Monday, October 12, 2015

නමක් නැති කතාවක්..1






ඉස්කෝල වේලාවෙන් පස්සේ තියෙන පාපන්දු පුහුණුවීම්  ඉවරවෙලා හවස් අතේ රස්තියාදුවකුත් ගහල සුභාෂ් සහ මහේෂ් ගෙදර ආවේ හැමදාම එකම පාරේ. කොයි පාරෙන් ආවත් ඖෂධීගෙ ගෙවල් ගාවින් තමයි අන්තිමේ ගෙදර යන්න පාර තෝරාගත්තේ. කවදාවත්  ගෙදර ගේට්ටුව ගාව දකින්න වෙන්නේ නැති  ඖෂධී  එදා ගේට්ටුව ගාව උන්න සුදු  පාට සහ රතු පාට ලොකු ඉරි හරහට වැටුන ගවුම ඇඳගෙන. බයිසිකලේ පැදගෙන එන සුභාෂ්  දැක්ක ගමන් ඖෂධී එකපාරටම ගේ දිහාට යන්න හැරුන. ඖෂධී දකින්න ආසාවෙන් ආපු සුභාෂ්ගේ  හිත හොඳටෝම නරක්  උනා. ගේ පැත්තට හැරිලා යන්න යන ඖෂදී දිහා බලාගෙන බයිසිකලේ නවත්තපු සුභාෂ්  "ඖෂධී "කියල කතා කරා. ඖෂධී සුභාෂ් දිහා නොබලාම ගේ දිහාට නොපෙනී යන්න ගියා..

ඒ එක්කම සුභාෂ්  නින්දෙන් ඇහැරුනා..

එක හීනයක්..

පොරොවනය ඇතුලේ සීතලේ ගුලිවෙලා උන්නු සුභාෂ් මේසෙ උඩ තිබ්බ ඔරලෝසුව දිහා බැලුව..

ඩිජිටල් ඔරලෝසුව කිසිම හැල හොල්මනක් නැතුව අලුයම 3.55 සටහන් කරා..

ජීවිතේ පලවෙනි වතාවට හීනෙන් දැක්ක ඖෂධී මතක් වෙලා සුභාෂ්ගේ   හිත  ටිකෙන් ටික අතීතෙට එබිකම් කරන්න ගත්තා.. අතීත මතකයන් එක්ක පෙරලි කරන හිත රවට්ටගෙන සුභාෂ්  ආයෙත් නිදන්න උත්සහ ගත්තට හිතේ කොනක හොල්මන් කරන ඖෂධීගේ මතක සුභාෂ්ට  නිදාගන්න දුන්නෙම නැහැ. ජීවිතේ පලවෙනි වතාවට හීනෙන් දැකපු ඖෂදීගේ රුව සහ බොහොම අඩුවෙන් අහන්න ලැබුණු ඒ හඬ  සුභාෂ්ගේ හිත පුරාම දෝංකාර දෙන්න උනා. ජනේලයේ ආවරණය අතරින්  කාමරය ඇතුලට එන දුර්වල ආලෝකයෙන් සුභාෂ් දැක්කේ මේසය උඩ තියෙන භාගයක් ඉවරවෙච්ච විස්කි බෝතලය. ව්‍යාකූල මානසිකත්වයෙන් ඇඳෙන් බැස්ස සුභාෂ් කලුවරේම විස්කි බෝතලය විවුර්තකොට බෝතලය කටේ තබාගෙනම විස්කි උගුරක් ගිලදැම්මා . ඇටකටු හිරිවට්ටන තරම් සීතල පරිසරයක ඇඟට දැනෙන කටුක සීතලත් එක්ක අමුවෙන්ම ගිලදමපු මද්‍යසාර  ගලනාලය උණුසුම් කරමින් උදර වෙත  ගමන් ගනිද්දී සුභාෂ් නැවතත් පොරෝනය ඇතුලේ ගුලි උනා. ඖෂදීටවත් කවදාවත්ම කියාගන්න බැරි උන ඒ ආදර කතාවේ මතක රූප සුභාෂ්ගේ නින්ද ඈතින් ඈතට අරන් ගියා.. තත්පර මිනිත්තු බවත පත්වෙලා මිනිත්තු පැය වලට පත් වෙද්දී සුභාෂ් පොරෝනේ ඇතුලේ ගුලි වෙලා හිත පුරා දුවමින් නින්නද නැති කරපු ඖෂදී සම්භන්ධ මතක ස්මරණය කරන්නට උනා. දරු දෙන්නෙක් ඉන්න අම්මෙක් ගැන හිත හිතා නිදි මරන උඹ දැන් එක් දරු පියෙක් කියන හැගීම ආත්මය පුරාම රැව් දුන්නත් ඒ මතකයන් අමතක කරලා නැවත නින්දට වැටෙන්න සුභාෂ්ගේ හිත සුභාෂ්ට ඉඩ දුන්නේ නැහැ. පාන්දර රැකියාවට යන්න තිබෙන  බව දැන දැනත් සුභාෂ්ගේ හිත නින්දට වඩා කැමැත්තක් දැක්වුවේ  සොඳුරු වූ මතක ආවර්ජනයන්  එක්ක වසර විසි හතරක් අතීතයට ඉබේම පාවෙලා යන්න . නින්ද නැවතත් තමා වෙත නොඑන බව දැනුන සුභාෂ් පොරොවනයත් අරගෙනම ඇඳෙන් බැහැල ගිහින් මේසය උඩ  තිබුන වීදුරුව විස්කි වලින් පුරවා අඳුරේම මේසය අතගා සොයාගත් සිගරට් පැකට්ටුවෙන් සිගරට්ටුවක්  දල්වාගෙන  කාමරයේ කොනක තිබු  හාන්සි පුටුවේ දිගෑදී වමතින් නළල අතගාමින් ඖෂධී සම්භන්ධ  මතකයන් ස්මරණය කරන්නට උනා..


**************

දකුණු පළාතේ ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක ඉගෙනගත්තු සුභාෂ්  ඒ වෙද්දී උන්නේ ඉස්කෝලේ දහය වසරේ. යෞව්වනයට පොදු වූ තාරුණ්‍ය  එක්ක හෙමි හෙමිහිට පිබිදෙන ආදර හැඟුමන් ඒ වෙනකම් සුභාෂ්  අත්විඳලා තිබුනේ නැහැ. කොටින්ම එතුවක් කාලයක් ජීවිතේ හමු උන කිසිම ස්ත්‍රී ප්‍රාණයක් ළඟ සුභාෂ්ගේ දඩබ්බර  හිත නැවතිලා තිබුනේ නැහැ. යාළුවන් එක්ක දඩබ්බර කමක් කරලා විනෝද වෙන්න , කොහේ හරි රස්තියාදුවක ගිහින් කයියක් දාන්න වගේ ආසාවල් තිබ්බට  කවදාවත් ගෑනු ළමයෙකුට ආදරේ කරන්න ඕන කියන හැගීමක් සුභාෂ්ගේ  හිතේ කොනකවත් තිබුනේ නැහැ. ඒ රස්තියාදුකාර දඩබ්බර හිත කවදාහරි ජීවිතේටම අමතක නොවෙන අස්දෙකක් ළඟ නතරවෙයි කියල සුභාෂ්  හීනෙන්වත් හිතුවේ නැහැ වගේම  සුභාෂ්ට එහෙම වෙන්න ඕන උනෙත් නැහැ. සමවයස් මිතුරන් සමහරක් බොහොම හොර රහසින් ප්‍රේම සම්භන්ධතා පවත්වාගෙන ගියත් , ප්‍රේමය නම් කුමක්දැයි සුභාෂ්ට වැටහීමක් තිබුනේම නැහැ. ඒ සියල්ල සුභාෂ් දැක්කේ යොවුන් වයසට පොදු දඟකාරකම් විදිහටම විතරයි. ඊට අමතරව ගැහැණු ළමයෙක් හැරිලා බලන්න තරම් නළු පෙනුමක් සුභාෂ්ට තිබුනේ නැති නිසා සුභාෂ් බැරි වැඩ කරන්න පෙළඹුනෙත් නැහැ.

එදත් වෙනද වගේම විවේක කාලයේදී ආපන ශාලාවෙන් මාළු බනිසක් සමග ප්ලේන්ටියක් බඩට දමාගත් සුභාෂ් හැල්මේ ඉගිලුනේ පන්ති සගයන් හොයාගෙන. විවේක කාලයේදී තම තමුන් කැමති ගැහැණු දරුවන් ඉගෙනගන්නා පන්ති අවට ගැවසීම මිත්‍ර සමාගමේ සිරිතක් නිසා සුභාෂ් ඉවෙන් වගේ පන්ති සගයින් ගැවසෙන ඉසව් වෙත ඇවිද්දත් කිසිදු මිත්‍රයෙකු සුපුරුදු ස්ථානවල දකින්න නොලැබුණා . කව්රුන් හෝ සගයකු සොයමින් පාසැල පුරා ඉබාගාතේ ඇවිදින සුභාෂ්ට  එක්වරම හමු උනේ  කාවින්ද. කව්රුන් හෝ පන්ති සගයකු සොයමින් ඉබාගාතේ ඇවිද්ද කාවින්දත් ඇදගෙන අනික් උන් සොයන අරමුණින් සුභාෂ්  නැවතත් ආපන ශාලාව පැත්තට  ගමන් කරන්නට උනා .

මොකක්දෝ ඕපාදූපයක් දොඩවමින් ආපන ශාලාව වෙත ගමන් කිරීමට ඇති දහය වසර කොරිඩෝවට ගොඩවී කාවින්ද සමග ඉදිරියට ගමන් කරන සුභාෂ්ට එක්වරම දක්නට ලැබුනේ ඔවුන් දෙදෙනා දිහාවට ඇවිදන් එන ගැහැණු ළමුන් දෙදෙනෙක්. මින් පෙර කිසිදා දැක නැති ඒ මුහුණු දෙක දිහා අහම්බෙන් බලපු සුභාෂ් දුටු දෙයින් සුභාෂ්ගේ හදවත මදකට නතර උනා. මෙතෙක් වේලා දොඩමින් පැමිණි ඕපදූපය එක්වරම නතර උනා. අහඹු සිදුවීමක් වුවත් ගැහැණු ළමුන් දෙදෙනාගෙන් එක් අයකුගේ මුහුණේ සුභාෂ් දැක්කේ සංසාරගත හුරුපුරුදු බවක්. ඒ හුරුපුරුදු මුහුණට සහ දෙනෙතට  හිමිකම් කී ඇය සුභාෂ්ගේ ඇස්දෙක දිහාවම ඇසිපිය නොහෙලා බලාගෙන ඔවුන් දිහාට ඇවිදගෙන එන්නට උනා. පන්ති කාමර දෙකක් ඈතින් තමුන් දිහාට ඇවිදන් එන ඒ දැකුම්කළු යුවතියගේ  දිහාවෙන් මදකටවත් ඇස්දෙක මුදවාගන්න සුභාෂ්ගේ හිත කැමති උනේ නැහැ. ආත්මයම ගල් කරවන බැල්මකින් සුභාෂ්ගේ ඇස්දෙක දිහාම ඇසිපිය නොහෙලා බලාගෙන ඉදිරියට ආ ශිෂ්‍යාව ඇයගේ යෙහෙළිය සමගින් සුභාෂ් සහ කාවින්ද පසුකරගෙන යනතුරුම සුභාෂ්ගේ හදවත ස්පන්දන වාර කීයක් ගැහෙන්න ඇතිද කියල සුභාෂ්ට හිතාගන්න බැරි උනා. කවදාවත් නැති තරම් වේගයෙන් ගැහෙමින් ශරීරය පුරා රුදිරය පොම්ප කරපු සුභාෂ්ගේ හදවත ශරීරයේ සෑම සෛලයක් පුරාම හෙව්වේ ඒ අස්දෙකත් එක්ක තිබ්බ සම්භන්ධය ගැන. හුරුපුරුදු ඇස්දෙක සුභාෂ් පහුකරගෙන යනකොටම සුභාෂ්ගේ ගමන නතර උනා. තත්පර කිහිපයක් ඇතුලත සිද්ද උන ඒ සිදුවීම හොඳින්ම දුටු සජීවී සාක්ෂිකරුවා වූ කාවින්ද ද පසු උනේ මහත් කලබලයෙන්. කතා කරද්දී මද ගොතයක් සහිත කාවින්ද කලබලයෙන් කියන්නට උත්සහ කරන්නාවූ දේ කාවින්දගේ මුවින් වචන උනේ විශාල උත්සහයකින් පස්සේ..

කා.. කා.. කා.. කව් .. කව් .. කව්ද බන් ඒ ...

