Saturday, June 29, 2024

ආදර ගුණේ ..

      


                ගුණේ කිව්වම ලංකාවේ ප්‍රසිද්ධම ගුණේ හිටියෙ ලලයි ලිලයි ලයි ටෙලියෙ.. ඕක ඉතිං ටෙලිය නොබලන අය දන්නෙ නැති නිසා ඒ ගුණේ ගැන විසේසයෙන් යමක් කියනවනං, ගුණේ කියන්නෙ බල්ලෙක්.. වෙනත් විදිහකින් කියනවනං, ලලයි ලිලයි ලයි කියන ටෙලියේ චරිතයක් වෙන උදාර පෙලපතකින් පැවත එන පිස්සු ධනුශ්කයාගෙ බල්ලා තමයි ගුණේ.. ඊයෙ වෙනකල් ගුණේ ගැන මට විශේශයක් නොතිබුනේ මං ඉතිං බල්ලන්ට ලොකුවට නෙවෙයි කිසිසේත්ම ප්‍රිය නොකරන චරිතයක් නිසා.. ඒ ඉතිං වෙන විශේශ හේතුවක් හින්දා නෙවෙයි බල්ලන් දෙන්නෙක් විසින්  මගේ දකුනු කකුලෙත් පස්චාත් භාගයේ තැන් දෙකකුත් ලේ පනින්නම සපා කාලා තියන නිසා.. ඒත් ඊයෙ වෙද්දී  ලලයි ලිලයි ගුණේ මියගියා කියන ප්‍රවෘත්තිය රන්දික ගුනතිලකගේ ෆේස්බුක් පේජ් එකෙනුත් උමා අසේනිගේ ෆේස්බුක් පේජ් එකෙනුත් ශෙයාර් වෙච්ච පෝස්ට්  දෙකකම දැක්ක.. ඒක කියවන් යද්දි තමයි මට අපේ ගුණේව මතක්වුනේ..


මේ කියන කාලෙ මගේ වයස අවුරුදු හතක් හෝ අටක්. අපේ ගුණේ අපි අතරට එන්නෙ 1984 අවුරුද්දෙ කියලයි මගේ අප්සැට් මතකය කියන්නෙ.. එවකට අපේ තාත්තගෙ ලොකු මලයා පිටරටක රැකියාවක් කරලා ලංකාවට වැකේශන් ඇවිත් හිටපු කාලයක්.. අපි එයාට කිව්වෙ සුදු බාප්පා  කියල.. තාත්තා ඇතුලු අපේ තාත්තගෙ සහෝදර සහෝදරියන් පුංචි කාලේ ඉඳලම එයාව සුද්දා නමින් හඳුන්වපු නිසා අපිට එයා සුදු බාප්පා උනා... සුදු බාප්පගේ හමේ පාට දිහා බැලුවාම මට දැං හිතෙනව අපේ තාත්තගෙ පවුලෙ අය වර්ණ අන්දතාවයෙන් පෙලුනාවත්ද කියලත්..

 ඔය කියන කාලෙට සාපේක්ශව අපේ තාත්තගෙ පවුලේ බාලයා හෙවත් පුංචි බාප්ප ලඟ තිබ්බ මොරිස් මයිනර් එකක්.. එවකට අපේ තාත්තගෙ බාල මල්ලිලා දෙන්නමත්, ඒ කියන්නෙ සුදු බාප්පත්, පුංචි බාප්පත්, තාත්තගෙ බාල නංගිත් කියන තුන්දෙනාම තනිකඩයි.. සුදු බාප්පා එවකට විදේශ ශ්‍රමිකයෙක්.. පුංචි බාප්පා රාජ්‍ය ආයතනයක අධ්‍යක්ශකවරයෙක්.. නැන්දා රාජ්‍ය ආයතනයක ලිපිකාරිනියක්.. සුදු බාප්පට ඒ වෙද්දිත් වෙනමම ගෙයක් තිබ්බට එයත් ඇතුලු සේරෝම පදිංචිව හිටියෙ අපේ ආච්චිත් එක්කම මහ ගෙදර.. 

බොහොමයක් දවස්වලට උදේ පාන්දර හොඳින් ඇඳපැලඳගෙන පුංචි බාප්පගෙ මොරිස් මයිනර් එකේ නගින අපේ සුදු බාප්පා ආයෙම ගෙදර ආවෙ හවස් වෙලා.. රට රස්සාවල් කරලා ලංකාවට වැකේශන් යන දැං එවුන් වගේම ඒ කාලෙ එවුනුත් වැකේශන් එකේ වැඩිහරියක් කරේ යාලු මිත්‍රයෝ එක්ක රවුං ගහපු එක තමා.. සතිය පුරාම මට බප්පලා නැන්දලා ඇසුරේ ඉන්න අවසර නැත්ත සති අන්තෙට වගේ මටත් තාත්තගෙ මහ ගෙදර නයිටක් ගහන්න අවස්ථාවක් ලැබෙනව.. ඒ ඉතින් අපේ තාත්තගේ කැමැත්තෙන් නෙවෙයි.. සති අන්තේ දවසක උනත් මම මහගෙදර ගිහින් රස්තියාදු ගහනවට කැලේ කොලේ පනිනවට අපේ තාත්තා ලොකුවට කැමැත්තක් නෑ.. එකේ ප්‍රතිපලයක් විදිහට අදටත් තාත්තගේ ගමේ පාරවල් තොටවල් ගැන  මිනිස්සු ගැන තාත්තට වඩා යමක් මම දන්නවා..

