මේ ලියවෙනා කතාව සිදුවුයේ කුමන වසරේද කියා හරි ටක්කෙටම කියන්නට නොහැක්කේ මෙම සිද්දියට පාදක වර්ෂය මාගේ මතකයේ හරියටම සටහන්වී නැති බැවින්ය. එහෙත් එය දෙදහ සහ දෙදහස් පහ යන වසරවල අතරමැද කාලයක් බව තහවුරු කොටම කිව හැක්කේ උක්ත සිදුවීමට මා පැමිණියේ කාර්යාලයෙන් කෙටි නිවාඩුවක් හෙවත් ෂෝර්ට් ලීව් එකක් දමාගෙන බව හරියටම මතකයේ තිබෙනා බැවින්ය. මන්ද යත් නිවාඩු සහ කෙටි නිවාඩු ඉතුරු කරගනිමින් කරගෙන ආ එකයි තිහේ සෙල්ලම තවදුරටත් කරගෙන යාමට නොහැකි වන ලෙස අපගේ හිතාදර කාර්යාල සගයා දාබරේ විවිදාකාරයේ කකුලෙන් ඇදිලි කරන්නට පටන්ගත් බැවින්ය.
එකයි තිහේ සෙල්ලම නම් වරුවක නිවාඩුවක් අනුමත කරවාගෙන කාර්යාලයේ අත්සන් තබන පොතේ 1.30 දමා ගෙදර යාමයි. එසේ ගොස් පසුවදා උදෑසන පොත අත්සන් කරන අවස්ථාවේ පෙරදා තමා එකයි තිහට පිටත්ව ගියාට පසු හතරයි තිහ වනතුරු කිසිවෙකුත් නිවාඩු ලබාගෙන නොමැති නම් එකයි තිහේ කාලය සටහන් කරන ලද්දාවූ ස්ථානයේ එකේ ඉලක්කම හතර බවට පරිවර්තනය කර නිවාඩු අයදුම් පත්‍රය ඉරා විසික් කර දැමීමයි. මෙම එකයි තිහේ ක්‍රීඩාව කරගෙන යන්නට නොහැකි වනසේ නැසීගිය දාබරේ සහ නැසීගිය දයානන්ද යන මහත්වරුන් විසින් විවිදාකාරයේ අකුල් හෙළීම් කරන්නට පටන්ගත් බැවින් මසකට දෙකක් පමණක් හිමිවෙන කෙටි නිවාඩු දෙක අත්‍යාවශ්‍ය කාර්යන් උදෙසා පමණක්ම භාවිතාවට ගන්නටම සැමටම සිදුවුයේ පෙර කල කරුමයකටමය. එකයි තිහේ ක්‍රීඩාවට විරුද්දව දාබරේ විසින් ක්‍රියාත්මක කරන ලද්දාවූ ප්‍රතික්‍රියාව වුයේ දාබරේගේ විරුද්ද පාර්ශවයේ එකෙකු එකයි තිහ දමා ගෙදර ගිය වහා දාබරේගේ ගොට්ටේකු සවස තුනට වැඩ අවසන් කර ගෙදර යැවීමයි. දාබරේගේ ගොට්ටා නාම ලේඛනයේ තුන සටහන් කොට අත්සන දැමු පසු ඊට උඩින් ඇති එකයි තිහේ එව්වා හතරයි තිහ කිරීම සියතින් ගෙල සිඳගැනීමක් වන්නේ කිසිම ආයාසයකින් තොරවමය.
එදාද එවන් දවසකි. මෙලෝ රහක් නැතිවූවද රැකියාව කලයුතුම නිසා මරන්නට ගෙනියන වස්සකු මෙන් උදෑසන තැපැල් දුම්රියේ කොළඹට සැපත් වූ මා කැන්ටින් උදෑසන ආහාරය වළඳා යන්තම් සන්තම් මද වෙලාවකට විවේක ගන්නට සැරසුනේ දිවා ආහාරය දක්වා ලොක්කාට තියා සක්කරයාටවත් මා ආගිය තැනක් සොයාගන්නට නොහැකිවන රහසිගත ස්ථානයක හරිබරි ගැහෙමින්ය. එවන් ස්ථාන වලට මා සැපත් වෙන වෙලාවල් වලදී ජංගම දුරකථනය නිහඬ කරවීම මාගේ ආරක්ෂක පියවරක් වුවත් එකවරම ජංගමය නොනවත්වා දෙදරුම් කන්නට පටන්ගත්තේ මාගේ විවේක සුවය නැතිබන්ගස්ඨාන කරමිනි.
මොකෝ බන් මේ ඉවරයක් නැතුව රිo කරන්නේ..
මා අමතන්නේ අපේ සත්ගුණවත් හිතාදර මිත්‍ර රවියාය.. අද වෙද්දී සැප දුක අසන්නටවත් මලාට දුරකථන ඇමතුමක් නොදෙන අපේ රවියා ඒ කාලයේ නම් ලංකාවේ කොයි කොනක හිටියත් දවස් දෙක තුනකට වතාවක් කෝල් එකක් දෙනවා අනිවාර්යය. දැන්නම් සැප දුක අසන්නට ඇමතුමක් දුන්නද ඒම සැපදුක විමසා අවසන විනාඩියක් දෙකක් වට වන්දනාවේ යන කතාව අවසන් වන්නේ මුඛ්‍ය පරමාර්ථය මුදුන්පත් කරමින්ය.
උඹ වැඩට ආවද..
ඔව් බන් එන්නේ නැතුව ඉතින් මක් කරන්නද.. ඇයි මොකෝ උඹ එහෙම ඇහුවේ..
නෑ ඉතින් උඹ වැඩට යනවට වඩා ගෙදරනේ ඉන්නේ..
එව්වයින් වැඩක් නෑ.. කියපන් මොකෝ උඹ කතා කරේ..
ඉස්සෙල්ල කියහන් උඹ මොකද හොරා වගේ රහසින් කතා කරන්නේ කියල..
යකෝ.. මී හරකෝ.. කියන දෙයක් ඉක්මනට කියපන්.. මං මේ උදේට කාල පොඩි ඇලර්ට් එකක් දාන්න සෙට් උනේ.. මෙතන මී හරක වගේ කෑගහන්න බෑ වස්සෝ.. කියහන් කියන දෙයක් ඉක්මනට..
අද ටිකක් කලින් එන්න බැරිද බොට..
ඇයි මොකටද..
මගේ යාලුවෙක් ඇවිත් ඉන්නවා.. ඌ එක්ක සෙට් වෙන්න කියල..
යකඩෝ බොට කොහෙන්ද අපි නොදන්නා යාළුවො..ඉතින් බන් ඕකට මොකටද කලින් එන්නේ.. වෙනද එන වෙලාවට ආවාම ඇතිනේ..
න්..නෑ බන්.. මම පොඩි ටුවර් එකක ඉන්නේ.. මම මගේ යාළුවව හෝටලේක නවත්තල ඉන්නේ.. මම එනකොට හවස හයාමාරවත් වෙයි.. පුලුවන්නම් බතලයවත් ඇදගෙන ගිහින් වැඩේ සෙට් කරපංකෝ..
බලමු..මොකාද කියහන් යාළුවා මම නොදන්න..
මොකක්ද යකෝ බලමු කියන්නේ.. බොලාට අපි වැඩක් කිව්වොත් තමයි බලමු..ඇවිත් බලාගනින්කෝ යාලුව කව්ද කියල..
හරි හරි යන්නම් යන්නම්.. දැන් ඕක තියහන්..
උඹට කීයටද යන්න පුළුවන්..
බම්බලපිටියෙන් 3 ට ඒසී එකක නගින්නම්.. පහ පහමාර වගේ වෙද්දී බහින්න පුලුවන් වෙයි..
