Wednesday, October 1, 2025

ගිගිරි නගින බෙලුකටු

 😠


මේක අසූව දශකයේ මැදභාගයේ කතාවක්..

        එවකට මම දේවානන්ද විද්යාලයේ එක වසරේ හෝ දෙක වසරේ කියලයි මතක.. එකේ දෙකේ ඇච්චො බැච්චො උනාම ඉතිං ඒ ඉස්කෝලෙම අයියලා අක්කලා ඉන්නවනම් එයාලගෙන් සූටි පහේ ආරක්ශාවක් රැකවරණයක් ලැබෙන එක ස්භාවිකයි නෙව.. මටනම් ඉතිං ඒ ඉස්කෝලෙ අයියලා අක්කලා ඉල්ලෙ.. මොකෙක්වත් නැති නිසා ඉතිං බල්ලො පූසොත් ටොකු ඇනලා යන ලෙවල් එකෙන් මම අඥාතයි කුජීතයි.. එහෙම උනා කියලා අනාතම කියලමත් නෑ ඉතිං.. කාගෙන්වත් ගුටි නොකා ඉන්න ඕන නිසා අපේ සීය පොලිසියේ කියලා හරි ශේප් කාර්ඩ් එක ගහගන්නව.. සීයලා දෙන්නම මට වයස අවුරුද්දක් වෙද්දිම මියපරලොව ගිහිපු නිසා ඒ දෙන්නා සුදුද කලුද කියලත් මම දන්නෙ ෆොටෝ කෑල්ලකින් විතරක් වෙච්චි.. ඒත් ඉතිං එව්ව ඉස්කෝලෙ කොල්ලො දන්නෙ නෑ.. තාත්ත පොලිසියේ කියන්න බෑ තාත්ත හැමදාම උදේට වැඩට යන ගමන් මාව ඉස්කෝලෙ ලඟට ඇරලවන නිසා..

        ඕං ඔය විදිහේ වාතාවරණයක් යටතේ අමාරුම කාරයන් හතලිහක් හතලිස් පහක් ඉන්න පංතියක ඉන්ටවල් එක කියන්නෙම පංතියේ ඉන්න එවුන්ගෙ අයියලා අක්කලා තමුන්ගෙ මල්ලිලා බලන්න එන වෙලාව.. එවකට මම හිටපු එෆ් පංතියේ හිටියෙ කොල්ලොම විතරයි.. අපරාදෙ කියන්න බෑ හෝඩියේ ඉඳන් පහ වසරට ගිය දේවානන්දෙ යාලුවොත් අද වෙද්දි රට හැමතැනමත් ලෝකෙ හැමතැනමත් ඉන්නව අඩු නැතුව..
        
        මෑන්ස්ගෙ නම හසන්ත.. හසන්ත කිව්වට හසන්තමත් නෙවෙයි.. ඊට ආසන්න නමක්.. ඇත්ත නම ලියන එක හරි නැති නිසා එව්ව මෙහිලා ලියලා බෑ.. හසන්තගෙ අක්කත් ඒ ඉස්කෝලෙමයි.. මතකෙ හැටියට අපිට වඩා අවුරුදු හතක් අටක්වත් වැඩිමල් ඇති.. ඒ අක්කා මල්ලිට කොච්වර ආදරේද කියනවනම් ඉන්ටවල් එකට පංතියට ඇවිත් මල්ලිට කවලා පොවලා නාවලා කොන්ඩා පීරලා පවුඩර් දලා සූ දාන්නත් එක්කං ගිහිං තමයි ආයෙ එයාගෙ පංතියට යන්නෙ.. අපිව බලන්නනම් ඉතිං එන්න බල්ලෙක් පූසෙක්වත් නැති නිසා අපි ඉතිම් ඒ ලොකු එවුන්ගෙ ලොකු සීන් බලාගෙන පාඩුවේ ඉන්නව.. ඉන්නවා කිව්වට ඉන්න වෙනව..

