Saturday, November 5, 2022

රෝමියෝ ජූලියට් මැරතන් වර්ෂන්...





 ඕං එක්තරා කාලෙක සිකුරාදා දවසක රෑ හතහමාරට  විතර මංතුමාගෙ ගෙදර ගේට්ටුව ලඟ වාහනයක් හෝර්න් කරනවා පලාතෙම නිවැසියන්ට භාධා කරගෙන. මංතුමා ඉතිං හවස් අතේ ගෙදර ඉන්නෙත් බොහොමත් කලාතුරකින් නිසා  ඒ හෝර්න් සද්දෙ නොසලකා හරිනවා ඒක මෙයැයිගෙ ගෙදරට වෙන්ට බෑ කියලා හිතාන.. ඒත් කියහංකෝ අර කිව්ව වාහනේ හෝර්න් සද්දෙ ඉවරයක් නෑ.. මංතුමා ඉතිං ගෙදර ඉන්නවනම් ලේසි පාසුවට කාමරෙන් එලියට නේන ඩෑල් එකක් නිසා ඔන්නොහේ කියව කියවා හිටපු සර්ලොක් හෝම්ස්ගෙ කතාන්දරයක් කියවාගෙන පාඩුවේ ඉන්නව.. 

අන්න xxxxxx ඇවිල්ලා හොයනව... එහෙම කියන්නෙ කාමරේ දොර රෙද්දෙන් ඇතුලට එබෙන අපේ ඩඩා..

ඕං ඉතිං මංතුමා පොත පැත්තකින් තියලා ලැසි ගමනින් යනවා ගේට්ටුව ලඟට.. ඇයි යකඩෝ එන එකෙකුට වාහනේ නවත්තලා ගෙදරට එන්න බැරිද මං අහන්නෙ.. ගේට්ටුව ලඟට ගිහිං බැලින්නම් ඩඩා කියපු කතාව ඇත්ත තමා.. ඒ ඇවිල්ලා තියෙන්නෙ අපේ  යාලුවෙක් කියහංකෝ... වැඩේ කියන්නෙ එයැයි ඉන්නෙ වාහනේ පැසෙන්ජර් සීට් එකේ... ඩ්‍රයිවින් සීට් එකේ මොකෙක්වත් නෑ... මංතුමා ඉතිං කල්පනා කරනවා මූ නයිට් රයිඩර් සොෆ්ට්වෙයාර් එකවත් වාහනේට දාගෙනදෝ කියලා... 

නැගපං... 

මොකක්...

නැගපං යකෝ...

කොහේ යන්නද කියහංකෝ...

නැගපං බූරුවෝ කිව්වාම අහලා...

නම කියලාම නගින්න කියපු නිසා ඉතිං මෙයැයිත් වාහනේ පිටිපස්සෙ දොරෙන් නගින්ට හදනකොටම...

කොහෙද යකෝ නගින්නෙ... නැගහං බූරුවෝ  ඩ්‍රයිවින් සීට් එකට... 

නම කියලාම කියන නිසා ඉතිං නගින්නෙ නැතුවත් බෑනෙ... 

ඕං ඉතිං මංතුමාත් හනික ඩ්‍රයිවින් සීට් එකට නැගලා දොර වහගන්නව.. ඒ කාලෙ සීට් බෙල්ට් දාන්නෙ නෑ... දැං කාලෙ වගේ නෙවෙයි ඒ කාලෙ ජීවිතවල වටිනාකම අඩු හින්දා වෙන්ටෑ සීට් බෙල්ට් දැමීම අනිවාර්‍ය නෑ...

යමං...

කොහෙද...

ඉක්මනට යකෝ... යමං...

එහෙම කිව්වම ඉතිං මංතුමාට තේරුම් යනවා මූ නයිට් රයිඩර් සොෆ්ට්වෙයාර් එක දාලා නැතිය මුගේ හදිසියට ඇවිත් ගේට්ටුව ලඟ නවත්තපු ගමන් ඩ්‍රැයිවින් සීට් එකෙන් අනෙකට පැනලාය කියලා.. එහෙම ඉතිං යමං කිව්වට යන්න බෑනෙ ආයුබෝවන්ඩ... අපායට ගියත් යන තැන දැනගෙන යන එක නෙව ආරක්ශාවට හොඳ... අනෙක මේ ඇඳන් ඉන්න සරම පිටිං කොහේ කියලා යන්නද... එහාගෙදර ඩයින කොටේ පෝස්ට් එකේ ලිව්ව සීන් එකට පස්සෙ මංතුමා බයයි හිටිගමන් ඇවිත් නැගපං කියන වාහනවල නගින්න. ඇයි හත් ඉලව්වෙ ඇඳන් ඉන්න ඇඳුම පිටින් කොයි ලෝකෙ යන්න කතාකරනවද කියලා කවුරු දන්නවද...

යන්න කලින් කියහං යන්නෙ කොහේද කියලා.. අඩුම තරමේ පර්ස් එකයි ෆෝන් එකයිවත් අරගෙන එනකල් හිටහං... මට එන්න වෙන්නෙ බස් එකේද කියලා කව්ද දන්නෙ...

නෑ නෑ යකෝ.. මාව Xxxxx ගෙ ගේ ලඟින් දාල වරෙන්..... පොඩි දුරයිනේ.... මාව දාලා වාහනේ අරං වරෙං... 

මොකක්... 

ඉක්මනට යමං යකෝ...

ඕං ඉතිං මන්තුමා  එයැයිගෙ වාහනේ ඉස්සරහට පදවාගෙන යනව... 

බොලාගෙ ලව් වලට උදව් කරන්න ගිහිං මගේ බෙල්ල ගහලා යනවා කොයිවෙලේ හරි... එක්කෝ ගෙදර එවුන් කැමති කරගනින්... නැත්තං තනි කැමැත්තට බැඳගනින්... 

උඹ පැහෙන්නෙ නැතුව යමන්කෝ... මං කියන තැනින් මාව බස්සලා වාහනේ අරං ඇවිත් උඹලාගෙ වත්තට දාලා ගේට්ටුව ලොක් කරපං...

යකෝ උඹව බස්සන්න යනවට වඩා නඩුවක්නේ මේ නඩු භාන්ඩෙ අපේ මිදුලෙ තිබිලා උඹලාගෙ අම්මට අහුවෙන එක... මෙව්වයින් මගේ බත් කාර්ඩ් එකටත් කෙලවෙනවා බං...

උඹට ඒ පැහිච්චකම් වලින් වැඩක් නෑනෙ... මං කිව්වදේ කරහංකෝ... මං කෝල් එකක් දුන්නාම වාහෙන් ඇවිත් මාව ගනින්...

යාලු මිත්තරයෝ කිව්වාම ඉතිං බෙල්ල ගහලා ගියත් ඕනෑ උදව්වක් කරන එක මංතුමාගෙ ගතිය.. එයැයිලත් ඉතිං මෙයැයිට ඒ වගේම තමා... ඕං  ඒ කිව්ව විදිහට මංතුමා මේ ඇවිත් ඉන්න රෝමියෝව ජුලියට්ගෙ ගෙදර වැට මායිමෙන් බස්සලා ගෙදර එනව... මෙයැයිට කොච්චර උනත් වැඩේ ඇවුල් කියහංකෝ... අහල පහල ගවුම් අඳින කලිසම් අඳින CCTV සියල්ලම ජූලියට්ගේ ගෙදරට ෆෝකස් වෙලා තියෙන වාතාවරණයක් යටතේ ඒ වාහනේ ජූලියට්ගෙ ගෙදර වැට මායිමේ නවත්තලා රෝමියෝව බස්සලා ආයෙම අද්දන්නත් කලින් රෝමියෝගෙ ගෙදරට පනිවුඩේ යන එන සක්කරයගෙ පුතා වයිමාටවත් නවත්තන්න බෑ. ඒ යන පනිවුඩ යන්නෙ ඩ්‍රයිවින් සීට් එකේ හිටියේ මංතුමා කියන විශේශණයත් එක්කමයි කියන එකත් ඉතිං  ආයෙ අමුතුවෙන් හෝදන්න දෙයක් නෑ... රමා සීතා පලහිලව්ව කාලෙ හිටංම ලව් එකක් දැක්ක තැන කේලං කියන එවුන් ඉතිං ලංකාද්වීපයේ අඩුවක් නෑ. ඒ නිසා ඒ වගේ වාතාවරණයක් යටතේ තමුන්ගේ ආරක්ශාව තමුන් සලසාගැනීම හැරුනකොට වෙන විකල්පයක් නෑ... රෝමියෝ ජූලියට්ලා අඩ අඳුරේ රෝමාන්තික වෙලා ආදරයේ ඵල නෙලුවට එව්වයෙ ලෙලි ඇහිඳින්න වෙන්නෙ උදව් කරන එවුන්ට කියන එක ඉතිං  ආයෙ අමුතුවෙන්  ලියන්න කියන්න දෙයක් නෑ..

    මංතුමා ඉතිං කෝකටත් කියලා ගෙදර ඇවිත් ගෙට ගොඩවෙලා පර්ස් එකයි ෆෝන් එකයිත් අරගෙන රෝමියෝගෙ වාහනෙන්ම නැන්දලාගෙ ගෙදර යනවා... මොකද කියනවානම් රෝමියෝගෙ අස්ස කරත්තෙ මෙයැයිගෙ මිදුලේ තියාගන්න එක පට්ට නඩුවක් කියලා මංතුමාගෙ අක්මාව දන්නව... මං තුමාගෙයි රෝමියෝගෙයි යාලුකම් අද ඊයෙක එකක් නෙවෙයි නිසා, උන්නැහේගෙ අස්ස කරත්තෙ මිදුලෙ තියාගෙන ඉඳීමෙන් නගින්න වෙන නඩුව කුමනාකර එකක්ද කියලා මංතුමා දන්නෙ ඊට කලින් ඒ වගේම නඩු කීපයකට මංතුමා නැගලා තියෙන නිසා... රෝමියෝ ආදරයේ ඵල නෙලන්න වැට උඩින් පැන්නා කියලා උන්දෑගෙ ගෙදරට පනිවුඩේ ගිය හැටියේම ඉස්සෙල්ලම පොලිසියෙන් එන්නෙ මංතුමා හොයාගෙන කියනේක ආයෙ හෝදන්න දෙයක් නෑ...   උදව් කරන එක මංතුමාගෙ ගතිය උනාට  නඩුවට වග උත්තර බඳින්න යාම සරීර සෞක්‍යට ඒ තරම් ගුණදායක නෑ... එකම විකල්පය මංතුමා හොඳ බබා වගේ ගෙදර ඉන්න විදිහට මංතුමාගෙ වාහනේ පාරට පේන තැනකට වෙන්න වත්ත ඇතුලේ නවත්තලා රෝමියෝගෙ නඩු භාන්ඩයත් අරගෙන ගෙදරින් මාරුවීම විතරයි..

ඕං ඒ ආකාරයෙන් නැන්දලාගේ ගෙදර යන මංතුමා නැන්දලාගෙ ගෙදරින් බත් සුට්ටක් එහෙමත් කාලා නැන්දලගෙ ගෙදර කයියක් ගහගෙන ඉන්නව කියමුකෝ. නැන්දලාගෙ ගෙදර සිකුරාදා සෙනසුරාදා රෑ කියන්නෙ කතා සාගරයක්.. සතියෙ දවස් පහම රස්සාවල් කරන දෙවැනි පරම්පරාවෙ එවුන් පලවෙනි පරම්පරාව එක්ක සම්මුඛ වෙන්න සෙට් වෙන තැන තමයි නැන්දලාගෙ ගෙදර.. සිකුරාදා සෙනසුරාදා රෑ කියන්නෙ මෙයැයිගෙ පොඩි නැන්දා බුෆේ දාලා පරම්පරාවටම කන්න බොන්න දන්සැල දෙන දවස... ඩඩගෙ මහගෙදර වාසය කරන්නෙ නැන්දා නිසා ඒක ඉතිං උඩහමුල්ල ඩිපෝව වගේ කියහංකෝ... රට වටේම දුවන බස් රෑට උඩහමුල්ල ඩිපෝවට එන්නැහේ බහුතරයක් ඤාති වරිගයා සිකුරාදා සෙනසුරාදා රෑ නයිට් පාර්ක් ඉතිං නැන්දලාගෙ ගෙදර තමා.. කතා පෙට්ටි රෑ දෙක තුන වෙනකල් ඉතිං සක්‍රීයයි... කියන්න කතා එමටයි... අහන්න කතාත් එමටයි... 

ඕං රෑ දහයට විතර ජුලියට්ගෙ ගෙදර වැට ලඟින් බස්සපු රෝමියෝගෙන් කෝල් එකක් එනවා කියහංකෝ... ඒ කියන්නෙ ආදරයේ ඵල නෙලලා අවසානයි... දැං තියෙන්නෙ ලෙලි ඇහිඳින කෑල්ල .. ඕං ඉතිං මෙයැයිත් ෆෝන් එක ආන්සර් කරනව...

ඉක්මන්ට වරෙං... ඉක්මන්ට වරෙං... මාව ගනින්... ඉක්මනට වරෙං...

රෝමියෝ ගොයියා හති දාගෙන ෆෝන් එකෙන් බෙරිහං දෙනව...

ඉඳහං ඉතිං... විනාඩි පහක් දහයක් දියං මං එන්නං...

විනාඩියක්වත් මෙතැන ඉන්න බෑ යකෝ... මං උබලාගෙ ගෙවල්  පැත්තට දුවන්නද...

දුවන්නෙ මොකටද යකෝ... ඔහොම හිටහං....

ඉන්න බෑ යකෝ... අම්ම එනව මාව හොයාගෙන... කවද එකෙක් ගෙදරට කියල මං මෙහේ කියල..

මලා... 

ඔව් බං ඔව්... ඉක්මන්ට කියහං මං මොකද කරන්න ඕන...

ඕං බලහංකෝ... ගමන ගියේ එයයි... දැං මෙයැයිගෙන් අහනවා මොකද කරන්න ඕන කියලා... දැං දීපංකෝ උත්තර...

ඉක්මනට කියහංකෝ බූරුවෝ... මෙතන තව විනාඩියක්වත් ඉන්න බෑ... අම්ම ආවොත් මං සුං...

හරි එහෙනම් අහවල් පාරෙන් ඉස්සරහට වරෙං... මං එන්නං...

ඕං ඉතිං කියහංකෝ මේ නඩු එසේ මෙසේ එව්වා කියලද... යාන්තමට ශේප් එකේ තියාගෙන ඉන්න හොඳ ලමයා කාර්ඩ් එක කුඩු වෙනවනේ මෙව්වට කර තියන්න ගිහිං... දැං මේ ෆයිල් වෙන්න යන නඩුවේ හැටියට එයැයිගෙ වාහනේ ඩ්‍රයිව් කරගෙන එයැයි ගන්න යන එක   හරියටම කියනවනම්, ඉදිරියෙන් පොලිසියෙන් ඉන්න වග දැන දැනම හෙල්මට් නැතුව මෝටර් සයිකලයක් පැදගෙන යනවා වගේ වැඩක් ... මෙයැයිත් ඉතිං ටිකක් විතර ඒ වගේ වෙලාවට තමුන්ගෙ ආරක්ශාව ගැන සැලකිලිමත්... බූරු ගහලා පොලිසියට අහුවුනාට කමක් නෑ කියහංකෝ.. ඒත් බූරුපොලට එකෙක් බස්සන්න ගිහිල්ලා පොලිසියට අහුවෙන එක කොයිනම් අපරාදයක්ද...

මංතුමා රෝමියෝගෙ අස්ස කරත්තෙ එහෙමම නැන්දලාගෙ ගෙදර තියෙද්දි රෝමියෝව ගන්න යන්නෙ බාප්පගෙ ඩබල් කැබ් එකේ.. රෝමියෝගෙ අස්ස කරත්තෙ මුලු ගමම අන්දුනන එකේ, මංතුමාගෙ වාහනෙත් මුලු ගමම අඳුනන එකේ, ඒ වගේ ගමනක් යන්න ඕන මොකෙක්වත් අඳුරන්නෙ නැති වාහනේක. බාප්පත් සුන්දර සිකුරාදා රාත්‍රියක් ගතකරන්න නැන්දලහ ඇවිල්ලා හිටපු එකේ වාසිය මංතුමාට. 

මංතුමා බාප්පගෙ ඩබල් කැබ් එක අරගෙන එයායිට එන්න කිව්ව පාර තියන ඉසව්වට රෑ අඳුර කපාගෙන  ඉගිලෙනව... කොච්චර උනත් ඉතිං යාලුවෙක්නේ ආයුබෝවන්ඩ. බේරගන්න පුලුවන්කම තියෙද්දි සාටර් වෙන්න දෙන එක යුතු නෑනෙ... රෑ දහයට  විතර පාරවල් දෙබෑ කරගෙන අතුරු පාරවල් වලින් දාගෙන මෙයැයි යනවා මයිකල් ශූමාකර්ටත් වඩා වේගෙන්. රෝමියෝට අම්මා එන පාර මගෑරලා  එන්න කිව්ව පාර තනිකරම කන්දක්... බාප්පොච්චිගෙ ඩබල් කැබ් එක කන්ද පල්ලෙහාට යනවා නෙවෙයි විදිනවා කිව්වොත් තමා හරි... ටයර් සිරි සිරි ගාගෙන වන්ගුව කෙලින් කරනකොටම මේං අප්පේ අපේ රෝමියෝ කන්ද උඩට දෙනව රන් එකක් උසේන් බෝල්ට් කැලේ... උසේන් බෝල්ට් වගේ උනාට පොඩ්ඩක් වෙනස්... මොකද කියනවනම් රෝමියෝගෙ දිව බුරිය ගාවට ඇදිලා කියහංකෝ... සීන් එක මතක් වෙද්දි මේ ලියන වෙලාවෙත් ඉල ඇදෙන්න හිනා... 

