Sunday, September 25, 2016

පරීක්ෂණ .. නිරීක්ෂණ..නිගමන..




දින විසි පහක නිහඬතාවයකින් අනතුරුව මේ ලියන්නට තනන්නේ සෑහෙන්න අනතුරු සහිත පොස්ටුවක් නිසාවෙන් කියවනා පාඨකයින් මේ කියවන අල්ලපනල්ලේ අනතුරු හෙම කරගත්තොතින් ඕන් මම නම් එව්වාට වගකියන්නේ නැතිය. මේ පෝස්ටුව පුරා ලියවෙන්නේ අම්බලන්ගොඩයාට සිදුවූ අලකලංචි අටෝරාසියක විස්තරය.

අම්බලන්ගොඩ හාදයා තම ප්‍රථම මංගල අඩව්ව අල්ලන්නේ පාසලේ එක දෙක වසරේ බව යාන්තමට මතක ඇතත් ඒ පිළිබඳව ටක්කෙටම කිව නොහැක්කේ අම්බලන්ගොඩයාගේ රැම් එක හෙවත් මතකය භාගයට පිච්චුනු ස්භාවයේ එකක් නිසාය. එම අරුම පුදුම මතක කොටස අවශ්‍යම දෑ අමතක කරන්නටත් අනවශ්‍ය කුණු ගොඩවල් අකුරට මතක තබාගන්නටත් සෑහෙන දක්ෂකමක් දක්වනවාය. 

අම්බලංගොඩකතා කියවනා වූ පාඨක මිතුරන් මීට කලිනුත් කියවා ඇති ආකාරයට අම්බලංගොඩගේ පියාණන් තරමක් නීති රීති තද පුද්ගලයකු වශයෙන් දන්නවා ඇතැයි සිතනවාය. එය එසේ බැවින් අම්බලංගොඩයා කුඩා කාලයේ පියාගෙන් විනෝදාත්මක යමක් හෝ සෙල්ලම් බඩුවක් ලැබුනානම් ඒ බොහොමත්ම කලාතුරකින්ය. ඒ අම්බලංගොඩගේ පියාණන්ගේ ලෝභකම නිසා නොවේය. එනම් අම්බලංගොඩයා උපන්දා සිටම ලැබෙනා සියලුම සෙල්ලං බඩු ගෙනා ආකාරයෙන්ම තිබෙන්නේ අම්බලංගොඩයා අතට ඉස්කුරුප්පු නියනක්, පිහි තුඩක් වැනි මල් ඉස්කුරුප්පු ඇන ගලවියහැකි ආයුදයක් හසුවනතුරු පමණක් නිසාය. උදාහරණයක් ලෙස ගතහොත් අම්බලන්ගොඩයාට සෙල්ලම් කාර් එකක් ලැබුනහොත් අම්බලංගොඩයා උත්සහ කරන්නේ වටේට ලස්සනට තිබෙනා කාර් බඳ ගලවා ඇතුලත වැඩ කරනා ආකාරය නරඹා විනෝද වන්නටය. එසේත් නැතිනම්  සෙල්ලම් බඩුවේ මදය ගලවා බලන්නටය. ගොඩයා අතට පත්වූ සෙල්ලම් බඩුවක් වී නම් එය ගලවා ඇතුලත නරම්බනතුරු ඉස්පාසුවෙන් නින්දක් නිදාගන්නේ ගොඩයා නොවේය. කව්රුත් කී පමණින් කිසිවක් පිලි නොගන්නා ගොඩයා පරීක්ෂණයක් සිදුකර නීරීක්ෂණ අනුසාරයෙන් නිගමනයට එළඹීම කුඩාකල පටන්ම සිරිතය. 

අම්බලංගොඩයා සිදුකල පලමුම අනතුරුදායක පරීක්ෂණ වලින් කිහිපයක් ලියා තබනවානම් පළමුවැන්න බයිසිකල් පරීක්ෂණයක්ය. එකට ගොඩයාට පාසලේ එක වසරේ වූ අතර පියාණන්ගේ පුටාර් බයිසිකලයේ පොල්ල අස්සෙන් කකුල දාගෙන වත්ත වටේ පැදි අවදියය. නොවඳිනා වැඳුම් වැන්දාද ආසාවට පාරේ රවුමක් යාමට පියාගෙන් ගොඩයා වෙත අවසර ලැබෙන්නේම නැතිය. ලොකු බයිසිකලයක පොල්ල උඩින් කකුල දමා පැදීමට තරම් උසක් නොවූ ගොඩයා පුංචිම පුංචි කෙනචි හාදයෙක් වූ අතර පොල්ල අස්සෙන් කකුල දමා පැටල භාගය පාගා වත්ත වටේ එහාට මෙහාට ගියේද පියාගේ බලවත් විරෝදය මතය. ඒත් වැඩිමනක්ම පියාණන් එලි පෙහෙලියේ නොපෙනෙනා අල්ලපනල්ලේය. වත්ත වටේ පුංචි රවුම් යන ගොඩයා රවුම ටිකෙන් ටික ලොකු කරමින් ලොකු රවුම් යන්නේ ගේට්ටුව ආසන්නයෙන් වන අතර භාග පැටල ගසනා ශබ්දයට  පියාණන් එලි පෙහෙලියට එන සෙයියාවක් නොමැති නම් හෙමින් හීරුවට ගේට්ටුවෙන් එලියට බයිසිකලයේ හොස්ස පොවනවාත් සමගන හැමදාමත් පියාණන්ගේ අතටම මාට්ටු වෙනවාය. කොයිතරම් ඉව ඇල්ලුවත් බයිසිකලය රැගෙන පාරට සැපත් වන්නටනම් කොහෙත්ම චෑන්ස් එකක් නැත්තේමය.

පෙර කල කුසල කර්මයක් පැළදීමෙන් ගොඩයාගේ පුංචි අම්මා ගොඩයාට අලුත්ම අලුත් කිරි කිරි රතුපාට චොපර් එකක් අරන් දෙන්නේ ඔය අල්ලපනල්ලේ වන අතර ගොඩයාගේ පියානම් එම තෑග්ග තම පුත්‍රයාට දෙනවාට කිසිසේත්ම යහපත් ප්‍රතිචාරයක් දැක්වුයේ නැතිය. එහෙත් පුංචි අම්මා අරන් දුන් චොපරය වත්තේ පමණක් පදින පොරොන්දුව පිට ඔන්න ගොඩයා දැන් චොපර් බයිසිකලයක හිමිකාරයෙක්ය. චොපර් බයිසිකලය අලුත්ම අලුත් එකක් වුවාට ගමේ කොල්ලන් කුරුට්ටන්ට පෙනෙන්නට එය පදින්නට කරේමයක් ගොඩයාට හිමි නොවන්නේ පියාණන් රැකියාවට යන කාල වෙලාවේදී චොපර් බයිසිකලයේ ඉදිරිපස රෝදයේ ස්පෝක් මැදින් තඩිම තඩි ඉබි ගොයියෙක් වැටෙනා නිසාය. මේ කියනා වසර එක්දහස් නවසිය අසූ හතර හෝ අසූ පහ වසර වගට යාන්තමට මතකයේ ඇතත් හරි හැටියට ටක්කෙටම කිව නොහැක්කේ මතක චිපය හරි හැටි වැඩ නොකරනා නිසාය.

එකල අම්බලංගොඩගේ පියා නව නිවසක් සෑදීමට ආරම්භ කර තිබු කාලය වීය. දිනය සති අන්තයේ දිනයක් වුවත් පියාණන් නිවසේ නොමැති නිසා චොපර්  බයිසිකලයේ ඉබ්බා ඉදිරිපස රෝදයේ ස්පෝක් අතර සුරැකිව ගජරාමෙට වැජබෙමින් සිටි අතර දවසකට වතාවක් දුහුවිලි පිස දැමෙන චොපරයේ පිරිසිදු කිරීමේ කරයුතු නිසි ආකාරයෙන් සිදුවූ දිනයක් වන්නේය. පදින්නට වාසනාව නැතත් පිසදා අතගා තබාගන්නට ලැබීමද  ගොඩයාට හෙන ආශ්වාදජනකය. ඉදිරිපස රෝදය පිසදමනා අල්ලපනල්ලේ ගොඩයාගේ කාර්මික ඥානයට වැටහෙන්නේ ඉබි රාජයා ස්පෝක් දෙකක් අල්ලා දමා තිබුනද ඉබි වහන්සේ ස්පෝක් අතර සුරක්ෂිත කළහොත් චොපරය පැදීමට කිසිදු භාදාවක් නැති බවටය. සියලු නිරීක්ෂණ වලින් නිගමනයට පැමිණි අම්බලංගොඩයා ඊළඟට සැරසෙන්නේ රෙදි පටියකින් ඉබි ගොයියා ස්පෝක් අතරටම තබා වෙලා පත්තුවක් බැඳ  රිසිසේ චොපරය පදින්නටය. පරක්ෂණ , නිරීක්ෂණ අනුව පැමිණි නිගමනයෙන් ක්‍රියාත්මක වූ ගොඩයාගේ මල් මසුරන් අදහසට අනුව ඉබි නයිදේ ස්පෝක් වලටම තබා රෙදි පටියෙන් වෙලා දැමු පසු චොපරය ෂපාන් එකට පදින්නට පුළුවන්ය. ඒ අනුව අම්බලංගොඩ හාදයා ඊළඟට සැරසෙන්නේ තම මංගල වීදි සංචාරය සඳහා චොපරය ධාවනයේ යෙදවීමටය.