හරි එහෙනම් කෙලින්ම පලයන් සී බ්‍රීස් එකට.. කොණ්ඩයයි , සනාටයිත් මම කෝල් කරලා කියන්නම්..
ඕන මගුලක්..
හරි මම තිබ්බ..
තියපන් බන් තියපන් ඕක.. මම වෙලාවට එතන ඇති..
එයින් අවසන් වූ දුරකථන සංවාදයට අනුව මම සවස පහ වෙද්දී අම්බලන්ගොඩ ඉන්න ඕනෑය. අනික් උන්ද සැලසුම් කල ආකාරයෙන්ම වෙලාවට එන විත්තිය සුවර් උනත් බතලයා එන නොඑන එක තීරණය කරන්නේ බතලාගේ ආගමන විගමන පාලක හෙවත් වෙන්ඩ වයිෆ් නිසා බතලයාගේ ගමන් සුවර් නැත. කොන්ඩයා සහ සනා නම් වැඩේ පටන් ගන්නට කල් වෙලා ඇතිවම අදාළ තැනට එන එක සුවර්ම සුවර්ය..
ඉංජිනේරු මහතාගෙන් කෙටි නිවාඩුව අනුමත කරගත් මා කාර්යාලයෙන් පැනගත්තේ දෙකයි හතලිස් පහට පමණය. නිවාඩු සහ කෙටි නිවාඩු අනුමත කිරීම් වලදී අපේ ඉංජිනේරු මහතා දෙයියෙක් වාගේය. කිසිම ඇදක් පලුද්දක් නැතුවම අවුරුද්දක් නිවාඩු ඉල්ලුවත් වැඩ බලන්නට එකෙකු අත්සන ගසා ඇතිනම් ඉංජිනේරු මහතා නිවාඩුව අනුමත කරන්නේ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුවමය. එවන් රත්තරන් මිනිසුන් සිටිනා ඔෆිසියේ ඉංජිනේරු මහතාට ඉහලින් සිටියාවූ අපේ ලොක්කා නම් පජාති කක්කි වැඩ වලට නම් දැරූ කප් ගැසූ ලොක්කෙක්ය.
අද කාලයේ කොළඹ අම්බලන්ගොඩ ඒසී ගමනට ගතවන පැය ගාන ගැන මට අවබෝදයක් නැත්තත් ඒ කාලයේ නම් එම ගමනට ගතවන කාලය පැය දෙකක් පමණය. අම්බලන්ගොඩ ඒසී බස් රථයක් පැය දෙකහමාරක් වැනි කාලයකින් ගමනාන්තයට ලඟාවනවිට ගාල්ල ඒසී බස් රථයක් පැය දෙකකින් වාගේ අම්බලන්ගොඩට ලඟා වෙනවාය. අම්බලන්ගොඩ කොළඹ ගමනාගමනය ගැන විදිමත් අවබෝධයක් තිබුනා වූ බැවින් බම්බලපිටියෙන් ගාල්ල ඒසී රථයක නැගගත් මා සැප නින්දකින් අනතුරුව කෙලින්ම සී බ්‍රීස් හෝටලය ගාවින්ම බැසගන්නේ අපේ රවියා මෙතරම් සුවිශේෂී ලෙස පාර්ටියක් දමන්නට ආරාධනා කරන්නාවූ අතිජාත මිත්‍රයා මොකාදැයි දැක බලාගැනීමට තිබු බලවත්ම කුතුහලය නිසාය.
බසයෙන් බැසගත්තා කිව්වාට ඒ බසයෙන් බැසීමක් නොවන්නේ රියදුරු මහතා විසින් මාව බසයෙන් හලා දමා ගිය බැවින්ය. ගල්කැටිය පන්සල ඉස්සරහින් දාන්න යයි කී විට කොන්දා " එක්කෙනයි ඉන්නේ " කියා රියදුරාට කියනවාය. එවිට රියදුරා බසය නවත්වන්නට වාගේ බ්රේක් ගැසුවාට බසය නවත්වන්නේ නැතිය. ඒ වාගේ හෝල්ට් එකක් නැති තැනක බසින කලාව සිරි ලංකාවේ මගීන්ට අමුතුවෙන් උගන්වන්නට ඕනෑ නැති නිසා එව්වා ගැන විශේෂණ ලියන්නට උවමනා නැතිය. බසයෙන් බැස්සේ නැතිවුවද බිමට පය ගසන්නට පුළුවන් වේගයට පැමිණි කල කොන්දා කොහොමත් බසින්නට ඉන්නා එකාව බෙල්ලෙන් අල්ලා එලියට තල්ලු කර දමන්නට කලින් බසයෙන් බැසගන්නට විශේෂ ප්‍රාගුණ්‍යය තිබීම අත්‍යාවශ්‍ය කාරණයක්ය.
බසයෙන් බැසගත් මා සී බ්‍රීස් හොටලය ඇතුලට ඇවිදගෙන යන්නේ අසීමිත කුතුහලයෙනී. එකෙක්වත් පෙනෙන්නට නැතිය.. බැලූ බැලූ අතේ පෝල් ගස් පමණක්ය. මුහුදට මායිම්ව තිබෙන සී බ්‍රීස් හෝටලය ඉතාම අලංකාරවත් නිස්කලංක තැනක් බැවින් කව්රුත්ම නැති උනත් රවියා එන තෙක් මට වළඳන්නට වන්නාවූ කට්ට මතක් කරමින් මුහුදු වෙරල දිහාවට ඇවිදගෙන යන මම එකවරම නතර වෙන්නේ හුරු පුරුදු කටහඬක් අහිලාය..
අපි මෙහේ..
සද්දය ඇසුණු දිහා හැරිලා බැලූ කල මුහුදු වෙරල මායිමේ වැටකෙයියා පඳුරක් අයිනේ පුටු දෙකක් තියාගෙන මුහුදු හුලං සුව විඳින්නේ වෙන කව්රුවත් නොව අපේ කොන්ඩයා සහ සනාය..
මොකද බන් ඔය අස්සෙ කරන්නේ..
මෙන්න මෙහෙ හැංගිලා වගේ වාඩි වෙලා හිටිය බන්.. මම මෙතන ඉන්නවා දැක්කොත් දන්නවනේ .. විසබීජ කීයක් පහත් වෙයිද දන්නේ නෑ.. රවිය කිව්වා නොදන්නා එවුන් එක්ක එන්න එපා කියල..
කොන්ඩයා කියන කතාව ඇත්තය.. රජයෙන් පිරිනැමූ ග්‍රාමසේවක රැකියාවක් නිල වශයෙන් කොන්ඩයාට නැති උනත් ගමේ ග්‍රාමසේවක මහතාටත් වඩා පිරිසක් කොන්ඩයා අඳුරන එවුන්ය. කොටින්ම කියනවානම් ග්‍රාමසේවක නොදන්නා එවුන් පවා කොන්ඩයා දන්නවාය.
කෝ දැන් අනික් එවුන්..
අපි දන්නේ නෑ අනික් එවුන්.. අපිට රවිය මෙතනට පහට එන්න කිව්වා.. අපි ආව..
මද වෙලාවකින් කොහේදෝ සිට පැමිණි බතලයාද අප සිටිනා ඉසව්වට සේන්දු වුවත් සාදයේ ප්‍රධාන අමුත්තා සහ සංවිදායක තැන ආගිය අතක් නැත්තේය.. සී බ්‍රීස් හෝටලයේ ගේට්ටුවෙන් ඇතුල්වූ රවියාගේ එෆ් බී ෆිෆ්ටීන් රථය සීරුවට පැමිණ අප අසල නවතින්නේ ආගිය කතාවෙන් වෙලාව හෙමි හෙමිහිට ගතවෙද්දීය..
