Saturday, October 28, 2023

ඩඩාගෙ සර්ජරිය සහ නැන්දාගේ රෙස්ටුරන්ට් එක..

 අපිල පස්ට බිසී වෙලා පහුගිය කාලෙ බ්ලොග් පෝස්ටෙකක්වත් ලියාගන්න බැරි තැනට වැටුන. අපේ ඩ්‍රැකියා මොකක්දෝ සෙනසුරාදා රෑ දහයක් ගැන කියොව කියවා බුකියේ පෝස්ට් දානවා දැක්කා උනාට සෙනසුරාදා රෑ දහය කියන්නෙ සිහියෙන් ඉන්න වෙලාවක් නෙවෙයි නෙව. ඉතිං සතිය පුරා පොරොන්දු උනත් සෙනසුරාදා රෑ දහය වෙද්දි ඒ පොරොන්දු සියල්ලම එතෙක් මෙතෙක් දුන්නො බොරු පොරොන්දු ගොඩට එකතු වෙන එක වලක්වන්න බෑ..


මං තුමා හදිසියේ පොඩි නිවාඩුවකට ලංකාවට මංගැච්චුව නිසා බුකියෙවත් පෝස්ටෙකක් දාගන්න බැරි තැනට කරුණු කාරනා යෙදුන. ලංකාවට ගියාම පාවිච්චි කරන මොයන්න බියන්නයි ටෙල් බිබික්කමට පින්සිද්ද වෙන්න බුකියෙ පෝස්ට් දෙක තුනකට වැඩිය ලෝර්ඩ් උනේම නෑ කොයිතරං ට්‍රයි කරත්.. ලෝර්ඩ් වෙන්න දාලා ආයෙම පැයකින් හමාරකින් බැලුවත් ඒක කැරකි කැරකී තියෙනවා ඇරුනාම මෙලෝ බිබික්කමක් බලාගන්න බෑ.. දවස් දෙක තුනකින් බැලුවත් බුකියෙ පෝස්ට් බැලිලි බොරු.. ඉතිං බ්ලොග් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. ගූගලයගෙන් ඇඩ්‍රස් එකක් හෙව්වත් අහලින් පහලින් අහගෙන ඒ තැනට යනකලුත් ගූගලයා කැරකෙනවා විතරයි.. මොයන්නයි බියන්නයි තියන බිබික්කමේ මහ එවුන්ගෙ මාතෲ තුමියන්ටනම් අම්බානෙකට හෙම්බිරිස්සාව හැදෙන්න ඇති මං තුමා ලංකාවෙන් එනකල්..

ඉතිං කියාංකො මං ලංකාවට හදිසියේ ආවෙ ඇයි කියලා.. අපේ ඩඩා කාලෙක හිටං පුංචි පහේ අසනීපෙකින් පෙලුනා කියමුකෝ.. ඒ අසනීපෙට එකම සහ අවසන් විසඳුම උනේ පොඩි පහේ ශල්‍යකර්මයක් උනාට ඩඩාව ඒකට තල්ලු කරගන්න ලංකාවෙ හිටපු එකෙකුටවත් බැරිවුනා.. බැරිවුනාම කියලා කිව්වට එකෙකුටවත් සහ  ඩඩාටත් ඒ කිව්ව ශල්‍යකර්මය කරගන්න උවමනාවක් තිබ්බෙ නෑ... අවසානයේ ඩඩා අමාරුවෙන් විඳවනවා කියලා දන්න නිසාම මංතුමා අවුරුද්ද මැද්දෙ නිවාඩුවක් අනුමත කරගෙන ලංකාවට ආව... දවස් දෙක තුනක් ඉස්පිරිතාලවලම කරක් ගහලා අන්තිමේ ඩඩාගෙ ශල්‍යකර්මය කරගන්න අපිලට දිනයක් ලැබුන... ඒ පහුගිය සතියෙ දවසක.. 

අපේ බාල නැන්ද කිව්වාම එයා තමයි තාත්තගෙ පවුලෙ බඩ පිස්සි.. දැං එයයිටත් වයස අවුරුදු වලින්ම හැට ගානක්. එයැයිගෙ විශේශත්වය තමයි එයයිගෙ ගෙදර තිබ්බ රෙස්ටුරන්ට් එක.. රෙස්ටුරන්ට් එකක් කිව්වට ඒක සල්ලි අයකරන රෙස්ටුරන්ට් එකක්ම නෙවෙයි.. ඒක දැන්සැලක් කිව්වොත් තමයි නිවැරදි.. කොයිවෙලේ බැලුවත් නැන්දගෙ ගෙදරින් ඕනෑම කෙනෙකුට කෑමට ‍යමක් ලැබෙනවාමයි.. මං තුමා උනත් ලංකාවට ගියාම හැමදාම එන කෝල්වලින් අනිවාර්යයෙන්ම එන එක තමා නැන්දාගෙ කෝල් එක.. කන්න එන්න , කන්න එන්න කියලා වද දෙනවා ඉවරයක් නෑ කියහංකො.. කොස් දෙල් වගේම නොයේක් ගමේ කෑම තමා නැන්දගෙ කුස්සියේ නිතරම ඉදුනෙ... කැකුලු හාලෙ බතට ගමේ කෑම තුන හතරක් සහ මාලු ව්‍යාංජනයක් නැන්දගෙ ගෙදර නිරන්තරයෙන්ම කෑමට රෙඩි. 

නැන්දගෙ ෆේවරිට් අනිවාර්‍යම එක තමා පොල් කේක්.. නැන්දට කවුරු හරි පොල් කේක් ගෙනැත් දෙනවද එහෙමත් නැත්තං නැන්දා හැමදාම පොල් කේක් හදනවද කියලා මමනම් දන්නෙ නෑ... බත් කන්න බෑ කීවාම පොල් කේක් කෑල්ලක් හරි නැන්දලාගෙ ගෙදරින් කන්න වෙනවාමයි... නැන්දගෙ පොල් කේක් දැක්කාම මටනම් මතක් වෙන්නෙම ත්‍රීවීල් මල්ලිලාගෙ සිග්නල් ලයිට් එක... කවදා දාපු එකක්ද කියලා දන්නෙ නැති උනාට ත්‍රීවීල් මල්ලිලාගෙ සිග්නල් ලයිටුත් හැමදාම නිවි නිවී පත්තු වෙනවා වගේම නැන්දගෙ ගෙදරත් පොල් කේක් හැමදාමත් තිබ්බ... කවදා හදපුවද කියලා අපි දන්නෙ නෑ.. අපි පොල් කේක් හදනවා දැකලත් නෑ... අහල පහල කඩවල පොල් කේක් විකුනන්නෙත් නෑ.... අපේ නංගිගෙ පොඩිම එකාගෙ වයස අවුරුදු පහයි... නැන්දගෙ පොල් කේක් කොයිතරම් ජනප්‍රියද කියනවනම් අවුරුදු පහේ එකාටත් දැං පොල් කේක් පේන්න බෑ... චූටි ආච්චිලහ යන්න කතා කරාම උගේ මූන හපුටු වෙනවා පොල් කේක් කන්න වෙනවා රජෝ කියලා මතක් වෙලා... 

