මට දැන් වයස හතලිස් තුනක්.. ලංකාවේ ඉපදුන, ලංකාවේ ජිවත්වෙන මනුස්සයෙක් විදිහට මම දැන් පහුකරමින් ඉන්නේ මැදි වයස. මිනිස්සු මැදි වයසේ මනුස්සයෙක් කියලා කියන්නේ මගේ වයසේ මනුස්සයන්ට කියල මතක් වෙද්දී ඉබේම පහලට සුසුමක් වැටෙන්නේ ඇයි කියලා කියන්න මම ඇත්තටම දන්නේ නෑ.. ලෝකේ දියුණුයයි සම්මත රටක ඉපදුනානම්, මම ඉන්නේ තරුණ වයසෙ . ඒත් ලංකාවේ එහෙම නෑ. ඉපදුන, ජීවත්වෙන රටට සාපේක්ෂව, මම දැන් දරුවෝ දෙතුන්දෙනෙක් ඉන්න තාත්ත කෙනක් වෙන්න ඕන.. ඒත් වයස හතලිස් තුනක් වෙද්දීත් මං එහෙම නෑ. ..
මට බිරිඳක් නෑ. ඒත් ඒ කියලා මම සිංගල් නෙවෙයි. මම ඩිවෝර්ස් වෙච්ච මනුස්සයෙක්. මම වයිෆ්ගෙන් වෙන් වෙලා දැන් ටික කාලයක් . රට්ටු කියන විදිහට මම දැන් දික්කසාද වෙච්ච මනුස්සයෙක්. දික්කසාද වෙච්ච මිනිස්සුන්ට ලංකාවේ සාමාන්ය සමාජයෙන් ලොකු පිළිගැනීමක් නෑ. ඒත් මම ජිවත්වෙන පරිසරය ඇතුලේ ඩිවෝර්ස් වෙනවා කියන්නේ මහ ලොකු කජ්ජක් නෙවෙයි. මම වයිෆ්ග්න් වෙන්වෙන්න තීරණය කරේ අපි දෙන්නට අපි දෙන්නාව නොගැලපුන නිසා.. එයාටනම් ඕනවුනේ ලෝකෙට පේන්න බැඳගත්තු බෙරේ ගහන්න. ඒත් නොගැලපීම් එක්ක, ආරවුල් එක්ක, අඬදබර එක්ක, පවුල් ජිවිතයක් ඉස්සරහට අරගන ගිහිං අපි දෙන්නගේම ජිවිත නාස්ති කරන්න මට ඕනවුනේ නෑ. මට එයා බලාපොරොත්තුවුන හස්බන්ඩ් වෙන්න බැරිවුණා. කසාද බඳිද්දී ලොකුවට හිතුවෙ නැතිවුනාට , මම බලාපොරොත්තුවෙන වයිෆුත් එයා නෙවෙයි කියන එක මට තේරෙද්දී මං පරක්කු වැඩියි. කසාද බැඳපු දවසේ ඉඳන් අපි දෙන්නට අපි දෙන්නව ගැලපුනේ නෑ. අපි ගලපාගෙන ජිවත්වන්න උත්සහා කළා. අපි කිව්වට එයා නෙවෙයි මම. ඒත් ඒක සාර්තක වුනේ නෑ. කසාදයක් වෙනුවන් මට මම නොවී ජිවත්වෙන්න බෑ. දවසක් දෙකක් සතියක් හමාරක් වගේ නෙවෙයි. ජීවිත කාලයක් එහෙම ඉන්න අමාරුයි. එහෙම උනාම වන්නේ මිනිස්සු ජිවත්වෙන මළමිනී වෙන එක. මට ජිවත්වන මළමිනියක් වෙන්න ඕනවුනේ නෑ. දරුවෙක් හිටියනම් මට දරුවා වෙනුවෙන් එහෙම ඉන්න තිබුන. දරුවෙකුගේ අනාගතය වෙනුවෙන් තාත්තා කෙනෙකුට ජීවිත කාලයක් උනත් තමුන්ගේ හැඟීම් දැනීම් අමතක කරලා ජිවත් වෙන්න පුළුවනි. ඒත් අපිට දරුවෝ හිටියේ නෑ. ඒ නිසා ඩිවොර්ස් වෙන්න බැරි තරම් භන්දනයක් අපි අතරේ තිබුනේ නෑ.
