Saturday, February 27, 2016

නමක් නැති කතාවක්..10






කාලය හෙමි හෙමිහිට ගලාගෙන ගියා.  ඖෂදී සුභාෂ් ඉස්සරහට හමුවෙන හැම වෙලාවකම අහම්බෙන් වගේ එකිනෙක හමුවෙන  ඇස්  එකිනෙක පැටලෙන්න කලින් සුභාෂ් නොදැක්ක වගේ සුභාශ්ව පහුකරගෙන යන්න හැම වෙලාවේම උත්සහ කරා. ඒ ඇස්දෙක ඇතුලේ කලින් දැකපු දොඩමලුබව ඒ වෙද්දී තියනවද නැද්ද කියල හොයන්න සුභාෂ් හිත ඇතුලෙන් හුඟාක් තර්ක විතර්ක කළා උනාට ඒ ප්‍රශ්නයට උත්තර සුභාෂ්ට ලැබුනේ නැහැ . කොයිතරම් උත්සහ කලත් ඖෂදී ගැන ඇතිවෙච්ච කුළුඳුල් ආදරය අමතක කරලා ඒ සොඳුරු සිතුවිල්ල හිත ඇතුලෙම මරල දාන්න සුභාෂ්ට පුළුවන් උනේ නැහැ.

ඉන්ද්‍රජිත් විසින් කරන ලද රැවටීමෙන් පස්සේ සුභාෂ් ආයෙත් පාපන්දු පුහුණුවීම් වලට සහභාගී නොවුනා වගේම පාඩම්  වැඩ වලට තිබුන උනන්දුවත් දවසින් දවසම අඩුවුනා. හිත ඇතුලෙන් අමතක කරලා දාන්න උත්සහ කරන්න කරන්නම ඖෂදීගේ ඇස්දෙක සුභාෂ්ගේ හිත ඇතුලේ දවසින් දවසම තව තවත් ස්තිරෙටම තන්පත්වෙන බව සුභාෂ්ට දැනුනේ නැහැ. ඖෂදී යන එන පාරක නොයන්නත් ඖෂදීගේ පන්තිය පැත්තේ නොයන්නත් සුභාෂ් කොයිතරම් උත්සහ කලත් සුභාෂ්ට නොදැනුවත්වම සුභාෂ් නිතර ආවේ ගියේ ඒ අවටින්මයි. ඉඳහිටක වයලීනය තුරුළු කරගෙන පාරෙ හමුවෙන ඖෂදී ඈත ඉඳන් සුභාෂ් දිහා බලන් ආවත් සුභාෂ් ලංවෙද්දි බිම බලාගෙන යන්න වගබලාගත්තා. ඖෂදී එක්ක කතා කරන්න කොයිතරම් උවමනාවක් තිබුනත් ඖෂදී සුභාෂ්ට අකමැතියි කියන සිතුවිල්ල සුභාශ්ව නිතරම පසුපසට අදින්නක් වුනා. දවසින් දවසම සුභාෂ් උත්සහ කළා ඖෂදීට කරදරයක් නොවෙන විදිහට හිත රවට්ටගෙන ජීවත් වෙන්න. 

***********************************************

හිතපු තරම් ප්‍රතිපල නැතිවුනත් සාමාන්‍යපෙළ විභාගයෙන් උසස්පෙළ කරන්න පුළුවන් ප්‍රතිපලයක් සුභාෂ්ට ලැබුනේ කිසිම ආයාසයකින් නොවෙන වග සුභාෂ් දැනගෙන හිටියා. උසස්පෙළ කරන්න පාසල් ගියත් සුභාෂ් ඒ වෙද්දී දවස ගතකරගන්න කුමන හෝ දෙයක නිරතවෙන පුද්ගලයෙක් වෙලා හමාරයි. ඉගැන්නුවේ මොනවද උගන්වන්නේ මොනවද කියන මතකයක් සුභාෂ් වෙත තිබුනේ නැහැ. කොයිතරම් උත්සහ කරත් අමතක කරන්න බැරි ඖෂදීගේ ඇස්දෙක ඇතුලේ ආත්මය හිරකාරයෙක් වෙලා වග විතරක් සුභාෂ් දැනගෙන උන්නා. ඒත් ඖෂදී බලන්න දකින්න සුභාෂ් උත්සහ කරේ නැත්තෙ පාප මිත්‍රයින් තව තවත් ඖෂදී අපහසුතාවයට පත්කිරීම වලක්වන්න. එත් වසර ගණනාවක පුරුද්දට වගේම සුභාෂ්ගේ මිතුරැ කැල ඖෂදී දුටුතැන සුභාෂ්ගේ නම කියමින් ඖධදීට ඔච්චම් කරන්න අමතක කලේ නැහැ. සුභාෂ් එහෙම වෙලාවලදී කරේ ඔහේ උදාසීනව ඒ දිහා බලන් ඉන්න එක විතරමයි. දවස් ඔහේ ගෙවීගෙන යද්දී දවසක විවේක කාලයේදී චමිල සුභාශ්ව හොයාගේ දුවගෙන ආවේ බොහොම කලබලෙන්..

කොහෙද යකෝ යන්නේ.. මම මේ උඹව හොයනවා හැම තැනම ..

ඇයි මොකෝ හදිසිය.. මම ගෙදර පනින්න කියල බන් හිතුවේ 

උඹට  සුභ ආරංචියක්..

හහ්..හහ් ..හා... මට සුභ ආරංචියක්.. පේනතෙක් මානෙක සුභ ආරංචියක් නැති මට මොකක් උනත් මොකෝ බන්.. කියහන් බලන්න මොකක්ද කියල.. 

උඹ හිතන්නේ මොකක් වගේ එකක් කියලද..

මේ දවස්වල ග්‍රහ චක්කරේ හැටියට කැරකෙන්න තියෙන්නේ බාල්දියක් තමයි..

අන්න උඹට ඖෂදී හම්බෙන්න එන්න කියල..

මචන්.. උඹල අවුරුදු දෙකක් ඕක අල්ලාගෙන ඖෂදීට මේ ඉස්කෝලේ ඇතුලේ පාඩුවේ ඉන්න දුන්නේ නැහැ.. දැන් ආයෙත් උඹල නටන්නද හදන්නේ..

නැහැ යකෝ නැහැ.. උඹට මාව විශ්වාස නැත්තම් ගිහින් අහපන් ඖෂදීගෙන්..

ඖෂදී සම්භන්ධව මම කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ බන් .. තරහ වෙන්න එපා.. 

ඒ කියනේ දැන් උඹට මේ පණිවිඩේ වැදගත් එකක් නෙවෙයිද..

ඇත්තම කියනවනම් ඖෂදීගෙන් පණිවිඩයක් එනවා කියන්නේ මට මුළු ලෝකෙටත් වඩා වැදගත් තමයි බන්.. එත් උඹල මේ හදන්නේ ආයෙත් මාව අන්දන්න කියන එක දන්නා නිසා මට ඔය පණිවිඩේ වැදගත් නැහැ..

හරි උඹට වැදගත්ද නැත්ද කියන එක මට වැදගත් නැහැ මචන්.. පණිවිඩේ අරන් ආපු පොඩි එකාට උඹව හොයාගන්න බැරිවුන නිසා මම පණිවිඩේ කියන්න භාරගත්තා .. ඒ හින්ද මෙන්න මේකයි පණිවිඩේ.. හෙට ඉන්ටවල් එකේදී කෙමෙස්ට්‍රි ලැබ් එක ඉස්සරහ අඹ ගහ යටට ඖෂදී උඹට එන්න කියල එයාව හම්බෙන්න. උඹ ගියොත් පණිවිඩේ ඇත්තද නැද්ද කියල බලාගන්න පුළුවන් වෙයි.. 

මං එක්ක විහිළු කරන්න එපා මචන්... ඔය විහිළුවෙන් මගේ ඇස් රතුවෙලා හුඟක් කල්..

මේක විහිළුවක් වගේ නම් මම හැමෝටම හොරෙන් උඹව හොයන ඇවිල්ල මේ පණිවිඩේ උඹට විතරක් කියන්නේ නැහැ මචන්..මම දන්නවා උඹ හිතෙන් ඖෂදීට පන ඇරගෙන ලව් කරා කියල..ඖෂදී උඹ දිහා බල බල ඉඳල උඹට පයින් ඇන්න කියලත් අපි දන්නවා බන්.. ඒ වගේම ඉද්රජිත් ඖෂදී යාලුකරලා දෙන පොරොන්දුව පිට උඹෙන් හොඳ ගානක් කෑවා කියලත් අපි දන්නවා. ඊට අමතරව ඖෂදී සම්භන්ධව කව්රුහරි සෙට් එකක් උඹට ගැහුවා කියලත් වටින් ගොඩින් ආරංචියක් තිබ්බට ඒක ඇත්තද කියල අද වෙනකම් උඹ අපිට කියල නැහැ.. උඹට එහෙම කව්රුහරි ගැහුවනම් අපි එකට රිටර්න් එකක් නොදී ඉන්නෙත් නැහැ කියල උඹ දන්නවා..

දැන් ඔව්ව කතාකරලා වැඩකට නැහැ බන් මචන්.. මගේ හිතේ අදහසක් තිබ්බ තමයි.. ඒත් මගේ වරදට ඖෂදීට දොස් කියන්න එපා මචන්.. ඖෂදී කිසිම වෙලාවක මට කියල නැහැ එයා ගැන අදහසක් තියාගන්න කියල.. ඒ නිසා  ඖෂදීට ඕන වෙලාවක අයිතිය තියෙනව එයා කැමති කෙනෙක් එක්ක යාලුවෙන්න.. හැමදේම උනේ මගේ වරදින්..

හරි  හෙට ගිහින් බලමුකෝ..

උඹ දැන් මේක වෙන කාටද කිව්වේ..

කාටවත් නැහැ.. උඹට විතරයි.. මේක බොරුවක් උනොත් පණිවිඩේ ගෙනාපු එකාගේ බෙල්ල මිරිකන්නේ උඹ නෙවෙයි මම..

මට තවත් වැටෙන්න දෙයක් නැහැ මචන්.. මම හිතන්නේ මේක කාගෙහරි ලනුවක්...

හරි මම එනවා උඹ එක්ක යන්න.. අපි ගිහින් බලමු..

අනේ මන්ද බන්.. කාලකන්නි මං එක්ක යාලුවෙන්න ඖෂදීට පිස්සු නැහැ බන්.. 

හරි දැන් උඹ හෙට කෙමෙස්ට්‍රි ලැබ් එක ඉස්සරහට යන්න එනවද නැද්ද කියපන්..

උඹ කියන හින්ද යමු..

කාලයක් වැඩ නොකරපු පපුව ආයෙත් වැඩකරන්න ගත්තාදෝ කියන අලුත් හැගීමක් සුභාෂ්ගේ හිතපුරා නොදැනුනා නෙවෙයි. කාලයක් ආයාසයෙන් යටපත් කරගෙන තිබ්බ බලාපොරොත්තුවක් ආයෙත් නව දළු දාගෙන මෝදුවෙන සන්තොසය හිතපුරා විඳගන්න දෙගිඩියාව කියන සිතුවිල්ල සුභාෂ්ට හරි ආකාරව ඉඩක් දුන්නේ නැහැ. උසස්පෙළට ආපු දවසේ ඉඳන්ම ඉස්කෝලේ පිටිපස්සේ තාප්පෙන් ඉස්කෝලේ ආ ගිය සුභාෂ් කවදාවත් නැතුව පාසල අවසාන වෙනතුරුම පන්තියේ රැදී උන්නා. හෙට දවසේ සිද්දවෙන සිදුවීම කුමන ආකාරයේ සිදුවීමක්ද කියන්නාවූ සිතුවිල්ල සුභාශ්ව මදකට සැබෑ ලෝකයෙන් එහාට අරන්ගිහින් අතරමං කරලා දාල තිබුනා..

********************

ඖෂදී සුභාෂ්ට හමුවෙන්න එන්න කියපු දවසේ විවේකය සටහන් කරන්න වූ සීනුව නාදයත් එක්කම සුභාෂ් රසායන විද්යාගාගාරය පැත්තට යන්න පිටත්වුනේ චමිලත් එක්ක.. 

දැන් උඹ ඊයේ හිටියේ මම කියන නිසා යනවා කියල නේද..

ඒ මොකෝ උඹ එහෙම ඇහුවේ..

නෑ උඹටනේ දැන් හදිසිය තියෙන්නේ..

හදිසියක් නැතුව නෙවෙයි චමිලයා.. මට මේක විස්වාසයක් නැතිකමයි තියෙන්නේ..

ගිහින් බලමුකෝ.. බොරුවක් උනොත් පණිවිඩේ ගෙනාපු එකාව ගහනවා පොළොවේ අද..

සුභාෂ් විද්‍යාගාරය ඉදිරිපිට තියන අඹ ගහට හේත්තු වෙලා ඉද්දි චමිල විද්‍යාගාරයේ ඉස්සරහ තිබ්බ ඩෙස්ක් බැංකුවක් උඩින් වාඩි වෙලා උන්නා. සුභාෂ්ගේ ඇස්දෙක ඇසිපිල්ලන් නොගහ බලන් හිට්යේ කොයි මොහොතේ හරි තමුන් වෙත එන ඖෂදීව දැකගන්න පරමාර්ථයෙන්. ගැහෙන්න පුළුවන් උපරිම වේගයෙන් සුභාෂ්ගේ හදවත ගැහෙමින් සුභාෂ් වෙත තිබුණු නොසන්සුන්තාවය ශාරීරය පුරා ගෙනගියා. කාලාන්තරයක් බලාපොරොත්තුවෙන් ඉඳපු ඒ මොහොත තව සුළු මොහොතකින් උදාවෙන සිතුවෙල්ල සුභාශ්ව හොඳටෝම නොසන්සුන් බවට පත්කරමින් තිබුනා. පැසිපන්දු පිටිය පහුකරගෙන සුභාෂ් ඉන්න පැත්තට  හැරෙන හැම ගැහැණු ළමයෙක් දිහාම සුභාෂ් විමසිල්ලෙන් බලන් හිටියේ ඖෂදී දැකගන්න ලොකු බලාපොරොත්තුවකින්. ඒත් සුභාශ්ව පහුකරන් කැන්ටිම පැත්තට පඩිපෙළ බැහැල ගිය ගැහැණු ළමයින් අතරේ ඖෂදී හිටියේ නැහැ. තත්පරයෙන් තත්පරය අලුත්වෙන බලාපොරොත්තු දල්වාගෙන බලන් ඉන්න සුභාෂ් ආයෙත් රැවටුනා කියන දුක්ඛදායක සිතුවිල්ල පමණක් හිතේ ගැඹුරුම තැනකින් සටහන් තබමින් විවේක කාලය අවසන් වෙන සීනුව නාදවුනා. සීනුව නාදවුනායින් පස්සෙත් සියලුම ළමයින් පන්තිවලට ගියායින් අනතුරුව අවට නිශ්චල ස්භාවයට පත්වෙද්දීත් සුභාෂ් ඈත බලාගෙන අඹ ගහට හේත්තු වෙලා ඔහේ බලන් හිටිය. 

යමන්..

සුභාෂ්ට චමිල දිහා බලන්න හිතේ හයියක් තිබුනේ නැහැ.. එලියට පනින්න නොදී අමාරුවෙන් නවත්තගෙන ඉන්න කඳුළු ගෙඩි දෙක එලියට පනියි කියන බයෙන් සුභාෂ්, හිස්ම හිස් සිතුවිල්ලකින් අහස දිහා බලන් උන්නා ..

අපි යමන්..

මගේ පොත් ටික ඩෙස්ක් එකේ ලාච්චුවට දාපන් චමිල .. මම මෙහෙම්මම ගෙදර යනවා..

මට තව පීරියඩ් හතරක් කල් දීපන්  මචන්..

මොකටද..

ඊයේ මේ පණිවිඩේ අරන් ආපු එකාගේ බෙල්ලෙන් අල්ලන් ඇවිත් උඹේ කකුල් දෙක ගාව පොළොවේ ගහන්න..