ඕං ඩඩාගෙ සර්ජරියට යන ජනතාව තුන්දෙනයි... මං තුමයි, පේශන්ට් අපේ
ඩඩායි, සාත්තුවට අපේ පොඩි නැන්දයි.. පොඩි බාප්පා හවස් අතේ අස්පිරිතාලෙට ඒමට නියැමිතයි... ඉස්පිරිතාලෙන් කියපු විදිහට අපි හවස දෙක වෙද්දි ඇඩ්මිට් උනා කියමුකෝ.. ඕං අපිට කාමරයකුත් ලැබුන... අපේ නැන්දාගෙ ගෙදරට අල්ලපු ගෙදර මල්ලිත් ඒ ඉස්පිරිතාලෙ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියමුකෝ.. ඒ
මල්ලිත් ඉතිං කාමරේට ඇවිත් අපේ ඩඩාගෙ රිපෝස්ට් එහෙමත් බලලා අපි එක්කම චැටක් දාගෙන ඉද්දි තමා මට මීටර් වෙන්නෙ නැන්දා රෙදි දාන කබඩ් එකට ඔලුව ඔබාගෙන මොකක්දෝ ව්‍යාපාරයක් කියලා... මං තුමා හෙමීට ඔලුව දාලා බැලින්නම් නැන්දා ඉස්පිරිතාලෙටත් රෙස්ටුරන්ට් එක ගෙනැල්ලා කොයහංකෝ.. ඩඩා ඇඩ්මිට් කරලා රූම් එකට එද්දි නැන්ද ගෙනාපු බඩු මලු හතාටක් මාත් කර තිගාගෙන කාමරේට ගෙනාවා උනාට ඒ
සා ලොකු කෑම සාගරයක් ගෙදරින් ගෙනෙයි කියලා මංනං හීනෙකින්වත් හිතුවෙ නෑ... මේ බැලින්නම් නැන්දා ඇන්දුම් කබඩ් එකේ ලාච්චුවේ ලෑල්ල උඩ තියාගෙන මෙඩිකල් ස්ටුඩන්ට් මල්ලිට බත් එකක් බඳිනව කියහංකෝ... ඒ මල්ලිත් ඉතිං ටික වෙලාවක් සතුටු සාමිචියේ යෙදීලා ඉඳලා නැන්ද දීපු කෑම එකත් අරගෙන එයාගෙ බෝඩිමට ගියා... ඕං එයින් පස්සෙ මංතුමාට නැන්දගෙන් සුපුරුදු කරදරේ... බත් කන්න... බත් කන්න.. බත් කන්න... මාත් ඉතිං ඉස්පිරිතාලෙයි කියලා දෙපාරක් හිතුවෙ නෑ ඩඩාගෙ සර්ජරිය අමතක කරලා දාලා හෙන බත් කොතක් වලඳලා දැම්ම... මං කකා ඉන්නකොටම තමා පලවෙනි දොස්තර තැන කාමරේට එන්නෙ... කාමරේ ඉතිං ඉස්පිරිතාල කාමරයක් සුවඳ නෑ... ඒක රෙස්ටුරන්ට් සුවඳයි... ඩඩාටත් එදා රෑට ඩිනර් එක හොස්පිටල් එකෙන් දෙන නිසා හොස්පිටල් කිචන් එකෙනුත් ඉඳිආප්ප ට්‍රේ එකක් ගෙනාවා කියහංකෝ ව්‍යාංජන කීපයක් එක්ක.. මංනං ඒ පැත්තවත් බැලුවෙ නෑ...

ඕං අපේ බාප්පත් හොස්පිට්ල් දිහාවට එනවා කියන ආරංචියට මංතුමා වාහනේ අරං එලියට ගියා.. බාප්ප දැං වයස නිසා ඩ්‍රයිව් කරන්නෙ නෑ... බාප්ප කියන්නෙ කන්නාඩි තුන දිහා තුන්පාරක් බලලා එලෙව්වත් වාහනේ හතරමුල්ල බේරගන්න අමාරු නිසා එයැයි ඩ්‍රයිව් කරන්නෙ නෑ කියල.. ඒකනම් ටිකක් දුරට ඇත්ත ඉතිං... මං තුමා හොස්පිටල් එකට හැරෙන හංදියේ කලුවරේ වාහනේ නවත්තගෙන මනෝ පාරක් දාගෙන ඉද්දි මේං යකෝ බාප්පා පයින් විදිනවා විදිල්ලක් හොස්පිටල් එක දෙබෑකරගෙන ගිහිං නවතින ගානට... ඒක දැකලා මට මතක්වුනේ එයැයි තරුණ කාලෙ සමුද්‍රදේවියෙන් බැහැලා පයින් ගෙදර අරින ඇරිල්ල.. වයස හැත්තෑව ප්ලස් උනත් ගමනේ ඇරිල්ලනම් අයර්ටන් සෙන්න කැලේ... මං හනික වාහනේ ස්ටාර්ට් කරගෙන හෝර්න් එක ගහලා නවත්තනොගන්න මං ගියර් එක දාන්නත් කලින් බාප්ප තාත්තගෙ රූම් එකේ...

බාප්පා කාමරේට ආපු ගමන් ඕං නැන්දා පටං ගන්නව..

පුංචි අයියෙ... බත් ටිකක් කමු...

පිස්සු දැං කන්න බෑ.. මං කාල ආවෙ.. අනික
මේ ඉස්පිරිතාලෙ ... පිස්සු නැතුව හිටහං...

එහෙම කිව්වට නැන්ද සැලෙයිද... ඒකෙ ප්‍රතිපලයක් විදිහට ඕං ටිකකින් බැලින්නම් අයියයි නංගියි දෙන්නම රවුම් මේසෙට වාඩිවෙලා ගජරාමෙට කනවා කියහංකෝ... ඕං එතකොටත් ආයෙම දොස්තර එනව... වෙනසක් නෑ... ලෙඩා ඇඳේ... ලෙඩාට සාත්තුවට ඉන්න එවුන් වටවෙලා කනව... දොස්තර කල්පනා කරන්න ඇති මං ඉන්නෙ ඉස්පිරිතාලෙද එහෙමත් නැත්තං දන්සැලකද කියල... 

රෑ නවයහමාර වගේ වෙද්දි ඩඩාව සර්ජරියට ගන්නව... රූම් එක තිබ්බෙ නවවෙනි තට්ටුවේ... සර්ජරිය දෙවැනි තට්ටුවේ.. අර මල්ලියි නංගියිට කට කැඩෙනකල් කිව්වත් රූම් එකට වෙලා හිටු කියලා මොන... උන් අහයි එව්ව... තමුන්ගෙ අයියව සර්ජරියට අරං යන රෝද පුටුව පස්සෙන් උන් දෙන්නත් සර්ජරියේ දොර ලඟටම ආව.. ඒ ඇවිත් ගියාද... නෑ කියහංකෝ... සර්ජරිය ඉවරවෙලා ඩඩාව සර්ජරි රූම් එකෙන් එලියට ගේනක්ල්ම උන්නැහේලා දෙන්න අර ශල්‍යාගාරය පාමුල තියෙන පුටුව උඩ නිදි වැරුව.. ඒ සහෝදරකම දකිද්දිනම් මංතුමා ටිකක් ඉමෝර්ශනල්... එහෙව් සහෝදරයෝ හැමෝටම ලැබෙන්නෙ නෑ.. ඒ අතින් අපේ ඩඩා පස්ට ලකී...

ඩඩාගෙ සර්ජරිය සක්සස් නිසා කාටවත් ලොකු පීඩනයක් තිබ්බෙ නෑ... එලිවෙන්න හතරට විතර දොස්තර මහත්තයෙක් තාත්තගෙ සුවදුක් බලන්න කාමරේට එනකොටත් අර ඉස්සෙල්ලා වගේම තත්වය වෙනසක් නෑ... උදේ හතරටත් බාප්ප බත් පිඟානක් එක්ක ආයෙම දොස්තරට මාට්ටු... වෙන මුකුත් නිසා නෙවෙයි... නැන්දගෙ කරදරේ නිසා... ඒ සා කරදර කරද්දි ඉතිං නොකා පුලුවන්ද...