සුභාෂ් උන්නේ ගල්වුනු  ස්භාවයෙන් .. දන්නේ නැහැ.. යන්න සන් කරමින් සුභාෂ් හිස දෙපැත්තට වැනුවා.. ඇත්තටම සුභාශ්ගේත් හිතේ පවතී ප්‍රශ්නයනම් එයමයි.. එයා කව්ද ? ඇයි එයා මගේ ඇස්දෙක දිහාම බලන් ගියේ ? ඇයි මට ඒ ඇස්දෙක ඒ තරම් හුරුපුරුදු බවක් දැනුනේ ? සුභාෂ්ට ඒ ප්‍රශ්න ටික වචන කරන්න තරම් හිතේ ඉස්පාසුවක් දැනුනේ නැහැ..

කාවින්ද හිතුවේ සුභාෂ් කරන්නේ බොරුවක් කියලා..

තෝ.. තෝ.. තෝ.. ම ..ම...ම..මට බො .. බො .. බොරු නේද කි..කි..කි.. කියන්නේ...

සත්තයි බන්. මම දන්නේ නැහැ ඒ කෙල්ල කව්ද කියල..

හි .. හි.. හි.. හි..ටපන්කෝ ම..ම..ම...මං හොයාගන්න ඒ උ..උ..උ..ම්බේ කව්ද කි..කි..කි..යලා..

පිස්සු නැතුව හිටහන් යකෝ..ඒ කෙල්ල  මම ජීවිතේටම දැක්කේ අද තමයි...

තෝ මා..මා..මාව චීනා ක..ක්..ක්..කරන්න හදන්න ඒ.. ඒ...ඒ...එපා.. තෝ ද..ද...ද...දන්නේ නෑ ..නෑ ...නෑ ..නැත්තම් ක්..ක්..ක්..කන්න ව..ව..ව..වගේ උම් ..උම් ..උම් ..උඹ දිහා බ..බ..බලන් යනවද යකෝ..

තෝ ඕන මගුලක් හිතාගනින්.. මම ඒකිව මීට කලින් දැකල නැහැ..

තත්පර කිහිපයක් ඇතුලත සිදුවූ සිදුවීමෙන් පස්සේ  සුභාෂ්ගේ හදවත ඒ වෙද්දීත් තිබුනේ බොහොම වේගයෙන් ගැහෙමින්.. ඒ ඇයිද යන්න සුභාෂ්ට පැහැදිලි නැති උනත් ඒ ඇස්දෙක සුභාෂ්ගේ ජීවිතය ඇතුලේ කුමක් හෝ වෙනසක් කළා යන්නට වේගයෙන් ගැහෙන හදවත සාක්ෂියක් උනා...

ඒ සමගම නවය වසර පන්ති දිහාවෙන් මතු වූ පන්ති සගයන් වෙත දුවගිය කාවින්ද සිදුවූ අද්භූත සිදුවීම හැම එකාටම කිව්වේ බොහොම අමාරුවෙන් ගොත ගසමින්. කාවින්ද කලබල වූ අවස්තාවලදී ගොත ගැසීම අධික බැවින් පන්ති සගයින් කාවින්ද මදක් සන්සුන් කර සියලු විස්තර ඔහුගෙන් අසා දැනගත්තා. හැමදෙනාගේම අදහස උනේ ඒ සුභාෂ්ගේ පෙම්වතිය බවයි. සියල්ලන්ටම රහසින් සුභාෂ්ට පෙම්වතියක් සිටිනා ලෙසට ආරංචිය පන්තිය පුරාම පැතිරුනේ බොහොම සුළු කාලයකින්. කාවින්ද පසු උනේ සුවිශේෂී රහසක් සොයාගන්නා ලද පරීක්ෂකයකු තරමින් උද්දාමයෙන්. කාවින්දයාගේ මනෝ විකාරයට අනුව යෝජිත ශිෂ්‍යාව කව්ද යයි හෙට දවසේ සොයාගන්නා අරමුණින් පන්ති සගයින් පරීක්ෂණය දවසක් කල් දැමුනා..ඒ සියල්ලම අතරේ සුභාෂ් පසු උනේ බොහොම කලබලයෙන්. මින් පෙර කිසිදු දිනෙක විඳ නොමැති හැගීමක් සුභාෂ්ගේ යටිහිත තුල දෝංකාර දෙමින් පැවතුනා. විවේක කාලයෙන් පසු ඉගැන්වූ කිසිදු විෂයක් සුභාෂ්ගේ මනස තුල තැන්පත් උනේ නැහැ. ඒ හුරු පුරුදු ඇස්දෙක සුභාෂ්ගේ චිත්ත සන්තානයේ දැහැන් බිඳිමින් මතකය ඇතුලේ ජීවිතේ පුරාවටම හොල්මන් කරාවි කියල සුභාෂ්ට නිකමටවත් හිතුනේ නැහැ.. සුභාෂ්ට ඕන උනේ හැකි ඉක්මනින් ඒ ඇස්දෙක ආයෙත් දැකගන්න. 

කාලච්චේද හතරක් ගුරුවරු මාරුවෙමින් විෂය කරුණු ඉගැන්වුවත් විවේක කාලයෙන් පස්සේ සුභාෂ්ගේ හිත ඇතුලේ තිබුනේ ප්‍රශ්න කීපයක් පමණයි. එයා කව්ද? එයා මොන පන්තියේද ඉන්නේ? එයා කොහේද ඉන්නේ ? එයාගේ නම මොකක්ද? එයා මා දිහා බලන් ගියේ ඇයි ? මට එයාව හුරු පුරුදු බවක් දැනුනේ ඇයි ? කියන ප්‍රශ්න ටික සුභාෂ්ගේ මනස පුරා දුව ඇවිද්දා.. වෙනදාට පාසල අවසන්වූ වහා බයිසිකලය අරන්  ගෙදර පදින සුභාෂ්ට එදා ගෙදර යන්න හදිසියක් තිබ්බේ නැහැ. ඉස්කෝලේ අරුණ වෙලාවේ ළමයි අතර සුභාෂ් හෙව්වේ ඒ ඇස්දෙකේ හිමිකාරිය. එත් එදින තුල ඇයව නැවත දැකගන්න සුභාෂ්ට වාසනාව තිබුනේ නැහැ. පසුදා උදෙන්ම පාසලට ඇවිත් ගේට්ටුව ගාව ඉඳල හරි ඇයව සොයාගන්න අදහසින් සුභාෂ් ගෙදර යන්න ගියා. එත් වෙනද තරම් හදිසියෙන් නෙවෙයි. බොහොම පාඩුවේ. වෙනදට රංචුව එක්ක තරඟයට බයිසිකලය පදින සුභාෂ් එදා ගෙදර ගියේ නොගිහින් බැරිකමට වගේ.



පෙර කිසි දා ඔබ 
හමුවී නැති බව
ඉදුරා කියත හැකි 
හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
යුගයක වෙන්න ඇති


නුපුරුදු ඔබ දුටු 
පලමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා 
කෙදිනක හෝ විඳ  පුරුදු ඇති  
සුසුම් සුවද දැනුනා



''''''''''

දෙවැනි කොටසින් හමුවෙමු..


Sunday, October 4, 2015

ත්‍රයිලෝක සුවය සහ අපේ සිරා



සදහටම නොවුනත් සිකුරාදා සවසට මා රාජ්‍ය සේවයෙන් සමුගන්නේ නැවතත් සඳුදා උදෑසන තෙක් මලාට රැකියාව හීන්වත් නොදකීවා යන්න එක සිතින්ම ප්‍රාර්ථනා කරමින්ය. මාගේ රාජ්‍ය සේවය කොතරම් කාර්යක්ෂමද යත් , සඳුදා උදෑසන සිට චිත්තක්ෂණ, තත්පර, විනාඩි, පැය , දින ගණන් බලන්නේ සිකුරාදා සවස වන්නේ කොයි වෙලාවේදෝ යයි ඉවසුම් නොමැතිවය. උදෑසන හතරයි හතලිහට අම්බලන්ගොඩින් පිටත්වන තැපැල් දුම්රියේ නිත්‍ය සාමාජිකයකු වන මා කොළඹට සැපත් වන්නේ අම්බලන්ගොඩ සිට අලුත්ගම වනතෙක් ආසනයේ දික් අතටද , අලුතම සිට කළුතරට ඉදිරි ආසනයේ කකුල් දෙක තබාගෙනද, කළුතර සිට බම්බලපිටියට මහත්මයකු සේ ආසනයේ නියමිත ලෙස වාඩිගෙනද උපරිම විනාඩි ගණනක් නින්ද වෙනුවෙන් යෝදාගනිමින්ය. උදෑසන හත පසුවී විනාඩි පහළොවක් වැනි වෙලාවකට මා බම්බලපිටියෙන් දුම්රියෙන් බසින්නේ පුරුවේ කරුමෙකට රාජ්‍ය සේවයට මා බඳවාගත් එවුන්ට සහ රාජ්‍ය සේවයට මාව බලෙන් තල්ලුකල දෙමාපිය නෑදෑ හිතවතුන්ට ඉත සිතින් පින් දෙමින්ය.

මාගේ රාජ්‍ය සේවා ස්ථානයේ ලොක්කන්ද, මා වැනි පොඩි ලොක්කන්ද, මට පහල  පොඩි ලොක්කන්ද සියල්ලන්ම ලොක්කන් වූ අතර සෑම ලොක්කෙකුම කලේ මාසික වේතනය වෙනුවෙන් හා ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් තමුන්ට පහල එවුන්ට තලා පෙලා කුමක් හෝ බොරුවක් කරමින් දවස ගෙවා ගැනීමයි. මාද එයින් එකෙකු වූ අතර මාගේ සුවච කීකරු ගෝලයින් මා හා එකමුතුව කරනා වූ බොරුවක් කරගෙන ගියාවූ බැවින් අට හෝරාවේ සේවය ඉතා සුමුදුව ගලාගෙන ගියේය.

රාජ්‍ය සේවා බොරුව අහවර වී හතරයි තිහට නැවතත් තිබෙන්නේ කෙටි දුර හා භාදක ධාවන තරඟයකි  . හතරයි තිහට පොතේ අත්සන තබා පළමුව දුවන්නේ කෙටි දුර ධාවන තරඟයයි. කොළඹ දිසාවේ රස්තියාදුවේ යන බස්රථ සේවා වලින් පළමු පෙලේ එකක් වන එකසිය පනස් පහ බස් රථයක් අල්ලාගැනීම පළමු  ඉලක්කයයි. මරදාන දුම්රිය ස්ථානයට යන්නා වූ සියල්ලන්ම ගාල කඩාගත් හරක් රෑනක් සේ එක පිම්මේ දුවන්නේ එකසිය පනස් පහක් අල්ලාගැනීමටය . බසයේ මගීන්ට කොයිතරම් හදිසි උවත් රස්තියාදු බස්රථ සේවාව ඉබ්බන්වල හන්දියේද පොඩි රස්ති පාරක් ගසා නැකතට ගියරය මාරු කර ගාමිණි හෝල් නැවතුමේ නවත්වන විට සාගරිකා සීග්‍රගාමී දුම්රිය ගාල්ල බලා  පිටත්වන්නට ඉතිරිව තිබෙන්නේ විනාඩි දෙක තුනක කාල සීමාවකි. ඊළඟට තිබෙන්නේ කඩුලු පැන දිවීමේ සහ භාදක දිවීමේ තරඟයයි. එකසිය පනස් පහෙන් දනිපනිගා බිමට පැනගන්නා මා ඇතුළු කෝච්චි සෙට් එක  ඩාර්ලි පාර හරහා කඩුලු පැන දිවීමේ තරඟ ඉසව්ව ආරම්භ කරන්නෙමු. ඩාර්ලි පාරේ ධාවනය වන්නා වූ මෝටර් රථ වල බොනට් උඩින් පනිමින්, ත්‍රිරෝද රථ ඇතුලෙන් රිංගමින් ගාමිණි හෝල් පසුකර දුවන කොච්චි පිරිසට ඊළඟට ඇති අභියෝගය නම් මරදාන දුරියපොළ අසලින් බොරැල්ල පාර හරහා මාරුවීමයි. පොලිස් නිලදරුවෙක්  රාජකාරියේ නොමැතිනම්  ඩාර්ලි රෝඩ් හරහා මාරුවූ ආකාරයෙන්ම කාර් උඩින්ද  ත්‍රීවීල් අතුලෙන්ද පාර පනින උදවිය, පොලිස් නිලදරුවෙක් සිටිනා අවස්තාවේදී ගිරි දුර්ගයක් බඳු ගුවන් පාලම තරණය කරමින් මරදාන දුම්රියපොළ වෙත දිවයයි. අන්තිම තත්පර කිහිපයේ සාගරිකා හි දෙවැනි පන්තියේ ආසනයක හරිබරිගැහෙන මා සාගරිකාව කොටුව දුම්රිය ස්ථානයට සැපත්වීමට ප්‍රථමව සැප නින්දකට වැටෙන්නේ භාදක දිවීමේ වෙහෙස උපරිම බැවිනි .

