Sunday, September 2, 2018

පුංචි අලි පැටියා..







අවුරුද්ද එක්දහස් නවසිය අනූ එක වෙද්දී ගොඩයා හිටියේ නවය වසරේ. එදා ගොඩයලාට උදේ ඇසෙම්බ්ලි තිබ්බ දවසක් කියමුකෝ. ඇසෙම්බ්ලි තියෙනවා කියන්නේ ඉතින් ඇස්ට්‍රා මාගරින් ලොරියක තියෙන විටමින් ඩී විදුහල්පති තුමා ගානේ මුළු ඉස්කෝලෙටම  බෙදාදෙන දවසක්. ආයේ ඉතින් දෙකක් නෑ උදේ හතහමාරේ හිටං නවය නවයහමාර විතර වෙනකල් බාස්කට් බෝල් පිටියේ ගිනියම් වෙන තාර පොලොව උඩ කරවීමට නියමිතයි.  එතන හිටගෙන උදෑසන අවුවේ තියෙනවාය කියන විටමින් ඩී ස්නානය කරද්දී දැනෙන සනීපෙ ඉතින් වචන වලින් විස්තර කරන්න බෑ. පුංචි කාලේ අපි අහල තියෙන තේරවිල්ලක් තියෙන්නේ උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්ද සුදයි කියල.. බාස්කට් බෝල් පිටිය උඩ අසෙම්බ්ලිය ඉතින් අන්න ඒ හා සමානයි.. මැද්ද ඉතින් සුදට තිබ්බට හරිම කලබලයි.. ඒ වගේම නොසන්සුන්..

ඇසෙම්බ්ලි එක තියන්නේ කුමක් සඳහාද? ඒ කතා පවත්වන ගුරු භවතුන් ලවුඩ්ස්පීකර් කටින් කියන්නේ මොනවාද? ඒ කරුණු කාරනා අධ්‍යාපනය සඳහා කොතරම් දුරට අදාළ වෙනවාද වැනි කිසිම දෙයක් ගැන අල්පමාත්‍රයක්වත් නිනව්වක් බහුතරයක් එවුන්ට නෑ.. කොල්ලන්ගේ ඝෝෂාවට ඉහලින් ලවුඩ්ස් ස්පීකර් සද්දේ ඇහුනට වැඩිමනක් එවුන් දන්නේ කතාකරන්නේ ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එක විතරයි. ඉඳලා හිටලා ගෑල්ලමයි අත්පුඩි තලන්න පටාන් ගත්තාම කොල්ලොත් අත්පුඩි තලන්න පටාන් ගන්නවා විනා අත්පුඩි තලන්නේ කුමන කාරණයක් අරභයාද කියනේක කොල්ලො බහුතරයක් එවුන් දන්නේ නෑ. ඉඳලා හිටලා ශිෂ්‍ය නායකවරු ළමයි අතරට ඇවිදින් භීෂණය පැතිරුවත් කොල්ලන් දාහක් විතර තැන තැන රංචු ගැහිලා නටන පිස්සු නවත්වන්න උන්දැලාගේ ශිෂ්‍ය නායක පට්ටම් වල බල පරාක්‍රම මදියි. ඒ අතරේ කසිප්පු පොලට පොලිසියෙන් පනින සැම්පලේට ළමයි අතරට කඩන් පනින විනය භාර ආචාර්යවරු අතට අහුවෙන දෙතුන් දෙනෙකුටත් නෙලලා තවත් හත් අට දෙනෙක් කන් කෙටියෙන් ඇදගෙන ගිහින් කුලරත්න සෙවන ගොඩනැගිල්ලේ කොරිඩෝවේ දන ගස්සවන්නේ පස්ස පැත්ත හරහට වේවැල් පාරවල් හත අටකුත් දීලයි. රැස්වීම මැදට විනය භාර ආචාර්යවරුන්ගේ ආගමනයත් එක්කම එතකම් දඟල දඟල හිටපු එවුන් හතර පෝයට සිල් ගන්න උපාසක ලෙවල් එකටම සීරුවෙන් ඉන්නේ හෙන සිරාවට කථිකයාගෙ කතාවට සවන් දෙන ආකාරයට. කඩි ගුලක් ආකාරයෙන් තිබිච රැස්වීම  ආචාර පෙළපාලියකට සූදානම් කරපු හමුදා ඛණ්ඩයක් ගානට නොසැලී ඉන්නේ උපරීම විනාඩි දහයක් වගේ කෙටි කාලයක් තමයි. ආයෙත් ඉතින් රැස්වීම මැද කඩි ගුලක් හා සමානයි. ඒ අතරේ නසරානිම එකෙක් දෙන්නෙක් කලින්ම හොයාගෙන ඇවිත් සාක්කුවේ දාගෙන ඉන්න කහඹිලියා කොළ මිටියක් හේතුවෙන් එහෙන් මෙහෙන් එවුන් අම්මමෝ නැතුව කසන්න පටන් ගන්නවා. ඒ කාලේ එකොළහ වසරේ හිටං පහලට පිරිමි ළමයි ඇන්දේ නිල් කොට කලිසම නිසා කකුලක කහඹිලියා උලන එක සිම්පල් වැඩක්. දණහිස ගාවින් කකුල නැමෙන තැන පිටිපස්සේ කහඹිලියා ඉලුවාම දැනෙන සනීපෙ ඉතින් ලියලා කියලා නිම කරන්න බෑ. එව්වා ඉතින් විඳලාම බැලියයුතු අත්දැකීම්.

විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලය වැඩ සිටින්නේ තෝමස් ද සිලවා සෙවනේ සන්සේඩ් එක යට නිසා එයාලට උදෑසන හිරු එළියේ තියනවාය කියන විටමින් ඩී ලැබෙන්නේ නෑ. එහම බැලුවාම ඉතින් ඒකත් අසාධාරණයි. සමහරවිට වයසින් වැඩි උදවියට විටමින් ඩී අගුණ වෙන්ටෑ. ඒ නිසාම එයාලට, ළමයි නොමිලයේම ලබන විටමින් ඩී සත්කාරයේ දිග පළල තේරුම් ගන්න කොහෙත්ම වාසනාවක් නෑ. රැස්වීමෙන් පැනල යන්නම විදිහක් නැතත්, ඒත් අවුවේ හිටගෙන ඉඳලා ඉවරයකුත් නැති කරුමෙන් බේරෙන්න පිලියමක් වශයෙන් තාවකාලිකව කලාන්ත වෙලා බිම වැටෙන කට්ට කපටි කෛරාටික එවුනුත් ඉතින් නැත්තේම නෑ. එකෙක් කලාන්ත වෙලා බිම පතබෑවුනාම තවත් හතර පස්දෙනෙකුට බෝනස් තෑග්ග ඇදෙන්නේ වැටිච්ච එකා කර තියාගෙන පන්ති කාමරයකට උස්සගෙන යන්න ඕන නිසා. ඒ වගේ වෙලාවට නම් ඉතින් ක්ලාන්ත වෙලා බිම වැටිච්ච එකා උස්සගෙන යන්න යාලු මිත්‍රයෝ ඇති පදං. ඒ අරං ගිහින් පන්තියක ඩෙස් බංකු දෙක තුනක් උඩ දිගා කරලා කමීසයේ බොත්තම් ගලවලා පවන් ගහන්නද, මූණට වතුර ගහන්නද යාලු මිත්‍රයෝ පෝලිමේ. ඒත් ඉතින් බොරුවට ක්ලාන්ත වෙච්ච එකා ඇස් පියාන උන්නට ඌ ඉන්නේ සෑහෙන කල්පනාවෙන්. රැස්වීමෙන් එලියට පැනගන්න තමුන්ව උස්සගෙන ආවට තමුන්වටේ වටවෙලා ඉන්නේ  ඇඳගෙන ඉන්න කලිසමත් ගලෝගෙන දුවන්න පුළුවන් ඇම්ඩන්ලා කියල මතක් වෙද්දී ඇත්තටම ක්ලාන්ත උනත් ලෙඩාට සිහිය එනවා විනාඩියෙන්. රැස්වීම ඉවර වෙද්දී කොරිඩෝවේ දනගහගෙන ඉන්න එවුන්ට මදක් පමාවෙන්ට වෙනවා පන්ති වලට යෑමට අදාළ අවසරය ලැබෙනකල්. ඒ අවසරය සමග බෝනස් ලකුණු විදිහට පස්සපැත්ත හරහා වේවැල් පාරක් දෙකක් වගේ සැනසිලි තෑග්ගකුත් කෝසල සර්ගෙන් බොහෝ වෙලාවට ලැබෙනවා. කෝසල සර් ගැනත් පොස්ටුවක් ලියන්න නියමිත නිසා කෝසල සර් ගැන වැඩි විස්තර මෙහිලා ලියවෙන්නේ නෑ.

මෙච්චරකල් වටේ ගියාට ලියන්න ගියේ අපේ පන්තියට අලියෙක් ආපු කතාවක් ගැන. මේ කියල අලියා එන්න කලින් අපේ බැච් එකටම හිටියේ අලි වගේ තඩි එවුන් එක්කෙනයි. ඒ තමා අපේ තඩියා. තඩියා අපිට තඩියට පෙනුනට අලියා ආවයින් පස්සේ තඩියට තිබ්බ ප්ලේස් එක ඉබේම නැතුව ගියා. තඩියා මේ ලියන වෙලාවේ ඉන්නේ කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ. තඩියාට පොඩි පහේ හර්දයාභාදයක් ඇවිත් ඊයේ ඇඩ්මිට් වෙන්න උනා වැඩිදුර ප්‍රතිකාර සඳහා. තඩියාගේ තත්වය දැනට කියන්න තරම් අයහපත් නෑ. ඒත් තඩියා ගණන් නොගෙන හිටියට තඩියාගේ ජීවිතේ බේරිලා තියෙන්නේ අනූ නවයෙන් කියලයි ගොඩයාට හිතෙන්නේ. තඩියාට ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා තඩියාගේ බිරින්දෑ සමග පැවසූ තොරතුරු වලට අනුව අපේ තඩියාගේ හදවතේ ධමනියක් සියයට අනූ හතරක් බ්ලොක් වෙලා තිබිල කියල තඩියාගේ බිරින්දෑට දුරකතනයෙන් ඇමතූ වෙලේ ගොඩයා සමග කීව. ප්‍රතිකාරයෙන් පසුව මේ ලියන මොහොත වෙනතෙක් තඩියා සමග කතා කරන්න ගොඩයාට හැකිවුණේ නෑ. 

හදවත පුරා ලේ ගමන් කරන නහරයක් සියයට අනූ හතරක් බ්ලොක් වෙන්න අපේ තඩියා කාපු කෑම ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ෂුගර්, ප්‍රෙෂර්, කොලස්ටරෝල් තුනම අඩු නැතුව තියෙන අපේ තඩියා දැන් ඉන්නේ ෆුල් ඔප්ෂන් තත්වයේ කිව්වොත් තමයි නිවැරදි. වෛද්‍ය උපදෙස් අනුව තඩියා දිනකට පැයක් ඇවිදීමට නියමිත උනාට තඩියා පැයක් ඇවිදිනවද එහෙමත් නැත්තම් ඇවිදින්න කියල ගෙදරින් මාරුවෙලා ගිහින් කොහෙට හරි කඩේකට ගොඩවෙලා බඩපුරා කාබීලා හොලා වගේ ගෙදර එනවද කියන එක දන්නේ දෙයියෝ තමා. 

අලියා ගැන ලියන්න ගිය බ්ලොග් පොස්ට් එක තඩියා ගැන ලියවෙන්න යන නිසා තඩියා ගැන එච්චරයි.. ඊළඟට නැවතත් ඇසෙම්බ්ලියෙන් පටන් ගතපු පුංචි අලි පැටියාගේ  ආගමනය..

කලින් කිව්ව ආකාරයෙන් හරක් පට්ටියක් ආම්බාන් කරනවාට වඩා අමාරුවෙන් කොල්ලෝ දාහකට වඩා වැඩි ප්‍රමාණයක් පැය දෙක තුනක් තිස්සේ අමාරුවෙන් තියාගෙන ඉඳලා ඔන්න යාන්තමට ඇසෙම්බ්ලිය ඉවර වෙනවා. ඒ වෙනකොට බොරුවට ක්ලාන්ත වෙච්චි උන් සියල්ලම කලින් හිටියට වඩා හොඳට පනගහලා අවදිවෙලා ඉන්නේ බොහෝමයක් දවස්වලට ඊළඟට ලැබෙන්නේ විවේක කාලය බව අත්දැකීමෙන්ම දන්නා නිසා. ඇසෙම්බ්ලියට පස්සේ තව කාල පරිච්චේද එකක් හෝ දෙකක් ඉතුරුවෙලා තියෙනවාද නැද්ද කියල ඉර දිහා බලලා තීරණය කරන තාක්ෂනය ක්ලාන්ත වෙච්චි උදවියටත් සාත්තුවට ඉන්න උදවියටත් උපතින්ම හිමිවෙලා තියෙනවා. වැරදිලාවත් ඇසෙම්බ්ලිය ඉවර වෙද්දී විවේකයට තවත් කාල පරිච්චේදයක්වත් ඉතුරුවෙලා තියෙනවනම් ක්ලාන්ත රංගනය දිගටම කොන්ටිනිව් කරන්න රංගන ශිල්පීන් දෙපාරක් හිතන්නෙ නෑ. ක්ලාන්ත වෙච්චි උදවිය වාහනේක පටවලා ඉස්පිරිතාලේ යවන්න විදුහල් පරිපාලනය වැඩිය උත්සහ කරන්නේ නැත්තේ මැරෙන්න වැටිලා හිටියත් විවේක කාලය වෙද්දී මුන්ට හිටියට වඩා හොඳට සිහිය එන වග විදුහල් පරිපාලනය දන්නා නිසා. ඒ වගේම ක්ලාන්ත වෙන උදවිය රෝහල්ගතකරනා ක්‍රමවේදයක් පටන් ගත්තොත් ක්ලාන්ත වෙලා වැටෙන එවුන් ඉස්පිරිතාලේ යවන්න ආසන හැටේ බස් එකකුත් මදිවෙන වගත් එයාල දන්නවා. වැරදිලාවත් ඔය කිව්ව ක්‍රමේට ක්ලාන්ත වෙන උදවිය රෝහල්ගතකරනා ක්‍රමවේදයක් පටන් ගත්තනම් ඇසෙම්බ්ලිය ඉවර වෙද්දී ඉස්කෝලෙ කොල්ලන්ගෙන් භාගයක් නවතින්නේ පොල්වත්තේ හෝ බලපිටියේ රෝහලේ කියන එක ගැන තර්කයක් නෑ. එහෙම ක්‍රමයක් තිබ්බනම් විදුහල්පතිතුමාට සිද්ද වෙනවා අසෙම්බ්ලිය තියෙන දවසට ඉස්සරින්දා කොල්ලන්ට කියන්න බොලා සේරෝම උදේම බලපිටියේ හෝ පොල්වත්තේ ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙයල්ලා   මං ගුරුවරු ටිකයි ගෑල්ලමයි ටිකයිත් අරං ඉස්පිරිතාලේටම ඇවිල්ලා අසේමබ්ලිය තියන්නම් කියන්න. 


ගොඩ්වින් සර් හෙවත් අපේ විදුහල්පතිතුමා විදුහල්පති සේවයේ හසල අත්දැකීම් තිබුනාවූ පුද්ගලයකු නිසාත්, විනය භාර ආචාර්යවරු අම්බලන්ගොඩ ධම්සෝවේ කොල්ලන්ගේ නාඩි වැටෙන රිද්මය ගැන හසල අත්දැකීම් තිබුනාවූ අයවලුන් නිසාත්, ක්ලාන්ත වෙන රෝගීන්ට සිහිය එන හෝරාව එයාල  දන්නව ඉස්පිරිතාලේ ඩී. ඇම්. ඕ මහත්තයාටත් වඩා හොඳින්. ඒ හින්ද පාසල් පරිපාලනය ඔව්ව ගැන වැඩිය වදවුනේ නෑ. ඒ කාලෙ විදුහල්පතිතුමාලා එහෙම උනාට දැන් කාලේ උදවිය  නම් ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් මතුවුනොත් පාසලේ දරුවන් රෝහල්ගත කරන්න ගිලන්රථයක්  ජපානයෙන් ආනයනය කරන්න මුදල් හොයන්න සංගීත සංදර්ශනයක් වගේ වැඩක් සංවිධානය කරන්න දෙපාරක් හිතන්නේ නෑ. එහෙම බැලුවාම අපේ කාලේ විදුහල්පති තුමාලට වඩා දැන් කාලේ තුමාලා පට්ට කාර්යක්ෂමයි නැද්ද හා...


ඔන්න ඔය ආකාරයේ වාතාවරණයක් ඇතුලේ කැශුවලිටීස් දහයක් පහොලොවක් වාර්තා කරගෙන ඇසෙම්බ්ලිය අවසාන වෙනව. ඔන්න අපිත් ගාල කඩාගත්තු හරක් රැලක් වගේ පංති හොයාගෙන දුවනව. විවේකයට කාලපරිච්චේද කිහිපයක් තියෙනවනම් කැන්ටිමේ මාමි කීයටවත් කෑම ඉශූ කරන්නේ නැති වග දනිතත් කිහිප  වාරයක් කැන්ටිමේ මාමිගේ ගෑස් බලන්නත් කැන්ටින් කන්නෝ අමතක කරන්නේ නෑ. ඒ අතරේ මූත්‍රා බොක්ක පුපුරන්න තරමට ටැංකිය පිරිච්ච එවුන් සුසන්තිකාටත් වඩා වේගෙන් වැසිකිලිය දිහාවට දුවන්නත් අමතක කරන්නේ නෑ. ඔය වැනි සකලවිධ රංගන සියල්ලක්ම සමගින් අපේ සෙට් එක හෙවත් නවය වසර ජී සෙට් එක පංතිය දිහාවට දුවන්නේ විවේකයට කලින් ඉතිරිවෙලා තියන කාලපරිච්චේදය අපතේ යාම වැලැක්වීම උදෙසා පන්තිභාර ගුරුතුමිය හෙවත්  නෙලුම් රානී ටීචර්  ළඟ ලඟම එන විත්තිය සහසුද්දෙන්ම දන්නා නිසා. නෙලුම්රානි ටීචර් ගැන වෙනම බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්න නිසා ටීචර් ගැන වැඩිමනක් මෙහිලා ලියවෙන්නේ නෑ.  ඒත්  වාක්‍ය කිහිපයකින්  ටීචර්ව හඳුන්වනවානම් නෙලූම්රානි ටීචර් යනු, පන්තියේ හිටපු කොල්ලන් විසිපස්දෙනා ගැනම වෙන වෙනම තමුන්ගේ ඔලුව ඇතුලේ ෆයිල් ඕපන් කරගෙන වෙන වෙනම කොල්ලන්ව අධීක්ෂණය කරපු අම්ම කෙනෙක් කිව්වොත් තමයි නිවැරදි. වේවැලක් අතේ තියාගෙන අණ්ඩුමට්ටු කරනා වර්ගයේ ගුරුවරියක් නොවුනත් එක වාරයක් ඔරෝලා බලපු ගමන් කොල්ලන්ට මූත්‍රා බර වෙනවා කිව්වොත් තමයි හරි.  හැබැයි කවදාවත් කාටවත් නියපිටින් පාරක් ගහල නෑ. ගුරුවෘත්තියෙන් එහාට ගියාවූ පුද්ගලික මට්ටමේ කැක්කුමක් ටීචර්ට ළමයි ගැන තිබ්බ නිසා එකෙකුටවත් නෙලුම්රානි ටීචර්ගේ කනෙන් රිංගන්න අවස්තාවක් ලැබුනේම නැහැ. එහෙම රිංගන්න ගිය හැම වතාවකම අපේ එවුන් ටීචර්ගේ අධීක්ෂණය කිරීම්, ප්‍රශ්න කිරීම් ඉදිරියේ හත්පොලේ උලාගත්ත. 

ගොඩයලා හිටියේ උඩ තට්ටුවේ නිසා විටමින් ඩී සත්කාරය ඇතිවෙන්න ලැබුණු හැමදෙනාම එක පොදියට උඩට දුවනවා. උඩ තට්ටුවේ තියන පංති කිහිපයෙන් ගොඩයලා හිටියේ මැදට වෙන්න. ඒත් කොල්ලෝ උඩට දිවිල්ල වෙනද වගේ නෙවෙයි කියහන්කෝ. කලින් කිව්වා වගේ අපේ තඩියාගේ සියයට අනූ හතරක් බ්ලොක් වෙච්ච නහරයේ තිබ්බ බ්ලොක් එක අතරින් අමාරුවෙන් ලේ ගමන් කරනවා  වගේ එක තැනකින් කොල්ලෝ හිරවෙලා. වෙනදට එක දිගට බඩ  යන්න වගේ ෆලෝ වෙන කොල්ලන්ගේ දිවිල්ල එක තැනකින් බ්ලොක් වෙලා තමයි මූව් වෙනනේ. ගොඩයා ඉතින් කෙට්ටු කැහැටු එකා නිසා කඳ බඩ මහත එවුන්ගේ වැදී වැදී වටේටම විසික් වෙන ගමන් ඔන්න හෙමි හෙමිහිට ලං වෙනවා පන්තියට ඇතුල්වෙන දොරටුවට.. මෙන්න බොලේ එතන ඉන්නවා කවදාවත් දැකල නැති ඩයල් එකක්. 

