Friday, December 8, 2017

සිරාගේ ගෙදර අපි සහ කැප්ටන්ගේ සිරා කෙරුම්





සිරා යනු අම්බලංගොඩ බ්ලොග් වාසී හැමදෙනාම හොඳින් දන්නා කියනා චරිතයක් නිසා සීරාව වේදිකාවට අලුතෙන් හඳුන්වා දෙන්නට අවැසි බවක් ගොඩයාට දැනෙන්නේ නැතිය. සිරා ගැන මින් පෙර කියවා නැති උදවිය  වීනම් පහත ලින්කු වෙතින් සිරාගේ කියුම් කෙරුම් කියවාගෙන ආවාට වරදක් නැතිය. 




සිරා යනු ආතල් කෝටියක් සපයනා හිතහොඳ සගයකු නිසා මෙව්වුවා ලියුවා කියා සිරා ගොඩයා හා අමනාප වන්නේ නැතිවග ගොඩයා සක්සුදක් සේ දන්නවාය. එය එසේ වුවත් ගොඩයා මේ තනන්නේ සිරා උක්තකොට ලිපියක් ලිවීමට නොව සිරාගේ නිවාස වටා ගොඩනැගුනු මිත්‍රකමේ ඉතිහාස කතාවෙන් බිඳක් ලියාතබන්නටය. ඒ මන්ද යත් සිරාගේ නිවාස යනු සිරා වටා සිටි සියලූම මිත්‍රයින්ට එදත් අදත්  නිවහනක් වූ ස්ථානයක් නිසාය. 

සිරා පාසල් ගියේ දේවානන්ද මහා විද්‍යාලයටය. ගොඩයාද හෝඩියේ පටන් පහ වසර දක්වා දේවානන්ද විද්‍යාලයේ අකුරු කලද එම වසර පහ තුල කිසිදු ආකාරයේ මිත්‍රකමක්, ඇයිහොදයියක් සිරා සමග තිබී නැත්තේය. වෙනත් ආකාරකින් කියනවානම් සිරා යනු දේවානන්ද විද්‍යාලයේදී ගොඩයාගේ ඇහැ ගැටුණු එකෙක් නොවේය. පහ වසරෙන් ධර්මාශෝක විද්‍යාලයට පැමිණෙන ගොඩයා හා සමවයස් වන මීට පෙර පිටසක්වල ජුන්ඩා පොස්ටුවෙන් හඳුන්වා දුන් කැප්ටන් පයිලට් දේවානන්ද විද්‍යාලයේ අකුරු කරද්දී ඔහුගේ ප්‍රාණ සමාන සගයා වූ සිරා ගොඩයාට මුණ ගැහෙන්නේ කැප්ටන් පයිලට් සමග තිබුනාවූ යාළුකම හරහාය. වර්තමානයේ ෆේස්බුකියා  හඳුන්වනා වචනයෙන් කියනවානම් මියුචුවල් ෆ්‍රෙන්ඩ් තත්වයේ තිබූ සිරා සහ ගොඩයාගේ මිත්‍රකම වඩා තහවුරු වන්නේ පිටුවල පිහිටි දිය ඇල්ලක් බලන්නට බයිසිකල් සවාරියක් යාමට ගොසින්ය. එතැන් පටන් සිරා සහ ගොඩයා අතර මිත්‍රකම එදා හා සමානවම අඩුත් නැතිව වැඩිත් නැතිව තිබෙනා එකක්ය. 

සිරාගේ පියාණන්ගේ අභාවයෙන් අනතුරුව ස්වකීය ස්වාමියාගේ ව්‍යාපාර සියල්ලේම බර කරට ගත්දිරිය මාතාවක් වන සිරාගේ මෑණියන් ව්‍යාපාර සමග දවස ගෙවද්දී සිරාගේ නිවස කොලු රැලට ආතල් කෝටියක්  සපයනා තෝතැන්නක් වුයේ නිතැතින්මය. සිරා වටා එකල සිටි මිතුරන් දිනකට වතාවක් කෙසේ හෝ සිරාගේ නිවසට වාර්ථා කිරීම දෛනික රාජකාරියක ස්භාවයක් ඉසිලුවේය. සවසට ක්‍රිකට් ගැසීම පටන් සිදුවන සෑම සියලු ක්‍රීඩා කටයුත්තකටම මධ්‍යස්ථානය වුයේ සිරාගේ නිවසය. අද වෙද්දී ලංකාවේ සුප්‍රසිද්ධ චායාරූප ශිල්පියෙකු වන සිරාගේ මලයාද හැකි සෑම අයුරකින්ම කොල්ලන්ගේ සුඛ විහරණය සඳහා නොඅඩුව දායකත්වය දැක්වුයේ කිසිදු අඩුපාඩුවක් නොවෙන්නටය. 