        ඕං දවසක් සුපුරුදු විදිහට ඉන්ටවල් එක උදාවුනා.. ඒක මහා භයානක දවසක්.. සිද්දිය අද මතක් වෙද්දිත් කකුල් දෙක හිරි වැටීලා ගිහිං මහා භයානක හැඟීමක් ඔලුවට එනව.. හසන්තගෙ අක්කයි යාලුවෝ දෙන්නෙකුයි ඇවිත් ඕං හසන්තයාට කවනවා පොවනවා අතගානවා කොන්ඩෙ පීරනවා එක හුරතලයයි.. අක්ක අපිට වඩා හතකින් අටකින් වැඩිමහල් නිසාද වෙන්න ඇති ඉතිං හුරතලේ.. ඕං ඉතිං කවලා පොවලා නාවලා පුයර දාලා කොන්ඩෙ පීරලා අක්කලා සැට් එක හසන්තයාව සූ දන්නත් එක්කම් ගියා කියමුකෝ.. ඉන්ටවල් එක ඉතිං ලොකු වෙලාවක් නැති නිසා අපිට ඉතිං හසන්තයා ගැනත් ලොකුවට නිනව්වක් නෑ.. හැමදාම සිද්දවෙන බේබි සිටිං නිසා අක්කලා ඇවිත් හසන්තයාට කවන පොවන එක අපිට ලොකු මැජිකුත් නෙවෙයි.. ඕං එක පාරටම ඉන්ටවල් ඉවරවෙන බෙල් එක වදිනව.. ඒ එක්කම ඇච්චි බැච්චො යන ටොයිලට් එක පැත්තෙන් ඉස්කෝලෙම උලු බිමට වැටෙන සද්දෙට පොඩි එකෙක් කෑ ගහනව.. ස්ටාෆ් රූම් එකේ හිටපු ගුරුවරුයි ලොකු අයියලා වගේකුයි ඒ සද්දෙට ඒ පැත්තට දුහනව.. අපිට ඉතිං දුවන්න කියලා අතක් නෑ.. බිල්ලෙක් ඇවිත් ඉස්කෝලෙ ලමයි අල්ලන් යන්න හදනවාවත්ද කියලා හිතුනට ඉතිං බිල්ලෙකුට උනත් ගෝනියක ඉස්කෝලෙකම ඉන්න ලමයි දාගෙන යන්න බැරි නිසා කුතුහලය ඇරුනාම මටත් ඉතිං ලොකුවට භයක් දැනුනෙ නෑ.. කරෝල වාඩියක වැඩට උනත් අරං යන්නෙ අත පය හතර ටිකක් ලොකුවට මහතට තියෙන එවුන් නිසා මං වගේ කෙංචි නාට්ටෙකුට බිල්ලෙකුගෙන් උනත් ලොකුවට අවධානමක් නෑ..

        ඕං ටික වෙලාවකින් ගූරුවර ගුරුවරියන් ගොඩාක් වටවෙලා හිටපු ටොයිලට් එක ඇතුලෙන් හසන්තයාව උස්සන් එන්නෙ පිරිමි ගුරුවරයෙක්.. හසන්තයාගෙ අක්කත් යාලුවො ටිකත් අඬ අඬා ඒ පස්සෙන් දුහනව.. අපේ පංතියේ හිටපු, කට ඇරියොත් බොරු කියන සකලසිරී කියන්නෙ හසන්තයට ටොයිලට් එක ඇතුලෙ ඉඳලා නයෙක් ගහලා කියල.. හද හදා හොල්මන් කතා කියන ප්‍රසන්නයා කියන්නෙ දවල් බැදුම් කාලා ටොයිලට් ගිහිං එකේ හිටපු යකා හසන්තයට ගහල කියලා.. තව එකෙක් කිව්වෙ ටොයිලට් එකට උඩින් තියන දෙල් ගහේ ගෙඩියක් හසන්තයාගෙ ඔලුවට වැටීලා කියල.. තව එකෙක් කීවෙ හසන්තයාට පපුවෙ හිලක් නිසා ඒකට අමාරු වෙලා කියල.. ඔය වගේ දාහක් විය හැකි දෑ ඇහෙන් දැක්කා වගේ කියන විස්සක් තිහක් කොල්ලො විවිධාකාර මත පල කරද්දි අපේ පංතිභාර ටීචර් ඇවිත් වෙලා තියෙන දේ අපිට නොකියාම හසන්තයාගෙ පොත් බෑග් එක අරගෙන යනව.. ඕං එතැන් පටං අර කලින් කයි කතන්දර කීව එවුන්ගෙන්ම එකෙක් කියනවා හසන්තයා ඉස්පිරිතාලෙ ගෙනියද්දි මැරිලලු.. ඉස්කෝලෙන් ගෙනියද්දිත් මැරීලා කියලත් තව එකෙක් කියනව.. ඒ අස්සෙ අද ඉස්කෝලෙ ඇවිත් තියෙන්නෙ ඊයෙ මැරිච්ව හසන්තයාගෙ හොල්මන කියලත් ප්‍රසන්නයා කියනව.. උගේ මාස ගනන් කියලත් ඉවර නොවෙන හොල්මන් කතා වටවෙලා අහන් ඉන්න අපිට ඉතිං ඒකත් ඇත්තවත්ද කියලත් හිතෙනව..

        හසන්තයාගෙ ඇත්ත නම මේකෙ කොමෙන්ට්වල ලියලා මාව උසාවිනම් යවන්න එපා යාලුලා ඕං.. කරගන්න පුලුවන්කම තියාගෙන තමුන්ගෙ වැඩේ අනුන් ලව්වා කරගන්න ගියාම ඉතිම් හසන්තයාට වෙච්චි දේ වෙන්න තියන සම්භාවිතාවය වැඩියි.. ආදරේ වැඩිකමට දරුවන්ගෙ සහෝදරයන්ගෙ යාලුවන්ගෙ සරීරකෘත්යයත් කරවලා දෙන්න ගියාම එව්වගෙ භයානක ප්‍රථිපලවලට මූන දෙන්න සිද්ද වෙනව ඉතිම් අකමැත්තෙන් උනත්..

    එදාම ඉතිං විස්තරේ හොයාගන්න බැරිවුනාට ඉතිම් පහුවදා ඉස්කෝලෙ යද්දි සිද්දිය ගැන රොයිටර් වාර්ථා පංතිය පුරාම.. වෙච්ච සිද්දිය රඟපාලා පෙන්නපු එවුනුත් හිටියා ඉතිං.. වෙලා තිබ්බෙ ඇඟ හිරිවැටෙන සීන් එකක්.. හසන්තයා මාසෙකින් විතර ඉස්කෝලෙ ආවා ඉතිම් මුකුත් නොවුන ගානට.. වෙලා තිබ්බ සීන් කෝන් එක මේන් මේකයි..

