Wednesday, December 8, 2021

කලු කූඹි බොඩි ගාර්ඩ්ස්ලා



කොහොමෙන් කොහොම හරි කාර් කටුව අතුලට කලු කූඹි රිංගලා කියහංකො.  මං තුමා කොලඹ යද්දි මං තුමාගෙ ආරක්ශාවටදෝ මංදා කූඹි හමුදාවත් කාර් එකේ කොලඹ යනව.  මං තුමා ටවුමට යද්දිත් කූඹි රංචුව මා එක්ක ටවුමට යනව. තනියම කියලා ගමනක් යන්නම විදිහක් නෑ. මුං ටික මං තුමාගෙ බොඩිය ගාර්ඩ් කරනවා ඇඟ පුරා දුව දුවා.. බැරිම තැන කාර් කටුව සර්විස් එකට දාලා සුද්ද කරලා ගෙදර ගෙනාව.. මොන.. ඒත් උන් කොහේදෝ අස්සක හැඟිලා වහං වෙලා ඉඳලා කියහංකො. සති තුනක් තිස්සෙ කලු කූඹි හමුදාව මං තුමාට දීපු වද තිස් දෙක කියන්න ලියන්න වචන නෑ..


පෙරේදා මං තුමාට කොලඹ යන්න තිවුනා කියහකෝ දතක් රෙපෙයාර් කරගන්න. ඕං ඒ යන ගමන ආරංචි වෙලාදෝ ඩඩාගෙ නංගි නැන්දයි, අක්ක නැන්දයි දෙන්නත් බප්පලාගෙ ගෙදර යන්නෝන කියාපි.  නිකම් යන කාර් කොටේ නන්දලා දෙන්නා බාප්පලාගෙ ගෙදරට බස්සන එක මහ කජ්ජක් නෙවෙයිනේ ආයුබෝවන්ඩ. නැන්දලා දෙන්නටත් උදේ දහය වෙද්දි ලක ලෑස්ති වෙලා ඉන්ට කියලා මං තුමාත් ගියා නැන්දලා දෙන්නව පික් කොරගෙන කොලඹ මංගච්චන්න.  අප්පද බොල කියහංකෝ.. නැන්දලා දෙන්නා ගජරාමෙට කදමලු බැඳගෙන කොලඹ යන්ට ලෑස්ති වෙලා ගේට්ටුව ගාවට වෙලා ඉන්නවා දිලිසි දිලිසි.. 


නැන්දලා දෙන්නගෙ කද මලු කාර් කොටේ ඩිකි කෑල්ලෙත් පුරවලා ඇතුලෙත් පුරවලා සීට් උඩත් පුරවලා නන්දලා දෙන්නත් කාර් කොටේ ඇතුලට එබුවායින් පස්සෙ ඩැයිවින් සීට් එකේ කොනක් යාන්තමට මං තුමාටත් ඉතුරු උනා ලාවට පස්ස තියාගෙන ඩැයිවින් කරන්න. කැවුම්ද කොකිස්ද බිබික්කම්ද ලැවරියාද හැලපද ඇතුලු එව්වා මෙව්වා පැණි රස ජාති අටෝරාසියක්ද, මාලු ඇබුල්තියල්ද, බිලිං අච්චාරුද, මැලේ අච්චාරුද ඇතුලු කෑම ජාති දහයක් පහලෝකුත් තිවුන කියහංකො.  ඊට අමතරව නැන්දා විසින්ම එයැයිගේම රැසිපියට හදපු කේක් රාජයෙකුත් කාර් කොටේ ඩිකියේ තැන්පත් උනා අර කිව්ව කැවිලි ජාති වලට අමතරව. 


අම්බලංගොඩින් හයිවේ එකට දාලා මං තුමාගෙ දතේ රෙපෙයාර් එකත් කරගෙන ඕං හවස දෙක වෙද්දි ගයිස්ලා ටික බප්පලහ.. නැන්දලා දෙන්නත් අර බඩු ලෝර්ඩ් එක අස්සෙන් එලිට ඇදලා බස්සලා, උන්දැලා දෙන්නගෙ අත පය හතර පරෙස්සමට තියෙනවද කියලා පරීක්ශා කරලා මං තුමාත් ඕං අර කිව්ව ලොරි ලෝර්ඩ් එක බාන්න සැට් උනා. මං තුමා තමා කාර් එකෙන් එක කෑල්ලෙන් කෑල්ල එලියට ඇදලා දෙන්නෙ. ඊලඟට පොඩි නැන්දගෙ අතට.. පොඩි නැන්දගෙ අතින් බප්පගෙ අතට. බාප්පා තමා කැවිලිද අච්චාරුද අර පොටෝගෙන ආපු සන්නම් මන්නම් සියල්ලම බාප්පගෙ ගරාජ් එකේ බිමින් තියන්නෙ පරෙස්සමට. ලොකු නැන්දා ඉතිං ටිකක් අසනීපෙන් නිසා එයැයි සුපර්වයිසර් තනතුරට අනුයුක්ත

කලා. අපරාදෙ කියන්න බෑ අයියලා නංකිලා දෙන්නයි ලොකු අක්කියි පට්ට එකමුතුයි වැඩේට. 


කාර් ලෝර්ඩ් එකම බාලා අහවර උනායින් පස්සෙ තමා අර කලිං කිව්ව නැන්දගෙ රැසිපියටම හදපු කේක් තැටිය මං තුමාගෙ අතට එන්නෙ. අප්පද බොල.. ඒක දැක්කාම මගේ කටේ කිරි හිනාවයි. මං තුමා වාහනේ එලවන අතරේ කමීසෙ ඇස්සෙයි කලිසම අස්සෙයි එක සීරුවට රිංගන ගමන් මං තුමාගෙ බොඩිය ගාර්ඩ් කරපු කලු කූඹි  සැට් එකම නැන්දගෙ කේක් තැටිය ඇතුලේ ගජරාමෙට සැට් වෙලා කියහංකෝ.. මං තුමාත් ඉතිං වැඩි කලබලයක් නැතුව බෝම පරෙස්සමට කේක් තැටිය අරගෙන නැන්දගෙ අතට දුන්නා. සතෙකුට උනත් කන බොන වෙලාවට ඩිස්ටර්බ් කරන එක කැතයිනේ අයුබෝවන්ඩ. කේක් තැටිය නැන්දගෙ අතට දෙද්දිනම් පුංචි පහේ ආතල් සැනසුම් සුසුමක් හෙලුනත් එක්ක කියහංකො. බප්පලාගෙ ගෙදරින්, නැන්දා ගෙනියපු අච්චාරු එක්ක බත් සුට්ටකුත් කාලා මං තුමා ආතල් පහට හයිවේ දාලා පැයෙන් ගෙදර.. කලු කූඹි කරදරේට එතැකින් පුල් ස්ටොප්... ආයෙම ඉතිං කේක් තැටියක් බාප්පලාගෙ ගෙදරින් අම්බලංගොඩ එන්නෙ නැති නිසා කූඹි ටික ආයෙ අම්බලන්ගොඩ එවිලි සුම්මා තමා. අම්බලන්ගොඩම ඉපදිලා අම්බලන්ගොඩම මැරිලා යනවට වඩා කොලඹ රට බලලාම ටිකක් දැනමුතු වෙලා, කූඹින්ට, කොලඹ කූඹි විදිහට මැරිලා යන්න සලස්සපු අපේ නැන්දලා දෙන්නට දීර්ඝායු වෙන්ට ඕන ඉතිං. දැං ඉතිං මාත් සතුටෙං, නැන්දලත් සතුටෙං, කොලඹ ගිය නිසා කූඹිත් ඇත්තෙ සතුටෙං මයෙ හිතේe...

Wednesday, September 29, 2021

මෙගා නයි...

 





අයිසෙ ඒ.ඩී.. අද ශූට් එකේ ඔක්කොම සීන්ස් ටික බලලා නේද තියෙන්නෙ...


ඔක්කොම බැලුවා ඩිරෙක්ටර් සර්... ඒත් මේන් කැරැක්ටර් එක ඉන්න සීන් ටික කරගන්න බැරි උනා...

එහෙම කියලා හරියනවද බූරුවෝ... ෆයිනල්
ටේක් එකට කලින් තමුසෙ ඔක්කොම සීන් ටික අකුරට බලන්න ඕන නේද...

ඔක්කොම කරා සර්... ඒත් මේන්
කැරැක්ටර් එකේ ෆීමේල් ආර්ටිස් ශූටින් එන්න බෑ කියනව...

මොකක්...

ඔව් සර්... 

එහෙම කියලා හරියනවද බූරුවෝ... උන් ඇග්‍රිමන්ට් සයින් කරලා තියෙන්නෙ... වන්දි ගෙවනවද ශූටින් එනවද කියලා අහපන් කෝල් කරලා…

ඇහුවා සර්... ඇග්‍රිමන්ට් ගහපු කොටස් සීය ඉවරයි කියලා ඊලඟ කොටස්වලට වැඩිපුර ගෙවනවනම් එන්නම්ලු..

හරි ඉතිං මං ඒක උන්ට චැනල් එක එක්ක කතා කරගන්න මීටින් එකක් ඇරේන්ජ් කරලා දුන්නනේ බං...

චැනල් එකෙන් පේමන්ට් වැඩි කරන්න බෑ කියලා සර්...  ආර්ටිස් එන්න බෑ කියනව... ඊලඟ කොටස් සීයට තව සීයට පණහක් වැඩියෙන් සල්ලි ඉල්ලනව...

දැං ඉතිං බලහංකෝ මං කොහොමද ඊලඟ කොටස් ශූට් කරන්නෙ... මීට හොඳා මාව කෑවානම්...

දැං මොකද සර් අපි කරන්නේ....

ම්ම්ම්ම්ම්ම්ම්.... පොඩ්ඩක් හිටහංකෝ කල්පනා කරන්න...

අද ශූටින් කැන්සල් කරන්නද සර්...

පී....ස්සුද බූරුවෝ... හෙට  බෙල්ට් එකට එපිය යවන්න අද ශූටින් කරන්නම ඕන...

පරන කට්ඕෆ් ටිකක් දාලා එඩිටර්ට වැඳලා එපියක් බස්සගන්න බැරිද සර්...

කට් ඕෆ් වෙන නෑ බං... අරුන් දෙන්නට කොරෝනා හැදුන දවස්වල තිබ්බ කට් ඕෆ් ඔක්කොම මැදින් රිංගෙව්වනේ බං..

දැං මොකද සර් කරන්නෙ...

ම්ම්ම්ම්ම්ම්ම්.... හරි... අද එපියෙ නේද ඔය ගෑනි නැන්දම්ම හොදි හට්ටියෙන් ගහලා ඔලුව පැලිලා වැඩට යන්නෙ නැතුව නිවාඩු ගන්නේ...