ඉස්කෝලෙන් එලිය ආවයින් පස්සෙ මීටර් සීයක්වත් පයින් නොගිය කඳ බඩ මහත හාදයෙක් මීටර් සීයේ වේගෙන් කිලෝමීටර භාගයක් විතර කදු සහිත පාරක දුවනකොට දැනෙන ෆීලින්ග් එක විඳින්න එක්කො දුවලා බලන්න ඕන..නැත්තං ඒ වගේ එකෙක් දුවන්වා දකින්න ඕන... දර්ශණය මනස්කාන්තයි... කන්ද අංශක හතලිස්පහක විතර කෝනයක එකක් නිසා රෝමියෝගෙ දිව බිම ගෑවෙන්න ඔන්න මෙන්න... නයා පිඹින්නැහේ පිඹිනවා පිඹිල්ලක් ලෝකවාසී අනික් මිනිස්සුන්ට පාවිච්චියට ඔක්සිජන් බිඳක් ඉතිරි කරන පාටක් නෑ... ඉහේ හිටං පාදාන්තය දක්වාම දාඩියෙන් නෑවිලා... 

මෙයැයි ආපු වේගෙටම තද බ්‍රේක් පාරක් ගහලා ඩබල් කැබ් එක නැවැත්තුවාම රෝමියෝ ගොයියා ගල් ගැහිලා නැවතුනා බයෙන් බිරාන්ත වෙලා.. උන්නැහේ බලාපොරොත්තු වෙන්නෙ එයැයිගෙ වාහනේ හෝ මන්තුමාගේ වාහනේ  මිසක් ඩබල් කැබ් එකක් නෙවෙයිනේ ආයුබෝවන්ඩ. ඉතිං එයැයි හිතන්නෙම මං මාට්ටු මං මලා මං මලා මං මලා කියලාම තමා.. ඕං මංතුමා වීදුරුව පහත් කරලා නැගහං කිව්වම තමා රෝමියෝගෙ ලොකු වෙච්ච ඇස් දෙක ලාවට පුංචි වෙලා ඉහලට ගත්තු හුස්ම පහලට වැටෙන්න පටන් ගන්නෙ..... උන්දෑ ඉතිං ඩබල් කැබ් එකට නගිනවා නෙවෙයි දොර ඇරලා ඇතුලට පැනිනවා කිව්වොත් තමයි හරි...අපරාදෙ කියන්න බෑ හුස්ම වැටෙනවා නයා පිඹින්නැහේ.... කම්මැලි කඳක් වෙච්චි එයැයි ඉතිං කවදා දුවපු රේස්ද..

ව... ව..... වතුර.....

මොකක්...

 වතුර ටිකක්...

ඉතිං හොයපංකෝ වතුර.. බාප්පගෙ ඩබල් කැබ් එකේ සීට් යටට අත දාලා රවුමක් කැරකැව්වාම මොකක්දෝ බෝතලයක් අහුවුනා කියහංකෝ.. අපේ බාප්පගෙ ඩබල් කැබ් එකේ ඉතිං බුලත් නැට්ටක් දුංකොල කෑක්ලක් හොයාගත්තත් වතුර බොතලයක් තියෙනවට සුවර් කරන්න බෑ. තිබ්බත් කීවෙනි ශතවර්ශයේ පුරවපු වතුරද කියලා සුවර් එකකුත් නෑ... ඒ මොනවා උනත්, රෝමියෝ ගොයියා ඒ දූවිල්ලෙන් වැහුන මෙගා බෝතලේ තිබ්බ වතුර ඔක්කොම එක හුස්මට ගිලලා දැම්මා කියහංකෝ... කලුවරේ නිසා වතුර මොනපාටද කියලාවත් පේන්නෙ නෑ.. ඇහුනේ ගඩස් ගඩස් ගඩස් සද්දෙට අර වතුර බෝතලේ රෝමියෝගෙ ආමාශයට ගලන සද්දෙ විතරයි..

ඊලඟට ඊලඟ මිශන් එක... හදිසියට දිව්වට ආපහු යන්න වෙන්නෙ ජූලියට්ගෙ ගේ පහුකරගෙන... වාහනේ නාඳුනන එකක් උනත් හදිසියේවත් රෝමියෝගෙ මෑණියන්  එතැන ඉඳලා පාරට පැන්නොත් කියන භය ඉතිං සාධාරන බයක් නෙව.. රෝමියෝ ගොයියා එතැනින් එලියට ගෙනියන්න ක්‍රමයක් කල්පනා කර කරා වාහනේ ඇතුලේ ඔබ මොබ බලද්දි ඇහැට අහුවෙන්නෙ අපේ බාප්පොච්චිගෙ තුවායක්.. රෝමියෝගෙ ඔලුවට තුවාය දාලා ස්කාෆ් එකක් වගේ බැඳලා බාප්පොච්චිගෙ සන්ග්ලාස් දෙක දැම්මාම පෙනුම හරියටම කියනවනම් බොක්සර් බල්ලෙකුට ස්කාෆ් එකක් බැඳලා කන්නාඩි දෙකක් දැම්මා වගෙ තමා...  රෝමියෝ ජූලියට් එක්ක ආදරයේ ඵල නෙලන්න ගිහිං රෝමියෝගෙ මෑණියන්ට මාට්ටු වෙන එක වෙනම කතාවක්... ඕකෙ ලෙලි ඇහිඳින්න ගිහිං මංතුමා මාට්ටු උනොත් ඒක ආයෙ කවදාවත් රිවස් කරන්න බෑ... ඒ ගැනත් හිතාගෙන මං තුමා නැවතත් බාප්පොච්චිගෙ ඩබල් කැබ් රාජයා පන්නවනවා ජූලියට්ගේ නිවස පසුකරගෙන ටවුම දිහාවට... වැඩේ සෑහෙන රිස්කි උනාට සැකයේ වාසිය අපිට... පලවෙනි එක වාහනේ රෝමියෝගෙ පවුලේ කවුරුත්ම අඳුනන්නෙ නෑ... රෑ අඳුර නිසා ඉස්සරහින් වාහනයක් ආවෙ නැති උනොත් ඇතුල පේන්නෙත්  නෑ.. ඇතුල පෙනුනත් පෑසෙන්ජර් සීට් එකේ ඉන්නෙ උණ හැදිලා බේත්ගේන්න යන බොක්සර් බල්ලෙක් වගේ එකෙක් නිසා මංතුමා අඳුනගත්තත් පෑසෙන්ජර්ව අදුරගන්න බැරි නිසා ලොකු අවුලක් නෑ..

ජූලියට්ගෙ ගේ පහුකරන තැන ටිකක් විතර ඩේන්ජර් වංගුවක්... වංගුවක් උනාට චාන්ස් එකක් ගන්න බෑ... හැටේ වේගෙන් වංගුවෙන් ඉගිලුනේ ඩබල් කැබ් එකක් කියලා එතැන හිටපු උදවියට පෙනුනට වාහනේ ඇතුලෙ හිටියෙ කව්ද කියන එක හොයාගන්න කීයටවත් බෑ.. මොකද කියනවනම්, වාහනේ පදවපු මංතුමාටවත් බැරිවුනා ඒ වේගෙත් අඳුරත් එක්ක එතැන හිටිය උදවිය කව්ද කියලා අඳුනාගන්න... ආං ඒ විදිහට තමා රෝමියෝගෙ ආදරයේ ඵල නෙලිල්ල අහවර වෙන්න ගියේ...

උඹේ වාහනේ නැන්දලහ... එහෙට ගිහිං ඒක අරගෙන ගෙදර පල...

පීස්සු කතාකරන්න එපා යකෝ... දැම්ම ගෙදර යන්න බෑ...

හෑ... ඇයි උඹ ආයෙම ජූලියට් බලන්න යන්නද.. මටනම් බෑ... ත්‍රී වීල් එකක පල..

නෑ බං නෑ... මං හලාවත මලගෙදරක යනවා කියලා ගෙදරින් ආවෙ.. දැම්ම ගෙදර යන්න බෑ... 

ආං එතකොට තමා පිංවතුනි මංතුමාට වැටහුනේ ස්වේච්ඡාවෙන්ම මංතුමා ඇදගෙන නාලා කියල... ඒ කියන්නෙ එලිවෙනකල් නිදිමැරිල්ලක්.. 

 එතැනින් බාප්පගෙ ඩබල් කැබ් එක කෙලින්ම යන්නෙ හික්කඩුව ටවුමට... හික්කඩුවෙ රෑ කඩෙන් ආප්ප සමග ප්ලේන්ටී... අම්බන්ගොඩ ටවුමෙ රෑ කඩෙන් තේ බොන්න රිස්ක් එකක් ගන්න බෑ... වාහනේ ඇතුලෙ ඉන්න ස්කාෆ් එක පොරවපු බොක්සර් බලු පැකේජ් එක රෝමියෝගෙ පවුලේ කවුරු හරි දැක්කොත් මං තුමාගෙ කාර්ඩ් කුඩු.. හික්කඩුවෙ නවත්තලා රෑ කඩෙන් තේ බොද්දි තමා මංතුමාට මතක් වෙන්නෙ අපේ සත් ගුණවත් බතලයා..

ඊලඟට බාප්පගෙ ඩබල් කැබ් එක පැදවෙන්නෙ බතලයාගෙ ගෙදරට... ඒ වෙද්දී රෑ දොළහට ආසන්නයි... බතලයා නින්දෙන් ඇහැරවන්නත් කලියෙන් බාප්පගෙ කැබ් එක බතලයාගෙ වත්තට දාලා ගේට්ටුව වහලත් අහවරයි කියහංකෝ .... ඕං බතලයා එනවා දොර ඇරගෙන කබ කඩ කඩා.. 

මොකද කාලකන්නියෝ නිදාගන්න දෙන්නෙ නැත්තෙ...

බතලයාගෙ අජූත මූන දිහා කතාවක් නැතුව විනාඩියක් විතර බලාන හිටපු රෝමියෝ සහ මං තුමා පිම්මට දුවන්නෙ බතලෝත්තමයගෙ යහන් ගබඩාවට.. ඊලඟට පනින්නෙ ඇඳට...

උදේ හයට විතර ඇහැරෙද්දි බතලෝත්තමයා බෙඩ් ශීට් එකක් එලාගෙන ඇඳ පල්ලෙ බිම බුදි... රෝමියෝ සහ මංතුමා බතලයාට කටපුරා ස්තූති කරලා වාහනෙත් අරගෙන නැන්දලහ එනව... බතලයා රෑ තිස්සේ නින්ද යනකල් වගේම ඒ වෙලාවෙත්  දෙන්නටම සෑහෙන ස්තූති කරා ඉතිං කටපුරා සුද්ද සිංහලෙන්...

රෝමියෝගෙ කතා ඔය එකක් විතරයි... තව ලියන්න තියෙන එව්වා ඉදිරියට බලමු... මේක ලියන්නත් රෝමියෝගෙන් ඇපෘවල් ගන්න සීද්දවුනා... තාම ඉතිං ගෙදරට සහ බිරිඳට හරීම කීකරු ස්වාමියා නෙව... 

රෝමියෝ දැං විවාහකයි...  රෝමියෝ ජූලියට්ව මැරි කරලා දැං සෑහෙන කාලයක්... ඒ නිසා මේ පෝස්ට් දැං ලියැවුනාට කමක් නෑ කියලා හිතුවට එහෙම බෑ.. මොකද කියනවනම් රෝමියෝ මැරි කරේ ජූලියට්ව උනාට ඒ ජූලියට් නෙවෙයි වෙන ජූලියට් කෙනෙක්ව... මැරි කරපු ජූලියට්ගෙත් ඉතිං කියන්න වරදක් නෑ... පොඩි ප්‍රශ්ණෙකට තියෙන්නෙ ජූලියස් සීසර් වගේ වලියට බර  වෙච්චි එක විතරයි... රෝමියෝ මේ ජූලියට්ට කලින් තවත් ජූලියට් කෙනෙකුට  සුපිරියට ආලය කලා කියලා දැනගත්තොත් රෝමියෝ ජූලියට් කතාවෙ ගිනි අවි සහ ගිනි කෙලි වර්ශන් එකක්  අලුතෙන් ලියන්න වෙනව...

මේක කියවන මගේ හිතාදර මිත්‍රවරුණි... මේක කොමෙන්ට්වල නම් ගම් ලියලා මාව
අමාරුවේ දාන්න එපා ඕං ... එහෙම උනොත් රෝමියෝගෙ කතා ආයෙ ලියන්න අවසර ගන්න රෝමියෝ ඉතුරු වෙන්නෙත් නෑ ලියන මන් ඉතුරු වෙන්නෙත් නෑ...

Monday, June 27, 2022

දෙවැනි ශ්‍රේණිය

 


ඒ 2005 අවුරුද්දෙ එක්තරා මාසයක්. අවුරුදු ගානක් ලොකු පුටුවෙ හිටපු ලොක්කා අයින් වෙලා ඊලඟට අලුතෙන් ආපු ලොක්කා වැඩ භාරගත්තා පමණයි..  

Techinical officer grade 3 හිටපු මම grade 2 වෙන්න සියලූ සුදුසුකම් සපුරලා තිබුනත් කලින් හිටපු ලොක්කා මගේ ප්‍රොමෝශන් එක අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් මේසය උඩ තියාගෙන හිටියා අත්සන දාන්නෙ නැතුව. ප්‍රොමෝශන් එක නොදී ඉන්න හේතුවක් හොයාගන්න බැරි නිසා පාලන අංශයෙන් අත්සනට එවන උසස්වීම මේසය උඩ තබාගෙන කල්මැරීම තමා උන්නැහේට තිබ්බ එකම පලිගැනීමේ ක්‍රමවේදය. පලිගන්න ඉතිං හේතුව තමා එහෙයියෙක් නොවීම.. වෙනත් විදිහකට කියනවානම් පශ්චාත්භාගය උන්නැහේගේ පාවිච්චියට නොදීම...😂

මම රස්සාව කරේ ජීවත්වීම පිණිස මුදල් අවශ්‍යතාවයට පමණයි. ජීවත්වෙන්න රැකියාවක් කරන මිනිස්සු සහ රැකියාව කරන්න ජීවත්වෙන මිනිස්සු දෙවර්ගයක් ලංකාවෙ ඉන්නව. මම ජීවත්වෙන්න රැකියාව කරපු මනුස්ස පරාණයක්. එතැනින් එහා ආයතන ප්‍රධානියාට ගොට්ට ඇල්ලීම පත්වීමේ ලිපියේ ලියැවිලා තිබ්බ ඩියුටි ලිස්ට් එකේ නෑ. ඒ නිසා එව්ව මගේ පැත්තෙන් කෙරුනෙ නෑ. මිනිස්සු ගැන කේලම් කියලා කකුලෙන් ඇදලා බාල්දි පෙරලලා ගන්න වෙන්නෙත් එකම වැටුප වෙච්චි තුට්ටු දෙකේ වැඩ කරලා ජීවිතේට් පවු ගොඩගසාගැනීම ගොං වැඩක්. එහෙම නොවුනාම ඉතිං සිරිබර සිරි ලංකාවේ රාජ්‍ය ආයතනවල ලොකු එවුන් පොඩ්ඩක් අවුල්..

අලුත් ලොක්කා ආපු ගමන්ම ඉවර කරන්න තිබ්බ වැඩ ලිස්ට් එකේ මගේ grade 2 වැඩේ උඩින්ම කියහංකෝ. ඕං ලොක්කා මාව කැඳවනවා උන්නැහේගෙ කාර්‍යාලයට. මං තුමාත් භාගෙන ඇරිලා තියෙන සැලුන් දොරෙ ඇරගෙන ඇතුලට යනව..

ප්‍රොමෝශන් එක ඇවිත් තියෙනව ඔයාගෙ..

ඔව් සර් මම දන්නව.. ඕක ඇවිත් දැං අවුරුද්දකට වැඩියි... 

ඕං අලුත් ලොක්කා ගොලු වෙනව.. බැරෑරුම් විදිහට ප්‍රොමෝශන් කොලේ දිහා බලාන ඉන්නව.. මං දන්නෙ නෑ ඒකෙ තියෙන්නෙ මොනාද කියලා... හැබැයි ඒකෙ අවසානයට කරන්න තියෙන්නෙ "නිර්දේශ කරමි" " නිර්දේශ නොකරමි" කියන දෙකෙන් එකක් ලියලා ආපසු යැවීම පමණයි. නිර්දේශ නොකරමි ලිව්වොත් තියෙන ප්‍රශ්ණය තමා ඒකට හේතු දක්වන්න සමහරවිට උසාවියට යන්න වෙන්නත් ඉඩ තියෙනව. කලින් හිටපු ලොක්කා මට කලින් හිටපු කෙනෙකුට නිර්දේශ නොකරමි ලියලා උසාවි ගිහිං ලෙල්ලටම පීචං උනා හිටං. මොකද කියනවනම් උන්නැහේලාගෙ හිතේ තියෙන කුහකම් වලට නිර්දේශ නොකරමි කියලා ලිව්වට එව්වට හේතු කියන්න වෙන්නෙ උසාවියේදි.

ඕං ආයෙ අලුත් ලොක්කා මා දිහාවට බැල්ම දාලා මේං මෙහෙම කියනව..

මට ආරංචි විදිහට ඔයා උදේට පරක්කුවෙලා වැඩට එනවා සහ අනවශ්‍ය විදිහට නිවාඩු ගන්නවා. ඒ නිසයි මේක පරක්කු වෙන්න ඇත්තෙ.

සර්.. මම ගෙදරින් එන්නෙ උදේ 4.30 ට. ට්‍රේන් එක ලේට් උනොත් මට වෙලාවට එන්න බෑ. ඒත් මාසෙට දෙන්නෙ ට්‍රේන් ලේට් දෙකයි. ඒ දෙකත් දාලා ශෝර්ට් ලීව් දෙකත් දාලා මදි වෙන එව්වට ඉතිං හාෆ්ඩේ තමයි. උදේ ලේට් වෙන එවට හවස විනාඩි දහයක් වැඩිපුර ඉඳලා කවර් කරන්න දෙනවනම් ඕක ඔහොම වෙන්නෙ නෑ. අනිත් කාරනාව තමයි සර්... මම සහ මේකෙ ඉන්න කීපදෙනෙක් පරක්කු වෙන දවස්වලට විතරයි අවුරුදු තුනක් තිස්සෙ හරියටම 7.45 ට රතු ඉර වදින්නෙ..