නැකත හොඳයි කීය පියා 
මව ඉන් ඉදිරියට ගියා 
මග හැම වස් දොස් හැරියා 
එක පැටියෙක් හැබී පියා 

කුමාරතුංග මුණිදාසයන් එසේ කීවද චෝපරයේ මංගල වීදි සංචාරයට ආවඩන්නට තබා  නරඹන්නටද නිවසේ කිසිවෙකුත් පෙනෙන්නට නොමැතිය. පියාණන්ගේ නිත්‍ය මාද්‍ය ලේකම් තැන වන ගොඩයාගේ නැගනියද නිවසේ නොමැතිය. කාලගුණ තත්වය  ඉතාමත් යහපත් නිසාවෙන් අම්බලංගොඩයා තම මංගල චොපර් සංචාරය සිදුකරන්නට යෙදෙන්නේ තම නිවසට ඉහලින් කන්ද උඩ තිබෙනා පුංචි අම්මාගේ නිවස බලාය.

ස්පෝක් අතර හොඳහැටි තද කර වෙලා තිබෙනා ඉබි නයිදේගෙන් ගොඩයාට කිසිදු කරදයක් නොමැති අතර චොපරය කන්ද උඩට ධාවනය වන්නේ කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නොමැතිවය. එහෙත් ගොඩයාගේ අවාසනාවට තමුන්ගේ වීරක්‍රියාව පෙන්වන්නට පුන්චම්මලාගේ නිවසේද කිසිවෙකුත් නොමැතිය. ඊළඟට තිබෙන්නේ ආ පාරේම කන්ද බැහැගෙන නිවසට සැපත් වන්නටය.  අද වෙද්දී කාර් බාර් ධාවනය වුනත් එදා වෙද්දී එව්වට මහා මාර්ග කියනවාට වඩා ගැලපෙන්නේ වාරිමාර්ග කියනා වචනයය. වැහි දිනවලදී කන්ද මුදුනේ හිටං පහලට ගලාගෙන එන්නාවූ මහා ජල කඳ මහාමාර්ගය වාරිමාර්ගයක් කර දමනා නිසා එම මාර්ගයේ වාහන ගමන් කලේම නැතිය. පුන්චම්මාගේ නිවසින් ගෙදර එන්නට පිටත්වූ අම්බලංගොඩයාට ඒ අල්ලපනල්ලේ සුළු පරීක්ෂණයක් කර නිරීක්ෂණ ආකාරයෙන් නිගමනයකට එළඹෙන්නට හිත පහල වන්නේ පෙර කල අකුසල කර්මයකට වන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවාය. එය එසේ කියා ලියන්නේ මොලේ කලඳක් තිබෙනා එකෙකු එවන් ආකාරයේ කුජීත වැඩ නොකරනා නිසාය. ගොඩගේ ඔලුවේ පහලවූ විකාර රූපී සිතුවිල්ල නම් වාරිමාර්ගයක් වැනි දරුණු ආනතියක් තිබෙනා පාරේ පහලට ධානය වන චොපරයේ තිරිංග හෙවත් බ්රේක් නොඅල්ලා කන්ද බැසීමටය.

ක්ෂණිකව හිතේ පහලවූ සිතුවිල්ල අකුරටම ක්‍රියාත්මක කරනා ගොඩයා රැගත් චොපර් බයිසිකලය අධික බෑවුමක් සහිත (වාරි)මාර්ගයේ උඩ විසික් වෙමින් අධික වේගයෙන් කන්ද පහලය ධානය වෙනවාය. අම්බලංගොඩයා අබ ඇටයක් තරම් උස් මහත් නොමැති බැවින් චොපර් බයිසිකලයේ ආසනයේ වාඩිවී ඉන්නට හෙන ට්‍රයි එකක් දෙනවාය. ඒ නිකම් නොවේය.. දත් මිටිකාගෙන හැඩලය තදින් අල්ලාගෙනය. අඩියක දෙකක ජඹුර කානුවක පතුලේ නොපෙනී යන අම්බලංගොඩයා රැගත් චොපරය නැවතත් කානු ගැට්ටෙන් උඩට මතුවන්නේ අහල පහල නිවෙස් වල මිදුල්වල සිටිනා බාල තරුණ මහලු සැමදෙනා වෙතම නොමිලේ වලේ නැතත්බ ඇලේ බයිසිකල් සංදර්ශනයක් බලාගන්නට අපූරු අවස්තාවක් සලසා දෙමින්ය. මිදුල්වල රෙදි වනමින් සිටිනා කාන්තා පාර්ශවය කම්මුලේ අත් දෙකම තබාගෙන බෙරිහන් දෙනවාය. අම්බලංගොඩයාගේ දන්නා කියනා මිත්‍රයින් හුරේ දමන්නේ ඊළඟට වන්නට යන්නාවූ විලබෑසිය උන් නොදන්නා නිසාය. නිවෙස්වල ආලින්දවල පත්තර බලමින් සිටිනා වැඩිහිටි පිරිමි උදවිය ඉහලට ගත් හුස්ම ජුන්ඩ පහලට දාන්නට අමතක වූ ගානය. 

ඇල ගෝල ගංගා යාවි බලා.. දිය රැලි නංවා මුහුද සොයා.. රන්වන් සමනලු යයි පියඹාලා අත්තටු සලලා මල් සොයලා.. ලා ලා ලා ලා...ලා... ලාල ලල්ලා ලාලා..ලාල ලල්ලා ලාලා..ලාල ලල්ලා ලා.... 

ඉහත කී ගීතයෙක් කියවෙන්නා වාගේ අම්බලංගොඩයා රැගත් චොපරය විදුලි වේගයෙන් (වාරි)මාර්ගය  දිගේ වල ගොඩැලි තරණය කරමින් මඩ කාගෙන කන්ද පහලට ඉගිලෙන අල්ලපනල්ලේ ගොඩයා විසින් ස්පෝක් අතරට තබා පත්තු බඳින ලද ඉබි නයිදේගේ පත්තුව බැඳී රෙදි පටිය ලිහිල් වන්නේ අම්බලංගොඩගේ මංගල වීදි සංචාරයේ අවසානය සනිටුහන් කරමින්ය. ඉදිරිපස රෝදය කැරකෙනා වේගයෙන්ම පෝක් අතේ දෙපසට වදින්නට ගත් ඉබි උන්දෑ එක්වරම පෝක් අත හරහා සිරවී නවතින්නේ අම්බලංගොඩගේ චොපර් ගමනාගමනය වසර කිහිපයකට අත් හිටවූ බයිසිකල් තහනමක් බවට පත්කරමින්ය. හුචාස් ගාමින් නැවතුනා වූ ඉරිදිපස රෝදය නිසා චොපරයෙන් ඉහලට ගුවන්ගතවන අම්බලංගොඩයා ගුවන් කරනම් කිහිපයක් ගසමින් නරබන්නන් අමන්දානන්දයට පත් කරවමින් තම වීර ක්‍රියාවේ අවසානය සනිටුහන් කරන්නේ පියාණන් විසින් ඉදිකරගෙන යනු ලබන නව නිවසේ වැට මායිමේ තිබු කටු කම්බි වටේ හැමිනිලාය. ගොඩයා කටු කම්බි වැටේ හැමිනුනු ඇසිල්ලේ චොපර් රාජයාද  ඉබි නයිදේ සමගම කරනම් ගසමින් පැමිණ අම්බලංගොඩගේ දෙපා මුල වැද හොත්තේ මලත් තම ස්වාමියා දමා නොයනා ගතිය යකඩ ගොඩක් වූවද තමුන්ට තිබෙනා වග ඔප්පු කර පෙන්වීමට වාගේය.


නොමිලේ ඇලේ බයිසිකල් නැරඹු හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස ඊළඟට පෙන්වන්නේ ගහෙන් වැටුන එකාට ගොනා අනිනා ජවනිකාවය. එනම් අම්බලංගොඩයාගේ පියාණන් නිවසින් අතුරුදහන්ව සිට ඇත්තේ අලුතෙන් ඉදිකරනා නිවස වයරින් කරනා බාසුන්නහේගේ වැඩ බලමින්ය. අම්බලංගොඩයා ගුවන්ගතවූ ශබ්දයට එලියට පැන්නාවූ වයරින් බාස්ද ගෝලයාද අතරින් ස්වේච්චාවෙන් ඉදිරියට ආ අම්බලංගොඩයාගේ පියාණන් අම්බලංගොඩයා වෙත ප්‍රථමාධාර දෙන්නේ මෙසේය..

දඩාo.....දඩාo..... චටාස්... පටාස්.. ඩාo... ඩාo.... දුවපිය ගෙදර..

ඔලුව කසමින් ගෙදර දුවගියා වූ අම්බලංගොඩයාගේ චෝපරය රෝද වල හුලන් ඇර දමා තඩි දම්වැලකින් දිගේලි වන්නේ එම වීරක්‍රියාවට කෘතගුණ දැක්වීමක් වශයෙන්ය. 

අම්බලංගොඩයාගේ දෙවැනි අපූරු පරීක්ෂණය ක්‍රියාත්මක වන්නේ ලොකු අම්මගේ නිවසට ගියාවූ නිවාඩු කාලයකය. සිංහල අවුරුදු  නිවාඩුවට ගාල්ල ආසන්නයේ පිහිටි ලොකු අම්මගේ නිවසේ සතියක් දෙකක් ගතකිරීමට ලැබීම අම්බලංගොඩයා වෙත ඇති මහත් ආශ්වාදජනක කටයුත්තක් වෙනවාය. එනම් ගොඩයාගේ ලොකු අම්මගේ පුත්තු ගොඩයාට වඩා වසර දහයකට විස්සකටත් වඩා වැඩිමහලු අයියලා වීමය. ලොකු අයියා අම්බලංගොඩයාට වඩා වසර විසි ගානකට වැඩිමහල්ය. මද්දුමයා හෙවත් සුදු අයියා පහළොවකට පමණ වැඩිමහල්ය. බඩපිස්සා හෙවත් පොඩි අයියා වසර දොළහකට දහතුනකට වඩා වැඩිමහල්ය.  උන්දලාටද සිටිනා එකම මලයා වන අම්බලංගොඩයාට ලොකු අම්මගේ නිවසට ගියදා පටන් සුර සැපය. ඉල්ලන ඉල්ලනා දෑ ලැබෙනවාය. හවසට මුහුදු වෙරට එක්ක යනවාය. ඇති තරම් බයිසිකල් පදින්නට ලැබෙනවාය. කැලේ කොලේ ඇති තරම් නටන්නට දුවන්නට පනින්නට ලැබෙනවාය. පංච දාන්නට ලැබෙනවාය. කැට ගසන්නට ලැබෙනවාය. ගස් උඩ නගින්නට ගල් උඩ නගින්නට ලැබෙනවාය. කජු පුහුලන් කන්නට ලැබෙනවාය. වැල වරකා කන්නට ලැබෙනවාය. උසම උස ගහක බැඳී ඔන්චිල්ලා පදින්නට ලැබෙනවාය. කොටින්ම කියනවානම් අම්මාගේ ගමේ ඇති තරම් ඇවිදින්නට ලැබෙනවාය. එහෙත් අම්බලංගොඩයා එම ගමනට ඇති එකම සහ අවසන් අකමැති කොටහ වන්නේ ලොකු අම්මාගේ නිවසට එකල විදුලි බලය නොමැති වීමය. ලොකු අම්මාගේ නිවස පිහිටියේ ගාලු පාරෙන් මදක් ඇතුලට වන්නට පිහිටි කඳු සහිත විශාල ඉඩමක වූ අතර රාත්‍රී කාලයේ ඔවුනට ආලෝකය සැපයුවේ පැට්‍රොල් මැක්ස් ලාම්පුවක්ය. 