ඒ මොකාද බන් ඒ..
ම්හ්.. මටනම් දැකල පුරුදු නෑ..
හිටහන්කෝ කාර් එකෙන් බැහැල එනකම් මොකාද බලන්න..
හුටා.. මේ චීනෙක් හරි ජප්පෙක් හරි මචන්..
හරි.. මම හිතුව හරි.. රවිය මේ අරන් එන්නේ උගේ ජපන් යාලුවෙක්.. කොන්ඩයා අවසන් තීරණය දෙන්නේ රවියා සහ රවියාගේ වී අයි පී යාලුවා රථයෙන් බසින්නටද කලින්ය.. ඒ කොන්ඩයාගේ හැටිය..
මොකාද බන් රවිය මේ..
මේ මම ජපන් ඉද්දි එකට හිටපු යාලුවෙක් මචන්... ලංකාව බලන්න ඕන කියල ආව.. ඉතින් මම එක්කං ආව උඹලාටත් සෙට් කරන්න..
කොන්ඩයා ජපනා වටේ කැරකෙනවාය.. සනා කට අරගෙන බලන් ඉන්නවාය.. බතලයා ඊළඟට මොකද වෙන්නේ කියන්නැහේ බලන් ඉන්නවාය.. ඔන්න රවියා ජපන් යාළුවාට අපිව අඳුන්නලා දෙන්නේ ඊට පසුවය..
මේ මචන් තකුමා..
හලෝ තලුමා..
තලුමා නෙවෙයි යකෝ තකුමා ..
රවියා ජපන් බාසාව ලෙසටම හසුරුවමින් ජප්පාට අපිව අඳුන්වලා දෙනවාය.. සියල්ල හොඳින් සිද්ද වෙන අතරතුරේ ප්‍රශ්න දෙකක් තිබෙනවාය.. එනම් ජප්පාට ඉංගිරිසි අකුරක්වත් බැරි කමය..අනෙක් ප්‍රශ්නය නම් අපිට ජපන් අකුරක්වත් බැරිකමය..ජප්පා ඉංගිරිසි හෝඩියවත් දන්නේ නැතිලුය. අපි ජපන් හෝඩිය තියා ජපනුන්ට හෝඩියක් තියෙනවාද කියලාවත් දන්නේ නැතිය. ඉතුරු ආතල්ම සොමිම කෑල්ල නම් රවියා ජප්පාව අපි එක්ක තබාලා ගාල්ලට ගිහින් එන්න ඕනා කියන කතාවය. ජයටම කරගෙන යන පවුලේ ටුවරිසම් කොම්පැනියක රවියාද කොටස් කාරයෙක් නිසා කොහේදෝ ඉන්නා සුද්දෙකු හික්කඩුවේ සිට ගාල්ලට ගෙනිහින් බස්සන්න රවියා ගිහින් එන්නම ඔනාලුය. එතකම් මේ හතර බීරි සිද්දිය රන් කරවන්නට වෙන්නේ අපි හතර දෙනාටය. ජප්පාද රවියා ජපන් භාෂාවෙන් කියනා වූ සියල්ලටම දෙකට නැමී එහෙයි කියන්නාක් සේ මොනාදෝ කියනවාය.
එහෙනම් මචන්ලා මම ගාල්ලට ගිහින් එන්නම්.. එතකම් මූ එක්ක හිටහන්..එතකම් කන්න මොනාහරි ඔර්ඩර් කරපන්..
එතකොට බොන්නේ..
මූට බොන්න ඕන කියන්නේ ලංකාවේ අරක්කු බන්.. මම එනකොට ගල් බෝතල් දෙකක් අරන් එන්නං ..
චී... යකෝ.. අපි ගල් බොනවද බන්..
අපි බොන්නේ නැති උනාට ඌ ඉල්ලන්නේ ඒවානේ බන්.. ඉතින් අපිටත් බොන්න වෙන්නේ ඒවම තමයි..
හරි හරි ගිහින් වරෙන් ඉක්මනට.. මමයි බතලයයිත් ගිහින් වොෂ් එකක් එහෙම දාගෙන එන්නං..
හෑ..
එතකොට දැන් අපිද මූට තනි රකින්න ඕන..
හරි බන් තුන්දෙනා එක්ක කයියක් දාගෙන හිටහන්..
කයියක් දාන්න.... මූ එක්ක..
නැතුව..
ඇයි යකෝ .. මූට සිංහල බෑ.. අපිට ජපන් බෑ.. අපි තුන්දෙනාටම ඉංග්‍රීසි බෑ..
හරි බන් .. විනාඩි තිහෙන් අපි මෙතන..
යන දේවාලෙක ගිහින් ඉක්මනට වරෙන්..
කොන්ඩයා සහ සනා ජප්පාට තනියට තබා මමත් බතලයාත්, ජප්පාට දෙකට නැමී ආචාර කොට ත්‍රීරෝද රථයකට ගොඩ වෙද්දී රවියාගේ සුපර් සැලුනය ගාල්ල පැත්තට ඉගිලුනේ හැකි ඉක්මනට එන හිතින් වෙන්නට ඕනෑය.
වොෂ් දැම්මායිං නොදැම්මායිං මමත් බතලයාත් හැකි ඉක්මනින් සී බ්‍රිස් හෝටලය වෙත වාර්තා කෙරෙද්දී තුන් කට්ටුවේ සංවාදය ජයටම කෙරෙනවාය. දුටු දසුනින් බතලයාත් මමත් විනාඩියක් විතර මූනට මුහුණ බලන් උන්නේ මේ ඇස්දෙකෙන් දකින්නාවූ දර්ශනය අදහාගත නොහැකි නිසාය..කොන්ඩයාත් සනාත් ජප්පාත් ජයටම මොනාදෝ කතා කරනවාය.. ගොළුවන් කතා කරවන භාසාව පවා දන්නා අං ගිලපු වර්ගයේ හාදයන් දෙදෙනෙකු වන කොන්ඩයාටත් සනාටත් එය ඒ තරම් අමාරු කාර්යක් නොවන වග අක්මාවට දැනෙනවාය.
අප එතනින් නික්ම ගිය පැයක වාගේ කාලයක් ඇතුලත ඉංග්‍රීසි හෝ ජපන් මල හත් ඉලව්වක් නොදන්නා කොන්ඩයා සහ සනා ජපනාගේ මුත්තාගේ යට කලිසමේ පාට පවා දන්නා තරමට ජපනාගේ පැටිකිරිය දන්නවාය. ජප්පා ඊට එහාය.. ඉංග්‍රීසි හෝ සිංහල මෙලෝ හත් ඉලව්වක් නොදන්නා ජප්පා කොන්ඩයාගේ සහ සනාගේ මුත්තාගේ නම් ගං පවා දන්නවාය. ඒ මදිවාට කොන්ඩයාගේත් සනාගේත් ගෑල්ලමයින්ගේ නං ගං පවා දන්නවාය. භාෂාව මොක උනත් දැනගන්නට ඕනෑ තොරතුර දැනගන්නා ක්‍රමවේදය සුපිරි රටේ වෙදෙකු වන කොන්ඩයාට අමුතුවෙන් කියලා දෙන්න ඕනා එකක් නෙවේය.. ඒ අහල ගං හතක විස්තර වුවද සොයා බලා මතකයේ ගබඩා කරගැනීම කොන්ඩයාගේ සුපිරි හැකියාවක් නිසාය.. සනා ඊට දෙවැනි නැත.. භාෂාව මොක වුවද අඟහරු ලෝකයෙක් පැමිණි එකෙකු සෙට් වුවද අවශ්‍ය විස්තර ටික චාං චූං භාසාවෙන් හරි අහගන්නා දක්ෂකම සනාද උපතින් උරුමකරගෙන ආ එකෙක්ය. දැන් කොන්ඩයා, සනා සහ තකුමා ගජ යාලුවෝය.