මේ සෑම දිනකම එකම ආකාරයට ගෙවීගෙන ගියත් එක්තරා සිකුරාදා දිනයක මාගේ කරුමක්කාර දුරකථනය බෙරිහන්දෙන්නට වීය. මෝටරෝලා C 200 දුරබනුව උඩ සාක්කුවෙන් නින්දෙන්ම කන වෙත ගෙනගියේ අමතන්නා වෙන හිත ඇතුලෙන් සිංහලෙන් අමතමින්ය..

හලෝ..

උඹ කොහෙද..

අමතන්නේ අතිජාත මිතුරු සමන්තයායි..

කෝච්චියේ  බන්..

හරි බන් කෝච්චිය කොහෙද දැන්..

පීල්ල උඩ බන්..

හරි යකෝ .. දැන් පීල්ල උඩ කොයි හරියේද..

දන්නේ නැහැ යකෝ.. මට නිදාගන්න දියන් .. තාම අම්බලන්ගොඩට ආවේ නැහැ..

මා එසේ කීවේ වසර ගණනාවක් පුරා පුරුද්දට යන නින්ද අලුත්ගම පසුවී මද දුරකින් අවදිවන බව ඉඳුරාම දන්නා බැවින් .. රාත්‍රියට නිවසේත් , උදෑසනට තැපැල් දුම්රියේත්, විශේෂයෙන් විවේක වෙලාවට නිදාගැනීමට සකස්කොට තිබෙන්නාවූ කාර්යාලයේ නිදන ස්ථානවලත් හත් අට වරකට නිදාගන්නා මාගේ නින්ද  සත්‍ය වශයෙන්ම උදෑසන අවදිවන ස්භාවයෙන් සහ  හැඟීමෙන් අවදිවන්නේ හවස දුම්රියේ නින්දයි .

කට්ටිය හවස ගාලු යන්න සෙට් වෙනවා. මම වාහනේ ගෙදරින් ඉල්ලන් එන්නම් , කෝච්චියෙන් බැහැල ඔහොමම  යමුද..

මට බෑ  තොපි යන අහක පල මට නිදාගන්න දීල.

එහෙනම් අපිට වාහනේ දියන් .

බෑ .. මට හවසට එලියට යන්න ඕන..

එහෙනම් අපි බස් එකේ යන්නම්.. උඹ එනවද අපිව එක්ක එන්න..

හා මම රෑ වෙලා එන්නම්..

හරි එහෙනම් අපි යනවා ..බායි..

නින්ද කැඩූ එකා උගේ කර්තව්‍ය ඉටු කරගනිමින් දුරභනුව විසන්දි කලින් පසු නැවතත් නින්දට වැටීමට උත්සහ කලත් නින්ද මා වෙත නැවතත් පැමිණියේ නැත.

පෙරහැරේ සිද්දියෙන් පසු අපේ එවුන් රහමෙර බොන්නට සෙට් වෙන්නට සොයාගත් නවතම සොයාගැනීම නම් පින්නදූවේ චමින්දයා එවකට සේවය කල උණවටුනට මදක් එහායින් වූ මිහිරිපැන්නේ හෝටලයකි. ප්‍රධාන අරක්කැමියා සහ හෝටලයේ භාරකරු වූ චමින්දයා අප වෙත අවශ්‍ය සියලු බයිට් සහ අඩුමකුඩුම  සාධාරණ මිලට සැපයු බැවින් සහ කටගොන්නක් බී ගමේ චාටර් වෙනවාට වඩා මිහිරිපැන්නේ ගොස් අනුමත වී පූස් පැටවුන් සේ ගෙදර ඒමට හැකිවීම සියල්ලන්ටම පහසු වූ බැවින් මසකට වරක් දෙවරක් මිහිරිපැන්නට  සැපත්වීම සැමගේ හිතසුව පිණිසම වුයේය. ලැබෙන්නාවූ සියලු පහසුකම් නිසා ගමන් අපහසුව යටපත්වූ බැවින් අවශ්‍ය රහමෙර වර්ග පමණක් එළියෙන් මිලදීගෙන මිහිරිපැන්නේ හෝටලය වෙත යාම අපේ එවුන්ගේ පුරුද්දක් වුයේ එවකට එකෙකුවත් පවුල් පන්සල් වී නොමැති  වූ  නිසාවෙනි.

සාගරිකාවෙන් බැස නිවසට සැපත්වූ මා නාකියාගෙන වාහනයට ගොඩවී අරමුණක් නොමැතිවම ටවුම දෙසට ගෑටුවේ ගෙදර සිටීමට අකමැති රෝගය සිකුරාදා , සෙනසුරාදා ඉතාමත් උත්සන්නම  අවස්ථාවට පත්වන බැවිනි. රාත්‍රී හතයි තිහ පමණ වනතුරු මිතුරෙකුගේ වෙළඳ ස්ථානයක රැඳුනේ කරන්නට විශේෂිත වූ යමක් නොමැති බැවින් හා රෑ බෝවූ පසු බේබද්දන් රංචුව රැගෙන ඒමට මිහිරිපැන්නේ යා යුතු හෙයිනි..

මිහිරිපැන්නේ සිටිනා එකෙකුගෙන් මා වෙත ඇමතුමක් ලැබෙන්නේ මේ අවස්තාවෙදීයි.

හලෝ.

උඹ දැම්ම එනවද..

මේ මා අමතන්නේ බබා යන සුරතල් නාමයෙන් අමතන ප්‍රසන්නයි.

එන්නම් බන් රෑ වෙලා.

රෑ වෙන්න එපා බන්.. දැන් වරෙන්.. මාර කේස් එකෙක් මෙතන..

ඇයි  මොකද වෙලා  තියෙන්නේ.

ටින්ටියා සිරාට ජොයින්ට් එකක් ගස්සලා.. දැන් සිරා ජොයින්ට් ඉල්ලලා අඬනවා බන්..

ටින්ටියා යනු කුරුඳුගහ පදිංචි අපගේ මිතුරෙකු වන අතර වේදිකා නාට්‍ය කලාවේ සහ සිනමාවේ ප්‍රසිද්ද පොරකි.. උඩින් පහත්වන්නා සේ එක්වරම කිසිදු දැනුම්දීමකින් තොරව අප සොයා පැමිණෙනා ටින්ටියා උගේ අතේ මුදල් තිබුනා නැතා  කුමක් හෝ රහමෙරක් කට තැබීමට අපේ එවුන්ට ආරාධනා කිරීම සාමාන්‍ය සිද්දියකි. 

දැන් උඹ මට මොකක්ද කරන්න කියන්නේ.

උඹ ඉක්මනට කොහෙන් හරි ජොයින්ට් එකක් හොයන් වරෙන් මෙහේට .

මම දන්නවද යකෝ ජොයින්ට් ගන්න තැන් . අනික ඔව්ව ගන්න ගිහින් පොලිසියට අහු උනොත්.

කොහේ ඉන්න පොලිසියෙන්ද බන්. ගිහින් ඉල්ලපන් . සල්ලි දුන්නම දෙයි.

පිස්සුද යකෝ. මම ජීවිතේට ඔව්ව ගන්න ගිහින් නැහැ. අනික ඕකුන් අඳුනන්නේ නැතුව ඔව්ව දෙන්නෙත් නැහැ.

කොහෙන් හරි අරන් වරෙන්. ජොයින්ට් නැතුවනම්  එන්න එපා .

සිරාට මොන ජෝයින්ට්ද බන්. ඌ ගහන ජොයින්ට්.

මෙතන ආතල් කෝටියයි යකෝ. සිරා එෆ් එම් එක දැම්ම වගේ කියෝනව ඉවරයක් නැහැ. කොහෙන් හරි ජොයින්ට් එකක් අරන් වරෙන්.. ඉක්මනට වරෙන්. බායි..

සිරා නම් අනවර්තනාමයෙන් හඳුන්වන  පෙරහරේ ගිය ඩෙඩ් බොඩියේ අපේ එකා  මා දන්නා තරමින් කිසිදු දිනෙක ජොයින්ට් නොහොත් ත්‍රයිලෝක විජයපත්‍රම් පාවිච්චි කර නොමැත. වඳුරාට කන්නාඩියක් ලැබුනා සේ අපේ සිරාද කොතන හෝ නුපුරුදු සොමියක් ඇත්නම් එම සොමියට වහ වහා ගිජුවන ගනයේ එකෙකි. ජොයින්ට් සිද්දියද එම නුපුරුදු ලෙස ඉමක් කොනක් නොදැන සිරා විසින් ඇඟ පුරා හලාගන්න ලද අසූචි බාල්දියකි. අහම්බෙන් ජෝයින්ටුවක් උරණ ස්ථානයක ඉන්නට සිදු වුවද මා ජෝයින්ටුවේ සොමියක් නොදැන උන් නිසා සිරාගේ මේ වෙනස මා වෙත විශ්මයජනක ආරංච්යක් වුයේය. 

බේබද්දන්ව රැගෙන ඒමට මිහිරිපැන්නේ යා යුතුමය.. ජොයින්ට් එකක්ද සොයාගත යුතුමය.. හිස් අතින් ගියහොත් බේබද්දන්ගේ උදහසට ලක්වෙනු අනිවාර්ය බැවින් ජෝයින්ටුවක් සොයාගන්නා ආකාරය ගැන මම දහ අතේ කල්පනා කරන්නට වීමි. දන්නා වූ ඉතිහාසයට ත්‍රයිලෝක විජයපත්‍රම් රස බලා නොමැති අපේ සිරාට මොන ජෝයින්ට්ද  යන්නා වූ අදහසින් රථයට නැගුනු මා රන්දොඹ දෙසට රථය පදවන්නට වුයේ " දෙන්නම් අද බොට මම සුපිරි ජොයින්ට් එකක් " යන අදහසිනි..

රන්දොඹ යනු අම්බලන්ගොඩ නගර මායිමේ පිහිටි ග්‍රාමයක් වූ අතර එම ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරයක් වුයේ තේ කොල ව්‍යාපාරයයි. උඩරටින් ගෙන එන තේ කොල රන්දොඹ ග්‍රාමයේදී විවිද වෙනස්කම් වලට භාජනය වී අවශ්‍ය රසයට අනුව කවලම් වී රට පුරා බෙදා හැරුනේ ඉතා සාර්ථක ව්‍යාපාරයක් ලෙසයි.

අම්බලන්ගොඩ පොලිසිය පසුකර කැපූඇල පාරෙන් හැරවුණු මාගේ රථය නතර වුයේ අසල තිබු සිල්ලර කඩයක් අසලයි..

මුදලාලි.. තේකොල තියෙනවද.

තියෙනවා මහත්තය.

ලූස් තේකොල තියෙනවද.

තියෙනවා මහත්තය.

මට දෙනවද ටිකක් ඝනකම තේකොල එකකින් ග්‍රෑම් සීයක් විතර.

හරි මහත්තයා.. 

මුදල් ගෙවා තේකොල මිලදීගත් මා නැවතත් රථය ගාල්ල දෙසට පදවන්නට වීමි.. ඒ මිහිරිපැන්න හෝටලය වෙතයි..


පැයකට මදක් අඩු කාලයකින් මිහිරිපැන්න හෝටලය වෙත මා සැපත්වනවිට බේබද්දන් සියලු දෙනා ඉතා යහමින් අනුමතවී නානාප්‍රකාර  දේ කියවමින්  මේසයක් වටේ වටවී කමින් බොමින් සිටියද මයික්‍රෆෝනය වැඩි හරියක් රැඳුනේ සිරාගේ අතේය. මද්‍යසාර සහ ත්‍රයිලෝක සුවයෙන් ඔදවැඩී සිටි සිරා මා දුටු වනම..

මෙන්න මගේ දෙයිය ඇවිල්ලා.. යයි කියමින් මා වෙත එන්නට වීය..

උඹ ගෙනාව නේද මගේ දෙයියෝ..

මොනාද බන්..

ගේන්න කියපුව යකෝ ගේන්න  කියපුවා ..

හරි හරි ගෙනාව ගෙනාව.. හිටහන් ඉවසල දෙන්නම්..

හුරේ .... බඩු ගෙනල්ලා.....උඹනම් දෙයියෙක් බන්..

හරි ඉඳපන් මම ඔතලම ගේන්නම් .. කියමින් මා හෝටලයේ කුස්සිය දෙසට ඇදුනේ චමින්දයා සමග එකතුවී මේ ඔතන්නට  යෙදෙන්නාවූ අලුගුත්තේරු  ජෝයින්ටුව කොලයක ඔතාගනීමටයි. චමින්දයා හෝ මම උපන්තේකට ජෝයින්ටුවක් ඔතා නොමැත. ඔතන්නට දන්නේද නැත. එහෙත් මෙය එතිය යුතුය. 

