමේ පාදමේ ගතවන විනාඩි කිහිපයට ගොඩයාගේ හදවත ගැහෙනා ගැහිල්ල කොතරම් වේගවත්ද යත් පොලිස් රාලහාමි කෙනෙක් දුටුවහොත් හයි ස්පීඩ් දඩ කොලයක් නොදීම උසාවි දමනවා නියතය. එවන් ආකාරයෙන් ගොඩයාට කලිසමේ මූත්‍රා පහවන්නට ඕන්න මේන්න තිබෙනා අවස්තාවන් වල වුවද භයවූ ස්භාවය නොපෙන්වා ඉන්නට ගොඩයා දක්ෂ නිසාවෙන් පලා නෙලන්නට රැගෙන යනවා විනා ගොඩයාගේ හදවත ගැහෙනා රාවය ලොකු තාත්තාට හෝ අයියලාට ඇසුනානම් රේල් පාර අයිනටවත් ගොඩයා එක්කයන්නේ නොමතිවන්නට තිබුණාය.


පඳුරෙන් පඳුරට පැනගියාවූ  බ්ලොග් පෝස්ටුව අදාළ මාර්තෘකාව හැරෙන්නේ දැන්ය. ලොකු තාත්තා ගැන ලියන්නට තිබෙනා ආගිය කතා බොහොමයක් නමුත් තවත් පඳුරු තලන්නට ගොස් ගොඩයා බ්ලොග් රසිකයින්ගේ උදහසට ලක්වේදෝ යන සිතුවිල්ල නිසා අදාළ කතාව  මෙතැකින් ආරම්භ වෙනවාය. 

එදාද අම්බලන්ගොඩයා ලොකු තාත්තාගේ නිවසේ සාමාජිකයකු වන නිවාඩු කාලයක එක්තරා දිනයක්ය. අම්බලන්ගොඩයාට සිතුසේ ගමන් බිමන් යාමට ලැබෙන්නාවූ කාලය නිවාඩු කාලය පමණක් වන බැවින් ගොඩයා එහි රැඳෙනා සති කිහිපයේ අයියලා තුන්දෙනාටම ගොඩයා හලා දමා ගමනක් යනු සුම්මාය. අයියලා තුන්දෙනාගෙන් එකෙකු වාහනයක, මොටෝවක නැගිනිනම් අම්බලන්ගොඩයා එහි පසුපස ආසනයක අසුන් ගන්නේ ආරාධනාවකින් තොරවමය. අයියලා තුන්දෙනා ගොඩයාට වඩා අවුරුදු බර ගණන් වලින් වැඩිමහලු නිසා අයියලාට අම්බලන්ගොඩ මල්ලී යනු දරුවකු හා සමානය. එය එදත් අදත් එසේම වීම අම්බලන්ගොඩයා ලැබූ  වාසනාවක් ලෙස ගොඩයා හිතනවාය. අයියලා ගොඩයාට වඩා කොතරම් වැඩිමහල්ද යත් ලොකු අයියාගේ වැඩිමහල් පුත්‍ර රත්නය ගොඩයාට වඩා බාල වන්නේ වසර හතරකින්ය. සුදු අයියාගේ වැඩිමහල් පුත්‍ර රත්නය ගොඩයාට වඩා බාල වන්නේ වසර අටකින් පමණය. ඒ නිසාවෙන් අබ ඇට තරම් අයියලාගේ දරුවන් හූනු බිජුවක්  තරම් අම්බලන්ගොඩයාට එකල "බාප්පා" යනුවෙන් ඇමතීම ගොඩයාට අසූ හාරදාහට ලජ්ජා හිතෙනා මෙව්වා එකක්ය. ආයෙත් පඳුරු වටේ..

ඕන්න එදා පොඩි අයියාද සුදු අයියාද තවත් මිත්‍රයින් කිහිපදෙනෙකුද පිටත්ව යන්නට සූජානම් වන්නේ කුමක්දෝ ආතල් වැඩක් සඳහාය. උපන්තේකට මේ අයියලා තුන්දෙනා බියර්, අරක්කු, විස්කි, බ්‍රැන්ඩි හෝ බීඩි, සුරුට්ටු, සිගරට්  කටේ තබා නැති සිල්වත් පුද්ගයින් නිසා ආතල් වැඩක් යන වචනය වරදවා වටහාගැනීම නොහොබිනාය. අම්බලන්ගොඩයාද  මාරපන ගිය කළුවා වැනි පොරක් නිසා  ජැන්ඩි පහට ලක ලැහැස්තිවී සූජානම් වන්නේ අයියලා  සමග ගමන යාම සඳහාය. ලොකු තාත්තා හවස්කාලයේ සොමියට බර විශ්‍රාමිකයකු නිසා එදා කලින්ම දෙකක් අනුමතවී දහවල්  ආහාරය වළඳා නිදිසුව විඳිනවාය. ඒ අතරේ හවසට බොන්නට ගෙනා දුම්වැටි කිහිපයක් සාලයේ මේසයක් උඩ ගිනි පෙට්ටියක්ද සමගින් රස්තියාදු වෙනවාය. අම්බලන්ගොඩයා යනු අත්හදා බැලීම් වලට නිරන්තරයෙන් කැමැත්තක් දක්වනා පොරක් වන බැවින් ලොකු තාත්තාගේ දුම් වැටියක් සමග ගිනිපෙට්ටිය අතට ගන්නේ නවතම අත්හදා බැලීමක් සඳහාය. එහි ප්‍රතිපලයක් වශයෙන් ගිනිකුරු හතරක  වෙඩි බෙහෙත් කොටස සිගරට්ටුවේ දුම්කොළ මැදින් ස්ථානගතවන්නේ නිරීක්ෂණ තුලින් නිගමනයට එළඹෙනු උදෙසාය. එහෙත් ගොඩයා සිගරට්ටුවේ දුම්කොළ හලා ගිනිකූරු ඇතුලට දමනු දුටු පොඩි අයියා එකෙන්ම ක්‍රියාවට එරෙහිව ආයුද අතට ගන්නවාය. 

මොකක්ද මනුසයෝ ඒ කරේ..  දැන් ඕක පත්තු වෙලා මොකක්හරි උනොත් අපිට මෙතන ඉන්න නැති වෙනවා.. දන්නවනේ එයාගේ හැටි.. දෙනවා ඕක මෙහෙට..

මුකුත් වෙන්නේ නෑ ... ඕක තියෙන්න අරිනවා .ඔහොම.

මෙන්න මෙහාට දියන් ඕක..

පොඩි අයියා සිගරට්ටුව පොඩිකර වීසි කරනවාට අමතරව ගිනිපෙට්ටියද සාක්කුවේ දමාගෙන එතනින් ඉවතට යන්නේ අම්බලන්ගොඩයාට රවාගෙනය. ගොඩයා එවැනි රැවිලි ගෙරවිලි වලින් සැලෙනා ජාතියේ එකෙකු නොවේය. පොඩි අයියා ගිනිපෙට්ටිය ගත්තායින් කරන්නට ගිය වැඩය කරන්නට නොහැකි වූවද අම්බලන්ගොඩයා නිරන්තරයෙන්ම විකල්ප යෝජනා ගැන හෙවත් ප්ලෑන් බී ගැන සිතා බලනා පොරක් වග පොඩි අයියා දන්නේ නැත.

