Saturday, August 5, 2023

විස්සට තිහට පිචන් වෙන මිනිස්සු..

            


මේ කතාව අවුරුදු විස්සක් විතර පරණ කතාවක්.. අපිට තිබ්බ පුංචි කොමියුනිකේෂන් එකක්.. බිස්නස් එක වැඩිපුරම කරගෙන ගියේ මගේ තාත්ත.. තාත්ත ඒ වෙද්දී හිටියේ පෙන්ෂන් ගිහිල්ල නිසා තාත්තාගේ කාලය වැඩිපුරම ගතවුනේ ෂොප් එකේ.. එවකට ෂොප් එකේ වැඩ කරන්න ගැහැණු ළමයි දෙන්නෙක් හිටියත් තාත්තත් දවල් කාලයේ  පුළුවන් හැම වෙලාවෙන්මත්, හවසට ගෑණු ළමයි දෙන්න ඕෆ් වෙලගියාම කඩේ වහනකලුත් බිස්නස් එකට වෙහෙසුනා. අපේ තාත්ත ලේසියට පහසුවට මනුස්සයෙකුගේ වරදක් දකින මනුස්සයෙක් නෙවෙයි.. බිස්නස් එකේදිත් තාත්ත කඩේට එන කිසිම ගනුදෙනු කාරයෙක්ව ලේසියට අවිශ්වාස කරේ නෑ.. අපේ තාත්ත කොයිතරම් අවංක මනුස්සයෙක්ද කියනවනම්, අපේ ෂොප් එකේ ටෙෆෝන් බොක්ස් එක ඇතුලේ අමතක වෙලා දාලා ගිය රුපියල් හතලිස් දාහක සල්ලි මිටියකුත් අයිතිකාරයා හොයලා භාරදුන්නු මනුස්සයෙක්.. සල්ලි නැතිවුන මනුස්සයා අපේ තාත්තා අහනකල්ම දැනගෙන ඉදලා තිබුනේ නෑ එයාගේ සල්ලි දාලා ගියේ අපේ ෂොප් එකේ ටෙලිෆෝන් බොක්ස් එක ඇතුලේ කියල.. ආයෙම කඩේට ආපු වෙලාවේ අහනකල්ම ඒ මනුස්සයා හිතලා තියෙන්නෙම මෝටර් සයිකලේ යද්දී සාක්කුවෙන් වැටෙන්න ඇති කියල.. එවකට ටෙලිෆෝන් කෝල් බිස්නස් එක ටිකක් විතර සරුවට ගිය කාලයක්.. එක වතාවක් කව්දෝ අසමජ්ජාති එකෙක් කව්දෝ නමගිය චන්ඩිකුට අපේ ටෙලිෆෝන් බොක්ස් එකෙන් මවු අමතලා ගමේ පාතාලේ කඩේට  ඇවිත් චන්ඩි කතාත් කියවලා ගිහින් තිබුනා අපේ වැඩකරන ළමයින්ට ..අපි ඉතින් කරන්නේ විනාඩියට රුපියල් හය ගානේ ටෙලිෆෝන් කෝල් විකුණන එක නිසා අපිට ඉතින් එව්වා ලොකුවට අදාල නෑ.. 

අපේ කඩේ ටෙලිෆෝන් එක සැහෙන සේවාවක් ඉටු කළා අවට ජනතාවට එයාලගේ සමාජ සම්භාන්ධතාවයන් පවත්වාගෙන යන්න.. සුනාමි එද්දී ෂොප් එකේ තිබ්බේ සන්ටෙල් ෆෝන් එකක්.. සුනාමිය එක්ක බහුතරයක් දුරකථන අක්‍රීය වෙද්දී ෂොප් එකේ සන්ටෙල් එක අඛණ්ඩව එයාගේ සේවාව සැපයුවා පණිවුඩ එහා මෙහා ගෙනියන්න.. සුනාමි ඇවිත් දවස් කීපයක් යනකල් අපේ ෂොප් එකෙන් දීපු එකුදු දුරකථන අමතුමකටවත් අපි මුදල් අයකරේ නෑ.. මම ඒක ලිව්වේ ලොකු කමකට නෙවෙයි.. මිනිස්සුන්ට අවශ්‍ය වෙන වෙලාවේ , මිනිස්සු අමාරුවේ වැටුන වෙලාවේ අපිට දුරකථන ඇමතුමකින් ලැබෙන සල්ලි වැදගත් වුනේ නෑ කියල කියන්න.. ඒක මේ ලියන්න යන සිද්දියට වක්‍රාකාරයෙන්  අදාලයි..