හැකි සෑම දිනකම හල්වතුරේ ක්‍රිකට් ගසන්නටත් ක්‍රිකට් ගසන්නට බැරිවන අයහපත් කාලගුණික තත්වයන් යටතේ ගෘහස්ත ක්‍රීඩාවන්හි යෙදෙන්නටත් තෝතැන්න සැපයුයේ සිරාගේ නිවසය. එවන් දින වලදී දෙපිලට බෙදී හොරා පොලිස් කිරීම වැනි ත්‍රාසජනක ක්‍රීඩා වලට සියල්ලෝම වැඩි මනාපයක් දැක්වුවෝය. ඔය කියනා හොරා පොලිස් ක්‍රීඩාවේ හොරුද පොලිස්ද කියා දෙපිලක් හිටියද හොරා පොලිසියට හසුවුවද පොලිසිය හොරාට හසු වුවද සිදුවන්නේ එකම සංතෑසියය. ඒ මන්ද යත් සිදුවන්නේ අතට හසුවන එකාට ඉල කැඩෙන්නට පහර දී ඔවුන්ගේ රාජධානිය වන කාමරයේ සිරකර ගැනීමය. එවන් අවස්තාවන්හීදී අතපය හතර බැඳ දැමීම, ඔලුවට කොට්ට උරයක් දමා පහරදීම වැනි දෑ සාමාන්‍ය සිදුවීම්ය. එවන් අවස්තාවකට මුහුණ දුන් අයෙක් වෙතොත් ඔහු නිරන්තරයෙන් උත්සහ කරන්නේ කෙසේ හෝ විරුද්ධ පාර්ශවයෙන් වාඩුව ගැනීමටය. ගොඩයා ඇහැ කණ පොට්ට වෙන ක්‍රීඩාවන්හීදී පසු පාදයේ ක්‍රීඩා කරනා නිසා එවන් ඉල කඩෙන ගුටිකෑම් වලට මැදිහත් වී නැත්තේය. එවන් කෲර වද බන්දන වලට නිරන්තරයෙන් හසුවන්නේ ඉදිරිපෙළ සටන් කරනා කැප්ටන් පයිලට්, සිරාගේ මලයා වැනි වීරෝධාර සෙබළුන්ය. සිරාගේ නිවසේ පසුපස කොටසේ වන සොල්දොර කොටස එක් කඳවුරක් වන අතර පහල කෑල්ලේ පාර්ශවයේ එකෙකු සොල්දොර උඩට කොටුවූවා යනු යලි බේරාගන්න තුරු වහලේ බාල්කයේ කෙසෙල් කැනක් එල්ලා තැබුවා සේ එල්ලා තබා  සුන්දර සුරම්‍ය ගුටි පූජාවක් නෙලනා මෙවුවා එකක්ය. කැටපෝල් කරුවක හෝ අතේ ඇඟිලි දෙකේ ගැටගැසූ රබර් පටියක ආධාරයෙන් තම ගිනි අවිය නිර්මාණය වන අතර එහි උණ්ඩ වන්නේ දෙකට නැමූ කාර්ඩ්බෝර්ඩ් කැබලිය. ඉඳහිටෙක වයර් කැබලි වැනි මෝටාර් උන්ඩත් යුද නීතිය උල්ලංගනය කරමින් භාවිතා වනවාය. 



එවන් ආකාරයෙන් දෙපිලට බෙදී රබර් පටි උණ්ඩ වලින් විදගන්නා ක්‍රීඩා අවස්තාවකදී සිරාගේ මලයාගේ ඇසක් එලියට පනින්නටම උණ්ඩය විදින්නට කැප්ටන් පයිලට් සමත් වන්නේ කැප්ටන් පයිලට් යනු ප්‍රතිවාදියාට කිසිදු සමාවක් නොදෙනා ක්‍රීඩකයකු වන නිසාය. එදින නම් වෙනදා සේ නොවෙනා අතර සිරාගේ මලයා වෙත වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්නට සිදුවෙනා අතර දින කිහිපයක් යනතුරු සිරාගේ ගෙවල් පැත්ත පළාතේ නොයා හිටින්නට සියල්ලෝම පරෙස්සම් වෙනවාය. ඒ මන්දයත් සිරාගේ මවුතුමිය බැහැදකින්නට වේදෝ යන භයටය. එහෙත් එදා මෙදා තුර එතුමිය කිසිදු දිනෙක සිරාගේ මිතුරන් වන අප කාටහෝ දොස් නැගු අවස්තාවක් ගොඩයා දැනුවත්ව සිදුවී නොමැතිය.  