ඕන නැහැ බන්.. කව්රු උනත් කරපු දෙයින් සන්තෝස වෙන්න ඇතිනේ බන්.. ඒ මදැයි..

ඕනවට වඩා අවන්කයෙක් වෙන්න එපා බන්.. දැන් මෙතන ඉන්න බැහැ.. මෙතන ඉඳල මාටු උනොත් තවත් ලෙඩක්.. යමන් කැඩෙට් කාමරේ පැත්තට..

උඹ පන්තියට පලයන් බන්.. මම ගෙදර යනවා..

මට මොන පන්තියක්ද බන්.. මට අරූව අල්ලාගෙන දෙක තුනක් අනිනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ ..

දැන් ඌට ගැහුවා කියල උඹට මොනවද ලැබෙන්නේ..

මටද.. මට දැනගන්න ඕන උඹව විහිළුවකට ගත්තේ මොකාද කියල හොයාගෙන ඌට දෙකක් අනින්න..

වැඩක් නැහැ බන්.. උන්ට ගැහුවා කියල මම ආයේ රැවටුන එක රිවස් කරන්න බැහැනේ මචන්..

මේ.. උඹේ බන උඹ තියාගනින්.. මේක විසඳන්නේ මම..

උඹ ඕන දෙයක් කරහන්.. හැබැයි ඖෂදීට ප්‍රශ්න ඇතිකරන්න එපා..

උඹනම් පිස්සෙක් බන්.. උඹව මෙච්චර විහිළුවක් කරගෙන ඉද්දි  උඹ තාම ඒකිට ලව්.. උඹනම් මහා ගොන් නාම්බෙක්..

අපි දන්නේ නැහැනේ බන් මේක කරේ කව්ද කියල.. ඒ හින්ද උඹ ඖෂදීට දොස් නොකිය හිටහන්..

ඉවසන් හිටහන්.. ඉස්කෝලේ ඇරුනාම බේරාගමු..

අනේ මන්ද බන්..

හිටහන් මම උන්ගෙ පන්තිය පැත්තේ කැරකිලා එන්නම්.. උඹ මම එනකම් කොහෙවත් යන්න එපා.. මට මේක විසඳන්න දීපන් මගේ සිස්ටම් එකට..

ඖෂදීට ප්‍රශ්නයක් කරදරයක් නොවෙනතාක් උඹ මොනවා කරත් මට ප්‍රශ්නයක් නැහැ බන්.

චමිල එතනින් නික්ම ගිය ගමන් අමාරුවෙන් නවත්තගෙන උන්න කඳුළු වැල් ඔහේ සුභාෂ්ගේ කම්මුල් දිගේ පහලට රූටගෙන යද්දී සුභාෂ් හිස් බැල්මකින් අරමුණක් නැතුව ඔහේ ඈත ආකාසය දිහා බලාගෙන උන්න. ගැහැණු ළමයෙක් වෙනුවෙන් හඬාවැටෙන්න තරම් බොලඳ මනසක් නොතිබුනත් කාටවත් කියාගන්න බැරිව පපුව ඇතුලේ හිරවුණු දුකක් සුභාෂ්ගේ පපුව පුරා ඇවිලෙමින් තිබුනා. හිතේ හිරකරගෙන දුක්වෙනවා හැරුනාම ඒ වෙනුවෙන් කලයුතු කිසිත් සුභාෂ් වෙත තිබුනේ නැහැ.

විවේකයට පසුව තිබෙන කාලච්චේදය අවසාන වෙලා විනාඩි පහක් පමණ වෙද්දී චමිල නිල් කොට කලිසමකින් සැරසුණු කොලුවෙකුගේ කමීස කොලරයෙන් ඇදගෙන කැඩෙට් කාමරය පිටුපසට පැමිණුනේ හදිසියෙන්..

අනේ බුදු අයියෙ ගහන්න එපා..

හෝව් හෝව්  චමිලයා මේ පොඩි එකාට ගහන්න එපා බන්... මොකක්ද මේ වෙන්නේ..

වෙන්නේද.. වෙන්නේ මේකයි.. මූ තමා ඊයේ ඖෂදීගේ පණිවිඩේ අරන් ආපු එකා.. කියපන්.. දැන් තොට කව්ද කිව්වේ සුභාස්ට මේ ජරා වැඩේ කරන්න කියල .. 

අනේ චමිලයියේ මම බොරු නෙවෙයි කියන්නේ.. ඖෂදී තමයි කිව්වේ ගිහින් කියන්න කියල..

ඖෂදී අද ඉස්කෝලේ ඇවිත්ද ඉන්නේ..

ඔව් අයියෙ ඔව්... ඖෂදී පන්තියේ ඉන්නවා ..

ඔන්න උඹ දැන් මගෙන් කන්න හදන්නේ.. තෝව බේරගන්න මෙතන කව්රුත් නැහැ.. කියපන් කව්ද කිව්වේ..

ඔය කොල්ලව අතැරලා දාපන් චමිලයා.. උඹට පිස්සුද.. මල්ලි උඹ පලයන් පන්තියට ..

උඹ පැත්තකට වෙලා හිටපන් මගෙන් නොකා.. කියහන් තෝ කාගේ උවමනාවකටද මේ බලු වැඩේ කරේ..

අයියෙ.. මගේ අම්ම පල්ලා ඖෂදී තමයි කිව්වේ..

දැන් අපි ඖෂදී හම්බෙලා අහල උඹ බොරු කියනවා කියල අහු උනොත් තෝ දන්නවනේ තොට වෙන දේ..

දන්නවා අයියෙ දන්නවා.. ඔයාල ඖෂදී හබෙලා ඕනෙනම් මාව ඉස්සරහ තියල අහන්න..මේක බොරුවක් නෙවෙයි..

දැන් උඹට මේක සුභාෂ්ට කියන්න කියල කියද්දී ඖෂදී විතරද එතන හිටියේ..

නැහැ අරුනිත් හිටියා..

චමිලයා ඔය කොල්ලව අතෑරපන් බන්.. මල්ලි උඹ පලයන් දැන්.. උඹ මේ මුකුත් ඖෂදීට කියන්න එපා හරිද..

අයියා කියනවනම් මම නොකිය ඉන්නම්.. 

ඔව්.. උඹ මම කියන නිසා මේ ප්‍රශ්නේ මෙතනින් එහා අරන් යන්න එපා.. මොකද මම තමයි උඹ ඊයේ හොයාගෙන ආපු සුභාෂ්..

සුභාෂ් මූ කියන්නේ බොරු යකෝ.. මූ අපේ කාගෙන් හරි කීයක් හරි අරගෙන මේ බලුවැඩේ කරේ..මට මේක හොයාගන්න දීපන්..

චමිලයියේ.. ඔයා ඕනෙනම් මට ගහන්න.. එත් මීට වඩා ඇත්තක් මම දන්නේ නැහැ.. ඖෂදියි අරුනියි තමයි මේ කරදරේට මාව පැටලුවේ..

හරි මල්ලි උඹ පලයන්.. මීට පස්සේ උඹ ඔය වගේ ලනු කන්න එපා.. 

තෝ අද බේරුනේ සුභාෂ් නිසා කියල දැනගනින්.. ඒත් අපි මේක ඖෂදී හම්බෙලා හොයල බලල තමයි අතාරින්නෙ.. එදාට තෝ බොරුවක් කරා කියල එලිවුනොත් තෝ ඉවරයි කියල හිතාගනින්..

හරි අයියෙ හරි.. ඔයාල හොයල බලන්නකෝ..

මල්ලි උඹ පලයන්.. චමිලය ඔය කොල්ලව යවහන් දැන්..

උඹනම් මහා පුදුම මිනිහෙක් බන්.. මේක හොයාගන්න පුළුවන්කම තියෙද්දී උඹ ඌ අතැරලා දැම්මනේ..

චමිලයා.. ඌ කියන්නේ බොරුවක් නෙවෙයි බන්.. ඖෂදී ආයෙත් මට නපුරු විහිළුවක් කරා කියල අපිට පිළිගන්න වෙනවනේ බන්.. දැන් ඕක කතාකරලා පලක් නැහැ.. උඹත් දැන් පන්තියට පලයන් මචන්.. මම මෙහෙමම ගෙදර යනවා..

කොහේ යන්නද බන්.. හිටහන් ඉස්කෝලේ ඇරෙනකම් ඖෂදී හම්බෙලා අපි මී හරක් නෙවෙයි කියල උගන්නන්න..

අඩෝ පිස්සුනම් කෙලින්න එපා චමිලයා.. දැන් එක ඉවරයි..ඖෂදීට උඹ වචනයක්වත් කියනවා එහෙම නෙවෙයි..

එහෙම කොහොමද බන්..

මචන්.. මේක උනේ උඹට නෙවෙයි මට.. ඖෂදී විහිලුවට ගත්තේ උඹ නෙවෙයි මාව.. උඹ මට උදව් කරන්න ඇවිත් නැති ලෙඩ දාගන්න එපා..

ඇයි බන් ඔය තරම් පීචන් වෙන්නේ.. වරෙන් ඉස්කෝලේ ඇරුනාම ගිහින් කන පුරෝලා දෙකක් දෙන්න..

මචන්.. මම ඖෂදීට ආදරේ කරා බන්.. එහෙම මට උඹ කියන්නේ දැන් ගිහින් ඖෂදීගේ කම්මුලට ගහන්න කියලද..

මමනම් ගහනවා කන පැලෙන්න..

මට ඒක කවදාවත් කරන්න බැහැ මචන්.. අපි මේක මෙතනින් අල්ලලා දාමු.. එකපාරක් රැවටුන මට දෙවැනි පාර රැවටෙන එක මහා කජ්ජක් නෙවෙයි බං..

උඹ ඔය හදන්නේ හිත රවට්ටගන්න බං..

මේ වෙලාවේ එහෙම කරනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ බන්..

උඹට පුලුවනිද ඖෂදීව අමතක කරන්න..

ඇත්තම කියනවනම් බැරි වෙයි.. 

අනේ බයිලා නැතුව වෙන කෙල්ලෙක් හොයලා යාලුවෙයන් බන්.. 

එකෙක් නෙවෙයි බන් දාහක් එක්ක යාලු උනත් ඖෂදී ඉඳපු තැනට මගේ හිතේ වෙන කාටවත්ම එන්න බෑ මචන් .. හැමදාමත් එතන හිස්..

බයිලා නැතුව වරෙන් පන්තියට යන්න..

මට බැහැ බන්.. මම ගෙදර යනවා..මගේ පොත් ටික ලාච්චුවට දාහන්..

උඹේ කැමැත්තක් මචන්..

උඹ මට එක උදව්වක් කරහන්..

මොකක්ද..

මේ සිද්දිය කාටවත් කියන්න එපා.. මට තවත් විහිළුවක් වෙන්න බැහැ මචන්..

පිස්සුද බන්.. මම කාටවත් කියන්නේ නැහැ.. ඒත් ඖෂදීට දෙකක් කියනකම් මට නින්ද යන්නේ නැහැ බන්..

චමිලයා.. උඹ හොඳට මතක තියාගනින්.. උඹ ඖෂදීට මොනවහරි කියල මට ආරංචි උනොත් එයින් පස්සේ මම ආයේ කවදාවත් ඉස්කෝලේ එන එකක්  නැහැ..

ඔය තරම් පීචන් වෙන්න එපා යකෝ..

කෙල්ලෙකුට ආදරේ කරනවා කියන්නේ ඒ ආදරේ නොලැබුනාම ඒ කෙල්ලට අපහාස කරන එක නෙවෙයි මචන්..

එතකොට උඹ කියන්නේ මේ කරපු කැත වැඩේ හරි කියලද..

ඒක එයාගේ කැමැත්ත බන්.. විහිලුවට හරි එයා මට එන්න කිව්වනේ බන්.. නිකම් ඉන්න මට අහල ගියත් මගුල් බන්..

ඕන මගුලක් කරගනිං.. මම පොත් ටික අරන් එනකම් හිටහන්.. මටත් දැන් ඉස්කෝලෙ ඉන්න බැහැ.. මගේ ලේ කෝපවෙලා තියෙන්නේ..

ගිහින් අරන් වරෙන් එහෙමනම්..

************************************

කාලය හෙමි හෙමිහිට ගෙවීල ගියා.. සුභාෂ් උන්නේ සුභාෂ් එක්කම කලකිරීමෙන්. පුද්ගලික ආයතනයක සේචිකාවක් වුන ඖෂදී ඒ වෙද්දී සුභාශ්ගේම සමාන්තර පන්තියක යාලුවෙකුගේ පෙම්වතියක් වෙලා උන්නා. හුළඟට  අහුවෙලා ගහගෙන යන බැලුම්බෝලයක් වගේ සුභාෂ්ගේ ජීවිතෙත් එකතරා ගෑනු ළමයකු ළඟ නැවතිලා තිබුනා. ඒත් ඖෂදී හිතේ ඉඳපු තැන පුරවන්න තමුන්ගේ පෙම්වතියට කොහෙත්ම බැරි විත්තිය දැන දැනත් සුභාෂ් සුභාෂ්ගේ ජීවිතේ ඔහේ අයාලේ යන්න ඉඩ හැර තිබුනා. 

ජීවිතේ ගලාගෙන යන්නේ කොතනටද කියන අදහසක් නැතුව උන්නු සුභාෂ් කසාද බඳින්න තීරණය කරේ තමුන්ගෙන්ම  පලිගන්න ඔනවුණු නිසා. එතනින් පස්සේ සුභාෂ්ගේ ජීවිතේ ඔහේ පාවෙලා ගියා. ජීවිතේ කුමන අරමුණක් කරා ගෙනියන්න ඕනද කියන අදහසක් සුභාෂ් වෙත තිබුනේ නැහැ.. මොකක්දෝ දුක්මුසු කලකිරීමක් සුභාෂ්ගේ හිත ඇතුලේ සදහටම නිදන් වෙලා තියෙනවා කියල විතරක් සුභාෂ් දැනගෙන හිටියට ඒ දුක කලකිරීම වචන වලට පෙරලන්න සුභාෂ් මොනම වෙලාවකවත් උත්සහ කරේ නැහැ.

*************************************


සුභාෂ් අවදිවුනේ  කව්දෝ දොරට තඩිබාන ශබ්දයෙන්. මේසය උඩ තිබෙන හිස් වෙච්ච විස්කි බෝතලයත් , නිදා උන් හාන්සි පුටුව අවට විසිරෙච්ච සිගරට් කොටත් පෙරදා රාත්‍රියේ දුටු සිහිනය නැවතත් සුභාෂ් වෙත ස්මරණය කරන්නක් වුනා. අමුවෙන් ගිලදැමූ මද්‍යසාර මත සම්පූර්ණයෙන් පහව ගොස් නොතිබුනත් සුභාෂ් වැනි වැනී ගොස් දොර විවුර්ත කළා..

ඔහ්.. මයි ගෝඩ්.. වට් නොන්සන්ස් ආර් යු ඩුයින් මිස්ටර් සුභාෂ්.. හව් මෙනි ටයිම්ස් අයි හැව් ටෝල්ඩ් යූ නොට් ටු ස්මෝක් ඉන් සයිඩ් ද රූම් ..

සොරි මිසිස් සමරසිංහ..

බයි ද වේ.. අන්න ඔයාගේ බොස් කෝල් කරා.. ඉම්පෝර්ටන්ට් වැඩක් තියෙනව ඒත් ඔයා තාම වැඩට ඇවිත් නැහැ කියල.. වයි ඩෝන්ට් යූ ආන්සර් යුවර් ෆෝන් පුතා..

සොරි මිසිස් සමරසිංහ .. ෆෝන් එක ඊයේ රෑ සයිලන්ට් දාපු ගමන්..

ඔයා ඩ්‍රින්ක්ස් අරන් නේද.. ඔයාගේ හෙල්ත් කන්ඩිෂන් එකේ හැටියට ඔයාගේ ඩොක්ටර් කියල තියෙනව නේද ස්මෝක් කරන්න එපා ඩ්‍රින්ක්ස් ගන්න එපා කියල.. ඇයි පුතා ජීවිතේ විනාස කරගන්න හදන්නේ.. අර දරුව වෙනුවෙන්වත් ජීවත් වෙන්න ට්‍රයි කරන්න ඕන නේද..