දුරකථන ඇමතුම් ලබාදෙන්නේ යන්ත්‍රයක් හරහා.. ඒ යන්ත්‍රයෙන් කරන්නේ දුරකථන ඇමතුම ලබාගන්න කාලය වෙනුවෙන් අන්තිම තත්පරයට ගණන් හදලා රිසිට් පතක් නිකුත් කිරීමයි.. ඒ ගණන් මිනුම් ඉතාමත් නිවැරදියි.. අපිට ටෙලිෆෝන් ලයින් තුනක් තිබුන.. දෙකක් දුරකථන ඇමතුම් දෙන්න සහ අනෙක ෆැක්ස් පහසුකම වෙනුවෙන්.. අපි දුරකථන ඇමතුම් යන්ත්‍රය හෙවත් ඩිජිකොම් යන්ත්‍ර සක්‍රීය කරලා තිබුනේ එලියට යන ඇමතුම් සඳහා පමණයි.. කොමියුනිකේෂන් එකකට කෝල් එන්නේ බොහොම කලාතුරකින් නිසා පැමිණෙන ඇමතුම් සඳහා මුදල් අයකරන ක්‍රමවේදයක් ලංකාවේ කොහෙවත් තිබුනේ නෑ.. අපිට එහෙමයි.. එන කෝල් එකක් ආවත් ඒ කෙටිම පණිවුඩයක් සඳහා සහ ෆැක්ස් සඳහා  පමණයි.


මේ උක්තව කියැවෙන පුද්ගලයින් අපේ ගමට එන්නේ ඉඩමක් අරගෙන ගෙයක් හදන්න. එයාල  ඉඩම අරගෙන ගේ හදන්න පටන් ගත්ත ආපු අලුතම.. ඒ ගෙදර පුතා හෙවත් වැඩිමහල් දරුවා රටේ නමගිය ඉහල  තනතුරක් දරපු වෘත්තිකයෙක්.. එයා දවල් දවසේ වෘත්තිකයෙක් විදිහට රැකියාවට යන නිසා ගේ හදන වැඩ එක්ක යෙදුනේ එයාගේ තාත්ත.. ඒ කාලේ ජංගම දුකථන සුලබ නැති නිසා ඒ දෙපල දවල් දවස ඇතුලත කරන සාකච්චා කරේ අපේ ෂොප් එකේ දුරකථනය හරහා.. ඔහොම කාලයක් ගේ හදන වැඩේ කරගෙන යද්දී අපේ තාත්ත ෂොප් එකේ ඉන්න වෙලාවක තමයි පොඩි අමුත්තක් දැනිලා තියෙන්නේ.. මේ පුද්ගලයාගේ පියාණන් අපේ ෂොප් එකේ දුරකථන කුටියට වැදිලා දොර වහගන්නවා පළමුව.. ඊළඟට දුරකථන ඇමතුම ගද්දි ගහන අංක ටිකත් අපිට යන්ත්‍රයෙන් පෙන්නනවා.. මේ දුරකථන ඇමතුමේ විශේෂත්වය තමයි හරියටම තත්පර 55 -59 අතර මේ ඇමතුම විසන්දි වීම... ඇමතුම විසන්දි වූ සැනින් යන්ත්‍රය විසින් රුපියල් හයක බිල්පතක් එලියට ලබාදෙනවා.. අපේ තාත්තට ටික දවසකින් වැටහෙනවා මේ කියන පුද්ගලයා ගන්න දුරකථන ඇමතුම තත්පර 55-59 කාලය ඇතුලත විසන්දි උනත් එයාලාගේ කෝල් එක ඉවර වෙන්නේ විනාඩි දහයක් විස්සක් ගිහින් කියල.. දවසක් අපේ තාත්ත වැඩේ මොනිටර් කරලා කියමුකෝ.. 