දවල් දවස පුරා ලොකු අම්මාගේ වත්ත පුරා ගස් ගල් පුරා දුව ඇවිදින අම්බලංගොඩයා හවස් යාමයේ අඳුර වැටෙද්දී ලොකු අම්මා අසල නිතර ගැවසෙන්නේ පොඩි අයියා වද මල් දෙකක් කන් දෙකේද තවත් දෙකක් කටින්ද ගෙන යක්ස නැටුමක් නටමින් අම්බලංගොඩයාව බයෙන් බිරාන්ත කරනා වූ නිසාය. ඒ නිසාවෙන් දවස් දවස සන්තෝසයෙන් ගතවුවාද රාත්‍රියේ පැට්‍රොල් මැක්ස් ලාම්පුව නිවා දමනා වෙලාවට අම්බලංගොඩ වීරක්‍රියා පසුදා පහන් වනතුරු කල් තැබෙන්නේ ඔලුව උඩින් කෝච්චියක් ගියද පසුදාට පහන් වනතුරු ඇස් නාරින තීරණය තදින් හිතේ ධාරණය කරගැනීමෙන් අනතුරුවය.

ගොඩයාගේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලට ඇත පෙවීමට නොහැකි වූ යමක් ලොකු අම්මගේ නිවසේ තිබුනානම් ඒ අන් යමක් නව පැට්‍රොල් මැක්ස් ලාම්පුව පමණය. ලොකු අයියා එය දල්වන්නාවූ දවසට ගොඩයාට ඒ පැත්ත පලාතක ගැවසීම තහනම්ය. ඒ ලොකු අයියා හෙන නීති කාරයකු නිසාය. ඊටත් අමතරව ලොකු අයියා එය දල්වන්නේ හෙන ලොකු බාරදූර කාර්යක් ඉටු කරනා තරම් ගැම්මෙන්ය. හවසට ඇඟ සෝදවා පොන්ඩ්ස් පවුඩර් දමා කොණ්ඩය පැත්තට පීරා කුමාර ලීලාවෙන් සාලයේ පුටුවක වාඩිකරවා සිටිනා අම්බලංගොඩයාට ලොකු අයියා පනවා තිබෙනා සීමාවෙන් එහාට ලංවීමට තහනම්ය. ඒ නිසා එදාටද පැට්‍රොල් මැක්ස් ලාම්පුවේ වැඩ කෑල්ල අල්ලාගැනීමට අම්බලංගොඩයාට නොහැකිය.  මද්දුමයා හෙවත් සුදු අයියා පැට්‍රොල් මැක්ස් ලාම්පුව දල්වනා දිනයට සියල්ල සිදුවන්නේ කඩිමුඩියේය. එනම් සුදු අයියා නිසි රීතියට ලාම්පුව පිරිසිදු කොට එය දැල්වීමට තරම් කැප කිරීමක් නොකරන ශරීර හොරෙකු නිසාය. ඒ නිසාවෙන් සුදු අයියා ලාම්පුව ගෙන හුචස් හුචස් හුචස් ශබ්දයෙන් හුලන් ගසා විනාඩියෙන් දෙකෙන් ලාම්පුව  පත්තු කරලාද හමාරය. ඈත සිට නරඹන අම්බලංගොඩයා හට එහි නරඹන්නට දෙයක් සුදු අයියා ඉතුරු කරන්නේ නැතිය.

එහෙත් පොඩි අයියා එසේ නොවේය. ලොකු අයියා අහලක පහලක නැතිනම් ඕනෑම අවදානම් දෙයක් අම්බලංගොඩයාට කියා දෙන්නට පොඩි අයියා දෙවරක් හිතන්නේ නැතිය. එවන් දවසක පොඩි අයියා පෙට්රෝල් ලාම්පුව දල්වන්නට වූ අතර ලොකු අයියා නිවසේ නොවුයේ හැමදෙනාගේම අවාසනාවට වන්නට ඇතිය. එනම් පොඩි අයියා අම්බලංගොඩයා ලං කරගෙන සියල්ල හොඳින් නරඹන්නට අවස්තාව ලබා දීමය. 

පොඩි අයියේ මේකෙන් මොකක්ද කරන්නේ..

ඕකෙන් තමයි හුලං ගහන්නේ..

එතකොට මේකෙන්..

එකෙන් තමා හුලන් කොච්චර පිරිලද කියල පෙන්නනේ..

එතකොට මේක..

ආ එක පින් එක..

පින් එක කිව්වේ පොඩි අයියේ..

පින් එක කිව්වේ පින් එක..

එකෙන් මොකද එතකොට කෙරෙන්නේ..

එකෙන් තමයි හෙඩ් එකට යන තෙල් පාලනය කරන්නේ..

ඉතින් එතකොට මේක මොකක්ද..

හා.. හා.. අත තියන්න එපා ඕකට..එක මන්ටලේ..

මැන්ටලේ කිව්වේ පත්තු වෙන එක..

කුමාරෝ... ඔය මල්ලිව ඔතනින් අහකට කරලා කරහන් කරන දෙයක්.. අයිය දැක්කොත් විසුමක් වෙන්නෑ..

අන්න අන්න.. අහුනනේ.. දැන් යනව අමෙතනින් ටිකක් ඈතට..

හුචස්..හුචස්..හුචස්..හුචස්..හුචස්..හුචස්.. හුචස්...හුචස්...

ඒ පොඩි අයියා ටැංකියට හුලන් ගසනා සද්දයය..

ඒ පොඩි අයියේ.. ඕක ටිකක් ඇරලා පෙන්නනවකෝ ඔය ලයිට් එක ..

පිස්සු කියවන්න එපා.. යනවා අහකට මෙතනින්.. දන්නවනේ අයිය ආවොත්..

හරි ඉතින් එයා එනවනම් බයිසිකලේ සද්දේ ඇහෙනවනේ.. ටිකක් පෙන්නනවකෝ..

හරි  එනව එහෙනං.. 

ඔන්න දැන් පොඩි අයියා පැට්‍රොල් මැක්ස් ලාම්පුවේ හෙඩ් එක ගලවා වීදුරු ආවරණයද ගලවා අම්බලංගොඩයාට නරඹන්නට අවස්තාව දීලාය. ලොකු අයියා පැමිණෙන්නට ප්‍රථම හැකි විගසින් පැට්‍රොල් මැක්ස් ලාම්පුවේ සියලු පරීක්ෂණ නිරීක්ෂණ සිදුකල යුතුය.. ඇදහිය නොහැකි ගැජට්ටුව නම් ලාම්පු තෙල් වලින් දැල්වෙන්නාවූ ලාම්පුවේ ටියුබ් ලයිට් එළියක් විහිදීමය.. ඒ නිසාවෙන් එය ඉතා හොඳින් පරීක්ෂා කලයුතුය..

පොඩි අයියේ.. මේ මැන්ටල් ලයිට් එක ලොකු ගානක් වෙනවා ඇති නෙ..

කෑවා කෑවා කෑවා..ශික්.. අම්මේ....මල්ලි මැන්ටලේ කෑවෝ... අද අපි කරුවලේ...

හුටා බැලින්නම් පොඩි අයිය එපා කියද්දී අල්ලලා බලපු මැන්ටල් ලයිට් එක වෙනුවට අම්බලංගොඩ ගොයියාගේ අතේ ඉතුරු වෙලා තිබ්බේ අළු ගොඩ විතරය.. 

පරීක්ෂණය.. පැට්‍රොල් මැක්ස් ලාම්පුවේ මැන්ටලය කුමක්දැයි අල්ලා බලා සෙවීම..  නිරීක්ෂණය .. මැන්ටලය අල්ලා බලු වහා අළු බවට පත්වීම.. නිගමනය.. මැන්ටලය යනු ඇල්ලීමට සුදුසු දෙයක් නොවනා බව ..

ඔය වගේම පරීක්ෂණයක් කරන්න ගිය අපේ තඩියා අහිංසක අසරණ අම්බලංගොඩයාව මාසයක් ලෙඩ ඇඳේ තිබ්බේ පරීක්ෂණය ඉතාමත් අවදානම් සහගත එකක් වෙච්චි හන්දාය. 