මෑන්ස් බැලූ බැල්මට  සුවිසේශී පොරක් නිසා එතනින් එහාට දුවන කොල්ලෝ හැමදෙනාම ගොඩයලාගේ පන්තිය ළඟ මදක් නැවතිලා දුහන නිසා තමා එතන පට්ට ට්‍රැෆික්.  
නිකමට හිතමුකෝ පාරක් අයිනේ අලියෙක් බැඳලා ඉන්න සීන් එකක්. නිරන්තරයෙන් වාහන යන පාරක අයිනක අලියෙක් බැඳලා ඉන්නකොට පාරේ යන වාහන පොඩ්ඩක් ස්ලෝ කරලා අලියව නරඹනවනේ. මින්ස්සුන්ට කොච්චර දැක්කත් නැවතත් බලන ස්වල්ප වස්තුන් අතරේ අලියා සුවිශේෂයිනේ. වාහනේ දරු මල්ලෝ එහෙම ඉන්නවනම් වාහනේ හුඟක්ම ස්ලෝ කරලා අන්න පුටේ අලියා කියල දරුවන්ටත් පෙන්නලා පිටිපස්සේ වාහනේ රියදුරා මුගේ මෑණියන්ට කියල හොර්න් එක ගැහුවාම හෙමීට ඉස්සරහට අද්දන විදිහක් නිකමට හිතන්නකෝ.. සීන් කෝන් එක අන්න ඒ වගේ..

බැලූ බැල්මට මෑන්ස් ඉන්නේ ගොඩයලාගේ පන්තියට ඇතුල්වෙන කොට බිත්තියට හේත්තුවක් දාගෙන නිසා සාස්තර කියන්න දන්නේ නැතත් ඕනෑම කුඩා එකෙකුට හිතෙනවනෙ මූ පන්තියට අලුතෙන් ආපු ජීවියෙක් වෙන්ටෑ කියල. ඇඟේ සයිස් එක කියනවනම් එවකට යෝදම එකා වෙච්චි තඩියා වගේ හතරගුනයක් විතර ඇති. කොණ්ඩය මනාව ඉහලට පීරා ඇත. ඇහැට පේන ආකාරයෙන් සරීර කූඩුවේ බර දල වශයෙන් කිලෝ හාරපන්සියක් තියෙන පාටයි. බැලූ බැල්මට ටක්කෙටම කියන්න පුළුවන් ඊළඟ සෑස්තරේ තමයි මූ අලියෙක් හා සයිස් උනාට හොඳ හැටි හැම් බේකන් චීස් පුඩින් ඇඟට වැටිච්ච එකෙක් කියන එක. උසත් ගත්තාම අඩි හයක් විතර සද්දන්තයි කියමුකෝ. ඇඟේ වට ප්‍රමාණය දල වශයෙන් කිව්වොත් පුංචි අලි පැටියාගේ ඇඟ වටේ රවුමක් යන්න බීඩි සුරුට්ටු මිටියක්වත් බොන්න යන කාලයට වැඩි මිසක් අඩු නෑ.  ඒසා උස මහත සරීරෙකට නිල් කොට කලිසමක් අන්දලා ගත්තාම ඉතිං පිචර් එකක පහ වසරේ ළමයෙකුගේ චරිතයකට පුත්තලම් බූරුවෙකුගේ වයස වෙන නළුවෙක් අන්දලා ගත්තා වගේ. කලිසං කොටේ නැත්තං පොර හැන්ඩියා කිව්වොත් තමයි නිවැරදි. දැක්ක ගමන් ගොඩයාට හිතුනේ ඇසෙම්බ්ලිය අස්සේ ඉස්කෝලෙ පියන් කාරයා මූව වැරදි කැලෑසියක් ගාවින් ඉන්දලාදෝ කියන සිතුවිල්ල. සුදු දිග කලිසමක් අන්දලා ගත්තොත් කැත නැතුව දහතුන  වසරෙන් වාඩි කරවන්න පුළුවන් පෙනුමක්. ඒ වගේම සරමක් අන්දලා බඩ මැදින් පටියක් බන්දලා ගත්තනම් තාත්ත එක්ක එන්න කිව්ව දවසට ඉස්කෝලේ එක්කයන්න පුළුවනි කිසිම සැකයක් නැතුව. හොඳින් බැලුවාම ගොඩයාට ආයෙමත් හිතුනේ පියන්ට වැරදිලා වැරදි කැලෑසියකින් ඉඳලාද ? මූ වැරදිලා සුදු දිග කලිසම වෙනුවට නිල් කොට කලිසමක් ඇඳන් ආපු පුත්තලම් බූරුවෙක්ද?  එහෙමත්  නැත්තම් පොඩි කාලේ පරක්කු වෙලා උප්පැන්නේ රෙජිස්ටර් කරපු එකෙක්වත්ද කියල. ඊළඟට හිතුනේ මූ හිටපු ඉස්කෙලෙ අට වසරෙන් විසි තිස් වතාවක් පේල් වෙලා නවය වසරට උසස් කරගන්න බැරිම තැන ඒ ඉස්කෝලෙන් අයින් කරගෙන ඇවිත් අපේ ගොඩයලාගේ ඉස්කෝලෙට තල්ලු කරාද කියන එක.  ඒ සියලු සැක සංකා තියෙද්දී කොරිඩෝව දිගේ පන්තිවලට දුහන කොල්ලො කුරුට්ටෝ හැම එකාම පුංචි අලි පැටියා ළඟ මදක් නැවතිලා මදක් නරඹලා යන්න අමතක කලේ නෑ. ඇයි යකඩෝ උපන්තේකට දැකපු නැති ජීවියෙක් නිසාත්, අලියෙක් තරං සරීර කූඩුවක් තියෙන නිසාත්, ගමේ රටේ නොවෙන හෙන ගොන් විලෝපික ස්භාවයක් තියෙන නිසාත් හැමෝටම වැඩේ ටිකක් ඔඩ්.

ඕන් කොල්ලො කෙල්ලෝ ඔක්කෝලම පංතියට ගිහින් පිළිවෙලට අඩුක් උනා කියමුකෝ.. ඒත් ඉතින් පුංචි අලි පැටියා අර හිටපු ආකාරයෙන්ම කොට බිත්තියට හේත්තු වෙලා අහස දිහා බලාන ඉන්නවා. නවය වසර ජී පන්තියේ හිටපු ගැහැණු පිරිමි මල් පලතුරු, හතලිස් හතරදෙනෙක් වෙන සේරෝම කට අරගෙන පුංචි අලි පැටියා දිහා බලාන ඉන්නවා. අලි පැටියා ෂෝරූම් එකේ දැම්මා හා සමානයි. අල්ලපු පන්ති දෙකේ ඉන්න එවුනුත් බිත්ති කොන් වලින් එබීගෙන අලි පැටියා දිහා බැල්ම දානව. එහෙම කරලා මිනිස්සු අපහසුතාවයට පත්කරන එක හොඳ නැති උනත් අපේ එවුන්ට ඒසා විනයක් තිබ්බේ නෑ. මිනිස්සු අපහසුතාවයට පත්කිරීම කලාවක්නම් අපේ එවුන් ඒකෙ පිකාසෝ මට්ටමත් පහුකරගෙන  වෘත්තීය මට්ටමත් පහුකරගෙන ගිහින් තිබ්බ කොල්ලො සෙට් එකක්.  ඔය වගේ වාතාවරණයක් ඇතුලේ තමයි අපේ පන්තිභාර ටීචර් පන්තියට වාර්තා කරන්නේ..

ඕන් එතැනින් පස්සෙන්පහු තමයි ඒ වාසනාවන්ත අනර්ඝ අවස්තාව හෙවත්, පුංචි අලි පැටියා නවය වසර ජී පන්තියේ සාඩම්බර සාමාජිකත්වය ලබන්නේ. ටීචර් ප්‍රසිද්දියේ අහපු ප්‍රශ්න කීපයකට අනුව පුංචි අලි පැටියා පැමිණ සිටින්නේ මැණික්පුරයෙන්. කලින් ඉස්කෝලේ ගිහින් තියෙන්නේ මැණික්පුරයේම තමයි. ගොඩයාට හිතිච්ච ආකාරයෙන් මූ ෆේල් වෙච්චි කතාවක් ආරංචියක් නෑ.. පුංචි අලි පැටියාගෙන් කියවෙන විස්තර වලට අනුව දෙමාපියන් කෝටිපති ව්‍යාපාරිකයන්. එව්වා ඇහෙද්දී ඉතින් අපේ එවුන්ට දැනෙන්නේ කණට මීපැණි වත්කරනා ආකාරයක්. ඒ වගේම පුංචි අලි පැටියා නොකිව්වත් මැණික් පුරයෙන් අම්බලන්ගොඩට ඩිපෝර්ට් කරපු ආකාරයක් තමයි පෙන්නුම් කරේ. අපේ කට්ටියට වඩාත්ම සිත්ගන්නාසුළු ආරංචිය නම් පුංචි අලි පැටියාගේ අම්බලන්ගොඩ භාරකාරත්වය දරන්නේ පොලිසියේ ඉහලම ඉහල තනතුරක් දරනා නිලධාරියෙක්. ඒ කියන්නේ අපේ එවුන්ගේ පාසල් පරිභාහිර නසරානි වැඩ වලට පුංචි පහේ ආරක්ෂාවකුත් අරගෙන තමයි පුංචි අලි පැටියා පැමිණ තිබෙන්නේ. රාජ්‍ය ආරක්ෂාවකුත් සමගින් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍ර රත්නයක් පන්තියට වැඩමකළා  කියන්නේ ඉතින් පුදුම පහනත් සාක්කුවේ දාගෙන ඇලඩින්  පංතියට ආව වගේ සීන්කෝන් එකක්. අලි සරීර කූඩුවක් එක්ක තඩි අතපය හතරක් පන්තියේ ඉදිරිපෙළ සටන් කරුවන් අතරට එකතුවුනා කියන්නේ පන්තියේ ස්වාධිපත්‍යය බිඳින්න ප්‍රහාර එල්ලකරන විජාතික බලවේග වලට ලොකු අභියෝගයක්. ඒ වගේ ඉදිරිපෙළ ආරක්ෂකයෙක් පොලිස් බලතල සමග පැමිණීමත් අදහන්න බැරි ආශ්චර්යක්. ඉතින් ඒ වගේ පුද්ගලයෙකුට කොහොම වෙල්කම් එකක් පන්තියෙන් ලැබෙන්න ඇතිද කියල නිකමට හිතන්නකෝ.  

ඔය කිව්ව ආකාරයෙන් පුංචි අලි පැටියා පන්තියේ ප්‍රභල සාමාජිකයෙක් වෙන්න වැඩිකල් ගියේ නෑ. හැබැයි ඉතින් අලියෙක් වගේ සරීර කූඩුවක් තිබ්බට මෑන්ස් කූඹියෙක් ගානට අහිංසකයි. ඒ වගේම අවිහිංසාවාදීයි. කාටවත්ම හිරිහැරයක් කරන්නෙම නැති තරම්. ඒ කිව්වේ තරහකාරයෙකුටවත් නියපිටින් පාරක් ගහන්න ඉදිරිපත් වෙන්නේ නැති තරම්.  මෑන්ස්ට ඉන්නම නොදී වදදෙන එකෙකුට දෙන්නෙකුට ඉඳලා හිටලා අත ගුලි කරලා පිට මැද්දෑවට ගුටියක් දෙකක් ඇන්නට එව්වා ඉතින් ගුටි ගණයට දාන්න බෑ. මොකද එව්වා හෙන ගෑනු ෂොට්. හැබැයි ඉතින් එව්වායෙ බර රාත්තල් වලින් ගත්තොත් දෙතුන්සීයක බර ෂොට්. එව්වා වැඩි හරියක්ම ලැබෙන්නේ අපේ හික්කඩුවේ මිත්‍රයාට සහ බූලාට නිසා වැඩි ගානක් නෑ. ඔය කිව්ව ඩබලටම ගුටි කෑම යනු බත් කෑමට තරම්වත් ගානක් තිබ්බේ නෑ. මොකද උන්ට ගහලා රිද්දන්න බෑ.. කොච්චර ගැහුවත් පිඹුරාට තලන්නැහේ තමයි.. මෙලෝ ගානක් නෑ.. ඔය කිව්ව දෙන්න අලියාගෙන් කාපු පොල් අඩි ගොඩයා වගේ කැහැටු එකෙක් කෑවනම් අද වෙද්දී ගොඩයා වලේ අලියා හිරේ..

පුංචි අලි පැටියා එහෙම අහිංසක එකෙක් උනාට අපේ එවුන් නොමිලේ ලැබිච්ච සෝසස් ප්‍රයෝජනයක් නැතුව අපතේ යවන එවුන් නෙවෙයි. ඒ නිසා වලියක් ඇතිනම් පුංචි අලි පැටියා බලෙන් තල්ලු කරගෙන යාම අනිවාර්යයි. ඒත් ඉතින් අලියා නෙවෙයි කාටවත් අතක් ඉස්සුවේ. ගැහුවේ නැතුවට කමක් නෑ රජෝ ටිකක් කේන්ති ගිය ස්භාවයෙන් හිටපං රත්තරන් කියල කිව්වාම ඔන්න පොඩ්ඩක් ඔරෝගෙන හිටියට ඒ ඔරෝගෙන ඉන්න එකත් විනාඩියකට දෙකකට වඩා නෑ. ඒත් ඉතින් ප්‍රතිවාදීන් මුගේ සරීර කූඩුවේ පරිමාව දැක්කාම වැඩිය ලංවෙන්නේ නෑ.. ඕනෑම මොලේ නැති එකෙකුට තේරෙනවා ඒ සා සරීර කූඩුවක් තියෙන පුද්ගලයෙක් ගාවට ලංවීම අනතුරු සහිතයි කියන එක . එකෙකුට දෙන්නෙකුට නෙලපන් සාමි කියල කොච්චර කිව්වත් අලියා ලව්වා කිසිම ප්‍රතිවාදියෙකුට නෙලවන්න අපේ එවුන්ට අවුරුදු තුනක් ට්‍රයි කරලත් බැරිවුනා. වැඩිම උනොත් ඉතින් මොහොමඩ් අලි බොක්සිං වළල්ල ඇතුලේ බොක්සිං ගහන්න කලින් උඩ පනින්නැහේ දෙතුන් වතාවක් අත් දෙක ගුලි කරගෙන උඩ පනියි. නිකමට හිතිං මවාගන්නකෝ අලියෙක් උඩ පනින සීන් එකක්.. අන්න ඒ වගේ තමයි.. කැතේ බෑ.. හැබැයි කොච්චර උඩ පැන්නත් ඉතින් මලාට කාටවත් නියපිටින් පාරක් ගහන්නේ නෑ. ඒත් ඉතින් අර සා විසාල අතකින් පාරක් කෑවොත් හත් අවුරුද්දක් ඉස්පිරිතාලේ ලගින්න වෙනවා කියලා ඉවෙන්ම දන්නා ප්‍රතිවාදීන් කව්රුත් අලියා පහුකරන් ගොඩයලාගේ පන්තියේ සෙට් එක ගාවට කිට්ටු කරේ නෑ. බිල්ලෝ පෙන්නලා පොඩි එවුන්ට බත් කවනවා වගේ පුංචි අලි පැටියා පෙන්නලා ගොඩ දාගත්තු වලිබලි අපමණයි අපේ එවුන්. අලියාටත් වටවෙලා නෙලලා දල කපාගෙන යන්න පුළුවන් තරම් එවුන් ගේම ඉල්ලගෙන හිටියත් අලියාට තිබ්බ පොලිස් ආරක්ෂාව ඒ සියල්ලම පරාද කරා. සරීර කූඩුව නිසාත්, ගමට පිටින් පැමිණි ඩයල් එක නිසාත්, පොලිස් සම්භන්ධය නිසාත් අලියා ඉස්කෝලේ ඇතුලේ ප්‍රසිද්ධ වෙන්න ගියේ සති කීපයයි. රැලේ මුලට අලියා තිබ්බාම පස්සෙන් ඉන්න කැනහිල්ලුන්ට නොමිලේම ආරක්ෂාව හිමිවෙච්ච නිසා අපේ කට්ටිය ඕනෑම චන්ඩියෙකුට ගේම ඉල්ලන්න දෙපාරක් හිතුවේ නෑ. ඒත් ඉතින් අහිංසක පුංචි අලි පැටියා පන්තියේ එකෙකුට දෙන්නෙකුට බැරිම තැන තඩි බෑවා මිසක් පිට එකෙකුට නම් කවදාවත් අතක් ඉස්සුවේ නෑ. 

අලියාගේ ආගමනයට කලින් පන්තියේ කොල්ලන් අතේ ගැවසුන රුපියල් පහේ කොළ දහයේ කොළ, සිල්ලර කාසි වෙනුවට අලියා හරහා සීයේ කොළ, පන්සීයේ කොළ, දාහේ කොළ එහෙමත් පන්තියට ආව. අලියා පැවත එන්නේ කෝටිපති ව්‍යාපාරික පවුලකින් නිසා සල්ලි සබන් ගානට වැටුන අපේ එවුන්ට. හැබැයි ඉතින් කපටිකම අන්තිම දශමෙට ප්‍රයෝජනයට ගත්තු අපේ එවුන් අලියාගේ සීයේ කොළ කවදාවත් කැන්ටිමාට සම්පූර්ණ එක පිටින් පූජා කරේ නෑ. එව්වා ඉතින් කන්ටිමාගේ සල්ලි වට්ටියට ගියේ දෙකට ඉරීල විතරමයි. ඒ විස්තර සීය දෙසීය කිරීම කලාව පොස්ට් එකේ සවිස්තරව ලියවිලා තියෙන නිසා මෙහිලා ආයේ ලියවෙන්නේ නෑ.

පස්සේ දැනගත්තු විදිහට අලියා මැණික් පුරයෙන් අම්බලංගොඩට ඩිපෝර්ට් කරලා තියෙන්නේ එහෙ තියාගෙන හදන්න බැරි නිසාලු. එහෙම බැලුවාම අලියා කොයිතරම් පින් කරලා ඇත්ද ඒ වගේ සුවච කීකරු විනයගරුක මිත්‍ර පිරිසකගේ ඇසුර ලබන්න. කොටින්ම කියනවනම් සත්තිගුන්භ ජාතක කතා වස්තුවේ තාපසාරාමෙට වැටුණු ගිරා පැටියා වගේ තමා. ඒත් ඉතින් වසර තුනක අවෑමෙන් ඉඟුරු දීලා මිරිස් ගත්තු ස්භාවය අලියාගේ දෙමවුපියන්ට වැටහුණු නිසාදෝ සාපෙළ අවසානයේ අලියාට  නැවතත් මැණික් පුරයේ පුරවැසිභාවය ලැබුන. දැන් වෙද්දී අලියා කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඒ ඇරුනාම දෙදරු පියෙක්. තාමත් ඉස්සර වගේම අහිංසකයි රටක් වටියි. ගොඩයා නම් ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලේත් අලියා බලන්න ගිහින් ආව. ඒ වගේම අලියාගේ නගරය පහුකරන් යන අපේ එවුන් ඕනෑම එකෙක් අලියා බලන්න නවතින්න අදත් අමතක කරන්නේ නෑ. ඒ වෙලාවට අලියා අපේ එවුන්ට ඇතිවෙන්න සත්කාර කරන්නත් අමතක කරන්නෙ නෑ. දැන් ඉතින් අලියා මේක කියවලා ගොඩයාට ගේම ඉල්ලුවොත් කියලා හිතෙන නිසා අලියගේ ප්‍රේම වෘතාන්තයන් වගේ ලජ්ජා හිතෙන කෑලි බෑලි මේකේ ලිව්වේ නෑ.. එව්වා ඉතින් ගොඩගේ ආරක්ෂාවට පසුව භාවිතා කිරීම පිණිස ඉතිරි කළා. අලියාගේ වෙඩිමේ විස්තරත්, ඒ ගිහින් එද්දී ගොඩයා මැණික් පුරයේ හිටං අම්බලන්ගොඩට එනකල්ම විඳපු දුක් වේදනා ගැනත් පීටර් ගැන ලියවෙන පොස්ට් එකේදී ලියවේවි. මේ පෝස්ට් එක අලියා වෙනුවෙන්ම නිසා පෝස්ට් එක මෙතකින් නිමයි. ඒත් ඉතින් නැට්ට පිටින් අම්බලන්ගොඩ ආපු අලියා නැට්ට කපලා මොඩ් කරලා අහවර වෙලා කාටවත් අහු නොවී ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්න කලාව උගන්නපු ගෞරවේ 1993 අවුරුද්දේ සාමාන්‍යපෙළ කරපු "ජී" පන්තියේ සෙට් එකට හිමිවිය යුතුයි. දෛවය විසින් අලියා 1991 අවුරුද්දේ අම්බලන්ගොඩ එව්වේ නැත්තම් ඉතින් අදත් අලියාගේ නැට්ටේ ඉඳන් ගොම....