අපේ ෂොප් එකෙන් ඇමතුම ගන්න පුද්ගලයා එයාගේ ඇමතුම තත්පර 55 පහු වෙද්දීම කට් කරන්නේ බොක්ස් එක ඇතුලේ තියන දුරකතනයෙන්.. හැබැයි රිසීවර් එක තියන්නේ නෑ.. ටෙලිෆෝන් එකේ කෝල් එක කට් වෙන බොත්තම අතින් ඔබගෙන මේ පුද්ගලයා තනියම බොරුවට සංවාදයේ යෙදෙනවා.. ඒ අතරේ එයයිගේ පුතණ්ඩියා එයයිගේ රාජකාරි දුරකතනයෙන් අපේ ෂොප් එකේ අංකයට දුරකථන ඇමතුමක් ගන්නවා.. ඒ එන දුරකථන ඇමතුම රිංග් වෙනකොටම අර වයසක මනුස්සයා ඇඟිල්ලෙන් ඔබගෙන ඉන්න බොත්තමෙන් ඇඟිල්ල ගන්නවා.. එතකොට තාත්තගෙයි පුතාගෙයි කෝල් එක නැවත සම්භන්ධ වෙනවා.. ඊට පස්සේ එයාලා කැමති වෙලාවක් කතාව කරගෙන ගිහිං එලියට ආවාම යන්ත්‍රයෙන් ඇවිල්ලා තියන බිල රුපියල් හයයි... ඔන්න තාත්තගෙයි පුතාගෙයි කයිරාටික ගේම් එක.. මේ ඇමතුම ගන්න හැම වෙලාවේම මැෂින් එකෙන් බිල ආපු ගමන්ම කෝල් එකක් ඇවිත් එක රිංග් එකෙන් කට්වෙන වෙන සද්දේ අපේ තාත්තට ඇහිලා තිබුනත් මේ වැඩේ දිහා හොඳින් නිරීක්ෂණය කරනකල් මේ දෙන්නගේ වංචාව ගැන අවභෝධයක් ලැබිලා තිබුනේ නෑ.. එයින් පස්සෙත් මේ පුද්ගලයින් දෙදෙනා මේ සෙල්ලම දිගටම කරගෙන යන්න උත්සහ කලත් අපේ තාත්තා සහ කඩේ වැඩ කරපු ළමයි දෙන්නත් පුරුදුවුනා ඩිජිකොම් මැෂින් එකෙන් බිල ආපු ගමන් යන්ත්‍රය ඇතුලෙන් අක්‍රීය කරන්න.. ඩිජිකොම් යන්ත්‍රයේ ස්විචය ඕෆ් කරාම ඒ තාත්තටත් , පුතාටත් තවදුරටත් අපිව අන්දලා කෝල් ගන්න සෙල්ලම කරගෙන යන්න බෑ ... වංචාවක් විදිහට කරගෙන යන්නේ නැතුව incoming කෝල් එකක් ගත්තට කමක් නැද්ද කියලා ඇහුවනම් අපි ඕකට මුදල් අයකරන්නේ නෑ... සුනාමි දවස්වල කෝල් දාහක් දෙදාහක් නොමිලේ දීපු අපිට ඉන්කමින් කෝල් එකක් නොමිලේ දෙන එක මහා කජ්ජක් නෙවෙයි.. මොකද කියනවනම් ඉන්කමින් කෝල් එකකට අපිට මුදල් අය වෙන්නේ නෑ..


රටේ පිළිගත් වෘත්තිකයන් වෙලත් රුපියල් දහයට විස්සට මිනිස්සු තමුන්ගේ ආත්මය පාවාදෙන්නේ ඇයිද කියන ප්‍රශ්නයට මා ළඟ උත්තරයක් නෑ..  ව්‍යාපාරයක් කරන මිනිස්සු විදිහට රුපියල් විස්සකින් තිහකින් අපිට කොටි ප්‍රකෝටිපතියන් වෙන්න බෑ..  සතියේ හැම දවසකම ඒ තාත්තා ඒ පුතාට කෝල් ගත්තා වගේම සමහර දවස්වලට කෝල් දෙක තුන ගත්තා ගේ හදන වැඩ ගැන කතා කරන්න.. රුපියල් විස්සක් තිහක් වංචාවෙන් ඉතුරු කරගෙන මනුස්සයෙකුට කොටි ප්‍රකොටිපතියෙක් වෙන්නත් බෑ... ඒත් මනුස්සයෙක් ලෝකෙට  මවාගෙන ඉන්න වැදගත් චරිතය එක තත්පරෙන් කුඩු කරලා දාන්න රුපියල් විස්සක තිහක වංචාවකට පුළුවනි... අපේ තාත්තට ඕක මොනිටර් වෙද්දීත් ඒ තාත්තයි පුතයි මාස පහ හයක් අපේ ෂොප් එක හරහා ඔය සෙල්ලම කරා කියලයි අපේ තාත්තගේ අනුමානය.. ලෝකෙට කොයිතරම් ලොක්කෙක් උනත් මටත්, අපේ තාත්තටත්, එවකට කඩේ වැඩකරපු ගෑණු ළමයි දෙන්නටත්, මේ තාත්තයි පුතයි කියන්නේ පට්ට වංචනිකයන් දෙන්නෙක්.