තඩියා සහ අම්බලංගොඩයා යන්නේ  ගොඩයාගේ පියාණන්ගේ පිෂ්ටියෙන් තඩියා නිවසට ඇරලවන්නටය. පිෂ්ටිය පදින්නේ තඩියාය . පිටිපස්සේ ගොඩයාය .. යන්නේ පොල්වත්තේ ඉඳන් මහා අම්බලන්ගොඩටය .. ඒ කාලේ අද කාලේ වගේ මුහුදු වැලි හිඟ නැති නිසා කව්රුහරි එකෙක් වලා කජ්ජ ගහපු ගමන් මිනිය කනත්තට ගෙනියන්නේ පාර පුරා මුහුදු වැලි ඉහගෙනය. ඒ හින්දා එකෙක් වලකජ්ජ ගසා මිනිය කනත්තට ගෙනගොස් දින කිහිපයක් යනතුරු එම පාරේ ධාවනය වන්නාවූ මෝටර් සයිකල් සහ ෆුල් සයිකල් කරුවන්ගේවල කජ්ජ ගසනවාය.. එයද එවන් දිනයක්ය. 

වේගයෙන් පිෂ්ටිය පැදගෙන ගිය තඩියා දන බිම වැදී  කනේ වැලි ගෑවෙන්නට පෝරඹ වංගුව නවන්නට තියාගත්තේ පාරේ දමා තිබු වැලි ගැන කිසිදු තැකීමක් නොකරමින්ය..

වැලි වැලි වැලි යකෝ වැලි... ස්ලෝ කරලා ගනින්.. 

කෑ නොගහ හිටහන් බාන්..

එසේ කියා කට ගන්නට මත්තෙන් වැලි ගොඩ උඩ ලිස්සු තාත්තාගේ පිෂ්ටිය, වස්තුවක් නිරන්තරයෙන්ම සරල රේඛීය මාර්ගයක ගමන් කිරීමට උත්සහා කරනා න්‍යාය සැබෑවක් කරමින් වංගුව කෙළින් තිබු නිවසේ වැට කඩාගෙන දෙන්න එක්ක මිදුල මැද්දේ දොයියපතන් කියහන්කෝ..

පිෂ්ටියේ සිග්නල් ලයිට්, වටපිටේ තියන ප්ලාස්ටික් සියල්ල  කුඩු පට්ටම්ය.. තඩියාගේ දෙදන වැලමිට යතු ගාලා වාගේය. හෙල්මට් දෙකට පින් සිදුවන්නට වටිනා කියන ඔලු දෙක බෙරිලාය. හොඳ හැටි සෑදු කඩුල්ලක් තිබියදී වැට කඩාගෙන බිම ඉලීගන වත්තට පැමිණි ආගන්තුකයින් දෙදෙනා පිළිගැනීමට නිවැසියන් අසල් වැසියන් ප්‍රමුක පෝරඹ ජනතාව වටවෙලාය. එවන් ජතාවක් ඉදිරියේ තම පරීක්ෂණයේ ප්‍රතිපල වලින් නිගමනයට පැමිණි තඩියා නම් එයින් මතු වැලි තිබෙනා පාරක වංගු නව්වේ නැති වගට සාක්ෂි වන්නේ තඩියා තවම ජීවතු අතර සිටිනා බැවින්ය. තඩියා විසින් සිදුකල එම පරීක්ෂණයේ ප්‍රතිපල වශයෙන් දකුණු කකුලේ දණහිස පටන් වළලුකර දක්වා සයිලන්සරයට පිළිස්සුනු අම්බලංගොඩයා මාසයක් වින්ද දුක් දන්නේ අම්බලංගොඩයා පමණය. පිස්ලිස්සුම් තුවාල වලට බෙහෙත් දැමීම දවසක් හැර දවසක් සිදුවුවාය. එම තුවාලය සුව කර ගෙදර ඇරලවන අරමුණෙන් අම්බලංගොඩයා ලොකු අම්මාගේ නිවසේ නේවාසික කරගත්තේ ලොකු අයියාය. පිළිස්සුම් තුවාලයේ උඩින් දමනා නෙට් කැබැල්ල ඉවත් කරනා විට දැනෙනා සනීපය කියන්නට තඩියා ඒ අහල පහල සිටියානම් සෑහෙන්න වටිනවාය. පොඩි අයියා සහ සුදු අයියා, ලොකු අම්මා, ලොකු තාත්තා යන හතර දෙනා විසින් දිගේලි කර බෙල්ල මිරිකා අත පය බැඳ අල්ලාගන්නා  අම්බලංගොඩයාට අත පය සොලවන්නට බැරි වග ටක්කෙටම තහවුරු කරගන්නා ලොකු අයියා තුවාලයේ තිබෙනා නෙට් කොටස තුවාලයෙන් ඇද දමනා වේදනාව අදද මතක් වෙන වෙලාවට තඩියා අහල පහලක හිටියෝතින් බෙල්ල මිරිකන්නට හිතෙනවාය. වද බන්දනය එතනින් අහවර නැත්තේය.. ඉන් අනතුරුව තුවාලය පිරිසිදු කර බෙහෙත් දමන්නට කරාපිටිය රෝහලේ බෙහෙත් දමනා මහත්මයකු නිවසට පැමිනනවාය. එතුමාගේ මොටෝවේ ශබ්දය ඇසෙනා විට නැවතත් අම්බලංගොඩයාට මුත්‍රා බර වෙනවාය. නැවතත් පෙර සේමය. හතර පස්දෙනෙකු විසින් පුටුවක තබා අල්ලාගන්නා අම්බලංගොඩයා වහලයේ උළු තවුතිසාවටම විසික් වෙන්නට මර හඬ තලනා අල්ල පනල්ලේ කරාපිටියේ තුවාල බෙහෙත් කරු රිසිසේ ගොඩයාගේ දකුණු කකුලේ තුවාලය එන්ජෝයි කරනවාය. මාසයක් තිස්සේ කරනා ලද්දාවූ එවන් අසීරු ව්‍යායාමයකින් අනතුරුව පිළිස්සුම් තුවාලය සුව වුවත් අම්බලංගොඩයා එම පරීක්ෂණයෙන් ලැබූ නිගමනය නම් මෝටර් සයිකල් වල පසුපස යාම ඉතාමත් අවදානම් බවය.

අහිංසක අසරණ අම්බලංගොඩයාට කල අපරාදය තඩියා වෙත පල දුන්නේ ඉන් වසර දහයකින් පමණ අනතුරුවය. ඒ ට්‍රිප් එකක් යන්නට ඩොලක්කියක් ගේන්නට ගිහිල්ලාය. එදා තඩියා ගිය මොටෝව පසුපස සිටියේ බතලයාය. තම ප්‍රථම ප්‍රේමයෙන් මුසපත්ව සිටි බතලයා එකට සිටියේ පියවි සිහියෙන් නොවේය. රාත්‍රී අටට පමණ ගාලු පාර හරහා මොටෝව හැරවීමට තඩියා සහය ඉල්ලුවේ බතලයාගෙන්ය..

වාහන එනවද බලහන් පිටිපස්සේ..

හ්ම්..

ඉතින්  ඉක්මනට බලල කියහන්..

දෙකක් එනෝ..

පසුපසින් පැමිණි පළමු වාහනය තඩියා පසුකරගෙන යනවාය.. දෙවැනි වාහනයද  යනවාය.. ඊළඟ වාරය  තාදියාගේ හැරවුමටය..

දඩෝන්..... 

තඩියා තවම ජීවතුන් අතරය.. වරද නම් පසුපස බැලු බතලයා ප්‍රේමයෙන් මුසපත් දෑසින් හරි හැටි වාහන ගණන් නොකිරීමය.. පසුපසින් ආ වාහන ගණන තුනක් වූ අතර තඩියා සමග මොටෝව හප්පාගෙන යකඩ පැටවූ ලොරියක් අසල තිබු තාප්පයද කඩාගෙන නිවසක් අසලට ගොස් නතර වෙනවාය.. එදාද තඩියාට වඩා හානිය අම්බලංගොඩයාටය. ඒ මන්දයත් ඒ මොටෝවද  පියාණන්ගේ පෙර කී මොටෝවම වීමය.

ගිය නොගිය ට්‍රිප් එක ................








Thursday, September 1, 2016

සයිඩ් බිස්නස්






ඔන්න මේ සිද්දිය සිද්දවුනේ දෙදහ දශකයේ මුල් භාගයේ. අම්බලංගොඩ කතා ලියන මං ඒ කාලේ ජීවිතේ ගැටගහගත්තේ ආණ්ඩුවේ පඩියෙන් සහ මගේ පුද්ගලික ව්‍යාපාරයෙන්. සතියේ දවස් පහ රැකියාව කරන අතරේ රාත්‍රී කාලය ව්‍යාපාරය වෙනුවෙන් වෙහෙසීමත් සති අන්තය සම්පූර්ණයෙන්ම ව්‍යාපාර කටයුතු වෙනුවෙන් තමා.. සමහර සතියේ දවස්වල රාත්‍රිය නොනිදාම පහුවදා රැකියාවට යාමට වෙන වෙලාවල් බොහොමයි. ඒ වෙලාවට සිහියට එන වැකිය තමා ත්‍රී වීල් වල පිටිපස්සේ අලවලා තියන "රුපියල් සත නිසාද අපිට මේ දුක " කියන කතාව. ඒ වගේ නිදි නොලැබූ රාත්‍රීන්ට පහුවදා සුපුරුදු තැපැල් දුම්රිය අමතක කරලා දාල සුකෝපභෝගී බස් රථයක නැගල නින්දක් ලබා ගැනීම සුපුරුදු දෙයක් වුනාට උදේ පාන්දර පහට බස් එකේ ඒසී එක අයිස් මිදෙන තරමට සීතලට දාගෙන ඉන්නේ බස් එකේ ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි රෑට මී හරක් මස් කාලද කියන එක අම්බලංගොඩයාට නම් අදටත් ප්‍රශ්නයක්. ඒත් ඉතින් තදින් නින්ද යන අවස්ථාවල බම්බලපිටියෙන් බහින්න ඕන අම්බලංගොඩයා බස් එකෙන් බහින්නේ පිටකොටුවේ බෝගහ ගාවදි කොන්දොස්තර තැන විසින් "පිටඔටුව බහින්න" කියන සද්දෙට ඇහැරුනායින් පස්සේ තමා. ලොක්කා ස්වේච්චාවෙන්ම රතු ඉර ගැසීමේ කාර්යය වෙලාවට කලාවට ඉටු කරන නිසා පිට කොටුවෙන් බැස්ස දවසට අහිංසක අසරණ අම්බලංගොඩයාගේ නිවාඩු භාගෙකට කණකොකා හඬන එක සාමාන්‍ය දෙයක්. මාසෙට ලැබෙන කෙටි නිවාඩු දෙක මාසේ මුලම ක්‍රියාවේ යොදවන නිසා ප්‍රමාදවී පැමිණීම සම්භන්ධව ආයතන නීති රීති වලට අනුව නිවාඩු භාගයක් අයකරගැනීම රජයේ චක්‍රලේඛ වලට අනුව සිද්දවෙන සාමාන්‍ය දෙයක්. අපරාදේ කියන්න බෑ අප්පා ලොකු මහත්තයත් ඒ මහත්තයාට කඩේ ගිහිපු දාබරේල දයානන්දලා ඉතින් ඔව්වයින් සෑහෙන්න වින්දනයක් ලැබුවා කීවොත් තමා නිවැරදි. ලොකු මහත්තයා කියල කට වචනෙට කිව්වට ඒ උදවිය ගාව තිබ්බ අල්පම ගුණය තමා ඉතින් මහතමා ගුණය.