ඕං අලුත් ලොක්කා එව්වට නැවතත් ගොලු වෙනව...

එක මාසයක් ඔයාට පුලුවනිද වෙලාවට වැඩට එන්න...

හැමෝටම එක විදිහට සලකලා රතු ඉරි වදිනවානම් පුලුවන්... මට විතරක් රතු ඉර වදිනවනම් බෑ...

හරි.. එහෙනම් ලබන සඳුදා ඉඳලා මාසයක් වෙලාවට ඇවිල්ලා පෙන්නනකෝ..

ඕං අලුත් ලොක්කගෙ අභියෝගය. අම්බලන්ගොඩ  කොල්ලෙකුට ඒ වගේ

චැලේන්ජ් එකක් සිම්පල්.. Grade 2 ලැබුනත් පඩිය වැඩි වෙන්නෙ ඒ කාලෙ හැටියට රුපියල් 550 යි. ජොබ් එකට පැරලලි බිස්නස් එකකුත් කරගෙන හිටිය මට ඔය 550 කජු කන්නත් මදි.. ඒත් ඒ වගේද චැලේන්ජ් එක.. ඒක අනිවාර්‍යයෙන්ම දිනන්නම ඕන එකක්..  එවකටත් කාර් කටුවක් තිබුනට කාර්මික නිලධාරී වැටුපෙන් දවස් විස්සක් කාර් එකට තෙල් ගහගෙන අම්බලන්ගොඩ හිටං කොලඹ යන්න එන්න හිතන්නවත් බෑ. පඩියට වඩා ගානක් අතින් දාලා තෙල් ගහගෙන රස්සාවට යන්න හිත හදාගන්නත් බෑ. 

එවකට මගේ ගෝල තැන පෙරේරා තමා ඊලඟ සැලසුමේ සහයකයා.. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශ්වාස කරලා චැලෙන්ජස් බාරගන්න බෑ. එව්වා ඉතිං යන එන වෙලාවල් දෙයියන්ටවත් කියන්න බෑ. අම්බලන්ගොඩ කොලඹ ac බස් සේවාවත් ඉතිං අවුලක්ම නෑ.. ඒත් ට්‍රැෆික් ප්‍රශ්ණෙ එක්ක උදේ 7.45 වෙද්දි රාජකාරියට වාර්ථාකිරීම ශුවර් නෑ.. සති හතරක්.. දවස් විස්සක් මං තුමා උදෑසන 7.45 වෙද්දි කාර්‍යාලයේ සිටිය යුතුයි.. එකම සහ අවසන් විකල්පය ඊලඟ සඳුදා සිට ක්‍රියාත්මකවීමට නියැමිතයි.. අනුග්‍රහය දුකට සැපට දෙකටම බොක්ක ගෝල තැන පෙරේරාගෙන්... මෙතැනින් උඩ ලියවුන දේවල් එවකට කාර්‍යාල සගයන් සියල්ලම දන්නවා උනත් මෙතැනින් එහා ලියැවෙන දේ සතරකන් මන්ත්‍රනයක්. 

ඊලඟ සඳුදා මංතුමා වැඩට එන්නෙ තඩි බෑග් එකක් උස්සගෙන. ඒකෙ නැත්තෙ නයි පොලොංගු විතරයි. මනුස්සයෙකුගේ සාමාන්‍ය ජීවිතයට අවශ්‍යවෙන සියලූමා දෑ එහි අඩංගුයි. උදේ අම්බලන්ගොඩින් පිටත්වෙන පලවෙනි ac බස් එකේ මං තුමා කොලඹ. කොයිතරම් ගෝල් ඔරියන්ට්ද කියනවනම් උදේ හයාමාර වෙද්දි ඔෆිස් එකේ. කොටින්ම කියනවානම් ඒ වෙද්දි ඔෆිස් එක ඇරලත් නෑ. උදේ 7.45 වෙද්දි පොතේ පලවෙනි අත්සන මංතුමාගෙ.. එදා හිටං සතියේ දවස් පහම මංතුමා නයිට් පාර්ක් ඔෆිස් එකේ.. පෙරේරා හවස ඕෆ්වෙලා යන්න කලියෙන් මංතුමාට ගෙනැත් දෙනවා රෑ කෑම එක. තේකොල සීනි හීටර් එහෙම වෙනම තියෙන නිසා රෑට තේ එකක් හෙම බොන එක ගැටලුවක් නෑ. කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ගැන මෙහිලා ලියන්න බෑ. හැබැයි එව්වත් සැප පහසුවට සියල්ලම ලෑස්තියි. හවස 4.15 වෙද්දි පෙරේරා මගේ ඒරියා එක එලියෙන් වහලා ඕෆ් වෙලා ගෙදර යනව. වැඩකරන 40 ක් විතර අනෙක් උදවියත් හවස 4.15 වෙද්දි ඕෆ්. එතැනින් එහා තට්ටු තුනක බිල්ඩිම ඇතුලේ මං විතරයි. කිසිම යතුරක් මා ලඟ නෑ. ඒත් මගේ කාමරේ ඇතුලෙන් ඇරගෙන බාතෲම් එකට ගිහිං වොශ් එකක් එහෙම දාගෙන එන එක ප්‍රශ්ණය නෑ. ඕං ඒ විදිහට රෑ ගතකරලා උදේ හයට ඇහැරුනාම හතයි හතලිස් පහ වෙද්දි පොත අත්සන් කරන්න වෙලාව වැඩිත් එක්ක. ලොක්කා එන්නෙ 7.15 ට. ලොක්කා ප්‍රධාන දොර අරින සද්දෙ ඇහිලා විනාඩි දහයක් වගේ ඉඳලා පඩිපෙලෙන් පහලට බැස්සාම 7.45 වෙන්නත් කලින් කොල්ලා පොත අත්සන් කරනව... 

ලොක්කා හීනෙන්වත් හිතන්නෙ නෑ මූ රෑ හිටියේ ඔෆිස් එකේ කියල.  පොත අත්සන් කරලා ආයෙම මගේ වීදුරු කාමරේට ඇවිත් වාඩිවෙලා විනාඩි දහය යද්දි පෙරේරා මංතුමාට බ්‍රෙක්ෆස්ට් එකත් අරගෙන ප්‍රාදූර්භූත වෙනව. දවලටත් පෙරේරාම කෑම එකක් ගෙනැත් දෙනව. දැං මේක කියවන ඔයයිලා හිතන්න එපා මං පෙරේරාව කඩේ යවනවා කියලා. පෙරේරා උදේ සහ දවල් වේල් දෙකම කෑවෙ කඩෙන්. ඒ කාලා එන ගමනේ මටත් කෑම එක ගෙන්නගත්තා මිසක් මං කවදාවත් පෙරේරාව කඩේ යවලා නෑ. රෑක අසනීපයක් හෝ වෙනයම් අවුලක් උනොත් එක කෝල් එකෙන් පැය භාගෙන් පෙරේරා එනවා කියන එක ඉර හඳ පායනවටත් වඩා ශුවර්. පෙරේරගෙයි මං තුමාගෙයි එකතුවීම දෛවෝපගතයි. කලින් ලොක්කා මංතුමාට සහ පෙරේරාට දෙන්නාටම කෙලවීමේ අරමුණෙන් කරපු එකතුකිරීම් උනාට ඒ දෙක සෙට් උනේ ජාඩියට මූඩිය වගේ කීවොත් තමා හරි. අනික් කාර්මික නිලධාරීන්ට සහයකයන් දෙදෙනා බැගින් අනුයුක්ත කෙරුනාට මංතුමාට පෙරේරා පමණයි. පෙරේරාත් කොක්කට බර ඉතිහාසයක් තිබ්බ සේවකයෙක් නිසා ලොක්කාගෙ අභිප්‍රාය උනේ විසෙන් විස නැසීම. පෙරේරත් ලොක්කාව තඹේකට මායිම් නොකල සේවකයෙක් නිසාත් මංතුමාත් එසේම නිසා පෙරේරා සහ මම අතර යුද්ධයක් නිර්මාණය කර දෙදෙනාටම කෙලවීම අරමුණු උනත් එක දවසෙන්ම මම සහ පෙරේරා ශර්ලොක් හෝම්සුයි වොට්සනුයි ගානට සුපිරියට සෙට්. 

ඕං ඔය ආකාරයෙන් සති හතරක් ගතවෙලා ලොක්කගෙ කාමරේ සැලුන් දොරෙන් ඇතුලට ගිහිල්ලා ලොකු තැනට මතකර හිටිනවා මාසය සම්පූර්ණයි කියල..  ලොක්කත්

පැමිණීමේ ලේඛනය එහෙම බලලා මංතුමාගෙ ප්‍රමෝශන් එක අනුමත කරලා යවනවා ඉන් පස්සෙ. කලින් හිටපු ලොක්කා අවුරුද්දකට වැඩි කාලයක් මේසය උඩ තියාගෙන හිටපු නිසා හිඟ වැටුපකුත් එක්ක ඊලඟ මාසෙ හිටං මංතුමාට 550 කින් පඩි වැඩි වෙනව grade 2 තත්වයත් එක්කම. සයිඩ් එකෙන් බිස්නස් එකක් කරගෙන හිටිය නිසා වාහනයක් පාවිච්චි කරගෙන සැපවත් ජීතතයක් ගතකරගත්තා මිසක්, ආන්ඩුවේ පඩියකින් ජීවිතේ අමාරුයි. ලොක්කා අභියෝග කරපු නිසා ඒ වගේ වැඩක් කරා මිසක් grade 2 ගන්නවත් පඩිය 550 කින් වැඩි කරගන්නවත් ඒ කරපු කැපකිරීමේ ලාභයක් නෑ. ඕෆ්වෙලා ගිහිං කරපු බිස්නස් එකේ වැඩවලට ඉන්වෝල් වෙන්න බැරිවුන සති හතරක් නිසා ඒ සති හතර ආර්ථික අතින් සෑහෙන පාඩුයි.

කාලෙකට පස්සෙ ඒ රැකියාවට සමුදීලා ලංකාවෙන් පිටවෙලා මේ වෙද්දි  අවුරුදු දොලහක්. ලංකාවෙ රජයේ සේවයේ ඉද්දි නරකම සේවකයන්ගෙත් නරකම එකා කියන විරුදාවලිය ලබාගත්තු මටම ලංකාවෙන් පිටදි best employee award එක දෙපාරක් ලැබිලා තියෙනව. දියුනු රටවල රැකියාවෙදි ආයතන ප්‍රධානීන් විසින් සලකා බලන්නෙ සේවකයාගේ කැපවීම සහ දක්ශතාවය පමණයි. ලංකාවෙ ආයත ප්‍රධානීන් හොයන්නෙ ඒ දෙකම නොවෙන වෙනස්ම එකක්. ඒක නැතිනම් කොයිතරම් දක්ශ උනත් ඒ සේවකයන්ට කිසිදු ඇගයීමක් නෑ.

ලංකාවෙ දැං තියෙන වාතාවරණය එක්ක බැලුවාම කෝච්චිවල බස්වල තෙරපිලා රස්සාවට යනවට වඩා හොඳ නැද්ද මගේ විකල්ප ක්‍රමවේදය අනුගමනය කිරීම? මං අද වෙද්දි ලංකාවෙ රජයේ සේවයේ හිටියානම්, ඔෆිශියලිම ගිහිං ඔෆිස් එකේ පදිංචි වෙලා රස්සාව කරලා සති අන්තයේ ගෙදර යනවා අනිවාර්‍යෙන්ම ශුවර්.

එවකට මා එක්ක රස්සාවෙදි එකටම හිටපු මිත්‍රයා දැං මේක කියවලා හිතයි යකෝ මූ මාසයක් ඔෆිස් එකේ නිදාගත්තා මූ නිකමටවත් මට කීවෙ නෑ කියල... ඔව් යාලුවා... ඔයා වගේ අවංකයෙකුට ඒ වගේ දේවල් කියලා ඔයාව අමාරුවේ දාන්න බෑ. නිකමටහරි වැඩේ නෝන්ඩි වෙලා ලොක්කා ඔයාගෙන් ඇහුවොත් ඔයාට බොරු කියන්න බෑ. ලොක්කට බොරු කියන සබ්ජෙක්ට් එකේදි ඔයා පට්ට අවංක වැඩියි... තක්කඩි ඇන්දීම තකඩිකමෙන්ම කලයුතුයි. තක්ක්ඩින් සමග අවංකවෙලා බෑ. 

මට මේක ලියන්න හිතුනේ කෝච්චියේ වහලයේ නැගලා රස්සාවට යන මිනිස්සු දැකලා.. කෝච්චියේ එල්ලිලා ගිහිං ජීවිතේ අනතුරේ දාගන්න එපා මිනිසුනේ... රස්සාවත් කරගෙන ජීවිතෙත් බේරගන්න වික්ල්පයක් අනුගමනය කරන එක තමා ණුවනට හුරු.

Wednesday, April 13, 2022

සිංහල අවුරුද්ද ඇවිල්ලා.. 2022




සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන්න බෑ මිත්‍රවරුණි... 2022 සිංහල අවුරුද්ද ලැබුවට බහුතරයක් ලාංකික මිනිස්සුන්න්ට මේ වෙලාවෙ හිතේ සැනසීමක් නෑ. පුද්ගලිකව මට, කියන්න තරම් වරදක් නෑ.. අඩුපාඩුවකුත් නෑ.. ඒත් එහෙමයි කියලා අපේ මිනිස්සු පාරවල් ගානෙ පෝලිමවල රස්තියාදු වෙද්දි, දෙමාපියෝ දරුවන්ගෙ කුස පුරවන්න දුක් ගින්දර උහුලද්දි, තරුණ බාල මහලු හැම දෙනාම වැස්සෙ තෙමීගෙන, අව්වෙ වේලීගෙන අරගලයක් කරද්දි, මට විතරක් සුභ අලුත් අවුරුද්දක් සමරන්න බෑ... 


රටක් විදිහට ඉතිහාසයේ පලවෙනි වතාවට ජාති භේද, පක්ශ භේද පසෙකලා අපේ මිනිස්සු එක අරමුණකට ඇවිල්ල.. උන් හරිම ආදරණීයයි.. උන් හරිම සුන්දරයි.. උන් හරිම එකමුතුයි.. උන් හරිම සංවිධානශීලීයි, ඒ වගේම උන් හරිම තියුනුයි, නොසැලෙනසුලුයි.. 

උන් බඩගින්නේ අව්වේ වැස්සේ සටන් කරලාහරි කවදාකහරි උන්ගෙ අරමුණට යනව. අන්න ඒ අරමුණ උන් ජයගන්න දවසක අපි රටම එකතුවෙලා සැනකෙලි පවත්වලා අවුරුදු කමු..  එතකල් හැමෝටම..

තෙරුවන් සරණයි.. ජේසු පිහිටයි.. අල්ලා දෙවි පිහිටයි.. 

Sunday, February 27, 2022

එයාට වයස විසි දෙකයි.. මට වයස හතලිස් තුනයි..