පහුවදා වෙද්දි ඩඩාට බොහෝදුරට සුවයි.. ඒ වගේම නැන්දගෙ කෑම ස්ටොක් එකේ උයපු කෑම ඉවරයි.. ඒත් පොල් කේක් ස්ටොක් එකක් තිබ්බා කියලා දන්නෙ ලොකු නැන්දගෙ දුව ගෙනාපු බත් කෑවයින් පස්සෙ... අතුරුපසට නැන්දගෙන් පොල් කේක්... ලොකු නැන්දගෙ දුව සමන්තා අක්ක ඉන්නෙ කොලඹ නිසා දෙවැනි දවසෙ කෑම එයාගෙන්... එයා ගෙනාපු රෙස්ටුරන්ට් එකත් නැන්දගෙ එකට දෙවැනි නෑ.. නැන්දගෙ එක මගුල් ගෙදරක් වගේනම් සමන්තා අක්ක ගෙනාපු එක දානෙ ගෙදරක් කියලා හිතාගන්නකෝ... තාතගෙ සර්ජරිය කොයිතරම් සක්සස්ද කියනවනම් තාත්තව බලන්න ආපු අපේ ලොකු නංගි ගෙදර ගියේ දුවටයි හස්බන්ටයිත් බත් ටිකක් කවාගෙන.. අතුරුපසට පොල් කේකුත් ලැබුනා කෙල්ලට... බැරිම තැන දොස්තරලා දුරදිග කල්පනා කරලා එදාම හවස ඩඩාගෙ ටිකට් කැපුව... ඩඩාව තව දවස් දෙක තුනක් ඉස්පිරිතාලෙ තියාගත්තනම් "කාමර අංක හත " "වෝර්ඩ් නයින් රෙස්ටුරන්ට්"   කියලා වෙනස් කරන්න වෙයි කියලා භය හිතෙන්න ඇති එයාලට... එක දවසින් ටිකට් කපපු නිසා නැන්දගෙ මලු ඇතුලේ තව කෑම ජාති කීයක් තිබුනද කියලා බලාගන්න බැරිවුනා... 

Thursday, August 24, 2023

සුවඳ සබන් ඇඟ ගාලා

 

සබන් කිව්වාම එක්තරා කාලෙක මට ඕනෑ එකක් සබන් සන්ලයිට් සහ බාර් සබන් ඇරුනාම... සන්ලයිට් කියන්නෙ රෙදි හෝදන්න ගාන සබන් ජාතියක් කියලා මම දන්නෙ ටීවී එකේ රේඩියෝ එකේ නිතර කියැවෙන නිසා... බාර් සබනුත් ඒ ජාතියේ රෙදි හෝදන එකක් කියලා මවු දෙමවුපියන් සූටි එකා සන්දියේ කියලා දීලා තියෙන නිසා එව්වත් ඉතිං අඟේ මූනෙ ගාන්න මං උත්සහ කරලා නෑ... ඉස්කෝලෙ යන කාලෙ ඉතිං මවු දෙමාපියන් ගෙනැල්ලා තියන සබන් කැටයක් ගානවා ඇරුනාම ඔව්වයෙ සුවඳ ගැන ලස්සන වෙන එව්ව ගැන මං කවදාවත් හිතලා නෑ... 

අපේ වත්තෙ ලිඳක් තිබ්බ නිසා ඒ කාලෙ අපි වතුර පාවිච්චි කරේ ලිඳෙන්... ගේ හදපු මුල් කාලෙ ඉඳන්ම ටැප් වතුර තිබ්බ උනාට අපි ලිඳ පාවිච්චි කරේ ඇයිද කියන්න අවස්ථා සම්භන්ධයක් ගොඩ නගාගන්න මට කල්පනාවක් නෑ ගේ හදලා පදිංචි වෙද්දි මට අවුරුදු හයක් වගේ නිසා... අපේ ගෙදර ටැප් වතුර තිබුනා කියලා මම ඉන්තේරුවෙන්ම කියන්නෙ අපේ ගෙදර ඇලුමීනියම්  වතුර කලයක් තිබුනට ඒකෙන් වතුර ගන්නවා මට උපන්තේකට මතක නෑ... ගෙදර ටැප් වතුර ගැන කියන්න වටේ ගියාට මට කියන්න ඕනවුනේ ගෙදර ලිඳේ නානකොට ගාපු සබන් ගැන... සති අන්තෙට තාත්ත මාව ලක්ස් ගාලා නාවලා ලිඳ අයිනෙ ගොඩපර ගහ මුල තිබ්බ ගල උඩින් තියනවා ... ඊට පස්සෙ තාත්ත එක්කො රෙදි හෝදනවා නැතිනම් නැත්තං ලොකු නංගිව නාවනව... මම ඉතිං නාපු සීතල යන්න ගල උඩ වාඩිවෙලා අව්වෙ ඉන්නකොට මගේ කොන්ඩෙ වේලිලා හුලඟට වැනෙන්න ගන්නව... ආං එතකොට මට හිතෙන්නෙම මගේ කොන්ඩෙ ගාමිණී ෆොන්සේකගෙ කොන්ඩෙ වගේමයි කියල... හිනා යනවා නේද බඩ අල්ල්ගෙන... ඒ සිතිවිල්ල මතක් වෙද්දි මටත් බඩාල්ලගෙන හිනා යනව මේ දැනුත්... 


සබන් ගැන කියද්දි ඊලඟට මතක් වෙන්නෙ මගේ ඉංදියානු ගමන.. ඉංදියාවෙ ලංකාවෙ සබන්වලට ප්ස්ට ඉල්ලුමක් තියෙනවා කිව්ව නිසා මමත් ලස් කෑලි දහයක් විතර බෑග් එකේ දාගෙන ගියා ගෙදරටත් නොකියාම ... ඉංදියා යන්න ඉස්සරින්දා මාව බලන්න ආපු අපේ චමිල වරුසවිතානයාගෙ මවු පියසීලි ආන්ටියි බතලයාගෙ මවු සුජාතා ආන්ටියි ගෙනැල්ලා දීපු තුවායයි ලස් කෑලි කීපයයිත් එහෙමම බෑග් එකේ දාගෙන ගියා ඉංදියන් කාරයෙකුට බර ගානකට විකුනන්න හිතාගෙන ... මං හිතන් ගියේ ලස් කෑලි දහය ලක්සෙකට දෙකකට විකුනලා ඒ සල්ලිවලින් හැමෝටම තෑගි ගේන්න... ඉංදියාවට ගිහිං බැලුවාම එහේ පෙට්ටි කඩවලට් ලස් තියෙනවා කියහංකෝ... හිටපු කාලෙට එකක් දෙකක් පාවිච්චි කරලා ඉතුරුවා ආයෙම මං ලංකාවට අරං ආව ඉතිං.. වෙන මක් කරන්නද... එහේ එවුන්ට ලංකාවෙන් ගෙනාව කියලා උන්ගේ කඩවලත් තියෙන ලස් කෑලි දෙන්න බෑනේ..

ගෙදරින් යැපීලා ඉවරවෙලා රස්සාවක් කරන්න කොලඹ යන්න එන්න ගත්තාම මට ගෙදර අය පාවිච්චි කරන සබන් හරි ගියේ නෑ...  උදේ හවා දූවිලි නාගෙන රුහුණු කුමාරියේ සමුද්‍රදේවියේ මේල් එකේ ගාලු කුමාරියේ කොලඹ යන එන මට රූප සුන්දරියන් ගාන සබන් ගාලා නාලා හරි යන්නෙ නෑ වගේ දැනෙන්න ගත්තා කියමුකෝ ... සන්ලයිට් සල් බාර් ඇරුනාම තියෙන අනික් සියලූම සබන් ජාති ට්‍රයි කරගෙන යද්දි හිත නැවතුනේ එයා ලඟ... හැමෝම කැමති නොවුනට ඉතිං හිත ගිය තැන මාලිගාවනේ... මගේ හිත නැවතුනේම ලයිෆ් බෝයි ගාව... එතැන හිටං ලංකාවෙන් පිටවෙන දවස වෙනකල් මම ගෑවෙ ලයිෆ් බෝයි... 

