අම්බලන්ගොඩයා පහුගිය පෝස්ටුවේ නැවකට පම්පෝරි ගැහුවා ඊළඟ පොස්ට් එක විශේෂ පෝස්ට් එකක් කියලා. ඔන්න ඒ කිව්වා වූ ආකාරයෙන්ම මේ ලියන්නේ ඒ කිව්ව විශේෂ පෝස්ට් එක තමා. හැබැයි මේ පෝස්ට් එකට උක්ත වෙන්නේ සිද්ධියක් නෙවෙයි, පුද්ගලයෙක්. ඒ පුද්ගලයා ගැන කියනවනම් කලින් බ්ලොග් පෝස්ට් ගණනාවකම ලියවුනු අපේ අසහාය මිත්‍රයෙක් ගැන තමා මේ යන්නේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි අපේ හිතාදර, සෙනේබර , ආදරබර මිත්‍රයා වෙන රවියා ගැන තමයි මේ සුවිශේෂී පෝස්ට් එක. මේ පෝස්ට් එකට රවියා සුවිශේෂී වෙන්නේ ඇයිද කියන එක තව කියවාගෙන යනකොට තේරෙයි.
රවී ගැන ලියවෙච්ච කලින් පෝස්ට් කියෙව්වාම පාඨක සැමට තේරෙයි රවියා යනු යාලු හිතමිත්‍රාදීන්ගේ නිවෙස්වල අපිටත් වඩා තැනක් හිමිවෙලා තිබ්බ එකෙක් වග. ඒ නිසා එදා අද කියලා වෙනසක් නෑ රවියාට අපේ ගෙවල්වල හෙන ප්ලේස්. වැඩේ කියන්නේ ඌ මොන වරද කරත් ඌට තියන තැන අපිට නෑ කියල මතක් වෙද්දී ගොඩයාට නම් දැනෙන්නේ මහා කුජීත හැඟීමක්.
රවියා ජපානේ අවුරුදු ගානක් ඉඳල ඇවිත් දාගත්තනේ ස්පෙයාපාර්ට්ස් කඩයක්. ඔව් ඔව් හත්ඉලව්වේ අර ජපානේ තියන කුණු ගොඩවල් ලංකාවට ගෙනල්ල විකුණන ජාතියේ එකක් තමා. ඔය කියන රවියාගේ කඩේ විකුනන්න නැතිවුනානම් නැතිවුනේ නයයි පොළඟයි විතරයි. ඒ ඇරෙන්න ලෝකේ තියන ඕනෑම බඩුවක් භාණ්ඩයක් තියෙනවද කියල ඇහුවොත් රවියා නෙවෙයි නෑ කියන්නේ. උගේ ගාව නැති උනාට ලංකාව වටේටම කෝල් ගහලා කොහෙන් හරි ඕන කරන කෑල්ල හොයාගෙන ඌටත් ගානක් තියාගෙන විකුනන්න රවියා හෙන දක්ෂයා. අපේ සමාත් ඔතනටම සෙට් වෙලා රවියාගේ ව්‍යාපාර සම්භාන්ධීකරණ කටයුතු බාර ලේකම් වශයෙන් පාර්ට් ටයිම් රස්සාවක් කරපු නිසා බිස්නස් එක තදින්ම නැගලා යන්න ඇති කියලයි ගොඩයාගේ අනුමානය. මොකද කියනවනම් රවියා + සමා කියන්නේ ඇස් ගෙඩිදෙක මාරුකරලා දාගෙන ගිහින් හරි තමුන්ගේ මුදල උපයන්න පුළුවන් ඩයල් දෙක. ආයේ ඔය සුසංයෝගය කොයිතරං සුපිරියට ගැලපෙනවාද කියනවනම් නිකම් හරියට පිඹුරෝ දෙන්නෙක් දෙපැත්තට සෙට් වෙලා වලිග දෙක ගිලගත්තා හා සමානයි. මොකද දෙන්නම ට්‍රයි කරන්නේ අනෙකාව ගිලින්න. විසකුරු නෑ.. විෂ දල නෑ.. හැබැයි ගොදුරක් අහුවුනාම ලොකු පොඩි නෑ ගිලිනවා ගිලිනවාමයි. ඕකුන් දෙන්නගෙම තියන පොදු ලක්ෂණය තමා බෑ කියලා දෙයක් නැති වීම. කව්රුහරි කෙනෙක් යෝජනා කරනවානම් ඇමේසන් වනාන්තරේ කට්ටි කරලා විකුණමුද කියලා උන් දෙන්නා එදා හිටං ට්‍රයි කරන්නේ හතර වටේම ඉඩම් බ්‍රෝකර්ලාට කෝල් ගහලා ඇමේසන් වනාන්තරෙන් පර්චස් දහයක් හරි විකුණන්න.