මට දැන් වයස හතලිස් තුනක්.. ලංකාවේ ඉපදුන, ලංකාවේ ජිවත්වෙන මනුස්සයෙක් විදිහට මම දැන් පහුකරමින් ඉන්නේ මැදි වයස. මිනිස්සු මැදි වයසේ මනුස්සයෙක් කියලා කියන්නේ මගේ වයසේ මනුස්සයන්ට කියල මතක් වෙද්දී ඉබේම පහලට සුසුමක් වැටෙන්නේ ඇයි කියලා කියන්න මම ඇත්තටම දන්නේ නෑ.. ලෝකේ දියුණුයයි සම්මත රටක ඉපදුනානම්, මම ඉන්නේ තරුණ වයසෙ . ඒත් ලංකාවේ එහෙම නෑ. ඉපදුන, ජීවත්වෙන රටට සාපේක්ෂව, මම දැන් දරුවෝ දෙතුන්දෙනෙක් ඉන්න තාත්ත කෙනක් වෙන්න ඕන.. ඒත් වයස හතලිස් තුනක් වෙද්දීත් මං එහෙම නෑ. ..
මට බිරිඳක් නෑ. ඒත් ඒ කියලා මම සිංගල් නෙවෙයි. මම ඩිවෝර්ස් වෙච්ච මනුස්සයෙක්. මම වයිෆ්ගෙන් වෙන් වෙලා දැන් ටික කාලයක් . රට්ටු කියන විදිහට මම දැන් දික්කසාද වෙච්ච මනුස්සයෙක්. දික්කසාද වෙච්ච මිනිස්සුන්ට ලංකාවේ සාමාන්ය සමාජයෙන් ලොකු පිළිගැනීමක් නෑ. ඒත් මම ජිවත්වෙන පරිසරය ඇතුලේ ඩිවෝර්ස් වෙනවා කියන්නේ මහ ලොකු කජ්ජක් නෙවෙයි. මම වයිෆ්ග්න් වෙන්වෙන්න තීරණය කරේ අපි දෙන්නට අපි දෙන්නාව නොගැලපුන නිසා.. එයාටනම් ඕනවුනේ ලෝකෙට පේන්න බැඳගත්තු බෙරේ ගහන්න. ඒත් නොගැලපීම් එක්ක, ආරවුල් එක්ක, අඬදබර එක්ක, පවුල් ජිවිතයක් ඉස්සරහට අරගන ගිහිං අපි දෙන්නගේම ජිවිත නාස්ති කරන්න මට ඕනවුනේ නෑ. මට එයා බලාපොරොත්තුවුන හස්බන්ඩ් වෙන්න බැරිවුණා. කසාද බඳිද්දී ලොකුවට හිතුවෙ නැතිවුනාට , මම බලාපොරොත්තුවෙන වයිෆුත් එයා නෙවෙයි කියන එක මට තේරෙද්දී මං පරක්කු වැඩියි. කසාද බැඳපු දවසේ ඉඳන් අපි දෙන්නට අපි දෙන්නව ගැලපුනේ නෑ. අපි ගලපාගෙන ජිවත්වන්න උත්සහා කළා. අපි කිව්වට එයා නෙවෙයි මම. ඒත් ඒක සාර්තක වුනේ නෑ. කසාදයක් වෙනුවන් මට මම නොවී ජිවත්වෙන්න බෑ. දවසක් දෙකක් සතියක් හමාරක් වගේ නෙවෙයි. ජීවිත කාලයක් එහෙම ඉන්න අමාරුයි. එහෙම උනාම වන්නේ මිනිස්සු ජිවත්වෙන මළමිනී වෙන එක. මට ජිවත්වන මළමිනියක් වෙන්න ඕනවුනේ නෑ. දරුවෙක් හිටියනම් මට දරුවා වෙනුවෙන් එහෙම ඉන්න තිබුන. දරුවෙකුගේ අනාගතය වෙනුවෙන් තාත්තා කෙනෙකුට ජීවිත කාලයක් උනත් තමුන්ගේ හැඟීම් දැනීම් අමතක කරලා ජිවත් වෙන්න පුළුවනි. ඒත් අපිට දරුවෝ හිටියේ නෑ. ඒ නිසා ඩිවොර්ස් වෙන්න බැරි තරම් භන්දනයක් අපි අතරේ තිබුනේ නෑ.
ඒක යෝජනාවක් විදිහට කෙරුණ විවාහයක්. අම්මලා හොයලා දුන්නු නිසාත්, බඳින්න කලින් ඇසුරු කරපු පොඩි කාලය ඇතුලත කියන්න තරම් වරදක් දැනුනේ නැති නිසාත්, කසාද බඳිනවා කියන එක ගැන මම බැරෑරුම්ව හිතුවේ නෑ. එයාලත්, අපි වගේම යමක්කමක් තිබ්බ මිනිස්සු. සමාජ සම්මතයට අනුවත්, අපි අතරේ දශමෙකවත් නොගැලපීමක් තිබුනේ නෑ. දෙපාර්ශවයේම දෙමාපියන්ගේ, නෑයන්ගේ, මිතුරන්ගේ , ආශීර්වාදයෙන් අපි විවාහවුනා. වෙඩින් එක දවසේ හැමෝම කීවෙ අපුරුවට කැපෙන කපල් එක කියල. වෙඩින් එක දවසෙ එයා හිටියේ හුඟාක් සන්තෝසෙන්. මමත් හිටියේ සන්තෝසෙන්. ඒත් මොකක්දෝ අඩුවක් හිතට දැනුනා උනත් ඒ මොකක්ද කියලා තෝරා බේරාගන්න මට දැනීමක් තිබුනේ නෑ. ඒකෙන් මම කියන්න උත්සහ කරන්න නෑ මම රැවටුනා කියලා. මම හිතන්නේ මම මාව කියෙව්වේ නෑ කියලයි . කසාද බඳින්න කලින් මම මාව කියෙව්වනම්, මට ඕන මොනවගේ වයිෆ් කෙනෙක්ද කියලා මම මගෙන් ඇහුවානම්, මම බොහෝදුරට එයාව කසාද නොබඳින්න ඉඩ තිබුනා කිව්වොත් තමයි හරි..දැන් ඉතින් ඒ ගැන හිතලා වැඩක් නෑ. සියල්ල සිදුවී හමාරයි. එයා මට වෛර කරනවා කියලා මම දන්නව. ඒත් ඒ ගැන මම ලොකුවට හිතන්නේ නෑ. කසාදයක් කියන්නේ එකිනෙකා ගලපාගෙන එකට ජීවත්වීමක් කියනදේට වඩා ගැඹුරු දෙයක්.. එකෙක් අනෙකාගේ රූකඩයක් වීම කසාදයක් වෙන්නේ නෑ.. කසාදයක් ඇතුලේ කැපකිරීම් තියෙන්න බෑ. එකෙක් අනෙකා වෙනුවන් තමුන්ගේ කැමැත්ත යටපත් කරගෙන ජිවත් වෙනවානම් , එතැන තියෙන්නේ කසාදයක් නෙවෙයි කරුමයක්. ආදරය, සෙනෙහස, රැකවරණය, ලැබෙන්න ඕන සැමියාගෙන් බිරිඳට පමණක් කියලා හිතුවොත් ඒක වැරදියි . ලංකාවේ මිනිස්සු එතැනදී හරිම ගෝත්රිකයි. ආදරය විඳින්න තියෙන ආසාවට වයස් භේදයක් නෑ. ඒත් ලංකාවේ සංස්කෘතියට අනුව, ආදරය , සෙනෙහස, රැකවරණය කියන කොන්සෙප්ට් එක වන්වේ පාරක යන වාහනයක් වගේ. සැමියාගෙන් බිරිද දිහාවට මිසක් බිරිඳගෙන් පෙරලා ආදරය, සෙනෙහස , රැකවරණය සැමියා දිහාවට ගැලීම් හරිම අල්පයි. කසාද බැන්ද දවසේ ඉඳන් ස්වාමිපුරුෂයා කියන ප්රොමෝෂන් එක ලැබුනට බහුතරයකට වෙන්නේ සර්විස් ප්රොවයිඩර් කෙනෙක් විදිහට ජීවිත කාලයම ගත කරන්න. ආදරය ලබන්න, සෙනෙහස විඳින්න අකමැති සත්වයන් මේ විශ්වයේ කොතනකවත් නැතුව ඇති. මමත් මේ විශ්වයේ ජිවත්වෙන තවත් එක සත්වයෙක් විතරයි. ඒ නිසා මමත් කැමතියි ආදරය විඳින්න. ස්වීට් කපල් එකක් විදිහට ලෝකයා දැක්කට ඇතුලෙන් ගිනිගන්න අපේ විවාහ ජිවිතය තවත් දුර පැදන් යන්න මට ඕනවුනේ නෑ. එහෙම පැදන් ගිහින් මාව මං ඇතුලේම ඝාතනය කරලා දාන්න මට ඕනවුනේ නෑ. මම මම නොවී ජීවත්වීම ඇතුල් මම එයාටත් කරන්නේ බොරුවක්. එයාගේ පැත්තෙන් බැලුවාම ඒක එයාටත් කරන අසාධාරණයක්.
ඊළඟට මම මේ කියන්න යන අමුත්තිය මට හමුවෙන්නේ ඩිවෝර්ස් එකෙන් අවුරුද්දක් විතර ගියායින් පස්සෙ . එයා වයස විසි දෙකක , දැක්කම ආදරේ හිතෙන, හරිම කියුට් පුංචි ලස්සන අහිංසක කෙල්ලක්. ලස්සන සාපේක්ෂයි. කාට සාපේක්ෂව තේරුවත් , එයා තමා මගේ ඇහැට ෆස්ට්. එයාගෙයි මගෙයි හමුවීම ඔෆීෂියල් එකක්. ඒ ඔෆීෂියල් හමුවීම ඇතුලේ එයා දැකපු පලවෙනි දවසෙම මට මහා අමුත්තක් දැනුනා කිවොත් තමයි හරි. ඒත් මම ඒක ගැන ලොකුවට හිතුව් නෑ. අවුරුදු හතලිස් තුනක් වෙන ඩිවෝර්ස් වෙච්ච මිනිහෙකුට අවුරුදු විසි දෙකක පුංචි කෙල්ලෙක් ගැන හිතන්න තියෙන අයිතිය මොකක්ද ? දියුණු රටක උනානම් හිතන්න තිබුනා. ඒත් ලංකාව ඇතුලෙ එහෙම දේවල් සදාචාරාත්මක නෑ. මම වැඩිහිටියෙක්. එයා ඊයේ පෙරේදා ඉස්කෝලෙන් අවුට් වෙච්ච පුංචි කෙල්ලෙක්. එයා මේ ලෝකෙට උපදිනකොටත් මට වයස විසි එකක් . ඉතිං එයා ගැන වැරදි ඇහැකින් බලන්න මංම මට අවසර දුන්නේ නෑ. වැරදි ඇහැකින් කීවට වරදවා හිතන්න එපා.
මම කලිනුත් ලීවා. ආදරේ හිතෙන්න වයස් භේදයක් නෑ. මිට කලින් ජිවිතේ කවදාවත් නොදැනුන සංවේදනාවක් එයා මං ළඟ ඉද්දි මට දැනුනා කිව්වොත් තමයි හරි. මං අවුරුදු දෙකක් වයිෆ් කෙනෙක් එක්ක එක ඇඳක නිදාගත්තු මිනිහෙක්. ඒත් මම කවදාවත් ඒ පුංචි රුවැත්තිය දිහා වැරදි ඇහැකින් බැලුවේ නෑ. ඊට එහා ගිය මොකක්දෝ හැඟීමක්, ලෝභකමක් , කැක්කුමක්, මගේ හිතේ එයා වෙනුවෙන් තිබුනා උනාට ඒ මොකක්ද කියලා විශ්ලේෂණය කරන්න මට ඕනවුනේ නෑ. මට හතලිස් තුනක්. එයාට විසි දෙකක්. හිත අතරමන්වෙන හැම වෙලාවේම මම මට කිවේ එහෙම.
අපේ සම්භන්ධය ඔෆීෂියල් එකක් උනාට එයාටත් මගේ ඇසුර ආනන්දනීය එකක්දෝ කියලා මට හිතෙන හැම වාරයකම මම හිතුවේ මට හතලිස් තුනක්. එයාට විසි දෙකක්. එහෙම වෙන්න බෑ කියලයි.. ඒත් සමහර වෙලාවට එයා මට සැලකුවේ හස්බන්ඩ්ට සලකනවා වගේ. මගේ හිත දවසින් දවස එයා ලඟම අතරමං වෙද්දී මමත් ඒ අතරමංවීමට ආස කරා. ඔෆීෂියල් සම්භන්ධය ඇතුලේ උනත් , එයා සමහර වෙලාවට මට සැලකුවේ තමුන්ගේම ලඟම කෙනෙකුට කෙනෙකුට සලකනවා වගේ. මං මේක ඔෆීෂියල් සම්භන්ධයක් විතරයි කියලා එයාට හඟවන හැම වෙලාවේම එයාගේ ලොකු ඇස් හීනියට තෙත්වෙන හැටි මම බලාන හිටිය. ඒත් මට එතැනින් එහාට ගිහිං එයාට ලං වෙන්න බෑ.. මට එයාව ලඟට අරං අහන්න බෑ ඔයාට මාව දැනෙන්නේ මොන වගේද කියල. මම ඩිවෝර්ස් වෙච්ච වයස හතලිස් තුනක මනුස්සයෙක්.. එයා වයස විසි දෙකක පුංචි කෙල්ලෙක්. . අපි දෙන්නා එකට ඉන්න හැම වෙලාවේම අපි හිටියෙ හරිම සතුටෙන්. පුංචි පුංචි දේවල් වලට එයා මා එක්ක තරහවුන වෙලාවලුත් තිබුනා තමයි. ඒත් ඒ හැම තැනම මම දැක්කේ වයස විසි දෙකක පුංචි කෙල්ලෙකුගේ ඇතුලේ තිබ්බ පුංචි පුංචි හිතුවක්කාරකම් විතරයි. එයා තරහෙන් පුපුරන හැම වෙලාවේම මට දැනුනේ හුදෙක් පුංචි පහේ ආඩම්බරකාර වින්දනයක් විතරයි.. එයා මා එක්ක තරහ උනාම බලන්න ඕන මුනේ ලස්සන. මුණ රතු වෙන්නේ ජම්බු ගෙඩිය වගේ .. මූණ රතු කරගෙන ඇස්ගෙඩි දෙකේ කඳුළු පුරෝගෙන ඉන්නකොට නාහේ මිරිකලා තුරුළු කරගන්න හිතුනට, එයාට විසි දෙකයි.. මට හතලිස් තුනයි... ඔෆීෂියල් සම්භන්ධයක් ඇතුලේ අසංස්කෘතික වෙන්න මට බෑ. මම වැඩිහිටියෙක්. කසාද බැඳලා ඩිවොර්ස් වෙච්ච මනුස්සයෙක්. මම කොහොමද වයස විසි දෙකක පුංචි කෙල්ලෙක් ගැන හැඟිම්බර වෙන්නේ.
ඒත් ඒ සියල්ල එහෙම වුනත්, දවසින් දවස අපි ලංවුණා. දුරින් ඉන්න වෙලාවට කෝල් කරලා එයාගේ සැප දුක හොයලා බලන්න මට ඕනවුනා. එයා පරෙස්සමෙන්ද ඉන්නේ කියලා බලන්න මට ඕනවුනා. එයත් හැම වෙලාවේම මා ගැන හොයලා බැලුවා. උදේට දවල්ට රෑට මම කෑවාද බීවද කියලා හොයලා බලන්නත් එයා කවදාවත් අමතක කලේ නෑ. කෑවද බීවද කියලා අහන්න තරම් මම පුංචි බබෙක් නෙවෙයි උනාට, මං කෑවද බීවද කියලා එයා අහනකොට මට දැනෙන දේ ලියන්න, අමුණන්න ඕන කුමනාකාර වචනද කියලා මට තේරෙන්නේ නෑ. ඒ වගේ හැඟීම් දැනීම් කවදාවත් මම විඳලා නෑ. කාර්යබහුල රැකියාව ඇතුලේ හිතට වෙහෙස දැනෙන හැම වෙලාවේම මගේ ජංගම දුරකථනයෙ ඩයල්වුනේ එයාගේ නොම්බරේ. එයා එක්ක කතා කරන විනාඩියත් මට දැනුනේ හිත ඇතුලට සුමුදුවට ගලන ඖෂධයක් වගේ. එයාට මාව දැනෙන විදිහ කොහොමද කියලා මම එයාගෙන් කවදාවත් අහලා නැතිවුනාට, මගේ හිත ඇතුලේ එයා ඔෆීෂියල් සම්භන්ධය කියන සීමාව පහු කරගෙන හුඟක් දුර ගිහින් කියලමයි මට දැනුනෙ.
එයාගේ ආගමනයත් එක්ක, ධන ධාන්ය වලින් ආඩ්ය වෙච්ච මගේ භෞතිකය ඇතුලේ අධ්යාත්මය මෙච්චර කාලයක් තිබිලා තියෙන්නේ අරමුණක් නැතුවදෝ කියලා මට දැනෙන්න අරගෙන. නීතියෙන් කොලේක අත්සන් කරලා අයිතිය තහවුරුව තියෙද්දිත්, එක්ස් වයිෆ් ළඟ නවතින්න අකමැතිව නිදහස හෙව්ව මගේ හිත, වයස විසි දෙකක දඟකාර කෙලි පැටියෙක් ළඟ කැමැත්තෙන්ම නැංගුරම් දාගෙන. ඒත් මට හතලිස් තුනක්.. එයාට විසි දෙකක්.. මුලින් මුලින් ඒක ප්රත්යක්ෂව හිතේ තිබ්බට, දැන් දැන් එයා ගැන හිතද්දී පපුව පැලෙන්න වගේ.. මට හතලිස් තුනක්... එයාට විසි දෙකක්.. එයා මා ළඟ හැසිරෙන්නේ ඔෆීෂියල් සම්භන්ධයකට වඩා එහා ගිය කෙනෙක් ලඟ හැසිරෙන විදිහට කියන එක තේරුම්ගන්න තරමට මම බුද්ධිය මුහුකුර ගිය මනුස්සයෙක් . ඒත් හතලිස් තුනක හිතක් ඇතුලේ දඟ කරන විසි දෙකක පුංචි කෙල්ලකට දෙන්න නමක් මම දන්නේ නෑ. ඒ නම මොකක් උනත් ඒ හැඟීම හරිම හැඟීම්බරයි.. ආදරණීයයි.. පපුවට බර වැඩියි..
මට කවදාවත් ප්රේමයක් තිබිලා නෑ. ඇකඩමික් ගෝල් ඇතුලේ ප්රේමයට ඉඩක් වෙලාවක් තිබ්බෙම නෑ . ප්රේමය කියන්නේ කුමනාකාර හැඟීමක්ද කියලා මම දන්නේ නෑ. මට එහෙම හැඟීමක් කවදාවත් දැනීලත් නෑ. ප්රේමයට වයස් භේදයක් නෑ කියලා මම අහලා තියෙනවා උනාට මම කවදාවත් ඒ ගැන ලොකුවට විශ්ලේෂණය කරන්න ගිහින් නෑ. කසාදයක් කියන්නේ ප්රේමයක්ම නොවෙන්න පුළුවන් කියන එක මම ෆස්ට් හෑන්ඩ් එක්ස්පිරියන්ස් එකක් විදිහට විඳවා අවසන්. කවුරුහරි යෝජනා කරනවානම් කසාදය කියන්නේ ප්රේමයම තමා කියලා, මම යෝජනා කරනවා ප්රේමය කියන්නේ මට ලැබුන කසාදය වගේ එකක් වෙන්න බෑ කියල. විවාහ රෙජිස්ටාර් කෙනෙක් ඉදිරියේ කොලේක අත්සන් කරලා අත්අඩංගුවට පත්වීම ප්රේමයක් කියලා පිළිගන්න මම සුදානම් නෑ . අහලා තියෙන විදිහට, කියවලා තියෙන විදිහට ප්රේමය කියන්නේ විඳීමක් මිසක් විඳවීමක් නෙවෙයි කියලයි මගේ වැටහීම. ඒත් ඒ සියල්ලටම උඩින් , වයස විසි දෙකක ආදරණීය පුංචි කෙල්ලෙක් ගැන, වයස විසි දෙකක ප්රේමයක් ගැන හිතන්න, හතලිස් තුනක්වෙන මගේ හිත ඇතුලේ මට අවසර නෑ.
මම ප්රේමණීය මනුස්සයෙක්ද කියලා මම දන්නෙ නෑ. ඒත් ප්රේමයක්දෝ කියලා අනුමාන කරන්න පුළුවන් හැඟීමක් එක්ක මං අතරමං වෙලා.. ඉහල විධායක ශ්රේණියේ රැකියාවක් එක්ක ලෝකයක් තරම් ලොකු ස්ට්රෙස් එකක් හැන්ඩ්ල් කරන එක මට මහා කජ්ජක් නොවුනට, මේ හැඟීම මගේ පපුවට බර වැඩියි. වයස හතලිස් තුනක් වෙද්දී හැඟීම් වලට වහල් වෙන්නත් මට බෑ. ඒත් මේ හැඟීම අමතක කරලා දාන්න මගේ හිත මට ඉඩ දන්නෙත් නෑ .. මේ හැඟීම මම මිට කලින් කවදාවත් විඳලාත් නෑ . එයා ගැන හිතද්දී මගේ පපුවේ යමක් හිරවෙනව වගේ මට දැනෙනව.. ඒ වින්දනාත්මක රිදවීමට මම ඇබ්බැහි වෙලාදෝ කියලත් මට හිතෙනව.. එයා ළඟ ඉද්දි, ටෙලිෆෝන් එකේ කතා කරද්දී , එයාව මට දැනෙන්නෙ මගේම කෙනක් වගේ. ලඟම ලඟ කෙනෙක් වගේ.. යාලුවෙකුට වඩා ළඟ කෙනෙක් වගේ .. නෑ කෙනෙකුට වඩා ළඟ කෙනෙක් වගේ .. අම්මටත්, නංගිටත් වඩා ළඟ කෙනෙක් වගේ. ඒත් ඒ සම්භන්ධයට දෙන්න නමක් ගමක් මං දන්නේ නෑ.. ..මට තේරෙන්නේ නෑ... මට එයා ගැන මහා රෝමාන්තික හැඟීමක් දැනෙන්න පටන් අරගෙන... මට එයා ගැන මහා ආත්මාර්ථකාමී ලෝභකමක් දැනෙන්න පටන් අරගෙන.. මට මේ දැනෙන්නේ ප්රේමයමද ? ජිවිතේ පලවෙනි වතාවට මම ප්රේම කරන්න පටන් අරගෙනද ?... අනේ මන්ද.... එයා වයස විසි දෙකක පුංචි කෙල්ලෙක්.... මම, ඩිවෝර්ස් වෙච්ච, වයස හතලිස් තුනක, මැදි වයසෙ මනුස්සයෙක්....
සොරි ... මට මුලින්ම නම කියන්න අමතකවුණා...මම ... "රෙහාන් අලුවිහාරේ"