ඔය නිවාඩු ගැන වැඩි දුරටත් යමක් ලියනවනම් මේ ලියන අම්බලංගොඩයා දෙදහස් එක අවුරුද්දේ ඔය  කියන දෙපාර්තමේන්තුවට රැකියාවට යනකම් ඒකෙ කාර්යමණ්ඩලය ආයතන නීති රෙගුලාසි ගැන මෙලෝ අවබෝධයක් නැතුවයි වැඩකරලා  තිබ්බේ. කොටින්ම කිව්වොත් මීට අවුරුදු දහස් ගානකට කලින් තිබ්බ වැඩවසම් යුගය වගේ එකක් තමා ඒ ගොඩනැගිල්ල ඇතුලේ ක්‍රියාත්මක වුනේ. රජයේ චක්‍රලේකය අනුව උදෑසන ප්‍රමාදවී රැකියාවට වාර්තා කිරීම සම්භන්ධයෙන් කපා හැරෙන නිවාඩු භාගය කපා හැරියාට අනතුරුව පැය හතරක සේවා මුරයකින් පසු සේවකයාට ගෙදර යන්න පුළුවන් කියල ඒකෙ හිටපු ලිං මැඩියන් දැනගත්තේ අම්බලංගොඩ හාදයා එතන රස්සාවට ගියායින් පස්සේ තමා. එතකම් සිදුවෙලා තිබ්බ ක්‍රමේ තමයි පරක්කු වෙලා ආවත් නිවාඩු භාගයක් දාල දවසම වැඩ කරන ක්‍රමය. එහෙම උනාම උදෑසන අටයි තිහට පස්සේ රැකියාවට වාර්තා කරන සේවකයා සවස හතරයි තිහ වෙනකම් සේවයේ යෙදෙන්නේ නිවාඩු භාගයකුත් අතින් දාලයි. අම්බලංගොඩ හාදයා එතනට ගිහින් ලිං මැඩියන්ට නීති රීති කියලා දීල ඇස් පෑදුවායින් අනතුරුව අටයි තිස් එකට වැඩට එන එකා දවල් දොළහයි තිස් එකට ඕෆ් වෙලා ගෙදර යන්න ගත්ත එකේ හිතේ අමාරුව ලොක්ක පිරිමහුවේ අම්බලංගොඩ එකාගෙන්ම තමා. කොටින්ම කියනවනං අම්බලන්ගොඩ එකා රතු ඉරට අහුවුනා කියන්නේ ලොක්කටත් දාබරෙටත් දයානන්දටත් දවසම සන්තෝසෙන් ගතකරගන්න ලැබෙන මහගු අවස්තාවක්. අවුරුද්දට නිවාඩු හැත්තෑවක් වගේ සුළු ගානක් ගන්න අම්බලංගොඩ එකා එයාලට දීපු සතුට සැනසීම ඇති මයේ හිතේ නිවන් දකින්න..හෙහ්.. වැඩේ කියන්නේ ආණ්ඩුවෙන් දීපු නිවාඩු හතලින් පහයි ඊට අමතරව වැටුප් රහිත නිවාඩු තිස් ගානකුයි දැම්මත් ලොක්ක නෙවේ අම්බලංගොඩයා ඉල්ලපු ස්ථාන මාරුව දිහා ඇහැක් ඇරලා බැලුවේ. වෙන ලොක්කෝ නම් වැඩට එන්නේ නැති එකා එලෝලා දානවා වුනත් මේ ලොක්ක එහෙම කැත වැඩ කරන කෙනෙක් නෙවෙයි. මොකද මේ ලොක්කට ඕනෑ යන්න නොදී තියාගෙන නොමරා මරන්න. වෙනත් විදිහකට කියනවනං ටොම් ඇන්ඩ් ජෙරී සෙල්ලම කරන්න. හැබැයි ඉතින් ලොක්කා අටවපු උගුල් එකකවත් පය නොතියා රස්සාව බේරාගෙන ඉදිරියට යන ස්ථානෝචිත අහවල් එක අම්බලංගොඩ හාදයාට උපතින්ම තිබ්බ බව ලොක්ක දැනගෙන ඉන්න නැතුව ඇති.

හැමදේටම පලිගන්න ලොක්කාට කරන්න පුළුවන්වුනු එකම දේ තමා අම්බලංගොඩයාගෙ වාර්ෂික වැටුප් වර්ධකය අනුමත නොකර මුකුත් නොලියා මේසය උඩ අවුරුද්දක් තියාගෙන ඉන්න එක.. ඒත් ඒකත් අම්බලන්ගොඩයාට වාසියක් වුනේ මෙහෙමයි. ආයතන පරිපාලන අංශය විසින් ලොක්කාගේ අනුමැතිය ඉල්ලලා එවන වැටුප් වර්ධක වෙනුවෙන් ලොක්කා අත්සන් තැබිය යුතුම නිසා එය නොමැතිව වැටුප් වර්ධකය වැටුපට  එකතු වන්නේ නැත. ඒත් අම්බලංගොඩයාට එරෙහිව ලිඛිත පැමිණිලි නොමැති නිසා ලොක්කාට එය අනුමත නොකර සිටින්නටත් නොහැකියි. ඒ වගේ වෙලාවට ලොක්කන් කරන දේ තමා ලියුම නොදැක්කා සේ මේසයේ ට්‍රේ එක උඩ සෑහෙන කාලයක් තියාගෙන සිටීම. කොයි තැනදීත් පුර පක්ෂය දිහා සුභවාදීව බලන අම්බලංගොඩයාට එයින් ලැබෙන වාසිය නම් අවසාන මොහොතේ ලොක්කා විසින් අනුමත කර යවන ලිපියෙන් අනතුරුව එතෙක් අයවිය යුතු සියලුම වැටුප් වර්ධක හිඟ මුදල් සමගම එක වතාවෙන්ම ලැබීම.. ටික ටික ලැබෙනවාට වඩා කොච්චර හොඳද බොලේ එකපාරට ලැබෙන එක. නිවාඩු සහ ලොක්කා ගැන නොලිය මේ පොස්ට් එක ලියන්න විදිහක් නැත්තේ අම්බලංගොඩ හාදයාට තමුන්ගේම කියල ව්‍යාපාරයක් ආරම්භ ඕන කියල හිතෙන්න තරම් බුද්ධිමය දායකත්වය සැපයුවේ ලොක්කාගෙන් සිද්දවුණු අඩම්තේට්ටම් වීම. එහෙම නොවෙන්න තාමත් අම්බලංගොඩයා සොච්චම් වැටුපක් අරගෙන මාස භාගයක් බඩගින්නේ ඉන්නවා වෙන්නත් පුළුවනි. එහෙමත් නැත්තම් කොහෙවත් යන ජඩකම්කු, බලුකම්, කුහකකම්  , අමනුස්සකම්, වලින් පිරිච්ච දෙකයි පනහේ ලොක්කෙකුගෙන් අඩම්තේට්ටම් විඳිනවා වෙන්නත් පුළුවනි. ඒ කෙසේ වෙතත් උගතුන් වූ පමණින් පරිපාලනමය සුදුසුකම් නැති උදවියගෙන් ආයතන සහ සේවකයින් පාලනය කරවීම ගැන අපේ රටේ පාලනාධිකාරිය තවදුරටත් සිතා බැලිය යුතුයි කියන එකයි අම්බලංගොඩයා ඒ ගැන දරන ආකල්පය. ඒත් ඉතින් විෂය අනුබද්ධ උපාධි සියල්ලම තියන ලෝකයේ සම්මත උසස්ම අද්යාපන සුදුසුකම් තියන ලොකු ලොකු උදවිය පාලනය කරන්න ඊට ඉහලින් ඉන්නේ අට පාස් නැති ඇමතිකෙනෙක් නිසා ආයතනයක් පාලනය කරන්න පරිපාලනමය සුදුසුකම් ඕනෙමත් නැතුව ඇති කියලත් අම්බලංගොඩයාට වෙලාවකට හිතෙනව. සේවකයාගේ දරු මල්ලන්ගේ බඩගින්න සහ හෙට දවස හිලව්වට තබා තම සේවකයා වහල් සේවයේ යෙදවීම  ගැන අම්බලංගොඩගේ නම් කිසිසේත්ම ප්‍රසාදයක් නැත.