ඔව් සර්.... 

එල.... මල් ශාලාවකට කෝල් කරලා මිනි පෙට්ටියකුයි හර්ස් එකකුයි ගෙන්නගනින්...

මොකක්..

දැං මං කිව්වදේ උඹට ඇහුනනේ... මල් ශාලාවකට කෝල් කරලා මිනි පෙට්ටියකුයි ටිකක් හොඳ හර්ස් එකකුයි ගෙන්නගනිං... තව සුදු කොඩියකුයි ටෙන්ට් එකකුයි පුටු ටිකකුයි ගෙන්නගනින්... බාර්ලි බෝතල් ටිකකුයි වීදුරු ටිකකුයි ට්‍රේ එකකුයිත් සෙට් කරපං. ..ශූටින් බලන්න එන එවුන්ගෙන් සුදු ඇඳලා ඉන්න එවුන් ටික වෙනම පොඩ්ඩක් මේකප් දාලා තියපං...

මොකක්ද සර් කරන්න හදන්නෙ... 

ඇයි යකෝ තේරෙන්නෙ නැද්ද... දැං මේ ගෑනි ශූටින් එන්න බෑ කියනවනං, චැනල් එකෙන් ගානත් වැඩි කරන්න බෑ කියනවනං මං චරිත ෆොටෝ කොපි ගහන්නද බං... මගේ ඔලුව බේරගන්න කරන්න තියෙන එකම දේ මේ චරිතෙ මරලා දාන එක විතරනේ බං...

ඒත් සර් මේ ගෑනිගෙ කැරැක්ටර් එක නැතුව මේක දුවයිද ...

උඹ පැහිච්චකම් නැතුව මං කියපු වැඩේ කරපංකෝ...

ඕකේ සර්...

ආ තව එකක්... රයිටර්ට කෝල් කරලා කියපං ඊලඟ එපියේ මේ ගෑනි මරණවා... හොස්පිටල් ඇඩ්මිට් වෙන එව්වා , හොස්පිටල් එකේ ඉන්න එව්වා පෙන්නන්නෙ නැති වෙන්න අද එපිය ලියන්න කියලා.. ආ තව කියපං මිනිය ගෙදරට ගේන තැනින් එපිය ඉවර කරන්න කියලා.. 

ආ තව එකක්.... සුදු ඇඳලා ඉන්න සෙට් එකේ ඉන්න කට්ටියට ටෝක් කරලා බීම අල්ලන සීන් එකට දාන්න කට්ටියගෙන් එකාගෙන් දෙදාහ ගානෙවත් කපන්න බලහං... බීම අල්ලන සීන් එකට පස්දෙනෙක් දාපං. එකාගෙන් දෙදාහ ගානෙ දහදාහයි... පන්දාහක් මට ඉතුරු පන්දාහ උඹට..

තැන්කූ සර්... ඒත් සර් අපි කොහොමද මේ ගෑනි නැතුව මේක දුවන්නෙ.. රේටින්ග්ස් අඩු උනොත් අටයි තිහේ බෙල්ට් එක නැති වෙනවා සර්... සරුයි මායි අනාතයිනේ සර්..

ඔව්ව සිම්පල් වැඩ බං... ඒකට මා ගාව ප්ලෑන් එකක් තියෙනවා ...

ඒ මොකක්ද සර්.. 

උඹ දන්න කියන හැමෝටම කෝල් කරලා නයි නටවන එකෙක් හොයාගනින්කෝ..

මොකක්... නයි නටවන එකෙක්?

ඔව් ඔව් යකෝ නයි නටවන එකෙක් තමා...

ඒ මොකටද සර්...

අද මේ ගෑනිගෙ චරිතෙ මැරෙනවනේ...

ඔව් සර්..

තව දවස් දෙකකින් මේ ගෑනි නයෙක් වෙලා එනව නැන්දම්මගෙන් පලිගන්න...

මොකක්...

ඔව්  යකෝ ඔව්... ඊලඟ එපි සීය නයා දාලා අදින එන සිම්පල් බං... ඕං බලහං නයා දාපු ගමං රේටින් ඩබල් වෙන හැටි... නයා දාපු ගමන් ගෙවල්වල ගෑනු මිනිස්සු ටීවී එක වටේ වටවෙනවා බඩු සුවර්... රයිටර්ට කියපං ඊලඟ එපිසෝඩ් සීය ලියන්න කියලා නයා ප්‍රධාන චරිතෙ කරලා... 

සර්ගෙ මොලේ තමා සර් මොලේ... සර්ටයි මටයි වාසියක් නැද්ද සර්... 

මෙව්ව ටෙලිකාස්ට් වෙනකොට අපිට පාරෙ බහින්නත් බැරි එකේ අපිට අනිවාර්යයෙන්ම වාසියක් තියෙන්න ඕනනේ බං...

දැං කොහොමද සර් මේකෙන් අපි ගේමක් ගහන්නේ...

නයි පනික්කියා එක්ක ඩීල් එක ගහලා නයාව මාසෙකට දවසක් රෙන්ට් එකට ගනිං. නයාව දවසකට ගත්තාම මාසෙටම ඕන ශොට්ස් ටික එක දවසකින් ගන්න පුලුවනිනේ බං. නයාවයි පනික්කියාවයි වාහනේකට දාගෙන ඕන ඕන තැන්වලට ගිහිං ටේක්ස් ටික ගන්න එක මහ ලොකු කජ්ජක් නෙවෙයිනේ ... නයාට මේකප් දාන්න කියලයෑ..  නයා තිබ්බා ශූට් කරා... කෲ එකට යන ගානයි, මේකප් ආර්ටිස්ට යන ගානයි, ට්‍රාන්ස්පෝර්ට් වලට යන ගානයි, ලොජින් වලට යන ගානයි, කෑම වලට තේ වලට යන ගානයි, නයා වෙලා ඉපදිලා ඉන්න ගෑනිට ගෙවපු ගානයි  ඔක්කොම ඉතුරුයිනේ බං.  නයාට බිත්තර දෙකයි පනික්කියාට අරක්කු භාගයයි නයාගෙ රෙන්ට් එකයි ඔක්කොම ගත්තත් තිබ්බ බජට් එකෙන් සීයය අනූවක් ඉතුරුයිනේ බං...  ඒකෙන් සීයට විසි පහක් උඹට විසි පහක් රයිටර්ට ඉතුරු ටික මට...

සර් ....

හ්ම්....

ටික දවසකින් තව  එකෙක් මරලා තව නයෙක් දාමුද ?

තෝ මගෙන් කුනුහරුප නාහ කිව්ව වැඩ ටික කරහං...

Sunday, August 8, 2021

හිත රිද්දන මතක 1

 

අද ඉරිද හවස මියුසික් ප්රැක්ටිස් දවස. බෑන්ඩ් එකේ දෙන්නෙක් ගමනක් ගිහිල්ලා එන්න පරක්කු වෙනවා කිව්ව නිසා ප්රැක්ටිස් කැන්සල්. කීබෝර්ඩ් එකත් වාහනේට දාගෙන උදේ දහයට විතර එලියට ගියේ තවත් වැඩ රාජකාරි කීපයක් කරගෙන හවසට ප්රැක්ටිසුත් ගිහිං රෑ වෙලා ගෙදර එන්න හිතාගෙන. ප්රැක්ටිස් කැන්සල් නිසා කලින්ම ගෙදර ඇවිත් වාඩි උනේ සිංදු වගේකට කෝර්ඩ්ස් දාන්න. ඕන කරන සිංදු වගයක් යූ ටියුබ් එකේ හොයගෙන මගේ වැඩේට ඔලුව දාගෙන ඉද්දි තමා youtube auto play යටතේ මේ සිංදුව play වෙන්නෙ.


ඒ වෙද්දි මං හිටියෙ තුන වසරේ හෝ හතර වසරේ කියලා තමයි මතක. ඉස්කෝලෙ ඇරෙන්නෙ දවල් දොලහයි හතලිස් පහට. ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්නෙ ලොකු සුදූ අක්කා එක්ක. දවල් දවසේ අම්මයි තාත්තයි දෙන්නම රස්සාවට යන නිසා මං හවස් වෙනකල් ඉන්නෙ පුංචිලාගෙ ගෙදර. ඒ කාලෙ පුංචිලාට තිබ්බෙ ගම් උළු හෙවිලි කරපු වරිච්චි බිත්ති වලට සිමෙන්ති කපරාරු ගහපු ලොකු ගෙයක්. ඒ ගෙදර බිමටම සමතලා කරලා තමා බාප්පා එතන අලුතෙන් ගේ හැදුවෙ. ඉස්කොලෙ ඇරීලා එනකොට පුංචිලාගෙ ගෙවල් ලඟ වංගුවෙන් කන්ද උඩට හැරෙනකොටම ඉස්සෙල්ලම දැනෙන්නෙ පුංචි පරිප්පු උයන සුවඳ. පුංචි දවාලට උයන්න ගන්නෙ මං ඉස්කෝලෙ ඇරීලා එන වෙලාව අල්ලල. පුංචිගෙ දුව මට වඩා අවුරුදු පහක් වැඩිමල් නිසා ඒ වෙද්දි අක්කා අට වසරේ වගේ වෙන්න ඇති. එයාට ඉස්කෝලෙ ඇරෙන්නෙ එකහමාරට. එයත් ගෙදර එනකොට දෙක විතර වෙන නිසා පුංචිගෙ කෑම උයන වෙලාව අපි දෙන්නටම උණු බත් කන්න දෙන්නම සැලසුම් කරපු වෙලාවක්දෝ කියලා මේ දැං මට හිතෙනව. ලොකු නංගි ඒ වෙද්දි මොන්ටිසෝරි වයසෙ. පොඩි නංගි ඉපදිලා නෑ තියා ඉපදෙන්න හිතලාවත් නෑ ඒ කාලෙ. සමහරවිට එයා කලින් ආත්මේ හෙන නාකි උන්දෙක් වෙන්න ඇති ඒ වෙද්දි.