හා උඹ ආවද.. මා දුටු චමින්දයා මා ඇමතුවේය..

ඔව් බන් මුන්ගේ මල කරදරේ ඉවරයක් නැහැනේ..

ටින්ටියා සිරාට ජොයින්ට් එකක් ගස්සලා සිරා ජොයින්ට් එකක් හොයල දෙන්න කියල එක කරදරයි බන්. එත් මම කොහේ මෙහෙන් ජොයින්ට් හොයන්නද  බන්.

අනේ ඌ දන්න ජොයින්ට්. මටත් කෝල් කරලා මල වදේ බන්.

ඉතින් උඹ ගෙනාවද.

හ්ම්.. ගනින්කෝ මේක ඔතන්න කොළ කෑල්ලක්.

චමින්දයාද සියලු වැඩ නවත්වා උගෙත් මගෙත් මංගල ජෝයින්ටුව ඔතන්නට ලැහැස්තිය. සාක්කුවෙන් එලියට ඇදගත් කඩදාසි ගොටුව දුටු චමින්දයා උන් තැනම ගල්විනි .

ඔච්චර ජොයින්ට් ගෙනාවේ මූව මරන්නද යකෝ. කොහෙන්ද උඹට ඔයතරම් හොයාගත්තේ .

කටවහන් වර මේක ඔතන්න.

තේ කොළ ගොටුව ලිහා තේ කොළ ටිකක් මේසය මතට හැලූ සැනින් අලුත් තාලයේ ත්‍රයිලෝක සුවය අතට ගෙන පරීක්ෂාකළ චමින්දයා බඩ අල්ලාගෙන සිනහවීමට පටන්ගති. 

මේ තේ කොලනේ යකෝ..

හිනාව නවත්තල මේක ඔතන්න උදව් කරපන් යකෝ. සිරා දන්නා ජෝයින්ටක් නැහැ. ඔව්ව ගන්න ගිහින් උසාවි ගානේ යන්නත් බැහැ . සද්ද නොකර මේක ඔතන්න වර.

චමින්දයාගේත් මගේත් අපරිමිත දහිරියෙන් යන්තම් සන්තම් ඔතාගත් තේකොල සුරුට්ටුව දල්වා දෙතුන් වරක් දුම් උඩට උරා පිටකර හොඳින් අවුලුවාගත්  මා බේබදු සභාව වෙත එකතු වී තේ කොළ ජෝයින්ටුව සිරා වෙත පෑවෙමි ..

මගේ දෙයියෝ. මෙන්න යකෝ යාළුවො. බලපන්. එක කෝල් එකයි දුන්නේ.. අන්න යාළුවො. තොපි වගේද. බලපල්ලා තොපි ගෙනාපු ජොයින්ට් කූර වගේද මේක. බලපල්ලා මේක කාල පන්දමක් වගේ. උඹනම් දෙයියෙක් බන්.. 

හරි හරි දැන් වැඩේ කෙරුනනේ. දැන් කියවන්නේ නැතුව ඉතින් බීපන් ඕක.

සිරාගේ අතේ පත්තුවෙන කාල පන්දමක් තරම් ජෝයින්ටුවේ නුපුරුදු සුවඳින් කුතුහලයට පත් ටින්ටියා ඇතුළු ත්‍රයිලෝක සුවය සහ ත්‍රයිලෝක සුවඳ දන්නා කියන උදවිය මා දෙස කුතුහලය මුසු බැල්මක් හෙලමින් සිරා වටේ වටවී සිටියි. එක ඇසක් වසා සියලු දෙනාටම ව්‍යංගයෙන් සන් කල මා ඔවුනට දැන්වූයේ "ඕක ගහන්න දියන් ඌට  පාඩුවේ" කියනා විලසටයි.

සිරා තේකොල පන්දම උරා දුම් යවන්නේ රටක් රාජ්‍යක් ලැබුනා වූ විලසටයි. උගුරෙන් පහලට යැවූ මද්‍යසාර සහ ජීවිතයේ පලවෙනි වතාවට තොල ගෑ ත්‍රයිලෝක සුවයෙන් මන්දමෝල වී සිටින සිරා සිටින්නේ කොස් කොලයක් ඔතා දුන්නට ජොයින්ට් කියා ගසන්නට පිළිවන් තත්වයකයි.

මේ දැල්වෙන්නේ ත්‍රයිලෝක පත්‍ර නොවෙන වග දැනගත් ප්‍රසා මා වත ලං කරන්නට වුයේය..

මොනාද යකෝ මේ ගෙනාවේ.

කොහේ තියන ජෝයින්ට්ද බන්. මම රන්දොඹේන් තේකොල සීයක් ගෙනාව බන්.

හුකෑස් ......... ප්‍රසන්නයා බඩ අල්ලාගෙන දෙකට නැමී සිනාසෙන්නට පටන්ගති .

පිස්සු කෙලින්නේ නැතුව හිටහන් යකෝ. ඌට උගේ ආතල් එක ගන්න දියන් . උඹල උඹලගේ ආතල් එක ගනින් මාව කන්නේ නැතුව දැන්.

එකා දෙන්නා සිරාට හොර රහසේ චමින්දයාත් ප්‍රසන්නයාත් වටා ගැවසෙන්නේ මේ අලුත් ජාතියේ ජෝයින්ටුව කුමක්ද යන්න සොයා ගැනීමටයි. දෙන්නම් තොපිටත් කියනා වූ අදහසින් මම සිරා වෙත ලං කලෙමි.

ලැජ්ජා  නැද්ද යකෝ ඕක තනියම ගහන්න. අනික් උන්ටත් දියන් .

පිස්සුද යකෝ.. මේක උඹ ගෙනාවේ මට.. පැය ගානක් ඉල්ලලත් මුන් එකෙක්වත් මට ජොයින්ට් එකක් ගෙනල්ල දුන්නේ නැහැ..

හරි හරි බන් දැන් මම ගෙනාවනේ.. තව තියෙනවා ඕන තරම්.. අනික් උන්ටත් දියන් .

ඒ බොරු නේද උඹ කියන්නේ..

බොරු නෙවෙයි බොල . දෙතුන් වතාවක් යන්න උනොත් කියල හිතල ටිකක් වැඩියෙන් අරන් ආව. අනික් උන්ටත් දීපන් පෙරේතය නොවී. එළිවෙනකම් ගහන්න බඩු තියේ..

මම සාක්කුවට තට්ටු කර තේකොල ගොටුව පෑවෙමි .

උඹනම් දෙයියෙක් බන්..

සිරා පළමුවම තේකොල පන්දම ලං කරේ ටින්ටියාගේ මුව වෙතයි.. මේ උරන්නේ රන්දොඹ තේ කොළ බව දැන  දැනත්  ටින්ටියා තේ කොල පන්දම උරන්නට වීය.. තේ කොල පන්දම උරනා ගමන් ටින්ටියා මා දිහා බලන්නේ " මං තෝව මරනවා යකෝ " කියන්න සේය .

සිරා ඊළඟට යන්නේ ප්‍රන්නයා වෙතයි. ඇස් ලොකු කරමින් මා වෙත මාරාන්තික බැල්මක් හෙලන ප්‍රසන්නයාද තේකොල පන්දම උරා දුම් පිටකරයි. ඊළඟට සමන්තයා වෙතයි. ඊළඟට විමල් නොහොත් කොන්ඩයා වෙතයි. අනුපිලිවලින් මේසය වටේ වටවී සිටිනා සියලුදෙනා වෙත තේකොල පන්දම උරවන සිරා උසස් ආකාරයෙන් මගේ ගුණ වර්ණනා කරයි..

බලහන් යකෝ යාළුවො  කියන්නේ මුන්ට.. බලහන් .. එක කෝල් එකයි.. බොල වගේද.

කව්රුන් හෝ එකෙකු වීදුවකට පුරවන ලද මධුවිතක්ද සිරා වෙත පිරිනැමෙයි. එයිනුත් උගුරක් බොන සිරා නැවත තේකොල පන්දම උරවයි.

දැන් සැමගේ වෑයම අනිකාට තේකොල පන්දම ඉරවීමටයි..

ටින්ටියා සිරා අමතයි.. 

උඹ ඕක තනියම ගහන්නේ බලහන් අර අරූට දුන්නෙම නැහැ.. ටින්ටියා කව්රුන් හෝ එකෙකු පෙන්වයි..

අඩෝ මට උඹව අමතක උනාද බන්.. අනේ සොරි බන්.. මේන් බීපන්..

සිරා තේකොල පන්දම අනෙකාගේ මුවේ තබයි. මේ බොන්නේ තේකොල යන්න දන්නා ඌත් අමාරුවෙන් තේකොල පන්දම උරවයි.

කටට ඉරූ දුම් උගුර පපුව වෙත ඇදනොගන්නා අපේ එවුන් දුම් කටේම තබාගෙන නැවත පිටකරයි.

එවිට අපේ වෙනත් එකෙක් කෑ ගසයි..

ඇද්දේ නෑ ... ඇද්දේ නෑ .. හොරට ගැහුවේ .. හොරට  ගැහුවේ..

නැවත සිරා තේකොල පන්දම ඌගේ මුව වෙත ලං කරයි.. මිතුරා දුම් උරවයි..

ඇදපන්.. ඇදපන්.. සිරා කෑගසයි.. 

යකෝ මුන්ට මෙව්වා ගෙන්නලා දුන්න මදිවට ගහන හැටිත් කියල දෙන්න වෙලානේ..

තේකොල දුම් පපුව වෙත ඇද්දා වූ එකා දෙතුන් වරක් කෙල ගසා රකුසු විලාසයකින් අනෙක් එවුන් වෙත යක්ස බැල්මක් හෙලයි..

නැවතත් පෙර සේම වෙනකෙකුගේ ආරාධනයෙන් සිරා තේකොල පන්දම වෙනකෙකුගේ මුවේ තබයි.. ඒ අතර සිරාද තේකොල දුමෙන් පපුව පුම්බා ගනියි..

ඒ මාරු බඩු බන්.. කොහෙන්ද උඹ මේවා ගෙනාවේ.. අන්න යාළුවො..

අනේ තෝ දන්නා ජොයින්ට් .. හැම එකාම සිරා දෙස බලා සිනාසෙයි.. එහෙත් එකෙකුවත් තේකොල පන්දමේ රහස හෙළි නොකරයි.. මධු සාධය තේකොල දුමින් වර්ණවත් වෙයි..කිසිදිනෙක නොවූ අයුරින් සියලුම දෙනා ඉතාමත් විනෝදයෙනි . ඒ අනෙකාට තේකොල පන්දම පෙවීමට ඇති අරමුණ වෙනුවෙනි. එහෙත් ඒ විනෝදය තාවකාලික වන්නේ තේකොල පන්දම සිරා අතේ තම තමුන් වෙතද  බලහත්කාරයෙන් කටේ එබෙන බැවිනි.

අලුයම දෙක තුන වනතුරු ඇදීගිය තේකොල පන්දම් සමගාමී මත්පැන් සාදය අහවර වනවිට මා ගෙනා තේකොල ග්‍රෑම් සියයට අමතරව චමින්දයාට උදෑසන තේ බීමට තිබු ලිෆ්ටන් සිලෝන්ටා පැකට්ටුවද  සිරාටම ඔතා දීමට චමින්දයාටත් මටත් සිදුවීය.. ගෙනා පාපයට තේකොල පන්දම මටත් කිහිප විටක් උරන්නට සිදු වුයේ තේකොල ඉරවූ අනෙකුන්ගේ තදබල ද්වේශයට මා පාත්‍රවූ බැවිනි. හිත යට කැකෑරෙන තරහට  එකිනෙකාට පොවන්නට බීමත් සිරා වෙත ආරාධනා වෙන තේකොල පන්දම් නම් ලිස්ට් එකට මාගේ නමත් යහමින් යෝජනා වීය. 

සාදය අවසන් වී චමින්දයාගේ හෝටලයේ බිල ගෙවා අම්බලන්ගොඩ දක්වා එන අවස්ථාවේද  එකිනෙකා තනි තනිවම සිනහ වීමට වුයේ තේකොල සිද්දිය හේතුවෙනි. සැමදෙනාම නිවෙස් වෙත බස්සවා ගෙදර ගොස් මාද නින්දට වැටුනේ  අරුනලු වැටෙනා උදෑසන පියාණන් වහන්සේගේ ගුණ ගායනා සුමිහිරි  නාදයෙන් ගැයෙද්දීයි .

 පසුදා සවස මාගේ දුරභනුවට ඇමතුමක් ලැබෙන්නට වීය..