මෙතෙක් වෙලා කැලේ පැනපු පොස්ට් එක හරි පාරට එන්නේ ඔන්න දැන්.. ඔන්න මේ කියන දවසට කලින් දවසේ අම්බලංගොඩයාගේ ඥාති ගෙදරක කොටහළු මගුලක්. එව්වා මහා ගොන් බූරු ගෝත්‍රික වැඩ වුනත් ඥාතියෙකුගේ හිත මිතුරෙකුගේ දේකට සියලු බර කරට අරගෙන වැඩ කටයුතු කරලා දෙන එක අම්බලංගොඩගේ සිරිත නිසා කොටහළු මගුල් ගෙදරට ශ්‍රමයෙන් සපයන දායකත්වයට අමතරව කේටරින් සේවාවෙන් ලැබෙන දායකත්වයත් සැපයුනේ අම්බලංගොඩගේ බොක්කේ යාළුවෙකුගෙන්. ඔන්න ඉතින් කොටහළු මගුලට පහුවදා සෙනසුරාදා දවසක් හින්ද අම්බලංගොඩයා ව්‍යාපාර ස්ථානයේ ඉන්න අතරේ ඥාති නිවසට දුරකථන ඇමතුමක් දුන්නේ වැඩ කටයුතු සියල්ල සාර්ථකව නිමවුනාද කියල සොයා බලන්නයි..

හලෝ..

ආ අයියේ  මම  _ _ _..

ආ මල්ලි මොකෝ උදේ මේ පැත්තේ ආවේ නැත්තේ.. අපි හිතුවේ එයි කියල..

එන්න විදිහක් නෑ අයියේ .. අද කඩේට හිරවුනානේ.. ඉතින් වැඩ ටික හොඳින් කෙරුණා නේද..

ඔව් මල්ලි.. ඔක්කොම හිතුවටත් වඩා හොඳට කෙරුණා..

ඉතින් අපේ කොල්ලන්ගේ ටෙන්ට් පුටු ඔක්කොම ගලවල ඉවරයිද..

අපෝ ඔව් මල්ලි.. ඊයේ රෑම එයාල ඔක්කොම ගලවගෙන ගියා..

ආ එහෙමද.. අද හෙට ඒවි සල්ලි අරන් යන්න.. අයියල කලබල වෙන්න ඕන නෑ.. සල්ලි පස්සේ දුන්නත් කමක් නෑ..

නෑ මල්ලි සල්ලි ඔක්කොම ඊයේ රෑම බේරුවා..

ආ එහෙමද.. එහෙනං ඉතින් ඔක්කොම හරිනේ..

ඔව් මල්ලි.. ඔක්කොම හරි.. ඒත්...

මොකෝ අයියේ අවුලක්ද..

ලොකු අවුලක් නෙවෙයි මල්ලි.. අරක්කු බෝතල් තුනක් ඉතුරුවුනා.. බාර් එකෙන් ආපහු ගන්න එකක් නැහැ නෙහ්..

බාර් එකෙන් නම් ගන්න එකක් නෑ අයියේ.. අපි අඳුරන්නේ නැහැනේ..

අපේ ගෙදරත් බොන්න කෙනෙක් නැහැනේ මල්ලි.. ඔයාලත් ඉතින් බොන්නේ නැහැනේ නේද..

(හොඳින් කන බොන එකෙක් වුනත් අම්බලංගොඩයා එහෙම ඥාති මිත්‍රාදීන් ඉන්න තැන්වල මොනම හේතුවකටවත් සුරාමේරය සිල්පදේ කඩන්නේ නැති  නිසා අම්බලංගොඩයලා හෙන සිල්වත් කොල්ලෝ කියලයි ඥාතීන්ගේ පිළිගැනීම .. ඊටත් අමතරව බිව්වාම සති ගානක් ගඳ එන එන මේ මල ජරාව අම්බලංගොඩයා කීයටවත් කටේ තියන්නේ නැති එක ඉස්සර හිටංම ප්‍රතිපත්තියක්..දැන් ඉතින් ගල් බලකායේ එවුන් අම්බලංගොඩයා එක්ක එල්ලෙයිද මන්ද..)

අනේ නෑ අයියේ.. මමනම් ඉතින් බොන්නේ නෑ අයිය  දන්නවනේ..

එහෙනම් ඉතින් මොනා කරන්නද මල්ලි.. බැරිද මල්ලි අපිට මේක කාටහරි විකුණගන්න..

(ලක්ස ගානක් වියදම් කරලා ගොන් බූරු මගුලක් කාල ඉතුරු වෙච්චි අරක්කු බෝතල් තුන කාට හරි බොන එකෙකුට නිකම් දීල දාපන් යකෝ කියල කියන්න හිතුනත් එහෙම කියන්නේ කොහොමද ඥාතියෙක්නේ )

බලමු අයියේ.. මම කාටහරි කියන්නම්කො..

ලොකු උදව්වක් මල්ලි.. 

එහෙනං ඔය බෝතල් තුන මට ගෙනත් දෙන්නකෝ..

හා මල්ලි.. මම අදම ගෙනත් දෙන්නං..

ඒ කාලේ අම්බලංගොඩයා අද එකා වගේ නෙවෙයි.. ඕනෑම කෙනෙකුට ඕනෑම උදව්වක් කරන්න දෙපාරක් හිතන්නේ නැති තරම්.. කොටින්ම කියනවනම් කාට හරි මැරෙන්න උදව්වක් ඉල්ලනවානම් මැරෙන්න ලේසිම ක්‍රමය හොයල දෙන්න තමා අම්බලංගොඩයාගේ ට්‍රයි එක. කව්රුහරි එල්ලිලා මැරෙන්න ඕන කියල කියනවනම් එලිලා මැරෙන්න හොඳම කඹය සහ එලිලා මැරෙන්න සුදුසු ගහක් කණුවක් වගේ දෙයක් හොයල දෙන්න තමා අම්බලංගොඩයාගේ උත්සාහය.. උදව්වක් නම් ඉතින් ඕනෑම කෙනෙකුට එකක් ඉල්ලුවාම එකට දෙකක් දෙන්න තමයි ට්‍රයි එක.. අන්න ඒ හින්ද තමා අම්බලන්ගොඩ කතා බ්ලොග් එකේ උඩින්ම තියෙන්නේ ලියන්න බැරි කතා දහසක් අතරේ ලියන්න පුළුවන් ටික විතරයි කියල ඕන්..මොකද හොඳම කතා සියල්ලම තියෙන්නේ ඒ ලියන්න බැරි ගොඩේ.. එව්වා ලිව්වත් අම්බලංගොඩයා අවුරුද්දකට සැරයක්වත් අම්බලංගොඩ ගිහිං බොරු.. දෙයියනේ කියල ගල්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න අපේ විපුලඥාන ස්වාමින් වහන්සේ මතු බුදුවෙන්න අද වෙද්දී නම් අම්බලංගොඩයා ඒ ගොන්කම් කරන එක ස්තිරේටම නවත්තල අහවරයි.. ඒ පින ඉතින් අම්බලංගොඩයාව ආරණ්‍යයට ඇදගෙන ගිය අපේ සිරාටත් අනෙකුත් කල්‍යාන මිතුරන්ටත් සම සමව හිමියි..)

ඔන්න  අයියගේ කෝල් එක ඉවර වෙලා පැය භාගයක් යන්න කලින් ගල් බෝතල තුනත් ඔතාගෙන අයිය කඩේට වාර්තා කරා කියමුකෝ ..

මේන් මල්ලි බෝතල තුන..

හා අයියේ ඔහොම තියන්නකෝ.. මම කාටහරි දීල සල්ලි අරන් දෙන්නම්කො..

සල්ලිනම් ඉතින් හදිසියක් නැහැ මල්ලි.. කාටහරි දීල දාන්නකෝ..මම එහෙනම් ගිහින් එන්නම්කෝ..

අයියා ගල් බෝතල් තුනක් අම්බලංගොඩයා සමග තනිකර නික්ම ගිය වහා අම්බලංගොඩයා කල්පනා කරන්නේ කාටදෝ මේක විකුනන්නේ කියලයි.. නිකමට වෙළඳ ස්ථානයට එපිටින් තිබෙන ත්‍රිරෝද රථ ගාල බැලුවාම තමයි දැක්කේ අම්බලංගොඩයා ගල් බෝතල තුනෙන් ගලවගන්න පුළුවන් ගැලවුම් කාරයා තමන්ගේ ත්‍රිරෝද රථයේ වාඩි වෙලා හයර් එකක් මරාගන්න පාර දිහා බලන් ඉන්න වග..

චූටි  මල්ලී...

ඕ...

මෙහෙ එනවකො ටිකක්..

මොකෝ..

මොකද කියන්න මෙහෙට එනවකෝ..

චූටි  මල්ලී වෙළද ස්ථානය වෙත පැමිණියද ඒ ගත පමණය.. හිත සහ ඇස තිබෙන්නේ පාරේය.. ඒ හයර් එකක් කපා ගැනීම සඳහාය..

මොකෝ බං අයියේ..

පොඩි වැඩකට බං.. 

ඉතිං කියනවකෝ..

කියන්න උඹ සිහියෙන් අහගෙන ඉන්නෙපැයි ගොනෝ..

හරි.. ඉතින් කියනවකෝ.. වැඩිහිටි නිවාසේ දානයක් ඕයි.. දැන් දානේ ඉවර වෙන වෙලාව.. පොතේ හැටියට හයර් එකක් දෙකක් එන්න ඕනෙමයි..

හරි බං.. මේකත් උඹේ අතට ගානක් එන වැඩක්.. 

අන්න එහෙම කියනවකො.. මොකක්ද කෙරෙන්න ඕන..

ගල් බෝතයක් කීයද දැන්..

හත්සීයක් වෙයි..

හරි.. මා ගාව බෝතල් තුනක් තියෙනවා.. මට බාර් එකේ ගාන දීල ඕන ගානකට විකුනගන්නවා..

සිම්පල් කේස් එකක්නේ අයියේ.. රෑ වෙද්දී අපේ කට්ටිය පිස්සු බල්ලෝ වගේ බෝතල් හොයන්නේ..

හරි.. උඹට ගැනුම් කාරයෙක් ආවොත් කෝල් එකක් දීල එනවකො.. හැබැයි පුතේ බෝතලේ ඉල්ලන එකා මා ගාවට එක්ක එනවා නෙවෙයි හරිද..

හරි හරි බං අයියේ.. මම වැඩේ කරලා දෙන්නං..