තමුන්ගේ ඇසට එල්ලකර ප්‍රහාරය වෙනුවෙන් වාඩුව ගන්නට අවස්තාව ලබෙනාතුරු කල් යල් බලමින් උන් සිරාගේ මලයාට තම ස්වර්ණමය අවස්තාව උදාවන්නේ තවත් එවන් දිනෙක හොරා පොලිස් සෙල්ලම් කරද්දීය. සොල්දොර ඉහල මාලයේ ඉදිරිපෙළ සොල්දාදුවන් සීග්‍රයෙන් පසුබසිද්දී කැප්ටන් පයිලට් සොල්දොර කොටසට ඇතුළුවන පඩි පේලියේ ඉහලටම නගින්නට ඔන්න මෙන්නය. සිරාගේ මලයාද සෙල්ලමට පසුබසිනා පුතයකු නොවෙනා නිසා පහලින් එල්ලවන ප්‍රහාරය මැඩ පවත්වන්නට ක්‍රමවේදයක් සොයනා අල්ලපනල්ලේ ඔහුගේ ඇස ගැටෙන්නේ වෙසක් උත්සවය වෙනුවෙන් භාවිතා කර පසු පාවිච්චිය උදෙසා පරෙස්සමට සොල්දොර උඩ තබා තිබෙනා වෙසක් කූඩුවක්ය. ක්ෂණිකයෙන් වෙසක් කූඩුව වෙත ගිනි අවුලුවනා සිරාගේ මලයා ගිනිගන්න වෙසක් කූඩුව කැප්ටන් පයිලට්ගේ හිස මතට අතාරින්නෙ කිසිදු අනුකම්පාවක් නොමැතිවය. එතැන් පටන් හිසේ රැඳී ගිනි ගන්නා වෙසක් කූඩුව සමග ගේ පුරා දුවන්නට තියාගත් කැප්ටන් පයිලට්ව අල්ලා ගින්නෙන් බේරාගන්නා විට කැප්ටන් උන්නැහේගේ දැලි රැවුල පවා ගින්නෙන් ට්‍රිම් වෙලාය. කොණ්ඩයද තිනින් තැන පිච්චිලාය. එවන් සාහසික දෑ එම නිවසේ සිදුවුවද සිරාගේ මවුතුමිය නිවසට පැමිණෙනා කාල වෙලාව වෙද්දී සියල්ලෝම සාන්ත දාන්ත තීන්ත කූඩු බවට පත්වී හමාරය. 

කැප්ටන් පයිලට් යනු එවන් දෑ වලින් පසුබානා චරිතයක් නොවේය. බෙල්ල නැතත් කඳ ෆයිට් වර්ගයේ එකෙකු වන කැප්ටන් රණකාමීත්වය උපතින්ම ගෙන ආ පුද්ගලයෙක්ය. හේගේ රණකාමීත්වය කොතරම්ද යත් විනෝද චාරිකාවක් අතරතුර දිඹුලාගල පුදබිමේදී කොහේදෝ නොදන්නා කොලු ගැටයෙකු සමග ඇතිකරගත් ආරෝවක් යාන්තම් සන්තම් නැවකට ගුටි නොකා බේරී ආවේ වැන්දා නොවැන්දා ගානටය. තනිවම දිඹුලාගල කන්ද තරණය කරනා කොලුවකුට තම බල පරාක්‍රමය පෙන්වූ කැප්ටන් පයිලට් හේතුවෙන් ගොඩයා ඇතුළු දහ අටක්වු අම්බලංගොඩ මිතරු කැල කොයිතරම් අසරනදැයි කැප්ටන් පයිලට් තේරුම් ගත්තේ හැටක පමණ බස් නඩයක පිරිසක් විසින් වටකරගත් අවස්ථාවේදීය. ගොඩයා ඇතුළු සැමටම සහනාධාර ක්‍රමයට කන්නට ඉල්ලා දෙන්නට තැනූ කැප්ටන්ගේ උත්සාහ්යා ව්‍යර්ථ වුයේ කැප්ටන් හැරුණකොට අනෙක් අයවලුන් මුළු බස් නඩයෙන්ම සමාව ඉල්ලා පන ඩිංග බේරාගත් නිසාය. 