        ඉන්ටවල් ඉවරයි කියලා බෙල් එක ගහපු ගමන් හසන්තයාගෙ අක්කන්ඩි පංතියට යන්න තියන හදිසියට හසන්තයාගෙ කලිසමේ සිප් එක උඩට ඇදලා.. ඒත් ඉතිං සසර කරපු කරුමෙකට හසන්තයා ඒ වෙලාවෙ ඉඳලා තියෙන්නෙ සූ දාන ගමන්.. ගිගිරි නගින බෙලුකටු නේද පිංවත.. ඒ කෑල්ල ලියද්දිත් මේ දැනුත් මගේ කකුල් හිරි වැටෙනව.

Monday, September 15, 2025

සමුගන්න අවසන් සිනහවෙන් . .

         



                ඒ නමය් දහය වසර වගේ කාලෙ මගෙ හිතේ.. ඉස්කෝලෙ ඇරුනයින් පස්සෙ ටියුශන් නැති දවස්වලට හවස් වරුවෙම කරේ මහේශ්ලාගෙ මිදුලෙ ක්රිකට් ගහපු එක.. හවස දෙකහමාරට විතර පටන් ගැනෙන ක්රිකට් ගැහිල්ල, එක්කො ගෙවල් වලින් ඇවිත් එකෙක්ව කනෙන් ඇදගෙන යනකල් හරි එක්කො අඳුර වැටීලා මහේශ්ලාගෙ අම්ම චාලට් ඇන්ටි දැං ඕක නවත්තපල්ලා කියලා මහේශ්ට සද්දෙ දානකල් හරි ඇදීලා යනව.. කොහොම උනත් හවස හයහමාර වෙනකනුත් බොහෝ දවස්වලට අපි ක්රිකට් ගහනව.. මට ඔය ක්රිකට් ගැහිල්ල ඒ තරමට අල්ලලා යන්නෙ නැති නිසා ඉතිං මමත් බෝල එකකට දෙකකට බැට් එක වනලා හැමදාම අවුට් වෙනව.. වැඩිහරියක්ම ඉතිං වෙන්නෙ අනුන් ගහන බෝල අහුලන්න මම මහේශ්ලාගෙ වත්තෙ කැලෑ පීරගෙන දුහපු එක විතරයි.. පොල් ගස් අටෝරාසියක් එක්ක තවත් පලතුරු ගස් බොහෝමයක් තිබ්බ මහේශ්ලාගෙ වත්තෙ මිදුල සමතලා මිදුලක් නිසාම එතන ක්රිකට් ගැහුවා මිසක් ගස් ගල් බේරලා හතරක් හයක් ගහනවා කියන්නෙම ඉතිං සෑහෙන ගේමක්.. මට ඉතිං හතරෙ එව්වා හයේ එව්වා හීන වෙච්චි බැට් එකේ වදින එකම බෝලෙත් කාගෙහරි අතට කැච් කියහංකෝ...

        කොල්ලො කුරුට්ටො දහයක් දොලහක් සෙට් වෙන ක්රිකට් ගැහිල්ලට නායකත්වය දුන්නෙ මහේශ්ලගෙ අල්ලපු ගෙදර අයිය.. ඒ අයිය අපිට වඩා අවුරුදු තුනක් හතරක් වගේ වැඩිමල් කියලයි මගේ වැටහීම.. ඔතන ක්රික්ට් ගහපු වයස් කාන්ඩ කිව්වොත් ඔක්කොම හැත්තෑව දශකයේ 74,75,76,77,78 වගේ වයස්වල උදවිය.. මම දහය වසරේ ඉද්දි ඔය කියන අයියා බොහෝදුරට උසස්පෙල.. හවස ක්රිකට් ගැහිල්ලා නැගලාම යන අල්ල පනල්ලේ මේ අයියා ඕං එක දවසක් එයැයිගෙ ගෙදර කුස්සියේ ජනේලෙන් එලියට ඇහෙන විදිහට මහ සද්දෙට කැසට් එකක් දාලා ඇවිත් ක්රිකට් ගහන්න ආවා කියහංකෝ.. අපි ක්රිකට් ගහනවා.. කැසට් එකේ එකම කැසට් එකක් දෙපැත්තට දුවනව.. එක පැත්තක් ඉවර වෙද්දි අයිය දුවලා ගිහිං කැසට් පීස් එක අනික් පැත්ත දානව.. මම අනුමාන කරන විදිහට ඒ කැසට් පීස් එකේ තිබ්බ සිංදු ටිකට සමගාමීව ඒ අයියට මල්සරා විද්දා එක්කෝ ඒ ආසන්නයේ මල්සරා විදපු විදිල්ලට ඒ අයියා කුස්සියෙන් එලියට ඇහෙන්න කැසට් එක දාල ක්රිකට් ගැහුව..
🤪    
    