දවල් එකොලහමාරට හෝ දොලහට වගේ නංගිව පන්සලේ මොන්ටිසෝරියෙන් අරං ඇවිල්ලා තමා පුංචි උයන්න පටන් ගන්නෙ. උයලා ඉවර වෙද්දි මං ගෙදර ඇවිත්. පුංචිගෙ පරිප්පු හොද්දේ සුවඳ මේ දැනුත් දැනෙනවා දැනෙනවා වගේ මට. හැමදාම පුංචි මට පරිප්පු වැරැද්දුවේ නෑ. ඒ මං පට්ට පරිප්පු පෙරේතයෙක් හිංදා වෙන්න ඇති. තුන් වේලටම අවුරුද්දේ දවස් තුන්සිය හැටපහේම උනත් මට පරිප්පු කන්න පුලුවනි. හෑබැයි පරිප්පු රසට උයන්න හැමෝටම බැහැ. ලේසියෙන් උයන්න පුලුවන් උනාට පරිප්පු උයන එක වෙනම කලාවක්. පරිප්පු කියන්නෙ ජීවිතේ හා සමාන නිසා මටත් රහට පරිප්පු උයන්න පුලුවනි. කිරටද, මිරිසටද, තෙම්පරාදුවටද, වතුරෙන්ද, මෙකී නොකී ඕනෑම විදිහකට මටත් රසට පරිප්පු උයන්න පුලුවනි. මම වැඩියෙන්ම ආස තෙල් දාලා වතුරෙන් විතරක් පරිප්පු උයලා කන්න. එහෙම උයද්දි පොල් කිරි දාන්නෙ නෑ. මට හිතෙනව එහෙම ඉව්වාම පුංචිගෙ රසම රස පරිප්පු හොද්ද ලඟින් යන රසක් ගන්න මට පුලුවන් කියල. හැබැයි ඒ රසට සමාන කරගන්න තාම මට බැරිවුනා. අවුරුදු එකොලහක් පරිප්පු උයලත්.

බාප්ප ඒ වෙද්දි හිටියෙ සවුදියේ. ඒ නිසා පුංචිලාගෙ ගෙදරත් තිබුනා ඉස්පීකර් දෙකේ නැශන්ල් කැසට් රේඩියෝ එකක්. ඒ රේඩියෝ එක අන්තිමේ නතර උනේ මගේ කාමරේ. ඒ පස්සෙ වතාවක බාප්පා රට ඉඳලා එද්දි ත්රී ඉන් වන් එකක් ගෙනාපු නිසා. බාප්පා ත්රී ඉන් වන් එක ගෙනෙද්දි රෙකෝර්ඩ් ප්ලේ කරන්න පූලුවන් පැතලි ත්රී ඉන් වන් එකක් අපිටත් ගෙනැල්ලා දුන්න. ඒකෙත් අඩියක් විතර උස බෆල් පෙට්ටි දෙකක් තිබුන නැශනල් එකක් උනාට සද්දෙ ඒ තරම් සුපිරි නෑ. අඩි තුනක් විතර උස බෆල් පෙට්ටි දෙකක් එක්ක බාප්ප ගෙනාපු ත්රී ඉන් වන් එක නිසා පුංචිලහ තිබ්බ නැශනල් කැසට් රේඩියෝ එක ගෙදර ඉස්සරහ කාමරේ මුල්ලකට තල්ලු කෙරුනා. ටික කාලයක් ඒක එහෙම තිබිලා කැසට් පටිය කරකවන මෝටරේ බෙල්ට් එක ලූස් වෙලා කවුරුත් පාවිච්චි නොකරන තැනට වැටුනාම මං ඕක ගෙදර ගෙනැල්ලා මගේ කාමරේ තියාගත්ත. වටේ තිබ්බ ප්ලාස්ටික් කවරය ගලවලා පැත්තකට දාලා මෝටරේට රබර් පටියක් දාලා තමා මං ඒකෙන් කැසට් පීස් ඇහුවෙ. නාමල් උඩුගමගේ සමුගන්නේ නෑ කියන කැසට් පටිය ඉස්සෙල්ලම ඇහුවෙ ඒ කැසට් රේඩියෝ එකේ තමා. ඉස්පීකර් දෙකෙන් එකක් ගලවලා වයර් එකක් අමුනලා අරං ඇලුමීනියම් කලගෙඩිය උඩින් තිබ්බාම දැං තියෙන සබ්වූෆර් කැලේ. පාරෙ වතුර ලයින් එකෙන් ගෙදරට වතුර ගත්තු නිසා ගෙදර තිබ්බ ඇලුමීනියම් කලගෙඩිය ස්තිරවම පදිංචි උනේ මගේ පොත් මේසෙ යට සබ් වූෆර් එකක් විදිහට්. ඒ කාලෙ සබ්වූෆර් කියලා එකක් ගැන කව්රුත් අහලාවත් නැතුව ඇති.

ඉස්කෝලෙ ඇරිලා එද්දි ඉස්සෙල්ලම දැනෙන්නෙ පුංචිගෙ පරිප්පු හොද්දෙ සුවඳ. ඒ එක්කම ඇහෙනවා පුංචිලාගෙ ගෙදර කැසට් රේඩියෝ එකේ වෙලඳ සේවයේ දිවා දැහැන යන සද්දෙ. පුංචිලාගෙ ගෙදර කැසට් අහනවාට වඩා නිතරම ඇහුනෙ රේඩියෝ එක. ඒ පුරුද්දට නිසා වෙන්න ඇති දැනටත් මම ටීවී එකට වඩා රේඩියෝ එකට කැමති. ඒ කාලෙ රේඩියෝ එකේ ප්රවෘත්ති ගියේ දවල් දොලහයි හතලිස් පහට. ඉස්කෝලෙ එකොලහමාරට ඇරෙන කාලෙ සහ ඊට කලින් කාලෙ දිවා පුවත් මට සතියේ දවස් පහම ඇහිලා තියෙනව. දිවා දැහැනයි, දිවා ප්රවෘත්තියි, අම්බිගා ගීතයෙන් ගීතයයි, මරණ දැනිවීමුයි, චිත්රපටි දැන්වීමුයි රේඩියෝ එකේ ඇහුන හැටි අද වගේම මතකයි. රේඩියෝ එකේ ඇහීලා ඇහීලාම එක එක නගරවල තියෙන චිත්රපටි ශාලා ටික තාමත් මතකයි මතකයි වගේ.

සෙනසුරාදා ඉරිදා ඉන්නෙ ගෙදර නිසා සති අන්තයේ රේඩියෝ ඇහෙන්නෙ නෑ. ඒකට හේතුව අපේ ගෙදර රේඩියෝවෙ ලයින් අහු වෙන්නෙ නෑ. බාප්ප අපිට ගෙනැත් දීපු ත්රී ඉන් වන් එකේ ඒරියල් එකක් නෑ. ඒකට වෙනම ඇන්ටනාවක් වගේ කෑල්ලක් එනවා වයර් එකක් එක්ක. ඒක තාත්තා කවදාවත්ම හයිකරලා දුන්නෙ නෑ. රස්සාවලුයි ලමයි තුන් දෙනෙකුගේ වැඩයි එක්ක අපේ අම්මටයි තාත්තටයි සති අන්තයේ රේඩියෝ අහන්න ඉස්පසුවක් තිබ්බෙ නෑ.මං පුංචි නිසා මට රේඩියෝ එකට ඇන්ටනාවක් හයිකරගන්න දැනුමකුත් නෑ. පස්සෙ කාලෙක පුංචිලාගෙ ගෙදර තිබ්බ නැශනල් එක මගේ කාමරේට ආපු නිසා ගෙදර ත්රී ඉන් වන් එකට ඇන්ටනාව අමුනන්න ඕනකමක් උනේ නෑ. 1992-93 කාලෙ වගේ සිරස එෆ් එම් පටන් ගනිද්දි තමයි මං ඉස් ඉස්සෙල්ලම ඒකට ඇන්ටනාව අමුනලා එෆ් එම් අහන්න පටන් ගන්නෙ. එදා ඉඳන් මමයි රේඩියෝ එකයි කියන්නේ ගෙදර ඇතුලේ වෙනම පවුලක්. ඒ විස්තරේ මං වෙනමම බ්ලොග් එකේ ලියලා ඇති කාලෙකට කලිං.

ආයෙම පුංචිලාගෙ රේඩියෝ කතාව.. ඒ කාලෙ මට මතක විදිහට හොඳම සිංදු ගියේ දිවා දැහැනට වෙන්න ඕන. පුංචි බෙදන බත් පිඟානයි දිවා දැහැනයි කියන්නෙ එකම රස සාගරයක්. බත් පතේ තියෙන අනික් ව්යාංජන මොනවා උනත් පරිප්පුයි බතුයි දිවා දැහැනයි කොච්චර තදින් ගැලපුනාද කියනවනම්, අද මේ අහම්බෙන් ඇහුන සිංදුව නිසා ඒ සියල්ලම එකපාරට මතකයට ආව. අපේ පංච ඉංද්රියන්ට දැනෙන සමහර දැනීම් අපිව හිටපු ගමන් අතීතෙට අරං යනව. සමහර රසවල්, සමහර සුවඳවල් අපේ ජීවිතවල සමහර සමහර තැන්වල රෙජිස්ටර් වෙනව අපි නොදැනුවත්වම. මං සීටී ප්රනාන්ඳුගෙ සිංදු අනන්ත අහලා තියෙනව. බෑන්ඩ් එකත් එක්ක ප්ලේ කරලත් තියෙනව ඕනෑතරම්. ඒත් පුංචි කාලෙ දිවා දැහැනේ ඇහුන සද්දෙ ඇහුනාම මාව එකපාරටම අතීතෙට ගියා. පුංචි, පුංචිගෙ පරිප්පු හොද්ද, බාප්පා, මාව ඉස්කෝලෙ එක්ක ගිය ලොකු සුදූ අක්කා කියන ඔක්කොම මට එක පාරටම මතක් උනා. කෝර්ඩ් දැමිල්ල පැත්තකින් තියලා මම මේක ලියන්න පටන් ගත්ත.