 සිකුරාදා හවස් වෙද්දී බාප්පලා දෙන්නේගෙන් එක්කෙනෙක් හරි ලොකු තාත්තගේ පුතා රවී අයියා හරි ඇවිත් මාව මහගෙදර එක්ක යනවා උනාට  තාත්ත ඒ ගැන ලොකු කැමැත්තක් තිබ්බේ නෑ..  ඉස්කෝලෙ නිවාඩු කාලෙට ඉතිං සතියක් හමාරක්  එක දිගට මහගෙදර බෝර්ඩ් වෙන්න චාන්ස් එක වදිනව.. තනිකඩ බාප්පලා දෙන්නෙකුයි තනිකඩ නැන්දා කෙනෙකුයි සහ තාත්තගෙ අනික් සහෝදරයන්ගෙ දරුවො ටිකයි රෑට මහ ගෙදරට සෙට් උනාම ඒක තනිකරම මගුල් සක්වලක්.. මහගෙදර ස්ථීර සාමාජිකයන් ගනන හතරදෙනෙක් උනාට සති අන්තෙ සිකුරාදා රෑ සෙනසුරාදා රෑ වෙද්දි මහගෙදර හෙඩ් කවුන්ට් එක අඩුම විස්සක් විසි පහක්වත් වෙනව.. චූටි නැන්දා ප්‍රමුඛ ඤාති අක්කලා එකතුවෙලා රෑට හදන රාත්‍රී ආහාරය හැමෝම එක්ක  එකට එකතුවෙලා කනකොට තියෙන්න දිව්‍යලෝක රසයක්.. ඒ කාලෙ ටීවී චැනලුත් තිබ්බෙ දෙකයි නිසා ටීවී එකේ පෙන්නන චිත්‍රපටියක් බලලා හෝ සුදු බාප්ප රටින් ගෙනාපු වීඩියෝ ඩෙක් එකෙන් හිංදි පිචැර් එකක් බලලා රෑ දෙගොඩ හරියක් වෙනකල් කයියක්  ගගහ ඉන්න එක වෙනමම ආතල් එකක්.. රෑ කයිවාරුව  අතරට චූටි නැන්දගෙන් රසකැවිල්ලක්, බැදපු රටකජු ටිකක්  සහ තේ කෝපි කවදාවත් වැරදුනේ නෑ..

ඔය වගේ ගතවෙච්ච කාලෙක අපේ සුදු බාප්පා  මොරිස් මයිනර් එකේ නැගලා කොහේදෝ හිතවතෙක් හමුවෙන්න ගිය අතර වාරෙක තමයි එයාට ගුණේ මුනගැහෙන්නෙ.. ගුනේගෙ අම්ම සුදු බාප්ප හමුවෙන්න ගිය මනුස්සයාගෙ ගෙදරට ඇවිත් තිබ්බෙ ගුනේවයි ගුනේගෙ මල්ලිවයි එක්ක.. ගුනේට එවකට අවුරුදු හතරයි.. ගුනේගෙ මල්ලිට අවුරුදු එකහමාරක් දෙකක් වෙන්න ඇති කියලයි අනුමානය.. 

ගුණේ කියන්නෙ අවුරුදු හතරක පුංචි හුරුබුහුටි කොලු ගැටයෙක් කිව්වම මේක කියවන අය දැං පොඩ්ඩක් විතර පැටලෙයි මේක පටන් ගත්තේ බල්ලෙක් උක්ත කරගෙන නිසා.. ගුණේගේ අම්ම ගුණේට දාල තිබ්බ නමට  "ගුණේ" කෑල්ලක් තිබ්බ නිසා මුළු නම වෙනුවට අපි ගුණේ කියන අකුරු දෙක පාවිච්චි කරා.. ගුණේගෙ අම්ම ඒ ගෙදරට ඇවිත් තිබුනෙ උදලු තලයක් විකුනගන්න.. ඒ වෙන මොකකටවත් නෙවෙයි දරුවො දෙන්නට කන්න යමක් අරගෙන දෙන්න.. එතැනදි ඇතිවෙච්ච කතාබහකින් අනතුරුව ගුණේගෙ අම්ම අපේ බාප්පට කියනවා ගුණේව එක්ක ගිහිං හදාගන්න කියල.. ගුණේව දැක්කම දැනිච්ව හිතේ අමාරුවටම අපේ බාප්ප හිටපු ඇඳුම පිටින්ම ගුණේව මයිනර් එකේ වාඩි කරගෙන ගෙදර අරං එනව..

සුදු බාප්ප කොහෙන්දෝ කොල්ලෙක් අරං හදාගන්න ගෙනැල්ලා කියන ආරංචිය අපේ ගෙදරටත් එනව.. එවකට හතර මායිමේ එකෙකුටවත් ටෙලිෆෝන් තිබ්බෙ නැති නිසා කවුරුහරි ඇවිත් කියනකල් හෝ ටෙලිග්‍රෑම් එකක් එවනකල් ඉතිං පනිවුඩයක් එන්න ක්‍රමයක් සාමාන්‍ය ජනසමාජයට තිබ්බෙ නෑ.. ඒත් වැදගත් ආරංචි, ඕපාදුපයක් තකහනියේ හරි ඇවිල්ලා කියන කකුල් දෙකෙන් ඇවිදින සමාජ මාධ්‍ය ඒ කාලෙත් තිබ්බ නිසා හැතැක්මක් දෙකක් දුරට ආරංචියක් එන්න ලොකු කාලයක් යන්නෙත් නෑ..

ගුණේ අපූරු කොලු පැටියෙක්.. කකුල් දෙක ටිකක් බකලයි.. ඔලුවෙ හැමතැනම හොරි දද කුෂ්ඨ වගේ තුවාල.. ඇඳන් හිටියෙ ඉරුන කිලිටි ඇඳුම්.. ගුණේගෙ තිබ්බ ගති ලක්ශන වලින් මම කැමතිම එක උනේ ගුනේගෙ මුඛරිකම.. කතාවට කිසීම ලැජ්ජාවක් භයක් නැති ගුණේ ඕනෑම කෙනෙක් අහන ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙද්දි ෆිල්ටර් නෑ බ්‍රේක් නෑ.. ගුණේ දවසෙන් දෙකෙන් කොයිතරම් ප්‍රසිද්ධ උනාද කියනවනං, 2019 චන්දෙට කලින් කැලණියේ නයා බලන්න ආපු සෙනග වගේ සෙනගක් අහල පහලින් අපේ තාත්තගෙ මහ ගෙදරට එන්න පටන් ගත්ත.. එයින් භාගයක් ආවෙ ගුනේව බලලා යන්න.. තව පිරිසක් ආවෙ ආරංචිය ඇත්තද කියලා බලන්න.. මට අද හිතෙනවා ඒ ආපු සමහරු ආවෙ ගුණේට අපේ ඤාති වරිගයා කාගෙම හරි මුහුනුවර තියෙනවද බලන්න කියලාත්.. ඒ කලේ ඩී එන් ඒ ටේස්ට් තිබ්බනම් ඉතිං අපිට සිද්දවෙනවා ගුණේ අපේ කාගෙවත් දරුවෙක් නෙවෙයි කියලා ඕපදූප කාරයින්ට ඔප්පු කරන්න..😂😂😂 

