භාග භාග ලියවෙච්චි පොස්ටු බර ගානක් බ්ලොග් අඩවියේ කටුසටහන් තත්වයේ තිබුනත් එව්වා සම්පූර්ණ කරන්න තියන කම්මැලිකම එසේ මෙසේ එකක් නොවෙන නිසා ගොඩයා කල්පනා කරා වෙනත් පෝස්ටුවක් ලියා පලකරන්න. ඒ මොකද කියල පැහැදිලි කරනවානම් එක් එක් පෝස්ටු ලියවෙන්නේ එක් එක් මූඩ් වල නිසා, එව්වා පස්සේ සම්පූර්ණ කරන්න ගියාම ඉතුරු ටික ලියවෙන්නේ වෙනම ආරෙකින්. එහෙම ලිව්වාම බ්ලොග් පෝස්ටුවේ පළමු භාගය එක් ආරයකිනුත් දෙවන භාගය වෙනත් ආකාරයකිනුත් ලියවිලා, බ්ලොග් පෝස්ටුව අල වෙලා තමා අහවර වෙන්නේ. ඒ වගේ කුජීත බ්ලොග් පෝස්ට් දැම්මාම පාඨක සහෘදයින් බුකියට පණිවිඩ එනවනවා මේ පාරනම් බ්ලොග් පෝස්ට් එක කුජීතයි ගොඩයෝ කියල. එහෙම උනාම ඉතින් ඒ වගේ පැමිණිලි ගොඩයා නිහතමානීව භාරගන්නවා, ඒක එහෙමයි කියල ගොඩයාත් දන්නා නිසා.
ඊයේ පෙරේද වෙච්චි රසම රස සිද්දියක්, බ්ලොග් පෝස්ට් එකක් විදිහට ලියන්න එපා කියන තර්ජනයක්, ඊට අදාළ අනෙක් පාර්ශවයෙන් ගොඩයා වෙත එල්ලවුනත්, ඒ සිද්දිය නොලියා ඉන්නේ කොහොමද දෙයියෝ කියල ගොඩයා දහ අතේ කල්පනා කර කර උන්නා කියමුකෝ. අදාළ මිත්‍ර පාර්ශවය විසින් ගොඩයාට කෙලින්ම කියා හිටියේ මේ සිද්දිය බ්ලොග් එකට ලිව්වොත් "මම තෝව හමගහනවා" කියලයි. කොච්චර බොක්කේ යාළුකමක් උනත්, බොක්කේ යාලුවට කරදරයක් උනාම බඩ අල්ලාගෙන පැයක් හමාරක් හිනාවෙන එක අඹ යාලුවන්ගේ සිරිත නිසා මේ බ්ලොග් පෝස්ටුවට උක්ත වෙච්චි සිද්දිය හම ගහල ගහක බැන්දත් ලියන්න ඕනෙමයි කියලා ලතවෙද්දී තමයි, උක්ත සිද්දිය බ්ලොග් අඩවියේ ප්‍රසිද්ධ කරන්න අවසර ලැබෙන කුජීත සිද්දියක් ගොඩයාටත් සිද්දවුනේ. ආන්න ඒ කුජීත සිද්දිය අනන්‍යතාවය හෙලිකල නොහැකි මිතුරු පාර්ශවයට කිව්වයින් පස්සේ, ඔන්න ගොඩයා වෙත අවසර ලැබුනා ඔය උඹට වෙච්චි සිද්දිය ඉස්සෙල්ල ලියලා අහවර වෙලා මගේ සිද්දිය ලියපන් හැබැයි නම ගම දැම්මොත් ඇහේ හිටං පට්ටගහනවා කියලා. ඔන්න ඒ පොරොන්දු වෙච්චි ආකාරයට ගොඩයා ඉස්සෙල්ල ලියන්න යන්නේ ගොඩයාට වෙච්චි කුජීත සිද්දිය.