---------------------------------------

රෝමෑන්ස් ලියන්න පුළුවන් ඉන්දියාවේ ලියන්නන්ට විතරද ? රෝමෑන්ස් අධ්‍යක්ෂණය කරන්න පුළුවන් යශ් චෝප්‍රලාට විතරයිද ? කැමරාවක් ඉස්සරහ රෝමාන්තික වෙන්න පුළුවන් ශාරුක් කාන්ලාට විතරද ? ඇගයීමට ලක්වෙන්න ඕන, චිත්‍රපටයි සති අන්ත ටෙලියි විතරද? ඇගයිය යුතු චරිත මෙගා ඇතුලේ අපිට හමුවෙන්නේ නැතිද ?????

සද්ධා මංගල, සිවගුරුනාදන්, උද්ධික , කියන තුන්කට්ටුව විසින් නිර්මාණය කරපු රෙහාන් අලුවිහාරේ ඇතුලට ගිහින් රෙහාන්ව කියවන්න අම්බලන්ගොඩයාටත් ඔනෑ වුනා... යශ් චොප්රා මලාට පස්සේ ගොඩයා පලවෙනි වතාවට ආයෙමත් රියල් රෝමෑන්ස් නරඹමින් ඉන්නවා උද්ධිකගේ රංගනය ඇතුලේ... Well done guys... Keep it up...

Wednesday, February 16, 2022

නිවිතිගල ෆ්ලෑශ්

 




පහුගිය දවසක නිවිතිගල සහරා ෆ්ලෑශ් සංගීත සංදර්ශනය වෙලාවෙ සිද්දවෙච්ච අලකලංචිය ලෝකෙම දැක්ක නිසා ගොඩයා ඒ ගැන වැඩි අටුවා ටීකා ලියන්න යන්නෙ නෑ. සිද්දියට මුල්වුන හේතුව මොකක්ද කියලා හරියට නොදැන එව්වා ගැන විශ්ලේෂණය කරන්නට යාම දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්. කව්ද වැරදි කව්ද හරි කියලා කියන්න බැරිවුනාට ප්‍රචන්ඩත්වය ඉතිං කවුරු කරත් හොඳ දෙයක් නෙවෙයිනේ ආයුබෝවන්ඩ. ගහමරාගන්නෙ නැතුව ඔව්වා කතාබහ කරලා විසඳාගන්න තිබුනා කියලයි ගොඩයාගෙ පුද්ගලික මතය. ඔලුව ඇතුලේ තියෙන මොල ගෙඩිය පැත්තකින් තියලා කඩු පොලු අතට ගත්තු උදවිය ඉස්සරහ පොඩ්ඩක් නම්‍යශීලී උනාට පැත්තක් යනවා කියලයෑ.. තව පැයක් හමාරක් කොල්ලො ටිකට නටන්න සිංදු ටිකක් ගැහුවනම් ඔය වැගේ විලම්බෑසියක් නොවෙන්න ඉඩ තිබ්බ කියලමයි ගොඩයාට හිතෙන්නේ .

සිරිබර සිරිලංකාවෙ සංගීත රසිකයා ඉල්ලන රසවින්දනය විවිධාකාරයි. ඒ ඒ කෙසෙල් ගෙඩි වලට ඒ ඒ බනිස් කියනවනේ. මේ ලියන්න යන සිද්දිය සිද්දවුනේ අනූව දශකයේ අග්ගිස්සට වෙන්න. ගොඩයා ඒ කාලෙ බෑන්ඩ් එකක කීබෝර්ඩිස්ට්. එව්ව ඉතිං ආතල් එකට කරපුවා මිසක් වෘත්තීය වශයෙන් කරපුවා නෙවෙයි. පාර්ටියක වෙඩිමක අවුරුදු උත්සවේක ප්ලේ කරාම ලැබෙන මුදල ඉතිං පොඩි පොකට් මනී එකක් විතරයි. එවකට ඉතිං ගොඩයා ජොබ් එකක් කරපු නිසා බෑන්ඩ් එකෙන් ලබෙන මුදල ගැන ලොකුවට හිතුවෙම නෑ. 

වැඩේ තිබ්බෙ ඇල්පිටිය පැත්තෙ ගොඩාක් ඇතුලෙ අතුරු ග්‍රාමයක. ගමේ නම ගොඩයාට මතක තිබුනට එව්ව මෙතැන  ලියන එක හරි නෑ කියලයි ගොඩයට හිතෙන්නෙ . එදා ඒ ගෙදර හෝම්කමින් පාර්ටියක්. රෑට තමා බෑන්ඩ් එක ඉල්ලලා තිබ්බෙ. දවස සති අන්තයේ දවසක් කියලයි ගොඩයාගෙ අදහස. වැඩට ගිහිං ඇවිත් බෑන්ඩ් වැඩේට ගියා කියලා මතකයක් නෑ. සතියෙ දවසක උනානම් මේ ලියැවෙන දේවල් වලට අමතරව රස්සාවෙන් කලින් පැනලා එන දේවලුත් ලියැවෙන්න ඕනනේ. බෑන්ඩ් ප්ලේ කරනවට වඩා අමාරු ජොබ් එකෙන් කලින් මාරුවෙන එක කියලා අමුතුවෙන් ලියන්න ඕන නෑනෙ. 

හවස පහට හයට වගේ තමයි අපි සැට් එක අපේ බෑන්ඩ් එකේ ලොක්කලාගෙ ගෙදරට සෙට් වෙන්නෙ. වැඩේ රෑට තිබ්බට දවාලියෙන් සවුන්ඩ් පිටත් කරලා යැවෙන නිසා අපි සැට් එකට තිබ්බෙ හවස් අතේ ගිහිල්ලා හීන්සීරුවේ වැඩේ ඇදගෙන යන්න. හෝම්කමින් එකක් රෑ හතහමාරට වගේ පටන් ගත්තාම පැයක් වගේ ප්ලේ කරලා බ්‍රේක් එකක් අරගෙන ආයෙම පැයේ වගේ සේශන් දෙකකින් කඩේ වහගන්න පුලුවන් සාමාන්‍ය විදිහට. අන්තිම සෙශන් එක ටිකා...ක් විතර ඇදෙන්න ඉඩ තිබුනාට ප්ලේ කරන පැය ගාන බැලුවාම උපරීම පැය හතරකුත් නැති තරම්. බෑන්ඩ් එකේ සැට් එක ලොක්කගෙ ගෙදරින් පිටත්වෙලා පාර්ටිය තියෙන ගෙදරට යද්දි හත වගේ වෙන්න ඇති. අප්පටසිරි කියන්නෙ ඒක අහල ගම් හතටම කියලා ගජරාමෙට ගන්න හෝම් කමින් පාර්ටියක්. අවුරුදු උත්සවේකට ගහන සයිස් ස්ටේජ් එකක් මිදුලේ කොනක විරාජමානයි. අපේ චන්දනයයි මහේශුයි සවුන්ඩ් ටික එහෙමත් ලෙසටම හයි කරලා තිබ්බ නිසා වැඩේ එකෙන්ම අලංකාරයි. ඒ කාලෙ සෙටින්ග් එක ඩ්‍රම් සෙට් එක වේදිකාවෙ දකුනු කොනේ.. ඊට මෙහායින් ඔක්ටොපෑඩ් ... ඊලඟට සවුන්ඩ් සෙටප් එකේ මික්සරේ.. වම් කෙලවරේ තමා කීබෝර්ඩ්.. ඩ්‍රම් සෙට් එක ඉස්සරහිං බේස් ගිටාරිස්ට්... කීබෝර්ඩ් එක කිට්ටුවෙන් ලීඩ් ගිටාරිස්ට්.. රිදම් ගිටාරිස්ට් ඉතිං පොඩ්ඩක් විතර නිසි තැන නොලැබෙන වේකන්සි එකක්දෝ කියලා කීවොත් රිදම් ගිටාරිස්ට්ලා අමනාප වෙයිද මන්දා... කොච්චර කීබෝර්ඩ් ගැහුවත් ගොඩයා ආසම ඉන්ට්‍රුමන්ට් එක තමා රිදම් ගිටාර් එක. ගොඩයට ටිකාක් විතර ගිටාර් ගහන්නත් පුළුවන් උනාට කවදාවත් බෑන්ඩ් එකක් එක්ක රිදම් ගිටාර් එකක් ප්ලේ කරන්න චාන්ස් එකක් හම්බෙලා නෑ.

ඒ කාලෙ ඔය ස්ටේජ් සෙටින්ග් එකේ ප්ලේ කරද්දි ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම් සෙට් එක ස්ථානගතවුනේ වේදිකාවෙ දකුනු කෙලවරේ... එකෝස්ටික් ඩ්‍රම් සෙට් එක තිබ්බට වැඩ වලට දැම්ම ඉල්ක්ට්‍රොනික් ඩ්‍රම් එක. ඒ කාල් ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම් සෙට් එකට ඉල්ලුම වැඩියි. එකෝස්ටික් ඩ්‍රම් එක දැම්මම සවුන්ඩ් බැලන්ස් කරගන්න ටිකක් විතර අමාරුයිත් එක්ක. ස්ටේජ් එකේ ඉද්දි ගෑල්ලමයෙක්ට එහෙම පොඩ්ඩක් හොරාට හොරාට  ඇහැ දාන්න ඩ්‍රමර්ට පොඩ්ඩක් විතර ලේසියි කොනේම ඉන්න නිසා..  දෑං වෙද්දි ඒ ෆැසිලිටීස් කපාදාල තියෙන්නෙ ඩ්‍රමර්ට... දැං ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම් සෙට් එක වෙනුවට එකෝස්ටික් ඩ්‍රම් සෙට් එක හයි වෙන්නෙ වේදිකාවෙ මැද... බේස් ගිටාරිස්ට් දකුනු කොනේ.. ඊලඟට ඔක්ටොපෑඩ්... කීබෝර්ඩිස්ට් තාමත් වම් කෙලවරේ... ඊයෙ පෙරේදාවක ෆ්ලෑශ්බෑක්ලා කීබෝර්ඩිස්ට් දකුනු කෙලවරට දාලා ඉන්නවා දැක්කා කියහංකෝ.. තැන් වෙනස් උනාම ඉතිං ටික දවසක් යනකල් ටිකක් විතර වැඩේ අඥ්ඥකොරොස්.. ෆ්ලෑශ්බෑක් කීබෝර්ඩිස්ට් අරුණ තමෙල් අවුලක් නැතුව කොම්ෆටබලි ඉන්නවා වගේ දැක්කා උනාට උන්නැහේට දැනෙන දේ ගොඩයාට දන්නේ නැති නිසා එව්ව ගැන වැඩි යමක් කියන්න දන්නෙ නෑ. පසු කාලීනව  ඩ්‍රමර් එකෝස්ටික් ඩ්‍රම් සෙට් එකක් එක්ක වේදිකාවේ මැදට ආපු එක ගොඩයාටනම් අමු වහක් උනා කියහංකෝ... දකුණු කණ ලඟ ඉඳන් ඇඟේ හයියෙන් ඩ්‍රම් සෙට් එකට තලන මෝඩයෙක් එක්ක බෑන්ඩ් ප්ලේ කරනවා කියන්නෙ, වැඩක් ප්ලේ කරලා ඉවර වෙද්දි කන් දෙක දවස් ගානක් කී......ං ගාන ගානට අගුල් වැටිලා.. එව්වා ඉතිං උන්නැහේලාට කියලා වැඩක් නෑ... ෆෝර්ටීස් සහ ටුවෙන්ටීස් එකට පෑහෙන්නෙ නෑ නෙව. ගොඩයලා එක්ක බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ප්ලේ කරන හාදයා අර්ලි ටුවෙන්ටීස්... ගොඩයා මිඩ් ෆෝර්ටීස්... ටුවෙන්ටීස් එකා ඩ්‍රම් එක ප්ලේ කරනවා නෙවෙයි ඩ්‍රම් සෙට් එකට අලි ගහන්වා වගේ කියහංකෝ... ආං ඒ වෙලාවට තමා හිතෙන්නෙ ලංකාවෙ මේ තරම් ඩ්‍රමර්ලා ඉද්දී ඇයි දෙයියෝ ඔයා මේ යකාවම තෝරලා මේ රටට එව්වෙ කියලා... ගොඩයා දෙවැනි වතාවටත්  බෑන්ඩ් ගැහිල්ලෙන් ඉවත්වුන නිසා දැං ඒ ප්‍රශ්නෙ අහවරයි. කොන්සර්ට් එකක් ගැහැව්වොත් ඇරෙන්න දැං ආයෙම බෑන්ඩ් ප්ලේ කරන්න අදහසක් නෑ. සංගීත විසේ සහ ආසාව තිබ්බට බෑන්ඩ් එකේ හයදෙනාගෙ රසාස්වාදය එක තැනකට ගැලපෙන්නෙ නැති තැන්වල පයගසා සිටීම අසීරුයි නෙව. සල්ලි හොයන්න කරන මගුලක් නොවෙන නිසා ගොඩයාට ආතල් එකක් ලැබෙන්නෙ නැති මගුල්වලට ගිහිං ආයෙම ගොඩයා කීබෝර්ඩ් එක පිටිපස්සෙ හිටගන්නෙ නෑ... අපිට පුලුවං කියලා ලෝකෙට පේන්න බෑන්ඩ් ගහන එවුන් සහ තමුන්ටත් විඳින්න පුලුවන් දෙයක් අනුන්ටත් ලබාදෙන්න බෑන්ඩ් ගහන එවුන් කියන්නෙ දෙපිරිසක්. ගොඩයා ඉන්නෙ දෙවැනි කොටසෙ. ඔය දෙකොටසට එකට දීග කන්න අමාරුයි. ඒ නිසා ගොඩයා ආයෙම ඩිවෝර්ස් උනා බෑන්ඩ් එකන් පාර්ට් ටයිම් කොන්සර්ට් ගහන්න එන්නං කියන පොරොන්දුව පිට.

ඒ බෑන්ඩ් අටුවාටීකා ලියන්න ගිහිං ලියන්න ආපු කතාව කැලේ පැන්නා කියහංකෝ.

 ඒ කාලෙ අපේ මහේශ් සහ චන්දන තමා සවුන්ඩ් සෙටප් එක අරං ගියේ වැඩ වලට. මහේශ් තමයි ඔක්ටොපෑඩ් වාදනය. චන්දනයා නිත්‍ය ගායක. දෙන්නම වැඩ දෙකම ලෙසටම කරනවා උනාට සවුන්ඩ් හයි කරලා වෙස් මාරුකරගන්න තැන තමා බලන් ඉන්න සුන්දර. මොකද කියනවනම් බඩලගෙම ඇඳුම් ආයිත්තම් ටික තියෙන්නෙ සවුන්ඩ් ගෙනියන ලොරියෙම තමා. ශර්ට් කලිසම්වල, සපත්තු මේස්වල මාරු ඇරගන්න ගියාම දෙන්නා ඇරගන්නවා වරුවක්. සමහර දවස්වලට මේස් ජෝඩු දෙක දෙජාතියෙන් දෙන්නගෙ කකුල් දෙකේ.. සප්ත්තු දෙකත් ඉතිං ඒ සන්තෑසියම තමා. ඉනේ බඳින බෙල්ට් දෙකක් හොයාගන්න බැරි උනාම දෙන්නා සවුන්ඩ් ලොරිය ඇතුලේ මරාගන්නවා එක බෙල්ට් එක බෙදාගන්න. හුඟක් වෙලාවට අපේ මහේශ් ඇඳුම් ටික පිලිවෙලට අරගෙන ගියාට චන්දනයා කරන්නෙම මහේශයාගෙ මේස් දෙක, බෙල්ට් එක වගේ කෑලි වලින් එකක් දෙකක් උස්සන එකම තමා. එව්වා අපිට අදාල නැති උනාට ආතල් ගැනිල්ලට ඉතිං අපිටත් තැනක් නොතැනක් නෑ නෙව. වෑන් එකෙන් බැහැපු ගමන් සවුන්ඩ් ලොරියෙ තියෙන අරුන් දෙන්නගෙ ඇඳුම් බෑග් දෙක හොයලා පොඩි මාරුවක් දාලා එකක් දෙකක් හැංගුවානම්, බෑන්ඩ් ප්ලේ කරන අතරෙත් ආතල් එකක් නොමිලේ... 