සිරාගේ නිවසේ ඔවන් ආකාරයෙන් හොරා පොලිස් සෙල්ලම කරගෙනා ගියා වූ දිනයෙක සෙල්ලම අවසන් වුයේ එකිනෙකා වතුර ගසාගන්නා සෙල්ලමකින් අනතුරුවය. කැප්ටන්ට  තෙමුච්ච කුකුලෙක් ගානට වතුර නාගන්නට සිදුවූ අබග්ගය කොයිතරම් අරෝවක් වුවාද කියතොත් කැප්ටන් සියලු ඇඳුම් උනා දමා සිරාගේ තුවායකින් සැරසී ෆුල් ටයිම් වතුර ගසන්නට පටන් ගන්නවාය. ඒ මන්ද යත් වතුර යනු කැප්ටන්ට ගැරඬියාට භූමිතෙල් ගානටම විෂ මුලද්‍රව්‍යයක් වන නිසාය. කැප්ටන් යනු එකල නාන්නට සෑහෙන්න අදිමදි කළාවූ එකකු බැවින් හේ නාන්නට රැගෙන යාම බල්ලකු නාවන්නට රැගෙන යනවාට වඩා අසීරුය. එය එසේ බැවින් වතුර නැවීමේන් අධික කේන්තියට පත් කැප්ටන් වටේම සිටින අයවලුන්ට වතුර ප්‍රහාර එල්ල කරන්නට පටන් ගන්නවාය. රුවන්ද මෙම සමාගමේ සාමාජිකයකු වන අතර හේ පැසිපන්දු ක්‍රීඩකයකු බැවින් කැප්ටන් වෙත දැඩි ජල ප්‍රහාරයක් එල්ල කිරීමට හේ සමත් වනවාය. කේන්තිය ඉහවහා ගිය කල ජම්බු ගෙඩියක් තරම් රතුවන කැප්ටන්ගේ මුහුණ එදා පිනිජම්බු ගෙඩියක් තරම් රතුවෙන්නටම අසූ හාරදාහට මල පැනලාය. එයට වඩා ආසන්නතම හේතුව රුවන් වෙත ජල ප්‍රහාරයක් එල්ල කරගන්නට බැරි වීමය. එවන් වාතාවරණයක් යටතේ කැප්ටන් වෙත නැවතත් ජල ප්‍රහාරයක් එල්ල කරන්නට රුවන් සමත්වන අතර කැප්ටන් එතනින් එහා තම අවසන් උණ්ඩය රුවනට එල්ල කරන්නට මාන බලනවාය. 

කැප්ටන් සිටිනේ සිරාගේ තුවාය පිටින්ය. අත රැඳෙන්නේ බේසමක් වන අතර එහි තිබෙන්නේ පිරිසිදු ජලය සමග මිශ්‍ර කරන ලද මුත්‍රාය. සියල්ලෝම ඒ ගැන දැනුවත් බැවින් එකෙකුවත් කැප්ටන් වෙත ලංවන්නේ නැතිය. කැප්ටන්ගේ මල අසූ හාරදාහටම පැන ඇති නිසා යන්තම් හෝ මොලය ක්‍රියා කරනා සියල්ලෝම සිරාගේ නිවසින් පිටතට පැමිණෙන්නේ කප්ටන්ගේ මුත්‍රා ප්‍රහාරය නිවස තුලදී කාට හෝ එල්ලවුවහොත් එයින් එහා ඇතිවන අනිටු ප්‍රතිවිපාක සැමටම ඒක සේ විඳින්නට සිදුවන නිසාය. එවකට වෙලාව සවස පහ පමණ වී තිබූ අතර කැප්ටන් තුවාය පිටින් මුත්‍රා බේසම අතැතිව හැමදෙනා පසුපසම එලවා යනවාය. එක වරම රුවන් හා ගොඩයා පසුපසින් කුලරත්න පාර දිගේ එලවාගෙන එන්නට තියාගත් කැප්ටන්ගේ මුත්‍රා ප්‍රහාරයෙන් බේරීමට ගොඩයා ගාලුපාර දිහාවට දුවනවා නොව විදිනවාය. හදිසියේම තම ගමන් මාර්ගය වෙනස් කරන්නට තීරණය කල රුවන් සිරාගේ නිවස ඉදිරිපිට තිබූ හබුරු ගාලෙන් පනින්නට ගොස් පාර අයිනේ කැප්ටන්ට හසුවන්නේ ඉතාමත් අභාග්‍ය සපන්න ලෙසය. වර්තමානය වෙද්දී එම ස්ථානයේ නවීන පන්නයේ නිවසක් ඉදිකර තිබෙනා අතර එකල එහි තිබුනේ හබුරු, කොහිල වැනි ශාඛයින්ගෙන් ගහන වතුර වලක්ය.