ගුණේ අපේ තාත්තගෙ මහගෙදරට ඇවිත් දෙවැනි දවස වෙද්දි අපේ බාප්පලා නැන්දලා එකතු වෙලා ඉස්සෙල්ලම කරේ ගුණේව ගෲම් කරනන පටන් ගත්තු එක.. පලමුව ගුනේගෙ හොරි පිරුන ඔලුව තට්ටෙටම කෙස් බෑවුනා.. ඊට පස්සෙ නාවලා පිරිසිදු කරලා  තුවාලවලට බෙහෙත් එහෙමත් ගල්වලා අලුත් ඇඳුම් එහෙමත් අන්දලා ගත්තාම මේං යකෝ ගුණේ නිකම් හින්දි නලුවෙක් ගානට හැඩයි කියහංකො.. 

ඇඳන් හිටපු ඇඳුම පිටිං අරං ආපු ගුණේ සති දෙක යද්දි අපේ තාත්තගෙ මහගෙදර ස්ථීර සාමාජිකයෙක් උනා.. අරං එද්දි උප්පැනයක්වත් නොතිබුන ගුණේ පසුව ළඟ තිබ්බ  මොන්ටිසෝරියකට ඇතුලත්වුනා.. ඊට පස්සෙ ගමේ ඉස්කෝලෙ හෝඩියට ඇතුලත්වුනා.. ගුණේගෙ බකල කකුල් දෙක කෙලින් කරන්න අපේ ආච්චි කොයිතරම්නම් තෙල් ගාලා අතගාන්න ඇතිද.. අවුරුදු දෙකක් යද්දි ගුණේ සැපට හැදෙන අපූරු කොලු පැංචෙක්.. ගුණේ අපි කාටවත් පිටස්තරයෙක් උනේ නෑ.. සිංහල අවුරුද්දට අපිට අලුත් ඇඳුම් ලැබෙද්දි ගුනේටත් ඒ හා වටින මුදලටම අලුත් ඇඳුම් ලැබුන.. පිටින් ගෙනාපු කොල්ලෙක් කියන හැඟීම ගුණේට අතිවෙන්න කිසීම කෙනෙක් ඉඩ දුන්නෙ නෑ.. ගුනේට කොයිතරම් තැනක් අපේ පවුල ඇතුලේ ලැබුනාද කියනවනම්, අපේ බාප්පලා දෙන්නගෙම වෙඩින් වලදී  ගුනේටත් වෙඩින් හොම්කමින් වෙනුවෙන් වෙන වෙනමම අලුත් ඇඳුම් මැස්සුනා..  සුදු බාප්පා අරං ආපු දවසේ, සරොං කොටයක් ඇඳගෙන ඩෙඟ ඩෙඟ පරි රඹට කැකිරි කියලා උඩ පැනලා නටපු ගුණේ ටික කාලයක් යද්දී  අපේ මහගෙදර ආදරය රැකවරණය ඇතුලෙ අයි ඇම් අ ඩිස්කෝ ඩාන්සර් කියන තැනට පර්සනලි ඩිවලොප් උනා.. ඒත් ගුණේට පරවේණියෙන් ගෙනාපු එකම එක දෙයක් විතරක් අතෑරගන්න බැරිවුනා.. ඒ තමයි ඉඳහිට හැදෙන මීමැස්මොර රෝගය.. පුලුවන් හැම විදිහකටම ප්‍රතිකාර කරලත් ගුණේගේ අසනීපය සුව කරගන්න නැන්දලා බාප්පලාට බැරිවුනා.. ඉඳ හිටලා අසනීප වෙන එක ඇරුනාම ගුණේ ගතකරේ පට්ට සැපවත් සුපිරි ජීවිතයක්.. 

එහෙම අවුරුදු කීපයක් යද්දි තමයි ගුනේගෙ අම්ම ආයෙම ගුණේ හොයාගෙන මහගෙදරට පැමිනෙන්නෙ.. ඒ තමා ගුනේගෙ ජීවිතේ ටර්නිං පොයින්ට් එක.. ගුණේගෙ අම්මගෙ ඉල්ලීම උනේ ගුණේව ආපහු එයාට ඕන කියන එක.. ඒත් ඒ තරමට ආදරෙන් හදාගත්තු ගුණේව ලේසියෙන් අම්මට අතාරින්න අපේ නැන්දයි ආච්චියි බාප්පලා දෙන්නයි කැමති උනේ නෑ.. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි.. ඒ අම්මගෙ රැකවරණය යටතේ ගුණේට සුභ අනාගතයක් ලැබෙන්නෙ නෑ කියලා ඉන්තේරුවෙන්ම දන්න නිසා.. ඒත් ගුණේගෙ අම්මත් ඒ අම්මව එතනට පොලඹවපු ගැහැනු කෙනාත් ගුණේව අතාරින්න සූදානම් උනේ නෑ.. අවසානයේ ප්‍රශ්ණය පොලිසිය දක්වා දුර ගියා.. ඒක පොලිසියටත් විසඳන්න පුලුවන් පරිමාවේ ප්‍රශ්නයක් නොවුන නිසා ගුණේව අයිතිකරගැනීමේ ප්‍රශ්ණය උසාවිය දක්වාත් දුර ගියා.. 