හවුල් ගනුදෙනු වලදී සමාගේ මැතමැටිකල් මොලේ සට සට ගාලා ගණන් හදලා සමාට රවියාට වඩා කීයක් හරි වැඩියෙන් ලාභ හිටින්න ගනුදෙනුව ඇටෙව්වට රවියාගේ කට්ට කපටි කෛරාටික මොලේ සමා හිතන්නත් කලින් සමාව ලිං පඩිය උඩින් තියලා හමාරයි. සමාත් රවියාට නොදෙවැනිව ස්ථානෝචිත අහවල් එක පාවිච්චි කරන නිසා රවියා ලිඳට තල්ලු කරන්න කලින් ගාන සාක්කුවේ දාගෙන ලිං පඩිය උඩින් මාරු වෙන්න සමා දක්ෂයි. ඔය දෙදෙනාගේ සුසංයෝගය රුපියලේ ඉඳන් ලක්ස කෝටි ගණන් දක්වා හවුල් ව්‍යාපාර කරද්දී අද සමාට රුපියලක් පාඩු උනොත් මාස හයක් හරි සමා ඒක මතක තියාගෙන ඉඳලා රුපියලට රුපියල් සීයක ලාභයක් රවියාගේ සාක්කුවෙන් අදිනවා කියන එක හෙට හිරු පායනවා වගේ සත්තයි. රවියත් ඊට දෙවැනි නෑ. අද සමා රවියාගෙන් වැඩිපුර රුපියල් සීයක් ඇද්දොත් ඒ සීය වෙනුවට සමාගෙන් නුදුරු දිනකදී දාහක් අදින එක හෙට ඉර පායනවා වගේම සත්තයි. ඔය දෙන්නට දෙන්නා උන් දෙන්නගේ ගනුදෙනු වලදී ඔහොම උනාට පිට කෙනෙක් එක්ක බිස්නස් එකක් කරද්දී රවියා සහ සමා කියන්නේ ගහට පොත්ත වගේ සෙට් වෙලා බිස්නස් එක කරගන්න එවුන් දෙන්නෙක්.
මීට අවරුදු දෙක තුනකට කලින් ගොඩයාගේ පියාණන්ට තණකොළ කපන මැසිමක් ගන්න ඕන වෙලා ගොඩයාට එම උවමනාව කියා හිටියත් ගොඩයා ඉන්න රටේ ඉඳන් තණකොළ කපන මැසිමක් ලංකාවට යවන මුදලින් ලංකාවෙන් තණකොළ කපන මැෂින් දෙකක් ගන්න පුළුවන් කියන එක ගොඩයා පියාණන්ට කියලා හිටං පැහැදිලිව කියා හිටියා එකක් හොයලා අරං දෙනකම් ඉවසිල්ලෙ ඉන්න කියන එක. එත් අපේ ඩඩාගේ හදිසියට ඩඩා අපේ රවියාට එයාගේ රික්වෙස්ට් එක ඉදිරිපත් කරලා කියමුකෝ. අපේ ඩඩා සහ රවියා කියන දෙදෙනාම ගැන 'ඉස්පිල්ලේ හිටං පාපිල්ලටම ගොඩයා දන්නා නිසා ඊළඟට වෙන්න යන දේ මොකක්ද කියන එක ගොඩයා දන්නවා. ඩඩා සහ රවියා මදිවට සමාත් ඔතන මැද ඉන්න වග ගොඩයා දන්නා නිසා ඔය ආරංචිය ඇහුවාම ගොඩයාගේ ඇඟ නම් සහලෝලා ගියා කියහන්කෝ. ඒ වගේම හීනි සන්තෝෂයකුත් ඉහේ හිටං පහලට ගලාගෙන ගියා රවියාට සහ සමාට ඊළඟට වෙන්න යන්නේ මොකක්ද කියනා කාරණය සහසුද්දෙන්ම ගොඩයා දන්න නිසා. තණකොළ කපන මැෂිම ඩඩාට වික්කා කියන්නේ ඔය තණකොළ කපන මැසිම අපේ ඩඩා ගාව තියෙනකල්ම රවියාට සහ සමාට ආෆ්ටර් සේල්ස් සර්විස් සහ ලයිෆ්ටයිම් වොරන්ටි දෙන්න වෙන වග ගොඩයා සහසුද්දෙන්ම දන්නවා.
ඔය ඔක්කොටම අමතරව ගොඩයා දන්නවා රවියාට ඒ ආසන්නයේ ජපානයෙන් ස්පෙයාර් පාර්ට්ස් කන්ටේනර් එකක් ආවේ නෑ කියන එක. ඒ කියන්නේ ඒ වෙද්දී රවියා ගාව තණකොළ කපන මැෂින් තියෙන්න විදිහක් නෑ. ඔය ජපන් වලින් පාවිවිච්චි කරපු ස්පෙයාර්පාර්ට්ස් ගෙන්නන උදවිය ගාව හොඳ බඩු සතියකට දෙකකට වඩා තියෙන්නේ නෑ. හොඳ කෑලි බෑලි ටික රවියා හෝල් සේල් මිලටම සිල්ලර විකුණන එවුන්ට විකුනලා කුට්ටිය පිටින් බැංකුවට දානවා උනාට ඔව්ව ඉතින් ගොඩයාගේ ඩඩා පිළිගන්නේ නෑ. මොකද ඒ වෙද්දී සමා ගොඩයාගේ පියාණන්ගේ ඔලුවට දාලා ඉවරයි රවියාගේ වෙළඳ සැලේ තණකොළ කපන මැෂින් තියෙන බව. සමා රවියාගේ පාර්ට් ටයිම් සේල්ස්මන් වග ගොඩයා, බඩ තඩියා ඇරෙන්න අනික් කව්රුවත් දන්නේත් නෑ. සමා උගේ ව්‍යාපාර කටයුතු කරගන්න අල්ලපනල්ලේ තමයි ඔය සේරෝක්කොම දේවල් කරන්නේ.