කොහිල වලට පනිනවද මුත්‍රා ප්‍රහාරයට ගොදුරු වනවාද යන තීරණය අභිමුව අසරණව ඉන්නා රුවන් දිහා ගොඩයා ඈතට වී බලා ඉන්නවාය. සිරාගේ නිවසේ සිටි අනෙක් අයවලුන්ද පාරට පැන රුවන් මුත්‍රා බේසම ස්නානය කරනා සුන්දර අවස්තාව නැරඹීමට සැදී පැහැදී ඉන්නවාය. කැප්ටන් රුවන් වෙත අඩියෙන් අඩිය ලං වී මූත්‍රා බේසම රුවන් වෙත දමා ගසන්නට හදනවාය. නැවත නවත්වනවාය. නැවත දමා ගසන්නට හදනවාය. පූසෙකු වෙත හසුවූ මීයෙකු වැනිවූ රුවන්ද මුත්‍රා ස්නානය සඳහා සූදානම්ව භයෙන් භිරාන්තව කොහිල වල දෙසට අඩියක් අතබාගෙන අවසන් ජවනිකාව සඳහා සූදානම් වනවාය. තම සහජ ක්‍රීඩා කුසලතාවය සහ පැසිපන්දු ක්‍රීඩකයකු සතු ක්ෂණිකව තීරණය ගෙන ක්‍රියාත්මක වීමේ කුසලතාවය අත්හදා බලන්නට තීරණයක් ගන්නා රුවන් මුත්‍රා ප්‍රහාරයෙන් බේරීමට තමුන් සතු හොඳම තීරණය ඒ අතරේ ක්ෂණිකවම ගනු ලබනවාය. 

ක්‍ෂණිකවම කැප්ටන් වෙත නමෙනා රුවන් තත්පරයෙන් දාහෙන් පන්ගුවන් වැනි කාලයක් තුලදී කැප්ටන් විසින් විලි වසාගෙන හුන් සිරාගේ තුවාය ගලවා අතට ගන්නවාය. එතනින් එහා සිද්දිය ෆුල් වැඩිහිටියන්ට පමණය. කැප්ටන් පාර මැද්දේ මුත්‍රා පිරවූ බේසමක් අතැතිව උපන් ඇඳුමේන්ය. සිරාගේ තුවාය කැප්ටන්ගේ ඉනෙන් ලිහා ගලවාගත් රුවන් උසේන් බෝල්ටත් වඩා වේගයෙන් ඔහුගේ නිවස දිහාවට ඉගිලෙනවාය. යමක් දැනීමෙදී ටියුබ් ලයිට් මොඩලයක් වන කැප්ටන් තමුන් පාර මැද්දේ නිර්වස්ත්‍රයෙන් නේදෝ යකඩෝ යන්න වටහා ගන්නේ තත්පර කිහිපයකින් අනතුරුවය. මුත්‍රා බේසම දෙකකුල් ළඟම  බිම අතහරිනා කැප්ටන් නිර්වස්ත්‍රයෙන් එවකට ධාවන ශූර කාල්ව ලුවිස්ටත් වඩා වේගයෙන් සිරාගේ නිවාස දිහාට දුවනවා නොව විදිනවාය. එවකට කුලරත්න පාරේ ගමන් ගනිමින් සිටි ටියුෂන් දැරිවියන් මොර හඬ දෙමින් හිස් ලූ ලූ  අත  දුවන්නට පටන් ගන්නේ සුසන්තිකාටත් වඩා වෙගයෙන්ය. වැඩිහිටි ගැහැණු උදවියද ක්ෂණිකවම තම දරුවන් ඉවතට හරවා ගන්නවාය. කුලරත්න පාර එවන් ආකාරයෙන් කලබැගෑනියක් බවට පත්වෙද්දී කැප්ටන් සිරාගේ වත්තට අවතීරණ වන දර්ශනය අදත් ගොඩයාගේ හිතේ ජීවමානව මැවී පෙනෙනවාය. ඒ අල්ලපනල්ලේ තවත් වතුර බාල්දියක් අතැතිව සිරාගේ වහල උඩ ස්ථානගතව සිටි කොටා තමුන් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් නිර්වස්ත්‍රයෙන් නිවස දිහාවට දුව එන කැප්ටන් නැවතත් පිරිසිදු ජලයෙන් නහවා නිවසට පිලිගන්නවාය. එම වතුර ප්‍රහාරයෙන් අමන්දානන්දයට පත් නිර්වස්ත්‍ර කැප්ටන් සිරාගේ නිවසට අවතීරණය වන්නේ සිමෙන්ති පොළොවේ පය ලිස්සීමෙන් අනතුරුව වන අතර නිර්වස්ත්‍රයෙන්ම  සිරාගේ ආලින්දය දිගේ රූටා ගොඩ පුටු සෙටියේ හැපී නතර වනවාය.