මිසිස් සමරසිංහ.. මම ගිහින් ඉක්මනට ලැස්ති වෙලා යන්නද.. වැදගත් වැඩක් තියෙනව අද ඔෆිස් එකේ..

ඔයා හැමදාමත් ලිස්සල යනව සුභාෂ්.. මීට පස්සේ ඔය ජරාව මේ ගෙ ඇතුලේ පාවිච්චිය තහනම් හරිද.. මේ කාමරේ මම ඔයාට දීල තියෙන්නේ සල්ලි හොයන්න නෙවෙයි කියල දන්නවනේ.. මට ඔයාගේ වැඩිහිටියන්ට, වයිෆ්ට වගකියන්න බැහැ.. ඔයා ඔය විදිහට හැසිරෙනවානම් වෙන තැනක් හොයාගන්න..මතක තියාගන්න ඔයා හාර්ට් පේෂන්ට් කෙනෙක්..

සොරි මිසිස් සමරසිංහ..

විනාඩියෙන් රැකියාවට යන්න ලැහැස්තිවුණු සුභාෂ් මෝටර් රථයේ නැගී ඉගිලුනේ හැකි ඉක්මනින් රැකියා ස්ථානයට යන අදහසින්. වේගයෙන් ධාවනය වන රථයේ රියදුරු අසුනේ උන්නත් අලුයම් කාලයේ ගිල දැමූ මධ්‍යසාර වල ග්‍රහණයෙන් සුභාෂ් සම්පූර්ණයෙන්ම මිදී සිටියේ නැහැ. සිහිනයක් නිසාවෙන් නැවතත් අලුත්වූ ඖෂදී පිලිබඳ මතකය නැවත නැවතත් සුභාෂ්ගේ චිත්ත සන්තානය පාරමින් රිදුම් දුන්නා. වේග සීමාවක් ගැන අවබෝධයක් නොමැතිව ධාවනය වූ සුභාෂ්ගේ රථය අදිවේගී මාර්ගයට අවතීරණ වනවාත් සමගම අදිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු කන්ටේනර් ප්‍රවාහනය කරන රථය සුභාෂ් වෙත දර්ශනය කිරීමට මද්‍යසාර ඉඩක් ලබාදුන්නේ නැහැ. ක්ෂණයකින් මහා හඬක් නංවාගෙන සුභාෂ්ගේ රථයේ ගැටුණු කන්ටේනර් රථය සුභාෂ්ගේ රථය සුන්බුන් ගොඩක් බවට පත්කරමින් මද දුරක් ගොස් නතරවුනා..


*********************************

ඖෂදීගේ නිවස ඉදිරියෙන් ගමන් කළාවූ සෙනග අතරින් ඉදිරියෙන්ම උන්නෙ  සුභාෂ්.. වසර විසි පහක් පුරා ඖෂදීගේ නිවස ඉදිරියෙන් යනකොට  පුරුද්දට වගේ  ඖෂදීගේ ගේ දිහාවට බැල්මක් හෙලන සුභාෂ්ට එදා එහෙම බලන්න විදිහක් තිබුනේ නැහැ. අවුරුදු  විසි පහක් තිස්සෙම එතනින් යන එකම වතාවක්වත් ඖෂදී පේන්න ඉන්නවද කියල බලන්න සුභාෂ් අමතක කරෙත් නැහැ. අවමංගල්‍ය රථයේ මිනී පෙට්ටියක සතපවා තිබුණු ප්‍රාණය නිරුද්ද සුභාෂ්ගේ දේහය ඖෂදීගෙ ගෙදර පහුකරන් යද්දී ඖෂදී දැනගෙන හිටියේ නැහැ ගෙදර ඉස්සරහින් යන අවමංගල්‍ය පෙරහරේ අරන් යන්නේ තමුන්ට කුලුඳුලේ ආදරේ කරපු ප්‍රේමවන්තයා වන වග..ඇස් වලින් පමණක්ම කථා කරපු, කවදාවත්ම වචන වලට පෙරලන්න බැරිවුණු  ඒ ආදරේ සීතල පපුව ඇතුලෙම තියාගෙන සුභාෂ්ගෙ දේහය කිසිම කලබලයක් නැතුවම ජීවිතෙයේ අවසාන නවාතැන්පොල කරා ඇදෙමින් තිබුනා.. 



ඔය දෑස 
මතකයේ හිරකරන්
සීතලම සීතල  
කඳුලක් දරන් 
වචනයෙන් නොකීව 
ආදරෙත් අරන්
යන්නට අවසරයි රත්තරන් 
අවසන් ගමන්..


****සමාප්තයි****

Monday, February 22, 2016

නමක් නැති කතාවක් 9






ගෙදර සාමාජිකයින් රාත්‍රී ටෙලි නාට්‍ය නරඹන අතරතුරේ කාගේවත් ඇස නොගැටෙන්නට කාමරයට වැදුණු සුභාෂ් කාමරයේ දොර ලොක් කරලා ඇඳුම් පිටින්ම ඇඳට වාරු වුනේ කපල බිම දාපු ගහක් වැටෙන්න වගේ. ඔලුව පුරා රිදුම් දෙන වේදනාවත් හිත පුරා රිදුම් දෙන වේදනාවත් ශරීරයෙන් ඉවතට ගලාගිය රුදිරය නිසාවෙන් නැගෙන විඩාපත් බවත්, එල්ලවූ ගුටි ප්‍රහාරයෙන් නැගෙන්නාවූ වේදනාවත් සියල්ලම සුභාෂ්ගේ දරාගැනීමේ සීමාව ඉකමවා ගොස් සිටියත් සුදුවූ සිදුවීම පවසා හිත නිදහස්කරගනීමට කෙනෙක් ඒ වෙලාවේ සුභාෂ් අවට හිටියේ නැහැ.

කල්පනාවේ නිග්මන්ව උන් සුභාෂ්ගේ සිතුවිලි දැහැන බිඳිමින් කාමරයේ දොරට තට්ටු කරන්නට වුයේ සුභාෂ්ගේ අම්මා ..

කන්නේ නැද්ද ළමයෝ..

බඩගිනි නැහැ අම්මා..

මොකද මේ දොර වහගෙන..

වහල නැහැ අම්මා දොර හිරවෙලා වෙන්න ඇති..

කෝ ඇරෙන්නේ නැහැනේ..

මම මෙහෙමම නිදාගන්නවා අම්ම.. දැන් කන්න බෑ ..

අනේ මන්ද..

අම්මා කාමරයේ දොර වෙතින් නික්මගියේ පැහැදිලි සිතුවිල්ලකින් නොවෙන බව සුභාෂ් දැනන් හිටියා. පවතිනා ප්‍රශ්නයක් තාත්තාගේ දැනගැනීමෙන් ඇතිවන තත්වය බොහොමත්ම වෙනස් වන නිසා උදෑසන තාත්තා රැකියාවට ගිය වහා අම්මා කාමරයේ දොර කඩාගෙන හෝ ඇතුලට එන වග සුභාෂ්ට අමුතුවෙන් කියන්න දෙයක් තිබුනේ නැහැ . සියලුම වේදනාවන් එක්කම සුභාෂ්ට නින්ද ගිහින් ඇහැරුනේ අම්ම නැවතත් දොරට ගහන ශබ්දයෙන්.

අද ඉස්කෝලේ යන්නේ නැද්ද ළමයෝ.. දවල් වෙලා..

අම්ම එහෙම ඇහුවාම තමයි සුභාෂ්ට දැනුනේ එළිවෙලා කියල.. ඇඳෙන් නැගිටිනවත් එක්කම නලලෙන් දැනුන වේදනාවත් එක්කම ආයෙත් සුභාෂ්ට සියලු සිදුවීම් මතකයට නැගෙන්න ගත්තා.

ඔලුව ටිකක් රිදෙනවා අම්ම.. අද නොගිහින්  ඉන්නව.

ඒ ගමන මොකද මේ වෙලා තියෙන්නේ.. අරිනවා කාමරේ දොර..

ඒ විධානයෙන් සුභාෂ් කෙලින්ම බැලුවේ කාමරේ මේසය උඩ තියන ඔරලෝසුව දිහා.. වෙලාව උදේ හයයි තිහයි.. ඒ කියන්නේ සුභාගේ තාත්ත රැකියාවට යන්න පිටත් වෙලා. වැඩි සනීපයක් නොදැනුන ශරීරය වත්තම් කරගෙන ගිහින් සුභාෂ් කාමරේ දොර විවුර්ත කරා..

දෙයියනේ.. මොකද මේ නළලට උනේ..

බයිසිකලෙන් වැටුන අම්මා..

පුතා... ඔයා බොරු විතරක් කියන්න එපා.. බයිසිකලෙන් වැටුනානම්  මොකටද ඔයා කාමරේ දොර ලොක් කරගෙන ඉන්නේ..

න්..නෑ  අම්මා.. බයිසිකලෙන් වැටුන තමා..

මට බොරු විතරක් කියන්නේ නැතුව කියනව මොකද උනේ..

මම එකපාරක් කිව්වනේ අම්මා..

හරි මම හොයාගන්නම්කො මොකද වෙලා තියෙන්නේ කියල.. දැන් අද ඉස්කෝලේ යන්නේ නැද්ද..

බෑ අම්ම.. අද නොගිහින් ඉන්නවා..

පුතා... විභාගෙට තව තියෙන්නේ මාස කීපයයි.. සෙල්ලම් කරන්න නම් ලැස්ති වෙන්න එපා..

හරි අම්ම හරි.. මම තව ටිකක් නිදාගන්නවා..

හ්ම්.. මේ තේ එක බීල නිදාගන්නව.. අද කොහෙවත් ඇවිදින්න යනවා එහෙම නෙවෙයි.. මම ඉස්සරහ දොරේ යතුර අරන් යනවා.. අද ගෙදරට වෙලා ඉන්නවා.. හවසට තාත්ත ආවාම ඔය නළලෙ තියන තුවාලෙට දෙන්න උත්තර ලැස්ති කරගෙන ඉන්නකෝ..

හරි අම්ම හරි..

කාගේද ඔය ඇඳන් ඉන්න කමීසේ..

අම්මා ඇහුව අවසාන ප්‍රශ්නයට උත්තර නොදීම සුභාෂ් කාමරයේ දොර වහල දැම්ම. තේ එක මේසය උඩින් තියපු සුභාෂ් ආයෙත් ඇඳට වැටුනේ නැගිටලා ඉඳන් වෙනත් වැඩක් කරන්න ඇඟේ හයියක් නැති නිසාමයි. සියලු වේදනා අතාරි කල්පනාවට එන ඖෂදීගේ ඇස්දෙක සුභාශ්ව ඉමක් කොනක් නොපෙනෙන ප්‍රශ්න වැලක් ඇතුලේ අතරමං කරා.

සුභාෂ් ආයෙත් නින්දෙන් ඇහැරුනේ සුභාෂ්ගේ නංගි ඉස්කෝලේ ඇරිලා එන සද්දෙට. පැය ගණනාවක් නිදාගත්තු නිසා සුභාෂ්ට පුංචි සනීපයක් නොදැනුනා නෙවෙයි.

අයියෙ කොහේ යන්නද ඔය ලැස්ති වෙන්නේ..

ඇයි අහන්නේ..

නෑ  අම්ම කිව්වා ඔයාට කොහෙවත් යන්න දෙන්න එපා කියල..

හරි හරි මම අම්ම එන්න කලින් ගෙදර එනවා හලෝ..

ඔන්න අම්ම ඇහුවොත් මම කියනව ඔයා ගියා කියල..

ඒ අම්ම එන්න කලින් මම ගෙදර ආවේ නැති උනොත්නේ ..

ඔන්න මම දන්නේ නැහැ මටනම් බොරු කියන්න බෑ .. අම්ම හිතන් ඉන්නේ එයාගේ පුතා බයිසිකලෙන් වැටිල කියල.. එත් අපිටනම් හිතෙන්නෙ මෙයා කාගෙන් හරි ගුටිකාලා කියල..

අනේ මේ .. ඔයා පැහෙන්නේ නැතුව වැඩක් කරගන්නකෝ ..

ඉන්නවකෝ අම්ම ආපු ගමන් කියනව ..

ඉතින් කියනව..

සුභාෂ් බයිසිකලේ පැදගෙන පිට්ටනිය පැත්තට ඉගිල්ලුනේ එකතරා තීරණයක් හිතේ ධාරණය කරගෙනමයි. ප්‍රැක්ටිස් පටන්ගන්න කලින් ඉන්ද්‍රජිත් අල්ලගන්න එක තමයි සුභාෂ්ගේ අවශ්‍යතාවය උනේ. දෙකයි තිහ වෙද්දී ඉන්ද්‍රජිත් පිට්ටනියට වාර්තාකරණ විත්තිය සුභාෂ් පුරුද්දෙන්ම දන්නවා උනාට පාරේදීම ඉන්ද්‍රජිත් අල්ලගන්න තමයි සුභාෂ් හිතන් හිටියේ. හිතුව වගේම ගාලුපාර පැනගෙන පිට්ටනිය දිහාවට එන ඉන්ද්‍රජිත් අල්ලගන්න සුභාෂ්ට වැඩි අමාරුවක් උනේ නැහැ..

මොකෝ බන් නළලට උනේ..

පොඩි තුවාලයක් බන්..

හරි ඉතින් මොකක්වෙලාද තුවාල උනේ..

උඹට එව්වා වැඩක් නැහැ.. නැගහන් පොඩි ගමනක් යන්න..

කොහේ යන්නද බන්.. දැන් ප්‍රැක්ටිස් පටන්ගන්නවනේ..

හරි බන් ඊට කලින් එන්න පුළුවනි.. නැගහන්කෝ..

හරි ඉතින් යමන්.. මම මගේ බයික් එකේ එන්නම්..

නෑ මේ ගමන අපි එක බයික් එකේ යන්න ඕන.. උඹේ බයික් එක ලොක් කරලා ඇවිත් නැගහන් මේකෙ..

හරි එහෙනම් යමන්කෝ.. උඹ මාව මරන්න අරන් යනවද දන්නේ නැහැ යකෝ..

යමන්කෝ යමන්කෝ..

ඉන්ද්‍රජිත් ඉරිදිපසින් වාඩි කරවාගෙන සුභාෂ් බයිසිකලය පැදගෙන යන්නේ කොහෙටද කියන්න වැටහීමක් ඉන්ද්‍රජිත්ට තිබුනේ නැහැ. ඒත් බයිසිකලය ගාලු පාරෙන් ඖෂදීගේ ගෙවල් පාරට හරවනවාත් එක්කම ඉන්ද්‍රජිත් මදක් කලබලයට පත්වෙනු සුභාෂ්ට දැනුනත් සුභාෂ්ගේ අරමුණ උනේ ඉන්ද්‍රජිත් බයිසිකලයෙන් බස්සන්නෙම නැතුව අදාළ ස්ථානයට අරගෙන යාම.

ක්..කොහෙද  යකෝ මේ යන්නේ..

උඹ පාඩුවේ හිටහන්කෝ.. මමනේ පදින්නේ.. වාඩිවෙලා හිටහන්.. ගියාම පෙනෙයි..

රේල් පාලම පහුකරගෙන පහලට බහින සුභාෂ් සහ ඉන්ද්‍රජිත් රැගත් බයිසිකලය සුභාෂ්ගේ විධානයෙන් නතර උනේ ඖෂදීගේ නිවස ඉදිරිපිට..

ම්..මොකක්ද යකෝ උඹ මේ කරන්න යන්නේ..

කරන්න යන්නේද.. උඹ ගිහින් ඖෂදීගෙන් අහගෙන වරෙන් මට කැමතිද නැද්ද කියන එක.. උඹ ගිහින් අහගෙන වරෙන් මගේ ලියුමට උත්තර එවන්නේ නැත්තෙ ඇයි කියන එක..