නඩු වාර කීපයක් අවසානයේ සියලු සාක්ශි විමසපු නඩුකාරතුමා අවසානයේ ගුණේවත් විත්ති කූඩුවට නග්ගනව.. එතුමා ගුණේගෙන් අහනවා ඔයා ඉන්න කැමති අම්ම ලඟද අම්බලංගොඩ ආච්චි ලඟද කියලා.. ගුණේ එක පයින් උත්තර දෙනවා ආච්චි ලඟ කියලා.. ඒත් නීතියේදි හැඟීම් වලට වඩා මුල්තැන ලැබෙන්නෙ නීතියට නිසා  දරුවාගෙ අයිතිය අම්මට දිය යුතුයි කියලා උසාවියෙන් තීන්දුව ලැබෙනවා .. යන්න බෑ කියලා කෑ මොර දෙද්දි ඒ අම්ම ගුනේව බලහත්කාරයෙන් බස් එකක දාගෙන අරගෙන යනව.. එතැනින් එහා අපේ තාත්තගෙ මහ ගෙදර සතියක් හමාරක් බත් ඉදෙන්නෙ නෑ.. ගුණේව අහිමිවීමේ වේදනාව ඤ්ති හැමදෙනාත්, මහගෙදරත්, අසල්වැසියනුත් අමාරුවෙන් විඳගන්නව.. අවුරුදු කීපයක් අපි එක්ක කැලේ කොලේ දුව පැන ඇවිදපු, එකට ක්‍රිකට් ගහපු, එකට සාලෙ වාඩිවෙලා ටීවී බලපු, එකට කාපු බීපු ගුණේ පරිච්චේදය එතැනින් අවසන් වෙනව.. ඒක අදත් අපිට බොහොම වේදනාකාරී මතකයක්..🥲

කාලය ගත වෙනවා.. බප්පලා නැන්දලා හැමෝම විවාපත් වෙනව.. ආච්චිත් හෙමින් හෙමින් වියපත් වෙනව.. මහගෙදර ආච්චි විතරක් ඉතුරු වෙනව.. කාලයක් ගත වෙද්දි  ගුණේ කියන්නෙ අපෙන් වෙන්වෙලා ගිය පවුලේ සාමාජිකයෙක් ගානට සුන්දර සහ දුක්බර මතකයක් පමණක්ම වෙනව..  ඒ විදිහට අවුරුදු අටක් දහයක් වගේ කාලයක් ගත වෙනව.. ඕං ඔය අතර තමයි ඊලඟ වැදගත් සිදුවීම සිද්දවෙන්නෙ.. 

එදා  මහ ගෙදරට කව්දෝ අමුත්තෙක් ඇවිත් .. ඒ වෙද්දි මහගෙදරට ටෙලිෆෝන් අරගෙන.. අහලපහලත්, අපේ ගෙවල්වලත් ඒ වෙද්දි ටෙලිෆෝන් තියෙනව.. ආච්චිගෙ ඉල්ලීමකින් ඥාති වරිගයාගෙ හැම ගෙදරටම එන ටෙලිෆෝන් කෝල් එකකින් කියැවෙන්නෙ ඒ ආපු අමුත්තා ගැන.. තමයි අපේ ගුණේ.. කෑ ගහලා අඬද්දි අම්මා බස් එකක දාගෙන අරං ගිය අපේ පුංචි ගුණේ.. පරන මතකයෙන් අහම්බෙන් දැකපු මං සලකුනක් ඔස්සේ ගුනේ මහගෙදර හොයාගෙන ඇවිත්.. අපෙ අප්පේ එදා අපේ අච්චිට තිබ්බ සන්තෝසෙ.. එයා ගුනේව අතගානවා ඉවරයක් නෑ... එදාත් මහගෙදරට සුවිසේශී දවසක්.. ඥාති වරිගයාද, අහල පහල උදවිය පෝලිමේ එනවා ගුණේව බලන්න..  එදත් ගුණේ පලවෙනි වතාවෙ අරං ආපු දවසේ වගේමයි.. ගුණේගෙන් දාහක් ප්‍රශ්ණ අහනවා .. අතගානවා ඉවරයක් නෑ.. වෙනත් විදිහකින් කියනවනම් ගුණේ වටේ ආදරේ දෝරෙ ගලනව.. ගුනේට එවකට වයස දහ අටක් විස්සක් වගේ වෙන්න ඇති.. ඒත් ඉතිං තොල් කලුවෙලා.. ඇඳුම් අබලන් වෙලා.. බැලූ බැල්මටම ගුණේ ඒ වෙද්දි නාස්ති වෙච්ව කොල්ලෙක්.. ආයෙත් ගොඩ දාන්න පුලුවන් වෙනවට වඩා නොවෙනවට කැට තියලා කියන්න පුලුවන් පෙනුම ඒ වෙද්දි ගුණේට තිබ්බ..

උණු නිසා බොන්නත් බැරි කිරි හින්දා අහක දාන්නත් බැරි තත්වයක හිටපු ගුනේව බාප්පගෙ මැදිහත්වීමෙන් බාප්පගෙම ආයතනයේ තාවකාලික කම්කරු රැකියාවකට දාගන්න බාප්පට පුලුවන් වෙනව.. ඒත් ඒ වෙද්දිත්  ගුණේ ගැන විශ්වාසයක් තියන්න බෑ කියන ගති පුරුදු ගුණේ විසින් පෙන්නමින් ඉන්නව.. එක තැනක් අවංක කමෙන් රස්සාවක් කරගෙන ජීවිතේ ගොඩදාගන්න උවමනාවක් තිබ්බෙ නැති ගුණේ ටික දවසක් යද්දි  කරගෙන හිටපු රැකියාවෙන් පැදුරටත් හොරෙන් මාරුවෙනව.. ඒ පුංචි කාලය ඇතුලතත් ගුණේ වංචා සහ හොරකම් කීපයක සැකකරුවෙක්..