ඔයින් මෙයින් ලංකාවෙන් පිටවෙලා ඉද්දී ආයෙම සබන් ප්‍රශ්ණෙ ආව කියහංකො... රස්සාව විදිහට ෆීල්ඩ් සර්විස් ටෙක් කෙනෙක් උනාම දවසෙම ඉන්නෙ වාහනේ... දූවිලි වදිනවා තෙල් මජන් අත ගෑවෙනවා ඉවරයක් නෑ... ඉතිං එව්වා යවන්න සබන් කෑල්ලක් හොයාගනවා කියන්නේ  ලේසි වැඩක් නෙවෙයි... ගංගා බෝඩිමේ ඉද්දිත්, අසෝක බෝඩිමේ ඉද්දිත් සබන් කෑල්ල බේරගන්න එක තමා අමාරුම වැඩේ... සබන් කෑල්ලකට මම මලපෙරේත නෑ... ඒත් භාගෙට නාලා ඉවර වෙලා සබන් හොයද්දි සබන් කෑල්ල උරච්චි වෙන්නම ගාලා නේද යකෝ කියලා දකිද්දි එන කේන්තිය කියන්න වචන නෑ... භාගෙට නාලා ඉද්දි සබන් ගේන්න කඩේ යන්න විදිහකුත් නෑ ... අකමැති වැඩක් උනාට සබන් කෑල්ල කාමරේට ගේනවා ඇරුනාම වෙන විකල්පයක් නෑ කාමරවල ජීවත් වෙද්දි... සබන් කෑල්ලක්, ටූත් පේස්ට් එකක්, ශැම්පු එකක් මලාට ගේන්නෙ නැතුව අනුන්ගේ එව්වයෙන්ම යැපෙන ලංකාවෙ උන්දැලා බලාගන්න ඕනෙනම් පිටරටකට ඇවිත් කාමරයක් කුලියට ගන්න... එතකොට තමයි තේරෙන්නෙ මල පෙරේතයන් අතරේ ජීවත් වෙන්නනම් මල පෙරේතයෙක් වෙන්නම වෙනවා කියලා... එහෙම වෙන්න බැරිනම් වෙන්නේ තමුන්ගේ අන්ඩර් වෙයාර් එකත් වෙන එකෙක් ඇඳන් යනවා බලලා අන්ඩර් වෙයාර් එකත් නැතුව රස්සාවට යන්න ...

පිටරට ජීවිතේත් රටින් රටට සබන් විවිධයි... සබන් වෙනුවට බොඩි වොශ් පාවිච්චි කරන්නත් පුලුවන් තමයි... ඒත් බොඩිවොශ් දාලා නෑවාම ඇඟේ ලිස්සන ගතිය යවන්න අමතර පැය දෙකක්වත් නාන්න ඕන... එව්වා ඉතිං කරදර වැඩ... එව්ව ගාන නලු නිලියන් සබන් යවන්න කොච්චර වෙලා නානවාද කියලා මට අවභෝදයක් නෑ... රට ජීවිතේත් සබන් අටෝරාසියක් පාවිච්චි කරලා අවසානයේ හිත නැවතුනේ කොළ පාට ලස්සනම ලස්සන අයිරිශ් ස්ප්‍රින්ග් කියන සබන් කැටේ ලඟ ... එක පාරක් ගාලා නෑවා කියන්නෙ කුනු දූවිලි කොහේ ගියාද නෑ... අයිරිශ් ස්ප්‍රින්ග් හම්බුනත් හරි මට ආයෙ සබන් ප්‍රශ්ණ නෑ... දවසක් රට වටේ කරක් ගහලා ඇවිල්ලා නාන එක නාන්න එපැයි සුපිරියටම... අයිරිෂ් ස්ප්‍රින්ග් කියන්නේ මගේ  සබන් ලොවේ රජ කිරුල කිව්වොත් තමයි හරි..

ඕං එක්තරා දවසක අපේ කොම්පැණියෙ අලුත් ලොකේශන් එකක් විවෘත කරන්නෙ හෙටනම් අද අපේ මේන්ටනන්ස් ඔෆිස් එකේ මල ජංජාලයයි... ට්‍රෙඩ්මිල් එකක ඩ්‍රයිව් බෙල්ට් එකක් කී ගාලා කෑ ගහනවා ගාලා කියලා බ්‍රාන්ච් මැනේජර්ගෙන් කොම්ප්ලේන්... ලොකේශන් එක මගේ එකක් නිසා ෆයිනල් චෙකප් එක මගේ... දවස් දෙකකට කලින් මම ෆයිනල් චෙක්ප් එක කරද්දි මට් මේ ලෙඩේ මාට්ටු... මමත් දන්න සෙල්ලම් ඔක්කොම දාලා බෙල්ට් ඇජස් කරලා ඩ්‍රයි ලූබ් ස්ප්‍රේ කරලා සද්දෙ නවත්තන්න උත්සහා කරා ඒත් සද්දෙ නවතින්නෙම නෑ... අවසානයේ කොනක් වෙන්නම ගලවගෙන ගලවගෙන ගිහිං එකින් එක චෙක් කරලා බැලුවාම ඇජස්ටර් එකේ අලයින්මන්ට් එක අවුල්... අවුල එන්නෙ ෆැක්ටරි එකෙන් වැරදි අලයින්මන්ට් එකකට බ්‍රැකට් වෙල්ඩින් කරපු නිසා ... ඒත් ඕපනින් එකට දවස් දෙකක් තියෙද්දි ඒ වගේ ලෙඩකට ක්ශණික ප්‍රතිකර්ම කරන්න බෑ...  එකම විසඳුම තාවකාලිකව සද්දෙ නවත්තලා ඕපනින් එකෙන් පස්සෙ ට්‍රෙඩ් එක රිටර්න් / රිප්ලේස්මන්ට් එකට යන එක... මාත් ඉතිං දන්න සෙල්ලම් ඔක්කොම දාලා සද්දෙ අවම කරලා ආවට ඕපනින් එකට කලින් දවසේ බ්‍රාන්ච් මැනේජර්ගෙන් මගේ බොසාට කොම්ප්ලේන්...

ලොකේශන් එක මගේ ඒරියා එකේ එකක් නිසා බොසාගෙන් කැඳවීම කෙලින්ම මට...

ආං අලුත් ක්ලබ් එකේ ට්‍රෙඩ් එකක බෙල්ට් එකක් කෑගහනවලු... අද වැඩ ඔක්කොම පස්සට දාලා ඒක හදලා දාපන් අදම...

( බොසා කිව්වට ලංකාවෙ වගේ ලොකු සීන් නෑ... සර් බර් නෑ... ගැස්සිලි පිප්පිලි නෑ... ලංකාවෙ බොසාලට තියන අසනීප එකක්වත් නෑ.. කනවනම් කන්නෙත් බොනවානම් බොන්නෙත් එකටම තමා ... )

මට ඕක පෙරේදා අහුවුනා... හදන්න බැලුවා... ඇජස්ටර් එකේ බ්‍රැකට් එක වෙල්ඩ් වෙලා තියෙන්නෙ ඇදට... ඒකයි සද්දෙ එන්නෙ... රිප්ලේස් කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ...

කොම්පැණියට ඉන්ෆෝම් කරාද...