සති දෙකක් යන්න කලින් අපේ රවියා ගොඩයාගේ ඩඩාගේ පාලොස්දාහක ඇරියා කියන ආරංචිය ගොඩයා වෙත ආවත් ඒ වෙද්දී ගොඩයාගේ ඩඩා හිටියේ අලුතෙන් ගෙනාපු තණකොළ කපන මැසිම එන්ජෝයි කරන මට්ටමේ නිසා දෙන්නගෙම ආතල් කඩන්න ගොඩයා ගියේ නෑ. එහෙම හොඳ නෑනේ හිටං. කව්රු උනත් ආසයිනේ එහෙම දේවල් වලට. හැබැයි රවියා තණකොළ කපන මැසිම සමා අතේ එව්වා කියන ආරංචියත් ගොඩයාට ලැබුන නිසා තව නොබෝ දිනකින් තණකොළ කපන මැසිම ගැන දුරකථන ඇමතුම් රාසියක් ලැබෙන්න නියමිත වග ගොඩයා දැනගෙන හිටියා. ඒ කිව්වත් වගේ ඊට සති දෙකක් යද්දී ගොඩයාගේ ඩඩා මහ රෑ දෙකට තුනට විතර ගොඩයාගේ නින්ද කඩලා ඒ අසුභ ආරංචිය දැනුම් දුන්නා කියහන්කෝ. ඒ කියන්නේ තණකොළ කපන මැසිම අවසන් ගමන් ගිහින්. ඕක ඔහොම වෙන විත්තිය ගොඩයා දැනගෙන හිටියත් ඩඩා පිට පාරේම රවියා සමග ගනුදෙනු කල නිසා ගොඩයා එකෙන්ම කියා හිටියා රවියා හෝ සමා අමතා පැමිණිල්ල ඉදිරිපත් කරනා ලෙස. ඒ පැමිණිල්ලට ප්‍රතිපලයක් වශයෙන් තමයි සමා ඇවිත් කැඩුන තණකොළ කපන මැසිම නැවත රැගෙන යන්නේ අලුත්වැඩියා කොට ගෙනවිත් දෙන පොරොන්දුව මත. ඔන්න ඔතැන් පටන් තත්වය සෝචනීයයි කියහන්කෝ. අපේ ඩඩාට තණකොළ කපන මැසිමත් නෑ පාලොස්දාහත් නෑ. ඒ මදිවට රවියා සහ සමා ඩඩාගේ කෝල් වලට ආන්සරුත් නෑ. ගොඩයාටත් ඉතින් සතියකට වරක් වගේ ඩඩාගේ දුක්ගැනවිල්ල ලැබෙනවා උනාට ගොඩයා වැඩේට මුනිවත රැක්කේ රවියා සහ සමා ගැන ඩඩාට වඩා යාවත්කාලීන දැනුමක් ගොඩයා වෙත තිබ්බ නිසා. ගොඩයාගේ ඩඩා විශ්‍රාම සුවයෙන් ඉන්න මනුස්සයා නිසා ඔහොම වේදනා දෙන්න හොඳද යකුනේ කියලා අහන්න ඕනවුනත් ගොඩයා ඔය පණිවිඩේ දෙන්න ඉන්ටර්නැෂනල් කෝල් එකකට වියදම් නොකරේ ඒක කිසිම තේරුමක් නැති වැඩක් වග ටක්කෙටම දන්නා නිසා. රවියා සහ සමා ඔය කියන තණකොළ කපන මැසිම කොහෙන්හරි උස්සන් ඇවිත් අපේ ඩඩාට වික්කා කියන සාධාරණ සැකය ගොඩයාගේ හිතේ තිබ්බ නිසා ගොඩයා වැඩි කලබලයක් කරන්න ගියේ නෑ. මොකද උන්ටත් ඕක ගෙනාපු තැනට ආපහු ගෙනිහුන් දීල හරි ඕක හදවන්න කාලයක් දෙන්න ඕනනේ. ඊටත් වඩා ගොඩයාට තිබ්බ ආතල් කෝටියක් සපයන කාරනාව නම් රවියා සහ සමාගේ ජංගම දුරකථන වලට නිවී සැනසිල්ලේ හුස්මක් ගන්නට අපේ ඩඩා ඉඩක් නොදෙන බව දැනෙනා හැඟීම. තණකොළ කපන මැසිම අලුත්වැඩියා කොට නැවත ගෙනවිත් දෙනතුරු හෝ රුපියල් පාලොස්දාහා නැවත ලබාදෙනතුරු අපේ ඩඩා රවියාටත් සමාටත් දවසට කෝල් විස්සක් තිහක් දෙනවා කියන එක ගැන හිතද්දී අදත් ගොඩයාට දන්නෙන්නේ මල් මසුරන් සන්තෝසයක්.
ඔය විදිහට ටික දවසක් යද්දී ඔන්න සමා අපේ ඩඩාගේ තණකොළ කපන මැසිම අලුත්වැඩියා කර නැවත භාර දෙනවා. ඒ එක්කම අපේ ඩඩා ගොඩයාට නැවත පැමිණිලි කරනවා මැසිමේ තලය වෙනස්කර තිබේ කියනා කාරණය. ගොඩයාට ඉතින් ඊටත් එහා මල් මසුරන් ආතල් එකක් තවත් කොයින්ද දෙයියෝ. ඒ මොකද කියනවනම් මැසිම හදලා ගෙනත් දුන්නත් සමාට සහ රවියාට ඩඩාගේ චෝදනාවෙන් නිදහස් වෙන්න බෑ කියන සිතුවිල්ල සහ ඩඩාගෙන් නැවතත් රවියාට සහ සමාට යන දුරකථන ඇමතුම් සමූහය ගැන හිතද්දී මේ දැනුත් ආතල්. අපේ ඩඩා ඒ තරම් ඔය යන්ත්‍ර උපකරණ ගැන දැනුමක් ඇති කෙනෙක් නෙවෙයි නිසා රවියා ඩඩාට නැවත එව්වේ කලින් දුන් තණකොළ කපන මැසිම නොව වෙනත් එකක් වග ආයේ අමුතුවෙන් ගොඩයාට කියන්න දෙයක් නෑ. ඒත් ගොඩයා කවදාවත් මිතුරා පාවා නොදෙනා ගනයේ එකා නිසා ඒ වගක් ඩඩාට කියන්න ගොඩයා ඉදිරිපත් වෙන්නේ නෑ. මුකුත්ම නොලැබෙනවාට වඩා මොකක් හරි මැසිමක් ආයේ ලැබුන එකම මදැයි කියන සිතුවිල්ල ඊට වඩා බලවත් මුන් දෙන්නා එක්ක බිස්නස් කරලා. වැඩේ එතනින් ඉවරයි කියලා හිතුවට එතනින් ඉවර නෑ. ආයෙත් අර ගෙනාපු මැසිමත් සති දෙක තුනකින් අවසන් ගමන් ගියා කියන ආරංචිය ආයෙත් ඩඩා විසින් ගොඩයාට කියා හිටිනවා. දුරකථන ඇමතුම පැමිණෙන්නේ රෑ දෙගොඩ හරියේ උනාට ගොඩයාට බඩ පැලෙන්නේ හිනා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ආයෙමත් රවියා සහ සමා ඇදගෙන නෑවා කියන සුභ ආරංචියට.
