Monday, June 27, 2022

දෙවැනි ශ්‍රේණිය

 


ඒ 2005 අවුරුද්දෙ එක්තරා මාසයක්. අවුරුදු ගානක් ලොකු පුටුවෙ හිටපු ලොක්කා අයින් වෙලා ඊලඟට අලුතෙන් ආපු ලොක්කා වැඩ භාරගත්තා පමණයි..  

Techinical officer grade 3 හිටපු මම grade 2 වෙන්න සියලූ සුදුසුකම් සපුරලා තිබුනත් කලින් හිටපු ලොක්කා මගේ ප්‍රොමෝශන් එක අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් මේසය උඩ තියාගෙන හිටියා අත්සන දාන්නෙ නැතුව. ප්‍රොමෝශන් එක නොදී ඉන්න හේතුවක් හොයාගන්න බැරි නිසා පාලන අංශයෙන් අත්සනට එවන උසස්වීම මේසය උඩ තබාගෙන කල්මැරීම තමා උන්නැහේට තිබ්බ එකම පලිගැනීමේ ක්‍රමවේදය. පලිගන්න ඉතිං හේතුව තමා එහෙයියෙක් නොවීම.. වෙනත් විදිහකට කියනවානම් පශ්චාත්භාගය උන්නැහේගේ පාවිච්චියට නොදීම...😂

මම රස්සාව කරේ ජීවත්වීම පිණිස මුදල් අවශ්‍යතාවයට පමණයි. ජීවත්වෙන්න රැකියාවක් කරන මිනිස්සු සහ රැකියාව කරන්න ජීවත්වෙන මිනිස්සු දෙවර්ගයක් ලංකාවෙ ඉන්නව. මම ජීවත්වෙන්න රැකියාව කරපු මනුස්ස පරාණයක්. එතැනින් එහා ආයතන ප්‍රධානියාට ගොට්ට ඇල්ලීම පත්වීමේ ලිපියේ ලියැවිලා තිබ්බ ඩියුටි ලිස්ට් එකේ නෑ. ඒ නිසා එව්ව මගේ පැත්තෙන් කෙරුනෙ නෑ. මිනිස්සු ගැන කේලම් කියලා කකුලෙන් ඇදලා බාල්දි පෙරලලා ගන්න වෙන්නෙත් එකම වැටුප වෙච්චි තුට්ටු දෙකේ වැඩ කරලා ජීවිතේට් පවු ගොඩගසාගැනීම ගොං වැඩක්. එහෙම නොවුනාම ඉතිං සිරිබර සිරි ලංකාවේ රාජ්‍ය ආයතනවල ලොකු එවුන් පොඩ්ඩක් අවුල්..

අලුත් ලොක්කා ආපු ගමන්ම ඉවර කරන්න තිබ්බ වැඩ ලිස්ට් එකේ මගේ grade 2 වැඩේ උඩින්ම කියහංකෝ. ඕං ලොක්කා මාව කැඳවනවා උන්නැහේගෙ කාර්‍යාලයට. මං තුමාත් භාගෙන ඇරිලා තියෙන සැලුන් දොරෙ ඇරගෙන ඇතුලට යනව..

ප්‍රොමෝශන් එක ඇවිත් තියෙනව ඔයාගෙ..

ඔව් සර් මම දන්නව.. ඕක ඇවිත් දැං අවුරුද්දකට වැඩියි... 

ඕං අලුත් ලොක්කා ගොලු වෙනව.. බැරෑරුම් විදිහට ප්‍රොමෝශන් කොලේ දිහා බලාන ඉන්නව.. මං දන්නෙ නෑ ඒකෙ තියෙන්නෙ මොනාද කියලා... හැබැයි ඒකෙ අවසානයට කරන්න තියෙන්නෙ "නිර්දේශ කරමි" " නිර්දේශ නොකරමි" කියන දෙකෙන් එකක් ලියලා ආපසු යැවීම පමණයි. නිර්දේශ නොකරමි ලිව්වොත් තියෙන ප්‍රශ්ණය තමා ඒකට හේතු දක්වන්න සමහරවිට උසාවියට යන්න වෙන්නත් ඉඩ තියෙනව. කලින් හිටපු ලොක්කා මට කලින් හිටපු කෙනෙකුට නිර්දේශ නොකරමි ලියලා උසාවි ගිහිං ලෙල්ලටම පීචං උනා හිටං. මොකද කියනවනම් උන්නැහේලාගෙ හිතේ තියෙන කුහකම් වලට නිර්දේශ නොකරමි කියලා ලිව්වට එව්වට හේතු කියන්න වෙන්නෙ උසාවියේදි.

ඕං ආයෙ අලුත් ලොක්කා මා දිහාවට බැල්ම දාලා මේං මෙහෙම කියනව..