දැන් උඹට මොකක්ද මේ අදම, මේ දැන්ම ඕක දැනගන්න තියන හදිසිය කියහන්.. මම කිව්වනේ මම ශේප් එකේ වැඩේ කරලා දෙන්නම් කියල..

හදිසියද.. හදිසිය තමයි ඊයේ හවස ඖෂදීගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියන එකෙක් උගේ යාළුවො එක්ක ඇවිත් මට ඇතිවෙන්න ගහල මගේ ඔලුව පලාපු එක..

හෑ.. ම්... මොකක්..

මචන්..දැන් මේකේ දෙකෙන් එකක් විසඳෙන්න ඕන .. මම පාරෙන් ඉන්නම්.. ගිහින් අහගෙන වරෙන් මම කිව්ව ටික..

එහෙම කොහොමද බන් එකපාරට කෙල්ලෙකුගේ ගෙදරකට යන්නේ..

ඇයි උඹ වෙනදත් මෙහෙට ආව ගියානේ උඹලාගේ සංගීත වැඩ වලට.. ඒ වගේම ගිහින් අහගෙන වරෙන්..

මට හෙට වෙනකම් දීපන් මචන්.. මම ඉස්කෝලෙදි මේ ප්‍රශ්නේ විසඳලා දෙන්නම්..

බෑ බෑ බෑ .. මම දැන් අවුරුද්දකට වඩා කාලයක් මේ ගැන බලන් හිටිය.. අන්තිමේ ගුටිත් කෑවා.. තව විනාඩියක්වත් බෑ .. අදම මේ දැන්ම මේක විසඳෙන්න ඕන..

උඹ එහෙනම් ටිකක් එහාට වෙලා හිටහන්කෝ.. මම ගිහින් බලන්නම්.. උඹත් දාන ලෙඩ බන්..

ඉන්ද්‍රජිත් බයිසිකලයෙන් බැස යනවාත් සමගම ඉන්ද්‍රජිත්ගේ පසුපස සාක්කුවෙන් බිමට වැටී මදක් ඉවතට පෙරලී ගිය ඉන්ද්‍රජිත්ගේ පසුම්බිය අහුලන්නට ඉන්ද්‍රජිත් උත්සහ කළා..

හරි මම එක අහුලගන්නම්.. උඹ ගිහින් ඖෂදී හම්බෙලා වරෙන්කො..

හරි.. උඹ ටිකක් නොපෙනනෙන්න හිටහන්..

ඉන්ද්‍රජිත් ඖෂදීගේ නිවසේ  ගේට්ටුව ඇරගෙන වත්ත ඇතුලට යනවත් එක්කම සුභාෂ් ඉන්ද්‍රජිත්ගේ පසුම්බිය අහුලාගෙන අතේ තියාගෙන කල්පනා කරමින් උන්නේ ඉන්ද්‍රජිත් කුමන ආකාරයේ පණිවිඩයක් අරගෙන ඒවිද කියන දේ ගැන. එත් අහම්බෙන් වගේ ඉන්ද්‍රජිත්ගේ පසුම්බිය දිහා බැලුන සුභාෂ් දැක්කේ තමුන්ට ඉතාමත් හුරු පුරුදු යමක්. අනුන්ගේ පසුම්බියක් අනවසරයෙන් ඇවිස්සීම නොහොඹිනා කමක් උනත් කුතුහලය සුභාශ්ව ඒම නොහොඹිනාකම ඉක්මවූවා.

මේ තියෙන්නේ  සුභාෂ් අවුරුද්දකට කලින් ඖෂදීට දෙන්න ලියල දීපු ලිපිය කියල දැනුනාම සුභාෂ්ට දැනුනේ හරිම අසරණ හැගීමක්.. ඒ කඩදාසියේ තිබුණු අකුරු දිහා සුභාෂ් විනාඩියක් විතර ඔහේ හිස් බැල්මෙන් බලන් හිටිය.

ගෙදර කව්රුත් නැහැ බන්..

එහෙම කියාගෙනයි  ඉන්ද්‍රජිත් ඖෂදීගේ ගෙදර ගේට්ටුව වහගෙන පාරට ආවේ.

ෂූ...ෂූ..

සුභාෂ් තමුන්ගේම කටට දබර ඇඟිල්ල තියල ඉන්ද්‍රජිත්ට කිව්වේ මුකුත් කතා කරන්න එපා කියලයි.. පළමුවෙන්ම ඉන්ද්‍රජිත්ගේ පසුම්බිය ඔහුගේ අතට දුන්නු සුභාෂ් ඉන්ද්‍රජිත් ඉස්සරහම තමුන් ජීවිතේ පළමු වතාවට ගැහැණු ළමයෙකුට ලියපු ඒ පෙම් හසුන පුංචි කෑලි වෙන්නම ඉරලා දැම්ම. ඉන්ද්‍රජිත් කියන්න උත්තරයක් නැතුව ඔහේ සුභාෂ් දිහා බලන් හිටිය. කෑලි වලට ඉරපු ලියුමේ පුංචි කොළ කෑලි ඔක්කොම උඩ විසික් කරපු සුභාෂ් ඒ කොළ කෑලි බිමට වැටෙන්නත් කලින් බයිසිකලේ ආපහු හරවගත්තේ පිට්ටනියට යන්න. හරවපු බයිසිකලේ ඉස්සරහින් ඉඳගත්තු ඉන්ද්‍රජිත්වත් සුභාශ්වත් එකම වචනයක්වත් කතාකරේ නැහැ. එක හැල්මේ බයිසිකලය පැදගෙන ආපු සුභාෂ් ඉන්ද්‍රජිත් පිට්ටනිය ගාවින් බැස්සුවා.

ඇයි බන් මාව රැවට්ටුවේ..

මම කියන දේ අහපන්කෝ ටිකක්..

මට උඹ කියන කිසි දෙයක් අහන්න ඕන නැහැ මචන්.. මට කියහන් ඇයි මාව රැවට්ටුවේ..

මට මේක පැහැදිලි කරනන් දීපන් මචන්.. ඖෂදී එදාම උඹේ ලියුම ගන්න බැහැ කිව්වා බන්.. එත් ඖෂදී උඹට කැමැත්තෙන් ඉන්නේ කියල දැනුන නිසා මම ලියුම තියාගෙන හිටියේ ආයේ කොහොමහරි දෙන්න හිතාගෙන..

ෂූ ...ෂූ .....උඹ මට නිදහසට කරුණු කියන්න බැඳිලා නැහැ මචන්.. මට කියහන් උඹ විතරක් මාව රවට්ටුවද ඖෂදියි උඹයි දෙන්නම එකතුවෙලා මාව ඇන්දුවද කියල විතරක්.. 

උඹ ඉන්නේ කේන්තියෙන්.. මම උඹේ කේන්තිය නිවුනාම මේක පැහැදිලි කරන්නම්..

නෑ මචන්.. මම ඉන්නේ කේන්තියෙන් නෙවෙයි.. මම ඉන්නේ දුකෙන්.. මම උඹටවත් ඖෂදීටවත් වෛර කරන්නේ නැහැ.. දවසකට වතාවක් හරි මං එක්ක කතාකරන ඖෂදීගේ ඇස්දෙක මට කියන්නේ බොරුවක් කියල මම හිතන්නේ නැහැ බන්..

මම කිව්වනේ.. මම මේක පස්සේ උඹට පැහැදිලි කරන්නම්.. දැන් වරෙන් ප්‍රැක්ටිස් කරන්න..

මම ආයේ කවදාවත් ෆුට් බෝල් ගහන්න එන්නේ නැහැ මචන්..සමහරවිට ටික දවසකට මම ඉස්කෝලේ එන්නෙත් නැතිවෙයි .. මම දන්නේ නැහැ මාව රවටුවේ උඹද , උඹල දෙන්නමද කියන එක.. ඒ හින්ද මම ඒ ගැන ආයේ නොහිත ඉන්නම්.. මම මේවා අමතක කරලා හිත හදාගන්නකම් උඹ මේ ගැන මා එක්ක ආයේ කතාකරන්න එපා.. ඖෂදීට සමහරවිට මාව විහිළුවක් වෙන්න ඇති.. එත් ඒ විහිළුව හුඟක් දුර ගිහින් ඉවරයි.. අවුරුද්දක් තිස්සේ උත්තර එනකම් බලාගෙන හිටපු ලියුම අවුරුද්දක් තිස්සේ තිබිල තියෙන්නේ උඹේ පර්ස් එක ඇතුලේ මචන්.. මීට වඩා හොඳයි උඹල මාව මරුවනම්..මම යනව බන්.. ආයේ උඹටවත් ඖෂදීටවත් මගෙන් කරදරයක් නැහැ.. වරදක් උනානම් සමාවෙයන් ..

අමාරුවෙන් හිරකරගෙන හිටපු කඳුළු බොල දෙකක් ඇස් දෙකෙන් එලියට පනිනකොටම සුභාෂ් බයිසිකලය පැදගෙන නගරසභාව පැත්තට යන්න පිටත්වුනා.. ඉකිහසමින් හඬාවැටෙන හදවතේ වේදනාව කියන්න කෙනෙක් නැතිකමට සුභාෂ් ඔහේ බයිසිකලය පැදගෙන ගියා අරමුණක් නැතුවම. අවුරුද්දකට හමාරකට කලින් සුභාෂ්ගේ  ආත්මය කාටවත්ම හොරකම් කරන්න බැරිවෙන්නම තමුන් හොරාගතපු වග ඖෂදී දැනගෙන ඉන්න නැතුව ඇති.


ලොවේ කොතනදී හෝ 
සසර මාවතේ දී...
ලංව ඉන්න ආදරෙන් 
පුංචි සමනලුන් ලෙසින්...  
එතෙක් ආදරේ වදන් 
ලියු පෙම් හසුන් ඉතින්... 
දවාලන්න ආදරේ 
නිමාවයි අපේ ලොවේ...

කෙසේ මා ලියම්දෝ...
ඔබේ ලෝකයෙන්
වෙන්ව යන්නටයි කියා... 
මෙසේ සමු යදින්නේ 



Sunday, February 14, 2016

මොරටුවේ දෙකයි පානදුරේ එකයි





මේ ලියන්න යන ඕපාදූප ගණයට වැටෙන  සිදුවීම් තුන  ලියන්නේ හුදීජන පහන් සංවේගය පිණිස පමණමයි. මේ සිදුවීම් තුනටම අම්බලන්ගොඩ කථා ලියන මම සජීවීව සහභාගී වෙච්චි සිදුවීම් නෙවෙයි. මේ කථා සියල්ලම කනබොන තැන්වල හෙවත් තම තමුන්ගේ කියුම් කෙරුම් උජාරුවෙන් කියනාවූ තැන්වල කතාබහ වෙච්චි දේවල්. සිදුවීම් කිහිපය හැකිතාක් සජීවීකරණය කරන්න මං එතන හිටිය වගේ සහ ඇහින් දැක්ක වගේම ලියන්න තමා මේ උත්සාහය. 

අග නගරයට වැඩියෙන්ම ආසන්නයෙන් තියෙන නිසා ලියන්න යන ඕපාදූප ටික මොරටුවෙන්ම පටන් අරන් පානදුර පැත්තට යන්නයි මගේ අදහස..

මහේෂ් කියන්නේ මා එක්ක අවුරුදු ගණනාවක් රාජකාරියේ යෙදුන මට සීනියර් කාර්මික නිලධාරී තැන. අපි දෙන්නම එකම තනතුරේ උනාට මම තුන්වෙනි ශේණියේ කා. නිලධාරී වෙද්දී මශේෂ් උන්නේ දෙවැනි ශේණියට උසස්වීම ලබාගෙන. මනුස්සකමයි අවංකකමයි කියනදේ ඇඟපුරාම තිබ්බ හැබෑම මහත්මයෙක් වෙච්චි මහේෂ් කවදාවත් දහසින් බැඳී පියලි වෙනුවෙන් ලොක්කන්ට කඩේ නොගිය කොන්ද කෙලින් මනුස්සයෙක්. කරනා වූ ඕනෑම වැඩකට සුපිරි උනන්දුවක් තියන පුද්ගලයෙක් වෙන මහේෂ්  භාරගන්නා ඕනෑම වැඩක් වෙනුවෙන් තමුන්ට ලැබෙන දේට වඩා යමක් පිටත පාර්ශවයට ලබාදෙන්න උත්සහ කරන මනුස්සයෙක්. ඒ වගේම හීන්දෑරි උස ශරීරයකට හිමිකම් කියන අපේ මහේෂ් ඇවිදීමේ සූරයෙක්. රැකියාව අවසන් වෙලා බම්බලපිටියට යන්න තුම්මුල්ලෙ බස් හෝල්ට් එකේ බස් එකක් එනකම් බලාගෙන ඉන්න කම්මැලි ජනතාවට බලල හැදෙන්න වටිනා චරිතයක් වෙන මහේෂ් තුම්මුල්ලෙ ඉන්න එවුන් බස් එකට නගින්න කලින් අඩියට දෙකට බම්බලපිටිය දුම්රියපොළට විනාඩියෙන් ඇවිදින්න සූරයෙක්. අපිනම් ඒ කාලේ කිව්වේ මහේෂ් ඇවිදිනවා නෙවෙයි විදිනවා කියලයි. ඒ තරම් ඇවිදීමේ සූරයෙක් වෙච්චි අපේ මහේෂ් බම්බලපිටියේ ඉඳන් අඟුලානට යන්න කෝච්චියක් එනකම් දුම්රියපොළේ ඉන්නේ නැතුව ඒ සුට්ට දුරත් පයින්ම විදින්නේ නැත්තෙ ඇයි කියන එක ගැන මට අදත් ප්‍රශ්නයක්. 

හැත්තෑව දශකයේ මුල්භාගයේ ඉපදිච්චි අපේ මහේෂ්,  රටේ අඳුරු භීෂණ සමය හෙවත් 88/89 වෙද්දී හොඳ ගජ ඉලන්දාරියෙක්. ඒ වෙද්දී අපේ මහේෂ්ගේ විනෝදාංශය වෙලා තියෙන්නේ මැරතන් දිවිල්ල. යමක් පටන්ගත්තොත් සුපිරි උනන්දුවකින් ඒ දේ වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන ජාතියේ උනන්දුවෙක් කිව්වොත් තමා නිවැරදි.   සිංහල අවුරුදු ලංවෙද්දි පොළොවට ඉර එලිය වැටිච්ච වේලේ ඉඳන් අපේ මහේෂයා කරන්නේ තවත් යාලුවෙක් එක්ක මැරතන් දුවන්න ප්‍රැක්ටිස් කරන එකලු. කොයිතරම් කෑවත් බිව්වත් ඇඟ මහත්වෙන්නේ නැති අපේ මිත්‍රයා රනින් ශෝටකුත් බනියමකුත් ඇඳගෙන උදේ ඉර එළියත් එක්කම ගෙදරින් පිටවෙලා ආයේ ගෙදර එන්නේ මොරටුව, අඟුලාන, රත්මලාන වටේ කිලෝමීටර විස්සක් තිහක් දුවල අහරවෙලා තමයිලු.

ඔය කියන කාලේ රටේ තත්වය බොහොම භයන්කාර වුනත් අපේ මහේශයත් මැරතන් ප්‍රැක්ටිස් කරන එක නවත්තන්නෙම නැතිලු. අම්මයි තාත්තයි දෙන්නම කොයිතරම් එපා කිව්වත් උදේට දුවන එක නවත්තන්නෙම නැතිලු.  ඔන්න ඔහොම භයානක වාතාවරණයක් යටතේ දවසක අපේ මහේෂුත් මහේෂ්ගේ යාලුවත් උදේ මැරතන් දුවන්න එලියට බැහැල දැන් දෙන්න එක්ක දුවනවලු එක හැල්මට. රටේ තිබ්බ වාතාවරණය එක්ක වයස දහ අටේ විස්සේ එවුන් දිහා ආරක්ෂක අංශයේ විශේෂ අවධානය එල්ලවෙලා තිබ්බත් අපේ මහේශයට එව්වා මෙලෝ වගක් නැතිලු. ඔය විදිහට දුවගෙන යන අතරවාරයේ පොලිස් ජීප් එකක් ඇවිත් නවත්තුවලු දෙන්න ඉස්සරහින්.