Monday, June 25, 2018

පෙරේරලා තුන්දෙනෙක්.. 01








බ්ලොග් ලිවිල්ල පොඩ්ඩක් විතර අලවුනා හේතු කාරනා කීපයක් නිසා. පලවෙනි එක ගොඩයා දැන් උදෙන් ඇහැරිලා කලින් ගෙදර එන ප්ලෑන් එකක ජීවත් වෙන නිසා. වෙනද ගොඩයා දිව්වේ ඇහැරෙන වෙලාවක් වෙනකම් නිදාගෙන රෑ වෙලා ගෙදර එන ප්ලෑන් එකක. දැන් මේ උදෙන් ඇහැරෙන සීන් කෝන් එක නිසා ගොඩයා දවස තිස්සෙම ඉන්නේ ලාවට නිදිමතේ.. ඒ නිසා බ්ලොග් ලිවිල්ලට හෙන කම්මැලියි. ඊළඟ කාරනාව ගොඩයාගේ පාසල් මිත්‍රයෙක් වසර හයක පමණ දීර්ඝ ශ්‍රී ලංකා නිවාඩුවකින් අනතුරුව ගොඩයා ඉන්න රටට සැපත් වෙලා ඉන්න නිසා ගොඩයාට සිද්දවෙලා තියනවා පොඩි බේබි සිටින් පාරක් කරන්න. මොකද කියනවනම් ගොඩයාගේ පාසල් මිත්‍ර තැන ආයෙමත් ට්‍රයි කරන්නේ ලද විගහින් ලංකාවට වැකේෂන් යන්න නිසා ගොඩයා ඇතුළු මේ රටේ ඉන්න මිත්‍ර කැල උපරීම උත්සහයක් යොදනවා අපේ බුවාව යන්න නොදී තියාගන්න. කියන්න කනගාටුයි ගොඩයා රැකියාව කරන්නේ එළියේ නිසා පැය අටේම උනත් ගොඩයාට දුරකතනයේ රැඳී සිටීම ගැටළුවක් නෑ. ඒ නිසා, තාම ලද බොළඳ කිරි බොන වයසේ හෙවත්,  හතලිස් එකක් පෘතුවි අවුරුදු වලින් වයස් වෙන අපේ මිත්‍රයාගේ බේබි සිටින් පාර වැඩි හරියක් දුරකථනය හරහා කරන්න සිද්දවෙලා තියෙන්නේම ගොඩයට. ඉතින් ආලෝක වර්ෂ ගණනාවක් අනාගතයේ ඉන්න අපේ මිත්‍රයාගේ තුන්වෙනි මානයට අහුවෙන දැනුමෙන් දෙන ටෝක්ස් පැය තුන හතරක් අහගෙන හිටියාම ආයේ බ්ලොග් ලියන්න ඔලුවක් ගොඩයාට ඉතුරු වෙන්නේ නෑ ආයුබෝවන්ඩ. මොකද කියනවනම් ගොඩයාත් ඒ කතාබහ අහගෙන ඉන්න අතරේ රැකියාවත් කරලා අහවර වෙලා හවසට ගෙදර ඇවිත් වාහනෙන් බහින්නේ නිකං අල්ලපු චක්‍රාවාටයේ ඉඳන් ආව වගේ ඔලුව තෝන්තු වෙලා. ඉතින් කොහෙ බ්ලොග් ලිවිල්ලක්ද.. අතට අහුවෙන සැර ජාතියක් අමුවෙන්ම ගිලදාළ මොනාහරි තියෙන දෙයක් කාල කෙලින්ම දොයිය බබා තමා..

------------------------------------------------

පළවෙනියටම ලියන්න යන්නේ ධර්මදාස පෙරේරා කියන චරිතය ගැන වුනත් පලවෙනි කොටස අවසාන වෙන්නේ වෙනත් පෙරේරා කෙනෙකුගෙන්. ගොඩයාට ජීවිතේ හම්බෙච්ච විවිධාකාර චරිත ස්භාවයන් ඉසිලූ මිනිසුන් අතර සුවිසේශී වූ මනුස්සකම් තියන පෙරේරලා තුන්දෙනෙක් හම්බෙලා තියන නිසා ගොඩයා කල්පනා කරා ඒ කියන පෙරේරලා තුන්දෙනා ගැන පෝස්ටුවක් ලියන්න. 

ධර්මදාස පෙරේරා  කියන චරිත ගොඩයාට පලවෙනි වරට මුණගැහෙන්නේ  2005 අවුරුද්දේ මැයි මාසයේ දවසක . ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි ගොඩයාට අලුත් තනතුරක් එක්ක ස්ථානමාරුවීමක් එහෙමත් ලැබීලා පෙරේරා එවකට රාජකාරි කරපු සේවා ස්ථානයට අනුයුක්ත වෙච්චි නිසා. ඔය කියන සේවා ස්ථානය ගැන ඕනෑවටත් වඩා පෝස්ට් මේ බ්ලොග් කොටේ ඇතුලේ ලියවෙච්චි නිසා ඒ අරුම පුදුම නීති තිබ්බ සේවා ස්ථානය ගැන වැඩිය අටුවා ටීකා ලියන්න ගොඩයා උත්සහ කරන්නේ නැහැ. හැබැයි ගොඩයා ඔය කියන සේවා ස්ථානයෙ වැඩ භාරගන්න ප්‍රථමව එතෙක් රැකියාව කල දෙපාර්තමේන්තුවේ පරණ සේවකයින්ගෙන් ලැබුන එකම සහ අවසන් අවවාදයවුනේ පෙරේරා ඇතුළු කල්ලියෙන් ප්‍රවේසම් වෙලා රැකියාව කරගෙන පලයන් මචෝ කියලයි. ගොඩයා තැනකට පය ගහන්න කලින් වටපිටාව ගැන හොඳින් විපරම් කරලා බැලීම ගොඩයාගේ සිරිතක් නිසා ඒ හෝදිසියේ ප්‍රතිපලයක් විදිහට තමයි ඔය කියන දෙපාර්තමේන්තුවේ ඉන්නා කකුලෙන් අදින්නන්ගේ සහ බාල්දි පෙරලන්නන්ගේ නම් ලිස්ට් එක එකින් එක ගොඩයා ඉදිරියේ කියවෙන්නේ. කියන්නා කෙසේ කීවත් අසන්නා හොඳ සිහි බුද්ධියෙන් ඇසියයුතු නිසා කටින් කට එන ආරංචි වලින් කියවෙන මානුෂීය ගුණාංග ගොඩයා විශ්වාසයට ගන්නේ අඩමානයට උනත් වැඩි පරෙස්සම වෙනුවෙන් ඒ කියවෙන දෑ ඔලුවේ තබාගෙන සිටීම ගොඩයාගේ පුරුද්දක්. 

ඕන් ගොඩයා ඔය කියන තනතුර භාරගන්න ඔය කියන ආයතනයට ගියා කියමුකෝ. එතෙක් කාලයක් පුරාවට පරිපාලන නිලධාරීන් සෑහෙන ප්‍රමානයක් එක්ක ගොඩයා රැකියාව කරගෙන ගිහින් තිබ්බ නිසා ගොඩයා හිතන්නේ  එතෙක් ලැබිච්ච අත්දැකීම් වලට සාපේක්ෂව උනත්, අලුතෙන් ලැබීච්චි මහතැන එතෙක් කල් ඇසුරු කල මහතැන් වලට වඩා සෑහෙන වෙනස් කියමුකෝ. එම රැකියා ස්ථානයට යෑමට කලින් ගොඩයාගේ බොසා වූ පුද්ගලයා නිතර රූපවාහිනී තිරයේ ඇතුලේ වැඩසටහන් වලට සහභාගී වෙන සෑහෙන ප්‍රසිද්ධ සහ ජනප්‍රිය චරිතයක් කීවොත් තමයි නිවැරදි. හැබැයි මනුස්සකම සහ නිහතමානීකම අතින් ගත්තාම අංක එක. ඕනෑම වෙලාවක හිනාවෙලා ඉන්න සහ ඕනෑම වෙලාවක ඕනෑම රාජකාරියක් පහසුවෙන් ඉෂ්ට කරදෙන පුද්ගලයෙක් විදිහට ඒ බොසා පෙරාපු රත්තරන් මහත්මාවරයෙක්. ඒත් යකඩෝ අලුතෙන් ලැබුණු බොසා ඉන්නවා නේද.. පළමු බැල්මෙන්ම වැඩේ අඥ්ඥකොරොස්. මේ ලෝකේ ජීවත් වෙන තිරිසන් සත්තුයි  මනුස්සයෝයි ගත්තාම දෙයියෝ සත්තුන්ට ෆුල් ඔප්ෂන් නොදී මිනිස්සුන්ට විතරක් ෆුල් ඔප්ෂන් දීපු එකේ සිනහසීමට ඇති හැකියාව නමැති ඔප්ෂන් එක තියෙන්නේ මනුස්සයින්ට විතරක් උනාට සමහර මිනිස්සු ඒ ඔප්ෂන් එක භාවිතයට ගන්නෙම නැති තරම්. ගොඩයාගේ අලුත් ලොක්කත් අන්න ඒ වගේමයි. මලාට මුනේ හිනාවක් නෑ කියහන්කෝ. 

ඔන්න ගොඩයා යනවා සැලුන් දොර ඇරගෙන ඇතුලට. ඒ ගිහින් දෙනවා අලුත් තනතුරේ පත්වීම් ලිපිය. ඔන්න ඊගාවට තමයි ලොක්කා ලිපිය දිහාත් ගොඩයා දිහාත් උපැස් යුවලට යටින් මාරුවෙන් මාරුවට බැල්මක් දාලා මේසය උඩ තියන සීනුව නාද කරන්නේ. ඉතින් හත් ඉලව්වේ අලුතෙන් නිලධාරියෙක් රැකියාව භාරගන්න ආවාම ආසනයක් පනවලා වෙල්කම් ඔන් බෝර්ඩ් මචං කියලා පලවෙනි ප්‍රතිචාරය ඉතාමත් සුභවාදීව දුන්නහම කටේ දත් හැලෙනවද, ඉහේ කේස් පැහෙනවද.. ඒත් ඉතින් පළමු ප්‍රතිචාරය බොහොම කුජීතයි. ඔන්න ඒ අතරේ තමයි අර කලින් නාදකරපු සීනුවට ප්‍රතිචාර වශයෙන් දාබරේ සැලුන් දොරෙන් ඇතුලට එන්නේ. ඕන් එතැන් පටන් තමයි ගොඩයාට වැටහෙන්නේ තමුන් පයතිබ්බේ ප්ලැනට් අර්ත් එකේ කුජීතම ග්‍රහචාරයක් කැරකෙන පජාති සේවා ස්ථානයකටය කියන එක. එතැන් පටන් ලොක්කගේ අවවාදය මෙන්න මෙහෙමයි..

මේ ඉන්නේ මිස්ටර් දාබරේ.. ඔයා දැනට වැඩකරන්නේ මෙයා යටතේ.. මිස්ටර් දාබරේ රිටායි වෙනවා තව මාස තුනකින්.. ඊට පස්සේ ඔයා දාබරේ මෙච්චරකල් කරපු වැඩ කොටස තනියම කරගෙන යන්න ඕන.. එහෙම නේද මිස්ටර් දාබරේ..

ඔව් සර්..

මිස්ටර් දාබරේ එහෙනම් මෙයාට මේසයක් ලෑස්ති කරල දෙන්නකෝ..

හරි සර්.. 

සර් මේ..... මේ.....

හ්ම් කියන්න මිස්ටර් දාබරේ...

 සර් මෙයාට පොඩ්ඩක් කිව්වනම් හරි මෙතන කට්ටිය ගැන.. මෙයා මුකුත් දන්නේ නැහැනේ මෙතන කට්ටිය ගැන..

ආ ඔව්.. මේකේ ඉන්න සමහර කට්ටිය ටිකක් වෙනස්.. එයාල එක්ක වැඩි ආශ්‍රයට නොයනවානම් තමයි හොඳ.. විශේෂයෙන් ධර්මදාස පෙරේරා , xxx xxxx, xxxx,  ..........( හයක් හතක විතර පුද්ගල කණ්ඩායමක් කියමුකෝ). මිස්ටර් දාබරේ ඉන්න විදිහට රාජකාරිය කරගෙන ගොයොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට මෙතන සෑහෙන කාලයක් ඉන්න පුළුවන් වෙයි.. හරි එහෙනම් ගිහින් වැඩ පටන් ගන්නකො.. ඔයාට දාබරේ ඇරුනාම විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවනම් මෙතන ඉන්න අනික් කෙනා ප්‍රියන්ත පෙරේරා තමයි.. එයා ප්‍රශ්නයක් නෑ..

ඔන්න ගොඩයා ලොක්කගේ සැලුන් දොර ඇරගෙන දාබරෙවත් ඉස්සර කරගෙන ලොක්කාගේ රාජකාරි කුටියෙන් එලියට එනවා. ඊළඟට දාබරේගේ අවවාද අනුශාසනා..  වැඩිහරියක් ඉතින් තහනම් නියෝග තමා. අරයා එක්ක කතා කරන්න එපාය, මෙයා වැඩිය කරට ගන්නට එපාය, අහවලාගෙන් පරෙස්සම් වෙලා ඉන්නය වගේ කතාන්දර බොහෝමයි. ලිස්ට් එකේ ඉහලින්ම මුලින්ම කියවෙන්නේ දර්මදාස පෙරේරාගේ නම. ඔන්න ඉතින් අලුත් රස්සාවේ පලවෙනි පැය භාගෙන්ම ගොඩයාට රස්සාව ගැන දැනෙන හැඟීම සෑහෙන සෝචනීයයි. ඒවගේම කලින් හිටපු බ්‍රාන්ච් එකේ සහෝදර සේවිකාවක් වෙච්චි ජානකී පෙරේරා එක්ක ඒ වෙද්දී ගොඩයාට පට්ට කේන්තියි. මොකද කියනවනම් ඔය කියන ජානකී පෙරේරා තමයි ගොඩයා ඒ හෝම්පලේ වැඩ භාරගන්න යන තැනට වැඩ සැලැස්සුවේ.

ජානකී පෙරේරා ගොඩයාට මුලින්ම හමුවෙන්නේ දෙදාහ අවුරුද්දේ මාර්තු මාසේ දවසක. ඒ ගොඩයා අලුත් රැකියාවකට සෙට් වෙලා ජානකී පෙරේරා රැකියාව කල ආයතනයට අනුයුක්ත වෙන නිසා. ජානකි සහ ජානකිගේ හස්බන්ඩා ගත්තාම බොහොම කලාතුරකින් ඇසුරට ලැබෙන මිනිස්සු. ජානකීගේ හස්බන්ඩා ලංකාවේ සුප්‍රසිද්ධ සමාගමක ඉහල විධායක නිලධාරියෙක්. ඔය ඩබල දරුමල්ලන් සමග ගොඩයාගේ ගෙදරත් ඇවිත් තියෙනවත් එක්ක එක වතාවක් වගේ. ජානකී ගොඩයාට වඩා අවුරුදු දහයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වැඩිමහල් චරිතයක් නිසා දැන් වෙද්දී ජානකී සෑහෙන්න වයසට ගිහින් ඇති යකඩෝ කියල ඔන්න නිකමට දැන් ගොඩයාට මතක් උනා. ඔරිෆ්ලේම්ද, ජැනට්ද අරවද මෙව්වද ඔක්කොම ජාති මූණත්තහඩුවේ උලාගෙන වයසට වඩා දහයක් විස්සක් අඩුවෙන් පෙන්නගන්න පට්ට ගේමක් දීපු ගෑනු පරානවල චැසිය සහ බොඩිය කොයි අවුරුද්දේ නිෂ්පාදනය කරපු එව්වද කියලා ගොඩයා එවකට දැනගෙන හිටියා මොකද කියනවනම් කට්ටියගෙම පුද්ගලික ලිපිගොනුවල දත්ත රාජකාරියේ කොටසක් විදිහට ගොඩයා ගාව තිබ්බ නිසා. ඒ වගේම ඔය තියන මොඩර්න් නම් ගම් ඉස්සරහින් තියන ඉංගිරිස් අකුරු වලින් කියවෙන වාසගම් ඇරුනාම එක දහස් නවසිය බර ගණන්වල දාපු  මුල් නම්ගම්ද ගොඩයා අකුරක් නෑර දැනගෙන හිටියා. හැබැයි පුතෝ මොනම හේතුවක් නිසාවත් ඒසා පුද්ගලික දේවල් ගොඩයා  කන පැලෙන්න බීපු වෙලාවකවත් එලියට නම් දුන්නේ නෑ, ඇයි යකඩෝ විස්සේ තිහේ කෑලි වගේ හැසිරෙන පට්ට නාකි ගෑනු පරානවල නියම වයස හෙළි කරොත් අනිවා ගොඩයාට ගෑනු රොත්තකගෙන් ආතල් පහට  ගුටි පූජාවක් අනිවා. ජානකී ඒ වෙද්දී වයස තිහ තිස්පහ අතර ඉන්න ඇති ගොඩයාගේ මතකේ හැටියට. ඒ වගේම ගොඩයා අමාරිස් උන්නැහේ එක්ක කොකු පටලෝගන්න හැම අවස්ථාවකම ජානකී ගොඩයාව කූල් කරලා කනෙන් අල්ලා ගොඩයාගේ මේසයේ වාඩිකරෙව්වේ නැත්තම් මේ වෙද්දී මල් චීත්ත අඳින අමාරිස් ලොක්කා වලේ ගොඩයා වැලිකඩ හිරේ වෙන්නත් ඉඩ තිබ්බ. ඒ කියන්නේ ජානකී කියන්නේ ගොඩයාට ඒ කාලේ වැඩිහිටි සහෝදරියක් වගේ චරිතයක්. අමාරිස්ගේ දිහාවේ හිටං ගොඩයා දිහාවට ලෙඩක් මග එද්දී ජානකී හීන් සීරුවේ ගොඩයාට පෙර අනතුරු ඇඟවීම් කරපු අවස්ථා ඕනෑතරම් තිබ්බත් ජානකී සහ පරිපාලනය අතර තිබ්බ රහසිගත භාවය කවදාවත් හිතවත්කම්  උඩ එලියට දීලා ජානකී තමුන්ගේ රාජකාරියේ විශ්වාසනීය භාවය කඩකලේ නැහැ.. ඒත් ඉතින් තමුනුත් බේරිලා අපිවත් බේරපු චරිතයක් කිව්වොත් තමයි නිවැරදි. ඔන්න ඔය කාලේ තමයි අලුත් තනතුරක් වෙනුවෙන් අයදුම් පත්‍ර කැඳවෙන්න රජය තීරණය කරන්නේ. ගොඩයා ඔන්න ඔහේ නිකමට වගේ අයදුම් පත්‍රයක් දාන්නේ ඒකෙන් වෙනත් වාසියක් ලැබීමේ පරමාර්ථයෙන් . ඒ  වගේම නිතර දෙවේලේ ඔලුව තියෙන්නේ බිස්නස් කෙරුවාව ගැන නිසා අලුත් තනතුරක් අරගෙන රැකියාව ඇඩ්වාන්ස් කරගෙන  රස්සාවක් එක්ක හිරවෙන්න ගොඩයාට තුන් හිතකවත් අදහසක් තිබ්බේ නැහැ. ඔන්න ඔය අතරේ ඔය කියන විභාගය පැවැත්වෙන දිනයත් ලංවුනා කියමුකෝ. දැන් ගොඩයාගේ කල්පනාව විභාගය පිටින් දාගෙන රාජකාරි නිවාඩු භාගය අරගෙන ගෙදර මාරුවෙලා අයදුම් පත්‍රය දාපු පළමු සහ අවසන් අරමුණ ඉෂ්ඨ සිද්දි කරගන්න. මොකද කියනවනම් නිවාඩු කියන්නේ කළුනික තරම් හිඟ එව්වා නිසා ඒ වගේ චාන්ස් එකක් ගොඩයා මලාට අතපසු කරන්නේ නෑ. වැඩිය ඕනෑ නෑ හාර පන්සීයක් ඉන්න සේවක මණ්ඩලේ අතරේ කොහේ හෝ මළගෙයක් තිබේනම් ඒ මළගෙදර යන නම් ලිස්ට් එකේ ගොඩයාගේ නම අනිවාර්යෙන්ම තිබ්බ. ඒ වගේ වැඩ වලට ගොඩයාට මලගිය ඥාතියා කාගේ කව්ද කියන එක අදාලම නෑ. හේතුව කියනවනම් ඔය මලගෙවල්වල යාම වෙනුවෙන් රාජකාරි නිවාඩු ලැබෙනවනේ හත් ඉලව්වේ. ඉතිං යකඩෝ මළගෙදර යන්න දෙන ඔෆිස් බස් එකේම නැගල ගිහින් මරදානට පිටකොටුවට ආසන්නම හෝල්ට් එකෙන් බැහැල ගෙදර මාරු උනා කියලා මැරිච්ච එකා තරහ වෙනවා කියලයැ.