මට ආරංචි විදිහට ඔයා උදේට පරක්කුවෙලා වැඩට එනවා සහ අනවශ්‍ය විදිහට නිවාඩු ගන්නවා. ඒ නිසයි මේක පරක්කු වෙන්න ඇත්තෙ.

සර්.. මම ගෙදරින් එන්නෙ උදේ 4.30 ට. ට්‍රේන් එක ලේට් උනොත් මට වෙලාවට එන්න බෑ. ඒත් මාසෙට දෙන්නෙ ට්‍රේන් ලේට් දෙකයි. ඒ දෙකත් දාලා ශෝර්ට් ලීව් දෙකත් දාලා මදි වෙන එව්වට ඉතිං හාෆ්ඩේ තමයි. උදේ ලේට් වෙන එවට හවස විනාඩි දහයක් වැඩිපුර ඉඳලා කවර් කරන්න දෙනවනම් ඕක ඔහොම වෙන්නෙ නෑ. අනිත් කාරනාව තමයි සර්... මම සහ මේකෙ ඉන්න කීපදෙනෙක් පරක්කු වෙන දවස්වලට විතරයි අවුරුදු තුනක් තිස්සෙ හරියටම 7.45 ට රතු ඉර වදින්නෙ..

ඕං අලුත් ලොක්කා එව්වට නැවතත් ගොලු වෙනව...

එක මාසයක් ඔයාට පුලුවනිද වෙලාවට වැඩට එන්න...

හැමෝටම එක විදිහට සලකලා රතු ඉරි වදිනවානම් පුලුවන්... මට විතරක් රතු ඉර වදිනවනම් බෑ...

හරි.. එහෙනම් ලබන සඳුදා ඉඳලා මාසයක් වෙලාවට ඇවිල්ලා පෙන්නනකෝ..

ඕං අලුත් ලොක්කගෙ අභියෝගය. අම්බලන්ගොඩ  කොල්ලෙකුට ඒ වගේ

චැලේන්ජ් එකක් සිම්පල්.. Grade 2 ලැබුනත් පඩිය වැඩි වෙන්නෙ ඒ කාලෙ හැටියට රුපියල් 550 යි. ජොබ් එකට පැරලලි බිස්නස් එකකුත් කරගෙන හිටිය මට ඔය 550 කජු කන්නත් මදි.. ඒත් ඒ වගේද චැලේන්ජ් එක.. ඒක අනිවාර්‍යයෙන්ම දිනන්නම ඕන එකක්..  එවකටත් කාර් කටුවක් තිබුනට කාර්මික නිලධාරී වැටුපෙන් දවස් විස්සක් කාර් එකට තෙල් ගහගෙන අම්බලන්ගොඩ හිටං කොලඹ යන්න එන්න හිතන්නවත් බෑ. පඩියට වඩා ගානක් අතින් දාලා තෙල් ගහගෙන රස්සාවට යන්න හිත හදාගන්නත් බෑ. 

එවකට මගේ ගෝල තැන පෙරේරා තමා ඊලඟ සැලසුමේ සහයකයා.. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශ්වාස කරලා චැලෙන්ජස් බාරගන්න බෑ. එව්වා ඉතිං යන එන වෙලාවල් දෙයියන්ටවත් කියන්න බෑ. අම්බලන්ගොඩ කොලඹ ac බස් සේවාවත් ඉතිං අවුලක්ම නෑ.. ඒත් ට්‍රැෆික් ප්‍රශ්ණෙ එක්ක උදේ 7.45 වෙද්දි රාජකාරියට වාර්ථාකිරීම ශුවර් නෑ.. සති හතරක්.. දවස් විස්සක් මං තුමා උදෑසන 7.45 වෙද්දි කාර්‍යාලයේ සිටිය යුතුයි.. එකම සහ අවසන් විකල්පය ඊලඟ සඳුදා සිට ක්‍රියාත්මකවීමට නියැමිතයි.. අනුග්‍රහය දුකට සැපට දෙකටම බොක්ක ගෝල තැන පෙරේරාගෙන්... මෙතැනින් උඩ ලියවුන දේවල් එවකට කාර්‍යාල සගයන් සියල්ලම දන්නවා උනත් මෙතැනින් එහා ලියැවෙන දේ සතරකන් මන්ත්‍රනයක්. 