යනන්ට ගිය ගමන අහවර කොට අම්බලන්ගොඩයා ප්‍රමුඛ අයියලා සෙට් එක ලොකු අම්මලාගේ නිවසට ලඟා වනවවිට රාත්‍රී දහයද පසුවෙලාය. ලොකු අම්මලාගේ නිවස පිහිටි අක්කර දෙකතුනක් විසාල ඉඩම පිහිටා තිබෙන්නේ කන්දක් උඩය. එම කන්ද උඩ  පිහිටා තිබෙන්නේ නිවාස තුනක් පමණක් වන අතර එකක් සුදු අයියාගේ නිවාසය. දෙවැන්න ලොකු තාත්තාගේ සහෝදරියගේ නිවසය. තුන්වැන්න ලොකු තාත්තාගේ නිවසය. මෝටර් සයිකල් පෝලිම කන්ද උඩට නැගගෙන එද්දී සුදු අයියාගේ ඉස්තෝප්පුවේ හිටං සුදු අයියාගේ බිරින්දෑ පාරට පැන මෝටර් සයිකල් පෝලිම මග නවතාලන්නේ භයානක ආරංචියක් දැනුම් දීම පිණිසය.

කෝ අම්බලන්ගොඩ මල්ලි..

මේ ඉන්නේ..

මල්ලි අද මහගෙදර යන්න එපා.. රෑට මෙහෙ ඉන්න..

ඒ මොකෝ අක්කෙ..

කව්ද මන්ද තාත්තගේ සිගරට් එකකට මොකක්දෝ පුපුරන දෙයක් දාල දීල.. ඒක පුපුරල ආන්න තාත්තගේ රැවුල පිච්චිලා.. ඒ ගමන තාත්ත ගිහින් සිගරට් ගත්තු කඩේ මුදලාලි එක්ක පැටලිලා..

ඉතින්..

මල්ලි තාමා මොනාහරි සිගරට් එකට දාන්න ඇත්තේ කියල යාන්තම් ගෙදර ඇදන් ආව.. තව පොඩ්ඩෙන් කඩේ මුදලාලි උස්සල පොළොවේ ගහනව..

මම මේ බූරුවට කිව්වා දාන්න එපා කියල.. මූ තමා ගිනිකූරු දැම්මේ.. ඒත් මම ඒ සිගරට් එක කඩලා විසික් කරලා දැම්මනේ..

පොඩි අයියා එසේ කියද්දී අම්බලන්ගොඩයා බිල්ලෙකු සේ ඇස් ලොකු කරන් අක්කා දිහාව බලා සිටිනවාය. අයියලා හැමෝම ගොඩයා දිහා කන්න වාගේ බලන් ඉන්නවාය. ෂෝ රූම් එකේ දැම්මා වාගේය.

මම දන්නා තරමින් ආයේ මූට ගිනිකූරු දාන්න උනේ නෑ.. මම ගිනිපෙට්ටිය උදුරලා අරගෙන තමා සිගරට් එක විසික් කරලා දැම්මේ.. අපි ගිහින් මොකද වෙලා තියෙන්නේ බලන්නං.. අද සුදු අයියළහ නිදාගන්නව..

හ්ම්..

අහිංසක ගොඩයා සුදු අයියලහා තනිකර දමා පොඩි අයියා මහ ගෙදර දිහාවට මොටෝව පැදගෙන ගියායින් ගොඩයා ගොළුවා සේ සුදු අයියලාගේ නිවසට මන්ගච්චනවාය. ඇඳන් උන් ඇඳුම පිටින්ම සැතපෙන්නට සිදුවූ එදින රාත්‍රිය ගතවන්නේ පහුවදා ලොකු තාත්තාගෙන් බඩ පුරා කන්නට වන බලාපොරොත්තුව සමගය. එවන් ආකාරයෙන් පහන් වූ පසුවදා උදෑසන අක්කා විසින් සාදා දුන් කිරි කෝප්පය ගොඩයා තොලගාන අල්ලපනල්ලේ සුදු අයියාගේ ලොකු කොලුවා නාහෙන් අඬනවාය..

මොකෝ දරුවෝ මේ උදේ පාන්දර අඬන්නේ...

ඊඊඊඊඊඊඊහී............

මගේ සෙල්ලම් තුවක්කුව ඊයේ ආච්චිළහ දාල ආව.. ඒකෙ තිබ්බ කැප් රෝල් එකේ ඉතුරු වෙලා තිබ්බ ටික කව්ද කඩල අරගෙන.. හී............

කව්ද දරුවෝ ඔය තුවක්කුවේ කැප් රෝල් හොරකම් කරන්න ආච්චිලාගේ ගෙදර ඉන්නේ..

ඊඊඊඊඊඊඊහී............

කොලුවා හොටු පෙරාගෙන ඉල්ලා අඬනා සෙල්ලම් තුවක්කුවේ කැප් රෝල් උණ්ඩ කිහිපය අවසන් ගමන් ගියේ සීයාගේ රැවුලද පුච්චාගෙන වග මෙලොව දන්නා එකම පුද්ගලයා අම්බලන්ගොඩයා පමණය. කොලුවාගේ බාප්පා නොහොත් ගොඩයාගේ පොඩි අයියා ගිනිපෙට්ටිය උදුරා නොගත්තානම් කොලුවාගේ තුවක්කුවේ කැප්රෝල්ද සීයාගේ රවුලද ඉතුරුවන්නට තිබුණාය.





Sunday, February 5, 2017

අයියෝ අමාරිස්




අමාරිස් උන්නැහේ අම්බලන්ගොඩයාට හමුවන්නේ ගොඩයාගේ පළමුවන රාජ්‍ය සේවා ආගමනයත් සමගය. රැකියාවකට ආධුනික නොවුනත් රජයේ සේවයට ආධුනික වූ නිසා නාහෙට නාහන ස්වරූපය ටික කාලයකට සාක්කුවේ දමාගත් අම්බලන්ගොඩයා බොහොම නිවට නියාලු ස්වරූපයක් රැකියා ස්ථානයට පමණක් ආදේශකොට ගත්තේ එවකට එහි සිටියාවූ සීනියර් පොරවල් බහුතරයක්ලා  වචනයක් දොඩන්නට තියා මුහුණ බලා සිනහවකින් සංග්‍රහ කිරීමක්වත් මලාට සිදු නොකළ නිසාය. මරදාන හංදියේ කාලයක් රැකියාවකොට ලංකාව වටේ ඇවිද අහවර වඳුරන්ගෙන් බන අසා ජේතවනාරාමයට ගල් ගසා රජයේ සේවයට එකතුපහදු වූ අම්බලන්ගොඩයාට මිනිසුන්ගේ ස්භාවය වටහාගැනීමට ගතවන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයක්ය. එය එසේ වුවත් අලුතෙන් සම්භන්ධ වූ රැකියා ස්ථානයේ ස්ථායී වනතුරු තමුන්ගේ පිට කොන්දේ සැබෑ ස්භාවය මද කාලයකට සඟවා තබා ගන්නවාය. රැවටීම ගොඩයාගේ ශබ්දකෝෂයේ නොමැති වචනයක් වුවත් ආයතනයකට අලුතෙන් රැකියාවකට යාමේදී මදක් පසු පාදයේ ක්‍රීඩා කිරීම අම්බලන්ගොඩයා පළමු රැකියාවෙන්ම ඉගෙනගත් පාඩමක්ය. එයින් රැවටීමට ලක්වන පළමුවන පුද්ගලයානම් එවකට රැකියා ස්ථානයේ ලොක්කා නොවුනත් ලොක්කාගේ බලය ආරූඩ කරගෙන උන් අමාරිස් උන්නැහේය. 