තැන තැන අහුවෙන රැකියාවක් කුලී වැඩ කරපු ගුනේ පස්සෙත් ඉඳ හිටෙක ආච්චි බලන්න මහගෙදරට එනව.. ගුණේ එන්නෙ ආච්චිගෙන් සල්ලි කොල  කීපයක් උන්ඩි කරගෙන යන්න කියලා ආචිත් දන්නවා උනාට අපේ ආච්චිත් ගුනේ ආපු හැම වෙලාවෙම ගුණේව හිස් අතින් යැව්වෙ නෑ.. ඒත් පස්සෙන් පහු ගුණේ ගැන ආරංචියක්වත් නැතුව යනව.. මීමැස්මොර රෝගය හැදීලා ලිඳක වැටිලා ගුණේ මියගියා කියන දූසමාන ආරංචියක් කොහෙන්දෝ  මගේ කනට වැටිලා තියෙනවා උනාට කවුරුවත් ඒක තහවුරු කරලාම කියපු එකක් නෙවෙයි.. ගුණේ අද ජීවත්ව ඉන්නවද නැද්ද කියලා අපි කවුරුත්ම දන්නෙ නෑ.. ඒත් ගුණේ ගැන මතක්වෙන හැම වෙලාවෙම අපි කාටත් තියෙන්නෙ වේදනාව පසුතැවීම ප්‍රමුඛ හැඟීමක්.. ගුණේට එයාගෙ ජීවිතේ හොඳ තැනකට ගෙනියන්න දෛවයෙන් අවස්ථාවක් ලැබුන.. ඒත් මොකක්දෝ කරුමයකට ගුණේට ඒ අවස්තාව හදලා දීපු එයාගේ අම්මම ඒකට හරස්වුනා.. එහෙම නොවුනානම් ගුණේ අද වෙද්දි හැකි උපරිමයෙන් අධ්‍යාපණය හදාරලා හොඳ රස්සාවක් කරගෙන පවුලක් පන්සලක් වෙච්ච ලොකු මහත්තයෙක්.. අපේ නැන්දා අදත් කියන්නේ ගුණේට තිබ්බ මතක ශක්තිය එක්ක ගුණේ දිගටම ඉස්කෝලේ ගියානම් ගුණේ හොඳ තැනකට යනවා කියලමයි..

අවුල් වෙච්ච ජීවිත සුභ දිශාවන්ට පැදගෙන යන්න මිනිස්සුන්ට කලාතුරකින් අවස්ථාවන් ලැබෙනව.. අවාසනාවන්ත විදිහට ගුණේට පලවෙනි අවස්ථාව ලැබිලත් අහිමි වෙනවා ගුණේ බාලවයස්කරුවෙක් නිසා.. සමහර අවස්ථාවන් ජීවිතේට දෙපාරක් එන්නෙ නෑ.. ඒත් ගුණේට ඒ විරල චාන්ස් එක දෙපාරක් ආවා උනාට පලවෙනි අවස්ථාව මගහැරුන වරදේම දිගුවක් විදිහට දෙවැනි අවස්ථාවත් ගුනේට මග හැරෙනව..  අද වෙද්දි ගුණේ ජීවත්ව ඉන්නවද එහෙම නැතිනම් මියගිහිංද කියලා අපි කවුරුත්ම හරිහැටි දන්නෙ නෑ..

ගුණේ, 
 පුංචි බාප්පගෙ වෙඩින් වීඩියෝ එකේ උඹ සුදු  ජාතික ඇඳුමක් ඇඳලා රට සෙරෙප්පු දෙකක් දාලා අදත් එදා වගේම ඉන්නව ඇති.. පවුලේ වෙඩින් වීඩියෝවල විනාඩි දෙක තුනකට වරක් කැමරාව ඉස්සරහින් ගිය චරිත තුන අතරේ උඹ එක්කෙනෙක්.. ඒක මතක් වෙද්දීනම් මට අදත් උඹ ගැන හිනා යනවා.. උඹ පුංචි එකා උනාට ඒ කාලෙත් කැමරාවෙන් පේන්න උඹ හරිම ආසයි .. මම උඹට කැට තියලා කියනවා, උබේ අම්ම එදා උඹව අපෙන් උදුරාගෙන අරං නොගියානම් උඹ අද ලොකු රස්සාවක් කරන ලොකු මහත්තයෙක්.. ඒක එහෙම උනේ උඹේම අවසනාවට වෙන්න ඇති කියල මම හිතනවා.  ඉන්න තැනක හෝ ඉන්න ලෝකෙක හොඳින් හිටපං ගුණේ.. උඹ එක්ක තියන මතකයන් අපේ හිත්වල එදා වගේම අදත් ආදරනීයයි අමරණීයයි.. 🥲🥲🥲



 

Saturday, June 15, 2024

යූ කම් ටු මයි රූම් ටුනයිට් ?