ඔන්න ඔය විදිහට අලුත් තනතුරේ ලිඛිත පරීක්ෂණය තියන වෙලාව ලං වෙදිදි ගොඩයා ගාලු කුමාරියේ ගෙදර පනින්න ප්ලෑන් එක ඇඳලා අහවරයි. ගොඩයා කොතන පැන්නත් මං රාජකාරි වෙලාවේ ඉන්නේ අහවල් තැන කියල මොකාට හරි විශ්වාසවන්තම එකෙකුට කියල යන එක ගොඩයාගේ සිරිතක්. හැබැයි ගොඩයා කවදාවත් රාජකාරිය පැහැර හරියේ නැහැ. කාල කළමනාකරණය කරගෙන රාජකාරියත් තමුන්ගේ වැඩත් දෙකම සියයට සියයක් සාර්ථකව ඉෂ්ඨ සිද්ධ කරගත්ත කියමුකෝ. ඔන්න ඔය හින්ද තමයි ගොඩයා ජානකී කියන පුද්ගල චරිතය වෙත හෙමිහිට කියල දාන්නේ ලිඛිත පරීක්ෂණය පැත්ත පලාතක යන්නේ නැත දෙයියෝ මං ගෙදර මාරු වෙනවා කියන කාරණය. අන්න එතකොට තමයි ජානකී ගොඩයාට ගේම ඉල්ලන්නේ..

අනේ ගොනෝ.. බූරුවෙක් නොවී කන පලාගන්නේ නැතුව ඔය පේපර් එක ලියල යන දේවාලේක පල..

පිශ්ශුද මචෝ.. මට ඔය මගුල් වැඩකට නෑ.. ඒ වගේද බන්ස් පැය දෙක තුනක් කලින් ගෙදර ගිහින් තමුන්ගේ ව්‍යාපාරයක් කරගන්න එක..

හරි උඹ පලයන්කෝ එහෙනම්.. අනිවාර්යෙන් මං උඹට ලෙඩේ අදිනවා..

පිස්සුද බං.. ඔව්ව කරලා කාටද බන් හරි ගියේ..

හරි යන හරි නොයන එක වෙනම දෙයක් ගොනෝ.. අමාරිසා උඹ දිහා ඇහැ ගහගෙන ඉන්නේ ලෙඩක් දාන්න.. ඒ නිසා ඕක ලිව්වේ නැති උනත් එතනට ගිහින් අඩුම තරමේ පැය භාගයක්වත් ඉඳලා පලයන් යන දේවාලෙක.. 

ඒ අදහසත් නරකම නෑ.. හරි එහෙනම් මොකක් හරි ලෙඩ කට්ටක් වැටෙන්න වගේ එනවනම් මං උදේ ගොනා වගේ වැඩට එන්න කලින් ගෙදරට කෝල් එකක් දියන් හරිද..

ඉස්සෙල්ල උඹ ගිහින් එග්සෑම් එක ලියහන්කෝ..

ඔන්න එහෙනං අපි ගියා..

ගුඩ් ලක්..

අනේ පල යන්න .. ගාලු කුමාරිය මිස් උනොත් ගුඩ් ලක් එකෙන් වැඩක් වෙන්නේ නෑ..


ඔන්න ඔය විදිහට තමා ගොඩයා අදාළ විභාගය පැවැත්වෙන ස්ථානය සොයාගෙන මන්ගච්චන්නේ.. මොකා කිව්වත් සිහිබුද්ධියෙන් ඇහුම්කන් දීලා ගන්න ඕන ටික ඔලුවට ගන්න පුරුද්ද නිසා ගොඩයා ජානකී දීපු අවවාදය අහකම නොදා විභාග ශාලාවට වෙලා පැයක් නින්දක් දාන්න හිත හදාගන්නවා. 

විභාග ශාලාවට ගියා කියමුකෝ.. ඒ විභාග ශාලාවේ ඒ වෙද්දීත් පට්ට සෙනගක් පෝලිමේ.. ඕන් ගොඩයත් සෙනග අස්සෙන් අමාරුවෙන් ඇදිල ගිහින් අදාළ අංකය තියන ඩෙස්කුව ළඟ තිබ්බ පුටුවෙන් වාඩි වෙනව.. ඔන්න ඊළඟට විභාගය ආරම්භ වෙන්න සීනුවකුත් වදිනවා . ඊට සමගාමීව ඉංගිරිසියෙන් මුද්‍රණය කරපු ප්‍රශ්න පත්‍රයක් ගොඩයා වෙත හිමි වෙනවා කියහන්කෝ . අතට අහුවෙන ඕනෑම කොලයක් කියවන්න පුළුවන් තත්වෙක සහ කියවන්න පුළුවන් භාෂාවකින් තියෙනවනම් කියවා බැලීමේ පුරුද්ද නිසාත් , ගාලු කුමාරියට පැය දෙකකට වඩා කාල වෙලාවක් තිබ්බ නිසාත්, නිදාගන්න නිදිමතක් නැති නිසාත්, කෝච්චියේ ආතල් පහට යන නින්ද වෙනුවෙන් නිදිමත සේව් කරගතයුතු නිසාත් ගොඩයා ඕනාවට එපාවට ප්‍රශ්න පත්‍රයට උත්තර ලියාගෙන යන්න තීරණය කරනවා අතින් පයින් මුකුත් වියදම් වෙන්නේ නැති නිසා. වැඩේ විනාඩි හතලිස් පහෙන් වගේ අහවරයි කියමුකෝ .   

උත්තර ලියලා ප්‍රශ්නපත්තරය විභාග ශාලාධිපතිට භාරදෙද්දී ඒ උත්තමයා ගොඩයා දිහා දාපු බැල්ම ඉතින් කියන්න ලියන්න විලි ලැජ්ජයි.  ඒ මොකද කියනවනම් උත්තර ලියන්න ලෝභ නැතුව පැය තුනක්  දීලා තියන ප්‍රශ්න පත්තරේ විනාඩි හතලිස් පහෙන් ලියල දෙනකොට ඒ විභාග අපේක්ෂකයාගේ දැනුමේ පරිමාව ගැන ප්‍රී ජජ්මන්ටල් එකකට එන්න ඔය විභාග සම්භන්ධ වැඩ රාජකාරි කරන ගුරු භවතුන් හෙන දක්ෂයිනේ. උන්දැ ගොඩයා දිහා බලන්නේ හරියට උන්දැගේ අඹේනියගේ ප්‍රශ්න පත්තරේ ගොඩයා බලෙන් අරං ලිව්ව ගානට. විභාගය අවසන් වෙන්න පැය දෙකකටත් වඩා වැඩි  කාලයක් තියෙද්දී ගොඩයා මරදාන දුම්රියපොළ පැත්තට යන බස් කොටේක එල්ලෙන්නේ යන්තම් ඒ මරාලෙන් ගැලවුනා දෙයියෝ කියල හිත හදාගෙන.

ටික කාලයක් ඔහොම ගතවෙද්දී ඔය ලිව්ව විභාගෙ ප්‍රතිපල එනවා කියමුකෝ . කොහේදෝ තියන කරුමෙකට ගොඩයාට දෙවැනි තැනට ලකුණු කියහන්කෝ. අන්න ඒ කරුමෙට ප්‍රතිපල විදිහට තමයි ජානකී ප්‍රමුඛ කාන්තා සෙට් එක ආයෙමත් ගොඩයාව අමා............රුවෙන් තල්ලු කරලා සම්මුඛ පරීක්ෂණයට යැවෙන්නේ. එදත් ඉතින් ගොඩයාගේ ට්‍රයි එක කලින් ගෙදර පනින්න තමා. සමහරවිට ජානකී ඇතුළු සහෝදර සේවිකාවන් හුඟ දෙනෙකුට තියෙන්න ඇත්තේ අමාරිස් වලපල්ලට යාමේ සහ ගොඩයා හිරේ යාමේ අවදානමෙන් මුදවන්න උවමනාව වෙන්ටෑ. අන්න ඒ මල වදේට ප්‍රතිපලයක් විදිහට තමයි ගොඩයා අර කලින් කිව්ව "හිනා" ඔප්ෂන් එක මැල්ෆන්ක්ශන් වෙච්ච  සහ සත්තුන්ට නොදී මිනිස්සුන්ට විතරක් දෙයියෝ දීපු ඔප්ෂන් වලින් භාගෙට භාගයක් වැඩ කරන්නේ නැති ඒ අසහාය ලොක්කා යටතේ වැඩ භාරගන්නේ.  ඉතින් එතැන් පටන් එලව එලවා පලදෙන්න පටනගත්තු හෙනහුරු එරාෂ්ඨකේ අවුරුදු පහක් ගොඩයාට පල දෙන්නේ ඔන්න ඔය කිව්වා ජානකී පෙරේරාට පින්සිද්ද වෙන්න තමා. කබලෙන් ලිපට වැටුනා උනත්  ඉඳලා හිටලා දුරකථනය හරහා ගොඩයාට කෝචෝක් පාරක් දාන්න ජානකී පෙරේරා අමතක කරෙත් නෑ. ඉතින් ඒ වගේ වෙලාවට ජානකී පෙරේරාට දුරකථනය හරහාම  පින් පෙත් දෙන්න ගොඩයා අමතක කලෙත් නෑ. දන්නවනේ ඉතින් දකුණේ එවුන් පින්දෙනකොට ආයේ ලෝස් නෑ සුද්ද සිංහලෙන් තමයි.. ඇයි යකඩෝ යසට කරගෙන හිටපු රස්සාවෙන් ඉහල තනතුරකට සහ වැඩි වැටුපකට තල්ලු කරා උනාට ගොඩයා ඒ වෙද්දී හිටියේ මහදැනමුත්තයි කේලම් කියන ගෝලයෝ රොත්තයි එක්ක හෙන ටොම් ඇන්ඩ් ජෙරී ගේමක් ගහගෙන. ඒත් ඉතින් වෙච්චි දේට එන්න සෙයියදු කියන්නහේ ගොඩයා එළියෙන් හෙන ගැම්මක් පෙන්නගෙන ගේම ඉල්ලගෙන හිටියට ඇතුලෙන් නම් හිටියේ මකුළුදැල වැඩ කරන්නේ නැතුව ගිය ස්පයිඩර් මෑන් ගානට වැටිලා.

හැබයි ඒ ජානකී පෙරේරා නැත්තම් අද වෙද්දී ගොඩයා මෙතන නෑ කියන එක අනිවාර්ය සත්‍යයක්... එහෙව් මිත්‍රයින්ට රෙස්පෙක්ට් කලයුතු නැද්ද හා... වැඩේ කියන්නේ අවුරුදු අටකින් වගේ ගොඩයා ජානකී පෙරේරාට කෝල් එකක්වත් දීල නෑ..  ගොඩයා හෙන ගුණමකුයි කියල හිතෙන්නේ නැද්ද හා  ???? 

ඊළඟ පෙරේරා ඊළඟ කොටසින්..



Wednesday, April 4, 2018

එහා ගෙදර ඩයින කොටේ 2







එහා ගෙදර ඩයින කොටේ 1


ඔන්න සාමාන්‍ය විදිහට අපේ මිත්‍රයා ඩයිනාව පාරට දාල දුවවනව. හැබැයි වැඩේ කෙරෙන්නේ අමුතුම තාලෙකට. මොකද ඒ වෙද්දී අපේ මිත්‍රයා රැකියාව කරේ වෙනත් බස් රථයක කොන්දොස්තර විදිහට. මෑන්ස්ගෙයි ගොඩයාගෙයි ගතිලක්ෂණ වලින් එකක්, ලඟින් ලඟින් සමපාත වෙන්නේ ඔන්න ඉතැනදී. මොකද කියනවනම් අපේ මිත්‍රයා බස් එකක් ගත්තා කියල සන්තෝසයෙන් ඔද වැඩිලා තමුන්ගේ රැකියාව අතැරලා තමුන්ගේ බස් රථයේ කොන්දොස්තරකම තමන්ගේ රැකියාව විදිහට තෝරාගත්තේ නෑ. එතැනදී මෑන්ස් හෙන බිස්නස් මයින්ඩඩ්. මෑන්ස් තමුන්ගේ බස් රථය පිටස්තර රියදුරෙකුට භාර දීල තමුන්ගේ මස්සිනා හෙවත් අක්කාගේ සැමියා එම බස්රථයේ කොන්දොස්තර බවට පත්කරනව. අන්න ඒ විදිහට තමුන්ගේ ව්‍යාපාරය වෙච්චි බස් ව්‍යාපාරය සුරක්ෂිත කිරීමත්, තමුන් එතෙක් කල කොන්දොස්තර රැකියාව සුරක්ෂිත කරගැනීමත්, අක්කාගේ සැමියාගේ රැකියා ප්‍රශ්නය විසඳීමත් එකම ගනුදෙනුවෙන් විසඳලා දමන්න සමත් වෙනවා අපේ මිත්‍රයා. ව්‍යාපාරයක් පටන්ගත්ත පමණින් එතෙක් කල රැකියාව අමතක කිරීම ගොඩයා අනුමත කරන්නේ නෑ. ගඟේ ගැඹුර මනින්නට කකුල් දෙකම දාන එක සෑහෙන්න අවදානම් කටයුත්තක්නේ.

ඔන්න ඔය විදිහට ඔය කිව්ව ඩයිනා කොටේ එංජිම ස්ටාර්ට් කරන සද්දේ අහලපහල හැමදෙනාගේම උදෑසන එලාර්ම් එක බවට පත්වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ කියමුකෝ. මොකද ඩයිනාව ස්ටාර්ට් කරාම එන සද්දෙට මළමිනියක් උනත් ඇහැරෙන්න තරම්. උදෑසනට අඬලන්න කුකුල්ලු නොහිටපු ගොඩයාගේ ගමේ උදෑසනට මිනිස්සු අවධි කරවන කුකුළු නාදය උනේ අපේ මිත්‍රයාගේ ඩයිනාවේ එන්ජිම පනගන්වන සද්දෙ. සද්ද-බද්ද අකුරු කරන්න අපේ යාන්හෑල්ලේ සුරංගයා තරම් ගොඩයා දක්ෂ නැති නිසා ඔය එන්ජිමේ ශබ්දය අකුරට නගන්න ගොඩයා වැඩි උත්සාහයක් ගන්නේ නෑ. සතියේ දවස්වලට ඩයිනාව උදේට ඇහැරගන්න පුංචි සහනයක් උනාට සති අන්තයේ දවස් වලදී ඉතින් ඩයිනාව මල ඇණයක්. ඒත් ඉතින් මක් කරන්නද ඌ අහල පහල එකානේ.

ඔන්න දවසක් කව්දෝ එකෙක් උදේ පාන්දරක ගොඩයාගේ නිදියහන් ගබඩාවේ ජනේලෙට තදින් තඩිබානවා. ඇයි යකඩෝ ගෙදරකට ආවනම් අර සා විසාලෙට පැහැදිලිව ප්‍රධාන දොරක් තියෙද්දීත්, ඒ ලඟින්ම විදුලි සීනුවකුත් පැහැදිලිව පේන්න තියෙද්දිත්, ඒ දෙකම පහුකරන් ඇවිත් ජනේලෙට තඩිබාන්නේ අහවල් එකටද. උදේ එලිය වැටෙන්නත් කලින් කව්ද යකෝ මේ නින්ද කන්න හදන්නේ කියලා අසූ හාරදාහට පැනපු මලත් එක්ක ඔන්න ගොඩයා ජනේලය ඇරලා බලනවා මොකාද බොල මේ කියල. බැලින්නම් අපේ අලුත් බස් ඕනර් ඉන්නවා ජනේලේ අයිනේ විරිත්තගෙන. 

මොකෝ බන් මේ පාන්දර..

බස් එක ස්ටාර්ට් නෑ බන්.. බැටරිය බැහැල..

ඉතින්.. දැන් ඕක මේ පාන්දර මට කියන්නද උඹ මගේ ආතල් නින්ද කැඩුවේ..

නෑ නෑ බං.. ෆස්ට් ටර්න් නොගැහුවොත් දවසම දුවන්න හම්බෙන්නේ නෑ.. වෑන් එකේ බැටරිය හයිකරලා ස්ටාර්ට් කරලා දියන්කෝ බස් එක ..

ඉතින් උඹේ බස් එක ඩබල් බැටරි නේද.. වෑන් එකේ එකේ බැටරිය බොට දීල මම වෑන් එක දුවවන්නේ අහවල් එකෙන්ද එතකොට..

ස්ටාර්ට් කරලා දුන්නනම් ඇති බන්.. ඊටපස්සේ දවසම ස්ටාර්ට් එකේ තියන් දුවන්න පුළුවන්..

ඉතින් ඕක ඩබල් බැටරිනේ.. තනි බැටරියෙන් පුළුවන් වෙයිද ..

පුළුවන් වෙයි බං.. මගේ එක බටරියයි අවුල්..

ඔන්න ඉතින් ගොඩයාගේ ආතල් නින්දත් අහවරයි. දැන් ගලවහන්කෝ බැටරි.. ගොඩයා නිදි මරගාතේ මිලිමීටර් දහයේ රින්ච් එකකුයි ටෝච් එකකුයි හොයාගෙන ඔන්න ගලවනවා වෑන් එකේ බැටරිය.. ඉන් පස්සේ මිත්‍රයාගේ බස් එකට බැටරියත් ගලවල වෑන් එකේ බැටරිය හයිකරලා මොටරේ ගැහුවාම ඔන්න යන්තම් බස් කොටේ ස්ටාර්ට්.. බස් කොටේ රස්සාව කරන ඩ්‍රයිවර් උන්නැහෙයි අරූගේ මස්සිනා කොන්දොස්තර උන්නැහෙයි හරියට නිකං පැත්තකට වෙලා බලන් ඉන්නේ  පැසෙන්ජර් එයාර්ලයින් එකක පයිලට්ලා ෆ්ලයිට් එක රෙඩි කරලා දෙනකම් ගැම්මට වාඩිවෙලා ඉන්නවා වගේ. උන් දෙන්න ඉන්න හැටි දැක්කාම තොපි හාමුලද කියල අහන්න හිතුනත්, මක් කරන්නද ඉතින් අහලපහල එකානේ කියලා ගොඩයා ඔන්නොහේ කටවහගෙන ආයෙත් බැටරිය කර තියාන ඇවිත් වෑන් එකේ හයිකරනව.

ඔය විදිහට දවස් ගතවෙන අල්ලපනල්ලේ ඩයිනා කොටේ එලාර්ම් එක වදින්නේ නැති දවස්වලට එලාර්ම් එක අයිති එකා ජනේලෙට තට්ටු කරලා ගොඩයාට එලාර්ම් එක ගහන එක පුරුද්දකට ගියා කියහන්කෝ. කොහොම වෙතත් ඩයිනාව තල්ලු කරලා ස්ටාර්ට් කරන්න උත්සහ කරලා අනතුරුව තමයි අපේ මිත්‍රයා දෙවැනි බැටරියක පිහිට පතන්න පුරුදු උනේ. ඔය බැටරි ගැලවිල්ලයි හයි කිරිල්ලයි හැමදාම උදේට කරන එක මල කරදරයක් නිසා ගොඩයා ජනේලේ බාගෙට ඇරලා වෑන් එකේ යතුර විතරක් දෙන තැනට අපේ මිත්‍රයාව පුරුදු පුහුණු කළා. එහෙම කරාම වැඩේ ටිකක් විතර ශේප්. මිත්‍රයා ඇවිත් ජනේලෙට තට්ටු කරන්නේ උගේ බැටරිය ගොඩයාගේ වෑන් එකේ හයිකරලා තියන ගානට උනාට එව්වා ගැන වැඩිය හිතන්නේ නැතුව ගොඩයා තනි ඇහෙන් ඇහැරිලා වෑන් එකේ යතුර භාගෙට ඇරපු ජනේලෙන් මිත්‍රයාට දෙනවා. ඒ දුන්නාම මිත්‍රයා බැටරිය ගලෝගෙන ගිහින් ඩයිනා කොටේ ස්ටාර්ට් කරලා ආයෙමත් බැටරිය ගෙනත් වෑන් එකට හයි කරලා යතුර වෑන් එකේ දොරේම තියල මාරුවෙනවා. හැබැයි ඉතින් එහෙම කරා කියල ගොඩයාට වැඩි වෙලාවක් නිදාගන්න ලැබෙන්නේ නෑ. මොකද කියනවනම් මිත්‍රයාගේ ඩයිනා කොටේ පණගන්වන සද්දෙට ගොයාගේ භාග නින්ද සම්පූර්නෙන්ම ඇහැරෙනවා. ආයේ ඉතින් මොන නින්දක්ද. ඩයිනාව ඩොග ඩොග ඩොග ගාගෙන පාරදිගේ ටවුම දිහාවට යද්දී පහුවෙන ගෙවල්වල සැපට නිදාගෙන ඉන්න එවුන් පිළිවෙලට අපේ මිත්‍රයාගේ මෑණියන්ගේ මෑණියන් අමතගෙන අවධිවෙන එක සාමාන්‍ය දෙයක් වෙන්න ඇති. මොකද ඔය ඩයිනා කොටේ ස්ටාර්ට් කරපු වෙලාවේ ඉඳන් ආයේ නවත්තනකම් ඉන්ජිමේ සද්දෙට වඩා ඇහුනේ කොහෙන්දෝ එන ඩොග ඩොග ගාන සද්දයක්. එක නිකං ට්‍රෝලර් යාත්‍රාවක් මුහුදු යන සද්දේ වගේමයි. ඩයින කොටේ අපේ මිත්‍රයාට වික්ක එකා බෝට්ටු එන්ජිමක් හයිකරලා වික්කාවත්ද කියලත් ගොඩයාට හිතෙනවා ඒ සද්දේ ඇහෙනකොට.