සනා සහ කොන්ඩයා විසින් ලොවට සොයා දුන් අපූරු භාෂා විලාශයෙන් තකුමා සමග වචනයක් දෙකක් හුවමාරු කරගන්නට මා සහ බතලයාද උත්සහ කරමින් සිටිනා විට ගල් බෝතල තුනක්ද තුරුළු කරගත් රවියා එතනට සැපත් උනේ අපගේ භාෂා ඥානය දියුණු වනවාට උඩ සිටිනා දෙවි දේවතාවුන් වහන්සේලා අකමැති නිසා වන්නට ඇත..
කාට බොන්නද බන් ඔච්චර..
උඹල දන්නේ නෑ ජප්පෝ බොන හැටි..
ඇයි ජප්පෝ බෝතලේ කටේ තියාගෙනද බොන්නේ..අනේ මේ ඔන්න ඕකෙන් දෙකක් ගිහින් දාපන් කාර් එකට.. කොන්ඩයා එකෙන්ම විරෝදයය.. සනා සහ බතලයා කතාවක් නැතිය.. මට කොහෙත්ම කතාවක් නැත්තෙ බයිට් පිඟාන හැරුණකොට බෝතලය මට ප්‍රශ්නයක් වන්නේ නැති නිසාය.. අනික් උන් බීලා අවසන් වෙනකල්ම කන්නට බයිට් තිබේනම් බෝතල් කීයක් තිබුනත් මට කමක් නැතිය.. කව්රුත් මට බොන්නට බල කරන්නේද නැතිය.. හැම එකාම නාහෙන් අඬන්නේ බයිට් එක උන්ටත් ඉතුරු කරපන් කියලාය..
අවශ්‍ය කරනා වූ බයිට් වර්ග මේසය මතට වැඩියායිං අනතුරුව ඔන්න සාදතොමෝ පටන්ගත්තෝය.. රවියා තම ජපන් මිත්‍රයා වූ තකුමාට ආචාර කර ගල් බෝතලය විවුර්තකොට සැමගේම වීදුරු භාගයකට අඩු ප්‍රමාණයකින් පිරෙව්වේය.. අවශ්‍ය පමණට අනුපාන දමාගත් සගයින් සවුදිය පුරා තකුමා ලංකාවට ආ සතුට භුක්ති විඳින්නට පටන් ගත්තේ සතුට සොම්නස දොරේ ගලද්දීය..
රවියා සිංහල ජපන් භාෂාවටත් ජපන් සිංහල භාෂාවටත් පරිවර්තනය කරගෙන යන අතරතුරේ ගල් බෝතලයක් කෙමෙන් කෙමෙන් ගමනාන්තයට ලං වුනේ කාටත් නොදැනෙන්නටය. තකුමාට ගල් අරක්කු මද පමණට වදිලාය..තකුමා අපි නොදන්නා ජපන් වලින් මොනාදෝ කියවනවාය.. රවියා දෙවැනි ගල් බෝතලය කඩන්නට අතට ගත්තා පමණකි.. තකුමා එකවර පැන රවියාගේ අතින් ගල් බෝතලය උදුරාගේන බෝතලය උඩට උස්සා මොනාදෝ ජපන් වලින් කියවනවාය..
මොනාද බන් මූ කියවන්නේ..
මූට ජපන් සිස්ටම් එකට බොන්න ඕනෙලු..
ඒ කියන්නේ..
ජපන්නු බොන්න සෙට් උනාම තරඟෙට බොන්නේ බන්.. ඒ සෙල්ලම කරන්න ඕනෙලු මූට..
අනේ අපිට මොන තරඟයක්ද බන් මේ ගල් අරක්කු බොන්න.. ඉතින් ඌට ඕනෙනම් ඉතුරු බෝතල් දෙකම බොන්න කියහන්..අපේ මොකෝ.. කොන්ඩයා අරින්නේ නැත ..
එහෙම බෑ බන්.. ජපන්නු මාර ආචාරශීලී මිනිස්සු.. අපි ඌ එක්ක සෙට් උනානම් උගේ ආසාවට ඉඩ දෙන්න ඕන.. ඌ අපේ රටේ එකෙක් නෙවෙයිනේ බන්..
ඉතින් ගොනෝ ඒක තමයි කිව්වේ.. ඌ ආසනම් බෝතල් දෙකම බොන්න කියහන්.. බතලයාද රවියාට එකෙන්ම විරුද්දය.
එහෙම නෙවෙයි බන්.. ඌට ඕන උඹලගේ වීදුරු වලට වක්කරන්න..
ආ... ඉතින් වක්කරන්න කියහන්.. දැන් අපි මොකද තව කරන්න ඕන..
මෙහෙමයි.. මූ දැන් අපේ වීදුරු වලට වක්කරනවා.. ඊට පස්සේ මූ එකායි .. දෙකායි.. තුනායි... කියල කොම්පායි කියනවා.. එතකොට අපි අපේ වීදුරුව අරගෙන අරක්කු ටික ඔක්කොම බීල වීදුරුව මෙසේ උඩින් තියන්න ඕන..ඉස්සෙල්ලම බීල වීදුරුව තියන එකා තමයි ඊළඟට වක්කරන්නේ.. වක්කරන කෙනාට පුළුවන් තමුන්ට ඕන එකාට වැඩිපුර වක්කරන්න..
හුටා..
බෑ කියන්න එපා බන්..එහෙම හරි නෑ.. මුගේ ආසාවනේ..
වවුලගේ මගුල් ගෙදර ආවනම් එල්ලිලා හිටු කිව්වලු.. තෝ මොන මරගාතයක්ද යකෝ මේ ගෙනාවේ..බතලයාටත්, මටත්, ඌරු ජුවල්ය..ඕනෑම දෙකට සෙන්ටිමෙන්ටල් එවුන් දෙදෙනෙකු වන කොන්ඩයා සහ සනා ඕනා දෙයක් කියා මුකුත් කියන්නේ නැතිය.. රවියා තකුමාට ජපන් භාෂාවෙන් අපගේ අනුමැතිය ප්‍රකාශ කරලාය.. තකුමා සිනා මුසු මුහුණින් අපගේ වීදුරු වලට සමාන ප්‍රමාන වලින් ගල් අරක්කු පුරවනවාය.. තව අරක්කු බෝතල් දෙකක්ම සම්පුර්නෙන්ම තිබෙනවාය.. වෙන්නට යන්නේ ඒ තරම් හොඳ දෙයක් නොවෙන වග මාගේ අක්මාව මොලයට දැනුම් දෙනවා උනත් කරන්නට දෙයක් නැතිය..
ඔන්න ජප්පා ජපන් භාෂාවෙන් මොකක්දෝ ලන්තෑරුමක් පවසා කොම්පායි... කියා කෑ ගසා ක්ෂණිකව වීදුරුව අරන් අරක්කු සියල්ල ජුඩුන්ග් ගා ගිල දැම්මේ තරඟය ආරම්භ කරමින්ය.. ඒ කියන්නේ අපි අපේ වීදුරු කට ගාවට ගන්නත් කලින් ජප්පා උගේ ගල් අරක්කු වීදුරුව ගිල දමා වීදුරුව මේසය උඩින් තියලාද හමාරය..රවියා දෙවැනියාය.. අපේ වෙනියා කී වෙනියාද කියා අපි දන්නේ නැතිය.. මමද මෙලෝ රහක් නැති අමුම අමු ගල් අරක්කු වීදුරු භාගය ගිල දමා වීදුරුව මේසය උඩින් තිබ්බා උනත් මම අන්තිමයාය.. ඊළඟට තියෙන්නේ බයිට් කෑල්ලක් කෑමය.. අමුම අමු ගල් අරක්කු ගල නාලය පුච්චාගෙන ආමාශයට සැපත්වෙන අල්ලපනල්ලේ තකුමා ඊළඟ වටයද පුරවා හමාරය.. කලින් වාරයේ වීදුරු භාගයකට අඩු වුවද මේ වාරයේ ඊට ටිකක් වැඩිය..