                                 ඒ මීට අවුරුදු දහයකට දොලහකට කලින් කාලෙ.. මම වැඩ කරේ තඩි හෝල්සේල් ෆ්‍රෝසන් ෆූඩ් ෆැක්ටරි එකක.. ඒක ඉතාලි කෑම හදපු ෆූඩ් ෆැක්ටරි එකක්..  24/7 ප්‍රඩක්ශන් එක ඔරේ රන්..  මගේ ශිෆ්ට් එක හවස දෙකේ ඉඳන් රෑ දහය.. හවස දෙකේ ඉඳං රෑ දහය වෙනකල් මගේ රස්සාව ෆැක්ටරියෙ තියන යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කරන එක.. දවසට කොන්ටේනර් කීපයක ප්‍රඩක්ශන් එකක් එලියට යන ෆැක්ටරියක තියෙන අටෝරාසියක් යන්ත්‍ර සූත්‍ර අතරෙ නොකැඩුන යන්ත්‍රයක් තිබ්බනම් ඉතිං ඒ බොහෝම කලාතුරකින්.. අලියෙක් උනත් නාවන්න තරම් සයිස් පිටි අනන මැශින්, මීටර් පනහක් හැටක් දිග පැස්ටරයිසර්, එව්වට නන්ස්ටොප් වාශ්ප සපයන බොයිලර්ස්, වාශ්ප ෆැක්ටරිය පුරා ගෙනියන තඩි සයිස් බ්ලෝවර්ස්, අහාර ද්‍රව්‍ය වේලන ඩ්‍රයර්,  පැය 24 ම රන්වුන කිචන් එකේ තිබ්බ යන්ත්‍ර සූත්‍ර, ප්‍රඩක්ශන් එක පැය 24 තිස්සෙම පැක් වෙන ෆුලී ඔටෝමේටඩ් පැකින් මැශින් කීපය ඇතුලු මෙකී නොකී සියලූම යන්ත්‍ර සූත්‍ර අතරින් භාගෙට භාගයක් හැමදාමත් තිබ්බෙ කැඩිල.. ෆැක්ටරිය නන්ස්ටොප් රන් වෙන්න ඕන නිසා අපේ බොසා එක මැශිමකින් අවම දෙකකට වඩා ස්ටෑන්ඩ්බයි තියෙන විදිහට ෆැක්ටරිය මේන්ටේන් කරා.. ඒ අතරේ ඔක්ශන් වලින් අඩුවට සෙට්වෙන ලෝක යුද්ද කාලෙ යන්ත්‍ර සූත්‍රත් අපේ ලොක්කා ෆක්ටරියෙ වෙයාර් හවුස් එකේ ගෙනැත් බාගත්ත.. සමහර එව්ව අපි ලව්වා හදලා ෆැක්ටරියෙ පාවිච්චියට ගත්ත.. සමහර එව්ව ආයෙම ඩබල් ප්‍රයිස් කරලා වික්ක.. ඒ නිසා මගේ ශිෆ්ට් එක තනි ටෙක් කෙනෙක් විදිහට මට හම්බානෙකට වැඩ.. වැඩ කිව්වට ඉතිං මේන් ටාස්ක් එක ප්‍රඩක්ශන් එක නන්ස්ටොප් රන් කිරීම.. මගේ වගකීම වෙන්නෙ ස්පෙයාර් පාර්ට්ස් තිබ්බා නැතා හරකෙක් බැඳලා හරි ප්‍රඩක්ශන් එක නවතින්න නොදී දුවවන එක.. ඒකට පිං සිද්දවෙන්න රෑ දහයට ගෙදර යන්න වැඩට එන මම සමහර දවස්වලට ගෙදර එන්න උදේ ශිෆ්ට් එකේ ටෙක් උදේ පහට වැඩට ආවාම..  

ටික කාලයක් වැඩ කරද්දි මගේ ශිෆ්ට් එකත් හවස දෙක රෑ දෙක තැනට ඇජස් උනා ඉබේම.. හවස දෙකේ ඉඳන් රෑ දහය වෙනක්ල් ඕවරෝල් යුනිෆෝම් එකෙන් ඉන්න මම බහුතරයක් දවස්වලට රෑ දහයෙ වගේ ඉඳන් ඕෆ් වෙනකල් හිටියෙ චෙෆ් යුනිෆෝම් එකෙන්.. එකට හේතුව රෑ ශිෆ්ට් එක දුවන්න කිචන් ස්ටාෆ් මදි වෙන එක.. රෑ ශිෆ්ට් එක දිවවීමේ වගකීම පැවරුනේ මටයි ඔස්කා කියන තවත් එක හාදයෙකුටයි.. උදේ වෙද්දී එලියට යවන්න තියන ප්‍රොඩක්ෂන් එක යවන්නනම් කිචන් එක සහ පැකින් එක  රන් වීම අනිවාර්යයි..  බොහොමයක් දවස්වලට සිද්දවුනේ කිචන් එක රන් කරන්න මම ස්වේච්චාවෙන් කිචන් එකට අනුයුක්තවීම සහ පැකින් එක රන් කරන්න ඔස්කා ස්වේච්චාවෙන් පැකින් එකට අනුයුක්ත වීම.. 

 ෆූඩ් ෆ්‍රොසෙසින් ප්ලාන්ට් එකක කුකින් කියන්නෙ ලාර්ජ් ස්කේල් වැඩක්.. අවම පෝශන් එක උයන්න තියෙන්නෙ කිලෝ 50 වගේ කොන්ටිටීස්.. කුකින් කියන්නෙත් මම ආස කරන සබ්ජෙක්ට් එකක් නිසා කිචන් එකේ වැඩ කරන එක  ඉතින් මටත් ලොකු මහන්සියක් නෑ.. දවසෙම යන්ත්‍ර සූත්‍ර එක්ක කරන ඒකාකාරී ජීවිතේ මදකට වෙනස් වෙනවා කුකින් වැඩේ නිසා.. කිලෝ 50 ක් වගේ පෝෂන් එකක් එක පාරට උයනවා කියන එක ඉතින් වෙනම එක්ස්පිරියන්ස් එකක්.. සියලුම එළවලු වර්ග ෆැක්ටරියට එන්නේ කපපුවා නිසා කපන්න කොටන්න දෙයක් නෑ... කිචන් එකේ තියන පරිඝනකයට අපිට අවශ්‍ය නිමි ද්‍රව්‍ය ප්‍රමාණය ඇතුල් කරාම රෙසිපියට අවශ්‍ය සියලූම ද්‍රව්‍යවල බර ප්‍රමාණය පරිඝනකය විසින් ලබා දෙනවා.. කුක්ට තියෙන්නේ ඒ ඒ අවශ්‍ය ද්‍රවය කිරලා මැනල අරගෙන අවශ්‍ය ප්‍රමාණයට පිසගැනීම පමණයි.. කිලෝ 50 කොන්ටිටීස් ඊළඟට යන්නේ මික්සර් එකට.. මික්සර් එකේ වැඩ කරන කෙනා කරන්නේ කුක් උයලා දෙන ආහාරයට රෙසිපියේ ප්‍රමාණයට සාමන්යෙන් කිලෝ දහයක් පහළොවක් වගේ චීස් එකතු කීරීම.. ඒකත් පිටි අනන තඩි මැෂිමක්.. එකෙ වැඩ කරන කෙනා අවශ්‍ය කරන චීස් ප්‍රමාණය මිශ්‍ර කරලා අඹරලා ගත්තම ඒක ඊළඟට යන්නේ රැවිඔලි හදන ඩිපාර්ට්මන්ට් එකට.. රැවිඔලි (Ravioli) කියන්නේ පැටිස් එකක් වගේ ජාතියක් .. කිචන් එකෙන් හදලා දෙන ෆිලින් එක රැවිඔලි මැෂින් එක ඇතුලට දැම්මම ඒකෙන් එලියට එන්නේ මැෂින් එකෙන් රෝලර් එකෙන් කැපිලා සීල් වෙලා එන රැවිඔලි.. ඒක ඊළඟට යන්නේ වාෂ්ප යන්ත්‍රයට.. වාෂ්ප යන්ත්‍රය ඇතුලෙන් මීටර්  පනහක් ගිහින් අනික් පැත්තෙන් එලියට එන්නේ හොඳින් තැම්බූන රැවිඔලි.. ඊළඟට ඒ රැවිඔලි බෙල්ට් එක දිගේ යන්නේ වේලන යන්ත්‍රයට.. ඒක ඇතුලෙන් ගිහිං කරෝල කුරියා ගානට වේලිලා එලියට එන රැවිඔලි ඊළඟට තමයි පැකින් එකට යන්නේ.. ඔය ක්‍රියාන්විතය ඇතුලේ කොතන හරි එක වරදක් හෝ දෝෂයක් සිද්දවුනොත් ඒක නිවැරදි කරනකල් ප්‍රොඩක්ෂන් එක හබක්.. ඒ ඒ අවශ්‍ය තැන්වලට  මිනිස් ශ්‍රමය තියෙනකල් ඔස්කට ඔලුවේ කැක්කුමක් නෑ...  ඔය ප්‍රොඩක්ෂන් ලයින් එකේ තියන යන්ත්‍රවලින් එකක්වත්  හබක් නොවෙනකල් මටත් විශේෂ ඔලුවේ කැක්කුමක්  නෑ.. ඔස්කට පඩිය කීයක් ලැබුනද කියලා මම දන්නේ නෑ.. මට පැය අටේ ඉඳන් ඕෆ් වෙනකල් අතිකාල ලැබෙන නිසා මගෙත් ඉතින් ලොකු අවුලක් නෑ..