නැවතියල්ල ඔහොම ..

ඔන්න අපේ මැරතන් ශූරයෝ දෙන්නත් නැවතුනාලු..

තොපි දෙන්න කොහෙද මේ දුවන්නේ උදේ පාන්දර.. එහෙම ඇහුවේ පොලිස් ජීප් එකේ ඉස්සරහ සීට් එකේ දොර කිහිල්ලේ ගහගෙන හිටපු ලොකු මහතැන් කෙනෙක්ලු..

ස්..ස්.. සර්.. අපි මේ මැ..මැ..මැරතන් ප්‍රැක්ටිස් කරනවා..

පීසී.. චෙක් කරනවා මුන් දෙන්නම..

හරි සර්..

ඔන්න පොලිස් කොස්තාපල් කෙනෙක් ජීප් එකේ පස්සා දොරෙන් වෙඩි වගේ බැහැල ඇවිත් අපේ මහේෂයගේ යාළුවව ළඟ තිබ්බ තාප්පෙට හේත්තු කොරල සියලු ඇඟ පසඟ අතගාල බලල චෙක් කොරාලු.. ඒ කියන්නේ අපේ මහේෂයගේ යාළුවා සිකුරිටි ක්ලියරන්ස් එකෙන් පාස්ලු.. දැන් තියෙන්නේ අපේ මහේෂ්ගේ වාරෙලු..

උස්සනවා අත් දෙක..

කටු බොඩියට බැනියමයි රනින් ශෝටයි ඇඳල ඉන්න  අපේ එකාගේ මොනා චෙක් කරන්නද ඉතින්.. චෙක් කරනවානම් එක්ස්රේ මැසිමකට දාල තමයි චෙක් කරන්න ඕන සරීර කූඩුව ඇතුලේ මොනාහරි හංගන් ඉන්නවද කියල..
ඔන්න අපේ මහේෂයගේ ඉනෙන් ඉහල කොටස හෙවත් අපර් බොඩි එක  සිකුරිටි ක්ලියර් උනාලු.. ඊළඟට ඉනෙන් පහළ කොටස හෙවත් ලෝවර් බොඩි කොටස චෙක් කරන්නලු දැන් පීසී මහත්තය ලෑස්තිය.

හැරෙනවා අනික් පැත්ත..

තාප්පේ පැත්තට මූණ හිටින්න අපේ මහේෂයව හරවපු පීසී මහත්තය දැන් අපේ එකාගේ රනින් ෂෝර්ට් එක උඩින් අතගාල චෙක් කොරාලු..

හ්ම්..හැරෙනවා ඉස්සරහට..

දැන් පීසී මහත්තය අපේ එකාගේ රනින් ෂෝර්ට් එක ඉස්සරහිනුත් අතගාල බැලුවාලු.. ත්‍රස්තවාදීන් එහෙම අතගාල අඳුනගන්න බැරි නිසාද, ජාතික ආරක්ෂාව දිවි දෙවැනිකොට රකින  නිලධාරියෙක් වෙච්චි නිසාද මන්ද පීසී මහත්තය ඒ ගැම්මටම අපේ මහේෂයගේ රනින් ෂොට ඉනගාවින් ඉලාස්ටික් එකෙන් ඉස්සරහට ඇදල ඇතුලට එබිලත් බැලුවාලු අන්තිමේ..

හෑ..

මොකෝ පීසී.. 

න්..න්.. නෑ සර්.. මුන් දෙන්න ගාව මුකුත් සැක සහිත දේවල් නැහැ..

හ්ම්.. එහෙනම් නගිනවා යන්න.. හ්ම්.. තමුන්ලා දැන් මැරතන් දිවිල්ල පැත්තක තියල දුවනවා ගෙදර.. මේ දවස් තමුන්ලාට මැරතන් දුවන්න හොඳ දවස් නෙවෙයි..

ඔන්න අපේ මහේෂයලව පරීක්ෂා කරපු පීසී උන්නැහෙත් ජීප් එකට ගොඩ වෙලා පොලිස් ජීප් එක සැර දාල යන්න පිටත් උනාලු.. ඒ යන්න පිටත් වෙච්චි ජීප් එක මීටර් විස්සක් තිහක් ඉස්සරහට ගිහින් හිටි අඩියේ බරාස් ගහල බ්රේක් පාරක් ගහල නැවතුනාලු. 

අයිසේ.. තමුසේ මෙහෙ එනවා.. 

ජීප් එකේ ඉස්සර සීට් එකේ දොර කිහිල්ලේ ගහගෙන ඉන්න ලොකු මහතැන් දැන් ආයෙත් කතාකරනවලු දෙන්නගෙන් එක්කෙනෙකුට..

මමද සර්.. කවදත් ඕනෑම බෙල්ලගහල යන වැඩක් පැනල භාරගන්න අපේ මහේශය ඇහුවලු..

නෑ නෑ.. තමුසේ නෙවෙයි.. තමුසෙගෙ යාළුවා ..

ඔන්න අපේ මහේෂයගේ යාලුවත් බයෙන් බිරාන්ත වෙලා පොලිස් ජීප් එකේ ඉන්න ලොකු මහතැන් ගාවට කිට්ටු උනාලු.. අපේ මහේශයත් දැන් බයෙන් බිරාන්ත වෙලා බලන් ඉන්නවලු මේ වෙන්න මොකක්ද කියල..

ඇයි සර්..

අයිසේ..තමුසෙගෙ යාලුවට කියනවා මීට පස්සේ මැරතන් දුවන්න යනකොට යටට මොනවහරි ඇඳන් දුවන්න කියල..

හුටා.. හ..හ..හරි සර්..

...................................................................................................................................................................

මේ කතාවත් අපේ මොරටුවේ දේවින්ද කියපු රසබර කතාවක්. මේ කතාව කොයිතරම් රසබරද කියනවනම් පාඨක ඔබ කව්රු හරි මේක කියවන්නේ බත් කන ගමන් නම් මේ කතාව කියවන්න කලින් බත් පත වළඳලා අහවරයක් කරලා ඉන්න කියන එකයි මගේ අවවාදය.

දේවින්ද කියන්නේ ලංකාවෙන් පිටදී හමුවෙච්ච්  බොක්ක හොඳ මිත්‍රයෙක්. කරන්න භාරගන්න ඕනෑම වැඩක් බොහොම උනන්දුවෙන් අවසන් කරන තවත් උනන්දුවෙක් වෙච්චි අපේ දේවින්ද තමා ඊයේ පෙරේදාවක තිබ්බ වැලන්ටයින් සැන්දෑව සංවිධානය කරන්න සියලු බර කරට අරගෙන වැඩකරපු මූලික පිරිසෙන් පුරෝගාමියා උනේ. ලංකාවෙන් පිට මම ඉන්න රටේ ඉන්න සිංහල උදවියට එකතුවෙලා කාල බීල නටල විනෝද වෙන්න වැලන්ටයින් උත්සවය සංවිධානය කරපු දේවින්ද ප්‍රමුක පිරිස ඒ වැඩේ කරේ ලාභ ගන්න අරමුණෙන් නොවුන නිසා බහුතරයක් ශ්රීලාංකිකයින්ට ඇතිතරම් විනෝද වෙන්න අවස්තාවක් ලැබුන කාලෙකින්. ලාභ ලබන අරමුණෙන් ප්‍රසංග සංවිධානය කරන උදවිය පිරිච්ච කාල වකවානුවක අතින් තෙල් පුච්චගෙන ප්‍රසංග සංවිධානය කරපු දේවින්ද ප්‍රමුක ඒ අවංක මිනිස්සු ගැන ශ්‍රීලාංකිකයෙක් විදිහට ආඩම්බර වියයුතුයි. ගෙදරින් එලියට පැනගන්නා වෙලාවට බිරින්දෑට හොරෙන් රහමෙර සුට්ටක් තොල ගෑවට අපේ දේවින්ද කියන්නේ තමුන් ගැන නොහිතා අනුන් වෙනුවෙන් කාලය වැය කරන දුර්ලභ මනුස්සයෙක්.

ඔන්න අපේ දෙවින්දයා ලංකාවේ ඉද්දි හෙවත් 2006 වගේ කාලේ මොරටුව පරණ පාරෙ තියන පාලම ළඟ සෙට් වෙනවලු යාලු මිත්‍රයෝ එක්ක විනෝදෙට මාළු බාන්න. එච්චර විසාල බුදුපිළිම වහන්සේ නමක් වැඩ ඉන්න පාලම ගාවම මුන් මාළු බාන්න සෙට් වෙන එකට නම් මුන්ව හම ගහන්නයි වටින්නේ. මෙහේ තියන ආරණ්‍ය සේනාසනයේ ගිය වතාවේ කථින පිංකම වෙනුවෙන් වස් ආරාධනා කරන්න මුලික වුනු එකා වෙච්චි අපේ දේවින්දයා අර රියන් ගානක් උස බුදුපිළිම වහන්සේ පාමුල මාළු බාන්න ගියේ කොහොමද කියන එක ගැනනම් දෙපාරක් හිතන්න ඕන වුනත් 2006 ඉඳන් 2015 වෙනකොට අවුරුදු නවයක්ම තියන නිසා අපේ දෙවිදයට මේ වෙද්දී සසර දුක අවබෝධ වෙලා වෙන්ටෑ කියල හිතාගන්නව ඇරෙන්න වෙන දෙයක් හිතන්න ඉඩක් නැත්තෙ කථින පින්කමේ බරම හරිය කරට අරගෙන කරපු නිසයි.  

ඔන්න මේ කියන දවසේ කළුවර වටුනායින් පස්සේ යාලුවෙකුගේ ත්‍රීවීල් කටුවක නැගල මිත්‍ර සමාගම මාළු බාන්න යන්න පිටත්වුනේ ඇමට ගහන්න කුකුල් බොකු වගේකුත් අරගෙනමලු. හැකි ඉක්මනින් පාලම ගාවට වාර්තා කරපු පිරිස දැන් ලෑස්තිය මාළු බාන්නලු. කට්ටියක් පාලම උඩ ඉඳන් මාළු බාද්දී තව කට්ටියක් පහල වතුර මට්ටමේ තියන පාලමේ පාදමේ ඉඳන් මාළු බානවලු. එතන හිටපු එකෙක් වෙච්චි අපේ දේවින්දත් යාලු සංජීවත් පාලමේ පාදමේ වාඩිවෙලා කකුල් දෙක වතුරට දාගෙන කළුවරේ මාළු බානවලු.. 

ඈ බන්.. මට මාළු අහුවෙන්නෙම නැහැනේ බන්.. එහෙම කිව්වේ සංජීවලු..

අද උඹේ වෙලාව හොඳ නැතුව ඇති බන්.. අර අරුන් අල්ලන්නේ එක දෙකා..

නෑ බන් මේ කුකුල් බොකු දියවෙනවා වගේ වෙනවා බන්.. ඇමට ගහල ගඟට දැම්මාම මාළු කොටන්න කලින්ම ඇම අතුරුදහන් වෙලා යනවනේ.. 

නෑ එහෙම වෙන්නේ නැහැනේ.. මේ මමත් දැන් මාළු දෙන්නෙක් අල්ලුවනේ බන්..

නැත්තෙ මොකද බන්.. මම දැන් මේ පැයක් විතර මාලුවෙක් අල්ලගන්න දඟලනවා.. කොහෙද.. ඇම ගහනවා විතරයි..වතුරට දාල විනාඩියෙන් උඩට අරන් බලනකොට ඇම අතුරුදහන්..

කෝ දියන් බලන්න පිත්ත.. එහෙම කියාගෙන අපේ දේවින්දයත් මාළු බෑම පැත්තක තියල සංජීව ලඟට කිට්ටු කරාලු..

සංජීව  මොකක්ද බන් මේ ගඳක් එන්නේ..

නෑ ..

නැත්තෙ මොකද යකෝ.. උඹ ගාව මාර ගන්දයිනේ බන්..

පිස්සුද බන් දේවින්ද..

මට පෙන්නේ උඹ මේ කරුවලේ මෙතන තිබ්බ ජරා ගොඩක් පාගල වගේ.. වර යන්න උඩට නැගල ලයිට් කනුව ගාවට ගිහින් බලමු..

ඔන්න අපේ දේවින්දයත් සංජීවයව වදෙන් පොරෙන් ඇදගෙන ආවලු පාලම උඩ ලයිට් කනුව යටට..

පෙන්නහන් කකුල් දෙක..

ඕන් බලහන්..

කෝ නෑනේ බන්..

ඉන්දිකගේ කකුල් දෙකම පරීක්සා කරලා බැලුවත් අසූචි පාගපු විදිහක් හොයන්නම නැහැලු.. එත් ඉන්දික ගාවින් දරන්න බැරි අසූචි ගඳක් එනවලු ඉවසන්නම බැරි..

කෝකටත් පෙන්නහන් බලන්න උඹේ අත් දෙක..

පිස්සුවටද බන්.. මොකෝ මම අත්දෙකෙන් ඇවිද්දේ නැහැනේ..

හරි පෙන්නහන්කෝ බලන්න..

ඕන් බලහන්..

අත් දෙකේම ජරාවනේ යකෝ.. 

පිස්සු.. මම එතන තිබ්බ ජරාව ඇල්ලුවේ නැහැනේ බන්..

හිටහන් බලන්න උඹ පිත්ත දාපු තැනට ටෝච් එක ගහල..

හුටා..

දේවින්දයගේ යාලු ඉන්දික කළුවරේ ඉඳන් කුකුල් බොකු ටික පැත්තකින් තියල ඇමට කඩ කඩ ගහල තියෙන්නේ එතන තිබ්බ කක්ක බෙට්ටක්ලු..

...................................................................................................................................................................


ඊළඟ කතාවත් ඒ වගේම අසූචි කතාවක් ඔන්න..කන බොන එව්වා කාල බීල තමා මේකත් කියවන්න ඕන කියවනවානම්..

මේ කතාවේ කතා නායකයා වෙන යුරාජ් ගැන කියනවනම් යුරාජ් කියන්නේ පානදුර පුරවරයෙන් බිහිවෙච්චි සුපිරිම දක්ෂයෙක්. තාල භාණ්ඩ වාදනයේ අතිදක්ෂයෙක් වෙන අපේ යුරා ලංකාවේ ඉද්දි ප්‍රසිද්ද සංගීත කණ්ඩායම් කිහිපයක  percussionist   විදිහට සම්භන්ධ වෙලා හිටපු අති දක්ෂයෙක්. මීට අවුරුදු පහකට හයකට කලින් ලංකාවේ නිපදවෙච්චි අලුත් සංගීත නිර්මාණ වෙනුවෙන් පටිගතකිරීම් බහුතරයක් වෙනුවෙන් percussion වාදනය කරලා තියෙන්නේ අපේ යුරා. වේදිකාවට ගොඩවුනාම පහල ඉන්න ප්‍රේක්ෂක පිරිසව ඇතිවෙන්න නටවන්න පුළුවන් සහජ හැකියාවක් තියෙන යුරාජ්, ප්‍රේක්ෂකයාගේ රසංඥතාවය හඳුනාගන්න පුළුවන් වාදකයෙක් කිව්වොත් තමයි නිවැරදි. අපි දක්ෂයි කියාගන්න මමත්වය පිරිච්ච බහුතරයක් සංගීත කාරයන් අතර යුරාජ් කියන්නේ ප්‍රේක්ෂකයාගේ අවශ්‍යතාවය අඳුරගන්න පුළුවන් සංවේදී මනුස්සයෙක් වගේම ප්‍රේක්ෂකයා  පිනවීම වෙනුවෙන් ඇඟ ඇතුලේ තියන අන්තිම ලේ බින්දුව දක්වාම මැරිලා වැටෙනකල් සිංහල , ඉංග්‍රීසි,ස්පැනිෂ්, හින්දි, දමිල සිංදු කියන්නත් වාදනය කරන්නත් බැහැයි නොකියන චරිතයක්. අවන්කවම  කියනවනම් අපේ යුරාජ් කියන්නේ සිංහල ,ඉංග්‍රීසි, ස්පැනිෂ්, හින්දි, දමිල ඇතුළු විවිද භාෂාවෙන් ගීත ගායනයටත් සියලුම තාල භාණ්ඩ වාදනයටත් උපතින්ම දක්ෂ බොහොම දුර්ලභ වර්ගයේ කොම්බො පැකේජ් එකක් කිව්වොත් තමයි නිවැරදි.