ඔය තණකොළ කපන මැසිම ගැන විස්තරේ දිගටම ලියන්න ගියොත් මේ බ්ලොග් පෝස්ට් එක සෑහෙන දිග වෙන නිසා තණකොළ කපන මැසිම ගැන විස්තරේ සාරාංශය අවසානයේ මෙන්න මේකයි. ඔය කිව්ව තණකොළ කපන මැසිම ගොඩයාගේ නිවසටත් රවියාගේ වෙළඳසැලටත් සමාගේ ස්කූටියෙන් ගිය වාර ගණන ගණන් කරන්න බැරුව ඇති මයේ හිතේ. ලෝකයේ වැඩිම වාර ගණනක් ස්කූටියක ගමන් කරන ලද තණකොළ කපන මැසිම කුමක්ද කියල ඇහුවොත් ගොඩයාට හෙන ආඩම්බරයක් දැනෙනවා ඒ ජයග්‍රාහී තණකොළ කපන මැසිමේ හිමිකාරයා ගොඩයාගේ ඩඩා නිසා.
හැබැයි තණකොළ කපන මැසිම වැඩි කාලයක් තිබ්බන් තිබ්බේ රවියා භාරයේ. ඒකට තවත් හේතුවක් තිබ්බ. රවියාගේ ඥාති අයියා කෙනෙක් තණකොළ කපන බිස්නස් එකක් කරගෙන ගියේ රවියාගේ පූර්ණ අනුග්‍රහයෙන්. ඔය ව්‍යාපාරයට යන්ත්‍ර සූත්‍ර කුලියට දුන්නේ අපේ රවියා. රවියා තකහනියේම ඇවිත් අපේ ඩඩාගේ තණකොළ කපන මැසිම සර්විස් කරන්න අරං ගියා කියන ආරංචිය ඇහුවාම ගොඩයාට තැන නොතැන නැතුව බඩ පැලෙන්න හිනා. ඩඩා හිතන්නේ රවියාගේ ආෆ්ටර් සේල්ස් සර්විස් එක සහ හිතේ තියෙන හිතවත්කමට එහෙම කරනවා කියලා උනත් ගොඩයා දන්නවා රවියට අපේ ඩඩාගේ මැසිමට සත්ව කරුණාව පහල වෙන්නේ තණකොළ කපන ඥාතියාගේ මැසිම සෙත්තපෝච්චි උන දවසට කියල. ඒත් ගොඩයා ඔව්ව ඩඩාට කියන්න යන්නේ නෑ. ඩඩාගේ සහ රවියාගේ අතර තිබෙන අකලංක විශ්වාසය බිඳ දමා දුෂ්ටයා වෙන්න ගොඩයාට ඕන නෑ. එක පැත්තෙන් ඩඩා.. අනික් පැත්තෙන් මිත්‍රයා.. මැදින් සමා... ඉතින් කොහොමෙයි යකඩෝ හිතක් පපුවක් තියෙන එකෙක් විදිහට ඔය තුන්කොන් ප්‍රේමය මැදට පැනලා පවු සිද්දකරගන්නේ.
ප්‍රේමය එහෙම උනාට රවියා සහ සමා ඔය තණකොළ කපන මැසිම නිසා දුරකතනයෙන් අහපු කුණු කතා ලියන්න පොතකුත් මදි ඇති ගොඩයා දන්නා තරමට. ගොඩයාගේ ඩඩා තණකොළ කපන මැසිම වෙනුවෙන් වියදම් කරපු දුරකථන ඇමතුම් වල මුදල් වෙනම එකතු කරානම් තණකොළ කපන්න තව මැෂින් දෙක තුනක් ගන්න තිබ්බ . දැන් වෙද්දී නම් තණකොළ කපන මැසිම ටික කාලෙකින් ආපහු රවියාගේ ගෙදර ගියේ නෑ දන්නා තරමින්. හැබැයි අවසන් වතාවේ රවියලාගේ ගෙදර ගිහින් එද්දී තණකොළ කපන මැසිම ආපහු ඇවිත් තිබ්බේ සෑහෙන්න වෙනස් වෙලා . මේ ගමන ලංකාවට ගිය වෙලේ මහ ගෙදර පිටිපස්සේ පරෙස්සමට එල්ලලා තියන තණකොළ කපන මැසිම දැකලා ගොඩයාට බඩ පැලෙන්න හිනා. කලින් තිබ්බ හෙලිකොප්ටර් පෙත්ත වගේ තල දෙකක් තියන තලය වෙනුවට දැන් ඒකෙ තියෙන්නේ කඳන් ඉරන දැති රෝදයක්. ඒකෙත් ඉතින් දැති තිබ්බනම් ඒත් කමක් නෑ කියමුකෝ.. ඒකත් දැත්තක් හොයාගන්න නැති තරමට ගෙවිච්ච මල කාපු රෝදයක්. මිදුලේ තියන තණකොළ ටික කපාගන්න ගතපු මැසිමට ලී ඉරන දැති රෝදයක් හයිකරලා එවන්න ඇත්තේ වත්තේ තියන පොල් ගස් ටිකක්ත් ඔය එක්කම කපාගන්න වෙන්ටෑ කියල හිතලා ගොඩයා නිකං උන්න. ඔන්න ඔහොමයි අපේ රවියා.