ඒක යෝජනාවක් විදිහට කෙරුණ විවාහයක්. අම්මලා හොයලා දුන්නු නිසාත්, බඳින්න කලින් ඇසුරු කරපු පොඩි කාලය ඇතුලත කියන්න තරම් වරදක් දැනුනේ නැති නිසාත්, කසාද බඳිනවා කියන එක ගැන මම බැරෑරුම්ව හිතුවේ නෑ. එයාලත්, අපි වගේම යමක්කමක් තිබ්බ මිනිස්සු. සමාජ සම්මතයට අනුවත්, අපි අතරේ දශමෙකවත් නොගැලපීමක් තිබුනේ නෑ. දෙපාර්ශවයේම දෙමාපියන්ගේ, නෑයන්ගේ, මිතුරන්ගේ , ආශීර්වාදයෙන් අපි විවාහවුනා. වෙඩින් එක දවසේ හැමෝම කීවෙ අපුරුවට කැපෙන කපල් එක කියල. වෙඩින් එක දවසෙ එයා හිටියේ හුඟාක් සන්තෝසෙන්. මමත් හිටියේ සන්තෝසෙන්. ඒත් මොකක්දෝ අඩුවක් හිතට දැනුනා උනත් ඒ මොකක්ද කියලා තෝරා බේරාගන්න මට දැනීමක් තිබුනේ නෑ. ඒකෙන් මම කියන්න උත්සහ කරන්න නෑ මම රැවටුනා කියලා. මම හිතන්නේ මම මාව කියෙව්වේ නෑ කියලයි . කසාද බඳින්න කලින් මම මාව කියෙව්වනම්, මට ඕන මොනවගේ වයිෆ් කෙනෙක්ද කියලා මම මගෙන් ඇහුවානම්, මම බොහෝදුරට එයාව කසාද නොබඳින්න ඉඩ තිබුනා කිව්වොත් තමයි හරි..දැන් ඉතින් ඒ ගැන හිතලා වැඩක් නෑ. සියල්ල සිදුවී හමාරයි. එයා මට වෛර කරනවා කියලා මම දන්නව. ඒත් ඒ ගැන මම ලොකුවට හිතන්නේ නෑ. කසාදයක් කියන්නේ එකිනෙකා ගලපාගෙන එකට ජීවත්වීමක් කියනදේට වඩා ගැඹුරු දෙයක්.. එකෙක් අනෙකාගේ රූකඩයක් වීම කසාදයක් වෙන්නේ නෑ.. කසාදයක් ඇතුලේ කැපකිරීම් තියෙන්න බෑ. එකෙක් අනෙකා වෙනුවන් තමුන්ගේ කැමැත්ත යටපත් කරගෙන ජිවත් වෙනවානම් , එතැන තියෙන්නේ කසාදයක් නෙවෙයි කරුමයක්. ආදරය, සෙනෙහස, රැකවරණය, ලැබෙන්න ඕන සැමියාගෙන් බිරිඳට පමණක් කියලා හිතුවොත් ඒක වැරදියි . ලංකාවේ මිනිස්සු එතැනදී හරිම ගෝත්රිකයි. ආදරය විඳින්න තියෙන ආසාවට වයස් භේදයක් නෑ. ඒත් ලංකාවේ සංස්කෘතියට අනුව, ආදරය , සෙනෙහස, රැකවරණය කියන කොන්සෙප්ට් එක වන්වේ පාරක යන වාහනයක් වගේ. සැමියාගෙන් බිරිද දිහාවට මිසක් බිරිඳගෙන් පෙරලා ආදරය, සෙනෙහස , රැකවරණය සැමියා දිහාවට ගැලීම් හරිම අල්පයි. කසාද බැන්ද දවසේ ඉඳන් ස්වාමිපුරුෂයා කියන ප්රොමෝෂන් එක ලැබුනට බහුතරයකට වෙන්නේ සර්විස් ප්රොවයිඩර් කෙනෙක් විදිහට ජීවිත කාලයම ගත කරන්න. ආදරය ලබන්න, සෙනෙහස විඳින්න අකමැති සත්වයන් මේ විශ්වයේ කොතනකවත් නැතුව ඇති. මමත් මේ විශ්වයේ ජිවත්වෙන තවත් එක සත්වයෙක් විතරයි. ඒ නිසා මමත් කැමතියි ආදරය විඳින්න. ස්වීට් කපල් එකක් විදිහට ලෝකයා දැක්කට ඇතුලෙන් ගිනිගන්න අපේ විවාහ ජිවිතය තවත් දුර පැදන් යන්න මට ඕනවුනේ නෑ. එහෙම පැදන් ගිහින් මාව මං ඇතුලේම ඝාතනය කරලා දාන්න මට ඕනවුනේ නෑ. මම මම නොවී ජීවත්වීම ඇතුල් මම එයාටත් කරන්නේ බොරුවක්. එයාගේ පැත්තෙන් බැලුවාම ඒක එයාටත් කරන අසාධාරණයක්.