ඊලඟ සඳුදා මංතුමා වැඩට එන්නෙ තඩි බෑග් එකක් උස්සගෙන. ඒකෙ නැත්තෙ නයි පොලොංගු විතරයි. මනුස්සයෙකුගේ සාමාන්‍ය ජීවිතයට අවශ්‍යවෙන සියලූමා දෑ එහි අඩංගුයි. උදේ අම්බලන්ගොඩින් පිටත්වෙන පලවෙනි ac බස් එකේ මං තුමා කොලඹ. කොයිතරම් ගෝල් ඔරියන්ට්ද කියනවනම් උදේ හයාමාර වෙද්දි ඔෆිස් එකේ. කොටින්ම කියනවානම් ඒ වෙද්දි ඔෆිස් එක ඇරලත් නෑ. උදේ 7.45 වෙද්දි පොතේ පලවෙනි අත්සන මංතුමාගෙ.. එදා හිටං සතියේ දවස් පහම මංතුමා නයිට් පාර්ක් ඔෆිස් එකේ.. පෙරේරා හවස ඕෆ්වෙලා යන්න කලියෙන් මංතුමාට ගෙනැත් දෙනවා රෑ කෑම එක. තේකොල සීනි හීටර් එහෙම වෙනම තියෙන නිසා රෑට තේ එකක් හෙම බොන එක ගැටලුවක් නෑ. කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ගැන මෙහිලා ලියන්න බෑ. හැබැයි එව්වත් සැප පහසුවට සියල්ලම ලෑස්තියි. හවස 4.15 වෙද්දි පෙරේරා මගේ ඒරියා එක එලියෙන් වහලා ඕෆ් වෙලා ගෙදර යනව. වැඩකරන 40 ක් විතර අනෙක් උදවියත් හවස 4.15 වෙද්දි ඕෆ්. එතැනින් එහා තට්ටු තුනක බිල්ඩිම ඇතුලේ මං විතරයි. කිසිම යතුරක් මා ලඟ නෑ. ඒත් මගේ කාමරේ ඇතුලෙන් ඇරගෙන බාතෲම් එකට ගිහිං වොශ් එකක් එහෙම දාගෙන එන එක ප්‍රශ්ණය නෑ. ඕං ඒ විදිහට රෑ ගතකරලා උදේ හයට ඇහැරුනාම හතයි හතලිස් පහ වෙද්දි පොත අත්සන් කරන්න වෙලාව වැඩිත් එක්ක. ලොක්කා එන්නෙ 7.15 ට. ලොක්කා ප්‍රධාන දොර අරින සද්දෙ ඇහිලා විනාඩි දහයක් වගේ ඉඳලා පඩිපෙලෙන් පහලට බැස්සාම 7.45 වෙන්නත් කලින් කොල්ලා පොත අත්සන් කරනව... 

ලොක්කා හීනෙන්වත් හිතන්නෙ නෑ මූ රෑ හිටියේ ඔෆිස් එකේ කියල.  පොත අත්සන් කරලා ආයෙම මගේ වීදුරු කාමරේට ඇවිත් වාඩිවෙලා විනාඩි දහය යද්දි පෙරේරා මංතුමාට බ්‍රෙක්ෆස්ට් එකත් අරගෙන ප්‍රාදූර්භූත වෙනව. දවලටත් පෙරේරාම කෑම එකක් ගෙනැත් දෙනව. දැං මේක කියවන ඔයයිලා හිතන්න එපා මං පෙරේරාව කඩේ යවනවා කියලා. පෙරේරා උදේ සහ දවල් වේල් දෙකම කෑවෙ කඩෙන්. ඒ කාලා එන ගමනේ මටත් කෑම එක ගෙන්නගත්තා මිසක් මං කවදාවත් පෙරේරාව කඩේ යවලා නෑ. රෑක අසනීපයක් හෝ වෙනයම් අවුලක් උනොත් එක කෝල් එකෙන් පැය භාගෙන් පෙරේරා එනවා කියන එක ඉර හඳ පායනවටත් වඩා ශුවර්. පෙරේරගෙයි මං තුමාගෙයි එකතුවීම දෛවෝපගතයි. කලින් ලොක්කා මංතුමාට සහ පෙරේරාට දෙන්නාටම කෙලවීමේ අරමුණෙන් කරපු එකතුකිරීම් උනාට ඒ දෙක සෙට් උනේ ජාඩියට මූඩිය වගේ කීවොත් තමා හරි. අනික් කාර්මික නිලධාරීන්ට සහයකයන් දෙදෙනා බැගින් අනුයුක්ත කෙරුනාට මංතුමාට පෙරේරා පමණයි. පෙරේරාත් කොක්කට බර ඉතිහාසයක් තිබ්බ සේවකයෙක් නිසා ලොක්කාගෙ අභිප්‍රාය උනේ විසෙන් විස නැසීම. පෙරේරත් ලොක්කාව තඹේකට මායිම් නොකල සේවකයෙක් නිසාත් මංතුමාත් එසේම නිසා පෙරේරා සහ මම අතර යුද්ධයක් නිර්මාණය කර දෙදෙනාටම කෙලවීම අරමුණු උනත් එක දවසෙන්ම මම සහ පෙරේරා ශර්ලොක් හෝම්සුයි වොට්සනුයි ගානට සුපිරියට සෙට්. 