රවියා ගැන ලියන්නගත්තට ඔය තණකොළ කපන මැසිමේ කතාව බෝනස් එකක් විදිහට ලියවුනු එකක්. මොකද කියනවනම් ලියන්න ගියේ වෙනත් කතාවක්. අපේ තඩියා විසින් යෝජනාකොට සම්මත කරපු සිද්දිය තමා ඊළඟට ලියන්නේ.
රවියා ඒ ලෙවල් කරලා ඉවරවෙලා කොළඹට උනායින් පස්සේ රවියා යනු කලාතුරකින් දකින්න පුළුවන් වෙච්ච ඩයල් එකක්. ඒත් මෙන්න බොලේ රවියා එකපාරටම මතුවෙනවා අම්බලන්ගොඩට කාටවත් නොදන්වාම. එදා රවියා ඇවිත් හිටියේ ටොයෝටා හයිඒස් හයිරූෆ් ඩොල්ෆින් වෑන් එකකින්. අප්පද බොල අපේ එවුන්ට ඉතින් ඊට වැඩිය දෙයක් කොයින්ද කියහන්කෝ. බඩතඩි එකා ඉස්සරහ සීට් එක පස්සපැත්තේ අලවගත්තා හා සමානයි. උදේ වරුවක ඔය කියන වෑන් එකෙන් අම්බලන්ගොඩට ප්‍රාදුර්භූත උන රවියා කට්ටියටම පුංචි ආතල් එකක් දීල ආපහු හවස් වෙද්දී කොළඹ ගියා කියමුකෝ. ඔන්න බොලේ වැඩේ පත්තු වෙන්නේ එදාම රෑ වෙද්දී.
එදා රෑ වෙද්දී යාලු මිත්‍ර හැම එකාගෙම ගෙවල් වලට දුරකථන ඇමතුම් පැමිණෙනවා රවියා ගැන විමසමින්. කෝල් එන්නේ රවියාගේ වැඩිහිටි සහෝදරයන්ගෙන්. බැලින්නම් රවියා අතුරුදහන්ලු. දැන් කාපන්කෝ පරිප්පු කිව්වලු. ඒත් වැඩේ කියන්නේ රවියා අතුරුදහන් වෙලා තියෙන්නේ අපේ එවුන්ව බේරලා. අම්බලන්ගොඩ ඉඳන් කොළඹ යද්දී අපේ රවියා අර ගෙනාපු වෑන් එකේ ඉස්සර වම්පැත්තේ මුල්ල ඇනලා කියහන්කෝ ඉස්සරහින් ගිය වාහනේක. දුකේ බෑ වෑන් එක කුඩේ කුඩුලු. වැඩේ කියන්නේ රවියට මුකුත් තුවාල සිද්ද වෙලා නෑ. ඒත් අපේ රවියා ඔය කියන වෑන් එක අරං ඇවිත් තියෙන්නේ ඒකෙ අයිතිකාරයා වෙච්චි රවියාගේ පොඩි අයියාට හොරෙන් කියහන්කෝ. වෑන් එක කුඩු වෙන්න වැදිච්ච හිතේ අමාරුවට රවියා අතුරුදහන් කියමුකෝ. හැබැයි රවියා අතුරුදහන් වෙලා තියෙන්නේ වෑන් එක පොඩි අයියාගේම යාලුවෙකුගේ ගෙදර ගාල් කරලා අවසානයේයි. ඒ කියන්නේ රවියා ගෙදරින් පැනලා ගිහින්. අන්තිම කෝල් එකෙන් කියවුනේ වෑන් එක හදන්න සල්ලි හොයාගෙන එනතුරු ආයේ ගෙදර එන්නේ නෑ කියන එකලු. ඉන් පස්සෙ ඉතින් කට්ටියම රවියා සොයා රට පුරා සෝදිසි මෙහෙයුම් කියහන්කෝ. ගෙවල් වලට කෝල් එනවා ඉවරයක් නෑ. ඒ මදිවට සෙට් එක එකතු වෙලා පැය ගණන් අනුමාන ගැන කතා වෙනවා රවියා අරෙහෙ ඇති මෙහේ ඇති ඒත් ආරංචි කරලා බැලුවාම ඒ කොහෙවත් රවියා නෑ. ඔන්න ඔය විදිහට මාසයක් විතර ගතවුනා කියමුකෝ. රවියාගේ මෑණියන් ඇතුළු වැඩිමහල් සහෝදරයින් රවියා සොයා රට පුරා ඇවිදිනවා, බෝධි පූජා තියෙනවා , සාස්තර අහනවා, අංජනම් බලනවා ඉවරයක් නෑ ඒත් රවියා නෑ. ඒ සෙල්ලම් වලට වියදම් කරපු සල්ලි වලින් ඇත්තටම අර හැපිච්ච වෑන් එකට අලුතෙන් මුණක් ගෙනත් තියන්න තිබ්බ යකොඩෝ.