ඔව්... ඔක්කොම විස්තර ඊමේල් කරා ... උඹව CC කරලා ඇත්තෙ...

සොරි... ඕපනින් එකට බිසී නිසා මට ඊමේල් ගොඩාක් මගෑරිලා තියෙන්නෙ... අපිට මොකක්ම හරි කරන්න වෙනව...

කරන්න දෙයක් නෑ... ඇජස්ටර් එක ලූස් කරොත් ස්ලිප් වෙනව... තද කරොත් සද්දෙ එනව... ඩ්‍රයි ලූබ් ගහනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ... ඩ්‍රයි ලූබ් ගැහුවත් වේලුන ගමන් සද්දේ එනවා විනාඩි පහක් දහයක් යද්දී..

ඩූඩ්... ඕපනින් එක දවසෙම ඕක කෑගහන එක අවුල්... මොකක්ම හරි කරන්න වෙනව...

බ්‍රේකර් එකෙන් ඕෆ් කරලා දාමු...

බෑ බෑ... ඒක හරි නෑ ඕපන් කරන දවසෙම එකක් අවුට් ඔෆ් සර්විස් යන එක...

මට විකල්පයක් එන්නෙ නෑ ඔලුවට... මමත් බොසා දිහා බලාන ඉන්නව... බොසා මම දිහා බලාන ඉන්නව... 

උඹ දන්නවද... ඉස්සරම කාලෙ අපිට ඩ්‍රයි ලූබ් තිබ්බෙ නෑ.. බෙල්ට් සද්ද කරද්දි අපි කරේ සබන් කෑල්ලක් අරගෙන බෙල්ට් එකේ ගාපු එක... එතකොට සද්දෙ නැති වෙනව... කඩවල තියෙනවා අයිරිශ් ස්ප්‍රින්ග් කියලා චීප්ම සබන් ජාතියක්... ඒක තමා මේ රටේ තියන චීප්ම බාලම සබන් ජාතිය... අන්න එයින් කෑල්ලක් අරගෙන ගිහිං බෙල්ට් එකේ ගාපං...

අයිරිශ් ස්ප්‍රින්ග්... ඒ මොන සබන් ජාතියන්ද... මමනම් අහලවත් දැකලාවත් නෑ... මාත් ඉතිං මලාට අයිරිශ් ස්ප්‍රින්ග් නොදන්න ගානට ටෝක දෙනව... මටත් ඉතිං සැකන්ඩ් වෙන්න බෑනෙ ...

හිටහංකෝ මම උඹට පෙන්නන්න... බොසා එයැයිගෙ කොම්පීතරේ ගූග්ල් කරලා මට අයිරිශ් ස්ප්‍රින්ග් සබන් කැටේ පෙන්නනව...

ආහ් මේකද... හරි මම හොයලා අරගෙන යන්නම්... මාත් ඉතිං අයිරිශ් ස්ප්‍රින්ග් දැක්කෙ එදාම වගේ ගානට ෆෝන්නෙකෙන් ෆොටෝ එකකුත් ගහගෙන ඔෆිස් එකෙන් එන්න එනව...

අවුරුදු ගානක් ගාපු සබන් කෑල්ල බාලම එක කියලා බාල්දු කරන්න බෑනෙ යාලු... මම ඉතිං පහුවදා ඕපනින් එක වෙලාවට විනාඩියකට කලින් අදාල ට්‍රෙඩ්මිල් එකේ හෑන්ඩ් රේල් එක උඩින් තුවායක් වනලා ටීවී එකේ ස්පෝර්ට් චැනල් එකකුත් දාලා කොන්සෝල් එකේ පෝස් බටන් එක ඔබලා ෆීල්ඩ් එකට ‍යනව... එතකොට ඉතිං ඒක දකින ඕනෑම එකෙක් හිතන්නෙ කවුරුහරි එකෙක් මේකෙ දුව දුවා ඉඳලා දොට්ට පිලට යන්න ගිහිං කියල... එතකොට කවුරුත් ඒ ට්‍රෙඩ්මිල් එක පාවිච්චි කරන්න එන්නෙ නෑ... පාවිච්චි නොකරනතාක් බෙල්ට් එක සද්ද කරන්නෙත් නෑ... සද්දෙ නොඑනතාක් මට කොම්ප්ලේන් එන්නෙ නෑ... 

මිකැනික්ස් ගැන අවුරුදු විසි හයක පලපුරුද්දෙන් මම දන්නවා අයිරිශ් ස්ප්‍රින්ග් ගාලා ඒකෙ සද්දෙ නැවත්තන්න බෑ... හිතට අල්ලපු එකම සබන් කැටේට බාලම ලාභම එක කිව්වම හිතට අමාරුයි තමා... ඒත් ලාභම බාලම කියලා කිව්වට මටනම් ඒකෙ බාල ගතියක් අදටත් දැනෙන්නෙ නෑ... හැමදාම උදේට බොසා සම්මුඛ වෙන නිසා බොසාට මගේ ලඟ අයිරිශ් ස්ප්‍රින්ග් සුවද ඇවිත් ඉරිසියාවට කියන්න ඇති කියලත් මගේ යටි හිත කියනවා ...  හත් අවුරුද්දක් නාලවත් සබන් යවන්න බැරි සබන් ජාති හොඳම සබන් වෙලා ඇඟේ තියන කුණු දූවිලි හොඳටම යන  සබන් ජාතිය බාලම එක  වෙන්නේ ඇයිද කියන්න මම දන්නේ නෑ ... අයිරිෂ් ස්ප්‍රින්ග් ගාලා නාලා ඔලුව වෙලුනාම දැනුත්ම මට ගොඩපර ගහ ළඟ ගල උඩ ඉන්න ෆීලින් එක දැනෙනව .. ඒත්  මගේ කොන්ඩෙ ගාමිණී ෆොන්සේකාගේ කොන්ඩෙ වගේ කියලා හිතෙන්නේ නෑ... මොකද කියනවනම් එහෙම හිතෙන්න තරම් කොණ්ඩයක් දැන් මගේ ඔලුවේ නෑ...

Sunday, August 13, 2023

මිනිස්සු උනාම Business Minded වෙන්න ඕන...

     


       මංතුමා සූටි එකා සන්දියේ ඉස්කෝලෙ ගියේ දේවානන්ද විද්‍යාලෙට.. ඒ කාලෙ ධර්මාශෝකෙ හෝඩිය පංතිය තිබ්බෙ නෑ.. ධර්මාශෝකෙට යන්න ආසා ඕනෑම කෙනෙකුට ඒකට යන්නනම් යන්න තිබ්බෙ ක්‍රම දෙකයි.. එකක් පහ වසර එන්ට්‍රන්ස් එග්සෑම් එක... දෙවැනි එක හය වසර් ශිශ්ත්වය... නෑ නෑ වැරදුනේ නෑ... දැං කාලෙ ශිශ්ත්වය පහ වසරෙ තිබට ඒ කාලෙ ශිශ්ත්ව විභාගෙ තිබ්බෙ හය වසරෙදි... 1977 ඉපදිච්ච අපි තමා හය වසර ශිශ්ත්වයේ අවසාන වින්දිතයන් සැට් එක... 