ගොඩයා රැකියාව විදිහට කරන්නේ කාර්මික ක්‍ෂේත්‍රයේ රැකියාවක්. ඒ රැකියාවේ ස්භාවය අනුව ගොඩයා මුළු දවසම ගත කරන්නේ යන්ත්‍ර සූත්තර එක්ක. ගොඩයාගේ රැකියාවේ ස්භාවය නම් අදාළ යන්ත්‍රය තිබෙන ස්ථානය වෙත ගොස් සේවාව සැපයීම. ගොඩයා රැකියා කරන ආයතනය ගෘහස්ත පරිභෝගොකයින් සඳහා සේවා සපයන්නේ නැති නිසා ගොඩයා නිරන්තරයෙන් යැවෙන්නේ වානිජ්‍ය අරමුණු වෙනුවෙන් පවත්වාගෙන යන ආයතනවලට සහ රජයේ ආයතන වලට පමණයි. ඒ කියන්නේ දවසේ පැය අටම ගොඩයා රැකියාව කරනේ එලි පහලියේ. ඒ වගේ රැකියාවක් කරපු එකෙකුට ආයෙත් බිත්ති හතරකට කොටුවෙච්චි රැකියාවක් කරන්න මලාට අමාරුයි කියමුකෝ. ඒකට පළමු සහ අවසන් හේතුව වෙන්නේ ෆීල්ඩ් ජොබ් එකක තියන ආශ්වාදය ෆුල් ඔප්ෂන් තත්වයේ එකක් නිසා. ගොඩයා රැකියාවක් විදිහට කරපු පළමු රැකියාවත් ෆීල්ඩ් ජොබ් එකක් වෙච්චි නිසා ගොඩයා, ලංකාවේ ඉද්දි කරපු රජයේ රැකියාවට හුරුවෙන්න කොයිතරම් අමාරුවුනාද කියලා දන්නේ ගොඩයා පමණයි. ෆීල්ඩ් ජොබ් එකක් කරපු එකෙක් හැමදාමත්, එළියේ රැකියාවක් කරන්නම දඟලන්නේ එලි පහලියේ විදින්නට ලැබෙන නිදහස බිත්ති හතරක් ඇතුලේ හෙවීම හීනයක් නිසා. දොළොස් අවුරුදු ග්‍රහ අපලය ගෙවී ගියායින් අනතුරුව ඔන්න දැන් ගොඩයා ආයෙත් සිහිල් සුලන් රැල්ලක පහස විඳගෙන රැකියාව ෆීල්ඩ් එකේ. සුපර්වයිසර්වරු හෙවත් ගොඩයාගේ ලොක්කන් ගොඩයා යන එනතැන්, නිල රථයේ ජී පී එස් උපාංගය මගින් සොයා බැලුවත් ඒ උන්නැහේලගෙන් ගොඩයාට කියන්න තරම් කරදරයක් නැහැ. දවසේ පැය අටක් ගොඩයාගේ දැනුම සහ ශ්‍රමය කාට හෝ සේවා ලාභියෙකුට විකිනෙනතාක් ගොඩයාට ලැබෙන නිදහස උපරිමයි. ඒ සියල්ලටම හරියන්න ගොඩයාගේ රාජකාරි පැයක්, ගොඩයා රැකියා කරන කොම්පැනිය සේවා ලාභියාට විකිනෙන්නේ ලංකාවේ රුපියල් වලින් ගත්තොත් රුපියල් දහසය දහසක් වගේ මිලකට. ඉතිං දවසේ පැය අටේ බිල්පත් සේවා ලාභීන්ට ඊමේල් කරනකොට ගොඩයාට නිකමට වගේ හිතෙනවා යකඩෝ පැය අටකට මං මුන්ට, ලංකාවේ රුපියල් වලින් එක්ලක්ෂ විසි අටදාහක් උපයලා දෙනවානේදෝ කියල. ආන්න ඒ වගේ වෙලාවට ගොඩගේ පපුව හුචස් ගාල නවතිනවා කියහන්කෝ. ඒත් ඉතිං ඕක නැවතුනොත් ගොඩයට වැලිගම්පිටි යන්න වෙන නිසා හනික පපුවට දෙකක් ඇනලා ආයෙත් මෝල ස්ටාර්ට් කරගන්නවා.
ඔන්න ඔයවගේ වාතාවරණයක් යටතේ ගොඩයා යනවා දවසක් කුකුලා මල්ලේ දාගෙන එක්තරා ආයතනයක යන්තරයක් අලුත්වැඩියා කරන්න. ගොඩයාගේ කොම්පැනියේ පොලිසි එකට අනුව සේවා ලාභියාට බිල් කරන පළමු පැය ස්ථාවරයි. ඒ කියන්නේ පළමු පැය ඇතුලත විනාඩි පහක අලුත්වැඩියාවක් කලත් අයකිරීම සම්පූර්ණ පැය සඳහාමයි. කොම්පැනිය එහෙම තීරණයක් අරන් පළමු පැය වෙනමම ස්ථාවර කරලා තියෙන්නේ අදාළ ස්ථානය වෙත යාමට ගතවන කාලය වෙනුවෙන් වෙනමම පැයක් සඳහා අයකරන මුදලත් එකතු කිරීමෙන්. පැයට වැඩි කාලයන් සඳහා අයකිරීම විනාඩි පහළොවෙන් පහළොව තමා. ඔන්න ඔය කියන ආයතනයේ සෙත්තපෝච්චි වෙච්චි යන්තරයේ තිබුනේ මෘදුකාංග අවුලක් කියමුකෝ. වෙනත් කාර්මික දෝෂ මොනවත් තියෙනවාද කියල පරික්ෂාකරලා අහවර වෙලා එවන් කාර්මික දෝෂ එකක්වත් නැත යන්නට තහවුරු කරගෙන අහවරවෙලා මෘදුකාංගය නැවත ස්ථාපනය කලාම මෙන්න යන්ත්‍ර රාජයා එලටම වැඩ. ඒ කියන්නේ වැඩේ පැය භාගෙන් ගොඩ. මේ කියන යන්ත්‍ර මොඩලය වසර දෙක තුනක් ක්‍රියාවිරහිත නොකර එකදිගට භාවිතයට ගත්තොත් එක්තරා කාලසීමාවක් අවසානයේ හිටි තැනම නවතින්නේ, මටත් විනාඩියකවත් විවේකයක් දියවූ යකුනේ කියල කටින් කියන්න බැරි නිසා. ලංකාවේ වගේ රටවල මාසෙකට දෙකකට වතාවක් විදුලිය බිඳ වැටීම් තියෙන නිසා ඒ වගේ යන්ත්‍ර වලට විවේකයක් ලැබුනත්, ගොඩයා දැන් ඉන්න රටේ විදුලිය බිඳවැටීම් කියන්නේ බොහොම විරල අවස්තාවක්. ඒ නිසා ප්‍රධාන විදුලි ධාරාවට අමුණා තිබෙන යන්ත්‍ර සූත්‍ර කව්රුන් හෝ විසින් විසන්දි නොකළහොත් අවුරුදු ගණනාවක් වුනත් එකදිගට "ඔන්" තත්වයේ තිබීම සාමාන්‍ය දෙයක්.