නැවතත් කණ්ඩායම දෙවැනි තරග වටය සඳහා සුජානම්ය.. සූජානම් කිව්වාය සූජානම්ම කියලා කියන්නට බැරිය.. කලින් ගිය ගල් අරක්කු වීදුරු භාගයේ සැර නාහෙන් කටින් කන් දෙකෙන් ගින්දර පිටවෙන්නැහේ පිටවෙනවාය..
ඔන්න ජප්පා නවතත් කලින් කී ලන්තෑරුම් වචනය කීවේය.. කොම්පායි..
ජප්පා ගල් වීදුරුව උගුරට හලා හිස් වීදුරුව මේසය උඩින් තියලාද හමාරය..
හුටා..
මේ මොකද බන් අපිට වෙන්නේ..
ඒ එහෙම කියන්න එපා බන්.. මුගේ ආසාවනේ..
යකෝ..උගේ ආසාව කියල මෙහෙම අරක්කු බොන්න පුලුවන්ද බූරුවො.. අනික ගල්..
බතලයා එකෙන්ම රවියාට එරෙහිව උද්ගෝෂණය ආරම්භ කරලය..
ඒ අස්සෙ ජප්පා මොනවදෝ රවියාගෙන් අසනවාය..
මොකෝ මූ කියන්නේ..
උඹල ඒ වැඩේට අකැමතියිද අහනව..
ඉතින් උඹ මොකෝ කිව්වේ..
මම කිව්වා උඹල ඔක්කොම එකෙන්ම කැමතියි කියල..
ඒ අතරේ ජප්පා ඊළඟ වටය ලැස්ති කර හමාරය..
මේක හරියන්නේ නෑ.. අපි කව්රුහරි මූට කලින් බීල මේක අපේ අතට ගන්න ඕන.. නැත්තම් මූ අපිට මේ බෝතල් දෙකම පොවනවා අද..
කොන්ඩයා ගේමට රෙඩිය..
කියහන්කෝ එහෙනම් අර වචනේ.. කොන්ඩයා ඉන්නේ කොම්පායි කිව් සැනින්ම ගල් වීදුරුව ගිල දමන අරමුණින්ය.
ජප්පා කලින් කී ලන්තෑරුම කියවා කොම්පායි කී සැනින් කොන්ඩයා ක්ෂණිකවම කොන්ඩයාගේ අරක්කු ටික ගිල දමා ජප්පාට කලින් වීදුරුව මීසය උඩින් තියන්නට සමත් වෙන්නේ අපගේ වාසනාවටය.. ඒ කියන්නේ දෙයියෝ අපගේ මුණ බලලාය. එහෙම නොවන්නට සතියකට කෙලින් හිටගන්නට බරිවන්නට ජප්පා අපිට අමු ගල් අරක්කු ගිල්ලවනවාය.
හුරේ.. වක්කරපන් මශ්ශිනා... වක්කරපන් ජප්පගෙයි මේ මරගාතේ අපේ කරේ තිබ්බ මුගෙයි වීදුරු පිරෙන්න..
අඩෝ මට වක්කරන්න එපා බන්.. රවියා කෙඳිරි ගානවාය..
එපා.. දැන් උඹ ජප්පට කිව්වද අපිට වක්කරන්න එපා කියල.. බලහන් .. කන් දෙකෙන් දුන් දානවා යකෝ අමු අරක්කු ගිලල..
වක්කරපන් මුන් දෙන්නටම පිරෙන්න..
කොන්ඩයා ජප්පාගේ වීදුරුව සහ රවියාගේ වීදුරුව පිරෙන්නට ගල් වක්කරන්නේ අරක්කු අතින් පයින් නොයන නිසාය. ඊළඟ වටය සඳහා කණ්ඩායම රෙඩිය. කොන්ඩයාගේ වීදුරුව අරක්කු යන්තම්ද අනෙක් එවුන්ගේ වීදුරු මද පමනින්ද රවියාගේ සහ තකුමාගේ වීදුරු කට කපලාද අරක්කු පුරවලාය..
ජප්පා මුර වචනය කියා කොම්පායි කීවා පමණය.. කොන්ඩයා අරක්කු ගිල දමා වීදුරුව මේසය උඩින් තබලාත් හමාරය.. ජප්පා සහ රවියා අමාරුවෙන් අරක්කු වීදුරුව ගුඩුස් ගුඩුස් ගාමින් බොනවාය..උපක්‍රමශීලීව සියතට ගත් ක්‍රමවේදයෙන් කොන්ඩයා තරඟය හසුරුවනවාය.. රවියා සහ ජප්පා ගල් අරක්කු ගුඩුස් ගුඩුස් ගාමින් ගිල දමනවාය..මමද බතලයාද අමාරුවෙන් අරක්කු ගිල දමනවාය.. සනාට කී වෙනියා වුවත් ඌට ගානක් නැතිය...
ජප්පාගේ කොම්පායි තරඟ ඉසව්ව ආරම්භ වී විනාඩි වලින්ම හතලිස් පහක් යන්නට මත්තෙන් ගල් බෝතල් තුනම හිස් බෝතල් තුනක් වී මේසය උඩ විරාජමානය. ජප්පා ඇතුළු අපි හැම දෙනාම ඔලුව සාක්කුවේ වැටෙන්නටම ගල් බෝතල තුනක් ගිල දමා අවසන්ය. ඒ කියන්නේ දවස් දෙක තුනක් ඉක්ම යනතුරු ජීවිතය මස්තබාල්දුවීම ජප්පාගේ පප්පාටවත් වැළක්විය නොහැකිය.
ම්..මොකක්ද බ්..බං මෙහ් උනේ..
අව්..අව්ලක් න්..න්.නෑ .. බන්.. උ..උගේ ක්..කැමැත්තනේ..
අන්..අනේ..මේ.. ම්..ම්..මගෙන් ම්..මුකුත් න්..නාහ හිටපන්..
අප්පි..යමු දැන්..
ක්..කොහේ යන්..යන්නද බොල..
මග්ගේ යාලු තක්කුමා හොටෙල් එක්..එකට දාල අප්පි ගෙව්..ගෙවල් වලට යම්මු..
ගෙව්වල් වල්..වලට යන්..යන්න තෝ ක්..කියන්න ඕනෙද යකෝ..