       දේවානන්දෙ ඉද්දි මගේ පංතිය තමයි ඒ F පංතිය... එෆ් අකුරේ වචනයක් කියලා ගත්තොත් F අකුරේ හැම වචනාර්ථයකටම කිසීම අසාධාරණයක් නොකරපු සැට් එකක් හිටපු පංතියක් තමයි එෆ් එක... ඒ පංතියේ කොයිතරම් කීකරු සැට් එකක් හිටියාද කියනවනම්, දවසට එකෙක් දෙන්නෙක් අනිවාර්යයෙන්ම වේවැල් පාර කනවාමයි... ලේසියට වේවැල් පාර නොකාපු කීපදෙනාගෙන් මාත් එකෙක්... එන්ට්‍රන්ස් එග්සෑම් එකෙන් ධර්මාශෝකෙට යන්න එෆ් පංතියෙන් සිලෙක්ට් උනේ පස්දෙනෙක් විතරමයි... හැමදාම වගේ පංතියේ 1,2,3,4,5 ස්ථාන ගතපු එවුන් පස්දෙනාම එන්ට්‍රන්ස් එග්සෑම් එකෙන් ධර්මාශෝකෙට එන්න තේරුනා... ඒ නිසා, දේවානන්ද විද්‍යාලයේ පහ වසරේ හොඳම පංතිය විදිහට විරුදාවලිය ලබලා තිබුන F පංතියේ තවදුරටත් ඉන්න තිබුන වාසනාව අපි පස්දෙනාට අහිමිවුනා... 

              එෆ් පංතියට වැටුන ගුරුවරු බොහෝ දෙනෙක් මිලිටරි ග්‍රේඩ් උදවිය කිව්වොත් තමයි වඩා නිවැරදි... බහුතරයක් පංතියට ආවෙ ආයුද සන්නද්දවමයි... ආයුද ඉතිං බොහෝ වෙලාවට අඩි තුන හතරක් දිග වේවැලක් හෝ කෙවිටක්... ප්‍රයිමරියෙ විදුහල්පති සිරිසේන සරුත් නිතර නිතර එෆ් පංතියට ඉන්ස්පෙක්ශන් ආවා උනාට කවදාවත් කෙවිටක් වේවැලක් ගෙනාවෙ නෑ... ඒ අතිං සිරිසේන සර් දෙයියෙක් කියලා කියන්න කලබල වෙන්න එපා... මොකද කියනවම කෙවිට නැති උනාට සිරිසේන සර් ආවෙ හිස් අතින් නෙවෙයි... සර් අතේ තිබ්බෙ දෙකට නවපු මේන් වයර් එකක්... ඒකෙ රස කොච්චරද කියනවනම්, එක වතාවක් අලුගුත්තේරු වැඩක් කරපු පේලියකටම තලන වෙලාවක මටත් ඒ බෝනස් දිණුම ඇදුනා... අපෙ අප්පෝ ඒකෙ රහ... ඒ පාරවල් දෙක මතක් වෙද්දි අදත් පස්ස පැත්ත ඉක්කා ගහනවා වගේ... 

         චිත්‍ර කරපු චන්ද්‍රදාස සරුත් කෙවිට එක්ක සෑහෙන්න එක්ස්පීරියන්ස් ගුරුවරයෙක්... චිත්‍ර කියන්නෙ හැම එකාම මොකක් හරි කුරුටු ගාලා ශේප් වෙන විශයක් උනාට ඒ අයිංසක පීරියඩ් එකෙත් හතක් අටක් අනිවාර්යයෙන්ම වේවැල් පාර කෑවා කියමුකෝ... චිත්‍රයක් අඳින්න කිව්වත් ඒකත් අඳින්නෙ නැතුව ඉඳලා ගුටිකන දහයක් පහලොවක් ඉන්න පංතියක් ගැන නිකමට හිතලා බලන්න්කෝ...ආං ඒ ජාතියේ එකක් තමා එෆ් පංතිය... ඒකෙ ඉඳලා එලියට ආවා කියන්නෙ ඉතිං ඩිග්‍රියක් ගැහුවා වගේ තමා...


             චිත්‍ර සර් එක්ක ගත්තාම ඊට වඩා ඇග්‍රසිව්ලි ස්ට්‍රයික් කරපු සර් කෙනෙක් හිටිය අපිට.. ඒ තමා බුද්ධාගම සර්... විශයන් විදිහට ගත්තාම චිත්‍ර සහ බුද්ධාගම කියන්නෙ පහ වසර විශය ධාරාවේ තිබ්බ අයිංසකම විශයන් දෙක උනාට එෆ් පංතියේ එවුන් ඒ දෙකේදීත් නැව් ගානට වේවැල්පාර කෑව... ඉතිං ගණිතය , ඉංග්‍රීසි, විද්‍යාව වගේ විශයන් ගැන කවර කුමන කතාද... ඉංග්‍රීසි මිස් පංතියට ඇවිල්ලා ඉගැන්නුවේ ඉංග්‍රීසිද ග්‍රීක්ද කියලා එෆ් එකේ තුන්කාලක් අදටත් දන්නෙ නෑ... 

          කියන්න අමතකවුනා ... දේවානන්දෙ මිශ්‍ර පාසලක් උනාට ඒ කාලෙ තිබ්බෙ ගෑනු පිරිමි පංති වෙන වෙනම... ඒකෙ තේරුම තමයි ඇම්ඩන්ලා හතලිස් පහක් පනහක් එකම පංතියේ කියන එක ... වේවැලයි , කෙවිටයි අඛන්ඩව සේවය සැලසුවාට ඒ දෙකටම වැඩ වැඩි උනා බොහෝ වෙලාවට  රිලීෆ් වැඩ බලන්න ආවෙ  සිරිසේන සර්ගෙ මේන් වයර් එක... 


          බුද්ධාගම සර්ගෙ විශය ඉගැන්වීම එයාටම අනන්‍යයි... සර් ඉස්සෙල්ලම කරේ එදාට නියමිත පාඩම ඉගැන්වීම... පීරියඩ් එකෙන් භාගයක් වගේ යද්දි සර් පාඩම කරලා ඉවර කරනව... එහෙම බැලුවාම මරු කියලා හිතෙනවා උනාට පාඩම එතැනින් ඉවර නෑ... ඊට පස්සෙ තමයි සර් වේවැල අරගෙන වෝර්ඩ් රවුන්ඩ් යන්න පටන් ගන්නෙ... කරපු පාඩමෙන් ප්‍රශ්ණයක් බෝර්ඩ් එකේ ලියන සර් ඒකෙ උත්තර අහගෙන පංතිය පුරා යනව කියහංකෝ... සර් නම්කරන කෙනා ප්‍රශ්ණෙට උත්තර සැපයිය යුතුයි... ඒත් ප්‍රසිද්ධියේ නෙවෙයි... උත්තරේ දෙන්න ඕන සර්ගෙ කණට කරලයි... උත්තරේ හරිනම් සරුත් සතුටින් උත්තරේ දුන්නු කෙනත් සතුටින්... උත්තරේ වැරදිනම් සර් සහ වේවැල පමණක් සතුටින්... වැරදි උත්තරේ දීපු එකා අම්බානෙකට දුකෙන්...  එක ප්‍රශ්ණයක් අතුලේ විස්සක් තිහක් කනවා කියන එක ඉතිං ඉන්සූරන්ස් එකට වඩා සුවර්...


          ඕං දවසක් පාඩම ( මතක විදිහට) නිබ්බුත පද... වෙලාව හතරවෙනි පීරියඩ් එක... වෙනත් විදිහකට කියනවනම් ඉන්ටවල් එකට කලින් පීරියඩ් එක... නිබ්බුත පද ටික පීරියඩ් එක ඇතුලේ පාඩම් කරගැනීමත්, නිබ්බුත පදවලට අදාල සර් අහන ප්‍රශ්ණවලට උත්තර සැපයීමත් අනිවාර්යයි... බෝර්ඩ් එකේ දාල තිබ්බ ප්‍රශ්ණය තමයි නිබ්බුත පද කීවේ කව්ද කියන එක... සර් වටේම නෙලාගෙන මං ඉන්න පේලිය දිහාවටත් ආවා කියමුකෝ... මං ඉන්නෙ වම් පැත්තෙ ඉස්සරහම පේලියේ... පස්දෙනා ඉන්න පේලියේ මම මැද එකා..හේතුව මොකක්ද කියලා අදටත් දන්නෙ නැති උනාට සර් ඉස්සරහ පේලිවලින් ප්‍රශ්ණ ඇහුවෙ බොහොම කලාතුරකින්... ඉස්සරහ පේලියේ එවුන් වේවැල්පාර කෑවෙත් බොහොම කලාතුරකින්... මං ඉතිං ලොතරැයි දිනුම්වලට ගොඩාක් අවාසනාවන්ත පොරක් උනාට එදා මට බුද්ධාගම ලොතරැයිය ඇදුනා කියහංකෝ... 