කැප්ටන් ගොයියා මුහුණ දුන් අලකලංචි වලින් මෙහි ලියවුයේ එකක් දෙකක් පමණක් වන අතර ලියවෙන්නට ඇති දෑ බොහෝය. හොස්ස ලඟින් මැස්සා යන්නට බැරි තරම් කේන්ති කාරයකු වන කැප්ටන් ගැන ලිවීමේදී ගොඩයාගේ පරෙස්සම ගැන සිතිය යුතු නිසා ළඟ ළඟ කැප්ටන් ගැන ලියන්නට බැරිය. එවකට වර්තමානයේ ආකාරයෙන් කැමරා ෆෝන් කොල්ලන් කුරුට්ටන් අත රැඳුනා නම් කැප්ටන් රනින් හෙළුවෙන් අන්තරජාල ගතවෙනවා අනිවාර්යය. 

අද දිනට සිරාගේ උපන්දිනය යෙදී ඇති බැව් ෆේස්බුකියා පවසන නිසා අම්බලන්ගොඩ කතා හි හිට් පොරක් වන සිරාට අම්බලන්ගොඩ කතා වෙතින් සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවාය.

කොමෙන්ටුවක් දාගෙන යමු 

43 comments:

  1. Replies
    1. ප්‍රසන්නගෙන් ප්‍රවේසම් වෙයන් තරිඳුවෝ..

      Delete
  2. කුමන බාදක ආවත් තම සතුරන්ට එඩිතරව මුහුණ පෑ කැප්ටන්ට අපගේ උපහාරය...

    ⁣කාලෙකින් පටිට ලිපියක්...

    සිරාටත් සිරා උපන් දිනයක් වෙිවා..🎂

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ නේන්නම්..

      Delete
  3. මේ උබට බ්ලොග් එකක් තිබුනද ගොඩයෝ.අපෙ සිරාට සුභ උපන්දිනයක් 🎂 🎁

    ReplyDelete
    Replies
    1. බ්ලොගේ ගැන හාංකවිසියක් මතක නැතිවුනා නේන්නම්..

      Delete
  4. කොහෙද මෙච්චර කල් හිටියේ?
    සිරාට සුභ උපන්දිනයක් වේවා...

    ReplyDelete
    Replies
    1. ලංකාවට ඇවිත් යන්න ආවනේ ඉතිං..ඒ වැඩ එක්ක ඉතිං ලියන්න නිදහසක් නැතිවුනා කියමුකෝ.. සිරා වෙනුවෙන් මාගේ ස්තුතිය..

      Delete
  5. යකෝ ඔහොම සෙල්ලං කරල උඹල සිරාගෙ ගේ බිමට සමතලා නොකල මදැයි.
    සිරාට සුබ උපන්දිනයක් පතමි !

    ReplyDelete
    Replies
    1. පරම්පරා ගානක් පරණ හොඳ ශක්තිමත් ගෙයක් නිසා බේරුනා.. නැත්තම් අපේ එවුන් කරපු සෙල්ලම් වලට වහලේ උළු ටිකත් බිම වැටෙනවා.. සිරා වෙනුවෙන් මාගේ ස්තුතිය..

      Delete
  6. කාලෙකට වරක් ලිවුවත් ඉලඇට කැඩෙන පරිදි හීනාවිය හැකි ලිපි ලියන ඔබට මාගේ උත්තමාචාරය. ඔවැනි ත්‍රාසජනක සෙල්ලම් කිරීමෙන් එකල හොඳ ෆන් එකක් ලබාගෙන ඇතිබව ලිපියෙන් මනාවට පැහැදිලි වේ. අවසාන වශයෙන් සිරාට සුභ උපන්දිනයක් පතමි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. අපි කරපු ත්‍රාසජනක සෙල්ලම් වලින් ඕක එකක් විතරයි.. තව කොච්චරනම් ජීවිත අවදානමේ දමන එව්වා කලාද ඉතිං. ඒවා ඉදිරියේදී ලියවේවි.. සිරා වෙනුවෙන් මාගේ ප්‍රණාමය..

      Delete
  7. Happy Birthday සිරා !!!!!!!!,,

    පට්ට කතාව අයියේ!!!!!!

    ReplyDelete
    Replies
    1. සිරා වෙනුවෙන් ස්තුතිය පුදකරමි..

      Delete
  8. සිරාවටම සුභ උපන්දිනයක් වේවා

    ReplyDelete
    Replies
    1. යකෝ සිරාට සෑහෙන්න විෂස් ඇවිල්ලනේ.. ස්තුතියි සුරංග..

      Delete
  9. Is sira a son of sriyananda hotel owner ?