ඊළඟට මොකද උනේ කියල ලියන්න කලින් දැන් ගොඩයා පොඩි සටහනක් තබන්නේ ඇයි මේ පෝස්ට් එක සුවිශේෂී උනේ සහ ඇයි ගොඩයා මේක රවියා ගැනම ලිව්වේ කියන එක ගැන කියන්නයි. මේ තමා අම්බලන්ගොඩ කතා බ්ලොගයේ ලියවෙන සියවෙනි බ්ලොග් පෝස්ටුව. බ්ලොග් පොස්ට් සීයක් ලියන්න ගොඩයාට දින 1159 ක් ගතවෙලා තියෙනව. වෙනත් විදිහකින් කියනවනම් අවුරුදු තුනක් , මාස දෙකක් සහ දින දෙකක් ගතවෙලා තියෙනව. ඒ තමා පලවෙනි පොස්ට්ටුව සහ මේ සියවෙනි පෝස්ටුව අතර කාලය. එතකොට ඇයි රවියා ගැනම සියවෙනි පෝස්ටුව ලිව්වේ කියන එකට හේතුව වෙන්නේ පලවෙනි පෝස්ටුවත් රවියා ගැනම ලියවෙච්ච එකක් නිසා. රවියාගේ පැරිෂුට් පිම්ම පෝස්ටුව ගොඩයා පලවෙනි වතාවට ලිව්වේ එළකිරි වෙබ් අඩවියට ලියපු පොස්ටුවක් විදිහට. සඳරු ලියපු "හිස් අහස" බ්ලොග් අඩවිය කියවලා බ්ලොග් එකක් කිරීමේ අසාවට තමයි අම්බලන්ගොඩයා ගූගල් දෙවියන්ගෙන් පාර අහගෙන බ්ලොග්කරණයට අත්පොත් තියන්නේ. වැඩේ සෑහෙන්න එක්සයිටින් නිසා එලකිරියට ලියපු පෝස්ටුවම කොපි පේස්ට් කරලා ගොඩයා අම්බලන්ගොඩ කතා පටන් ගත්තට ඔය කියන පොස්ට් එකට පලවෙනි කොමෙන්ට් එක වැටෙන්නේ බ්ලොග් අඩවිය හදලා දින 880 කට පස්සේ. ඒ කියන්නේ අවුරුදු දෙකයි මාස හතරයි දවස් විසි හතකට පස්සේ. ඒත් අම්බලන්ගොඩ කතා වෙත පලවෙනි කොමෙන්ටුව ලියන්නේ 2014/11/27 දින අපේ මාතලන් ලොක්කා. එතැන් පටන් අද වෙද්දී අම්බලන්ගොඩ කතා වෙත කමෙන්ට් 4561 ක් වැටිලා තියෙනව. ඒ එක්කම 267167 වාරයක් අම්බලන්ගොඩ කතා වෙත පාඨකයන් පැමිණිලා තියෙනව. එතෙක් මෙතෙක් බ්ලොග් පොස්ට් සීයක් දිගේ කොමෙන්ට් කරගෙන තල්ලුව දීගෙන පැමිණි අම්බලන්ගොඩ කතා පාඨක සැමට අම්බන්ගොඩයා මේ වෙලාවේ තමුන්ගේ හර්දයාංගම භාවය පළකරන්නේ බොහොම හැඟීම්බරව. ඒ එක්කම අම්බලන්ගොඩ කතා මිනිස්සු අතරට ගෙනියන්න මුල් වෙච්ච බ්ලොග් සින්ඩි සියල්ලටම ගොඩයා මේ වෙලාවේ බොක්කෙන්ම ස්තුතිය පුදකරනවා. එයාල නැත්තම් අම්බලන්ගොඩ කතා මේ තරම් ප්‍රසිද්ද වෙන්නේ නෑ. ඒ වගේම මේ පොස්ට් සියයක ගමනේ ගෞරවයෙන් කොටසක් හිමිවිය යුත්තේ ඒ හිස් අහස ලියන චින්තක සඳරුවන් නම් ඒ අසහාය බ්ලොග් කරුවාට. ගොඩයා එහෙම කියන්න හේතුව හිස් අහසට ඇබ්බැහිවීමත් එක්ක ඇතිවෙන ආසාවක් විදිහට අම්බලන්ගොඩ කතා බිහිවෙච්ච නිසා. ඒ නිසා බ්ලොග් පිටු සියයක ගමනේ සම ගෞරවය හිස් අහසේ සඳරුටත්, බ්ලොග් සින්ඩි වලටත්, කමෙන්ට් මගින් දිරිය දුන් සැමටත්, මේ ලියවෙන සිද්දි දාමයන්ට ප්‍රස්තුත සැපයු ගොඩයා හිතාදර මිතුරු කැලටත් සම සමව හිමිවිය යුතුයි කියලයි ගොඩයාගේ අදහස. ඔන්න එහෙනම් දින 1159 ක් දිගේ ආපු ගමනට සහයෝගය දැක්වූ හැමදෙනාටම ස්තුතියි..ස්තුතියි...ස්තුතියි...
ඊළඟට රවියාගේ කතාවේ ඉතුරු ටික..