මම දුරභනුව කනේ තබා  හලෝ.. කීමි 

තොගෙ  අම්&#^@&^$&%^$*%&$($#)#

ඒ අමු ශුද්ද සංස්කෘත සිංහලෙන් මාව ඇමතූයේ  අපේ එකා නොහොත් තේකොල පන්දමෙන් හඳට ගිය අපේ සිරායි.. එවකට අමතන්නා හඳුනන පහසුකම නොතිබූ හෙයින් එම ඇමතුමට හලෝ කීවා මිස ඒ අමතන්නේ සිරා බව දන්නේනම් කීයටවත් හලෝ නම් කියන්නේනම් නැත.

ගුණාගුණ කියල කමෙන්ට් එකක් දැම්මොත් අගෙයි..

Monday, September 21, 2015

පෙරහැරේ ගිය ඩෙඩ් බොඩිය




සෙනසුරාද උදේ ඇහැරුනේ ඉවරයක් නැතුව දෙතුන් වතාවක් රිං වෙන ෆෝන් එකේ සද්දෙට. සුළු වෙලාවකට ප්‍රයෝජනයක් වෙන බහුතරයක් වෙලාවට මල කරදරයක් වෙන ෆෝන් එක රෑට ඕෆ් කරන්න අමතක උණු හැම නිවාඩු දවසකම උදේට ඇහැරුනේ ඔය මගුල රිං උනාම තමයි. සිකුරාදා හවස දේවාලේ පෙරහැර බලල රෑ වෙනකම් කට්ටිය එක්ක කයිය දාගෙන ඉඳල ගෙදර ඇවිත් නිදියනකොට හුඟක් රෑ උන නිසා ෆෝන් මගුල රිං වෙද්දී නින්දේ හොඳම හරිය.

CLI කියන අමතන්නා  හඳුනාගන්න පුළුවන් පහසුකමත් තිබ්බේ නැති නිසා කෝල් එකට හලෝ කියන්නේ නැතුව මොකාද කතාකරන්නේ කියල හොයාගන්නත් බැහැ . නිදිමරගාතේම ෆෝන් එක හොයාගෙන ඇස් දෙක අරින්නේ නැතුවම මම කෝල් එකට අන්සර් කරා..

හෙලෝ..

තෝ තාම නිදිද යකෝ.. අමතන්නා මගේ නිදි ස්වරය හඳුනාගෙන ඉවරයි..කටහන්ඩින්ම මේ අමතන්නේ බබා, නොහොත්, ලපයා නොහොත් අපේ ප්‍රසන්නයා .

රෑ පෙරහර බලන්න කට්ටිය කඩේට සෙට් වෙන්න හදන්නේ .. උඹ එනවා නේද..

හරි බන් ඒ රෑටනේ .. තාම මේ එලි උනා විතරනේ..

රෑට උනාට යකෝ බාර් වල බඩු ඉවර වෙන්න කලින් ගන්න ඕනනේ.. ඉක්මනට වරෙන් මේ පැත්තට.. ඔක්කොම ඇවිත් ඉන්නේ..

හරි බන් ටිකක් දවල් වෙලා එන්නම්..

තව මොනවා දවල් වෙන්නද බන්.. මෙන්න මෙහෙ වරෙන් ලෑස්ති වෙලා..

බීමට එතරම් එලෙව්වේ නැතත්, බිව්වත් නැතත් හැමදෙනාම එකතු වෙලා කරන වැඩක් නිසා සහභාගිත්වය අනිවාර්යයි. එකතුවෙන මුදල් ආධාර වලටත් සම සමව සම්මාදන් වීමද අනිවාර්යයි. කඳුලක් වත් රහමෙර කටේ නොතිබ්බත් අනික් එවුන්ටත් එක්කම බයිට් කන නිසා මුදල් ප්‍රතිපාදන එකතු කිරීමේදී අපේ එවුන් මාව කවදාවත් අමතක කරේ නැහැ. සෙට් වෙන්න යන සෙට් එකේ ප්‍රියතම බීම සංස්ථා ගල් අරක්කු බව දැනන් උන්නත්, ගල් මගේ උගුරෙන් පහලට යවන්න හරිම අමාරු උනත් බයිට් එකට අසාධාරණව වගකියන්න ඕන නිසා හනික නැගිටලා මුණ කට සෝදාගෙන වාහනේ නැගල ටවුම පැත්තට මමත් සේන්දු උනා.

හවස ක්‍රිකට් ගහන වෙලාවට ඇරුනාම නිවාඩුවක් තියන වෙලාවට අපේ කට්ටිය සෙට් උනේ අපේ එකෙකුට අයත් ටවුමේ පරණ පාරේ තිබ්බ කඩේකට. අද වෙද්දී සැලකිය යුතු ව්‍යාපාරික රාමුවක ඉන්න ප්‍රසිද්ද පුද්ගලයෙක් නිසා අපේ කඩ හිමියාගේ නම සඳහන් නොකර ඉන්න වෙනවා. ඒත් ඒ වෙද්දී මේ ව්‍යාපාරය කරගෙන ගියේ එපා වාහෙට හොදි බෙදන්න වගේ. උදේ අට වෙද්දී කඩේ ඇරියට දවස් කෑමට දොළහ වෙද්දී වාහන කඩේ නැවත ඇරියේ හවස තුනට විතර. මේ කඩේ විවුර්තව තියන හැම වෙලාවකම අපේ එවුන් සෙට් වෙන කඩේ කෙලවරේ තියන අඳුරු මුල්ලක තුන්  හතරදෙනෙක් වරදින්නෙම නැහැ. වල්  කථා , බලු කථා , මඩ ගැහිලි , ඕපාදූප, ඇතුළු මෙකී නොකී සියලුම හොඳ වැඩ සහ නරක වැඩ මේ කඩ මුල්ලේ සිද්ද උනා . පෙරහැර බලන්න සෙට් වෙන සෙට් එක සෙට් වෙන්න යන්නේ කඩේ ඇතුලේ. මම යද්දී සැලකිය යුතු මුදලක් එකතු වෙලා කට්ටියට කන බොන ජාති තීරණය වෙලා. අඩුවට තිබ්බේ මගේ මුදල සහ මගේ වාහනය පමණයි. සියල්ලන්ගේම ඒකමතික තීරණය අනුව බාර් එකෙන් ගත යුතු අමුද්‍රව්‍ය සියල්ලම මගේ වාහනයට පැටවුණා හවස කඩේ වාහන වෙලාවට කඩේ ඇතුලට බාන තීරණය උඩ .

අපේ මේ සෙට් වෙන්න යන කඩේ එකා නොහොත් අපේ බොක්කේ ෆිට් එක කාලෙන් කාලෙට එන රැල්ලට අසුවෙන ජාතියේ එකෙක් කිව්වොත් නිවැරදියි. ඇපල් කනවනම් ෆුඩ්  සිටිය දාපු  කාලෙ අපේ එකා කෑවේ  ෆුඩ් සිටියේ ඇපල් විතරයි. එකම රස එන එකම පෙනුමේ ඇපල් ෆුඩ් සිටි එකේ එක එක රටවල් වල නම් ගහල වික්ක නිසා අපේ එකා  කෑවේ එක එක රටවල ඇපල් . එහෙම වෙලාවට පුරසාරම් එමටයි. අපිටත් ඒ කාලේ නිතර අවවාද කරේ කනවනම් ෆුඩ් සිටි එකේ හොඳ ඇපල් කාපල්ලා කියලයි. ඒත් අපිටනම් ෆුඩ් සිටියේ තිබ්බ එංගලන්තේ ඇපල්වල සහ අපේ රන්ජියාගේ කඩේ වික්ක සාමාන්‍ය ඇපල් වල රසේ කිසිම වෙනසක් දැනුනේ නැහැ. ඉඳල හිටලා අපේ එකා විශේෂිත VIP ගනයේ යාළුවො එක්ක රහමෙර කටේ තිබ්බ දවසට අපේ එවුන් සුං . එදාට පුරසාරම් එමටයි. දවසගානේ එකට ඉන්න උන්ට වඩා  සතේ අතේ නැතුව පොඩි ෂෝ එකක් දාගෙන ජීවත්වෙන අනාතයෙක් උනත් අපේ එකාට VIP යාළුවො උනා.

උඹල වගේ ගල් අරක්කු බොන එවුන් නෙවෙයි බන් උන්.. 

උන් බොන්නේ සුදු අරක්කු. 

උන් බයිට් එකට කන්නේ ඇපල් යකෝ. එංගලන්තේ සුපිරි ඇපල් .

ඔන්න ඔහොමයි අපේ එකා වයිට් ඩයමන්ඩ් හරි වෙනත් මොකක් හෝ අවර්ණ මධුවිතක්  තොලගාපු දවසට හැමදාම එකට ඉන්න එවුන්ව බලු කරේ. උගේ රැලි වලට අහුවෙන ස්භාවය දන්නා අනික් උන් කවදාවත් ඔව්වට තර්ක කරන්න ගියේ නැත්තේ වයිට් ඩයමන්ඩ්, වොඩ්කා , වයිට් රම් වගේ දේවල්වල සහ ගමේ පෙරන කසිප්පු වල වෙනස වත් අපේ එකා නොදන්නා නිසා. කොටින්ම කියනවනම් අපේ එකා ලංකාවට එන ඕනෑම නව රැල්ලකට අසුවෙන සුළු පුද්ගලයෙක්.

දේවාලේ පෙරහැර කියන්නේ අම්බලන්ගොඩ ජනතාවට ටිකක් විශේෂිත වූ සංස්කෘතික අංගයක්. දීර්ඝ වූ ඉතිහාසයක් තියන අම්බලන්ගොඩ මෝදර දේවාලයේ වාර්ෂික පෙරහැර ලංකාවේ කෙරෙන පෙරහැරවල් වලින් ප්‍රධාන පෙලේ පෙරහරක්. සිකුරාදා හවස පවත්වන දවල් පෙරහරට අනතුරුව සෙනසුරාදා රාත්‍රී පෙරහරද පැවැත්වෙනවා. අලි ඇතුන් දහයකින් පමණ සමන්විත වෙන පෙරහැර අවම වශයෙන් කිලෝමීටර දෙකක් , තුනක් වත් දිගයි. මෝදර දේවාලයෙන්  පරණ පාරෙන් පිටත්වෙන පෙරහැර නැවත දේවාලයට ගෙවදුනේ ගාලු පාරෙන් ගිහින්. පෙරහැර පැවැත්වෙන දවසට ගාලු පාර රජයේ අවසර සහිතව අම්බලන්ගොඩ නගරයෙන් වසා දැමෙනවා. එම කාලයට ගාලු පාරේ අම්බලන්ගොඩ පසුකර යන වාහන බෙන්තරින් ඇල්පිටිය  දෙසට හැරෙව්වයින් පස්සේ බටපොල මීටියාගොඩ හරහා කහව හන්දියෙන් තමයි නැවත ගාලු පාරට අවතීරණ උනේ. 

විශේෂාංග රැසකින් සමන්විත වෙන පෙරහැර පටන් ගන්නා ආරම්භය ගාලු පාරෙන් ටවුම පසුකරන විට පෙරහරේ අවසානය පරණ පාරෙන් එම සීමාවම පසුකරමින් තිබීමට තරම් මේ පෙරහැර ඉතා දිගයි. පරණ පාරෙන් පෙරහැර බලන කෙනෙක් පෙරහැර බලල අවසන් වෙලා ගාලු පාර පැනල ගෙදර යන්න ඕනෙනම් ඒක ටිකක් දුෂ්කර වැඩක්. මොකද ලක්ස සංඛ්‍යාත ජනතාවක් නරඹන පෙරහැර හරහා ගාලු පාර පනින එක අමාරු වැඩක්. හුඟක් වෙලාවට පරණ පාරෙන් පෙරහැර බලපු උදවියට අකමැත්තෙන් උනත් ගාලු පාරෙනුත් පෙරහැර බලල තමයි ගෙවල්වල යන්න උනේ. සිංහල අවුරුද්දක් , මැතිවරණයක් වගේ විශේෂිත අවස්තාවලදී බාර් වල සියලුම මත්පැන් ජාති හවස් වෙද්දී ඉවරවෙනවා වගේ රෑ පෙරහැර දවසටත් බාර් හිස් වෙන්න අඳුර වටෙන්නම ඕන නැහැ. හැමදෙනාම කලින් ඇවිත් අවශ්‍ය මත්පැන් වර්ග ඇති වෙන්න ගෙවල් වල අරන් යනවා.