මම මේක ලිව්වේ මේ ඊයේ පෙරේදාවක දැකපු ෆේස්බුක් පොස්ට් එකක් නිසා.. මම දන්නා මිත්‍රයෙක් යම් පුද්ගලයෙක් ගැන වර්ණනාවක් ලියලා තිබුනා ඒ කිව්ව පුද්ගලයාගේ වෘත්තියමය තත්වය සහ පුද්ගලික සම්න්හන්ධතා ගැන... මට ඒක කියෙව්වම එකට ලියන්න ඕනවුන උත්තරේ එතන ලිව්වනම් ඒක ඒ පුද්ගලයාගේ පුද්ගලිකත්වයට හරි නැති නිසා මම ඉතින් මේක වෙනම ලිව්වා... දැන් ඉතින් එයාලා ගෙවල් දොරවල් හදලා පදිංචි වෙලත් ඉවරයි.. හැබැයි ඉතින් මගේ කන් දෙකට ඇහිලා තියෙනවා ඔය කිව්ව වෘත්තිකයා වැට මායිමක ප්‍රශ්නයකට අල්ලපු ගෙදර මනුස්සයාට අමු තිත්ත කුණුහරුපෙන් අමතනවා ප්‍රසිද්දියේ... මිනිස්සු ගැන එළියෙන් පෙන්වන ස්වරුපය ගැන නිගමනයකට එළඹිලා ඒ මිනිස්සු ගැන රෙකමදෝරු ලියන එක අවධානම් වැඩක් .. එකෙන් වෙන්නේ අර පුද්ගලයින්ගේ ඇතුලාන්තය දන්න මිනිස්සු ඉස්සරහා තමුන් හෑල්ලු වෙන එක... 




24 comments:

  1. වැඩිහරියක් ප්‍රසිද්ධ මිනිස්සු ලෝකෙට පෙන්නන්නෙ වෙස් මුහුණක්
    https://www.youtube.com/shorts/72KlPAiYbQ4

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත..

      Delete
    2. අවංකව කිව්වොත් අපි හැමෝගෙම ඇතුළාන්තය - පෙනෙන්න/ පෙන්වන දේයි වෙනස් නේද. අරවගේ ඉහළ අය ප්‍රතිරූප ගැන වැඩිය හිතන නිසා ඇතුලාන්තය හා පේන්න තියෙන දේ අතර... ලොකු වෙනසක් තියෙනව

      Delete
    3. ඔව්.. අපි කවුරුත් අපේ කලු පැත්ත සමාජයට පෙන්වන්න කැමති නෑ.. සිදුම සුදු මිනිස්සුත් කලුම කලු මිනිස්සුත් මේ ලෝකෙ නෑ...

      Delete
    4. බස්සා ගේ පිළිතුර තමා වාමන්ශිකයෝ කියන්නත්. බිලියනපතියෝ හොරු කියල. 😀

      Delete
  2. ගොඩයා ෆේස්බුක් ගෲප් වල ලියනවද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කීප වතාවක් ලිව්ව... ඒත් ගෲප්වල ඉන්න ඇඩ්මින්ලාගේ ලොකු සීන් නිසා ගෲප්වලට ලියන එක නැවැත්තුව... උන්ගෙන් පෝස්ට් එකක් පබ්ලිශ් කරවගන්නවට වඩා ලේසියෙන් පොතක් ප්‍රින්ට් කරවගන්න එක ලෙසියි... අපි යමක් ලියලා ඒක පබ්ලිශ් කරගන්න ගෲප් ඇඩ්මින්ලා පස්සෙ යන එක තේරුමක් නෑ...