ඔන්න එක දවසක් සෙනසුරාදාවක උදේක පරණ පුරුදු විදිහට අපේ මිත්‍රයා ගොඩයාගේ නිදියහන් ගබඩාවේ ජනේලයට තඩි බානව. ගොඩයා පරණ පුරුදු විදිහටම මිත්‍රයාගේ දෙමාපියන් ප්‍රමුඛ ඥාති වරිගයා සිහිකරන ගමන්ම ඇඳේ ඉඳන්ම ජනේලය භාගෙට ඇරලා යතුර එලියට දානව. ඔය වැඩේ කොයිතරම් පුරුද්දට ගියාද කියනවනම් වෙන කව්රුහරි වාහන හොරෙක් ඇවිත් ජනේලෙට තට්ටු කරත් ගොඩයා මූණවත් බලන්නේ නැතුව වෑන් එකේ යතුර එලියට දාන්න පුරුදු වෙලා ඉවරයි.  මට මගේ නොවෙන මගේම බැටරියක් තිබුනා ගානට වෑන් එකේ බැටරියේ හිමිකාරිත්වය ගැනත් පොඩි කුකුසක් ගොඩයාගේ හිතේ ඇඳිලාත් ඉවරයි ඒ වෙද්දී. ඔන්න ගොඩයා යතුර එලියට දැම්මා කියමුකෝ. ඒත් මිත්‍රයා වෙනද වගේ යතුර ගන්නේ නෑ..

බැටරිය නෙවේ බන්.. පොඩි උදව්වක් කරහන්කෝ..

මොකක්.. ගොඩයා ඇඳේ ඉඳන් නින්දෙන්ම අහනව..

අනේ බන් බෑ නොකිය පොඩි උදව්වක් කරහන්..

කියහන් බන් උදේ පාන්දර වටේ යන්නේ නැතුව..

ඩ්‍රයිවර් ඇවිත් නෑ බන්.. බස් එක ස්ටෑන්ඩ් එකට ගෙනිහින් දියන්කෝ.. ෆස්ට් ටර්න් ගැහුවේ නැතිවුනොත් දවසම දුවන්න වෙන්නේ නෑ බන්.. ෆිනෑන්ස් හිරවෙනවා බන්.. අනේ බන් බෑ කියන්න එපා බන්.. අද පොළ දවස බන්..

ඉතින් යෝදයෝ මට බස් එලවන්න ලයිසන් නෑ..

මේක ස්ටෑන්ඩ් එකට ගෙනියන්න ලයිසන්ද ඕන නෑ බං.. මේ පාන්දර එලිය වැටෙන්නත් කලින් පොලීසියෙන් පාරේ නෑ බන්.. ඇල්ලුවොත් මං බලාගන්නම්.. අනේ බන් වඳින්නම් මේක ස්ටෑන්ඩ් එකට ගෙනිහින් දියකෝ.. 

එතකොට දැන් ස්ටෑන්ඩ් එකේ ඉඳන් මේක සෙනග පටෝගෙන යන්නේ නයිට් රයිඩර්ද ගොනෝ..

නෑ නෑ බන් ස්ටෑන්ඩ් එකෙන් ටෙම්පරි කව්රුහරි ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න පුළුවන් බන්.. අනේ බන් තව විනාඩි පහළොවයි තියෙන්නේ..

දැන් කියහන්කෝ ඉතින් මොකේද දන් වළඳන්නේ  කියල.. උදේ පාන්දරම මේ යෝදයා ඉල්ලන උදව්ව කරලත් බෑ නොකරත් බෑ..ඒ වගේම හදිසියකට, කරදරේකදී ෆුල්ටයිම් උදව්වට එන එකා නිසා ඉල්ලීම් අහක දාන්නත් බෑ. ඉර එලිය වැටීගෙන එන පාන්දර යාමේ උනත් ඉල්ලන්නේ බස් කොටේ ස්ටෑන්ඩ් එකට ගෙනිහින් දෙන්න කියලා නිසා බෑ  කියන්නත් බෑ. ඔන්න ඔය කියන කරුණු කාරනා සියල්ලක්ම කල්පනා කරලා අහවර වෙලා ඔන්න ගොඩයා තීරණය කරනවා බස් කොටේ ස්ටෑන්ඩ් එකට දක්කලා එන්න. ගොඩයා ඉන්නේ ලෝකයේ තියන එකම ඩුවෙල් ඒසී ඇඳුම නමින් හඳුන්වන සරොමක් ඇඳගෙන උනත් විනාඩි දහයක වැඩක් නිසා ගොඩයා කමීසයක් විතරක් දාගෙන අමුවෙන්ම එලියට බහිනවා උදේ පාන්දර නිදි ඇඳටම කඩාන පහත්වෙච්චි මරාලේ ටවුමට ඇරලලා එන්න. වැඩේ කියන්නේ ගොඩයා ජංගමය සහ පසුම්බිය ගන්න අමතක කරන්නේ නෑ  කෝකටත් කියලා ප්ලෑන් බී එකක් තියෙන්න ඕන නිසා. ඇයි හත් ඉලව්වේ හදිසියෙවත් පොලෝසියෙන් අල්ලගත්තොත් පෙන්නන්න සැහැල්ලු වාහන ලයිසමවත් තියෙන්න ඕනනේ. ඒ වගේම සැහැල්ලු වාහන ලැයිසමෙන් බස් කොටයක් එළවලා පොලෝසියට කුදලාගෙන ගියොත් දන්නා කියන එකෙකුටවත් කෝල් එකක් දීල ඇපයක් තියාගන්න පිහිටට තියෙන්නේ  ජංගම දුරකථනය විතරයි. ඒ වගේම කට්ට පාන්දර නිසා ගොඩයා ගෙදරින් පිටවෙන්නේ ගෙදර ඉස්සරහ දොරත් එළියෙන් වහගෙන. දොර ඇතුලෙන් වහගන්න නිවසේ සාමාජිකයෙක් අවදි කිරීම යනු තවත් ප්‍රශ්න දහදාහකට විතර උත්තර දෙන්න වෙන භාරදූර කටයුත්තක්නේ..

ඔන්න ගොඩයා බස් කොටේ ටවුමට එළවන් යනවා කියමුකෝ. කිව්වට දුකේ බෑ බස් එකක් කිව්වට ඒක පතෝලා මැස්සකින් වෙනස් වෙන්නේ එන්ජිමක් හයිකරපු එකයි, රෝද හතරක් හයිකරපු එකයි විතරයි. කලින් කොටසේ විස්තර කල ආකාරයෙන් ඉදිරිපස ඩෑෂ් බෝර්ඩ් එකේ කෑලි ටික බල්ලො කාලා හා සමානයි. කළුවරේ යනකොට පාර බලාගන්න තියන හෙඩ් ලැයිට් දෙක වදින්නේ හඳට. බස් කොටේ පාරේ සෙනග අදිනවට වඩා ගානක් හොයන්න තිබ්බ ඉලෙක්රිසිටි බෝර්ඩ් එකට රෙන්ට් එකට දුන්නනම්. මොකද කියනවනම් ඒ බස් එකෙන් ගිහින් රෑට ලැයිට් හදන්න හෙන ලේසියි. හේතුව හෙඩ් ලයිට් ඔක්කොම වදින්නේ ලැයිට් කණුවල මුදුනට නිසා. සිග්නල් ලැයිට් දාන්න තියෙන්නේ ගෙවල්වල බිත්තියේ හයිකරන ස්විච් දෙකක්. ඒ කියන්නේ ඩබල් සිග්නල් හෙවත් හසාර්ඩ් එක දානවනම් ඔය බිත්ති ස්විච් දෙකම පහතට දැම්මාම සිග්නල් ලැයිට් හතර පත්තු වෙලාම හිටිනවා. බස්කොටේ එළවන් ටවුම දිහාවට යද්දී ගොඩයාට හිතෙන්නේ ජර්මන් කාරයයි ජපනයි අවුරුදු ගණන් පරීක්ෂණ පවත්වලා හොයාගන්න දේවල් එක විනාඩියෙන් ලංකාවේ මකබාස්ලා හොයාගන්නවා නේදෝ කියන එක. වාහනේ යන වේගය බලාගන්න සහ අනෙකුත් උපකරණ ගැන දත්ත ලබාගන්න තියෙන මීටර් ටිකේ ලයිට් තියා කටු ටිකවත් නෑ. 

රියදුරු ආසනේ වර්ණනාව ඊට එහා කියමුකෝ. බස් කොටේ හයිකරලා තියෙන්නේ කාර් සීට් එකක්. ෂපාන් එකට නින්දක් දාන්න නම් කියාපු භාන්ඩෙ උනාට ඒකෙ වාඩිවෙලා කරන්න අමාරුම කටයුත්ත තමයි බස් කොටේ එලවන එක. ඔය කියන සීට් එකේ වාඩිවෙලා හොඳට හේත්තු උනාම හඳ බලන්න වෙනම විසේසයෙන් උඩ බලන්න ඕනේ නෑ. එකත් එකටම අර කලින් කිව්ව හෙඩ් ලයිට් දෙකත් ඉලක්ක කරලා තියෙන්නෙත් උඩට වෙච්චි එකේ, රියදුරු ආසනෙත් හයිකරලා තියෙන්නේ උඩබලාගෙන වාඩිවෙලා ඉන්න වෙච්චි එකේ බස් කොටේ කලින් අයිතිකාරයා දිව්වේ බ්‍රහස්පතී සෙනසුරු හරහා නෙප්චූන් ප්ලූටෝ වගේ රූට් එකක්දැයි කියලත් ගොඩයට සැක නොහිතුනාම නෙවෙයි. ඒ සීට් එකේ වාඩිවෙලා ක්ලච් එක පාගනවා කියන්නේ ඇල දිවත් ඇම්මැට්ටි වෙන සීන් කෝන් එකක්. 

ඔය ක්ලච් එක තියන උපකරෙනෙට අපේ බබා කිව්වේ හච් එක කියල. බබා වාහනේ යටට ගිහිල්ල හච් එක පාගපන් කිව්වම අපි දැනගන්න ඕන ක්ලච් එක පාගන්න. බබා කිව්වට වරදවා වටහාගන්න කාරී නෑ. බබා කිව්වේ හොඳ දැනුමක් තියෙන ඔටෝමොබයිල් ටෙක්නිශියන් කෙනෙක්. සිංහලෙන් කියනවනම් ඕනම රෑක බෑ නොකියා වාහනේ හදල දෙන හිත හොඳ ගරාජ් බාස් කෙනෙක්. බබා ගැනත් ලියන්න විශේෂ බ්ලොග් පොස්ට් එකක් තියෙන නිසා   බබා ගැන විස්තර වෙනමම බ්ලොග් පොස්ටුවකින් කියන්න තමයි ගොඩයා හිතුවේ. 

ඔන්න ඉතින් බස් කොටේ ක්ලච් එක දිව විකාගෙන පාගගත්තා කියමුකෝ. දැන් දාපන්කෝ ගියර්.. කෝ ඉතින් දාන්න ගියර් ??? ගියර් තියෙනව උනාට එව්වා එහෙම හොයන්න ලේසි නෑ.. කාස්ටක පොළොවක ඉන්නක් හිටවන්න යකඩ ඉන්නෙන් හිලක් හාරනවා වගේ ගියර් පොල්ල වටේ කරකවලා කරකවලා තමයි අදාළ ගියර් එක හොයාගන්න ඕන. මොකද කියනවනම් අදාළ ගියර් එක හොයාලා දාගන්න එක ශනිදා වාසනාව ජයමල්ල ඇදෙන චෑන්ස් එකටත් වඩා  සිය දහස් ගුනේක විරල චෑන්ස් එකක්.  දෙවැනි ගියර් එකේ පිකප් කරලා තුන්වෙනි ගියර් එක හොයල තුනට දාගන්නකොට ආයේ බස් කොටේ පලවෙනි ගියර් එකට දාන්න වෙන තරම් ස්ලෝ වෙලා. ආයේ ඉතින් මුල හිටං ගියර් හොයාගෙන තමයි ගමන පටන් ගැනීම. වැඩේ කියන්නේ ඔය ගියර් හෙවිල්ලයි දත විකාගෙන ක්ලච් පෑගිල්ලයි ඇරුනාම ඊළගට තියන ලොකුම අභියෝගය තමයි බස් කොටේ කෙලින් අතට පාරේ ධාවනය කිරීම. මොකද කියනවනම් ස්ටියරින් සිස්ටම් එක ෆුල් අවුල් සහගතයි. අවුල් සගතයි කිව්වට පොඩ්ඩක් හෙම නෙවෙයි වටයක් විතර ප්ලේ.. ඉතින් දැන් මේක කියවන සමහරක් උදවිය බලයි මොකක්ද යකඩෝ ස්ටියරින් ප්ලේ කියන්නේ කියල. එව්වා දන්නෙ ඉතින් පරණ පවර් ස්ටියරින් නැති වාහන එලවපු අය විතරයි. ඒ කියන්නේ ස්ටියරින් වීල් එක සම්පූර්ණ වටයක් කැරකුවාම තමයි වාහනේ ඉස්සරහ රෝද අදාළ දිශාවට හැරෙන්න පටා......න් ගන්නේ. ඒ ස්ටියරින් වටයම කැරකෙන්නෙ නිකං. අන්න ඒ ස්ටියරින් වටය තමා දරුණුම කෑල්ල. මොකද කියනවනම් බස් කොටේ ඉස්සරහට යද්දී බ්‍රේක් පෑගුවාම බස් කොටේ යන්න තනන්නේ ඌට ඕන දිහාවට. අන්න එතකොට තමයි හැරෙන දිහාවට විරුද්ද දිහාවට ප්ලේ වටේ කරකෝලා බස් කොටේ කැලේ පනින එක නවත්තගන්න ඕන. ගොඩයා පරණ චින් චින් ඩෙලිකා එලෝලා තියෙන නිසා ස්ටියරින් ප්ලේ එකනම් ගොඩයට වැඩි ගානක් නෑ. ඒත් ඉතින් රොකට් එකක හඳට යන්න වාඩිවෙලා ඉන්නැහේ උඩ බලාගෙන ඉඳගෙන ඔය සෙල්ලම් ඔක්කොම කරගෙන ඩයිනා කොටේ ලයිට් කණුවල හප්පන්නේ නැතුව  පාරේ අරං යනවා කියන්නේ ඒ රියදුරා  සුපිරි සර්කස් කාරයෙක් වෙන්න ඕනෙමයි. වෙනත් විදිහකින් කියනවනම් ඩයිනා කොටේ පර්මනන්ට් එලවන ඩ්‍රයිවර් සර්කස් පැසිෆියා එකෙන් ජොබ් එකක් ඉල්ලුවොත් ඉන්ටව් නැතුවම ජොබ් එක සුවර්.

බස් කොටේ විස්තරේ දිග වැඩිවුනාද මන්ද.. ඒත් ඉතින් ඒ වගේ අති අනර්ඝ ලෝකෙටම එකයි වර්ගයේ බස් කොටයක් ගැන විස්තරේ නොලියා ඉන්න එක ඒ බස් කොටේට කරන අසාධාරණයක් කියලයි ගොඩයාගේ මතය. ඔන්න ගොඩයා නැගිට්ට පැදුරෙන් ඇඳන් හිටපු සරොම පිටින්ම ඩයින කොටේ ගෙනල්ල ස්ටෑන්ඩ් එකේ කිව් එකේ ගැහුවා කියහන්කෝ. ගැහුවා විතරයි මෙන්න බොලේ දහ පාලොස් දෙනෙක් බස් එකට ගොඩ වෙලත් ඉවරයි හට්ටි මුට්ටි පලා මිටි ප්ලාස්ටි බඩු වගේ අඩුම කුඩුම ගෝනි ගණනකුත් එක්ක. බැලුවාම බස් කොටේ දුවන පාරේ එදා පොලක්ලු. පොලේ බඩු විකුණන උදවිය එදාට උදෙන්ම පොලට යන්නේ මේ බස් එකේලු. වැඩේ තියන සෝචනීයම තත්වය කියන්නේ පොලේ බඩු විකුණන උන්දෑලා ඔක්කොම බඩු ගොඩ ගහල තියෙන්නේ ඩ්‍රයිවින් සීට් එකට පිටිපස්සේ තියෙන සීට් දෙක අතරේ. ඒ කියන්නේ ගොඩයාට මගීන් නගින බහින දොරෙන් එලියට පැනගන්න ඇක්සස්  නෑ. ඉතින් දැන් මේ බස්කොටේ වර්ගය දන්න කියන උදවිය අහයි ඇයි යකෝ ඩ්‍රයිවර්ගේ දොර ඇරගෙන බහින්න පුළුවන්නේ කියල. වැඩේ කියන්නේ ඒ බස් කොටේ එහෙම දොරක් තිබුනට ඒක මගේ නොවෙන මගේම දොරක් තිබුනා කියන ගානට පරණ සරොමකින් හොඳට වෙලලා එළියෙන් ගැටගහලා කියහන්කෝ. දැන් ගොඩයා දනිපනියේ දඟලන්නේ බස් කොටෙන් එලියට පැනගෙන ත්‍රී වීල් කට්ටක නැගල ගෙදර දුවන්න. ඉතින් කියහන්කෝ කොහොමද දැන් එහෙම දුවන්නේ කියල. මෙන්න යකඩෝ අපේ මිත්‍රයා ඩ්‍රයිවර් දොරේ ජනේලය ගාවට ඇවිත් නාහෙන් අඬනව..

ඔය සරොන් ගැටේ එළියෙන් ලිහල දොර ඇරපන් බූරුවෝ මට ගෙදර යන්න ඕන....

අනේ බුදු මහත්තයෝ ඩයිවර් කෙනෙක් හොයාගන්න නෑ.. මං මොකෙක්හරි හොයල තියනකන් ෆස්ට් ටර්න් එක ගිහින් වරෙන්කො..

මොකක් ??? බොට අමු කැවිලද මනුස්සයෝ.. මට ලයිසන් ඇත්තෙත් නෑ මේක එලවන්න.. මට වැඩ දාහක් තියෙනවා  අද කරන්න.. උඹ මේ භූත කියෝනවද උදේ පාන්දර.. මං මූණ හෝදලත් නෑ..

අනේ බං එහෙම කරන්න එපා බන්..

පිස්සු නැතුව ඔන්න ඔය ගැටේ ලිහල දොර ඇරපන් බූරුවෝ..

අනේ බං එක ටර්න් එකයි ... පැය දෙකයි යන්නේ ගිහින් එන්න.. මේක නොගියොත් ෆිනෑන්ස් එක ගෙවන්න විදියක් නැතිවෙනවා බං.. අද පොළ දවසේ තමයි කීයක් හරි වැඩියෙන් හම්බෙන දවස.. අනේ බං බෑ කියන්න එපා බං.. එක ටර්න් එකක් ගිහින් වරෙන්.. මම ඩයිවර් කෙනෙක් හොයල තියන්නම්..පීස් බං..

ඉතින් කියහන්කෝ දැන් මේ අවනඩුව කියන්නේ කාටද කියල.. ගොඩයා ආවේ විනාඩි දහයක වැඩකට. ඒ වගේම උදේ නැගිට්ට පැදුරෙන්.  ඒ වගේම ගෙදර මොකෙක්වත් දන්නේ නෑ ගොඩයා කොහේ ගියාද කියනේක.. දරුණුම කාරණේ ගෙදර ඉස්සරහ දොරේ යතුර ගොඩයාගේ  සාක්කුවේ. සාක්කුවේ කිව්වට කමීස සාක්කුවේ .. ඇඳන් ඉන්නේ සරම නිසා සරමේ සාක්කු නෑනේ.. නිදි පැදුරෙන් සරමෙන් එලියට බැස්සා කියන්නේ ඉතින් වැඩි විශේෂණ කියන්න ඕනේ නෑනේ.. ඒත් ඉතින් අමාරුවෙන් ජීවිතේ ගොඩදාගන්න දඟලන අහලපහල එකාට බෑ කියන්න බැරි වීම සහ මිනිස්සු ගැන හිත උණුවෙන දුර්වලකම අවාසියට හිටියේ ගොඩයාටම තමා..

ඕයි ඩයිවර් උන්නැහේ.. අපිට පොලට යන්න පරක්කු වෙන්ව.. අද්දනවා ඕයි ඕක.. දැන් විනාඩි පහළොවකට වඩා පරක්කුයි... කාලකන්නි..