හවස හතහමාර වෙද්දී කට්ටියම කඩේට සෙට් වෙන්නයි සූදානම . දවල් ගතපු මාළු වර්ග, මස් වර්ග චයිනීස් එකකට දීල අවශ්‍ය විදිහට පිළියෙළ කරගත්තේ අපේ ප්‍රසා . රෑ අට , නමය වෙද්දී පරණ පාර බොහොම ජනාකීර්නයි.  පෙරහැර සමගාමීව පැවැත්වෙන  ගුවන්විදුලි සේවය නගරය පුරා යකඩ කටවල් වලින් ගුවන් ගත උනා. පෙරහැර එක්ක සිද්දවෙන මහා පරිමානයේ මාර්ග තදබදය ගැන අත්දැකීමෙන් දන්නා මම මගේ වාහනය ගාලුපාරෙන් ගොඩබිම පැත්තේ තියන අතුරු පාරක නවත්තල පා ගමනින් අපේ එකාගේ කඩේට වාර්තා කරා.

කඩේ නිකම් සැණකෙළියක් වගේ. නානාප්‍රකාර සොමි කතා හැමෝම. බොහොම හොර රහසේ කෙරෙන වැඩක් නිසා කඩේ වීදුරු දොර වහල යකඩ දොරවල් දෙකත් වසා දැමුනා. මධුවිතට පුරුදු එවුන් බහුතරයක් අතරේ නුහුරු නුපුරුදු එවුනුත් කිසිම බයක් හැකක් නැතුව ළඟ නවල උගුරෙන් පහලට යවන තාලයක් තමයි හැම තැනම තිබ්බේ. බොනවා කියල බහුතරයක් වෙලාවට මම කරේ ඕනෑම ජාතියක මධුවිතක් වීදුරුවේ තියාගෙන බඩ පැලෙන්න කාපු එක නිසා මමත් මගේ අරමුණ සාක්ෂාත් කරගන්න වෙහෙසුනා. බොන්නට උවමනා උනත් ගල් බීමේ ආදීනව දන්නා නිසා මම බිව්වේ කව්රුහරි එකෙක්

" මෙන්න මු හොර කොටනවා" 

කියල චෝදනා කරාම විතරයි. ඒ උනත්  මාළු ජාති , මස් ජාති වැල නොකැඩී උගුරෙන් පහලට ධාවනය උනා.

මේ අතරේ අපේ කඩේ අයිතිකාර මිත්‍රයාට වැඩේ අල්ලලා ගිහින්. මු ජීවිතේ පලවෙනි වතාවට තමයි මේ ගල් අරක්කු බොන්නේ. පාර්ටියට වීදුරු සැපයුනේ එක එකාගේ ගෙවල් වලින් බොහොම හොර රහසේ නිසා හැම එකාම අතට අහුවෙච්චි වීදුරු , කෝප්ප, අසෝක වීදුරු , මග් වගේ විවිදාකාර දේවල් තමයි ගෙනත් තිබ්බේ. කොටින්ම කියනවනම් එක එක ජාතියේ වීදුරු වර්ග. අපේ කඩේ එකා පොඩි වීදුරුවකින් පටන් ගත්තු බීම ටිකෙන් ටික මූව දොඩමලු කරා. දැන් මු අපිට මයික් එක දෙන්නෙම නැහැ. කොටින්ම කතාව ඉවරයක් නැහැ.

රෑ දහය එකොළහ වෙද්දී ඇත්තටම බීපු එවුන්ට හොඳට වැදිලා. හොර කොටපු එවුන්ට බොරුවට වෙරි. කඩේ හාදයට සුපිරියටම වෙරි. පුරසාරම් බොහොමයි.

ඒ උඹල කයිය ගහනවා බෝතල් ගණන් බොනවා කියල.. බලහන් උඹල ඔය පොඩි වීදුරුවේ අඩියට යන්තම් වක්කරල බොනකොට මම බොන විදිහ.. ඔන්න බලහන්..

තඩි අසෝක වීදුරුවකින් කට පෙත්තට අරක්කු පුරවගන්න අපේ කඩේ මිත්‍රයා එක උගුරට අරක්කු වීදුරුවම නීට් .........

 ගුඩුස්... ගුඩුස්... ගුඩුස්...

එක බලන් ඉන්න මට වෙරි වෙන්න බින්දුවක් වත් බොන්න ඕන නෑ .. ඒ බීම දැක්කත් වෙරි..

පාර්ටිය නැගල යනවා. ප්‍රසන්නයා බොන්ගෝ එකට තාලෙට තට්ටු කරද්දී කට්ටිය සින්දු කියනවා. ඒ අතරේ කඩේ එකා පුරසාරම් දොඩමින් වීදුරුව පිරෙන්න අරක්කු නීට් වක්කකරගෙන උඩට උස්සල චියර්ස් කියල 

ගුඩුස්.. ගුඩුස්.. ගුඩුස්..

පෙරහැර සමගාමී ගුවන්විදුලි සේවාවට පින්සිදුවෙන්න එලියට කිසිවක් ඇහෙන්නේ නැහැ..

ටික වෙලාවකින් පෙරහැර එන බව එළියේ එකෙක් දැනුම් දුන්නා. අපි එකා දෙන්නා පරණ පාර අද්දරට එකතු උනා.. කසකාරයෝ ටික ගිහින් ගිනිබෝල සෙල්ලම ආව විතරයි කඩේ ඇතුලේ ඉඳන් එලියට ආපු ජීවනයා  ඒ අසුභ ආරංචිය හැමටම සැලකලා .

අන්න අරු වමනේ දානවා බන්..

අපි බොහෝ දෙනෙක් ඒ ආරංචිය බලාගෙන හිටිය උනාට මේ තරම් ඉක්මනට එයි කියල බලාපොරොත්තු උනේ නැහැ.

පෙරහැර පැත්තක දාල කට්ටියම කඩේ ඇතුලට ආපහු එකතු උනා.. අපේ එකා දානව මුළු ස්කාගාර සංස්ථාවම . කඩේ විනාසයි. කඩේ කෙලවරේ මුල්ලේ ඉඳන් දාන වමනේ පාර මුහුදේ රල ගොඩට ඇදෙන ස්වරූපයෙන් කඩේ ප්‍රධාන දොර ළඟටම එන තරම්. දානව කියන්නේ එහෙම වමනේ දැමිල්ලක් . වමනේ දානවට අමතරව විකාර බයිලා කියවිල්ල ඉවරයක් නැහැ. දැන් මොන පෙරහැරක්ද අපිට. පෙරහැර  යනේ කඩේ ඇතුලේ වගේ. අපේ එවුන් කට්ටියක් අපේ එකාව අල්ලන් ඉන්නවා  පුටුවක වාඩි කරලා. අනික් උන් දෙපැත්තට වෙලා බලන් ඉන්නවා. වමනේ දානකොට දෙපැත්තේ ඉන්න උන් අහුවෙන අහුවෙන පුටු මේස වගේ උස ස්ථාන වලට නගිනවා. ප්‍රධාන දොර ආසන්නයේ ඉන්න උන් එලියට  දුවන්නේ මුහුදේ රළට බයේ වෙරළට දුවන පොඩි උන් වගේ. හරියටම සුනාමි අත්දැකීම වගේමයි. ඒ වෙද්දී අපි කව්රුත්  සුනාමි ගැන අහල නැති උනත් කඩේ ඇතුලේ පුංචි සුනාමියක්.

බඩේ තිබ්බ අන්තිම අරක්කු බිංදුවත් දාල ඉවර වෙද්දීත් පෙරහැර ගිහින් ඉවර නැහැ. දැන් අපිට තියන ප්‍රශ්නේ මුව කොහොමද ගෙදර යවන්නේ කියලා. මේ වෙරි මරගාතේ ගෙදර යැව්වොත් කට්ටියගෙම පටි රෝල් වෙනවා ඒකාන්තයි. 

හරි .. මම සුසිල් අයියගේ ගෙදර එක්ක යන්නම්.. හේමික වැඩේට ඉදිරිපත් උනා.

හෙමික ඒ වෙද්දී හිටියේ සිසිල් අයියගේ ගෙදර ඉස්සර කාමරේ නිසා කාටවත් චා නොවී වැඩේ ගොඩින් බේරගන්න තියන එකම ක්‍රමේ එච්චරයි. ඒ වෙද්දී අපේ එකා තනිකර ඩෙඩ් බොඩියක්. හුස්ම වැටෙනවා ඇරෙන්න මෙලෝ සිහි කල්පනාවක් නැහැ. අසෝක වීදුරුව පුරෝලා අරක්කු බීපු එකෙකුගේ හුස්ම වැටෙන එකත් පුදුමයක්.

පෙරහැර නිසා එළිවෙන්න පහ වෙනකම්වත් මගේ වාහනය කඩය තියන තැනට ගේන්න විදිහක් නැහැ. මාර්ග තදබදය ඉවරවෙන්න පෙරහැර දේවාලෙට යනකම්ම ඉන්න වෙනවාමයි. අවසානයේ අපි තීරණය කරා පෙරහරේ අවසන් කොටස ලං වෙද්දී අපේ එකාව අරගෙන පෙරහැර හරහා ගිහින් ඉක්මනින් සරසවි හන්දියෙන් ගාලු පාර පැනලා ස්ටේෂන් එකේ පාලම උඩින් ගිහින් රේල් පාර පනින්න. එතනට මගේ වාහනේ ගෙන්න පුළුවනි අමාරුවෙන් හරි. කඩේ පුරාම වමනේ දාපු නිසා පුටුවේ තියල අල්ලාගෙන ඉන්නවට ඇරෙන්න හාන්සි කරලා තියන්නවත් එක  වර්ග අඟලක් අතෑරලා නැහැ අපේ එකා. හැම වර්ග සෙන්ටිමීටරයකම වමනේ දාලා .

පෙරහැර පරණ පාරෙන් ඉවර උන ගමන් කඩේ වහපු අපි මළමිනියක් උස්සගෙන යන විදිහටම කනමදයව උස්සගෙන මාළු මාර්කට් හන්දියෙන්  සරසවි හන්දියට ඉගිල්ලුනා. අපි පරාදයි. පෙරහරේ ආරම්භය ඒ වෙද්දීත් සරසවි හන්දිය පහු කරලා. පාර තනිකර සෙනග ගොඩක්. අපි නැවතත් අපේ එකාව මළමිනිය වගේම උස්සගෙන මාළු මාර්කට් එක දිහාට ඇවිත් පෙරහැර පස්සෙන් පරණ පාර දිගේ කොළොඹ දිශාවට යන වාහන තදබදය අතරින් ගාලු පැත්තට යන්න පිටත් උනා. වෙලාව අලුයම දෙක , තුන වගේ නිසාත් , පෙරහැර ආලෝක කරන ලයිට් වාහන වලට ආවරණය වෙන නිසාත් හොඳටම දන්නා කෙනෙකුට ඇරෙන්න වෙනත් කෙනෙකුට අපිව අදුනන්න බැහැ . බොහොම වෙර වීරියෙන් අපේ එකාව මිනියක් වගේ උස්සගෙන අපි සෙලාන් හන්දියට ආවා. එත් අපේ අවාසනාවට පෙරහැර ඒ වෙද්දී සෙලාන් හන්දියත් පහු කරලා. ගාලු පාර පනින්න තියන අනිතිම අවස්ථාව රීගල් හන්දිය (දැන් දොළොස්මහේ රෙදි කඩේ තියන හන්දිය ) උනත් එතනටත් ට්‍රයි කරලා වැඩක් නැහැ. පෙරහැර ඒ වෙද්දීත් එතනත් පහු කරලා.

කන පැලෙන්න බීපු , වෙරි මතේ පිස්සු දොඩවන එකෙක් මල මිනියක් වගේ කරෙන් අරගෙන පෙරහැර හරහා ගාලුපාර පනිනවා කියන්නේ පොලිසියෙන් ගුටි කන්න වෙන වැඩක්. අම්බලන්ගොඩ අවට සියලුම පොලිසි වල සාමාජිකයින් ගෙන්වා ආවරණය කරන පෙරහැරට පොලිසියෙන් ලොකු ආරක්ෂාවක් දෙනවා. පෙරහැර පැවැත්වෙන ප්‍රදේශයේ සෑම අඩි දහයකට, විස්සකටම දෙතුන් දෙනෙක් වෙන්න පොලිස් නිලධාරීන් යොදවල තියෙන නිසා අපේ එකා මල මිනියක් වගේ හතරදෙනෙක් කරේ තියාගෙන දෙනෝදාහක් ඉදිරියේ පෙරහැර මැදින් ගාලු පාර පනිනවා කියන්නේ පොලිසියෙන් කිතුල් පොලු පාර කන්න වෙන කටයුත්තක්.

දැන් කරන්නේ මොකක්ද කියල හිතාගන්න බැරුව අපි සියලු දෙනා ටික වෙලාවකට ගල් උනා. අපේ එකා ෂපාන් එකට මල මිනියක් වගේ වමනේ නාගෙන හතර දෙනෙකුගේ කරේ. පෙරහැර ගිහින් අවසන් වෙනකම් ඉන්නවනම් අඩුම පැයක්වත් මූව කරේ තියන් ඉන්න එක පාපයක් උනත් අපිට වෙන කරන්න දෙයක් නැහැ.