බතලයාට මල අසූ හාරදාහටම පැනලාය.. කොන්ඩයා එදත් අදත් කොතන ගියත් ජාමය බේරාගන්නා එකා නිසා කොන්ඩයා බීවාද නොබීවාද නැත.. සනා නෝ කතාය.. හිතේ හැටියට බයිට් ටිකක් කන්නට නොහැකි වූ මාද වෙරි මතේ වුවත් ඉන්නේ අසීමිත ශෝකයෙන්ය. සියල්ල අවසානයේ කාපු බීපු ස්ථානයේ බිල ගෙවා දැමු අපි විසිර යන්නට ඔන්න මෙන්න ජප්පා රවියාගේ රථයට පැටවීමට ජප්පා සොයාගත්තේ කළුවරේ ගහක් මුල නින්දට වැටීමට ඔන්න මෙන්න තිබියදීය. ජප්ප්පාගේ ඔලුව සාක්කුවට වැටීමට ඔන්න මෙන්න තිබු අතර යන්තම් සන්තම් කෙලින් හිටගන්නට පුළුවන් මට්ටමේ සිටි වාසනාව නිසා ජප්පාව රථයේ දමාගත් රවියා වෙරි මතේම ජප්පා නැවැත්වූ හෝටලය දිහාවට ඉගිලුනේය. මමද දන්නා සියලු දහඅට මායම් උපයෝගී කරගෙන උපන්තේකට රහමෙර ඩිංගක් කට නොගෑ පුතයකු මෙන් අම්මාට ඇහැ නොගැටී කාමරයට වැදී දොර වසාගැනීමට සමත්වුනේ පූරුවේ වාසනාවකටය. ඇඳට වැටුනා වාගේ යන්තම් මතක් උනත් එතනින් එහා සිදුවූ සියල්ලම මතකයට නොඑන්නේ ආතර් සී ක්ලාක් මහතාගේ විද්‍යා ප්‍රභන්ධ වල තිබෙන ශිශිර තාරක නින්දට මා සැපත්වූ බැවින් වන්නට ඇත.
පසුදා සෙනසුරාදා වූ බැවින් උදෑසන රකියාවට යාමටද නොතිබූ නිසා දහවල් වනතුරු නිදා ගැනීමට අපේ ගෙදර නිවැසියන්ගෙන් මට කිසිදු භාදාවක් නොමැතිය. එහෙත් මාගේ ශිශිර තාරක නින්දට අකුල් හෙලමින් ජංගම දුරකථනය බෙරිහන් දෙන්නට පටන් ගත්තේ උදෑසන කීයටදැයි මතකයක් නැතත් හොඳටම දවල් වී ඇති බවනම් එළියේ තිබෙන ආලෝකයේ තරමින් කිව හැකිය. කතා කරන්නේ පිට එකෙකු නොවේය. ජපන් ක්‍රමයට ගල් අරක්කු ගිල්ලවා සැමදෙනාම සාමදානයෙන් සතපවූ අපේ සත්ගුණවත් රවියාය..
මොකෝ යකෝ..
නිදිද බන්..
නිදි .. නිදි නෙවෙයි යකෝ නැගිට ගන්න බෑ.. තාම වෙරි..
ඒ බොටත් එහෙමද බන්.. මටත් මාර අප්සට් මචන්..
බොට අප්සට් උනාට මට හාල්ද බන්.. උඹනේ මේ මරගාතේ අපේ කරේ තිබ්බේ..
මේ එක නෙවෙයි බන්.. මාර ආප්සෙට් එක..
ඇයි ජප්ප මලාද..
නෑ යකෝ.. ජප්පගේ ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ..
ඌ නිදි ඇති යකෝ.. අපිට මෙහෙම අමාරුනම් ජීවිතේට ගල් නොබීපු ඌ මොනවා වෙලා ඇත්ද..
ඒක නෙවෙයි යකෝ.. මට හොටෙල් එකෙන් කෝල් කරා උන් බ්‍රෙක්ෆස්ට් එක ලැස්ති කරලා තකුමගේ කාමරේට කෝල් කරා ආන්සර් කරන්නේ නැහැ කියල..
ඉතින් දොරට ටිකක් තට්ටු කරන්න කියහන් බන්..
උන් දොරට තට්ටු කරලා බන්.. තකුමගෙන් සද්දයක් නෑලු..
ඉවසන් හිටහන් බන්.. ටිකක් දවල් වෙද්දී නැගිටියි..
තව මොනවා දවල් වෙන්නද බන්.. උඹ හිතන්නේ දැන් වෙලාව කීය කියලද..
නමේ වෙන්නැති..
නමේ නෙවෙයි බූරුවෙ දැන් දවල් එකයි..
මලා..
ඉතින් ගිහින් බලහන් බොගේ තකුම මැරිලද දන්නෑ ..
මට එන්න වාහනයක් නෑ බන්.. කාර් එක උදේම අයිය අරන් ගියා.. පොඩ්ඩක් ගිහින් බලහන්කො..
හපොයි මට බෑ..
අනේ බෑ කියන්න එපා බන්.. ගිහින් බලහන්කො.. හෝටලෙන් පොලිසියට කෝල් කරන්න හදනවා දොර කඩන්න..
ඉතින් කඩන්න කියහන්..හෝටලේ දොර උන්ගේනේ බන්..
අනේ බන් පොඩ්ඩක් පලයන්කෝ.. මම කාර් එක ආපු ගමන් එන්නං.. එතකම් ගිහින් හෝටලේ රෙසේප්ෂන් එකෙන් දොර අරින්න අපි කව්රුහරි ඉන්න ඕනෙලු..
අපි මොකටද බන්.. හෝටලේ උන්ගේනේ..
මම බන් කාමරේ බුකින් එක දැම්මේ.. ඒ නිසා උන් කියනවා කව්රුහරි එවන්නලු..
මොන මල වදයක්ද බන් මේ.. තෝ ඊයේ ජප්පෙක් එක්ක ඇවිත් අපිට උගුර ගාවට මල ජරාවක් පෙව්වා.. දැන් කියනවා ඌ මැරිලද බලහන් කියල.. දැන් මමද උගේ මරණෙට සාක්කි දෙන්න ඕන..
ඌ මැරිලා නෑ බන්.. නිකම් ගිහින් බලහන්..
හපොයි උඹෙන් තියන වදයක්.. හරි එහෙනම් මම යන්නං.. හැබැයි ජප්ප මැරිලා තිබුනොත් බොඩිය ගන්න වරෙන් ..
හරි බං හරි.. ඉක්මනට පලයන්..
අතිජාත මිත්‍ර තැන්පත් රවියාගේ ඉලීම කොහෙත්ම අහක දැමීමට නොහොකි නිසා මමද මුහුණ කට සෝදාගෙන ජප්පා නවත්වා සිටින හෝටලයට යන්නට පිටත් වෙනවාය. හිතේ හයියට යන්නට පිටත් උනාට මාගේද වීල් අලයින්මන්ට් සෑහෙන්න අවුල්ය. ඒ කියන්නේ අඩිය තැබෙන්නේ තියන්නට යන තැනට නොවේය. ගෙදර සාමාජිකයින් මුහුණට මුලිච්චි නොවී යන්තම් සන්තම් රථයට පැනගන්නා මා පරෙස්සමට රථය පදවාගෙන ජප්පා නැවතී සිටි හෝටලය වෙත සැපත් වෙනවාය. හෝටලය තිබෙන්නේ අම්බලන්ගොඩ පොලිසිය ආසන්නයේ නිසා ජප්පා වලකජ්ජ ගසා තිබුණහොත් අහිංසක සරණ මාව පොලිස් කුඩුවට දමන්නට පොලිස් ජීප් ගේන්නට ඕනෑකමක් නැතිය. පොලිසියට තිබෙන්නේ මාගේ කමීස කොලරයෙන් ඇදගෙන ගාලු පාර පැනීම පමණය.
සියල්ල සිදුවන අල්ලපනල්ලේ හෝටලයේ රිසෙප්ෂන් එකේ ඉන්නේද ගෑනු දරුවෙක්ය..
මිස්.. මිස්ටර් රවීන්ද්‍රගේ පනිවිඩේට මම ආවේ.. අර රූම් එකේ ඉන්න ජපන් ගෙස් ගෙනියන්න කියල..
පොඩ්ඩක් ඉන්න සර්..