හ්ම්... කියනවා බලන්න ... නිබ්බුත පද කිව්වෙ කව්ද ? 

මංතුමා උත්තර නෑ...

කියනවා අයිසෙ... කව්ද නිබ්බුත පද කිව්වෙ...

පිස්සුවක් තියෙයි... නිබ්බුත පද කිව්වෙ කිසා ගෝතමිය කියලා දන්නවා උනාට මං දෙයි එව්වට උත්තර... 

මොකද ඕයි ගල් බිල්ලා වගේ බලන් ඉන්නේ... උත්තර දෙනවා... 

ඉස්සරහ පේලියේ එකෙක් කන්න ලෑස්ති වෙද්දි පස්සෙ පේලිවලින් එන සිරික්කිය වෙනමම එකක්...  එව්වට සැලෙන පොරක්ද මම... මම දෙයි උත්තර...

මොකද ඕයි වෙලා තියෙන්නෙ... තමුසෙ ලෙඩිංද...

මට ඉතිං ඉහෙන් බහින අසනීපයක් නෑ... ඒත් ඉතිං මට තියෙන ප්‍රශ්නය බුද්ධාගම සර්ට කියලා පලක් නෑ නෙවෙයි කියලා බෑ...

මොකද ඕයි මේ යෝදයට වෙලා තියෙන්නෙ... බලන්වකෝ... ගල් බිල්ලා වගේ ගොලු වෙලානෙ... තමුසෙට මොකක් හරි අපහසුතාවයක්ද?

අපහසුතාවයන් තද කරගෙන ඉඳලා කලිසමේ කැත කරගත්තු එවුන් ඉන්න ප්‍රසිද්ධ ස්ටාන්ස් එක ඒක නිසා සර් සැක කරන්නෙ මටත් එහෙම එකක් කියලා උනාට මට එහෙම එකක් නෑ... මම ඒ ප්‍රශ්ණෙට උත්තර දෙන්න ඕන නෑ... එච්චරයි...

අයිසෙ බලනවා මේ යෝදයගෙ පස්ස පැත්තෙන් ගඳක්වත් එනවද කියල... සර් එහෙම කියන්නෙ මගේ පස්ස පැත්තට එබෙන ගමන්... මගේ දෙපැත්තෙම ඉන්න එවුන් දෙන්න මගේ පස්ස පැත්තට එබීලා හොඳ හුස්මකුත් ඇදලා බලනව ගඳක්වත් ආග්‍රාහනය වෙනවද බලන්න...

නෑනෙ ඕයි... කියනවා තමුසෙට අසනීපයක්ද...

මං මීක් නෑ... ගල්ගැහීලා ඉන්නවා ඇරෙන්න මගෙන් කිසීම ප්‍රතිචාරයක් නෑ... මුලු පංතියම සිනා සාගරයයි...

උතතර දෙනවා... කව්ද නිබ්බුත පද කිව්වෙ... කව්ද නිබ්බුත පද කිව්වෙ... අයෙසේ දන්නේ නැත්තම් දන්නේ නෑ කියනවා...

මම උත්තර නෑ... මම බිල්ලා සේ බෝර්ඩ් එක දිහා බලාගෙන ඉන්නව... ඒ අතරේ බුද්ධාගම සර්ගෙ ඉවසීම ඉවර උනා... සර්ගෙ අතේ තිබ්බ වේවැල ඉහල ගිහිං පහල ආව තුන් පාරක් මගේ පිට හරහා... අපෙ අප්පෝ ඒකෙ සනීපෙ... ප්‍රශ්නෙ බැරිවුන එවුන්ට සාමාන්‍යෙන් වේවැල්පාර එකයි... ඒත් මට තුනයි...

පල එලියට... සර් මගේ අතින් ඇදගෙන ඇවිත් පංතියෙන් එලියටත් තල්ලු කරලා දැම්ම... පංතිය සිනා සාගරයයි... මිලිටරි ග්‍රේඩ් වේවැල් පාරවල් තුනක් කාපු පිට පුපුරු ගහනවා උනාට මට ඒ වේවැල් පාරවල් තුන හෙන ජයග්‍රාහී වේවැල් පාරවල් තුනක්... පංතියෙන් එලියට දාපුගමන්ම සර් ආයෙම ප්‍රශ්ණෙට උත්තර අහගෙන වෝර්ඩ් රවුන්ඩ් යන්න පටන් ගත්ත... මමත් ගල්භීතවෙලා කටේ හිර කරගෙන හිටපු ඇස්ට්‍රා ගාලා සීනි දාපු රසම රස පාන් කෑල්ල  හීනියට විකලා ජුබුස් ගාලා ගිලලා දැම්ම... 


අපෙ අප්පෝ දැනුන සනීපෙ... එච්චර වෙලා ගල්භීතවෙලා හිටියෙ කටේ රසම රස පාං කෑල්ලක් පුරවගෙන කියලා කාටවත් නෝන්ඩි නෑ... හතරවෙනි පීරියඩ් එක කෙලවරේ අම්බානෙකට හද්දා බඩගින්නේ ඉන්න එකෙකුට ඇස්ට්‍රා ගාලා සීනි දාපු පාන් කෑල්ලක් කියන්නෙ සෝමාලියාව දාපු රෝස්පාන් ගෙඩියකටත් වඩා වටින රසම රස කෑමක්...  අද උනත් ඒ ගැන කල්පනා කරද්දි මට හිතෙන්නෙම එදා  බුද්ධාගම සර් පරාදයි...  මං දිනුම් කියලාමයි...  උගන්නන වෙලාවේ කාලා මාට්ටු වෙලා නෝන්ඩි වෙලා කිච වෙලා බුද්ධාගම සර්ගෙන් වේවැල්පාරත් කාලා ඉන්ටවල් එක ඉවර වෙනකල් සිරිසේන සර්ගෙ ඔෆිස් එකේ දන ගහගෙන ඉඳලා, අවසානයේ සිරිසේන සර්ගෙ මේන් වයර් සංග්‍රහයත් භුක්ති විඳිනවාට වඩා ප්‍රශ්ණෙට උත්තරේ බැරුව වේවැල්පාරක්  කන එක, ආර්ථික අතින්, දේශපාලනික අතින්, සමාජයීය අතින්,  අධ්‍යාත්මික අතින්, ඇතුලු මෙකී නොකී හැම අතින්ම  වාසිදායකයි... එක වේවැල්පාරක රිස්ක් එකක් අරගෙන තුනක් කන්න උනත් වෙන්න ගිය සංතෑසියට වඩා ඒ වේවැල්පාර් තුන එකෙන්ම මට වාසි ඩීල් එකක්... ඒකයි මම කියන්නෙ මිනිස්සු උනාම අවාසි වෙන තැනදීත් වැඩිම වාසිය වෙන අවාසිය තෝරාගන්න තරමට Business Minded වෙන්න ඕන කියල... 


Tuesday, August 8, 2023

ටිකෙන් ටික බොඳවෙන අපේ ලෝකය..