ගායකයෙක් සිංදු පහක් හයක් කියලා තිස්දාහක් හතලිස්දාහක් අරගෙන ගෙදර ගියාට ඒ සිංදු ටික රහට ගයන්න සංගීතය සපයන බෑන්ඩ් කාරයන් බහුතරයකට ලැබෙන මුදල ගායකයන්ට සාපේක්ෂව ඉතාමත් අඩු මුදලක්. ඔවුන් බහුතරයකගේ ජීවිතවල ඇතුල් පැත්ත හරිම සෝචනීයයි. සංගීත භාණ්ඩයක් ප්‍රෝ ලෙවල් එකට ප්ලේ කරන්න ඉගනගන්න වෙන්න ඕන මහන්සිය දන්නේ ඒක කරපු එවුන් විතරයි. ඒ වෙන  මහන්සියට සහ කැප කරන කාලයට ලංකාවේ ලැබෙන පිළිගැනීම සහ මිල ඉතාම මදියි. වින්දනය ඕනෑ වෙලාවට පමණක් වේදිකාවට නග්ගලා වින්දනය අරගෙන ඒ වැඩේ අහවර උනාම උන් දිහා හැරිලාවත් නොබලන මිනිස්සු ඉන්න රටක සංගීතය කියන්නේ කරන උන්ටම කරුමයක්දෝ කියලා ගොඩයාට හිතෙනවා වෙලාවකට. ගායකයෝ බුරුතු පිටින් හිටියට, එයාලාට සංගම් තිබුනාට, වේදිකාවේ එයාලගේ පිටිපස්සෙන් හිටගෙන සංගීතය සපයන කොල්ලන්ගේ ජීවිත සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ අනාගතය ගැන ගායකයන්ගේ සංගම් මේ වෙනතුරු කිසිවක් කරලා නෑ කියලයි ගොඩයාගේ මතය. සංගීතය සපයන උදවියට ලැබෙන සැලකිල්ල එහෙමනම්, සවුන්ඩ් උස්සන එවුන් ගැන කතා කරලා පලක් තියේවිද මන්දා..  ලියාගෙන ආපු කතාව කැලේ පැන්නා ආයෙම..


 ඕං ඔය කිව්ව ආකාරයෙන් හවස හතහමාර වගේ වෙද්දි වැඩේ පටාන් ගැනුනා කියමුකෝ. ලොකු අවුලක් නෑ වැඩේ හෙමීට ඇදීලා ගිහිං පලවෙනි බ්‍රේක් එකත් ගන්නව. වෙඩිමේ හෝ පාර්ටියේ උදවිය ආගන්තුක සත්කාර වලට ලැදිනම් ඉතිං බෑන්ඩ් එකටත් රහමෙර සුට්ටක් ඔෆර් කිරීම සාමාන්‍ය දෙයක්නේ.. ගොඩයා ඉතිං අමධ්‍යප නිසා ගොඩයා ඔව්වාට නෑ..(පුහ්.. එහෙම තමා ගෙදරට කියන්නෙ... හක් හක් හා)

පලවෙනි බ්‍රේක් එක ටිකක් ඇදීලා ගිහිං ඕං ආයෙම වැඩේ පටං ගන්නව. හෝම්කමිං පාර්ටියේ ඩිනර් එක ඉවරවෙලා එහෙම රෑ දහයාමාර එකොලහ වෙද්දි තමා යක්කු පිටියට බහින්නෙ. ඒ කිව්වෙ රෑ නිදිමරාගෙන පාර්ටියට වෙහෙස වෙච්ව ගෙදර එවුන් ටික දැලි කුණු පිටිං දෙකක් තුනක්  අනුමත වෙලා ඩාන්සිල් ෆ්ලෝ එකට බහින්නෙ ඒ වෙලාවට තමා. එව්වයෙ කොමිටල් දකින්න ඉතිං හැමෝටම වාසනාව නෑ. එව්ව නරඹන්න ඉතිං ස්ටේජ් එකක් උඩටම නගින්න ඕන. බෑන්ඩ් ගැහිල්ල පැත්තකින් තියලා ස්ටේජ් එකෙන් බිමට පැනලා බිම පෙරලිලා බඩ අල්ල්ගෙන හිනා වෙන්න ඕන සීන් අනන්තයි. ඕං ඔය ආකාරයෙන් තනි බ්‍රේක් එකෙන් වැඩේ දිගටම ඇදීලා සික්ස් එයිට් බීට් එකේ ටෙම්පො එකත් උඩටම ගිහිං රෑ දොලහ වගේ වෙද්දි වැඩේ අහවර කරන තැනට ඩ්‍රමර් බ්‍රේක් එක දැම්මා. ගොඩයත් ඉතිං සිරි ලංකා මාතා ගහන්න අත තිබ්බා විතරයි ඩාසින් ෆ්ලෝ එකේ සූටි කලබගෑනියක් වගේ දැක්කත් එක්ක. ගොඩයාට එව්ව අදාල නෑ නමෝ නමෝ මාතා පාර්ට් එකෙන් කොට පාරෙන් වැඩේ ඉවරයක් කරලා දැම්මා කීබෝර්ඩ් එකට සමු දීලා. සවුන්ඩ් ඇදිල්ලට ගොඩයාට අයිති නැති නිසා මික්සර් එක ඕෆ් කරාද කියලා තහවුරු කරගෙන කීබෝර්ඩ් ජැක් දෙකත් ඇදලා දැම්ම අපේ සවුන්ඩ් ඩබලට ලේසි වෙන්න...

අපි දවස් ගානක් නිදි මරාගෙන පොල් කොටන් ඇදලා ස්ටේජ් ගැහුවෙ තොපිව රෑ දොලහට ගෙදර යවන්නද X#@#%^&%$$^&**&^...

ආං එහෙමයි පිංවතුනි පලවෙනි වෙඩි මුරය පත්තු වුනේ... අපේ බෑන්ඩ් ලොක්කත් එසේ මෙසේ පොරක් නෙවෙයි කියහංකෝ.. මෑන්සුත් ගේම ඉල්ලන්නයි ලෑස්තිය... වැඩි වෙලාවක් ගියේ නෑ පිංවතුනි කුස්සිවල තිබ්බ මෝල් ගස්, ඇඳ පොලු සියල්ලම ඩාන්සිල් ෆ්ලෝ එකේ කියහංකෝ... වැඩේ තීරනාත්මකයි... ඇඳ පොලු, මෝල් ගස් වලට බයවෙනවද අම්බලංගොඩ කොල්ලො... බෑන්ඩ් එකේ සැට් එක ගේම ඉල්ලනවා තව ගහන්න බෑ කියලා.. වෙඩිමෙ සැට් එක දෙවැනි බලඇණිය බස්සනවා යුද්දෙට ඒ එක්කම... ඩාන්සින් ෆ්ලෝ එකට හෙවත් මිදුල මැද්දටද පිංවතුනි... නෑ පිංවතුනි... ස්ටේජ් එක උඩට... එතකොට ඇඳපොලු, මෝල් ගස් එක්කමද දෙවැනි බලඇණිය යුද්දෙට පැමිණියේ... නෑ පිංවතුනි... කඩු සහ මන්නා පිහි සමග... පූදුකුඩුඉරිප්පු අවසන් මහා සටන ඇරඹුනේ 2009 උනාට ඒ ගානට කෙලෝගන්නෙ කොහොමද කියලා අපි සැට් එක ඉගෙනගත්තෙ 1999 අවුරුද්දෙ. කුදාර් වෙන්න බීගතපු කකුල් දෙකේ මී වස්සෙක් කඩුවක් ගෙනැල්ලා ගොඩයා ඉස්සරහ තියෙන කීබෝර්ඩ් එක උඩිං තියලා අහනවා... තොපි සිංදු ගහනවද නැත්තං මං තොපිව පෙති ගහන්නද කියලා ආයුබෝවන්ඩ... අම්බලන්ගොඩ එවුන් බය වෙනවද ආයුබෝවන්ඩ එව්වට... කියලා ලිව්වට ගොඩයාට නම් ඒ වෙලාවෙ සූ නොගිය ටික විතරයි. යකෝ ආවෙත් කලුවර වැටුන වෙලාවක.  ලොක්කගෙ ඩොල්පින් වෑන් එකේ වීදුරුත් කලු කරලා නිසා ආවෙ කොයි පාරෙන්ද කියලාවත් ගොඩයාට නිනව්වක් නෑ. හතර ගාතෙ දාන්න ඔන්න මෙන්න වෙන්න බීලා ඉන්න එකෙකුගේ කඩුව ඉස්සරහට ගිහිල්ලා ගේම ඉල්ලන්න ගොඩයා ජෝන් සීනා නෙවෙයිනේ ආයුබෝවන්ඩ.. ඒත් ඉතිං ඌව මගහැරලා උගෙන් බේරිල පැනලා දිව්වා කියලා කොහේද කිහංකෝ දුහන්නෙ. පාරක් තොටක් නොදන්න ගමක රෑ දොලහට එකට, කට්ට කලුවරේ කොහේ කියලා දුහන්නද. ඒ දිව්වා කියලා පාර්ටියේ මරු විකලෙන් ගේම ඉල්ලන කොල්ලො පනහක් සීයක් එක්ක රේස් දුහන්න ගොඩයා උසේන් බෝල්ටුත්  නෙවෙයිනේ ආයුබෝවන්ඩ. නොදුව හිටියොත් එකෙක්ගෙන් දෙන්නෙක්ගෙන් කනේ පාරක් දෙකක් කාලා ජීවිතේ බේරගන්න පුලුවන් තත්වයක් යටතේ දිව්වොත් පනහකගෙන් විතර   නැවකට ගුටි කාලා මරුම්කන්නත් වෙනවා කියන එක ගැන තෙරුම් කරන්න රොකට් සයන්ස් ඕන නෑනෙ ෆේන්ඩ්ස්.. 

ආං ඒ වගේ යුද තත්ත්වයක් ඇති වෙන්න ඔන්න මෙන්න තියෙද්දී උනත් අම්බලන්ගොඩ කොල්ලො එව්වට භය වෙයිද... කියලා ගැම්මට ලිව්වට ඔය කියන දවසේ බෑන්ඩ් එකේ සැට් එකම අවසානයේ තීරණය කරනවා නැවත සංගීතය සපයන්න.. අදත් ගොඩයාට හිටපුගමන් කල්පනා වෙනවා එදා ආයෙම මියුසික් ගහන්න බෑම කීවානම් මොකකින් මොකක් වෙන්න තිබුනද කියලා. එහෙම උනානම් බෑන්ඩ් එකේ හත්දෙනාම මූනු වෙස්මූනු වෙන්න ගුටි කනව. සවුන්ඩ් සෙටප් එක කුඩේ කුඩු වෙනව. වෑන් එකයි ලොරියයිත් කුඩු වෙනව. සිහිය කඩෙන් ගේන්න වෙන තරමට වෙරිවෙලා ඉන්න සීයක් විතර පිරිසක් එක්ක හත්දෙනෙකුට අතින් පයින් ගහගෙන දිනන්න ඒක දෙමල පිචැර් එකක් නෙවෙයිනේ ආයිබෝවන්ඩ. රැජිනි කාන්තලා කෙසේ වෙතත් ජෝන් සීනලා හත්දෙනෙක් හිටියත් එතන අනිවා තිබ්බෙ හකු පනිනකල් ගුටි කෑමක් පමණයි. හැබැයි පස්චාත් වලිය ගැන උපකල්පණය කලාම, එදා අපි සැට් එක ගුටි කෑවනම්, මගුල් ගෙදරට රිටර්න් එකත් ඉතිං හිල්ටං බුෆේ එක තරමටම ලැබෙනවා කියන එකනම් ඉතිං හෙට ඉර පායනවා කියනවා තරම්ම ස්ථීරයි. ඒ විදිහට වැඩේ ඇදුනානම්, කීදෙනෙක් රෝහල්ගතවෙයිද, කී දෙනෙක් එලොව යයිද කියලා ඇනලිසිස් එකක් කරන්න බැරිවුනාට එකෙක් දෙන්නෙක් එලොව යන්න තිබ්බ සම්භාවිතාවය ටිකාක් විතර ඉහල අගයක්. මොකද කියනවනම් අපේ ගම්පලාත්වල බොහෝමයක් වලි ඉවර වෙන්නෙ පත්තරේට විස්තරේ වැටිලාමයි කියන එක රටටම හංගන්න දෙයක් නැනේ..

අවසානයේ හෝම්කමිං උත්සවය උදෑසන පහ දක්වා පැවැත්වුනු මහා සංගීත රාත්‍රියක් බවට පත්වුනා ඉවසන දනාලාට නෙලන්න රුපු යුදයට කඩු ගෙනාපු නිසා... ලැබුනු මුදල ඉතිං හෝම්කමිං එකට පොරොන්දුවුන මුදල පමණයි.
හොම්කමින් එකකට බුක් කරාට ඕපන් ස්ටේජ් එකේ ගාන ගෙවපන් කියලා ආයෙම ගේමක් ඉල්ලන්න තිබුනා තමා.. ඒත් ඉතිං ඒ ඉල්ලුවා කියලත් ඉතිං ලැබෙන්න ඉඩ තිබ්බේ ගුටි පෝරියල් එකක් පමණයිනෙ පින්වතුනි. උදේ පහ වෙනකල් මියුසික් ගහලත් ආයේ මොකටෝ ගුටිත් කාලා ගෙදර යන්නේ නේහ්..

 වැඩේ අහවර වෙලා ගෙදර එද්දි පහුවදාට එලිවෙලා. සවුන්ඩ් පටවන එක සවුන්ඩ් ඩබලගෙ රාජකාරිය උනාට එදා බෑන්ඩ් එකම එකතුවෙලා විනාඩි දහෙන් සවුන්ඩ් ටික අකුලෝලා ලොරියට ඔබාගත්තෙ සවුන්ඩ් ඩබලව තනියම  දාලා එන්න වාතාවරණයක් එතැන තිබ්බෙ නැති නිසා. අසාධාරණය ඉදිරියේ හිස නැමීම නොකලයුත්තක්. ඒත් දීර්ඝායුශ ලබන්නනම්, පොලිසි, උසාවි, ඉස්පිරිතාල, හිරකූඩු ගානේ රස්තියාදු නොවෙන්නනම්, නාහෙ ගාවට බීගෙන අවසිහියෙන්   කඩු කිනිසි මන්නා පිහි මෝල් ගස් උස්සගෙන එන එවුන් ඉස්සරහා කුක්කො වගේ නගුට අකුලෝගෙන මාරුවිය යුතුයි. එච්වර සන්තෑසියක් වෙලත් ජීවිතේත්, සවුන්ඩ් සෙටප් එකත්, වාහන දෙකත් බේරගෙන එතැනින් පැනගෙන අඩි දහයක් එන්න කලියෙන් අපේ චන්දනයා ලොරියෙ ගියර් පොල්ල අතට ගලෝලා ගත්තා කියහංකෝ.. අන්තිමේ ඒ දහිරවාට්ටුව ගෙදර ගේන්න මජන් නාන්න උනෙත් ගොඩයාටම තමා. ඒ විස්තරේ පසුවට ලියමු... 

සංගීතය දෙවියන්ගෙන් ලැබුන දායාදයක් කිව්වට, පල්ලෙහා බීලා නටන එවුන් දිව්‍යලොකෙන් බැහැපු එවුන් සෙට් එකක් නෙවෙයි කියලා මතක තියාගෙන තමා ලංකාව් බෑන්ඩ් ගහන්න ඕන. කෙස් ගහෙන් ඉවසීම මිස් උනොත්, සවුන්ඩ් කුඩු වෙලා, ඔලු පැලිලා, දත් කැඩිලා, අත පය කැඩිලා, ෆුල් බොඩි මසාජ් එකක් ලැබිලා.. පත්තරවල, ටීවීවල, සෝෂල් මිඩියාවල නම වැටිලා තමයි ඉවෙන්ට් එක අවසාන වෙන්නේ.... ඇයි ඉස්පිරිතාල, පොලීසි, උසාවි... එව්වයේ යන්න වෙන එකත් ඉතිං දෙවියන්ටවත් වලක්වන්න බෑ...  සංගීතය දුන්නේ දෙවියෝ උනාට රසිකයෝ දුන්නේ දෙවියෝ නෙවෙයිනේ අයුබෝවන්ඩ... කොච්චර උනත් දෙවියන්ට තිබ්බා රසිකයෝ ටිකත් එහෙම්ම බස්සන්න නේහ් ... 

Monday, January 31, 2022

අපේ පුස්තකාලය.. අපේ කිව්වට අපේම නෙවෙයි ;)

 



ඒ ෆේස්බුක් පෝස්ට් එක අහම්බෙන් හමුවෙලා තිබුනෙ අපේ හිතාදර මිත්‍ර රවීට එයයිගේ කැම්පස් group එකේ තිබිලා. එයයි තමයි පෝස්ට් එක කපලා අරගෙන ධම්සෝ 96 බැච් group එකට දාලා අදාල කාරනාව අපේ කට්ටියගෙ ඇහැ ගැටෙන්නට සැලැස්සුවේ. කාල වකවානුව කීවොත් 2021  පෙබරවාරි මාසෙ මුල. වැඩේ තමා අම්පාර අභයපුර විද්‍යාලයට අලුත් පුස්තකාලයක් සාදාදීම. ෆේස්බුක් පෝස්ට් එකට අනුව අභයපුර විද්‍යාලයේ දරුවන් පුස්තකාලයක් විදිහට පාවිච්චි කරලා තිබුනේ මැටියෙන් හදාගනිපු පොඩි කාමර කෑල්ලක්.