අමාරිස් උන්නැහේ ලෝකයේ පිළිගත් ඉහලම අද්යාපන සාමාර්ථ සහිත ලොවම ගෞරව කරනා තානාන්තරයක් දරනා නිලධාරියෙක්ය. පළමු දින කිහිපයේ හැදෑරීමට අනුව අමාරිස් යනු දියරෙද්දෙන් බෙල්ල කපනා  දිය යටින් ගින්දර ගෙනයන්නට සමත් කුහකත්වය, ඉරිසියාව නළලේ හිටන් දෙපය දක්වාම  උප්පත්තියෙන්ම රැගෙන ආ ගොන් නාම්බකු වග අම්බලන්ගොඩයා හඳුනා ගන්නවාය. එහෙත් අමාරිස්ගේ කරුමයට අම්බලන්ගොඩයාගේ වැඩ අධීක්ෂණය සඳහා ලොකුම ලොකු නෝනා විසින් පත්කරන්නේ අමාරිස් උන්නැහේ වන අතර එය පසුකාලීනව අම්බලන්ගොඩයාට ටොම් ඇන්ඩ් ජෙරී නාටකය ලෙසටම රඟ දක්වන්නට මහගු අවස්තාවක් වනවාය.

ගොඩයාගේ ආගමනයත් සමගම නව පණක් ලබනා අමාරිස් කාර්යාලයේ ඉස්ටෝරු කාමරයේ යතුරු කැරැල්ල අම්බලන්ගොඩගේ ඉනේ ගසන්නේ ඉස්ටෝරුවේ බඩු භාණ්ඩ ආරක්ෂා කරගැනීමටත් වඩා අම්බලන්ගොඩයා ලව්වා අනෙක් සේවකයිනට පරිප්පුව දීමට වග යතුරු කැරැල්ල භාරදෙන වෙලාවේම අම්බලන්ගොඩයා වටහා ගන්නේ කලින් රැකියාවේ ලොකු මහත්තයා සුවිශේෂී රාජකාරිවල සැබෑ නාටකය ඇස්පනාපිටම රඟ දක්වා තිබුනාවූ නිසාය. එහෙත් භාරදුන්නාවූ රාජකාරිය බැහැ නොකියා භාරගන්නට අම්බලන්ගොඩයාට සිදුවන්නේ එය ගොඩයාගේ රාජකාරී ලැයිස්තුවට ඇතුලත්කල නිසාය. එවකට රැකියා ස්ථානයේ බහුතරයක් සේවකයිනට අමාරිස් යනු නයාට අදුකොල වාගේය. එහෙත් රැකියාවේ ගෞරවය ආරක්ෂා කරගැනීම උදෙසාත්, ඉහල නිලධාරියකුගේ ඕනෑම අසාධාරණයකට හිස නවනා කොන්ද පණනැති ස්භාවය නිසාත් එතෙක් කල් අමාරිස් උන්නැහේට තම බලුකම් සියල්ලක්ම ලෙසටම කරගෙන ඒමට මනා වටපිටාවක් සැපයුවා යන්න අම්බලන්ගොඩගේ නිරීක්ෂනයයය. තමුන්ට අලුතෙන් ලැබුණු ගෝල තැන හෙවත් අම්බලන්ගොඩයා සුවච කීකරු බලු කුක්කෙකු වගට වරදවා වටහාගෙන ඉන්නා අමාරිස්ද තමුන්ට නුරුස්සනා සේවකයිනට පරිප්පුව දීම උදෙසා විඩින් විඩේ විවිදාකාර සැලසුම් සකස් කරමින් එව්වා ගොඩයා ලව්වා ක්‍රියාත්මක කරවන්නට දත කනවාය. ගොඩයාද දෙපැත්තම බේරාගෙන සේවකයිනට උපරීම සාධාරණයක් වන ක්‍රමයකට අමාරිස්ගේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරනවාය. එහෙත් ගොඩයාගේ ඩිරෙක්ට් සුපර්වයිසර් අමාරිස් උන්නැහේ වන නිසා සේවකයින්ද ගොඩයාගේ ඇඟ උඩටම පරිප්පු නැව බාන්නට දත කන්නේ අමාරිස්ට විරුද්දව කිසිවක් කරගැනීමට කොන්දක් පන නැතිවුනාවූ නිසාය. 

ඉස්ටෝරු කාමරයේ යතුරු කැරැල්ල ගොඩයාගේ භාරයේ තිබීම එවකට සීනියර් පොරවල් සෑහෙන ප්‍රමාණයකගේ දෝෂ දර්ශනයට සහ ඉරිසියාවට ලක්වූ කාරණයක් වන්නේ ආයතනයක එවන් යතුරු කැරැල්ලක් තිබිය යුත්තේ සීනියර් පොරකගේ භාරයේ  කියා සිතනා වැඩවසම් මනෝමය මට්ටමක ඔවුන් සිටියා වූ නිසා වන්නට ඇතිය. යතුරු කැරැල්ලකින් තත්වය සොයන්නට තරම් අඳබාල ගොන් මරි මානසිකත්වයක් අම්බලන්ගොඩයාට නොමැතිවූ නිසා ගොඩයාට එම යතුරු කැරැල්ල තවත් එක් රාජකාරියක් පමණය. එහෙත් අමාරිස් උන්නැහේ නම් එම යතුරු කැරැල්ල නිර්වචනය කලේ එය ගොඩයා වැනි නවකයකුට ලැබුනාවූ මහගු අවස්ථාවක් යන ලෙසය.. (පස්චාත් භාගය  තමා.... අපි අහුවෙයි එව්වට ...හැක්..)