    ReplyDelete
    Replies
    1. Thanks for your comment Thusitha .. It's not ethical to disclose their real identity behind those nicknames.

      Delete
  10. හයියෝ ආතල් දෙනව කියල මෙහෙමත් ආතල්..?? 🙈🔫..
    අපෙත් හිටිය හොස්ස ලඟින් මැස්සෙක් යන්න බැරි එකෙක්. 100ක් හිටියත් තනියම ගේම ඉල්ලනව. අපි කොල්ලො 10ක් විතර දවසක් ලෝකාන්තය බලන්න ගියා. ගැන්සිය කොටස් කිහිපයකට කැඩිල විසිරුන වෙලාවක අර ඩයල් එකට හතර පස් දෙනෙක් ආපු සෙට් එකක් ගේම ඉල්ලල මු තනියම ආපු එකෙක් කියල හිතං. අපිට එක සැරේ මිනිස්සු කෑ ගහන සද්දයක් ඇහිල එතනට දුවන් එනකොට මු එතන ඔක්කොටම ගහල ඉතුරු උන එකා ලෝකාන්තයෙන් පල්ලෙහට තල්ලු කරන්න හදනව. ගුටි කාපු ඇවුන් අරූට නොවඳින වැඳුම් වඳිනව. ඒත් කොහෙද අරූ ගේම අතඅරින්නෙ. “£&තෝ, තොපි හිතුවද අපි හඳපාන්ගොඩ #රියෝ කියල? තොපි දැනගනින් අපි ගාල්ලෙ කැර%යෝ.. මුත් මෙතනින් පල්ලෙහාට තොපි හතර දෙනාත් වෙන වෙනම පල්ලෙහාට අතඅරිනව” ඉතිං අපි සෙට් එකම අරූට මල් පහන් පිරිකර ඔක්කොම දීල වඳ වැටුනට පස්සෙ තමයි අරූව අත ඇරියෙ. බුදු අම්මෝ ඒ සීන් එකනම් මතක් වෙනකොටත් ඇඟේ මයිල් ඉස්මයිල් වෙනව හිටං..!!

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ බං අර අහිංසකයෝ ටික ලෝකාන්තෙන් පහලට තල්ලු කරානම් බොලා තාම ඇතුලේ.. කෙන්තියන එවුන් එක්ක ඇසුර බොහොම භයානකයි ටික්කො.. කොයි වෙලේ අනුන්ගේ පරිප්පු නැවක් තමුන්ගේ ඇඟේ බාගනියිද ශුවර් නැහැ ඔය වගේ එවුන්..

      Delete
  11. සිරාට සුබ උපන්දිනයක් වේවා.ගොඩයා මහත්තයෝ මේක හරිම අසාදාරනය්.හැම දාම මේකට ගොඩ වෙලා බලනවා අලුතින් මොනවාද ලියලා තියෙන්නේ කියලා.මාස දෙකක් තිස්සෙ පෝස්ට් එකක් නැතුව???.ලේ පිරිසිදු කරගන්න උදව් කර ඊලග ආත්මයටත් පින් රැස් කරගැනීමට හිතට ගන්න්.ලියන්නට හැකි කතා ඉවර නම් ලියන්නට බැරී එකක් දෙකක් ලියලා දාන්න.ජයවේවා!!!!!

    ReplyDelete
    Replies
    1. සිරා වෙනුවෙන් මාගේ ස්තුතිය..

      ලංකාවට ගිහින් එන්න ගියා යාලුවේ.. ඉතිං ඔක්කොම වැඩ මග හිටියා.. ලියන්න දේවල් නම් ඉවර වෙන එකක් නැහැ මැරෙනකල්ම.. ඒ නිසා ඒ ගැනනම් සැකයක් තියාගන්න එපා.. මේ පොස්ට් එකත් නිකම් බලේට වගේ ලිව්ව නිසා ඒ තරම් ලකේට ලියවුනේ නැහැ.

      Delete
  12. අඩෝ පට්ට ආතල් ස්ටෝරිය යකෝ... කාලෙකිං! ලංකාවට ආවද? කෝමද ඉතිං? ආපහු ගියෙ කවද්ද? ආයි එනවනං කියල වරෙං ඈ...

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආව තමා ඩ්‍රැකී බොහොම කෙටි නිවාඩුවකට. කොහෙද ඔක්කොම වැඩ අවුල් උනා පෙට්‍රල් ප්‍රශ්නෙත් එක්ක. නොවැම්බර් මැද තමා ආයේ මෙහෙ ආවේ.