ඔන්න ඉහත කී ආකාරයෙන් පැය භාගෙන් වැඩේ ගොඩ නිසා ගොඩයා නැවත නිල රථයට වාර්තා කරනවා ඊළඟ කස්ටමර්ට සේවාව සැපයීමට යාමේ අරමුණෙන්. ඒත් ආයතනය විසින් පැයකට අයකරන තැනකින් පැය භාගයෙන් පිටත්වීම ගොඩයා දකින්නේ මොට්ට මෝල් වැඩක් විදිහට. මොකද කියනවානම් ගොඩයාව පැයකට වික්කානම් එයින් ගොඩයා වෙත වැටුප ආකාරයෙන් ගෙවනා කාල ප්‍රමාණය පැයක්ම විය යුතුයිනේ හත් ඉලව්වේ. එතැනින් පැය භාගෙන් පිටත්වුනාම ගොනා වෙන්නේ තමුන්ම වග ගොඩයාගේ ටිකිරි මොලයට වැටහෙනවා. ගොඩයාගේ නිල රථය එම ගොඩනැගිල්ල පිහිටි පරිශ්‍රයෙන් පිටවුනොත් ඒ බව රථයේ ජී. පී.එස්. උපාංගය හරහා මවු ආයතනය වෙත දන්වා යැවෙන නිසා එවැනි වැටුප් සහිත විවේකයක් ගන්නවානම් ගොඩයාගේ නිල රථයද, ආයතනය විසින් සපයා තිබෙන ජංගම දුරකථනයද සහ ආයතනය විසින් සපයා තිබෙන ටැබ්ලට් පරිඝනකයද එම පරිශ්‍රයේම තිබිය යුතුයි. ඒ මක්නිසාදයත් මවු ආයතනය විසින් පිටත රැකියා කරන උදවියගේ ගමන් බිමන් ඔය කියන ගැජමැටික් තුනෙන්ම හොර රහසේ සොයාබලන නිසා. ඒ නිසා ඒවගේ වෙලාවලට ගොඩයා කරන්නේ රථය කොහේ හෝ ඒ අවටම නවත්වාගෙන, ජන්ගමයෙන් බ්ලොග් අඩවියක් කියවාගන්න ඒ කාලය යොදවන එකයි. ඒ ඇරුනාම අපේ තඩියා එක්ක මැසෙන්ජර් ඕපාදූපයක් දොඩන්න වගේ දේවල් වලටත් ඒ කාලය යෙදවීම සාමාන්‍යයි. තඩියා මේ දවස්වල මොකක් නමුත් විනිවිද භාවයෙන් තොරවූ වැඩක නිරතවෙලා කියලා ගොඩයාට හිතෙන්නේ මේ දවස්වල තඩියා කෝල් එකකට අල්ලාගැනීම, බල්ලෙක් නාවන්න අල්ලගන්නවට වඩා අමාරු වැඩක් නිසා. ඒ කතාවෙන් මෙතනට වැඩක් නැති නිසා ඒ කතාව පැත්තකින් තියන්න පුළුවන් උනත් ඊයේ තඩියා හදිසියේම ගොඩයාගෙන් අහල එව්වා " උඹ දැන් බ්ලොග් පෝස්ට් කීයක් ලියලා තියනවද" කියන ප්‍රශ්නය. ඒ වෙලේ නිකමට ගොඩයාට හිතුන මූ බ්ලොග් එක කාට හරි විකුනන්නවත් හදනවදෝ කියලත්.
ඔන්න කලින් කිව්ව විදිහට ගොඩයා පැය භාගෙන් වැඩේ අහවරයි. ගොඩයා වගේ කාර්මික උදවිය තමුන්ගේ නිල රථ වැඩිමනක් වෙලාවට නවත්වන්නේ ගොඩනැගිලිවල බඩු භාණ්ඩ පටවන්නට වෙන්කර තිබෙනා කොටසට වෙන්න. ඒකට හේතු දෙකෙන් පළමු හේතුව අවශ්‍ය කරන උපකරණ සහ අමතර කොටස් ගොඩනැගිල්ල වෙත ප්‍රවාහනය කිරීම පහසුව. දෙවැනි හේතුව වෙන්නේ එවැනි ස්ථානවල වාහන නැවත්වීමෙදී මුදල් ගෙවන්නට සිදු නොවීමයි. ගොඩයා මේ කියන දවසේ වාහනය නැවැත්තුවේ ඒ වගේ තැනක වුනත් ඉතුරු පැය භාගය විවේකයෙන් ගතකිරීමට නම් රථය එම පරිශ්‍රයේම වෙනත් ස්ථානයක ගාල්කරගත යුතුයි. ඒ මොකද කියනවනම් වැඩේ අහවර වෙලත් මූ යන්නේ නැතුව මෙතන තවත් ටැග්ගැහෙන්නේ මොකද කියල අදාළ ගොඩනැගිල්ලේ පරිපාලනය ප්‍රශ්න කරන්නට ඉඩ තිබෙනා නිසා. ඒ ප්‍රශ්නයෙනුත් මිදෙන්න කියල හිටං ගොඩයා ඔන්න රථය පදවාගෙන එනවා ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසට වෙන්න තියෙන රථගාල දිහාවට. මුළු රථගාලෙන් හරි අඩකට වඩා හිස්ව තිබුනත් ඒ හිස්ව තිබෙන ස්ථානයක රථය නවත්වාගන්න බැලින්නම් මෙන්න බොලේ ඒ ගමන තවත් ප්‍රශ්න පත්තරයක් එතන කියමුකෝ. ඒ හැම ඉඩකම පොළොවේ සුවිසාලෙට ලියල තියනවා හිටං මේන් මේ වගේ පණිවිඩයක්..