ෆැක්ටරියෙ තිබ්බ ලොකුම අවුල තමා ෆුල් ස්ටාෆ් ස්පාඥ්ඥ භාශාව කතාකරන ස්ටාෆ් එකක් වීම.. ෆැක්ටරියෙ ප්‍රොඩක්ශන් ලයින් එක ඉතාලි කෑම ජාති නිසා ඒ කෑම ගැන අවභෝධයක් තියෙන රටවල මිනිස්සුන්ට ඒ ෆැක්ටරියෙ ප්‍රමුඛතාවය ලැබුන නිසා මුලු ස්ටාෆ් එකම කතා කරේ ස්පැනිශ්.. ෆැක්ටරියෙ ඕනර් ඇරුනාම ඉංග්‍රීසි කතාකරපු උදවිය හිටියනම් ඒ අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩු පිරිසක්.. ඒ විදිහ භාශා අවුලක් එක්ක පැය 12 හෝ ඊට වැඩි ශිෆ්ට් එකක් වැඩ කරලා ගෙදර ආවාම වැඩිම මහන්සිය තියෙන්නෙ වැඩ කරපුවට නෙවෙයි අදහස් හුවමාරු කරගන්න වෙච්ච මහන්සියට.. උන්ට සිංහල බෑ... මට ස්පාඤ්ඤ බෑ.. ඒ මදිවට උන් එකෙකුටවත් ඉංග්‍රීසි බෑ.. ඉතිං කියහංකො කොහොමද කියලා අදහස් හුවමාරු කරගන්නේ කියල.. ඕනෑම භාෂාවකට මහා පොදු සාධකය විදිහට ස්පැනිශ් භාෂාවේ තියන  සියලුම අසභ්‍ය වචන ටිකනම් දෙයියනේ කියල සතියෙන් ඉගෙනගත්ත.. එතන අවුරුදු දෙකක් වැඩ කරපු නිසා ලාවට ලාවට වචන අර්ථ තේරෙනව උනාට වාක්‍යක් තේරුම්ගන්න තරම් මට ස්පැනිශ් දැනුමක් නෑ... ඒ වෙනුවට උනේ ඉංග්‍රීසි මෙලෝ මලදානයක් බැරි එවුන් එක්ක ඉංග්‍රීසි කතා කරන්න ගිහින් තිබ්බ ඉංග්‍රීසි ටිකත් සෙත්තපෝච්චි වෙච්චි එක.. උන්ට ඉංග්‍රීසි තේරුම් කරන්නනම් ව්‍යාකරණ අමතක කරන්නම වෙනවා අකමැත්තෙන් උනත් ..

රෑ ශිෆ්ට් එකේ තිබ්බ විශේෂිත තාවය තමයි ශිෆ්ට් එක ඕෆ් වෙලා යද්දී වාහන නැති කවුරුවත්ම මහමග දමා නොයෑම.. රෑ දහයාමාරෙන් පස්සේ ඒ පැත්තට පබ්ලික් ට්‍රාන්ස්පොටේෂන් සහ ශටල් සේවා නෑ.. ඒක ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකක් නිසා එතනින් කිලෝමීටර් තුනක් එහායින් තියන ප්‍රධාන පාරට යනකල් යන්න වෙන්නේ පයින්.. නීතියට අනුවනම් ආයතනය විසින් ප්‍රවාහනය සැපයිය යුතු උනත් සේවකයන් සහයෝගයෙන් වැඩේ ගොඩ දාගන්න නිසා ආයතන පරිපාලනය ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වුවේ නෑ.. ආයතනය විසින් අපිට පැවරුවේ නැතත් අපි කවුරුත් කාවවත් රෑට මහමග දාල ගියේ නෑ.. එක එක වාහනේ යන වෙනම සෙට් එකක් හිටිය.. කාන්තා පිරිමි කියලා භේදයක් තිබ්බේ නෑ.. මම හිටියේ වැඩි දුරක නෙවෙයි නිසා මගේ වාහනේට සෙට් උනේ බොහෝවිට එක්කෙනයි.. උගේ නම මිගෙල්.. අපි ඌට  නැති තැන කිව්වේ මිකී කියල.. මිගේල්ට මිකී කියන්න විශේෂත්වය උනේ මිකී මවුස්ට වගේ පැත්තකට ඇද වෙච්ච ශරීර ප්‍රමාණයට වඩා ලොකු ඔලුවක් පිහිටීම.. මිකී කියන වචනේ ඇහුනානම් මිගෙල් ස්පැනිශ්  භාෂාවේ තියන සියලූම වචන වලින් බැන වදින එක සාමාන්‍ය දෙයක්..