ඊයෙ රෑ ඩේටා ඕෆ් කරන්න අමතකවුනා ... රෑ දෙගොඩ හරියේ ෆෝන්නෙක දෙරි ගැහෙනවා ඇහිලා ඇහැරිලා බැලින්නම්  කෝල් එකක්... කෝල් එක එන්නෙ කාගෙන්ද කියලා කියවගන්න බෑ හතලිස් පහ පැනපු එකෙක් වෙච්චි මට..  ඒකට කන්නඩි දෙක හොයාගන්න ඕන... ඒ අල්ලපනල්ලෙ කෝල්ලෙක් කට්වුනා... මාත් නිදිමරගාතෙ ආයෙම ෆෝන්නෙක පැත්තකින් තියලා නිදාගත්ට... නින්ද යාගෙන එනකොටම ආයෙම ෆෝන්නෙක දෙරිගහනව... ආයෙම කලුවරේ කන්නඩි දෙක හොයද්දි කෝල්ලෙක කට්වුනා... මම ආයෙම නිදාගත්ත... ආයෙම ආවොත්නම් කන්නඩි දෙක ඇතුව හෝ නැතුව ආන්සර් කරන්න හිතාගෙන.. ඒත් කෝල් එක ආයෙම ආවෙ නෑ..


උදේ වැඩට යන්න ලෑස්තිවෙලා වාහනේට නැගපු ගමන්ම අර කෝල් එක මතක්වුනා... බැලින්නම් සවුදියේ ඉන්න අපේ හොඳ මිත්‍රයෙන්.. හැරෙන තැපෑලෙන් ගැහුවා අපේ එකාට කෝල් එක...


උඹ කෝල් එකක් දීල තිබ්බ ඊයෙ රෑ දෙකට විතර...


උඹට ඩිරෙක්ට් කෝල් ගන්න පුලුවනිද ලංකාවට...


ඔව් පුලුවනි.. ( පුලුවන් ඉතිං මාසෙකට විනාඩි දෙසීයකට වෙනම බිලක් ගෙවන නිසා)


මම උඹට එවල ඇති වෑන් එකක් විකුනන්න දාපු ඇඩ් එකක්.. ඒකට කෝල් කරලා අහපංකෝ ගාන කීයද කියල...


හිටහං බලන්න.. මේ නිසාන් වැනට් එකද.. 


ඔව් ඔව් ඒක තමයි...


හිටහං මම අරං බලන්න...


බෑ කියන්න බෑනෙ..  මේ කියන මිත්‍රයත් වාහනයක් ගන්න හොයනවා දැං කාලෙක හිටං... ඩ්‍රයිව් කරන ගමන් නිසා රීඩින් ග්ලාස් දෙක දාගන්නත් බෑ..  ඒක දැම්මාම පාර පේන්නෙ බොඳ වෙලා..  කන්නාඩි නැතුව බලද්දි බොඳවෙලා පේන ඇඩ් එකේ තිබ්බ වෑන් කොටේ ෆොටෝ එක ලාවට බලලා ඒ යටින් තිබ්බ නම්බර් එක ටච් කරලා ඩෑල් කරා ඩිරෙක්ට්ම...  ටික වෙලාවක් රින්ග් වෙලා ෆෝන්නෙක ආන්සර් කරා වෑන් කොටේ අයිතිකාරයා..


හලෝ... ගුඩ් ඊවිනින් මහත්තයා... ( මට උදේ උනාට ලංකාවට හවස)


ඔව් කියන්න...


මහත්තයගෙ වෑන් එකක් විකුනන්න ඇඩ් එකක් දාලා තිබ්බා ඒකෙ මිල අහන්නයි කෝල් කරේ...


නෑ.. මම වෑන් එකක් විකුනන්න දාලා නෑ...


වෙන්න බෑනෙ .. මේ ඇඩ් එකක් තියෙනවනේ...


නෑහ්... මම ඇඩ් එකක් දැම්මෙ නෑ...


ඕං ඉතිං මටත් යකා නැග්ග.. ඇයි යකඩෝ අතිං වියදං කරගෙන උන්නැහේගෙ ඇඩ් එකට කෝල් කරාම එහෙම එකක් දැම්මෙ නෑලු...


වෙන්න බෑනෙ මනුස්සයෝ... මේ තියෙන්නෙ ඇඩ් එකක් පී නම්බර් සුදු පාට නිසාන් වැනට් එකක් දාලා ඔයාගෙ නම්බර් එකත් එක්ක... අපේ කාලය නාස්ති කරන්න එපා බොරුවට ඇඩ් දාලා... මාත් ඉතිං ටිකක් සැරෙන් කිව්ව..


තමුසෙ පොට්ටද ඕයි...සිංහල අකුරු කියවන්න බැරිද... ඕකෙ පැහැදිලිව දාලා තියෙනව " හයර් සඳහා" කියලා... ඕක හරියට කියවනව ඉස්සෙල්ල... &$&);$&&$@&%#><> බ්ලා බ්ලා බ්ලා...


ආං එතකොට මට තේරුනා යාලුවාව විශ්වාස කරලා ඇඩ් එක කියවන්නෙ නැතුව වාහනෙයි ෆෝන් නම්බර් එකයි විතරක් බලලා කෝල් එක ගත්තු එකේ මෝඩකම... අර මනුස්සයා තවත් සුද්ද සිංහල මොනාදෝ කියවද්දි මම සොරී සොරී වැරදීමක් සමාවෙන්න කියලා ෆෝන්නෙක කට් කරා... 


රෑ දෙකට උඩ ගිහිං ඇහැරුනාම ෆෝන්නෙකේ ඩිස්ප්ලේ එකේ තියන අකුරු බොඳවෙලා පේන එක සාමාන්‍යයි කියමුකෝ හතලිස් පහේ එකෙකුට... ඒත් මහ දවල් "හයර් සඳහා ". කියලා පැහැදිලි සිංහලෙන් ලියලා තියන ඇඩ් එක වැරදියට කියවලා ඌට මා ලව්වා කෝල් කරවලා ඌ ලව්වා මට අසභ්‍ය වචනෙන් බන්නපු එක සම්පූරං වැරදියි... මක් කරන්නද ඉතිං.. යාලුවෝ කියන්නෙ එහෙම එවුන් තමා... උදේ පාන්දර වැඩට යන්න පිටත්වුන ගමන් කියලා මමත් නිකං ඇරියෙ නෑ... හයර් යන වෑන් එකේ අයිතිකාරයා මට කිව්ව වගේ හතර ගුණයක් මාත් ඉතිං  ලෝභ නැතුව අමතලා දැම්මා සවුදියාට මැසෙන්ජර් කෝල් එකක් අරගෙන... ආයෙ ඉතිං මගේ අතිං පයිං යන එකක් කියලයෑ... උදේ පාන්දර වැඩට යන්න එලියට බැහැපු මට අසභ්‍ය වචන ඇස්සෙව්වට දඬුවමක් දෙන්නත් එපැයි යාලුවා උනත්...


හතලිස් පස් ඇඳිරීයත් හොඳට හිටිනවා වෙලාවකට...  ඒ කෝල් එක රෑ දෙකට දෙපාරක්ම එද්දිත් නම ගම  බොඳ වෙලා පෙනුන එක හොඳා...  එහෙම නොවුනානම් මම අර යකාගෙන් කුනුහබ්බ අහන්නෙ රෑ දෙකට නිදි ඇඳ් ඉඳන්... මම මේ මේක ලිව්වෙ නිකම් නෙවෙයි... හත් ඉලව්වේ හතලිස් පහ පනිද්දි ඇස් පෙනීම අඩුයි... ඔව්වා පෙන්නලා කන්නඩි ගනිල්ලා කියන්න..