"TUESDAY MORNING PARKING ONLY" සිංහලෙන් කියනවනම් " අඟහරුවාදා උදෑසන නැවත්වීමට පමණයි ". ඕන් බලමුකෝ මේ පින්තුරේ තියෙන්නේ ඒ කියන රථ ගාලේ පින්තුරය තමා..


ඒ ලියල තියන පණිවිඩයට අනුව එම ස්ථානයේ වාහන නවත්වන්න පුළුවන් අඟහරුවාදා උදෑසන පමණයිලු. අනේ හැබෑට මේ සා විසාල රථගාලක ඒ රථගාලෙන් තුනෙන් දෙකක්ම අඟහරුවාදා උදෑසනට පමණක් වෙන්කරලා තියෙන අරුමය මොකක්ද කියලා කල්පනා කරකර ගොඩයා රථගාල වටේම රථය වට දෙක තුනක් පදවනවා දැන් මේ කියන අඟහරු දෝසයෙන් මිදීලා අහක්වෙලා වෙනත් තැනක රථය ගාල් කරගෙන ආතල් පහට බ්ලොග් කටුවක් කියවගන්න කියල. ඒත් අවසානයේ ගොඩයා අකමැත්තෙන් වුනත් තේරුම්ගන්නවා අඟහරු දෝෂයට අහුනොවෙච්චි රථ නවත්වන ස්ථාන එකක්වත් ඉතුරුවෙලා නොමැත කියන කනගාටුදායක කාරනාව. ගොඩයාට දැන් ඉතුරුවෙලා තියෙන්නේ අඟහරුවාදා උදෑසනට පමණක් වෙන් වෙච්චි ස්ථානයක රථය ගාල් කරගෙන, පාර්කින් ටිකට් හෙවත් දඩ ලියන නැන්දී කෙනෙක් හරි මාමි කෙනෙක් හරි එනවද කියල අංශක තුන්සිය හැටටම ඇන්ටනාව දාගෙන බලා හිටින්ට පමණයි. වෙන කරන්නටම විකල්පයක් නොමැති නිසා ගොඩයා ඔන්න ඔහේ ඔනෑ එකක් කියලා හිතාගෙන අඟහරු දෝසයට අහුවෙච්චි තැනක රථය නවත්තලා රියදුරු ආසනය ෂපාන් එකට ඇලකරගෙන බ්ලොගක් කියවන්න මුලපිරුවා කියමුකෝ. ඒත් මොන නිදහසක්ද හිතේ. වෑන් කටුව නවත්තලා තියෙන්නේ නීත්‍යානුකුල තැනක නොවෙන නිසා හිටං, බ්ලොගක පේලියක් දෙකක් කියවනවා ගොඩයා වටපිටාව නිරීක්ෂණය කරනවා. මොකද කියනවනම් ඔය කියන දඩ කොලයක් හෙවත් පාර්කින් ටිකට් එකක් ලැබීම යනු එය කෙලින්ම මවු ආයතනයට දැනගන්නට ලැබීමත්, ඒ පසුපස එන දහසක් ප්‍රශ්න වලට උත්තර බඳින්නට සිදුවීමත්, ඒ මදිවාට ලංකාවේ මුදලින් රුපියල් හයදහසක පමණවන දඩය ගොඩයාගේ පුද්ගලික මුදලින් ගෙවීමට සිදුවීමත් යන කාරනා තුන හින්දා ගොඩයාගේ ඔලුව සෑහෙන නොසන්සුන්. දඩය අතින් ගෙවන එක මහා කජ්ජක් නොවුනත් මවු ආයතනය හා ගොඩයා අතර පවතින කීර්තිනාමය පළුදුවීම ඒ වගේද දෙයියෝ කියලයි ගොඩයාගේ ඔලුවේ තියන අවුල. මොකද කියනවනම් සිරිබර සිරිංකාවේ රජයේ සේවයෙන් පුහුණුකර බලගැන්වූ ලැබූ, රැකියාව අවම මහන්සියකින් උපරීම කාර්යක්ෂමතාවයකින් කිරීමේ ජිල්මාර්ට් ගොඩයා අතිසාර්ථකව වසර බර ගණනක හිටන් කරගෙන එන්නක් නිසා.