මේ ලියන්න යන සිද්දිය අපේ යුරා කොලු කාලේ හෙවත් 1998 කාලේ වෙච්චි සිද්දියක්. 

ඔන්න දවසක් අපේ යුරා සහ මිත්‍ර සමාගම වෙසක් දවසක ෆුට් බයිසිකල් වලින් වෙසක් බලන්න කොළඹ ආවලු පානදුරේ ඉඳන්. වෙසක් කාලෙට කොල්ලෝ කුරුට්ටෝ ඒ කාලෙනම් බයිසිකල් පැදගෙන වෙසක් බලන්න ගියාට දැන් කාලෙ කොල්ලොනම් ඒ වගේ මහන්සිවෙන වැඩ කරන්නේ නැති තරම්. ඔන්න අපේ යුරා සහ පිරිස පිටකොටුවේ තොරණ එහෙමත් බලාගෙන කොම්පඥ්ඥවීදියේ තිබ්බ දන්සැලකින් රාත්‍රී ආහාරවේල බොකු බඩවැල් දිගෑරෙන්නම වළඳුවලු. බඩගින්නක් තිබ්බත් නැතත් දකින දකින දන්සල් වලින් කන එක වෙසක් බලන්න බයිසිකල් පදින එවුන්ගේ සිරිතක්නේ. ඔන්න අපේ යුරා ඇතුළු පිරිස දන්සැලෙන් එලියට ඇවිත් ඊළඟ තොරණ බලන්න යන්න සෙට් වෙනකොටම කට්ටියටම මොකක්දෝ බඩේ අමාරුවක් වගේ දැනෙනවලු. 

බඩජහරිකමට කාපු දෙයින් මොකක් හරි වරදක් වෙලා කියල කට්ටියටම දැනෙනකොට අමාරුව ආහාර මාර්ගයේ පහල කොනටම ලංවෙලා ඉවරලු. දැන් අපේ යුරා ඇතුළු මිත්‍ර සමාගම කොම්පඥ්ඥවීදිය පුරාම බයිසිකල් තල්ලුකරගෙන කක්කුස්සියක් හොයාගෙන දුවනවලු. වෙසක් පෝය දවස උනත් කිසිම තැනකින් කක්කුස්සියක් දන් දෙන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් නොවෙච්චි නිසා වැඩිය සෙනගක් ගැවසෙන්නේ නැති තාප්පයක් අස්සෙ බඩේ අමාරුව නිදහස් කරගන්න අපේ යුරා ප්‍රමුක බයිසිකල් නඩය තීරණය කරාලු. එහෙම කරෙත් ඊට වඩා ඉවසගෙන ඉන්න ක්‍රමයක් නැතිමවුණු නිසාලු. 

ඔන්න යුරාජ් ප්‍රමුක සෙට් එක තාප්පෙකට මෙහායින් තිබ්බ කපාදු කරපු ක්‍රෝටන් වැටක් අස්සෙ තැනින් තැනින් වාඩිවෙලා බඩේ අමාරුව නිදහස් කරලා දැම්මලු. කට්ටියම බඩේ අමාරුව නිදහස් කරගෙන පස්සපැත්ත සෝදාගන්න මුහුදු වෙරල දිහාවට යන්නලු දැන් කල්පනාව. ඒත් එකෙක් මිසින්ලු..

කෝ බන් ඉන්දික..

මේ ඉන්නවා බන්.. හිටහන් මම තාම ඉවර නැහැ..

ඉක්මනට දාහන් බන්.. කව්රුහරි ආවොත් අපි සුං ..

හරි බන් හරි..

කරුහරි ආවොත් කියන භයට අපේ යුරාජ් ප්‍රමුක පිරිස කෝකටත් කියල ඉන්දිකය වාඩි වෙලා ඉන්න තැනට ලං උනාලු කාටවත් සැක හිතෙන්නෙ නැතිවෙන්න..

හරිද බන්..

හරි හරි බන් ඉවරයි..

එහෙම කියාගෙන  ඉන්දික වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටලු.. 

"ස්රස් "

කාටවත් අඩුත් නැතුව වැඩිත් නැතුව ඉන්දිකගේ මලපහ  සමසමව බෙදීල ගිහින් හැමෝගෙම ඇඟ ස්ප්‍රේ වෙලා යන්න තත්පරයක්වත් ගියේ නැතිලු..

හුටා..

ඉන්දිකයා මලපහ කරන්න වාඩි වෙලා තියෙන්නේ ක්‍රෝටන් ගහක් බිමට නවලාලු . ඒ මදිවට ඉන්දිකය මලපහ කරලා තියෙන්නෙත් අර බිමට නමපු ක්‍රෝටන් ගහ උඩ.. ඉන්දිකයා නැගිට්ට ගමන් දෙයියන්ගේ පිහිටෙන් අර බිමට නැවිලා පෑගිලා තිබ්බ ක්‍රෝටන් ගහ කෙලින් වෙලා..

වෙසක් දවසේ රෑ ගෝල්ෆේස් එකේ ඉන්න මිනිස්සු අතරින් මුහුදු වෙරළට යන්න වැඩි අමාරුවක් උනේ නැහැලු අපේ යුරා ප්‍රමුක සෙට් එකට. ගෝල්ෆේස් එකට පය තිබ්බ ගමන් ගෝල්ෆේස් එකේ හිටපු මිනිස්සු හිස් ලූ ලූ අත දුවල මුන්ට මුහුදේ නාන්න යන්න ඉඩ හසර සලසල දුන්නලු.

Wednesday, February 3, 2016

කෝච්චියේ අපි





ඔන්න මේ ලැහැස්තිය කෝච්චි වල වෙච්චි සිදුවීම් කිහිපයක් ගැන පඳුරු කීපයක් තලන්නයි. එක්දහස් නවසිය අනූ හතේ ඉඳන් දෙදහස් පහ අවසානය වෙනකල් කෝච්චිය කියන්නේ මගේ ප්‍රධානම ප්‍රවාහන මාද්‍ය කිව්වොත් තමයි හරි.  දවසේ කාලයෙන් පහෙන් එකකට වඩා ප්‍රමාණයක් හෙවත් පැය පහකට ආසන්න කාලයක් ගතකරන්නේ කෝච්චියේ නිසා කෝච්චි සහ කෝච්චියේ හමුවුන සුන්දර මිනිස්සු ගැන මොනවහරි ලියන එක යුතුකමක් කියල මම හිතන්නේ. ඊටත් අමතරව Team Travelers "සංචාරකයෝ" බ්ලොග් එක ලියන අපේ නවෝද මලයාගේ බලවත් ඉල්ලීම වෙච්චි කෝච්චි පෝස්ට් එකක් ලියන්න කියන ඉල්ලීමත් හේතුවක් මේ පඳුරු තැලිල්ලට.

(මෙම දිනවල ගූගල් ක්‍රෝම් වෙත පවතින සිංහල කියවීමේදී ඇතිවන අක්‍රමවත් වචන මාගේ දෝෂයක් නොවන බව කරුණාවෙන් සලකන්න. වෙනත් බ්‍රවුසරයක් භාවිතයෙන් එම දෝෂය මගහරවාගතහැක )

ඉඳල හිටලා කෝච්චියේ ගියත් රැකියාවට යන්න කියලා මගේ කෝච්චි ජීවිතේ පටන් ගන්නේ ඉන්දියාවේ Thrivandrum ඉඳල Ahmadabad වෙනකම් දවස් තුනක් තිස්සේ රසබර පරිප්පුවක් අනුභව කරගෙන ගිහිපු දීර්ඝ කෝච්චි ගමනකින් උනත් ඒ මංගල කෝච්චි ගමන ගැන වෙනම පොස්ට් එකකින් ලියන්න හිතන් ඉන්න නිසා ඉන්දියානු කෝච්චි විස්තරේ පැත්තකින් තියල රුහුණු  කුමාරියෙන් තමයි පටාන් ගන්න යන්නේ.

ඉන්දියාවේ ට්‍රේනින් ඉවර වෙලා ආයෙත් දවස් තුනක් තිස්සේ බස් එකේ, කෝච්චියේ, ප්ලේන් එකේ ඇවිත්   රැකියාවේ වැඩ භාරගන්න තිබුන දවසේ ගමන් වෙහෙස නිසා දවසක් කල් ඉල්ලගත්තු නිසා අද බ්ලොග් ලියන්න වාසනාව ලැබුනට රැකියාවට යන්න සැලසුම් කරලා තිබුන වෙලාවේ කලාවේ හැටියට එදා වැඩ භාරගන්න  ගියානම් මාවත් මරදානේ පොලිසිය ඉස්සරහ පුපුරපු බස් බෝම්බෙට අහුවෙන්න ලොකුම ලොකු චෑන්ස් එකක් තිබ්බ. ගමන් වෙහෙසටත් වඩා තිබ්බ කම්මැලිකම හේතුවෙන් එදා වැඩ භාරගන්න යන්න කම්මැලි හිතුනෙ එදා මැරෙන්න ලියවිලා නොතිබුන නිසා වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ. කාලෙකට කලින් නිපදවෙච්චි චිත්තරපටියක් වෙන Planes, Trains and Automobiles කියන චිත්‍රපටිය වගේම අබග්ග අටෝරාසියකට මුහුණදීපු චාරිකාවක් වෙච්චි ඉන්දියාවේ කෝච්චි ගමන ගැන පසුව පොස්ට් කිහිපයකින් ලියනවාමයි.

කොහොමින් කොහොමින් හරි පලවෙනි රැකියාවේ උදෑසන කාර්යාලයට  වාර්තා කිරීමක් කියල දෙයක් නැති නිසාත් මට ලැබිච්ච රැකියාව රට  පුරා ඇවිදින රැකියාවක් වෙච්චි නිසාත් කොළඹින් පිට නොයන දවස්වල සහ කොළඹ කේන්ද්‍ර කරගෙන වැඩකරන දවස්වලදී ප්‍රධාන කාර්යාලටය වාර්තාකරන්න යන්න මම තෝරාගත්තු දුම්රිය සගයා තමයි රුහුණු කුමාරිය. හතයි තිහට අම්බලන්ගොඩින් පිටත්වෙන කෝච්චියේ එල්ලෙන්න මම නැගිටින්නේ උදේ හයයි හතලිස්පහත් පහුවෙලා නිසා බොහොමයක් දවස්වලට මගේ මෝටර් සයිකල් කටුව අපේ සිරාගේ ගෙදර ගාල් කරලා සිරාගේ ගෙදර ඉඳන් දුම්රියපොළ දක්වා පොලිසියෙන් එළවන් එන ගානට දුවන එක මම කරේ එහෙම දුවන එක ඇඟටත් හොඳ නිසා.. හැක්..

හැමදාම කෝච්චියේ එල්ලෙන්නේ අන්තිම තත්පරේ නිසා ටිකට් එක අරගෙන එන්ජිම ගාවම තියන පෙට්ටියේ එල්ලෙන එක තමයි ලේසිම පහසුම කටයුත්ත උනේ. විශේෂයක් නැතුවම අහම්බෙන්ම එල්ලෙන පෙට්ටියේ ගාර්ඩ් පෙට්ටිය ගාවම තියන පළවෙනිම ආසනයේ වාඩිවෙලා ගමන් පහසුව සලසගත්තු සුන්දර මිනිස්සු ටික අඳුනගන්න ලැබුනේ අන්න ඒ විදිහට අහම්බෙන්. 

නම් වලින් හඳුනවනවානම් රුහුණු කුමාරියේ සෙට් එකේ හිටපු උදවිය මෙහෙමයි. මහින්ද අයියා, විද්‍යාසේකර, උපාලි අයියා, ගාමිණි අයියා, දයාරත්න අයියා, ජගත් අයියා, සහ තවත් විශාල පිරිසක් හිටියත් අවුරුදු පහළොවකට එහා ගිය මතකයේ තියෙන නම් බොහොම ටිකයි. ගාල්ලෙන් එහා තියන තල්පේ කියන නගරයේ  පුරවැසියෙක් වෙච්චි මහින්ද අයියා වැඩකරේ කළුතර පොලිසියේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක් වෙච්චි මහින්ද අයිය, පොලිස් කාරයෙක් කියල හිතන්නවත් ඉඩක් නොතිබ්බ බොහොම සුන්දර නිහතමානි මනුස්සයෙක්. මෙතැනදී මහින්ද අයියා සුවිශේෂී වෙන්නේ පොලිස් කාරයෙක් නිසා නෙවෙයි, පොලිස් පාර්ට් නැති මහත්මා පොලිස් කාරයෙක් නිසා. කෝච්චියේ සෙට් එක එකතුවෙලා අවුරුද්දකට වතාවක් සංවිධානය කරන වාර්ෂික සාදය කිහිප වාරයක් තමුන්ගේ නිවසේ පවත්වන්න මහින්ද අයියා අපිට පූර්ණ අනුග්‍රහය දක්වපු මනුස්සයෙක්. 

අද වෙද්දී විශ්‍රාම සුවයෙන් පසුවෙන මහින්ද අයියා කරපු සුවිශේෂී වැඩක් තමයි මේ ලියන්න යන්නේ. ඔන්න මහින්ද අයිය හා හාපුරා කියල විවාහවෙන්න ලැස්ති වෙලා මීට අවුරුදු විසි පහකට තිහකට උඩදී. ඒ කාලේ හැටියට මංගල චායාරූපය ගන්න ස්ටුඩියක් වෙත යාම සාමාන්‍ය දෙයක් නිසා මහින්ද අයියා සහ මනමාලිය රැගත් මංගල රථය පිටත්වෙලා තල්පෙ ඉඳල ගාල්ලේ වෙස්ට්එන්ඩ් චායාරූප ශාලාවට එන්න. දෙයියනේ කියල මංගල රථය ගාල්ල ටවුම පහුකරනකොට මෙන්න බොලේ පාර අයිනේ හිටපු ගැහැණු මනුස්සයෙකුගේ කරේ තිබ්බ මාලයක් එකපාරටම කඩාගත්තු හොරෙක් සෙනග අතරින් දුවන්න ගත්තලු. මේක අහම්බෙන් දැකපු මහින්ද අයියට මනමාලිව සහ මගුල් ෆොටෝ එක අමතක වෙලා. මගුල් ඇඳුම පිටින්ම කාරෙකෙන් පැනගත්තු අපේ මහින්ද අයිය හොරා පස්සේ එලෝගෙන ගිහින්. හයේ හතරේ එකෙක් වෙච්චි අපේ මහින්ද අයිය හුඟ දුරක් එලෝලා කොහොමහරි හොරා අල්ලගෙන. පස්සේ මගුල් ෆොටෝ එක පැත්තකින් තියල ගාල්ලේ පොලිසියට ගිහින් හෝරාව පොලිසියට භාරදීලා තමයි අපේ මහින්ද අයිය ෆොටෝ ගහන්න වෙස්ට්එන්ඩ් ස්ටුඩියෝ එකට ගිහින් තියෙන්නේ. තමුන්ගේ මගුල් උත්සවේ පැත්තකින් තියල හොරු පස්සේ දුවපු මහින්ද යියගේ තිබ්බ සුවිශේෂී ස්භාවය තමයි "මම පොලිස් කාරයෙක් " කියල කිසිම කෙනෙකුට ඇඟවෙන්නේ නැති විදිහට සාමාන්‍ය ජනතාව වෙච්චි අපි එක්ක අසුරුකරපු එක. මගුල් කාරෙකෙන් පැනල දුවපු ස්වාමිපුරුෂයා රාජකාරි නිමවලා එනකල් ඉවසිල්ලෙ ඉන්න මහින්ද අයියගේ බිරින්දෑට කොහොම ඉවසීමක් තියෙන්න ඇතිද. අද කාලේ උනානම් මගුල එතැනින්ම හබක්. එත් අදකාලේ වගේ මාර්කටිං මීඩියා නොතිබුනත් මහින්ද අයියගේ ක්‍රියාව ඒ කාලේ පත්තරේ හිටන් ලොකු පිටුවක පලවෙලා තිබුන විස්තරේ මහින්ද අයිය අපිට පෙන්නුවේ ගෙදර පාර්ටියක් වෙලාවේ බොහොම අකමැත්තෙන්. මහපොළොවේ පය ගහගෙන මනුස්සකම ඉස්මුදුනේ තියන් රැකියාව කරපු මහින්ද අයියගේ දරු දෙන්නත් විශ්වවිද්‍යාල අද්යාපනයටත් ඇතුල්වුණා කිසිම අපහසුවකින් තොරවම.