මේක තමා ඒ  පොස්ට් එක 





මේ තමා පුස්තකාලය විදිහට පාවිච්චි කරපු ගොඩනැගිල්ල..


 අම්බලන්ගොඩ ධර්මාශෝක විඳ්‍යාලයේ 96 AL සැට් එක වැඩේට බැස්සෙ කොහොමහරි මේක අවසන් කරන බලාපොරොත්තුවෙන් . ඒත් ඉතිං වැඩේට දාහක් භාදක  නොතිබුනා නොවෙයි. පලවෙනි සාකච්ඡා වටයේදීම මතු වෙච්ච දැවෙනම ප්‍රශ්ණය උනේ අපි අපේ ඉස්කෝලෙට යමක් නොකර පිට ඉස්කෝලවලට ආධාර උපකාර කරන්නෙ ඇයි කියලයි.  ඒක එයාලගේ පැත්තෙන් සාධාරණ ප්‍රශ්ණයක් උනාට අපේ ජිම්බාගෙ භාශාවෙන් ඕකට උත්තරේ උනේ බත් තියන තැනටම කොසුත් දෙන එකෙන් මුකුත්ම නැති තැනට කොසුත් නැතිවෙනවා කියන එකයි. ඒ නිසා ජිම්බා කෙලින්ම කියා හිටියේ බත් තියන තැනට කොස් නොදී කොස්, බත් ඇටයක්වත් නැති තැනකට දීපියව් කියලයි. ගොඩයාගෙ අදහස උනෙත් පහසුකම් අඩු ඉස්කෝලෙට ප්‍රමුඛත්වය දියයුතුයි කියන එකයි.

  මේ යෝජනා වෙච්චි ප්‍රොජෙක්ට් එකටත් අකමැති අයවලුන් හිටියත් ඒ අකමැති අයවලුන් ඊලඟ ප්‍රොජෙක්ට් එකට දායක වෙච්චාවේ කියලා තඩියා, රවී සහ ණුවන් ඇතුළු සංවිධායක මන්ඩලය වැඩේට බහින්න තීරණය කිරීම ගොඩයාටනම් පට්ට හැපී... ගොඩයා ඉන්නෙ ලංකාවෙ නෙවේ නිසා ඉතිං කිසිවක් බලකරලා කියා හිටින්න බෑ. කරන දෙයක් මුදලින්ම විතරයි. මුදල් තිබ්බ පලියට මේ වගේ වැඩ සාර්ථක කරගන්න බෑ. ඒකට භූමියේ බැහැලා වැඩ කරන කන්ඩායමේ දායකත්වය තමා පලවෙනිම සාධකය ඒ වගේ වැඩක් සාර්ථක කරගන්න. ඕං ඒ කී ආකාරයෙන් අපේ සැට් එකේ, ලංකාවෙ ඉන්න සැට් එකේ , වැඩකරන ජනතාව වැඩේට බැස්සෙ වැඩේට හොඳ  සැලැස්මක් අතේ තියාගෙන. 


වැඩේ ගැන Sokians 96 බැච් එකට දාපු පලවෙනි බුකි පෝස්ට් එකටම සම්පත් දායකයින් බොහෝමයක් එකතුපහදු උනායින් පස්සෙ වැඩේට මුල්ගල එහෙම තියලා ගොඩනැගිල්ල හදන්න පටන්ගති. පාසලක ගොඩනැගිල්ලක් හදනවා කියන එක නිකං ආවාට ගියාට කරන්න බැරි වැඩක්. ඒ වෙනුවෙන් රජයෙන් අවසර ගැනීමේ කටයුතු ටික විදුහල්පතිතුමා විසින් එතුමාගේ මහන්සියෙන් සම්පුර්ණ කරගත්ත නිසා අපිට ඒ වෙනුවෙන් මහන්සි වෙන්න දෙයක් ඉතුරු උනේ නෑ. 

 සමහරුනම් කීවෙ සල්ලි නෑ බොලව් ඕපන් කරනකොට පොත් ටිකක් දෙන්නම් කියලා උනාට, කොයි එකටත් මුදල් දෙන උදවිය සියල්ලොම එකෙන්ම වැඩේට සැට්. පුස්තකාල ගොඩනැගිල්ලක් හැදුවට වැඩක් නෑනෙ ආයුබෝවන්ඩ ඒකෙ කියවන්න පොත් නැතිනම්. ඉතිං පොත් දෙන්නම් කියන උදවියගේ සහයෝගයත් වැඩේට උත්ප්‍රේරක තමා.  ඒ ආකාරයෙන් මුදල් දෙන්නම් කී අයවලුන් සියල්ලෝම පාහේ බැච් එකේ එකවුන්ට් එකට සල්ලි දාගෙන යද්දි ගොඩනැගිල්ලත් හෙමි හෙමීට උඩට ගියා. ඒ යද්දි ඉතිං වෙච්ච අලකලංචි ,  කකුලෙන් ඇදිලි, නින්ජා ගැහිලි, බාල්දි දැමිලි   නොතිබුනාමත් නෙවෙයි ආයුබෝවන්ඩ.  එව්ව ඉතිං දෙදාස් පන්සීයක හිටං පැවත එන සංස්කෘතියේ වටිනාම කෑලි නිසා එව්වා නැතුව පොදු වැඩක් කරද්දි වැඩක් කරනවා කියලා ඇඟට දැන්නෙ නෑ. භූමියේ බැහැලා වැඩ කරපු සැට් එක, අතිං පැස්ටෝල් ගහගෙන අම්පාර අම්බලන්ගොඩ ගිය එව්වා අටෝරාසියක් උනාට ඒ වියදම් එකක්වත් වැඩේට එකතුකරපු අරමුදලින් සැපයුනේ නෑ. ඒ කියන්නෙ අපේ තඩියගෙ විට්ස් එකයි රවියගෙ වෙසල් එකයි, සුමියගේ ඇක්සියෝ එකයි අම්පාරෙ ආවෙ ගියේ අතිං කාලා හරක් බලන න්‍යායෙන්ම තමා. වෙනත් විදිහකින් කියනවනම්, වැඩේ වෙනුවෙන් බැහැලා වැඩකරා කියලා වඩයක් ප්ලේන්ටියක්වත් එකතු කරපු අරමුදලින් ගැනිලි සුම්මා.. 

 කොහොමින් කොහොමහරි ගොඩනැගිල්ල හැදෙද්දි විදුහල්පතිතුමාගේ ජොබ් එකටත් කෙලවෙන තැනට කකුලෙන් ඇදපු තැනුත් නැතුවා නෙවෙයි කියලත් විදුහල්පතිතුමා විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් කරපු කතාවේදී කියවුනා.. එව්වා ඉතිං සුපිරි සිරිබර සිරිලංකාවේ පොදු වැඩ වලදී කෙරෙන සංකෘතික අංග නිසා එව්වා වැඩිය ගනන්ගතයුතු නෑ .  වැඩේ සාර්ථකව ඉදිරියට ඇදෙද්දී  මැදිං පැනලා ලොරි ටෝක්ස් දීලා සංවිධායකකම් බලෙන් අරගෙන වැඩේට අසික්කිත දේශපාලනේ ඔබ්බවලා පොරවල් වෙන්න  දඟලපු අයවලුනුත් හිටිගමං කලඑලි බැස්සෙ නැත්තෙමත් නෑ.. එව්වා අපේ සංවිධායක මංඩලය කලින්ම බලාපොරොත්තුව හිටපු දේවල් නිසා ඒ ඒ අසනීප තියන උදවියට ගහන්න ඕන වැක්සීන් වැඩේ පටන් ගනිද්දිම ලෑස්ති කරලයි තිබ්බෙ...😂

ගොඩනැගිල්ල භාගයක් හදාන එද්දී තමා සංවිධායක මන්ඩලයට තේරුනේ ඇස්තමේන්තු කරපු මුදලින් වැඩේ අහවරක් කරන්න බෑ කියලා. ඉතිං ඒ කියලා අපි මක් කරන්නද ආයුබෝවන්ඩ. දෙනවා කී අය මුදල් දීලා අහවරයි.. භාරගත්තානම් සංවිධායකවරු දැනගන්ට ඕන වැඩේ අහවර කරන්න. 😜😜😜

ඕං එතැන හිටං තමා අපේ තඩියා නොහොත් පහත කොමෙන්ට් කරන චමිල වරුසවිතානයා සහ සම සන්විධායකලා දෙන්නා දන්න දන්න එවුන්ට නාහෙන් අඬන්න පටාං ගන්නෙ. තඩියා ඇතුලු සංවිධායක මණ්ඩලය වටේටම මැසේජ් ගගහා කෝල් ගගහා සල්ලි  ඉල්ලනවා ආධාර විදිහට. සමහරු සත්භාවයෙන්ම සල්ලි දෙනවා. සමහරු මැසේජ් එක ඕපන් කරන්නෙවත් කෝල් ආන්සර් කරන්නෙවත් නෑ කියහංකෝ. ගොඩයා තඩියාට මැසේජ් ගහලා අහන්වා මොකෝ තත්ත්වේ කියලා.. තඩියා නාහෙන් අඬාගත්තු ගමන්මයි.. උගේ කටේ තිබ්බෙම හල්ලි මදියි හල්ලි මදියි යකූ කියලාමයි. ඔය කී අකාරයෙන් මුදල්  මදිකමින් කීප වතාවක්ම වැඩේ නවතින්න යනවා වගේ  උනාට සත්භාවයෙන්ම වැඩේට උදව් කරන උදවිය මාර්ගයෙන් බැච් එකේ එකවුන්ට් එකට පොඩ්ඩ පොඩ්ඩ සල්ලි වැටෙනව. සංවිධායක මන්ඩලය විකල්ප විසඳුම් හොය හොයා වට්ස්ඇප් මීටිං තියනවා ඉවරයක් නෑ. පරාල ඇණ ගහන්න ඕන තැන් ගම් ගාලා අලවන්න බැරි නිසා සමහර වැඩවලට විකල්ප විසඳුම් තිබුනේම නෑ. අභයපුර විද්‍යාලයේ  විදුහල්පතිතුමාත්, ගුරු මණ්ඩලයත් වැඩේ අන්තිම සතේට බජට් කරන්නත් අන්තිම අඩුම තැනින් අඩුමකුඩුම මිලට ගන්නත් දරපු මහන්සිය අතිවිශිෂ්ඨයි. ප්‍රතිපාදන හිඟ වෙද්දි පාසල් දරුවන්ගේ දෙමාපියන්ගේ ශ්‍රමයත් වැඩේ වෙනුවෙන් ලබලා දෙන්න විදුහල්පතිතුමා මැදිහත්ව කටයුතු කලා. අභයපුර විද්‍යාලයේ දරුවන්ගේ දෙමාපියනුත් වැඩේ වෙනුවෙන් තමුන්ට පුළුවන් උපරිම සහයෝගය දෙන්න ලෝභ උනේ නෑ.

 අම්පාරෙන් ශ්‍රම දායකත්වය අරගෙන කරද්දි වියදම වැඩි වෙන ඇස්තමේන්තු ලැබෙද්දි විකල්පය උනේ අම්බලන්ගොඩින් ශ්‍රමය සැපයීම පමණයි. ඒ වගේ අවස්ථා දෙකකදී සංවිධායක මංඩලයට සිද්දවෙනවා විකල්පය භාවිතා කරන්න. ගේදොර වැඩ අතපසු කරගෙන රැකීරක්ෂා අතපසු කරගෙන ධම්සෝ 96 සාමාජික  ගයාන්, චින්තක, සමන්ත කියන මිත්‍රයන් අම්බලන්ගොඩින්  බාස්ලා අරගෙන අම්පාරෙ ගිහින් තමා අලුත් ගොඩනැගිල්ලේ වහලය ගහන්නෙ. ඒ වගේම ජනෙල් උලුවහු වැඩේ කෙරෙන්නෙත් අම්බලන්ගොඩින් ශ්‍රමය සපයාගෙන. එව්වා ඉතිං සත්භාවයෙන්ම කෙරුනු දේවල් කීවොත් තමා හරි. වැඩ කරන්න අභයපුර ගිය උන්දැලා සෑට සෑට හීනියට රත්වෙන යමක් සප්පායං උනාද කියලා නිල වශයෙන් වාර්ථා උනේ නැති උනාට එහෙම නොවී තියෙන්න විදිහකුත් නෑ . හැබැයි ඒ වියදම් සියල්ලම තම තම නැණ පමණින් තම තමුන්ගේ සාක්කුවෙන් සැපයුනා කියලානම් ගොඩයාට හොඳටම ශුවර්. මොකද කියනවනම් බජට් එකේ එව්වට ප්‍රතිපාදන නෑ.. 

2021 පෙබරවාරි මාසෙ වැඩේ පටන් ගනිද්දී සියල්ල  අංගසම්පූර්ණ වෙන්නම හදපු බජට් එක 2021 අගභාගය වෙද්දී වැඩෙන් භාගයක් ඉවරකරගන්නත් මදි වෙන තැනට කටයුතු යෙදුනේ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල බලා ඉද්දි වැඩිවෙන්න ගතපු නිසා කියලයි ගොඩයාගෙ පුද්ගලික මතය. එව්ව ගැන ඉතිං වැඩි වැඩියෙන් පහදන්න ගියොත් මේක ආර්ථික විද්‍යා පාඩමක් , එතැනිනුත් එහාට ගියොත්  දේශපාලන විද්‍යා පාඩමක්  වෙන නිසා එව්ව ගැන වැඩිය විශ්ලේෂණය කිරීම අනවශ්‍යයි..  

අභයපුර විද්‍යාලයේ කොම්පීතර කාමරයක් තිබුනා උනාට ඒ තිබ්බ කොම්පීතර පහලොවෙන් දොලහක් එලෝ ගිහිං තිබුන නිසා අපේ සංවිධායක මන්ඩලයේ නුවන් ඒ වැඩෙත් ගොඩ දාලා දෙන්න ගනිපු උත්සාහයකුත් මල්පල ගැන්වුනා කොහොමින් කොහොමහරි. අපේ නුවන් IT පැත්තෙන් වැඩ්ඩා නිසා එව්වා ගැන අපිට ඔලුව දැමීමේ අවශ්‍යතාවයක් තිබ්බේ නෑ. පරිඝනක සඳහා අමතරකොටස් වෙනුවෙන් යන රුපියල් පනස්දාහකට වඩා වැඩිමුදල සැපයුනේ අපේ සංවිධායක තඩියා නොහොත් චමිලයාගේ බිරින්දෑගේ මිතුරියක් වෙන ස්විස්ටර්ලන්තයේ වාසය කරන නිශා. 

ඕං ඔය ආකාරයෙන් තමා පුස්තකාලය හැදීලා අහවර වෙලා විවෘත කරන තැනට කටයුතු යෙදෙන්නෙ.  පුස්තකාලය විවෘත කරන්න ඔක්කොම ලෑස්තියි කියලා තඩියා විසින් ගොඩයාට දැන්නුවට පස්සෙ ඊලඟ කාර්‍ය් උනේ පොත් දෙන්නම් කීව උදවියගෙන් පොත් ටික එකතු කරගැනීම නිසා ඕං ගොඩයා ඒකට අදාල පෝස්ට් එක දානවා බුකියෙ ගෲප් එකට. 



බිල්ඩිම හදන්න සල්ලි ඉල්ලපු වෙලාවෙ පොත් දෙන්නම් කීව උදවිය ගොඩාරියක් හිටපු නිසා ඔය කීව පොත් ලෝර්ඩ් එක අම්පාරෙ ගෙනියන එකටත් වාහනයක් සූදානම් කරන්න වෙයි කියලත් ගොඩයයි තඩියයි කතාවුනා.

අපි කවුරුත් දන්න සන්නස්ගල සරුත් විඩින් විඩේ යූටියුබ් එකට වීඩියෝ දාන නිසා ගොඩයත් එව්වා එකක් නෑර බලන එකෙක්. එකඟ වෙන්න පුලුවන් තැන්වල මං ඔහේ එක්ක එකඟයි කියලා කොමෙන්ට් එකක් දාන්නත් එකඟ වෙන්න බැරි කාරනා වලදී මං තවුසෙ එක්ක එකඟ නෑ කියලා කොමෙන්ට් එකක් දාන්නත් ගොඩයා දෙපාරක් හිතන්නෙ නෑ. ලංකාවෙ ඉඳන් යූටියුබ් කරන උදවියගේ වැදගත් යයි ඇහැගැටෙන චැනල් ගොඩයා සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන නිසා වැඩ කරන අල්ලපනලේ, වාහනේ ඩ්‍රයිව් කරන අල්ලපනල්ලේ ඔව්වායෙ තියෙන දේවල් කනට දාගන්න ගොඩයත් ටිකක් විතර මනාපයි. සන්නස්ගල සරුත්  කීප විඩේ වීඩියෝවල කීප දෙනෙකුට පොත් දෙන්නම් කියලා කියනවා ගොඩයාගෙ කන වැටිලා තිබුන නිසා ගොඩයාත් ටිකක් විතර කල්පනා කරනවා අඩේ සන්නස්ගල සර්ටත්  පුස්ථකාලයේ වැඩේ කීවොත් පොත් ලොරියක් විතර දරුවන්ට ලැබෙයි නේහ් කියලා. ඕං ඔය විදිහට කල්පනා කරලා ගොඩයා සන්නස්ගල සර්ගේ  බුකි පේජ් දෙකකට ප්‍රයිවට් මැසේජ් දෙකක් දානවා මේං මෙහෙම. 





පොත් ප්‍රශ්නෙත් එහෙම විසඳෙන්න නියමිත නිසා ආයෙ ඉතිං පොත් ගැන ප්‍රශ්ණයක් තියෙන්නෙ විදියක් නෑනෙ. බැච් එකේ පොත් දෙන්නම් කීව උදවියගෙන් ලැබෙන්න නියමිත පොත් ලොර්ඩ් එකයි , රට වටේටම පොත් බෙදන සන්නස්ගල සර්ගේ පොත් ලෝර්ඩ් එකයි ලැබුනොත්, අපි හදපු පුස්ථකාලයේ ඉඩ මදිවෙයිදෝ කියලත් ගොඩයා රෑ දවල් නිදි නැතුව කල්පනා කළා . තඩියා විඩින් විඩේ පොත් ප්‍රශ්ණය මතුකලත් ගොඩයානම් එසැනින් උත්තර දුන්නෙ උඹ ඒ ගැන හිතන්නවත් එපා මචෝ කියලයි. ගොඩයා තඩියාට කීවෙම පොත් හොයන්න නෙවෙයි ලැබෙන පොත් ටික අම්පාරෙ ගෙනියන්න වාහන කටුවක් හොයාගනින් කියලයි. 