     මේ කියන අයියා ඒ සිංදු ටිකට කොයිතරම් ඇබ්බැහි උනාද කියනවනම් කැසට් එක නැති දවස්වලත් ඒ සිංදු මුමුන මුමුනා තමයි මේ කියන අයියා ක්රිකට් සෙල්ලම් කරේ..
ක්රිකට් ගහන අතරේ අපිටත් ඉතිං ඔය සිංදු ටික එකින් එක කටපාඩම් උනා.. ඇයි ඉතිං මේ යෝදයා මේ සිංදු ටික අපිටත් බලෙන්ම අස්සවන නිසා..ටිකක් කන්දීලා ඇහුවාම සිංදු ටිකත් නරක නැති නිසා මමත් ඉතිං වැඳලා වැඳලා කැසට් පීස් එක ඉල්ලගෙන ගිහිං අපේ ගෙදරත් ටික දවසක් ඇහුව..
අහම්බෙන් යූ බටේ සිංදු වගයක් හොයද්දි ඕං ඒ කැසට් පීස් එකේ තිබ්බ සිංදුවක් අහුවුනා.. සමහර සිංදු අපේ අතීත මතක අවුස්සනව.. සමහර සිංදු අත්තීතයේ සමහර තැන්වල ටැග් වෙලා තියන නිසා එහෙම වෙනවා කියලයි මට හිතෙන්නෙ.. ජයන්ත දිසානායකගේ මේ සිංදුව තියන කැසට් එකේ තිබ්බ මොන සිංදුව ඇහුනත් මට මතක් වෙන්නෙ අවුරුදු තිහකට එහා මහේශ්ලගෙ මිදුලෙ ක්රිකට් ගහපු හැටි.. අද වෙද්දි චාලට් ඇන්ටි ජීවතුන් අතර නෑ.. මහේශ් ලෝකෙ කොයි කොනක ඉන්නවද කියලා දන්නෙ නෑ.. මහේශ්ගෙ අක්ක දොස්තර කෙනෙක් වෙලා ඔස්ට්රේලියාවෙ පදිංචියට ගිහිං.. එතන ක්රිකට් ගහපු හුඟ දෙනෙක් අද ගමේ පදිංචි නෑ.. එක්කෙනෙක් ජීවතුන් අතරත් නෑ.. ඒ කාලෙ වගේ එක ගමේ කොල්ලො කුරුට්ටො එක ගෙදරක මිදුලක සෙට් වෙලා අද කාලෙ ක්රිකට් ගහන්නෙත් නෑ.. එක ගමේ මිනිස්සු පාරෙ හම්බුනත් අන්ඳුරන්නෙ නැති තරමට ලෝකය වෙනස් වෙලා..

Sunday, August 31, 2025

සයිඩ් කන්නාඩියෙන් දෙවැනි ගමන

         


            ඒ මං හිතන්නෙ අපි නවය දහය වසරෙ හිටපු කාලය.. චන්දෙ දවසට අම්ම ඉලෙක්ශන් ඩියුටි යන එක හැම චන්දෙකටම පොදුවූ වැඩක්.. චන්දයක් එනවා කියන්නෙම ඉතිං අපිට ඒ කාලෙ ආතල් කෝටියක්.. ඔය චන්දෙට සමගාමීව චන්දෙ දවසෙ රෑට සහ චන්දෙ දවසට ඉස්සරින්දා අපේ ගෙදරට අමුත්තො කීප දෙනෙක් එනව.. ඒ තමයි අම්මගෙ ඔෆිස් එකේ වැඩ කරපු යාලුවො කීපදෙනෙක්.. ඒ වෙන හේතුවකට නෙවෙයි.. ඉලෙක්ශන් ඩියුටි යන දවසට උදෙන් යන්න ඕන නිසා සෙට් එකම අපේ ගෙදර ඇවිත් නවතිනවා උදේ පාන්දර ඒ ඒ ගම්පලාත්වලින් එන්න තියන ප්රවාහන අපහසුතා නිසා.. ඔය කියන දවස චන්දෙ දවසට ඉස්සරින්ද.. අම්මගෙ යාලුවො තුන් හතරදෙනෙක් හවස් වෙද්දි අපේ ගෙදර ඇවිත් බෝර්ඩ් උනා. මට වෙනම කාමරයක් තියන නිසා මට වාසස්ථාන අහිමි වෙන්නෙ නෑ.. ඒත් නංගිලා දෙන්නටනම් එදාට බොහෝදුරට සිද්ද වෙන්න ඇත්තෙ එයාලගෙ කාමරේ අම්මගෙ යාලුවන්ට දීයා අම්මලාගෙ කාමරේ නිදියන්න.. ඒක මගේ උපකල්පනයක් මිස හරියටම දන්න දෙයක් නෙවෙයි ඉතිං.. මගේ කාමරෙන් පිට ලෝකයේ අය නිදාගත්තෙ කොහේද කෑවෙ බිව්වෙ මොනවද කියලා මට අදටත් කල්පනාවෙ නෑ.. ඒ ඉතිං මමයි එයාලා හතරදෙනායි එක පවුලකට වඩා පවුල් දෙකක ස්වරූපයෙන් ඉන්න තැනට මම විලෝපිකයෙක් උන නිසා.. ගෙදර සාමාජිකත්වය මේන්ටේන් උනාට ගෙදරින් පාලනය වුනාට අදහස් ගැලපීම අතිං ඉතිං හතරට එක අනුපාතයට ලාම්පුතෙලුයි වතුරයි ගානට එදා වගේම තමා අදටත්..