ඊළඟට මම මේ කියන්න යන අමුත්තිය මට හමුවෙන්නේ ඩිවෝර්ස් එකෙන් අවුරුද්දක් විතර ගියායින් පස්සෙ . එයා වයස විසි දෙකක , දැක්කම ආදරේ හිතෙන, හරිම කියුට් පුංචි ලස්සන අහිංසක කෙල්ලක්. ලස්සන සාපේක්ෂයි. කාට සාපේක්ෂව තේරුවත් , එයා තමා මගේ ඇහැට ෆස්ට්. එයාගෙයි මගෙයි හමුවීම ඔෆීෂියල් එකක්. ඒ ඔෆීෂියල් හමුවීම ඇතුලේ එයා දැකපු පලවෙනි දවසෙම මට මහා අමුත්තක් දැනුනා කිවොත් තමයි හරි. ඒත් මම ඒක ගැන ලොකුවට හිතුව් නෑ. අවුරුදු හතලිස් තුනක් වෙන ඩිවෝර්ස් වෙච්ච මිනිහෙකුට අවුරුදු විසි දෙකක පුංචි කෙල්ලෙක් ගැන හිතන්න තියෙන අයිතිය මොකක්ද ? දියුණු රටක උනානම් හිතන්න තිබුනා. ඒත් ලංකාව ඇතුලෙ එහෙම දේවල් සදාචාරාත්මක නෑ. මම වැඩිහිටියෙක්. එයා ඊයේ පෙරේදා ඉස්කෝලෙන් අවුට් වෙච්ච පුංචි කෙල්ලෙක්. එයා මේ ලෝකෙට උපදිනකොටත් මට වයස විසි එකක් . ඉතිං එයා ගැන වැරදි ඇහැකින් බලන්න මංම මට අවසර දුන්නේ නෑ. වැරදි ඇහැකින් කීවට වරදවා හිතන්න එපා.
මම කලිනුත් ලීවා. ආදරේ හිතෙන්න වයස් භේදයක් නෑ. මිට කලින් ජිවිතේ කවදාවත් නොදැනුන සංවේදනාවක් එයා මං ළඟ ඉද්දි මට දැනුනා කිව්වොත් තමයි හරි. මං අවුරුදු දෙකක් වයිෆ් කෙනෙක් එක්ක එක ඇඳක නිදාගත්තු මිනිහෙක්. ඒත් මම කවදාවත් ඒ පුංචි රුවැත්තිය දිහා වැරදි ඇහැකින් බැලුවේ නෑ. ඊට එහා ගිය මොකක්දෝ හැඟීමක්, ලෝභකමක් , කැක්කුමක්, මගේ හිතේ එයා වෙනුවෙන් තිබුනා උනාට ඒ මොකක්ද කියලා විශ්ලේෂණය කරන්න මට ඕනවුනේ නෑ. මට හතලිස් තුනක්. එයාට විසි දෙකක්. හිත අතරමන්වෙන හැම වෙලාවේම මම මට කිවේ එහෙම.