කොහොමින් කොහොමහරි පුස්තකාලය විවෘත කරන දවස ලංවුණා. ගොඩයත් අහම්බන් වගේ ලංකාවට ගිය නිසා ඕපනින් එකට යන්න ගොඩයටත් අවස්තාව ලැබුනා කියමුකෝ. දිනේ යෙදීලා තිබුනේ 2021 දෙසැම්බර් 13 දවසට. කොම්පියුටර් ටික හදලා දෙන්න ඕන නිසා තඩියා සහ ණුවන් දවස් දෙකකට කලින් අම්පාර බලා පිටත් උනා. රවී ගියේ වැඩේට දවසකට කලින් උන්නැහේගේ බිරින්දෑත් එක්ක. ගොඩයයි, ජීවනයයි, මන්ජුලයයි තුන්දෙනා අම්පාර බලා පිටත්වුනේ දොළොස්වෙනිදා රෑ හතට විතර. ත්‍රාසය, භීතිය , කුතුහලය, විනෝදය සපිරි අම්පාර ගමනේ විස්තර වීඩියෝ එක්කම වෙනත් බ්ලොග් පොස්ටුවකින් ලියන්නට නියමිත නිසා ඒ විස්තර මෙහිලා ලියවෙන්නේ නෑ. 

තඩියා සහ නුවන් නැවතිලා හිටපු හෝටලේට අපි සැපත් වෙද්දී පාන්දර තුනහමාරයි. උදේ අටට අභයපුර විද්‍යාලයේ විවෘතකිරීමට සහභාගී වෙන්න නියමිත නිසා අපි කට්ටියම උදේ පාන්දර අවධි වෙලා අභයපුර යන්න පිටත්වුනා. අම්පාරෙ ඉඳන් අභයපුරටත් ගමන ටිකක් දුරයි. අපි යද්දි ඉස්කෝලෙ ගේට්ටුව ගාව තොරන් ගහලා වැඩේ ලෑස්තියි උජාරුවට. නමෝවිත්තියෙන් පාසල් ගීය ගායනා කරලා ජාතික ගීය ගායනා කරලා පාසල් ධජය ජාතික ධජය එහෙම එසවීමෙන් අනතුරුව පාසලේ ප්‍රධාන ශාලාවෙ තමා නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවය ලෑස්තිවෙලා තිබ්බෙ.





 විදුහල්පතිතුමාත්, ගුරුවරුත්, පාසලේ දරුවනුත්, සත්කාරයේ සම්පත් දායකයන්ගේ නියෝජනය විදිහට සංවිධායක රවීත් පවත්වපු කතාවෙන් අනතුරුව  නමෝවිත්තියෙන් පුස්තකාලය විවෘත උනා. පාසලේ ආචාර්‍යවරයෙක් වශයෙන් සේවය කරන ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් කිරි ඉතිරවීමෙන් අනතුරුව පුස්තකාල ගොඩනැගිල්ල නිල වශයෙන් දරුවන්ට භාරදුන්නයින් පස්සෙ දැනුන සන්තෝසෙ කියන්න ලියන්න වචන නෑ.. පුස්තකාලේ විවෘත කරන්න පීත්ත පටිය කපන්න අපි පුංචි එවුන්ටම අවස්ථාව දුන්නා. පුංචි එවුන් වෙනුවෙන් සමාජ සත්කාරයක් කරලා ඒකෙ පීත්ත පටිය අපිම කපන්න ඕන කියලා නියමයක් නෑනේ .. එහෙම කලානම් අපිත් අර කට්ටිය වගේම වෙනවනේ නේහ්...















මේං මෙහෙම තමා වැඩේ අහවර උනායින් පස්සෙ පෙනුම. ඔය උඩ තට්ටුවේ දිලිසි දිලිසී තියෙන්නේ ඇප සැට් එක එකතුවෙලා හදපු  පුස්තකාල පොඩ්ඩ තමා..





මේ තමා ඇතුලේ පෙනුම ..







දැං ඉතිං මේක කියවලා පින්තූර බලන උදවිය  අහයි මේක හිස් ගොඩනැගිල්ලක්නේ කෝ බං ගොඩයෝ පොත් කියලා..  ආං එතකොට තමා ගොඩයාට අඬන්න හිතෙන්නේ... මුලින්ම සල්ලි එකතු කරද්දි පොත් දෙන්නම් කියලා ලොරි ටෝක්ස් දීපු එකෙක්වත් පොත් දුන්නෙ නෑ කියහන්කෝ . උං එකෙක්වත් ආගිය අතක් නෑ. එතකොට සන්නස්ගල සර්ගෙන් ඉල්ලපු පොත් ලැබුනෙ නැද්ද කියලා කව්රුහරි ඇහුවොත්? ඒකටත් උත්තරේ නෑ කියලා තමා. උන්නැහේගේ බුකි පේජ්වලට දාපු මැසේජ් බැලුවෙවත් නෑ දෙයියෝ.. පුස්තකාල ප්‍රොජෙක්ට් එක පටන් ගනිද්දි හෝ අහවර කරායින් පස්සෙ හෝ මොනයම් තැනකදීවත් සන්නස්ගල සර් අපිට පොත් දෙන්නම් කියලා පොරොන්දු උනේ නැති නිසා ගොඩයාට උන්නැහේට දොස් කියන්න බෑ. බුකියට යවන මැසේජ් බලන නොබලන එක උන්නැහේලාගෙ අයිතියක් නිසා මැසේජ් බැලුවෙ නෑ කියලා දොස් කියන්නත් බෑ. දෙන්නම් කීව එවුනුත් පොත් නොදුන්න එකේ වැඩේට කොහෙන්වත් සම්භධයක් නැති සන්නස්ගල සර්ට දොස් කියන්න ගොඩයාට සාධාරණ අයිතියක් කොහෙත්ම නෑ. ඒත් ඉතිං යූටියුබ් එකේ ඉන්ටවීව් කරන උදවියට පොත් දෙන්නම් පොත් දෙන්නම් කියලා කියන නිසා ගොඩයා හිතුවා ඉල්ලපු ගමන් අඩුම තරමේ  වීල්බැරෝ එකක් තරම් සයිස් පොත් පාර්සලයක්වත් අභයපුර දරුවන්ට උන්නැහේගෙන් ලැබෙයි කියලා.. ඒත් ඉතිං ඒකත් එහෙම උනේ නෑ. 

එතකොට පුස්තකාලෙට පොත් රාක්ක කෝ ? එකටත් උත්තරේ, මුලින් හදපු බජට් එකේ පොත් රාක්කවලට ප්‍රතිපාදන තිබුනට ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අහස උසට වැඩිවීම හේතුවෙන් අපිට හදලා ඉවර කරගන්න පුලුහන් උනේ ගොඩනැගිල්ල විතරයි කියලයි.. කොරෝනා එක්ක හැම කෙනාටම තම තමුන්ගේ ආදායම් අඩු වෙද්දී, එදිනෙදා ගෙදරදොර වියදමුත් බලන් ඉද්දි අහස උසට වැඩි වෙද්දී,  මේ තරමින්වත් වැඩේ අහවරයක් කරගන්න තමුන්ගේ තුට්ටු දෙක පරිත්‍යාග කරපු Sokians 96 සාමාජික සාමාජිකාවන්ටත් වැඩේට හවුල් වෙච්ච අනෙකුත් මිතුරු මිතුරියන්ටත් ඩබල් සැලියුට් කියලා ලිව්වට පවු නෑ ...

 
ආ... එකක් ලියන්න අමතක වෙනවා තා පොඩ්ඩෙන්. විවෘත කිරීමෙන් අනතුරුව අභයපුර විද්‍යාලයේ ගුරුමණ්ඩලය සහ දෙමාපියන් එකතුවෙලා තඩි තේ මේසෙකුත් ලෑස්තිකරලා තිබුනා කියහන්කෝ. එතනත් ඉතින් වැලිතලප , කැවුම් කෙසෙල් , කිරිබත්, කේක්, පෑන් කේක්, හැලප ඇතුලු අටෝරසියක් කෑම ජාති පිරිලා ඉතිරිලා. අපේ තඩියා එතැනින් සැහන ප්‍රමාණයකට වගකිවා කිසීම ලැජ්ජාවක් නැතුවම. අපිලා ඉතින් ලැජ්ජා බයට හැදිච්ච කොල්ලො නිසා ඒ තේ මේසෙටනම් වාඩිවෙන්න ගියේ නෑ. ඔය වාඩිවෙලා කොටාබාන්නේ අපේ තඩියා.. 





පුස්තකාලය හදන්න සල්ලි එකතුකරපු වෙලාවේ සල්ලි කීයක්වත් දීගන්න බැරිවුන නිසා පුස්තකාලය විවෘත කරලා භාරදුන්නයින් පස්සේ  පොත් කබඩ් එකක් වාරික වශයන් ගෙවන්න අරගෙන ඒක අභයපුර විද්‍යාලයට ඩිලිවරි කරවපු ගුරු සහෝදරියකුත් අපේ බැච් එකේ හිටියා කියලා මේකේ නොලිව්වොත් අම්බලන්ගොඩයා කුහකයා වෙනවනේ ආයුබෝවන්ඩ. අභයපුර විද්‍යාලයට පුස්තකාලය හදන්න මුදලින්, ශ්‍රමයෙන් , සිතුවිල්ලෙන් දායක වෙච්ච උදවිය එකෙක්වත් ඉහල පංතියේ ධනවතුන් නෙවෙයි. උන් බහුතරයක් සාමාන්‍ය  රස්සාවක් කරගෙන ජිවිතේ ගැටගහගන්න සාමාන්‍ය මිනිස්සු. උන් එකතු වෙලා රුපියල් එකොලොස් ලක්ෂ පනස් නවදාස් අටසිය පනහක්  (1159850.00 ) එකතු කරලා දුන්නේ පහසුකම් නොලැබෙන දරුවන්ට යමක් කිරීමේ අරමුණ හදවතට දැනුන නිසා මිසක් ඒ සල්ලිවලට කරන්න දෙයක් නැති නිසා නෙවෙයි  කියලයි ගොඩයාගේ අදහස. අම්පාරෙ අභයපුර විද්‍යාලයට පුස්තකාල ගොඩනැගිල්ල හදලා දෙන්න වෙහෙසුන හැමදෙනාටම පිං. පොත් කබඩ් එකක් පඩියෙන් මාසිකව ගෙවන්න අරගෙන ඒ දරුවන්ට යවපු අපේ ටීචර් බැචීටත් පිං කියලා තමා කියන්න තියන්නෙ.. 

අනකාගේ බැරි අමාරුකමක් පයිසෙකට ගණන් නොගෙන, ලක්සෙ රුපියලට වියදම් කරලා හෝටල්වල කාලා බීලා නටලා ගයලා පාර්ටි දාලා බුකියට පිංතුර දාන  උදවියගේ  සහ බැරි අමාරුකම් දාහක් තියෙද්දී කවදාවත් ඇහැට නොදැකපු දරුවන් පිරිසකට පුස්තකාලයක් හදන්න තමුන් මහන්සියෙන් උපයන මිල මුදල් නොමසුරුව පරිත්‍යාග කරන මිනිස්සුන්ගේ සිතුවිලිවල විෂමතාවය තියෙන්නේ කොතනද කියල විශ්ලේෂණය කරන්න ගොඩයා උත්සහ කරන්නේ නෑ.. සමාජ සත්කාරයක් කරන්න පටන් ගනිද්දි අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා පාරම්බාලා වැඩේ කෙරෙද්දි ඇඩ්‍රස් නැතුව මාරුවෙන එවුන් ගැන ලියන අකුරු පවු. යුනිකෝඩ් නොමිලේ ලැබුනත් ඒ වගේ එවුන් ගැන ලියන්න එව්වා වැය කලයුතු නෑ. අසරණ දුප්පත් දරුවෙකුට පොතක් පැන්සලක් අරං දෙන්න හෝ වෙනයම් හෝ සමාජ සත්කාරයක් කරද්දී  ඒ වෙනුවෙන් දායක වෙන්න රුපියලක් දෙන්න නොහිතුනාම  කියමුකෝ.. ඒත් ඉතින් ඒ උදවියම මාසෙකට සැරයක් දෙකක් හෝටලේක හෝ මුහුදු වෙරළක සෙට් වෙලා පාර්ටි දාල බුකියේ පින්තුරු දානවා දැක්කාම ගොඩයාට හිතට එන එව්වා මේකේ අකුරු කරලා බෑ...  මොකද කියනවනම්, මිනිස්සුන්ට අයිතිය තිබිය යුතුයි තමුන් උපයනදේ වියදම් කරන්නේ කුමක් වෙනුවන්ද , වියදම් නොකරන්නේ කුමක් වෙනුවෙන්ද, තමුන් ජීවත් වෙන්නේ කුමන ආකරයෙන්ද කියලා තීරණය කරන්න.. එව්වා විවේචනය කරන්න පිටස්තරයන්ට අයිතියක් නෑ..

සන්නස්ගල සර් එක්ක කතාබහ කරන කෙනෙක් මේක කියවනවානම් උන්නැහේට කියන්න, පුළුවන්කමක් තියෙනවනම් අම්පාරෙ අභයපුර විද්‍යාලයේ දරුවන්ට කියවන්ට පොත් ටිකක් යවන්න කියලා . තා පුලුවනිනම් කියන්න දුප්පත්  දරුවකුට දෙන්න පොතක් පතක් ඉල්ලලා මැසෙජ් එකක් එව්වාම ඒක බලන්නවත් යුතුකමක් තියෙනවා නේද කියලත්. පොත් නොඉල්ලන එවුන්ට පොත් දෙන්නම් අරගෙන යන්න කියලා යූ බටේ ඇතුලෙන් ලෝකෙටම පේන්න කියා හිටිනවානම් , දුප්පත් දරුවන් පිරිසක් වෙනුවෙන් පොත් ටිකක් ඉල්ලන එක වැරද්දක් නෙවෙයි නේද කියලත් කියන්න.  පොත් ඉල්ලුවේ උන්නැහේ පොත් දෙන්නම් කියලා කියනවා දැකලා අහලා තියෙන නිසා මිසක් උන්නැහේ අපහසුතාවයට පත්කරවන අදහසින් නෙවේ කියලත් කියන්න. මේ සටහනෙන් උන්නැහේ අපහසුතාවයට පත්වුනානම් සොරි කීවා කියලත් කියන්න.

මේක කියවන උදවියත් පුළුවන්කමක් තියෙනවනම් අභයපුර විද්‍යාලයට පොතක් දෙකක් තැපැල් කරනවානම් ගොඩයාට ඉතින් කියන්න තියෙන්නේ තමුන්නාන්සේලාට  පිං කියලා තමා.. අලුත් පොත්ම වෙන්න ඕන නෑ.. කියවපු පොත් උනාට කාරී නෑ.. දරුවන්ට කියවන්න සුදුසු පොත් උනානම් ඒ ඇති. 

දුෂ්කර පළාත්වල ජීවත්වෙන බහුතරයක්  දරුවන්ට මේ නාරාවලෙන් ගොඩ එන්න තියෙන එකම සහ අවසන් මෙවලම අධ්‍යාපණය  විතරයි. රජයෙන් නොමිලයේ සැපයෙන අධ්‍යාපනයේත්  ගෙඩි ටික නගරයට ලැබෙද්දී දුෂ්කර පළාත්වල දරුවන්ට ලැබෙන්නේ ලෙලි ටික විතරයි. එහෙව් දරුවන්ට මේ නරාවලෙන් ගොඩ එන්න උදව්වක් කරන්න පුලුවනිනම් එක ලොකු පිනක්. අපි යමෙක් වෙනුවෙන් කරන දෙයක අග්‍රඵලය අපිම හෝ අපිටම සම්භන්ධ කෙනෙක් විසින් නෙලාගතයුතු නෑ. යමෙක් හිතනවානම් අපි උදව් කලයුත්තේ අපි ඉගෙනගත්තු පාසලටම පමණයි කියලා ඒක ඔවුන්ගේ අධික මමත්වය මත පදනම් වච්ච ආත්මාර්ථකාමී සිතිවිල්ලක් කියලයි ගොඩයාගේ විශ්වාසය.  යමෙකුට ඒ තරම් ආථ්මාර්ථකාමීව හිතන්න පුලුවනිනම්, තමුන්ට සම්භන්ධයක් නැති, කිසිසේත්ම නොදන්නා උදවිය  විසින් හිටවපු ගස්වැල් වලින් ලැබෙන ඔක්සිජන් ටික හුස්ම ගන්නත් ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නෑ.

මේ දරුවන්ට උදව්වක් කරන්න ඕනෙයි කියලා හිතිලා  විදුහල්පතිතුමා සම්භන්ධ කරගන්න ඕනෑකමක් උනොත් එතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න පුළුවනි. එහෙම අවශ්‍යතාවයක් තියෙනවනම් ගොඩයාගේ ඊමේල් එකට ඊමේල් පණිවුඩයක් එවන්න. ගොඩයාගේ ඊමේල් එක polwattacom@gmail.com

මේ දරුවන්ට පොත් ටිකක් යවන්න ඕන කියලා පින් සිතුවිල්ලක් පහල වෙනවනම් මෙන්න ඉස්කෝලෙ ලිපිනය.

විදුහල්පති තුමා,
අභයපුර විද්‍යාලය,
පරගහ කැලේ,
අම්පාර.


පියවරෙන් පියවර පුස්තකාලය ඉදිවෙච්ච විදිහ පහත වීඩියෝවෙන් බලන්න.