        
        එදා තමයි සිරිලාංකීය ටෙලි ඉතිහාසයේ වැඩිහිටියන්ට පමණයි ලේබලයේ සිංහල පිචැර් එකක් ටීවී එකේ පෙන්නපු දවස.. බොහෝදුරට ඒ පලවෙනි වතාවට වෙන්න ඇති.. මං ඉතිං ටීවී එකේ සිංහල චිත්රපටි ෆෑන් කෙනෙක් නෙවෙයි නිසා මම ඕක ගැන දැනගෙන හිටියෙ නෑ.. ඒක මම දැනගන්නෙ මේං මෙහෙම. අම්මගෙ ඔෆිසියේ යාලුවො ටික රෑ හතේ ඉඳන් මට කියනවා පුතා අද කලින් නිදාගන්න හෙට උදෙන්ම ඇහැරෙන්න තියනවනේ කියල.. ඒත් ඉතිං මම කල්පනා කරනව මට චන්දෙ දාන්න යන්නත් නැති එකේ, මට ඉලෙක්ශන් ඩියුටි යන්නත් නැති එකේ, චන්දෙ නිසා ඉස්කෝලෙ යන්නත් නැති එකේ මොන කෙහෙල්මලකට මට කලින් නිදාගෙන උදෙන් නැගිටින්න කියනවද කියල.. විනාඩි පහලොවකට සැරයක් මට කලින් නිදාගන්න කියන එක මට මහ විසාල කරදයක් වෙච්චි නිසා මං ඉතිං පොඩ්ඩක් විපරං කරලා බැලුවා මේ මොකෑ යකෝ මේ කියල.. ඕං ඒ අල්ලපනල්ලෙ සාලෙ මැද්දෙන් එහෙ මෙහේ යන වෙලාවක තමා දකින්නෙ ඒ මහා වැඩිහිටියන්ට පමණයි පිචැර් එක ටීවී එකේ අද රෑට පෙන්නනවා කියල.. ඒ පිචැර් එකේ නම තමයි " දෙවැනි ගමන".. අපි ඉතිං පොඩිහිටියන් වෙච්චි අපිට ඔව්ව බලන්න ගෘහ පාලකතුමාගෙන් අවසර නෑ.. හැබැයි ඉතිං රීගල් එකෙයි අනුර හෝල් එකෙයි ඔය වයස් සීමාව එහේ මෙහේ උනා මම දන්න තරමින්.. ඒ ගැන දැනගත්තෙ ඊට ටික කාලෙකට පස්සෙ ඕ ලෙවල් කරපු අවුරුද්දෙ.. එව්ව ප්රසිද්දියේ ලියන්න බෑ.. වයස හතලිස් අටක් වෙන්න ලං උනාට තාමත් අවුල් ඉස්කෝලෙන් පැනලා පිචැර් බැලුවා කියලා අම්ම තාත්ත දැනගත්තොත්.. බුකිය කියන්නෙ කේලම් ගුහාවක් එහෙම බැලුවාම..

        අම්මගෙ යාලු ආන්ටිලා විසි තිස් වාරයක් කිව්ව නිසා කුතුහලය වැඩිවුන නිසාම මේ ගැන හෙව්වා මිසක් කලින් නිදාගන්න කියලා ඉල්ලීම් ආවෙ නැතිනම් ඔය පිචැර් එක යනවා ඇහුනත් මම නෙවෙයි ඔව්වට ඇහැ දාන්නෙ.. ටීවී එකේ යන හිංදි පිචැර් එකක් බලුවත් සිංහල පිචැර් එකක් කියන්නෙම නිදිමරාගෙන බලන්න තරම් උද්යෝගයක් ඇතිවෙන එකක් නෙවෙයි ඒ වෙද්දි.. සිංහල සිනමාව ඒ වෙද්දි තිබ්බෙ පණ අදිමින් කියලයි මට දැං වෙද්දි හිතෙන්නෙ.. රෑ නවය වෙද්දි අම්මගෙ යාලු ඇන්ටිපාලා ටික මාව නිදි කරවගන්න සෑහෙන්න දත කන නිසා අපේ ඩඩා මට අවසාන නියෝගය දෙනවා කාමරේට ගිහිං නිදාගන්නවා කියල.. ප්රධාන ගෘහ පාලකගෙන් නියෝගය ආවාම එතැනින් එහා ඕකට වලිය ඇදගන්න එකෙන් වෙන්නෙ පහුවදා චන්දෙ දවසෙ රෑට ගන්න තියන ආතල් ටික කුඩුවෙන එක නිසා මමත් ඇපීල් නොකරම පරාජය භාරගෙන කාමරේට වෙනව.. මම හිතන්නෙ ඒ වෙද්දිත් අපේ නංගිලා දෙන්නා අම්මලාගෙ කාමරේ දොයි..