ඉතින් කියහන්කෝ මෙව්වා හදපු වඩපු දෙමාපියොන්ට ඇහුනොත් අමුඩයක් ගස්සලා ඉස්සරහ තියන කොහොඹ ගහේ ගැටගහල  දිමිගොට්ටක් ඇඟට දාලා කසේකින් තලනවා සුවර්. බස් රථයක කෝච්චියක එක මගියෙක් යුද්ධය ප්‍රකාශ කිරීම යනු අනෙකුත් මගීන් ෆෝම් වෙනහැටි මේක කියවන උදවියට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. හැබැයි ඉතින් වාසියට තියෙන්නේ ඔක්කොමලා දෙස් දෙවොල් තියන්නේ සහ බනින්නේ එකපාරට නිසා එකෙක්වත් කියන දේවල් හරියට පැහැදිලිව ඇහෙන්නේ නැතිවීම. එතෙක් දවස් ගොඩයාට තිබ්බ එක ප්‍රශ්නයක් අන්න ඒ වෙලාවේ විසඳුනා කියමුකෝ. ඒ මොකද්ද කියනවනම් බස් ඩ්‍රයිවර්ලාට මිනිස්සු කොයිතරම් බැන්නත් බීරි අලියට වීනා ගහන්නැහේ ඉන්නේ ඔන්න ඔය කාරනාව නිසා. කට්ටියක් එක්කලා කෑගහනවා උනාට එකෙක්වත් කියන දේවල් වගේම වැහි නැති හෙන ඉල්ලන කතා එකක්වත් ඔය තත්වය උඩ පැහැදිලිව ඇහෙන්නේ නෑ. මොකද මගීන් ඔක්කොමලා කච කචේ දාන්නේ සාමුහුකව නිසා. මෙව්වා කියන්නේ අත්දැකීමෙන්..

ඔන්න ගොඩයා ඔලුව දානවා ඩ්‍රයිවර් දොරෙන් එලියට..

මං උඹට උදව්වක් විදිහට ෆස්ට් ටර්න් එකද මොකක්ද එක ගිහින් එන්නං.. හැබැයි පුතෝ මං එනකොට තෝ ඩ්‍රයිවර් කෙනෙක් හොයලා නොතිබ්බොත් මං තෝව හමගහනවා දැනගනින්..

ටැංකිව් ටැංකිව් මචං.. සුවර් එකටම මං ඩයිවර් කෙනෙක් හොයල තියනවා උඹ එද්දී..

ඔන්න ගොඩයා සෙනගත් පටෝගෙන තමුන්ගේ මංගල බස් ගමන පිටත් වෙනව දෙයියනේ කියල අරූගේ මවු දෙමවුපියන් ප්‍රමුඛ ඥාති වරිගයාටම හිතෙන් පින්දෙන ගමන්. වෙච්ච අලකලංචිය හිතෙන අමතක කරලා ඔන්න දැන් ගොඩයා උත්සහ කරන්නේ හැකි ඉක්මනින් ගමනාන්තයට ගිහින් ආපහු ඇවිත් මේ මරාලෙන් එලියට පනින්න. ඒ නිසා රොකට් සීට්, අප්සෙට් ගියර්, ප්ලේ ස්ටියරින්, බිත්ති ස්විච් සිග්නල් ලයිට් ඔක්කොම අමතක කරලා බස් රාජයා හැටට හැටේ පාගනවා. මෙන්න බොලේ අසල්වැසි මිත්‍රයාගේ මස්සිනා වෙච්චි කොන්දොස්තර උන්නැහේ අර ගෝනි කන්දරාව අස්සෙන් ඇදිල ඇවිත් කනට කරලා රහසක් කියනව..

කන්දෙගොඩ  රේල් ගේට්ටුව ගාවට යන්න විනාඩි දහයක්  ගන්න ඕන..

මොකක්..

හයියෙන් ගියාම ටයිම් කැපෙනව.. ඉස්සරහ යන බස් හෝල්ට් පහුකරලා විනාඩි දහයක් වගේ ගියාම තමයි ආයෙත් හෝල්ට් වල මිනිස්සු පිරෙන්නේ.. 

කොහොමද හත් ඉලව්වේ උදේ පාන්දර හෝදලා දාල වගේ පාලුවෙලා තියෙන පාරේ එහෙම බඩ ගාන්නේ.. දැන් මූ කියන්නේ සීයට විතර යන්න පුළුවන් පාරේ විස්සට යන්න කියල වගේ කතාවක්. ඔන්න එතකොට ගොඩයාගෙ මොලේට වැටහෙනවා අර සා සෙනග කන්දරාවක් රියදුරාගේ වැදූ මෑණියන්ට සහ මෑණියන්ගේ මෑණියන්ටත් දෙස් දෙවොල් තියද්දි එකසිය පනස්පහ ඉබන්වල හන්දියේ විනාඩි දහයක් පහළොවක් ලගා ගහන්නේ මේ හේතුව නිසා වෙන්ටෑ කියල. ගොඩයටත් ඉතින් බස් කොටේ එලවන්න පුළුවන් උනාට කවදා ප්‍රයිවෙට් බස් එලෝලද කියහන්කෝ. ඊළඟ ප්‍රශ්නය නම් අරූ හෝල්ට් බහිනවා කීවාම කොතනද නවත්තන්නේ කියන එක. ඇයි යකඩෝ මේ වට වන්දනාවක් යනවා වගේ අතුරු පාරවල් පනහකින් විතර දාගෙන යන රූට් එකේ හෝල්ට් තියෙන්නේ කොතනද කියල ගොඩයා කොහොමෙයි දන්නේ. කොන්දා නොහොත් මිත්‍රයාගේ මස්සිනා හෝල්ට් බහිනවා කිව්වාම ගොඩයත් ඉතින් හෙන පළපුරුදු බස් ඩ්‍රයිවර් කෙනෙක් වගේ ටික දුරක් ගිහින් බස් කොටේ නවත්තනවා. උදේ පාන්දර නිසා බහින එවුන් ඉන්නේ එකයි දෙකයි. ඔක්කොම පොලේ යන මිනිස්සු තමා නගින්නේ. ගොඩයා ඉතින් උදේ පාන්දරම සුපිරියටම ඉල්ලගෙන කාපු පරිප්පුවේ සන්තෝසෙන්, බස් කොටේ එලවාගෙන යනවා වෙච්චි දේට එන්න සෙයියදු කියල හිතාගෙන. 

ඔන්න කොහොමින් කොහොමහරි ගොඩයා අදාළ ගමනාන්තයට ගිහින් මගීන් බස්සලා ආපහු එනවා කියමුකෝ පළමු ගමනාන්තයට. දැන් ගොඩයා එන්නේ බලාපොරොත්තු දල්වාගෙන. යාන්තම් මේ යකඩ මරාලෙන් බේරෙන්න ලැබෙනවා කියන සන්තෝසය රටක් රාජ්ජයක් ලැබුනා හා සමානයි. ඒත් කියන්නේ ගොඩයාගේ ඩ්‍රයිවින්වල ටයිමින් අවුල් නිසා බස් කොටේ ආපහු පළමු ගමනාන්තය වෙත පැමිණෙද්දී ආයෙමත් බස්කොටේ පරක්කුයි. හේතුව කියනවනම් අහවල් තැන හිටං අහවල් තැනට විනාඩි පහළොවක් යන්න ඕන.. එතන හිටං අතනට විනාඩි හතෙන් යන්න ඕන.. හෝල්ට් එකක නවත්තගෙන බුලත් විටක් ඒදන්න වගේ ඉඳගෙන කාලය අනුභව කරන්න ඕන .. ඉස්සරහ බස් එකක් යනවනම් සමහරක් හෝල්ට්වල නවත්තල ආයෙම අදිද්දී පලවෙනි ගියර් එකට දාන්න ක්ලච් එක පාගලා විනාඩියක් විතර හිතන්න ඕන ගියර් එක දානවද නැද්ද?.. ඔන්න ඔහේ දානවා එක්කෝ ඕනනෑ  වගේ .. ඒ ඉඳලා කම්මැලි කමෙන් වගේ ගියර් පොල්ල හොයාගෙන ගියර් එකත් හොයාගෙන වැඩි ආයාසයක් නොගෙන අතේ බරට ගියර් එක දාන්න ඕන. ඒ දාලා බස් කොටේ ඉස්සරහට යනකොට ඊළඟ ගියර් එක දාද්දි කල්පනා කරන්න ඕන නීල් ආම්ස්ට්‍රොංග් හඳට බහිද්දී වස්කෝදගාමයි, කොලොම්බසුයි දෙන්නා හඳේ කිතුල් ගහක් මුල හූල්ල හූල්ල උඩ බලන් ඉද්දි ආම්ස්ට්‍රොංග් වොයේජර්  එකෙන් බැහැල ඇවිත් අරුන් දෙන්නට ගල් බෝතලයක් තෑගී කරනවා වගේ එලෝ මෙලෝ පැටලෙන කතාවක්. එතකොට තමයි ඊළඟ ගියර් එක ඕනවට එපාවට ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් දොහ්... ගාගෙන වැටෙන්නේ.. ඒ විදිහට කාලය කාගෙන යන බස් ගමනක් ඔය කියන ටයිමින් වලට හරි විනාඩියට යන එක පී එච් ඩී එකක් කරනවට වඩා හෙන අමාරු ගේමක් නිසා ගොඩයා ආයෙමත් අම්බලංගොඩ ස්ටෑන්ඩ් එකට එද්දී ඊළඟ ටර්න් එක යන වෙලාව පහුවෙලා විනාඩි විස්සක් වගේලු. 

ගොඩයා බස් කොටේ කිව් එකේ ගැහුවා කියමුකෝ.. දැන් ගොඩයා හොයන්නේ මේ මරාලේ පටලපු එකා සහ ඌ විසින් හොයාගෙන එනවා කියපු ඩ්‍රයිවර් උන්නැහේ.. වැඩේ කියන්නේ ඌ පැත්ත පලාතක පේන්න නෑ කියහන්කෝ.. ඔන්න ගොඩයා ජංගමය අරං අමතනවා මිත්‍රයාගේ ෆෝන් එකට..ම්හ්.. ආන්සර් නෑ... ඉතින් කියහන්කෝ බස් ඔනර්ගේ මෑණියන්ට අමතලා විතරක් හිත සැනසෙයිද කියල..

ඕයි ඩ්‍රයිවර් මහත්තයා.. අපිට පරක්කුයි.. යනවා ඕයි.. මගුලක් හොයනවද ඕයි ඔලුව එළිය දාගෙන.. 

දැන් ඉතින් මේක කියවන එවුන් අහයි ඇයි යකෝ බස් එකෙන් බිමට පැනගත්තේ නැත්තේ කියල.. කොහේ පනින්නද දෙයියෝ ආයෙම එද්දී විනාඩි විස්සක් පරක්කු නිසා බස් ස්ටෑන්ඩ් එකේ සෙනග පිරීල පොලේ යන්න. බස් කොටේ ස්ටෑන්ඩ් එකේ ගැහුවා විතරයි හැමදාමත් අසාධාරණයට ලක්වෙනවායයි කියන බස් මගීන් බස් එකට නගින්නේ සෝමාලියාවට පාන් නැවක් ආව වගේ. එළියෙන් ගැටගහල තියෙන දොර අරින්න විදිහකුත් නෑ. ජනේලෙන් පැනගන්න විදිහක් තිබ්බනම් නොපැන ඉන්නෙත් නෑ ඒත් පනිද්දී සරොන් රාජයා කොහෙහරි පටලුනොත් ඔලුව පල්ලෙහාට උපන් ඇඳුමෙන් දෙනෝදාහක් ඉස්සරහ බස් ස්ටෑන්ඩ් එක මැද දබෝක්.. ඉතින් ඒ චෑන්ස් එක ගන්නවා කියන්නේ බොහොම අවදානම් කටයුත්තක් නෙව..

දැන් කියමුකෝ ගොඩයා බස් කොටෙන් බැස්සද කියල.. නෑ පිංවතුනි.. සිරි ලංකා ඉතිහාසයටම මගීන්ගෙන් අසාධාරණයට ලක්වෙච්ච එකම ප්‍රයිවෙට් බස් රියදුරා අම්බලන්ගොඩයා තමා.. ගොඩයා ගමනාන්ත දෙකටම පරක්කුයි.. ඉතින් සෝමාලියාවට පාන් නැව ආවා හා සමානයි.. බස් කොටේ ඇතුලේ ඉන්න එවුන් බහින්නත් කලින් එළියේ ඉන්න එවුන් ඇතුලේ.. ඒ වගේද හට්ටි, මුට්ටි  වලන්, ඇතිලි, එළවලු, පලතුරු, ප්ලාස්ටි බේසම් ඇතුළු පොලවල්වල විකුණන නානාප්‍රකාර බඩු භාණ්ඩ ගොඩයාගේ බෙල්ල ගාවට පැක්. ඒ වගේද දෙයියෝ උදේ පාන්දර ගොඩයා ඉස්සරහ දොරේ යතුරත් අරං අතුරුදහන් වෙච්චි පුරස්නෙට ගෙදරින් එන කෝල්.. එව්වට ඉතින් උත්තර දීලත් බෑ.. නොදීත් බෑ.. මොකෝ මං මේ අහවලාගේ බස් එකේ වැඩ කියන්නද .. ඇත්ත කියලා බත් කාර්ඩ් එක කැන්සල් කරගන්නත් බෑ.. බොරු කියලා සැකයට භාජනය වෙන්නත් බෑ. ඇයි යකෝ ගෙදර කාමරේ නිදාගෙන හිටපු එකා පාන්දර කාටවත් නොකියා දොරේ යතුරත් අරගෙන පැදුරටත් හොරා මාරුවීම සෑහෙන්න සැකයට තුඩුදෙන කාරනාවක් නෙව. ඉතින් ගොඩයා කට එන බොරු දාහක්  අමාරුවෙන් ගොතලා කියනව.. යාලුවෙකුගේ වාහනයක් කැඩිලා හදිසියේ පාන්දර ගරාජ් එකකට එන්නවුනා කිව්වට ගෙදර උදවිය සියයට පනහක් වගේ විශ්වාසයට ගත්තත් වාහනේ නැතුව මූ පයින් ගියා කියන එක ගෙදර එවුන් විස්වාසේට ගන්නේ නෑ. මොකද කියනවනම් ගොඩයා පයින් යන්න හෙන හොර ගෙඩියා වග ගෙදර එවුන් තරම් මේ ලෝකේ වෙන කව්රුවත් දන්නේ නෑ. 

බස් කොටෙන් බහින්න ඕන උනාම උන් කියන්නේ ඩ්‍රයිවර් මහත්තයෝ අපිව ඔය මාලනියලාගේ ගෙවල් ගාවින් දාල යන්නෝ.. වගේ කතා.. ඉතිං හත් ඉලව්වේ ගොඩයා දන්නේ කොහොමද ඔය මාලනියලා ගාමිනියලා කොහේ ඉන්නවද කියල.. ඉතින් ගොඩයා ඔහේ ටික දුරක් ගිහින් හිතිච්ච තැන නවත්තනවා.. ආයේ දෙකක් නෑ එක්කෝ මාලනියලාගේ ගෙවල් පහුවෙලා.. නැත්තම් තව ඉස්සරහ.. ඉතින් බහින බහින උදවිය ගොඩයාට කට පුරා ස්තුති කරනවා ඇහෙනවා,  ඒ උනත් එව්වා පැහැදිලිව ඇහෙන්නේ නැති වෙන්න ගොඩයා ඩයින කොටේ එන්ජිම රේස් කරනව.. ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලාටයි කොන්දොස්තරලාටයි ජනී ජනයා ස්තුති කරන වදන් මාලා ඉතින් මෙලෝ වසනා පැන තියෙන සත්වයෙකුට අහං ඉන්න පුළුවන් එව්වා නෙවෙයිනේ..

කොහොම හරි මේ මරාලෙන් ගැලවෙන්න විදිහක් කල්පනා කරද්දී ඔන්න ගොඩයාගේ ඔලුවට එනවා මසුරන් අදහසක්. ඒ ඉතින් වෙන කව්රුවත් නෙවෙයි කෝකටත් තෛලය  වගේ ඉන්න අපේ සමා.. මේ කියන වකවානුවේ සමා හිටියේ විදේශගතවෙලා උනාට බස් මරාලේ ගොඩයාගේ ඔලුව උඩට පහත් වෙච්චි මාසයේ ගොඩයාගේ වාසනාවට සමා ලංකාවට වැකේෂන් ඇවිත්. ඉතින් දෙයියෝ යාලුවෙක් උනාම යාලුවෙක් අමාරුවේ වැටුනාම උදව්වක් කරාම මක් වෙනවද කියල ගොඩයා ගහනවා ස්මාට කෝල් එකක්..

හෙලෝ..

සමෝ උඹ කොහෙද..

ගෙදර..

එහෙනම් ඉක්මනට ත්‍රීවීල් එකක් අරං බස් ස්ටෑන්ඩ් එකට වරෙන්කො..

කොහේ යන්නද .. 

උඹට යන අහ වැඩක් නෑනේ.. ඉක්මනට වරෙන්.. 

ගොඩයා එහෙම කියන්නේ අම්බලන්ගොඩ දිහාවට බස් කොටේ ධාවනය කරන ගමන්..

කොහේ යන්නද කියපන්කො.. හවස වැදගත් වැඩකුත් තියෙනව බන්..

සමාගේ දැන් වයිෆ් ඒ කාලේ වෙන්ඩ වයිෆ් නිසා ඉතින් හවස් අතේ මූට ඒ කාලේ හෙන වැදගත් වැඩ .. 

හරි බන් උඹ වරෙන්කො.. ආවම කියන්නම්... ස්ටෑන්ඩ් එකේ අහවල් හෝල්ට් එක ගාවට වරෙන්..

මොකක්.. එතෙන්ට උඹට වාහනෙන් එන්න බැහැනේ..

උඹට ඒක වැඩක් නෑනේ.. තව විනාඩි විස්සක් යන්න කලින් මං කිව්ව තැනට වරෙන්කො.. ඇවිත් හෝල්ට් එකේ හිටහන්.. තව විනාඩි විස්සකින් අහවලාගේ බස් එක එනවා ඒ හෝල්ට් එකට.. ඒ බස් එකේ නැගල ඩ්‍රයිවර්ගේ සීට් එක ලඟට වරෙන්කො..

මොකක්..

උඹ මං කිව්වම අහලා කියන දේ කරහන්කෝ.. ආතල් සීන් එකක්.. උඹට ආවාම තේරෙයි..

ඔන්න ගොඩයා කිව්ව ආකාරයෙන් අපේ සමා බොහොම ජැන්ඩි පහට ඇඳගෙන කඹේක විතර රත්තරං චෙන් එකකුත් බෙල්ලේ එල්ලගෙන තවත් ඒ හා සමාන සයිස් බ්‍රේස්ලට් එකකුත් අතේ දාගෙන දිලිසි දිලිසි ඉන්නවා හෝල්ට් එකේ ගොඩයා ස්ටෑන්ඩ් එකට එද්දී..  ආයේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. ගොඩයා ආයෙත් ප්‍රමාදයි.. පෙර ආකාරයෙන්ම. හැබැයි මේ වතාවේ ටිකක් වෙනස්.. ඒ තමා ස්ටෑන්ඩ් එකේ කිව් එකට ගහද්දි ගොඩයා ප්‍රවේසම් වෙනවා සමාට මූණ පෙන්නන්නේ නැතුව ඉන්න. සමා කීයටවත් ගොඩයාව මේ යකඩ ගොඩේ ඩ්‍රයිවින් සීට් එකේ දකින්න බලාපොරොත්තු වෙන්නේ නැති නිසා තරඟයේ වාසිය ගොඩයට..

සුපිරුදු විදිහටම බස් කොටේ පයිලට් නුපුරුදු නිසා ගමනාන්තයට පැය භාගයක් ප්‍රමාදයි. ඔය ප්‍රමාදයට  ලොකුම හේතුව වෙන්නේ මේ කියන බස් කොටේ ඇල්පිටි පාර දිගේ ටික දුරක් ගිහින්  ගිහින් හැරිලා ආයෙමත් අතුරු පාරවල් අටෝරාසියක යන රූට් එකක දුවන එකක් නිසා. ඔය කියන අතුරු පාරවල් අස්සේ දුවන එකම අටමගලේ මේක නිසා මගීන්ට වෙන ඔප්ෂන් එකක් නෑ. ඇල්පිටි පාරෙ  දුවන ඇල්පිටිය බස් එක්කලා තමයි ටයිමින් කතන්දරේ තියෙන්නේ. ඒ ඇරුනාම බස් කොටේ රේල්පාර දෙපාරක් ක්‍රොස් කරන නිසා ජීවිතේ සෑහෙන්න අන්සුවර්. මොකද කියනවනම් ඔය කියන රේල් පාර හරහා යන දෙතැනම උණබම්බු ගේට්ටුකරුවන් සිටියත් ගොඩයාට එව්වා ගැන වැඩි විශ්වාසයක් නෑ. ඒ නිසාම ඔය රේල්ගේට්ටුව පැනිල්ලට කලින් ගොඩයා බස් කොටේ රේල් පාරට මෙහායින් සම්පූර්ණයෙන්ම නවත්තනවා. ඊළඟට කොන්දා වෙත විදානය දෙනවා ගිහින් රේල් පාර බලහං කියල. ඊට පස්සේ තමයි ගොඩයා බස් කොටේ ගියර් පෙට්ටිය හාරලා පලවෙනි ගියර් එක හොයාගන්නේ. ප්‍රයිවෙට් බස් එලවන එවුන් මලාට පලවෙනි ගියර් එක දාන්නේ නැති නිසා අනික් ගියර් හොයනවට වඩා සෑහෙන්න අමාරුයි බස් මගුලේ පලවෙනි ගියරය සොයාගැනීම. ඩීසල් වාහනේක නැග්ගම පලවෙනි ගියර් එකට නොදා දෙවැනි එකටම දාන එක ගොඩයාටත් ටිකක් විතර පුරුද්දකට ගිය වැඩක්. මොකද ගමන ඉක්මන් නිසා සහ වම් කකුල ඉක්මනට නිදහස් කරගන්න පුළුවන් නිසා. ගොඩයා හිච්චි එකා කාලේ ගොඩයාගේ බාප්පොච්චිගේ වෑන් එකක ගමනක් යද්දී කෙලින්ම දෙවැනි ගියර් එකට දානවා දැකපු බාප්පොච්චි ගොඩයාගෙන් ඇහුව "මොකද බන් උඹ ප්‍රයිවෙට් බස් කාරයා වගේ සෙකන්ඩ් එකට දාන්නේ ... දාපිය ෆස්ට් එකට කියල.. එදා හිටං ගොඩයා ඔය සෙකන්ඩ් එකෙන් ගමන පටන්ගන්න වැඩේ කරේ ගොඩයාගේ වෑන් එකේ විතරයි. අනුන්ගේ එව්ව එලවද්දී ගොඩයාගේ ඩ්‍රයිවින් හෙන න්‍යායාත්මකයි..