ඔය කියන තත්වය යටතේ මොන බ්ලොග් කියවිල්ලක්ද කියමුකෝ. ගොඩයා වාහනේ ඇතුලේ හිටං ටේබල් ෆෑන් එක දෙපැත්තට කැරකෙන්න දම්මහේ වම් පැත්ත බලනවා, දකුණ පැත්ත බලනවා ආයේ වම් පැත්ත බලනවා, ආයේ දකණු පැත්ත බලනවා ඉවරයක් නැහැ. ඔන්න ඔහොම පැය භාගය ගතවෙලා ගියා කියමුකෝ.. ඒ පැයභාගේ ඇතුලත කියවපු බ්ලොගක් නෑ. අන්තිමේ ගොඩයාගේ අදාළ රාජකාරිය එතැනින් අහවර කල වගට රාජකාරී පරිඝනකයේ සටහන් කරලා ඔන්න දෙපැත්තට වනපු බෙල්ලත් අතගගා එතනින් පිටත්වෙලා යන්න රථය පදවනවා රථගාලෙන් එලියට. මෙන්න බොලේ රථගාලේ ගේට්ටුවෙන් පිටතට එන්න ඔන්න මෙන්න තියෙද්දී ගොඩයාගේ රථයේ පැති කන්නාඩියෙන් ගොඩයාට ආයෙත් අර කෙහෙල්මල් අඟහරුවාදා උදෑසන කියන තඩි අකුරු වගයක් පේනවා. දර්පණයකින් පසුපස පෙනෙද්දී සිද්දවෙන පාර්ශවික අපවර්තනය නමැති කාරණයට අනුව අකුරු හකුරු වෙලා පෙනුනත් ගොඩයාගේ අක්මාවට වැටහෙනවා මේ පෙනෙන්නෙත් මොකක් නමුත් අඟහරුවාදා උදෑසනට අදාළ කෙහෙල්මලක් තමයි කියන කාරනාව. කුතුහලය කියන එක ගොඩයා උපන් නැකතින්ම අරං ආපු එකක් නිසා ගොඩයා නගිනවා වෑන් කටුවේ බ්‍රේක් පැඩල් එක උඩ සෙනිකවම. ඔන්න වෑන් කටුව රථගාල මැද නතරවෙනවා හොම්බ බිම ඇනෙන ගානට බ්‍රේක් වැදීගෙන. ඒ අතරේ ගොඩයාට ඇහෙනවා වෑන් කටුව ඇතුලේ පටවලා තිබෙන ගොඩයාගේ යන්ත්‍රෝපකරණ ගලවන උපකරණ සහ අමතර කොටස් සල බාලාං ගාගෙන රථය පුරා විසික් වෙන සද්දයත්. ඒ ඔක්කොම පසුවට නැවත සකස් කරගන්න කියලා හිතාගෙන ගොඩයා බහිනවා රථයේ දොර ඇරගෙන මේ පස්සෙන් පේන අඟහරුවාදා උදෑසන කථාව මොකක්දෝ යකඩෝ කියල බලන්න තියන කුතුහලයට.
ඔන්න එහෙනං බලාගමු ගොඩයා දැකපු බෝර්ඩ් එක.. ඒක දැකපු ගමන් ගොඩයා ආයෙත් වටපිට බලලා හෙව්වේ ලිඳක් එහෙම අහලක පහලක තියෙනවද කියල. ඒත් පේනමානෙක ලිඳක් තිබ්බේ නැති නිසා මේ කුජීත සිද්දිය බ්ලොග් රසිකයින්ට කියවන්න ඉතුරුවුනා.
TUESDAY MORNING කියන්නේ හෙන තඩි විසාල කඩයක් යකඩෝ.. ගොඩයා පාර්කින් ටිකට් ලියන නැන්දීලා මාමිලා එයි කියල බයේ පන ගැහි ගැහී බලාන හිටලා තියෙන්නේ කඩේක ගනුදෙනුකාරයින්ට වෙන් කරපු රථගාලක යකඩෝ කියල දැනෙද්දී කොච්චර කුජීත හැඟීමක් දනුනාද කියනවනම් අහලක පහලක ලිඳක් තිබ්බනම් අම්මපල්ලා පනිනවා පනිනවා පනිනවාමයි.
ගොඩයා පෝස්ටුව ලියලා දින කීපයක් වුනත් මේ පින්තූර හතර මේ පෝස්ටුවට අවශ්‍යම නිසා අද නිවාඩු දවසේ තකහනියේම එතනට ගිහින් පිංතූර ටික අරගෙන ආයෙත් ලැජ්ජාව අලුත් කරගෙන ආව ඕන්..
ඔන්න ඊළඟට තමා පෝස්ටුව ලියන්න උක්තවෙච්චි පීසාවේ කතා පුවත ලියවෙන්නේ. ගොඩයාගේ හිතවතෙක් පහුගිය දොහක පිටරටක සවාරියක් ගියා කියමුකෝ රාජකාරී වැඩකටයුත්තක් සඳහා. හිතවතෙක් කිව්වට ගොඩයා මේ කියන හිතවතාව ගොඩයාගේ දෙමාපියන් තරමටම හදවතේ ඉන්න සහ ගරුකරනා චරිතයක්. ඒ නිසා මේ සිද්දිය වුනත් එහෙන් අවසර ලැබුනේ නැත්තම් කීයටවත් බ්ලොගයේ ලියවෙන්නේ තියා ගොඩයාගෙන් පිටස්තර කිසිම කෙනෙක් දැනගන්නේද නැත.