      Delete
  3. යකෝ විනාඩියකින් කෝල් එක කට් වෙලා බිල ආවම ඉතුරු විනාඩි නමේ අර බුවා බොක්ස් එක අස්සට වෙලා ස්වයං වින්දනේ කරනවද කියලවත් හෙවුවෙ නැද්ද ඔච්චරකල්.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ශොප් එක පට්ට බිසී බං.. ෆොටෝ කොපි මැශින් දෙකක ෆොටෝ කොපි ගහන අතරේ තමයි කෝල් ගන්න අය එන්නෙ.. වැඩ කරන ලමයි බොහෝ වෙලාවට ටයිප් සෙටින් එක්ක බිසී... කොම්පියුටර් තුනක පොඩි නෙට් කැෆේ එකකුත් තිබ්බ.. කඩේ වැඩ කරන අය වෙනත් වැඩ එක්ක බිසී ඉනාම කෝල් බොක්ස් එක ඇතුලට යන අය ගැන ලොකු අවදානයක් නෑ.. එලියට ආවාම තමයි ඩිජිකොම් එකෙන් බිල කඩලා දෙන්නෙ.. ඒකයි ඕක ලොකු කාලයක් කරගෙන ගියේ ඒ දෙන්න.

      Delete
  4. //සුනාමි ඇවිත් දවස් කීපයක් යනකල් අපේ ෂොප් එකෙන් දීපු එකුදු දුරකථන අමතුමකටවත් අපි මුදල් අයකරේ නෑ// ඔබේ පියාට මගේ ගෞරයව 🙏.

    //රටේ පිළිගත් වෘත්තිකයන් වෙලත් රුපියල් දහයට විස්සට මිනිස්සු තමුන්ගේ ආත්මය පාවාදෙන්නේ ඇයිද කියන ප්‍රශ්නයට මා ළඟ උත්තරයක් නෑ.// මට හිතෙන්නෙ මෙච්චරයි ගොඩය... අපි කොළ පුරවන අධ්‍යාපනයේ ඉහළට යන්න තැත් කරනවා ඇරෙන්න ethics and values වගේ දේවල් ගැන සැලකිලිමත් නෑ කියලයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... අධ්‍යාපණය කියන්නෙ ලංකාවෙ කෙරෙන එකමද කියන එක ප්‍රශ්ණයක් නමියා... අපිට කොතැන හරි වැරදිලා..

      Delete
  5. https://dumindasanchare.blogspot.com/2023/08/blog-post.html

    ReplyDelete
  6. දහයක් විස්සක් මොකක්ද රුපියලටත් ගහ බැන ගන්නේ...

    ReplyDelete
    Replies
    1. වංචාව තියෙන්නෙ ජානවල සමහරුන්ගෙ..

      Delete
  7. මිල මුදලට ඇතැමුන් අද ගිජු වෙනවා
    බල තල ගැන නිතරම හිස ඉදිමෙනවා
    කල දුටු කල හොද ගතිගුන වලලනවා
    පල දෙන විටදි පව බියවී වැලපෙනවා....

    මිනිස්සු විවිධයිනේ ....

    ReplyDelete
  8. ඔය කරපු වැඩේ ethical ප්‍රශ්නයක් තියෙන්නේ. මුදල කීයද නෙවෙයි. හැබැයි incoming ගන්න තහනමක් නැත්නම් වැඩේ වංචාවක් කියලම කියන්නත් බෑ. දැන් අර increment එක ගන්න office එකේ නැවතිලා හිටපු වැඩෙත් ඕන නම් කෙනෙකුට වැරදියි කියලා කියන්න පුළුවන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නත් පුලුවනි... ඒත් ඉතිං incoming call එකක් නොමිලේ දෙන එක එයාලගෙ අයිතියක් නෙවෙයි... ඒක අපේ තීරණයක්... Incoming call එකක් නොමිලේ දෙන හැම විනාඩියටම අපි යම් පිරිවැයක් දරනව... විදුලි බිල, සේවක වැටුප් අනිවාර්යයෙන්ම ඒ incoming call එකට එකතු වෙනව... ඒ සියල්ලම නොසලකා හැරලා කෝල් එක නොමිලේ දෙන්න අපිට පුලුවන්... ඒකටත් වංචාව කරන එක තමා කැත..

      Delete
  9. මම හොඳට දැකපු දෙයක් තමයි මුදල් ගොඩක් තියනවා කියල මම හිතන යාලුවෝ සතේට බලනව. මුදලක් වැඩිය නැති යාලුවෝ මටත් එක්ක ගෙවන්න හදනව.

    ReplyDelete
    Replies
    1. ඒක තමා අපි හැමදාමත් දුප්පත්..😂

      Delete
  10. ලව් කරන කාලේ ඕක මමයි මදුත් කරා.මම හිටියෙ ලොකු අම්මලාගෙ ගෙදරනෙ මම මදූට කෝල් කරනව එයැයි ඒක කට් කරල මට ගන්නව.අහිංංසක හොර වැඩ ඒව.

    ReplyDelete