මෙන්න බොලේ මෙච්චර වෙලා මල මිනියක් වගේ හිටපු අපේ ගොන් වහන්සේ එක පාරටම වටේටම අමතන්න ගතපි සිහිය ඇවිත්. වටේ පිටේ ඉන්න මිනිස්සු පෙරහැර ගැන අවධානයෙන් හිටපු නිසා මෙතෙක් වෙලා බේබදු නාට්ටිය බලන්න මිනිස්සුන්ට නිනව්වක් තිබුනේ නැහැ. එත් අපේ එකාගේ අමතිල්ල ඇහිලා ටික ටික මිනිස්සු අපි දිහා හැරිලා බලන්න පටන් ගත්ත. පෙරහැර වෙලාව කියන්නේ ඇරියස් වෙච්ච වලි වලට තෝතැන්නක් නිසා පොලිසිය නිතර උන්නේ අවදියෙන්. තව වැඩි වෙලාවක් හිටියොත් පොලිසියට ඇලර්ට් වෙන නිසා අපි තීරණය කරා, මළමිනිය වගේ පන නැතුව උන්නත් කටට විතරක් පන ආපු අපේ එකාව උස්සගෙන පෙරහැර හරහා ගාලුපාර පනින්න. සෙනග අතරින් ඇදිල ගාලු පාර අයිනටම අපි හෙමි හෙමිහිට සේන්දු උනා. දැන් සියල්ල රෙඩී . ගුවන්ගතවෙන්න ධාවන පථයට ඇවිත් නවත්තල සිග්නල් එක ලැබෙනකම් ඉන්න ප්ලේන් එකක් වගේ අපේ එකා හතරදෙනෙකුගේ කරපිටින් ගාලුපාර පන්නන්න අපි ඉව ඇල්ලුවා. ඒ අතරෙත් අපේ එකාගේ වටේටම අමතිල්ල ඉවරයක් නැහැ. 

එකායි .. දෙකායි .. තුනායි .. 

අපි පෙරහැර හරහා අපේ එකාව උස්සගෙන දුවන්න ගත්තා.. පොලිස් විසිල් නාදය එක්ක ..

ඕයි .. ඔහොම නවතිනවා.. ඔහොම නවතිනවා..

කියාගෙන පොලිස් කාරයෝ දෙන්නෙක් එලෝගෙන ආවත් අපේ එවුන් අරූව කරේ තියන් සෙලාන් හන්දියෙන් ගාලුපාර පැනගත්තා .. මිනියක් කරේ තියාගෙන වගේ දුවගෙන එන රොත්ත දැකපු ගමන් පාර එහා පැත්තේ හිටපු මිනිස්සු හිස් ලූ ලූ අත දුවල අපිට පාර ඉඩ සලස්සල දුන්නා . පස්සෙන් එලවාගෙන ආපු පොලිස් මහත්තුරු දෙන්න නිසා අපි වැඩි පරෙස්සමට කියල අපේ එකාවත් කර තියාගෙන මහා පන්සල ගාවටම දුවලයි පස්ස බැලුවේ.

හනික වාහනේ අරන් ආපු මම අපේ රොක් ස්ටාර් වෙච්චි ගල් අරක්කු  මිත්‍රයාවත් අනෙක් එවුන්වත් දමාගෙන සුසිල් අයියගේ ගෙදරට ඉක්මනින් ධාවනය කරේ පන ගැහි ගැහි. මගේ කරුමෙට හරි ආයේ වමනේ පාරක් දැම්මොත් වාහනේ සුද්දකරන්න වෙන්නේ මට..

සුසිල් අයියලාගේ ගෙදරට වාහනේ දාන්න බැහැ . පාර අයිනෙන් නවත්තල අඩි 4 ක විතර පටු පාරකින් මීටර් දහයක් පහළොවක් ගියාම තමයි සුසිල් අයියගේ ගේ තිබ්බේ. වෑන් එකෙන් බස්සල අහල පහල ගෙවල් වලට චාටර් නොවෙන්න හෙමිකයාගේ රූම් එකට අපේ එකාව දාල දොර වහගන්න එක තමයි ඊළඟ ගේම උනේ. බීමතේ  සිංහලෙන් අපිට අමතන අපේ හිතාදර මිත්‍රයා නැවතත් මල මිනියක් වගේ කරට ගන්න ගමන් උස එකෙක් අමාරුවෙන් අපේ එකාගේ කට මිරිකලා අල්ලගත්ත. 


පසුදා අපේ කට්ටියෙන් එක කණ්ඩායමක් අපේ එකාගේ වෙළඳ ස්ථානය සුද්ද පවිත්‍ර කරන්නට යෙදුන අතර තවත් පිරිසක් ප්‍රසන්නයාගේ මාමාගේ වෑන් රථයේ ආසන ගලවා මෙට්ටයක් දමා අපේ එකාව නිදිකරවාගෙන කෑගල්ල බලා ගියේ උගේ වෙළඳ ස්ථානයටම මාසිකව බඩු ගෙනඒමට එදිනට එම වෑන් රථය කලින්ම වෙන්කරවා තිබුණු නිසයි. දුකේදී පිහිටවූ හෙමිකයාගේ කාමරයේද අපේ එකා කබරයා දමා ඇත්තේ අපි සියලුදෙනාම අපේ එකාට බලෙන් අරක්කු පෙවූ බවට එළිවෙනතුරු චෝදනා කරමින්ලු.

නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන මේ සිද්ද්යට උක්ත මාගේ මිත්‍රයා කල කී දේවල් ගැන රස කතා බොහොමයක් මතකයේ ඇති අතර පසු කාලයක ලිවීමට බලාපොරොත්තු වෙමි.. ආරංචියේ හැටියට මේ දිනවල අපේ එකා අසුවී ඇති අලුත්ම රැල්ල බ්ලැක් ලේබල් රැල්ලක් බවට දේශීය ආරංචිමාර්ග පවසයි. 

එදා සුසිල් අයියගේ ගෙදරට හැකි තරම් අවම ශබ්දයෙන් මල මිනියක් වගේ උස්සගෙන යන අපේ එකාගේ කට මිරිකලා අල්ලාගෙන හිටපු එකාගේ අත බලෙන් එහාට කරලා ගමට ඇහෙන්න අපිට කෘතගුණ පළකරපු හැටි අද වගේ මතකයි..

ඒ බොල මොකද Xත්තො මට පෙව්වේ....

පින්තූර ගත්තේ මෙතනින්
http://www.clipartpanda.com/categories/drunk-clipart



Monday, September 14, 2015

පොලිස් කථාවක්




ඔන්න මේ කියන දවස හරියටම මීට අවුරුදු දහයකට, පහළොවකට විතර කලින්  සිංහල අවුරුද්ද දවසට ඉස්සරින්ද දවස.. ඒ කියන්නේ අප්‍රියෙල් 13 දවසක්.. මේ කියන  දවස වෙද්දී ටවුන් වල තියන තදබදය ගැන ඉතින් කියන්න දෙයක් නැතුව ඇතිනේ.. ඔන්න එදා මට මොකක් හරි දෙයක් ගන්න ටවුමට එන්න සිද්ද උනා... වාහන සහ මගී තදබදය දන්නා නිසා මම  ලේසියටත් පහසුවටත් පියාණන් වහන්සේගේ හොන්ඩා  C 50 යෙන් ටවුමට එන්න පිටත් උනා...


ඔන්න මම ගාලු පාරට දාල දැන් ටවුම මැද්දෙන් කාර් බාර්, වෑන් ලොරි, බස්  අස්සෙන් එහෙන් මෙහෙන් දාගෙන ඉදිරියට ඇදීගෙන එන අතරේ කහ ඉරක් ඉදිරියේ සෙනග මාරු වෙන්න නවත්තන්න උනා කියපි.. ඔන්න දෙයියනේ කියල සෙනග මාරුවෙලා ඉවරවෙද්දීම මම අප්පච්චිගේ පිෂ්ටිය රේස් කරල ෆස්ට් එකට දාල යන්න පිටත් උනා විතරයි ෆුට් බයිසිකල් කටුවකින් පාර විරුද්ද පැත්තෙන්  ඉස්සරහට ආපු පොලිස් නිලදරුවෙක් එකපාරටම කෑගහල මාව  නැවැත්තුව .. නීතියට අවනත විය යුතු නිසාත් පොලිස් නිල ඇඳුමට ගරු කල යුතු නිසාත් මමත් ඉතින් දෙයියනේ කියල සැර දාගෙන ඉගිලෙන්න හදපු අප්පච්චිගේ පිෂ්ටිය අයින් කරලා නැවැත්තුව... පාරේ හිටපු සෙනග කන්දරාවයි වාහන ගොඩයි එක්ක පොලිස් මහත්තය ෆුටාර් එකත් තල්ලු කරගෙන ජීවිතෙත් බේරාගෙන ගාලු  පාර පැනල මා  ගාවට එද්දී උන්දැට අවනත වෙන්නේ නැතුව ගියානම් මට හඳට යන්නත් වෙලා තියෙන්න ඇති...


ඔන්න පොලිස් මාමි ආව මා ගාවට... නිරීක්ෂණයේ හැටියට සිතාසියක් බෙදීමට වගේ පොඩි රාජකාරියකට ෆුටාර් එකෙන් යවන ලද පොලිස් මාමි කෙනෙක්.. 
ඇවිත් කියාපි 
ගන්නවා ගන්නවා ලයිසන් එක.. 
ඔන්න ඉතින් මමත් රියදුරු බලපත්‍රය පර්ස් එකෙන් අරන් දුන්න කියමුකෝ....

කහ ඉරේ මගීන්ව හප්පගෙන යන්න හැදුවට තමුන්ට නඩු දාන්න වෙනව...

ඔන්න ඕකලු මම  කරපු වරද...

හත් දෙයියනේ මම  පිෂ්ටිය ෆස්ට් එකට දාද්දීත් කහ ඉරේ පැනපු එවුන් ගෙවල් වලත් යන්න වෙලා.. අවුරුද්ද දවසට ඉස්සරින්ද පොලිස් මාමියෙක් නැති කහ ඉරක් පනින මගීන් පාර පැනල ඉවර වෙනකම්ම නවත්තගෙන හිටියොත් ඉතින් බත් මුලක් එහෙමත් අරගෙන තමයි එන්න වෙන්නේ එතන තියාගෙන ලිහාගෙන කාල එහෙම බලන් ඉන්න..

මෙන්න බොලේ මගේ ලයිසමත් අරගෙන රාලහාමි ෆුටාර්  එකේ නැගල යන්න යනවා.. 

උසාවි දවසක් ගන්න  පොලිසියට එනව ...

ඔන්න මට  මල පැනපි  අසුහාරදාහටම ... හනික පැනපු ගමන් පොලිස් මාමිගේ ෆුටාර් එකේ හැන්ඩ්ල් එකෙන් අල්ලලා නවත්තගත්ත...

ඇයි  මොකද තමුන් මගේ රාජකාරියට භාධා කරන්න හදනවද ??

රාලහාමි අහපි

අනේ නැහැ රාලහාමි ඔබතුමා පොලිසියට යන්න කලින් මගේ ලයිසම ගත්ත බවට ටෙම්පරි ලයිසමක් මට  ලැබිය යුතුයි නේද ?
එහෙම නැතුව ඔබතුමාට මගේ ලයිසම  අත්අඩංගුවට ගන්න බැහැ ..

මා ගාව ටෙම්පරි පොතක් නැහැ.. ටෙම්පරියක් දෙන්න පොලිසියට එනවා..

ඔන්න ඒ වෙද්දී දුකට සැපට ඉන්න  ඕපදූප හොයන්න උපන් හපන් අපේ ටවුමේ ත්‍රිරෝද රථ රියදුරන් ටික සහ හදිසි වැඩ රාජකාරි නැති පාරේ ඉබාගාතේ යන එවුන් වීදි නාට්ටියක් බලන්න වගේ මගෙයි  පොලිස් මාමියිගෙයි වටේ වට වෙලා...

දැන් පොලිස් මාමියි මමයි  දෙන්නම දෙබස් කියන්නේ උස් හඬින් ... ත්‍රිරෝද රථ මාමියෙකුත් පොලිස් මාමිට පක්ෂව මට එරෙහිව ගේම... 

පොලිස් මාමි ට්‍රයි කරන්නෙම පොලිසියට වඩින්න ලයිසම අරගෙන... මම ට්‍රයි කරන්නෙම ලයිසම ගන්න... එත් තවම ලයිසම පොලිස් මාමි අතේ...ත්‍රීරෝද රථ මාමි කියනවා ඒ මහත්තයට රාජකාරිය කරන්න ඉඩ දෙන්නලු...  පොලිස් මාමි එක්කයි ත්‍රීවිල් මාමි එක්කයි දෙන්නම එක්ක එක පාරට පටලාගෙන ඉල්ලගෙන කන්න බැරි  නිසා ත්‍රීවිල් මාමිව මදකට නොසලකා හරින්න මම තීරණය කරා...