ඔන්න දවසක්දා උදේක ගොඩයාගේ ජංගම දුරකතනයට පැමිණෙනවා මේ කියන හිතවතාගෙන් වට්ස්ඇප් ඇමතුමක්. මේ කියන වෙලාව උදේ පාන්දරක් නිසා ගොඩයා උන්නේ රැකියාවට යන්න අවදිවෙන්න කම්මැලිකමේ තනි ඇහෙන් පොරෝනය අස්සෙන් කරුමක්කාර ඔරලෝසුව දිහා බලමින්. දන්නා කියන කෙනෙකුගෙන් පැමිණෙන ඇමතුමක් ගොඩයා කවදාවත් නොසලකා හරින්නේ නැති නිසා ගොඩයා හනික ඇමතුමට උත්තර දෙන බොත්තම ඔබනවා කියමුකෝ. එතැන් පටන් සිදුවූ දෙබස මෙතැන් සිට කියවා සියලු බ්ලොග් රසිකයින් පහන්සංවේගය ඇතිකරගත්වා..
මචං උඹ බිසීද..
මේ උදේ පාන්දර මොන බිසීද බං.. කතාකරන්න පුළුවන්.. කියහන්.. මොකද හදිසියක්ද..
හදිසියක්මත් නෙවෙයි බං.. පොඩි විස්තරයක් දැනගන්න කියල..
ඉස්සෙල්ල කියහන් ටුවර් ඒක හොඳයිද.. දැන් ඔය රටේ වෙලාව කීයද..
දැන් රෑ බං.. ටුවර් ඒක අවුලක් නෑ.. ඒත් ඉතින් මේ රටේ කෑම තමා කටේ තියන්න බැරි..
ගණන් ගන්න එපා බං.. ඔය මොනාහරි බඩට දාගෙන ජීවිතේ ගැටගහගනින්.. දවස් කීපයයිනේ..
එහෙම කියල නොකා ඉන්න බැහැනේ බං.. මුන්ගේ මල ජරාව කන්න තියා හිතන්නවත් බෑ..
හරි දැන් කියහන් මොකක්ද උඹ හදිසියේ කෝල් කරපු හේතුව කියල..
ඒකත් කෑම ප්‍රශ්නයක් තමයි බං..
ඇයි දැන් උඹට කෑමක් හදන විදිහද දැනගන්න ඕනවෙලා තියෙන්නේ..
නැහැ නැහැ බං..
එහෙනං කියහන් මොකක්ද උඹට වෙන්න ඕන..
මෙන්න මේකයි මචං ප්‍රශ්නේ.. මෙහෙ කෑම කන්නම බැරි නිසා මම ඊයේ මම ඉන්න හෝටලේ ළඟ තියන පීසා කඩේකින් පීසා එකක් ගෙන්නගත්තා..
ඉතිං පීසා ඒකත් කන්න බැරිද..
නෑ නෑ ඒක අප්සෙට් එකක් නෑ ඒක කෑවා...
එහෙනං දැන් මොන මලදානයක්ද උඹ මේ අහන්න යන්නේ මගෙන්.. ඊයේ පීසා කෑවනම් අදත් පීසා කාපං.. ඉවරනේ..
ඉතිං පීසා තමා අදත් කන්න යන්නේ.. දවල් දවසෙම වැඩ වලට හිරවෙලා ඉඳලා රෑට විතරයි කැමති කෑමක් කන්න වෙලාව හම්බෙන්නේ බං.. අපි වැඩකරන පැත්ත හෙන ග්‍රාමීය පලාතක්.. ඔක්කොම තියෙන්නේ පොඩි පෙට්ටි කඩ.. එව්වයේ තියෙන්නේ මුන්ගේ කෑමම විතරයි.. එව්වා කටේ තියන්න බෑ බං..
ඉතිං දැන් කාපං ඕක මට කියා කියා ඉන්න ඕනෙද කෝල් අරගෙන..
නෑ නෑ බං පොඩි අවුලක්..
පීසාත් තියෙනවනම් කන උඹට යකෙක් කන්න බඩගිනියිත්නම් දැන් මගෙන් උඹ හදන්නේ පීසා කන්න කරෝල හොද්දක් හදන විදිහ අහන්නද ???
නෑ නෑ බං.. මේකයි ප්‍රශ්නේ.. උඹ මයික්‍රෝවේව් අවන් ගැන දන්නවද...
මම මොකෝ බං මයික්‍රෝවේව් අවන් ගැන නොදන්නේ.. තුන් වේලම කෑම රත් කරන්න ඕක ඉතිං කොයිතරම්නම් උදව් වෙනවද.. දැන් පීසා එකයි මයික්‍රෝවේව් අවන් එකෙයි අතරේ තියන සහසම්භන්ධය මොකක්ද කියහන්..
මේකයි මචං ප්‍රශ්නේ.. ඊයේ ගෙනාපු ලාර්ජ් සයිස් තඩි පීසා ඒක මට ඔක්කොම කන්න බැරිවුනානේ..
ඔව් ඉතිං උඹට එච්චර තඩි පීසා එකක් කන්න සාගරයක් තරම් බඩක් තියෙන්නේපයි..
ඉතිං උඹ පනිනවනේ.. අහපන්කෝ මම කියනදේ..