      Delete
  13. Replies
    1. ස්තුතියි ප්‍රාජේ

      Delete
  14. සිරාට අපෙනුත් සුභ උපන්දිනයක්

    ReplyDelete
  15. කොච්චියෙ තනියම යන ගමන් කියෙව්වෙ. හිනාවෙලා කදුලුත් පැන්නා. මේ පරිසරයත් දන්න නිසා සීන් එක අඩු නැතිව මැවිලම පේනව.
    රබර් පටියෙන් ඇහැට විද්ද මල්ලිටත් ලින්ක් එක දුන්නා.

    ReplyDelete
    Replies
    1. ආ ඒ ඔයාද.. මට මල්ලි මසේජේ එකක් එවල තිබ්බ. ස්තුතියි කාවින්ද

      Delete
  16. හිනා වෙලා බඩත් කොර උනා බං ���� මම ගොඩයාගේ බ්ලොග් එකට එන්නේ ගොඩක් කාලෙක ඉදන්. හැම පෝස්ට් එකක්ම වගේ කියවලා තියනවා. සමාවෙන්න ඕනේ කමෙන්‍ට් දැම්මෙ නැති එකට. අදින් පස්සේ වැටෙම හැම පෝස්ට් එකකටම මම කමෙන්ට් කරනවා. මාස දෙකක් තිස්සේ බලන් හිටියේ අලුත් පෝස්ට් එකක් වැටෙනකම්. දිගටම ලියන්න ගොඩයියේ. ඔබට ජය!!!
    ආහ් සිරාට සුභ උපන්දිනයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිපුන්..

      Delete
  17. සිරා ට සුබ උපන්දිනයක් පතන අතර ගොඩයා අලුත් පොස්ට්ටුවක් දැමීම ගැන සතුටු වනවා ය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කලණ.. පහුගිය ටිකේ බ්ලොග් කෙරුවාව අලවුනා..

      Delete
    2. මුහුදු හතින් එහා රටේ ඉද්දි කොහොමත් කාර්යබහුල වෙනවනේ නේද ? . මෙහෙම හරි ලියන එක කොච්චර දෙයක් ද . විශ්වාස කරන්න අර "තඩියා ගේ නුවරඑලි ගමන " පොස්ට් එක මම 6 වතාවක් කියෙව්වා .
      මේ බ්ලොග් එකේ හැම එකක් ම දැනට මම කියවල ඉවරයි .

      Delete
    3. ඇත්තම කියනවනම් කලණ මුහුදෙන් එහා ඉන්න මිනිස්සු ලංකාවේ ය තරම් කාර්යබහුල නැහැ. එකට හේතුව දානේ ගෙවල්, මගුල් ගෙවල්, මල ගෙවල්, කොටහළු ගෙවල්, ලෙඩ්ඩු බලන්න යාම්, ශ්‍රමදාන, වගේ දේවල් නැති නිසා. ඒත් ඉති ලංකාවේ වගේ රැකියාව හොරට කරන්න බැරි නිසා රකියාවෙන් පසුව වෙන වැඩක් කරන්න කම්මැලියි. බ්ලොග් ලියන්න ඔලුව ක්ලියර් වෙන්න ඕනනේ. එහෙම නැතුව ලිව්වාම පොස්ට් එක කිසි ගතියකට එන්නේ නැහැ. ඒ නිසා ඔලුව ක්ලියර් නැතිවුනාම ලියන එක තේරුමක් නැහැ. මේ බ්ලොග් ලියවිල්ල ලියවෙන වෙලාවට ලියනවා මිසක් ලියවෙන්නේ නැති වෙලාවට බලෙන් ලියන්න ගියොත් වැඩේ අල වෙනව.

      Delete
    4. අම්මපා ඇත්ත අය්ය බ්ලොග් ලියන එක ගැන කියපු දේ !

      ඔව් . ඇත්තටම හරියට බැලුවම ලංකාවේ වැඩ කරද්දී අපි කාර්යබහුල වෙන්නේ "විෂය" එක්ක නෙවෙයි "විෂය සමගාමී ක්‍රියාකාරකම්" එක්ක . හේ හේ හේ හේ!

      මහන්සි වෙලා ඇදට ආවම හාන්සි වෙනවා මිසක් වෙන මොනවද . එක හරි!

      Delete
  18. Paw ban aiye sira.ela ela onna happy new year kiuwa demma.me pette awe godak dawsakin let tika pirisidu una

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චරිත්... ඔයාටත් සුභ නව වසරක් වේවා කියනවා ඔන්න..

      Delete
  19. උපන් ඇඳුමින් දුවනකොට වේගය වැඩියි, හුළං බදන්න ඇදුම් නැති නිසා එයාරෝඩයිනමික්ස් වැඩි වෙන හින්දද කොහෙද :)

    ReplyDelete