 ඔන්න බස් කොටේ දෙයියනේ කියල මයියොක්ක පඳුරක් ගලවන වගේ සද්දයක් දාගෙන පලවෙනි ගියර් එක වැටුනාම ගොඩයා ක්ලච් එක එහෙම පොඩ්ඩක් බුරුල් කරලා හරියටම තහවුරු කරගන්නවා බස් කොටේ තියෙන්නේ පලවෙනි ගියර් එකේ කියන එක. ඔන්න ඊට පස්සේ ආයෙමත් ඔලුව හොඳට එලියට දාල කොන්දොස්තර මස්සිනාගෙන් අහනව කෝච්චිය එනවද කියල හොඳට බලපන් කියල. ඔලුව එලියට දාල කන්දීගෙන අහං හිටියත් කෝච්චියේ සද්දෙයි බස් කොටේ සද්දෙයි වැඩි වෙනසක් නැති නිසා කෝච්චිය ඇහෙන් දකින්නේ නැතුව රේල්පාර හරහා දැමීම යනු අර මල මිනී පෙන්නන ටීවී චැනල් එක හරහා ඩෙඩ් බොඩිය ලංකාවටම පෙන්නගන්න නොමිලේ ලැබෙන චෑන්ස් එකක්. ඒ නිසා කොන්දොස්තර මස්සිනා දෙපැත්ත බලල කෝච්චිය එන්නේ  නෑ කිව්වම ගොඩයා මර හඬ දීගෙන රේල්පාර හරහා බස් කොටේ පන්නනවා නයිට් රයිඩර් කාර් එක පන්නනවා වගේ. ඒ සද්දෙට ඇතුලේ ඉන්න ආච්චම්මල හිතන්නේ බස් කොටේ කෝච්චිය එක්ක දරි ගැහුනාදෝ කියලා උනාට ගොඩයාගේ ජම්ප් එක සාර්ථකයි කියන්නැහේ පිටිපස්සේ තියෙන සුදු දුම් වලාව අතරින් කොන්දොස්තර මස්සිනා දෙමල පිචර් එකක රජිනිකාන්ත් දුවගෙන එන්න වගේ දුවන් ඇවිත් එල්ලෙනවා "හරි යා.....න් " කියාගෙන. ඉතින් ඔය වගේ මරු කපොලු දෙකකින් පනින්න තියෙන ඔය කියන රූට් එකේ ඔය වැඩේටම ගොඩයාට වෙනම විනාඩි දහයේ එව්වා  දෙකක් යනවා. ඉතිං පැයභාගයක් ගමනාන්තයට පරක්කුයි කියන එක සාමාන්‍ය දෙයක්නේ. වෙලාවට ගියා වගේද ලැයිසන් එකකුත් නැතුව සෙනග කන්දරාවක් එක්ක යකඩ යකාට යටවුනොත් හත්ඉලව්වේ. හැබැයි පුතේ බස් කොටේ කෝච්චියට හැප්පුනොත් කෝච්චි එන්ජිමට පිටගැස්මට බෙහෙත් විදින්න වෙනවා වෙනවා වෙනවාමයි.

ඔන්න අපේ සමා බස් කොටේට නැගලා ඉස්සරහටම ඇදිලා එනකොට ගොඩයා ඩ්‍රයිවින් සීට් එකෙන් මැද සීට් එකට පැනලා අහවරයි..

කොහෙද බන් යන්නේ..

පොඩි හදිස්සියක්.. ඉක්මනට වාඩිවෙයන් ඔය ඩ්‍රයිවින් සීට් එකෙන්..

මොකක්.. 

ඔව් ඔව් වාඩිවෙයනකො..

බොට පිස්සුද බන්..

පිස්සු නෙවෙයි පොඩ්ඩක් වාඩි වෙලා ඕක එලවහන්කෝ..

උඹ මේ මරාලේ ගන්නද යන්නේ...

අන්න සමා ගොඩයාට පොඩි නූල් පොටක් අල්ලලා දෙනවා ගේම ගොඩ දාගන්න..

එහෙම තමයි හිතුවේ.. ගන්න කලින් ආදායම බලන්න එපැයි බන්.. මං උදේ ඉඳන්ම දිව්වා.. මේ ටර්න් එක ගිහින් වරෙන්.. මං ටක් ගාල ගෙදර දුවල එන්නං..

බොට පිස්සුද බන් මේ පතෝල මැස්සට කර තියන්න.. 

ඩයිවර් පුතේ... අපිට පරක්කු වෙලා.. යමුදෝ... 

වයසක අම්ම කෙනෙක් බොහොම කරුණාවෙන් අමතලා කියනව යන්න වෙලාව පරක්කුයි කියල.. ඔන්න සමා ඩ්‍රයිවින් සීට් එකේ වාඩි වෙනව..  

එලෝපන් යකෝ එලෝපන් ඕක..

ඉතින් මං පාර දන්නේ නෑනේ..

හරි බන් පාර කියයි මිනිස්සු.. උඹ ගිහින් වරෙන්කො.. උඹ එද්දී මං මෙතන.. ගියා මිනිස්සු බැස්සුවා.. එතනින් නගින එවුන් ගත්ත.. අරූ හෝල්ට් බහිනවා කිව්වම මීටර් පනහක් සීයක් ගිහින් නැවැත්තුවා.. හරි කිව්වාම ඇද්ද.. එච්චරයි.. වැඩි දෙයක් නෑ.. 

ගොඩයාගේ උත්සාහය සාර්ථකයි.. සමා බස් එක අද්දනකොට ගොඩයා දෙයියනේ කියල බස් මරාලෙන් බැහැගන්නවා. හැබැයි ගොඩයා බස් කොටෙන් බහිද්දී ඉස්සරහ අයිනේ සීට් එකේ හිටපු වයසක උන්දැට මතක ඇතුව කියනව..

මාමේ... මේ මහත්තයට පාර කියන්න හොඳේ.. එයා දන්නේ නෑ යන පාර..

ඒ මොකෝ ඩ්‍රයිවර් මහත්තයෝ..

මේ මහත්තයා තමයි මේ බස් එකේ අයිතිකාරය.. ඊයේ රට ඉඳන් ආවේ  ..

හැබෑටම.. අපි ඉතින් මේකේ හැමදාම ගියාට අයිතිකාර මහත්තය දැකල නෑනේ.. හා මහත්තයෝ යමු යමු මං පාර කියන්නං..

කඹ වගේ මහත රත්තරන් චෙන් එකක් දාල ඒ සයිස්ම බ්‍රේස්ලට් එකකුත් දාගෙන ජැන්ඩි පහට ඇඳගෙන ඉන්න සමා දැක්කාම මිනිස්සු එහෙම නොහිතන්න හේතුවක් නෑ. ගොඩයා වැදිච්ච චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන බස් කොටෙන් බැහැලා ලඟම තියෙන ත්‍රීවීල් එකක නැගලා රියදුරාට කියනව බුදු මල්ලියේ හැකි ඉක්මනින් මාව ගෙදරට ගිහින් දාපන් කියල. ඒ එක්කම ජංගම දුරකථනය අක්‍රීය කරන්නත් ගොඩයා අමතක කරන්නේ නෑ. මොකද ගොඩයා දන්නවා දුරකථන ඇමතුම් දෙතුන්සීයක් සමාගෙන් ලැබීමට නියමිත වග.

ඩයිනා කොටේ රාත්‍රී අට අටහමාර වගේ වෙද්දී ඩොග ඩොග ගාගෙන ගොඩයාලාගේ ගෙවල් පාරේ කන්ද අදින සද්දෙ ඇහෙන්න ටික වෙලාවකට කලින් ගොඩයා නාකියාගෙන ගෙදරින් මාරුවෙන්නේ ගෙදර සිටීම ශරීර සෞක්‍යයට ඒ තරම් හිතකර නැතිවග හොඳින්ම දන්නා නිසා. අවුරුදු කුමාරයා වගේ ජැන්ඩියට ඇඳපැළඳගෙන ඩයිනකොටේ එළවන් ගිය සමා ග්‍රීස් ගහේ නැගපු එකා වගේ දැලි කුණු නාගෙන, ඇස් දෙකත් බිත්ති ඔරලෝසු දෙකක් විතර කරගෙන ගොඩයා සොයාගෙන පැමිණෙනවා කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..

ඩයිනා කොටේ කතාවස්තුව එතැනින් නිමයි.. සමා ශේප් කරගැනීම සහ ඒ සා අත්දැකීම් සම්භාරයක් ලබාගැනීම සඳහා නොමසුරු සහයෝගය දුන් බස් ඕනර් මිත්‍රයාට ස්තුති කිරීමේ  විස්තරේ කමෙන්ට් වලින්..








Tuesday, March 27, 2018

වවන්නෝ දිනන්නෝ 3





වවන්නෝ දිනන්නෝ 1 
http://ambalangodakatha.blogspot.com/2018/03/1.html

අලුතෙන් වත්තේ පදිංචියට ආපු ගෝල තැනට වගාවට සාත්තුකරන පිළිවෙල එහෙමත් උපදෙස් දීල එදා පටන් ගොඩයා ඔන්න ආයෙත් රස්සාවට යනවා. රස්සාවට ගිහිල්ලත් ඉතින් ගොඩයාට කල්පනා වෙන්නෙම වගාවේ ව්‍යාපාර කටයුතු. වෙනදට අම්බලන්ගොඩ ස්ටේෂන් එකෙන් උදේ හතරයි හතලිහට නයිට් මේල් එකේ නැගලා  කොළඹ කොටුවටම කන පැලෙන්න දොයිය බබෙක් වෙන ගොඩයා නිදි වගේ ඉඳගෙන ඇස් පියාගෙන කල්පනා කරන්නෙත් ව්‍යාපාර කටයුතු ගැන.  හැන්දෑවට ගෙදර එන්න කෝච්චියේ නැගලත් අම්බලන්ගොඩ ස්ටේෂන් එකේ කෝච්චිය නවත්තනකල්ම කන පැලෙන්න දොයියන ගොඩයා හවසටත් නින්දක් නැතුව කල්පනා කරන්නේ ව්‍යාපාර කටයුතු ගැන. ඊළඟට හවස ගෙදර ආපු ගමන්ම ගෙට ගොඩ වෙන්නෙම නැතුව ගොඩයා කෙලින්ම ගොඩවෙන්නේ වාහනේට. එතන හිටං කෙලින්ම ඉගිලෙන්නේ වගාව බලන්න කියහන්කෝ. එතැන් පටන් ඉතින් වැඩේ සෑහෙන්න සෝචනීයයි. කළුවර වැටිච්චි වෙලාවට පාත්ති දිහාවට යන එක ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. ගෝල තැනගේ උදව්වෙන් කලුවරේම නියර දිගේ පාත්ති දිහාවට යන ගොඩයා හිටවපු මුගුනුවැන්න දඬු දිහා ටෝච් එළියෙන් ආදරණීයව ටික වෙලාවක් බලාන ඉඳලා ආපහු ගෙදර එනකොට ඉතින් මඩ කරියෙක් ගානට මඩ නාලා . ඔය කියන මඩ නාන ගමන යන්න ගොඩයා විශේෂයෙන්ම පිටකොටු ගිහින් බිත්ති ඔරලෝසු මූණක් විතර මුණක් තියන දඩාර සයිස් ටෝච් එකකුත් ගෙනාවා කියමුකෝ. මඩ සොදාගත්කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා කව්දෝ කිව්වට ගොඩයාගේ ගෙදර උදවිය කවදාවත් ගොඩයට රජකම තියා යුවරජකමවත් දුන්නේ නෑ හිටං.

මුගුනුවැන්න අස්වැන්න කොළඹ පටවන්න ක්‍රම සහ විධි ගැනත් ඒ වෙද්දී ගොඩයා කතාබහ කරලා අවසානයි . ගෙදරක පිලිකන්නක මුගුණුවැන්න දණ්ඩක් බිම ඇන්නාම සති දෙක තුනකින් වේලක් කන්න පලා මිටක් නෙලාගන්න පුළුවන්ය කියන තියරියේ හැටියට ඒ තරම් පෝර පස් තියන, හොඳින් දිය සීරාව තියන මඩ ඉඩමක මුගුණුවැන්න පැලවීම  සාමාන්‍ය ඉඩමක වැවෙන වේගය වැඩිකිරීම දෙකවත් වෙන්න ඕන නමුත් වැඩේ ටිකක් අවුල් කියහන්කෝ. ගොඩයා වැඩට ගිහින් එනවා.. නියර දිගේ මඩ නාගෙන කළුවරේ බඩගානවා... මඩ නාගෙන ගෙදර එනවා... පැල හිටවලා දවස් පහක් හයක් ගියා මුගුනුවැන්න දැල්ලක් නෑ කියහකෝ ආසාවට බලන්න. 

ඊළඟ සතියත් ගතවුනා කියමුකෝ.. සති හතරෙන් මුගුණුවැන්න කොළඹ යවන්නත් ඕන නමුත් හිටවපු මුගුණුවැන්න දඬු ටික රතු වෙනවා මිසක් දළුලන පාටක් නෑ. ගෝල තැන උදේටත් හවසටත් ගඟ හිදෙනකම් පාත්ති  වතුරෙන් නෑව්වත් මුගුණුවැන්න පැලවෙන පාටක් නෑ දෙයියෝ..කොහොමින් කොහොම හරි පලවෙනි මුගුණුවැන්න ඕඩර් එක දෙන්න හිතාන හිටපු දවස වෙද්දී මුගුණුවැන්න දල්ලක්වත් තියා හිටවපු දණ්ඩක්වත් හොයාගන්න බැරිවෙන්න මුගුණුවැන්න ගෝනි තුනේම මුගුණුවැන්න දඬු සියල්ලම හිටවපු තැනක්වත් හොයාගන්න බැරිවෙන්න මැරිලා ගියා. ඕනෑම නිසරු පොළොවක දළු දාල හැදෙන මුගුණුවැන්න දඬු මේ සා මුදල් කන්දරාවක් වියදම් කරලා හදපු කළු පාට පෝර පස් තියෙන පොළොවේ පැල නොවී මැරිලා ගියා කිව්වාම කව්ද යකඩෝ විස්වාසෙට ගන්නේ. ඒත් ඇත්තම සත්ත කතාව ඒක තමා. ඉතින් කියහන්කෝ කොහොමද කලින් ගොවි රජා වගේ ගෙදර හිටපු ගොඩයා රෙද්දක් ඇඳගෙන ගෙදර යන්නේ. ගෙදර ඉන්න පණ තියන මිනිස්සු, බල්ලො පූසෝ විතරක් නෙවෙයි පුටු මෙසත් ගොඩයා දිහාවට කැත හිනාව දාන සීන් කොන් එකක් නෙවෙයිද හා. මෙච්චර දවසක් මිලියන් ගණන් වලින් දීපු මිලියන්ස් ටෝක් වල හැටියට ව්‍යාපාරය ලත් තැනම ලොප් වෙච්ච සීන් කෝන් එක කොහොම කටක් ඇරලා කියන්නද. හා ගෙදර ඒ වගේද කියමුකෝ.. කෘෂිකර්මේ නිලධාරී වරුන්ට දීපු පඬි ටෝක් වල හැටියට රෙද්දක් ඇඳන් පාරේ බහින්න විදිහකුත් තියෙන්න විදිහක් නෑනේ. ඒ විතරක් නම් මදැයි.. මුගුනුවන්න කොළඹ පටවන්න ලොරියක් ගන්න කියලා හිටන් බැංකුවේ මැනේජර් එක්කත් කතා බහ කරලා තිබ්බ නිසා බැංකුව පැත්ත පළාතේ යන්නත් බෑ මැනේජර් ලොක්කා වගාවේ ප්‍රෝග්‍රෙස් එක අහනවා දෙන්න උත්තර නෑ. මොකද කියනවනම් බැංකු මැනේජර් තුමාත් මේ වගේ කොමර්ශලි කරන වගාවක් ගැන දැනකියාගන්න මාර උනන්දුයි. ඉතිං කියහන්කෝ රෙදි ඇඳගෙන පාරේ බහින්න පුලුවනිද හැබෑටම. 

වත්තේ පදිංචි ගෝල තැන සහ උන්දෑගේ නෑ සනුහරේ කියන්නේ මේක දේව කෝපයක් හෝ ඇස්වහ කටවහ දෝසයක් කියලා උනාට ගොඩයා ඊළඟට තීරණය කරනවා වෙනත් දෙයක්. ඒ තමා හිටවන්න මුගුණුවැන්න දීපු කොටුවේ එවුන් ඒ දඬු පැළනොවෙන්න මොකක් හරි ජිල්මාර්ට් එකක් කලාදෝ කියන කාරනාව දිහාට තමා ගොඩයාගේ හිත යොමුවෙන්නෙම. ආසන්නයෙන්ම තවත් පලා අක්කරයක් දළු දැමීම එයාලාගේ ව්‍යාපාරයට අභියෝගයක් වේදෝ කියලා හිතිලා මොකක් නමුත් ව්‍යාපාරික දහන්ගැටයක් ගැසුවා වත්දෝ කියන සැකය නිසා ගොඩයා තීරණය කරනවා නැවත වෙනත් තැනකින් මුගුණුවැන්න ලබාගෙන හිටවන්න. ඒ වෙද්දී ගොඩයා හද්ද හිඟන්නා කියහන්කෝ. ඒ වෙද්දී ගොඩයා රස්සාවක් කරන්න අරං අවුරුදු තුනක් හතරක් නිසා ගොඩයා ළඟ මිල මුදල් මහා ගොඩක් තිබ්බෙත් නෑ. ආයෙත් පැල හිටවන්න කුලී, අමුද්‍රව්‍ය , ඇඹුල ( ඇඹුල බන් ඇඹුල... ඒ කිව්වේ ටිකිරි මැණිකේ නියර දිගේ ගොවියන්ට ඇවිත් කන්න ගේන ඇඹුල ) කියන දේවල් වෙනුවෙන් වියදම් කරන්න මොනර කොළ ගොඩයාගාව නෑ. ගිය වාරෙට වඩා අමුද්‍රව්‍ය මිල මේ වතාවේ වැඩි වෙනවා මුගුණුවැන්න මිලදීගන්න අදහස් කරන්නේ කඩයක් කඩයක් ගානේ ගිහින් නිසා. ඔන්න ඒ වගේ හතේ හත වැදිලා නන්නන් වෙලා ඉද්දි තමා ගොඩයාගේ ඩඩාගේ බාල නංගි හෙවත් පොඩි නැන්දා රුපියල් පනස්දාහක් ගෙනල්ල ගොඩයාගේ අතේ ගුලිකරන්නේ .අන්න ලබනවානම් නැන්දලා.. මට මේක ආයේ ඕන නෑ පුතේ කියලාම තමයි පොඩි නැන්දා දාහේ කොළ මිටිය ගොඩයාගේ සාක්කුවේ ඔබන්නේ. එතෙක් දවස් නයා මැරිච්ච අහිකුන්ථකයා වගේ වත්තෙ කොනේ තියන ගල උඩට වෙලා නියපොතු කකා හිටපු ගොඩයා ඔන්න නැවතත් අළු ගසාදාල වැඩේට බහිනවා. හරියට අල්ලපු ඔට්ටු ඔක්කොම පරාද වෙලා හටගෙ හත වැදිලා හිටපු බූරු කාරයෙකුට කුට්ටම අතට ආව වගේ. 

ඔන්න ගොඩයා ඊළඟට එන පුර දවසක් බලලා ආයෙත් නැකතක් එහෙමත් සුද්ද කරගෙන පැල හිටවන්නයි දැන් සූදානම. ඒ දවසට කලින් දා ගොඩයා සහ කොන්ඩයා කඩවල්, පොළවල්, මාර්කට් ගානේ ගිහින් එක තැනින් මිටි දහය පහළොව වගේ සැක නොහිතෙන ආකාරයෙන් මුගුනුවැන්න මිලදී ගන්නවා. අම්බලන්ගොඩ, වතුගෙදර, බටපොල, අලුත්වල, මීටියාගොඩ, හික්කඩුව වගේ තැන් වලින් ඔය කිව්වා ආකාරයෙන් මුගුනුවැන්න එකතු කරගෙන එව්වා හිටවන ප්‍රමාණයේ කෑලි වලට කපලා සකස් කරගන්න ගොඩයා, කොන්ඩයා, ගෝලයා තුන් කට්ටුවට දවසක්ම ගතවෙච්චි. 