        ඒත් ඉතිං ඒක එහෙමයි කියලා ජාතික රූපවාහිනියෙන් රටේම දරුවන්ට ලිංගික අජ්ජහපනේ දෙන්න හදන වෙලාවෙ මට නිදාගන්න කියන එක අසාධාරණ නිසා මමත් ඕක ලේසියෙන් අතාරියිද මම අහන්නෙ.. ප්ලෑන් ඒ වැඩ නොකරාවි කියලා හිතෙන වෙලාවට ඒ වෙනුවෙන් ප්ලෑන් බී එකක් හදාගෙන තියාගන්න එක ඒ කාලෙ ඉඳන්ම පුරුද්දක් නිසා "දෙවැනි ගමන" සහ මාව කලින් නින්දට යැවීමේ කුමන්ත්රණයේ එකිනෙකට ඇති සම්භන්ධතාවය දැනගත්තු වහාම මම කරේ ප්ලෑන් බී එකට කටයුතු සම්පාදනය කරගතපු එක.. ඒකට ඉතිං අමුද්රව්ය ගොඩාක් ඕනවුනේ නෑ.. ගෙදරදීම දුරස්ථ ආකාරයෙන් ටීවී බැලීමේ උපකරණයක් හදාගන්න මට ඕනවුනේ අපේ ඩඩාගෙ සී ෆිෆ්ටිය විතරයි.. දැං මේක කියවන අය හිතයි මම තාත්තගෙ මෝටර් බයික් එකේ නැගලා වෙන කොහේහරි ගිහිං දෙවැනි ගමන බැලුවා කියල.. නෑ නෑ ඒක එහෙම නෙවෙයි..

        තාත්තගෙ මෝටර් සයිකලේ රෑට එලියෙ තියන්නෙ නෑ.. ඒක රෑට තියෙන්නෙ ගෙදර ඇතුලෙ තියන ඉස්තෝප්පුවේ.. ඔය මෝටර් සයිකලේ පිටිපස්සෙ ටේල් ලයිට් එක කෙලින් තමයි මගේ සිරියහන් ගබඩාවේ දොර තියෙන්නෙ.. මෝටර් සයිකලේ ඩබල් ස්ටෑන්ඩ් එක ගහලා හැන්ඩල් එක සම්පූර්ණෙන් දකුණට හැරෙව්වාම මගේ ඇඳේ ඉඳන් ටීවී එක බලන්න කරන්න ඕන දකුණු සයිඩ් කන්නාඩිය සූට්ටක් එහේට මෙහේට සීරුමාරු කරන එක විතරයි.. කාමරේ දොරට කර්ටන් දාලා තියන නිසා දොර භාගෙට ඇරලා තිබ්බම කර්ටන් එකෙන් අඟල් දෙකක ඉඩක් ඇති සයිඩ් කන්නාඩියෙන් ටීවී එක පේන්න.. ප්ලෑන් බී එකක් හදාගෙන ඒක බලන්න දත කෑවෙ වෙන මොකටවත් නෙවෙයි.. වැඩිහිටියන්ට පමණයි කියලා මුං මේකෙ පෙන්නන්නෙ මොන වගේ දෙයක්ද කියලා බලාගන්න.. ඒ තමයි වයස පහලොවක් වෙන කොලු ගැටවුන්ගෙ කුතුහලය..

        ඕං රෑ දහයට වගේ දෙවැනි ගමන පටන්ගත්ත.. අපේ අම්මනම් ඒ වෙද්දිත් කුස්සියේ වැඩ.. තාත්තත් මං හිතන්නෙ ඒ වෙද්දි නින්දට ගිහිං.. අපේ අම්මගෙ යාලු ඇන්ටිපාලා ටික සාලෙ ගජේට වාඩිවෙලා දෙවැනි ගමන බැලුව.. මමත් ගජේට ඇඳේ හාන්සිවෙලා දෙවැනිගමන සයිඩ් කන්නඩියෙන් බැලුව.. ඒත් ඉතිං ඒ කිව්ව විදිහට ලිංගික අජ්ජහපනේ දෙන වැඩිහිටියන්ට පමණයි වර්ගයේ මුකුත්ම දරශණ ඒ පිචැර් එකේ තිබ්බෙ නෑ.. මතක විදිහට පිචැර් එකේ භාගෙකට වඩා තිබ්බෙ මොකක්දෝ සුදු රෙද්දක පලහිලව්වක්.. මං ඒත් දවස්ගානක් කල්පනා කරා මුං වැඩිහිටියන්ට පමණයි කියන ලේබලයක් යටතේ ඒක පෙන්නුවේ සනත් ගුණතිලක වසන්තිව පෙරලගෙන කිස්කරන සූටි සීන් එක නිසාදෝ කියල.. යකෝ ඊට අවුරුදු කීපයකට කලින් ටීවී එකේ ගිය නයිට් රයිඩර් එකේ මයිකල් නයිට් කාරයත් ඊට වඩා සුද්දියන්ව කිස් කරනව රෑ හතහමාරට ප්රසිද්ධියේම.. ඒ කාලෙ ගිය රොබින්හුඩ් එකේ රොබින් කාරයත් ඊට වඩා මැරියව කිස් කරනවා රෑ හතට අටට ..