ගනුදෙනුවේ අතරමැදියා හෙවත් අම්බලංගොඩයා සහ විකුණුම්කරු අතර වූ එකඟතාවය අනුව පසුවදා පොහොය දිනය වූ බැවින් දහවල පසුවී ඉර අවරට යන්නට මත්තෙන් බෝතල තුන මුදල් කර දීමට චූටි  මල්ලීට ගතවුයේ පැය කිහිපයක් පමණය. එදිනම පොහොය සඳ බැස යන්නට මත්තෙන් ගල් ගනුදෙනුවේ මුදල් ඥාතියාට බේරා දැමු නිසා අම්බලංගොඩයා එම ගනුදෙනුවෙන් සියයට සියයක්ම නිදහස් වෙනවාය.

ඉන් සති කිහිපයකට පසුව සුපුරුදු ආකාරයෙන් ඉර බැසගිය සොඳුරු සැන්දෑ යාමයක සිරාගේ  ගරාජයේ කැරම් බෝර්ඩ් එක වටේ වටවී සිටිනා අල්ලපනල්ලේ  අම්බලංගොඩගේ  මොටොරෝලාව මොරදෙනවාය..

ට්‍රීන් ... ට්‍රීන්... ට්‍රීන්...

හෙලෝ..

පුතා ඔයා කොහෙද ඉන්නේ...(  අමතන්නේ තාත්තාය)

ඇයි අහන්නේ.. මම  යාලුවෙකුගේ  ගෙදර ..

මේ කව්ද ළමයි වගයක් ඇවිත් ඔයාව හොයනවා..

කව්ද ඇවිත් ඉන්නේ.. මම දන්න කෙනෙක්ද..

අනේ මන්ද ළමයෝ.. මීට කලින් නම් දැකල නෑ.. 

ඉතින් එහෙනම් ෆෝන් එක දෙන්න බලන්න..

ඉන්නකෝ  එහෙනං.. 

මේ ළමයෝ.. මෙන්න කව්රුහරි එන්න ඇවිත් කතා කරන්න..

හලෝ.. මේ  _ _ _ අයියද..

ඔව්..

අයියේ අපිට ඔයාව ටිකක් හම්බෙන්න ඕන.. පොඩ්ඩකට ගෙදර ගාවට එන්න පුලුවන්ද..

මල්ලි ඔයා කව්ද.. ඇයි මාව හොයන්නේ.. 

ෆෝන් එකෙන් කියන්න බෑ අයියේ.. විනාඩි පහකට  ගෙදර ගාවට එන්නකෝ..

ඇයි මොකක්හරි වැදගත් වැඩක්ද.. ඔයා කව්ද..

මගේ නම කිව්වට ඔයා දන්නේ නෑ අයියේ.. පොඩ්ඩකට ගෙදර ගාවට එන්නකෝ..

හා ඉන්නවකෝ එහෙනම් මම විනාඩි දහයෙන් එන්නං..

සිරාගේ නිවසේ සිට මාගේ නිවසට විනාඩි දහයෙන් එන්නට පුළුවන් නිසා අම්බලංගොඩයා නිවස බලා ඉගිලෙන්නේ මේ ඇවිත් තිබෙන්නේ මොකාද කියා බලාගන්නා කුතුහලය නිසාය.. අම්බලංගොඩයා එහි යන විට තුන්සක රියක් ගේට්ටුව ගාව ගාල්කර නාඳුනන තරුණයින් තුන්දෙනෙක් පාරේ මග බලා සිටිනවාය..

අම්මෝ දෙයියෝ දැක්ක වගේ..

කව්ද ඔයාල.. ඇයි මාව හොයන්නේ..

අයිය අපිව අඳුනන්නේ නැහැ අයියේ.. අපි ආවේ පොඩි පණිවිඩයකට..

මොකක්ද මගෙන් කෙරෙන්න ඕන ඔයාලට..කියන්නකෝ බලන්න.. මම මේ කර කර හිටපු වැඩෙත් දාලයි ආවේ..

අයියේ මේ චූටි මල්ලි පණිවිඩයක් කිව්වා ඒකට ආවේ..

මොන චූටි මල්ලිද..

අයියලාගේ කඩේ ගාව ත්‍රීවිල් පාරක් එකේ චූටි මල්ලි..

හරි දැන් මොකක්ද මගෙන් කෙරෙන්න ඕන..

අද පෝය දවසේ අයියේ.. අපිට මේ පොඩි අවශ්‍යතාවයක්..

ඉතින් කියනවකො ඇඹරෙන්නේ නැතුව..

අද බාර් වහලනේ අයියේ.. අපිට ගල් බෝතලයක් ගන්න කියල ආවේ..

මොකක්.. ඔයාලාට පිස්සුද.. මා ගාව කොහෙද ගල් බෝතල්..

අයියේ අපිව අවිශ්වාස කරන්න එපා.. අපි පොලිසියට ඔත්තුව දෙන්න නැහැ.. අපිට බෝතලයක් දෙනවකො.. වැඩිපුර පන්සීයක් දෙන්නං..

ඔයාලට කව්ද  කිව්වේ මම  අරක්කු විකුනනවා කියල..

චූටි මල්ලි තමයි කිව්වේ.. 

කෝ දැන් චූටියා..

ඌ කතරගම ගිහින් අයියේ.. ඒ නිසයි පුලුවන්නං අයියව හම්බෙලා ගන්න කිව්වේ..

ඔයාලට වැරදීමක් වෙලා මල්ලිලා.. චූටියා කියන්න ඇත්තේ වෙන කෙනෙක් ගැන..

නෑ අයියේ.. චූටියා කිව්වේ ඔයා ගැනම තමයි.. අයිය පෝය දවසට විතරයි කිව්ව බඩු ගේන්නේ..

මල්ලිලා.. දැන් ඔයාල මෙතනින් යනවද.. ඔයාලට කොතන හරි වැරදීමක් වෙලා..මා ගාව ඇති අරක්කුවක් නැහැ හලෝ..

අනේ අයියේ එහෙම කරන්න එපා අයියේ.. අපි එහා ගමේ.. ඕනෙනම් චූටියට කෝල් එකක් ගහල අහන්නකො.. අපි ඉතින් බොක්ක තමා.. ආයේ මරල ඇහුවත් කියන්නේ නෑ නෑ නෑමයි..

මල්ලි.. මම ඔයාලට එක වතාවක් කිව්වනේ බන්.. ඔයාලට බැලු බැල්මට කියන්න පුලුවනිද මම අරක්කු බිස්නස් කරන කෙනෙක් කියල..

අද කාලේ මිනිස්සු පෙනුමෙන් පෙන්නන දේවල්ද අයියේ ඇතුලෙන් කරන්නේ... බොරුවක්අ වෙන්න බැහැනේ අයියේ චූටියනේ කිව්වේ..

මම ඌව අල්ලගන්නම්.. ඔයාල දැන් යන්න.. මා ගාව ඇති අරක්කුවක් නෑ මල්ලි..

එහෙමද.. අපිත් අල්ලගන්නම්කො චූටියව..

කැමති දෙයක් කරගනිල්ල..

තුන්සක රියේ පැමිණි තරුණ පිරිස නික්මගිය වහා ඊළඟ ප්‍රශ්න පත්‍රය තාත්තාගෙන්ය..

කව්ද ඒ ..

මේ දන්න එවුන් වගයක්..

දන්නා එවුන් නම් කෝල් එකක් දීල ඉන්න තැනකට එන්නේ නැතුව ගෙදරට ඇවිල්ල හොයන්නේ දන්නා කියන එවුන් වෙන්න බැහැනේ.. මොකටද ඇවිත් තියෙන්නේ..

හයර් එකක් යන්න වාහනයක් හොයන්න..

ඉතිං ඕකට ඔච්චර හොයන්න ඕනෙද..

උන් ඉල්ලන්නේ ඩ්‍රයිවර් නැතුව .. එහෙම දෙන්න බෑනේ..

හ්ම්...

ගණදෙවියන් පිහිටවුයෙන් ප්‍රශ්න පත්තරයෙන් ගැලවුනද අරක්කු ප්‍රශ්නයෙන් ගැලවෙන්නට  තිස්තුන් කෝටියක් දෙවියන් වැඩි වෙලාවක් අම්බලංගොඩයා වෙත චෑන්ස් එකක් දුන්නේ නැත..

ට්‍රී.......න්... ට්‍රී.........න්..

හෙලෝ..

ආ උඹ කොහෙද ඉන්නේ..

කව්ද කතා කරන්නේ..

මම මහින්ද..

මොකෝ මේ හදිසියේ.. මම ගෙදර බං..

මේ .. නෑ බෑ නොකිය මට බෝතලයක් ඕන මම තව ටිකකින් එනවා..

මොන බෝතලයක්ද..

ගල් බෝතලයක් බන් ගල් බෝතලයක්..

මා ළඟ කොහෙද බන් ගල් බෝතල්..

උඹ මට බොරුව දාන්න එන්න එපා හරිද.. අපි මේ බෝතලයක් ගහන ගමන් ඉන්නේ.. බඩු ඉවරයි.. ගිය පෝය දවසෙත් බඩු මදිවෙලා චූටි මල්ලි තමා ගෙනත් දුන්නේ.. අද ඌ කතරගම ගිහින්.. නෑ බෑ නොකිය බෝතලේ තියහන් කාටවත් දෙන්න එපා අපි දැන් එනවා ඔතනට..

උඹට විකාරද යකෝ.. උඹ හිතුවද මම හොර අරක්කු විකුනන්න පටන්ගත්ත කියල..

අනේ මේ බොරුව දාන්න එපා හොඳේ..අපි දන්නවා උඹ චූටි මල්ලි ලව්වා පෝය දවසට අරක්කු විකුනනවා කියල..

දැන් කව්ද බොට ඕක කිව්වේ..

වෙන කව්රුත් නෙවෙයි බන්.. චූටියා තමා කිව්වේ.. ඌ අද ගමේ නැති නිසා පුලුවන්නම් කෝල් කරලා ගනින් කිව්වේ..