ගොඩයා දෙපැත්තෙන්ම තැලෙනා ස්ථානයක රාජකාරී කරනා සේවකයකු වුවත් සමාන්තර සේවකයින්ද ගොඩයාට පරිප්පුව දීම සඳහා අනුගමනය කලේ අමුතුම ක්‍රමවේදයක්ය. එනම් එකා එක් වතාවක් ගානේ පෑනක්, පැන්සලක්, ෆොටෝ කොපි කොළ පැකට්ටුවක්, ෆයිල් කටුවක් , ෆයිල් එකක්, ස්ටෙප්ලර් කටුවක් වැනි දෑ ඉල්ලීමය. ඒ ආකාරයෙන් බැලූ කල අම්බලන්ගොඩයාට ඉස්ටෝරුව අරිනවා වහනවාට වඩා වෙනත් වැඩක් කරගන්නට කාල වෙලාවක් නොමැතිය. විශාල සේවක පිරිසක් රාජකාරී කරනා ස්ථානයක් වූ එහි එම රාජකාරිය අත්‍යවශ්‍ය කාර්යක් නොවේය. ආයතනයේ මද්‍යම ගබඩාවෙන් මසකට වරක් නිකුත් කරනා ලිපි ද්‍රව්‍ය පාලනය සඳහා ශාඛා මට්ටමෙන් ගබඩා පාලකයින් පත්කරන්නට මවු ආයතනට මොලේ අමාරුවක් නොමැතිය. එහෙත් මද්‍යම ගබඩාවෙන් මසකට වරක් රැගෙන එනා ලිපි ද්‍රව්‍ය වෙනත් කාමරයක දමා ඉබි යතුරු දමා ආරක්ෂා කිරීම අමාරිස්ගේ පුද්ගලික උවමනාවක් වූ අතර ලොකු නෝනාද අමාරිස්ගේ සිඟිති ආතල් වෙනුවෙන් වැඩිපුර කාලයක් යෙදෙව්වේ නැත්තේ අමාරිස් යනු සුළු දීමනාවක් වෙනුවෙන් තම ප්‍රධාන රාජකාරියෙන් අමතරව වැඩි කාලයක් පශ්චාත් භාගය පුද දීම සඳහා එහි පැමිණි අයකු නිසාය.

ගොඩයා මාස කිහිපයක් පරණ වනවිට සේවකයින්ද ටිකෙන් ටික ගොඩයාගේ සැබෑ ස්භාවය වටහා ගන්නේ ඔවුනට ඉස්ටෝරුවෙන් යමක් අවශ්‍යවූ කල කෙලින්ම රාජ ඌශ්ණය සහිත යතුරු කැරැල්ල ඔවුන්ගේ අතටම දීමට තරම් අම්බලන්ගොඩයා පරිත්‍යාගශීලී අයකු වන නිසාය. එවකට ආයතනයට අනුයුක්තකොට තිබු නයිටා ආයතනයේ පුහුණුවන කෙලි පොඩිත්තන් භයගන්වා තමාගේ පක්ෂයේ සාමාජිකත්වය ලබාදී තිබු අමාරිස් ඔවුන් මාර්ගයෙන් ආයතනයේ තොරතුරු එකතුකරනා වැඩපිළිවෙලක්ද පවත්වාගෙන යනවාය. එම අහිංසක කෙලි පොඩිත්තන් විශ්වාස කලේ ඔවුන්ගේ පුහුණුවෙන් අනතුරුව අමාරිස් උන්නැහේ විසින් ඔවුනට මෙමෙ ආයතනයේ ස්ථීර රැකියාව ලබාදෙනු ඇති යයි කියාය. ඔවුන් එසේ සිතා සිටියේ ඔවුන් එහි පැමිණි පළමු දවසේ ඔවුනට අමාරිස්ගෙන් ලැබෙනා පළමු අවවාදය හෙවත් කැරට් අලය කීකරුව කරබාගෙන පුහුණුව කරගෙන ගියහොත් ඔවුනට එහි ස්ථිර රැකියාව ලබාදෙන බවය නිසාය. එම කැරට් අලයට පින්සිදු වන්නට අම්බලන්ගොඩයාගේ නව ඉස්ටෝරු කාමරය රැකීමේ පිළිවෙත අමාරිස්ගේ කනට යන්නට වැඩි කාලයක් ගත වන්නේ නැතිය. එහෙත් ඒ වනවිට අම්බලන්ගොඩයා යනු ආයතනයේ සුපිරි සොමි පොරක් වන අතර කා හටත් නැතුවම බැරි පොරක් වී හමාරය. ගොඩයා නිවාඩු ගත් දවසට ආයතනය මළගෙදරක ස්භාවය උසුලන තරමේ දුකේ බෑලුය. 

ආයතනයේ සේවකයින් බහුතරයක් කාන්තාවන් වීමත් සිටි පිරිමින් කාන්තාවන්ට එහා ගෑනු පිළිවෙතක් අනුගමනය කිරීමත් නිසා පොරත්වය ආරූඩ කරගත් අමාරිස්ද තම සුනඛ වත ලෙසටම පුරාගෙන යනවාය. ඒ අතරේ අම්බලන්ගොඩයා දිනෙන් දිනම ජනප්‍රියත්වයේ ඉහලටම ගමන් කරනවාය. එයට පළමු හේතුව නම් අමාරිස්ගේ කුජීත වැඩ ප්‍රසිද්දියේ විවේචනය කරන්නට අම්බලන්ගොඩගේ කට බ්‍රේක් නොමැති වර්ගයේ එකක් වූ නිසාය. දෙවැනි හේතුව නම් එහි වැඩිහරියක් උන් නයිටා පුහුණුවන  කෙලි පැටික්කියන් සියල්ලන්ම වාගේ තරුණ වයසේ අයවලුන් වීමත් අම්බලන්ගොඩයාද එවකට වයස විස්ස විසි පහ අතර කාල පරාසයේ සිටීමත්ය. ඒ අනුව ගත්කල ආයතනයේ අසාධාරණයට ලක්වන කාන්තා පාර්ශවයත්, කලිසම් අඳින කාන්තා ජාන සහිත පිරිමින් වෙනුවෙන් හඬක් නැගීමට හා ඔවුන් බේරාගැනීමට ඉදිරිපත්වන රොබින් හුඩ් වශයෙන් අම්බලන්ගොඩයා හැඳින්වීම වරදක් නැතිය. 

අමාරිස්ගේ ජනප්‍රියත්වය පරයා අම්බලන්ගොඩයාගේ ජනප්‍රියත්වය ඉහල යාම වැඩියෙන්ම හිසරදයක් වුයේ අමාරිස් උන්නැහේට වූ අතර ඒ වෙනුවෙන් පළමුවෙන්ම කල කකුලෙන් ඇදීම නම් ගොඩයා සතුවූ ඉස්ටෝරු කාමරයේ යතුරු කැරැල්ල ගොඩයාගෙන් උදුරා වෙනත් නවකයකුට භාරදීමය. කාලයක් තිස්සේ බලාගෙන සිටියා වූ යතුරු කැරැල්ලෙන් බේරීමේ උපක්‍රමය එසේ ජයගත්තාවූ සංතෝසය සුපිරි එකක් වුයේ ඔය කියනා කෙහෙල්මල් යතුරු කැරැල්ල නිසා ගොඩයාට කම්මැලි හිතුන දවසකවත් නිවාඩුවක් ගැනීමට හැකියාවක් නොමැතිවූ නිසාය. 