දැං කාලෙ පරිප්පු ඒ කාලෙ පරිප්පු වගේ සුවඳ නෑ කියලත් මට හිතෙනව. අද කාලෙ පරිප්පු ඒ කාලෙ පරිප්පු වගේ රස නෑ කියලත් මට හිතෙනව. ඒ දෙකම එහෙම නොවුනත් පුංචිට තරම් රසට සුවඳට පරිප්පු උයන්න පුලුවන් කෙනෙක් අදටත් මට හමුවෙලා නෑ. අද වෙද්දි පුංචියි බාප්පයි දෙන්නම ජීවතුන් අතර් නෑ. මාව ඉස්කෝලෙ අරං ගිය ලොකු සුදු අක්කත් ජීවතුන් අතර නෑ. බාප්පා හදපු ගේ විකුනලා අක්කා වෙන තැනක ගෙයක් අරගෙන පදිංචියට ගිහිං. පවුලට සහ දරුවාට කැපකරන්න තියෙන වෙලාව තමුන්ගේ නංගිගේ දරුවන් වෙනුවෙන් උපරිමයටත් වඩා කැප කරන්න ඉදිරිපත් වෙන පුංචි වගේ උත්තම චරිත මේ සමාජයේ විරලයි. තමුන්ගෙ ගෙදර තමුන්ගෙ බිරිඳගේ නංගිගේ ලමයි තුන්දෙනෙක් දවල් දවසේ යකා නටනවා බලාගෙන බැල්මකින්වත් අකමැත්තක් නොපෙන්වපු, තමුන්ගෙ වයිෆ්ගෙ නංගිගෙ දරුවන් තුන්දෙනාට තමුන්ගේ දරුවාට තරම්ම ආදරේ සෙනෙහස දක්වන්න පුලුවන්, බාප්පා වගේ උත්තම චරිතත් අද සමාජයේ විරලයි කියලාත් මට හිතෙනව. ලංකාවෙන් පිටවෙලා අවුරුදු එකොලක් ගිහිං.. මට පුංචිගෙන් බාප්පගෙන් ඉතුරු මතකය විතරයි. ඒ මතකය මට කෝටියක් වටිනව.
---------
හයිවේ නැති කාලෙ රෑක කොලඹ ඉඳන් එද්දි බඩගින්නක් ඇවිල්ලා පානදුරේ ඉස්පිරිතාලෙ ඉස්සරහා තියෙන රෑ කඩේ කන්න නැවැත්තුව.. උනු උනු පරාටා තුනක් කෑවා පරිප්පු එක්ක. කාලා අහවර වෙලා ප්ලේන්ටියකුත් බීලා වේටර්ට කීවා බිල ගේන්න කියලා... වේටර් කෑගහලා බිල් ලියන මනුස්සයාට කිව්වා බිලට වැටෙන්න ඕන අයිටම් ටික..
පරාටා තුනයි... ප්ලේන්ටියයි... පරිප්පු දීසි හතයි.. ...

කඩේ හිටපු කීපදෙනෙක් මා දිහා බැලුවා... මයෙ මොකෝ ඉතිං.. හොරා කාලා නෙවෙයිනේ...

මේ තමා මාව අතීතයේ රවුමක් අරං ගිහිල්ලා ඉමෝශනල් කරපු ගීතය... මේ සිංදුව මම සිය වාරෙකට වඩා අහලා ඇති.. ප්ලේ කරලත් ඇති. ඒත් මේ තමා පුංචිලාගෙ ගෙදර නැශනල් රේඩියෝ එකේ දිවා දැහැනේ ඇහුන සිංදුව... ඒ සද්දය...ඒකයි මට් මේක සිංදුවක් විතරක් නොවී මතකයේ කොන්ක්රීට් වෙච් ඉමෝශනල් ෆීලින් එකක් වෙන්නෙ.

ඒ සිංදුව පහත ලින්ක් එකේ

ගංගා බෝඩිම


බෝඩිං කතා ගොඩක් තිබුනට එව්වා ලියනවානම් ගංගා බෝඩිම තමා පලවෙනි එක. මං ඕකෙ හිටියෙ 2011 අවුරුද්දෙ අන්තිම කාලෙ. පිටරටකට ආවාම පලවෙනි සහ දැවෙනම කාරනාව තමා නවාතැන. විවිධාකාරයේ නවතැන් තිබුනාට හිතට සහ සාක්කුවට ෆිට් වෙන එක්ක අහුවෙන්නෙ බොහොම කලාතුරකින්. එව්වයෙ නීති රීති වලට යටවෙලා ඉන්නවට වඩා පාරක් අයිනේ පේමන්ට් එකක නිදියනවා සැපයි කියලා හිතෙන වෙලාවලුත් නැත්තෙම නෑ.

කාමර ප්රශ්ණය උග්ර වෙලා දහ අතේ කාමර හොයද්දි තමා මට ගංගා බෝඩිම ගැන හෝඩුවාවක් එන්නෙ. ඕං දවසක කලින් ඕෆ් වෙලා ගංගා බෝඩිම හොයාගෙන යන්නෙ දහසක් බලාපොරොත්තු තියාගෙන. ලංකාවෙ ඉද්දි වැසිකිලියට ගියෙත් වාහනෙන් උනාට විදේශගත උනායින් පස්සෙ ඉතිං මං තුමා ආයෙත් කකුල් දෙකයම වැටුනා කියහංකෝ.. වැඩට යන්න ගතපු ෆුටාර් එක ඇරුනාම ඒ කාලෙ දුර යන ගමන් සියල්ලම මෙට්රො එකේ තමා යන්නෙ. මාසෙම යන්න පුලුවන් අන්ලිමිටඩ් කාර්ඩ් එකක් ගත්තාම දහස් වාරයක් එහේ මෙහේ ගියත් මෙට්රො මුදලාලිගෙන් අවුලක් නෑ. ඒත් මට එහෙම මෙට්රො කාර්ඩ් එකක් නෑ. වැඩට යන්න හැතැක්ම දෙකක් තියෙන නිසා මෙට්රො එකේ යනවනම් බස් එකක සහ කෝච්චියේ යායුතුයි. බස් එකේ ගිහිං කෝච්චියේ ඉතුරු ටික යන්න පැයක් අනිවාර්යයෙන්ම ගතවෙන්නෙ අතරමග පැය භාගයක් විතර රස්තියාදුවක් තියෙන නිසා. ඔය පැය භාගෙ ඉතුරු කරගන්න ඕන නිසා මං ෆුටාර් එකක් ගත්තු නිසා මට මෙට්රො කාර්ඩ් එකක් නෑ. ආං ඒ නිසා තමා මං අපේ ප්රසන්නයාගෙ මෙට්රො කාර්ඩ් එක ඉල්ලගෙන ගංගා බෝඩිම හොයාගෙන යන්නෙ. ප්රසන්නයා ලඟ තිබ්බෙ අන්ලිමිටඩ් මෙට්රො කාර්ඩ් එකක්. ප්රසන්නයාගෙ මෙට්රො කාර්ඩ් එක කාගෙත් සුන්දරී තත්වයේ එකක්. වැඩ කරන තැන කොයි එකා කොහේ ගියත් ප්රසන්නයාගෙ කාර්ඩ් එක ඉල්ලගෙන යන එක තමා කාගෙත් පුරුද්ද. ප්රසන්නයා ඕෆ් වෙන්නෙ රෑ දෙකට නිසා දවල් වැඩ කරන එවුන් වටේම ශොපින් ගිහින් ආතල් සියල්ල අරගෙන යක්කු ගස් යන වෙලාවට තමා ආයෙම කාර්ඩ් එක ගෙනැත් දෙන්නෙ. ප්රසන්නයා හිත හොඳ එකා. ඉල්ලුවොත් දෙයක් බෑ කියන්නෙ නෑ. අවුරුදු එකොලහක් තිස්සේ හමුවෙච්ව දහසක් පාස්පෝර්ට් යාලුවන්ගෙන් විශ්වාස කලහැකි එකම එකා ප්රසන්නයා විතරයි. පුද්ගලිකව මගෙන් කරගන්න යමක් නැතුව සැප දුක හොයන්න කෝල් එකක් දෙන එකම එකා ප්රසන්නයා විතරයි.

අදාල ඉස්ටේසමේ බැහැලා ලිපිනය හොයාගෙන ගියාම, ගංගා බෝඩිම කියන්න තරම් අවුලක් නෑ. බෝඩිම ෆුල් ඔප්ශන්.. කෑම, නෑම සහ ලෑම කියන තුනම ෆ්රී. ලෑම කියන්නේ ලගිනවා කියන අර්ථයට හෙවත් නිදාගන්න තැනක් කියන තේරුම කියලයි ගන්ට ඕන. සියල්ල ෆ්රී කිව්වට ෆ්රීම නෙවෙයි.. මාසෙට කුලිය හාරසීයයි ඕල් ඉන්ක්ලූඩඩ්.. කෑම දෙන තැන් ලැබෙන්නෙ බොහෝම කලාතුරකින්. කෑම නැතුවත් සාමාන්ය තැනක කාමරයක් පන්සීයක් වගේ ගානක් තමා කියන්නෙ. හාරසීයට කෑමත් දෙනවා කියන්නෙ එකෙන්ම වැඩේ ලාභයි. රූල්ස් ඇන්ඩ් ර්ර්ගියුලේශන් අනුව රෙදි සේදීම තහනම්. කෑම පිසීමත් තහනම්. කෑම දෙනවානම් මොන අහවල් එකටද බං උයන්නෙ. රෙදි ටික හෝදගන්න එක ප්රශ්ණයක් උනාටඒක ඒ හැටි අවුලක් නෑ කෝච්චියෙන් බැහැපු ගමන් එහා පැත්තෙ ලොන්ඩරිය. ඔක්කෝම ඇඳුම් ටික ලොන්ඩරියෙ නංකිට හවස වැඩට යන ගමන් දීලා ගියාම ඒ නංකි බර කිරලා ගාන කියනව. අදාල ගාන ගෙව්වාම පහුවදා වෙද්දි රෙදි ටික සෝදලා මැදලා නවලා පැක් කරලාම ලැබෙනව. බර කිරනවා කීවෙ මගේ නෙවෙයි.. හෝදන්න තියෙන රෙදිවල බර තමා කිරන්නෙ. උයන්න පිහන්න නෑ කියන්නෙ බොඩිමක ලැබෙන එක්ස්ට්රා ඔපශන් එකක් නිසා මංතුමා සුටුස් ගාලා බෝඩිමේ දිගටම බෝඩින් වෙන්න තීරණය කරනවා කියමුකෝ. වේකන්සිය තියෙන්නෙ එකම එක කාමරයක් සඳහා පමණයි. ඒ නිසා ඉක්මන් නොවුනොත් චෑන්ස් එක මිසින් වෙන නිසා ඇඩ්වාන්ස් පේමන්ට් එකක් නොකර කෙලින්ම මාසෙක කුලිය ගෙවන්න මං දෙපාරක් හිතන්නෙ නෑ.

සති දෙකකින් බෝඩිමට පදිංචියට එන්නයි ප්ලෑන් එක. එතෙක්කල් දුකට සැපට සිටි ෆුටාර් එක දෙන්න එකෙක් නෑ. පාරට විසික් කරලා දාලා එතෙක් පිහිටවුන යකඩ ගොඩට අගෞරවයක් කරන්නත් බෑ. ඒ නිසා මට සිද්ද වෙනවා ඔක්කොම වැඩ පැත්තකින් තියලා ෆුටාර් එක ගලවලා පැක් කරලා ලංකාවට පටවන්න. ඒකත් කරා කියමුකෝ. ඕං ඊට පස්සෙ තමා මගේ කියන අඩුම කුඩුම සියල්ලම පටවගෙන ගංගා බෝඩිමේ ස්ථීර පදිංචියට යන්නෙ.