මචන් මහින්ද .. චූටියා කතරගම ගිහින් එනකම් ඉවසිල්ලෙ හිටහන්කෝ.. මම ඕකගෙ ඔලුව ගලෝල අතට දෙනවා ආයේ මේ වගේ බලු කතා නොකියන්න..

දැන් එතකොට උඹ කියන්නේ උඹ අරක්කු වික්කේ නෑ..

පිස්සුද බන්..උඹ හිතනවද මම  අරක්කු විකුණලා සල්ලි හොයන්න යන්න තරම් බුරුවෙක් කියල..

එතකොට දැන් චූටි මල්ලි කියන්නේ බොරු..

න්........න්... නෑ නෑ.. ඒක බොරුවකුත් නෙවෙයි ඇත්තකුත් නෙවෙයි..
අන්න එකනේ මස්සිනා කියන්නේ.. බොරු නැතුව මට බෝතලයක් දීපං.. මම ගිය පෝය දවසෙ වගේම එක්දාස් දෙසීයක් එවන්නං..

මම උඹට කිව්වනේ බං මහින්ද.. මා ගාව කොහෙද  බන් අරක්කු..

දැන් උඹම කියනවා බොරුවක් නෙවෙයි කියල.. අනික් පැත්තට කියනවා අරක්කු නෑ කියල.. දැන් ඕකෙන් කොයි එකද කියහන් ඇත්ත..

දෙකම ඇත්ත..

ආයෙම කියනවා මගුලක්.. හරි.. උඹ දැන් ඕක අදිමදි කරන්නේ ගාන උස්සන්න වෙන්න ඇතිනේ.. හරි.. එක්දාස් පන්සීයක් දෙන්නං.. බෝතලයක් එවහන්.. මම කොල්ලෙක් එවනවා හරිද.. මම තිබ්බ..

හෝව් ..හෝව්.. ඔහොම හිටහන්.. හෙලෝ.. හෙලෝ.. 

දෙවැනි අරක්කු ගනුදෙනුව සිදුකිරීමට තව නොබෝ වෙලාවකින් බීගත් කනමදයෙක් මාගේ නිවසේ ගේට්ටුව ඉදිරිපිටට ප්‍රාදුර්භූත වන වගට එම දුරකථන ඇමතුමේ අවසානය අම්බලංගොඩයා වෙත සනිටුහන් කරන්නේය.. ඉන් අනතුරුව සිදුවන්නේ අරක්කු බෝතලය රැගෙන ඒමට එන දූතයා එනතුරු ගේට්ටුව ගාව මුර කිරීමටය. වැරදිලා හෝ මේ එන පුද්ගලයා තාත්තාගෙන් අරක්කු බෝතලයක් ඉල්ලුවහොත් තුන් වේලට නොමිලයේ ලැබෙන බත් පතට කණකොකා හඬනවාට අමතරව නොමිලයේ නිදාගැනීමට ලැබී තිබෙන සයනයද අහිමි වෙනවාය. ඊටත් අමතරව මොකක්දෝ අමුත්තක් දැනිලාදෝ තාත්තාද ඉස්තෝප්පුවේ වාඩිවී පත්තරය කියවනවාය.

විදුලි වේගයෙන් පැමිණි පල්සරයක් ගේට්ටුව ඉදිරිපිට නවත්වන්නේ එවෙලේ බ්‍රේක් පැඩලය දැක පෑගුවා වැනි හදිසියකින් වුවත් අම්බලංගොඩයා කලබල වන්නේ නැත්තේ ඒ ආවේ කව්ද කියා දන්නා නිසාය. එහෙත් පත්තරය බලමින් සිටිනා තාත්තා කණ්ණාඩියට උඩින් බලන්නේ ගේට්ටුව ඉදිරිපිට එකවරම නැවැත්වූ මෝටර් සයිකලයේ ශබ්දය ඒ තරම් යාලුමිත්‍රකමක් නොපෙන්වන නිසාය. පල්සරයේ පැමිණි අමුත්තා ගේට්ටුව ඇරගෙන වත්තට ඇතුල්වීමට මත්තෙන් අම්බලංගොඩයා පාරට පැනගන්නෙ කණමදයා ගෙමිදුලට ඇවිදින් ගල් බෝතලයක් ඉල්ලුවහොත් අම්බලංගොඩයාට වාසස්ථාන අහිමිවන අවදානම දැනෙන්නාවූ බැවින්ය..

අයියේ.. මෙන්න සල්ලි.. මහින්දයිය කිව්වා බෝතලේ එවන්න කියල..

හෙමින් හෙමින්.. හෙමින් කතා කරපං කොල්ලෝ..

හරි හරි.. සොරි වෙන්න ඕන.. අපි ඉතින් චිට්ටක් ගහල ඉන්නේ..කෝ ඕක දෙන්නකෝ..

මල්ලි.. මම විකුණන අරක්කුවක් නැහැ හලෝ.. මහින්දට කව්රුහරි ලනුවක් දීල..

එහෙම කරන්න එපා බං අයියේ.. අපි අඳුරන්නේ නැති මිනිස්සු නෙවෙයිනේ..

මම උඹව නොදන්න කෙනෙක් නෙවෙයිනේ මල්ලි.. කියන දේ විස්වාස කරනවකෝ.. මම විකුණන අරක්කුවක් නැහැ හලෝ.. 

පෝය දවසට බඩු විකුණන එවුන් ඔහොමමයි අයියේ.. අඳුරන අයට දෙන්නේ නැහැ ගාන අඩුවට දෙන්න වෙන නිසා.. අපි එක්දාස් පන්සීයක් දෙන්නම් හලෝ.. දෙනවකො බෝතලයක්..

හෙමින් කතා කරනවකෝ.. 

හෙමිං මොනවා කතා කරන්නද බං අයියේ.. ඔයා අපිට බොරුවනේ දාන්නේ..

බුදු මල්ලියේ.. උඹල මට ගෙදර බත් පිඟාන නැති කරන්නයි මේ හදන්නේ..

හරි බං අයියේ.. බෝතලේ දෙන්න.. අපි සල්ලි දුන්න ගියා.. ගෙදරට හොරෙන් හරි ඔයා කරන්නේ පට්ට බිස්නස් එකක් හරිද..

අනේ බුදු මල්ලියේ දැන් මෙතනින් යනවකෝ.. මා ගාව අරක්කු නැහැ බං..

බොරුව දාන්න එපා බං අයියේ.. චූටි මල්ලි ගිය පාරත් ඔයාගෙන් තමයි බඩු අරන් දුන්නේ.. ඉන්නවකෝ මම කෝල් එකක් ගහල දෙන්න ඔයාට..

කියන දේ අහනවකෝ.. ගිය වතාවේ චූටිය බෝතල් ගෙනිච්චේ මගෙන් තමයි.. ඒත් ඒක බිස්නස් එකට කරපු එකක් නෙවෙයි හලෝ..  මේ ඥාති ගෙදරක තිබ්බ මගුල් ගෙදරක ඉතුරු බෝතල් තුනක් මම චූටියට කිව්ව විකුණලා දියන් කියල.. ඒක තමයි ඔය ඌ ඔයාලාට ගෙනත් දුන්නේ..

එහෙම වෙන්න බැහැනේ බං අයියේ.. ඌ කිව්වනේ එක්දාස් දෙසීයක් කියනවා කියල ඔයා..

පිස්සුද බන් මල්ලි.. මම කිව්වේ බාර් එකේ ගානට දීපන් කියල..

එහෙමද.. ඒ කියන්නේ චූටියා අපෙන් ගාන කැපුවා.. ඔයා බොරු අයියේ කියන්නේ.. අපි දන්නවා ඔයා ගාව බඩු තියෙනවා කියල..

සත්තයි මා ගාව ඇති අරක්කුවක් නැහැ බන්..

මොකද ඔතන වෙන්නේ..

ගේට්ටුවෙන් එබීගෙන සංවාදය නරඹන්නේ තාත්තාය..වසලා හමාරය..

ඔයාල කව්ද.. මොනවද ඔයාලට ඕන..

න් නෑ අංකල් මේ.. මේ..

කියනවා ගොත ගහන්නේ නැතුව..

අපි මේ බෝතලයක් ගන්න කියල ආවේ..

බෝතලයක්.. මොන බෝතලයක්ද..

ගල් බෝතලයක් අංකල්..

මෙහෙ කොහෙද මිනිහෝ ගල් බෝතල්.. කව්ද කිව්වේ මෙහෙ අරක්කු විකුනනවා කියල..

චූටිය කිව්වේ අංකල්.. ත්‍රී වීල් පාර්ක් එකේ චූටියා..

ඊළඟට මා පියා හැරෙන්නේ මා දිහාවටය..

මොකක්ද මේ කතාව..

ගිය මාසේ රන්ජන් අයියලාගේ පාර්ටියේ බෝතල් තුනක්  ඉතුරු වෙලා චූටියා ලව්වා විකුණලා දුන්න තාත්තේ.. ඌ කියල මම අරක්කු විකුනනවා කියල..

හ්ම්.. ඔය ළමයි දැන් යන්න.. ඔය මෝටර් බයිසිකල් වල යද්දී ටිකක් හෙමින් යනවා..

මමත් හදිසි වැඩක හිටියේ.. මාත් ගිහින් එන්නම් තාත්තේ.. එක එක එවුන් මාව හොයාගෙන ආවට මට කෝල් දෙන්න එපා..

හා එහෙනම්. මම බෝතල් ටික විකුණලා තියන්නම්කො.. උඹ වරෙන්කො සල්ලි බේරගන්න රෑට ගෙදර.. අපොයි උඹ වගේ ගොනෙක්..


ඔන්න ඔහොමයි අම්බලංගොඩයා කරපු උදව් එලොව එලොවා පල දෙන්නේ. 

 සිරා ගැන ලියවෙච්ච පොස්ට්

http://ambalangodakatha.blogspot.com/2015/10/blog-post.html

http://ambalangodakatha.blogspot.com/2015/09/blog-post_21.html