රුහුණු කුමාරියේ තවත් සුවිශේෂී චරිතයක් උනේ අපේ උපාලි අයියා. එහෙම වෙන්න ලොකුම හේතුව උනේ එවකට ජනප්‍රියතාවයේ ඉහලින්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙච්චි උපුල් චන්දනගේ නිවසට ඉතාමත් ආසන්නයේ පදින්චිකාරයෙක් වීම. කළුතර නගරයේ රැකියාවක් කරපු උපාලි අයියට කෝච්චියේ නින්දක් නිදාගන්න දුන්නෙම නැති තරම් අපේ එවුන්. උපාලි අයිය යාන්තම් නින්දක් කිරා වැටෙනකොටම අපේ එවුන් උපාලි අයියගේ නින්ද කඩුවේ උපුල් චන්දනගේ විස්තර අහලයි.

උපුල් චන්දන ගෙදරද බන් මේ දවස්වල..

අනේ ටිකක් නිදාගන්න දියකො මට..

උපුල් ඊළඟ ටුවර් එක යනවද බන්..

අනේ උඹලගේ @#$%$^%@^$&%$#%@%

අන්තිමේ උපාලි අයිය ශුද්ද සිංහලෙන් අපේ එවුන්ට අමතල නින්ද සදහටම අමතක කරලා දානවා.

පත්තර වාර්තාකාරයෙක් වෙච්චි විද්‍යාසේකර මට දීපු ලොකුම පරිප්පුව නම් අපේ කෝච්චි සගයෙක් වෙච්චි ජගාගේ මගුල් ගෙදර වේලේ මොකක්දෝ මගුලක් මගේ වාහනේ ඇතුලේ අමතක වෙලා දාල ඇවිත් කියාගෙන මගෙන් වාහනේ යතුර ඉල්ලගෙන බමන මතින් වාහනය හොයාගෙන ගිහින් ආපහු ආවේ මම දීපු සම්පූර්ණ යතුර කෑලි දෙකකට කඩාගෙන වීම. 

අන්තිමේ මගුල් ගෙදර ආතල් සියල්ලම අමතක කරලා මට සිද්ද උනා දුකට සැපට දෙකටම කිසිම ලෝභකමක් නැතුව වාහනේ ඉල්ලපු ගමන් දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැකියාව කරන අපේ හිතවත් දයාරත්න අයියගේ වෑන් එක ඉල්ලගෙන ගෙදර ගිහින් ඩුප්ලිකේට් යතුර අරන් එන්න. 

ඉහත කිව්ව මගුල් ගෙදර මනමාලයා වෙච්චි අපේ ජගා තමයි මල්වත්ත පාරෙන් මැලිබන් වීදියට හැරෙනකොටම තිබ්බ ඔරලෝසු කඩේ කරගෙන ගියේ. පසුකාලෙක ඔරලෝසු බිස්නස් එකට ආයුබෝවන් කියපු අපේ ජගා දැන් එතනම උඩ තට්ටුවේ රබර් සීල් බිස්නස් එකක් කරගෙන පාඩුවේ ජීවත්වෙන මනුස්සයෙක්. රුහුණු කුමාරියේ යන එන උදවියගේ ඔරලෝසු කැඩුන ගමන් කෝච්චිය දිගේ පලවෙනි පෙට්ටියට ඇවිත් ජගාට ඔරලෝසුව භාරදෙන එක තමයි හුඟක් උදවිය කරේ. 

රුහුණු කුමාරිය කොයිතරම් මට සමීපද කියනවනම් මේක කියවන උදවිය විශ්වාස කරන එකක් නැහැ ඉස්ටේෂන් එකෙන් අදින කෝච්චිය සිග්නල් කනුව පහු කරලා නවත්තල මාව නග්ගගෙන තියෙනව එක වතාවක්. එහෙම වෙන්න හේතුව වෙන්න ඇත්තේ හැමදාමත් වගේ බෑග් එක උස්සගෙන කෝච්චිය ඉස්සරහට මම දුවගෙන එන දර්ශනය රියදුරු මහතුන්ට සුලභ දෙයක් වෙච්චි නිසා වෙන්න ඇති. ඒ කාලේ මම රැකියාව කරේ පුද්ගලික ආයතනයක නිසා සීසන් තිබ්බේ නැති උනාට දෙපාරක් හිතන්නේ නැතුව ටිකට් නැතුවම කෝච්චියට නගින්නේ අලුත්ගමින් ගොඩවෙන නුහාස් මිත්‍රයට කෝල් එකක් දීල ටිකට් එකක් ගන්න ක්‍රමවේදය නිතර අත්හදා බැලුන නිසා. 

කෝච්චිය ගාල්ල පැත්තෙන් ඉස්ටේෂන් එකට සෙන්දුවෙන වෙලාවටම මේ පැත්තේ කොනෙන් වේදිකාවට ගොඩවෙන මට ටිකට් ගන්න වෙලාවක් කොයින්ද ඉතින්. ටික කාලයක් රැකියාව කරගෙන යමින් ගමන් කොම්පැනියේ තිබ්බ වෙකන්සියකට මගේ පාසල් ගජයා වෙච්චි සමන්තයාවත් එල්ලගතපු නිසා සමන්තයත් රුහුණු කුමාරියේ සාමාජිකයෙක් උනා. ඊට ටික කාලෙකට පස්සේ ඒ කියන්නේ එක්දහස් නවසිය අනූ අටේ වගේ කාලේ සුදු සාරියක් ඇඳගෙන කොස්ගොඩින් රුහුණු කුමාරියට ගොඩවෙච්චි ගෑනු දරුවෙක් අද වෙද්දී දරු දෙන්නෙකුගේ අම්මෙක් කරේ අපේ සමා තමා. නෑ...නෑ... හොරෙන් අරන් ගිහින් නෙවෙයි ජයට මගුලක් අරගෙනයි වැඩේ සිද්දවුනේ. සමාගේ වෙඩිමේ දෙපාර්ශවයම නියෝජනය කරපු පිරිස වුනේ රුහුණු කුමාරියේ මිතුරු පිරිසයි. 

රැකියාව වෙනස්වීමත් එක්කම සමුද්‍රදෙවියේ සාමාජිකත්වය ලැබෙන්නේ මගේ ලොකු තාත්තගේ පුතණ්ඩියා සමුද්‍රදෙවියේ සාමාජිකයෙක් වෙච්චි නිසයි. රුහුණු කුමාරියේ හිටියේ එකා වගේ හදවත් තිබ්බ මිනිස්සු උනාට සමුද්‍රදෙවියේ ඊට ටිකක් වෙනස්. 

බවලත් උදවිය ගෑවිච්ච තැන්වල ටිකක් විතර අවුල් වියවුල් තියෙන එක සාමාන්‍ය දෙයක් නිසා සමුද්‍රදෙවියේ කට්ටියත් උඩින් එකා වගේ උනාට යටින් පිල් බෙදිලා ඉන්න උදවිය කියල දැනගන්නකොට ටික කාලයක් ගිහින්. උදේට කොළඹ රැකියාවට යන උදවිය අතරේ සමුද්‍රදෙවියේ සීට් එකේ සුවිශේෂී චරිතයක් වෙච්චි බෙන්තරින් කෝච්චියට ගොඩවෙන මඩම් කෙනෙක් තමයි මේ කියන සීට් එකේ නිල නොලත් පාලකයා වුනේ. කටුබැද්දේ ටෙක්නිකල් එකේ වගේම ජර්මන් ටෙක් එකේ ඉගෙනගන්න කොල්ලන් ටිකක් භය කරගෙන හිටපු මේ නෝනා, බෙන්තරින් කෝච්චියට නැගපු ගමන්, ජනේලය අයිනේ වාඩිවෙලා ඉන්න කෙනා ගරු සරුව නැගිටලා ආසනය ඒම මැතිනියට ප්‍රධානය කිරීම තමයි සම්ප්‍රධාය වෙලා තිබුනේ. එතැන් සිට පිටකොටුව දක්වා සමුද්‍රදේවී දුම්රිය කිහිල්ලේ ගහගෙන යන මේ නෝනාට ඔය කියන කොල්ලන් කුරුට්ටන් අම්මමෝ නැතුව භයයි කියමුකෝ. 

දැන් වෙද්දී රෝයල් සෙරමික් එකේ සැලකියයුතු තනතුරක් දරන අපේ හේමිකත්, ඇඟලුම් පැත්තෙන් ලොකු නමක් තියන් ඉන්න ඇමෙරිකන් කොම්පැනියක ලොක්කෙක් වෙච්චි කළුතරින් සමුද්‍රදෙවියට ගොඩවුන ජගත් අයියටත්, මටත් මේ බෙන්තර නෝනගේ ක්‍රියාකලාපය ඇල්ලුවේ නැත්තෙ අපි තුන්දෙනාම ටිකක් විතර සම්ප්‍රධාය බිඳගෙන යන මනුස්සකම් වෙනුවෙන් බෙල්ල උනත් ගලවල දෙන එවුන් වෙච්චි නිසා. මේ කියන බෙන්තර නෝනත් අපි තුන්දෙනාට ඒ තරම් කැමැත්තක් දැක්වුවේ නැත්තෙ කලින් කිව්ව ජනේලය අයිනේ ආසනය බලෙන් ලබාගැනීමේ ක්‍රියාවලියට අපි තුන්දෙනා කිසිම සහයෝගයක් දක්වපු නැති නිසයි.

හවසට මරදානෙන් කෝච්චියට නගින අපේ එකෙක් බෙන්තර නෝනාට ජනේලය අසල ආසනය වෙන්කරගැනීමට උත්සහකිරීමේ ප්‍රතිපලයක් විදිහට ගැහැණු කෙනෙක් එක්ක පොඩි කතාවක් ඇති වෙලා පිරිස් බලය වැඩි අපේ එවුන්ට ජයග්‍රහණය දීල ඒම කාන්තාවත් ඒම කාන්තාවගේ ස්වාමි පුරුෂයාත් පසුබැස යාම. ඊට පහුවදා හවස කොල්ලු පිටියෙන් සමුද්‍රදෙවියට නැගපු ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් අපේ එකාට ඉදිමෙන්න  නෙලල බම්බලපිටියෙන් බැහැල ගියේ බෙන්තර නෝනාගේ වින්ඩෝ සීට් ආසාවට පින්සිද්ද වෙන්නයි. ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති කෝච්චි පෙට්ටියේ ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත්තු ගමන් සියලු මගීන් ඈත් වෙලා හොඳින් ඉඩ පහසුව සලසල දීල තිබුන අත දිග ඇරලා හයේ හතරේ එව්වා ගහන්න. විකට් කූරු දෙකට කැඩෙනකල් අපේ එකාට නෙලපු ක්‍රිකට් කණ්ඩායමට ගේම ඉල්ලන්න අපේ හෙමික විතරක් උත්සහ කරාට වැඩක් වෙලා තිබුනේ නැහැ. එදා මම බම්බලපිටියෙන් නගිද්දී අපිවත් පෙරලගෙන කෝච්චියෙන් බැහැපු කොල්ලෝ සෙට් එක මේ බහින්නේ අපේ එකෙකුට නැති වෙන්නම නෙලල කියන්න දන්නේ කෝච්චියට නැගල සීට් එක පැත්තට ඇදිල ගියායින් පස්සෙයි.

සමුද්‍රදේවියේ අපි ගියපු කාලේ තිබ්බ අනියත බෝම්බ බිය නිසා කිහිප වතාවක් අපිට සිද්ද උනා අහුවෙච්චි තැන් වලින් කෝච්චියෙන් පැනලා ජීවිත ආරක්සාව සලසගන්න. එහෙව් හවස් වෙලාවක රත්මලාන ආසන්නයේ බෝම්බ බයකින් කෝච්චිය නවත්තපු දවසක තමයි අපේ සෙට් එකේ හිටපු තඩිම තඩි අක්කියෙක් අපේ එකෙකුගේ පිට මැද්දාවට එල්ලය අල්ලලා කෝච්චියේ ජනේලෙන් පොලොව වෙත එන්නට පිටත් උනේ. අපේ එකාගේ කොන්දට මාස කීපයක් බෙහෙත් බඳින්න උනා අපේ චූටි අක්කිව බිමට ලෑන්ඩ් වෙන්න නොදී පිට කොන්ද මැදට ලෑන්ඩ් කරවගත්තට.

බෙන්තර මඩම් පොඩි එවුන් භයකරගෙන කරන් යන ආසන මංකොල්ලයට එරෙහිව සංවිධානයවුනු හේමිකත් මමත්, ජගත් අයියාත් බෙන්තර මඩම්ව හිටගෙනම කොළඹටම යවන එක මාස කීපයක් ලෙසටම කරගෙන යන්න සමත් උනා. එත් බෙන්තර නෝනාට වැඩි කාලයක් හිටගෙන යන්න උනේ නැත්තෙ හේමික කොළඹ බෝඩින් වීමත්, මට උදෑසන තැපැල් දුම්රියට මාරුවීමට සිදුවීමත් , ජගත් අයියා කොළඹ පදිංචියට යාමත් හේතුවෙන්. අද උනත් බෙන්තර මැඩම්ට අපිව දැක්කාම නයාට අදුකොල වගේ.

සේවයට වාර්තා කිරීමේ වෙලාව උදෑසන අටයි තිහ වෙනුවට හතයි හතළිස්පහ වෙච්චි නිසා සමුද්‍රදෙවියට ආයුබෝවන් කියන්න සිද්දවුනේ වෙන කරන්න දෙයක් නැති නිසා. උදෑසන තැපැල් දුම්රිය සහ සමුද්‍රදේවිය අතර කාලයේ අපි "වෙඩිල්ල " නමින් හඳුන්වපු පවර් සෙට් එක කොළඹ බලා පිටත් උනත් රජයෙන් ලැබෙන සීසන් එකේ පිහිටෙන් නියමිත වෙලාවට රැකියාවට වාර්තා කරන්නනම් මට තිබ්බ එකම විකල්පය උදෑසන තැපැල් දුම්රියම පමණයි. තැපෑලට උදේට හතරයි හතලිහට ගොඩ වෙද්දී සඳුදා ඇරුනාම සෙනග ඇත්තෙම නැති තරම්. තැපෑල වැඩි හරියක්ම ධාවනයේ යෙදෙන්නේ කළුවර වැටුනායින් පස්සේ නිසාත්  තැපැල් දුම්රිය සාමාජිකයින් නිරන්තරයෙන් උත්සහ කරේ නිදාගන්න නිසාත්  තැපැල් දුම්රියේ පෙට්ටි වල විදුලි බල්බ් වැඩි හරියක් තිබුනේ නැහැ. තිබුනානම් එව්වත් පැත්තට කොලයක් වගේ දෙයකින් ආවරණය කරලයි තිබුනේ.