එයින් නොනැවතුණු අමාරිස් අම්බලන්ගොඩයාට රිදවීම සඳහා සිදුකලා වූ අනෙකුත් කර්තව්‍ය වුයේ සියලුම සේවකයින් රාජකාරි කරනා ප්‍රධාන ස්ථානයෙන් අම්බලන්ගොඩගේ මේසය ඉවත්කර එය පසුපස තිබෙනා පාලු ශාලාවකට තල්ලු කිරීමය. එදා පටන් අම්බලන්ගොඩයා පාලු ශාලාවේ තනිවම රාජකාරි කරනවාය. එහෙත් අනෙකුත් සේවක පිරිස ඉඩක් ලැබෙනා සෑම විනාඩියකම අම්බලන්ගොඩයා සොයාගෙන පාලු ශාලාවට පැමිණෙන්නේ කයියක් දැමීම උදෙසාය. දහවල් කෑම පැය යනු අම්බලන්ගොඩයාගේ පාලු ශාලාව කෙල්ලන්ගෙන් පිරී ඉතිරෙනා කාල වෙලාවක් වන අතර එම වෙලාව තුලදී කාර්යාලයේ ඉදිරිපස කොටසේ වැඩවාසය කරන්නේ අහිංසක අසරණ අමාරිස් මහතා පමණය. තම වීදුරු කාමරයට වී කේන්තියෙන් පුපුරනා අමාරිස් උන්නැහේ තවත් සැලසුම් සකස් කරන්නේ ගොඩයාගෙන් පලිගැනීම උදෙසාය.  අම්බලන්ගොඩයා පාලු ශාලාවට තල්ලු කර මාස තුනක් ගතවන විට ඉදිරිපස කොටසේ උන් බහුතරයක් තම මේස සමගින්ම ස්වේච්චාවෙන්ම අම්බලන්ගොඩයා සිටිනා පාලු ශාලාවට ස්ථාන මාරු ලබාගෙන අවසන්ය. තවත් මාස කිහිපයක් ගතවනවිට අමාරිස්ගේ වීදුරු කාමරය ඉදිරියේ අමාරිස්ගේ අධීක්ෂණය යටතේ සිතෙන්නේ නයිටා කෙල්ලන් ටික පමණය. අනිකුත් සියල්ලන්ම ගොඩයා ඉන්නා පාලු ශාලාවේ ලෙසටම විනෝදයෙන් රාජකාරිය කරගෙන යනවාය. නයිටා පුහුණුවට ආ ගැහැණු දැරිවියන්ද ඉඩක් ලැබෙනා සෑම අවස්ථාවකම නාකි අමාරිස්ගේ උපැස් යුවල යටින් බලනා ඉරිසියාකාර දෑසට ඇස්කොට් පාරක් දමා අම්බලන්ගොඩයා ප්‍රමුක පිරිවර සිටිනා ශාලාවට සැපත් වෙනවාය.


ගොඩයාට පැවරී තිබෙනා මසක රාජකාරි සියල්ල සති දෙකෙන් අහවර කරනා අම්බලන්ගොඩයා ඉතුරු සති දෙකම සුපිරියට විවේක ගැනීම සඳහා යොදවන්නේ අමාරිස් විසින් තමාව ඇද දැමු පාලු ශාලාවෙන් උපරීම උපයෝගීතාවයක් ලැබීම උදෙසාය. මාසයේ මුල් සති දෙක පැය අටම රාජකාරිය වෙනුවෙන් යොදවනා අම්බලන්ගොඩයා ඉතුරු සති දෙක ගෙවන්නේ වැඩිහරියක් මේසය මත නිදමින්ය. අම්බලන්ගොඩගේ සිටිනා ශාලාව ඉදිරිපසින් නිතර ඉස්ටෝරු කාමරයට පියමනිනා අමාරිස්, ගොඩයා ලෙසටම නිදනු දුටුවද ගොඩයාට එරෙහිව කිසිවක් කල නිහැක්කේ ගොඩයාගේ රාජකාරි සියල්ලම අන්තිම තත්පරයටම යාවත්කාලීන වී තිබෙන නිසාය. එහෙත් අමාරිස්ද නව සංවර්ධන යෝජනා ක්‍රමයක් මගින් යලිත් අම්බලන්ගොඩයා මඩින්නට දැල එලන වග ගොඩයා දන්නා නිසා ගොඩයා කොයි වේලාවේත් ඉන්නේ නිරන්තරයෙන් යාවත්කාලීන වූ ආරක්ෂක තත්වයක් යටතේය.


එක්තරා දවසක අමාරිස් ගොඩයාව තම වීදුරු භවනට කැඳවන්නේ නව සංවර්ධන යෝජනාව ක්‍රියාත්මක කරනු සඳහාය. 

යස් සර්..

මම මේ එන්න කිව්වේ අපි අලුත් වැඩක් පටන් ගන්න කියල..

මොකක්ද සර්..

ඔයා දන්නවනේ මෙතන ෆොටෝකොපි මැෂින් අටක් විතර තියෙනව... ඩුප්ලෝ මැෂින් දෙකක් තියෙනව.. රිසෝ ග්‍රාෆ් මැෂින් ටිකයි , දවසම වැඩකරන නිසා මම හිතුව මේ ගැන දවසගානේ රිපෝර්ට් එකක් ගන්න කියල.. අද ඉඳල මේ හැම මැෂින් එකේම ගහන කොපි ගාන මට රිපෝර්ට් එකක් ඕන.. ඒ රිපෝර්ට් එක ඉස්ටෝරුවෙන් ඉශු කරලා තියන කොළ ප්‍රමාණය එක්ක ටැලි වෙන්න ඕන.. වෙනසක් තිබ්බොත් මට සිද්ද වෙනවා ඒක ඔයාගේ ප්‍රමාද දෝෂයක් විදිහට ඉහලට දන්වන්න.. සමහරවිට රාජකාරිය පැහැර හැරීමක් වෙන්නත් පුළුවනි..

ඔකේ  සර්.. මම ඒක කරන්නේ කොහොමද කියල හිතල බලල ඔබතුමාට කියන්නම්..

බෑ...බෑ... මේක අද ඉඳන්ම ක්‍රියාත්මක වෙන්න ඕන.. මෙන්න මම එක ලිඛිතව ඔයාට රාජකාරී ලැයිස්තුවට ඇතුල් කළා.. මෙන්න කොපිය..

එහෙමද.. .. මම වැඩේ කරන්නම්කො..

හුහ්..

අමාරිස් ලොක්කා අම්බලන්ගොඩයා වෙත රාජකාරී මට්ටමෙන් ලිපිය භාරදෙන්නේ තම ගෝල බාල හෙන්චයියා දිහාවට සමච්චල් සිනහවක් දමමින්ය.. එහෙත් ගොඩයාට වල කපන්නට උන්දැලා ඉගෙනගත් මට්ටම මදිවග උන්දැලා දන්නේ නැතිය..