    අම්මගෙ යාලු ඇන්ටිපාලා සෙට් එකෙම ඒ වෙද්දි අවිවාහක තරුණ උදවිය.. අපේ මුලු ගෙදරම කලින් නින්දට යවලා ගේ ඇතුලෙ ඇඳිරිනීතිය දාලා "දෙවැනි ගමන" බැලුවට එයාලත් බලාපොරොත්තු වෙච්චි ලිංගික අධ්යාපණික දර්ශණ ටික ඒකෙ තිබුනෙ නැති නිසා එයාල පහුවදා හරියට චන්දෙ ටික ගනන් කරාදත් මන්දා කියලා හිතෙනව දැං වෙද්දි .. ඒ මගුල බලන්න උන්දැල ඒ හැටි මොකද දැඟලුවාද මන්ද.. යකඩෝ කබරු කනවා වගේ සනත් කාරයා වසන්තිව කිස් කරන එක වගේද අපේ රොබින් වීරයා මැරියන්ව කිස් කරනකොට තියන ශුන්ගාරය.. ඕක බලාගන්න ගෙදරකම එවුන් කලින් නින්දට යවන්න ඕනෙද මං අහන්නෙ..

Sunday, August 10, 2025

පස්සේ සාක්කුව

            හතර පහ වසරෙ ඉද්දි මට තිබ්බ ලොකුම ආසාවක් තමයි පස්සට සාක්කුවක් දාපු කලිසමක් මහගෙන ඒකෙ පර්ස් එකක් දාගෙන යන එක.. හැබැයි ප්‍රශ්නෙ තිබ්බේ කලිසමක් මහන්න ටේලර් ශොප් එකට යන්න වෙන්නෙ තාත්ත එක්ක නිසා ඔය පස්සට සාක්කුව දාන එක ටිකක් විතර හීනයක්.. කොන්ඩෙ කපන්න ගියාම බාබර්ටත්, කලිසම මහන්න ගියාම ටේලර්ටත් උගේ රස්සාව උගන්නන්න යන්න ඕන නෑ කියලා තාත්ත් තරයේ විශ්වාස කරපු නිසා මහන කලිසම මැහුනෙ ටේලර්ට ඕන විදිහට. කැපෙන කොන්ඩෙ කැපුනෙත් බාබර්ට ඕන විදිහට.. ඉතිං අලුත් කයිසමට පස්සට සාක්කුවක් දාලා මහල දියං ටේලර් මාමෙ කියල කියන්න මට ඉතිං බයයි තාත්ත ඉන්න නිසා..


            ඕං ඔය වගේ වාතාවරණයක් යටතේ එක්තරා දවසක මහ ඩබලගෙ අල්මාරිය අවුස්සන වෙලාවක මට හම්බෙනව අලු පාට කලිසම් රෙද්දක්.. ඕක අත ගගා හැම අතටම කල්පනා කරා මට මේකෙන් පස්සට සාක්කුවක් දාපු කලිසමක් මහගන්න පුලුවන් වෙයිද කියල.. ඕං දවස් ගානක් ඉල්ලීම ඉදිරිපත් කරලා අවසානයේ මට කලිසමක් මහගන්න අවසර හිමි වෙනව.. ඒ කාලෙ අපේ තාත්තලාගෙ ගමේ ටේලර් කෙනෙක් හිටියා සමන් කියල.. තාත්ත එක්ක ගියොත් යන්න වෙන්න්නෙ ස්ටේශන් එක ලඟ තාත්තගෙ ෆේවරිට් ටේලර් ලඟට නිසා මම තාත්තලාගෙ ගමේ ඉන්න සමන් අයියගෙ ටේලර් ශොප් එකට තකහනියේ යනවා කලිසම් රෙද්දත් අරගෙන.. තාත්ත නැතිව ගිහිං මැශමන්ට් දුන්නම සාක්කුව දාගන්න එක අවුලක් නෑ.. කලිසම ගේන්න යද්දි ඕක ගන්න යන්නෙ තාත්ත නිසා පස්සෙ සාක්කුව ඉතිං ආපහු මකවන්න බෑ මැහුවට පස්සෙ.. මගේ සැලසුම අති සාර්ථක වෙලා ඕං ඔහොම තමයි ඉස්ඉස්සෙල්ලම පස්සට සාක්කුවක් දාපු කලිසමක් මට අඳින්න ලැබෙන්නෙ.. ඒ තමා මගේ පල්වෙනි පස්සෙ සාක්කුව..
        
                ඕං දැං පස්සට සාක්කුවක් තියෙනව.. ඊලඟ ප්රශ්නෙ ඕකෙ දාගෙන යන්න පර්ස් එකක්.. පස්සෙ සාක්කුවත් තහනම් වෙච්චි මට පර්ස් එකක් ඉතිං හීනයක්ම උනාට ඒකටත් විකල්පයක් තිබ්බ.. ගෙදර හැම අස්ස මුල්ලම අවුස්සලා පර්ස් එකට විකල්පයක් හොයද්දි ඕං මට හම්බෙනවා අපේ අම්ම කෝච්චියේ වැඩට යන්න සීසන් එක ගතපු සීසන් ෆෝල්ඩර් එක.. සූටි කොට කලිසමේ පස්සෙ සාක්කුවට අම්මගෙ සීසන් ෆෝල්ඩර් එක දැම්මාම ඉතිං මට දැනෙන්නෙ සල්ලි මිටියක් එක්ක තඩි පර්ස් එකක් පස්සෙ සාක්කුවට දාගෙන යන ගැම්මක්.. සල්ලි ගැන අවභෝධයක් නැතත් ඉතිං පස්සෙ සාක්කුවයි පර්ස් එකයි කියන්නෙම හෙන ගැම්මක්..
            