අපේ සම්භන්ධය ඔෆීෂියල් එකක් උනාට එයාටත් මගේ ඇසුර ආනන්දනීය එකක්දෝ කියලා මට හිතෙන හැම වාරයකම මම හිතුවේ මට හතලිස් තුනක්. එයාට විසි දෙකක්. එහෙම වෙන්න බෑ කියලයි.. ඒත් සමහර වෙලාවට එයා මට සැලකුවේ හස්බන්ඩ්ට සලකනවා වගේ. මගේ හිත දවසින් දවස එයා ලඟම අතරමං වෙද්දී මමත් ඒ අතරමංවීමට ආස කරා. ඔෆීෂියල් සම්භන්ධය ඇතුලේ උනත් , එයා සමහර වෙලාවට මට සැලකුවේ තමුන්ගේම ලඟම කෙනෙකුට කෙනෙකුට සලකනවා වගේ. මං මේක ඔෆීෂියල් සම්භන්ධයක් විතරයි කියලා එයාට හඟවන හැම වෙලාවේම එයාගේ ලොකු ඇස් හීනියට තෙත්වෙන හැටි මම බලාන හිටිය. ඒත් මට එතැනින් එහාට ගිහිං එයාට ලං වෙන්න බෑ.. මට එයාව ලඟට අරං අහන්න බෑ ඔයාට මාව දැනෙන්නේ මොන වගේද කියල. මම ඩිවෝර්ස් වෙච්ච වයස හතලිස් තුනක මනුස්සයෙක්.. එයා වයස විසි දෙකක පුංචි කෙල්ලෙක්. . අපි දෙන්නා එකට ඉන්න හැම වෙලාවේම අපි හිටියෙ හරිම සතුටෙන්. පුංචි පුංචි දේවල් වලට එයා මා එක්ක තරහවුන වෙලාවලුත් තිබුනා තමයි. ඒත් ඒ හැම තැනම මම දැක්කේ වයස විසි දෙකක පුංචි කෙල්ලෙකුගේ ඇතුලේ තිබ්බ පුංචි පුංචි හිතුවක්කාරකම් විතරයි. එයා තරහෙන් පුපුරන හැම වෙලාවේම මට දැනුනේ හුදෙක් පුංචි පහේ ආඩම්බරකාර වින්දනයක් විතරයි.. එයා මා එක්ක තරහ උනාම බලන්න ඕන මුනේ ලස්සන. මුණ රතු වෙන්නේ ජම්බු ගෙඩිය වගේ .. මූණ රතු කරගෙන ඇස්ගෙඩි දෙකේ කඳුළු පුරෝගෙන ඉන්නකොට නාහේ මිරිකලා තුරුළු කරගන්න හිතුනට, එයාට විසි දෙකයි.. මට හතලිස් තුනයි... ඔෆීෂියල් සම්භන්ධයක් ඇතුලේ අසංස්කෘතික වෙන්න මට බෑ. මම වැඩිහිටියෙක්. කසාද බැඳලා ඩිවොර්ස් වෙච්ච මනුස්සයෙක්. මම කොහොමද වයස විසි දෙකක පුංචි කෙල්ලෙක් ගැන හැඟිම්බර වෙන්නේ.
ඒත් ඒ සියල්ල එහෙම වුනත්, දවසින් දවස අපි ලංවුණා. දුරින් ඉන්න වෙලාවට කෝල් කරලා එයාගේ සැප දුක හොයලා බලන්න මට ඕනවුනා. එයා පරෙස්සමෙන්ද ඉන්නේ කියලා බලන්න මට ඕනවුනා. එයත් හැම වෙලාවේම මා ගැන හොයලා බැලුවා. උදේට දවල්ට රෑට මම කෑවාද බීවද කියලා හොයලා බලන්නත් එයා කවදාවත් අමතක කලේ නෑ. කෑවද බීවද කියලා අහන්න තරම් මම පුංචි බබෙක් නෙවෙයි උනාට, මං කෑවද බීවද කියලා එයා අහනකොට මට දැනෙන දේ ලියන්න, අමුණන්න ඕන කුමනාකාර වචනද කියලා මට තේරෙන්නේ නෑ. ඒ වගේ හැඟීම් දැනීම් කවදාවත් මම විඳලා නෑ. කාර්යබහුල රැකියාව ඇතුලේ හිතට වෙහෙස දැනෙන හැම වෙලාවේම මගේ ජංගම දුරකථනයෙ ඩයල්වුනේ එයාගේ නොම්බරේ. එයා එක්ක කතා කරන විනාඩියත් මට දැනුනේ හිත ඇතුලට සුමුදුවට ගලන ඖෂධයක් වගේ. එයාට මාව දැනෙන විදිහ කොහොමද කියලා මම එයාගෙන් කවදාවත් අහලා නැතිවුනාට, මගේ හිත ඇතුලේ එයා ඔෆීෂියල් සම්භන්ධය කියන සීමාව පහු කරගෙන හුඟක් දුර ගිහින් කියලමයි මට දැනුනෙ.