හා කියහන්..
ඊයේ ගෙනාපු පීසා එකේ ඉතුරු ටික මම හොටෙල් එකේ කාමරේ තියන මිනි ෆ්‍රිජ් එකේ දාල ගියා..
ඉතිං දැන් ඒක කව්රුහරි එකෙක් කාලද.. අවුලක් නෑ .. තව එකක් ඕඩර් කරහන්.. බිල් ටික උඹලාගේ කොම්පැනියෙන් ගෙවනවානේ..
ඔන්න ඉතිං උඹ මගේ යකා අවුස්සනවා.. අහං හිටහන්කෝ..
හා කියහන්කෝ..
මේ කාමරේ මිනි ෆ්‍රිජ් එකයි මයික්‍රෝවේව් එකයි දෙකම තියෙනවා මචං.. මම මේ බැලුවේ මයික්‍රෝවේව් එකේ දාල පීසා කෑලි දෙකක් රත්කරගන්න කියල..
ඉතිං දැන් ඕක මට කියා කියා ඉන්නේ නැතුව ඕක රත් කරන කාපං.. හැබැයි පුතා පීසා මයික්‍රෝවේව් දැම්මාම පීසා ඒක චපාති රොටියක් වගේ වෙනවා.. ඒත් අවුලක් නෑ බඩ පුරවගන්න මොනාහරි කන්න එපැයි..
හරි බං.. චපාති හරි ලැවරියා හරි කන්න මේ මයික්‍රෝවේව් මගුල වැඩ කරන්නේ නැහැනේ..
ඒ කිව්වේ..
මේක ඕන් වෙන්නේ නැහැ බං..
උඹ හරියට දොර වහල නැතුව ඇති..
නෑ ..නෑ.. බං.. දොර වහල තියෙන්නේ හරියටම..
ඉතිං ඕක විනාඩියක් රත්වෙන්න දාපං..
කෝ ඉතිං ඉලක්කම් ගැහුවට වැඩකරන්නේ නැහැනේ බං..
දැන් උඹ ඉලක්කම් ගහල ඕන් කරාම ඇතුලේ ලයිට් ඒක පත්තු වෙනවද..
මේකේ ඇතුල පෙන්නේ නැති වර්ගයේ එකක් බං..
බලහං ප්ලග් ඒක බිත්තියට ගහලද කියල..
ම්හ්.. ප්ලග් ඒක පේන්නේ නැහැ බං.. මේක කබර්ඩ් එකක් ඇතුලට වද්දල හයිකරලා තියෙන්නේ.. ඒත් ඉලක්කම් ඔබනකොට බීප් සද්දේ එනවා කියන්නේ කරන්ට් ඒක එනවා කියන ඒක නේද..
හ්ම්.. බොත්තම් ඔබනකොට බීප් එනවනම් කරන්ට් එකේ ප්‍රශ්නයක් වෙන්න බෑ ..
කෝකටත් පීසා කෑල්ල ඇතුලට දාලා දොර හොඳට වහලා අංක ඒක ඔබලා ස්ටාර්ට් ඔබහන් බලන්න..
මේකේ ස්ටාර්ට් බොත්තමක් නැහැ බං.. "ඕකේ" කියල එකක් තියෙන්නේ.. මේවා හෙන ගොන් රටවල් බං..
හරි එහෙනං අංක "එක" හරි "දෙක" හරි ඔබලා "ඕකේ" ඔබහන් බලන්න.
හරි එබුවා.. ම්හ්.. ඒත් මුකුත් නැහැ බං..
එහෙනං බලහං ඕකේ තියෙනවද කියල "ඩීෆ්රොස්" හරි "කුකිං" හරි කියලා බොත්තමක්..
හිටහන් බලන්න......ම්ම්ම්ම්ම්ම්ම්....ම්හ්.. නැහැ බං...
එහෙනං නිකම්ම ඕකේ බොත්තම ඔබහන් බලන්න..
"බීප්"... ම්හ්... නැහැනේ බං...
උඹට හොඳටෝම ෂුවර්ද දොර වැහිලා කියල..
ඔව් බං ඔව් මේක වැහිලා තියෙන්නේ හොඳටෝම...
වෙන්න බෑ .. ආයේ දොර ඇරලා ටිකක් තදින් වහල බොත්තම් ඔබහන් බලන්න...
"දඩාස්"..."බීප්"..."බීප්".... ම්හ්... වැඩකරන්නේ නැහැ බං..
උඹ දන්නවද ඕක හරියටම වැඩ කරන එකක් කියල.. කෝකටත් ගිහින් හෝටලේ රිසෙප්ෂන් එකෙන් අහල වරෙන් ඔය මගුල වැඩ කරන එකක්ද කියල..
ඔව් ඔව් බං.. මේක එහෙම වැඩකරන්න බැහැ.. උන්ගෙන් මේක වැඩකරන කෝර්ඩ් එක ඉල්ලගන්නෝන මෙව්වා පාවිච්චි කරන්න.. මං ගිහින් රිසෙප්ෂන් එකෙන් කෝර්ඩ් එක ඉල්ලන් ඇවිත් තමයි මේ පීසා කෑල්ල රත්කරන්න සෙට් වුනේ..