වල්දිනා එවකට වයස තිහක වගේ එක්දරු මවක්.. වැඩ කලේ පැකින් එකේ.. හැමදාම රෑට වල්දිනා අරගෙන යන්න එයාගේ හස්බන්ඩ් ෆැක්ටරියට ආව රෑ දෙක වෙද්දී.. ඒ නිසා අපි කාටවත් වල්දිනා රෑට ගෙදර ඇරලවන්න ඕනෑවුනේ නෑ.. ෆැක්ටරියේ බහුතරය වගේම වල්දිනටත් ඉංග්‍රීසි අකුරක් බෑ.. මොකක් නමුත් වැඩක් කරවගන්න ඉතින් භාෂා පරිවර්තකයෙකු අත්‍යවශ්‍යයි.. ඕන් දවසක් ෆැක්ටරිය වහන්න පැය භාගයක් විතර තියෙන්නේ වල්දිනා එනවා පැද්දි පැද්දී කිචන් එක දිහාවට.. කිචන් එක මං විතරයි..

හලෝ සර්.. කොමෝ එස් තස්.. ( හෙලෝ සර්, හවූ ආර් යූ ?)

එකට ස්පැනිශ් වලින් උත්තර දෙන්න මම යන්තමට දන්නවා..

බියෙන් (අයි  ඇම් ෆයින් ) වල්දිනා.. වට් ඩු යූ වෝන්ට් ? 

මාත් ඉතින් දන්නා ස්පැනිශ් ටිකත් පාවිච්චි කරලා වල්දිනා අමතලා එයාගේ අවශ්‍යතාවය අහනවා.. පැකින් එකේ එකෙක් මාව හොයාගෙන කිචන් එකට එන්නේ හේතු තුනකට.. පලවෙනි එක කෑමට යමක් උවමනා වීම.. දෙවැනි එක  ගෙදර ගෙනියන්න පැස්ට ටිකක් රවිඔලි ටිකක් උවමනා වීම.. ඒක විසඳන එක සුළු දෙයක්.. තුන්වෙනි හේතුව ඉතාමත් භායනක එකක්.. ඒ තමයි ප්‍රොඩක්ෂන් ලයින් එකේ යන්ත්‍රයක් අවසන් ගමන් යාම.. 

යූ  කම් ටු මයි රූම් ටුනයිට්  ?

මගේ කකුල් දෙකත් එක්ක හිරි වැටිලා ගියා කියමුකෝ.. හැමදාම රෑට හන්බන්ඩා එක්ක ගෙදර යන එක්දරු මවක් මගෙන් අහනව රෑට කාමරේට එනවද කියල..  ගෑනියෙක් මිනිහෙකුගෙන් අහන ප්‍රශ්නයක්ද කියහන්කෝ ඒක ..  

අයි ඩෝන්ට් ආණ්ඩස්ටෑන්ඩ් වල්දිනා...

ප්ලීස් සර්.. කාර් යූ  කම් ටු මයි රූම් ටුනයිට් ... 

ඒ කාලේ ගුගල් ට්‍රාන්ස්ලේට් තිබ්බෙත් නැති නිසා වල්දිනා අහන දේ තේරුම් කරගන්න විදිහක් තිබ්බෙත් නෑ.. ඔස්කා හොයාගෙන යන එක ඇරුනාම වෙන විකල්පයකුත් නැති උනාට වල්දිනා අහන ප්‍රශ්ණය දරුණු ගනයේ එකක් නිසා මනුස්සයෙකුට කටක් ඇරලා කියන්නත් බෑ... ඒත් ඉතින් හත් ඉලව්වේ මේකත් පැද්දි මම උත්තරයක් දෙනකල් බලන් ඉන්න නිසා මම හනික ෆෝන් කොටේ අතට අරගෙන ඔස්කට කෝල් එකක් ගැහුවා ඉන්න තැනකින් හැකි ඉක්මනින් කිචන් එකට වර කියල.. ෆැක්ටරිය වහන්න ඔන්න මෙන්න තියාගෙන මගෙන් හදිසි ඇමතුමක් එනවා කියන්නෙත් ඔස්කගේත් ඇඟේ මයිල් කෙලින් වෙන සිද්දියක්.. මොකද කියනවනම් මොකක් නමුත් යන්ත්‍රයක් සෙත්තපෝච්චි වෙලානම් මම යන්ත්‍රය ගොඩ දානකල්   මගේ තනියට ඉන්න ඔස්කට සිද්දවෙනවා.. ඒ නිසා ඔස්කත් ඩබල් එකේ කිචන් එකට වාර්තා කළා...

ඕන් ඊට පස්සේ තමයි වල්දීනට ඕනවෙලා තිබ්බේ රෑට ගෙදර යන්න රයිඩ් එකක් කියලා පැහැදිලිවම දැනගත්තේ... වල්දිනා එයා දන්නා ඉංග්‍රීසියෙන් මගෙන් අහලා තිබ්බේ ඕෆ් උනාම එයාවත් මගේ කාර් එකෙන් ගෙදරට දාගෙන යන්න පුලුවනිද කියල.. ගණදෙවි නුවණ පහලවෙලා ඔස්කව ගෙන්නලා ප්‍රශ්ණය පැහැදිලි කර නොගෙන වල්දිනගේ රූම් එකට එහෙම යන්න හිතක් පහලවුනානම් වල්දිනගේ හයේ හතරේ මනුස්සයගෙන් මම මැරුම් කාලා දැන් අවුරුදු දහයකට වැඩියි.. මම ඉතින් පිළිවෙලකට හැදුන කුලවත් ගුණවත් උදාර කොල්ලෙක් නිසා යන්තම් පන ටික බේරුනා...