එයාගේ ආගමනයත් එක්ක, ධන ධාන්ය වලින් ආඩ්ය වෙච්ච මගේ භෞතිකය ඇතුලේ අධ්යාත්මය මෙච්චර කාලයක් තිබිලා තියෙන්නේ අරමුණක් නැතුවදෝ කියලා මට දැනෙන්න අරගෙන. නීතියෙන් කොලේක අත්සන් කරලා අයිතිය තහවුරුව තියෙද්දිත්, එක්ස් වයිෆ් ළඟ නවතින්න අකමැතිව නිදහස හෙව්ව මගේ හිත, වයස විසි දෙකක දඟකාර කෙලි පැටියෙක් ළඟ කැමැත්තෙන්ම නැංගුරම් දාගෙන. ඒත් මට හතලිස් තුනක්.. එයාට විසි දෙකක්.. මුලින් මුලින් ඒක ප්රත්යක්ෂව හිතේ තිබ්බට, දැන් දැන් එයා ගැන හිතද්දී පපුව පැලෙන්න වගේ.. මට හතලිස් තුනක්... එයාට විසි දෙකක්.. එයා මා ළඟ හැසිරෙන්නේ ඔෆීෂියල් සම්භන්ධයකට වඩා එහා ගිය කෙනෙක් ලඟ හැසිරෙන විදිහට කියන එක තේරුම්ගන්න තරමට මම බුද්ධිය මුහුකුර ගිය මනුස්සයෙක් . ඒත් හතලිස් තුනක හිතක් ඇතුලේ දඟ කරන විසි දෙකක පුංචි කෙල්ලකට දෙන්න නමක් මම දන්නේ නෑ. ඒ නම මොකක් උනත් ඒ හැඟීම හරිම හැඟීම්බරයි.. ආදරණීයයි.. පපුවට බර වැඩියි..
මට කවදාවත් ප්රේමයක් තිබිලා නෑ. ඇකඩමික් ගෝල් ඇතුලේ ප්රේමයට ඉඩක් වෙලාවක් තිබ්බෙම නෑ . ප්රේමය කියන්නේ කුමනාකාර හැඟීමක්ද කියලා මම දන්නේ නෑ. මට එහෙම හැඟීමක් කවදාවත් දැනීලත් නෑ. ප්රේමයට වයස් භේදයක් නෑ කියලා මම අහලා තියෙනවා උනාට මම කවදාවත් ඒ ගැන ලොකුවට විශ්ලේෂණය කරන්න ගිහින් නෑ. කසාදයක් කියන්නේ ප්රේමයක්ම නොවෙන්න පුළුවන් කියන එක මම ෆස්ට් හෑන්ඩ් එක්ස්පිරියන්ස් එකක් විදිහට විඳවා අවසන්. කවුරුහරි යෝජනා කරනවානම් කසාදය කියන්නේ ප්රේමයම තමා කියලා, මම යෝජනා කරනවා ප්රේමය කියන්නේ මට ලැබුන කසාදය වගේ එකක් වෙන්න බෑ කියල. විවාහ රෙජිස්ටාර් කෙනෙක් ඉදිරියේ කොලේක අත්සන් කරලා අත්අඩංගුවට පත්වීම ප්රේමයක් කියලා පිළිගන්න මම සුදානම් නෑ . අහලා තියෙන විදිහට, කියවලා තියෙන විදිහට ප්රේමය කියන්නේ විඳීමක් මිසක් විඳවීමක් නෙවෙයි කියලයි මගේ වැටහීම. ඒත් ඒ සියල්ලටම උඩින් , වයස විසි දෙකක ආදරණීය පුංචි කෙල්ලෙක් ගැන, වයස විසි දෙකක ප්රේමයක් ගැන හිතන්න, හතලිස් තුනක්වෙන මගේ හිත ඇතුලේ මට අවසර නෑ.