ඔන්න පහුවදා නැවතත් වප් මගුල් උත්සවේ වගේ වැඩේ ජයටම පටා....න් ගන්නවා වටෙපිටේ අත්තමට වැඩ කරන කාන්තා පාර්ශවයේ සේවයද නැවතත් ලබාගනිමින්. මුගුනුවන්න දණ්ඩ මඩේ අනින එක විතරක් උනාට ඕක හෙන කොඳු ඇඹරෙන  රස්සාවක්. පැයක් හමාරක් එක දිගට බිමට නැමිලා ඉඳලා කෙලින් වෙද්දී තමයි තේරෙන්නේ කොන්ද හොඳට ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු .... කියල. කොහොමින් කොහොම හරි දෙවැනි වප් මගුල් උත්සවේ ඉවර වෙද්දී ගොඩයාට නැන්දා විසින් දීපු පනස් දාහෙනුත් හතළිහක් විතර සාක්කුවෙන් අතුරුදහන්. පැල හිටවන්න යන වියදම වගේ වියදමක් යනවා හවසට අපේ කට්ටියට රහමෙර සාත්තුවට. කුලියට වැඩ කරපු අයට කුලී බේරලා ගෙදර යැව්වට යාලු මිත්‍රකමට වැඩට එන එවුන් එහෙම ගෙවල්වල යවන්න විදියක් නෑ. වැඩ ඉවර උනාම උන් අහන්නේ එක දෙයයි. ඒ තමයි අපි දැන් නාකියාගෙන කොයි රෙස්ටුරන්ට් එකටද එන්න ඕන මචං කියන ප්‍රශ්නය. ඉතින් දීහන්කෝ එව්වට උත්තර.

ඔන්න ඔය විදිහට දෙවැනි වප්මගුල් උත්සවයෙන් පහුවදා හිටන් ආයෙත් ගොඩයා රස්සාවට ගිහින් එනවා, ගොවිපොළට යනවා.. කළුවරේ මඩ නාගෙන යනවා. ටෝච් එළියෙන් වගාව බලනවා ආයෙත් මඩ නාගෙන එනවා. ඒ වෙද්දී ගොඩයාට   ගෙදර නාන කාමරේ නාන්න තිබ්බ අයිතියත් ටිකෙන් ටික අහිමි වෙලා. ඇයි හත් ඉලව්වේ එහෙම මඩ කරියෙක් ගෙදරකට ගනියිද හැබෑටම. ගොඩයා ඉතින් ඒ වෙද්දී පර්මනටලීම ගෙදර ඉස්සරහ තියෙන ගාර්ඩන් ටැප් එකෙන් නාන තැනට වැටිලා අහවරයි. අනික ඉතින් ගොවියෝ කවද්ද නාන කාමරවල නෑවේ. කුඹුකේ ලිඳෙන් නාගෙන එද්දී ඇඹුල හදලා තියන්න කව්රුත් නැති උනාට වාහනේ හෝදන හෝර්ස් බටෙන් නාගෙන ගොඩයා ගෙට එන්නේ ඒ සැම්පලේටම හෙන ගැම්මෙන් තමා.

ඔය ආකාරයෙන් දවස් ගතවුනා. සුපුරුදු විදිහට ගොඩයා දවස ඉවරකරේ ගෙදර ගාර්ඩන් ටැප් එකෙන් නාලා ඩඩාගෙන් පොඩි එරවුමක් එහෙමත් බලලා තමා. එහෙම ඩඩා පොඩ්ඩක් එරෙව්වේ නැත්තම් ඒ වෙද්දී ගොඩයාට නිකම් කෑවේ නෑ ගානට ඇවිත්. ඒ සියලුම දේවල් සුපුරුදු රූටින් එකටම කෙරීගෙන යද්දී තව එක දේකුත් සුපුරුදු රූටින් එකේම යනවා කියහන්කෝ. ඒ තමයි දෙවැනි වප් මගුල් උත්සවයෙන් හිටවන ලද මුගුනුවන්න දඬු ටික. ඒ වෙද්දී ගොඩයා කෘෂිකර්ම නිලධාරීන් කිහිප දෙනෙකුට තවුසන්ස් ටෝක් දීල ලොකුකම පෙන්වලා තිබ්බ නිසා මුගුණුවැන්න දඬු ආයෙත් අවසන් ගමන් යාම ගැන සහය පතන්න ඉතිරිවෙලා හිටියේ පශුවෛද්‍යතුමා විතරයි. වැවිල්ල ගැන කෙල පැමිණි, ක්ලාස් මේට් සහ බැච් මේට්  වතු සුපිරින්ටෙන්ඩන් දේපොලක් ගොඩයා දන්නවා උනාට එයාල ඉතින් වවනේ තේ රබර් නිසා ගොඩයා උපදෙස් පතන්න ගියෙත් නෑ. උපදෙස් පැතුවා කියලා වැඩක් වෙන ආකාරයකුත් මුගුණුවැන්න දඬු විසින් පෙන්නුම් කලේත් නෑ. ආයෙත් සති දෙකක් වගේ ගොඩයා මඩ නාගෙන ටෝච් එළියෙන් බලා ඉද්දිම ඒ මුගුණුවැන්න දඬු ලෝර්ඩ් එකක් කොළ පාටින් රතු පාටට හැරිලා රතු පාටින් කළු පාටට හැරිලා අවසන් ගමන් ගියා දුකේ බෑ. ඒ කියන්නේ ආයෙත් ගොඩයාගේ රෙදි නෑ.

වත්තේ පදිංචි ගෝලයා අනුමාන කරන ආකාරයෙන් ඉඩමට කව්දෝ හූනියමක් කරලාලු. ඒ නිසාලු මෙහෙම පැල මැරෙන්නේ. හූනියම කපන්න සුපර් වැඩකාරයෙක් ඉන්නවා ඕනෙනම් කොන්සල්ට් කරලා දෙන්නම්ලු. ඒ වෙද්දී  කුජීත + හිඟන්නා + සාටර් ජීවියෙක් වෙලා ඉන්න ගොඩයා වත්තේ හූනියම් කපන්න තියාගත්තොත් තවත් සමාජයෙන් කොන්වීම සහ උසුළු විසුළු වලට ලක්වීම බොහොම ස්භාවික තත්වයක්. ඒ වගේම බෙර ගහගෙන, දුම්මල පුච්චගෙන, කවි කියාගෙන වත්තෙ තොවිල් නටන්න තියාගත්තොත් එක ගොඩයාගේ ඩඩාට ආරංචි වෙන්න ගතවෙන්නේ විනාඩි කිහිපයයි නිසා එදා හිටන් ගොඩයාට, එතෙක් කල් ෂපාන් එකේ නිදාගත්තු කාමරය සහ තුන් වේලට නොමිලේ සැපයුණු කෑම පිඟානත් අහිමි වෙනවා කියන එක බුදු ෂුවර්.ඒ නිසාම ගොඩයා හූනියම් කැපිල්ල අවසාන ඔප්ෂන් එක විදිහට පැත්තකින් තියලා ආයෙත් ගෙදර වත්තේ තියන ගල උඩින් වාඩි වෙලා අහස පොලොව ගැටලන්න කල්පනා කරන අතරේ ඇඟිලි දහයේම නියපොතු ටිකට වැඩේ දෙනව. බලි තොවිල් හූනියම් ගැන ගොඩයා වැඩි විශ්වාසයක් නැතත් වැටිච්ච වලෙන් ගොඩ එන්න සහ ලැජ්ජාවෙන් ගැලවෙන්න කව්රුන් හෝ දෙන ඕනෑම විසඳුමක් එක්වරම බැහැර නොකරන හිඟන තැනට ගොඩයා  වැටිලා අහවරයි. 


ඒ වෙද්දී මුගුණුවැන්න විකුනලා ඉන්ටර්නැෂනල් තත්වයේ  ව්‍යාපාරිකයෙක් වෙන්න මවපු හීන ටික දවසකට පැත්තකින් තියලා ගොඩයා කල්පනා කරන්නේ මුගුණුවන්න පැලකරගන්න ක්‍රමයක්. ඇයි යකඩෝ මේක ජ්‍යාත්‍යන්තර තත්වෙට ගෙනියන්න නම් ඉස්සෙල්ල මේ බඩකඩිත්තුව පැල කරගන්න එපැයි හත්ඉලව්වේ. මේ තරම් සුවිශාල අභියෝගයකට මුහුනදීගන ඉන්න ගොඩයා ඒ වෙද්දී පාරේ තොටේ දන්නා අඳුනන  මනුස්සයෙක් දැක්කත් අහක බලාගෙන යන තැනට පත්වෙලා ඉවරයි. මොකද කියනවනම් ගොඩයා හෙන සයිස් වගාවකට අතගහලා කියන එක ඒ වෙද්දී ඇමෙරිකාවේ වයිට් හවුස් එකටත් ආරංචි වෙන තත්වයේ වාණිජ මෙහෙයුමක් නිසා ගමේ ගොඩේ කොල්ලයි බල්ලයි සේරෝම ගොඩයා දැක්ක ගමන් අහන්නේ වගාවේ සැප දුක තමා. ඉතින් කියහන්කෝ කොහොමද පාරෙ බහින්නේ කියල. 

කට්ටියක් හූනියම් කපන්න යෝජනා කරන අතරේ තවත් කට්ටියක් ආයෙත් පැල හිටවන්න යෝජනා කරනව. ඒ දෙකටම නැතුව හූමිටි තියන එවුන් සෙට් එක හූනියම් කපන්න හරි පැල හිටවන්න හරි කියන දෙකෙන් ඕනෑම එකකට එකෙන්ම ලෑස්තියි. ඒත් වෙච්ච අබග්ගයේ හැටියට ගොඩයාගේ අක්මාව කියන්නෙම ඔය දෙකම කරලා මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නෑ නෑ නෑ කියලමයි. ඒ නිසාම ගොඩයා අතේ ඇඟිලි දහයේම නියපොතු ටිකට වැඩේ දෙන ගමන් පැය විසි හතරේම කල්පනා කරන්නේ ඉහත විසඳුම් දෙකෙන්ම එහාට ගිය විකල්ප විසඳුමක් ගැන. ඔන්න ඔය විදිහට කල්පනා ලොව මල්වනේ සිහින රජදහනේ කියාගෙන ඉන්න අතරතුරේ එක්තරා ඉරිදා උදෑසනක ගොඩයා ඉන්නවා ගෙදර සාලේ පුටුවක් උඩ වාඩියක් දාගෙන ටීවී එක දිහා ඇහැ දාගෙන. ඔන්න ටී වී එකේ යනවා වගා කරන්න ඕන පිළිවෙල , වගාවට තෝරාගන්න භෝග වර්ග , පස හඳුනාගන්නේ කොහොමද වගේ වැදගත් දේවල් ගොඩාක් කියල දෙන කෘෂිකාර්මික වැඩසටහනක්. ගොඩයාට ඔතනින් වැඩියෙන්ම මීටර් වෙන්නේ පස ගැන කියවෙන දේවල් ටික තමා. 

වගාව දෙවතාවක්ම උපන් තැනම ෆේල් වෙච්චි ඊළඟට කරන දේ තීරණය කරගන්න බැරුව නියපොතු කන ගොඩයාට එනවා මසුරන් අදහසක්. ඔන්න ගොඩයා හීන්සීරුවේ සාලෙන් නිදියහන් ගබඩාවට විතැන් වෙන්නේ හෙන ප්ලෑන් එකක් ඔලුවේ ඇඳගෙන. අන්න ඒ කිව්ව සැලසුමට අනුව තමා ගොඩයා ඒ වැඩසටහන ගිය ටීවී චැනල් එකට කෝල් එකක් ගන්නේ ටලිෆෝන් එකට ලේන්සුවක් හෙම තියාගෙන. මොකද ඒ වැඩසටහනට සජීවී දුරකතනයෙන් සම්භන්ධ වෙන්න පුළුවන් එකක් වීම වාසියට හිටියේ ගොඩයාට උනාට සාලේ ගමටම ඇහෙන්න දාලා තියෙන ටීවී එකට ගොඩයා දුරකතනයෙන් කතා කරනවා ගෙදර එකෙකුට ඇහුනොත් ඉතිරිවෙලා තියෙන රෙදි ටිකත් ගැලවෙන සීන් කෝන් එකක් නෙව.  දෙතුන්සිය වතාවක් ඩයල් කරලා කරලා කරලා ගොඩයා යාන්තමට  සමත් වෙන්ව ටීවී එකේ ඉන්න කෘෂි විසේසඥ්ඥ මහතාට තමුන්ගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්න. ටෙලිෆෝන් එකට ලේන්සු දෙක තුනක් තියලා නිසා සාලේ ඉඳන් ටීවී බලන උදවියට අඳුරගන්න බෑ මේ කතා කරන්නේ ඉස්සරහ කාමරේ දොර වහගෙන ඉන්න වසරේ ගොවි රජා කියන එක. කාමරේ දොර තදින් වහලා නිසා කාමරේ ඇතුලෙන් යන සංවාදය එලියට ඇහෙන්ත් නෑ. ඔන්න ඒ මහත්මයාට පින්සිද්දවෙන්න තමයි පහුවදා උදේ එලියවටෙන්න කලින් ආයෙත් මඩ නාගෙන පාත්තියට යන ගොඩයා පාත්තියෙන් පස් සාමලයක් අරගෙන කොල්මබ බලා පිටත් වෙන්නේ. 

පස් සාම්පලේ පරීක්ශාකරගත්තා කියමුකෝ.. රිසාල්ට් එක දුකේ බෑ. පැලයක් පැළවෙන්න පසේ තියෙන්න ඕන අවම  පී එච් අගය පහයි දශම පහක් වගේ නම් ගොඩයාගේ පාත්තියේ පී එච් අගය එකයි දශම පහක්. ඒ කියන්නේ අර එක්ස්කැවේටර් එක ගෙනල්ල ලක්ස ගානක් වියදම් කරපු මලපෙපෙරේතකමට පින්සිද්දවෙන්න යමලෝකෙටම  කුඹුර හාරලා ගොඩ දාගෙන තියෙන්නේ අවුරුදු ගානක් පොලොවට යටවෙලා තිබිච්ච ආම්ලික පසක්ලු. ඒ පසේ මෙලෝ මලදානයක් වවන්න බැරිලු. වවන්න නම් ඩොලමයිට් ගහලා පසේ ආම්ලිකතාවය අඩුකරගන්න ඕනෙලු. ඉතින් කියහන්කෝ මේ දුක් ගැනවිල්ල කියන්නේ කාටද කියල. 

ඊළඟට ඉතින් මහා ඩොලමයිට් සංග්‍රාමය කිව්වොත් නිවැරදියි. අතට හම්බෙන හැම සතේම ටවුමේ පෝර කඩේ මුදලාලිට දෙනවා.. කාර් එකට ඩොලමයිට් පටවනවා... ගොවිපොළේ ගෙනුහුන් බානවා.. වත්තේ ගෝලයා ඒ ඩොලමයිට් පාත්ති වලට ඉහිනවා.. එක තොවිලයයි.. මාස තුනක් විතර තිස්සෙ ඩොලමයිට් ලොරියක් විතර ගහලත් ආයේ පස් සාම්පල් එකක් චෙක් කරාම කියහන්කෝ පී එච් අගය වෙනස් වෙලා තියෙන්නේ දශම බිංදුවයි එකකින් කියල. ඒ ගහපු ඩොලමයිට් කන්දරාවයි කාලයයි එක්ක ගණනය කරලා බැලුවාම මුගුණුවැන්න පැළවෙන්න ඩොලමයිට් නැව් දෙක තුනක් අවුරුදු පහක් විතර ගහන්න වෙන දුක්ඛිත කතාවක්. ඒ දුක් සහිත කතාව සැබෑ කරන්න බැරි නිසාම ගොඩයා මුගුණුවැන්න වැවීම හිතෙන අයින් කරලා දාලා එහෙම දෙයක් උනේ නෑ ගානට ජීවිතේ ඉස්සරහට අරං යනවා. 

යමක් ආයෝජනය කරාම එම ආයෝජනයේ ප්‍රතිපල පසුකාලීනව හෝ ලැබෙනවා කියන කාරනාව සත්‍යයක් කරමින් ඔන්න එක්තරා දවසක ගොඩයාට දුරකථන ඇමතුමක් එනව. ඒ වෙද්දී ගොඩයා ලංකාවේ නෑ. ඒ කියන්නේ මුගුණුවැන්න හිටවන්න ට්‍රයි කරලා අවුරුදු දොළහකට විතර පස්සේ.  මේ කතා කරන්නේ ගොඩයාගේ ඩඩා..

දුරකථන ඇමතුමේ හැටියට ඩඩා කියන්නේ කුරුඳු ඉඩම විකුනන්න යන කතාවක්. කුරුඳු ඉඩම සහ ගොඩයාගේ මුගුණුවැන්න ප්‍රොජෙක්ට් එකේ පාත්ති තියන ඉඩම තියෙන්නේ එක ඔප්පුවට නිසා ගොඩයා දන්නවා කුරුඳු ඉඩම සමගම මුගුණුවැන්න ඉඩමත් ආයේ නොඑන්නම යනවා කියන කාරනාව. ඒත් ඉතින් ගොඩයා බලාපොරොත්තු දල්වගන්නවා නැවතත් ඉඩම සංවර්ධනය කරපු නිසාවත් ඩඩා ගොඩයාගේ පාඩුව පියවාවී නේදෝ කියන කාරනාව. ඇයි යකඩෝ නිකම්ම නිකං ඉඩමක් ගෙවල් හදලා, ලින් කපලා, වැසිකිලි හදලා කොයි සා සංවර්ධනයක් කරා කියලද. 

ඔන්න ගොඩයා ආයෙත් බලාපොරොත්තු දල්වාගෙන ඉන්න අල්ලපනල්ලේ පහුවදා ආයෙත් ඩඩාගෙන් ඇමතුමක්.

හෙලෝ පුතාද..

ඔව් තාත්තේ..

අර ඉඩම විකුණන වැඩේ හරි ප්‍රශ්නයක්නේ වෙලා තියෙන්නේ..

මොකක්ද..

අර මිනිස්සු ගෙයින් යන්න බෑ කියනවනේ..

මොන මිනිස්සුද..

මොන මිනිස්සුද කියන්නේ අර ඔයා ගෙනත් පදිංචි කරපු එවුන්..

නෑ..

නෑ නෙවෙයි ඔව් මනුස්සයෝ.. එයාලට ගෙයින් යන්න නම් ලක්ස පහක් ඉල්ලනවා..

මොකක්.. ලක්ස පහක්..

ඔව් ලක්ස පහක් තමා...

ඔන්න ඔහොමයි ගොඩයාට ආයෙත් කරපු ආයෝජනය පල දුන්නේ. ගහෙන් වැටුන එකාට ගොනා අනිනවා කියලා කිව්වට ගොඩයා ඔව්ව විශ්වාස කරේ නෑ. ඒ උනාට එව්වා ඇත්තටම සිද්දවෙනවා කියල ගොඩයා දැනගත්තේ ඔන්න ඔය කෝල් එකෙන් පස්සේ තමයි. අපේ ඩඩා ඉතින් ගොඩයාගේ ගුණ වර්ණනා ඉවරයක් නෑ. ගොඩයා ලංකාවේ නැති නිසා ඩඩා පොලිසියේ පැමිණිල්ලක් හෙම දාල වැඩේ ඔෆීෂියල් විදිහට විසඳාගත්ත. පොලිසියෙන් මැදිහත් වෙලා  යාන්තම් සන්තං ලක්සෙකට ඩීල් එක ගහල දුන්න. අන්න ඒ ලක්සෙ දුන්නාම තමයි ගොවි රජාගේ ගොවිපොළ බලාකියාගන්න ආපු ගෝල තැන වත්තෙන් පිටමන් වුනේ. ඩඩා ඇතුළු පවුලේ සැම ඉතින් ගොඩයාට කටපුරා ස්තුති කරන්න අමතක කරේ නෑ හොඳේ. එව්වා ඉතින් ප්‍රසිද්දියේ ලියලා රෙදි ගලෝගන්න බෑ.


අන්තිමේ ගොඩයාට ගහපු පදේකුත් නෑ බෙරේ පලු දෙකමත් නෑ. මිනිස්සු ගොන්කම් ඕන තරම් කරලා ඇති, ඒත් ඉතින් අහසේ තියන චන්ද්‍රිකා වලින් බලලා හිත සුවපත් කරගන්න පුළුවන් මරි මෝඩ වැඩ ලෝකේ මහ ගොඩක් තියෙන්න විදිහක් නෑ. ඒ ටිකෙනුත් එකක් මගේ කියල දැනෙද්දී දැනෙන ආඩම්බරේ ලියන්න වචන නෑ ආයුබෝවන්ඩ. සම්පූර්ණ පාඩුව අන්තිම රුපියලටම ගණන් හැදුවොත් ගොඩයාට අද රෑ නින්ද යන්නේ නැති නිසා වවන්නෝ දිනපු හැටි මෙතනින් අවසන්.