මුල් දවසේ ගියේ වැඩ ඉවරවෙලා නිසා වැඩි විස්තරයක් හොයාගන්න විදිහක් නෑ. රෑට ඕෆ් උනාම ප්රසන්නයයි මමයි ලඟ තියෙන කඩේකින් මොනවා හරි බඩට දාගෙන කෝපි එකකුත් බීලා පොඩි කයියකුත් ගහලා තමා දෙපැත්තට යන්නෙ. එහෙම දෙපැත්තට යන්වා කිව්වට ප්රසන්නයා එතැනින් සබ්වේ එකට පහලට බහිද්දි මං ෆුටාර් එක පැදගෙන නවාතැනට එනව. අලුත් බෝඩිමේ පලවෙනි දවසෙත් ඒ වගේම දෙන්නා එක්ක ගාර්ලික් බ්රෙඩ් දෙක තුනක් ගිලලා කෝපි දෙකකුත් ගහලා සබ්වේ එකට බැහැලා දෙන්නගෙ කෝච්චි දෙක හොයාගෙන දෙපැත්තට යනව. කාලා ආපු නිසා බෝඩිමේ කෑම කෑමේ අවශ්යතාවයක් නෑ. අඩි අටේ අටේ කාමරේක තිබ්බ ඇඳට මගේ බෙඩ් ශීට් කොට්ට උර දාගෙන වොශ් එකකුත් දාගෙන කොල්ලා ශපාන් එකට දොයි. පහුවදා වැඩට ඉන්න තියෙන්නෙ හවස පහට.

උදේ නැගිටිනවා කිව්වට ඉතිං දවල් එකොලහෙන් මෙහා නැගිටිලි බොරු. නිදාගන්න යන්නෙම එලිවෙන්න හතරට විතර නිසා එකොලහට නැගිටින්නෙත් බොහොම අමාරුවෙන්. ඒක කරන්නෙත් ලංකාවෙ මිනිස්සු නිදාගන්න කලින් කෝල් එකක් දෙන්න ඕන නිසා. ඕං උදේ එකොලහට අවදි වෙලා කෝල් ගන්න එව්වත් අරගෙන බාතෲම් එකට පැනලා නාකියාගෙන තමා බඩට යමක් දාගන්න හොයන්නෙ. බෝඩිමේ රූල්ස් වලට අනුව කෑම තියෙන්නෙ ෆ්රිජ් එකේ. බත් නැතිනම් හාල් ටිකක් හෝදලා අරගෙන රයිස් කුකර් එකේ බතක් උයාගැනීම බෝඩිංකරුවන්ගේ රාජකාරියක්. ව්යාංජන සියල්ලම ෆ්රිජ් එකේ තියෙන නිසා එව්වා බෙදාගෙන මයික්රෝවේව් එකට දාගෙන කන්න තමා තියෙන්නෙ. බෝඩිං රූල්ස් වලට අනුව දහපාරක් බෙදාගෙන කෑවත් ඒකෙ අවුලක් නෑ. ප්රසන්නයාගෙ මෙට්රො කාර්ඩ් එක වගේ කෑම අන්ලිමිටඩ්.

නාකියාගෙන කිචන් එක පැත්තෙ රවුමක් ගහද්දි ඩයිනින් ටේබල් එක උඩ රයිස් කුකර් එකේ බත් එකක් රෙඩි. ෆ්රිජ් එක ඇරලා බැලුවාම තඩි කල්දේරම් තුනක ව්යාංජන තුනක්. එකක වම්බටු... අනෙකේ වට්ටක්කා.. අනෙකේ චිකන්.. ඒ කාලෙ මං තුමා මස් මාංශයෙන් තොර ජීවියෙක් නිසා කෑමට තියෙන්නෙ බතුයි බටුයි වට්ටක්කයි. අවුලක් නෑ. පලවෙනි දවස නිසා කෑවා කියමුකෝ. කෑම කොච්චර රසද කියනවානම් බල්ලෙකුට කටේ තියන්න බෑ. ලුණුයි වතුරයි දාලා තම්බලා හදපු තැම්බුම් හොද්දක් හා සමානයි ව්යාංජන.හවස වැඩට යද්දී රෑට කන්න බත් සුට්ටක් අරං යාම පුරුද්දක් උනාට දවල්ට කාපු මල ජරාව අරං යන්න බෑ බෑ වගේ නිසා ඕං ඔහේ හිස් අතින් යනවා කඩේකින් මොනාහරි බඩට දාගන්න බලාපොරොත්තුව. එදා දවස එතැනින් අවසානයි. සුපුරුදු විදිහයටම වැඩ අවසන් කරලා එලිවෙන්න හතරට විතර බෝඩිමේ. ඇහැරෙන්නෙ පහුවදා එකොලහට. පහුවදාත් උදේ කෝල් සියල්ල අවසන් වෙලා නාකියාගෙන කන්න කියලා ගිහිං බැලුවාම එදත් වම්බටු, වට්ටක්කා, චිකන්, සහ බත්. වෙජිටේරියන් මට බතුයි බටුයි වට්ටකයි විතරයි. ඊට පහුවදාත් එසේමයි. බතුයි, බටුයි, වට්ටකයි..එතකොට ඊට පහුවදා... ඒත් එහෙමම තමා කියහංකෝ.. පසුව ටිකක් හොයලා බැලින්නම් බෝඩිමේ කෑම හදන්නෙ සතියකට වතාවයි. කල්දේරම් තුනකට හැදෙන ව්යාංජන දෙකක් සහ චිකන් කරියක් සතියම වැලඳිය යුතුයිලු. කෑම එක්කම හාරසීයයි කිව්වට වැඩේ යන්නෙ සතියයම එකම කෑම ජාති තුනක් කියන ඔප්ශන් එක යටතේ කියලා දන්නවනම් පලාතක එන්නෙ නෑ. රූල්ස් වලට අනුව වෙනම කෑම උයන්නත් බෑ. රයිස් කුකර් එක පමණයි පාවිච්චි කිරීමට අවසර තිබෙන්නෙ.

දෙවැනි සතියේ දවසක දවාලේ කන්න බැලින්නම් බතුත් නෑ. මං උදේ නැගිටලා බාතෲම් එකට යද්දි අල්ලපු කාමරේ ටෝනියා බාතරූම් එකේ. ඌ එලියට එනකල් කිචන් එක පැත්තේ කැරකෙද්දි තමා දැක්කෙ බත් නෑ කියලා. රයිස් කුකර් එක හෝදලා හාල් කප් දෙකක් දාලා රයිස් කුකර් එක ගැහුවෙ වැඩිපුර බත් තියනවට වඩා කන කෙනෙකුට උනු උනුවේ බත් එකක් කන්න අඩුවෙන් තියන එක හොඳ නිසා. ටෝනියා බාතෲම් එකෙන් එලියට ආවාම මාත් බාතෲම් එකට රිංගලා නාකියාගෙන කාමරේට ගිහිල්ලා ඇඳුමකුත් දාගෙන කල්දේරම් බත කන්න කිචන් එක පැත්තේ ගියා කියමුකෝ.. පැය භාගෙකග කලින් ගහපු බත් එක අතුරුදහන්.. රයිස් කුකර් එකේ අඩියේ දංකුඩයක් පමණක් ඉතිරිව තිබේ කියහංකෝ. අල්ලපු කාමරේ අසල්වැසියා හෙවත් ටෝනියා බත් එකට ඇනකොන්ඩා ගහලා මාරු. ගංගා බෝඩිම ඒ වෙද්දිත් ඊයා තරමටම එපා වෙලා තිබුනෙ කෑම ප්රශ්ණය නිසා. එදාම වෙන බෝඩිමක් හොයාගෙන ගිය ගමන සාර්ථකවුන නිසා පහුවදාම ආයෙම කොට්ට මුට්ට ටික කර ගහගෙන මං තුමා අලුත් නවාතැනකට ආව. මාසෙකම කුලිය දුන්නට ගංගා බෝඩිමේ හිටියෙ සති දෙකයි. අස්වෙලා යද්දි ඉතුරු දෙසීය මාසෙකින් දෙන්නම් කිව්වට ගංගා බොඩිමේ හිමිකාරියට තාම මාසයක් ගතවුනේ නැතුවා අවුරුදු දහයකුත් ගතවෙලා...

අලුත් නවතැන ඉස්ටේසමේ ඉඳන් ටිකක් දුර පයින් යන එකක් උනාට එතැන ටික දවසක් ඉන්න අල්ලලා ගියා. එතැන කැමති විදිහට උයාගෙන කාලා කැමති විදිහට පාඩුවේ ජීවත් වෙන්න පුලුවන් එකක්. උඩ තට්ටුවක්ම කුලියට අරගෙන රූම්ස් තුනක හිටපු අපි තුන්දෙනෙක් කුලිය තුනට බෙදාගෙන හිටපු තැනක් නිසා එතැන ලොකු සීන් දාන්න ලෑන්ඩ්ලෝර්ඩ්ලා නෑ. ඒ නිසා එතැන කාලයක් අල්ලලා ගියා කරදරයක් නැතුව. ටෝනියා වගේ ඇනකොන්ඩලා හිටියෙත් නෑ එතැන. ඉස්ටේශමෙන් බැහැපු ගමන් ලොන්ඩරියකුත් තිබ්බ.. ඊට අල්ලලා පැය 24ම ඇරලා තියෙන බියර් අන්ඩ් වයින් ශොප් එකකුත් තිබ්බ. ඒ පහසුකම් ටික හොඳටෝම ඇති නෙව කාලයක් එතැන නවතින්න. එයාර්පෝර්ට් එක ලඟ නිසා විනාඩියක් ගානේ වහලෙ ගෑවී නොගෑවී ප්ලේන් යන එක පොඩ්ඩක් අවුල් උනා මුල් කාලෙ. රෑ දෙකට ඕෆ් වෙලා කෝච්චියෙන් බැහැලා සබ්වේ එකෙන් උඩට ඇවිත් බියර් ඇන්ඩ් වයින් ශොප් එකටත් ගොඩ වෙලා එන නිසා රෑ එලිවෙනකල් ප්ලේන් යන එක අවුලක් උනේ නෑ. නාලා කාලා ඇඳට වැටුනාම මාත් ඉතිං ප්ලේන් එකක් වගේ තමා තටු නැති උනාට..