මගේ  තර්කය උස් හඬින් ... 
ඔයා මගේ ලයිසන් එක රැගෙන යනවනම් ඔයා මට ටෙම්පරියක් දීල යන්න ඕන... 
ඒ ටෙම්පරියෙන් මට දවස් 14 ක් රිය පදවන්න පුළුවන් නිසා දවස් 14 ඇතුලත මම උසාවි එන්නම්... 
හැබැයි ඔයාට මගේ ලයිසන් එක අරන් යන්න බැහැ ටෙම්පරියක් නොදී...

ඔන්න ඔය අතරේ  ... ටවුමේ රාජකාරියේ නියුතු සාජන් වරයෙකු හා තවත් කොස්තාපල් වරයෙකු එම ස්ථානයට වාර්තා කෙරෙයි... 

මගේ සද්දේ වැඩි නිසා සාජන් කෙලින්ම මගෙන් අහපි 

මොකද තමුන් පොලිසියට රාජකාරියට භාධා කරනවද ??

මම සාර්ජන්ට බොහොම මහත්මා විදිහට කාරණය පැහැදිලි කරා... 
ඔබතුමාලා මගේ රියදුරු බලපත්‍රය අරන් යනවනම් මට ටෙම්පරියක් නිකුත් කල යුතුයි ... 
ඒකයි මේ රටේ නීතිය...
මම වරදක් කරානම් ඒ වරදට දඬුවම විඳින්න මම සුදානම්... 
එත් එහෙම වෙන්නනම් ඔබතුමාලා මෙතැනදී මට දඩ කොලයක් සහ ටෙම්පරියක් දිය යුතුයි... 
උසාවි දාන වරදක්නම් ටෙම්පරියක් නිකුත් කරලා මගේ ලයිසම අරන් යන්න ඔබතුමාලට බලය තියෙනවා.. 
එත් ටෙම්පරියක් දෙන්නේ නැතුව මගේ ලයිසම අරන් යනවනම් ඒක නීත්‍යානුකූල නැහැ...එහෙම නීත්‍යානුකූල නැති දෙයක් ඔබතුමාලා මට කරනවානම් ඒකට මම උසාවියෙන් සාධාරණය ඉල්ලන්න ලැහැස්තියි  

ඔන්න ෆුටාර් එකේ ආපු පොලිස් මාමි මගේ ලයිසම සාර්ජන්  මහත්තයට  දීල කියපි 

මේක ලියල ටෙම්පරියක් දීල මුව යවන්න කියල...

සාර්ජන් මහත්තය ෆුටාර් එකේ ආපු පොලිස් මාමිටම නැවත ලයිසම දීපි 

උඹම ලියපන්... 

ඔන්න දැන් සාර්ජන් මහත්තය එක්ක ආපු කොස්තාපල් තැන හීන් සීරුවේ එතනින් මාරු... මම දැන් දන්නවා සාර්ජන් මේක ලියන්නේ නැහැ කියල... ඔන්න නැවතත් මගේ  වාරේ.. අවස්ථාවෙන් උපරිම  ප්‍රයෝජන ගැනීමේ න්‍යාය....

ඔබතුමා දැන් මගේ කාලය හුඟක් නාස්ති කරලා ඉවරයි ... 
ඒ හින්ද ලියන දෙයක් ඉක්මනට ලියල මට ටෙම්පරිය දෙනවද... 
හෙට සිංහල අවුරුද්ද.. මට ගෙදර වැඩ දාහක් තියෙනවා..


ඔන්න ෆුටාර් එකේ ආපු පොලිස් මාමි සාක්කුවෙන් පොලිස් පොතක් ඇදල අරන් ෆුටාර් එකේම හැන්ඩ්ල් එක උඩ  තියාගෙන ලියන්නයි ලැහැස්තිය... ඒ අතරතුරේ සාර්ජන් මහත්තයත් එතනින්  මාරු...

දැන් ඉන්නේ විදි නාට්ටිය නරඹන පිරිසයි... සහයට ත්‍රීවිල් මාමියි... පොලිස් මාමියි ... මමයි  ...

ඔන්න දැන් මගේ ලයිසමේ විස්තර මොකක්දෝ නෝට් පොතක සටහන් කරන්නයි පොලිස් මාමි ලැහැස්තිය... එතෙක් මෙතෙක් ඉතිහාසයේ මගේ ලයිසම අතට ගත්තු බහුතරයක් පොලිස් මාමිලා නාගත්තු ආකාරයෙන්ම මේ පොලිස් මාමිත් නාන්නයි ලැහැස්තිය... 

වාසගම, මුල් නම, මැද නම තුනෙන් බහුතරයක් පොලිස් මාමිලාට ඉංගිරිසියෙන් කියාවගත හැක්කේ  මගේ මුල් නම පමණයි කියහල්ලකෝ...ඒකත් බොහොම අමාරුවෙන්.. 

ගන්නවා අයිඩෙන්ටිය.. 

රාලහාමි අල්ලයි මානානේ කොක්කු කිව්වලු.. රාලහාමි හදන්නේ මගේ අයිඩෙන්ටිය ඉල්ලගෙන සිංහලෙන් නම ගම ලියල මට වැඩේ දෙන්න.. ඇත්තටම මා ගාව අයිඩෙන්ටිය නොමැත..තිබෙන්නේ ලයිසම පමණි..

අයිඩෙන්ටිය ගෙනාවේ නැහැ රාලහාමි...

නම කියනවා...

මගේ ලයිසම අතේ තියාගෙන මගේ නම අහන්නේ මොකටද මහත්තයෝ... 
ඔය පැහැදිලි ඉංග්‍රීසියෙන් ඕකෙ තියෙන්නේ.. බලල ලියාගන්න.

 මම ගේම දැන්..

විනාඩි පහක් විතර දඟලල මුල් නම හරි ආකාරයෙන් සහ මැද නම සහ වාසගම ජීවිතේට අහලවත් නැති ආකාරයෙන් පොලිස් මාමි නෝට් පොතේ ලියාගත්තු හැටි දැකල මට  අදෝමුකයෙනුත් හිනා... කොම්බුවයි, ගයනුකිත්තයි , යන්සෙයි එකතුවෙලා එන සිංහල වචන ඉංග්‍රීසියෙන් කියවන්න පොලිස් මාමිට කොහොමටවත් බැරි උනා.. පොලිස් මාමි පොතේ ලියාගත්තේ වෙන මොකක්දෝ අන්ද භූත නමක්..

මහා ලොකු රාජකාරියක් කරපු විදිහට ආඩම්බරෙන් බලපු පොලිස් මාමි තනියම කියාගන්නව 

තමුසෙලා පොලිසිය එක්ක සෙල්ලම් කරන්න එනවා නේ... 

ඔන්න දැන් සැරසෙන්නේ මගේ ලිපිනය ලියාගන්නයි...

දෙයියෝ කොච්චර නෝටිද  කියල පොලිස් මාමිට හිතෙන්න ඇති ඒ වෙලාවේ... මම පදිංචි වෙලා ඉන්න පාරේ නමට "ඥ" අකුරු දෙකක් තියෙනවා කිව්වලු..

"ඥ " අකුරු දෙක ලයිසමේ ලියල තියෙන්නේ gngna කියල ... පොලිස් මාමි හත්පොලේ ගාගෙන මොකක්දෝ කුනුහබ්බයක් සිංහලෙන් ලියාගතපි.... පොලිස් මාමි ලියනවා බලන් ඉන්න මම තනියම හිනාවෙනවා දැකපු පොලිස් මාමිගේ මුණ ජම්බු ගෙඩිය වගේ ලැජ්ජාවෙන්  සහ කේන්තියෙන්  රතු වෙලා ...රෑක හරි පාලු මුසල තැනකදී හරි උනානම් පොලිස් මාමි මගේ දත් කඩනවා අනිවාර්යයි.. සූ ගාල සෙනග ඉන්න ටවුමක් මැද්දේ වැඩි වාසිය මටලු...


අප්පච්චිගෙ පිෂ්ටියේ ලියාපංචි අංකය ලියාගත්තු පොලිස් මාමි මගේ ලයිසම මගේ  දුන්න නෙවෙයි විසික් කළා.. 

තමුන්ට සිතාසියක් එයි... එදාට උසාවි එනවකො  මම තමුන්ට නීතිය මොන වගේද කියල පෙන්නනම්.. 

කියාගෙන පොලිස් මාමි ෆුටාර් එකේ නැගල සෙනග අතරින් රූං ගාල නොපෙනී ගියා...

වෙච්චි ලැජ්ජාවටයි කේන්තියටයි  පොලිස් මාමි ගෙදර ගිහින් නැන්දිට තැලුවද නැත්තම් ගේ පිටිපස්සට ගිහින් හොඳටම ඇඩුවද දන්නේ නැතෝ...


ත්‍රීවිල් මාමිටත් දෙකක් අමතල මම  පිෂ්ටිය ස්ටාර්ට් කරගෙන සන්තෝසෙන්  එතනින් එන්න ආවේ  පොලිස් මාමි ඒ ලියාගතපු නමට සහ ලිපිනයට සිතාසි එවන්න තැපැල්පතිට තියා පුද්ගලයින් ලියාපංචි කිරීමේ කොමසාරිස්ටවත්  බැරි බව හොඳින්ම දන්නා හින්දයි...

ඒ සිතාසියනම් මේ වෙනකම්ම ආවෙනම් නැහැ ...සිතාසි එවන්න ඉතින් මම වරදක් කරා  කියලත්  මම හිතන්නේ නැහැ .

මේක කියවන උදවිය මෙව්වා  ආදර්ශෙට අරගෙන පොලිසිය එක්ක ගේම් ඉල්ලලා දත් කඩාගන්නවා එහෙම නෙවෙයි... අපි නිවැරදි උනත් මෙව්වා කරන්න ඕන නාඩි අල්ලල බලල.. ශ්‍රී ලංකා පොලිසිය එක්ක ගේමක් ඉල්ලනවා කියන්නේ 75% විතරම ෆුල් බොඩි මසාජ් එකක් ලැබෙන්න තියන ඉඩකඩ වැඩියි... ඒ හින්ද පරෙස්සමෙන්...නිවරද්දේ වැරදිකාරයො වෙන්නත් එපා... මහජනතාව ඉන්න තැන ගේම ඉල්ලුවත් රාත්‍රී කාල වලදී සහ පාලු මුසල තැන වල පොලිසිය සමග ගේම ඉල්ලන්න ගිහින් දත් නැතුව් බත් කන්න උනොත් ඔන්න මම නැහැ ඕන් ...

පසු සටහන් 

ෆිෆ්ටිය පිෂ්ටිය කියල හඳුන්වන්න යෙදුන හේතුව තමයි මේ..

මම දන්නා කියන කෙනෙකුට මෝටර් බයිසිකල් උන තදින් තිබ්බ උනාට ඌ නිෂ්පාදක සමාගම් එක්ක බද්ද වයිරෙන් උන්නේ.. ලෝකේ කොයි තරම් මොටෝ සයිකල් ගැහුවත් කරපු නරකම වැඩේ තමයි ඒ කාලේ බයිකල් ආවේ C ෆිෆ්ටි, වන් ෆිෆ්ටි , ටු ෆිෆ්ටි , ෆෝ ෆිෆ්ටි වගේ එව්ව .. ප්‍රශ්නෙ උනේ මගේ යාලුවට ෆිෆ්ටි කියල කියන්න බැහැ .. ඌට කියවෙන්නෙම පිෂ්ටි කියල.. ඒ හින්ද අපි ඌ නැති තැන්වල ඔය කියන හැම ෆිෆ්ටියම හැඳින්නුවේ පිෂ්ටි කෑල්ල අගට දාලයි .. ඌ ඉන්න තැන්වලනම් අපි ෆිෆ්ටි වත් පිෂ්ටිවත් දෙකම කිව්වේ බොහොම අඩුවෙන්... මොකද මොටෝ සයිකල් පදිද්දීත් , සාමාන්‍ය ජීවිතේදීත් ඌ මොලේ බොහොම අඩුවෙන් පාවිච්චි කරපු එකෙක්... කොටින්ම කිව්වොත් මොලේ අතේ... පිෂ්ටි කෑල්ල ඇහුනොත් ජීවිතෙත් විස්වාස නැහැ..

අවුරුදු ගණනාවක් කරදරයක් නැතුව පැදපු අප්පච්චිගේ මොටෝ සයිකලේට වෙච්චි දේ මෙන්න...."ගිය නොගිය ට්‍රිප් එක"


පින්තූර ගත්තේ මෙතනින් 
http://www.cliparthut.com/funny-police-clipart.html