රිසෙප්ෂන් කෙල්ල කාටදෝ කෝල් එකක් ගන්නවාය.. මුහුදු සුළං යහමින් වදින හෝටලයේ වුවද මාගේ ඉහින් කනින් දාඩිය වැක්කෙරෙනවාය. මට හිතෙන්නේම රිසෙප්ෂන් දැරිවි ඇමතුම ගන්නේ පොලිසියට කියාමය.. රිසෙප්ෂන් දැරිවි දිහා කෙලින් බලාලා කතා කරන්නට මට තිබෙන නොහැකියාව දන්නේ මම පමණය. ඉස්සරින්දා තරඟයට බිව් ගල් අරක්කු ඌෂ්ණය දවස් දෙක තුනක් යනතුරු නවතින්නේ නැතිවග සක්සුදක් සේ දැන දැනම ගැහැණු දැරිවියක් ඉදිරියේ කෙලින් බලා කතා කිරීම නොහොබිනාය. මන්ද යත් මුවෙන් නික්මෙන්නාවූ සුමිහිරි සුගන්දවත් ගල් සුගන්දය රිසෙප්ෂන් දැරිවියගේ සිහි විකල් කිරීමට තරම් සැර එකක් බව මම දන්නා නිසාය.
ඉන්න සර්.. මැනේජර් සර් එනවා..
මද වෙලාවකින් හෝටලයේ කළමනාකාර තැන මා ඉදිරිපිටය..
මේ මිස්ටර් රවීන්ද්‍රගේ ඩ්‍රයිවර් වෙන්නැති.. මිස්ටර් රවීන්ද්‍ර කිව්වා මට ඩ්‍රයිවර් එවනවා කියල..
මේ මිස්ටර්.. මම දන්නා තරමින් මිස්ටර් රවීන්ද්‍රට ඩ්‍රයිවර් කෙනෙක් නෑ.. මිස්ටර් රවීන්ද්‍රගේ ඩ්‍රයිවර් එයාම තමයි.. මම රවීන්ද්‍රගේ යාලුවෙක්.. මට කියන්න මොකද වෙන්න ඕන කියල..
ඔහ්.. දැට්ස් ඕකේ.. එනිවේ.. රවිද්‍රගේ ගෙස් මේ වෙනකම් රූම් සර්විස් එකටවත් ඩොර් එක ඕපන් කරේ නෑ.. මම මේ හිතවත්කමට තමයි පොලිසිය ගෙන්නන්න කලින් මිස්ටර් රවීන්ද්‍රට කෝල් කරේ..
හරි.. දැන් මම මොකද කරන්න ඕන..
අපිට ඕන විට්නස් කෙනෙක්.. මොකද නරක වෙලාවකට ගෙස්ට අනතුරක් වෙලා තිබුනොත් අපේ රූම් සර්විස් එකේ අයටයි උසාවි යන්න වෙන්නේ.. ඒ නිසා දැන් ඔයා ඉන්නවනේ.. මම රූම් සර්විස් එකට කියන්නම් ඔයා එක්ක ගිහින් දොර ඇරලා බලන්න කියල..
ඒ කියවෙනා ආකාරයෙන් සත්ගුණවත් රවියා මාව යවා තිබෙන්නේ බෙල්ල ගහලා යන වැඩකටය. ඒත් දැන් ආපසු හැරෙන්නටද බැරිය..
හරි එහෙනම් දොර අරින්න කියන්නකෝ..
සංවාදයෙන් අනතුරුව රූම් සර්විස් මහතකු සමග අසරණ මා දැන් පිය මනින්නේ ජප්පා නැවතී සිටිනා යහන් ගබඩාව වෙතය. දොර ලඟට ඇවිදිල්ලා ඇතුලෙන් සද්දයක් බද්දයක් ඇහෙනවාදැයි බලු කල මීයට පිම්බාක් මෙන් කාමරයෙන් කිසිදු සද්දයක් නොමැත..
මොකද සර් කරන්නේ..
මොනවා කරන්නද මනුස්සයෝ.. අරිනවා ඔය දොර..
එහෙනම් ඔන්න මම අරිනවා සර්.. ඉස්සෙල්ල සර් යන්න කාමරේ ඇතුලට... අපි මේ රස්සාව කරන්නේ බොහොම අඩු පඩියකට සර්.. අපිට උසාවි යන්න හයියක් හත්තියක් නෑ සර්..
ඕයි.. අරිනවා දොර.. දොර අරින්නේ නැතුව මෙතැනින්ම මෙතැනින්ම උසාවි ගිහිල්ලනේ..
උදේ නමේ ඉඳන් දොරට ගහන්නේ සර්.. මීක් සද්දයක් නෑ..
රූම් සර්විස් ගෝලයා දොර ඇරියේය.. මම ෂර්ලොක් හෝම්ස්ගේ ලොකු අයියා වාගේ කාමරය ඇතුලට ගියේ ඕන දෙයක් වෙද්දෙන් කියා හිතාගෙනය..
හුටා සර්.. මූ මැරිලද..
මැරිලා නෑ මනුස්සයෝ.. ඔය හුස්ම ගන්නේ..
ඉස්පිරිතාලේ අරන් යමුද සර්..
පිස්සුද ඕයි..
එහෙම කරන එක පවුනේ සර්..
මොන පවක්ද ඕයි.. ගල් බෝතල් එකහමාරක් විතර තනියම බීල මේ හුස්ම වැටෙන එකම මදැයි..
ගල් බෝතල් එකහමාරක්..
ඔව් ඕයි ඔව්.. සමහර විට ඊටත් වැඩි ඇති..
සර්..
හ්ම්..
බලන්න සර් වෙලා තියන දේ..
බලන්න දෙයක් නෑ මනුස්සයෝ.. වෙන්න තියන දේ තමයි වෙලා තියෙන්නේ..
දැන් කව්ද සර් මේවා සුද්ද කරන්නේ..
මම දන්නවද හලෝ.. මම ආවේ මේ මරගාතේ දොර අරින්නේ නෑ කිව්ව නිසා.. දැන් හරි.. මූ මැරිලා නෑ.. මම යනවා..
පීස්සුද සර්.. යන දේවාලෙක මූව අරන් යන්න සර්..
කොහේ අරන් යන්නද මනුස්සයෝ.. ඔහොම ඉන්න දෙනවා දවසක් දෙකක්..අපි බිල ගෙවන්නම්..
අපොයි අපි මේ වගේ කට්ටිය තියාගන්නේ නෑ සර්..
ගිහින් කියනවා මැනේජර්ට මූ මැරිලා නෑ කියල..
ජප්පා ලෙසටම කාමරයට වැඩේ දීලාය.. සුවපහසු හෝටල් කාමරයේ බිත්ති පුරා ජප්පා වමනේ විදලාය. ඇඳ, පුටු, මේස, කන්නාඩි මේස,ටයිල් පොලොව සියල්ලටම එක ලෙසටම එකකට අසාධාරණයක් නොවෙන ලෙසට සම සමව වමනේ දාලාය. ජපනුන් බොහොම සාදාරන ජාතියක් කියන්නේ ඒ නිසා වන්නට ඇතිය. රූම් සර්විස් උදවියටත්, රෙදි සෝදන උදවියටත්, හවුස් කීපින් උදවියටත් සම සමවම සලකා තිබෙනවාය. කාමරය පුරා අදීක්ෂණ චාරිකාවක මා නියැලෙන අතරේ මැනේජර උන්නැහේ මා සොයා එන්නේ ගින්දර විසික් වෙමින්ය.
මිස්ටර්.. අපිට මේ ගෙස් තියාගන්න බෑ.. ඔයාල දම්මම මෙයාව අරන් යන්න ඕන..
මට ඒ ගැන මුකුත් කියන්න බෑ.. රවීන්ද්‍ර තමයි ගෙස්ව මෙහෙ නැවැත්තුවේ..ඔයා එයාට කෝල් කරන්න..