Tuesday, June 22, 2021

කොරෝනා සීසන් 1

          


   ගොඩයා නිකමට වගේ බ්ලොග් එකට ගොඩවුනේ පොඩි විවේකයක් ලැබුන වෙලාවක. වෙන මොනාහරි බ්ලොග් පෝස්ට් කියවන්ට කියලා හිතාගෙන බ්ලොගේ වෙබ් වර්ශන් එකට ගියාම තමා යකඩෝ දැක්කේ 2021 ට බ්ලොග් පෝස්ට් එකක්වත් ලියලා නෑ නේදෝ කියලා. ලියන්න කියලා හිතේ විවේකයකුත් තිබුනේ නැතිකොට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ලොකු උවමනාවක් තිබුනේ නැතිදෝ මන්දා කියලාත් ගොඩයාට හිතුනේ නැත්තෙත් නෑ. 2019 ලංකාවට ගිහිං ආවයින් පස්සෙ ලංකවට යන්නත් බැරිවුන එකේ ගොඩයා ඉන්නෙ හිතේ තෝන්තුවෙන්. කොරෝනාව රට රටවල ඉන්න උදවියට තමුන්ගේ රටවලට ගිහිං එන්න බැරිවෙන්නම දඬුවම දීපු නිසා දැන් අවුරුදු මාස විසි පහක් ගොඩයා ලංකවට ගිහිං නෑ. සාමාන්‍ය තත්වයක් යටතේනම් මාස විසි පහට අඩුම තරමේ දෙවතාවක් ගොඩයා ලංකාවට යැවෙන එක අනිවා. 

        2020 අවසාන කාලෙ වෙද්දි ලංකාවට යන්න පුලුවන් වාතාවරණයක් තිබුනත් අම්මටසිරි ලංකාවේ කෙරිච්ච කොරන්ටීන් බිස්නස් එක නිසා ගොඩයා ලංකාවට ආවෙ නෑ. ඒකට පලවෙනි හේතුව උනේ ලැබෙන සති තුනේ නිවාඩුවෙන් සති දෙකක් හෝටලේක ලගා ගහලා සතියක් ගෙදර ගිහින් එන එකේ තේරුමක් නැතිවීම. දෙවැනි හේතුවනම්, අමාරුවෙන් උපයන තුට්ටු දෙක හෝටල් කාරයන්ට පුදන්න ගොඩයාට හිත හදාගන්න බැරිවීම. ඒ කියවෙන කොරන්ටීන් හෝටල්වල ගනන් හිලව් ඇහුවාම හිතෙන්නෙ ඒ හෝටල් තියෙන්නෙ ලංකාවෙද එහෙමත් නැතිනම් පැරිස්, ලන්ඩන්, නිව්යෝර්ක් සිටි වලින් එකකද කියලාමයි. කොහොමෙන් කොහොමහරි වැක්සීන් එක ගහගෙන ලංකාවට යනවාමයි කියලා හිතාගෙන වැක්සීන් එකත් ගහගත්තා කියමුකෝ.. ඒත් ඉතිං ආයෙම ගොඩයාගෙ කරුමෙට ලංකවෙ කොරෝනා තත්වය ඉතාමත් නරක අතට හැරිලා ලංකාවට යන වැඩේ අල උනා.


            2020 මාර්තු වගේ වෙද්දි තමා ගොඩයා ඉන්න රටට කොරෝනා යහපත් උනේ. සියලූම කාර්‍යාල, ව්‍යාපාර මහජනයාට වැහී යන්න වැඩි දවසක් ගියේ නෑ කියමුකෝ. ගොඩයා රස්සාව කරන කොම්පැණියෙත් රට වටේ තියෙන ශාඛා සියල්ලම වගේ වැහුනා ලොක්ඩවුන් වීම නිසා. දල වශයෙන් ගොඩයා වැඩ කරන කොම්පැණියේ හාරදාස් දෙසීයකට රැකිය අහිමිවුනා එක රැයින්. අවුරුදු දහයක් එක දිගට රස්සාව කරලා විවේකයක් ලැබෙන්නෙ කවදාද කියලා ඇඟිලි ගැන ගැන හිටපු ගොඩයාත් බලාන හිටියේ ගොඩයාගෙ ජොබ් එකත් කෙලවුනා ගොයියෝ නැවත කැඳවනකල් ගෙදර හිටපන් කියලා බොසාගෙන් කෝල් එකක් හෝ HR එකෙන් ඊ මේල් පනිවිඩයක් එනකල්. ජොබ් එක නැති උනාම ආන්ඩුවෙන් ගතමනාවක් ලැබෙන  නිසා ඒකත් අරගෙන ආතල් පහට ටික කාලයක් ගෙදර ඉන්න පුලුවනි කොරෝනාව අවසන් වෙනකල්.  ස්භාවිකව ඇහැරෙනකල්  නිදාගෙන අවදිවෙලා දවසම ටීවී බලලා තුන්වේල බඩ පැලෙන්න කාලා ඇතිවෙන්න නිකම් ඉන්න  චෑන්ස් එක ලැබෙන කෝල් එක හෝ ඊ මේල් එක ගොඩයාට එනකල් ගොඩයා උන්නෙ නොඉවසිල්ලෙන්. කොම්පැනිය වහලා දවසක් යද්දී ඕං ගොඩයාටත් HR එකෙන් ඊමේල් එකක් ඇවිල්ලා දිලිසි දිලිසී තියෙනවා ගොඩයා උදේ ඊ මේල් බලද්දි. ගොඩයාගෙ සතුට ඉහවහා ගියා කියහංකෝ ඒක දැක්කාම. ලෝකෙ වටේ ලක්ස ගානින් මැරෙන වසංගතයෙන් ආරක්ශා වෙලා ගෙදරට වෙලා ආතෙල් එකේ ඉන්න ලැබෙන එක කොයිතරම්නම් වාසනාවක්ද.. ඕං ගොඩයා නමෝ විත්තියෙන් ඊ මේල් එක ඕපන් කරලා බැලින්නම් ඒකෙ තියෙන ආරංචිය අතිවිෂිශ්ඨයි, උත්කෘෂ්ඨයි, අනගිභවනීයයි, මල් හතයි, කියලා හිතුවට ඒක එහෙම නෑ  කියහංකෝ . ඊ මේල් පණිවිඩයෙන් කියැවුනේ කොම්පැනියේ සියලූම ටෙක්නීශියන්ලා අත්‍යාවශ්‍ය සේවා බවට පත්කලාය, ඊමේලය සමග අමුණා තිබෙන ලියුම ප්‍රින්ට් කරලා වාහනයේ තියාගෙන ඉන්නය, ලොක්ඩවුන් තියෙද්දි වාහනේ ගිහිල්ලා පොලිසියෙන් ඇල්ලුවොත් ඒ ලියුම ඉදිරිපත් කරන්නය බ්ලා බ්ලා බ්ලා..  ඒ කියන්නේ ගොඩයාගෙ හීනය සුං. කොරෝනා හැදුනොත් සති දෙකක් වැටුප් සහිත නිවාඩු ලැබෙනවාය, තත්වය යහපත් අතට හැරෙනාතුරු වැටුපෙන් සියයට පහක් කපනවාය, වැටුප් සහිත නිවාඩු හෙවත් වැකේශන් ලීව් නැවත දැනුම්දෙනතුරු අවලංගුය, නිවාඩු ගතහොත් වැටුප් රහිත එව්වා වශයෙන් ගනන් ගැනෙනවාය කියලත් තිබුනා කියහංකෝ. ඒ කියැවෙන විදිහට ගොඩයාගෙ හීන සියල්ලම කපෝති. වෙනදා වගේම වැඩට යෑමක් ඇරුනාම හිත නිවෙන ආරංචියක් ඒ ලියුමෙ නෑ කියහංකෝ.

ඕං එදා හිටං ගොඩයා සුපුරුදු විදිහට වැඩ. වැඩ කිව්වට වැඩ නෑ. ගොඩයාට අදාල ඕනෑම ලොකේශන් එකකට ගිහිං උදේට ක්ලොක් ඉන් කරලා මලාට සර්විස් කෙරෙන්නෙ නැති යන්තර සූත්තර වලට පොඩි සර්විස් එකක් දෙන්නයි මහතැනගෙන් නියෝගය. මහතැනගේ නියෝගය කිව්වට එහෙම ලොකු සීන් නෑ. එයයි ඉතිං ගොඩයාගෙ ඩිපාර්ට්මන්ට් එකේ සේරෝටම තාත්තා වගේ තමා. ආයෙ පස්සෙන් පන්නලා හෙවිලි නෑ. GPS දාගෙන ඉන්න ලොකේශන් හෙවිලි නෑ. ආං ඒකට ගොඩයා කලින් වැඩ කරපු කොම්පැණිය. උං ඇඟ ඇතුලට චිප් එකක් දාන්නේ නැති ටික විතරයි. ෆෝන් එකටද, ලැප්ටොප් එකටද, වාහනේටද එකී මෙකී නොකී කොම්පැනියෙන් සපයපු හැම මගුලටම GPS දාගෙන පැය අටේම ට්‍රැක් කරනවා ඉන්න ලොකේශන් එක. ෆීල්ඩ් සර්විස් කියන්නෙ හිතූ පැතූ ගමන් බිමන් සියල්ලම යන එන ගමන් වෙලාවක් ඉතුරු උනොත් රස්සාව කරන ජොබක් නිසා එහෙම හොයන්නෙ බලන්නෙ නැතුවත් බැරුව ඇති. ඒත් ගොඩයාගෙ දැං ලොක්කානම් ආං ඒකට සුපිරි බුවා. වැඩ කරන හමෝම විශ්වාසය රකින නිසාත්, රාජකාරිය අකුරට ඉටුකරන නිසාත්, වැඩ කරන වෙලාවේ ලංකාවට ගිහිං ආවත් මෑන්ස්ගෙ අවුලක් නෑ. ඔවර්ටයිම් දාන්නේ නැතිනම් සහ වාහනේට ට්‍රැවල් වැටෙන්නෙ නැතිනම් පැය අට ඇතුලත ජොබ් එකත් අකුරට ඉෂ්ඨ සිද්ද වෙනවානම් කොයි ලෝකේ හිටියත් බොසා ඕකේ. නිදහසේ උපරීම තැනට ලැබෙන නිසා ගොඩයාත් ඒක් අවභාවිතා කරන්නෙ නෑ. බොරු කරලා ඕටී දාන්නෙ නෑ. ඩොලර් දාස් ගනන්වල  ස්පෙයාර් පර්ට්ස් බොරු වර්ක් ඕඩර් දාලා ඕඩර් කරලා එව්ව ඊබේ දාලා විකුනන්නෙ නෑ. වාහනේ මයිලේජ් එකට හැතැක්ම කාලක්වත් හොරාට ඇඩ් කරන්නෙ නෑ. එහෙම කරනවානම් දවසට ඩොලර් දහයක් විස්සක් මයිලේජ් එකට ඇඩ් කරන එක කජු කනවටත් වඩා සිම්පල්. වැඩ කරන තැන ක්ලොක් ඉන් කරලා වෙන තැනක පාර්ට් ටයිම් කරන්නෙ නෑ. ප්‍රයිවට් ජොබ්ස් වලට අවශ්‍ය කරන පාර්ට්ස් කොම්පැණියෙන් ඕඩර් කරලා ඒ පාර්ට්ස් දාලා ප්‍රයිවට් රෙපෙයාර්ස් කරලා මුදල් හොයන්නෙ නෑ. ඔය උඩ කිව්ව හොර මගඩි සියල්ලම ෆීල්ඩ් සර්විස් වැඩ කරන එවුන් සුලභව කරන මගඩි. ඊට අමතරව කොම්පැණියෙන් සපයන වාහනේ ටයර් හතරේ ඉඳන් විකුනන්න පුලුවන් හැම කෑල්ලම ගලවලා විකුනන එවුනුත් නැත්තෙම නෑ.