දැන් රවියා අතුරුදහන් කියහන්කෝ මාසයක් විතර. ලංකාව වටේම ඉන්න සාස්තර කාරයෝ, බලිතොවිල් කාරයෝ, අංජනම් කාරයෝ දන්නා කියන වැඩ ඔක්කොම දාලා හෙව්වත් රවියා ඉන්න තැනක ආරංචියක් නෑ කියහන්කෝ. රවියාගේ ගෙදර උදවිය ලාවට වගේ සැක කලත් මූ ගඟක මුහුදකවත් පැන්නාදෝ කියලා යාලු හිතමිත්‍රාදීන් නම් එහෙම දෙයක් විශ්වාස කරේ නෑ. මොකද රවියා යනු ගල් පලන් මද කන්න පුළුවන් එකා නිසා ඌ ගඟක මුහුදක පැනලා ජීවිතේ නැති කරගන්න තරම් ගොන් වස්සෙක් නොවෙනා වග යාලුවෝ නම් විශ්වාස කළා. උපතින්ම හුරතල් පෙනුමක් හිමි රවියා ඉන්නා තැනක හොඳින් තුන්වේල කොටාබා ඉන්නවා ඇති කියන හැගීම යාලුහිතමිත්‍රාදීන් වෙත තිබ්බේ රවියා යනු ගිය තැන වසවර්ති මාරයාගේ උනත් බත් පතට විදින්න පුළුවන් හුරතල් පෙනුමක් තියෙන එකා නිසා. අපායට ගියත් යම රාජ්ජ්රුවෝ උනත් කද්දී බොද්දි අනිවා අපේ රවියාගෙන් අහනවා උඹ කාලද මචං කියල. ඒ තරම් ලැබීමක් තිබ්බ එකෙක් කොතන හිටියත් හොඳින් ඉන්නවා කියන තදබල හැඟීම සෙට් එකේ කා ගාවත් තිබ්බ.
ඔන්න ඔය විදිහට කාලයක් යද්දී තමා රවියාගේ ලොකු අක්කාට රවියා ඉන්න තැන හරියටම ආරංචි වෙන්නේ. ආරංචිය ලැබුන ගමන් වාහනයක් අරං ඉගිලෙන රවියාගේ ලොකු අක්කා එතනට යද්දී අපේ රවියා තඩි සිමෙන්ති ලොරියකින් සිමෙන්ති බානවාලු කියහන්කෝ. ඉතින් බලහන් මෙව්වා කටක් ඇරලා ලෝකයාට කියන්න පුළුවන් කතාන්දරද කියලා. පවුලේ මිනිස්සුන්ට තියා යාළුවො වෙච්චි අපිටවත් පාරේ බැහැලා යන්න බැරි තරම් හතර විලි ලැජ්ජයි නැද්ද හා. ලොකු අක්කා වාහනේ බැහැපු ගමන් දුන්නලු අපේ රවියගේ කණ කුඩු වෙන්න කනේ පාරක්. වැදිච්ච පාරේ සැරටද කොහේ රවියාගේ කරේ තිබ්බ සිමෙන්ති කෝට්ටේ හුචස් ගාල බිම වැටිලා දෙකට පැලුනාලු. කොහොමින් කොහොමහරි අසූහාරදාහට මල පැනලා හිටපු රවියාගේ ලොකු අක්කා රවියාට නෙලපු නෙලිල්ලෙන් අපේ එකාව බේරාගෙන තියෙන්නේ අහල පහල හිටපු නාටාමිලා ඉදිරිපත් වෙලා. ඇයි යකඩෝ කෝටිපති සහෝදරයෝ හත් දෙනෙක් ඉන්න පවුලක බඩපිස්සා වෙච්චි මේ ගොන් නාම්බා හාර්ඩ්වෙයාර් එකක සිමෙන්ති බානවා දැක්කාම මූව එතනම නොමරුවා ඇති. ඒ වගේද ඒ මිනිස්සු උහුලපු ගින්දර මූව ඇහැට දකිනකම්. දැහැමෙන් සෙමෙන් උපයාගෙන දෙයියනේ කියලා තුන් වේල කාලා යාන වාහන ගේ දොර ඉඩකඩම් මදි නොකියන්න තියන පවුලක මිනිස්සුන්ට එහෙම ගින්දර දෙන්නේ ඒ මිනිස්සුන්ට ප්‍රශ්න නැති නිසාද. වාහනේ හැප්පුනානම් ඒක අයියට කියල සෙන්ටිමෙන්ටල් කරගන්න තිබ්බනේ. මොකෝ ඒ වෙද්දීත් ඒ ගෙදර වාහන විස්සක් තිහක් තිබ්බ ගෙදරක්නේ. එකක් හැප්පුනා කිව්වට මොකෝ මූව මරන්නේ නැහැනේ. ඕකට ඉතින් මඩොල්දූවේ උපාලි ගිනිවැල්ලේ වගේ ගෙදරින් පැනලා යන්න ඕනෙද හත් ඉලව්වේ. කොහොමද අපේ එකාට ජින්නා වගේ එකෙක් සෙට් උනානම් එහෙම. එහෙනම් ඉතින් මූ හොයාගන්න වෙන්නේ මැඩගස්කර්වලින් හරි ඇමේසන් වලින් හරි තමා.
ඒ කරුණු කාරනා කොහොම වෙතත් මූ මගේ මල්ලි කෙනෙක් උනානම් මං ඕකාට ගහන්නේ ගහක බැඳලා. ඇයි යකෝ වාහනේ හෝදන්න කියලා මිදුලෙන් එහාට දාන්න වාහනේ ස්ටාර්ට් කරපු එකා කිරිබත්ගොඩ ඉඳලා අම්බලන්ගොඩ යාවි කියලා කව්ද හත් ඉලව්වෙන් හිතන්නේ. ඒ මදිවට ඩ්‍රයිවින් ලයිසන් එකකුත් නැතුව. කොහොමින් කොහොම හරි අපේ එකාගේ පැනලා යාමෙන් උනේ ගෙදර මිනිස්සුට වාහන දහයක් හදන මුදල් වියදම් වීමත් නිස්කාරනේ ගින්දර උහුලන්න සිද්ද වීමත් විතරයි. සිමෙන්ති ගොඩේ පෙරලගෙන ගුටි ඇනපු අපේ එකාව බෙල්ලෙන් අල්ලලා වාහනේට දාගන්න කලින් හාර්ඩ්වෙයාර් එකේ මුදලාලි දුවගෙන ඇවිත් අපේ රවීගේ අක්කාගෙන් මූ බිමදාපු සිමෙන්ති කෝට්ටේ අලාබෙත් අයකරගත්තළු. මං හිටියනම් ආයේ වාහනෙන් බස්සලා සිමෙන්ති ගොඩේ හොම්බ උලලා පයින් දෙකක් අනිනවා ආයේ ගොන් වැඩ නොකරන්න.