මම ප්රේමණීය මනුස්සයෙක්ද කියලා මම දන්නෙ නෑ. ඒත් ප්රේමයක්දෝ කියලා අනුමාන කරන්න පුළුවන් හැඟීමක් එක්ක මං අතරමං වෙලා.. ඉහල විධායක ශ්රේණියේ රැකියාවක් එක්ක ලෝකයක් තරම් ලොකු ස්ට්රෙස් එකක් හැන්ඩ්ල් කරන එක මට මහා කජ්ජක් නොවුනට, මේ හැඟීම මගේ පපුවට බර වැඩියි. වයස හතලිස් තුනක් වෙද්දී හැඟීම් වලට වහල් වෙන්නත් මට බෑ. ඒත් මේ හැඟීම අමතක කරලා දාන්න මගේ හිත මට ඉඩ දන්නෙත් නෑ .. මේ හැඟීම මම මිට කලින් කවදාවත් විඳලාත් නෑ . එයා ගැන හිතද්දී මගේ පපුවේ යමක් හිරවෙනව වගේ මට දැනෙනව.. ඒ වින්දනාත්මක රිදවීමට මම ඇබ්බැහි වෙලාදෝ කියලත් මට හිතෙනව.. එයා ළඟ ඉද්දි, ටෙලිෆෝන් එකේ කතා කරද්දී , එයාව මට දැනෙන්නෙ මගේම කෙනක් වගේ. ලඟම ලඟ කෙනෙක් වගේ.. යාලුවෙකුට වඩා ළඟ කෙනෙක් වගේ .. නෑ කෙනෙකුට වඩා ළඟ කෙනෙක් වගේ .. අම්මටත්, නංගිටත් වඩා ළඟ කෙනෙක් වගේ. ඒත් ඒ සම්භන්ධයට දෙන්න නමක් ගමක් මං දන්නේ නෑ.. ..මට තේරෙන්නේ නෑ... මට එයා ගැන මහා රෝමාන්තික හැඟීමක් දැනෙන්න පටන් අරගෙන... මට එයා ගැන මහා ආත්මාර්ථකාමී ලෝභකමක් දැනෙන්න පටන් අරගෙන.. මට මේ දැනෙන්නේ ප්රේමයමද ? ජිවිතේ පලවෙනි වතාවට මම ප්රේම කරන්න පටන් අරගෙනද ?... අනේ මන්ද.... එයා වයස විසි දෙකක පුංචි කෙල්ලෙක්.... මම, ඩිවෝර්ස් වෙච්ච, වයස හතලිස් තුනක, මැදි වයසෙ මනුස්සයෙක්....
සොරි ... මට මුලින්ම නම කියන්න අමතකවුණා...මම ... "රෙහාන් අලුවිහාරේ"
---------------------------------------
රෝමෑන්ස් ලියන්න පුළුවන් ඉන්දියාවේ ලියන්නන්ට විතරද ? රෝමෑන්ස් අධ්‍යක්ෂණය කරන්න පුළුවන් යශ් චෝප්‍රලාට විතරයිද ? කැමරාවක් ඉස්සරහ රෝමාන්තික වෙන්න පුළුවන් ශාරුක් කාන්ලාට විතරද ? ඇගයීමට ලක්වෙන්න ඕන, චිත්‍රපටයි සති අන්ත ටෙලියි විතරද? ඇගයිය යුතු චරිත මෙගා ඇතුලේ අපිට හමුවෙන්නේ නැතිද ?????
සද්ධා මංගල, සිවගුරුනාදන්, උද්ධික , කියන තුන්කට්ටුව විසින් නිර්මාණය කරපු රෙහාන් අලුවිහාරේ ඇතුලට ගිහින් රෙහාන්ව කියවන්න අම්බලන්ගොඩයාටත් ඔනෑ වුනා... යශ් චොප්රා මලාට පස්සේ ගොඩයා පලවෙනි වතාවට ආයෙමත් රියල් රෝමෑන්ස් නරඹමින් ඉන්නවා උද්ධිකගේ රංගනය ඇතුලේ... Well done guys... Keep it up...