ඕං කොරෝනා ලොක් ඩවුන් එක අතරේ ගොඩයා සුපුරුදු විදිහට උදේ අට හවස හතර වැඩ. වෙනදාට වාහන දාස් ගානක් හිරවෙලා ඉබිගමනේ යන හයිවේවල උදේට හවසට වාහනයක් යන්නෙ බොහෝම කලාතුරකින් කියමුකෝ. වැඩ කරන වෙලාවේ කා එක්කවත් ඇසුරක් පැවැත්වෙන්නේ නැති නිසා ගොඩයාට කොරෝනා අවධානමක් නෑ. ගොඩයාගෙ ලොකේශන් සියල්ලෙම දොර යතුරු ගොඩයාලඟත් තියෙන නිසා සෙනග සිය දහස් ගහන් ගැවසුන තැන්වල බොහෝවිට ගොඩයා විතරයි. ඉඳලා හිටලා ලොකේශන් මැනේජර් විසිට් එකක් දැම්මට උනුත් වර්ක් ෆ්‍රොම් හෝම් නිසා දවස් පහේම අවිත් වාත වෙන්නෙ නෑ. ඔය විදිහට සති කීපයක් ගතවෙද්දි තමා වනේ වන හතුරෙකුටවත් නොවියයුතු අලකලංචියක් ගොඩයාට සිද්දවෙන්නෙ. දැං මේක කියවන උදවිය හිතාවි ගොඩයාට කෝවිඩ් හැදුනද කියලා. කෝවිඩ් හැදෙන එක ඊට දාහෙන් සම්පතයි කියමුකෝ. කෝවිඩ් හැදිලා ඕනෙනම් මැරිලා යාවි. එහෙම නැතිනම් ටික දවසකින් හොඳ වේවි. ඊටත් එහා අලකලංචි මිනිස්සුන්ට වෙනවා කිව්වොත් මේක කියවන උදවිය හිතයි යකෝ කෝවිඩ් හදෙනවට වඩා මොකක්ද සිද්දවෙන්න පුලුවං අලකලංචිය කියලා.


ලෝකෙම වාසංගතයකට මුහුනදීලා ඉන්න වෙලාවක, සියලූම රෝහල් කෝවිඩ් ලෙඩ්ඩුන්ගෙන් පිරීලා ඉතිරිලා තිබ්බ වෙලාවක, පුද්ගලික වෛද්‍ය සායනත් වර්චුවල් විසිට් වලට පමණක් සීමා වෙලා තියෙන කාලෙක, දොස්තර කෙනෙකුගෙන් ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් නැතුව බෙහෙත් පෙත්තක් ගන්න බැරි රටක ඉන්න එකෙකුට දත් කැක්කුමක් හැදෙනවා කියන්නෙ ගොඩයාගෙ වෙලාව කොයිතරම් හොඳද කියලා නිකමට හිතන්නකෝ. ඔය කියන දත පොඩ්ඩක් ලෙඩ දෙන්න අරගෙන මාස කීපයක් උනාට ගොඩයා ප්ලෑන් කරගෙන හිටියේ ලංකාවට ගිහිල්ලා දත් සැට් එකටම සුපිරි සුද්දයක් දෙන්න. මොකද කියනවානම් ගොඩයා ඉන්න රටේ දත් දොස්තර කෙනෙක් ලඟට ගියාම ඌ ගොඩයාගෙ සාක්කුවට සුපිරි සුද්දයක් දෙන වග ගොඩයා දැනගෙන උන්නා. දන්ත ප්‍රතිකාර සඳහා රක්ශණ ආවරණයක් ගොඩයාට තියෙනවා උනාට ඒකෙනුත් කවර් කරලා ඉතුරු බැලන්ස් එකත් හෙන තඩි මුදලක්. ඒ ගාන ගෙවනවට වඩා ලාභයි ටිකට් එකක් අරං ලංකාවට ඇවිල්ලා ලංකාවෙන් දත හදාගෙන යන එක. ලංකාවෙ දත් දොස්තරගේ බිලයි, යන එන ටිකට් එකේ ගානයි දෙකම එකතු කරත් ගොඩයා ඉන්න රටේ දත් බිල ඊට ගොඩාක් වැඩියි. 


දන්නා කියන සියලූම වේදනා නාශක ගහලත්,  දත් කැක්කුම් වලට ගාන, දතේ උලන , දතට තියලා තද කරන, තියලා හපාගෙන ඉන්න එකී මෙකී නොකී සියලූම දෑ කරලත් දත් කැක්කුම අඩු වෙනවද... නෑ දෙයියෝ නෑ... වටේම තියෙන පුද්ගලික දන්ත සායන වලට කෝල් ගහනවා ගහනවා ගහනවා ගහනවා එකෙක් ආන්සර් නෑ. ඒ වෙද්දි කෝවිඩ් මරණ ප්‍රමාණය පනස්දාහ පැනලා නිසා අනුන්ගේ දත් කැක්කුම් වලට වඩා තමුන්ගේ ජීවිතේ වටිනවා කියන එක දත් දොස්තරලා තීරණය කර තිබීම ගොඩයාගෙ අවාසනාව. කැක්කුම උහුලාගෙන ඉන්න අතරේ දවසක ඕන එකම එක දන්ත සායනයකින් ෆෝන් එක උස්සනවා කියහංකෝ. ගෙඩයාට ඒ වෙලාවෙ සංජය දත් හරි කමක් නෑ දත් දොස්තරයෙක්නම්. දෙයියෝ දීපු චාන්ස් එක විනාඩියක්වත් අපතේ යැවීම ඒ වෙලාවේ නොකල යුත්තක්. දත් ඩොකා කාගෙ හරි කොරෝනා කාරයෙකුගේ කටේ අත දාලා කොරෝනා හදාගත්තොත් ගොඩයා සුං. ඒ නිසා ගොඩයා එවෙලේම රූ......ං ගාලා යනවා දත් දොස්තරයාව හොයාගෙන.


ගිහිං බැලින්නම් වැඩේ සෝචනීයයි. ක්ලින්ක් එකේ ඩොකා විතරයි. ඇසිස්ටන්ස්ලා, නර්ස්ලා, රිසෙප්ශනිස්ට්ලා මොකෙක්වත් නෑ. ඉලක්කම් හතරෙන් මිනිස්සු මැරෙද්දි රස්සාවලට යන්න මිනිස්සු බයයි. මොකක්දෝ හේතුවකට හෝ අහේතුවකට ඩොකා අවේලබල්. ගොඩයා ගිය ගමන්ම ඩොකා ගොඩයාගෙ සියලු විස්තර ටික කොම්පීතරේට දාලා ගොඩයාව ගත්තා දන්ත ශල්‍ය පුටුව උඩට. ආ ඊට කලින් එක්ස්‍ රේ එකකුත් ගත්තා. ඩොකා පලමුව ගොඩයාව එකඟ කටගත්තා උඹේ කටට මොක කරත් මෙතැන ඇසිස්ටන් කෙනෙක් නැති නිසා යම් යම් අපහසුතාවයන් වලට ලක්වෙන්නට පුලුවන ඒ නිසා ඒකට කැමතිනම් විතරක් කට රෙපෙයාර් කරන්න ගන්නම් කියලා. ගොඩයාට එව්ව අදාල නෑ. සතියකට වැඩි කාලයක් නාශක අහුරු පිටින්  ගිලලා ගිලලා අක්මාවත් ආමාශයත් උගුරේ හිටං පස්ස පැත්ත කෙලවර දක්වාම තියෙන බඩවැල් ටිකත් බාබිකිව් දැම්ම ගානට පත්වෙලා තියෙද්දි ගොඩයාට මොන ඇසිස්ටන්ලාද ආයුබෝවන්ඩ. ඩොකා කට ඇතුලට ගිහිලා කට ඇතුලෙ පුටුවක් තියන් වාඩිවෙලා හරි කමක් නෑ ගොඩයාට ඕන දත් කැක්කුමෙන් මිදෙන්න. ඩොකා වයස හැත්තෑවක විතර පොරක් නිසා වැඩත් ටිකක් හෙමින් වගේ උනාට හොඩයාට ඒ වෙලාවෙ වැදගත් දත් දොස්තර කෙනෙක් මිසක් ඩොකාගෙ ජාතකේ නෙවෙයි.


ඔං ගොඩයාගෙ දත් සැට් එක වටේ රවුමක් ගිය ඩොකා දත් සැට් එකේම පිංතූර ටිකකුත් අරගෙන කලින් ගතපු එක්ස් රේ ටිකත් අරගෙන ඒ සේරෝම ඉස්සරහ තියෙන රූපවාහිනී තිරයට දාගෙන ගොඩයාට ලැච්චර් එකක් දෙනවා දතෙන් දත ගැන සහ එව්වායින් කෙරෙන කාර්‍ය ගැන. ආං එදා තමා ගොඩයා ජීවිතේ පලමු වරට ඉගෙනගත්තේ දත් ටිකට සැපක් දෙනවා කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. ඒකෙ තේරුම ගොඩයා හරියටම තේරුම් ගත්තේ ගොඩයාගෙ කටේ තියෙන රෙපෙයාර් ටික කරන්න යන මුලු මුදල කීයද කියලා ඩොකා ගොඩයාට කිව්වයින් පස්සෙයි. ගාන කියන්න කලින් ඩොකා කිව්ව විදිහට, මැරෙනකම් කෑම කන්න තියෙන වන් ඇන්ඩ් ඔන්ලි දත් සැට් එකට මුදලක් වියදම් කරන එක ආනගතය වෙනුවෙන් කරන ආයෝජනයක්ලු. ගොඩයාගෙ දත් තුනක් නරක් වෙලාලු. එකක් කලින් පුරවපු දතක්. ඒකෙ ෆිලින් එක තියෙද්දිම වෙන තැනකින් දිරුමක් බැහැලා ඇතුලෙන් යටටම දිරලාලු. අඟල් හතලිගේ රූපවාහිනී තිරයට දැම්මාම ගොඩයාගෙ දත් සැට් එකේ තියෙන වලවල් ටික පේන්නේ තඩි ආවාට වගේ කියහංකො. දොස්තරයා කියන විදිහට ෆිලින් එක තියෙන දතලු කැක්කුම එන්නෙ. අනික් දෙක ඩොකා කියන තරම් අවුලක් තියෙනවා කියලා ගොඩයාට පේන්නේ නැති උනාට දොස්තරගේ අවුරුදු හතලිස් ගානක පලපුරුද්දෙන් කියන්න පුලුවන්ලු මාසයක් දෙකක් යද්දි එව්වයිනුත් කැක්කුම එනවා අනිවාලු. ගොඩයා ඉතිං වේදනාව උහුලගෙන ඇහුවා දොස්තර මහත්‍තයෝ මේ ටික රෙපෙයාර් කරන්න එස්ටිමේට් එක කීයද කියලා. රෙපෙයාර් කරන අයියලා එක්ක ගනුදෙනු කරද්දි වැඩේට අත තියන්න කලියෙන් ගනන් හිලව් අහගෙන ඉන්න ඕන කියන තියරියට වාහනද, නැව්ද, ප්ලේන්ද, දත්ද කියන එක අදාල නෑ. ගනං අහන්නෙ නැතුව කරොත් වැඩේ ඉවර උනාම කියන ගානක් දෙන්න වෙනවා කියන එකට රට අදාල නෑ. 