                    ඕං එදා හවස මට හවස ටියුශන්.. හාහාපුරා කියලා ඕං මමත් ඉස්කෝලෙ ඇරිලා ඇවිත් අර අලුපාට පස්සෙ සාක්කු කලිසම ඇඳගෙන අම්මගෙ සීසන් ෆෝල්ඩර් එකත් පස්සෙ සාක්කුවේ දාගෙන ගැම්මට පංති යන්නයි සූදානම. ඒ කාලෙ දවල් දවසෙ අම්මලා ගෙදර නැති නිසා හවස් වරුවෙ ඉන්නෙ පුංචිලාගෙ ගෙදර.. ඕං ඉතිං ඉස්කෝලෙ ඇරිලා ඇවිත් පංති යන්න ලෑස්ති වෙලා ඉන්න.. ඒ දවස්වල පුංචිලාගෙ ගෙදර මොකක්දෝ අවශ්යතාවයකට ගස් වගයක් කපලා පට්ටලයක් ගහගෙන ලී ඉරනව දෙන්නෙක්. මටත් ඉතිං නිකා ඉන්න බැරිකමට පංති යන්න වෙලාව එනකල් ඔය පට්ටලේට නගිනවා ලී ඉරන දෙන්න කෑමට ගිහිං හිටපු නිසා.. පට්ටලේට කොටේ නග්ගන්න ඕකෙ තියෙනවා පැත්තකින් අංශක හතලිස් පහට වගේ ගහපු ලී කොට දෙකක්.. මටත් ඉතිං තදින්ම විසේ නිසා පට්ටලේට නැගලා අර අංශක හතලිස් පහේ කොටේ දිගේ පහලට රූටනව.. ඒක ඉතිං ටිකක් සොමි වැඩක්.. ඔහොම රූටාගෙන පහලට එද්දි තමයි එකපාරටම සරස් ගාලා සද්දයක් එක්ක කොටේ තිබ්බ ඇනේක කයිසම පැටලෙන්නෙ.. පහලට ඇවිත් අතගාලා බැලින්නම් දකුනු පැත්තෙ පස්සෙ සාක්කුවටනං මුකුත්ම අවුලක් නෑ.. ඒ කියන්නෙ දෙයියො බලලා පස්සෙ සාක්කුව බේරල.. ඒත් ඉතිං සාධාරණයි කිව්වට දෙයියෝ එච්චරම සාධාරණ නෑ.. කලිසමේ පස්ස පැත්තෙ වම් පැත්තෙ පලුවකුත් නෑ.. කොටේ දිගේ පහලට රූටගෙන එද්දි පැටලුන ඇනේ කලිසමේ පස්ස පැත්තෙ වම් පැත්තෙ කෑල්ලක් කඩලාම අරගෙන..

            ශර්ට් එක උඩින් දාගෙන ගියාම පස්සෙ පලුවක් නෑ කියලා පේන්නෙ නෑ.. ඒ නිසා කලිසම ඇඳගෙන පංති යන එකේ ගැටලුවක් නෑ.. ඒත් ඉතිං ශර්ට් එක උඩින් දාගෙන ගියාම පස්සෙ සාක්කුවයි පර්ස් එකයි කාටවත් පේන්නෙ නෑ.. පලුවක් මිසින් පැත්ත වැහුවොත් පර්ස් එක පේන්නෙ නෑ.. පර්ස් එක පේන්න ශර්ට් එක යටකරොත් කලිසමේ පස්ස පැත්තෙ පලුවක් නෑ.. අද කාලෙනම් පස්සෙ පලුවක් නැති කලිසම් ෆැශන් එකක් කියලා ඇඳගෙන යන්න පුලුවන් උනාට ඒ කාලෙ එහෙම බෑ.. විසි තිස් වතාවක්ම පුංචිගෙ අල්මාරියේ කන්නාඩියෙන් පස්ස බලලා විකල්ප දාහක් හිතුවට රැවුලයි කැඳයි දෙකම බේරගන්න විදිහක් තිබුනෙ නෑ.. අවසානයේ පස්ස පැත්තට සාක්කුව දාපු කලිසම ගෙදර තියලා වෙන කලිසමක් ඇඳගෙන පංති යනව..

            තිඹිරිගෙයිම මියැදුන මගේ පස්සෙ සාක්කුව කාලයක් යනකල් මගේ ලඟ තියාගෙන හිටියා පලුව රිප්ලේස් කරගන්න චාන්ස් එකක් එයිද කියලා හිත හිතා.. ඒ උනාට ඒ කලිසම කවදාවත් ගොඩදාගන්න බැරිවුනා.. ඒ ජාතියෙම රෙදි කෑල්ලක් හම්බුනානම් ටේලරින් ඉගෙනගෙන හරි පලුව රිප්ලේස් කරනවා කරනවාමයි.. ඒ උනාට ඒ කලිසම අඳින්න බැරි තරමට ලොකු වෙලත් ඒ ජාතියේ රෙදි කෑල්ලක් හොයාගන්න බැරිවුනා..