මිස්ටර් රවීන්ද්‍ර ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ.. ඒ හින්ද ඔයා දැන් මේ ගෙස්ව හෝටලෙන් අරන් යන්න ඕන.. කාමරේ ක්ලීන් කරන්න ඔයාල වෙනම ගෙවන්න ඕන..
දැන් ඔයා මට කියන්නේ මේකට මම ගෙවන්න ඕන කියලද..
ඔව්..
මේ මිස්ටර්.. මමනම් මේ අලාභ ගෙවන්නැ ආපු ගමනක් නෙවෙයි.. ඒ හින්ද ඔයා එක රවීන්ද්‍ර එක්ක බේරගන්න.. මම ඕනෙනම් ඔයාල දෙගොල්ලටම උදව්වක් විදිහට මෙයාව අරන් යන්නම්..
ම්.....
හා එහෙනං ඔයා ගෙස්ව අරන් යන්නකෝ.. මේ යෝදයා මෙතන මළොත් අපිට කරදරේ.. මම රවීන්ද්‍ර එක්ක ගනුදෙනු බෙරගන්නම්.. අයිසේ .. මේ ගෙස්ව මේ මහත්තයාගේ කාර් එකට දානව..
හරි සර්..
රූම් සර්විස් ගෝලයා ජප්පාගේ බෑග් ඇතුළු අඩුම කුඩුම සියල්ල පළමුව මාගේ රථයට පැටෙව්වේ කළමනාකාර මහතාගේ නියෝගය ලැබුණු වහාමය. ඊළඟට තිබෙන්නේ ජප්පාව පැටවීමය. එහෙත් ප්‍රශ්නය නම් ජප්පාට ඇවිදගෙන යාමට ඇති නොහැකියාවය. ජප්පාට තිබෙන්නාවූ අසීමිත අනුකම්පාවටදෝ රූම් සර්විස් උදවිය ජප්පාව වදෙන් පොරෙන් වත්තම් කරගෙන එන අල්ල පනල්ලේ, මම මාගේ කැලිෆෝර්නියා වැගන් රථයේ පසුපස ආසන දෙකම දිගහැර පසුපස කොටස මිනී කාරයක් ලෙසටම කදිමට සකසා දුන්නේ තකුමා නොහොත් ජප්පා ඩෙඩ් බොඩියක් හෙවත් මල මිනියක් ලෙසින්ම රථයේ සතපවනු සඳහාය. සියල්ල අවසානයේ අපි නොදන්නා ජපන් වචන නන් දොඩවමින් අව සිහියෙන් පසුවෙනා ජප්පාගේ ඩෙඩ් බොඩිය රැගෙන යන්නට රවියා කොයි වේලේ එදෝයි මග බලමින් හෝටලය අසල ගාලු පාර අයිනට වී අව්ව තපින්නට මට සිදුවුයේ සත්ගුණවත් රවීන්ද්‍ර මාගේ බොක්කෙම සගයකු වූ නිසාය.
ජප්පා මාගේ රථයේ හතරගාතේ දමාගෙන ජපන් දොඩවන්නට පටන්ගෙන පැයක් පමණ ගතවෙද්දී රවියාගේ සුපර් සැලුනය විත් මාගේ රථය පිටුපසින් නතර වුයේ සියල්ලටම අවසානය සනිටුහන් කරමින්ය.
මොකෝ උනේ.. අවුලක් නෑනේ..
අනේ නෑ ...කිසී අවුලක් නෑ..බොගේ ෆෝන් එකට හෙන ගහලද යකෝ..
ඒකනේ මම කිව්වේ අවුලක් වෙන්නේ නෑ කියල ..ෆෝන් එක චාර්ජ් කරන්න බැරි උනා බන්.. ඊයේ බීපුව තාම වෙරි..
මොකෝ වෙලා තියෙන්නේ..
මුකුත් නෑ..
හිටහන් මම බලල එන්නම්.. රවියා දුවන්නේ හෝටලය දිහාවටය..
හෝව්.. හෝව්.. කොහෙද දුවන්නේ..
තකුම බලල එන්නම්..
තකුමගේ බලන්න දෙයක් නෑ බන්.. කාමරේනම් බලන්න දේවල් එමටයි.. උඹ දැන් හෝටලේට ගියොත් දවස් දෙකක් විතර උඹට ඔකේ හවුස් කීපින් එකේ රස්සාව කරන්න වෙනවා පඩි නැතුව..
ඒ මොකෝ..
ඒ මොකෝ කියන්නේ බොගේ තකුමා බිත්ති ඔක්කොම පේන්ට් කරලා ඇඳ පුටු මේස එක්කම..
නෑහ් ..
නෑහ් නෙවෙයි යකෝ ඔව්..
ඉතින් හිටහන් මං ගිහින් තකුමව අරන් එන්නං ..
උඹට ගන්න දෙයක් නෑ.. මම අරන් ඇවිත් ඉන්නේ..
කෝ .. කොහෙද..
මගේ කාර් එකේ ඩිකිය ඇරලා බලහන්..
කලබල වූ රවියා හනික මාගේ කැලිෆෝනියාවේ ඩිකි දොර උස්සා බැලුවේය..
හුටා...ඇයි බන් මූව මෙහෙම මිනියක් වගේ දැම්මේ..
මිනියක් වගේ දැම්මේද.. මිනියක් වගේ දැම්මේ මූ මගේ කාර් එකේ සීට් වල වමනේ දැම්මොත් උඹ සුද්ද කරන්නේ නැති නිසා..
............................................
තකුමා දමාගත් රවියාගේ සුපර් සැලුනය කොළඹ දිහාවට ගියා නොව ඉගිලුනේය.. ජපානයටම ගොඩබිමෙන් පාරක් තිබුනානම් බොහෝ දුරට රවියා තකුමාව ජපානයටම බස්සවා එනවා අනිවාය.
ඊට පසුද රවියා වසර කිහිපයකට ජපන් රටේ කරක් ගැසුවද තකුමා ආයෙත් ලංකාවට ආ වගක් ආරංචියක් නොමැත. එදා තකුමා සමග අතින් පයින් කතා කල කොන්ඩයා පසුකාලීනව ජපානයේ වසර හත අටක් රැකියාව කර අද වනවිට ජපනුන්ටත් ජපන් උගන්වන තරමට ජපන් කතා කරනා සුපිරි වැඩකරුවෙක්ය. එදා තකුමා සමග අතින් පයින් කතා කල සනා අද වනවිට හින්දි, අරාබි, ඉංග්‍රීසි චතුරව කතා කල හැකි දක්ෂයෙක්ය. කනගාටුවට කරුණ නම් බතලයා එවකට වෙන්ඩ වයිෆ්ව කසාද බැඳගෙන ජීවිතාන්තය දක්වාම අපි කිසිවෙකුත් එක්කම ඇසුරු නොකරන සත්ගුනවතෙකු වීමය. රවියා නම් අද වෙද්දී ජපානය සමග මිලියන ගණන් වලින් ව්‍යාපාර කරන්නාවූ ව්‍යාපාරිකයෙක්ය. රවියා කොතරම් ජපානය සමග ව්‍යාපාර කලද ගල් අරක්කු මතක තිබෙනා තුරා තකුමානම් රවියා සමග වැඩි ඇයි හොඳයියක් තිබෙනවා කියා හිතන්නට බැරිය. ඊට අමතරව තකුමා ආයෙත් දිවි තිබෙන තුරාවට ලංකාව දිහාවට හැරී වතුර වීදුරුවක්වත් බොන්නට ඇතැයි කියා මා සිතන්නේ නැත.
රවියා ඉන්න කතා පහලින්
කොන්ඩයා ඉන්න කතා පහලින්
සනා ඉන්න කතා පහලින්
බතලයා ඉන්න කතා පහලින්