ඕං දොස්තර මහත්තයා වඩේට එස්ටිමේට් එක දුන්නා කියහංකෝ. ඒක දැකලා තා පොඩ්ඩෙන් ගොඩයාගෙ හුස්ම ටික යනවා ඩොකාගෙ දන්ත ශල්‍ය පුටුව උඩම. දත් දෙකක් පුරවලා තුන්වෙනි එකකට ක්‍රවුන් එකක් දාලා මුලු කටටම ක්ලීන් අප් එකක් දෙන්න මුලු ගාස්තුව ඩොලර් පන්දාස් පන්සීයක්. ඒ ගානත් ඉන්ශූරන්ස් එකක් තියෙන නිසා. එහෙම නැතිනම් ගාන ඩොලර් දහදාස්   පන්සීයක්ලු. පන්දාස් පන්සීයක් කියන්නෙ ලංකාවෙ මුදලින් ලක්ස දහයකට වැඩි ගානක්. ගොඩයා පුටුව උඩ ඇලවෙලා කල්පනා කරේ ලංකවෙ දත් දොස්තරලා මේ ගනන් දැනගත්තොත් ලංකාවෙ ලෙඩ්ඩුන්ට කුමකින් කුමක් වෙයිද කියලයි. ගොඩයා ආවාට ගියාට වැඩ කරන්නෙ නැති නිසාත් දොස්තරයාවත් අන්සුවර් ජොකියෙක්දෝ කියලා හිතුන නිසාත් ගොඩයා කෝකටත් කියලා ඩොකාට කියැව්වා ඔය කියන දත් තුන මට පෙන්නහං සුදෝ කියල. ගොඩයා ලංකාවෙදි මුලටම කරපු ජොබ් එක ඔය දන්ත වෛද්‍ය උපකරණ අලුත්වැඩියා කරන එක නිසා ගොඩයාට කට ඇතුලේ වැඩ ඇහැට පුරුදුයි. ඒ කාලෙ ගොඩයා කටේ ඇක්ස් රේ ගන්න ඇක්ස් රේ මැශිනුත් අලුත්වැඩියා කරපු නිසා දත්වල ඇක්ස් රේ ත් ඇතිවෙන්න දැකලා පුරුදුයි. ඇක්ස් රේ යන්තරයක් අලුත්වැඩියා කරාම ඒක හරියට වැඩ කරනවද කියලා බලන්නෙත් දතක් ගලවන්න ආපු ලෙඩෙකුගේ දතක ඇක්ස් රේ එකක් අරගෙන නිසා එව්වා ගොඩයාට නුහුරු නුපුරුදු දේවල් නෙවෙයි. ඩොකා ගොඩයාට පෙන්නන පින්තූරු බැලුවාම ගොඩයාගෙ එක දතක් අම්බානෙකට පණුවෝ කාලා. පනුවෝ කනවා කියන ආදේශකය ලංකාවට පොදුවූ එකක් උනාට අන්තර්ජාතිකව සලකලා බැලුවාම ගොඩයාගෙ එක දතක් යටටම දිරලා. දත් තුනක් දිරලා කියලා ඩොකා කිව්වට ගොඩයාට ඇහෙන් පේන විදිහට ඉතුරු දත් දෙකෙ ලංකාවට යනකල් දුවන්න පුලුවනි. ඒ දත් දෙක යාන්තමට දිරන්න වගේ වගේ තිබ්බට ඇතුලට දිරන්න හිතලාවත් නෑ කියලා ඇක්ස් රේ එකෙන් පේනවා කියහංකෝ. ඒ කියන්නේ ඩොක්ට කොකෝ සැරසෙන්නේ මේ කොරෝනා කාලෙ ගොඩයාගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකට විදින්න කියන එක සක්සුදක් සේ පැහැදිලියි. ඩොකා හැකි පමණින් උත්සහා කරනවා දත් ප්‍රවේසම් කරගන්නවා කියන්නෙ ආයෝජනයක්‍ නිසා දත් තුනම පුරවගන්න කියලා. දත් පුරවන්න ඒ ගාන යනවා කියලා දන්නවනම් ගොඩයා දත් සැට්එකම ගලෝලා ෆ්‍රිජ් එකේ දාලා කන වෙනාවට විතරක් දාගන්නවා අම්මපා. ඇයි යකෝ දත් තුනක් පුරවන්න ඩොලර් පන්දාස් පන්සීයක් කියන්නෙ සෙල්ලම් ගානක්ද.. 

ඩොකා එන්නෙ පන්දාස් පන්සීයකට අරින්න කියලා ගොඩයාට පැහැදිලියි. තියෙන්නෙ එක දතක කැක්කුමයි. අනෙක් දත් දෙකෙන් ලංකාවට යනකල් අදින්න බැරිවෙන්නෙත් නෑ. ඒ නිසා ගොඩයා ඩොකාගේ හිත කුඩු වෙන්න උත්තරේ දෙනව. 

මයි ඩියර් ඩොක්ටර්.. යූ ආර් අ ලයිෆ් සේවර්.. අන්ෆෝචුනේට්ලි දත් තුනම පුරවගන්න මගේ අතේ සල්ලි නෑ.. මොකද කියනවනම් කොරෝනා නිසා මගේ ජොබ් එකට කෙලවිලා ඉන්නෙ. ඒ නිසා අපි මේ මාසෙ මේ කකියන දත පුරවමු, ඊලඟ මාස දෙකේ අනික් දත් දෙක පුරවමු. නොකෙරෙන්න ඕන වැඩකට සල්ලි නෑ කියනවා තරම් වෙනත් විසඳුමක් මේ තුන් ලෝකෙම නෑ. සල්ලි නෑ කිව්වාම ආයෙ ඉතිං බලෙන් ගලවන්නයෑ දත්.

ඩොකා ගොඩයාට පට්ට ආදරෙයි කියලා ගොඩයාට දැනෙන්නෙ ආං ඒ වෙලාවෙ. තුන් පාරකට මේක කරොත් සන් තුන්පාරක් මට ඔයාට ඉන්ජෙක්ශන් ගහන්න වෙනවා. එතකොට ඔයාගෙ කටට ගොඩාක් උයිය වෙනව. ඔයා දැන් මේක එක පාරටම කරගත්තොත් ඔයාට උයියා වෙන්නෙ එක පාරයි.. එච්චර වෙලා නම කියලා ගොඩයාව ඇමතුව දොස්තර ගොයියා මේං ඒ ගමන ගොඩයාට සන් කියලත් කියනව කියහංකෝ.  එහෙව් ආදරනීය දොස්තර කෙනෙක් ලව්වා දතක් පුරවගන්න පින තියෙන්න ඕන ආයුබෝවන්ඩ.

  කන පැලෙන්න සිරි සිරි සද්දෙට බස් අජිත්ගෙ සිංදු අහගෙන පැය හතරක් පහක් කතරගම බස් එකේ එහා මෙහා ගිය ගොඩයාට ඉන්ජැක්සන් කට්ටකින් අනිනවා කියන්නේ කූඹියෙක් කන තරම්වත් දැනෙන දෙයක්ද හබෑට. බස්වල සද්දෙ ගොඩයාටනම් ඉන්ජෙක්ශන් කටු දාහකින් එකපාර කනට අනින තරම් වේදනයි. ලංකාවෙ රස්සාව කරද්දි ලෙඩ්ඩු දාස් ගානකගේ වැලමිට ලඟන් ලේ ගතපු ගොඩයාට ඉන්ජැක්සන් කට්ටකින් අනිනවා කියන්නේ නතිං කේස් එකක්. සමහර අලුත් නර්ස් නංකිලා ලෙඩ්ඩුන්ගෙ අතින් ලේ ගන්න කටුව ගහද්දිම ගොඩයා දන්නවා මේකි ඇන්නේ වැරදි තැනට, ඔතනින්නම් මිලි ලීටර පහක් ගැනිලි බොරු නංකි කියලා.. ඒ තරමට ගොඩයාට ඒ ජොබ් එකත් හුරුයි. ඉතිං ඩොකා කියන විදිහට කට ඇතුලට ඉජැක්ශන් එකක් ගහනවා කියන්නේ ඉතාමත් සුලු වේදනාවක් ගොඩයාටනම්.  ඒ වගේද ක්‍රෙඩිට් කාර්ඩ් එකට වැටෙන ඩොලර් පන්දාස් පන්සීයේ බිල. ඩොලර් පන්දාස් පන්සීයක් දීලා දත් තුනක් පුරවන්න යනවා කියලා අපේ තඩියා හෝ සමා දැනගත්තොත් අනිවා ඕකුන් දෙන්නගෙ පපුව නවතිනවා ශුවර්. කොහොමින් කොහොමහරි ඩොකා ගේම කරකවන්නේ ගොඩයාගෙ දත් සැට් එකම ගලෝගන්න කියන එක සිරිබර සිරි ලංකාවෙ අම්බලංගොඩ ඉපැදිලා දත්ගලවන්නම උපන් හපන් ඇනකොන්ඩලා එක්ක අවුරුදු තිස් ගානක් ජීවත් වෙච්ව ගොඩයාට අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ...


දැං මෙක දවස් තුනක් ලිව්වා බොලව්... තවත් ලියන්න බෑ.. ඩොකා දත පුරවපු හැටි ඊලඟ කොටසින් ලියන්නම්...