ආයතනයේ රාජකාරී ස්භාවය රාත්‍රී නවය වනතුරු ආයතනය විවුර්තව පැවතීමය. එහෙත් අම්බලන්ගොඩයා හතරයි තිහට රාජකාරිය නිමවී නිවසට යනවාය. එතනින් එහා ඒ පවරුනාවූ රාජකාරිය හරි ආකාරව ක්‍රියාත්මක වන්නට නම් එක්කෝ අම්බලන්ගොඩයා රාත්‍රී නවය වනතුරු කාර්යාලයේ රැඳෙන්නට ඕනෑය. එය එසේ වනවිට හතරයි තිහේ සිට රාත්‍රී නවය වනතුරු රජය විසින් අම්බලන්ගොඩයාට අතිකාල දීමනා ගෙවන්නට ඕනෑය. ඒ සඳහා බජට් එකක් නොමැති වග අමාරිස් උන්නැහේට වඩා හොඳින් අම්බලන්ගොඩයා දන්නේ ආයතනයේ සේවකයිනට වැටුප් ගෙවීම සඳහා වැටුප් දෙපාර්තමේන්තුව වෙත අදාළ වැටුප් විස්තර යවන්නේ අම්බලන්ගොඩයා නිසාය. අතිකාල දීමනා ගෙවීම කල නොහැකි නිසා පැවරුණු රාජකාරිය අකුරට සිදුකිරීමට තිබෙනා එකම පහසු මග ක්‍රියාත්මක කරන්නට අම්බලන්ගොඩයා ආයතනයේ කා.කා.ස. කැඳවනවාය..

කුමාර..

ඔව් මහත්තය..

ඉස්සරහ තියන්න ඔක්කොම ෆොටෝකොපි මැෂිනුයි, ඩුප්ලෝ මැෂිනුයි, ඔක්කොම මල ඉලව් ටිකයි ගෙනත් දාහන් මේ හෝල් එකට.

මේ කෑල්ලට???

ඔව්..

ඒ මොකෝ මහත්තය..

අමාරිස් මහත්තයට එව්වයේ කොපි ගහන විදිහ ගැන ඩේලි රිපෝර්ට් එකක් ඕනෙලු.. එක කොලයක් හරි එහා මෙහා උනොත් මගේ පර්සනල් ෆයිල් එකට ලියුමක් යන්න ඉඩ තියෙනව.. ඒ නිසා ඔක්කොම මගුල් ටික ගෙනත් දාහන් බං මේ කෑල්ලට .. හැමෝටම කියනවා හවස හතරහමාරට කලින් ගහන කොපියක් ගහගන්න කියල.. මොකද මම හවස හතරහමාරට මේ කෑල්ල ලොක් කරනවා..

එතකොට මහත්තය රෑට කොපි ගහන ඒවා..

ඒ ගැන මම දන්නේ නැහැ බං.. 

එහෙම කරාම රෑට ඕන කරන දේවල් කොහොමද මහත්තය අපි ෆොටෝ කොපි කරන්නේ.. රෑට කොළ දෙතුන්දාහක් ගහනවනේ හැමදාම ..

ඒ ගැන මම දන්නේ නැහැ බං.. උඹ ඕනෙනම් ගිහින් ලොකු නෝනා එක්ක මේ ගැන කතා කරහන්..

ඉන්නකෝ.. මම මැෂින් ටික මේ කාමරේට අදින්න කලින් මැඩම් එක්ක මේ ගැන කතා කරලා එන්නං..

කැමැත්තක් බං.. මගේ ප්‍රශනයක් නෑ..

එසේ අවසන්වූ සංවාදය අවසානයේ කා.කා.ස. තැන විසින් ගොඩයා වෙත ලොකු නෝනාගේ කැඳවීම රැගෙන එන වග ගොඩයා දන්නවාය. අම්බලන්ගොඩයා ලක ලැහැස්තිවී ඉන්නේ ඉදිරියට පැන හයේ පහරවල් දෙක තුනක් වැනීම සඳහාය..

අන්න මහත්තයට මැඩම් එන්න කිව්ව..

යමු බලන්න..

ඕන්න අම්බලන්ගොඩයා කුමාර සමග ලොකු මැඩම්ගේ කාමරයට සැපත් වෙනවාය..(මේ කියන මැඩම් නිතර රූපවාහිනියේ පෙනී හිටින කෙනෙක් හොදේ..)

මොකෝ... >>>>>> මේ ෆොටෝ කොපි මැෂින් ටික පිටිපස්සෙ හෝල් එකට  දාල ලොක් කරන්න යනවා කියන්නේ..

ඔව් මැඩම්.. මෙන්න මේ ලියුම බලන්නකෝ..

ලොකු මඩම් නළල රැලි නංවාගෙන අමාරිස් උන්නැහේ විසින් ගොඩයා වෙත දුන්නාවූ රාජකාරේ ලිපිය කියන්වනවාය.. එය අවසන ලොකු මඩම් සිනහව තද කරගෙන ගොඩයාගේ මුහුණ බලනවාය..

මෙහෙමයි මැඩම්.. ඔය කියන රාජකාරිය ඉෂ්ට කරන්න මට රෑ නවය වෙනකම් මෙතන ඉන්න වෙනව. ඒත් ඒකට ඕටී ගෙවන්න අපිට බජට් නෑ.. මැඩම් මගේ ඕටී එක ඇප්රූ කරනවනම් මම මේ වැඩේ වෙනුවෙන්ම බෝඩිමක් අරන් කොළඹ නවතින්නම්..  මාසේ දවස් විස්සටයි, සෙනසුරාද වරුවටයි මගේ ඕටී ගණන් හදල බැලුවාම ඒ ගාන මාසේ කොළ පැකට් ගානෙන් භාගයක් විතර වෙනවා මැඩම්.. ඉතිං අපි මාසෙකට ගන්න ටෝනරුයි කොලයි ගැන ගණන් හදල බැලුවාම ඒක හුඟක් පාඩුයි.. එහෙම බැරිනම් මට සිද්ද වෙනවා මැෂින් ටික මම ගෙදර යනකොට ලොක් කරලා යන්න..

ලොකු මැඩම් පත්වී ඉන්නා අසරණ ස්භාවය තේරුම් ගන්නට ඇයගේ නළලේ තිබෙනා රැලි ප්‍රමාණය ප්‍රමාණවත්ය. එහෙත් ඇය එවන් කනගාටුදායී ආකාරයෙන් අපහසුතාවයට පත්කිරීම අම්බලන්ගොඩයා පුද්ගලිකව අකමැති කටයුත්තක් වුවත් අමාරිස් වැනි ගොන් මරි වස්සෙකු එවන් පුටුවක තබාගෙන සිටිනා ඇය ඔහුගේ තීරණ උදෙසා වග කියන්නට ඕනෑය..

ම්හ්.. මේක මේ විදිහට කරන එක තේරුමක් නැහැ.. මම අමාරිස් මහත්තයට කතා කරලා කියන්නම්කො..

මැඩම් ඕක දැම්ම විසඳුමක් කරොත් හොඳයි.. නැත්තම් ඕකෙන් කොපියක් මගේ පර්සනල් ෆයිල් එකට යනව.. අන්තිමේ කියාවි මම රාජකාරිය පැහැර හැරියා කියල..