ඕං ඔය ආකාරයෙන් සති හතරක් ගතවෙලා ලොක්කගෙ කාමරේ සැලුන් දොරෙන් ඇතුලට ගිහිල්ලා ලොකු තැනට මතකර හිටිනවා මාසය සම්පූර්ණයි කියල..  ලොක්කත්

පැමිණීමේ ලේඛනය එහෙම බලලා මංතුමාගෙ ප්‍රමෝශන් එක අනුමත කරලා යවනවා ඉන් පස්සෙ. කලින් හිටපු ලොක්කා අවුරුද්දකට වැඩි කාලයක් මේසය උඩ තියාගෙන හිටපු නිසා හිඟ වැටුපකුත් එක්ක ඊලඟ මාසෙ හිටං මංතුමාට 550 කින් පඩි වැඩි වෙනව grade 2 තත්වයත් එක්කම. සයිඩ් එකෙන් බිස්නස් එකක් කරගෙන හිටිය නිසා වාහනයක් පාවිච්චි කරගෙන සැපවත් ජීතතයක් ගතකරගත්තා මිසක්, ආන්ඩුවේ පඩියකින් ජීවිතේ අමාරුයි. ලොක්කා අභියෝග කරපු නිසා ඒ වගේ වැඩක් කරා මිසක් grade 2 ගන්නවත් පඩිය 550 කින් වැඩි කරගන්නවත් ඒ කරපු කැපකිරීමේ ලාභයක් නෑ. ඕෆ්වෙලා ගිහිං කරපු බිස්නස් එකේ වැඩවලට ඉන්වෝල් වෙන්න බැරිවුන සති හතරක් නිසා ඒ සති හතර ආර්ථික අතින් සෑහෙන පාඩුයි.

කාලෙකට පස්සෙ ඒ රැකියාවට සමුදීලා ලංකාවෙන් පිටවෙලා මේ වෙද්දි  අවුරුදු දොලහක්. ලංකාවෙ රජයේ සේවයේ ඉද්දි නරකම සේවකයන්ගෙත් නරකම එකා කියන විරුදාවලිය ලබාගත්තු මටම ලංකාවෙන් පිටදි best employee award එක දෙපාරක් ලැබිලා තියෙනව. දියුනු රටවල රැකියාවෙදි ආයතන ප්‍රධානීන් විසින් සලකා බලන්නෙ සේවකයාගේ කැපවීම සහ දක්ශතාවය පමණයි. ලංකාවෙ ආයත ප්‍රධානීන් හොයන්නෙ ඒ දෙකම නොවෙන වෙනස්ම එකක්. ඒක නැතිනම් කොයිතරම් දක්ශ උනත් ඒ සේවකයන්ට කිසිදු ඇගයීමක් නෑ.

ලංකාවෙ දැං තියෙන වාතාවරණය එක්ක බැලුවාම කෝච්චිවල බස්වල තෙරපිලා රස්සාවට යනවට වඩා හොඳ නැද්ද මගේ විකල්ප ක්‍රමවේදය අනුගමනය කිරීම? මං අද වෙද්දි ලංකාවෙ රජයේ සේවයේ හිටියානම්, ඔෆිශියලිම ගිහිං ඔෆිස් එකේ පදිංචි වෙලා රස්සාව කරලා සති අන්තයේ ගෙදර යනවා අනිවාර්‍යෙන්ම ශුවර්.

එවකට මා එක්ක රස්සාවෙදි එකටම හිටපු මිත්‍රයා දැං මේක කියවලා හිතයි යකෝ මූ මාසයක් ඔෆිස් එකේ නිදාගත්තා මූ නිකමටවත් මට කීවෙ නෑ කියල... ඔව් යාලුවා... ඔයා වගේ අවංකයෙකුට ඒ වගේ දේවල් කියලා ඔයාව අමාරුවේ දාන්න බෑ. නිකමටහරි වැඩේ නෝන්ඩි වෙලා ලොක්කා ඔයාගෙන් ඇහුවොත් ඔයාට බොරු කියන්න බෑ. ලොක්කට බොරු කියන සබ්ජෙක්ට් එකේදි ඔයා පට්ට අවංක වැඩියි... තක්කඩි ඇන්දීම තකඩිකමෙන්ම කලයුතුයි. තක්ක්ඩින් සමග අවංකවෙලා බෑ. 

මට මේක ලියන්න හිතුනේ කෝච්චියේ වහලයේ නැගලා රස්සාවට යන මිනිස්සු දැකලා.. කෝච්චියේ එල්ලිලා ගිහිං ජීවිතේ අනතුරේ දාගන්න එපා මිනිසුනේ... රස්සාවත් කරගෙන ජීවිතෙත් බේරගන්න වික්ල්පයක් අනුගමනය කරන එක තමා ණුවනට හුරු.