උදේට තැපැල් දුම්රියේ ගමන් ගන්නා මගීන් ගෙදරින් පිටත් වෙද්දී අමතක නොකරම අරන් යන දේ තමයි පරණ  පත්තර පිටුවක් දෙකක්. ඒ පත්තර පිටුව දෙක තමයි මගීන්ට පිහිට වෙන්නේ තමුන් වාඩිවෙන ආසනය පිරිසිදු කරගන්න. අපේ දුම්රිය සේවයේ ආසන පිරිසිදු කෙරීමක් තිබ්බද නැත්ද කියන එක කෙසේ වෙතත් සීට් වල තියන තට්ටු ගණන් දුවිලි පිහදාන්නේ නැතුව වාඩි වුනොත් ඇඳන් ඉන්න ඇඳුම සුනේ සුං. පාලු මූසල කලුවරක් එක්ක ධාවනය වෙන තැපැල් දුම්රියේ යන එන එවුන් අඳුනගන්න නම් කළුතර පහුකරනකල් ඉන්නම වෙනවා. මොකද තැපැල් දුම්රියට ඉර පායන්නේ කළුතර පහු උනායින් පස්සේ නිසයි. අලුත්ගමට වෙනකම් කෝච්චියේ සීට් එකේ හරහට නිදාගන්න මගීන් අලුත්ගමින් පස්සේ ඉස්සරහ ආසනයේ කකුල් දෙක තියාගෙන තමයි නිදාගන්නේ. එත් කළුතර ලං වෙද්දී සීට් ගානට මගීන්ගෙන් පිරෙන නිසා කකුල් දෙකත් අකුලගන්නා නිදි ගුල්ලන් නින්ද අඛණ්ඩව කරගෙන යද්දී කොළඹ ලන්කරන තැපැල් දුම්රිය මගීන්ගෙන් පිරිලා ඉතිරිලා ඉවරයි. මාතර සිට මරදාන දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වන තැපෑල කොළඹ එන්නේ නිකම් නෑවිත් බැරිකමට වගේ.

ආණ්ඩුවෙන් සහන මිලට ලැබෙන දෙවැනි පන්තියේ සීසන් කටුවට පින්සිද්ද වෙන්න සාගරිකා දුම්රියේ කට කපල නින්දක් දාගෙන එද්දී දැනෙන සනීපෙ නම් කියන්න වචන නැහැ. එත් උදේ තැපැල් දුම්රියේ යාම කොරන්නම බැරි තැන විකල්පයක් විදිහට උදේ පහයි විස්සට  අම්බලන්ගොඩින් පිටත්වෙන ඒසී බසයෙන් ගමන් පහසුව සලසගන්න මට සිද්ද වුනේ උදේ හතරට නැගිටින එක කරන්න බැරිම තැනයි. රස්සාවට නොගිහින් ඉඳල ගෙදරින් කුණු කතා අහන්න බැරිම නිසා අතේ පාඩුවට රස්සාව කරගෙන යන්න මට සිද්දවුනේ උදේට ඒසී බසයටත් , හවසට සාගරිකා දුම්රියේ  දෙවැනි පන්තියේ සීසන් පතටත් මගේ පඩියෙන් ලොකු මුදලක් වියදම් වුනු නිසා.

රැකියාව අවසන් වෙලා සාගරිකා දුම්රියට ගොඩවෙන්න දුවගෙන එන විදිහ ගැන විස්තරය ත්‍රයිලෝක සුවය සහ අපේ සිරා පොස්ට් එකේ ලියවෙච්චි නිසා සාගරිකා දුම්රියේ විස්තරය ආයෙත් ලියන්න ඕන වෙන එකක් නැහැ.

පොස්ට් එක අවසාන කරන්න හිතාගෙන උන්නු සිද්දියට අවතීරණ වෙන්න තලපු පඳුරු ප්‍රමාණය වැඩිද මන්ද. ඔන්න ඔහොම උදේට ඒසී බස් එකෙත් හවසට සාගරිකා දුම්රියේත් යාම් ඊම් කරගෙන ගියපු මගේ ගමන් සැලසුම් වෙනස් වෙන්න ගත්තේ අම්බලන්ගොඩින් ධාවනය වෙන ඒසී බස් වල කාල සටහන් වෙනස් කිරීමත් එක්කයි. වෙනදට එකම බසය එකම වෙලාවට ගියත් අලුත් ක්‍රමේ එක්ක කාල සටහනට ධාවනය වෙන බස් රථය වෙනස් උනා. එහෙම උනාම තිබ්බ අවාසිය තමයි වයස අසූව අනූව වෙච්චි ආචිලා සීයලා අටමස්තානේ පෙන්නන්න එක්කයන තාලෙට කොළඹ යන රියදුරන් ඉන්න බසුත් ඉඳලා හිටලා උදෑසන ධාවනයට එකතුවීම. එහෙම ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න බස් එකක නැග්ග කියන්නේ උදේ නවය වෙද්දීත්  ඔෆිස් එකට යන්න වෙන්නේ නැති කරුමයක්. සමහර ඒසී බස් පිටත් උනේ සීට් ගානට ලෝර්ඩ් වෙනකම් ඉඳල නිසා කොන්දොස්තරගෙන් පිටත්වෙන වෙලාව අහල බස් එකේ නගින එක තමයි කරගෙන ගියේ. ඔන්න ඔය අතරේ දවසක උදේ පහයි කාල වෙද්දී ටවුමට ආපු මම දැක්කේ කොළඹ යන්න සූදානමින් තිබ්බ ඒසී බස් එකක්.

මල්ලි කීයටද යන්නේ..

ලෝර්ඩ් උනාම යන්නෙ.. කොළඹේ...කොළඹේ...කොළඹේ..

එහෙම ගිහින් වෙලාවට යන්න බැරි නිසා ගාල පැත්තෙන් ආපු ඒසී බස් එකකට අත දැම්මේ හිටගෙන හරි ගිහින් වෙලාවට සේවයට වාර්තා කරන්න ඕන නිසා.

මම අත දැම්ම නිසා නවත්තපු බස් එකට මම එල්ලෙන්න යනකොටම අම්බලන්ගොඩින් පිටත්වෙන්න නියමිත බස් එකේ කොන්දොස්තර දුවල ගිහින් ගාල්ල බස් එකේ දොර අහුරලා ගාල්ල  කොන්දොස්තරට ලොකු පාර්ට් එකෙක් දාල තර්ජනය කරා කියහන්කෝ. කොන්දගේ ලොකු සයිස් එකේ බය වෙච්චි ගාල්ල බස් එක මාව නොගෙනම පිටත් උනා. වැඩේට කොන්දව කන්න කේන්ති උනත් උදේ පාන්දර ගහමරාගන්න බැරි නිසා ඊළඟ බස් එක එනකල් ආයෙත් ගාල්ල  පැත්ත හැරිලා බලන් ඉන්නකොට තමයි දැක්කේ දෙනියායේ ඉඳන් කොළඹ යන "සමන් එලිය" බස් එක වේගෙන් එන හැටි. අවුරුදු ගානක අත්දැකීමෙන් වෙලාවට යන සහ වෙලාවට නොයන බස් ගැන දන්නා නිසා "සමන් එලිය " බස් එක දැක්කාම මේකේ කොහොමහරි එල්ලෙන්න ඕන කියන අදහසින් බස් එකට අත දාගෙනම මම පාරට ආව. බස් එක නවත්වනවාත් එක්කම මම බස් එකේ දොරේ එල්ලුනා සමගාමීව අම්බලන්ගොඩ බස් එකේ කොන්දොස්තරද කලින් පාර්ට් එකම දාගෙන "සමන් එලිය " බස් එකට ලං උනා කියමුකෝ. මාව බස් එකට ගන්න එපා කියාගෙන බස් එකට ලන්වුනු කොන්දොස්තර කොල්ලා පාරෙ කාණුවට විසික් වෙන්න සුපිරි පයින් පාරක් ගහන්න මට පුළුවන් උනේ බස් එකේ තිබ්බ යකඩ පොල්ල හොඳින් අල්ලගත්තයින් පස්සෙයි. කොන්දා පාර අයිනට විසික් වෙනවත් එක්කම බස් එක ඇදපු සමන් එලිය රියදුරා මාව වෙලාවටත් කලින් බම්බලපිටියෙන් බැස්සුවා කිසිම ප්‍රශ්නයක් නැතුව.

හිතේ තිබ්බ කේන්තියට කොල්ලට පයින් ඇන්නට කරපු වැඩේ බරපතලකම මට දැනෙන්න ගත්තේ පහුවදා උදේ වැඩට යන්න එද්දියි. මගෙන් ගුටි කාපු කොන්දා වෙනද වෙලාවටම ටවුමේ හිටියොත් වියහැකි අබග්ගය ඉවෙන් වගේ දැනුන නිසා ඔන්න ඔහේ අද කෝච්චියේම යනවා කියල හිතාගෙන බස් නැවතුමට නොගිහින් රේල් පාර දිගේම දුම්රියපොළට සේන්දු උනේ " වෙඩිල්ලේ " කොළඹ යන අදහසින්. මේ කියන දුම්රියට වෙඩිල්ල කිව්වේ ඒ දුම්රියේ වේගය නිසා. පවර් සෙට් දෙකක් එකට අමුනල දුවන මේ කෝච්චියේ එංජින් දෙකක් නිසාද මන්ද ඉස්ටේෂන් එකෙන් පිටත්වෙන්නේ හිතාගන්න බැරි වේගයකින්. මේ කියන වෙඩිල්ලේ තිබ්බ වෙනස තමයි සාමාන්‍ය පවර් සෙට් එකේ තියන මුනට මුණ බලාගෙන යන වර්ගයේ ප්ලාස්ටික් ආසන වලින් සමන්විත වීමයි.




කෝච්චියේ යන එන අය දන්නවා ඇති අපේ බවලත් උදවිය කෝච්චියට ගොඩවෙච්චි ගමන් වාඩිවෙලා ඉන්න කෙනෙකුගේ  කකුල එහාට කරලා සීට් එකේ අයිනෙන් සක්කයක් ගහගෙන වාඩිවෙන්න හරිම දක්ෂයි කියල. බලහත්කාරයෙන් කකුලෙන් ටිකක් තල්ලු කරලා අයිනෙන් වාඩිවෙලා විනාඩි දහයක් පහළොවක් යද්දී සීට් එකේ ටිකෙන් ටික පස්සට තල්ලු වෙලා හොඳින් හරිබරි ගැහිලා වාඩි වෙන සාස්තරේ මැනවින් ප්‍රගුණ කරපු උදවිය තමයි අපේ කෝච්චි වල ගමන්කරන බවලත් පිරිස.

මේ කියන වෙඩිල්ලේ කොළඹ යන්න හිතාගෙන ඉස්ටේෂන් එකට ආපු මම දැක්කේ සමුද්‍රදෙවියේ සගයෙක් වෙච්චි අපේ නිශාන් ගොයියත් කොහේදෝ අහේතුවකට වෙඩිල්ලේ කොළඹ යන්න ඇවිත් කියල.

මොකෝ බන් අද මේකේ..

අද ටිකක් කලින් යන්න ඕන බන්.. උඹ මොකෝ අද මේකේ..

අද බස් එක මිස් උනා බන්.. ඔන්න ඔහේ මේකේ යන්න ආව.. (ඊයේ උදේ කොන්දෙකුට පයින් ඇන්නා කියන්න මගේ දිව නැමුණේ නැහැ කියමුකෝ )

ඔන්න අපි දෙන්න කයියක් දාගෙන ඉද්දි වෙඩිල්ල, වෙඩිල්ල වගේ ගාල්ල පැත්තෙන් ඇවිත් ඉස්ටෙෂන් එකේ නැවැත්තුව. අපි දෙන්නත් වෙඩිල්ලේ නැගල එක ලඟින් වාඩි උනා එක්කම වෙඩිල්ල වෙඩිල්ලක් වගේ කොළඹ යන්න පිටත් උනා. ටික වෙලාවක් කයිය දාගෙන හිටපු අපි දෙන්නත් අනික් මගීන් වගේම කුකුල් නින්දකට වැටුනේ පුරුද්දට වගේ..

එකපාරටම මට නින්දෙන් උඩ ගිහින් ඇහැරුනේ අපේ නිශාන් කෝච්චියේ සද්දෙටත් වඩා උස් හඬින් " බුදු අම්මෝ " කියල කෑගහන සද්දෙට ....

මොකක්ද   %$#@&^යේ  ඒ කරේ ..

අනේ සොරි සොරි වැරදීමක්..

වැරදීමක්.. වැරදීමක්.. තෝ දැනගනින් මම තෝව මරනවා බැල්ලි..

අනේ ඉතින් මම කිව්වනේ මට වැරදීමක් උනේ කියල..

තොගේ ඇස් පොට්ට වෙලාද යකෝ.. මෙච්චර ලයිට් දාල තියන කෝච්චියේ..

අනේ ඉතින් මම කිව්වනේ වැරදීමක් උනේ කියල..

තෝ මට කරපු දේ කරපන් ගිහින් තොගේ මිනිහට..

අපි උදේ පාන්දර නැගිටලා උයල උයල එන්නේ.. අපිට වැරදීමක් උනාම ඔහොම බනින එක හරිද.. ඉහි...ඉහි...ඉහි..

ඉතිං තෝ මට උයලද යකෝ.. තෝ උයපු එකෙකුගේ කකුල් දෙක පළල් කරලා ඉන්දගනින් ගිහින් ..

නින්දෙ හිටපු ඔක්කොම මිනිස්සු අවදි වෙලා ඇස් ලොකු කරගෙන බලන් ඉන්නවා.. ගෑනු කෙනෙක් බිම වැටිල අඬනව.. නිශාන් යකෙක් වගේ කේන්තියෙන් ශුද්ද සිංහල කියවනවා.. වැඩේ හොඳටෝම අප්සෙට් තාලයක් නිසා මම නිශාන්ව පොඩ්ඩක් අල්ලගත්තේ මූ මේ ගැනිට පයින් අනීවිද කියන භයට..

මොකද මචන් උනේ..

බලහං බන් මේ ^%$%% කරපු #@ වැඩේ..

හරි ඉතින් කියහන් මොකක්ද මේ අහිංසක මනුස්සය උඹට කරපු වරද..

අහිංසක.. අනේ උඹ දන්න අහිංසක.. මරන්න වටින්නේ මේ #@##% කරපු වැඩේට..

හරි ඉතින් කියහන්කෝ මොකක්ද උනේ කියල..

මම නින්දෙ බන් හිටියේ.. එක පාරටම මගේ කකුල් දෙක දෙපැත්තට පළල් කරලා මේ @#$  මගේ #$%$@  උඩින් වාඩි උනා බන්.. මං හිතුවේ කකුල් දෙක මැදින් දෙකට ඉරුණ කියල ..

හුටා..

යන්තම් සන්තම් නිශානයා කූල් ඩවුන් කරගත්තයින් පස්සේ බිම වැටිල හිටපු කාන්තාවටත් අසල හිටපු කෙනෙක් ආසනයක් දුන්නු නිසා ආරවුල එතනින් විසඳුනා.

ඇත්තටම වෙලා තිබුනේ වැරදීමක් . අර කාන්තාව බලෙන් කකුල් එහාට කරලා වාඩිවෙන තාක්ෂනය උපයෝගී කරගෙන ආක්‍රමණය කරන්න ලැස්ති වෙලා තියෙන්නේ අපි දෙන්න හිටපු සීට් එක කියහන්කෝ. තිබ්බ කලබලේට  මගෙයි නිශාන්ගෙයි කකුල් වෙනුවට ගැහැණු කෙනා බලෙන් තල්ලු කරලා දෙපැත්තට පළල් කරලා තියෙන්නේ අපේ නිශාන්ගේම කකුල් දෙක. සනීපෙට නිදාගෙන ඉද්දි නිදහසේ තියන කකුල් දෙක දෙපැත්තට පළල වෙලා නින්දෙන් ඇහැරෙද්දි තමයි අපේ නිශාන් ගැහැණු කෙනාව තල්ලු කරලා දාල තියෙන්නේ. අසූ හාරදාහටම මල පැන්න නිශාන් ඒ ගැහැණු කෙනාගේ බෙල්ල මිරිකන්නේ නැතුව ඉතුරු කරපු එක තමයි පුදුමේ.