හ්ම්.. කුමාර.. අමාරිස් මහත්තයට එන්න කියන්නකෝ..

හා මැඩම්..

හරි එහෙනම්.. මම මේක විසන්දන්නම්.. මැෂින් ටික ඔය තියන තැන්වල තියෙන්න අරින්නකෝ.. හරි එහෙනම් ඔයා යන්න..

තෑන්ක්ස් මැඩම්..

මැඩම්ගේ කාමරයට යන අමාරිස් උන්නැහේ එතනින් එලියට බසින්නේ බොම්බයිමොටයි වන් කොණ්ඩය ඉත්තෑ කූරු කරගෙන වග අම්බලන්ගොඩයා දන්නවා වුනත් එය දෑසින් බලන්නට අම්බලන්ගොඩයා එහි රැඳෙන්නේ නැත්තේ එවන් කුජීත දර්ශන නැරඹීමේදී අම්බලන්ගොඩයාට සිනහව නවත්වාගන්නට ක්‍රමයක් නොදන්නා නිසාය.

ඊළඟට අමාරිස් උන්නැහේ විසින් ගොඩයා වෙත ඇටෙව්වා වූ උගුල වුයේ වෙනත් ආකාරයක එකක්ය. එනම් අම්බලන්ගොඩයා වාහනයෙන් රාජකාරියට ගිය දිනයක චර පුරුෂයින්ගේ ආරංචියෙන් අමන්දානන්දයට පත් අමාරිස් ආයතනයේ ආරක්ෂක අංශයට දුරකථන ඇමතුමක් දී තිබුනේ අවසර පත්‍රයක් නොමැති සැක කටයුතු වාහනයක් ආයතන පරිෂයේ නවතා තිබෙනා බවටලුය. රජයේ සේවයේ වැටුපෙන් අම්බලන්ගොඩ සිට කොළඹ දක්වා දිනපතා රථයක් පදවාගෙන යන්නට තරම් වත්කමක් අම්බලන්ගොඩයාට නොමැති වුවත් එදින ගොඩයා රථයෙන් පැමිණියේ කොළඹින් ගෙනයන්නට බඩු බාහිරාදිය බොහොමයක් තිබෙනා නිසාය. ගොඩයාට ආරංචිය පැමිණෙන විට ආයතනයේ ආරක්ෂක අංශයත් ඉහල නිලධාරීන් සමුහයකුත්, අමාරිස් උන්නැහේත් ගොඩයාගේ රියදුරා වටකරගෙන ලෙසටම ප්‍රශ්න කරනවාය. ඔවුනට ඇති ප්‍රශනය නම් රථවාහන බලපත්‍රයක් නොමැතිව මෙම රථය ඇතුලට පැමිණියේ කෙසේදෝ කියාය. එහෙත් ගොඩයාගේ රථය බලපත්‍ර සහිත රථයක් බව කව්රුත් නොදන්නේ එය වීදුරුවේ අලවා නොමැති නිසාය. මලාට රාජකාරී ස්ථානයට පැමිණෙන්නේ නැති රථයේ වීදුරුවේ ආයතනයේ බලපත්‍රය ඇලවීමට තරම් ගොඩයා අඳබාලයකු නොවේය. පැමිණි ආරංචියට රථය අසලට ගියා වූ අම්බලන්ගොඩයා රථවාහන බලපත්‍රය ඉදිරිපත් කල වහා සාජන් මහත්තයා දුටු පිස්සු පූසන් මෙන් කට්ටියම මාරුවී ගියද අමාරිස් උන්නැහේ නම් එතනින් මාරුවුණේ ලැජ්ජාව දෝතින් තුරුළු කරගෙනය.

අමාරිස් උන්නැහේ එතැනින්ද නැවතුනේ නැතිය.. උන්දෑ ඊළඟට අත තිබ්බේ අම්බලන්ගොඩයාගේ රාජකාරී පරිඝනකයටය. එවකට ගොඩයා විසින් ආයතන ඇතුලේ සිදුකලා වූ මුද්‍රණ කටයුතු වෙනුවෙන් මහත් දායකත්වයක් දැක්වූ අම්බලන්ගොඩයාගේ පරිඝනකයේ තිබු සංයුක්ත තැටි කියවනය හෙවත් සී ඩී රොම් කොටස අනවසරයෙන් ගලවාගත් අමාරිස් උන්නැහේ එය තමාගේ ලාච්චුවේ දමා යතුරු  ලෑවේ ගොඩයාගේ පරිඝනකයෙන් හරිහමන් වැඩක් ගන්නට බැරිවන්නටය. එවකට අන්තර්ජාලය සිරි ලංකාවේ ඉතා දුර්ලභ දෙයක් වූ අතර සංයුක්ත තැටි කියවනයක් නොමැතිව ආර්ට් වර්ක් එකක් පරිඝනකයට ඇතුල් කිරීමට හෝ පිටකිරීමට කිසිදුම ක්‍රමයක් නොමැතිය. එයින් ගොඩයාගේ රාජකාරියට පරිභාහිර රාජකාරී කටයුතු වලට තඩි ඇණයක් ගැසූ අමාරිස් උන්නැහේ උන්දෑ දිනුවා කියා හිතාගෙන සතුටින් සෙමෙන් සුනඛ වත පුරාගෙන ගියේය. එහත් ඊට සති කිහිපයකට පසු පැමිණෙනා ආයතනයේ වාර්ෂික බඩු බාහිරාදිය ගණනය කිරීම හෙවත් " බෝර්ඩ් ඔෆ් සර්වේ" ගැන හාන්කවිසියක මතකයක් අමාරිස් උන්නැහේට තිබෙන්නට නොමැතිය.

එම රාජකාරිය සඳහා පැමිණෙන්නේ පිටත ශාඛාවක සේවකයින් කිහිපදෙනෙකු බැවින් එම රාජකාරිය අකුරටම සිදුකලයුතු රාජකාරියක් වන්නේය. එම කාලයට මලකඩ කමින් තිබෙනා සියලුම යන්තර සූත්තර තිබුනාවූ ස්ථානවලම තිබෙනවාද කියා තහවුරු කරගැනීම කාගේ කාගේත් වගකීම වන්නේ අස්තානගතවීම් සම්භන්ධව උත්තර බැඳීමට සිදුවන නිසාය.. 

එවන් ආකාරයෙන් සිදුවනා බෝර්ඩ් ඔෆ් සර්වේ සඳහා නිලධාරීන් කාමරයෙන් කාමරයට පැමිණෙන්නේ ගොඩයා අමන්දානන්දයට පත්කරමින්ය.. අමාරිස් කුජීතවන නැකත උදාවී ඇති නිසා අම්බලන්ගොඩයාද ලක ලැහැස්තිවී ඉන්නවාය. එසේ පැමිණි නිලධාරීන් අම්බලන්ගොඩයා භාරයේ තිබෙනා බඩු බාහිරාදියද පරීක්ෂා කරනවාය..