ඈ....... මම දන්නේ නැහැ ඔය කියන මයික්‍රෝවේව් එක මොන ජාතියේ එකක්ද කියල.. ඒ හින්ද මට ඕකේ ෆොටෝ එකක් ගහල එවපන් බලන්න ඉස්සෙල්ලම..
ඔන්න ගොඩයාගේ හිතවත් මිත්‍රයා මයික්‍රෝවෙව් එකේ පිංතූරයක් එවනවා වට්ස්ඇප් හරහා.. පිංතූරය දැකපු ගමන් ඇඳේ හිටපු ගොඩයා උඩ විසික් වෙනවා අඟහරු ලෝකය ගාවටම.. ෆෝන් ඒක කොහේ විසික්වුනාද කියල නිනව්වක් නැතුව ගොඩයා ඇඳෙන් පැනල බිම වැටීගෙන කොට්ටයක් විකාගෙන හිනාවෙනවා හිනාව නවත්තගන්නම බැරි නිසා.. දුරකතනයේ ඉන්න අනෙක් පාර්ශවයට ඇහෙන්නේ නැතිවෙන්න හිනාවෙලා හිනාවෙලා හිනාවෙලා උදේ පාන්දරම නොමිලේ ලැබිච්ච ආතල් එකේ වින්දනය උපරිමේටම අරගෙන ඊළඟට ගොඩයා හොයනවා ෆෝන් කටුව කොහේ විසික්වුනාද කියල... ඔන්න ගොඩයා ෆෝන් කටුව හොයාගන්නවා ඇඳ අස්සෙන් ඇඳ යටට වැටිලා තිබිලා..
හෙලෝ...
මොකෝ බං එකපාරටම සද්ද නැතිවුනේ...
නෑ මේ උඹ එවපු ෆොටෝ ඒක දැකල මම පොඩ්ඩක් අප්සෙට් ගියා..
ඒ මොකෝ..
උඹට ඒකෙන් වැඩක් නෑ.. උඹේ ඔය පීසා කෑල්ල කීයක් විතර වටිනවද...
දන්නේ නෑ බං.. මුළු පීසා එකම ඩොලර් වලින් ගත්තොත් පහළොවක් විතරවුනා..
හරි.. දැන් එහෙනං උඹේ ඔය පීසා රත්කරන ආසාව පැත්තකින් තියල ඕකෙ සීතල අඩුවුනාම රත් නොකර කාපං.. ඒ කාලා තව ඉතුරුවුනොත් උදේට වැඩට යනකොට ඉතුරු කෑලි ටික ෆ්‍රිජ් එකේ දාන්නේ නැතුව හවසට ඇවිල්ල කන්න මයික්‍රෝවේව් එකේ දාල පලයන්.. මොකද ඕක තමයි ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන රන් හා වටිනා පලවෙනි පීසා කෑල්ල.
ඇයි මේ මොඩල් එකේ පීසා කෑල්ලක් රත් වෙන්න එච්චර වෙලා යනවද... මොකක්ද දැන් මේ ඉතුරුවෙච්චි පීසා කෑල්ලේ තියන වටිකම.. උඹට උදේ පාන්දර මොලේ පිස්සු වැටිලද..
හරි ඒ කතාව අමතක කරලා මට කියහන් උඹ රිසෙප්ෂන් එකේ එකාගෙන් ඕකේ කෝර්ඩ් ඒක ඉල්ලුවේ මොකක් කියලද..
උඹ මේ බඩගින්නේ ඉන්න මගෙන් පිස්සු ප්‍රශ්න අහන්න එපා බං.. මම කිව්ව කාමරේ තියන මයික්‍රෝවේව් එකේ කෝර්ඩ් ඒක දෙන්න කියල.. ඉතිං ඌ කොලකෑල්ලක ලියල දුන්න..
හ්ම්..
ඔව්වයින් වැඩක් නෑ.. මට මේක වැඩකරවන හැටියක් කියහන් වල්පල් අහන්නේ නැතුව..
ඔය උඹ ඉන්න හෝටලේ අවට ෆාමසියක් එහෙම නැද්ද...
නැතිවෙන්න බැහැ බං.. අනිවාර්යෙන් තියෙන්න ඕන.. මේක මේ රටේ කැපිටල් එකනේ.. දැන් මට කියහන් මයික්‍රෝවේව් එකයි ෆාමසියෙයි තියෙන සම්භන්දෙ මොකක්ද කියල..
ඉක්මනට ෆාමසියට දුවල ගිහින් පිස්සන්ට දෙන සැරම සැර බෙහෙතින් පෙති දෙකක් ඉල්ලගෙන එකක් උඹ බීලා අර උඹට මයික්‍රෝවේව් එකේ කෝර්ඩ් ඒක දීපු රිසෙප්ෂනිස්ට්ටත් එකක් දීල ඉක්මනට බොන්න කියහන්..
මොන මගුලක්ද යකෝ මේ කියවන්නේ..
ඔව් යකෝ... මගුලක් තමා.. උදේ පාන්දර මෙච්චර ආතල් දෙන්න එපා බං... උඹ ඔය පීසා රත් කරන්න දඟලන්නේ මෙව්වා ඒක මයික්‍රෝවේව් එකක් නෙවෙයි මල හත්ඉලව්වේ..
එහෙනං...
යකෝ ඕක සේප්පුවක්...
හුටා....
කොමෙන්ටුවක් දමාගෙන යමු ඈ...