දැන් වෙද්දී රවියා දෙදරු පියෙක් වගේම ව්‍යාපාර ගානක අයිතිකාරයෙක්. ඒ උනාට ඉතින් විශ්වාස කල නොහැකි භාවය කොයිතරම්ද කියනවනම් ගොඩයා මේ වතාවේ ලංකාවට ගිහින් එද්දී රවියා ගොඩයා බලන්න ගෙදරටම ඇවිත් ගියා සුරාමේරය සහ අවශ්‍ය කරන බයිට් ජාතිත් අරගෙනම. ඒ යන වෙලාවේ ගොඩයා රවියට කිව්වා යන එන වෙලාවක උඹේ වාහනේ අපේ ගෙදර දාලා මගේ වාහනේ අරං ගිහින් සර්විස් කරලා ගෙනත් දාපන්ය කියන කාරණය. ඒකට හේතුව රවියාගේ ව්‍යාපාර ලැයිස්තුව ඇතුලේ වාහන සර්විස් කරන ආයතනයකුත් ගජරාමෙට පවත්වාගෙන යන නිසා. ඒ වගේම රවියා දවස ගත කරන්නේ ඔය කියන සර්විස් ස්ටේෂන් එකේ කියලා ගොඩයට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ගොඩයාගේ ගෙදර පහු කරගෙන උදේට ව්‍යාපාර ස්ථානයට යන එකේ ගොඩයාගේ වාහනේ අරං ගිය කියල පැත්තක් යන්නේ නෑනේ. අපේ එකා කවදාවත් බෑ නොකියන සතා නිසා කට පුරා හා කියලා ගියා ගියාමයි. දැන් මාස දෙකකටත් වැඩියි ගොඩයාගේ වාහනේ තාම එතන රවියා එනකං බලන් ඉන්නවා සර්විස් කරන්න යන්න. කොච්චර යාලුවා උනත් ගොඩයා යාලුවන්ගෙන් නිකං වැඩ ගන්න එකා නෙවෙයි. නිකං යන එන ගමනේ බොඩි වොෂ් එකක් දැම්මත් ගොඩයා රවීගේ සර්විස් එකට සල්ලි දීලයි වාහනේ අරං එන්නේ. රවියා සහසුද්දෙන්ම දන්නවා වාහනේ සර්විස් කරාට මුදල් නොදී ඉන්නේ නැති වග. ඒ එක්කම රවියා මුදල් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඒත් ඉතින් කිව්වට දෙයක් කරවගන්නත් බෑ. ඉබ්බාගෙන් පිහාටු ගණන්වා ඊට ලේසියි. දැන් මේ පෝස්ට් එක රවියා කියවනවා කියලා ගොඩයා දන්නවා. ඒ නිසා රවියාට පණිවුඩයක් තියලාම ගොඩයා සියවෙනි පෝස්ටුව අවසන් කරනවා. මොකද තණකොළ කපන මැසිම නිසා ගොඩයාගේ ගෙදරින් දුරකථන ඇමතුම් එද්දී රවියා තාමත් ජංගමය ආන්සර් කරන්නේ නෑ. ඒ එක්කම තණකොළ කපන බිස්නස් එක කරන ඥාතියාගේ මැසිම කැඩුන දවසට රවියට අපේ ඩඩාගේ මැසිම ආයේ සර්විස් කරන්න අරං යන්න ඕන වෙන්නේත් නෑ. මොකද රවියා දන්නවා අන්තිම වතාවේ ඒකට හයිකරලා එව්වේ කඳන් ඉරන දැති රෝදයක්ය කියන එක වගේම එකේ දැතිත් එකකට දෙකකට වඩා නැති වගත්. මෙහේ හිටං කෝල් දුන්නට වැඩකුත් නෑ ඌ නෙවෙයි ඉතින් ඔව්වට ආන්සර් කරන්නේ.. කාගේ හරි දුරකථන අංකයක් , වැඩක් කරගන්න ඕනෑකමක් වගේ දෙයක් ඕන උන ගමන් රවියා ගොඩයාගේ නින්ද කඩනවා කියල ගොඩයා දන්නවා.. ඒ කෝල් එක එනකං තමා මේ ගොඩයා බලාන ඉන්නේ. එතකම් මේ පණිවුඩය ඒ ආසහාය මිත්‍රයාට..
හිතාදර රවී... උඹට අමතන්න කටට එන ආදරණීය වචන මේකේ ලියන්න බෑ.. මොකද මේක පොඩි දරුවෝ කියවනවානේ... අර කාර් එක අරං ගිහින් සර්විස් කරලා ගෙනත් දාපන් බූරුවෝ පොරොන්දු උනානම් ..
(බූරුවෝ කිව්වට සමාවෙයන්.. මොකද උඹට අමතන්න කටට එන වචන සෙට් එකේ තියන වචන වලින් ටිකක් හරි සභ්‍ය වචනේ ඕක විතරයි.)