කෝ මේකේ සී ඩී රොම් එක..

ආ එක මිස්ටර් අමාරිස් ගලවගත්ත..

මොකක්.. 

ඔව්.. අර ඉන්නේ ඉස්සරහ වීදුරු කාමරේ.. අන්න එයාගෙන් තමයි අහන්න වෙන්නේ.. කුමාර අමාරිස් මහත්තයට එන්න කියන්න..

ඕන්න අමාරිස් උන්නැහේ හැලෙන කලිසමද ඔසොව ඔසොවා ගොඩයා ඉන්න තැනට එනවාය..

මිස්ටර් අමාරිස්.. මේකේ සී ඩී රොම් එක ඔයා ගාවද..

ආ ඔව්..ඔව්.. ඒක මා ගාව තියෙනව..

අපිට ඒක පොඩ්ඩක් බලන්න පුලුවනිද.. මොකද නැත්තම් අපිට මේ කොම්පියුටරේ ගැන ලියන්න වෙනවා කෑලි අඩුයි කියල..

ආ.. ඉන්නකෝ මම ගේන්නම්..

එසේ කියමින් පිටව ගියාවූ අමාරිස් නැවත එන්නේ මුණ ඇඹුල් කරගෙන  වාගේම බොම්බයිමොටයි කොණ්ඩය ඉත්තෑ කූරු කරගෙනය.

කෝ මිස්ටර් අමාරිස්..

ම්ම්ම්ම්ම්.. ඒක මම තියපු තැන නැහැ මිස්ටර්.. 

එහෙනම් අපිට මේක කෑලි අඩු කොම්පියුටර් එකක් විදිහට ලියන්න වෙනවා මිස්ටර් අමාරිස්..

අම්බලන්ගොඩයාද බොර දියේ මාළු බාන්නට වතුරට බහින්නේ ඒ අල්ලපනල්ලේය..

දැන් ඕක එහෙම ලිව්වොත් මොකද වෙන්නේ ..

මෙහෙමයි.. රජයේ දේපල නිසා කොම්පියුටරේ සී ඩී රොම් එක අස්ථානගත වීම සම්භන්ධව නිදහසට කරුණු ලියන්න වෙයි ඉතින්..

ආ.. ඒක ඉතිං මට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැනේ.. මොකද මිස්ටර් අමාරිස් මේක ගලවාගෙන ගියා කියල එයා පිළිගත්තනේ.. මම ලියුම ලියල දෙන්නම් එහෙම.. එතකොට හරි නේද..

ඒ අල්ලපනල්ලේ අමාරිස් උන්නැහේ තමුන්ගේ ඔලුවට පෙරලෙන්නට යන බාල්දියෙන් බේරෙන්නට ඉදිරියට පැමිනේනවාය..

දැන් අපේ මේ කොම්පියුටරේට සී ඩී රොම් එකක් කඩෙන් ගෙනල්ල හරි හයිකරොත් හරි නේද..

එහෙම හරි නෑ.. මේක අස්තානගතවීමක්.. ඒත් අපි ඔක්කොම එකම ආයතනයේ සේවකයින් නිසා පුලුවනිනම් දවසක් ඇතුලත මේකට සී ඩී රොම් එකක් ගෙනල්ල හයි කරන්න..අපිට මේක ඉවර කරන්න දවස් දෙකක් යනවා.. හෙට වෙද්දී මේ කොම්පියුටරේ සම්පූර්ණ එකක් විදිහට තිබ්බනම් වැඩේ ශේප්..

හරි.. මම හෙට උදේම මේක හොයල හයි කරන්නම්කො..

අමාරිස් උන්නැහේගේ ලාච්චුවේ යස අගේට පරෙස්සමට තිබී අන්තරදාන වූ සී ඩී රොම් කොටස සෙවීමට තම වීදුරු කාමරයම උඩ යට පෙරලන අමාරිස් සහ ගෝල කැල කාලය කා දමනු අම්බලන්ගොඩයා බලා සිටියේ කනගාටුවෙන්ය. ලාච්චුවේ යතුරත්, වීදුරු කාමරයේ යතුරත් නිරන්තරයෙන් රැඳෙන්නේ තමුන්ගේ සාක්කුවේ බැවින් අමාරිස්ට ඒ ගැන සාධාරණව සැක කරන්නට කිසිවෙකුත් ආයතනය ඇතුලේ නොමැතිය. පසුවදා යුනිටි ප්ලාසාවෙන් අලුත්ම අලුත් කිරි ටොයියා සී ඩී රොම් කොටසක් ගොඩයාගේ කොම්පියුටරයට වැඩියේ ටූ ඉන් වන් හෙවත් සී ඩී රොම් සහ රයිටර් යන දෙකෙන්ම සමන්විතවය. ඒ සඳහා පූර්ණ අනුග්‍රහය අමාරිස් මහතා අමාරුවෙන් ඉපැයූ ධන පරිත්‍යාගයෙන් වග ගෝල තැන් විසින් වාර්ථා කලෝය.. 

ඉන් අනතුරුව කාලයකට පසු අම්බලගොඩයා එම ආයතනයෙන් වෙනත් තනතුරක් ලබා දාබරේලාගේ දෙපාර්තමේන්තුවට යන දවස ලං වුයේය. අවසාන දවසේ යුතුකමක් වශයෙන් අමාරිස් උන්නැහේට ආයුබෝවන් කියන්නට යන අවස්ථාවේ හිස් අතින් නොයන්නටද අම්බලන්ගොඩයා වග බලාගත්තේ අමාරිස් උන්නැහේ සතු යමක් අම්බලන්ගොඩයා සතුව තිබෙනාවූ බැවින්ය. එනම් ඊට මාස කිහිපයකට කලින් අමාරිස් මහතාගේ ඉබි යතුරු දැමු වීදුරු කාමරයේ යතුරු ළෑ ලාච්චුවේ තිබී අස්තානගතවූ සී ඩී රොම් කොටසය. සී ඩී රොම් කටුව අමාරිස් උන්නැහේගේ මේසය උඩින් තැබූ අවස්ථාවේ අමාරිස් උන්නැහේ තමා එතෙක් කල් චග්ගුඩු පනින්නට තැනුවේ කුමන ආකාරයේ එකෙකු සමගද යන්න දැනගන්නට ඇතිය. එදා අමාරිස් බොහොම අසරණ ලීලාවෙන් අම්බලන්ගොඩයා  දිහා බලා සිටියා විනා කිසිවක් කතා කලේ නැතිය. අයියෝ අමාරිස්... පවුඌ.....

කොමෙන්ට් දැමීම සතුටක්ය.. එහෙත් CD රොම් එක ලාච්චුවෙන් අතුරුදහන් වෙච්චි විදිහ ඇසීම තහනම්ය.. එව්වා ගුරුමුෂ්ටි සහිත එව්වා නිසා ඒවැනි ජිල්මාර්ට් ඉගෙනගන්නට ගුරු පඬුරු රැගෙන එන්නට ඕනෑය..